Monday, March 26, 2012

110. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....8



දඩයක්කාරයා දෙස බලාසිටි පියාගේ දෑසෙහි වූයේ ගැඹුරු නිශ්චලත්වයකි. නිමේශයකට පසු තමා විසින් කලයුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් සිතෙහි ඇතිව, දඩයක්කාරයා ගෝණි පඩංගු දෙක මත වැතිර හුන් මෑණියන් වෙත නැඹුරුව ඇගේ හිස අද්දර දණ ගැසීය.

ශ්වේතවන් වූ රෙදිකඩ අතින් ගත් මහ දඩයක්කාරයා විරුද්ධ පාර්ශ්වයෙහි දණ නවා හිඳගත්තේ, සිය පුත්රයාගේ සහය ද ඇතිව ක්රමයෙන් සිසිල් වන තම බිරිඳගේ දේහය රෙදිකඩෙහි ඔතා ලීය.

ඉතා සැලකිල්ලෙන් සහ ආදරයෙන් තම ආදරණීය බිරිඳ/දයාබර මව වෙනුවෙන් සෙහෙහෙබර සැමියකු/කෘතඥතාපූර්ණ පුත්රයකු අතින් ඉටුවන අවසන් කාර්යය, අවසන් යුතුකම ඉටුකිරිමෙන් අනතුරුව පුත්රයා දෙස බැලූ දඩයක්කාරයා පහත්ව තම ශක්තිමත් බාහු යුග්මයෙන් ඇය ඔසොවා ගත්තේය.

බිරිඳ ද ඔසොවාගෙන ගෙපැලෙන් පිටවූ මහ දඩයක්කාරයා ගෙමිදුලෙහි මධ්යයෙහි මොහොතක් නතර විය.ගෙමිදුල ඒකාලෝක වූ සුදු සඳ රැසින් නැහැවුණු ඔහු, තම බිරියගේ සුදුපැහැති වස්ත්රයෙන් මුලුමනින්ම එතූ දේහයද දෑතින් දරා ළයමත හොවා හිටිවනම කිරිගරුඬෙන් නිමැවුණු පිළිමයක් මෙන් ගෙමිදුල මධ්යයේ රැඳී සිටියේ, අද්භූත දසුනක් මවා පෑවේය.

මහ දඩයක්කාරයා පසුපස ගෙපැලෙන් පිටතට පැමිණි දඩයක්කාර තෙමේ දොරකඩ එළිපත්ත අසල එක්වරම නැවතුනේ, පියා එසේ නැවතී සිටිනුයේ තමනට කිසිවක් පවසනු පිණිසය යන්න එක්වරම වැටහුණු බැවිනි.

ගෙපැලෙහි එක් පසෙක හදිසි අවශ්යතාවයකට ප්රයෝජන ගන්නා පිණිස යකඩින් තැනුනු ආයුධ කිහිපයෙක් වී.ඔවුහු කිසි දිනෙක ගොවිතැන් කටයුත්තෙක නොයෙදුණද ගෙපැල වටා ඉඳිකොට තිබූ ඉණිවැටෙහි දිරාගිය පැල ඉන්නක් වෙනුවට වනයෙන් කපා ගෙනෙන ලද නව සවිමත් වූ ලී දඬුවක් සිටුවීමවන් කාර්යයක් සඳහා මහ දඩයක්කාරයා භාවිතා කල එක් අග්රයෙක් ගිණියම් කොට තලා තියුණු හුලක් නිමැවෙන සේ සකස් කල යවුලක් වැන්නක්ද ඒ අතර වී.

'' පුතා, අර යවුල අරන් එන්න..''

පියාගේ ඉල්ලීම දඩයක්කාරයාගේ සිතට පිවිසියේ, මහ වැසි සමයෙහි රාත්රිය මුලුල්ලේ අහස් කුස හඬා වැලපුණු රාත්රියකට අනතුරුව, හිමිදිරියේ ගෙමිදුලෙහි කැරළි ගැසෙනා මිහිදුම් පට අතරින් එක්වරම අඳුර ඉරාගෙන මුහුණ මත පතිතවන හිරුරැස් දහරක් පරිද්දෙනි.

එසේම යතෝක්ථ සිද්ධිය සිදු වූ අවස්ථාවෙහිදී දඩයක්කාරයාගේ සිතට නැඟි ප්රහර්ෂය එලෙසම මේ අවස්ථාවෙහිද ඔහු සිත් විලෙහි ඉපිද ඒ සතුට නම්වූ නිල්වන් දියෙන් පුරවා ලීය.

දඩයක්කාරයා සිහිනෙනුදු අපේක්ෂා නොකල,, ඔහුගේ පියාණන් සතුවූ මේ අසමසම සහ අපූර්ව හැකියාව ඔහු සිතෙහි ප්රහර්ෂයට අමතරව ඇතිකලේ බලවත් ආනන්දයක් හා මුසුවුනු පි‍යාණන් කෙරෙහි මහත් ගෞරවයකි.

පියාණන් හට පිළිවදන් දිය යුතුයයි සිතූ දඩයක්කාරයා '' එහෙමයි අප්පච්චි '' යන සිතුවිල්ල සිතෙහි උපදවා දෑස් පියා ගත්තේ ගෙමිදුල මධ්යයෙහි පිටුපා සිටිනා පියාගේ රුව සිතෙහි චිත්රණය කොට ගත්තේය.

එකෙණෙහිම දෑස පියා සිටියද පියාගේ මුවෙහි නැඟි මදහස ඔහුගේ සිතෙහි ඇඳීගියේ, පියා ඔහුගේ ප්රතිචාරය ග්රහණය කොටගත් බව කිසිදු සැකයෙකින් තොරවමැ ස්ථිර කරවමිනි.

තුරු අගිසි අතරින් පෙරී පැමිණි සඳ එළිය පෙත් මඟ මුළුල්ලේ සිත්තම් කල අපැහැදිලි රටාවන් මත දිගු පියවර තබමින් මහ දඩයක්කාරයා ගමන් කරමින් සිටියේය.පුළුල් ළයමඬලෙහි හොවාගත් බිරිඳගේ සිරුර ඔහුගේ ශක්තිමත් සහ හැඩිදැඩි සිරුරට වෙහෙසක් කිසිසේත්ම ගෙන නොදුන්නේ වුවද හෙතෙම ගමන් කලේ සෙමෙනි.කිසිදු කඩිනමක් කොහෙත්ම විද්යාමාන නොවූ ඔහු කෙරෙන් දඩයක්කාරයා දුටූයේ කලයුතුම වූ එසේ වුව ද දැඩි අප්රසන්න එමෙන්ම සංවේගජනක වූ කාර්යයක් සුළු මොහොතකට හෝ ප්රමාද කිරීමේ අටියකි.

යවුල ද කරතබාගත් දඩයක්කාරයා ද පියාගේ පියවර අනුව ඒ පසුපස පියමැන්නේය.කිසිදු නිශාචර සත්වයකුගේ හඬක් අවම වශයෙන් බස්සකු හෝ බකමුහුණකුගේ පියාපත් සැළීමක් පවා සවනට නොවන් ඒ සිසිල් රාත්රිය පූර්ණ නිශ්ශබ්දතාවයෙහි ගිලී තිබුණේ මහ වනය සම්පූර්ණයෙන් වැසී යනසේ ශබ්දය විනිවිද නොයන පලසක් ඒ මතා එලා ඇති කලෙක මෙනි.

