Tuesday, October 29, 2013

226. කවිකාරියකගේ ප්‍රේමය…..14



" මොකද බං කරන්නෙ? උඹ තනියම මේක අස්සට වෙලා ඊයෙ ඉතුරුව වත් ගහනවද? " ලාච්චුව වහනකොටම කුමාරය දොරත් ඇරගෙන කාමරේට ආව. 

" පිස්සුද බං? මොන ගැහිල්ලක්ද? " මම මේ පොතක් බල බල හිටියෙ..
" හරිම රස්නෙයි මම යනව නාගන්ට….." කුමාරය සරමකට බහින ගමං කිව්ව.. 

" හරි යමු..මාත් නාගන්ට ඕන……" මම ඇඳෙං නැඟිටල පුටු ඇන්ද උඩ වනල තිබ්බ තුවාය අතට ගත්ත. 

නාකියාගෙන අහක වෙලා හීන්වට දෙකකුත් කැකුලෙන්ම නවාගෙන ලූලා සමඟ බත මරල කාමරේ දොරත් වහගෙන මම ඇඳට ගොඩවෙලා කොට්ට දෙක විට්ටමට හේත්තු කරල ඒකට හේත්තු උනා. කට්ටියම හවස වැඩට ගිහිල්ල. සැමියත් කාල එහෙම මම හිතන්නෙ ඉහළෙයගෙ කාමරේ පැත්තෙ යන්ට ඇති.

මේස ලාච්චුවෙ පත්තරේ යටින් ලියුම් කරදහි දෙක අරගෙන මම සෑහෙන වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය. මුද්දරේ ධර්ම චක්කරේ මැකිල ගිහිල්ල ඒ උඩ මතු උනා ඔන්න සුජාගෙ හිනා පිරි මූණ...

" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම....

හිනාවීගෙනම සුජාතා මා දිහා බලා හිටිය..මොකද බොලේ මේ? දවල් කැකුලෙම්ම දාගත්තු දෙක වැඩි උනාවත්ද මන්ද...හරි එව්වයිං වැඩක් නෑ..කඩල බලමු එයයිගෙ දෙවෙනි ලියුම..සීල් එකේ විදිහට සතියකටවගෙ කලින් එවල තියෙන්නෙ.

හිතවත් රවි අයියා වෙත,

පළමු ලිපියෙහි වීරසිංහ මහතා වෙත යයි අමතා මේ ලිපියෙහි ඇමතුම මවිසින් වෙනස් කරන ලද්දේ යම් හේතුවක් ඇතිවය. ඒ පිළිබඳව ලිපිය අවසානයෙහි පවසන්නෙමි.

සති දෙකකට ආසන්න කාලයකට පෙර ඔබට මවිසින් එවූ ලිපියට පිළිතුරක් එවීමට හෝ පමණ ඔබට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැතිබව පැහැදිලි ලෙස වටහාගත් පසු මසිතෙහි පළමුව හට ගත්තේ දැඩි කෝපයක් සහ මුසුවූ කණගාටුවක් වන් හැඟීමකි.එහෙත් ඒ හැඟීම කෙමෙන් කාලය ගෙවීයන්නා හා සමඟ පහව යත්ම මසිත පිරීයන්නට වූයේ යම් සහනයක් වන් සිතුවිල්ලකිනි. මේ ප්‍රකාශය බොහෝවිට ඔබට විමතියට කරුණක් වන්නේ නම් පළමුව ඒ පැහැදිලි කරලීමට මට අවසර.

" ඔබට ප්‍රථම සහ අවසන් වරට අප හමුවූ දින ඇමතූ පරිදි අයියා යැයි නොඅමතා මහතා යයි ඇමතීම පිළිබඳ ව පළමුව මට සමාවන්න. එහෙත් මේ ලිපිය අවසානය දක්වා කියවූ පසුව එසේ ඇමතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔබ වටහාගනු ඇති බවට මට සැකයක් නැත. "

ඔබ වෙත ලියූ පළමු ලිපියෙහි ප්‍රථමයෙන්ම මම එසේ සඳහන් කළෙමි.

ඉන් මා අදහස්කලේ මවිසින් කරන්නට යෙදෙන ඉල්ලීම පිළිබඳව තීරණයක් ගැන්මට ඔබට කිසිදු බලපෑමක් නොකරන බවයි. අවම වශයෙන් හිතවත් යන්න හෝ යොදා නොගත්තේ එබැවිනි.ඔබ මගේ ඉල්ලීම කෙරෙහි ඔබේ ප්‍රතිචාරය ඉතාමත් පැහැදිලි ලෙස දක්වා ඇත. ඒ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමෙනි.

කම් නැත, හිතවත..මම ඔබේ තීරණය පිළිගනිමි.අප අතර යම් එකඟතාවයක් ඇතිවියයුත්තේ අන්‍යෝන්‍ය අවබෝධය මත පමණි. එසේ හෙයින් ඔබට මින්පසු කිසිදු ලිපියක් නොලියමි.

දඹදෙණි කඳුවැටිය පිළිබඳව ඔබ අසා ඇත්ද? අප නිවසෙහි ඉදිරි බරාඳයෙහි පියාණන් භාවිතා කල ඇඳි පුටුවක් තවම ඇත. එහි හිඳගත් විට අත දිගුකලාක් මෙන් ඉදිරියෙන් පෙනෙනුයේ දඹදෙණි කඳුවැටියයි.

වස්සාන සමයෙහි රාත්‍රියෙහි මහ වැසි ඇද හැලීමට පෙර දඹදෙණි කඳු වැටිය පසුබිම් කොටගෙන අසනි දහරා මොහොතක් කඳු සිරස ඒකාලෝක කොට එසැණින් මැකී යනු මම අනන්ත දැක ඇත්තෙමි. ඇත්ත වශයෙන්ම වැසි වසින්නට පෙර අනිවාර්යයෙන් දිස්වන ඒ චිත්තාකර්ෂනීය දර්ශනය නැරඹීමට මම බොහෝසේ ප්‍රිය කරන්නෙමි. 

මගේ මවගේ කොතෙකුත් විරෝධතා ද හමා එන්නාවූ සීතල සුළඟද නොතකා අසනි දර්ශනය නිමවෙන තෙක් නොවරදවාම බරාඳයෙහි ඇඳි පුටුවෙහි මම හිඳ සිටිනුයේ එහෙයිනි.

ඔබ ද එසේ මා දෙනෙත් ඉදිරියේ දැල්වී එසැණින් අතුරුදන් වූ අසනියක් ලෙස මම සළකන්නෙමි. හෙට හෝ අනිද්දා දඹදෙණි කඳුවැටිය පසුබිම් කොට යළිදු අසණි ආලෝකය දැල්වී නිවීයද්දී මට ඔබ සිහිවනු ඇත.

ඔබගේ සියළු පැතුම් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා!!! 

මම,

සුජාතා.

ප.ලි -

ගිරිහිස එසැණ දිලි අසනිය සරට වැටුණි ගිනිකණ නෙත, 
නිල්දිය පොකුණ මත මුකුලිත රත් සියපත පෙති ගිලිහෙත, 
කිණිහිර මතින් විකසිත සත්පෙති කුසුමෙක රොන් සුණුවෙත,
ගිණිසිල වෙතට වැද මියෙනා මත් බමරිඳු යලි සිහිවෙත,

නෙතග පිරුණු කඳුලු බිඳක සිහිලස දෙකොපුලට දැනේ,
වතට හොරා මුව අග පිපි මදහස නොකියාම මැකේ,
සසර සරා හුදකලාව තනිමග යන ගමන මගේ,
සිතක ඉපිද එසැණ මියුණු සෙනේහයක සුවඳ රැඳේ,


හප්පට සිරි ගජ නැන්දට කජු මද කිව්වලු ….ඔලුවට පොල්ලකිං ගහල ඒ එක්කම යටි බඩට කලා කිරිඤ්ඤෙකින් දමල ඇන්න වගෙ උනා ඔන්න මට...

එහෙම්මම ඇඳේ දිගාවෙලා සිවිලිම දිහාවෙ බලාගෙන මම කල්පනා කලා හවස් වෙනකල්.මොකදෑ අප්පේ මේකට කරන්නෙ දැං?....පපුව හාරල බැලුවොත් සුජා ගැන මයෙ හිතේ ඇත්තටම තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද? මාස කීපයක් තිස්සෙ වෙච්චි කවි ගනුදෙනුව නිසා සුජා ගැන මට හිතෙන්නෙ කාලයක් තිස්සෙ ආශ්‍රය කල කෙනෙක් හැටියටය කියල කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. සුජා කියල තිබ්බෙත් ඒ කතාවමනෙ..මම ආයෙම පළවෙනි ලියුම අරං කියෙව්ව..ආ..මේ තියෙන්නෙ...

" එහෙත් අවසානයේදී ඒ කවි ලියූවේ ඔහු නොව ඔබ බව දැනගත් කල එකවරම මසිතට නැඟුනු සිතුවිල්ල වූයේ එසේ නම් මා හඳුනාගෙන ඇත්තේ ඔබය. නො එසේනම් ඔබේ සිතය. එසේමය..ඔබ ලියූ කවි මාර්ගයෙන් මම ඔබ හඳුනා ගතිමි. "

එතකොට සුජාටත් ඒක එහෙමම හිතිල, ඒ හැඟීම එහෙමම දැනිල තියෙනව. මටත් ඒ වගේමයි..එතකොට මොකද මම කරන්නෙ? උත්තරයක් යවනවද? එහෙම නම් යවන්නෙ මොන විදිහෙ උත්තරයක්ද? සුජා දන්නෙ නෑ මට හිතෙන්නෙ මම කොළඹ ඉඳල ඊයෙ ආවෙ කියල. එයා හිතල තියෙන්නෙ මම එයාගෙ පළවෙනි ලියුමට උත්තරයක් ලියන යවන එක හිතාමතාම මඟ ඇරියයි කියලයි. ඒ නිසානෙ අර වගෙ ලියුමක් දෙවෙනියට එවල තියෙන්නෙ.

ඒ සදාදරණීය හැඟීම අන්‍යයෝන්‍යයයි කියලත් පැහැදිලියිනෙ.." එතකොට මොකක්ද ප්‍රශ්නෙ? උඹ සුජාට කියල යවපං උඹ කැමතියි කියල" මගෙ හිතේ ඉන්න අර යෝජක පක්ෂයෙ ප්‍රධානියා තර්ක කලා.

" ඔව්..කතාව ඇත්ත...මම ඔබ හා එකඟයි..." ප්‍රධාන තීරකවරයා හැටියට මම මගේ තීරණය ප්‍රකාශ කලා.

" ආ..එහෙම කොහොමද? මට කරුණු ඉදිරිපත් කරන්ට අවස්ථාවක් නොදීම යෝජක පක්ෂයෙ තර්ක වලට විතරක් ඇහුම්කන් දීල එහෙම විනිශ්චයක් දෙන්නෙ කොහොමද? මම විරුද්ධයි එක හෙලාම.." ඒ ප්‍රතියෝජක පක්ෂයෙ නායකයා.

ප්‍රධාන තීරක නළලෙ අත ගහගෙන කල්පනා කලා. ඇත්ත ඒ තර්කයෙත් පදනමක් තියනව. ප්‍රතියෝජක පක්ෂයෙ තර්කවලට සවන් දෙන්නෙ නැතුව තීරණයක් ප්‍රකාශ කරන එක අසාධාරණයි ඒ වගේම අවිචාරශීලීයි, ස්වාභාවික යුක්ති ධර්මයෙ මූල ධර්ම වලට ඉඳුරාම පටහැනියි. " හරි ප්‍රතියෝජක පක්ෂයේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවයි.." ප්‍රධාන තීරක නිවේදනය කලා.

" අපේ ප්‍රධාන කරුණු දැක්වීම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන්. අගතියට පත් පාර්ශ්වය කියන්නෙ විජිත....මේ සිද්ධියෙන් දැඩි අසාධාරණයක් උනේ විජිතට.විජිත කවි ලියල දෙන්නෙයි කියල ඉල්ල හිටිය තමයි. ඒත් එහෙම කවි ලියල දුන්නෙ නැත්තං විජිත වෙන මොකක් හරි පියවරක් ගනියි.ඒක අපිට අදාල වෙන්නෙ නෑ එතකොට.ඒත් විජිතට කවි ලියල දීල අපි ප්‍රශ්නයෙ කොටස් කාරයෙක් බවට පත් උනා. එතකොට මෙහෙම තර්කයකුත් ඉදිරිපත් කරන්න පුලුවන්.මූලික වශයෙන් අචේතනාන්විතව උනත් තමන් මැදිහත් වෙලා ඇතිකරපු ප්‍රශ්නෙකින් තමන්ම ලාභ ප්‍රයෝජනයක් ගන්න එක කොහොමවත් මම දන්න කිසිම යුක්ති ධර්මයකට නම් එකඟ නෑ. "

ප්‍රතියෝජක පක්ෂයෙ කරුණු දැක්වීම ඒ. ප්‍රධාන තීරකවරයා ඇඳේ දිගාවෙලා සිවිලිමේ එල්ලිලා බොහොම හෙමිහිට කැරකෙන විදුලි පංකාවෙ තටු දිහාවෙ බලාගෙන සාධාරණ තීරණයකට එළඹෙන්ට උත්සාහ කලා.

ප්‍රශ්නයෙ බැරෑරුම්කම හින්දමද කොහෙද තීරණයකට නො එළඹීම ප්‍රධාන තීරකට නින්ද ගියා මම හිතන්නෙ.

" මහත්තයා..මහත්තයා...තේ බොනවද? " කවුද දොරට තඩිබාන සද්දෙකින් ඔන්න ප්‍රධාන තීරක දඩස් ගාල ඇහැරියා.

" මොකද බං දොර කඩන්ටද හදන්නෙ? ඕකෙ අගුල දාල නෑ..වරෙං ඇරගෙන..." ඇඳේ ඉඳගෙන නිදිමත යන්ටත් එක්කලා ඇස් දෙක පොඩි කරන අතරෙ මම කෑගැහුව.

“ මහත්තය තේ එක…..” සැමිය කාමරේට ආව මගෙ දුඹුරු පාට මග් එකත් අරගෙන.

" දැං කීයද බං වෙලාව ?.."

" හතරයි.."

" කවුද මහත්තුරු ආවේ ආපහු වැඩ ඇරිල? "


"කවුරුවත්ම නෑ මහත්තය තාම. "

" හරි එහෙනං ඕක ඔය මේසෙ උඩ තියල ආයෙම අරං වරෙං ගිහිල්ල ගෝල්ඩ් ලිෆ් හතරක්.."


" මහත්තය සිගරට් බොන එක නවත්තල නේද හිටියෙ?..." මම බෝල කූඩුවෙ එල්ලල තිබ්බ කලිසමේ පස්ස සාක්කුවෙං පර්ස් එක ගන්න අතරෙ සැමිය ඇහුව.

" ඔව් බං නවත්තල තමයි හිටියෙ..කොහෙද මේ එක එක රටේ නැති ප්‍රශ්ණ ඔලුගෙඩිය උඩට කඩා වැටෙනකොට සිගරට් නොබී බැරිවෙනව නෙව. " මම සැමියට සල්ලි දෙන ගමන් කිව්ව.

සැමිය හක හක ගාල හිනාවෙල සල්ලිත් අරංගියා මිසක මගෙං මොකද්ද මහත්තය ප්‍රශ්නෙ කියලවත් ඇහුවෙ නෑ. ඕකා එහෙම තමා..ඌට අවශ්‍ය නැති එව්ව ගැන ඌ හොයන්නෙ බලන්නෙ නෑ කීයටවත්.

මේ දවස්වල දවල්ට නින්ද ගියාම ආය නෑ ඉහිං කණිං දාඩිය..ටැංකිය ගාවට ගිහිල්ල තුවාය ඇඳගෙන මම මූණ කට විතරක් නෙවෙයි උරෙස්ස පපුව හරියටත් වතුර දෙකක් දාගත්ත. තේ එකත් බොන අතරෙ ආයම කල්පනා කලා මේ සොඳුරු වූ යුවතියගෙ උභතෝකෝටික ගැටළුවට මොකද කරන්නෙ කියල..අන්තෝ ජටා බහි ජටා...ගෙදර ගියොත් තෝ නහී. මඟ හිටියත් තෝ නහී.ඒ සිංහලෙන්..ඉංගිරිසියෙන්නම් බිට්වීන් ද ඩෙවිල් ඇන්ඩ් ද ඩීප් බ්ලූ සී.

