Friday, July 29, 2011

30. මගේ කතාව - 1 - හන්තාන කඳුවැටියට ඇසළ සඳ පෑයූ රාත්රියක.........




හතරයි විස්සෙ සෙංකඩගල මැණිකෙ කොටුවෙන් පිටත් උනේ විනාඩි දහයක් පරක්කු වෙලා.අන්තිම මොහොතෙ දුවගෙන ආපු මම යන්තමට දොරෙන් ඇතුල්වුනා විතරයි. ඒ තරමට සෙනඟ. ඔෆිස් ඇරෙන වෙලාව නෙව, හැමදාම මෙහෙම ඇති, ඒත් මිනිස්සු තෙරපෙන එක, තදබදය කිසිදෙයක් මට දැනුනෙවත් නෑ: මගෙ හිත ඇතුලෙ කලබලය ඒ ඔක්කොටම ලොකුයි.

වේයන්ගොඩදි සෙනඟ ටිකක් අඩු උනා, යන්තමට ඔන්න ඇතුලට ගියා. පොල්ගහවෙලදි මට සීට් එකක් ලැබුණා. ජනේලයක් ළඟ. දැන් හවස හයහමාරයි, අඳුර ඈතින් පෙනෙන කඳුවැටි මතින් ගලාහැලෙද්දි දුම් රිය හෙමිහිට කන්ද නඟින්ට පටන් ගත්ත.

පිටත අඳුර ගුලි ගැහෙන හැටි, මඟ දෙපස ගෙවල්වල් විදුලි එළි එක සීරුවට පසුපසට ඇදීයන හැටි මම ඔහේ හිස් බැල්මෙන් බලා හිටිය. ඒ එකක්වත් මගෙ හිතේ සටහන් උනේ නෑ.

මගෙ ජීවිතයම ඒ දැඩිවන අඳුර මත රඟදෙන නාටකයක් වගෙ මට මැවිලා පෙනුනා.

අහ්....ඒ ඔක්කොටම කලින් මම කව්ද කියන්ට එපාය......මම අජන්ත......ඔව්,
සචිනිගෙ කතාවෙ අජන්ත......ඒ අජන්තම තමයි,

වෙහෙසකරව කඩුගන්නාව කන්ද නැඟපු දුම් රිය එතන ඉඳන් පේරාදෙණියට එක හැල්මේ දිව්ව. මම බැස්ස පේරාදෙණියෙන්.

වේදිකාවට පය තියනකොටම "අජන්ත මල්ලි, මම මෙහේ................" රංජිත් අයියගෙ හඬ ඇහුනම මට ආවෙ දරන්ඩ බැරි තරම් සතුටක්.

රංජිත් අයිය මා එක්ක අපේ කම්පනි එකේ කොළඹ ප්ර්ධාන කාර්යා.ලයේ වැඩ කලා අවුරුදු ගණනක්.මගෙ හොඳම මිත්රයය. ඒ වගේම ජීවිතේ හැම වැදගත් දේකදිම මගෙ උපදේශකය. මගෙ ගුරුවරය.මාස හයකට විතර කලින් අපෙ කම්පනි එකේම නුවර කාර්යාඹලයට මාරුවෙලා ආව රංජිත් අයිය දැන් පැණිදෙනියෙ ගෙයක් හදාගෙන ජානකී අක්කත් එක්කල ඉන්නව දෙයියනේ කියල.පැණි දෙනිය කියන්නෙ පේරාදෙනිය ස්ටේෂන් එකේ ඉඳල පයින් යන දුර.විනාඩි දහයයි.

" මල්ලි ත්රීේ වීලර් එහෙක යමුද?" ...............රංජිත් අයිය ස්ටේෂන් එකෙන් එළියට එන ගමන් ඇහුව.

" අනේ මොකටද අයිය......ඒ හැටි දුරක් නෑනෙ.......කයියක් ගහගෙන පයින් යමු ඔන්න ඔහෙ.........." ගේ හදන වැඩ ගැන කතා බහේදි පේරාදෙණියෙ ස්ටේෂන් එකේ ඉඳල ගෙදරට පයින් ගියත් විනාඩි දහයයි කියල රංජිත් අයිය කලින් කියල තිබ්බ මට මතක තිබ්බ.

පැණිදෙණිය කඩ මණ්ඩියෙ කඩේකට රන්ජිත් අයිය ගොඩ උනා." මල්ලි, සෝඩ නේද?........" ඒ උත්තරයක් බලාපොරොත්තුව ඇහුව ප්රනශ්නයක් නෙවෙයි.

" ඉතින් අජන්ත මොකෝ තනියම කෝ සචිනි?"

පාළු පාරෙ අපේ පියවර හඬ විතරක් ඇසුණු මිනිත්තු කීපයකට පස්සෙ රන්ජිත් අයිය ඇහුව.

මම මේ ආපු ගමන ඇත්තටම හදිසි තීරණයක්. අද උදේ ඔෆිස් එකේදි හදිසියෙම ගත්තු තීරණයක්.පහුගිය දවස් තුනක් තිස්සෙ විඳපු වචනෙන් කියන්ඩ බැරි තරම් දුක් වේදනා කන්දරාවකට පස්සෙ හිත සැහැල්ලු කර ගන්ඩය කියල හිතලම තමයි රන්ජිත් අයියට මම කතා කලේ.

ටෙලිෆෝන් එක එහා කෙළවරෙන් රන්ජිත් අයියගෙ කටහඬ මට ඇහුනු ගමන් මගෙ හිතට ආවෙ පුදුම සහනයක්.

" අජන්ත මල්ලි ඉතින් කොහොමෙයි?....කොහොමද විවාහ ජීවිතේ එහෙම?......හෙහ්, හෙහ්, "

" මම මේ කතා කලේ අයියෙ අද හවස කෝච්චියෙ මම අයියලගෙ ගෙදර එනව කියන්න.හෙට පෝය නිවාඩුවනෙ."

" අඩේ අන්න නියමයි, කාලෙකින් අපිට නිදහසේ කතාකරන්නත් බැරිඋනා.....උඹේ වෙඩිං එකෙන් පස්සෙ මම හිතන්නෙ අපි හම්බ උනේම නෑ.......හැබැයි ඔය කෝච්චියෙ සෙනඟ මල්ලි, සචිනිට ලේසි වෙන එකක් නෑ....ඇයි ඉන්ටර්සිටි බස් එකක වරෙල්ලකො දෙන්නම......."

" මම විතරයි අයියෙ එන්නෙ..............." මම ඒ ටික කිව්වෙ බොහොම හෙමිහිට.....ඇහෙන නෑහෙන ගානට,

" හප්පා......ඒ මොකෝ මල්ලි?..........හරි, හරි, ඒකෙන් කමක් නෑ උඹ වරෙන්කො මම පේරදෙණිය ස්ටේෂන් එකට ඇවිත් ඉන්නම් "

ඔන්න ඔහොමයි දවල් වෙච්චි කතාව............

" හරි අජන්ත, අපි ගෙදරට ගිහිල්ලම කතා කරමු " රන්ජිත් අයිය මගේ නිහඬතාවය නිසාදෝ කිව්වෙ මගෙ උරහිසට අතකුත් තියන ගමන්.

ජානකී අක්ක ඇවිත් හිටිය පාරටම....හිනා කටකුත් පුරෝගෙන..........

" අප්පේ අජන්ත මල්ලි දැකපු කාලයක්....යමු යමු දැන් මහන්සිත් ඇතිනෙ, හිටගෙනම ඇවිල්ල,"

" නෑ අක්ක, මට පොල්ගහවෙලදි සීට් එකක් හම්බ උනා "

" මල්ලි තේ එකක් බොනවද?................" ජානකී අක්ක ප්රාශ්නෙ ඇහුවෙ රංජිත් අයියගෙන්...

" හරි හරි හදන්නකො තේ එකක්....කෝකටත්....... අජන්ත බාත් රූම් එක අතන...වොෂ් එකකුත් දාගන්න එහෙනම්...." රංජිත් අයිය අන්තිම කොටස කිව්වෙ මට.

රංජිත් අයිය ගෙදර හදල තිබ්බෙ පොඩි කඳුගැටේක. උඩ තට්ටුවෙ සඳලු තලේට හන්තාන කඳුවැටිය පේන්නෙ අතින් අල්ලන පුලුවන් ගානට.

හෙට ඇසළ පෝය........හඳ එළිය හන්තාන කඳුවැටිය පුරාම විහිදිලා.කඳු මුදුනෙ ටෙලි කොම් කුලුණු දෙකට පිටිපස්සෙන් හඳ පායල. අහසෙ තරු දෙක තුනක් විතරක් පේනව, ඒත් බොහොම මලානිකව.

ගේ පහලින් දිවෙන පරණ ගම්පල පාර පාලුවට ගිහිල්ල. ඊට සමාන්තරව තියෙන බදුල්ල කෝච්චි පාර පැහැදිලිව පේන්නෙ සඳ එළියට රේල් පීලි දිලිසෙන හින්ද.

" මල්ලි මොකෝ සිරි නරඹනවද?..........ලස්සනයි නේද? " රංජිත් අයිය ළඟටම එනකල් මට ඇහුනෙම නෑ.

" වරෙං, වරෙං........වැඩේ පටන් ගමු.....හෙහ්, හෙහ්, "

අපි ආගිය විස්තර කතා කර කර වැඩේ පටන් ගත්ත.හෙඩ් ඔෆිස් එකේ අලුත් විස්තර මම කිව්ව. නුවර අපේ යාලුවන්ගෙ අලුත්ම විස්තර රංජිත් අයිය කිව්ව.

ඔහොම ටිකෙන් ටික කතා කරල අන්තිමට වෙන කතා කල යුතු යාලුවන්ගෙ ඔෆිස් එකේ දේවල් නැති තැනට ඇවිල්ල අපි දෙන්නම නිහඬත්වයේ වෙලිල මිනිත්තු කීපයක් ගත උනා.

" රංජිත් අයියෙ......." මම නිහඬ තාවය බින්දා.

" අජන්ත......කියපං, මල්ලි ප්ර ශ්නයක් තියේනම්, ඒක මට කියන එක උඹෙ හිතට සහනයක් කියල උඹට හිතෙනවනම්, මගෙන් මොනවහරි උදව්වක් ඕන කියල උඹට හිතෙනවනම්, මට ඒ උදව්ව කරන්ඩ පුළුවන් කියල උඹට හිතෙනවනම් මට කියපං"

ජානකී අක්කත් ඇවිල්ල වාඩිඋනා........

මම අක්ක දිහා බලල හිනාවෙලා ආයෙම රංජිත් අයිය දිහාවට හැරුන.

" සචිනි මාව දාල ගියා අයියෙ" මම ඒ ටික කිව්වෙ පපුවෙන්ම එන වේදනාව දරාගෙන. ඒ කරල මම වීදුරුව පුරව ගත්ත.

මතු සම්බන්ධයි...............