වරින් වර තුරු පත් සොලවමින් ඇඳී ආ මඳ සුළඟ ද නිමේශයකට පසු නිහඬවූයේ එලඹෙන්නා වූ අවස්ථාවේ භාරදූර, අනුවේදනීය එමෙන්ම හැඟීම් බර ස්වභාවය හදිසියේම වැටහී ගිය පරිදිය.

ගෙපැල අසලින් දිවෙන පෙත්මඟ ඔස්සේ මහ වනය තුලට හෝරාවක පමණ ගමනකින් පසු ඉන් ඉවත්ව, මහ දඩයක්කාරයා පිවිසියේ තැන තැන වැඩුණු තුඟු විසල් රුක් ගොමුවෙන් සැදුම්ලත්, නෙත ගැටෙන මානය තෙක් පැතිරුණු, තණ පිටියක් වන් තලාවකටය . අවපස සැපත් සඳ මඩලේ දුබල ආලෝකයෙන් පවා දඩයක්කාරයා මේ පිවිස සිටිනුයේ තමන් මෙතුවක් කිසිම දිනෙක පය නොගැසූ භූමි භාගයකට බව සැකහැර දත්තේය.

මේ භූමි භාගය පිළිබඳව වැඩි මනත් තොරතුරු දැනගනු රිසියෙන් සිය පියා බණවා ඒ පිළිබඳව විමසීමට සිත් වුවද, එසේ කොට පියා සමවැද සිටිනා දැහැන බිඳීමට දඩයක්කාරයා රුචි නොවීය.තමන් අතපත් වූ කිසිසේත් වටහාගත නොහැකි වුවද එහෙත් කිසිදු සැකයෙකින් තොරව අපූර්ව සහ අනුපමේය වූ හැකියාව නිසා පියාණන් පසුපස පියවර මැන්නද දෑස් පියාගත් කෙනෙහි පියාගේ මුහුණ දඩයක්කාරයාගේ සිතෙහි ඇඳීගියේ අනායාසයෙනි.පියාගේ මුහුණෙහි රැඳි දැඩි අධිෂ්ඨානාත්මක වෙස මෙන්ම කෙලින්ම ඉදිරිය බලා පිය මනිනා ඔහුගේ දෑසෙහි වූ සංවේගයෙන් පරිපීඩිත බැල්ම ද ඔහු බණවා විස්තර විමසීමට දඩයක්කාරයා පසුබට කරවීය.

එහෙත් ඒ සමඟම සිතට වන් අපූර්ව සිතුවිල්ලක් ඔහුගේ මුවට මඳ සිනහවක් නැංවීමට සමත් විය.පියාණන් ගේ මුහුණ සිතෙහි මවා ගත් ඔහු එවර තැත්කලේ මහ දඩයක්කාරයාගේ සිතට පිවිස ඔවුන්ගේ ගමනේ ඉලක්කය වී භූමි භාගය පිළිබඳ තොරතුරු ලබා ගැනීමටය. එහෙත් කොපමණ උත්සාහ කල ද ඒ වෑයම අසාර්ථක වූයේය. ඔහු සිතට පිවිසියේ දිනෙක වන මැදින් ගලා බසින දොළෙහි ස්නානය කරමින් සිටි විටෙක හදිසියේ ඇති වූ සිතුවිල්ලක් පරිදි දොළ මධ්යයේ පිහිටි මහ ගල් කුලක් තම දෑතින් තල්ලු කිරිඅමට ගත් අසාර්ථක උත්සාහයයි.

එදින අසාර්ථක උත්සාහයෙන් පසු සිතෙහි හටගත් හුදෙක් පසුතැවීමක්ම නොවූ කෙළිලොල් සිතුවිල්ල හා සර්වසම වූ සිතුවිල්ලක් මෙවිටද හට ගත්තේ පියාගේ සිතට පිවිසීමට අසමත් වූයේ පියාණන් ඊට ඉඩ නොදුන් නිසා බව ඔහු දැන සිටි හෙයිනි.එසේම දඩයක්කාරයා මින් කරුණු දෙකක් වටහා ගත්තේය. එනම් කිසිවකුගේ සිතට පිවිසීම එතරම් පහසු නොවන්නා සේම පියා තමනට ඒ සඳහා ඉඩ ලබා නොදෙන්නේ තමන්ගේම සුබ සිද්ධිය වෙනුවෙන් බවත්ය.

කුඩා කඳු ගැටයකට නැඟුනු ඔවුහු එහි නැගෙනහිර බෑවුම ඔස්සේ පහතට බැස සුවිසල් රුක් ගොමුවකින් වටවුනු පියවර සාරසියයක් පමණ විෂ්කම්භයෙකින් යුක්ත වූ වෘත්තාකාර භූමියකට පිවිසියහ.

එම භූමි භාගයේ වූ අද්භූත ස්වභාවය එහි ප්රවිෂ්ඨ වන්නා හාම දඩයක්කාරයාගේ ගතට මෙන්ම සිතට ද දැනී ගියේ එක් වනමය. උදෑසන හිරු උදාවට ඇත්තේ උපරිම වශයෙන් දෙහෝරාවක් පමණ කාලයක් වුවද පුදුමයකට මෙන් අවට පරිසරයේ වූ දැඩි ශීතල ස්වභාවය මේ පීඨිකාව, යථෝක්ථ භූමිභාගය කුමක්ද ඒ කුමන කාර්යයක් සඳහා නිර්මාණය වූවක් ද යන්න පිළිබඳව ස්ථිරව දැනුවත් වන තෙක් අපි ඒ පීඨිකාව යයි හඳුන්වමු; අවට පරිසරයේ වූ දැඩි ශීතල ස්වභාවය පීඨිකාව අභ්යන්තරයෙහි නොවූවා මතු නොව ගත මෙන්ම සිත ද සතපවනා මඳ උණුසුම් ස්වභාවයක් එතුල වූ බව දඩයක්කාරයාට එකෙණෙහිම ගෝචර විය.

වරින් වර වළාවන් පසුපස සිට ලොව ආලෝකමත් කරනා සඳ මඬලේ දුබල එළියෙන් පීඨිකාව වටා සම දුරින් පිහිටි ශෛලමය ප්රතිමා වන් යමක් ඉදිරිපස පෘෂ්ඨයෙහි නෙලා තිබූ ගල් කුළු වැන්නක් දඩයක්කාරයාගේ නෙත් ගැටුණේ වුවද ඒ පිළිබඳ සවිස්තර සෝදිසියකට පැවති ආලෝකය කිසිසේත් ප්රමානවත් නොවිණි.

ප්රමාණවත් ආලෝකයක් පැවතිය ද ඔහුගේ කුතුහලය සිඳුවා ගැන්මට ඒ අවස්ථාව නොවන බව ද දඩයක්කාරයා දත්තේ ඉදිරියේ ගමන් කරනා පියාණන් ගේ නොඉවසිලිමත් කැඳවීම විටින් විට සිත් ද්වාරය විවෘත කොට පිවිසි හෙයිනි.