සිගරට් දෙකක් එක පිට බොන අතරෙ මේ පුරස්නෙ ගැන මම හිතුව හැම පැත්තෙම්ම..ඒ කරල තීරණයක් ගත්ත. පොඩි කාලෙ ඉඳලම මගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි..සියල්ලන්ගේම අදහස් වලට සාවධානව සවන් දී වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය ලෙස ඔබට හැඟීයන්න ක්‍රියාත්මක කරන්න හෝ පිළිපදින්න. ප්‍රශ්ණයට අවසානයේ මුහුණදිය යුත්තේ අන් කවරෙක්වත් නොව ඔබමය. එබැවින් තීරණය ගැනීමද ඔබගේ වගකීමකි.

කවුරුවත් කියන විදිහට නෙවෙයි... හැමෝම කියන එව්ව හොඳට අහගෙන ඉඳල හරිය කියල මට හිතෙන දේ තමයි මම කලේ.දැනට අටළොස් වසරක් වෙනකල් එහෙම තමයි මගෙ ප්‍රතිපත්තිය.

දැනට නම් ප්‍රතිපත්තිය මෙහෙමයි..හැමෝම කියන එව්ව සාවදානව අහං ඉන්නව. ඊට පස්සෙ සියලුම කරුණු කාරණා හැම දෘෂ්ඨි කෝණයකින්ම ඉතා හොඳින් සළකල බලල ඉතාම දූරදර්ශී ඥාණාන්විත තීරණයක් ගන්නව. අන්තිමට ඕ තොමෝගෙ තීරණය ක්‍රියාත්මක කරනව.

හවස මගෙ යාලුවො ආහම කාල බීල එහෙම සාලෙ සතුටු සාමීචියෙ යෙදිල ඉන්න අතරෙ මම මේ ලියුං පළහිලව්ව එවුන්ට කිව්ව.

" මේ.....බොලාට පොඩි කාරණයක් කියන්ට තියනව. සුජාතා මට ලියුං දෙකක් එවල තියනව. "

කට්ටියම කතා බහ නවත්තල මගෙ පැත්තට හැරුණ..

" නෑහ්...අම්මප කියාපං මලේ..ඉතිං? ඉතිං? කියාපංකො ඒ ළමය මොකෝ කියල තියෙන්නෙ?" විමලෙ එහෙම ඇහුවෙ.

" අඩේ..තනිකරම කවිද බං තියෙන්නෙ? " ඒ ජයේ..

" කවි දෙකක්ද කොහෙද නම් තිබ්බ ඔන්න ඔහෙ...ඒත් කවි විතරක්ම නෙවෙයි.."

" ඉඳපංකො බං උඹල එක්ක බෑනෙ..මොකක්ද සුජාත දැන් කියන්නෙ? " කුමාර කොහොමත් ෆුල් සීරියස්..ඔය අනම් මනං විකාර කතා ඌට පෙන්නන්ට බෑ.

" සුජාතා මට කැමතියි කියල තමයි තියෙන්නෙ….." ඇහෙන නෑහෙන ගාණට මම කිව්වෙ බිම බලාගෙන..

" ආන්න..ඒකනෙ කියන්නෙ..ඉතිං මොකද උඹේ අදහස? "

" ඇත්තම කිව්වොත් මගෙත් අකමැත්තක් නෑ…"


මම කිව්වෙ බාගෙට ඇරල තිබ්බ ජනේලෙං පේන මිදුලෙ කැරකෙන කළාමැදිරියො දිහාවෙ බලාගෙන.අපේ ප්‍රධාන දොර උඩ හයි කරල තිබ්බ තඩි බල්බ් එක පත්තු කරානං මිදුල පුරාම එළිය. ඔය කළාමැදිරියො එකෙක්වත් පෙනෙන එකක්නෑ එහෙමනං..අද සැමීට ලයිට් එක දාන්ට අමතක වෙලාද කොහෙද?

" සැමී...."

මම සැමීට ලයිට් එක දාන්ටය කියල කියන්ඩත් හදල ආයම නිකා හිටිය. කළාමැදිරියො පළු දෙකේ ලොකු බිමටම තියෙන ජනේලෙ දුහුල් තිර අස්සෙං එහෙන් මෙහෙන් කැරහෙන විදිහ ඇහිපිය නොහෙලා හිටි දාරනේ බලා ඉන්ට තරමට අපූරුයි.

" ඉතිං ඒ ළමයත් කැමතිනං උඹේත් අකමැත්තක් නැත්තං මොකක්ද ප්‍රශ්නෙ? " ඒ ආයෙම ඇහුවෙ විමලෙ..

" ප්‍රශ්නෙ.... විජිත……."

එක කළාමැදිරියෙක් ගෙට ඇවිල්ල මගෙ ඔළුව වටේ දෙතුන් පාරක් කැරකුනා...අපෙ අත්තම්ම ඒ දවස්වල කිව්ව මට මතකයි…

" අනේ ඌට බම්බු ගහගන්ටෙයි කියාපං...උං දෙන්නගෙ සම්බන්දෙත් දැන් නැහැයි කියනව නේද? " විමලෙ නැඟිටල කාමරේට ගියා…

අපෙ අත්තම්ම කිව්වෙ කළාමැදිරියො කෑවොත් එහෙම හොඳ කරන්ට බොහොම අමාරුයි කියල…. සුට්ටි පුතේ..කළාමැදිරියො කෑවොත් එහෙම…

විමලෙ සිගරට් පැකට් එකකුත් අරගෙන එළියට ආව.

" එහෙමම නෙවෙයි බං වීරෙ කියන එකෙත් ඇත්තක් තියනව..විජිතය ප්‍රශ්නයක් තමයි…" කුමාර එහෙම කිව්වෙ බරසාර විදිහට..ඕකා එහෙම තමයි... ෆුල්ම සිරා ඕනම දේකට.

සුට්ටි පුතේ..කළාමැදිරියො කෑවොත් එහෙම අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕන බෙහෙත් කරන්ට..... අපෙ අත්තම්ම එහෙම කිව්වෙ කෑගල්ලෙ අපෙ ගෙදර පිළේ ඉඳගෙන මේ වගේම කළාමැදිරියො අපෙ වටේ කැරකෙනව බලා ඉඳල මම ඒ එකෙක් අල්ලන්ට හදපු වෙලාවකයි. මම හිටියෙ උන්දැගෙ ඔක්කෙ. එදා හවහ ඉඳලම ලයිට් ගිය දවසක්.

" ඒයි බොලා දන්නවද? කළාමැදිරියො කෑවොත් හොඳ කරන්ට බෑ...වන් ඇන්ඩ් ඔන්ලි ඇන්ටිඩෝට් ඊස් ස්ටාර්ස් ඉන් ද ස්කයි ඇන්ඩ් මඩ් ෆ්‍රොම් ද සී…" එහෙම කියල මම නැඟිට්ට.

අරුං තුන් දෙනා කටවලුත් ඇරගෙන මා දිහාවෙ බලාහිටිය විදිහට මට මැරෙන්ඩ හිනා...

යකෝ සාලේ මූට පිස්සුද? අපිට පිස්සුද? නැත්තං අපි දෙගොල්ලටම පිස්සුද? එකත් එකටම එවුංගෙ හිත් ඇතුලෙ වැඩ කරන්ඩ ඇත්තෙ අන්න ඒ කල්පනාව....හෙහ්, හෙහ්,

මතු සම්බන්ධයි......

Wednesday, October 23, 2013

225. කවිකාරියකගේ ප්‍රේමය…..13


Young girl writing a love letter - Pietro Rotari ( 1707 - 1762 )

ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා... 

" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ.. 

" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ."
 
සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා. 

වීරසිංහ මහතා වෙත, 

ඔබට ප්‍රථම සහ අවසන් වරට අප හමුවූ දින ඇමතූ පරිදි අයියා යැයි නොඅමතා මහතා යයි ඇමතීම පිළිබඳ ව පළමුව මට සමාවන්න. එහෙත් මේ ලිපිය අවසානය දක්වා කියවූ පසුව එසේ ඇමතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔබ වටහාගනු ඇති බවට මට සැකයක් නැත. 


හිතවත, විජිත මට හමුවූයේ අහම්බෙනි.සඳුදා හිමිදිරි උදෑසන කුරුණෑගල සිට කදුරුවෙල බලා පැමිණෙන තැපැල් බස් රථයෙහි ගමන් කිරීම මම සිරිතක් වශයෙන් කලේ උදෑසන පාසල වෙත නියමිත කාල වේලාවට ප්‍රථම ළඟාවීමට ඒ එකම ක්‍රමය වූ නිසාය. 

එක් සඳුදාවක ප්‍රමාදවී පැමිණි මාහට බස් රථයේ හිඳ සිටි ඔහු තම අසුන පරිත්‍යාග කලේය. ඊළඟ සඳුදින 
ද ඔහු තමා අසල වූ අසුන මත තම බෑගය තබා වෙන්කොටගෙන සිටියේ මා වෙනුවෙනි. 

බොහොම ස්තූතියි... ඒත් ආයෙම මේ වැඩේ කරන්න එපා,ඒක මට හොඳත් නෑ. ඔයාට හොඳත් නෑ, ඒ වගේම බස් එකට මට කලින් එන තව කාටහරි කෙනෙකුටත් කරන අසාධාරණයක්. " 

" ඔයා සාධාරණය ගැන හරියට හිතන කෙනෙක් වගේ …"ඔහු පැවසුවේය. 

" ඔව්, අසාධාරණය, වංචාව, රැවටිල්ල මට පේන්ට බෑ. පොඩි කාලෙත් මම එහෙමයි. මගෙ අප්පච්චි මාව උකුලෙ තියාගෙන මට කියල දුන්නෙ එහෙමයි " මම පැවසීමි. 

ඒ මා පැවසූයේ පුරාජේරුවක් නොව සම්පූර්ණ සත්‍යයකි.මා පියාණන් සේවය කලේ ග්‍රාමසේවක නිලධාරියකු වශයෙනි. එහෙත් කිසිම දිනක කිසිවකුට අයුත්තක් නොකල ඔහු යුක්තිය සහ සාධාරණත්වය දිවි දෙවෙනි කොට සැළකීය. මගේම අවාසනාවට මම සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙනුම ලබද්දී ඔහු හදිසියේ මෙලොව අතැර ගියේය.මම පවුලේ එකම දරුවා වෙමි..තව දුරටත් ලිවීමට පෙර ඔබට පැවසිය යුත්තක් ඇත. මේ විස්තර ඔබට කුමකටදැයි ඔබ බොහෝවිට සිතනවා විය හැක. එහෙත් විජිතගේ සහ මා අතර පැවති ආදර සම්බන්ධයට හුදු අහම්බෙන්හෝ මැදිහත්ව ඔබ එහි යම් කාර්ය භාරයක් ඉටුකොට ඇත. 

එසේ හෙයින්ම නොව විජිත හා මා අතර වු සබඳතාවය බිඳවැටීමට හේතුවූ කරුණු ඔබට සපුරා පැවසිය යුතුයැයි මසිත මගෙන් ඉල්ලා සිටියි.එබැවින් කරුණාකර පැවසීමට ඇති සියල්ල පවසන්නට පළමුව මට ඉඩ දෙන්න. 


සත්‍යය එළෙසින්ම පැවසුවහොත් මසිත මුලින්ම ඇදී ගියේ විජිතගේ අහිංසක කමටය. ඉතා සෙමෙන් වචන තෝරා බේරාගෙන කතාකරන ඔහුට ගිරවියක මෙන් කටට ආපුදේ ඔහේ කියා දමන මගේ සිත ඇදී යාම මගේ මිතුරියන්ටද මහත් විශ්මයක් විය.

" අනේ මන්ද බං..මට තේරෙන්නෙ නෑ..විජිත වගෙ කෙනෙක් උඹට……" 

මගේ හොඳම මිතුරිය විජානි එසේ වැකිය අවසන් නොකොට වදන් ගිල ගත්තේ වරක් දෙවරක් නොවේ. 

" මොකද?..... එතකොට උඹ හිතන්නෙ මට ගැලපෙන්නෙ ආලවකය වගෙ මනුස්සයෙක් කියලද? මගෙ නම සුජාතා හින්ද උඹ හිතන්නෙ එහෙම බෞද්ධ සාහිත්‍යයෙන්ම මිනිහෙක් හොයාගන්ට ඕනය කියලද? " මම හඬ නඟා සිනාසීමි.. 

" ඔය ඉතිං ඕකනෙ මම කිව්වෙ..අනේ මන්ද අර මනුස්සය…" 

මෙසේ විජිත සහ මා අතර සම්බන්ධයට මසක පමණ කාලයක් ගෙවීගිය පසුවය ඔබ මේ කථාවට සම්බන්ධ වනුයේ.ඒ තොරතුරු මම දැනගත්තේ විජිතගෙනි.ඊට පළමුව මගේ කවි ලිවීම පිළිබඳව යමක් පැවසිය යුතුය. ජීවිතයේ බොහෝ දේ මෙන්ම කවි ලිවීමද මම උගත්තේ මපියාණන්ගෙනි. 

ඔහුගේ බොහෝ කව් පුවත්පත්වල එකල පලවිනි. ඔබ ද ඔහුගේ කව් කියවා ඇතිබවට මට සැකයක් නැත. ඔහුගේ අභාවයෙන් පසු මම දිගටම කවි ලිවීමි. එක් සිකුරාදාවක විවේක කාල පරිච්ඡේද කිහිපයක් එක දිගට යෙදී තිබුණු බැවින්... 


" මේ වරත්තු බල්ල එක්ක නම් බෑ මේ වැඩේ කරන්ට...පොලේ බිඳල ටැංකිය උඩ අඩලෙ තියල තප්පරයක් ගියේ නෑනෙ මූ අරං පැන්නනෙ…" 

මයෙ කාමරේ ජනේලෙ ඇරල තිබ්බෙ පළු දෙකම..ජනේලෙ ගාවම ඇහිච්චි ඒ කැම්බැල්ලෙට සුජාගෙ ලියුමට සමවැදිල තිබිච්චි හිත දඩස් ගාල දැහැනෙං මිදුන.තරහෙං පිපිරෙන මූණෙං යුතුව ජනේලෙ ලඟ පෙනී හිටියෙ සැමී. 

" මොකද්ද මහත්තය මේ සතාට කරන්නෙ? " 

" මොන සතාටද බං?....." 

එක පාරට තද නින්දක ඉඳල කවුරුහරි මූණට වතුර කෝප්පයක් හැලුව වගෙ මම ඇඳේ කෙලින් වෙලා ඉඳගත්තෙ ඔලුවත් දෙතුං පාරක් එහාට මෙහාට හොල්ලල. ලියුම මම මේසෙ උඩ තිබ්බ පොතකට යට කලා… 

" අර සමර පාට බල්ල මහත්තය. කොයි වෙලෙත් කුස්සිය වටේ කරකැවෙන්නෙ අර...." 

" අහවල් දෙයක්ය කියාල කරන්ටද බං කැලේ ඉන්න සත්තුන්ට..උඹ කුස්සිය වහල තියාපං කොයි වෙලෙත්..ආය වෙන කරන්ට දෙයක් නෑ…" මම නැඟිටල ලියන මේසෙ පුටුවෙ ඉඳගත්ත.

" මේං මේ ...මහත්තය තාම තේ එකවත් බීල නෑ නේද? " 

" අහ්හ්…... අමතකම උනානෙ බං…" මම තේ කෝප්පෙ අතට ගත්ත..ඇල් වෙලා හොඳටම... 

" සැමී..මේ හොඳ කොලුව වගෙ තව තේ එකක් හදාන වරෙං බං..මේක ඇල්වෙලා..ආ..මේ තේක හදල හුසේන්ලගෙ කඩෙං අරං වරෙං ගෝල්ඩ් ලීෆ් දෙකකුත්. " 

හුසේන් අපේ චෙක් රෝලෙ වැඩකරපු ගෝලයෙක්. මිනිහගෙ තාත්ත අපේ කෑම්ප් එකේ වැටත් එක්ක ඒ ඊමම පොඩි කඩ බක්කියක් කරගෙන ගියා ඒ දවස්වල. ඒ වෙනකොට ඇත්තම කිව්වොත් මම දුම්පානය නතර කරල හිටියෙ. ඒත් මේ අම්මණ්ඩිගෙ ලියුම කියවන්ට නම් සිගරට් එකක් ගහන්ටම වෙයි කියල මට නිකමට වගෙ හිතුන. 

