Wednesday, November 30, 2011

70. නොහැඟවූ ආදරය......The Unexpressed Love......12

'' ගුණේ, අපෙ දරුවො දෙන්න.... ඒ දරුවො මගෙ වගෙම ඔයාගෙත් දරුවො...එයාලට අම්ම විතරක් මදි....තාත්තෙකුත් ඕනමයි..ඒ නිසා අපි පරණ විදිහටම නොවුනත් ජීවිතේ ගෙනියමු.අලුත් තත්වයට හැඩගැහෙමු. මෙහෙම හිතන්න..... කෙනෙකුගෙ කකුලක් කැඩුන කියල හිතන්න.කකුල කැඩුනෙ නෑ කියල හිත රවට්ටගෙන වැඩක් නෑනෙ. කකුල කැඩිල ඉවරයි. හොඳම වැඩේ තමයි කැඩිච්ච කකුල එක්ක ආයෙම ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතල බලල එහෙම කරන එක.''

මනිපිට්ටු මස් සහ කිරිහොදි සහිත ලන්ච් ෂීට් ඇතුරූ ප්ලාස්ටික් පිඟන් දෙකක් අප අතට ලැබිණ.අසලවූ බේසමෙන් අත සෝදා ගත් අපි ආහාර ගැනීම පටන් ගතිමු.

'' ඉතිං මල්ලි ඔන්න ඔහොමයි තත්වය.....මගේ ජීවිතේ පරණ පුරුදු විදිහටම නම් නෙවෙයි, ඒත් ඔය විදිහට ගෙවිල යනව.වෙනද වගේම මාසෙකට සැරයක් මම ගෙදර එනව. ලක්ෂ්මී මට කිසිම වෙනසක් කරන්නෙ නෑ, ඒත් එයා මට සමාව නම් තාම දීල නෑ. කිසිම දවසක සමාවක් දෙයි කියල මම හිතන්නෙත් නෑ. එයාගෙ පැත්තෙන් බැළුවම සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි මම කරල තියෙන්නෙ. ඒකෙ මට කිසිම ප්රශ්නයක් නෑ. ලක්ෂ්මීව මට තේරුම් ගන්න පුළුවන් හොඳටම.''

'' ජීවිතේ කියන එක මහ පුදුමයි මල්ලි....අපිට සමහර වෙලාවට ගන්න වෙන තීරණ නිසා මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ බව දැන දැනත් අපිට ඒ තීරණ ගන්න වෙනව. ඒ තමයි අපේ දෛවය නැත්නම් අපේ ඉරණම. ''

'' රමණි අක්ක ගැන ඊට පස්සෙ ආරංචියක් නැද්ද අයියෙ?....''

'' රමණි හස්බන්ඩ් ගෙන් ඩිවෝස් වෙන්න යනවයි කියල මට ආරංචි උනා...එච්චරයි ''

ඉන්පසු නිහඬතාවය මධ්යයේ අප ආහාර ගතිමු.

'' මම නම් ඉවරයි '' ගුණේ අයියා නැඟී සිටියේය.

'' අයියෙ තව පිට්ටු කෑල්ලක් කන්න....''

'' ම්ම්ම්...කමුකො එහෙනම්..මල්ලිට?.....''

'' අපොයි මට ඇති අයිය කන්න....''

ගුණේ අයියා නැවත මා අසල හිඳගත්තේය.

'' අයියගෙන් මම එක කාරණයක් අහන්නද?....''

'' අහන්න මල්ලි...''

'' දැන් එදා රමණි අක්ක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි හම්බ වෙලා ඇතිවෙච්ච තත්වය වගෙ තත්වයකට අයිය හෙට මූණ දුන්නයි කියමු.මොකක්ද අයිය ගන්න තීරණය?...''

'' ඔය ප්රශ්නෙ ගැන ඇත්තම කිව්වොත් මල්ලි මමත් සෑහෙන වෙලාවක් හිතල තියෙනව.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අද මේ තියන තත්වය අනුව නම් මම ගන්න තීරණය මට හරියටම කියන්න බෑ. හැබැයි එදා තිබ්බ තත්වය යටතෙ නම් අනිවාර්යයෙන් මම ආයෙත් ගන්නෙ එදා ගත්තු තීරණයමයි,මතකනෙ ගාන්ධිගෙ කියමන....ගුණේ අයියගෙ ජීවිතේ වෙනස් උනාය කියල ගාන්ධිගෙ කියමන වෙනස් උනේ නෑනෙ මල්ලි... ඒක සර්වකාලීනයි.....හෙහ්, හෙහ්, '' ගුණේ අයියා හඬනගා සිනාසුණේය.

පදික වේදිකාව දිගට වාඩිවී ආහාර ගනිමින් සිටියෝ මොහොතකට හිස ඔසවා අප දෙස බලා නැවත සිය පිඟන් වලටම හිස නවාගත්හ.

දළඳා වීදියේ පදික වේදිකාව දිගේ අපි පහළට එමින් සිටියෙමු. පදික වේදිකාවේ ඇතුරූ ගඩොළු මත අපගේ පාගැටෙන හඬින් පමණක් නිශ්ශබ්දතාවය බිඳී ගිය ඒ නිසල රාත්රිදයෙහි ගුණේ අයියා සහ මම එකිනෙකාගේ කර වටා යැවූ අත් සහිතව නිහඬවම ගමන් කලේ තවත් කතාකලයුතු කිසිවක් ඉතිරි නොවූවාක් සේය.ගුණේ අයියා, රමණි අක්ක සහ ලක්ෂ්මී අක්කා නම් වූ මේ අපූර්ව මිනිසුන් තිදෙන පිළිබඳව කල්පනා කරමින් පැමිණි මම එකවරම ගුණේ අයියා මගේ කර වටා යැවූ අත තද කොට එක එල්ලේ මගේ මුහුණ බලමින් ගමන නතර කල හෙයින් විශ්මයට පත් වීමි.

ඒ චම්පා ස්ටෝර්ස් ඉදිරිපිට බව මට හොඳහැටි මතකය.

'' ඇයි අයියෙ?......''

'' තව පොඩ්ඩෙන් අමතක වෙනව...මම මේක අහන්ඩමයි හිටියෙ හෙහ්, හෙහ්, මල්ලි මට ඇත්තම කියාපං හොඳේ?....උඹ රමණිට ආදරේ කලා නේද?...''

විශ්වාස කරන්න මා සහෘදය...චම්පා ස්ටෝර්ස් ඉදිරිපිට පදික වේදිකාව දැදුරු වී මා පොළව තුලට ගිලී යනවා නම් කොපමණ අගේදැයි මට එකෙනෙහිම සිතිණි.මහේ මුහුණ පමණක් නොව සර්වාංගයම විලියෙන් රත්පැහැ ගැනෙන්නට ඇතුවාට සැක නැත.ගුණේ අයියා මා අත හැර කොක් හඬලා සිනාසුනේය,

'' දෙයියෝ සාක්කි මල්ලි.... උඹ කෙල්ලෙක් වගේනෙ බං රතුවෙලා ගියේ.හරි හරි උත්තර ඕන නෑ. උඹේ රතු විල්ලෙන්ම මට හිතාගත්තෑකි උත්තරේ...මම මෙහෙම ඇහුවෙ මල්ලි උඹ ලැජ්ජා කරන්න නෙවෙයි. ඇත්තටම නම් ඒකෙ සම්පූර්ණ විරුද්ධ පැත්ත.''

'' මට ඕන උනේ එහෙම රමණිට ආදරේ කරපු එක වැරැද්දක්ය කියල උඹ හිතාගෙන ඉන්නවනම් අන්න ඒ අදහස නැතිකරන්න...ඒකෙ කිසිම වැරැද්දක් නෑ....හිත කියන එක පාලනය කරන්න පුළුවන් කාටද බං?.....අනික ආදරේට කොහෙද මල්ලි සීමාවල්....වයස, උගත් කම, සල්ලි, කුලය, ආගම, ජාතිය වෙන එකක් තියා ලිංග භේදය කියන එකවත් ආදරේට බලපාන්නෙ නෑ මල්ලි, ''

'' අයිය අපි කෑම්ප් එකේ ඉන්න දවස් වලත් මේ ගැන දැන ගෙන හිටියද?.....'' මම බොහෝ අසීරුවෙන් වදන් පෙලගැසීමි.