පීඨිකාව ස්වාභාවික නිර්මාණයක් නොව මිනිස් හස්තයෙන් නිම වූවක් බවට එහි මතුපිට එකම මට්ටමට නිමකර තිබූ ආකාරය නිහඬව සාක්ෂි සැපයීය. එහි මධ්යයේ පියවර දෙසියයක පමණ විෂ්කම්භයෙන් යුත් වෘත්තයක් සළකුණු කොට තිබුණේ පොළව මට්ටමට ගිල්වුණු සුදු පැහැයෙන් සඳ එළියේ දිදුල පාෂාණ විශේෂයකිනි





මධ්යයේ වූ කවයට පිවිසීමට පෙර එහි පරිධියේ නතරවූ දඩයක්කාරයා කිසියම් ශ්ලෝකයක් හෝ මන්ත්රයක් වැන්නක් තෙවරක් තොළ මැතිරීය. ඒ මධ්ය වෘත්තයට පිවිසීමට අවසර පදය බව දඩයක්කාරයාට අවබෝධ වූයේ නිරායාසයෙනි.ඒ සිතුවිල්ල සිතට පිවිසෙන්නා හා සමඟම මොහොතකට විවෘත වූ මධ්ය වෘත්තයේ දිස් වූ දර්ශනය දඩයක්කාරයාගේ සිත විශ්මයෙන් ඇලලවීය.

මතු සම්බන්ධයි........

36 comments:

  1. මහ දඩයක්කරු ඔහුගේ හිතට රිංගීමට පොඩි දඩයක්කරුට ඉඩ නොදෙන්නේ එහි අනිවාර්යයෙන්ම සැඟවියු යුතු යමක් තියන නිසාය. පොඩ්ඩිට උවමනා වන්නේ එය උඩට ඉස්මතු කර ගැනීමය.

    අර දිදුලන පාෂාන අපේ රටේ තිබෙන්නක්සේ නොපෙනුනත් ඉන් කතාවට එක්ව ඇත්තේ බියක්, කුතුහලයක් හා ත්‍රාසයකි.

    කතාවේ ගලා යෑම හොඳය. සද්ද නගා කියවනවිට මනරම් භාෂාව ගැන කීමට වචන නැත්තේ එම භාෂාව ගැන පොඩ්ඩි නොදන්නා නිසාය.

    එහෙත් අසුනටම ඇලවී, නෙත් දල්වාගෙන, කතාවේ ඊලඟ කොටස එනතුරු වැඩටත් නොයා බලා සිටින්නී පොඩ්ඩීය. :D

    ReplyDelete
    Replies
    1. //පොඩ්ඩිට උවමනා වන්නේ එය උඩට ඉස්මතු කර ගැනීමය//

      අඳෝමැයි !! මෙය නම් මුළු මහත් ස්ත්‍රී පක්ෂයේමැ උප්පත්ති ගෘහයෙහි සිට පැවතෙනා නොමනා කටයුත්තක් මැයැ. පුරුෂන් තුල සැඟවී පවතිනා දෑ "උඩට ඉස්මතුකොට" මතුයෙහි මේ පුරුෂයන් යනු අමන, ස්ත්‍රියන්ටම හදි කිරීමේ චිත්තයන් පෙලෙනා උන් යැයි දසත කළඹවයි.

      අහෝ ! පුරුෂ සංහතියට වී ඇති විපත්තියක මහත !!! ස්ත්‍රීන්මැ ගිය රටෙකි !!!

      Delete
    2. @ Poddi,

      / මහ දඩයක්කරු ඔහුගේ හිතට රිංගීමට පොඩි දඩයක්කරුට ඉඩ නොදෙන්නේ එහි අනිවාර්යයෙන්ම සැඟවියු යුතු යමක් තියන නිසාය. /

      ආ...ඔය කිව්වෙ...ඔය කිව්වෙ...ඔන්න කිව්ව....මුන්දැ නොදන්න ඉලව්වක් තියනවය ආය මේ සක්වල ගලෙම් මෙහාපැත්තෙ?.....තියනව උඹෙ ආච්චිගෙ....මම කිව්වයි කියල හිතාගං......හෙහ්, හෙහ්,

      හපෝයි, මේ මහගෙට උත්තර දෙන්ට ගියාම හැමදාම මගෙ වියත් බසත් අමතක වෙනව නෙව..:( :(

      එම්බා චුල්ල කුමරියනි, තොප අතැඹුලක් සේ නොදන්නා කිසිදු ඉලව්වෙක් චක්‍රවාට ශෛලයෙන් මෙපිට නොමැත්තේමය. එබැව් සක්සුදක් සේ දත්තෙමි.....හෙහ්යැ, හෙහ්යැ,

      එහි ඇත්තේ තොපගේ මිත්තණියගේ..... මවිසින් පවසන්නට යෙදුනේයයි උදක්මැ සිත්හි තබා ගනුව,

      මෙපමණ තිරසාර ලෙසැ මහ දඩයක්කරුගේ සිතෙහි ඇති දෑ ගැන අනාවැකි පවසනුයේ තොප මසිතට ප්‍රවිෂ්ඨ වීමට සමත් වූ සෙයක්දැයි මසිත කුකුසෙක් ඉපැදෙයි....

      / පොඩ්ඩිට උවමනා වන්නේ එය උඩට ඉස්මතු කර ගැනීමය. /

      එච්චරද ඕන මයෙ අම්මට?....වෙන මොකවත් එහෙම එපා?

      එසේමැ තෙල වියත් පඬිවර නවමාභිධානයන් බෙගෙවින් පිරිසිඳැ පැවසූවාක්මෙන් සැඟවුනු දෑට එළෙස පාඩුවෙහි ඉන්නට නොදී, බෙහෙවින් පරසිදු ආප්තෝපදේශෙකුදු පැවසෙන්නා සේ අංගුලිකා රුවා පියා මතුකොට ගත්තාහු ඉනික්බිති ඉබාගාතේ සරන ආශිර්විශයින් ඇඳිවතෙහි රුවා ලා පියා භක්ෂණය කරනෝ, භක්ෂණය කරනෝ යැයි විලාප නඟමින් හිස් ලූ ලූ අතැ ධාවනය කරන්නා සේ කිරීමට තොපට සිදුනොවුවහොත් මා ප්‍රවෘජ්‍යා භූමියට පිවිසෙනුයේ කේෂ කලාපය දැ සහිතවමයැ,චුල්ල කුමරියනි කේෂ කලාපය දැ සහිතවමය.

      "/ අර දිදුලන පාෂාන අපේ රටේ තිබෙන්නක්සේ නොපෙනුනත් ඉන් කතාවට එක්ව ඇත්තේ බියක්, කුතුහලයක් හා ත්‍රාසයකි. /

      "

      පලමුව පැවසිය යුත්තේ කිසිසේත් ඒ දිදුලන පාෂාණ වර්ගයෙක් නොවන බවය.දිදුලන්නා සේ දඩයක්කාරයාහට ඒ දිස් වූයේ හුදෙක් ඒ මත සඳ රැස් පතිත වීම කරණ කොටගෙනය.

      අහා, චුල්ල කුමරියනි..එසේවීනම් මෙලොව තොප ද නොදන්නා දෙයක් ඇත....:) :)..... ඩාවින් නුවරැ ආසන්නයෙහි දිදුලන පාෂාණ වර්ගයක් ඇත.