ඔහුගේ බොහෝ කව් පුවත්පත්වල එකල පලවිනි. ඔබ ද ඔහුගේ කව් කියවා ඇතිබවට මට සැකයක් නැත. ඔහුගේ අභාවයෙන් පසු මම දිගටම කවි ලිවීමි. 

එක් සිකුරාදාවක විවේක කාල පරිච්ඡේද කිහිපයක් එක දිගට යෙදී තිබුණු බැවින් ආදරය පිළිබඳව හිතට දැනුනු හැඟීම් කඩදාසියක් මත අකුරු කලෙමි.එදින සවස විජිත මා සමඟ කුරුණෑගල බලා යාමට කදුරුවෙලට පැමිණියේය. උදෑසන කවි ලියූ කඩදාසිය මා අත තිබූ සටහන් පොත තුල තිබී අහම්බෙන් විජිතට හමුවිය. 

" අනේ..හරි ලස්සනයිනෙ..මා ගැනද මේ ලියල තියෙන්නෙ? " 

" ම්ම්ම්..එහෙම කියමුකො…" මම සිනාසුනෙමි. 

" ඉතිං ඔයා ඇයි මට එවන ලියුං වල කවි ලියන්නෙ නැත්තෙ?.." 

" ම්ම්ම්..එහෙමත් ඕනද?.." මම ඔහු දෙස නෙතගින් බලා යලි සිනාසුනෙමි. 

" ඕන හින්දනෙ කියන්නෙ....ඔයා ලියල එවන්නකො…" 

" ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ මාත් කවි ලියල එවන්නං…." 

" නෑ?????.... ඔයාට පුළුවන්ද කවි ලියන්න? " 

" පුළුවන්ද බැරිද කියල බලන්න ලියල එවන්නකො ඉස්සරවෙලා. " 

ඉන්පසු සිදුවූව මා නොකීවාට ඔබ හොඳින් දන්නා බව මම දනිමි. 

" ඇයි ඉතිං ඔයා මට කියලම එහෙම ලියුම් වල කවි ලියව ගත්තෙ? අනික ඊටත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඇයි ඔයා ලියනව වගෙ වෙන කෙනෙක් ලවා ලියව ගත්තු කවි එවල මාව රැවැට්ටුවෙ?.." අවසානයේදී සියල්ල හෙළිවී ඔහු මගෙන් සමාව අයැදි කල මම එසේ ඔහුගෙන් විමසීමි. 

" මම දන්නෙ නෑ සුජා..මට මොනව උනාද මන්ද ...සමහරවිට ඔයාගෙ ආදරේ වැඩිපුර ලබාගන්ට මම එහෙම දෙයක් කලා වෙන්ට පුලුවන්…."'විජිත මා දෙස බලා අසරණ ලෙස පැවසීය. 

" පව් බං…. උඹට ආදරේ හින්දනෙ ඔය ඔක්කොම කරල තියෙන්නෙ..ඒ නිසා ඔන්න ඔව්ව අමතක කරල දාපං…" 

විජානි එසේ පැවසූයේ විජිත හා සම්බන්ධය නිමා කරලීමට මම දැඩි අසීරුවෙන් වුවද තීරණය කොට ඇති බව ඇය හා පැවසූ විටය. 

" මොන කෙහෙල්මලක් හින්ද උනත් කවුරුහරි මාව රවටනවට මට වංචාවක් කරනවට මම කොහෙත්ම කැමති නෑ..උඹ දන්නවනෙ මා ගැන. අනික තමන් මුළු ජීවිත කාලයක් ගත කරන්ට තෝර ගන්න සහකාරය ගැන නැත්නම් සහකාරිය ගැන මුළු හදවතින්ම විශ්වාසය තියන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද එක වහලක් යට එකට ඉන්නෙ? මේ මනුස්සය එක පාරක් මෙහෙම වංචාවක් කලානම් ආයෙමත් එහෙම දෙයක් කරන එක එයාට ඒ තරම් දෙයක් වෙන එකක් නැහැ නේද කියන සැකය හිතේ ගුලි කරගෙන මට ජීවත් වෙන්න බෑ......" 

මම විජානි අමතා පැවසුවෙමි. 

ඒ කෙසේ වුවද අවසානයේදී  මේ සම්බන්ධය අවසන් කලයුතු බව විජිතට පැවසීමට දිරි ගැනීමට මට බොහෝ දිනක් ගතවිය. එක් සිකුරාදා දිනක කුරුණෑගල බලා යන අතර මම ඒ බව ඔහුට පැවසීමි. බසය තානායම අසල බස් නැවතුමෙහි නවතන්නට ආසන්න වත්ම ඒ බව ඔහුට පැවසූ මම වහා බසයෙන් බැස යළි පසුපස නොබලාම නික්ම ගියෙමි. 

ඒ දැනට සති දෙකකට පමණ පෙරදීය. එදා සිට අද දක්වා මම මගේ තැවුල් දෙන සිත සතපවා ගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටිමි. 

මේ සියල්ල මෙසේ ඔබට පවසන්නේ කුමක් හෙයින්ද ඊටත් මේ දීර්ඝ කථාවට ඔබ සවන්දිය යුත්තේ මන්ද යනු ඔබට ගැටළුවක් වනවාට මට සැකයක් නැත.එහෙත් හිතවත, මා විජිත හරිහැටි හඳුනා ගත්තේ ඔහු ලියූ කවි රසවිඳීමෙනි. එහෙත් අවසානයේදී ඒ කවි ලියූවේ ඔහු නොව ඔබ බව දැනගත් කල එකවරම මසිතට නැඟුනු සිතුවිල්ල වූයේ එසේ නම් මා හඳුනාගෙන ඇත්තේ ඔබය. නො එසේනම් ඔබේ සිතය. එසේමය..ඔබ ලියූ කවි මාර්ගයෙන් මම ඔබ හඳුනා ගතිමි.එබැවින් කුමන තත්වයක් උද්ගත වුවද මසිත් තෙරපෙන හැඟුම් ඔබට පැවසිය යුතුය යනුවෙන්තීරණය කොට ඔබට ලියන්නට හිඳ ගතිමි. 

හිතවත, මම ඔබ අමතා මසිත් හෙළිදරව් කළෙමි. එසේම ඔබෙන් පිළිතුරක්ද බලාපොරොත්තු වෙමි. 

මම, 

සුජාතා. 


මදැයි..ඉතිං මොකේදැයි දං වළඳන්නෙ පොඩිනම? කියල ඇහුවලු ලොකු හාමුදුරුවො.හීනෙකිංවත් හිතපු දෙයක්ය මේ වෙන්ට යන්නෙ...ලියුම එහෙමම අතේ තියාගෙනම මම ඇඳ වියලට කොට්ට දෙක හේත්තු කරල හේත්තු උනා. මොකද දැං කරන්නෙ? හරි මොනව කරන්ටත් ඉස්සර සුජාගෙ දෙවෙනි ලියුමකුත් තියනවනෙ.ඒකත් කියවල ඉමුකො. 

" සැමී..කෝ වීරෙ මහත්තය ඉන්නවද? " 

ඒ එක්කම කුස්සිය දිහාවෙං ඇහුනෙ ඒ කුමාරගෙ කටහඬ..කුමාර ඇවිල්ල මගෙ කුටි සගයා. ඒ වගේම ඉස්කෝලෙ ටෙක් එකේ ඉඳල මගෙ අතිජාත මිත්රය. ඒත් මේ සුජාගෙ ලියුමෙ විස්තරේ ඌට කියන්ට මට හිතුනෙ නෑ. හරියටම කිව්වොත් කාගෙ උනත් අතිශය පෞද්ගලික දේවල් තව කෙනෙකුට කියන එක හරි නැහැයි කියලයි මට හිතුනෙ.මෙට්ටෙ උස්සල ඇඳ පොළු උඩ දාල තිබ්බ ප්ලයිවුඩ් ලෑල්ල උඩ ලියුං දෙක හංගන්ට හිතාගෙන මම මෙට්ටෙ කෙලවරක් ඉස්සුවා. 

අප්පටසිරි. එතන හැංගුවොත් හැංගිලම තියෙයි. ඔය මෙට්ට අස්සෙ තමයි අපි ඒ කාලෙ ඔය පුංචි පත්තර කියන එව්ව හංගල තිබ්බෙ. දන්නවනෙ පුංචි පත්තර නේද? ඔය තිබ්බෙ අර සරණ, මේ සරණ, බුදුසරණ කියල එහෙම අන්න එව්ව. 

ඔය නිසාම අපි අතරෙ තිබ්බ නිල නොවන පිළිගැනීමක් වෙන කොහෙ නැතිඋනත් ඇඳේ මෙට්ටෙ යට කියන ස්ථානය ඇවිල්ල ප්‍රසිද්ධ ස්ථානයක් කියල... ඒ කියන්නෙ කොටිම්ම ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඇවිල්ල මෙට්ටෙ උස්සල යට තියෙන ඕනම එකක් අරගෙන ගිහෑකි.. කියවලා ආයම ගෙනත් තියන්ට ඕන. එච්චරයි කොන්දේසිය. මෙට්ටෙ උඩ බුදියං ඉන්න එවුංව බිමට දාලත් ඩෝප් මරගාතෙ අපි ඔය පුංචි පත්තර හොයල තියනව. 

හප්පච්චියේ ලියුං දෙක මෙට්ටෙ අස්සෙ තියල එහෙම එකෙකුට අහු උනොත් ආය ඉවරම තමා..මම කලේ ලියුම් දෙක මේස ලාච්චුවෙ යටට එලල තිබිච්ච පත්තරේ උස්සල ඒක යටිං තිබ්බ.. 

" මොකද බං කරන්නෙ? උඹ තනියම මේක අස්සට වෙලා ඊයෙ ඉතුරුව වත් ගහනවද? " ලාච්චුව වහනකොටම කුමාරය දොරත් ඇරගෙන කාමරේට ආව. 

" පිස්සුද බං? මොන ගැහිල්ලක්ද?  මම මේ පොතක් බල බල හිටියෙ.. "

" හරිම රස්නෙයි මම යනව නාගන්ට….." කුමාරය සරමකට බහින ගමං කිව්ව.. 

" හරි යමු..මාත් නාගන්ට ඕන……" මම ඇඳෙං නැඟිටල පුටු ඇන්ද උඩ වනල තිබ්බ තුවාය අතට ගත්ත. 

මතු සම්බන්ධයි...... 

Thursday, October 17, 2013

224. කවිකාරියකගේ ප්‍රේමය…..12


Image - Flickr.com


" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 


" අයියෙ විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 

" විජිත බොන්ට පටන් ගෙන.... "

" නෑහ්හ්හ්හ්!!! ..." 


අපි දෙතුං දෙනාටම එහෙම කියවුනෙ එක පාරටම...මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි කිව්වලු… 

" මොකෝ බං ඒ හිටපු ගමම්ම? මට මේ කතාව විස්වාස කරන්ටත් තරම අමාරුයි. " 

" අර ටීචර්ගෙ වැඩේ කෙල වෙලා ගිහිල්ල... විජිත පිස්ස වගේ දැං....දවල්ටත් බොනවලු. ලොක්ක වෝනිං ලෙටර් එකකුත් ගහල " 


ඒ දවස්වල අපේ තිබ්බ චක්‍රලේඛයක්...මත්පැන් පානය කිරීමේ කාල වේලාවන් සහ ඒ නියමිත ප්‍රමිතීන් සඳහන් කරල. ඒකෙ විදිහට උදේ අටේ ඉඳල දහය වෙනකල් බොන්ට පුලුවන් Upto 6% Alcohol by volume විතරයි. ඒ කිව්වෙ ඔය ස්ටවුට් බියර් වගෙ එව්ව. දහයෙ ඉඳල දොලහ වෙනකල් Below 30% Alcohol by volume මධ්‍යාහ්න දොලහට පස්සෙ නෝ ලිමිට්...ඔය නීතිරීති කඩකෙරුවොත් කිරිමෙල් කේස් එකක් තමයි. 

අනික් කාරණේ ඔය ජීවිතේට බීල නැතුව බූට් පාරක් කාල එහෙම බොන්ට පටන් ගන්නව නේද? ආය නෑ ඉවරෙටම ඉවරයි..එල්ලම් මුඩිංජි...සුගතං මතකයි නේ?...අර බීරි පෙණහැල්ලෙ...ඒක තමයි මම ඔය නිතරම කියන්නෙ ජීවිතේ කොරන්ට තියන එව්ව ඔක්කොම නියමිත කාලෙට කෙරුවම කිසි අවුලක් නෑ. විප්‍රයෝගය විඳින එකත් එහෙමයි. ඒ පන්නරය ලැබුනට පස්සෙ ආයෙ නෝ හෙල්ලුං පොල් මැල්ලුං...හරි එව්වයිං වැඩක් නෑ..කතාවට එමු ආපහු. 

" මේ අහිංසකය නැතිවෙන්ටයි යන්නෙ.." විමලෙගෙ ඇස් දෙකේ තිබ්බෙ ලොකු දුකක්. 

" ඉතිං මොකද අර කෙල්ල මූට කණුව තියල තියෙන්නෙ? " ජයේ ඇහුව.. 

" දන්නෙ නෑ අයියෙ..ඇහුවට විජිත කියන්නෙ නැතිලු. ඔය කෙල්ල තරහ උනයි කියලත් කට්ටිය දැනගෙන තියෙන්නෙ දවසක් රෑ බිල අඬ අඬ ඔය විස්තරේ කියාපු නිසාලු. ධර්මෙ එක්ක කියල තියෙන්නෙ. " 

ධර්මෙ කියන්නෙ විජිතගෙ කුටි සගයා. 

" ම්ම්..එතකොට මොකක්ද දන්නෙ නෑ නේද හේතුව? " 

ජයේ මගෙ මූණ දිහාවෙ බැලුව..උගෙ බැල්මෙන්ම කිව්වැකි මොකක්ද හේතුව කියල ටක්කෙටම ඌ දන්නවයි කියල. ඒ එක්කම ඒ හේතුව මම දන්නවයි කියලත් ඌ දන්නව.මම උගෙ මූන දිහා ටිකක් වෙලා බලාන ඉඳල දිග හුස්මක් පාතට හෙලල අහක බලා ගත්ත. 

අපේ පාඨමාලාව මාස තුනක්...කොහොමින් කොහොමින් හරි ඔන්න මාස තුනකුත් ඉවර වෙන්ට ආව.නිශාන්තිට " එහෙනං ළමයා.අපි ගිහිල්ල එන්නම් " කියල මම කිව්ව. 

ආය අවුරුද්දකිං ආපහු එන්ට ඕන මේ පාඨමාලාවෙම දෙවන පියවර නොහොත් ෆේස් ටූ කරන්ට. ඒ එනකොට ඉතිං නිශාන්ති ඉඳියිද දන්නෙත් නෑ. " මම ලියුම් එවන්නං " නිශාන්ති මට කිව. " හා...එවන්නකො " මම කිව්ව. 

ලියුම් නං ඔහෙ එකක්ද දෙකක්ද එවල තිබ්බ. මම උත්තරත් යැව්ව. ඒත් එතනිං එහාට ඒ සම්බන්ධය දියාරු වෙලා ගිහිල්ල ස්වාභාවික සහ තර්කානුකූල අවසානයකට පැමිණියා. හරි ඒ අනාගත කතා පස්සෙ කියමු. 

ඉතිං අපි ආපහු ඇවිල්ල සේවයට වාර්තා කලා. එදා හවස අපෙ අනික් එවුං සංවිදානය කලා අපට පිළිගැනීමේ සාදයක්. කෝස් එකේ විස්තර කියල ඉවරයක් නෑ උංට.කොහොමිං කොහොමිං හරි විජිතය නෑ හිටියෙ පේන්ට. මම හිතුවෙ අපි ආවය කිව්වම මනුස්සය දුවගෙන ඒවිය කියල සුජා එක්ක සම්බන්දෙට උනේ මොකක්ද කියල මා එක්කලා කියන්ට. 

ධර්මසේන මතකද? විජිතගෙ රූම් මේට්...මිනිහ බොන්නෙ නෑ. ඒත් අපි අපහු ආපු ආරංචියට හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට මිනිහ පාටියට ඇවිල්ල හිටිය. අන්තිමට ඔන්න කොහොම හරි මම ධර්මය ගාවට කිට්ටු උනා. 

" ධර්මෙ…" 

" ආ ..වීරෙ ඉතිං ?.." 

" කෝ බං විජිතය?..." 


" ඒකනෙ මචං බලාපංකො මේ මනුස්සය කෙලින පිස්සු....දැං සති දෙකක් විතර ඌ ආගිය අතක් නෑ.." 

