![]() |
| Image - Flickr.com |
" අයියෙ විජිත......"
" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? "
" විජිත බොන්ට පටන් ගෙන.... "
" නෑහ්හ්හ්හ්!!! ..."
අපි දෙතුං දෙනාටම එහෙම කියවුනෙ එක පාරටම...මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි කිව්වලු…
" මොකෝ බං ඒ හිටපු ගමම්ම? මට මේ කතාව විස්වාස කරන්ටත් තරම අමාරුයි. "
" අර ටීචර්ගෙ වැඩේ කෙල වෙලා ගිහිල්ල... විජිත පිස්ස වගේ දැං....දවල්ටත් බොනවලු. ලොක්ක වෝනිං ලෙටර් එකකුත් ගහල "
ඒ දවස්වල අපේ තිබ්බ චක්‍රලේඛයක්...මත්පැන් පානය කිරීමේ කාල වේලාවන් සහ ඒ නියමිත ප්රමිතීන් සඳහන් කරල. ඒකෙ විදිහට උදේ අටේ ඉඳල දහය වෙනකල් බොන්ට පුලුවන් Upto 6% Alcohol by volume විතරයි. ඒ කිව්වෙ ඔය ස්ටවුට් බියර් වගෙ එව්ව. දහයෙ ඉඳල දොලහ වෙනකල් Below 30% Alcohol by volume මධ්‍යාහ්න දොලහට පස්සෙ නෝ ලිමිට්...ඔය නීතිරීති කඩකෙරුවොත් කිරිමෙල් කේස් එකක් තමයි.
අනික් කාරණේ ඔය ජීවිතේට බීල නැතුව බූට් පාරක් කාල එහෙම බොන්ට පටන් ගන්නව නේද? ආය නෑ ඉවරෙටම ඉවරයි..එල්ලම් මුඩිංජි...සුගතං මතකයි නේ?...අර බීරි පෙණහැල්ලෙ...ඒක තමයි මම ඔය නිතරම කියන්නෙ ජීවිතේ කොරන්ට තියන එව්ව ඔක්කොම නියමිත කාලෙට කෙරුවම කිසි අවුලක් නෑ. විප්රයෝගය විඳින එකත් එහෙමයි. ඒ පන්නරය ලැබුනට පස්සෙ ආයෙ නෝ හෙල්ලුං පොල් මැල්ලුං...හරි එව්වයිං වැඩක් නෑ..කතාවට එමු ආපහු.
" මේ අහිංසකය නැතිවෙන්ටයි යන්නෙ.." විමලෙගෙ ඇස් දෙකේ තිබ්බෙ ලොකු දුකක්.
" ඉතිං මොකද අර කෙල්ල මූට කණුව තියල තියෙන්නෙ? " ජයේ ඇහුව..
" දන්නෙ නෑ අයියෙ..ඇහුවට විජිත කියන්නෙ නැතිලු. ඔය කෙල්ල තරහ උනයි කියලත් කට්ටිය දැනගෙන තියෙන්නෙ දවසක් රෑ බිල අඬ අඬ ඔය විස්තරේ කියාපු නිසාලු. ධර්මෙ එක්ක කියල තියෙන්නෙ. "
ධර්මෙ කියන්නෙ විජිතගෙ කුටි සගයා.
" ම්ම්..එතකොට මොකක්ද දන්නෙ නෑ නේද හේතුව? "
ජයේ මගෙ මූණ දිහාවෙ බැලුව..උගෙ බැල්මෙන්ම කිව්වැකි මොකක්ද හේතුව කියල ටක්කෙටම ඌ දන්නවයි කියල. ඒ එක්කම ඒ හේතුව මම දන්නවයි කියලත් ඌ දන්නව.මම උගෙ මූන දිහා ටිකක් වෙලා බලාන ඉඳල දිග හුස්මක් පාතට හෙලල අහක බලා ගත්ත.
අපේ පාඨමාලාව මාස තුනක්...කොහොමින් කොහොමින් හරි ඔන්න මාස තුනකුත් ඉවර වෙන්ට ආව.නිශාන්තිට " එහෙනං ළමයා.අපි ගිහිල්ල එන්නම් " කියල මම කිව්ව.
ආය අවුරුද්දකිං ආපහු එන්ට ඕන මේ පාඨමාලාවෙම දෙවන පියවර නොහොත් ෆේස් ටූ කරන්ට. ඒ එනකොට ඉතිං නිශාන්ති ඉඳියිද දන්නෙත් නෑ. " මම ලියුම් එවන්නං " නිශාන්ති මට කිව. " හා...එවන්නකො " මම කිව්ව.