      සුපුරුදු ලෙස ඔබට මගේ නොවක් තුතිය..චු.කු. මෙනවියනි.... :) :)

      Delete
  2. හුටා! මිනිය වළලන්ට යන්නෙ Stonehenge වලද..?? එතකොට එතනට දඩයක්කාරයා ආවෙ කොහොමද..!!?? බුවාට උඩින් යන්නත් පුළුවන්ද..!!??

    ReplyDelete
    Replies
    1. අහා... ! මෙම කථාංගයෙහි ඇත්තාවූ විශ්මයාර්ථය බුරාබුධාන කෙළඹියාගේ විධග්ද භාෂා ශෛලිය සහමුලින්ම අමතක කර දැමීමට සමත් වී ඇතිසෙයකි. ලපැටි වියෙහිදිම පරිෂීලනය කරන්නට යෙදුනාවූ වාත්ස්‍යායනයන්ගේ කාම සූත්‍රය, ස්ත්‍රී චිකිත්සාවලිය, සිතියම් සහිත ස්ත්‍රී නිල ශාස්ත්‍රය වන් මහාර්ඝ පුස්ථකයන් පුස්සක් වූ අයුරු නෙත් අදහා ගත නොහැක් මැයි.

      Delete
    2. @ Buratheno,

      / හුටා! මිනිය වළලන්ට යන්නෙ Stonehenge වලද..?? එතකොට එතනට දඩයක්කාරයා ආවෙ කොහොමද..!!?? බුවාට උඩින් යන්නත් පුළුවන්ද..!!?? /

      එම්බා කෙලෙඹි පුත, වදන් භාවිතයේදී ප්‍රවේශම් වුවහොත් යෙහෙකි.මේ දඩයක්කාරයාගේ පරපුර වනාහී හුදු ලක්දිවෙහි සිට බිරිතනියට මොහොතකින් ළඟාවීම වන් සිල්ලර කාර්යයෙක් මතු නොව තොපට ස්වප්නයකින් හෝ සිත්හි මවා ගත නොහැකි පමණ කාලය සහ අවකාශය පිළිබඳ විස්කම් පෑමෙහි සමත් වූවෝය.

      එහෙත් මෙහිලා ස්ටෝනහෙන්ජයෙහි සේයා රුවක් මවිසින් යොදන ලදුයේ වත්මන් කථාංගයට සරිලන වෙනත් සේයාරුවෙක් අන්තර්ජාලය පීරා සෙවුම් කොටදැ බාගත නොහුණු කලයැ. සුදුසු සේයරුවෙක් සෙවීමෙහිලා නොමද සහයක් ලබාදුන් මා සොයුරි සිත්තමියට මාගේ කෘතගුණ පළකිරීමෙහිලා ද මේ අවස්ථාවක් කොටැ ගන්නෙමි.ස්තූතියි...සිත්තමි....:) :)

      Delete
    3. මෙවන් වියත් බස් වහරකින් පිරිනැමූ තුතියක් උදෙසා ලබා දීමට සුදුසු ප්‍රතිචාරයක් මාගේ ඥානකෝෂයෙහි නොතිබූ බැවින් ඒ පිළිබඳව වියත් දැනුම් සම්භාරයකින් හෙබි ඇදුරුතුමෙකුගෙන් විමසා සිටියෙමි. එතුමා ලබා දුන් පිළිතුරෙන් ඔබ මා වෙත පිරිනැමූ එම තුතියට හෘදයාංගමව මෙසේ ප්‍රතිචාර දක්වමි.

      ඔබගේ ස්තූතියට මාගේ ස්තූතිය!!!

      ඔන්න තේරෙන සිංහලෙන්ම කියනවනම් You are welcome Ravi Ayya!

      Delete
    4. අදෝමයැ.. මලාමයැ.. එසේ නොපවසන්න මා ප්‍රිය නවමාභිධානයෙනි.. මේ කතාංගය අවසානභාගය කියවා හමාරවනවිට මට හැගුනේ දඩයක්කාරයා පැවතෙන්නේ බිරිතානදේසයේ පුරාතනයේ විසූ සෙල්ටික් ජනයාගෙන් හා ඩෘයිඩ් පූජකවරුන්ගෙනි කියාය.. මන්දැ මෙවැනි අරුම-පුදුම අවමංගල කෘත්‍යයන් පිළිබද ඔවුන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුළන බැවිනි.. රවියාභිධානයන් ඉහත පවසන අන්දමට එයත් වියනොහැක්කක් නොවන බව මට සිතේ..

      Delete
    5. එසේ මැයි ! සුනාපරන්ත දේස වාසී රවියාභිධානයන් එහි නිරන්තරයෙන් පවතින්නාවූ චන්ඩ සූර්ය රශ්මියෙන් මඬනා ලදුව විකල් වූ සිහියෙන් කරනට යෙදුනාවූ මෙම බහු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විතවූ සමාජීය හරස්කඩයෙහි විලෝපනයන් ප්‍රකට වන්නාවූ පුද්ගල චරිතයන්ගෙන් සමන්විත වන්නවූ මෙම කථාන්දරයේ අවසනක් එලවාගත් සිහි ඇත්තෙකුට ග්‍රහනය කරගත හැකි හෙයින් බුරාභිදානන් හට සිය වියත් බස් වහර අමතක වීම අරුමයක් නොවේ යැයි මඳින් මඳ මා හටද හැඟී යයි.

      ප.ලි: මේ රාජකාරිය අවසන් කොට මා එන තෙක් ආරෝග්‍ය ශාලාව අසල පුල පුලා මඟ දෙස දෑස් දල්වා බලා සිටිනා ප්‍රිය අඹුවද කැ‍ටුව දිවා සු‍රැකුමේ ‍රැඳි මා ප්‍රිය පුතණුවන් දකිනි වස් ලහි කොට අජානේය අසු ඇඹීමට සූදානම් වන මොහොත හෙයින් හෙට දිනයේ නැවතත් රස ආකරය කැලතීමට පැමිණෙන තෙක් සුබ දවසක් !

      Delete
    6. @ නවම්,

      අහා, ප්‍රීතියි, නවමයනි, ප්‍රීතියි,

      තොප වත ඇසැ ගැටෙනා තෙක් උදක්මැ නෙත් දල්වා මඟ බලා සිටිනා චුල්ල් මාණික්‍ය නම් වූ ඒ තොප පාදපරිචාරිකාවන්දැ ; සත්‍ය වශයෙන්මැ පාදපරිචාරිකාව යන්න නිරවද්‍ය නොවේ.අතීතයෙහි ඒ එසේ යෙදුනු බැව් සැබවි...එහෙත් සිහල බස යනු අවශ්‍යයෙන්මැ ගතික බසෙකි.සංශෝධිත නිරවද්‍ය වදන් නිපදවා ගැන්ම ඒකාන්තයෙන්මැ බස හසුරුවන්නාවූ අප සතු කාර්යයෙකි. එ

      සේ හෙයින් පාදපරිචාරිකාව වෙනුවට යතුරුපැදි පශ්චිම ආසනාරූඪිකාව යන වදන යොදා ගනිමු...හෙහ්, හෙහ්, මනරම් වදනක්මැ නොවන්නේද මා මිතුරු නවමයනි? ;

      එසේ හෙයින් යතුරුපැදි පශ්චිම ආසනාරූඪිකාවද, ඒ එසේම පුත්‍ර රත්නයදැ කැටුව වහා නිවෙස කෙරේ සැපත් වනු මැන.දඩයක්කාරයා මෙන්ම පියවර සාරසියයක් විෂ්කම්භයෙන් යුතු සඳ රැසින් නැහැවුනු පීඨිකාව ද ස්මරණයෙන් බැහැර කොට රාත්‍රි කාලයෙහි ඔවුන් හා සමඟ ජීවිතයේ රසය නම් මේ යයි පසක් කොට ගනු මැනව.