" මොකක්? ආගිය අතක් නෑ?...මේ මුංගෙ සද්දෙ අස්සෙ මෙලොව දෙයක් ඇහෙන්නෙ නෑනෙ..වරෙං ධර්මෙ අපි මගෙ කාමරේට යමු...." 


වීදුරුවට තව එකක් දාගෙනම මම ධර්මය එක්ක මගෙ කාමරේට ගියා.කාමරේ දොර වහල මම ඇඳේ ඉඳගත්ත. 

" ධර්මෙ ඉඳගනිං …" 

මම මගෙ ලියන මේසෙ පුටුව පෙන්නුවා. 

" ඉතිං මට කියාපංකො විස්තරේ මුල ඉඳලම.." 

" මමත් හරියකට දන්නෙ නෑ මචං..උඹ දන්නවනෙ විජිතය එච්චරම ඕපන් පොරක් නෙවෙයිනෙ.මගෙ රූමා උනාට ඌ මටවත් හරියට විස්තරයක් කියන්නෙ නෑ. ඔය සුජාතා එක්ක සම්බන්දෙ උනත් මම දන්නෙ අනික් හැමෝම දන්න ටික තමයි. ඒත් මේ පහුගිය මාස දෙහෙක විතර ඉඳල මිනිහ හරියට වෙනස් උනා. ජීවිතේම එපා වෙලා වගෙ උන්නෙ.මම ඇහුවට කිසි දෙයක් කිව්වෙ නෑ." 

වචනයක්වත් කතා නොකර මම ධර්මයගෙ කට දිහාවෙ බලං හිටිය. 

" අන්තිමට දැං මාසයකට වගෙ උඩ ඉඳල බොන්ටත් පටං ගත්ත. කාමරේ බෝතලයක් තියාගෙන හොරාට බොනව. ඒ කරල රෑට කන්නෙත් නැතුව බුදිය ගන්නව.එහෙම කරල ටික දවසකිං දවල්ටත් බොන්ට පටන් ගත්ත. පස් සෙ දවසක් බීල ඔෆිස් එකේදි ලොක්කට අතටම අහුවෙල වෝනිං ලෙටර් එකකුත් ගැහුව...මොන? වෝනිං ලෙටර් ගැහුවට ඌට වගේ වගක් නෑ..අලකොලේට වතුර දාන්න වගෙ.....ඌ දිගටම බිව්ව. " 

හප්පච්චියේ...මේසෙ උඩ තිබ්බ අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවල තිබ්බ ෂොට් එක මම එක උගුරට ගසල ඇරිය. ඇයි දෙයියෝ සාක්කි..මෙව්ව ඇහෙන කොට නොබී කොහොමද? 

විජිතය මතකනෙ ඉස්සොරෝම අර කෙල්ලට යවන්ට ඌට කවි ලියල දෙන්ටෙයි කියල හා එහෙනං බෝතලයක් අරං වරෙංය කියල අපි කිව්වම ඇඹරි ඇඹරි ඕකා කිව්ව දේ... 

" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." 

ක්ලබ් එකෙං අරක්කු ගත්තය කියල ලොක්කට ආරංචි වෙනවට බයේ එහෙ මෙහෙ ඇඹරිච්චි එකා...බීල ඔෆිස් යන්ටත් පටං අරං...ඇඳේ එහෙමම ඉඳගෙන ඔලුවෙ අත් දෙකත් ගහගෙන මම එහෙම්මම කල්පනා කරන්ට ගත්ත. 

යකෝ මේ අගේට හිටිය කොලුවට මෙහෙම වෙච්චි එකට මමත් සුට්ටක් හරි වග කියන්ට ඕනද? ඒ කොහොමද? උඹ බලෙං ඌට කවි ලියල දුන්නෙ නෑනෙ. විජිතයමයි කැමැත්තෙං උඹට කියල කවි ලියව ගත්තෙ.මගෙ හිතම දෙපැත්තකට බෙදිල තර්ක කරන්ට ගත්ත. අනික උඹ කිව්වනෙ විජිතයට මේ වැඩේ හරි නැත. ඒ ගෑණු ළමයට පුළුවන් ඉක්මනින් මේ ගැන ඇත්ත කියන්ටෙයි කියල. ඌ එහෙම නොකරට උඹ මොනව කරන්ටද? 

පොඩි කාලෙ ...ඇත්තම කියනවනං පොඩි කාලෙ විතරක්ම නෙවෙයි මේ අදටත් මගෙ ප්‍රියතම චිත්‍ර කථා පොත් පෙලක් ටිං ටිං ගේ කථා. ටිං ටිං ගෙ බල්ලගෙ නම ස්නෝවි.දවසක් මට මතක විදිහට Land of Black Gold කතාවෙ වෙන්න ඕන. මොකක් හරි හදිසි පණිවිඩයක් ටිං ටිං ට අරං යද්දි ස්නෝවිට හම්බ වෙනව මස් කට්ටක්. පණිවිඩේ අරං යන එක පැත්තක දාල මස් කට්ට කනවද නැත්තං බාර වෙච්චි රාජකාරිය කරනවද කියල ස්නෝවිට හරිම දෙගිඩියාවක්. ස්නෝවිගෙ හිතේ ඉන්න යක්සයයි දේව දූතයයි දෙපැත්තට බෙදිල තර්ක කරනව. ඒත් අන්තිමට දේව දූතයගෙ බහට නැමිල ස්නෝවි මස් කට්ට පැත්තක දාල අර පණිවිඩේ අරගෙන යනව. අන්න ඒ වගෙයි මගෙ හිතත් දෙපැත්තට බෙදිල ඒ වෙලාවෙ තර්ක කලේ. 




කොහොම හරි අන්තිමට මගෙ වරදක් නෑය කියල මම හිත හදාගත්ත. 

පහුවදා ඔෆිස් එකට ගිහාම මට ලියුං දෙකක්ම තිබ්බ. ඒ වෙනකොට මට ලියුං එව්වෙ බොහෝවිට අම්ම විතරමයි. හාව හඳ දකින්න වගෙ වසන්තයගෙන් ලියුමක් තිබ්බ ඉඳහිටලා.චුට්ටිගෙ කේස් එක නිසා ( ආදර නිල් දෑසේ ......අන්න ඒ කතාව ) අපි අතර ආශ්‍රයට කිසිම බාධාවක් නොවුනට ඌ කොහොමත් කලිං ඉඳලම එහෙම තමයි.ලියුමක් ලියන්නෙ නෑ මැරූ කොට හෙහ්...හෙහ්, 

මේ ලියුං දෙකේම ඇඩ්‍රස් එක ටයිප් කරලයි තිබුණෙ.කවුද යකෝ රාජකාරි ලියුමක් ඇරුනම ඇඩ්‍රස් එක ටයිප් කරල එවන්නෙ? ඔහොම හිත හිත මම ලොක්ක හම්බවෙලා අපේ පාඨමාලාවෙ විස්තරත් එයයි එක්ක කතා කරල පැයක් හමාරක් ඔෆිස් එකේ ඔහෙ එහෙ මෙහෙ වෙවී ඉඳල දහයට වගෙ ක්වාටර්ස් එකට ආව. අනික් එවුන් ඔක්කොම වැඩට ගිහිල්ල. සැමිය ගිනි කාගෙන කුස්සියෙ උයනව. 

" මොනවද බං දවල්ට? " එහෙම අහගෙන මම කුස්සිය පැත්තෙ පස්ස දොරෙම්ම ගෙට ඇතුල් උනා. 

" අද නං මහත්තයගෙ වෙලාව. ලූලෙක් හම්බ උනා…." සැමිය දන්නව ලූලා වනාහී මගෙ ප්‍රියතම බෝජනයක් කියල.. 

ඒ අහල පහල ජලාස වලින් අල්ලන වැව් මාලු පුෂ් බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන ගම්වල මිනිස්සු අපේ කෑම්ප් එකට අරගෙන එනව. බොහෝවිට තිලාපියො.තිලාපිය බැදල ගත්තම අප්පට සිරි බත මරන්ට පුලුවනි.ඒ වගේම තමයි වැව් මාළු කරවල..අන්න කෑම. මේ චිකන්, බිකන් මොන කෙහෙල්මලක්ද? කියල හිතෙන්නෙ එව්වයෙ රහ මතක් වෙනකොට. ඒත් ඔය ඔක්කොටම හපනි ලූලා. අනික සැමී හදනව ලූලා ටිකක් විතර පහේ අත වැඩියෙං දාල හිඳෙන්ටම ඇරල යාන්තමට ඉසම තියෙනව නෑ වගෙ ගානට... අනෙ අම්මාපල්ල කියල වැඩක් නෑ කාලම බලන්ට ඕන... 

" අහ්..නියමයි අද දවල්ට එහෙනං කෑමට පෙර සුට්ටං එකක් නවාගන්ටත් ඇහැකි. ඊයෙ බඩු ඉතුරුයි මම හිතන්නෙ. අනික මට හවස වැඩකුත් නෑ.." 

මම ලිපේ ලූල් මාලුවට එබිල බැලුව.. 

" කොල්ලො හොඳ එකා වගෙ මට කහට එකක් හදාගෙන වරෙං…" 

" මහත්තෙය..උදේ මුං කිරිබත් හදාපුව ඉතුරු වෙලා තියනව..බෙදල ගේන්ටද පිඟානකට? " 

" එපා කොල්ලො..දැං ඕන නෑ..කහට එකක් හදහං ඒ ඇති." 


ඒ එක්කම ඉහළගෙදර ගොඩ උනා කුස්සියට. ඉහළගෙදර කිව්වෙ අල්ලපු චමරියෙ ගෝලය.අපේ ගෝලය ( දුහුණන් දැනුම් උදෙසා...ගෝලයා = ඉවුම් පිහුම් කටයුතුහි යෙදෙන සේවකයා, චමරිය = නිල නිවාසය ) සැමියගෙ අතීසාර මිත්තරය.

" ආ මහත්තය ඊයෙලු ආවෙ නේද? " 

" ඔව් බං පෙරෙයිදනෙ කොළඹ අර අපි ගියපු පුහුණුව ඉවර උනේ.." 


ඔය ඉහළගෙදර මයෙ ගජ යාලුව. දවසක් ඕකට මරු වැඩක් උනා මං හින්ද... ඔය අපෙ කෑම්ප් එකේ එවුං ඉන්නව නේද? කාලෙං කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ කියල අර නිහාල් නෙල්සන් කියන්නවගෙ මොනව හරි කාලෙං කාලෙට අල්ල ගන්නව. එක කාලයක් ඔන්න යෝග වියායාම ඇඟට හොඳයි කියල ඔක්කෝමල පටං ගත්ත ඒක.. 

ආය කාලයක් ඔය කොරියාවෙද කොහෙද ක්‍රමයක්ය කියල උදේම නැඟිට්ට ගමනෙ හිස්බඩට වතුර වීදුරු හයක් බොන එක හොඳාය කියල එහෙම පටං ගත්ත. බඩ පුරා වතුර බීල එවුං අර හැල ගෙම්බො වගෙ ඇස් ගෙඩි දෙකත් උඩ තියාන ඉන්න විදිහ බලල විමලෙට ජයේට මට එහෙම මැරෙන්ට හිනා!!! 

අය ඒ දවස්වල තිබ්බ දැං අර මල් පිටුව කියල එකක් සුවර්න වාහිනියෙ කොරන බන්දුල පත්ම කුමාරගෙ මල් පත්තර, කුමරි, යුවති, පතිනි, සකුණි, රැජිනි යකිනි, රාස්සි, බැරැස්සි, ඔය නොයෙක් එව්ව..අපේ කොල්ලො ඔව්ව ඔක්කොම අරං එනව ගෙදර ගිහිල්ල එනකොට..අපිත් ඉතිං කම්මැලි කමට ඔව්ව මාරු කරගෙන කියෝනව. 

ඔය පත්තරේක එක පාරක් තිබ්බ ඔන්න ඉන්දියාවෙ ඉහල වංසක්කාර කොල්ලෙක් පේම වියෝවක් හින්ද සසර කල කිරිල ලංකාවෙ ඔය කොහෙද ආරන්‍යකට එනව බාවනා කරන්ට.ඒ ආරන්‍යය කිට්ටුව තියනව වලව්වක්. ඔය වලව්වෙ පොඩි දෝණි ඇමරිකාවෙද කොහෙද ඉගෙන ගන්නෙ.නිවාඩුවකට ගෙදර ඇවිල්ල ඉන්න අතරෙ යනව අර ආරණ්‍යයට.එතනදි අර කොලුව හම්බවෙනව.. 

හරි එතනිං එහාට කතාව හිතාගත්තැකිනෙ නේද? මම කියන්ට ඕන නෑනෙ..හරි මගෙ කතාවට අදාල වෙන්නෙ මෙන්න මේ ටික..ඒ ඉන්දියානු තරුණයාගෙ හම එහෙම රංවං පාටයිලු.මනුස්සය උදේට මොකවත්ම කන්නෙ නැහැල්ලු. මිනිහගෙ ඉන්නව ආවතේව කාරයෙක් ඉන්දියාවෙම්ම ගෙනල්ල. ඒ මනුස්සය උදේම කොහොඹ කොළ කොටල ඉස්ම අරගෙන වතුර දාල මේ බ්‍රාහ්මණ වංසික තරුණයට බොන්ට දෙනව. ඒක තමයි මේ රන්වන් පාට චවි කල්යානයෙ රහස කියලයි ඒ කතාවෙ තිබ්බෙ. මාත් කියෙව්ව ඒ දවස්වල ඔය කතාව. 

ඕක මදැයි අපෙ පිස්සු හුටංලට. එවුං පටං ගත්ත ගෝලයො යවල අහල පහල ගම මුලුක්කාදියෙ තියෙන ඔක්කොම කොහොඹ ගස් හූරවන්ට. ඒ කරල පාන්දරම වංගෙඩියෙ දාල කොටවල හිස්බඩම බොන්ට පටංගත්තෙ නැතෑ. 

අපේ චමරියෙත් ඉන්නවනෙ ඔය ටිකක් එක විදිහක එවුං ..උනුත් ගෙනාව ඔය අයිඩියා එක දවසක් නිකං මේ මුට්ටිය දාල වගෙ බැලුව..විමලෙයි මමයි එක හෙලාම විරුද්ද උනා.. 

" අනේ මේ අපේ මේ හමේ තියන රංවං හරි ලා කළු හරි තද කළු හරි ඒ පාට අපිට හොඳටම ඇති. මෙහෙ ඔය උදේ පාන්දර කොහොඹ කෙටිලි හරියන්නෙ නෑ. උඹලට ඕනම නං ඔය කොටන තැනකට ගිහිල්ල බීල වරෙල්ල. " 

එතනිං අපේ චමරියෙ නං ඔය ඡවි කල්‍යාණාත්මක කොහොඹ යුෂ පිළියෙල කිරීම ඇණ හිටිය. 

එක දවසක් ඔන්න මට උදේ වරුවෙ හරි හමං වැඩක් තිබ්බෙ නෑ..අටට විතර ඇහැරල එනකොට අපෙ සැමියයි ඉහළගෙදරයයි බර කයියක් කුස්සියෙ. 

" මොකද බං උඹලගෙ මේ කයිය? " 

එහෙම අහගෙන මම දත් බුරුසුවත් අතිං අරගෙන කුස්සියට ගියා..සැමියට මාව දැක්ක ගමං හිනා.. 

" මහත්තය දන්නවද වැඩක්...දැං අපේ ඉහලෙත් උදේට මොකවත්ම කන්නෙ නැතිලු.අර කොහොඹ කොල ඉස්ම විතරලු බොන්නෙ. " 

" නෑහ්හ්???? ඇත්තද බං මේ සැමිය කියන්නෙ? " 


මම දත් බෙහෙත් ටිකක් දාගත්ත බුරුසුවට.. 

" ඔව් මහත්තය …" 

ඉහළය ඇඹරුනා එහාට මෙහාට..ඕකා හරිම ලජ්ජකාරය.වයස තිස් පහක් වගෙ උනාට ඒ වෙනකොටත් කසාදයක බැඳල කරල කාරිය එහෙම නෑ. 

" ඉතිං ඉහළෙ?..කියාපංකො බලන්ට උඹේ හම දැං පාට වැටිල එහෙම ඇවිල්ලද තියෙන්නෙ?..." 

කටේ දත් බෙහෙත් කෙළ ටික හැලෙන හින්ද කට උඩට හරෝගෙන මම ඇහුව.. 

" ඔව් මහත්තය ටිකක් පාට වැටිල වගෙ නම් තියනව තමයි." ඉහළය ආයෙම ඇඹරුන.. 