ලියුම් නං ඔහෙ එකක්ද දෙකක්ද එවල තිබ්බ. මම උත්තරත් යැව්ව. ඒත් එතනිං එහාට ඒ සම්බන්ධය දියාරු වෙලා ගිහිල්ල ස්වාභාවික සහ තර්කානුකූල අවසානයකට පැමිණියා. හරි ඒ අනාගත කතා පස්සෙ කියමු.
ඉතිං අපි ආපහු ඇවිල්ල සේවයට වාර්තා කලා. එදා හවස අපෙ අනික් එවුං සංවිදානය කලා අපට පිළිගැනීමේ සාදයක්. කෝස් එකේ විස්තර කියල ඉවරයක් නෑ උංට.කොහොමිං කොහොමිං හරි විජිතය නෑ හිටියෙ පේන්ට. මම හිතුවෙ අපි ආවය කිව්වම මනුස්සය දුවගෙන ඒවිය කියල සුජා එක්ක සම්බන්දෙට උනේ මොකක්ද කියල මා එක්කලා කියන්ට.
ධර්මසේන මතකද? විජිතගෙ රූම් මේට්...මිනිහ බොන්නෙ නෑ. ඒත් අපි අපහු ආපු ආරංචියට හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට මිනිහ පාටියට ඇවිල්ල හිටිය. අන්තිමට ඔන්න කොහොම හරි මම ධර්මය ගාවට කිට්ටු උනා.
" ධර්මෙ…"
" ආ ..වීරෙ ඉතිං ?.."
" කෝ බං විජිතය?..."
" ඒකනෙ මචං බලාපංකො මේ මනුස්සය කෙලින පිස්සු....දැං සති දෙකක් විතර ඌ ආගිය අතක් නෑ.."
" මොකක්? ආගිය අතක් නෑ?...මේ මුංගෙ සද්දෙ අස්සෙ මෙලොව දෙයක් ඇහෙන්නෙ නෑනෙ..වරෙං ධර්මෙ අපි මගෙ කාමරේට යමු...."
වීදුරුවට තව එකක් දාගෙනම මම ධර්මය එක්ක මගෙ කාමරේට ගියා.කාමරේ දොර වහල මම ඇඳේ ඉඳගත්ත.
" ධර්මෙ ඉඳගනිං …"
මම මගෙ ලියන මේසෙ පුටුව පෙන්නුවා.
" ඉතිං මට කියාපංකො විස්තරේ මුල ඉඳලම.."
" මමත් හරියකට දන්නෙ නෑ මචං..උඹ දන්නවනෙ විජිතය එච්චරම ඕපන් පොරක් නෙවෙයිනෙ.මගෙ රූමා උනාට ඌ මටවත් හරියට විස්තරයක් කියන්නෙ නෑ. ඔය සුජාතා එක්ක සම්බන්දෙ උනත් මම දන්නෙ අනික් හැමෝම දන්න ටික තමයි. ඒත් මේ පහුගිය මාස දෙහෙක විතර ඉඳල මිනිහ හරියට වෙනස් උනා. ජීවිතේම එපා වෙලා වගෙ උන්නෙ.මම ඇහුවට කිසි දෙයක් කිව්වෙ නෑ."
වචනයක්වත් කතා නොකර මම ධර්මයගෙ කට දිහාවෙ බලං හිටිය.
" අන්තිමට දැං මාසයකට වගෙ උඩ ඉඳල බොන්ටත් පටං ගත්ත. කාමරේ බෝතලයක් තියාගෙන හොරාට බොනව. ඒ කරල රෑට කන්නෙත් නැතුව බුදිය ගන්නව.එහෙම කරල ටික දවසකිං දවල්ටත් බොන්ට පටන් ගත්ත. පස් සෙ දවසක් බීල ඔෆිස් එකේදි ලොක්කට අතටම අහුවෙල වෝනිං ලෙටර් එකකුත් ගැහුව...මොන? වෝනිං ලෙටර් ගැහුවට ඌට වගේ වගක් නෑ..අලකොලේට වතුර දාන්න වගෙ.....ඌ දිගටම බිව්ව. "
හප්පච්චියේ...මේසෙ උඩ තිබ්බ අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවල තිබ්බ ෂොට් එක මම එක උගුරට ගසල ඇරිය. ඇයි දෙයියෝ සාක්කි..මෙව්ව ඇහෙන කොට නොබී කොහොමද?