      ඔබ තිදෙනාටද සුබ දවසක්!!!

      Delete
    7. //පශ්චිම ආසනාරූඪිකාවද//

      කුමන නම් ආශ්චර්යයක්ද ! හෙළ වදන් කෝෂයට නැවුම් අර්ථ සම්පන්න වදන් ‍රැසක් දායක කිරීමෙහි ලා ඉ‍ටු කරනා මාගැඟි කර්තව්‍යය උදෙසා සූර්යාභීතකේසරයා උන්ඩා අභිනන්දනයෙන් පිදිය යුත්තේ ම යැ.

      එනමුදු මෙවැනි වියත් බසකට ආගන්තුක වූ මා ප්‍රිය චුල්ල මානික්‍යයෝ මෙහි සඳහන් "පශ්චිම ආසනාරූඪිකාව" යන වදන අක්ෂි ගට්ථනය වුවහොත් මේ කුමන නම් පර ස්ත්‍රියකදැයි මා කෙරෙහි සැක උපදවා මෙතුවක් කල් ලබා දී තුබූ ආහාර සලාකපත යලි ඈ සන්තකයට ගනු නියතයැ. එහෙයින් මතුයෙහි කුමක් කල යුතුදැයි පාෂාන මස්ථක පැහැරූ බිළාල පෝතකයෙකු මෙන් විපිළිසරව හිඳිමි.

      Delete
  3. කලක් ආඪ්‍යව පැවතියාවූද කාලයා විසින් ක්‍රමිකව අභාවයට යවන ලද්දාවූද මහා සංස්කෘතියක නෂ්ඨ වූ අවසන් පුරුක් කිහිපයක ජීවන කතාන්දරයක් මෙම වියුණුවෙන් පිලිබිඹු කරතැයි හැ‍ඟේ. ඔවුන් සංස්කෘතීන් දෙකක් අතර තෙරපී ද්විත්ව පාර්ශවයන්හිම සංලක්ශණ උකහා ගෙන ඇතිබව පෙට්ටගම්, ශ්වේත පිළි, හා වත්මන් ලෝකයට ආගන්තුක වූ අවමංගල්‍ය විධික්‍රමයක් පිළිබඳව සැලකීමේදී මොනවට පැහැදිලිවෙයි.

    ReplyDelete
    Replies
    1. එසේමයැ නවමුනි, හොපගේ සංජානනය මෙන්ම පුරෝ කථනය දැ ක්ෂීර වෘක්ෂයට ඛේඨ මොහොළෙකින් ඇන්නාක් බඳුමය....පිලී හිස සිසාරා තෙයලක් ඔල්වරසන් දෙන්නෙම් මා සොයුර තෙයලක් ඔල්වරසන් දෙන්නෙම්...

      Delete
  4. අද නොදන්නා වචනය : //ප්රහර්ෂය// දවසට එක ගානේ ඉගෙනගත්තත් මදය්
    මහා දඩයක්කාරයා මොන හරි කරලා ටෙලෙපති පවර් එක ගත්ත කියමු, එත් පොඩි දඩයක්කරය්ට කොහොමද බොලේ එක නිකන්ම හම්බුනේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රහර්ෂය යනු සතුට යන අරුත් ගෙන දෙන්නේය මෙකුවියනි,

      / මහා දඩයක්කාරයා මොන හරි කරලා ටෙලෙපති පවර් එක ගත්ත කියමු, එත් පොඩි දඩයක්කරය්ට කොහොමද බොලේ එක නිකන්ම හම්බුනේ? /

      ඒ අද්විතීය හැකියාව වනාහි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ඇරඹී පරපුරෙන් පරපුරට උරුම වන්නකි.දඩයක්කාරයා තුල නිසැක ලෙසම ඒ හැකියාවේ සේයාවෙක් සැඟවී පැවතිණැ.මහ දඩයක්කාරයා විසින් කරන ලද්දේ සුළු පෙළඹවීමෙක් මඟින් ඒ හැකියාව උත්තේජනය පමණකි.

      එතෙකුදු ඒ මහඟු හැකියාව වර්ධනය කොට ගැන්මෙහිලා සතතාභ්‍යාසය ඉතා වැදගති.

      Delete
  5. මේ කතාවත් කියල ඉවර වෙනකම්ම සද්ද නැතිව කියවගෙන යන්න කියල ඉන්නෙ රවි අය්යෙ...

    නිකන්ම කියවනකොටත් ලියන්න කම්මැලි හිතෙන්න ඉඩ තියෙන නිසා කියවන බවට දැනුම් දෙන්න කමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. මම දන්නව චේජනා....ඔයා දිගටම කියවනව කියල මම දන්නව නංගි,

      ස්තූතියි බොහොමත්ම...:) :)

      Delete
  6. ත්‍රාසජනකයි.. උද්වේගකරයි... හපෝයි පපුව ඩග් ඩග් ගාන කොටම මතු සම්බන්ධයි... :( :( :(

    රවි අයියේ, ඔය දඩයක්කාරයට හුරතල් සතෙක් හෙම නැද්ද? අර ටාසන්ට චීටා හිටියා වගේ? වැඩි සද්ද බද්දයක් නැති මුවෙක් හරි, රාජාලියෙක් හරි වගේ සතෙක් හිටියනං කතන්දරේ කොහොම තියෙයිද කියලා මට නිකං හිතුණා. එහෙම උනානම් ඔය චරිතේ තියෙන අධ්‍යාත්මික ගැඹුරු බවත් එක්ක සරල සැහැල්ලු බවත් ඉස්මතු කරන්න ලේසි වෙයි කියලා හිතුණා. මට එහෙම හිතුණට ඉතින් කතන්දරේ තව කොච්චර දේවල්නම් තියෙනවද අපිට ඉස්සරහට කියවන්න. දඩයක්කාරයගෙ පරම්පරාවෙ අභිරහස, ගඟේ ගහගෙන ගිය ගෑණු ළමයව බේරගන්න එක, එයා එක්ක පවුල් පන්සල් වෙන එක.. රවි අයියා මෙච්චර කාලෙකට බ්ලොග් එකේ ලිව්ව දිගම කතාව වෙන්නෙ මේක තමයි ඔන්න. ඒ එක්කම, සලීම්ගෙයි අනර්කලීගෙයි කතාව කියෙව්වට පස්සෙ මේ තරම් කුතුහලය රඳවගත්ත කතාවත් මේක තමයි. ඊලඟ කොටස දාන්නනම් ඔන්න මෙච්චර කල් ගන්න එපා හොඳද? කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. / අර ටාසන්ට චීටා හිටියා වගේ? වැඩි සද්ද බද්දයක් නැති මුවෙක් හරි, රාජාලියෙක් හරි වගේ සතෙක් හිටියනං කතන්දරේ කොහොම තියෙයිද කියලා මට නිකං හිතුණා. /