" මේ කොල්ලො..නියම විදිහට හම පාට වැටෙන්ට නම් ඔය කොහොඹ කොළ ඉසම බීල විතරක් හරියන්නෙ නෑ.." මම ආයෙම කට උඩට හරවගෙන කිව්ව.. 

" එහෙනං මහත්තය? " ඉහළෙය ඇහුව නළලත් රැළි කරගෙන.. 

" යකෝ..ඔය කොටල ඉතුරුවෙන කොහොඹ කොළ තියනව නේද?.... එව්ව ටිකත් කාහං... ආන්න එතකොටයි නියම විදිහට හම රත්තරං පාට වෙන්නෙ.." මම නැමිල කාණුවට කෙළ ගැහුව. 

පහුවදා දවල් මම කන්ට එනකොට ටිකක් පරක්කුයි. අපේ අනික් එවුං කාල එහෙම සාලෙ ඉඳගෙන කතා බහක යෙදිල උන්නෙ.. 

" හරිම මහන්සියි " මම සේට් එක ගලවන ගමං කිව්ව, 

" ආආ....අන්න මහන්සි නෙවෙයි..උඹට පොලිසි යන්ට වෙයි අර යකා මළොත් එහෙම.." 

" ඈ?? මොන යකාද? අනික යක්කු මලාට මම මොකටද පොලිසි යන්නෙ? " 


" අර ඉහළෙය ..ඌ අද උදේ කොහොඹ කොල කොටාපුව වංගෙඩියෙං බාගයක්ම කාල. බඩ දැවිල්ලයි, රිදෙන්ටයි අල්ලල අන්න එකොළහට විතර ඉස්පිරිතාලෙ එක්ක ගියා.." 

" නෑහ්???....." 


" නෑ..නෙවෙයි ඔව් ලොක්ක ඇහුවම මොකටද බං ඔය හැටි කොහොඹ කොළ කැටියක් කෑවෙ? උඹට පිස්සුද? කියල ඌ කියල වීරසිංහ මහත්තය තමයි මට කන්ට කිව්වෙ කියල. " 

රතනත්තරේ පිහිටාරස්සාවෙං ඉහළෙයට ඒ හැටි අමාරුවක් එහෙම උනේ නෑ. ඉස්පිරිතාලෙං බෙහෙත් දීල දෙක තුන වෙනකොට මිනිහ ආපහු ආව කෑම්ප් එකට.. 

" අඩේ මම උඹට වංගෙඩි බාගෙක කොහොඹ කොළ කන්ට කිව්වද? මම කිව්වෙ මේ අල්ලක් විතර කන්ටය කියලනෙ. " ඉහළෙයගෙ ලෙඩ බලන්ට ගිහිල්ල මම ඌට කිව්ව 

" ඒකනෙ මහත්තය..මටයි වැරදුනෙ.." ඉහළෙය ආයෙම ඇඹරුනා. 

ඒත් මගෙ කොහොඹ කොල ප්‍රතිකාර විධි ක්‍රමයෙන් ඌට නරකක් එහෙම උනේ නෑ. ඒ ඉස්පිරිතාලෙ වැඩ කරපු ඒ කිට්ටුව ගමක කෙල්ලෙක් මිනිහට සැට් වුනා ඒ බෙහෙත් ගන්ට ගිය ගමනෙං. පස්සෙ ඒ කෙල්ලව බැඳල මනුස්සය එහෙම බින්න බැස්ස. 

ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා... 

" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ.. 

" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ." 

සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා. 

මතු සම්බන්ධයි...... 

Friday, October 11, 2013

223. කවිකාරියකගේ ප්‍රේමය…..11


විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 


එහෙම පිලේ පඩියෙ ඉඳගෙන එළිවෙනකල් කල්පනා කලත් විජිතටත් මටත් ඒ ගැන කරන්ටෙයි කියල අබමල් රේණුවක දෙයක් තිබ්බෙ නෑ. කරුණු කාරණා සිද්ද උනේ අපි දෙන්නගෙම පාලනයෙන් තොරව.වෙන්ට තියන දෙයක් ඔන්න ඔහෙ වෙන්නෙ නැතුවය කියල බලා ඉන්ටයි අපිට වෙලා තිබ්බෙ. 

මොකෝ කවි කොන්ත්‍රාත්තුව නිසා මම අර ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එක අතඇරල නිකා ඉන්ටය? අනික කවදා හෝ මේ වැඩේ මෙහෙම සිද්ද වෙන්ට තිබ්බ දෙයක් නෙව. අද නැති උනත් හෙට හෝ අනිද්ද සුජාතා මේ සීන් එක දැනගන්නව. ඒ නිසා විජිතට තියෙන්නෙ මොනව හරි කරල වැඩේ ගොඩ දාගන්න එක. පහුවදා උදේ කොළඹ යනකනුත් මම හිතමින් ගියෙ ඔන්න ඔහොම. 

ඇත්ත දැනගත්තම අර කෙල්ල මොනවගේ තීරණයක් ගනීද? 

විකල්ප දෙකයි සුජාතට තියෙන්නෙ....එක්කො අනේ මේ මනුස්සය වංචාවක් කලා තමයි..ඒත් ඒක ඒ හැටි බරපතල සීරියස් කේස් එකක් නෙවෙයි නෙව, ඒ නිසා ඔන්න ඕක අමතක කරල දාමුය කියල හිතල වැඩේ අල්ලල දාන එක.අනික එහෙම ඒ පැත්තට, ඒ කිව්වෙ විජිතගෙ පැත්තට තරාදිය බර වෙන්ට තවත් කාරණාවක් තියනව. ඒ තමයි මේ යස්සය මේ ඔක්කොම කලේ ආදරේ නිසාය කියන කාරණාව. 

ආදරේ වෙනුවෙන් ඔහොම පොඩි වංචාවක් කලාට කමක් නැතය කියල හිතන්ට පුළුවන්නම් කිසිම අවුලක් නෑ. ඒත් මෙතන වැදගත් වෙන්නෙ මම හිතන එකවත් විජිත හිතන එකවත් එහෙමත් නැත්තං ඔහෙල හිතන එකවත් නෙවෙයි අර කෙල්ල හිතන විදිහ...මොන හේතුවක් හින්ද කලත් ඒක වංචාවක් රැවටිල්ලක් නේද කියල සුජා හිතුවොත් ඉතිං වැඩේ කලාස්. ( කලාස් කියන්නෙ ඇරබික් වලින් එල්ලාම් මුඩිංජි කියන එක. එල්ලාම් මුඩිංජි කියන්නෙ දෙමලෙන් කලාස් කියන එක ) 

මම සුජාතා එක්ක කතාබහ කරපු කාල සීමාව ඕනනම් වැඩිම උනොත් පැය එකහමාරකට දෙකකට වැඩිය නෑ.ඒත් ඒ පොඩි කාලෙදි මට එයා ගැන ඇතිවෙච්ච හැඟීම අනුව නම් මම හිතන්නෙ නෑ සුජාතා විජිතට සමාවක් දෙන ජාතියෙ කෙනෙක්ය කියල. 

සාමාන්‍යයෙන් මහිලා පක්ෂය ගැන මගෙ තක්සේරු වරදින්නෙ නෑ, කිව්වම මොකද?.... ඒත් මිනිස් සිත ගැන කාටද කියන්ට පුලුවන් නේද?...හිත කියන එක අරමයි මෙහෙමයි කියල ඉරි ගහල රූල් ගහල කොටු කරල කෝවක දාල අච්චුවක දාල කිරන්ට මනින්ට පුළුවන් එකක්ය... නේද? ඒ කොහොම උනත් සුජාතා ගැන මගෙ තක්සේරුව සාකල්‍යයෙන්ම අසත්‍ය වේවා කියල තමයි මම නිතරම ප්‍රාර්ථනා කලේ... 

" මොකද බං උඹ කනවද බාවනා කරනවද? " ඒ විමලෙ...

පැත්තක් අඩි හතරක් වගෙ වෙච්ච හරි හතරැස් ෆෝමිකා මේසෙ වටේ අපි හතර දෙනයි, කුමාරයි ජයේයි අනික් දෙන්න.බෙලෙක් කඩේ හන්දියෙන් ගොඩ පැත්තට තියෙන පාරෙ යාර විස්සක් විසිපහක් යනකොට වම් පැත්තෙ තිබ්බ මේ බත් කඩෙන් තමයි අපි හැමදාම වගෙ දවල්ට කෑවෙ.රත්මලාන ටෙක් එක තියෙන්නෙ බෙලෙක් කඩේ හන්දියෙ මොරටුව දිහාට යද්දි දකුණු පැත්තෙ. 

මම හිනාවෙල වටපිට බලල ඉස්සො හතර පස් දෙනෙක් පිඟානට බෙදා ගත්ත. අනික් අය කාලත් ඉවරයි. 

" ඒයි හදිස්සියක් නෑ.උඹ හෙමීට කාපං..මල්ලි යෝගට් තුනක් ගේන්න…" විමලෙ පස්ස හැරිල වේටර් කොලුවට කෑගැහුව. 

කාල ඉවරවෙලා එහෙම කැෂියර් එක ගාවට ආව. 

" ඒයි විමලෙ උඹ ගෙවපං අද..උඹේ ටර්න් එක… "


විමලෙ බිල ගෙවල ගෝල්ඩ් ලීෆ් තුනකුත් ගත්ත. කුමාරය දුම්පානයෙන් සපුරා තොරයි.කඩේ ඉස්සරහ ඇවිලෙන ලණ්ණෙං අපි සිගරට් පත්තු කරගත්ත.

( සැයු - මේ සිගරට් සීන් එක මම මුලින්ම ලියලත් ආය ඩිලීට් කරල දැම්ම. මොකටද ආයෙ දුම්පානය ප්‍රවර්ධනය කරනවය කියල කතාවක් අහගන්නෙ කියල. මෙන්න ඒ එක්කම බැලින්නං හෙන්රීස් තුමා තනිකර සියලු දුෂ්චරිත ගැන ලියල පෝස්ට් එකක් දාල. ඉම්පාර මම කල්පනා කලා ඌට හොඳ නං මට මොකද හොඳ නැත්තෙ ? ඉඳපිය මාත් ලියනවයි කියල..ඒ පාර තමයි මේ ආයෙම ලිව්වෙ...තව ඉතිං එක දුෂ්චරිතයක් ගැන විතරයි ලියන්ට තියෙන්නෙ ...හෙහ්, හෙහ්,...ඉන්ටලාකො ඉවසල..ආයෙම ඒ ගැනත් ලියඤ්ඤංකො වෙලාවක..ආය මොටෝ අඩුවක්..හෙහ්, හෙහ්, ඒ දුෂ්චරිතෙ ගැන තමයි අපූරුම අත්දැකීම් තියෙන්නෙ. ) 

ෂියේට් ගහල ඉවර වෙලා පෙපර් මින්ට් කූරකුත් අරගෙන අපි ගාළු පාර පැන්න. ඉස්සෙල්ල කොළඹ පැත්ත බැලුව..ඊට පස්සෙ ගාල්ල පැත්ත බැලුව ආයම කොළඹ පැත්ත බැලුව. ඉක්මන් ගමනින් පාර මාරු උනා. අපිට තුනේ පංතියෙදි ලියනාරච්චි මැඩම් මහ පාරට එක්කගෙන ගිහිල්ලම පාර මාරුවෙන්ට ඉගැන්නුවෙ ආන්න එහෙමයි. " පලමුව දකුණු පස බලන්න. ඉන්පසු වම් පස බලන්න. නැවත දකුනු පස බලන්න. වාහනයක් නොපැමිණෙන්නේ නම් ඉක්මන් ගමනින් පාර හරහා මාරු වන්න. " 

පෙපර්මින්ට් ගත්තෙ මේ දවස්වල පොඩි උකුළු මුකුළුවක ( ඉංගිරිසියෙං Flirtation කියන්නෙ..අන්න ඒක ) යෙදෙමින් මම උන්නෙ ..අන්න ඒ නිසා..දුම්පානයෙන් පසු පොඩි කාලෙ නම් පේර කොළ. පස්සෙ පෙපර්මින්ට්. 

කාල ඉවරවෙලා අපි ආපහු ටෙක් එකට ගියත් දවල් ලන්ච් අවර් එක පැය එකහමාරක් නිසා තව පැයකට කිට්ටු කාලයක් තිබ්බ. සිසු විවේකාගාරෙ පැත්තෙ ගියේ ඔහෙ ඉඳගෙන කයියක් වත් ගහමුය කියල හිතාගෙන. 

" ඒයි අන්න…" 

කුමාර මගෙ ඇළපතට ඇන්න.නිශාන්ති ළමය ඉන්නව පත්තරයක් බල බල......ඔෆිස් එකේ කෙල්ලො හිටිය හතර දෙනෙක්ම.අපි කවුද කරන රස්සාවල් මොනවද කියල එවුන් දන්න නිසාම වෙන්ට ඇති මට හිතෙන්නෙ අපෙ කට්ටියට ඒ කෙල්ලියංගෙ තිබ්බ පොඩි ගෝ එකක්. අපිත් ඉතිං ඔය නිකං ඉන්න වෙලාවෙනෙ කියල ලාවට උං එක්ක ටෝක් එක දාගෙන ඉන්නව. 

නිශාන්ති ඔෆිස් එකේ රෙජිස්ට්‍රේෂන් ක්ලාක්. ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය.කෙට්ටුයි, උසයි..තලේලුයි.දන්නවද ඔය හමේ පාටට තල එළළු කියල කියන්නෙ ඇයිද කියල? ආ..ඊට කලින් කියන්ටලාකො එහෙම වචනයක් අහල තියනවද කියල..හරි අහල නැත්තං දැං අහගන්ට. එහෙම වචනයක් තියනව. ඒකෙ තේරුම තමයි තල ඇටවල පොත්ත අයිං කලාම කළුත් නොවෙන සුදුත් නොවෙන ඒ දෙක අතර වගෙ පාටක් එනව. අන්න ඒ පාට ඉස්තිරියාවංට තමයි කියන්නෙ තල එළළු කියල. 

ඉස්සෙල්ලම දවසෙ මමයි කුමාරයි උදෙම්ම ආව කෝස් එකට රෙජිස්ටර් වෙන්ට. වොචර් හට් එකෙන් කිව්ව ඇතුලෙ මිස් කෙනෙක් ඇති ඔෆිස් එකට ඇතුල් වෙන තැනම වම් පැත්තෙ, එයාව හම්බ වෙන්ට කියල, ...ඒ මිස් තමයි නිශාන්ති. 

" ඔයාල මොකද? " 

නිශාන්ති යන්තමට හිනා වෙලා ඇහුව. මට පස්සෙ දවසක කිව්ව එයා හිතුවෙ ළමයෙක් ටෙක් එකට දාගන්ට ආපු තාත්තල දෙන්නෙක් කියලලු. අපිට ඒ දවස්වල බොහොම ලාබාල කොළු ගැටව් උනාට අර පට්ට දඩං අව්වෙ දූවිලි වකාරෙ වැඩ කරල කාපිරිවගෙ කළු වෙලයි හිටියෙ. ඒ මදිවට මම මූන පුරා රැවුල් බූසෙකුත් වවාන . කුමාරය නම් ආය දවස් පතා රැවුල කපනව. 

" අපි මේ අර ඉක්ටෑඩ් එකේ කෝස් එකට.... "

" ආ...පොඩ්ඩක් ඉන්නවද මම මේ හදිස්සි වැඩක්..මේක ඉවරවෙලා මම කතා කරන්නං… "


" හරි අපි ඔයාව පේන තැනකිං ඉන්නංකො..." මම උරේ තිබ්බ බෑග් එක අනික් උරේට මාරු කරන ගමන් කිව්ව.දිග ඇරගෙන හිටපු ෆයිල් එකට නැමිල හිටිය ඔලුව එක පාරට ඉස්සුණා. 

" ඒ මොකටද? " ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය වචන වලින් දමල ගැහුව. 

" වෙන මොකටවත් නෙවෙයි අනේ, එතකොට ඔයාගෙ වැඩේ ඉවර උනාම අපි දන්නවනෙ..." මම මේසෙට අත්දෙක තියල බරවෙලා කිව්ව.. 

" හා..හා..එහෙනං ඕන එකක් ඕන තැනක ඉන්නකො..." 

ආයෙම ඔලුව ෆයිල් එකට පාත් උනා. ඒත් යටි තොල හපාගෙන..ඒ වගේම කම්මුලේ සුළි දෙකකුත් යන්තමට වගෙ මම දැක්කද කොහෙද...

