Tuesday, March 27, 2012

97. කාලයේ බ්ලොග් තලාවේ සැඟ ව යන්නද කල්පනාව?

බ්ලොග් කිව්වහම ඉතිං නේද? දැන් නං අටෝරාසියක් නෙමෙයි අටෝරාසි නව ගුණයක් බ්ලොග් තියේ. ඔය අතරේ සමහර ඒවායේ එක ලිපියක්වත් කියවලා නැතුව ඇති සමහර අය. ඔව් ඔව් සමහර අය කිව්වහම මාත් ඒ ගොඩේ ඉන්න බැරිද? තවත් ඒවායේ එකම එක ලිපියක් කියවලා ඇති. සමහරවිට ඒ මුළු බ්ලොග් එකටම තියෙන එකම ලිපිය වෙන්නත් බැරි නැහැ. ඒ තරමට එක ලිපියේ බ්ලොග් අඩවි බෝමයි.

ඔය කොහොම වුනත් කාලයේ බ්ලොග් තලාවේ යට ගිය සමහර බ්ලොග් අඩවි මට විටින් විට සිහි වෙනවා. ඇත්තටම ඒවායේ තිබුණු එකක් එකක් ගානේ ලිපි ගැන නං මතක නැහැ. ඒත් ඒ බ්ලොග් අඩවි මගේ හිතේ ඇති කරපු චිත්ත රූපය නං අමතක නැහැ. ඒ වගේ අඩවි ටිකක් ගැන කියන්න මට හිතුනා. ඉතිං මේවා කියැව්වහම, සමහර අපේ යාළුවන්ට සිහි වෙයි "ඇත්තට මෙහෙම ලස්සන ලිපි ලිව්ව අඩවිත් තිබුනානේ" කියලා.‍ එහෙමත් නැත්තං, මේ කියන අඩවි යාවත්කාලීන කිරීම නැවතුනාට පස්සේ බ්ලොග් ලියන්න කියවන්න ගත්ත අයට, මේවායේ තියෙන කොයි කාලෙට වුනත් කියවා රස විඳිය හැකි ලිපි ගැන දැන ගන්න පුළුවන් වෙයි.

1. ඉබ්බෙක්ට සමනල තටු ඇවිත්

‍මේ මාතෘකාවත් එක්ක මගේ මතකයට මුලින් ම එන බ්ලොග් අඩවිය 'ඉබ්බෙක්ට සමනල තටු ඇවිත්' කීම තමයි වඩාම නිවැරදි වන්නේ. ඒ තරමට එක ලිපියක් නෑර කියවපු මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම අපේ හිතාදර සමනල තටු ආපු ඉබ්බා පසු කාලීනව නවතා දැමුවා. දීර්ඝ විරාමයකට පසු ව ලිපි දෙකක් පමණ දැම්මත් ඒවා එතරම් සාර්ථක නැති බවයි මගේ හැඟීම වුනේ. කොහොම නමුත් ඉබ්බා නැවත ඒවා !!! යන්න මගේ පැතුමයි‍.

2. දසයා

‍අන්තර්ජාලෙන් ගත්ත ලස්සන ලස්සන පිංතූරු එහෙම එකතු කරලා, උපහසාත්මක ලෙස යම් යම්දේ විවේචනය කරමින් ලිපි ලියූ කෙනෙක් වගේ තමයි මතක. බොහොම විට දේශපාලනය පාදක කරගනිමින් දසයාගේ ලිපි ලියැවී තිබුනා. මං මුලදිත් කිව්වානේ, චිත්ත රූපය සිහි කරමින් ලියන ලිපියක් මේක. ඒක නිසා ඔයාලාම ගිහින් බලන්න මේවායේ තියෙන ලිපි වල ගුණාගුණ.

‍3. Anything & Everything

මේ දරුවා නං ලියපු ලිපි වල තිබුණු කරුණු මට මතක ම නැහැ. ඒත් මං බ්ලොග් ලෝකයට ආපු දවසේ පටන් මං ලිව්ව ලිපි බොහොමයක් කියවපු කෙනෙක් තමයි මේ. කොටින්ම මේ බ්ලොග්
අඩවිය ගැන මෙතැන ලියැවෙන්නේ, ඔහු එදා පටන් මට දුන්නු සහයෝගය හා දිරි ගැන්වීම් වලට උපහාරයක් වශයෙන්.
(මට හිතෙන්නේ බිම වැටිච්ච මලක් තියෙන තීම් එක දැම්ම දවසේ ඉඳන් තමයි මේක මේ විදිහට පාළුවට ගියේ.... :) )

4. සිහින සෙවණැලි

‍අපේ අප්පෝ.......... මේක ලියන දරුවායි දැරිවියි ලියන දේවල් සමහර වෙලාවට ඔළුව අනිත් හරවනවා. ඒත් ඇත්තටම නිර්මාණාත්මක බ්ලොග් ලියැවිලි පිරුණු තැනක්. අවාසනාවකට වගේ මේ දෙන්නා දෙතැන ඉද්දි ලියපු ලියැවිලි, එක වහලක් යටට ආ පසු අඩාල වෙලා ගියා. දැන් ලියැවෙන්නේ ම නැති තරම්.