      අහෝ තොපට නම් ලතෙත් ගුණයෙක් කැලමැ නැත්තේමයැ...උදාර නිර්භීත එමෙන්මැ වර්තමානයේ පවා මෙදියත විදු නැණෙහිලා කිරුළු පලන් අමරීක දේශයෙහිදු පවා පර්යේෂණ මට්ටමෙහි පවත්නා විශ්මිත හැකියාවකින් සන්නද්ධ, මා රාත්‍රියෙහි පශ්චිම යාමය තෙක් පවා නිදි වර්ජිතවැ මසිත් සන්තානයන්හි උපන් සෙනෙහෙවත් දාරකයකු හදා වඩා ගන්නා අයුරෙකින් නිර්මාණය කල, ඒ අපූර්වතම චරිතය දඩයක්කාරයාණන්ගෙ භූමිකාව චිම්පන්සියකු උරෙහි රඳවාගත් ටාසනයෙකුට එසේත් නැතහොත් රාජාලියකු හෝ මිගයකු යන යන තන්හි පසුපස ගමන් කරනා වනචාරියකුට උපමා කොට තොප මේ කලේ සාපරාධී අපහාසයෙකි, මා නැඟනියනි, එපවත් නොවළහා දනුව...

      මෙවැන්නක් තොප වෙතින් කිසිදු දිනෙක අපේක්ෂා නොකලෙමි දයාබර සිත්තමියනි...මසිත් සැඩ හිරුරැසින් හේබා හරිත වර්ණය පඬුවන් පැහැයෙකට හැරුණු ලතණ තලාවක් මෙනි...අහෝ අහෝ.....මෙවන් සොවක් විඳීමට මේ මා පෙර ආත්ම භාවයෙක කල යම් පාප කර්මයෙක්ම විය යුතු. මේ ආත්ම භාවයෙහි නම් මෙතරම් දරුණු වූ පාපයෙක් කල මතකයක් නම් නැත්තේමය.

      දනුව, එක් වරම මසිතට නැඟී ගියේ මේ ගෙවෙනා මැදින් මසෙහිම දුරාතීතයෙහි සිදුවූවෙකි.ඊට අදාල ලොව පුරා පරසිදු දෙබස් ඛණ්ඩය සවන් වැකි වහාම තොපට ඒ සිහියට නැඟෙනා බවට කිසිදු සැකයෙක් නැති.

      Et tu Brute?

      අහෝ, බුරුතසය..ඔබත්???

      එසේ හෙයින් මම ද පවසම් මෙසේ...:( :(

      Et tu Siththami?

      අහෝ සිත්තමියනි...ඔබත්???

      / රවි අයියා මෙච්චර කාලෙකට බ්ලොග් එකේ ලිව්ව දිගම කතාව වෙන්නෙ මේක තමයි ඔන්න. ඒ එක්කම, සලීම්ගෙයි අනර්කලීගෙයි කතාව කියෙව්වට පස්සෙ මේ තරම් කුතුහලය රඳවගත්ත කතාවත් මේක තමයි /

      දිගම කතාව වෙන එකක් නෑ බොලේ....ආදර නිල් දෑසේ කොටස් විසි තුනක් ලිව්ව නෙව...අන්තිමට ලියාපු පසු කතාවත් එක්ක.....හෙහ්, හෙහ්,

      ලියන්නම් නංගි ලියන්නම්...හෙහ්, හෙහ්, මේකෙ වැඩේ එක එක දවසට එක එක හිතෙනව නෙව...අරම ලිව්වොත් හොඳ නැද්ද?...මෙහෙම ලිව්වොත් හොඳ වෙයි ඊට වැඩිය...ඔන්න ඔය වගෙ...ඇත්තම කිව්වොත් මේ පීඨිකාවෙයි, අසාමාන්‍ය බලයෙයි වැඩේ මට හිතුනෙ පස්සෙ.මුලින්ම දඩයක්කාරයාට මම ආරෝපණය කරන්න හිතුවෙ බොහොම සුළු හැකියාවක්...ඒකයි මට මතක විදිහට මම මුලින්ම ඔයාට කිව්වෙ කොටස් උපරිම හතරක් නැත්නම් පහක් ඇදෙයි ඊට වඩා නෑ කියල....සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ කියල කියන්නෙ නිකමටම නෙවෙයි නෙව...අන්තිමට ඔන්න වෙච්චි දේ.....

      Delete
  7. ඉවර වෙනකල් මුකුත් නොකියා ඉන්න එක හොදයි වගේ..:)))

    ReplyDelete
    Replies
    1. අහා, නිසුපාවෙනි, තොප වනාහී මහ නුවණැත්තියක බව පෙරකල සිටම දැන සිටියෙමි...:) :)

      Delete
  8. මචං දඩයක්කාරයෙක්ගේ හිත මේ වගේද බං..

    බිරිද මැරුණම හැසිරෙන විදිහෙන් දඩයක්කාරයෙක්ගේ ඇතුලාන්තය මරුවට පෙන්නල තියෙනවා බොල... ලිවිල්ල සුපිරි..

    (අද නම් නිදහසේ කියෙව්වා..)

    ReplyDelete
    Replies
    1. / (අද නම් නිදහසේ කියෙව්වා..) /

      අද දින වෙසෙසින්මැ නිදහසේ කියවන්නට හැකිවූයේ මක් නිසාද?...තොපගේ ඇඹේණියන් කුමන හෝ කාර්යයකට නිවෙසින් බැහැරව ගොස් ඇති සෙයක්වද?

      ස්තූතියි සෑමාණනි,

      Delete
  9. අහෝ මේ වියත් රචනාව වූ කලී මාගේ චිත්තය අන්දමන්ද කිරීම උදෙසාම පබදින ලද්දැක්දයි මා කෙරේ සැක පහලව ඇත.

    ReplyDelete
    Replies
    1. අහෝ, සිතුවම මලණුවනි, තොප සිතන්නේ එළෙසද?....මා උදක් මේ වෘත්තාන්තය රචනා කරනුයේ තොපගේ චිත්තාභ්‍යන්තරය අන්ද මන්ද කිරීමටය යන්න තොපගේ ඒකායන විශ්වාසයයි, අහෝ..තොපගෙ එවදන් මසිත සොවින් පුරවා ලයි....ඉහියැ, ඉහියැ, ඉහියැ....

      Delete
  10. මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්

    ReplyDelete
    Replies
    1. ඔබා මාමේ මට හිනාව පිට උගුරු දණ්ඩ දිගේ ගියානේ....... :D

      Delete
    2. @ Observer,

      / මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන් /

      නවමුන් බුහුරන් සහ මවිසින් නොයෙක් බාධක දුෂ්කරතා මැඬගෙනැ හුදෙක් හෙල බසෙහි උන්නතිය තකාමැ ජිහ්වයන්දැ විකාගෙනමැ ලියූ වියත් භාෂා රචනාවන් පෙනේද මේ නුවණ මඳ පුඟුලානන් උපහාසයට පාත්‍ර කල අයුරු....

      තොප වන්නවුන්ගේ මෙවන් රොස් පරොස් වනාහී අපගේ මේ මහඟු ව්‍යායාමයට දිරි දෙන්නක් මිස කිසිලෙසකින් දුර්මුඛ කරවන්නක් නොවන බව උදක්මැ සිහිතබා ගනු යෙහෙකි.

