Monday, March 12, 2012

106. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....4


දඩයක්කාරයාගේ කතාව .....1

දඩයක්කාරයාගේ කතාව .....2

දඩයක්කාරයාගේ කතාව .....3


එදින සවස් භාගයේ ඇරඹුණු වර්ෂාව මැදියම ආසන්න වන විට තුරල් කර තිබිණි. වැසි වළා පහව ගිය හෙයින්, සඳ පායා ආවේ වන පෙත ශ්වේත වර්ණයෙන් නහවමිනි. තුරුපත් මත රැඳි සීතල පිණිබිඳු ඒ මත පතිත සඳ කැළුම් කරණකොටගෙන දැල්වූ පහන් මෙන් බැබලිණි.

එහෙත් දඩයක්කාරයා මේ අපූරු දසුන් කිසිවක් නොදිටීය. වර්ෂාවත් සමඟ පැමිණි හිරිගඩු නංවන දැඩි සීතල මකා ගනු වස් පොරෝණය තුලට තවත් තදින් ගුලි ගැසුණු හෙතෙම, මේ වන විට තදින්ම නින්දට වැටී සිටියේය.

කොපමණ තදින් නිදා සිටියද, ඉතා සුළු ශබ්දයකින් පවා වහා අවදිවීමේ දඩයක්කාරයාගේ හැකියාව පිළිබඳව මින් පෙර කල සඳහන සහෘදයිනි, ඔබට මතක ඇතැයි සිතමි.

එක්වරම අවදි වූයේ කුමන හේතුවක් නිසා දැයි සිතාගත නොහැකි වූවද, සවන් වැකුනු යම් නුපුරුදු ශබ්දයක් හේතුකොටගෙන යටිසිත නිකුත් කල අනතුරු හැඟවීමක් කරණ කොටගෙන ඒ සිදුවූ බව ඔහුට සහතිකය. උඩු සිත නින්දේ පසුවුවද, යටිසිත මෙසේ අනතුරු පිළිබඳව විමසිල්ලෙන් අවදියෙන් පසුවීම මහ වන මධ්යයෙහි දිවි ගෙවන්නකුට නිබඳ එල්ල විය හැකි දහසකුත් එකක් අතුරු අන්තරායන්ගෙන් ගැලවීමට අත්යාවශ්ය සාධකයක් වෙයි.

අවදි වූවද, එක් වරම නැඟී නොසිටි හෙතෙම සෙමින් පොරෝණය මෑත් කොට, හිස නොහරවා දෙනෙත් ඒ මේ අත යවමින් දෘෂ්ඨි පථයට අසුවන මානය සෝදිසි කලේ අනතුරක් කුමන ඉසව්වෙන් ලඟා වියහැකිදැයි නිශ්චය කොට ගැනීමට තැත් කරමිනි. නිතොර අත පොවන මානයෙන් ඉවතට නොගිය තියුණු කඩුවක් වන් ආයුධය මේ වන විටත් සුරතේ ඇඟිලි අතර තදින් සිරවී තිබුණේ අනතුරක් ඇස ගැටුණු වහා ක්රියාත්මක වීමේ අටියෙනි.

නින්දෙන් අවදි වීමට හේතුවූයේ කෙඳිරියක් වන් හඬක් බව යටිසිතෙහි යාන්තමට බොඳවූ මතකයක් වැන්නක් තිබියේ වුවද, හුස්ම පවා නොගෙන මුළු මහත් චිත්ත ඒකාග්රතාවයම යොමු කරමින් සවන් දුන්න ද ගෙමිදුල කොහොඹ ගසේ අතුපතර සිට ඉගිල ගිය බොහෝවිට වවුලකු විය හැකි නිශාචර පක්ෂියකුගේ කෙමෙන් මැකී ගිය තටු සැලීම හැරෙන්නට කිසිදු කෙඳිරිල්ලක් වැනි ශබ්දයක් ඔහු දෙසවන පතිත නොවීය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔහු නින්දෙන් අවදි කරවූ ශබ්දය වැන්නක් මතු නොව වෙනත් කිසිදු ශබ්දයක් පවා නොමැතිව ලොවම නිහඬව පැවතිණි.ක්රමයෙන් දඩයක්කාරයාගෙ ආශ්වාස ප්රශ්වාසය යථා තත්වයට එළඹෙමින් තිබිණ.දැඩිව කඩුව වන් ආයුධය මිරිකාගත් සුරතේ ඇඟිලි කෙමෙන් ලිහිල් වන්නට විය.අවසන දැඩිව ආතතියට ලක්ව තිබූ සිරුර ද ක්රමයෙන් ඉහිල් වන්නට වූයෙන් දඩයක්කාරයාගේ දෑස පියවෙන්නට ආරම්භ වූවා පමණි.