'' ඔව්,..... මට නම් එහෙම එකක් තේරුණෙ නෑ ඇත්තටම. පිරිමි අපිට ඕව තේරෙනව අඩුයි. රමණිමයි මා එක්ක කීවෙ.අර ලස්සනට සිංදු කියන මල්ලි මම හිතන්නෙ මට ආදරේ කරනව කියල.හරි මල්ලි මම මේ ටික කිව්වෙ ඔයා හිතාගෙන ඉන්නව නම් තවම ඔයා කලේ ලොකු වැරැද්දක් කියල ඒ කල්පනාව හිතින් අයින් කරල දාන්ඩ කියල කියන්ඩ විතරයි. ...''

නගර මධ්යයේ වූ ඔර්ලෝසු කණුව අසල කටුගස්තොට නාම පුවරුව වීදුරුව පසුපස රැඳවූ කුඩා පෞද්ගලික බස් රියක් පණ ගැන්වූ ගමන් විය.

ඒ අසලදී ගුණේ අයියා මා වැළඳ ගෙන මගෙන් සමුගත්තේය. '' මල්ලි මට හරිම සතුටක් මල්ලි හම්බ වෙලා කතාකරන්න ලැබිච්ච එක. මගෙ හිතට ලොකුම සැහැල්ලුවක් දැනෙනව අද. අපි ආයෙම හම්බ වෙන්නත් පුළුවනි නොවෙන්නත් පුළුවනි.ඒත් මල්ලිව මට හැමදාම මතක තියේවි. ''

සෙමින් ඉදිරියට ඇදෙන බස් රියට ගොඩවූ ගුණේ අයියා වරක් අත වනා මගෙන් සමුගත්තේය.

බස් රිය ඉදිරියට ඇදීගොස් යටිනුවර වීදියට හරවා නොපෙනී ගිය පසු පපුව මුළුමනින්ම හිස් වී යන පරිදි දිගු සුසුමක් හෙලූ මම නිවෙස බලා යනු පිණිස බසයකට නැඟීමේ බලාපොරොත්තුවෙන් ගුඩ්ස්ෂෙඩ් බස්නැවතුම්පොළ දෙසට කළුවරේම පියනඟන්නට වීමි.

මගේ ජීවිතයේ මට හමුවූ අපූර්වතම මිනිසුන් තිදෙනෙකි ගුණේ අයියා, රමණි අක්කා සහ ලක්ෂ්මී අක්කා.රමණි අක්කාට මා එක් වරක් ආදරය කල බව නොසලකා හැරියද ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ජීවන වපසරිය තුල අසාමාන්ය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අසමසම මිනිසුන් බව මම අද ද තරයේ විශ්වාස කරමි මෙහිදී මවිසින් මිනිසුන් යන පදය යෙදෙනුයේ Humans යන්නට පර්යාය ලෙස බව සැලකුව මනාය.

ජීවිතයේ ලාබාල අවදියේ අහඹු ලෙස මගේ ජීවිතයට ඇතුළුව ඉතාම කෙටි කලක් ඇවෑමෙන් මගේ ජීවිතයෙන් සමුගත් ඔවුන්ගෙන් විශේෂයෙන් ගුණේ අයියාගෙන් මා උගත් පාඩම් මගේ පසුකාලීන ජීවිතයට බෙහෙවින් ප්රයෝජනවත් වූ බව මම පවසන්නේ ගුණේ අයියාට කෘතඥතාපූර්වකවය.ගුණේ අයියා මුහුණ දුන් ප්රශ්නය තරම් කිසිසේත් බැරෑරුම් නොවුනද මට මුහුණ දීමට සිදුවූ ප්රශ්න වලදී මම හැකි සෑමවිටෙකම ඔහු නිතර පැවසූ ගාන්ධිගේ කියමන මට හැකි අයුරින් පිළිපැද්දෙමි.ඒ සමඟම ඒ හා බැඳුනු කර්තෘ අඥාත අනෙක් කියමන ද අමතක නොකලෙමි.

" Do whatever you have to do; do not worry about consequences "

'' You have to face the consequences of the decisions you make"

Despite seeming to be paradoxical at a glance they actually complement each other and are obverse and reverse of the same coin.

****************************************

පුරා මසකට අධික කාලයක් ගුණේ අයියා, රමණි අක්කා, ලක්ෂ්මී අක්කා සහ වීරේ මල්ලී සමඟ රැඳී සිට ඔවුන්ගේ ජිවන මංපෙතෙහි ඔවුන් සමඟම පියනැඟූ ඔවුන්ගේ අභිලාෂයන් අපේක්ෂාවන්, බලාපොරොත්තු කඩවීම් ඔවුන් සමඟම විඳ දරාගත් මාගේ හිතවත / හිතවතිය....ඔබට ඔවුන්ගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මට ඉඩ දෙන මෙන් ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාවේ අවසන් වශයෙන් ඉල්ලා සිටිමි......ස්තූතියි.

Tuesday, November 29, 2011

69. නොහැඟවූ ආදරය......The Unexpressed Love......11

'' ඊයෙ කවුරු හරි මට ඔය කතාව කිව්වනම් මම විශ්වාස නොකරන්න තිබ්බ. ඒත් අද ගුණේ අයියත් එක්ක කතාකලාට පස්සෙ මම විශ්වාස කරනවා.ගුණේ අයිය කරන කියන කිසිම දේකින් මම මීට පස්සෙ පුදුම වෙන්නෙ නෑ.''

'' ස්තූතියි මල්ලි......ගාන්ධි කිව්ව වගෙ ප්රතිපල ගැන නොහිතා කලයුතු දේ කලා වගේම අනික් කියමනේ විදිහට අපි යම් තීරණයක් ගත්ත නම් ඒ තීරණයෙන් මතුවෙන ප්රතිඵල වලට මූණ දෙන්නත් ඕනෙමයි. ''

මේ වන විට සවස සිට මත් පැන් පානයේ යෙදුනෝ එකා දෙන්නා බැගින් පිටවී යාම ඇරඹී තිබිණි. වේලාව රාත්රී නවය පසු වූවා පමණි.අපේ වේටර් වරයා ද මා ආසන්නයට පැමිණ මගේ කණට කෙඳිරීය. '' සර් තව ටිකකින් බාර් එක වහනව...ගන්න දෙයක් දැන්ම අරන් තියන්න,''

අපගේ දෙවන බාගේ බෝතලය තව ඉතිරිව ඇත්තේ අඟල් දෙකක පමණ ප්රමාණයකි.

මම ගුනේ අයියා ඇමතුවෙමි. '' අයියා. බාර් එක වහන්නයි යන්නෙ. තව ගන්නවද?....''

'' ම්ම්ම්..ඕනෙත් නෑ මල්ලි, මේ ඇති, අනික අපි යන්නත් එපාය.....හරි එහෙනම් මගෙ ගානෙ සීයෙ දෙකක්........''

ඔහු වහා පසුම්බියෙන් ඇද මුදල් ගෙවා දැමීය.

'' දැන් මේකත් වහනවද?.......'' ගුණේ අයියා ඇසූයේ මදින් මද හිස් වන අවන්හල අවට සිසාරා බලමිනි.