      ඒ කෙසේද යත් අලගියවන් මුකවැටිදුන් එකල පැවසූවාක් මෙන් " සුවඳැති සොඳ සඳුන් රුක, සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"

      තොපගේ ටීකාවටැ මම මෙසේ හස්ත මුද්‍රාවෙන්මැ පිළිතුරු දෙමැ. ඒ කෙසේද යත් සුරතෙහි මධ්‍යාංගුලිකාව ඔසවා තබාලා පියා සෙසු අංගුලිකා චතුෂ්කය පහතට නවා සුරත ඔසවා දක්වන්නෙමි.

      Delete
    3. දමන්න පංචමයක් සූර්‍යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... මෙවන් අඳ බාල නුණුවන දනන්ගෙ රෝශ පරෝශයෙන් අපගේ මේ උත්සාහය බිඳකින් වත් අඩු නොවන බව සැබෑවක්මය..

      මමද මෙලෙසින් හස්ත මුද්‍රාවෙන්ම පිළිතුරු දෙන්නෙමි.. සුරතෙහි පළමු අංගුලිකාව ඔසවා සෙසු අංගුලිකාවන් නවා සුරත ඔසවා දක්වන්නෙමි..!!

      Delete
    4. එම්බා තෙල නිරීක්ෂකය, තොපගේ උක්ත අව්‍යක්ත තෙපළුමට මාගේ නොවක් ප්‍රතිචාරය;

      අධෝමුඛය උදෙසාම වෙන් වූ හස්ථයෙහි මහපඨාඅංගුලිකාව හා ආකෝෂ පරිභ්‍රවය පිණිසම නිර්මිත දබරාංගුලිකාවෙහි තුඩු එකිනෙක මතුයෙහි ගැඨීමෙන් නිර්මාණය වන්නාවූ අංගුලිකා වෘත්තයෙහි මධ්‍යයෙහි දක්ෂිණ හස්ථයෙහි දබරංගුලිකාව ඔබ්බවා ඔබ මොබ යවා දක්වමි.

      Delete
    5. @ Nawam & Bura,

      ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයුරනි,

      ඒ අවියත් වූ එමෙන්ම නුණුවන වූ නිරීක්ෂකයන්හට තොප දෙදෙන නිසි පිළිතුරු දී ඇත්තාහ. එසේමය. එසේමය.සිහල වියුණු අවකාශයේ දිදුලන උත්තර තාරකාවන් බදු වූ ද අවියත් බසින් ලියැවෙන වියුණු සටහන්හි භාෂා ව්‍යාවහාරය නඟා සිටුවනු වස් කිසිදු ලාභ ප්‍රයෝජනයෙක් නොතකාමැ කණකමය වූ තම කාලය ද නොමසුරුවැ වැය කරමින් එසේම තම විශිෂ්ඨ බුද්ධිය ද ඒ උදෙසාමැ මෙහෙයවමින් අප තිදෙන කරන්නා වූ මේ මහඟු මෙහෙයට උපහාර දක්වනු වෙනුවට මෙවන් ආක්‍රෝශ පරිභවයන්ට මුහුණ දීමට සිදු වීම ඇත්තෙන්ම ඛෙදවාචකයක් නොවන්නේ නම් ඛෙදවාචකයක් යනු කිමෙක්දැයි මම නොදන්නෙමි.

      වන්නාටයැ, කම් නැත, අප තිලෝගුරු පියාණන්ගේ පවා හිසට මහත් වූ පර්වත පෙරැලූවන් එකල්හි හුන් බව සිහිකරැ සැනැසෙම්හ.

      එසේමැ විළිබියෙක් සුන්සහල් කඩෙක පමණ හෝ ඇතිනම් නිරීක්ෂකයන් නැවත අප හට අකුල් හෙළීමට නොපැමිණෙනු ඇත.එතෙකිදු වුව ප්‍රවේශම් වුවහොත් මැනවැයි හඟිමි, හේ තෙමේ වනාහී විළිබිය යනු කිමෙක්දැයි තිබියේවා එවන් වදනක් පවතින බව පවා නොදන්නා පුඟුලෙකැයි මසිතෙහි කුකුසෙක් ඇත්තාහ.

      කම් නැතැ මා දයාබර නවමුනි, බුහුරනි,, අප මෙසේ සපථ කර සිටුම්හ,

      අපගේ මේ ව්‍යායාමය කිසිසේත්ම අපගේ සුව කල නොහෙනා මස්තිෂ්ක ආබාධයෙක් කරණ කොටගෙන නොවන අතර හුදෙක් සිහල වියුණු බස වියත් වහරෙක් බවට පත්කිරීමෙහිලා දැඩි අධිෂ්ඨානයෙන් යුතුවැ දිවි පරදුවට තබා කෙරෙනා ව්‍යායාමයක් බවට ද එසේම එකී අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහිලා රුධිරය, මාංශය සහ අවසාන වශයෙන් අගනා වූ ජීවිතය පවා පරිත්‍යාග කිරීමට නොපැකිලෙන බැව් ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දී වදාරම්හ...සාධු! සාධු!! සාධූ!!!

      ( ෂිස්..... කොහොමද?... ලස්සනට ආව ඒ ටික නේද?....අන්තිම හරියෙ මට ඇඬුන බොලව්...ආයෙ මක්කටෙයි කියන්න ලැජ්ජ වෙන්නෙ....හෙහ්, හෙහ්,අනේ මන්ද බාල්ලා....අපි නැති දවසක මේ බොලොග් කෙරුවාවට දෙයියංගෙ පිහිට තමයි ඉතිං )

      We shall defend our '' Viyath Bhaashaava'', whatever the cost may be, we shall fight on '' Nidahas Sithuvili'' , we shall fight on '' Nawam mawatha'' , we shall fight anywhere our enemies would be; we shall never surrender. - With sincere apologies to Winston Churchill