5. ඩුබායි වට්ටක්කා

ඩුබායි වට්ටක්කා ලිව්වේ පුතා. ඇත්ත නමින් නෙමෙයි බොහෝවිට, ඩුබායි වට්ටක්කා පුතා කිව්වහම තමයි ඒ කාලේ ඉඳන් බ්ලොග් ලියන උදවිය දන්නේ. මේ පුතාත් ඩුබායි පැත්තේ ඉන්න කාලේ අපේ රස නහර පිනා යන ආකාරයේ ලිපි ලිව්වට මොකද මේ දේසේට පය තිබ්බාට පස්සේ ඒ සෙල්ලං සේරම නවත්තලා.

6. ලාංකීය සිතුවිලි

නැහැ. සින්ඩිකේටරේවත් ඒහා සම්බන්ධ බ්ලොග් අඩවියවත් නෙමෙයි. ඒකාලේ මේ සිංඩිකේටර් එකේ පියා බ්ලොග් කරුවෙක් වෙන්නත් පෙර තිබුණු බ්ලොග් අඩවියක් තමයි මං මේ කියන ලාංකීය සිතුවිලි අඩවිය. එයත් යාවත්කාලීන නොකෙරෙන බ්ලොග් අඩවියක් බවට පත්වෙලා.

7. නිදහස් සිතුවිලි

මංතුමී තදියමේ බ්ලොග් අඩවියක් හදාගන්න ගොහින් හිතට ආපු නම දැම්මට මොකද, පස්සේ බැලුවහම නිදහස් සිතුවිලි නමින් තවත් බ්ලොග් අඩවියක් තියෙන බව දැනගන්න ලැබුනා. සමහරවිට මං වගේ යක්තුමියක් එක්ක පැටලිල්ලක් ඇති කරගන්ට බැරි කමට මෙතුමා මෙතුමාගේ නිදහස් සිතුවිලි වලට වැට කඩුළු බැඳ දමලා, වෙනත් සිතුවිල්ලක් හදාගෙන ද කියන්න දන්නේ නැහැ.

8. නොසිදුවීම්/NONEVENTS

මයේ අප්පේ.......... මේකේ තියෙන කෙටි කථා කියැව්වහම මං ලියන එව්වා මොනවාදැයි කියලා මට හිතුනේ වරක් දෙවරක් නෙමෙයි. ඒ තරම ට වෙනස් ම වෙනස් කථා මේ අඩෙවියේ තියෙනවා. කවි පදත් තියෙනවා. පස්සෙන් පහු දාපු සමහර කථා තේරුම් ගන්න ටිකක් විවේක බුද්ධිය වැඩියෙන් ඕනෑ කියලා වැටහෙන්න ගත්තහම මට කම්මැලිත් හිතුනා මේක කියවන්න. බ්ලොග් අඩවිය යාවත්කාලීන නොවුනට ෆේස් බූක් හී නම් මෙහි අයිතිකරු කවි පල කරන බවක් පෙනෙන්නට තියෙනවා.

9. තම තම නැණ පමණින්


අපි කවුරුත් දන්න පරිදි කුමුදු පිංතු සර් තමයි මේ බ්ලොග් අඩවිය ලිව්වේ. එතුමා හිටි හැටියේ අභාවප්‍රාප්ත වුනාට පස්සේ සමහර ලිපි මෙයින් අතුරුදන් වුනු බවක් කියැවෙනවා. ඒ එතුමා ජීවත් ව ඉන්න අවධියේ විශ්වාස කරපු අයගේ කෙරුවාව තමයි ඉතිං. කොහොම නමුත් තාමත් ඉතිරි ව ඇති සමහර ලිපි ඔබට දැනුමක් ගෙන ඒවි.

10. ඉලංදාරියා

ඉලංදාරියා මල්ලි ගැන මං කියන්න ම ඕනේද?

11. ඒකේ වාට්ටුව

‍ හෙද නිලධාරී මහතෙක් තමන්ගේ වෘත්තිය ජීවිතයේදි ලැබුනු අත්දැකීම් අලලා පවත්වාගෙන යන බ්ලොග් අඩවියක්. හාස්‍යමුසු මෙන්ම හිතා බලන්න වටිනා කාරණාත් අඩංගු ලිපි පෙලක් මෙහි අඩංගු වෙනවා.

12. හසියාගේ නවාතැන

මේ හසියාගේ නවාතැනය. මේ හසියා හාවෙකු වූ දා පටන් මේ බ්ලොග් අඩවිය ගැන තිබ්බ සැලකිල්ල අඩු වූ බව අපගේ හැඟීමය. :)


13. හා පැටික්කි

මේ හා පැටික්කි නම් වූ කෙලි පැටික්කි කැම්පස් ගිය දා පටන් බ්ලොග් පැටික්කිය අසරණ වූ බව තතුදත් අය පවසති

14. සිතැඟි

ඒ කාලේ, බ්ලොග් කියැවිල්ල විතරක් කරපු කාලේ පටන් කියවපු බ්ලොග් අඩවියක්. තරුණ ළමයින්ගේ සිතුම් පැතුම් මොනවට ප්‍රදර්ශනය කරපු අඩවියක්. මං වැඩියෙම කැමති සිංඩිකේටරයක් කථා කරයි, ද බයිසිකල් කවිය වගේ ලිපි වලට.තවත් ලිපියක් තිබුනා, ප්‍රවෘත්ති විකාශයක් ගැන ඒ ලිපියත් ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය වූ බව මතකයි.

15. බ්ලෝගීගේ ඩයරිය

මේ අඩවියත් බඩ අල්ලාගෙන එක අතකින්, අනිත් අතින් කට තද කරගෙන කියැව්ව එකක් තමයි. ඒ තරම ට ‍විසේකාර යෞවනයේ සිහින සිතුවිලි එලි දක්වපු අඩෙවියක් හැටියට බ්ලෝගීගේ ඩයරිය මගේ සිතේ චිත්ත රූපයක් මවා තිබෙනවා.