Tuesday, July 12, 2011

29. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........4



සචිනිගේ කතාව - 1
Link
සචිනිගේ කතාව - 2

සචිනිගේ කතාව - 3


ජීවිතේ පහුවදා ඉඳල ආයෙම සුපුරුදු විදිහට හැලහොල්මනක් නැතුව ගලාගෙන ගියා. එහෙම කියන එකත් එක අතකට වැරදියි. මතුපිටින් නිසංසලේ ගලා යනව වගෙ බැලූ බැල්මට පේන දිය පාරක ඇතුලෙ මොන තරම් දිය සුලි වගෙ එව්ව තියෙන්ඩ පුලුවන්ද? ඇහැට නොපෙනි........... ජීවිතෙත් ඊට කිසිම වෙනසක් නෑ.අළුයට ගිනි පුපුරු වගෙ කොයි වෙලාවෙ මතු වෙයිද කියන සැකය සචිනිගෙ හිත ඇතුලෙ හොල්මන් කලා.

මේ කාලෙ ඇතුලත සචිනි දැඩි උත්සාහයක් ගත්ත තමන්ට මුහුණ දෙන්නට සිදුවුනු ප්රශ්න දිහා යථාර්තවාදීව බලන්ට. ඒ කියන්නෙ පක්ෂග්රාහී නොවී.ප්රශ්නෙ කොටස් කාරයන් වන අජන්ත සහ සචිනිගෙ ඇහින් නැතුව අපක්ෂපාතී තුන්වැන්නෙකුගෙ ඇහින්.ප්‍රශ්නයක් විසඳගන්ට කොහොම වෙතත් ප්රශ්නය තේරුම්ගන්ට හුඟක්ම වැදගත් ඒ ක්රම වේදය සචිනිට කියල දුන්නෙත් අප්පච්චි.

" මයෙ පුතේ, මොකක් හරි ප්රශ්නයක් තේරුම් ගන්න හොඳම ක්රමය තමයි ප්රශ්නයට සම්බන්ධයක් කොහෙත්ම නැති තුන්වැන්නෙකුගෙ ඇහින් ප්රශ්නය දිහා බලන්ට ඉගෙන ගන්ට.ඒකෙන් ඇත්තටම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්ට පුලුවන්. ඒත් අඩුම ගානෙ ප්රශ්නෙ ඇත්ත ඇති සැටියේ තේරුම් ගන්ට වත් ලැබෙනවනෙ. ඒකත් ලොකු දෙයක්. මොකද? පුතා හොඳට හිතේ තියාගන්ට ප්රශ්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගත්තයි කියන්නෙ සීයට පණහක් ප්රශ්නෙ විසඳිලා" ඔන්න ඔහොමයි අප්පච්චිගෙ වචන වලින්ම. ඔහොම අප්පච්චි කිව්වෙ ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරියකගෙන් සචිනිට වෙච්ච අසාධාරණයක් ගැන සචිනි බොහොම කලකිරිල හිටපු වෙලාවක.අප්පච්චි එහෙම කිව්වෙ සචිනිව දකුණු අතින් වැළඳගෙන වමතින් හිස පිරිමදින ගමන්.සචිනි ඒ වෙලාවෙ ඉකිගගහ හැඬුව නම් තමා.ඒත් ජීවිතේටම අමතක නොවන පාඩමක් ඒ වෙලාවෙ අප්පච්චිගෙන් ඉගෙන ගත්තෙ.ඊට පස්සෙ කවදාවත් සචිනි නෙවෙයි කිසිම ප්රශ්නෙකදි ආවේගශීලී උනේ.

ඉතින් සචිනි කලේ ඒ විදිහට කරපු එකයි. තුන්වැන්නෙක් මේ ප්රශ්නෙ දිහාවෙ බලන විදිහට බලන්ට උත්සාහ කරපු එක.

තුන්වැන්නෙකුට නම් ඇත්තටම සචිනිගෙ හිතේ පොදිකන සිතුම් තේරුම් කරල දෙන එකත් එච්චර ලේසිවෙන එකක් නෑ. සචිනිට එහෙම හිතුනා. ඇත්තටම විවාහ වුනු යුවතියකට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්න හැටියට මේවත් ප්‍රශ්නද කියල හැමෝටම හිතෙයි නේද?මම කොහොමද මගෙ හිතේ වේදනාව තව කෙනෙකුට තෙරුම් කරල දෙන්නෙ?

විවාහය කියන්නත් ජීවිතේ අනික් හැමදෙයක් වගේම සාමූහික වගකීමක්ය කියන එක සචිනිට අමුතුවෙන් කියාදෙන්න ඕන කමක් තිබුනෙ නෑ. ඒ වගේ ම යම් කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න ඕනය කියලත් ඈ නොදැන හිටියම නෙවෙයි.ඒත් ඇත්තටම සචිනිට විසඳ ගන්න බැරිවුනු ගැටළුව තමයි මේ කැපකිරීම් වල අවසානය කොතනද කියන එක.

මේ කැපකිරීම් වල අවසානය කියන්නෙ මට මාවම අහිමි වෙන එකද? එහෙම නැත්නම් අන්තිමට සචිනි වෙනුවට නන්නාඳුනන යුවතියක් ඉතිරි වෙයිද? මේ විදිහට හිතන එකත් එක අතකට සචිනිට මහම කරදරයක් උනා. ඒත් දෙයියනේ මොනව කරන්නද? හිතට හිතෙන හිතුවිලිය කියන එව්ව වලක්වන්නෙ කොහොමද?

අජන්ත ආයෙම ඒ කිසිම දෙයක් ගැන සචිනි එක්ක වචනයක් වත් කතා කලේ නෑ.ඒ ගැනත් එක අතකට සචිනි සතුටු උනාට ආයෙම කතාකරල තමන්ගෙ අවංක අදහස් ප්‍රකාශ කරල මොකක් හරි තීරණයකට එන එක මෙහෙම කසාය බීපු ගොලුවො වගෙ ඉන්නවට වඩා හොඳයයි කියලත් වෙලාවකට නොහිතුනාමත් නෙවෙයි.


ඔය අතරෙ දවසක අම්මයි අප්පච්චියි ආව ඉරිදාවක. දවල්ට කාල එහෙම ඉවර වෙලා හවස් වෙන්ඩ කිට්ටු කරලයි ඒ දෙන්න ගියේ.

අම්මනම් බොහොම සතුටෙන් අජන්තලගෙ අම්ම එක්ක තොර තෝංචියක් නැතුව කතා කලාට අප්පච්චි කීප වතාවක් සචිනිගෙ ඇස් දිහා එක එල්ලේ බලල යමක් තේරුම් ගන්න උත්සාහ කරනව කියල සචිනිට හොඳින්ම තේරුම් ගිය නිසා සචිනි පුලුවන් හැම වෙලාවෙම අප්පච්චිගෙ ඇස් මඟ ඇරියා.

අන්තිමට දෙන්න යන්න පිටත් වුනාම සචිනිත් ඒ එක්කම ගේට්ටුව ළඟට ගියා.ගේට්ටුව ගාවදි අප්පච්චි ආපහු හැරිල සචිනිගෙ අත්දෙක අල්ලගෙන මෙහෙම කිව්ව " මයෙ පුතේ, පුතාට මොනවත් ප්රශ්නයක් තියනවද කියල මම අහන්නෙ නෑ. ඒත් හැම ප්රශ්නෙකටම විසඳුමක් තියෙනව කියන එක විතරක් අමතක කරන්න එපා.අනික ජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර නොවෙනව වගේම අපි හිතන තරම් අසුන්දරත් නෑ. අන්න ඒ ටික අමතක කරන්න එපා. ඒ වගේම මයෙ පුතාට මම ඉන්නව. ඒකත් හිතේ තියාගන්න"

“ මොනවද මේ කියන්නෙ, මට නම් තේරෙන්නෙ නෑ. ඔයා මේ මොනව කියනවද කියල. දුවට මොනවද තියන ප්රශ්න? අජන්ත කොච්චර හොඳ ළමයෙක්ද?, සුන්දරත් නෑලු අසුන්දරත් නෑලු, අනේ මන්ද, ඔයා ඔය ඔයාගෙ පොත් වල ලියන එව්ව කියල මේ ළමයගෙ ඔලුව නරක් කරන්න එපා. මට නම් තේරෙන්නෙ නෑ මොනව කියනවද කියල ’’ අම්ම කියාගෙන කියාගෙන ගියා. අම්මගෙ හැටි එහෙම තමයි.

“ ඔයාට නොතේරුනාට කමක් නෑ. මම ඒ ටික කිව්වෙ ඔයාට නෙවෙයි ’’ අප්පච්චි සුපුරුදු නිවුණු හඬින් කිව්ව.

“ නෑ අප්පච්චි,, එහෙම මොකවත් නෑ “ සචිනි කිව්වෙ කඳුළු උනන්නට තැත් කරන දෑස් කීප වරක් තදින් අතැඟිලි වලින් පිරිමදිමින්.

අප්පච්චි ආයෙම පාරක් සචිනි දිහා බලල දෙතුන් පාරක් හිස දෙපසට වනල සුසුමක් හෙලුව.අප්පච්චි ගේට්ටුවෙන් පිටවුනු ගමන්ම සචිනි ගේට්ටුව වහල ආපහු හැරුන.

ඔන්න.....ඊයෙ දවස.......

අප්පච්චිගෙ ලිවීමේ හැකියාව සචිනිටත් පිහිටල තිබ්බ. ඒත් ඒ කවි ලියන්ට.

වයස පහලව වගෙ කාලෙම ඈ ලියාපු පෙම් කවියක් මුල් වරට පත්තරේක පළවුනා. ඒක ඉස්කෝලෙ මහත් ආන්දෝලනයක් උනාට, සචිනි සත පහකටවත් ගනන් ගත්තෙ නෑ. අම්ම නම් කිව්වෙ " මොනවද ළමයො, මේ ලියල තියෙන විකාර?" කියල විතරයි.

සචිනිට ගොඩක්ම වැදගත් උනෙ අප්පච්චි කියන්නෙ මොකක්ද ? කියන එකයි,

හැබැයි අප්පච්චි මොනවත්ම කිව්වෙ නෑ, ආඩම්බරෙන් වගෙ මද සිනහවකුත් දෙතොල රඳවාගෙන සචිනි දිහා ටික වෙලාවක් බලන් ඉඳල දකුණතේ මහපට ඇඟිල්ල උස්සල අනික් ඇඟිලි හතර නවාගෙන සචිනි දිහාට දිගු කලා. ඊට වැඩි දෙයක් සචිනිට ඕන උනෙත් නැහැ.ඒ ටික මදෑ ඕනවටත් වැඩිය.

ඉතින් සචිනි ජීවිතේ හැම සිදුවීමක්ම..... සතුටක්... දුකක්...... එහෙම නැත්නම් හිතට නොසෑහෙන ආවේගයක් ආපු හැම වෙලේම කලේ හිතේ තෙරපෙන පොදිකන හැඟීම් අකුරු බවට හරවල..... ඒ අකුරු පද බවටත්....... ඊටත් පස්සෙ පද පදවැල් බවටත් හරවල........ පදවැල් සුදු කඩදාසි මතට හෙමින් සැරේ අමුනපු එක. ඒක ඇත්තටම හිත නිදහස් කරන විරේකයක් වගෙ සචිනිට.

ඔය යන්ත්ර සූත්ර වල තියෙනව පීඩන යාමන කපාටය ( Pressure releasing valve ) කියල එකක්. ඔරොත්තු නොදෙන තරමට පීඩනය ඉහළ ගියහම ඉබේම ඒ කපාටය විවෘත වෙලා වැඩි පීඩනය නිදහස් කරනව. නැත්නම් අනිවාර්යයෙන් යන්ත්රය පුපුරල විනාශ වෙලා යනවා.