'' නෑ බාර් එක වහන්න එපාය නියම වෙලාවට....රෙස්ටෝරන්ට් එක තව වෙලා ඇරල තියනව....ඉතිං අයියෙ කතාව. දැන් ලක්ෂ්මී අක්ක දන්නවනෙ සීන් එක. ඉතිං ගුණේ අයිය මොකද කලේ? එදාම ගියාය ගෙදර? ''

'' නෑ,මම ගෙදර ගියේ දවස් දෙක තුනක් යන්න ඇරල.මම දන්නව ලක්ෂ්මී මොන තරම් යතාර්ථවාදී ගෑණියක් උනත් මේ වගෙ දෙයක් දැනගත්තම ආවේගශීලී වෙනවයි කියල. මොන ගෑණිද එහෙම නොවෙන්නෙ?....අනික ආවේගශීලී උනාම අපි අතින් පස්සෙ පසුතැවිලි වෙන දේවල් කියවෙන්න පුලුවන් බොහෝවිට. ඒ නිසා මම හිතුව දවසක් දෙකක් ගිහිල්ලම ගෙදර යන එක තමයි වඩාම හොඳ කියල. ''

අවසාන සීයේ වඩි දෙක පැමිණියේය. ඒ මේසය මත තැබූ වේටර් වරයා මොහොතක් රැඳී සිටියේ අපට අමතරව අවශ්ය මොනවාදැයි දැනගැනීමටය.

'' වඩේ තව ගේන්න.....පහක් විතර....ඒ ඇති...වෙන මොකවත් එපා........'' මම ඔහුට දැන්වීමි.

'' ඉතිං අයියා?.......'' මම නොඉවසිලිමත් වූයේ ලක්ෂ්මී අක්කා සහ ගුණේ අයියා අතර වූ කතා බහේ විස්තර දැන ගැනීමටය.

වසරකට ආසන්න කාලයකට ඉහත කඳවුරේ අපේ නේවාසිකාගාරයේ දී පිටත්ව යාමට සූදානම්ව ස්ථිර සාර ස්වරයකින් ඈ පැවසූව මගේ මතකයේ අද සිදුවූවක් මෙන් රැඳී ඇත.

/ '' ඉන්න මම කියල ඉවර වෙන කල්....මල්ලි හිතන එක නෙවෙයි මම කියන්න යන්නෙ, මම එයාට අවස්ථාවක් දෙන්නෙ මේ කරපු දේ ගැන හේතු පහදන්න. ඊට පස්සෙ ගුණේට කියන්න හේතුවක් ඇත්නම් ඒ හේතුයි, දරුවන්ගෙ සහ අපේ අනාගතයයි ඔක්කොම සාධාරණව සළකල බලල මම තීරණයක් ගන්නව.'' /

'' මම ගෙදර ගියා දවස් දෙහෙකට විතර පස්සෙ.දවල් වෙලාවක. ඒ වෙලාවට දරුවො දෙන්න ඉස්කොලෙ. ලක්ෂ්මී මට තේ එකක් එහෙම හදල දුන්න. ඒක බීල මම කතාව පටන් ගත්ත.....''

'' ලක්ෂ්මී මම ඔයාට කිසිම දෙයක් හංගන්නෙ නැතුව සම්පූර්ණ කතාවම කියන්නම්....ඊට පස්සෙ ඔයා කැමති තීරණයක් ගන්න. ඔයා මොන තීරණයක් ගත්තා උනත් මම ඒකට එකඟයි. ඒ වගේම ඔයාටයි දරුවන්ටයි මම ඉදිරියට පුළුවන් හැමදේම කරනවා ඔයාගෙ තීරණය මොනව උනත්.....''

'' හරි ඔයාට කියන්න තියෙන ටික කියන්න ගුණේ...ඊට පස්සෙ මම තීරණයක් ගන්නම්..............ඔයා ගැන, මම ගැන, දරුවො දෙන්න ගැන හිතල මම තීරණයක් ගන්නම්.......''

'' ඉතිං මල්ලි මම කතාව කිව්ව.....සම්පූර්ණ සිද්ධියම...කිසිම දෙයක් හංගන්නෙ නැතුව...ලක්ෂ්මී එක වචනෙකින් වත් බාධා කලේ නෑ....මගෙ ඉස්සරක පුටුවක ඉඳගෙන ඇස් පියාගෙන අහගෙන හිටිය. ''

කතාව ඉවර කරල මම කිව්ව " ඔන්න ඕකයි ලක්ෂ්මී කතාව....... තව එක දෙයක් මට කියන්න දෙන්න, ඔයා විශ්වාස කරයිද මම දන්නෙ නෑ මේ කතාව, ඒත් මම මේ කියන්නෙ සම්පූර්ණ ඇත්ත.මේ නිර්නාමික ලියුමකින් ඔයා මේක දැනගත්තනෙ. යම් විදිහකින් ඔයාට මේ සිද්ධිය දැනගන්ට ලැබුණෙම නැත්නම් මම හිතාගෙන හිටියෙ ඔයාට මේක දැනගන්ට ලැබෙන්න සලස්වන්න.මට ඔයාගෙ මූණටම මේක කියන්න නම් බෑ වෙන විදිහකින් මම ඔයාට දන්වන්නයි හිටියෙ. ඒ කරල ඔයා ගන්න ඕනම තීරණයකට එකඟ වෙන්න. ''

අන්තිමට මගෙ කතාව ඉවර කරලත් විනාඩි දෙක තුනක් එයා ඇස් වහගෙන එහෙම්මම හිටිය. ඊට පස්සෙ ඇස් ඇරිය. ඒ ඇස් වල කඳුලු බලන්න බැරුව මම බිම බලාගත්ත.

'' ගුණේ මම ඔයා කියපු දේ විශ්වාස කරනව...ඒ කිව්වෙ අර මම මේ සිද්ධිය ගැන දැන නොගත්තොත් ඔයා හිතාගෙන හිටිය කිව්වෙ කොහොම හරි මේ සිද්ධිය මට දැනගන්න ලැබෙන්න සලස්වනවයි කියල......අන්න ඒ කතාව....ඒ මම ඔයා ගැන දන්න නිසා.''

'' මගේ තීරණය මම ඔයාට කියන්නම්,හෙට.....දැන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව. ඔයා ගිහිල්ල පොඩි දෙන්නව එක්ක එන්න....පහුගිය ටිකේම ඔයා ගැන අහනව හැමදාම......ආ තව එකක් ඔයා කතාවෙදි කිව්ව නේද මහත්මා ගාන්ධි කිව්වය කියල Do whatever you have to do without thinking about consequences.......හරි කතාව ඇත්ත...ඒ එක්කම ගුණේ මෙහෙම කතාවකුත් තියනව..."You have to face the consequences of the decisions you make" අන්න ඒකත් අමතක කරන්න එපා.....'' ලක්ෂ්මී ඔය ටික කිව්වෙ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන,ඒ ඇස් දෙක දිහා බලා ඉන්න බැරුව මම බිම බලාගත්ත....''

'' අන්න ඒකයි මල්ලි ඔය කතාව කියනකොටම මම කිව්වෙ තව කෙනෙකුත් ඔය කතාවම කිව්ව...මම පස්සෙ කියන්නම් කියල....''

'' ඉතිං අක්කගෙ ඒ කතාවට අයිය මොකද කිව්වෙ?....''

'' මොනව කියන්නද මල්ලි....කතාව සම්පූර්ණ ඇත්තනෙ........මම කිව්ව හරි ලක්ෂ්මී ඒකම තමයි මමත් කියන්නෙ මගේ තීරණයෙ ප්රතිපල වලට මුහුණ දෙන්න මම සූදානම් කියල. ''

මේ වනවිට අවන්හලේ ඉතිරිව සිටියේ අප දෙදෙනා හැරුණු විට තවත් දෙදෙනෙකු පමණි. වේටර් වරු අතුගෑමේ සහ අස්පස් කිරීම් කටයුතු වල නිරතව සිටියහ.

'' ගුණේ අයියෙ සීයෙ දෙක දාගෙන අපිත් එහෙනම් යමු......'' මම අවසන් වීදුරුව අතට ගනිමින් පැවසුවෙමි.

'' රෑ කෑම මල්ලි? ''

'' ඕකත් දාගෙන එන්නකො.....''