16. මෝනිං පැංචි

‍ මේ අඩවිය මං එතරම් කියවා නැතත් කියවපු බොහෝ ලිපි ඉහත බ්ලොග් අඩවියේ ලිපි සේ ම යෞවන කාලයේ එදිනෙදා සිදුවීම් සීමා වලට හිර නොවී, හාස්‍ය මුසුව සටහන් කරපු තැනක් ලෙස කියන්නට පුළුවන්.

17. විවේචන

මෙම අඩවිය පටන් ගත්ත දවස් වල මං හිතුවේ හරි තමයි දැන් ඉතිං කොනක ඉඳන් විවේචනය කරගෙන යයි කියලා. ඒත් අන්තර්ජාලය තුල එකට එකතු වී සිටින මිතුරන් පිරිසකගෙන් කිහිප දෙනෙකු විවේචනය කරපු විවේචන බ්ලොග් අඩවිය දැන් නිහඬවෙලා.‍ පෙනෙන අන්දමට නම් ඉලක්ක කරගත් එක්කෙනෙකු හෝ දෙන්නෙකු විවේචනය කරන්න ම හදපු බ්ලොග් අඩවියක් දෝයි මට හිතෙනවා.

18. මන්දාකිණිය

ලස්සන, අර්ථවත් කවි වලින් පිරුණු තැනක්. කොහොම වුනත් කණගාටුවට කාරණයක් ඉතිරි කරමින් මේ සොයුරිය මන්දාකිණිය යාවත්කාලීන නොකර ඉන්නවානේ. මේ ලිපිය පෝස්ට් කරලා එයාටත් ලිංක් එක දෙන්න ඕනේ. :)

19. යෝගියාගේ සටහන්

යෝගිත් අපේ ගොඩක් සොයුරන් සේ මැදපෙරදිග රැකියාව කරන සොයුරෙක් වගේ තමයි මට මතක. හිමින් ගලාගෙන යන ශෛලියකින් යුතු ලිපි තිබුණා වගේත් මතකයි. කොහොම වුනත් ලඟදී නම් ලියැවිලා නැහැ.

20. මැගි ආච්චි (ක්ලික් කලාට වැඩක් නැත. කථා නැත. වෙබ් අඩවිය වෙළඳ දැන්වීම් වලින් පිරී ඇත.)

මේත් මං කැමති ම ලිපි තිබුණු බ්ලොග් අඩවියක්. ආච්චි කෙනෙක් වගේ අද සමාජය දකිමින් මේ ලිපි ලිව්වේ ප්‍රියංකා අමරතුංග නොහොත් මලින්ත සමරකෝන්ගේ මැණියන්. දැන් යාවත්කාලීන නොවනවා පමණක් නොවෙයි, වෙබ් අඩවිය කල් ඉකුත් වූ අඩවියක් බවටත් පත් වෙලා.

මේ අඩවි වලට අමතරව තරිඳු නම් වූ සොයුරෙක් තමන් පැවිදි සමයේ ගතකරපු ජීවිතය අලලා ලියපු බ්ලොග් අඩවියක් තිබුනා. ඒ කාලේ මට ඒ ලිපි හරිම පුදුමයක් වුනා. ඒ බ්ලොග් අඩවියේ නම මට මතක නැහැ. තවත් බ්ලොග් විශාල ප්‍රමාණයක් ගැන මතක බිංදු හිතේ තිබුණත් ඒවා සොයා ගන්නට තරම් තිබෙන මං සලකුණු මදි.

මුල් කාලීන ව බැලුවොත් බොහොම දෙනා එකිනෙකා නොහඳුනන, තමන්ගේ සිතුවිලි හිතේ හැටියට විහිදුවා හරින්න පුළුවන් බ්ලොග් රචකයින් රචිකාවියන් ව හිටියා. ඒත් පසු කාලීන ව එකිනෙකා හඳුනා ගනිමින්, බ්ලොග් සමාජයේ සමාජිකයින් සැබෑවට ම හමුවෙමින්, කථාබහ කරන්නට පටන් ගත් පසු බොහොම දෙනෙකුට තමන්ගේ තිබුණු අනන්‍යතාව මත හිඳගෙන ලිපි ලියන්න බැරි බවක් ඇති වුනා. මෙහි කියැවෙන සමහර අඩවි වලට එහෙමත් වෙන්න ඇති.

ඒ අතරට ඉස්සර හිතපු ආකාරයට වඩා වෙනස් අයුරකින් දැන් සිතන පතන අයටත් තමන්ගේ පරණ බ්ලොග් අඩවි සමහරවිට කම්මැලි කමක් දනවනවා විය හැකියි.

තවත් කෙනෙකුට හැල්මේ දුවන ආර්ථික රේස් එක නිසා බ්ලොග් අඩවියක් වැනි දේකට මිඩංගු කරන්නට කාලයක් ඉතිරි ව නැතුවා ද විය හැකියි.

ඉගෙනීමේ කටයුතු, ගෙදර දොර කටයුතු ආදී නොයෙකුත් දේ නිසා ද අන්තර්ජාලයක් කියා දෙයක් තියේදැයි අමතක වූ උදවිය ද සිටිය හැකියි.