එක්වරම දෙසවන් විදගෙන ඇතුළු වූ අව්යාක්ත කෙඳිරිල්ලකින් දඩයක්කාරයා අවදි වූයේ පොරෝණය පසෙකට වීසි කර දමමිනි.එවර නම් ඒ කෙඳිරිය නැඟුනේ ගෙපැල තුලින් බවට ඔහුට කිසිදු සැකයක් නොවීය. ගෙපැල තුලින් නැඟුනු ඒ කෙඳිරිය හඳුනා ගැන්මට ඔහුට අසුරු සැනක් ගත නොවීය.

'' අම්මා......"

තම මෑණියන් කෙරෙහි මෙතෙක් කිසිදින නොදැනුනු හැඟීමක් ඔහුගේ සිත පුරා පැතිර ගියේය.

මාතෘ ප්රේමය යයි නිසැකවම හඳුනාගත් ඒ හැඟීමෙන් ඔද වැඩුනු දඩයක්කාරයා, සුරතින් තරව ග්රහණය කොටගත් කඩුවක් වන් ආයුධයද පෙරටු කරගෙන, ගෙපැල තුලට කඩා පිණීය.

මේ වන විට සඳ වලාවකට මුවාව ගිය නිසා දෝ දසතම වෙලී පැවතියේ කැබලි කැපිය හැකි ඝණ අඳුරකිනි. ගෙපැලට ඇතුළු වූ දඩයක්කාරයා ඝන කළුවරෙහි කිසිවක් කරකියා ගත නොහී කඩුව ද තදින් ග්රහණය කොටගෙන, ගෙපැල මධ්යයෙහි නතර වූයේය. මෙ වන විටම සඳ මෙතෙක් ඒ මුවා කල වලාවෙන් මිදුනු බැවින් දෝ දොරකඩින් ගලා ආ එළිය දහරකින් ගෙපැල ඇතුලත අපැහැදිලි ව වුවද මඳ ආලෝකයකින් පිරී ගියේය.

ගලා ආ සඳ එළියෙන් ගෙපැල ඇතුලත ආලෝක වන්නා හා සමඟම දුටු දසුනින් සිහි එලවාගත නොහුනු දඩයක්කාරයා ගෙපැල මධ්යයේ ඔහු සිටි ස්ථානයේම පාෂාණිභූත විය.

ඇදී ආ සඳ එළිය තීව්ර වන්නට වූයෙන් ක්රමයෙන් පැහැදිලි වන ගෙපැල තුල පසුපස බිත්තිය අද්දරට වන්නට වැතිර සිටියේ ඔහුගේ මෑණියන්ය.මෑණියන් වැලඳගෙන දහදිය වැකුණු සිරුරින් යුතුව සිටි පුද්ගලයා දඩයක්කාරයා ගෙපැල තුලට පැමිනි වග දැනුනු නිසා දෝ සෙමින් හිස හරවා දඩයක්කාරයාගේ නෙත් දෙස එක එල්ලේ බැලීය.

තම පියාණන් ගේ දෑස හා දඩයක්කාරයාගේ දෑස එකිනෙක වෙලී ගතවුනු නිමේශයකට පසු......

උරහිස තෙක් කඩා හැලුනු කාලවර්ණ කෙහෙරල......දහදිය නොකඩවා ගලා හැලෙන මුහුණ......මඳ සඳ එළියේ වුවද අමාවකේ තරු කැට මෙන දිලිසුනු ඔහුගේ දෑස.....

දඩයක්කාරයා පියවි සිහියට පැමිණියේ තම සුරතෙහි මෙතෙක් වේලා දැඩිව මිරිකාගෙන සිටි කඩුවක් වන් ආයුධය ලිහිල්ව අප්රාණික වූ අතැඟිලි අතරින් ගිලිහී බිම වැටෙන හඬිනි.සොහොන් භූමියක් මෙන් නිශ්ශබ්ද ගෙපැල තුල නින්නාද වූ ඒ හඬින් දැහැන බිඳී ගිය දඩයක්කාරයා, පසු නොබලා ගෙපැලින් ඉවතට පැන ගත්තේ, ගෙපැලින් මඳක් දුරින් පිහිටි රූස්ස වනස්පතිය සෙවණෙහි නතර වූයේ, ඊට පිටදී දෙතුන් වරක් ගැඹුරට හුස්ම ගෙන සෙමින් ආපසු හෙළීය.තවමත් වැසි සිසිල සහ පින්න තිබියද සිරුර පුරා ගලනා දහදිය හේතුවෙන් ඔහුට කිසිදු සීතලක් නම් නොදැනුනි.කෙමෙන් සිත එකලස් වන තුරු නිමේශයක් එතැනම පොරොත්තු වූ හෙතෙමේ ඉනික්බිති තම සුපුරුදු ගල් තලාවෙහි අසුන වෙත ගොස් එහි දිගාවිය.