නිශාන්ති ඉස්සරහම පුටු දෙහෙක අපි ඉඳගත්ත.ෆයිල් එකටම ඔලුව පාත්කරගෙන ඈ මොනවද ලියන දිහාවෙ මම බලාගෙන හිටිය. ටිකකින් ඔලුව උස්සනකොටම මම අහක බලාගත්ත. ආයෙම කටාක්ෂ නිරීක්ෂණයෙන් බලනකොට ඔලුව ආයෙමත් පාතට හරවගෙන.ඒත් යටි තොල තවම හැපිල. 

අන්න ඒ නිශාන්ති තමයි පත්තරයක් බල බල හිටියෙ. 

" ආ, ළමයා මොනවද පත්තරේ තියෙන්නෙ?..." මම ඒ ලඟම තිබ්බ අනික් පත්තරේ පෙරලන අතරෙ ඇහුව. 

" හරියට මනුස්ස ආස්සරයක් නැති කැලෑ වල දීර්ග කලයක් රස්සාවල් කරන අයගෙ මනස වර්දනය බාල වෙනවයි කියල නම් තියනව… "

" ආ, ඒකත් එහෙමද? හරි එහෙමනම් මනස වර්දනය නොවිච්චි අය කරන දේවල් වලට තරහ ගන්ටත් ඔට්ටු නෑ හොඳද? " මම එහෙම කියල එයා දිහාට කිට්ටු උනා.. 

" ආ..මේ එව්ව ඔට්ටු නෑ හොඳද? " නිශාන්ති අහකට පැන්න. 

" ආ." මම ඇඟිලි මිටිකරගත් අත්ල එයාට දික්කලා. " ඕනද? "

" මොකෝ ...ගොළු හදවත කියල හිතුවද? " යන්තං හැරිල බලල ඈ ආපහු පත්තරේ බලන්ට ගත්ත. 

" නෑ...ගොළු හදවත නං නෙවෙයි..මේක ඇවිල්ල බීරි පෙණහැල්ල." හිකිස් ... ඈට හිනාවක් පැන්න. 

The cutest kind of flirting, in my opinion, is the flirting that isn't too noticeable. Its not straight forward and sometimes you can't tell whether its flirting or not. Its cheesy. Its cute. When you are indecisive it adds I suppose a certain kind of romance undoubtedly. 

කුමාරයි මමයි නැවතුනෙ බොරලැස්ගමුවෙ කුමාරලගෙ නැන්දාවකගෙ ගෙදර. ඔය නැන්දාවක කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ වචනයක්. බොරලැස්ගමුවෙ දේවාල පාරෙ...බෙල්ලන්විල පන්සල පේනතෙක් මානෙ.ඒ ගමේ කොල්ලො සෙට් එක අපි දෙන්න එක්ක හොඳටම ෆිට් උනා.බොරලැස්ගමුවෙ ඉඳල දෙහිවල පැත්තට එනකොට බෙල්ලන්විල පන්සලට ඉස්සෙල්ල තියනව පාරෙ දකුණු පැත්තෙ ලොකු වතුර බට පේළියක්.හවසට ඔය බට පේලිය උඩ ඉඳගෙන සිගරට් එකක් ගහන එක මගෙ සිරිතක් වෙලයි තිබ්බ. ඒ කරල බෙල්ලන්විල පන්සල පැත්තෙ රවුමක් ගහල ඔය හොඳ තැනක් බලල ඉඳගෙන බාවනාවක් කාරිය කරල...හෙහ්, හෙහ්, දන්නෙ නැද්ද ඉතිං? 

විජය ඝාතනය සිද්ද උනේ ඔය අතරෙ...කලින් මම සටහනක් ලිව්ව ඒ ගැන " ඝාතනයක් සමඟ අතීතයට " කියල. පිච්චර් බැලිලි, පොත් ප්‍රදර්ශන, එතකොට සතියකට දෙපාරක් විතර දෙහිවල හන්දිය කිට්ටුව තියෙන පර්ල් ඉන් එකේ සෙට් වෙන එව්ව. මොරටුවෙ අපෙ යාලුවෙක් හිටිය..සොයිසාපුර ෆ්ලැට්ස් වල. උගෙ දිහා ගිහිල්ල මූදෙ නාන්ට යනව බෝතල් තුන හතරකුත් අරගෙන බයිට් එකට බීෆ් කොත්තු දෙක තුනකුත් දාගෙන. අන්තිම වෙනකොට බයිට් එක කොත්තුවලට වැඩිය ඉතිං මූදු වැලි තමයි.. 

ඔය ආතල් අස්සෙ නිශාන්ති එක්ක ආතල් එකත් ලාවට වගෙ නැඟලම යනවා. 

ඔය අස්සෙ කවි ලියවිලි ගැන ඒ හැටි මතකයක් තිබ්බෙ නම් නෑ ආය බොරු කියන්නෙ මොකටද? එහෙත් අළුයට සැඟවුනු ගිණි පුපුරක් හදිසියේ හමා ආ සුලඟක් කරණ කොට ගෙන පණ ගසා ඇවිලෙන්නාක් මෙන්, සුලඟ නිසාම අකීකරු වූ ගෙල දක්වා දිගු කෙස් කළඹ ආම්බාං කොටගැනීමට උත්සාහ දරන අතර " අයිය මට කවි එවනව නේද? "   යනුවෙන් කෙලිලොල් ස්වරයකින් විමසන සිනාසෙන දෑසක හිමිකාරිය වූ එක්තරා යුවතියක පිලිබඳ සොඳුරු මතකයන් විටින් විට මහද කොණිති නොගැසුවේම නොවන බව මෙහිලා සටහන් කර තැබීමට මට අවසර!!! 

මාස දෙකකට විතර පස්සෙ..සරත් ගියා අපෙ වැටුප් අරං එන්න..මතකනෙ අර බෝතල් තුනක් අරගෙන දීල ඕකා වැටුප් ගෙන ඒමේ වැඩේ තනිකරම උගෙ සම්බුද්දියටම ලියාගත්තනෙ. 

" හරි වැඩේනෙ අයියෙ වෙලා තියෙන්නෙ. " 

සල්ලිත් අරගෙන ඊලඟ සඳුදා පංතියට ආපු සරත් එහෙම කිව්වෙ දහයට තේ බොන්ට ලැබෙන විවේකයෙදි. 

" මේ... ඒ හරි වැඩ වැරදි වැඩ ගැන පස්සෙ කතා කරමු..හොඳද? ඉස්සෙල්ලම දෙයියනේ කියල අපෙ සල්ලි දීල ඉඳිං " විමලය කිව්ව 

මගෙ සල්ලි මම ගණං කලා…" මොනවද බං සරතය විස්වාස නෑ වාගෙනෙ උඹ සල්ලි ගණං කරල බලන්නෙ? " ජයේ නං කෙලින්ම උගෙ සල්ලි සාක්කුවට දාගත්ත. 

" නෑ බං ඌ අවිස්වාසෙකට නෙවෙයි. මම මාවම විස්වාස නෑ.හෙට මම කියන්න බැරිනෑ මල්ලි ඊයෙ මෙහෙ පඩි සල්ලිවලිං රුපියල් පන්සීයක් අඩුයි කියල. අන්න ඒ නිසයි මම සරත ඉස්සරහම ගැන්නෙ. " 

" අම්මප ඒකත් ඇත්ත ….ඉඳහං එහෙනං මාත් ගනින්ට ඕන " ජයේ සල්ලි ආයම අතට ගත්ත. 

" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 

" අයියෙ ....විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 


මතු සම්බන්ධයි...... 

Monday, October 7, 2013

222. කවිකාරියකගේ ප්‍රේමය…..10




කවිකාරියකගේ ප්‍රේමය…..1 


" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම අපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල මට කියල දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

ජිවිතේ සුපුරුදු විදිහට ඔහේ ගලාගෙන ගියා. සුජාතා විජිතට කවි ලිව්ව...මම සුජාතට ලිව්ව කවි සුජාතා කියෙව්වෙ විජිත ලිව්වයි කියල හිතාගෙන. ඔය හවසක කවුරුවත්ම නැතුව හුදකලා වෙච්චි දවසක තනියම පොඩිවට දෙකක් නවාගත්තු වෙලාවක මම මේ වැඩේ ගැන බොහොම දුර දිගට හිතුව. 

ජීවිතේ කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එක පොඩි කාලෙ ඉඳලම මගෙ හැටි. මගෙ මේ ගතිය මට බොහොම වෙලාවට හරියට ප්‍රයෝජනවත් වෙලා තියනව. ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල කියනවනෙ. කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එකත් වෙලාවකට ඕනවට වැඩිද කියලත් මට විඩෙං විඩේ හිතෙනව. 

ඒත් ඒ සීමාව මායිම් ඉර තීරණය කරන්නෙ කොහොමද? ඒ නිසා ඔහෙ ඕන කෙහෙල්මලක්...අපෙ අර ලොකු මාම කියන්නැහෙ වෙන්ට තියන දෙයක් වෙන්නෙ නැතුවයැ...ඔන්න ඔහොම හිතල මමත් උපේක්ෂාවෙන් ජීවිතේ දිහා ඔහේ බලාන ඉන්නව. සුජාතා ගැන උනත් එහෙමයි...ඔහෙ ඕන කෙහෙල් මලක්..කියල මම විජිතයට දිහටම කවි ලියල දුන්න. 

ඔහොම මයෙ හිතේ ගෙවිල ගියා එක මාස හතර පහක් තරම.ඊට පස්සෙ මට අර කෙල්ල හම්බ උනේ නෑ..විජිතය කොහොම හරි ඊට පස්සෙ ඒ ගැන මා එක්කල වචනයක් වත් කතාකලෙත් නෑ කොටිම්ම කිව්වම...හෙහ්, හෙහ් 

හරි... මාස හතරකට, පහකට, හයකට, හතකට විතර පස්සෙ ඔන්න අපි තුං හතර දෙනෙකුට ආපි කොළඹ අපෙ වෘත්තිය සම්බන්ධ වැඩිදුර පුහුණු පාඨමාලාවකට තෝරගත්තයි කියල චක්‍ර ලේඛයක්. 

දැන් මෙතන කරන්ට වෙනව පොඩි පූර්වාපර සන්ධි ගැලපීමක්... 

" එකල්හි ඒ මද්‍රි දේවිය වූකලී මෙකල්හි යසෝදරාවයි.  ජූජක බමුණු තෙම දේවදත්ත තෙරණුවෝය.  වෙස්සන්තර රජ  නම් ලොව්තුරා සම්‍යක් සම්බුද්ධ වූ මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක!!! " 

අන්න එහෙමයි පොත්වල තියෙන්නෙ..තේන්නාද? තේරුණාද කියන වචනෙ තේන්....නාද කියල ඇදල පැදල කියනව මොකක් හරි ෆිල්ම් එකකහෝ ටෙලි ෆිල්ම් එකක.මට මතකයක් නෑ හරියට :( 

" මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම..." යනුවෙන් ඇරඹි එදවස මවිසින් විරචිත " ඝාතනයක් ඔස්සේ අතීතයට...මොරමළු, වැඩවර්ජන සහ වෙනත් වැල් වටාරං……" නම් වූ මතක සැමරුමෙහි සඳහන් වන්නේද ප්‍රස්තුත පාඨමාලාවම වේදැයි එතුමෝ පූර්වාපර සන්ධි ගලපමින් වදාළ සේක.!!! 

කෝස් රාජයාට තේරිච්ච අපි කට්ටියට ආය නෑ ඉහේ මල් පිපුනැහෙ. අනික් එවුං පැලෙනව ඊරිසියාවෙ.කොළඹ බලා පිටත් වෙන්ට කලිං දවසෙ රෑ ඔන්න අපෙ තිබ්බ මහා පරිමාණ මදු සාදයක්...හෙහ්...බොන්ට හේතු හොය හොය ඉන්න අපිට ඕක මදැයි හත් දවසක් සැණකෙළි කෙලින්ට... 

දුම්පානයට බොහොම තදිං ඇබ්බැහි වෙලා උන්නු හාදයෙක් ගියාලු ඔන්න මනෝ වයිද්දි කෙනෙක් ගාවට..මේ පුරුද්ද නැතිකරගන්නෙ කොහොමද කියල උපදෙස් ගන්ට… 

" ඔය වගෙ දේකට ඇබ්බැහි උනාම ඒකෙං මිදෙන්ට නම් මුලින්ම ඒ ක්‍රියාවට හේතු සාධක හරියටම ඇනලයිස් කොරන්ට ඕන. ඒ කරල ඒ හේතුව ඉවත් කලාම ඔටෝ පුරුද්දත් නැතිවෙනව.." සයිකො ඇනලිස්ට් දුන්න ටෝක් එක. 

" හරි දැන් කියන්ට බලන්ට ඔහෙට සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ කොයි වෙලාවටද? නැත්තං මොන වගෙ හැඟීමක් ආහමද? " 

" ම්ම්ම්...සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ නේද?..දැං මෙහෙමනෙ දොස්තර මහත්තයො...ඔය හීතලට වගෙ බොනව. බඩගිනි උනාමත් බොනව. තව දවල්ට කාල එකක් බොනව. රෑට කාලත් බොනව. තව..දුකක් වගෙ හිතුනම...එතනිං ගිහාම තංතෝසයක් ආහම...ටොයිලට් එකට ගිහාම...වයිෆ් එක්ක ඇරගත්තම එකක් බොනව. ළමයිංගෙ කරදරේ ඉවසන්ට බැරිඋනාම එකක් බොනව. "

" ම්ම්...ඇති..ඇති...තව නැද්ද මොකවත් හේතු එහෙම? " දොස්තර මහත්තය අත උස්සල මිනිහගෙ කතාව නතර කරවල ඇහුව. 

" ම්ම්ම්..තව නේද? ආ..තව හේතුවක් නැතුව නිකනුත් බොනව…" 

මදු සාදය නැඟල ගියා.... 

" අපි තන්තෝසෙන් ඉන්නේ...දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වාගේ..අයියා මල්ලී.....එක හැලියේ බත් කන්නේ..එක බුජමේ රා බොන්නේ....අයියා මල්ලී වාගේ අයියා මල්ලී.... 

ගීත රාවය පාවෙලා ගියා මිදුලෙ ජෑම් ගහට ඇවිල්ල හිටපු වවුලොත් බය කරගෙන.මම විමලෙගෙ කරේ එල්ලිල..විමලය මගෙ කරේ එල්ලිල...නටනව ආය නෑ...වළං හදන්ට පදම ගන්ට ආතු ලීය අල්ලගෙන කිරිමැට්ට පාගන්නැහෙ. 

මම ඉස්කෝලෙදි සෞන්දර්යය විසේට නැටුං කලේ...ඒ හින්ද මැණ්ඩියට ඉඳල හත් අඩිය පාගන්ට එහෙම පුලුවං මට යස අපූරුවට..ඇස්සහක් කටවහක් නෑ ඔන්න...හෙහ්, හෙහ්.....ඉස්කෝලෙ නැටුං කරපු කතාව මම කලින් කිව්ව නේද? ආ..නෑ නෙව ඒ කතාව කිව්වෙ අරූස්ගෙ ජීවිත කතාවට ටීකාවක් විදිහට. 

" මහත්තය දැං ඇති නේද? උදේ කොළඹ යන්ටත් තියේ නේද? " සැමී මයෙ ළඟට ඇවිත් හෙමීට ඇහුව. 

අම්මප..ඒකත් ඇත්ත තමයි..මහා කෝස් රාජයා පටංගන්නෙ නං අනිද්ද..ඒත් බස් වල යද්දි යන්ට එපාය එක විදිහකට. මහයියාවෙ රා කඩේ ඉස්සරහිං යනව වගෙ සුගන්ධයක් හමන කොට කෙල්ලෙක් වත් ආය ළඟිං ඉඳගනියියැ?...කියන්ට බෑ නෙව...නළලෙ කෙටූ මානවිකාවි හෙට කොළඹ බස් එකේදි හම්බවෙයිද නොවෙයිද කීයල කාටද හරියටම සහසුද්දෙං කියන්ට ඇහැකි?..හා..එහෙම නෙවෙයිද? 

" සැමී...එහෙනං කොල්ලො ඔය තියන එකක් ඇරහං මේසෙට…" 

කිරිමැටි පාගල දෙකංසෙං දාඩිය ගලනව ....සේට් එක ගලෝල වැලට දාල මම ගේ පිටිපස්සෙ වතුර ටැංකිය ගාවට ගියා මූණ කට ඩිංගක් හෝද ගන්ටවත් කියල. හප්පා වතුර ඩිංගක් මූණට වැටෙනකොට තියන සනීපෙ...ආය අහවල් දේකටද මූණ විතරක්? ඇඳං උන්නු සෝට් බෑය පිටිම්ම වතුර පනිට්ටු දෙකක් නවාගත්ත කරේ... 