කොහොම නමුත් බ්ලොග් ලෝකයේ එක්තරා පරිච්ඡේදයක දී අප සිත් තුටු පහටු කරපු, හිතන්නට යමක් එක් කරපු, සංවාදයට කරුණු ගෙන ආපු නුඹලාගේ අඩුව යම් යම් විට මට දැනෙනවා. තවත් අයට දැනෙනවා ඇති. හැකි නම් පැමිණ මේ අඩෙවි වලට නැවතත් පණ දෙන්න. එය අපටත් ඔබටත් සතුටක් ගෙන ඒවී. (මෙහි දැක්වෙන අඩවි දෙකකට මේ ඉල්ලීම වලංගු නොවීම කණගාටුවට කාරණයකි. එහෙත් ඔවුන් දෙපල අප සිත් හී සටහන් කල මතකයත්, සයිබර් දැහැන මත සටහන් කල වදන් වැල් පෙළත් තව බොහෝ කාලයකට නොමැකී තියේවි)


45 comments:

  1. මම දවස් කිහිපයක ඉඳලා කරන්න හිතාන හිටපු වැඩක මේ

    මම බ්ලොග් කියවන්න පටන් ගත්ත මුල් කාලෙ කියවපු රස විඳුපු සුන්දරම බ්ලොග් ලිස්ට් එකක් තමා ඔය කියවල බලන්න සිංහල බ්ලොග් ගැන ආස හිතෙන බ්ලොග් අඩවි ටිකක් තමා ඔය.

    තරිඳු ලිව්වෙ අච්චරුව සිංහල බ්ලොග් වල ලිපියක් මුලින්ම පුවත් පතක පල උනේ අච්චරුවෙන්. එතන ලිය උන සුදන්ත සාදුගෙ දිනපොත එහෙම ඉතා රසවත් ලෙස ලිය උනා මතකයි.

    ඔයට අමතරව

    දුල් ලියපු මෙන්න මෙහෙමයි
    දිනේශ් ගෙ අකේලේ හම්
    හෙලය ලිඅපු හෙලයෙකුගෙ සටහන්
    හේමාලයගෙ හෙවනැලි
    ග්‍රේ ලියපු මගේ රස කතා

    ඔය ලිස්ට් එකේ තව තියෙනවා මතක් උනම ලියන්නම්

    මගෙත් ඉල්ලීම පුලුවන් විදිහට මාසෙකට එක ලිපියක් වත් පල කරන්න බලන්න කියලා තමා.

    ප ලි සමහර බ්ලොග් වල නම් නන් පොඩ්ඩක් පැටලිල ඇති

    ReplyDelete
    Replies
    1. // මගෙත් ඉල්ලීම පුලුවන් විදිහට මාසෙකට එක ලිපියක් වත් පල කරන්න බලන්න කියලා තමා. //

      අනිත් එවුන්ට කියන්න කලින් තමන්ගෙම බ්ලොග් එක දිහාත් චුට්ටක් බැලුවානං..... රන්දිල්ගෙ ලිස්ට් එකට ඒකත් දාන්න තිබ්බා..

      Delete
    2. අඩේ බන් ඒකට ගිය මාසෙත් පෝස්ට් එකක් දැම්ම බන්

      මේ මාසෙත් ලියන්න තමා බලාපොරොත්තුව.

      Delete
  2. ඕං නිශ් වැඩේ කියන්නේ මටත් සිහිවුනා හේමලයා........

    මං ඒකත් ඇඩ් කරන්න බලද්දි තමයි දැක්කේ දැන් ආපහු එයා ලියනවා කියලා

    http://hemalayaa.blogspot.com/

    ReplyDelete
  3. Tharindu's blog was: Achcharu.

    URL was (nolonger working)
    http://mihisara.net/achchaaru

    Tharindu Roshantha is still seen in G-Mail chat. I contacted him about three months back.

    ReplyDelete
  4. හ්ම් කාලයත් එක්ක බ්ලොග් ලියන එකනම් නැවතිලාම ගියා හැබැයි කියවන එකනම් තාමත් එහෙම්මමයිග මොනා උනත් ඒ දවස්වල ආසාවෙන් කියවපු බාලොග් ලිපි ටිකක් තමයි මෙන්න මේ ලිපි පෙල
    http://ranrandil.blogspot.com/2010/02/myblog-blogger.html
    මෙන්න මේතන සදහන්
    සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)

    10.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය I
    11.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය II
    12.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය III
    13.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය IV
    14.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය V
    15.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VI
    16.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VII
    17.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VIII
    18.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය IX
    19.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය X

    මේ ලිපි පෙල හදිසියේ නතරකිරීම ගැන අදටත් මම කනගාටු වෙනවා
    කෙසේ නමුත් මගේ බ්ලොග් එක ගැන කියනවා නම්
    රැකියාවේ ස්භාවය මත විවේකයක් නොමැත් කම හා මගේ අලුත් නවාතැනට අන්තර්ජාල පහසුකම නැතිවීමත් බලපෑවා

    ReplyDelete
    Replies
    1. ම්ම්........ නතර කරන්න වුනානේ......... මොකද මේක ලිය ලියා හිටපු කාලේ ම තමයි දුව ලැබෙන්න ගෙදර නතර වුනේ. ඒකෙන් පස්සේ ඒ ලියැවිල්ලට අනුගත වෙලා තිබුණු හිත වෙනස් වුනා............