වළා පහව ගොස් සඳ බැබලිණි. ගතෙහි නැඟි දහදිය විටින් විට හමා ආ සිහිල් සුළඟින් වාෂ්ප වී යන්නා හා සමඟම මුළු සිරුරම කිලි පොලවමින් දැනුනු දැඩි සීතල විඳ දරාගනිමින් දඩයක්කාරයා තවත් හෝරාවක් පමණ ගල් අසුන මත දිග ඇදී එලෙසම රැඳී සිටියේය.

මින් පෙර කිසි දිනෙක නුදුටුවේ නමුදු මව සහ පියාණන් නිරතව සිටි කාර්යය කුමක්ද යන්න ඔහු ඉවෙන් මෙන් වටහා ගත්තේය. නිතර වනයේ සරන, දිවා කාලය මුලුමනින්ම වනයේම ගෙවා දමන දඩයක්කාරයාට මුවන් සහ ගෝනුන්ගේ පෙම් ජවනිකාවන් මෙන්ම ඔවුනගේ රමණය ද නුපුරුදු දසුනක් නොවීය. ඒ ඔහුට වන සතුන්ගේ එදිනෙදා ක්රියාකාරකම් වූ ආහාර ගැනීම්, දිය පානය, මල සහ මූත්ර පහ කිරීම එසේම සතුරකු අතින් මරණයට පත් වීම වැනිම ස්වාභාවික සංසිද්ධියකට එහා ගිය දෙයක් නොවීය.

කෙමෙන් සිත යථා තත්වයට පත් වූ ඉක්බිතිවද දඩයක්කාරයා හිමිදිරි අළුයම සීතල විඳ දරා ගනිමින් හිරු උදාවන තුරු ගල් තලාව මත එලෙස වැතිර සිටියේය.

මතු සම්බන්ධයි........

28 comments:

  1. හපොයි දෙය්යනේ. අද ලිහිල් කරලාද ලීවේ. හොඳටම තේරුනා. විශේෂයෙන්ම අන්තිම ටික.:D

    නිකමට හිතුනා අර අමා කීවා වගේ මොනවද මණ්ඩලේ කෘතියක් වගේ එකක් කියන්ට යනබව. ඔය අපූරුවට කියලා තියෙන්නේ. කැපිලි, කෙටිලි අවශ්‍ය නෑ. විනීතව ලියලා.

    විහිලුවට නෙමේ ලස්සන කතාව. දැන් ඉතින් කුතුහලය තවත් වැඩී.:D:D

    ReplyDelete
    Replies
    1. / හපොයි දෙය්යනේ. අද ලිහිල් කරලාද ලීවේ. /

      අනේ බොලේ මීට වඩා ලිහිල් කලොත් නම් වැඩේ හරි යන්නෙ නෑ. මේ වගෙ කතාවකට මේ වගෙ ශෛලියකින් වත් ලියන්නෙ නැතුව නම් බෑ....හොඳේ?...

      චුට්ටිලගෙ, රමණි අක්කලගෙ, අනර්කලීලගෙ කතා ලියන ඌරුවට දඩයක්කාරයො ගැන ලියන්ට බෑ බං.... :) :)

      / නිකමට හිතුනා අර අමා කීවා වගේ මොනවද මණ්ඩලේ.../

      අනේ මෙහ්....එයයි මායි දන්න මණ්ඩල......:) :)

      / විහිලුවට නෙමේ ලස්සන කතාව..../

      හෙහ්, හෙහ්, ඒ කියන්නෙ මීට කලින් කතා ලස්සනයි කියාල තියෙන්නෙ එහෙනං විහිලුවට....ඒකනෙ ඔය කියන්නෙ.... :( :(

      Delete
    2. ආ එන්ට එපා හරිද. මණ්ඩල කීවම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉඳන් චන්ද්‍ර මණ්ඩල දක්වා ඕනේ එකක් මේ අමා දන්නවා හරිද !!!
      හික්ස්

      Delete
    3. @ අමා,

      ආහ්... මට මතක් උනේ අර බුරුස් ලී ගොයියගෙ චිත්තරපටිය.... එන්ට එපා ද ඩ්‍රැගන්...