සචිනිගෙ මේ පීඩන යාමන කපාටය උනේ කවි ලිවීම.

හිතේ පිරිල ඉතිරිලා යන හැඟීම් කොලේකටවත් වත් කලොත් හිතට ටිකක් හරි සැනසුමක් ඒවිය කියල හිතල, සචිනි මේසෙ ඉඳගත්ත, දවල්ට කාල අස් පස් කරල දාල එහෙම.

ඇරල තිබුනු කව්ළුවෙන් පෙනෙන අඹ ගහේ කොල අතර සුළඟ රහස් කිය කිය සක්මන් කරනව විඩෙන් විඩේ. ඔලුව උස්සල ඒ දිහා බලන අතරෙම සචිනිගෙ හිත එළියට පැන්න අකුරු වෙලා....... අකුරු එකිනෙකා පස්සෙ දුවල පේළි හැදුන......... පේළි එකින් එක පිළිවෙලට හරි බරි ගැහිල සුදු කොලේ උඩ හරහ වැටිල තැන්පත් උනා.

සෙනෙහස අමාදිය පතමින් පැමිණියෙමි,
සඳවත සිහිල විඳිනට නිති පැතූයෙමි,
විහඟුන් ගයන ගී පද මැද නඳුනුයනේ,
ඔබ සුරතේ වෙලී ඇවිදිමි සිතූයෙමී,

සිහිලස සිඳීගිය කතරකි නෙත ගැටුනේ,
සඳවත දකින්නට නැත මේ අමාවකේ,
විහඟුන් නඳුනුයන් අත්හැර පළාගියේ,
සුරතින් ඔබේ මා අතැඟිලි ලිහීගියේ,

ජීවිත ගමන සිත් රිදවන කල මෙලෙස,
කෙලෙසක එකම මඟ යන්නෙද අප දෙදෙන,
විකසිත වුනේ කුසුමක් මුකුලිත වෙන්ට,
සෙනෙහස කුමක්දැයි සොයනෙමි මම තවම,

හවස සචිනි අම්ම එක්ක ඉවුම් පිහුම් වැඩ එහෙම අහවරයක් කරල, කාමරේට යනකොට අජන්ත මේසෙට හේත්තු වෙලා, සචිනි දවල් අකුරු කරපු සිතුවිලි පෙල කියවනව.

සචිනි කාමරේට ඇතුල් වෙනකොට ඔලුව උස්සල බැලුවට යන්තමට හිනාවක්වත් ඒ මුහුණෙ තිබුනෙ නම් නැහැ......... ආයෙම කවිපෙල කියවන්න ගත්ත........

සචිනි ගිහිල්ල ඇඳේ ඉඳගත්ත. කතාබහක් නැති නිශ්ශබ්දව ගෙවුනු සෑහෙන වෙලාවකට පස්සෙ අජන්ත ඇවිල්ල සචිනිගෙන් ඈත්ව ඇඳේ පල්ලෙහා කෙළවරේ ඉඳගත්ත.

“ අර මොනවද අර ලියල තියෙන්නෙ? “

අජන්ත ඇහුවෙ ඔලුවෙන් මේසෙ දිහාව පෙන්නනමින්.

“ කවි......... ‘’ සචිනි හිතාමතාමයි කෙටියෙන් උත්තර දුන්නෙ......

“ කවි කියල මටත් පේනව, මොකටද ඒව ලිව්වෙ කියලයි මම අහන්නෙ, “

“ කවි ලියන්ට ඉතිං මට හේතුවක් ඕනම නෑ, අජන්ත....... මට හිතුන මම ලිව්ව,......අනික මම ඒ දවස්වල ඉඳම්ම කවි ලිව්ව කියල ඔයත් දන්නවනෙ “

“ ඒක හරි, මම අහන්නෙ මේ අද ලියල තියෙන කවි ගැන........හරි එව්වයින් වැඩක් නෑ...........මම කෙලින්ම කියන්නම්කො...... මම කැමති නෑ ඔයා මීට පස්සෙ කවි ලියනවට,......”

“ .................................... “

සචිනි ගේ නිශ්ශබ්දතාවය ඉවසන්ඩ බැරුවද කොහෙද අජන්ත ආයෙම කතාකලා.

“ මම කියපු දේ ඇහුනද? “

“ ඇහුනා “

“ ඉතිං? “

“ මම මේ ඒ ගැන තාම හිතනවා,........නෑ.........ආයෙ හිතන්නෙ මොනවද? මට ඒක කරන්න බෑ අජන්ත.........කවි ලියන එක මට විනෝදයක්........සැනසීමක්........ඒ ඔක්කොටම වඩා ජීවිතේ පීඩනය පිට කරන, සැහැල්ලු කරන ක්රමයක්.......ඇත්තටම විරේකයක්,”

කැප කිරීම් කියන එකෙත් සීමාවක් තියෙන්න ඕන ; එහෙම නොකිව්වට සචිනි එහෙම හිතා ගත්ත.

“ එහෙමද?.......ඒකද ඔයාගෙ අන්තිම තීරණය? “ අජන්ත ඇහුවෙ වචන වලින් දමා ගසමින්.

“ ඔව්.......” සචිනිත් දෙවරක් නොහිතාම උත්තර දුන්න.

“ හරි......බලමුකො......” අජන්ත එක පාරටම නැඟිට්ට. සචිනි දිහාවෙ ටික වෙලාවක් බලා හිටිය. සචිනිත් අජන්තගෙ මූණ දිහාවෙම බලා හිටිය එක එල්ලේම.

“ Shit “ දත්මිටි කාගෙන එහෙම කිව්ව අජන්ත කාමරෙන් පිට උනා.

සචිනි එහෙම්මම හිටිය ගොඩාක් වෙලාවක්. එක ඉරියව්වෙම....එහෙමම ඉඳල කොන්ද කැක්කුම් අල්ලනකොට එහෙම්මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කරල ඒකට හේත්තූනා.

එදා රෑට සචිනි කෑවෙ නෑ.....” පුතේ අර ළමය..........” .කියල අම්ම අහනව ඇහුන. අජන්ත මොනවද හෙමිහිට කියනව ඇහුන මිසක් කිව්වෙ මොනවද කියල සචිනිට ඇහුණෙ නෑ.

මහ විසාල හිස් බවකින් ජීවිතේම පිරිල ගිහිල්ලය කියන හිතුවිල්ල බර ගල් ගෙඩියක් වගේ ඔලුව, හිත.......මුලු සරීරය පුරාම හිරවෙලා වගෙයි සචිනිට දැනුනෙ.

රෑ මැදියමේ සචිනිට ඇහැරෙනකොට අජන්ත අනික් පැත්ත හැරිල නිදි. බඩගින්නක් තිබුනත් වතුර වීදුරුවක් බීල ආපහු නිදාගත්ත සචිනි.

ඒ ඔන්න ඊයෙ......වෙච්ච දේවල්,

මේ අද..........අජන්ත පිටත් වෙලා ගියාට පස්සෙ, සචිනි හුඟක් වෙලා ඇඳේම ඉඳගෙන කල්පනා කලා.

යථාර්ත වාදීව...........අපක්ෂපාතව, සාධාරණව............තුන් මසක විවාහ ජීවිතයේ සිද්ධ වුනු හැම දෙයක්ම හිතල...........

අවසන ඈ සියලුම සිද්ධීන් අපක්ෂපාතව ගැඹුරින් කල්පනා කොට තීරණයකට එළඹියාය.................මෙම තීරණය කිසිසේත් පහසුවෙන් ගන්නා ලද තීරණයක් නොවූ අතර මෙම තීරණය හේතු කොටගෙන ඇගේ ඉදිරි අනාගතය කුමන අයුරක් වේද යන්න පවා අවිනිශ්චිත වූවද, ඒ කුමන තත්වයකට වුවද නොබියව මුහුන දෙන්නෙමැයි යන දැඩි අදිටනින් යුත්ව සචිනි තීරණයක් ගත්තාය.



In Life more often than not, you have to take decisions that may in all probability alter your life forever; drastically and irreversibly. In retrospect you may regret that decision everyday for the rest of your life...............

But you can do nothing whatsoever about it...........it’s your destiny; you have to accept whatever there in store for you with a smile on your face......A smile that may really be full of pain............






Thursday, July 7, 2011

28. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........3

26. සචිනිගේ කතාව 1



27. සචිනිගේ කතාව 2



ඔන්න ඒකත් හරි කියමුකො. සචිනි ඒ වතාවෙත් අජන්තට සමාව දුන්න....... හිතෙන්. ජීවිතේ කියන්නෙ පිණි විසුල මල් පෙති මත සුරඟනන් රැඟුම් පානා සුරංගනා ලෝකයක්, මල් සුවඳ රැගත් මඳ පවන මැදින් මල්ගොමු අතරින් අනන්තය තෙක් හෙමිහිට ඇවිද යන සොඳුරු චාරිකාවක් කියල සචිනි කවදවත් හිතුවෙ නෑ. ජීවිතේ දිහාවෙ යථාර්තවාදීව සමබරව බලන්ට සචිනිට කියල දුන්නෙ වෙන කවුරුවත් එහෙම නෙවෙයි සචිනිගෙ අප්පච්චි.


අප්පච්චි කෙරෙහි සචිනිගෙ හිත ඇතුලෙ තිබුනෙ ආදරයකට වැඩිය ගෞරවයක්, ගෞරවයකට වැඩිය ආදරයක් ඒ දෙකටම වැඩිය ශ්රද්ධාවක් වගෙ හැඟීමක්, එහෙමත් නැත්නම් මේ තුනම මිශ්ර වෙලා හැදිච්ච වෙනම නමක් කියන්ඩ බැරි අමුතුම හැඟීමක්ය කිව්වොත් තමයි වඩාම හරි.

අප්පච්චි දර්ශනය ගැන පොත් කීපයක්ම ලියාපු රටේ තොටේ නමගිය පුද්ගලයෙක්. ඉස්කෝලෙදි උනත් සචිනි ගොඩක් ප්ර්සිද්ධ උනේ අප්පච්චි නිසා. ඒ ගැන කවදාවත්ම ආඩම්බර නොවුනට අප්පච්චිගෙ නම නිසා ලැබුනු ප්ර්සිද්ධිය සචිනිගෙ හිතට ගෙනාවෙ හීන් සතුටක්. " සචිනි සමරදිවාකර " කියන නමට ඈ ඇලුම් කලේ හය හතර නොතේරෙන කාලෙ ඉඳලමයි.

පොඩි කාලෙ නම මොකක්ද කියල පොඩ්ඩොන්ගෙන් අහන අනිවාර්ය ප්ර ශ්නෙට සචිනිගෙ උත්තරේ මෙහෙමයි " තසිනි තමදිකර" අප්පච්චි තවමත් ඔය ගැන කියල හිනැහෙන හැටි සචිනි සිහිකලේ හදවතේ පිරුනු සෙනෙහස උතුරා ගලා යද්දි.

මාසයකට විතර පස්සෙ............උදේ ඉඳම්ම එදා වැස්ස........ඉර පෑව්වෙම නෑ.