      Delete
  5. අතීතාවර්ජනය හොඳ දෙයක්....ඉඳ හිටල මතක මංපෙත ඔස්සේ ආපසු චාරිකාවක් යන එක හිත නිවී සැනසෙන්න හොඳම ප්‍රතිකර්මයක්..ඒත් ඒ මතක මංපෙතේ මඟ සළකුණු සොඳුරු හැඟුම් ගෙනදෙනසුළු නම් විතරමයි.

    වියුණු පිළිබඳව මගේ අතීතාවර්ජනය ඉතාමත් සුන්දරයි...ඒකෙ ආයෙ දෙකක් නෑ...හෙහ්, හෙහ්,

    දන්නවද ප්‍රථම උපස්ථිතිය කියන එක බොහොම වැදගත්. අපිට යම් දෙයක් හෝ පුද්ගලයෙක් ගැන මුල් වරට ඇතිවන හැඟීම. First Impression..බොහෝවිට ජීවිත කාලයම ඒ පුද්ගලයා හෝ ඒ දේ පිළිබඳ ව කිසිදාක නොමැකෙන හැඟීම වෙන්නෙ අර First Impression එක.

    මගෙ ඥාති සහෝදරයෙක් ඉන්නව අදටත් කටේ තියන්නෙ නැහැ අලි ගැට පේර. පුංචි කාලෙ මුලින්ම කාපු ගෙඩිය ඉඳල එයාට පණුවෙක් හැපිල. ඒ අප්පිරියාව මිනිහගෙ හිතේ තාම තියනව.

    සිංහල වියුණු කියල දෙයක් තියනවයි කියල මම දැන ගත්තෙ බොහොම අපූරු විදිහකට.ඒකත් ප්‍රබන්ධයක් වගේම රසවත් කතාවක්.මම මුලින්ම කියවපු වියුණු දෙකම මේ වෙනකොට අක්‍රියයි. මුලින්ම ටැබූ සබ්ජෙක්ට්ස්...ඊට පස්සෙ ඒකෙ තුබුණු කමෙන්ට් එකක් ඔස්සේ තරිඳු ගේ අච්චාරුව....රන්ට වගේම මටත් නම අමතක වෙලයි තිබුනෙ. ස්තූතියි නිශ් මතක් කරල දුන්නට...

    ටැබූ කියවල මගෙ හිතේ ඇතිවෙච්ච චමත්කාරය තවත් වැඩි උනේ තරිඳුගෙ සුදන්ත සාදුගෙ විත්ති කියවල.First Impression කියන එක ආයෙ නෑ One Hundred Percent Positive....Thank You So Much... Taboo & Tharindu... :) :)

    බැරිවෙලාවත් ඉස්සරෝම නිදහස් සිතුවිලි වගෙ බ්ලොග් එකක් එහෙම නම් කියෙව්වෙ හප්පච්චියේ..මතක් වෙන කොටත් බය හිතෙනව...:( :( ....මම එතනින්ම බ්ලොග් කියවන එක අත ඇරල දානව ඒක නම් සහතිකයි.... ඒ කියන්නෙ ඉතින් බ්ලොග් එකක් ලියන්ට වෙන්නෙත් නම් නෑ කවදාවත්.......එක අතකට එහෙම උනා නම් මටයි ඔයාලටයි දෙගොල්ලටම යහපතක් වෙන්න තිබුන නේද කියලත් වෙලාවකට හිතෙනව. :) :)

    ප.ලි. - දඩයක්කාරයාගේ කතාවෙහි ඉතිරිය ලිවීම නව බ්ලොගයක් අරඹන තෙක් මවිසින් තාවකාලිකව අත් හිටුවා ඇති කණගාටුවෙන් දැනුම් දෙමි.

    ප.ප.ලි - '' හුහ්, ආව මෙතන ඇද කුද කියන්ට...අනුකම්පා කරල ඉන්ට දුන්නම එන්නෙ විවේචනය කරන්ට...අදම බහින්ටයි කිව්වෙ දොට්ට....''

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, මටත් කිහිප දෙනෙක්ම කිව්වා, තව අය මට කියන්න බැරි කමට තැන් තැන් වල කියලා තිබුනා, ඒ තැන් තැන් වලින් මගේ කනටත් ආවා......... ‍2010 නොවැම්බර් 16න් පස්සේ නිදහස් සිතුවිලි කියැව්ව කෙනෙක් ආයේ ඒ පැත්ත පලාතේ එන්නේ නැහැය කියලා......... අඳෝමැයි මේ සංසාරේ... හික් හික්

      Delete
    2. //බැරිවෙලාවත් ඉස්සරෝම නිදහස් සිතුවිලි වගෙ බ්ලොග් එකක් එහෙම නම් කියෙව්වෙ හප්පච්චියේ..මතක් වෙන කොටත් බය හිතෙනව...\\

      මේ කියන්නේ ඔය අනිත් ඈයෝ කියනනෑහේ 2010 නොවැම්බරේ ඒ අඳුරු දවසින් පස්සේ ඇතිවුනු නිදහස් සිතුවිලි ගැන වෙන්ටෑ................ :D :D :D

      Delete
  6. ඉන්ද්‍රනාත අයියගේ මගේ කථාවත් ලියැවෙන්නේ නැති නිසා ඒකත් මේ ගොන්නට වැටෙයිද දන්නේ නෑ...

    ඒ වගේමයි විහඟ ගීතය... එතුමාගේ බිරිඳනම් ලිපි කිහිපයක් පල කලා.. දැන් නම් ඒකත් නවත්තලාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. තව ඉදිරියට තව තව බ්ලොග් එකතු වේවි......... එහෙම වෙන එක අවම වේවා කියලා අපි පතමු

      Delete
  7. ස්තූතියි අක්කා මේ බ්ලොග් ටික අපිත් එක්ක බෙදා ගත්තට.තව කොච්චරක් ඔහොම වුන ඒවා ඇද්ද නේද??