විජිතය මතකනෙ ඉස්සොරෝම අර කෙල්ලට යවන්ට ඌට කවි ලියල දෙන්ටෙයි කියල හා එහෙනං බෝතලයක් අරං වරෙංය කියල අපි කිව්වම ඇඹරි ඇඹරි ඕකා කිව්ව දේ...
" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....."
ක්ලබ් එකෙං අරක්කු ගත්තය කියල ලොක්කට ආරංචි වෙනවට බයේ එහෙ මෙහෙ ඇඹරිච්චි එකා...බීල ඔෆිස් යන්ටත් පටං අරං...ඇඳේ එහෙමම ඉඳගෙන ඔලුවෙ අත් දෙකත් ගහගෙන මම එහෙම්මම කල්පනා කරන්ට ගත්ත.
යකෝ මේ අගේට හිටිය කොලුවට මෙහෙම වෙච්චි එකට මමත් සුට්ටක් හරි වග කියන්ට ඕනද? ඒ කොහොමද? උඹ බලෙං ඌට කවි ලියල දුන්නෙ නෑනෙ. විජිතයමයි කැමැත්තෙං උඹට කියල කවි ලියව ගත්තෙ.මගෙ හිතම දෙපැත්තකට බෙදිල තර්ක කරන්ට ගත්ත. අනික උඹ කිව්වනෙ විජිතයට මේ වැඩේ හරි නැත. ඒ ගෑණු ළමයට පුළුවන් ඉක්මනින් මේ ගැන ඇත්ත කියන්ටෙයි කියල. ඌ එහෙම නොකරට උඹ මොනව කරන්ටද?
පොඩි කාලෙ ...ඇත්තම කියනවනං පොඩි කාලෙ විතරක්ම නෙවෙයි මේ අදටත් මගෙ ප්‍රියතම චිත්‍ර කථා පොත් පෙලක් ටිං ටිං ගේ කථා. ටිං ටිං ගෙ බල්ලගෙ නම ස්නෝවි.දවසක් මට මතක විදිහට Land of Black Gold කතාවෙ වෙන්න ඕන. මොකක් හරි හදිසි පණිවිඩයක් ටිං ටිං ට අරං යද්දි ස්නෝවිට හම්බ වෙනව මස් කට්ටක්. පණිවිඩේ අරං යන එක පැත්තක දාල මස් කට්ට කනවද නැත්තං බාර වෙච්චි රාජකාරිය කරනවද කියල ස්නෝවිට හරිම දෙගිඩියාවක්. ස්නෝවිගෙ හිතේ ඉන්න යක්සයයි දේව දූතයයි දෙපැත්තට බෙදිල තර්ක කරනව. ඒත් අන්තිමට දේව දූතයගෙ බහට නැමිල ස්නෝවි මස් කට්ට පැත්තක දාල අර පණිවිඩේ අරගෙන යනව. අන්න ඒ වගෙයි මගෙ හිතත් දෙපැත්තට බෙදිල ඒ වෙලාවෙ තර්ක කලේ.
කොහොම හරි අන්තිමට මගෙ වරදක් නෑය කියල මම හිත හදාගත්ත.
පහුවදා ඔෆිස් එකට ගිහාම මට ලියුං දෙකක්ම තිබ්බ. ඒ වෙනකොට මට ලියුං එව්වෙ බොහෝවිට අම්ම විතරමයි. හාව හඳ දකින්න වගෙ වසන්තයගෙන් ලියුමක් තිබ්බ ඉඳහිටලා.චුට්ටිගෙ කේස් එක නිසා ( ආදර නිල් දෑසේ ......අන්න ඒ කතාව ) අපි අතර ආශ්‍රයට කිසිම බාධාවක් නොවුනට ඌ කොහොමත් කලිං ඉඳලම එහෙම තමයි.ලියුමක් ලියන්නෙ නෑ මැරූ කොට හෙහ්...හෙහ්,
මේ ලියුං දෙකේම ඇඩ්රස් එක ටයිප් කරලයි තිබුණෙ.කවුද යකෝ රාජකාරි ලියුමක් ඇරුනම ඇඩ්රස් එක ටයිප් කරල එවන්නෙ? ඔහොම හිත හිත මම ලොක්ක හම්බවෙලා අපේ පාඨමාලාවෙ විස්තරත් එයයි එක්ක කතා කරල පැයක් හමාරක් ඔෆිස් එකේ ඔහෙ එහෙ මෙහෙ වෙවී ඉඳල දහයට වගෙ ක්වාටර්ස් එකට ආව. අනික් එවුන් ඔක්කොම වැඩට ගිහිල්ල. සැමිය ගිනි කාගෙන කුස්සියෙ උයනව.