එකල නුවර නගරයේ රාත්රී අට පසුවූ පසු ආහාර අළෙවි කරන ජංගම වෙලඳ රථ දෙකක් විය. යටිනුවර වීදියේ සීවලී පොත්හල ඉදිරිපිට සහ කොටුගොඩැල්ල වීදියෙහි විජිත යාපා පොත් හල අවට දිනපතාම පාහේ ආහාර අලෙවි කෙරුණු අතර මේ ජංගම ආහාර අලෙවිය බොහෝ සෙයින් ජනප්රිය විය. ඉඳිආප්ප, කොත්තු, බිත්තර රොටී, මනි පිට්ටු,සමඟ බාබත්, එළු සහ ගව මස්, දැල්ලන්, පොල් මැල්ලුම්, කිරිහොදි අළෙවිකල මේ ජංගම වෙලඳ සැල් තවමත් පවත්වාගෙන යනවාද යන්න නම් මම නොදනිමි.

රාත්රී සේවයෙහි යෙදෙන්නන්, මත්පැන් පානයෙන් පසු නිවෙස් බලායන අප වැන්නන්,රාත්රී දුම්රිය හෝ දුර ගමන් බස් රථ බලාපොරොත්තුවෙන් පැමිණෙන්නන් වැනි බොහෝ අය කුසගිනි නිවාගන්නට මෙහි පැමිණියහ.

කාසල් අවන්හලින් පිටවූ අප දෙදෙන ඒ ඉදිරිපිටම නවතා තිබූ ජංගම ආහාර රථය කරා ළංවූහ.

'' මොනවද ගුණේ අයිය කන්නෙ? '' මම රථය තුලට එබෙමින් විමසුවෙමි.

'' ඔය මොනව උනත් කමක් නෑ.....මමයි ගෙවන්නෙ.....''

'' ආය කන්ඩත් ඉස්සෙල්ල ගෙවිල්ලක්. හරි, මනි පිට්ටු කාල තියද?.....කමු මනි පිට්ටුයි..කිරි හොද්දයි එළුවයි....කාල බලන්ටකො ...ගුණේ අයිය හැමදාම රෑට නුවර එයි හෙහ්, හෙහ්.....'' ඇණවුම භාර දුන් පසු ආහාර ලබාගැනීමට අවම වශයෙන් විනාඩි දහයක් පමණ ගතවේ. එපමණ පිරිසක් ඕනෑම වේලාවක මේ රථ වටා පොදි කමින් සිටියහ.

ආහාර ලැබෙන තෙක් විජිත යාපා පොත්හල ඉදිරිපිට පඩි පෙලෙහි හිඳගත් මම සිගරට්ටුවක් දල්වා ගතිමි.

'' ගුණේ අයිය එන්ඩ ඉඳගන්න....ඉතිං.... නිමා නොවුනු කතාවක් හිතේ තියාගෙන සමුගන්න බැහැනෙ ඔයාගෙ කතාව ඉවර කරන්නකො......''

උඩවත්ත කැලේ ඉහලින් පෑයූ අඩසඳ කොටු ගොඩැල්ල වීදියෙහි අඳුර දුරු කිරීමට සමත් වූයේ නොවේ.කතරගම දේවාලය ඉදිරිපිට පහන් කණුවෙහි පමණක් මලානික එළියක් විහිදුවමින් එක් විදුලි බුබුලක් දැල්විනි.ඒ හැර අවට ආලෝකයක් වූයේ තවමත් එක් දොර පළුවක් පමණක් වසා ඇති කාසල් අවන්හලෙන් කොටුගොඩැල්ල වීදියට පතිත වන ප්රතිදීප්ත පහන් එළිය සහ ජංගම ආහාර රථයේ දෙපස එල්ලා තිබූ පෙට්රොමැක්ස් ලාම්පු එළිය පමණකි.

බෝතලයකට මඳක් වැඩි තරම මත්පැන් පානය කොට සිටියද මම මෙන්ම ගුණේ අයියා ද මනා සිහි කල්පනාවෙන් පසු වුනෙමු. හැඟීම්බර උද්වේගකර හෝ අනුවේදනීය කතාවක් මත්පැන් පානයට ඈඳුණු විට බොහෝ විට මේ තත්වය උදාවන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

ගමන් මල්ල පහල පඩියේ තැබූ ගුණේ අයියා මා අසලින්ම අසුන් ගත්තේය.මම පසුපසට දිගඇදී පොත්හලේ ප්රධාන දොරටුවට ඇලවීමි.

'' පහුවදා ලක්ෂ්මී මට මෙහෙම කිව්ව ..... ගුණේ, බොහොම ස්තූතියි ඇත්තම කිව්වට,ඒ වගේම ඔයා ඒ වගෙ දෙයක් කලේ ඇයි කියල මට තේරුම් ගන්න පුලුවන්,එහෙම කරපු එක හරිද වැරදි ද කියන එක වෙනම කතාවක්, ඒත් ඒක දැන් ඔයා කරල ඉවරයි, හරි හෝ වැරදි හෝ....අපි පශ්චාත් පරීක්ෂණයක් කරල හරි වැරදි හොයන එකේ කිසිම තේරුමක් නෑ. ඒ නිසා ඒ අනවශ්ය වැඩ අත ඇරල අපි වැදගත් කාරණා කතා කරමු.මුල්ම කාරණේ මට ඔයාට සමාවක් දෙන්න පුළුවන්ද කියන එක. ඔයා මට අවංක උනා වගෙ මමත් ඔයාට අවංක වෙන්නම් මට බෑ ඔයාට සමාවක් දෙන්න. අඩුම වශයෙන් මම මෙහෙම කියන්නම්.... මට මේ මොහොතෙ, ඒ කියන්නෙ තාම බෑ ඔයාට සමාවක් දෙන්න....සමහරවිට කාලය හැමදේටම විසඳුම කියනව වගෙ කාලයක් ගත වෙද්දි මට පුලුවන් වෙයි ඔයාට සමාවක් දෙන්න ඒත් තවම නම් බෑ....සමාවෙන්න මෙහෙම කෙලින්ම කියනවට...''

'' නෑ ලක්ෂ්මී ඔයා හරි, ඔයා සම්පූර්ණයෙන් හරි.ඔයාගෙ පැත්තෙන් ඔයා හරි, මට ඊට වැඩි දෙයක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බෑ කොහෙත්ම.''

මතු සම්බන්ධයි.......

Monday, November 28, 2011

68. නොහැඟවූ ආදරය......The Unexpressed Love......10

"ඒ දවස්වල මල්ලිට මතක ඇතිනෙ අපේ කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් දෙක තුනක් හදල ඉවර වෙච්ච අලුත, ලොක්ක කැමති අයට ඇප්ලයි කරන්න කියලත් කියල තිබුණනෙ.....මට එක පාරටම මතකයට ආවෙ ඒක. ඒ නිසා මම ක්ෂණිකව තීරණය කලා ගාන්ධි කියපු විදිහට වැඩ කරන්න....ගාන්ධිනම් ඔය කතාව කියන්න ඇත්තෙ තුන් හිතකින්වත් මෙහෙම දෙයක් හිතල නම් නෙවෙයි......."ගුණේ අයියා හඬනගා සිනාසුනේය. ඔහුගේ දෙනෙත් අඩවන් වී ඇති අයුරු කියාපෑවේ මත්පැන් ක්රියාකාරිත්වය ඇරඹී ඇති අයුරකි.එහි කිසිදු අරුමයක් ද නැත.මම ද ගත සැහැල්ලුවෙන් පාවීමට උත්සාහ කරන මත්වීමේ මුල් අදියරට ළඟාවී සිටියෙමි.

අත් ඔරලෝසුව දෙස බැලූ මම දුටුවේ වේලාව රාත්රී අටට ආසන්න බවය.රාත්රී දහය වන තුරු නිල වශයෙන් අවන්හල විවෘතව පවතින බැවින් කාලවේලාව නම් හොඳහැටි ප්රමාණවත්ය.