සචිනි කාමරේ පොතක් බල බලා හිටියා. ටෙලිෆෝන් එක වැදෙනව ඇහුනා.ටිකකින් අම්මගෙ කටහඬ ඇහුනා" දුව කෝල් එකක්" සචිනි ගිහිල්ල රිසීවරේ ගත්තා. ඒ බැංකුවෙන්. "Yes, Sachini Samaradivakara Speaking Here"සචිනි උත්තර දුන්නා. අලුත් ගිණුම් පාස් පොත ගෙනියන්ඩ එන්ඩය කියලයි ඒ පණිවිඩේ.

එදා දවස සුපුරුදු විදිහට ගෙවිල ගියා. වැස්ස හවස් වෙනකොට අඩු උනාට චුරු චුරුව දිගටම තිබ්බ.අජන්තටත් හෙම්බිරිස්සාවකුත් හැදිල. රෑට බත් එහෙම කාල දෙන්න ගියා නිදාගන්ට. තුරල් කරල තිබ්බ වැස්ස ආයෙම වැඩි කරල. කාමරේ ජනේලෙ කර්ටන් එක අස්සෙන් විදිළි කොටනව විඩෙන් විඩේ.

අජන්ත ඇඳ ළඟ පොඩි කනප්පුව උඩ තිබුනු ටේබල් ලෑම්ප් එක නිව්වා. විඩෙන් විඩේ කාමරේ එළිය කරන විදිලි කෙටිල්ල නිසා සචිනි දෑස් තදින් පියාගෙන පොරෝනය යටට ගුලි උනා.

අහස ගිගිරුම් හඬ මැද්දෙන් අජන්ත මොනව හරි කිව්ව වගේ හිතුනු නිසා සචිනි පොරෝනය මෑත් කරල හිස එසෙව්ව.

" අජන්ත මොනව හරි ඔයා කිව්වද? "

" සචිනි ......අපි ඔයාගෙ නම වෙනස් කරමු නේද?" අජන්ත කිව්වෙ සචිනි දිහා යන්තම් බලල ආපහු සීලිම දිහා බලන ගමන්,

මේ මොකක්ද කියන්නෙ කියල එක පාරට හිතාගන්න බැරුව සචිනි මොහොතක් අජන්ත දිහා බලන් හිටියා.

" ඇයි අජන්ත,....... සචිනි කියන එක.... ඒක හොඳ මදිද? "ආයාසයෙන් හිනා වෙන්නට උත්සාහ කරමින් ඇය ඇහුව.

අජන්ත ඈ දිහා බැලුවෙ නලල රැළි කරල ඇස් දෙකත් පුංචි කරගෙන.

" විහිලු කරන්න එපා සචිනි, ඔයා හොඳටම දන්නව......... " අජන්තගෙ ඉතිරි වදන් හිටිහැටියේ ඇසුණු ගුගුරුම් හඬකින් යටපත් වුනා.

" .....මම කිව්වෙ ඔයාගෙ වාසගම ගැන. "

ගිගුරුම් හඬ ඈතට පාවෙලා මැකිල ගියට පස්සෙ අජන්ත කිව්ව.

සචිනි මොහොතක් එහෙම්මම ඇඳේ ඉඳගෙනවිට්ටමට හේත්තු වෙලා විදුළියෙන් එලිය වැටෙන ජනේලෙ දිහා බලා හිටියා.

අජන්ත විජේසිංහ වන මම...........මෙහි සිටින සචිනි සමරදිවාකර යන..............

සචිනි සමරදිවාකර වන මම..........මෙහි සිටින........

යාන්තමට තුන් මාසයකට ඉස්සරවෙලා.....ඒ....

සචිනි සමරදිවාකර වන මම අද සිට සචිනි විජේසිංහ ලෙසින් හැඳින්වෙන බවට උතුම්වූ ශ්රී ලංකා රජයටත්................

සචිනිට හිනාවක් පැන්නේ ඇයිද කියල ඇයටත් ප්ර ශ්නයක්.

අජන්ත ඈ දිහාවෙ ඇස් ලොකු කරගෙන බලල ආපහු ඉවත බලා ගත්ත.

සචිනි කතා කලෙත් ජනේලෙ නටන විදුළි එළිය දිහා බලාගෙන.

" අජන්ත මට කියන්න, ඇයි මේ හදිස්සියෙ ඔයාට ඔහොම හිතුනෙ? "

අජන්ත උත්තර දුන්නෙ ටික වෙලාවකින් " හදිස්සියෙමත් නෙවෙයි ඒත් කසාද බැන්දහම දෙන්නගෙ නම් දෙක එකක් වෙන්න ඕනෙ නේද? "

" හරි එහෙනම් ඔයා මගෙ නම ගන්ට...අජන්ත සමරදිවාකර........බලන්ටකො මොන තරම් ලස්සනද? " සචිනිට ඉබේම කියවුනා...

අජන්ත ඒ පාර නම් ඈ දිහාට හැරුනා." මාව විහිලුවකට ගත්තද? " හඬ උස් වීමට නොදීමට දැඩි වෙහෙසක් ගන්න ගමන් අජන්ත කිව්ව.

" නෑ අජන්ත ඇත්තටම නෑ......මට දැන ගන්ට ඕන අවංකව ඔයා ඇයි මෙහෙම දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල. "

" මෙතන ඔච්චර තර්ක කරන්න දෙයක් නැහැනෙ ළමයො,සාමාන්යයෙන් කසාද බැන්දම භාර්යාව පුරුෂයාගෙ නම ගන්න එක සිරිතක්නෙ.Don't try to make an issue out of this, Sachini, please "

" No Ajantha, i'm not. It's you who are making an issue out of this. අනික ඔයා දන්නව මම සාමාන්යයෙන් අනික් අය කරන දේවල් කරන කෙනෙක් නෙවෙයි කියල. ඔයා ඒක හොඳටම දන්නව. අපි හඳුනගෙන සතියක් යන්ටවත් කලින් මම ඒක ඔයාට පැහැදිලිවම කිව්ව.මතක නැත්නම් මම ඒ පොඩ්ඩ මතක් කරන්නම් "

සචිනිට නිහඬ වෙන්නට සිදුවුනේ කෝපය පාලනය කර ගැනීමට කීපවරක් ගැඹුරට හුස්ම ගත යුතු වූ බැවිනි.

" හරි, මම මතක් කරල දෙන්නද ඒ දෙබස?......" අජන්ත කිසිවක්ම කිව්වෙ නෑ.

" ස්ථානයත් ඕනනම් නුගේගොඩ මැක්ඩොනල්ඩ්ස් එකේ උඩ තට්ටුව.....දිනේ නම් හරියටම මතක නෑ. ඔයාට ඒකත් ඕනම නම් මගෙ ඩයරි එක බලල කියන්නත් පුලුවන්."

අජන්ත ඈ දිහා බලල ආයෙම අහක බලා ගත්ත.

" මෙහෙමයි දෙබස. " සචිනි කියාගෙන ගියා.

" අජන්ත අපේ ආශ්රය තව වැඩි දුර යන්න කලින් එක දෙයක් ඔයාට කියන්න ඕනෙ.මම හිතනව ඔයා මේක පැහැදිලිව තේරුම් ගනීය කියල. මම සාමාන්ය කෙනෙක් නම් නෙවෙයි. සාමාන්යයෙන් සම්මතය කියල තියෙන දේ මම ගනං ගන්නෙ නෑ. මගෙ හිතට හරිය කියල හිතෙන දේ තමයි මම බොහොමයක් වෙලාවට කරන්නෙ. "

" එතකොට ඔයා දුන්නු උත්තරෙත් මම මතක් කරන්නද? "

" That's okay with me Sachini, actually that’s what I like about you, you have a mind of your own,"

" ඔන්න ඔහොමයි ඔයා එදා කිව්වෙ.ඔන්න ඔය විදිහටම. මතකයි නේද? "

" හරි එහෙම කිව්වම කියමුකො, ඒත් මට තේරුම් ගන්න බැරි මේ බොහොම සුලු දෙයක් ඔයා මෙච්චර සීරියස් ගන්න එකයි. "

" හරි, මේක බොහොම සුළු දෙයක් නම් ඇයි ඔයාට බැරි මේ කාරණය අත ඇරල දාන්න? අනික මේක ඔයාට සුළු දෙයක් උනාට මට ලොකු දෙයක්. මම දන්න කාලෙ ඉඳන් මගේ අනන්යතාවය, මගේ නම කියන්නෙ මට ලොකු දෙයක් ඇත්තටම......එක පාරට කොට්ට උරයක් සම්පූර්ණයෙන් අනික් පැත්ත ගහනව වගෙ මගෙ අනන්යතාවය සම්පූර්ණයෙන්ම නැතිකර ගන්ට මටනම් කොහෙත්ම බෑ, මම ඒක කරන්නෙත් නෑ. "

" හරි, හරි ඉතිං ඕකට ඔච්චර කෑගහන්ට ඕන නෑ. නම වෙනස් කරන්ට බැරිනම් නිකා ඉන්ට. " අජන්ත කිව්වෙ ඔලුවෙ ඉඳන් පෙරවාගෙන අනික් පැත්ත හැරෙන ගමන්.ඒ හඬේ තිබ්බෙ තරහකුත් නෙවෙයි කළකිරීමකුත් නෙවෙයි. ඒ දෙකේම මිශ්ර හැඟීමක් කියලයි සචිනිට හිතුනෙ.

පොරෝනය ඇතුලෙ ගුලි උනාට සචිනිට නින්ද ගියෙ නම් නෑ. මම කතා කරපු විදිහ හරිද? ඇත්තටම නම වෙනස් කරන එක මේ තරම් හැඟීම් බර වෙන්න තරම් දෙයක්ද? සචිනිගෙ ඔලුවෙ ඇතුලෙ කරකැවෙමින් වද දුන්න.



මතු සම්බන්ධයි...........

Monday, July 4, 2011

27. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........2


සචිනි කියන්නෙ දහසක් සිහින පොදි බැඳගෙන පතිකුළයට ආපු අපේ කාළයේ යුවතියක්. සචිනි කියපු මෙතෙක් කතාව මෙහෙමයි.

පහුවදා සචිනි උදෙන්ම කෝල් එකක් දීල අනෝජ ගෙන්න ගත්ත. නවය වෙනකොට අනෝජ ආව, එයාගෙ රතු පාට හොන්ඩා සිවික් එකේ. අනෝගෙ කට දන්න නිසා කාරෙක ගේට්ටුව ලඟ නවත්තල අනෝ බහින්ඩත් ඉස්සර සචිනි “ අම්මෙ, මම පොත් ප්දර්ශනේ බලන්ට යනවා “ කියල එළියට බැස්ස. ගේට්ටුව වහන ගමන් සචිනි දැක්ක අම්ම දොරකඩ හිටගෙන බලාගෙන ඉන්නව. ඒ මූණෙ හැඟීම් හරිහැටි තේරුම් ගන්න තරම් දුර වැඩි උනාට, මූණ එච්චර හොඳ නැති බව නම් සචිනිට ඉවෙන් වාගෙ තේරුණා.

දොර ඇරෙගෙන ඉස්සරහ සීට් එකේ ඉඳගත්තම, අනෝ කටත් ඇරගෙන බලාඉන්නව දැකල සචිනිට බකස් ගාල හිනාවක් පැන්න.