    ReplyDelete
  8. ඒක තමයි නංගී.

    ReplyDelete
  9. අපි ඉතින් ලඟදි නේ මේ කලාවට ආවේ . හැබැයි අක්ලේ හම්, ඩුබායි වට්ටක්ක හෙම මමත් බලල තියෙනවා . මේ වගේ හැංගිලා ගිය බ්ලොග් වගේම තවම ලියවෙන හැබැයි වැඩිය නොකියවන බ්ලොග් කීපයක් මට හමු වුනා . විශේෂයෙන්ම අසෙනිය කුසුම අවසාන වටයේ ලැයිස්තුව තුලත් තිබුන එහෙම බ්ලොග් . ඒ බ්ලොග් වල සබැඳි දමල පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ .

    බ්ලොග් එකක් පටන් ගැනීම වගේම පවත්වාගෙන යාමත් අමාරුයි . විශේෂයෙන්ම රැකියාවක් කරන ගමන් . තව ඉතින් ගැහැණු ළමයි විවාහ වෙලා දරු මල්ලෝ හෙම ලැබුනම එන සංක්‍රාන්ති සමය බ්ලොග් වලට තිත තියනව ඇති .

    ReplyDelete
  10. අන්න හොඳයි එහෙම එකතුවක් තිබුනා නං අපටත් ඒවා ගැන දැනගන්න පුළුවන්නේ.

    ඔව් ඔය එක එක හේතු නිසා එයාලා යන්න ගිහින්. සමහර අය අපට අමතක වෙලාත් ඇති. ඒත් සමහර අය ව අපට මතක් වෙනවානේ ඉඳහිටවත්

    ReplyDelete
  11. අලි පොඩි කාලේ වගේ, ලස්සන කාලයක්නෙ අපි බ්ලොග් ලියන්න ආපු කාලේ. ඒ සිංහල බ්ලොග් වල මුල්ම යුගය. මතක් කරන්න ඕනේ අලුත් බ්ලොග් එකක් පටන් ගත්තු ගමන් දුකා, බිඟුවා, අනිවා ඒක මුලින්ම ෆලෝ කරලා ආධුනික අපට දුන්නු ධෛර්යය.

    ඒ කාලේ මම අනිවා කියවන්නෙ තරිඳුවගේ බ්ලොග් එක. පහුකාලිනව ලාංකියේ ඉද්දි පොරත් එක්ක එකතු වෙලා අපි වැඩ කලා.

    ඒවා ඔක්කොම දැන් වෙනස් වෙලා. දැං අපි කොච්චර වෙනස් වෙලාද? නැද්ද හොඳයි.

    ReplyDelete
  12. you guys (and girls) you have no idea how happy i am to see that there are some people still remember me. one of the reason i could not continue was because of studies. i was in my final year in campus.

    from the beginning i used my real identity. not because i was this great brave person, it’s just because i wanted credit for what i do. if i write anonymously, i wouldn’t get that.

    but with real identity real problems came. i couldn’t write more about suddhathatha saadhu's diary because what i had to say was very very controversial. by that time people have started to call and threaten me.

    i was busy after that so couldn’t write anyway. However now i miss blogging. i might even start again. who knows. thanks for mentioning me, and i am happy to know i did something worth remembering. Sorry for commenting in English. Don’t have much time to struggle with Unicode converter. I m about to leave office.

    ReplyDelete
    Replies
    1. උඹව අමතක වෙනවද බං එහෙම ලේසියෙන්.. සන්තෝසයි කාලෙකට පස්සෙ මෙහෙම හරි දැක්ක එකට..

      Delete
    2. @ තරිඳු,

      අර බූරා කිව්වත් වාගෙ එහෙම කොහෙද බං අමතක වෙන්නෙ....හෙහ්, හෙහ්, එහෙම වෙන්ට අපි මැරිල ඉපදෙන්ට වෙයි එහෙනං.......

      ආයෙම ලියන්ට අදහසකුත් තියනව කියපු එක මලේ හිතට හීල් පවන් රොදක් හැමුවා හා සමානයි ඔන්න....දෙයියම්ප මේ ඇත්ත,

      කමක් නෑ...තියෙන ප්‍රශ්න ගැන දන්නෙ ඔයානෙ...ඒ නිසා හෙමිහිට කල්පනා කරල බලල ..අපි කියනවටම නෙවෙයි ඉතිං...

      මොන කෙහෙල්මලක්ද....ලියාපං මල්ලි පිස්සු කෙලින්නෙ නැතුව.....ඔන්න මං නොකිව්වයි කියන්න එපා....:) :)

      ප.ලි. - සිවුරු ඇරියයිං පස්සෙ ගියේ නැද්ද මලේ තායිලන්තෙ පැත්තෙ එහෙම?....හෙහ්, හෙහ්, මට තාම මතකයි අර ප්ලේන් එකේදි Air Hostess කෙනෙක් බොට Beer Can එකක් පූජාකරල පසඟ පිහිටුවා වැඳ වැටුන හැටි උඹ ලියල තිබ්බ අපූරුව......:) :)

      Delete
    3. මම බ්ලොග් කියවන්න/ලියන්න පටන්ගන්නකොටත් තරිදුගෙ-ටැබූගෙ බ්ලොග් නැවතිලා. ගොඩක් පස්සෙ කාලෙක මේ බ්ලොග් දෙක කියෙව්වට පස්සෙ මට හිතුනෙ අපරාදෙ මම ඒකාලෙ බ්ලොග් ගැන දැනගෙන හිටියෙ නැත්තෙ කියල. මොනව කරන්නද තරිදුට පුළුවන් උන කාලෙක ආයෙත් ලියන්න. ටැබූ නං ලියන එකක් නෑ.