" මොනවද බං දවල්ට? " එහෙම අහගෙන මම කුස්සිය පැත්තෙ පස්ස දොරෙම්ම ගෙට ඇතුල් උනා.
" අද නං මහත්තයගෙ වෙලාව. ලූලෙක් හම්බ උනා…." සැමිය දන්නව ලූලා වනාහී මගෙ ප්‍රියතම බෝජනයක් කියල..
ඒ අහල පහල ජලාස වලින් අල්ලන වැව් මාලු පුෂ් බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන ගම්වල මිනිස්සු අපේ කෑම්ප් එකට අරගෙන එනව. බොහෝවිට තිලාපියො.තිලාපිය බැදල ගත්තම අප්පට සිරි බත මරන්ට පුලුවනි.ඒ වගේම තමයි වැව් මාළු කරවල..අන්න කෑම. මේ චිකන්, බිකන් මොන කෙහෙල්මලක්ද? කියල හිතෙන්නෙ එව්වයෙ රහ මතක් වෙනකොට. ඒත් ඔය ඔක්කොටම හපනි ලූලා. අනික සැමී හදනව ලූලා ටිකක් විතර පහේ අත වැඩියෙං දාල හිඳෙන්ටම ඇරල යාන්තමට ඉසම තියෙනව නෑ වගෙ ගානට... අනෙ අම්මාපල්ල කියල වැඩක් නෑ කාලම බලන්ට ඕන...
" අහ්..නියමයි අද දවල්ට එහෙනං කෑමට පෙර සුට්ටං එකක් නවාගන්ටත් ඇහැකි. ඊයෙ බඩු ඉතුරුයි මම හිතන්නෙ. අනික මට හවස වැඩකුත් නෑ.."
මම ලිපේ ලූල් මාලුවට එබිල බැලුව..
" කොල්ලො හොඳ එකා වගෙ මට කහට එකක් හදාගෙන වරෙං…"
" මහත්තෙය..උදේ මුං කිරිබත් හදාපුව ඉතුරු වෙලා තියනව..බෙදල ගේන්ටද පිඟානකට? "
" එපා කොල්ලො..දැං ඕන නෑ..කහට එකක් හදහං ඒ ඇති."
ඒ එක්කම ඉහළගෙදර ගොඩ උනා කුස්සියට. ඉහළගෙදර කිව්වෙ අල්ලපු චමරියෙ ගෝලය.අපේ ගෝලය ( දුහුණන් දැනුම් උදෙසා...ගෝලයා = ඉවුම් පිහුම් කටයුතුහි යෙදෙන සේවකයා, චමරිය = නිල නිවාසය ) සැමියගෙ අතීසාර මිත්තරය.
" ආ මහත්තය ඊයෙලු ආවෙ නේද? "
" ඔව් බං පෙරෙයිදනෙ කොළඹ අර අපි ගියපු පුහුණුව ඉවර උනේ.."
ඔය ඉහළගෙදර මයෙ ගජ යාලුව. දවසක් ඕකට මරු වැඩක් උනා මං හින්ද... ඔය අපෙ කෑම්ප් එකේ එවුං ඉන්නව නේද? කාලෙං කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ කියල අර නිහාල් නෙල්සන් කියන්නවගෙ මොනව හරි කාලෙං කාලෙට අල්ල ගන්නව. එක කාලයක් ඔන්න යෝග වියායාම ඇඟට හොඳයි කියල ඔක්කෝමල පටං ගත්ත ඒක..
ආය කාලයක් ඔය කොරියාවෙද කොහෙද ක්‍රමයක්ය කියල උදේම නැඟිට්ට ගමනෙ හිස්බඩට වතුර වීදුරු හයක් බොන එක හොඳාය කියල එහෙම පටං ගත්ත. බඩ පුරා වතුර බීල එවුං අර හැල ගෙම්බො වගෙ ඇස් ගෙඩි දෙකත් උඩ තියාන ඉන්න විදිහ බලල විමලෙට ජයේට මට එහෙම මැරෙන්ට හිනා!!!