“ මොකෝ බං, මේ මහසෝන දැක්ක වාගෙ, හිහ්....හිහ්, “

“ මහසෝනෙක් නම් මන්දා, උඹ හරියට අර පරණ සිංහල ෆිල්ම් වල ඉන්න කුල කාන්තාවක් වගේ මට නම් පේන්නෙ, නාලිය නොදක්වා.....සළු ඇඳ ඔන්න ඔහෙ කොහාටද දක්වා කියල ඔය තියෙන්නෙ......”

සචිනි හඬනගා සිනාසුනාය. මෙසේ හිතේ හැටියට අවසන් වරට සිනාසුනේ කවදාදැයි සිහියට නගා ගැනීමට උත්සාහ කල ඇය එකෙනෙහිම නිහඬ වූවාය.

“ මොකද බං? “ අනෝජා ඇය දෙස විමසුම් ඇසින් බැලූයේ නළලද රැලි කොටගෙනය.

“ නෑ...මේ උඹ අර නාලිය කියල කිව්වට මට හිනා ගියේ. ඒක නාභිය වෙන්න ඕනෙ හරි වචනෙ, “

“ මේ....නිකම් බොරු කරන්න හදන්න එපා මට.....උඹ හොඳටම දන්නව මම ඇහුවෙ හිනා උනේ ඇයි කියල නෙවෙයි......මම ඇහුවෙ එක පාරටම හිනාව නැවැත්තුවෙ ඇයි කියල. “

අනෝජාගේ විමසුම් බැල්ම තව දුරටත් දරාගත නොහැකි වූ සචිනි කව්ළුවෙන් පිටත බලාගත්තාය.

නිහඬව තවත් මොහොතක් සචිනි දෙස බලා සිටි අනෝජා ගියරය මාරුකොට රථය සෙමින් පාරට ගත්තාය.

පොත් ප්රදර්ශන භූමිය තුල සවස්වන තුරු කාලය ගත කල ඔවුහු දිවා ආහාරයද එහිම වූ ආපනශාලාවෙන් ගෙන, ආපසු එන විට සවස හතර පමණ වී තිබිණි.

අතරමඟ සිසිල් බීම හලක් අසල රථය නතර කල අනෝජා සිසිල් බීම බෝතල් දෙකක් ද රැගෙන පැමිණියාය. ඔවුහු මොහොතක් නිහඬව සිසිල් බීම තොලගෑහ.

“ සචී, මොකක් හරි ප්රශ්නයක් තියනව නම් මට කියාපං, “

සමීපම මිතුරියට අසත්යයක් පැවසීමට දිව නොනැමෙන නිසාම දෝ සචිනි සෙමින් මෙසේ පැවසුවේ ඉවත බලාගෙනමය.

“ ම්ම්, එහෙමමත් නැහැ අනූ, උඹට කියන්ඩ ඕන එකක් නම් මම නොකිය ඉන්නෙ නැහැනෙ. උඹ ඒක දන්නවනෙ “

“ හරි ...okay, let's leave it like that, උඹට ඕනම දේකට මම ඉන්නව කියල විතරක් මතක තියා ගනිං “

" Thanks, Ano, I know that, You don't have to tell me "

දෑසට නැඟි කඳුලු වලකා ගත නොහුනු ඇය වහා ඉවත බලා ගත්තාය.

මිළදී ගත් පොත් බහාලූ මලුද තුරුළු කොටගෙන ඇය නිවසට ඇතුලු වන විට අජන්තගේ අම්මා සාලයේ හිඳ සුපුරුදු ලෙස පුවත් පතක් කියවමින් සිටි අතර හිස ඔසවා ඈ දෙස බැලුවා විනා කිසිවකුදු පැවසුවේ නැත.

ගමන් වෙහෙස නිසාම ඇඳෙහි ඇලවුනු වහාම ඇය නොදැනුවත්වම නින්දට පිවිසියාය. ඇය අවදිවන විට අඳුර වැටී තිබුනු අතර අජන්ත කාර්යාලයේ සිට පැමිණ ඇති බව බිත්තිය අසලවූ ඔහුගේ පාවහන් යුගල සාක්ෂි සැපයීය.

" ශෙහ්......මට නින්ද ගියානෙ හොඳටම....." තමන්ටම කියාගනිමින් සචිනි නිදන කාමරයෙන් පිට වූයේ අවුල් වූ හිස දෑතින්ම සකසමිනි.

අජන්ත මිදුලේ අරලිය ගහ යට බංකුවේ අසුන්ගෙන එදා ලෙසම ඈත අඳුර දෙස බලා සිටිනු දුටු ඇගේ සිතට බියකුදු නොවූවද එහෙත් ඒ හා සමාන හැඟීමක් පිවිසියේ නිරායාසයෙනි.

සෙමින් බංකුව වෙත ගිය එහි කෙළවරක හිඳගත්තාය. ඇය ගැන කිසිදු තැකීමක් නොකොට අජන්ත අඳුර දෙසම බලාසිටිනු තවත් ඉවසිය නොහැකි වූ සඳ ඇය ළය මත බැඳගත් දෑතින් යුතුව බංකුවේ ඇන්දට හොඳින් බරවී ඔහු දෙස නෙත් කොනින් බලමින් කටහඬ අවදි කලාය.

" දැන් මොකද වෙලා තියෙන්නෙ? "

" ඒක අහන ලස්සන?....අද කොහෙද ඔයා ගියේ? " එක් වරම ඈ දෙසට හැරුණු ඔහු හඬෙහි වූ නොරිස්සුම සැඟවීමට කිසිදු උත්සාහයක් නොගෙනම ඇසීය.

" මම.... ගියෙ.... පොත්.... ප්රදර්ශනේට, ඇයි.... අජන්ත.... මම... ඊයෙ... ඔයාට කිව්වෙ? " සන්සුන් වීමට දැඩි උත්සාහයක් දරමින් ඈ සෙමින් වදනින් වදන උච්චාරණය කලාය.

" ඊයෙ මට කිව්වද? "

" මොකද නැත්තෙ ?, ඔයාට වැඩ වැඩියි කිව්වම, මම ඇහුවේ එහෙනම් අනෝජත් එක්ක යන්නද? කියල ඔයාමනෙ හා කියල කිව්වෙ, "

" එහෙම උනාට ඔයාට............."

පැවසිය යුතුදේ පවසාගත නොහැකිව මෙන් ඔහු ඈ දෙස මොහොතක් හැරී බලා, නැවත ඉවත බලා ගත්තේය.

අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කරන තෙක් ඔහු දෙස ටික වෙලාවක් බලා සිටි ඈ ඔහුගේ එවැනි බලාපොරොත්තුවක් නැති බව දැනුනු කල්හි, නැවී බිම වැටුනු රතු අරලියා මලක් අහුලාගෙන එහි පෙති එකිනෙක කඩමින් ඔහු දෙස නොබලාම කතා කලාය

" අජන්ත......මේ විදිහට අපේ ජීවිත වලට......." එතනින් ඔබ්බට කෙසේ වැකිය ගලපාගතයුතුද යන්න සිතා ගත නොහැකිවූ ඇය කෙමෙන් තෙත් වන දෑස තදින් පියාගෙන යටි තොල විකා ගත්තාය.

මෙවර අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කරනතෙක් බලාසිටීමට සිදුවූයේ අජන්තටය.

එහෙත් සචිනි ඒ අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කිරීමට උත්සාහයක් නොගෙනම ඉවත බලාගෙන දෑසට නැඟෙනා කඳුලු වළකා ලීමට දැඩි උත්සාහයක් ගත්තාය.

වවුලන් තටු ගසන හඬින් පමනක් නිහඬතාවය බිඳීගිය කල්පයක් සේ දැනුනු මිනිත්තු පහක පමණ කාල පරාසයකට පසු සචිනි තීරණයකට එලඹියාය. " කමක් නෑ, මට ඊට වඩා වටිනව හිතේ සතුට, " තමාටම කොඳුරාගත් ඇය අජන්තට සමීපව, ඔහුගේ උරහිස මත හිස තබා සිහින් හඬින් මෙසේ පැවසුවාය.

" කමක් නෑ. අජන්ත මගෙන් වරදක් උනා නම් සමාවෙන්න.අපි ඒක අමතක කරල දාමු "

මතු සම්බන්ධයි...........

Friday, July 1, 2011

26. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........1

සචිනි හෙමිහිට දෑස් හැරියාය. අජන්ත ඇඳේම පසෙක හිඳගෙන බිමට නැවී සපත්තුවල ලේස් ගැටගසයි. අඩවන් දෑස් අතුරින් පෙනෙන ඔහුගේ උදෑසන රැවුල කැපූ මුහුණේ නැවුම් බව සචිනිගේ හිතට එක්කලේ නොරිස්සුම් සහගත හැඟීමකි. " කොන්ද පණ නැති සෙවලයා " ඈ සෙමින් මිමිණුවාය.

"සචිනි, ඔයා මොනවත් කිව්වද? "අජන්ත එකෙණෙහිම ඈ දෙස හැරෙමින් ඇසුවේය.

ඔහුට පිළිතුරු දීමෙන් වැළකීමට ඈ කලේ දෑස් තදින් පියාගෙන නිසොල්මන් වීමය.

ඈ දෙස ටික වෙලාවක් බලාසිටි අජන්ත ඇගේ උරහිසින් අල්ලා සෙලවීමට මෙන් දකුණත දිගුකලද නැවත මොහොතක් කල්පනාවේ නිමග්නව සිට ඇඳෙන් නැඟිට සිට ගත්තේය. මොහොතක් ඈ දෙස බලා සිට සෙමින් කාමරයෙන් පිටවිය.

අජන්ත පිටවී ගිය පසුවද සචිනි ඇඳේම වැතිරී සිටියේ ඇඳෙන් නැඟිටීමට පවා නොසිතෙන අන්දමේ කෙඩෙත්තු ගතියක් ගතටද වඩා සිතට දැනුනු බැවිනි.

මාස තුනක්......ඔව්, අදට මාස තුනක්.....එක්වරම තුන්මාසෙ දානෙ දෙන චාරිත්රාය ඇගේ සිහියට නැඟුනේ මන්දැයි ඇයටද සිතාගත නොහැකිය.

අද කියන්නෙ සචිනි විවාහ වෙලා තුන්මස් සංවත්සරය.....අජන්ත එක්ක අජන්තගෙ ගෙදරට ඇවිදින් අදට මාස තුනයි හරියටම,

මේ මාස තුනක කාල පරාසයෙ වෙච්චි දේවල්................ඒව එක දවසක් නෙවෙයි.........හැමදාම එකින් එක සිද්ද වෙච්ච එව්ව.