      මේ එව්ව ඇරිච්චාවෙකො, උඹ මොකද මෙතන කොරන්නෙ?....ඒ මණ්ඩල දාපං පැත්තකට....ඒ පාර අල්ලගත්ත කෙහෙල්මල් මණ්ඩලයක්.....

      පලයං කිව්ව නේද ගෙදර....ගිහිල්ල ලියාපං අර පෝරිසාදයගෙ කතාව...හ්ම්....මම ආයෙ කියන්නෙ නෑ ඔන්න.......ආව මෙතන....මණ්ඩල.....හුහ්,....

      Delete
  2. මේ දඩයක්කාරයගෙ වයස කීයක් විතර ඇතිද? එයා දන්නෙ නැති උනාට රචක තෙමේ දන්නව ඇතිනෙ. කියන්නකො.

    ReplyDelete
    Replies
    1. / මේ දඩයක්කාරයගෙ වයස කීයක් විතර ඇතිද? /

      මුලම කොටසෙ මම මෙහෙම කිව්ව..

      / දශක චතුෂ්කයකට බොහෝ සෙයින් ආසන්න කාල සීමාවකට පමණ පෙර දඩයක්කාරයා පැටි අවදියේදී දිනෙක,.... /

      දශක චතුෂ්කයක් කියන්නෙ අවුරුදු හතළිහක්....ඒ කියන්නෙ දඩයක්කාරයගෙ වයස දැනට වෙනව අවුරුදු හතළිස් හතක් විතර....

      හැබැයි මේ කොටසෙ නම් ඒකා පොඩි එකා.....ඔයා අහන්නෙ ඒ ගැන නම් උත්තරේ වයස හතක් අටක් වගෙ .......

      Delete
    2. එච්චර පොඩියිද? ඒත් මේක කියවද්දි මයෙ හිතටනං ආවේ අවුරුදු පහළොවක දාසයක විතර තරමේ කෙනෙක්. අර කඩුව අල්ලං ඉන්න විදිහ, වටාපිටාව ගැන සෝදිසියෙන් ඉන්න විදිහ, ඒ ඔක්කොම ගත්තහම එච්චර පොඩි වයසෙදි එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතාගන්න බෑ. ඒත් ඉතිං කැලේම හැදුණ කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ හුරුව එන්නත් ඇති.

      දොරවල් නොතිබුණු ඒ කාලේ ගමේ ගෙවල් වල කුල්ලක් ගෙයි උළුවස්ස ගාව හරස් කරලා තියෙනවා දැක්කොත් ඒ වෙලාවට පිට කවුරුත් ගේ ඇතුලට එන්නෙ නෑ කියලා මම පොතක කියවලා තිබුණා මතකයි.

      Delete
    3. / ඒත් ඉතිං කැලේම හැදුණ කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ හුරුව එන්නත් ඇති. /

      ඇත්ත නංගි, වයසින් ලාබාල උනාට දඩයක්කාරය හුදකලාව මහ වනයක් මැද්දෑවෙ දිවි ගෙවන්නෙක්. ඒ නිසා සාමාන්‍ය ඒ වයසෙ දරුවෙක් එක්ක සසඳන්න බෑ කොහෙත්ම..........ඇත්තටම අසාමාන්‍ය පුද්ගලයෙක්........:)

      / දොරවල් නොතිබුණු ඒ කාලේ ගමේ ගෙවල් වල කුල්ලක් ගෙයි උළුවස්ස ගාව හරස් කරලා තියෙනවා දැක්කොත් ඒ වෙලාවට පිට කවුරුත් ගේ ඇතුලට එන්නෙ නෑ කියලා මම පොතක කියවලා තිබුණා මතකයි. /