      Delete
    6. වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්‍වදින සන්ධ්‍යාභාගයේ පානය කරන ලද්දාවූ සෝමපානයානුභාවයෙන් නැගිටගත නොහී දාවලක් තෙක් නිදා පිබිද නේත්‍රයුග්මයේ කබ කඩ කඩා සවර්‍ වාතස්කන්ධය දූෂණය කරමින් මුව ආයමින් ඈනුම් අරිමින් "අද දිනයේ කා හට අංචියක් අදිම් දෝ හෝයි නැතහොත් කා හට ගිනිගෙඩියක් දෙම් දෝ" හෝයි සිත සිතා කොක් කරක් සේ දිගුකරගත් ගෙලින් හා රතාක්ෂියා වුව දුටුවහොත් බියවැ පලායන තරමේ රත් පෑ වූ නෙතින් හා අයාගත් මුවින්ද යුතුව ඈත් මෑත් බලන්නේ, සර්‍වලෝකධාතුවම ඒකාලෝක කරමින් සූර්‍යදිව්‍යරාජයා උදාසනක් සේ පිබිදෙන්නේ යම්සේද එලෙසින් උදාසනින් පිබිද සුවඳ පැනින් නා හැඳ පැළැඳ වීදියට බට සූර්‍යාභිධාන ය, නවමාභිධාන ය, බුරාභිධාන ය යන මේ කෙළෙඹි පුත්‍රයන් තිදෙන එක්ව ත්‍රෛයිලෝකාභිධාන වූ අසමසම වූ ත්‍රිභූවනචූඩාමාණික්‍යරත්නයක් බඳු වූ අප මහා තථාගතයන් වහන්සේ ලෝකෝපකාරය පිණිස ධර්‍මභාෂණයේ යෙදුනේ යම්සේද එපරිද්දෙන් උතුම් වූ සුන්දර වූ කුලස්ත්‍රීන් සමූහයක් පිරිවරා විද්වත්භාෂණයේ නියැලෙනායුරු දකින්නාහු මෙසේ සිතන්නාහුය. "කොල මේ කෙළෙඹිපුත්‍රයන් තිදෙනා සැමදා මේ සුකුමාර ළලනාවන් පිරිවරා භාෂණයේ යෙදෙන්නාහ, අනෙකුත් කුලපුත්‍රයන් පිරිවරා විද්වත් සාකච්ඡාවේ නියැලෙන්නාහ, අද මුන්ට කියටි කියවමි, අනෙකුන් මුන් කෙරෙන් බිඳවාපියාලමි, මුන්ගේ විද්වත්භාෂණ මෙතෙකින්ම නවතාලමි" යි සිතාලා තවමත් පූර්‍වදිනයේ සුරාමත මුළුමනින්ම පහනුවූයෙන් කෙලින් කටින් සිටගත නොහැකිවූවද යන්තම් පන්තම් අතගාපියා නෙළුම්පතක ඇවිදින කොරවක්කෙක් සේ නැතහොත් දහවල්කලෙක මංමුලා වී ඇවිදිනා බකමුහුණෙකු සේ වැනි වැනී හැපි හැපී වීදියට බසින්නාහු ගොසින් කෙළෙඹිපුත්‍රයන් හා අනෙකුන් අභිමුඛයේ පරුස වදන් දොඩන්නාහුය විද්වත්භාෂණයට කිසිසේත් නොගැලපෙන ප්‍රශ්න කෙළෙඹිපුත්‍රයන් අතින් විචාරන්නාහුය නොයෙකුත් හස්තවිප්‍රකාර දක්වන්නාහුය මේ ආදි නානාවිධ විකාර කරන්නාහුය. කෙළෙඹිපුත්‍රයෝද පළමුවෙන් මේ කුමක්දැයි විපිලිසර වන්නේ නමුත් සුළුවේලාවකින්ම නිරීක්ෂකයා මේ සැරසෙන්නේ කුමකටදැයි වටහාගන්නාහු ඔහුව නොසලකා හරිමින් තමන්ගේ විද්වත්භාෂණය නොනවත්වා කරගෙනයන්නාහුය, වැලිදු නිරීක්ෂකයාද එයින් පසුබටනොවන්නේ පෙරටත් වඩා ශබ්දනගන්නාහුය ආක්‍රෝෂපරිභවයෙන් බෙනෙන්නාහුය විප්‍රකාර කරන්නාහුය, අවසන මෙයින් කිපීගත් සූර්‍යාභිධාන කෙළෙඹිපුත්‍ර තෙමේ නිරීක්ෂකයා බනවා මෙසේ කියන්නේ "කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට වූ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාණ වූ නිරීක්ෂක නම් බමුණුමාල්ල, විද්වත්භාෂණයේ යෙදෙන්නට වුවමනානම් එපරිද්දෙන් මෙම භාෂණයට සහභාගි වෙව එයට තට අපෙන් බාධාවක් නැත්තේය නමුදු මේ ආක්‍රෝෂපරිභවයෙන් හා හස්තවිප්‍රකාරයන්ගෙන් තොපටත් අප‍ටත් ඵලක්නම් නැත්තාහ ඉදින් තවදුරටත් මෙම විප්‍රකාර දක්වන්නට යෙදුනේනම් මාගේ සැටි තට පෙන්වමි" යි කීය. මෙවිට නවමාභිධානයන් කියන්නේ "අයියණ්ඩිය, කලබල නොවන්න, මේ නිරීක්ෂකයා වනාහි වයස්ගතය, අපගේ මුත්තණුවන්ගේත් මුත්තණුවෙකියි කියතහැකි තරම් මහළුය, තවද මූ තවමත් පහවනොගිය සුරාමත ඇත්තාහුය, මූ කියන්නක් මූම නොදනී, නාගයින් පෙණය පුප්පන්නා දකින ගැරඩින් කැබැලිත්තක් ගෙන දගලන්නාක් මෙන් දගලන්නාවූ මෙවැන්නන් හා වාදයට යාම අපට තරම් නොවේමය, කලයුත්ත මා දනිමි" යි කියාලා නිරීක්ෂකයන්ගේ ගෘහාභිමුඛයට ගොස් උන්ගේ භාර්‍යාවන් බනවන්නේ "නැන්දනිය, තොපගේ වල්ලභ නිරීක්ෂක තෙමේ තවමත් පහවනොගිය සුරාමත ඇත්තේ වීදියේ අරගල කරන්නාහුය පරුසවදනින් දනන් පෙලන්නාහුය වහා අවුදින් උන් කැඳවාපියා නොලදහොත් මහත් විපතක් ඇතිවීමට පුළුවන" යි කියා සියළු විස්තර ඈට පැවසීය. මෙපවත් අසාලා දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙක්හු මෙන් කිපීගත් ඕතොමෝ වහවහා දිවඑන්නේ "කොල වෙට්ට පිත්තල කෛරාටිකවූ බමුණුමාල්ල, ගෙයි වැඩ පිරීගති, උදෑසන ඉඳුල්පිගන් තවමත් සින්කයේ බහාලූගමන්ය, සේදූ වස්ත්‍ර තවමත් වනාපියා නොමැත, ගෙයිමිදුල් කුණුධූලියෙන් වැසීගොස් ඇත, මේ වැඩ සියල්ල තනි මාපිට පවරා තා මෙහිවිත් සම්ඵප්‍රලාප දොඩන්නාහුය. දැන්ම අවුදින් සියල්ල අහවරයක් නොකලේ නම් තට අද දාවල් බත් නැත" යි කියාලා කොසුමිටි පහර දී නිරීක්ෂකයා පිට නළල් ගඩු නංවා ඌව ඇදගෙන යන්නාහු අප මිත්‍ර කෙළෙඹිපුත්‍රයන්ගේ විදිවත්භාෂනයට ඇති බාධාව නැති කලාය. ඉක්බිති කෙළෙඹිපුත්‍රයෝද අනෙකුත් කුලස්ත්‍රීන් හා කුලපුත්‍රයන්ද විද්වත්භාෂණය නිමවා චිත්තප්‍රීතියෙන් යුක්තව වෙන්ව ගියාහුය.

      ෴ නිරීක්ෂකයා හා කෙළෙඹි පුත්‍රයන් තිදෙන නම්වූ පරිකතාව නිමි ෴

      Delete
    7. OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    8. OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    9. උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .. කොහෙන්ද අප්පා මේ වචන .. අනේ පව් අසරණ ඔබා මාම

      Delete
    10. තොප්පිය හරි අයට :-)

      වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට පෙන්නුව මෙන්න.

      Buratheno
      අඩේ ඔබා අයියා, අද තමා දැක්කෙ.. සංතෝසයි සංතෝසයි, ඇරලා යං ඈ..

      කමෙන්ට්ස්වල ෆොන්ට් සයිස් එකත් වැඩි කරමු.. අපටත් හතලිස් ඇදිරිය තියෙනව බොල.. :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...