අය ඒ දවස්වල තිබ්බ දැං අර මල් පිටුව කියල එකක් සුවර්න වාහිනියෙ කොරන බන්දුල පත්ම කුමාරගෙ මල් පත්තර, කුමරි, යුවති, පතිනි, සකුණි, රැජිනි යකිනි, රාස්සි, බැරැස්සි, ඔය නොයෙක් එව්ව..අපේ කොල්ලො ඔව්ව ඔක්කොම අරං එනව ගෙදර ගිහිල්ල එනකොට..අපිත් ඉතිං කම්මැලි කමට ඔව්ව මාරු කරගෙන කියෝනව.
ඔය පත්තරේක එක පාරක් තිබ්බ ඔන්න ඉන්දියාවෙ ඉහල වංසක්කාර කොල්ලෙක් පේම වියෝවක් හින්ද සසර කල කිරිල ලංකාවෙ ඔය කොහෙද ආරන්යකට එනව බාවනා කරන්ට.ඒ ආරන්‍යය කිට්ටුව තියනව වලව්වක්. ඔය වලව්වෙ පොඩි දෝණි ඇමරිකාවෙද කොහෙද ඉගෙන ගන්නෙ.නිවාඩුවකට ගෙදර ඇවිල්ල ඉන්න අතරෙ යනව අර ආරණ්‍යයට.එතනදි අර කොලුව හම්බවෙනව..
හරි එතනිං එහාට කතාව හිතාගත්තැකිනෙ නේද? මම කියන්ට ඕන නෑනෙ..හරි මගෙ කතාවට අදාල වෙන්නෙ මෙන්න මේ ටික..ඒ ඉන්දියානු තරුණයාගෙ හම එහෙම රංවං පාටයිලු.මනුස්සය උදේට මොකවත්ම කන්නෙ නැහැල්ලු. මිනිහගෙ ඉන්නව ආවතේව කාරයෙක් ඉන්දියාවෙම්ම ගෙනල්ල. ඒ මනුස්සය උදේම කොහොඹ කොළ කොටල ඉස්ම අරගෙන වතුර දාල මේ බ්‍රාහ්මණ වංසික තරුණයට බොන්ට දෙනව. ඒක තමයි මේ රන්වන් පාට චවි කල්යානයෙ රහස කියලයි ඒ කතාවෙ තිබ්බෙ. මාත් කියෙව්ව ඒ දවස්වල ඔය කතාව.
ඕක මදැයි අපෙ පිස්සු හුටංලට. එවුං පටං ගත්ත ගෝලයො යවල අහල පහල ගම මුලුක්කාදියෙ තියෙන ඔක්කොම කොහොඹ ගස් හූරවන්ට. ඒ කරල පාන්දරම වංගෙඩියෙ දාල කොටවල හිස්බඩම බොන්ට පටංගත්තෙ නැතෑ.
අපේ චමරියෙත් ඉන්නවනෙ ඔය ටිකක් එක විදිහක එවුං ..උනුත් ගෙනාව ඔය අයිඩියා එක දවසක් නිකං මේ මුට්ටිය දාල වගෙ බැලුව..විමලෙයි මමයි එක හෙලාම විරුද්ද උනා..
" අනේ මේ අපේ මේ හමේ තියන රංවං හරි ලා කළු හරි තද කළු හරි ඒ පාට අපිට හොඳටම ඇති. මෙහෙ ඔය උදේ පාන්දර කොහොඹ කෙටිලි හරියන්නෙ නෑ. උඹලට ඕනම නං ඔය කොටන තැනකට ගිහිල්ල බීල වරෙල්ල. "
එතනිං අපේ චමරියෙ නං ඔය ඡවි කල්යාණාත්මක කොහොඹ යුෂ පිළියෙල කිරීම ඇණ හිටිය.
එක දවසක් ඔන්න මට උදේ වරුවෙ හරි හමං වැඩක් තිබ්බෙ නෑ..අටට විතර ඇහැරල එනකොට අපෙ සැමියයි ඉහළගෙදරයයි බර කයියක් කුස්සියෙ.
" මොකද බං උඹලගෙ මේ කයිය? "
එහෙම අහගෙන මම දත් බුරුසුවත් අතිං අරගෙන කුස්සියට ගියා..සැමියට මාව දැක්ක ගමං හිනා..
" මහත්තය දන්නවද වැඩක්...දැං අපේ ඉහලෙත් උදේට මොකවත්ම කන්නෙ නැතිලු.අර කොහොඹ කොල ඉස්ම විතරලු බොන්නෙ. "
" නෑහ්හ්???? ඇත්තද බං මේ සැමිය කියන්නෙ? "
මම දත් බෙහෙත් ටිකක් දාගත්ත බුරුසුවට..