      ඔබ හරි,වියලි කලාපෙ ගැමි ගෙවල්වල තියෙන්නෙ බහුතරයක් එකම කාමරයයි, ඒ කියන්නෙ මුලු ගෙදරම ඇතුල එකටම තියෙන්නෙ. ඇතුලෙ බිත්ති ඇත්තෙම නෑ. උයන පිහන එක, නිදියන එක ඔක්කොම කරන්නෙ ඕක ඇතුලෙම තමයි.ඒ නිසාම දෙමහල්ලන්ගෙ ලිංගික ක්‍රියාකාරකම් කරගන්න වෙන්නෙ දවල්ට තමයි, ඔය හේනෙ වැඩ කරකර ඉන්න ගමන් ඉස්පාසුවක් ලැබිච්ච ගමන් ඔන්න දෙමහල්ලො එනව ගෙදර. කුල්ල තමයි සංකේතෙ. අද ඔය හෝටල් කාමරවල දොරේ ගහල තියෙන්නෙ '' Do not disturb, A very very important activity going on inside "' කියාල අන්න ඒ වගේ හෙහ්, හෙහ්,

      අනුරාදපුරේ පැත්තෙ තියනව '' Villge life in dry zone'' කියන තීම් එකට හදපු Holiday resort එකක් ඒකෙ හැම කාමරේකම තියනව කුල්ල ගානෙ....ඔන්න ඉතිං...තොල් විකාගන්න දෙයක් නෑ , මම හොඳටම දන්න නිසයි කියන්නෙ ....ඇත්තම ඇත්ත.

      කුළු කේස් එක ගැන තියනව කතා බර ගානක්....

      මුස්ලිම් වෙළෙන්දො එනවනෙ බඩු අරගෙන වෙළඳාමෙ, ඔන්න එක ගෙදරකටත් ආවය කියමුකො. ගෙදර හිටියෙ ගෑණු මනුස්සය විතරයි...වැඩි වයසකුත් නෑ. ඇහැට කනටත් පේනව...

      ඔන්න රෙදි පිළි කුළු බඩු මහ ගොඩක් තෝර ගත්ත කියමුකො මේ මනුස්සය.

      '' යේක ඔය ටිකට වෙනව රුපියල් විෂ්ෂක්...'' මුදලාලි කිව්ව.

      '' හපොයි මුදලාලි මයෙ අතේම තියෙන්නෙ රුපියල් පහයි නෙව...'' ගෑනු මනුස්සය බොහොම දුකෙං කිව්ව.

      '' යේක තුක් වෙන්ට යෙපා, ගෙදර කුල්ල යේම තියනවා නෙවද?....'' මුදලාලි ඇහුව.

      '' මොකෝ නැතුව කුල්ලක් තියනවා. ඇයි? ''

      '' අන්න යේක තමා, පෝම ෂරි , යිතුරු රුපියල් පාලවට හරි යන්න අපි කුල්ල තමා තියමු දොර ළඟින්...ෂරී? ''

      Delete
  3. අනේ මන්දා ..මම මේ සීරීස් එක ඉවර වුනාමම එනවා..නැත්නම් අගට යනකොට මුල අමතක වෙන රුසියානු කතා වගේ වෙයි...

    ඇත්තම කියනවා නම් මම දැන් අවුරුදු දහයක් පහලොවක් තිස්සෙම අපරාධය හා දඬුවම කතාව කියවනවා තාම අග මුල පටලගන්න බැරිවුනා නෙව..

    ReplyDelete
    Replies
    1. පටලගන්ටද? ගලපගන්ටද? :D

      Delete
    2. @ රූ,

      / අනේ මන්දා ..මම මේ සීරීස් එක ඉවර වුනාමම එනවා..නැත්නම් අගට යනකොට මුල අමතක වෙන රුසියානු කතා වගේ වෙයි.../

      හරි, හරි, ඔයාට එහෙම හිතෙනව නම් එහෙම කරන්ට....කතාව අහවරයක් උනාම ඇවිල්ල කියවන්ට...හැබැයි දන්නවද එහෙම කතාවක අගට යනකොට මුල අමතක වෙනව කියන්නෙ මනෝ ව්‍යාධියක් කියල.....ඕකට කියන්නෙ '' වෘතාන්ත අග්‍ර ප්‍රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්ණය '' කියලයි.

      වැඩේ මුලින්ම අල්ල ගත්තොත් හොඳ කරන්ට පුලුවනි. හැබැයි නොසලකා හිටියොත් කේස්.....මාරාන්තික වෙන්නත් පුළුවන්...මොකද කියන්නෙ දෙන්නෙයි හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙ ඇඩ්‍රස් එක?