උදාහරණෙකින් කිව්වොත් සතුරු බලකොටුවක් එක ප්ර.හාරයකින් බිඳ වැටෙන්නෙ නෑ. නොකඩවා දිගටම ප්රනහාර එල්ල වෙන කොට තමයි අන්තිමට එක වෙලාවක ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්නෙ. ඒ උපමාව සැර වැඩියි කියල හිතේනම් මෙහෙම කියමු. උඩම අත්තේ අපූරුවට පිපිල තියෙන අරලිය මලක් ගන හිතමු. කවුරු හරි ඔය මල බිම දාගන්ට හිතල ගල් ගහනව. එකක් දෙකක් තුනක් හතරකින් බේරිල ඉන්ට මලට පුලුවන් වෙයි. ඒත් නොනවත්වා ගල් ගැහුවොත් අනිවාර්යයෙන්ම එක වෙලාවක ගල් පාර වැදිල මල් කැකුල බිමට වැටෙනව වැටෙනවමයි.ආයෙ ඒකෙ දෙකක් එහෙම නෑ.

අජන්තගෙ ගෙදරට ඇවිත් දෙවෙනි දවස: සචිනි හවස නාල ටී ෂර්ට් එකක් සමඟ සැහැල්ලු කලිසමක් ඇඳල කාමරෙන් එලියට ගියා. අජන්තගෙ අම්ම සාලෙ පත්තරේ බලමින් හිටියා.පත්තරේ පහත් කොට උකුල මත තබා ඇය සචිනි දෙස නොපහන් දෑසින් බලා සිටි අන්දම සචිනි දැක්කෙ නැත්තෙ ඈ එතකොටත් අම්මව පහුකරගෙන සාලෙ දොරටුව කිට්ටුවටම ගිහිල්ල හිටපු හින්දයි.

මිදුලෙ අරලිය ගහ යට බංකුවෙ වාඩි වෙලා සචිනි රත් පැහැගත් සැඳෑ අහසෙ පාවෙන වලාකුලු වලට පහතින් කපුටන් කැදලි වලට පියාඹනව බලාන හිටියා.

ටික වෙලාවකින් අජන්ත හෙමිහිට ඇවිල්ල සචිනි ඉඳගෙන හිටපු බංකුවෙම ඉඳගත්ත.

“ අන්න බලන්න අනේ අර රතු වලාකුලේ හැඩේ හරියටම මොකක් වගෙයිද කියල කියන්ට පුලුවන්නම්.. හා, “ සචිනි කිව්වෙ වමතින් ඒ වලාකුල අජන්තට පෙන්නන ගමන් දකුණත අජන්තගෙ උරහිසේ තබමින්.

ප්රිශ්නෙ ඇහුනෙ නැති ගානට අජන්ත හෙමිහිට අජන්ත සචිනිගෙ අත උරහිසින් අයින් කලා. තාම අජන්ත ගේට්ටුව ලඟ මල් වැරූ කණාටු පිච්ච පඳුර දිහා බලාගෙන.

" ඇයි අනේ? " බැරිම තැන සචිනි ඇහුවෙ බැගෑපත්ව,

අජන්ත කතා කලා. ඒත් තවම අර කොහෙදෝ දිහා බලාගෙන.

" පුතේ කවුරුහරි තමන්ගෙ හදවතට කිට්ටු කෙනෙක් මොනවහරි කියනකොට, ඇස් දිහා බලාගෙන එහෙම නොකරනව කියන්නෙ එක්කො ඒ කියන්නෙ බොරුවක්, එහෙමත් නැත්නම් ඒ කියන්නෙ අසාධාරණ කතාවක් කියල එයා දන්නව."

එහෙම දවසක් කිව්වෙ සචිනිගෙ අප්පච්චි. අප්පච්චි යමක් ආවට ගියාට කියන්නෙ නැහැ කියල සචිනි හොඳින්ම දැනගෙන හිටිය.හරි ඒක මොකක් හරි උනාවෙ. බලමු දැන් මොනවද මේ අජන්තට මගෙ ඇස් දිහා බලාගෙන කියන්ට බැරි කාරණාව? සචිනි එහෙම හිතුවා.

" සචිනි ඔය කලිසම් මීට පස්සෙ අඳින්න එපා........." හෙමිහිට කිව්වට ඒ හඬේ තිබුණු අණ කිරීම සචිනිට එක පාරට තේරුණා.ඒ එක්කම................සචිනි දිහාවට හැරුණු අජන්ත ......" හොඳේ ළමයො " කියල කිව්වෙ නම් යන්තම් හිනාවෙන ගමන්.සචිනිට නම් හිනා ගියේම නෑ. අජන්තගෙ මූණ දිහාම එක එල්ලේ බලාගෙන හිටියෙ හරියට හදිසියෙම අජන්තගෙ කන් දෙකෙන් දුම් පිටවෙන්ට පටන් ගත්ත වගේ.

“ මොකද ළමයො මගෙ මූණෙ පෙරහැරක් යනවද? “ වෙනදනම් සචිනි ඒ වගෙ කතාවකට කොක් හඬලා හිනා වෙල විතරක් ඉන්නෙ නෑ, මොනවහරි ආපහු කියනවත් එක්ක. ඒත් ඒ බඳින්ට ඉස්සර නෙව.

ඒත් අද මොනවත් කැපෙන පිළිතුරක් දෙන්ටවත් හිනහවෙන්ටවත් සචිනිට හිතුනෙ නෑ. ගෙදරදි අම්ම එහෙම ඔය වගෙ දෙයක් කිව්ව නම් බලාගන්ට තිබ්බ. ඒත් මේ වෙලාවෙ සචිනි කලේ මොකවත්ම නොකිය ඉර බැහැගෙන ගිහිල්ල හතර වටෙන් අඳුර ගලාගෙන ඇවිල්ල ලෝකෙම වැහිල යන හැටි ඔහේ බලාගෙන ඉන්න එක විතරයි.

එදා නිදාගන්න ඉස්සර සචිනි කලිසම්...... ඔක්කොම.... හයක්........ නවල අල්මාරියෙ යටම තට්ටුවෙ පතුලෙම තැන්පත් කලා.කමක් නෑ......කලිසම් නම් මොකක්ද?.......සචිනි හිත හදා ගත්තා.

ජීවිතේ තවදුරටත් ගලාගෙන ගියා.........එකම වෙනසක් උනේ කලිසම් ඇඳිල්ල නැවතුනා, ගෙදරට අඳින්ඩ හොඳ නැත්නම් ගෙදරින් එළියට බහිද්දි කොහෙත්ම හොඳ නෑනෙ.....ඒ නිසා අල්මාරිය මුල්ලෙ හැංගිලා හිටපු ස්කර්ට් හතර පහ එළියට වැඩම කළා.

ඔන්න සති දෙක තුනකින් සැප්තැම්බර් මාසය උදා උනා......අන්තර් ජාතික පොත් ප්රනදර්ශනය.......සචිනි සැප්තැම්බර් වෙනකල් ඇඟිලි ගැන ගැන උන්නෙ......පහුගිය හැම අවුරුද්දෙම යාලුවො...... අනෝජා........ප්රකභා......මිහිරි......චේතනා......එක්ක ගිහිල්ල දෑත පුරා පොත් බදාගෙන ආපු හැටි මතක් වෙනකොටත් කියන්ට බැරි තරම් සතුටක් හිත පුරහම පිරිලා ගියා.

පොත් ප්ර දර්ශනේ අන්තිම සති අන්තය හෙටයි කියල......රෑ නින්දට යන්ඩ කලින්......

“ අජන්ත “

“ ම්ම්....”

“ හෙට අපි යමුද International Book Fair එකට, “

“ අනේ .....ළමයො හෙට නම් බෑ. මට මේ සුමානෙම වැඩ ගොඩ ගැහිල තිබ්බ. හරිම අමාරුයි ඇඟට, අනික කොටින්ම හෙටත් මම වැඩ,.”

“ මම එහෙනම් අනෝජත් එක්ක යන්නද? “

“ හ්ම්ම්..........” අජන්ත නිදිමතේම කෙඳිරි ගෑවා.

මතු සම්බන්ධයි..........

Friday, June 24, 2011

25. Dancing with you....................the waltz of life,



Wind blowing in your silky hair,
Starlight shining in your blue eyes,

Dancing holding you in my arms,

Wh
atelse but the waltz of life,

Soaring away into the shimmering sky,

Stepping on wisps of clouds so gingerly,

Hopping from star to star on tip toes,

Dancing on to the full moon itself,

Looking at your liquid pools of eyes,

Drowning in them to the deeps at will,

I don't ever want to be do anything else,

But only dancing with you all my life,

Dance, dance & dance away to your heart,

What a life
to lead away to eternity,
When sun comes out tomorrow morning,

I only want to hold you
tight in my arms,



Wednesday, June 22, 2011

77. අහෝ නාසා.............!!!! නුඹ අපේ ජොලිය කෑවා...........කියා හිතෙනා....... අයත් ඉඳියිද මන්දා...!!!

මේ දිනවල ලොව වටා ඉමහත් ආන්දෝලනයක් දෙන ප්‍රවෘත්තිය දැනටමත් ඔබ සැම දන්නා බව සිතමි. ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 21 වෙනිදාට මෙය කියවන ඔබටත්, සියලු වැඩ පසෙක තබා මෙය ඔබ වෙනුවෙන් සකස් කරපු මටත් තව තව අයටත් වැඩේ දෙල් වෙන බව තමයි ඔය ප්‍රවෘත්තිය. ඇත්තටම දැන් දැන් සමහර අය කියන පරිද්දෙන් පිංවන්තයෝ විතරක් ඉතිරි වෙන එකේ අපි ගැන කුමන කථාද නේද? මේ ගැන අද උදෑසනම කියවන්නට ලැබුනු ලිපියක් හා ඒ හරහා එළඹෙන්නට යෙදුනු තවත් ලිපි හරහා බඩ පපුව හෝස් ගා දැවී යන අයුරේ කතන්දර තමයි කියවාගන්නට ලැබුනේ. අහෝ ඔය කියන ආකාරයට පුපුරලා ගියොත් මයේ දරුවා! මයේ මහත්තයා! අපේ අම්මලා, තාත්තලා, නංගිලා, මල්ලිලා! කියලා නොහිතුනාමත් නොවෙයි.

(හරි හරි පස්සෙන් පහු ඔයාලාවත් සිහි වුනා) ඒත් ඒ එක්කම මං කලින් ඉඳන් හිතාගෙන හිටපු තර්ක ටිකට පිං සිද්ධ වෙන්න, හෘදය ආබාධයක් හැදෙන්නේ නැතුව බේරුනු නිසා මේ ලිපිය ලියන්නට කරුණු ගලපාගන්නට හැකි වුනා.

මේ ලෝක විනාශ කතන්දරේ අහන්න ලැබුනු දවසේ ඉඳන් මට හිතුනු දේවල් තිබුනා. මගේ මහත්තයා නං කියන්නේ හෙට මැරෙනවා කියලා ටක්කෙටම දැනගත්තත් කරන්න දෙයක් නැහැ, අද ගේ හදනවා නං හදන්න ඕනේ කියලා, මොකද හෙට වෙනකම් සැනසිල්ලෙන් ජීවත් වෙන්න එපැයි. ඉතිං මේ කථා සියල්ල මැද මට මේ ලෝක විනාශ කතන්දරේ විශ්වාස කරන්න බැරි කාරණා දෙක තුනක් හිතේ තියෙනවා. මං ඒවා කරුණු වශයෙන් කියන්නම්.