"ගුණේ අයිය යමු පම්ප් එකක් දාල එන්න...."මම නැඟී සිටිමින් පැවසුවෙමි.

මගේ අරමුණ වූයේ මත්පැන් පානයට මද විරාමයක් දෙමින් ඇතුලත කැරකෙන සිගරට් දුමින් සහ දැඩි ඝෝෂාවෙන් මිදී එලිමහනේ සිහිල මඳක් විඳීමය. ගුණේ අයියා මත්පැන් පානය කලේ මඳ වශයෙන් බව මේ කතාව ආරම්භයේදී මා පැවසූ බව ඔබට මතක ඇතැයි සිතමි. එසේ මතක නැතිවුවද ඒ පිළිබඳව කරුණාකර පශ්චාත්තාප නොවන්න..මෙහි මුල් කොටස ඔබ කියවූයේ මීට සති තුනකටත් ඉහත බව සලකන විට ඔබට ඒ අමතක වී නම් එසේ අමතක වීම සම්පූර්ණයෙන්ම ස්වාභාවිකය.

එබැවින් එළිමහනට ගොස් මඳ ඉසුඹුවක් නොගතහොත් ගුණේ අයියා " ළඟ නැවීම" කරණ කොටගෙන අකර්මණ්ය වී අප දෙදෙනාම ඇද වැටිය හැකි ව්යසනය ගැන කල්පනා කල මම පූර්වෝපායයක් ලෙස මේ පියවර ගත්තෙමි. එහෙත් එසේ පූර්වෝපායයන් අනුගමනය කිරීම කිසිසේත් අවශ්යනොවූ බව ප්රවත්යාවලෝකනයේ දී පැහැදිළිය.

ඉහත පරිච්ඡේදය මඤ්ඤං සේ පෙනේනම් එය නැවත මෙසේ පැහැදිලි කිරීමට මට අවසර....

ගුණේ අයිය වැඩිය බොන පොරක් නෙවෙයි කියල මං කලිං කිව්වනෙ. ඉතිං ලඟ ලඟ එක පිට එක බීල මිනිහ ඩෝප් උනොත් මාර කෙලියක් වෙන්නෙ. මූටයි මටයි කාසල් එක ඉස්සරහ පේව්මන්ට් එකේ එහෙම නැත්නම් පොලිස් කූඩුවෙ තමයි අද රෑ ඉන්න වෙන්නෙ.ඒ නිසා තමයි මම කෝකටත් තයිලය කියල කිව්වෙ බොන එක ටිකක් කන්ට්රෝල් කරන්න හිතාගෙන" ගුණේ අයියෙ යමුද පම්ප් එකක් දාන්න" කියල...ඒත් පස්සෙන් පහු ආයෙම හිතල බලන කොට එහෙම ඕන උනේම නෑ..ඒ කියන්නෙ ගුණේ අයිය පිස්සු කෙළියෙ එහෙම නෑ.



"යමු මල්ලි "ගුණේ අයියා නැඟී සිටියේ මේසයට වාරුවෙමිනි.මම වහා බෝතලය සහ වීදුරු අල්ලා ගත්තේ මේසය මඳක් ඇලවූ බැවිනි.

"කකුල හිරිවැටිල මල්ලි" ගුණේ අයියා පැවසූයේ නොන්ඩි ගසමින් මැද මිදුලට පිවිසීමට ඉඳිකොට තිබූ පඩි දෙක තුන බසිමිනි.

මැද මිදුල හරහා ගොස් ක්වීන්ස් හෝටලය සහ කාසල් අවන්හල වෙන්වන මායිම් තාප්පයට යාබදව තනා තිබූ වැසිකිළියට අපි ළඟා උනෙමු. අදාල කර්තව්යයෙන් පසු එකෙණෙහිම ආපසු නොගොස් මඳක් මැද මිදුලේ මධ්යයෙහි වවා තිබූ බෝගන්විලා පඳුර ආසන්නයේ රැඳුනු අපි හිස් ඔසවා ක්වීන්ස් හෝටලයේ වහලට ඉහලින් උඩවත්ත කැළය ඉහලින් පායා තිබූ සඳ දෙස බලා සිටියෙමු. පසළොස්වකට තව කල් තිබුණු බැවින් සඳ පිරී තිබුණේ අඩකට ආසන්න ප්රමාණයකි.

අවන්හලේ ගාලගෝට්ටිය මෙතනට ද ඇසුණද ඒ ඈතින් ඇසෙන මුහුදු රල ගොස මෙන් යාන්තමිනි. හිසෙහි බමන ස්වභාවය පහව යන තුරු සිසිල් වායුව පපුව පුරා පුරවාගනිමින් සහ සෙමින් පිට කරමින් අපි මැද මිදුලේ ටික වේලාවක් රැඳුනෙමු.

"එළිමහනට ආපු එක හොඳයි මල්ලි...මගෙ ඔළුව කැරකෙනව වගෙ තිබ්බ...ඒ ගතිය දැන් ඇරිල ගියා....."ගුණේ අයියා මා දෙස බලා සිනාසුණේය.

"සීතලකුත් එනව අයියෙ එහෙනම් ආපහු යමු......."

නැවත අපගේ රවුම් මේසය කරා පැමිණි අපි අසුන් ගත්තෙමු.මැද මිදුලෙහි ගත කල කාලයෙහි සිරුරට කා වැදුනු සීතල අකා මකා යනු පිණිස අපි දෙදෙනම නැවත පුරවාගත් වීදුරු එක හුස්මට උගුරට වත්කර ගතිමු.

"ඉතිං ගුණෙ අයියෙ?......."නැවත අප අසලට පැමිණි වේටර් වරයා හිස වනා ඉවතට යැවූ මම පුටු ඇන්දට හොඳ හැටි වාරුවී පා යුගල දිග හැර ගතිමි.

"මම නැවැත්තුවෙ කොතනද?.......හරි මම මැරීඩ් ක්වාටර්ස් එහෙකට ඇප්ලයි කලා ලොක්ක ඇපෲව් කලා. දවස්දෙහෙකට පස්සෙ රමණියි මමයි ආව කෑම්ප් එකට.කොහොම උනත් වැඩි කල් එහෙම ඉන්න අපේ බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. මතකද මම ආපුම දවසෙ ඔයාලගෙ ක්වාටස් එකට ආව රෑ පාටි එකට ආරාධනා කරන්න ඒ වෙලාවෙ මට මතක නෑ ඔයාද කොහෙද ඇහුව....අයියෙ එතකොට දරුවො දෙන්න එක්ක ආවෙ නැද්ද කියල...."ගුණේ අයියා මගේ මුහුණ බැලූයේ එසේ අසූයේ මාදැයි ස්ථිර කරගනීමට විය යුතුය.

ඇත්ත වශයෙන්ම එසේ ඇසූයේ මමය. මම හිස වනා ඒ අනුමත කළෙමි.

"ඒ වෙලාවෙ මම කිව්වෙ වැඩි කල් ඉන්න බලාපොරොත්තුවක් නෑ කියල.....මල්ලි ඒක තමයි ඇත්ත. එහෙම දිගටම මුළු ලෝකෙම අමතක කරල අපේ ලෝකෙක ඉන්න බැරි බව මම වගේම රමණිත් හොඳාකාරවම දැනගෙන හිටිය. මට ඕන උනේ රමණි පත්වෙලා හිටිය අගාධයෙන් ටික කාලෙකට හරි ගොඩ ගන්න. ආදරේ සෙනෙහස කියන එක එයාට දෙන්න. දිවිනසා ගන්නෙ නැතුව මොන දුක වේදනාව ආවත් මුහුණ දීගෙන ඉදිරි ජීවිතේ ගත කරන්න පන්නරයක් එයාට ලබා දෙන්න....මට ඕන උනේ ඇත්තටම එච්චරයි මල්ලි....එච්චරමයි...."