      Delete
    3. @ පොඩ්ඩි,

      දෙකම මම හිතන්නෙ පොඩ්ඩි, දෙකම.....හෙහ්, හෙහ්, එක්කො ඉස්සෙල්ල ගලපගෙන පස්සෙ පටල ගන්නව ...එහෙම නැත්නම් ඉස්සෙල්ල පටල ගෙන පස්සෙ ගලප ගන්නව.....;)

      Delete
    4. @පොඩ්ඩි,
      රවි කිව්ව එක ඇත්ත වෙන්නැති..ඒක ගැනනම් මටත් හරියට තේරුනේ නෑ..මොකද තාම පොත කියවනවා..මට නිකම් දැනෙන්නෙ පැය ගානත් කටේ තියන් ඉදලත් විසික්කන්න කම්මැලි වුයින්ගම් එකක් හපනවා වගේ කියලා..

      @රවි,
      අර නම කියවගන්න ගිහිල්ලා මගේ දිවත් උළුක්වුනා නෙව..
      දැන් ඉතින් දිවේ උළුක්කුව ඇරගන්නයි..ඔය මහප්‍රාණ ලෙඩේ හොඳ කරගන්නයි වෙද්දු දෙන්නෙක්ගෙම නම් කීවනම් තමා හොඳ..
      හෑයි..දැනටමත් ලෙඩේ වැඩි වෙලාද දන්නෑ...

      Delete
  4. මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.මාගේ චිත්ත සන්තානයේ පහලවූ ඉනික්බිති මාගේ බ්ලොගය තුලින් පිටවීමට නියමිත සිතුවමේ මූලික හරයම මෙවැනි එක පබැඳුමකින් පබ්ලිශ් කිරීම වනාහි ඉතාම අධම කිරියාවකි.දැන් ඉතින් මට වෙනම දෙයක් සිතිය යුතුය.ගලේ බණ්ඩාර දෙයියොවත් මේ වින්නැහියට යමක් කිරීම වටී.
    දඩයක්කාරයාගෙ තාත්ත උන්නැහේ මියෑදෙනකම් මුන්දැට දඩයක්කාරයා කියල කවුරුත් කීවෙ නෑ කීවා නේද?ඔය පටලගෙන තියෙන්නෙ තමුන්නැහෙම...අනික රවී ඔය කියන සිවිලයිස් නැති සමාජෙක ඕක දකින්න ඔච්චර කල් යනවා කියලා හිතනවද?
    වෙනදා වගෙම සුපිරු ලියමන..ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ.

    ReplyDelete
    Replies
    1. / මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.මාගේ චිත්ත සන්තානයේ පහලවූ ඉනික්බිති මාගේ බ්ලොගය තුලින් පිටවීමට නියමිත සිතුවමේ මූලික හරයම මෙවැනි එක පබැඳුමකින් පබ්ලිශ් කිරීම වනාහි ඉතාම අධම කිරියාවකි.දැන් ඉතින් මට වෙනම දෙයක් සිතිය යුතුය.ගලේ බණ්ඩාර දෙයියොවත් මේ වින්නැහියට යමක් කිරීම වටී. /

      අහෝ මා හිතවත් සිතුවම් මලඬ, දහස් වර සමා වුව මැනවි. ඔබද කුඩා කල දඩයක්කාරයා ලැබුවා වූ අත් දැකීමෙක් ලබා ඉන් උද්ගතවූ මනෝ ව්‍යාධියෙකින් පෙලෙන බවක් ස්වප්නයකිනුදු නොසිතුවෙමි.ගැටළුවෙක් උදක්ම නැත්තේමය. ඔබගේ අත්දැකීම රචනා කොට පළ කළ මැනැවි. ඒ කියැවීමට ෆුල ෆුලා සිටින්නෙමි......හෙහ්, හෙහ්,

      / දඩයක්කාරයාගෙ තාත්ත උන්නැහේ මියෑදෙනකම් මුන්දැට දඩයක්කාරයා කියල කවුරුත් කීවෙ නෑ කීවා නේද?ඔය පටලගෙන තියෙන්නෙ තමුන්නැහෙම. /

      නෑ සිතුවම් මට පැටලුනේ නෑ......

      දෙවෙනි කොටසෙදි මම කිව්වෙ මෙහෙමනෙ......