      Delete
  13. ...... සුන්දර මතකයක් අවධි කරගත්තා .....
    ...... මේ බ්ලොග් ලිපිය උවමනාවෙන් කියෙව්වා ....
    ...... දිග කමනේට් එකක්දැම්මා .....

    කාලය කොතරම් සොඳුරුද
    අතීතය සිහිනයාක් පමණි... හෑ මොනවද මේ සින්දු :DDD

    හික්හික්

    ReplyDelete
  14. වැඩේ කියන්නේ හෙවනැලි පේන්නත් එළිය එෆාය...හී හී....:P

    ReplyDelete
  15. පරණ දෙතුන් දෙනාගෙ පැමිණීම ගැන සතුටුයි. අඩුම ගානේ ඒ අය බ්ලොග් කියවනවා. කාලෙකට කලින් මගේ බ්ලොග් එකට යාලුවෙක් මෙහෙම කමෙන්ට් කලා.

    කාලය
    අපි ගමන් කරන හැටි බලා
    තනිවම හිනාවෙන කාලය...
    අපේ හිතේ
    සදාකාලික නැවතුම්පළ
    වූ අතීතය...
    ජීවිතය පුරාවටම
    අඳින...
    හැමදාමත් අසම්පූර්ණ
    සිත්තම වූ...
    මතකය...

    (2010/07/31 කතන්දර සීයගෙ කතාව වෙනුවෙන් shadow/හේමාලයාගේ ප්‍රතිචාරය

    ReplyDelete
  16. අහම්බෙන් මම මේක දැක්කේ. බොහොම ස්තුතියි !
    මේක නිසා ඉබ්බාගේ 'ඉබ්බෙක්ට සමනල තටු ඇවිත්' සයිට් එකට ගිහින් බැලුවාම තේරුනේ මේ ඉබ්බා කව්ද කියල. මම හිතන්නේ ඉබ්බා ව මම හොඳින් දන්නවා :D

    ReplyDelete
    Replies
    1. කට්ටිය දන්නවද වැඩක්. නිරෝෂිනී ඉබ්බගේ කට්ට කුඩේ කුඩු කළානෙ. එක පාරටම දවසක් උදේම කෝල් තුන හතරක් එනවා මේ ඉබ්බා ඉන්නවද කියලා.ඉබ්බා බැළුවා මේ මොකද යකෝ මේ වේගෙන යන්නෙ කියලා.නිරෝෂිනී කියලා ඉබ්බගෙ කතා කීපෙක කතා නායකයන්ට මෙන්න මේ ඉබ්බෙක් ඕගොල්ලන්ව විකුණලා කියලා. හිහ්... :) ඉබ්බා විනාසයි. ඕගොල්ලො දන්නෙ නෑනෙ සිරාම කතාව. ඉබ්බ ගාව තියනවා කාටවත් කියා ගන්න බැරුව කට කසන කතා දෙක තුනක්. දැං ඉතිං ඒවායින් කීපයක් ලියන්න වෙන්නෙ නෑ. ඉබ්බගේ යාළුවෝ කොහොම තරහා කරගන්නද? හිහ්... ඉබ්බාව රන්දිල් අක්කට පස්සෙ හරියටම අල්ලගත්තෙ නිරෝෂිනී. දැන් නං ඉබ්බ සේල්... කෝල් සෙලින්කෝ.... :D

      Delete
  17. මගෙ බ්ලොගටත් ඔය සෙතේම වෙයිදෝ කියල හිතෙනව වෙලාවකට . . . කොහොම හරි දතකාල පෝස්ට් 50ක්වත් ලියාගන්න ඕනෙ

    ReplyDelete
  18. යෝගි ලංකාවෙ ඉන්න කෙනෙක්... හැබැයි ඇහුවම කියන්නෙ බ්‍රහස්පතින්දට පස්සෙ ආයෙ නිදාගත්තෙ සෙනසුරාද කියල... ඒ තරම් බිසිලු...

    ආය මම තවත් කියවන්න ආස බ්ලොග් එකක් "පුලිනතලාව", ඒකත් නිතරම ලියවෙන්නෙ නෑ... හිටි හිටි ගමන් තමයි... :(

    ReplyDelete
    Replies
    1. @ චේජනා,

      යෝගියා මසුරං වටින පෝස්ට් දෙකක්ද තුනක්ද කොහෙද දැම්මට පස්සෙ හොයාගන්නවත් නැතිව ගියානෙ.. අක්කණ්ඩි තාම පුලිනතලාව ලියනවද..!!?? යලට මහට පෝස්ට් වැටෙන නිසා මට ඒක එහෙම්මම මගෑරිලා ගියා..

      Delete
    2. පුලිනතලාව ගැන මතක් කළා විතරයි ඒක ආයෙම ලියන්න අරගෙන...

      Delete
  19. මම නොකියවපු ගොඩක් බ්ලොග් ගැන දැන ගත්තා... අනේ මගේ කම්මැලිකම...