ලක්ස් කෑල්ලකුත් අරගෙන ඉලුව යහමිං..ඒ කාලෙ ලක්ස් කොලේ හිටිය ලක්ස් ලලනාවං තමයි...ටීනා මුනීම්,පාවීන් බාබි, ශ්‍රී දේවි සහ සීනට් අමාන්....ලංකාවෙං..ස්වර්ණා, අනෝජා සහ සබීතා,  ....මාලනිත් හිටියද කොහෙද? 

" අයියෙ? " කණ ගාවම හීන්වට ඇහුනම මම ගැස්සිල ගියා එක පාරටම. 

" මේ විජිත නේද? මොකෝ මලේ?....අද උඹ දැක්කෙ නෑ දවසටවත්…" 

" මම කාමරේ හිටියෙ අයියෙ..අයිය හෙට යනව නේද?..." 

" ඔව් බං අර ඉන් සර්විස් ට්‍රේනිං එකක් ඇවිල්ලනෙ...රත්මලානෙ…" 

" මාස තුනක් …..නේද? " 

" ඔව් මාස තුනක්……...ඔන්න ඔය වැලේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් තුවාය දාපං කොල්ලො මෙහාට…" 

ඒ කාලෙ තිබ්බ ප්‍රෙන්ඩ්ෂිප් කියල ගහපු මහ විසාල බාත් ටවල්ස් ජාතියක්..තනිකර බූල් විමානෙ...හෙහ්, හෙහ් 

" අයිය දැං කොළඹ ගිහාම එන්නෙ මාසෙකට සැරයක් නේද?..." 

" ඔව් බං පඩි ගන්ට එන්ට එපාය...ඒත් එහෙම එවෙන්නෙත් නැතිවෙයි..අර සරතා විතරක් එයි..ඌ අරං යයි අපේ පඩිත් එක්ක. ලොක්ක කිව්වෙ ඔක්කොමල එන්ට එපාය..එකෙක් ඇවිල්ල ඔක්කොගෙම පඩි අරං යන්ටය කියල. " 

ඊට මාස දෙහෙකට විතර ඉස්සර සරතා පේමයෙං බැඳුන. අපේ ඔෆිස් එකේම ටයිප් රයිටර් ගෑණු ළමෙක් එක්ක. ඒ නිසා ඕකා දත මැදගෙන හිටියෙ මාසෙකට සැරයක්වත් ඇවිල්ල පේම සාගරේ දියබුං ගහල යන්ට. හුහ්..එව්ව කොහෙද අපිත් එක්ක… 

එදා දවල් ඔන්න මරු සීන් එක...දවල්ට බත් එහෙම සප්පායං වෙලා හිට අපි සාලෙ ඉඳගෙන සාකච්චාව කෝස් රාජයා ගැන. 

" මේ අපි මාරුවෙං මාරුවට එමු පඩි අරං යන්ට..එකෙක් ආහම ඇතිනෙ.නැත්තං නඩේම ආවොත් ලොක්කට මල පනියි. බොහොම පැහැදිලිව කිව්වනෙ එක්කෙනෙක් විතරක් එන්ටය කියල..මේ මාසෙ මම එන්නං..ලබන මාසෙ විමලෙ උඹ වරෙං..ඊළඟ මාසෙ ජයේ…" 

විමලෙත් කියාපු මිනිහ ඔව්වට… 

" ආ..ඒක හොඳයි..එහෙම කරමු...එතකොට මාස තුනත් ඉවරයිනෙ…" සරතගෙ මූණ දෙක උනෙ බලං ඉන්දැද්දි.. 

" මොකෝ සරත්...එහෙම හොඳයි නේද?..." විමලය මගෙ දිහා බලල ඇහැකුත් ගැහැව්ව. 

" අනේ අයියෙ මම එන්නං පඩි අරං යන්ට……" 

" එහෙම කොහොමද? සීනියෝරිටි එකේ පිළිවෙලට ඒ වරප්‍රසාදය ලැබෙන්නෙ..උඹ මෙතන බාලම එකා..නැද්ද මචෝ?...." විමලෙ මගෙ දිහා බැලුව.. 

" එහෙනං... එහෙනං... මොනව කියනවද? මොනව කියනවද? " මම ඒ කතාව අනුමත කලා ඔලුව බොහොම වේගෙං ඉහළට පහළට හොල්ලල... 

" අයියල මොකටද එන්නෙ? මම ගෙනත් දෙන්නං පඩිය අතටම."සරත ආයම කෙඳිරි ගානව. 

" එන්නෙ මොකටද කියන්නෙ?...යකෝ මාසෙකට සැරයක් යාලුවො හම්බ වෙලා පොඩි ආතල් එකක් ගන්ට ..වෙන අහවල් දේකටද? " 

විමලෙ කෑගැහැව්වම සරත බය උනාද කොහෙද..මට පව් කියල හිතුන.. 

" හරි..හරි මල්ලි උඹට එන්ටම ඕන නං වරෙං..මාස තුනේම හරි වරෙංකො..ඒකෙ අවුලක් නෑ.." සරතගෙ මූන යන්තං ඔන්න එලිය වැටුන.. 

" ඒත් නිකම්ම බෑ හරිද?..මාසෙට බෝතලේ ගානෙ අද රෑ උඹෙ ගානෙ බෝතල් තුනයි ...මොකෝ කියන්නෙ? " ඌ අහවල් එකක් කියන්ටද? ඉබ්බ දියට දාන්ටද ඇහුවම දැන් නෑවෙ කිව්වලු 

සරතගෙ ඒ බෝතල් තුනෙං පටංගත්තු පාටිය තමයි මේ තාම නැඟල යන්නෙ. 

ඇඟ පත පිහගෙන මම තුවාය ඉණ වටේ පටලෝගෙන සෝට් බෑය ගලෝල වැලට දැම්ම. 

" මල්ලි අපි කන්නයි තනන්නෙ.....උදෙම්ම කොළඹ යන්ට පිටත් වෙන්ටත් එපාය..වරෙං..තාම උඹ කාල නැත්තං බත් කටක් කමු…"ගෙට යන ගමං මම කිව්ව. 

" අයියෙ…..".ආයම විජිතය කෙඳිරි ගෑව.. 

" මොකෝ බං? කියාපංකො කියන්ට තියන දෙයක්……"මම ආපහු හැරිල මිනිහ ගාවට ගියා. 

" සුජාට කවි ලියන්නෙ කොහොමද අයිය ගිහාම? " 

අප්පටසිරි..මට එහෙම එකක් හාංකවිසියක්වත් මතක් වෙච්චි නැති හැටියක් අම්මාපල්ල....මාස තුනක් කොළඹ ආතල් එකේ ඉන්න එක ගැන සිහිය මිසක්ක මේ කවි කොන්ත්‍රාත්තුව ගැන මට වගේ වගක් නැති වෙච්චි හැටි..ඒත් ඉතිං එහෙම මතක් උනාය කියල අහවල් දෙයක්ය කියල කරන්ටද? 

මම මේ කියන කාලෙ මොබයිල් ෆෝන්ස් කියන එව්ව යන්තමට එක දෙක එන්ට පටං ගත්තු යුගේ. කොම්පියුටරුත් එහෙම තමයි, තිබ්බ දෙක තුනෙනුත් වැඩක් ගන්නවට වඩා කලේ එව්වට හඳුංකූරු පත්තුකරන එක. ලැප් ටොප් කියන එව්ව අහලවත් නෑ ඔන්න. අපි දන්න ලැප් ටොප් ඉතිං සජීවී ලැප්ටොප් තමයි. වෙරළක , මල් වත්තක, ගං ඉවුරක එහෙම .....හෙහ්, හෙහ්, දන්නවනෙ නේද? හරි ඔක්කොමල දන්නව.... 

පණිවිඩ හුවමාරුව ඉතිං තනිරූල් ඇස්සයිස් පොතකිං ඉරාගත්තු කොලේක කියන්ට තියන දේ කාබන් පෑනකිං ලියල ඇඹිලොප් එහෙකට දාල බත් ඇට හත අටක් පොඩි කරල අලෝල ධර්මිෂ්ඨ සමාජයක් මුද්දරේ දිව දික්කරල කෙල ගාල අලෝල රතු පාට පෙට්ටියට දාපුවහම ඔන්න දවස්  තුන හතරක් ඇතුලත යනව ඕන තැනට " යන්න සොයා මෙන්න මෙයා. " සෙනෙහෙකොල දාපු ඇඹිලොප් වල ඇඩ්ඩස් එකට උඩිං ඔහොමත් ලියනව.. 

සුජා එක්ක විජිතයගෙ කවි ගණුදෙනුව උනෙත් ඔය ලංකාණ්ඩුවේ තැපෑල මාර්ගයෙන්ම තමයි. ඉතිං කවි හුවමාරුවට කණකොකා අඬන්ඩයි යන්නෙ. වැඩේ ඇණ හිටිනව බඩු ෂුවර්. මොකද සුජාගෙ කවි ලියුම ආපුහම ඒක මට කොළඹට එවල ආයම මම උත්තරයක් ලියල විජිතයට එවල විජිත සුජාට යවනකොට කොහොමත් සති දෙකක් වගෙ යනව...ඒකෙ ආයෙ දෙකක් නෑ..ඒත් වැඩේ එතකොට බබා හම්බවෙලා. සුජාතට වැඩේ නෝන්ඩි වෙනව අසුරු සැණින්...මොකදෑ බොලේ ඉතිං මේකට දැං අපි කරන්නෙ?... 

විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 

මතු සම්බන්ධයි...... 

Wednesday, October 2, 2013

221. කවිකාරියකගේ ප්‍රේමය…..9


කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

කවිකාරියකගේ ප්‍රේමය…..4 

කවිකාරියකගේ ප්‍රේමය…..5 

කවිකාරියකගේ ප්‍රේමය…..6 

කවිකාරියකගේ ප්‍රේමය…..7 

කවිකාරියකගේ ප්‍රේමය…..8 



" මේ ඒයි... රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 

" නෑ ඔය අපූරුවට අව්ව වැටුනෙ…" 

" හ්ම්ම්ම්……" 

මම නැඟිටල ආයෙම අර රෙදි වනාපු අටල්ල මිදුලෙං තියනව. 

ආයෙම පුටුවෙ වාඩිවෙලා පොත අතට අරගෙන අරුන්දැ දිහා බලනව. මේ ඉන්නෙ අර මොකවද පෙති දෙහෙකුත් ඇස් උඩ තියාන… ඇස් වහගෙන… ඒ මදිවට අර පෙති දෙහෙකුත් ඒ උඩ තියාන ඉන්දැද්දි මිදුලෙ අව්ව පෑව්වය කියල මෙවුන්දැ දන්න එක නෙව පුදුමෙ...

ආ....තව එකක්... ඔය පායනව කියන කතාව ගැන...වැස්ස පායල ඒ එක්කම අව්වත් පායපු නිසයි මම රෙදි ආපහු මිදුලෙං තිබ්බෙ..එහෙම නේද? එතකොට වැස්ස පායනව කියන්නෙ වැස්ස නැතිවෙනවට..අව්ව පායනව කියන්නෙ අව්ව ඇතිවෙනවට...කොහොමද ඒකෙත් වැඩේ හැටි... 

ආ..ඔය පෙති ඇවිල්ල රාබු නෙවෙයිය එව්ව පිපිඤ්ඤය කියල කිව්වෙ අපෙ නෙලුං විලේ නෝන මහත්තැං..මටත් එක විදිහකට කට තියාගෙන ඉන්ට බෑ නෙව..සිකුරාද ඔන්න හවස...ස්කයිප් එකෙං..මෙහෙමයි දෙබස… 

" මේ...ඒයි... මම මේ අහන්ටමයි හිටියෙ." 

" මොකද්ද? ඔයා ඉතිං මොනවහරි අහන්ටමනෙ ඉන්නෙ..හිහ්... " 


" නෑ..නෑ..අර ඒ දවස්වල මතකද ? ඔයා රූප ලාවන්‍යය වර්දනේ කරපු දවස්වල…" 

( මම ඔය එයයිගෙ බියුටි කචල් නාඩගං වලට කිව්වෙ රූප ලාවන්‍යය වර්ධනය කොට ගැනීමේ ව්‍යාපෘතිය කියලයි ) 

" ඉතිං?..." 

" ඒ දවස්වල ඔයා අර ඇස් උඩ තියාගෙන හිටියෙ ..ඒ මොනවද ඒ? රාබු නේද?..." 

" හිහ්..මේ මොකෝ හිටපු ගමං ඒක මතක් උනේ?.." 


" නෑ මම අර බ්ලොග් එකේ ඒක ගැන ලිව්ව.." 

" දෙයියෝ සාක්කි..මේ මනුස්සය නං මාව නැතිකරලයි පස්ස බලන්නෙ..මොනවද ඉතිං ඔය මා ගැන ඕකෙ ලිව්වෙ?.." 


" ආය ලිව්වය කිව්වට එහෙමට දෙයක් නෑ අප්පා..ඔයයි ඔහොම රාබු පෙති දෙකක් ඇස් උඩ තියාගෙන හිටියයි කියලයි ලිව්වෙ.." 

" ආ..ඒක මිසක්...එතකොට ඉතිං මොකෝ මේ ඒක හගිස්සවන්ට හිතුවෙ.?...." 


" නෑ අර නෙලුං නෝන කියල ඉන්නව..මහිලාවක්..එයයි කියනව එහෙම ඇස්සුඩ තියාගෙන ඉන්නෙ රාබු නෙවෙයිය..ඒ පිපිඤ්ඤය කියල...හෙහ්, හෙහ්.." 

" හුහ්, එයයි මායි දන්න පිපිඤ්ඤයි රාබුයි...එයාට කියන්ට මම ඇවිල්ල බූටි කචල් ඩිප්ලෝමා එකකුත් කරලයි ඉන්නෙ කියල…" 


ඔන්න හැබෑටම මට එතකොටනෙ මතක් උනේ..මුන්දැ ඔය රූප ලාවන්නිය පාටමාලාවක් කොලානෙව තුම්මස් අර්ද කාලීන සන්දියා...ඕක කොරල සහතිකෙත් අරගෙන ආව ගෙදර...සහතිකේ රාමු කොරල එල්ලුව සාලෙ බුද්දරූපෙ එක්කම පැත්තකිං..පාටමාලාවෙං දුන්න අඩුම කුඩුම වෙනම තැම්පත් කලා ඒ කිට්ටුවම රාක්කෙක. 

ඔවුන්දැ ඔය කෝස් එක කොරන කාලෙ මාව තමයි ගත්තෙ රට හාවට....කලාස් එකේ කියලදෙන එව්ව අත්හදා බලන්ට..ඇයි ඉතිං ඔය කියන කියන මංගල්ල වලට ඥැං පැං නොකිය කැමතිවෙන්නෙ මම විතරයි නෙව..හෙහ්..හෙහ්..ඒ විස්තරේ ඔන්න ගුරුවරියක් සමඟ මගේ ජීවිතේ ලියනකොට...හොඳද?.. 

පස්සෙ කෝස් එක කොරලත් සතියකට දෙතුං පාරක් මගෙ මූණෙත් උලන්ට ගත්ත ඔය පේසල්ද මොනවද අර කිරීං වගෙ ජාතිය..ඕනෑ මංගල්ලයක්ය කියල මාත් හිටිය සද්ද නැතුව..එපාය කිව්වනං මූණ දෙලේ වාගෙ කොරගන්නව නෙව... 

අම්මප කිව්වත් වාගෙ ඒ වැඩෙං මයෙ මූණ කට ආවනෙව පාට වැටිල..ඒත් වැඩි කාලයක් ඒ පොයියංගම තිබ්බෙ නෑ. දවසක් ඔන්න අපි දෙන්න යනව නුවර ටවුමෙ...හෙහ්, හෙහ්..ඒ කතාවක් කියන්නං එහෙනං අර ගුරුවරී එක්ක මයෙ ජීවිතේ කතාවෙදි... 

රෙදි අටල්ල මිදුලෙං තියල හරි බරි ගැහිල ඉඳගත්තට පොතේ පිටු දෙකක්කත් කියවන්ට උනාය..ඕන්න හතර වටිං කළුකොරගෙන වැහැගෙන ආපි. 