      / දඩයක්කාරයාගේ පියා...මෙම අන්දරයෙහි දී පහසුව තකා අපි ඔහු මහ දඩයක්කාරයා යයි හඳුන්වමු...සත්යය වශයෙන්ම දඩයක්කාරයාට මෙන්ම ඔහුගේ පියාටද විශේෂිත වූ නාමයක් නොවීය.ඔවුන් දෙදෙනාම හැඳින්වීයේ දඩයක්කාරයා යන පොදු නාමකරණයෙනි.පියා ජීවත්ව සිටි සමයෙහි දඩයක්කාරයා යනු පියා හැඳින්වීමට ව්යාවහාර වූ නාමය වූ අතර, අපගේ වෘතාන්තයේ කථා නායක වූ දඩයක්කාරයා හැඳින්වීමට කිසිදු නාමයක් භාවිත නොවීය.පියාගේ අකල් ඇවෑමෙන් පසු අප කථා නායක කෙරෙහී නිරුත්සාහයෙන්ම දඩයක්කාරයා යන නාමය අන්වර්ථ විය. /

      මේ දඩයක්කාරය කියන නම පරම්පරාවෙ හැමෝම හැඳින්නුව නම...අපේ දඩයක්කාරයගෙ තාත්ත මලාට පස්සෙ තමයි ගමේ මිනිස්සු දඩයක්කාරය කියන නමෙන් මිනිහව හඳුන්වන්න පටන් ගත්තෙ, ඊට කලින් මිනිහට නමක් තිබුනෙ නෑ..මෙතන පොඩි කොල්ල කාලෙත් මිනිහව දඩයක්කාරය කියල හඳුන්වන්න මම තීරණය කලේ කතාව කියන්න සහ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්නයි....ඒ හින්දම තමයි තාත්තට මම මහ දඩයක්කාරය කියල නමක් දැම්මෙ.....හරි නේද?

      / අනික රවී ඔය කියන සිවිලයිස් නැති සමාජෙක ඕක දකින්න ඔච්චර කල් යනවා කියලා හිතනවද? /

      මේ දඩයක්කාරයගෙ පරපුර කැලේ ජීවත් උනාට සිවිලයිස් නෑ කියන එක වැරදියි.....දඩයක්කාරය ඇතුලු මුලු පරම්පරාවම සුවිශේෂී හැකියාවන් තියෙන අපිට අද පවා සිතා ගත නොහැකි ශිල්ප ප්‍රගුණ කරපු කට්ටිය....ඔයිට වැඩිය දැනට කියන්නෙ නෑ.........හෙහ්, හෙහ්,

      ස්තූතියි සිතුවම්........ඔබේ පැසසුමට,

      Delete
  5. පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [තත්‍ය හෝ අත්‍ය] පැටි වියේ ඇතැම් පිරිමි දරුවන් තුල ඊඩිපස් සංකීර්ණය දක්වා........

    එක්කො ඕනෙ නෑ. කතාව ......... . ඕං මං කට පියා ගත්තා.

    පලවෙනි කොටසෙ අන්තිම හරියෙ ලොලීටා කම්ප්ලෙක්ස් එකක් ගැන......

    ෂ්... කට කට - හරි හරි මේං මං ගියා....... !!

    ප.ලි : මෙතනින් එහාට කතාවට එලිවේ. හොඳ හොඳ සෙල්ලමුත් එතකොටය. හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ලොලිට කම්ප්ලේක්ස් එකක්? හැහ්?
      අපොයි ඔන්න පස් වෙනි මණ්ඩලේ ට දැනට වෙන සීන් තමා. මන් කීවේ නැද්ද ඕක කලින්?

      Delete
    2. නැතුව, අර කියල තියෙන්නෙ මෙන්න මෙහෙම

      //ඇය මේ ගෙපැලේම හැදී වැඩී වැඩි විය පැමිණ යුවතියක වූවා, එක් අනෝරා වැසි කඩා හැලුනු ශීතල රාත්රියක හුදෙක් ඇගේ පෙලඹවීම මතම පලමුව ගැහැණියක් වී//

      Delete
    3. @ නවම්,

      / පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [තත්‍ය හෝ අත්‍ය] පැටි වියේ ඇතැම් පිරිමි දරුවන් තුල ඊඩිපස් සංකීර්ණය දක්වා....../

      ඊඩිපස් සංකීර්ණය ඇතිවෙන්න නවම් පියා හමුවේ මව පීඩනයට පත් වීමක් දකින්නම අවශ්‍ය නැහැ.උඹ දන්නවනෙ ඊඩිපස් සංකීර්ණය කියන්නෙ මොකක්ද කියල.....හෙහ්, හෙහ්, මෙතන කියන්න ඕන නැහැනෙ......දැනටම මට චෝදනා ඇවිල්ලයි තියෙන්නෙ මේ බ්ලොග් එක සම්බාව්ය පස්වෙනි මංඩලේ වගෙයි කියල...ඒ නිසා ඊඩිපස් මස්සිනා ගැන ඔය ඇති......