"රමණිගෙත් වැඩි කලක් එහෙ ඉන්න කොහෙත්ම බලාපොරොත්තුවක් වත් උවමනාවක්වත් තිබුනෙ නෑ. ජීවිතේ අන්තිමට එපා වෙලා ඉන්න වෙලාවෙ අහම්බෙන් දෙයියො එව්ව වගෙ මාව හම්බ උනාම එයාට ඉහිලුම් නැතුව ගියයි කියල රමණි පස්සෙ මා එක්ක කිව්ව.ඒ වගේම ගුණේ මම ඔයාගෙ ජීවිතේම විනාස වෙන්ට පුලුවන් තීරණයක් ගන්න ඔයාට බල කරපු එකට ඔයා මට සමාව දෙනවද කියල රමණි ඇහුව කෑම්ප් එකට ආපු පළවෙනි දවසෙම."

"ඉතිං අයිය මොනවද කිව්වෙ?"

"මම කිව්වෙ මෙච්චරයි. ඔයා මට බල කලේ නෑ රමණි.ඔයා මගෙන් ඉල්ලීමක් කලා. ඒක ඇත්ත. ඒත් තීරණය මගේ. එන ඕනම දේකට මූණ දෙන්න ලෑස්තිවෙලයි මම මේ තීරණය ගත්තෙ, ඒ නිසා ඔයා ඒ ගැන කරදර වෙන්න වත් වැරැද්ද ඔයාගෙය කියල හිතල දුක් වෙන්න වත් එපා"

"ඒ කෑම්ප් එකේ ගත කරපු මාසයක් වගෙ කාලෙ එයාගෙ ජීවිතේ සතුටෙන්ම ගතකරපු කාලය කියල රමණි මා එක්ක සිය දහස් වාරයක් කියන්න ඇති."

"අන්තිමට මාසයක් ඉඳල රමණි කිව්ව මම දැන් යන්නම් ගුණේ....මේ ඇති හොඳටම....මට දැන් ජීවිතේට මූණදෙන්න පුළුවන්....අපි ආයෙ සමහරවිට කවදාවත් මුණ නොගැහෙන්න පුළුවන්...ඒත් මම දන්නව මට මුළු හදවතිනම ආදරය කරන මගේ සෙනෙහස මුලු පපුවෙම පුරව ගත්තු කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නවය කියල මට ඒ ඇති ගුණේ ඒ බලාපොරොත්තුව මාව ජීවත් කරාවි. ඕනම දුකකට කණගාටුවකට මුහුණ දෙන්න ධෛර්යය පන්නරය මට ලබා දේවි.කලිනුත් ඔයාගෙ ආදරය මම සැක කලා නෙවෙයි. ඒත් ගුණේ මාව කොහෙ හරි අරන් යන්න කිව්වම ඔයා එක මොහොතක් වත් පැකිළුනේ නෑ. හරි රමණි මම ඔයාව එක්ක යන්නම්. මට දවස් දෙකක් දෙන්න එච්චරයි ගුණේ ඔයා කිව්වෙ. මගෙ ජීවිතේ තියනකල් ඒ වචන ටික මගෙ හිතේ රැව් පිළිරැව් දේවි."

"ඔහොම කියල අන්තිම දා රෑ රමණි මගෙ කකුල් දෙක බදාගෙන ඇඬුව මල්ලි. එපා අඬන්න රමණි කියල කියාගන්නවත් බැරි තරමට තුෂ්නිම්භූත වෙල බලා ඉන්න එක විතරයි මට කරන්න පුළුවන් උනේ. අන්තිමට එයාව නැඟිට්ටවල එයාව වැළඳගෙන මමත් ඇඬුව. මල්ලි විශ්වාස කරන්න අපි අන්තිමට වෙන් වුනු දවසෙවත් මම ඇඬුවෙ නෑ. ඒත් මම එදා ඇඬුව ඒ ඔක්කෝටම හරි යන්න. ගුණේ අයියාගේ දෑසට නැවත කඳුළු පිරෙනු දුටු මම ඉවත බලාගතිමි."

අඩක් අවසන් වි තිබූ දෙවන බෝතලයෙන් වීදුරුව පුරවාගත් මම ඒ මේසය මත තබා ගුණේ අයියාගේ මුහුණ බැලීමි.ඔහු තවමත් සිතෙහි තෙරපෙන හැඟුම් පාලනය කර ගැනීමෙහි ලා තැත් කරන බව පැහැදිලිය. අවසන දිගු සුසුමක් හෙලූ හෙතෙම මත්පැන් පුරවාගත් වීදුරුව එක හුස්මට පානය කලේය.

"ගුණේ අයියා......"මම තැතිගත් හඬින් ඔහු ඇමතීමි.

"නෑ මල්ලි බය වෙන්න එපා. දැන් හරි ඔක්කෝම හරි,එදා හිතේ හිර කරල අගුළු දාල වහල තිබ්බ හැඟීම් ඔක්කොම දැන් එලියට ආව. එච්චරයි දැන් ඒක හරි. එක අතකට ඒකත් හොඳයි, හිතේ හිරකරන් ඉන්න එකත් ලේසි නෑ ඊට වඩා හොඳයි මෙහෙම හරි එළියට දාන එක."

"සමහරවිට මම මල්ලිව හම්බවෙනකල් නොඉවසිල්ලෙන් හිටියෙ මල්ලිට මේ කතාව කියන්ට වගේම මගෙ හිත ඇතුලෙ තැලෙන මිරිකෙන හැඟීම් එළියට දා ගන්න ක්රමයක් හදාගන්න වෙන්නත් ඇති. හිත කියන එක මහ පුදුමයි මල්ලි." ගුණේ අයියාගේ හඬ නැවතත් ප්රාණවත් වී ඇත. හිතේ සියලු දුක් කරදර සෝදාහැරි කලෙක මෙන් ඔහු කතා කලේ මෙතෙක් නොවූ ස්වරයකිනි.

"රමණියි මායි ආපහු යනකොට මගදිම මට ආරංචිය ආව නිර්නාමික ලියුමක් ලක්ෂ්මීට එවලයි කියල අපි දෙන්න ගැන කියල.මම දන්නව කවුද ඕක කලේ කියල....අපේ ඔෆිස් එකේම කෙනෙක් තමයි..මල්ලි,"

"ආහ්...මමත් අයියෙ ඕක ගැන සෑහෙන්න කල්පනා කලා...කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ කියල...ඒත් මට නම් හිතාගන්න බැරි උනා......"

"අල්ලල දාන්න මල්ලි, කරපු පුද්ගලයගෙන් වැඩක් නෑ.ඔයා දන්නවද එක විදිහකින් බැළුවම ඒ මනුස්සය මට උදව්වක් කරල තියෙන්නෙ....හෙහ්, හෙහ්,"

"ඒ කොහොමද අයියෙ ඒ?....."ගුණේ අයියා නම් මේ අපූර්ව පුද්ගලයා කියන කරන කිසිම දෙයකින් පුදුමයට පත්වීමෙන් වැලකී සිටිනෙමි යනුවෙන් මම මටම සපථ කොටගෙන සිටියද ඒ ප්රකාශයෙන් මම නැවත වරක් පුදුමයට පත්වූයෙමි.

"මල්ලි, රමණි එක්ක ඇවිල්ල මාසයකට කිට්ටු කාලයක් මම කෑම්ප් එකේ හිටියනෙ. නිකම් හිතන්න ඕක කවදාවත් ලක්ෂ්මී දැනගත්තෙ නෑ කියල...."

"ඉතිං මොකක්ද අයියෙ ප්රශ්නෙ.....අයියගෙ තත්වෙ ඉන්න ඕනම කෙනෙක් ප්රාර්ථනා කරන්නෙ එහෙම දෙයක්නෙ...."ගුණේ අයියා පැවසීමට තැත් කරන්නේ කුමක්ද යන්න මට මේ වනවිට අවබෝධ වී තිබුණද මම ඒ නොවැටහුනු අයුරින් කටයුතු කළෙමි.