1. මං දන්න, අපේ රටට සිද්ධ වෙච්චි මුල්ම ස්වාභාවික විනාශය වෙච්චි, කැළණි තිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලීමේ පටන් 2004 වසරේ සිදුවුනු සුනාමිය හා මේ පහුගිය දාක ජපානෙට සිද්ධ වෙච්චි අහස පොළොව නුහුලන විනාශේ දක්වා කිසිම විනාශයක් කලින් කිය කියා නොපැමිණීම. - අපි සුනාමි දැනගත්තේ 2004 වුනාට ලොව බොහොම රටවල් ඒ ගැන දැනන් හිටියා. විශේෂයෙන් ජපානය. ජපානේ පාරට ගියහම බස් වගේ තමයි ලු එහෙට සුනාමිත්. එහෙව් රටේ මේ ඊයේ පෙරේදා වෙච්චි සිද්ධිය දැන ගන්න ක්‍රම නොතිබුනු එක නං සැබෑම අවාසනාවක්.

2. මෙහෙම දෙයක් වෙනවා නං මේ වෙනකොට අපේ රටේ අවම වශයෙන් 225ක්වත් මනා සවි සක්තියෙන් යුතු බිං මාලිගා හැදිලා තියෙන්න ඕනේ, එහෙමත් නැත්තං ලොව පුරා සියලුම ප්‍රධාන පෙලේ ධනවතුන් හඳේ ඉඩම් ගන්න විදිහක් සොයා බලමින් ඉන්න ඕනේ. ඒ කිසි දෙයක් නැහැ. පහළම පැලැන්තියේ අපි විතරක් අපොයි ලෝකේ ඉවරයි කිය කියා විස්සෝප වුනාට, බිල් ගේට්ස්ට වගේ වගක් නැහැ, වොරන් බෆට් තවත් කොටස් මිලදී ගන්නවා, මාර්ක් සකර්බර්ග් මල්ලී ලොව විශාලම ධනවතෙක් වෙලා, විලියම් කුමාරයා හත් දා මගුලක් කෑවා........... ඒ විතරක්ද, අලි නාවන වලවල් වල බැහැගෙන අපි පාරේ යන අතරේ අපට උඩින් ගුවන් පාලම් හැදෙනවා...............

4. කාලෙන් කාලෙට රටේ ලෝකේ තියෙන, මේ මොහොතේ, අද දවසේ, ජීවත් වෙන්න බලපාන ප්‍රශ්න අමතක කරලා, අහෝ මෙහෙම වෙයිද? මෙහෙම වුනොත් කොහොම වෙයිද? එහෙම වුනොත් අරහෙම වෙයිද? කියලා හිත හිතා ඉන්න කාරණා අපට අදිසි ලෙස සැපයෙනවා. ඉතිං මට හිතෙන්නෙම කිසිම රටක ජනාධිපති තුමෙක් නිකමටවත් කථා නොකරන මේ මාත්තුකාවත් අපිට සකච්ඡා කර කරා ඉන්න අර විදිහට අදිසි විදිහට ලැබුනු එකක් කියලාමයි.

3. අනිත් කාරණය මේ වනතුරු අපේ රටේ කිසිම මාධ්‍යයක, ප්‍රවෘත්ති විකාශයක මේ පිළිබඳව වදනක් හෝ පැවසූ බවක් දැනගන්නට නැහැ. ඇයි ඒ? පාර අයිනේ මීයෝ රැලක්, කූඹි රැලක් පාගාගෙන ගියත් රෑ අටට කියන අය, ඇයි මේ වගේ, ලොව සත්ත්වයින්ගෙන් 1/3 හෝ 2/3 ක් විනාශ කර දමන, පිංවතුන් විතරක් ඉතිරි කරන විනාශය ගැන එක වදනක් හෝ නොදොඩන්නේ?

4. මේ කියන ආකාරයේ දෙයක් වෙනවා නම්, එය සිදුවන ආකාරය ගැන අද උදේ කියැවූ ලිපියේ ඇති පරිදි කිසිවකුට නිශ්චිතව කාරණා පවසන්නට පහසු වෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන ආකාරයට යමක් ඇවිත් පොළොවේ වැදුනොත් පොළොව ඇහිඳින්න වෙන්නේ ඇල්ෆා සෙන්චුවරි ෆොක්සිමා සෙන්චුවරි වලටත් ටිකක් එහායින්ද, නැත්තං අඟහරු ගාවින්ද කියන එක ටක්කෙටම කියන්න පුළුවන් වේවිද?

තව කාරණා විටින් විට හිතුනත් දැන් ඒවා සිහි වෙන්නෙත් නැහැ. කොහොම හරි මේ ලිපි කියැව්වට පස්සේ, දැන් කාලෙක ඉඳන් කරන්න හිටපු දෙයක් සිහි වුනා. ඒ තමයි මේ ගැන නාසා ආයතනය මොකද්ද කියන්නේ කියලා බලන්න.

ඉක්මනින් ම නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය පැත්තේ ගියේ ඒ අනුවයි.
එහි දී හමුවුනු, 2012: Beginning of the End or Why the World Won't End? නම් ලිපියේ පරිවර්තනය ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.


2012: අවසානයේ ආරම්භය හෝ ඇයි ලෝකාවසාන නොවන්නේ?


ඔබට මතකද Y2K භීතිකාව? මහත්ම ආන්දෝලනයක් සමග ආ එය කිසිම හා හූවක් නැතුවම මැකී ගිය අයුරු මතකද? එයට හේතු වුනේ එහි ඇති බලපෑම හොඳින් අධ්‍යයනය කර, ප්‍රමාණත්මක හා සුදුසු සැලසුම් සකස් කර කටයුතු කළ නිසා බිය වීමට කාරණයක් ශේෂ නොවීමයි. එම සිද්ධිය සේම ආන්දෝලානාත්මකව කථා බහ කෙරෙන සිද්ධියක් මේ දින වල ඇති බව අපි කවුරුත් දන්නවා. 2012 දෙසැම්බර් 21 වෙනිදා පිළිබඳව මිනිසුන් විවිධ මත පළ කරනවා. ඇත්තටම අපි දන්නා පරිද්දෙන් එදිනට ලෝක විනාශයක් සිදුවිය නොහැකියි. එය තවත් එක් සිසිර සූර්ය නිවෘත්තියක් පමණයි. winter solstice.

Y2K
සංසිද්ධියේදී සේම මෙහිදීද මෙම සිදුවීමේ විද්‍යාත්මක පාර්ශ්වය හොඳින් ම අධ්‍යයනය කරන ලදී. මෙම අධ්‍යයනයේදී තහවුරු වුයේ ‍දැනට මිනිසුන් අතර පැතිර පවතින තොරතුරු සාවද්‍ය බවයි. පහත දැක්වෙනුයේ, අප විසින් නගන ලද ප්‍රශ්න කිහිපයක් හා NASA ආයතනයේ විද්‍යාඥ වරුන් විසින් ඒ සඳහා සපයන්නට යෙදුනු පිළිතුරුයි.

ප්‍රශ්නය : 2012 වර්ෂය සැලකීමේදී, කිසියම් අසාමාන්‍ය තර්ජනයක් අප පෘථිවිය වෙත තිබේද? අන්තර්ජාලය තුලදී බොහෝ වෙබ් අඩෙවි මගින් ප්‍රකාශ කර ඇත්තේ 2012 වර්ෂයේදී ලොව විනාශය සිද්ධ වන බවයි.

පිළිතුර: 2012 වසරේදී ලොවට කිසිම විශේෂ නපුරක් සිදු වන්නේ නැහැ. අවුරුදු බිලියන 4ක් තිස්සේ අපේ පාථිවිය සාමන්‍ය පරිදි පැවතුනා. ලොව පුරා සිටින පිළිගත් විද්‍යාඥවරු සියලුම දෙනා පාහේ, 2012 වසරේදී පෘථිවියට අසාමාන්‍ය අනතුරක් නැති බව හොඳාකාරවම දන්නවා.


ප්‍රශ්නය: වසර 2012 දී ලෝක අවසානය සිදුවන බවට අනාවැකි පළවන්නට හේතු වුනේ කුමක්ද?


පිළිතුර: මෙම කථාව මූලිකවම පැන නැගුනේ සුමේරියන් වරුන් විසින් සොයා ගන්නට යෙදුනු නිබිරු - Nibiru නම් ආකාශ වස්තුව - මෙය බොහෝ දුරට ග්‍රහ ලෝකයක් ලෙස සැලකෙනවා - පෘථිවිය දෙසට ගමන් කරන බව ප්‍රකාශ වීමෙන් පසුවයි. ඇත්තටම මුලින්ම මෙම විනාශය සිදුවෙනවා යැයි පැවසුනේ 2003 මැයි මාසයේදී. නමුත් අසාමාන්‍ය, සැළකිය යුතු කිසිවක් සිදු නොවූ බැවින් එම දිනය 2012 දෙසැම්බර් මාසය දක්වා ගමන් කලා.මෙහිදී තවත් සිත් ඇද ගන්නා සුළුවන සිදුවීමක් මෙයට ම ඈඳුනේ එයින් අනතුරුවයි. එනම් පුරාණ මායා දින දර්ශනයේ එක් කාල චක්‍රයක අවසාන දිනය ‍වන 2012 දෙසැම්බර් 21 වන දින මෙම කථාවට ඈඳීමයි. කෙසේ හෝ අවසාන ප්‍රථිපලය ලෙස ලෝක විනාශය සිදුවන දිනය වශයෙන් 2012 දෙසැම්බර් මස 21 වන නම් වී තිබෙනවා.

ප්‍රශ්නය: ඇත්තටම
මායා දින දර්ශනය 2012 දෙසැම්බර් මස 21 වන දින අවසාන වේද?

පිළිතුර: ඔබේ ගෙදර කුස්සියේ එල්ලා තිබෙන දින දර්ශනය, අදාළ වර්ශයේ දෙසැම්බර් 31න් පසු තව දුරටත් තබා ගන්නේ නැහැ නේද? මායා වරුන්ගේ දින දර්ශන ක්‍රමයට අනුව, ඔවුන් භාවිතා කල කාල චක්‍රයට අනුව, 2012 දෙසැම්බර් 21 වන දිනින් පසු එම දින දර්ශනයේ කාල සීමාව අවසන්වෙනවා. ඔවුන් භාවිතා කලේ දීර්ඝ කාලීන දින දර්ශන ක්‍රමයක්. ඉතිං මෙම කියන දිනෙන් පසු, එනම් අපි නැවත ජනවාරි 01 වැනි දින සිට අළුත් දින දර්ශනයක් භාවිතා කරන්නා සේ, ඔවුන්ගේ ක්‍රමයට නව, දීර්ඝ කාලීන දින දර්ශනයක් ඇරඹෙනවා.


ප්‍රශ්නය: ග්‍රහ ලෝක එකිනෙක එකම අක්ෂයක් මත පිහිටී‍ම පෘථිවියට යම් අයහපත් බලපෑමක් ඇති කරන්නට හේතු වේද?