" ඔව් මහත්තය …"
ඉහළය ඇඹරුනා එහාට මෙහාට..ඕකා හරිම ලජ්ජකාරය.වයස තිස් පහක් වගෙ උනාට ඒ වෙනකොටත් කසාදයක බැඳල කරල කාරිය එහෙම නෑ.
" ඉතිං ඉහළෙ?..කියාපංකො බලන්ට උඹේ හම දැං පාට වැටිල එහෙම ඇවිල්ලද තියෙන්නෙ?..."
කටේ දත් බෙහෙත් කෙළ ටික හැලෙන හින්ද කට උඩට හරෝගෙන මම ඇහුව..
" ඔව් මහත්තය ටිකක් පාට වැටිල වගෙ නම් තියනව තමයි." ඉහළය ආයෙම ඇඹරුන..
" මේ කොල්ලො..නියම විදිහට හම පාට වැටෙන්ට නම් ඔය කොහොඹ කොළ ඉසම බීල විතරක් හරියන්නෙ නෑ.." මම ආයෙම කට උඩට හරවගෙන කිව්ව..
" එහෙනං මහත්තය? " ඉහළෙය ඇහුව නළලත් රැළි කරගෙන..
" යකෝ..ඔය කොටල ඉතුරුවෙන කොහොඹ කොළ තියනව නේද?.... එව්ව ටිකත් කාහං... ආන්න එතකොටයි නියම විදිහට හම රත්තරං පාට වෙන්නෙ.." මම නැමිල කාණුවට කෙළ ගැහුව.
පහුවදා දවල් මම කන්ට එනකොට ටිකක් පරක්කුයි. අපේ අනික් එවුං කාල එහෙම සාලෙ ඉඳගෙන කතා බහක යෙදිල උන්නෙ..
" හරිම මහන්සියි " මම සේට් එක ගලවන ගමං කිව්ව,
" ආආ....අන්න මහන්සි නෙවෙයි..උඹට පොලිසි යන්ට වෙයි අර යකා මළොත් එහෙම.."
" ඈ?? මොන යකාද? අනික යක්කු මලාට මම මොකටද පොලිසි යන්නෙ? "
" අර ඉහළෙය ..ඌ අද උදේ කොහොඹ කොල කොටාපුව වංගෙඩියෙං බාගයක්ම කාල. බඩ දැවිල්ලයි, රිදෙන්ටයි අල්ලල අන්න එකොළහට විතර ඉස්පිරිතාලෙ එක්ක ගියා.."
" නෑහ්???....."
" නෑ..නෙවෙයි ඔව් ලොක්ක ඇහුවම මොකටද බං ඔය හැටි කොහොඹ කොළ කැටියක් කෑවෙ? උඹට පිස්සුද? කියල ඌ කියල වීරසිංහ මහත්තය තමයි මට කන්ට කිව්වෙ කියල. "
රතනත්තරේ පිහිටාරස්සාවෙං ඉහළෙයට ඒ හැටි අමාරුවක් එහෙම උනේ නෑ. ඉස්පිරිතාලෙං බෙහෙත් දීල දෙක තුන වෙනකොට මිනිහ ආපහු ආව කෑම්ප් එකට..
" අඩේ මම උඹට වංගෙඩි බාගෙක කොහොඹ කොළ කන්ට කිව්වද? මම කිව්වෙ මේ අල්ලක් විතර කන්ටය කියලනෙ. " ඉහළෙයගෙ ලෙඩ බලන්ට ගිහිල්ල මම ඌට කිව්ව
" ඒකනෙ මහත්තය..මටයි වැරදුනෙ.." ඉහළෙය ආයෙම ඇඹරුනා.
ඒත් මගෙ කොහොඹ කොල ප්‍රතිකාර විධි ක්‍රමයෙන් ඌට නරකක් එහෙම උනේ නෑ. ඒ ඉස්පිරිතාලෙ වැඩ කරපු ඒ කිට්ටුව ගමක කෙල්ලෙක් මිනිහට සැට් වුනා ඒ බෙහෙත් ගන්ට ගිය ගමනෙං. පස්සෙ ඒ කෙල්ලව බැඳල මනුස්සය එහෙම බින්න බැස්ස.
ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා...
" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ..
" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ."
සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා.
මතු සම්බන්ධයි......