"හෙහ්, හෙහ්, මල්ලි හොඳටම දන්නව මම කියන්නෙ මොකක්ද කියල...ඒත් මගේ කටින්ම කියව ගන්න නොදන්නව වගෙ රඟපානව. හරි මමම කියන්නම්කො. මේ සිද්ධිය ලක්ෂ්මීට කවමදාවත් ආරංචි උනේ නෑ කියල හිතමු. අපේ ජීවිත පරණ පුරුදු විදිහට ගලාගෙන යාවි. ඒත් මල්ලි හෘදය සාක්ෂිය කියල එකක් තියනවනෙ අපි හැමෝගෙම. මට මගෙ හෘදය සාක්ෂියෙන් කිසි දවසක ගැලවුමක් ලැබෙන එකක් නෑ. එහෙම උනොත් එකම විකල්පය මමම ලක්ෂ්මීට මේ විස්තරේ කියන එක විතරයි.ඒත් එයයිගෙ මූණ බලාගෙන මම කොහොමද මෙහෙම කතාවක් කියන්නෙ....."

"මල්ලි විශ්වාස කරනවද මම හිතාගෙන හිටියෙ ලක්ෂ්මීට මේ සිද්ධිය ආරංචි නොවුනොත් එහෙම මමම නිර්නාමික ලියුමක් දානවයි කියල."

මතු සම්බන්ධයි

************************

ප.ළි. - සමාව ඉල්ලා සිටිමි. ඉතිරි සම්පූර්ණ කථාව ලියා එකවර පළකිරීමට සිතා සිටියද කථාව නොසිතූ ලෙස දීර්ඝ වීම හේතුකොටගෙන රාජකාරී මධ්‍යයේ එකවර ලියා අවසන් කල නොහැකි තත්වයක් උදාවිය. එබැවින් දිනකට කොටස බැගින් පළකිරීමට බලාපොරොත්තු වෙමි.අපහසුතාවයක් සිදුවූයේ නම් නැවතද සමාව ඉල්ලා සිටිමි.

Saturday, November 26, 2011

67. නොහැඟවූ ආදරය......The Unexpressed Love......9


පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

අටවන කොටස

" ඔව් මල්ලි මම මල්ලිව හම්බ වෙන්න ඕන කිව්වෙ මගෙ කතාව කියන්ට....මම දන්නෙ නෑ කවුරුවත් මම කරපු දේවල් අනුමත කරයිද කියල. මට එහෙම කාගෙවත් අනුමැතියක් අවශ්යත් නෑ ඇත්තම කිව්වොත්, ''

'' මහත්මා ගාන්ධිගෙ කියමනක් තියනව " Do whatever you have to do; do not worry about consequences " කියල...කලයුතු දේ කරන්න ඉන් වන ප්රතිවිපාක ගැන නොසලකා,.......මේ කතාව බොහෝම තැන්වලට අදාල වෙන්නෙ නෑ. අපිට ඒ විදිහට වැඩ කරන්න බෑ. මම පිළිගන්නව. පනින්ට පෙර සිතා බලනු කියල කතාවකුත් තියනවනෙ. ඒත් හිත හිතා ඉන්නෙ නැතුව පනින්ට වෙන අවස්තාත් ජීවිතේ එනව මල්ලි.වෙන දෙයක් උනාවෙ කියල ක්ෂණික තීරණ ගන්න වෙන අවස්තා එනව. ඒ වෙලාවට වෙන විකල්පයක් නෑ. ''

කතාව නතර කල ගුණේ අයියා වීදුරුවේ ඉතිරි මත්පැන් ස්වල්පය ගිල දමා වඩයක් අතට ගත්තේය.මගේ සංඥාවෙන් පැමිණි වේටර් වරයා සාක්කුවෙන් ගත් පත්තර කැබලි කිහිපයක් මේසය මත තබා නික්ම ගියේය.

'' හෙහ්, හෙහ් ගුණේ අයියෙ...ගාන්ධිගෙ කියමන ඇත්තක් වෙන්න පුළුවන්...ඒත් අමතක කරන්න එපා මෙහෙම කියමනකුත් තියනව.... You have to face the consequences of the decisions you make"

'' හරියට හරි....මම හිතුව මල්ලි ඔය කතාව කියයි කියල.....තවත් කෙනෙක් ඔහොමම මට කිව්ව....හරි මම ඒක මගෙ කතාව කියන කොට කියන්නම්.....''

මොහොතක් නිහඬව සිටි ගුණේ අයියා මෙවර කථා කලේ මගේ දෑස දෙස එක් එක එල්ලේ බලමිනි.

'' මම රමණිගෙයි මගෙයි කතාව මුල ඉඳල කියන්නම්. නැත්නම් මල්ලිට හරියට මේ සිද්ධි එකින් එක සම්බන්ධ වෙන හැටි තේරෙන එකක් නෑ.රමණියි මායි එකට ඉස්කෝලෙ ගියෙ. හතේ පන්තියෙ අපි දෙන්න සම්බන්ධෙ පටන් හත්තෙ.අපේ පවුලෙ ප්රශ්න නිසා මම වැඩිදුර ඉගෙන ගත්තෙ නෑ රස්සාවට ගියා.රමණි සංගීතයට හරි දක්ෂයි....මතකනෙ එදා සිංදු කියපු හැටි....'' අතිතස්මරණය ගුණේ අයියාගේ දෙතොලට මඳ සිනහවක් ගෙන ආවේය.

'' අපේ සම්බන්ධෙ දැනගෙන එයාලගෙ ගෙදරින් විරුද්ධ උනා බොහොම තදින්ම.තනි මතේට බඳිමු කියල රමණි කිව්වට මට ඒකට එකඟ වෙන්න කොහෙත්ම පුළුවන් කමක් තිබුනෙ නෑ. නංගිලගෙ අනාගතය තිබ්බෙ තනිකර මගෙ කරපිට.අන්තිමට බොහොම අමාරුවෙන් උනත් අපි තීරණය කලා වෙන් වෙන්න.රමණි ඊට අවුරුද්දකට විතර පස්සෙ බැන්දයි කියල මට ආරංචි උනත් මම වැඩි විස්තර දැනගෙන හිටියෙ නෑ. අනික මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට, රස්සාව නිසා. ඒ නිසා මාසෙකට සැරයක් දවස් දෙහෙකට විතර ගෙදර ගිහාම දැන ගන්න තොරතුරක් තමයි. ඊට එහා දෙයක් දැනගන්න ලැබෙන්නෙම නෑ ''

මේ වන විට ක්රමයෙන් අවන්හල පිරෙමින් පැවතිණි.ගාලගෝට්ටිය වැඩි වෙමින් පවතුණද ගුණේ අයියා ස්වරය වැඩි නොකල හෙයින් මට මේසය මත වැලමිටි තබා ඔහු දෙසට නැඹුරු වීමට සිදුවිය.

'' ඔය කාලෙම මම බැන්ද ලක්ෂ්මීව.මල්ලිට ලක්ෂ්මී හම්බ උනා නේද?...මට කිව්ව මල්ලි දවල්ට කන්ඩ එහෙමත් දුන්න, ආයෙ ආපහු කදුරුවෙලට ගෙනත් ඇරලුව කියලත් කිව්ව....මල්ලිට බොහොම ස්තූතියි ඒ කරපු දේවල් වලට....''

කිසිවක් නොපවසා සිනාසුණු මම ඒ එතරම් වැදගත් නොවන බව හස්ත මුද්රාවෙන් හැඟවීමි.