පිළිතුර: ඉදිරි දශක කිහිපය තුලදීවත් ග්‍රහලෝක එකිනෙක එක එල්ලේ පිහිටීමක් සිදුවන්නේ නැහැ. 2012 වර්ෂයේදී පෘථිවිය තාරකා මණ්ඩලය හරහා ගමන් කරන්නේ නැහැ. යම් හෙයකින් යම් පිහිටීමක් පෘථිවියට බලපාන්නේ නම් එය නිත්‍ය වශයෙන්ම නොසැලකිය යුතු මට්ටමේ එකක් වෙනවා. අනෙක් අතට හැම දෙසැම්බර් මාසයේදීම පෘථිවියත් සූර්යයාත් ක්ෂීර පථය නමින් හඳුන්වන, අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අයත් වූ, මන්දාකිණියේ මධ්‍යස්ථය හා ආසන්න වශයෙන් එක එල්ලේ පිහිටන අතර එය වාර්ෂිකව සිදුවන සාමාන්‍ය සිද්ධියක් පමණයි.

“මෙය ඇත්ත වශයෙන්ම අපට ඉහළින් ඇති ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සහ 2012 වසරේදී ඒවායේ ගමන් පථය පිළිබඳව ඉතාමත් සිත් ඇදගන්නා සුළු වෘත්තාන්තයක් වනවා නොඅනුමානයි. මමත් ‍හොඳ පොතක් හෝ හොඳ චිත්‍රපටයක් දකින්න කැමති කෙනෙක්. නමුත් දැන් සයිබර් අවකාශය පුරා පැතිරෙන කරුණු හා රූපවාහිනිය මගින් හා චිත්‍රපට මගින් පෙන්වන දේවල් විද්‍යාත්මක පසුබිමක් රහිත දේවල් බව කිවයුතුයි. කෙටියෙන් පවසනවා නම් , NASA ආයතනය මගින් නිකුත් කරන ලදැයි පැවසෙන සාවද්‍ය ප්‍රවෘත්තිද මේ අතර වෙනවා...” -ඩොන් යෝමන්ස්, ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ, නාසා ආයතනය - Don Yeomans, NASA senior research scientist

ප්‍රශ්නය: යම් කිසි ග්‍රහ ලෝකයක් හෝ නිබිරු - Nibiru, ප්ලැනට් එක්ස් - Planet X හෝ ඒරීස්- Eris නමින් හඳුන්වන, ආකාශ වස්තුවක් පෘථිවිය වෙත ගමන් කිරීමෙන් මේ කියැවෙන ආකාරයේ විනාශයක් සිදුවිය හැකිද?

පිළිතුර: නිබිරු සහ අනෙකුත් කථා ගැන කියනවා නම් කීමට ඇත්තේ මේ සියල්ල අන්තර්ජාලය තුල පැතිරෙන සාවද්‍ය කථාන්දර බවයි. මෙම තොරතුරු වෙත කිසියම් හෝ විද්‍යාත්මක පදනමක් නැහැ. නිබිරු හෝ ප්ලැනට් එක්ස් යන ග්‍රහ වස්තු සැබෑ ලෙසම 2012 වර්ෂයේදී පෘථිවිය වෙත ලඟා වේ නම්, ලොව පුරා සිටින තාරකාවිද්‍යාඥයින් හට මේ පිළිබඳව පසුගිය දශකයේදී සොයා ගැනීමට හැකි වෙනවා. අනෙක් අතට මෙම අමුත්තා අප හමුවට ලබන වසරේ එනවා නම්, මේ වන විට පියෙවි ඇසට ඔහු දර්ශනය විය යුතුමයි. නිසැකවම එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒරීස් යනු සැබෑවටම පවතින ග්‍රහ වස්තුවක්. නමුත් එය අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත සිටන ප්ලූටෝ වැනි ආකාශ වස්තුවක් පමණයි. අප පෘථිවිය වෙත ලඟා වීමට එයට අවම වශයෙන් මයිල බිලියන හතරක්වත් පසුකල යුතු වෙනවා.

ප්‍රශ්නය: ධ්‍රැව පිහිටීම වෙනස්වීමේ න්‍යාය (The Polar Shift Theory) යනු කුමක්ද? පෘථිවි කබොල එහි මධ්‍යය වටා අංශක 180ක් භ්‍රමණය වී යම්කිසි සිද්ධියක් සිදුවන්නේද?

පිළිතුර: පෘථිවිය ප්‍රති විරුද්ධ අතට භ්‍රමණය වනවා යනු කිසි සේත්ම සිදු විය නොහැක්කක්. මහද්වීප තැටි ඉතාමත් සුළුවශයෙන් සෙලවුනත්, (උදාහරණයක් හැටියට ඇන්ටාර්ටිකාව මීට වසර මිලියන සිය ගණනකට පෙර සමකාසන්නව පැවතුනු බව පැවසේ), එය කිසිසේත්ම ධ්‍රැව පිහිටි ස්ථාන සැනින් වෙනස් කිරීමට හේතුවන්නේ නැහැ. කොහොම වුනත් ‍පෘථිවියේ භ්‍රමණයත්, සමස්තයක් වශයෙන් ගත් කල වසර ලක්ෂ 4කට පමණ වරක් සිදුවන පෘථිවි චුම්බක බල ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීමත් අතර සම්බන්ධතාවක් ගොඩනගන්න උත්සහ දරණ පිරිස, මේ කාරණා සිය වෙබ් අඩෙවි වෙත මිනිසුන් ඇද ගැනීමට ඇමක් වශයෙන් යොදා ගන්න බව දිස්වන කාරණයක්. අපි හොඳින්ම දන්නා පරිදි, චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන එවන් සිදුවීමක් කිසිසේත්ම පෘථිවිය මත ජීවයට හානියක් සිදු කරන්න තරම් බලවත් නොවන බව පැවසිය යුතුයි. කෙසේ වෙතත් ඉදිරි ශතවර්ෂය තුලදී මෙවැනි සිදුවීමක් සිදුවන්නට නැහැ.


ප්‍රශ්නය:
උල්කාපතයක ඝට්ටනය නිසා වසර 2012 දී පෘථිවියට හානීයක් සිදු වීමට ඉඩ තිබේද?

පිළිතුර: පෘථිවිය හැම විටම උල්කාපාත හෝ ධූම කේතු හා ගැටීමේ සම්භාවිතාවක් සහිතව පවතින්නක්. ඒ අතරින් විශාල ගණයේ ඝට්ටන ඉතාමත් විරලයි. අවසාන වශයෙන් සිදුවුනු විශාල ගණයේ ඝට්ටනය සිදු වී තිබෙන්නේ මීට වසර මිලියන 65කට පමණ පෙර වන අතර එම සිදුවීමෙන් ඩයනසෝරයන් මිහිමතින් සදහටම සමු ගත්ත බව අප හැම දන්න කරුණක්. අද දින නාසා ආයතනයේ තාරකා විද්‍යඥයින් විසින් ‘අභ්‍යවකාශ ආරක්ෂණ සමීක්ෂනය’ (The Spaceguard Survey) නමින් හඳුන්වන සමීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙයින් කෙරෙන්නේ පෘථිවිය ආසන්නයේ පවතින, පෘථිවියට තර්ජනයක් විය හැකි ආකාරයේ ආකාශ වස්තු, ඒවා පෘථිවිය කරා ලඟා වීමට බොහොම කලකට පෙර හඳුනා ගැනීමයි. දැනට සොයා ගෙන ඇති කරුණු වලට අනුව, මීට වසර මිලියන 65කට පෙර ඩයනසෝරයන් මිහිමතින් තුරන් කරන්නට යෙදුනු ප්‍රමාණයේ ආකාශ වස්තුවක්, පෘථිවිය ආසන්නයේ නොමැති බව කිව හැකියි. මෙම සියලුම සමීක්ෂන සිදු කරන ලද්දේ නාසා ආයතනයේ, නව සොයා ගැනීම් දිනපතා යාවත් කාලීන කෙරෙන NEO Program Office website, වෙබ් අඩෙවිය හා සම්බන්ධව වන අතර ඔබටම එම අඩෙවියට පිවිස, අනාවැකි මගින් කියැවෙන ආකාරයේ අනතුරක් වසර 2012 දී සිදු නොවන බව තහවුරු කෙරෙන කරුණු සොයා ගත හැකි වනු ඇත.

ප්‍රශ්නය: නාසා ආයතනයේ විද්‍යාඥයින් හට මෙම ලෝක විනාශ දිනය පිළිබඳව ඇත්තේ කවරාකාර හැඟිමක්ද?

පිළිතුර: වසර 2012 දී සිදු වේයැයි පැවසෙන මෙම විනාශය පිළිබඳව තිබෙන විද්‍යාත්මක පදනම කුමක්ද? ඒ සඳහා තිබෙන සාක්ෂිය කුමක්ද? කිසිවක් නැහැ. මෙම ලෝක විනාශය පිළිබඳව කියැවෙන ප්‍රවෘත්ති ගොඩ නැගුනේ, පොත් මතින්ද, චිත්‍රපට මගින්ද, යම්කිසි ලියැවිල්ලක් මතින්ද, අන්තර් ජාලය තුලින්ද, යන්න වැදගත් වන්නේ නැහැ. මේ සඳහා කිසිම පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව නිසා මෙය හුදෙක් එක්තරා කථාන්දරයක් පමණක් වෙනවා.

ප්‍රශ්නය: විශාල ගණයේ සූර්යය කුණාටු මගින් වසර 2012 දී පෘථිවියට අනතුරක් සිදුවිය හැකිද?

පිළිතුර: සුර්යයාගේ ක්‍රියාකාරකම් යනු නිරතුරු සිදුවන දෙයක්. බොහොම විට සාමාන්‍යයෙන් වසර 11කට පමණ වරක් ඒවා සිය උච්චතම අවස්ථාවන් දක්වනවා. එම කාලයේදී සූර්යයා මත ඇතිවන ගිණි දළු නිසා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු තාක්ෂණයට බාධා ඇති වුවත් වර්තමාන ඉංජිනේරුවරුන්ට බොහොමයක් සූර්යය ගිණි දළු වලින්, මෙම කටයුතු වලට වන හානිය වලක්වා ගැනීමට කටයුතු සකසා ගැනීමේ හැකියාව තිබෙන බව කිව යුතුයි. කොහොම වුවත් වසර 2012 දී සිදුවන විශේෂයෙන් සැළකිලිමත්විය යුතු යමක් නැහැ. මීලඟ සූර්යය ක්‍රියාකාරීත්වය උච්චතම අවස්ථාව ඇතිවන්නේ වසර 2012-2014 කාලය තුලයි. එනමුදු ඉතිහාසයේ සිදුවූ මෙවන් ආකාරයේ සංසිද්ධි වලට වඩා මෙම සිද්ධියේ විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ.


වැඩිදුර තොරතුරු සඳහා පහත අඩෙවි වෙත පිවිසෙන්න.


NASA Astrobiology Institute:
"Nibiru and Doomsday 2012"
Bad Astronomy: "The Planet X Saga: The Scientific Arguments in a Nutshell"
Sky and Telescope Magazine: "2012: The Great Scare"


********************************************************

ඉතිං ඔහොමයි නාසා ආයතනය කියන්නේ. මේ දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්. කාරණා වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් වැඩේ ඔය කියන විදිහට ම වුනොත් මට බනින්න ඔයාලාවත්, ඔයාලාගෙන් බැණුම් අහන්න මං වත් ඉතිරි වෙන්නේ නැති වෙයි. හැබැයි ඔන්න වැඩේ නොවුනොත්, පහුවදාට ඉතිං මට දැනෙයි මං රජ වුනා වගේ නේද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...