    ReplyDelete
  20. හප්පා...නිදහස් සිතුවිලි සයිට් එකේ යාන්තන් සිංහලෙන් පෝස්ට් එකක් පබ්ලිෂ් වෙලා :-)

    ReplyDelete
  21. හප්පා තව ලස්සන බ්ලොග් ටිකක් දැනට පැය 4 ක් නිදියන නින්ද 3 ක් කරන්න වෙඉ වගේ..ස්තුති රන්දිල්

    ReplyDelete
  22. තව ලස්සන බ්ලොග් ටිකක්... දැනට පැය 4 ක් නිදියන නින්ද 3 ක් කරන්න වෙඉ වගේ..ස්තුති රන්දිල්

    ReplyDelete
  23. මගේ බ්ලොග් ගුරුතුමි - හද බිඳ සර
    ඉස්සර ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් - කවියට පෙම් බැඳ


    උයා දාපු ලිස්ටෙකෙන් සිහින සෙවණැළි මම ගොඩක් ආසාවෙන් කියවපු එකක් අනිත් ඒවට සාපේක්ෂව..

    ReplyDelete
  24. හාවා වීමත් බ්ලොග් ලිවීම නැවතීමත් අතර කිසිදු අන්තර් සම්බන්ධතාවක් නැති බව දන්වා සිටිමි...... මගෙන් අහන්නෙපා දැන් එහෙනම් මොකක් නිසාද කියලා. මට බෑ ඔපිස් එකක් කර ගහගෙන මට කතාකරන්නවත් වෙලාවක් නැති වෙලා කියලා බැණුම් අහන්ට........

    මම ගැන නම් අක්කට හරියටම කට්ටිය හේතුව කියලා තියනවා..... හප්පා එව්වයේ කඩු හරඹ කරන්න ගියාම පණ යනවා. තියන වචන වලට දිව උලුක් වෙනවා. ඒ මදිවට ඉතින් හොස්ටල් ආවම ආයේ ලැප් ගන්න එව්වා මෙව්වා වෙලා නෑ. නාලා කාලා බුදියනවා මිසක්...... අවාරෙට වගේ පාඩමුත් කරනවා. බලමුකෝ මාසෙට එකක්වත් ලියන්න බලන්නම්.....

    අපිවත් මතක් උනාට සතුටුයි ඕන්........

    ReplyDelete
  25. බොහෝම හොඳ මතක් කිරීමක්...

    ඔය හා ඩබල ගැනනං කතා කරන්ට එපා...

    ReplyDelete
  26. සිහින සෙවනැලි ලියවෙන්නෙ නැති එකනම් සැහෙන්න අපරාදයක් අප්පා.

    ReplyDelete
  27. මාස ගානකට පස්සෙ ඉබ්බා පීන පීන ඉන්නකොට මොකක්දෝ මන්දා අතට අහු වුනා. ඉබ්බා ගත්ත ගමං කටේ දා ගත්තා. බලනකොට කැවිලා තියෙන්නෙ අමු. හිහ්... :D ඉතිං ඉබ්බා එක දිගට පෝස්ට් 5ක් 6ක් ලිවුවා. මෙන්න බොලේ පරණ නම් එක දෙක කොමෙන්ට් ගොඩේ තියනවා. දකින්නත් සතුටුයි. ඉබ්බා සමනලතටු ලියපු මුලම කාලෙ රන්දිල් අක්කා හරියට කීචොක් දැම්මා :) . ඉබ්බාව ඇත්තටම දන්නෙ නැති වුනාට රන්දිල් අක්කා චරපුරුෂ ජාලය ක්‍රියාත්මක කරලා හොයා ගත්තා. ෆුහ්... යාන්තං වැඳලා වැඳලා බේරුනේ. රන්දිල් අක්කා කිවුවමයි දැනගත්තෙ අපිවත් ඉඳලා හිටලා මතක් වෙලා කියලා. ලියපු කතා වලින් කට්ටිය සතුටු වුනා නම් මටත් සතුටුයි. හා පැටික්කී, ඩුබායි වට්ටක්කා, බ්ලොගීගේ ඩයරිය මමත් ආසාවෙන් කියෙවුවා මතකයි. ඒත් ඒවා නැවතිලා කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. ඇයි මමත් මිසිං ඉන් ඇක්ෂන් නෙ. හිහ්. සමා වෙන්න ඕනෙ. සතියේ දවස් 5ම ගෙදර යනකොට රෑ 8.30 - 9 වෙනවා. සෙනසුරාදා දවසම ක්ලාස්. ඉරිදා දවස් භාගයක් ක්ලාස්. හැම මාස 2න් 2කටම අසයින්මන්ට්. 3න් වෙනි මාසේ විභාග. මාස 6කට වීක් එන්ඩ් 2ක් විතරක් නිවාඩු. ඉතිං කොහේ ලියන්නද බ්ලොග්. ඒත් තාමත් හිත බ්ලොග් ලියන්නමයි.පරණ කට්ටිය සහ අළුත් කට්ටිය හම්බ වෙන්න ආසයි. වෙලාව තියන කොට අනිවා ඔය ලිපියක් දෙකක් කියෝනවා. අපිවත් මතක තියං හිටියට ස්තූතියි. දැංනෙ බොලේ දැන ගත්තෙ :) .

    ReplyDelete
  28. ගැමියා සහ සංචාරකයා දැන් කෝ?
    ටැබූ සම්මාන ලාභීන් දෙදෙනෙක්... ලියන්නෙ නැති එක අසාධාරණයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...