      / පලවෙනි කොටසෙ අන්තිම හරියෙ ලොලීටා කම්ප්ලෙක්ස් එකක් ගැන...... /

      මම මේ කමෙන්ට් එක ලියනකොටයි අමාට උඹ දාපු ප්‍රතිචාරෙ දැක්කෙ....

      / කිසිදු ඥාතියකු හෝ හිත මිතුරකුගේ රැකවරණ අහිමිව අනාථ වූ ඇය මේ ගෙපැලේම හැදී වැඩී වැඩි විය පැමිණ යුවතියක වූවා, එක් අනෝරා වැසි කඩා හැලුනු ශීතල රාත්රියක හුදෙක් ඇගේ පෙලඹවීම මතම පලමුව ගැහැණියක් වී ඉන් අන්තුරුව දඩයක්කාරයාගේ අඹුව වූවාය. /

      නවම්, මෙතන වැදගත් කොටස මෙන්න මේ ටික... '' හුදෙක් ඇගේ පෙලඹවීම මතම ''

      මම ඔය ටික විශේෂයෙන්ම දැම්මෙ මම දන්නව උඹ වාගෙ ඔය නා නා ප්‍රකාර ලිංගික සංකිර්ණ ගැන කියවන ඒ ගැන හදාරන ඒ ගැන පර්යේෂණ කරන ඒ වගේම ඒ ක්‍රියාවලීන් හි ප්‍රායෝගිකව නිරත වන බහුශ්‍රැත බුද්ධිමතුන් මේ බ්ලොග් එක කියවනවය... ඒ එක්කම මගෙ අහිංසක දඩයක්කාරයට ඔය වගෙ අහස පොළව නුහූල චෝදනා එල්ල කරනවයි කියල.

      ඒ නිසා මලේ ලොලිටගෙන් දඩයක්කාරයට දමල ගහන එක හරියන්නෙ නෑ. උඹට වෙන සංකීර්ණයක් හොයාගන්ටම වෙනව... :)

      Delete
    4. අනිවා ඩෙෆා.. ඕකට ලොලිටා හරියන්නෙ නෑ.. ඒ දැරිවි කොරලා තියෙන වැඩේ හැටියට නං ඕකට ගැලපෙන්නෙ "උදේනි රාජ කුමාරයගෙ මවු තාපසයට කොරපු කම්ප්ලෙක්ස් එක" තමා.. මතකනේ අර මාරයා ලියපු ටිකට් නැතිව ෂෝ බැලීමේ විපාක කතාව.. :D

      Delete
  6. //වෘතාන්ත අග්‍ර ප්‍රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්ණය//

    රවිගෙ ට්‍රයි එක මේක කියවන ගෑල්ලමයින්ගේ පිස්සු ඩබල් කොරන්නද ? හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඩබොල් කරන්න කියන්නෙ දැනටමත් උන්ට යාන්තමට පික්ෂුදෑ ?

      Delete
    2. @ ඔබා & නවම්,

      පිස්සු කියන්නෙ බොල පිස්සුව තරු පහේ මොඩල් එක....උං ඔක්කෝටම පිස්සු....:)

      Delete
    3. ගෑල්ලමයින්ට විතරක් නෙමේ නවම්ගේ අන්තිම පෝස්ට් එක දැක්කම ඌටත් පිස්සු කියල තේරුනා...හෙහ්...හෙහ්...

      Delete
  7. මේ පාර නම් සැර බාල කොරලා නොවැ...

    ඔබා මාමා කිව්ව සීන් එක ඇත්තද බොල?? (රවිගෙ ට්‍රයි එක මේක කියවන ගෑල්ලමයින්ගේ පිස්සු ඩබල් කොරන්නද ? )

    ReplyDelete
    Replies
    1. සැර බාල කලා සෑම්....කොහෙද පොඩි එවුන් නෙව මෙතනට එන්නෙ...නීට් දුන්නම උංගෙ උගුර කට හිටං පිච්චිලා යනව, හෙහ්, හෙහ්,

      Delete
    2. මටත් එක්කද මන්දා කියල තියෙන්නේ :)

      ජය පතමි !

      Delete
    3. එහෙනම්, එහෙනම්, මොකෝ උඹ කියල මහ ලොකු එකෙක්යැ.....හෙහ්, හෙහ්, :) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...