" ආං වහිනව නේද?...." 

රාබු පෙති දෙකට පල්ලෙහායිං ඒ නියෝගය නිකුත් උනේ.. 

" වහිනව නේන්නං …." 

දත්මිටිත් කාගෙනම එහෙම කියාගෙන මිදුලට බැහැල ආපහු අටල්ල අරං ආව ගේ ඇතුලට. 

හෝස් ගාල වැහැගෙන ආවට ඒ වැස්සත් ගහගෙන ගියා හුළඟට.ආයම අව්වකුත් වැටිච්චි.. 

" මේ...ආයම රෙදි ටික මිදුලට දානවද? " 

" අනේ මට නං බෑ..මිදුලට දාන්ටයි..ඒ එක්කම ආපහු ගන්ටයි මොන වදයද්ද? ඔන්න ඔහෙ වේලිච්චාවෙ ගේ ඇතුලෙ…" මට තරහෙ බෑ.. 

" ආ..එහෙම කියල කොහොමද? ගේ ඇතුලෙ වේලුනහම ඇඳුං පුස් ගඳයි.හෙට අපේ ඉස්කෝලෙ සුබ සාදකේ රැස්වීම. ඔය හෝදල තියෙන ලා කොල පාට හැට්ටෙ අඳින්ට ඕන අර ගිය සුමානෙ ගත්තු කොලයි කහයි ඔසරිය එක්ක. " 

" ඉතිං ඕකම අඳින්ට ඕනය හෙට?.වෙන මොකක් හරි එකක් අඳින්ට බැරිද? " 


" ඔයා පිස්සු කතාකරනවද?....අනික් තියෙන එව්ව ඔක්කොම මම කලින් ඇඳපුව..එව්ව හරියන්නෙ නෑ.." 

රාබු පෙති දෙක දබරැඟිලි වලින් හෙමීට තද කරන ගමන් එයා කියනව..ඉතිං කාටද මෙව්ව කියන්නෙ? 

" හ්ම්ම් ඒකත් එහෙමද? " 

පපුව හිස් වෙලාම යන්ට දිග හුස්මක් පහලට දාල මම නැඟිටල රෙදි අටල්ලත් උස්සගෙන ආපහු මිදුලට බැස්ස. 

" මේ දන්නවද ඔය වහිනව... පායනව... ආය වහිනව..ඔය දුවන වැස්සට කියන්නෙ මොකද්ද කියල?.." 

ආයෙම පොත අතට අරගෙන මම ඇහුව. 

" ඔයානෙ ඔය විස්තර දන්නෙ..මමයැ? හ්ම්ම්ම්ම්…….කියන්ටකො බලන්ට…" 

වැඩිය හයියෙං කතා කරන්නෙත් එහෙම නෑ. රූප ලාවන්නිය සීන් එකට බාදාවක් වෙන්ටැ මයෙ හිතේ.. 

" ඔය ඒ දවස්වල වී තම්බල වේලනවනෙ. පැදුරුවල වී වනල අව්වට දැම්මම ඔන්න වැහැගෙන එනව..ඉතිං බබලත්තු දනිපනි ගෑවිල්ලෙ වී පැදුරු ගෙට ගන්නව. ආයම පායනව.... ඔන්න එතකොට ආපහු අව්වෙ වනනව. ආය වහිනව. ඔන්න ඔය නිසා ඔය වගෙ දෙකට දෙවාරමේ වහින වැස්සට කියන්නෙ ගෑණු නටෝන වැස්ස කියල...හෙහ්, හෙහ්, " 

" ආ..වී වේලනව කිව්වම මතක් උනේ..මට මේ වැඩේ හින්ද මෙතනිං නැඟිටින්ට වෙන්නෙ නෑ තව පැයකට හමාරකට..දැං දොළහටත් කිට්ටුයි නේද?...ඔහොම්මම ගිහිල්ල හාල් ටිකක් තියන්ටකො ලිපේ...ඒ කරල පරිප්පු හුණ්ඩුවක් විතර අරගෙන ගරන්ටකො ඒ එක්කම…" 

අනේ අම්මප...මටත් කට තියාගෙන ඉන්ට බැරි හැටියක්... 

" ඒයි මේ...ඔන්න ආයම වැහැගෙන එනව.." 

මම හාල් මනින අස්සෙ ඔන්න එවුන්දැ ආයෙම බෙරිහං දුන්න. 

හරි ඒ ගෑණු නටෝන වැස්සෙ විස්තරේ එච්චරයි..දැං අර කියන්ට ආපු කතාවට... 

උදේම නැඟිටල ඔන්න දෙන්න එක්කම එකතුවෙල බත් මාලු උයාගෙන පාස්සලයක් බැඳගෙන …...මයෙ තියනව බොහොම හුරු බුහුටි හං මල්ලක්.. 

ඒ කාලෙ ඉඳලම මගෙ ගාව ලෙදර් ට්‍රැවලිං බෑග් එකකුයියි ඩෙනිමකුයි වරදින්නෙම නෑ.ඔය දෙක මගෙ ට්‍රේඩ් මාර්ක් එක වගෙ වෙලා තිබ්බෙ.මගෙ හම් මල්ල ඒ කාලෙ ඉඳලම බොහොම ජනප්‍රියයි. 

බොහොම වෙලාවට මට ගෙදර යන්ට උවමනා උනාම කෑම්ප් එක මුලුක්කාදියෙ ඇවිදින්ට ඕන ඕක හොය හොය.එහෙම ගියත් වැඩක් නෑ සමහර වෙලාවට … 

" අනේ මචෝ..මම අනිද්ද ගෝලය බලන්ට යන්ට කියලයි හිතං ඉන්නෙ..මේ තරහ නැතුව උඹ ලබන සුමානෙ පලයං ගෙදර..හෙට යන්ටම ඕන නං මේ මගෙ බෑග් එක අරං පලයං.." 

ඇඳ අස්සෙ අත පත ගාල ඒකා මට අරං දෙනව උගෙ බෑග් එක. 

මේ පරණ හම්පඩ ලදරමක්!!! 

" නෑ..මචං කමක් නෑ..මම උඹ ආවට පස්සෙ යන්නං " 

මම එහෙම කියල ආපහු හැරිල එනව..ආ..මම කලිනුත් පාරක් කිව්ව..ඒත් නොදන්න අයටයි මේ..ගෝලය කියන්නෙ තමංගෙ සෙනේවන්තියට නොහොත් කෙල්ලට... හොඳද? 

ඉතිං ඔය නුවර ව්‍යාපෘතියෙ මම වැඩ කරන කාලෙ මයෙ බොස් ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙ ගෙවල් ඇවිල්ල ගම්පොල පාරෙ ගෙලිඔය. උදේ එනකොට පැණිදෙණිය හරහ ඇවිල්ල මාවත් දාගෙන යනව.එතුමාට හදිස්සි වෙනත් වැඩක් යෙදිච්ච දවසට මම බස් එකේ යනව නුවර... 

මේ සිද්දිය උනේ අන්න එහෙම දවසක... 

බස් එකේ වීදුරුව අයිනෙ සීට් එකක හරිබරි ගැහිල වාඩි වෙලා එහෙම බෑග් මල්ල උකුල උඩ තියාගෙන පොතකුත් දිගඇර ගත්තම ආය මම පියවි ලෝකෙට එන්නෙ බස් එක ගමනාන්තෙට ඒ කිව්වෙ නුවර පොලිසිය ගාව හෝල්ට් එකේ නතර කලාම. .. 

පැණිදෙණිය බස් එක පේරාදෙණිය මල් වත්ත හරියට එනකොට පිරෙනව. එදා මම කියෙව්වෙ ඩබ්ලිව්. ඒ අබේසිංහ මහත්මයගෙ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්ය කියල මට තාමත් මතකයි.ගැටඹෙ හරියට එනකොට චුරු චුරු වැස්ස ටිකක් තදකලා.වීදුරුවත් වහල මම ටිකක් වෙලා බලාහිටිය බස් එකේ වේගෙ වැඩිවෙනකොට වැහි බිංදු වීදුරුව දිගේ තිරස් අතට ගලාගෙන ඇවිල්ල අන්තිමට නොපෙනී යන විදිහ.ආයම ඔන්න පොතට සම වැදුන. මුල්ගම්පල හරියෙදි මා ලඟ හිටපු මැදිවියේ මනුස්සය නැඟිටල එතන වෙන කවුරුහරි ඉඳගත්තය කියල තේරුණට පොතේ සිහියෙන් හිටපු මම ඒ ගැන ඒ හැටි තැකීමක් කලේ නෑ. 

ඒත් ඉඳගත්තු පුද්ගලය එබි එබී මයෙ අතේ තිබ්බ පොත කියවන්ට උත්සාහ කරන්ට උනාම මට ඔලුව උස්සල කවුද බොලේ මේ? කියල නොබලම බැරිඋනා.අවුරුදු දාහතක දහාටක වගෙ දැරිවියක්. ඒ ලෙවල් ක්ලාස් යන්නව වෙන්න ඕන. උකුල උඩ පොත් කීපයක් තිබ්බ. ෆයිල් එහෙකුත් තිබ්බද කොහෙද... 

මට යන්තමට හිනාවක් ගියෙ ඉබේම. මම කලිනුත් කිව්ව වගෙ මෙච්චර කෝච්චියෙ බස් එකේ පොත් කියවමින් ගියත් ඒ පොතක් ගැන යන්තමට හරි උනන්දුවක් පෙන්නපු, අඩු ගානෙ එබිල බලපු හරි කෙනෙක් මට ඔය මුනගැහුනමයි.එක්කො කෝච්චියෙ යනකල් ඔය මොනවහරි වල්පල් දොඩවයි නැත්තං මේ පැඟිරො පැඟිරියො වගෙ නං අර බොත්තං දෙකක් වගෙ කං වල ගහගනියි.. 

ඊට පස්සෙ ඔලුවයි අතපයයි තුන හතරම ඒ තාලෙට හොල්ල හොල්ල ඉඳී අර ගහේ බැන්ද අලි නාම්බො කොච්චරවත් දෙපැත්තට ඔලුගෙඩිය හොල්ලන්නැහෙ..අනේ වරදවා වටහගන්ට එහෙම එපා..මම මේ එහෙම එව්වට වැරැද්දක් කියනව එහෙම නෙවෙයි ඔන්න.තමං කැමති දේ කොරන්න තමන්ට පූර්ණ නිදහස තියෙන්න ඕන..ඒක හරි..එකඟයි..මම මේ කිව්වෙ රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් විතරයි.. 

කෙල්ල කොච්චර පොත ගැන උනන්දුවෙං හිටියද කිව්වොත් මම එයා දිහා බලාඉන්නව දැක්කෙත් මිනිත්තුවක් වාගෙ ගියාට පස්සෙ..ලැජ්ජ හිතුනද කොහෙද? මූණ කටත් එක්කලා රතුවෙලා අහක බලාගත්ත. 

" ආ..අරං බලන්න ඕනෙ නම් .." 

මම පොත් දික්කලා ඒ ළමයට.. 

" ස්තූතියි…" 

දැරිවි පොත අරගෙන හනිකට කියවන්ට ගත්ත. 

වෙම්බ්ලි හෝල් එකත් පහු උනා. බස් එකේ ගමනාන්තය නුවර පොලිසිය ලඟ හෝල්ට් එක ඊලඟට. ඔලුව උස්සල වටපිට බලපු අර ගෑණු ළමය කඩි මුඩියෙ පොතෙ ඉතුරු පිටු පෙරලන්ට පටං ගත්ත. 

ඒ දිහාවෙ හිනාවීගෙන ටික වෙලාවක් බලාඉඳල මම ඒ හිනාවෙන්ම ඇය ඇමතුව. 

" ඔයාට ඕනෙ නං පොත තියාගන්න…" 

ඒ ළමය මා දිහා බලල හිනාඋනා.. 

" බොහොම ස්තූතියි.." 

ඔන්න ඔය විස්තරේ මම හවස ගෙදර ඇවිල්ල අපෙ හාමිනේ එක්ක කිව්වම උන්දැ කියාපි. " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " කියල...හෙහ්...හෙහ්, 

කොහොම හරි ඊට පස්සෙං පහු පොත් කඩේකට ගියොත් නං මම හෝදිසි කරල බලනව අර පොත ගැන….. ඒත් හම්බ උනේ නෑ නෙව තාමත්... 

හප්පච්ච්යේ මදැයි.....යාන්තං ඔන්න ආපහු කියන්ට ආපු කතාවට ආව..සුජාගෙ කතාවට... 

ජයන්තිපුරේ පහුවෙනකල් වගෙ ඉස්සරහ සීට් එකේ දෙන්න..මතකයි නේ? විජිතයි..සුජාතයි...ඔන්න හිනාවෙවී මුකුළු කරකර ගියා. මට එව්වයිං වැඩක් ඇත?..මම පුල් අවදානෙ පොතට යොදල පොත කියෙව්ව. කොච්චරක් නං පොතේ සිහියෙං හිටියද කිව්වොත් සුජා පස්ස හැරිල මට කතාකරනව කියල මට ඇහුනෙ ඔන්න මම හිතන්නෙ ඒ ලමය මට කතාකරපු හතරවෙනි නැත්තං පස්වෙනි විඩේ වෙන්න ඕනෙ.. 

හිතට අල්ලන පොතක් කියවන්ට ගත්තම මට මුලු ලෝකෙම අමතක වෙනව.වෙන මොකවත්ම පේන්නෙ ඇහෙන්නෙ නැතුව යනව.. 

" ඔයා මොකද ඉතිං? ….පොතක් අතට ගත්තද ලෝකෙ පෙරලුනත් ගානක්වත් තියනවය? " 

ප්‍රියම්බිකා තොමෝ එහෙම කියල හිනා උනාට ඒ විහිළුවටමත් නෙවෙයි කියලත් මං දන්නව. 

" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " 

මම ඔලුව උස්සනකොට සුජා හිනාවීගෙන ඉන්නව. 

" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" 

මමත් සීරියස් පිටම කිව්ව. 

සුජාතා හිස ගස්සල හයියෙං හිනා උනා. හිනා උනා කිව්වට වැඩිය හරි මයෙ හිතේ හිනා ගියා කිව්වනං..මගෙ සීට් එකේ එහා පැත්තෙ හිටියෙ ටිකක් විතර වයසක අම්ම කෙනෙක්. උන්දැ තොල් අකුලුවල නුරුස්සන බැල්මකින් සුජා දිහා බලල අහක බලාගත්ත. ජනේලෙං එලිය බලාගෙන හිටපු විජිත එක පාරටම සුජා දිහා හැරිල බලල ආපහු ඉස්සරහ බලා ගත්ත. 

සුජා අතිං කට වහගෙන හිනාව නවත්ත ගන්ට හැදුවට මොන? ඒ අම්මණ්ඩි ඇවිල්ල හිනාවෙන්ට ගත්තම ආය නවත්ත ගන්ට පුලුවං ලලනාවක් එහෙම නෙවෙයි...මම තොල් හපාගෙන ජනේලෙං එළියට දෑස් යොමුකරගත්ත. 

" ඇත්තටම මොකක්ද ඔය පොත?.." 

" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…" 


ඒ වෙලාවෙ ඉඳල දඹුල්ල ඔර්ලෝසු කණුව ලඟ මම බහිනකල් නවකතා, චිත්‍රපට,නාට්‍ය ගැන බොහොම දේවල් අපි කතා කලා. කලාව ගැන එහෙම උනන්දුවක් තිබුණු ඒ වගේම කලාව ගැන හරවත්ව යමක් කතාබහ කරන්ට පුලුවන් ඒ වගෙ යුවතියක් මට මුණගැහුනෙ බොහොමත්ම කාලෙකට පස් සෙ. 

සුජා විජිතත් සැරින් සැරේ අපේ කතාබහට එකතු කරගත්ත. දඹුල්ල ටවුන් එක කිට්ටු වෙනකොට මම නැඟිටල උඩ රාක්කෙං ගත්ත මයෙ සුපුරුදු ගමං මල්ල...අරං දාගත්ත කරට... 

" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි... සඳුදට හම්බවෙමු." 

" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...." 


සුජා මගෙ මූණ බලල බොහොම සුන්දරව හිනා උනා. 

කොන්දොස්තර කොලුව එක පාරට දොර ඇරියම හමාගෙන ආපු සුළං රැල්ලක් සුජාගෙ බෙල්ල ගාවට කෙටිකරල කපල තිබ්බ කොණ්ඩෙ අවුල් කරල දැම්ම. 



" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම ආපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල  කියා දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

මතු සම්බන්ධයි...... 


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...