'' ලක්ෂ්මී බඳින්ට ඉස්සර මම කිව්ව එයාට රමණි එක්ක තිබුණු එෆෙයාර් එක.එයාගෙත් එහෙම එකක් කලින් තිබිල තියනව. ඔයවගෙ සම්බන්ධ තරුණ කාලෙ නැත්තෙ කාගෙද මල්ලි.......අපි දෙන්නටම ඒක ප්රශ්නයක් උනේ නෑ. ලක්ෂ්මී කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙල්ලෙක්. ඔලුවක් තියන, ඒ වගේම ඒ ඔලුව පාවිච්චි කරන, යමක් තේරුම් ගන්න පුලුවන්, යමක් තේරුම් කරල දෙන්න පුලුවන්, පොළවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්.''

මේ කතාව පවසන අතර අප මත්පැන් පානය කල අයුරු, මාළු අනුභව කල අයුරු, වඩේ හැපූ අයුරු සහ මම දුම් පානය කල අයුරු පවසා මේ කතාව කියවන ඔබ මත්පැන් විරෝධී ඔබගේ අප්රසාදයට බඳුන් වීමට මගේ කිසිදු කැමැත්තක් නැත.

එසේම මේ කතාවේ මත්පැන් පානය පිළිබඳව මා සඳහන් කරන්නේ කිසිසේත් මත්පැන් පානය ප්රචලිත කිරීමේ අරමුණින් නොව සත්ය වශයෙන්ම ඒ සිදුවූයේ ඒ අයුරින් බැවිණි.

'' රමණිත් බැන්දයි කියල ආරංචි උනත් ඒ කවුරු එක්කද කොහේ කෙනෙක්ද කිසිම හරි හමං විස්තරයක් මට දැනගන්ට ලැබුණෙ නෑ.මම ඒ ගැන වැඩිය හොයන්ට ගියෙත් නෑ.ඒත් මල්ලි දන්නවද මම දන්නෙ නෑ.....ප්රථම ප්රේමය කියන එක එහෙම ලේසියෙන් අමතක කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. අළු යට හැංගිච්ච ගිණි පුපුරු වගෙ පිටට නොපෙනුනාට පපුව ඇතුලෙ උණුහුමට හැංගිලා තියෙනව.''

'' ජීවිතේ ඔහොම හැළහොල්මනක් නැතුව එක සීරුවට ගලා ගියා. අපිට දරු දෙන්නෙක් ලැබුණ ඔය අතරතුරේදි.''

'' ඒත් එක දවසක් මගෙ ජීවිතේ කරකවල අතඇරිය වගෙ වෙනස් උනා මල්ලි. ස්ථානය...කුරුණෑගල බස් නැවතුම්පල.....වේලාව.....මධ්යාහ්නය පසුවී හෝරාවක් පමණ ගෙවුනු මොහොතක.''......කතාව නතර කල ගුණේ අයියා බෝතලයේ අඩියේ ඉතිරිව තිබූ මත්පැන් ස්වල්පයෙන් අඩක් ඔහුගේ වීදුරුවට වත්කොට බෝතලය මට පෑවේය.

'' ඔක්කොම දාගන්න අයිය....මම තව බාගයක් ඕඩර් කරන්නම්.... කතාවත් තාම බාගයක්වත් ඉවර උනේ නෑනෙ.''

මැද මිදුලේ කුළුණකට බරදී ඔහුට භාර මේස දෙස විමසිල්ලෙන් ඇස ගසාගෙන සිටි මහළු වේටර් වරයා මගෙ බැල්ම ඔහු දෑස් ගැටුණු විගස වහා අප වෙත පැමිණියේය.

'' ආයෙත් ඉස්සෙල්ල වගේම... ම්ම්,....සිගරට් එපා.....'' මම ඔහුට දැන්වීමි.

'' සර් කලින් බිල ගෙවනවද ?...නැත්නම්....''

'' දෙකටම බිල ගේන්න.....''

පුරුද්දක් වශයෙන් මත්පැන් පානය අවසන් වී බිල ගෙවනවාට වඩා ඊට ප්රථම බිල ගෙවා ගනුදෙනු අවසන් කිරීමට මම කැමැත්තෙමි.වේටර් වරුන් හිතාමතා වංචා කරන්නේ යැයි මම ඇත්තෙන්ම නොසිතමි. එහෙත් වැරදීම් කා අතිනුත් සිදුවිය හැක.මත්පැන් පානය අවසානයේ බමන ගතින් යුතුව බිල පිළිබඳ වාද කිරීමට සිදුවීම තරම් අප්රසන්න කටයුත්තක් මට තවත් නැත. භාග්යයකට මෙන් මට කිසිදින එසේ කිරීමට සිදුවී නොමැති අතර මත්පැන් පානය කොට සෘජුව සිට ගැනීමට පවා නොහැකිව බිල ගැන වේටර්වරුන් සමඟ වාද කරන්නවුන්ගේ අප්රසන්න දර්ශනය මම ගිණිය නොහැකි තරම් වාරයක් දැක ඇත්තෙමි.

වේටර්වරයා ඇණවුම් කල අඩුමකුඩුම සමඟ ලොකු අකුරින් ලියන ලද බිලද ගෙනා අතර නැඟිට පසුපස සාක්කුවට අත යවා මුදල් පසුම්බිය ඉවතට ගැනීමට තැත්කරන ගුණේ අයියා වැළැක්වූ මම බිල ගෙවා දැමීමි.

'' මම ගෙවන්නම් මල්ලි.....මමනෙ කිව්වෙ ඔයා එක්ක කතා කරන්න ඕනය කියල '' මා බිල ගෙවීම පිළිබඳව ගුණේ අයියා තම විරුද්ධත්වය පළකලේ එලෙසිනි.

'' නෑ අයිය නුවර කියන්නෙ මගෙ ගම. මමයි අයියට සංග්රහ කරන්න ඕන, ඒක අමතක කරල දාන්න...''

'' හරි එහෙනම් රෑ කෑම මගෙ ගානෙ...හරිද? ''

'' හරි, හරි, අයිය ඒක බැරිය මොකක් හරි....මේ මම අහන්නමයි හිටියෙ...අද ආපහු ගෙදර යන්න බැහැ නේද?.........'' කුරුණෑගල සිටද නැවත බසයක පැයකට ද අධික කාලයක් ගමන් කලයුතු දුරක ඔහු විසූ බව මම දැන සිටියෙමි.

'' නෑ මල්ලි මගෙ පරණ යාලුවෙක් ඉන්නව කටුගස්තොට.... මම මිනිහට පණිවිඩයක් දුන්න අද රෑ එනවයි කියල. ඒ කරල හෙට පාන්දරම ගෙදර යනව.''

'' අහ්...ඒක හොඳයි........කටුගස්තොටට නම් මොකක්ද මේ වෙලාවෙ විනාඩි දහයයිනෙ.....''

අලුත් බාගෙ බෝතලය විවෘත කල මම මගේ වීදුරුව පුරවාගෙන බෝතලය ගුණේ අයියා දෙසට තල්ලු කළෙමි.

'' ඉතිං අයියෙ....ස්ථානය...කුරුණෑගල බස් නැවතුම්පල.....වේලාව.....මධ්යාහ්නය පසුවී හෝරාවක් පමණ ගෙවුනු මොහොතක....හරි මොකද එතන ඒ වෙලාවෙ උනේ? ''

'' වෙන මොනව වෙන්නද මල්ලි මගෙ ජීවිතේම වෙනස් උනා.....මම එදා මට මතක විදිහට කෑම්ප් එකේ ඉඳල ගියේ ගෙදර යන්න කියල හිතාගෙන. බස් ස්ටෑන්ඩ් එකට ඇතුළු උනා විතරයි මගෙ ඉස්සරහට ආව ..........'' කතාව නතර කල ඔහු වීදුරුව හිස් කලේය. ඉන්පසු කතාකලේ ටික වේලාවක් නිශ්ශබ්දව මගේ හිසට අඩියක් පමණ ඉහළ ස්ථානයක් දෙස ඇසි පිය නොහෙලා බලා සිටීමෙන් අනතුරුවය.

'' මගෙ ඉස්සරහට ආවෙ රමණි.ඔය මම එයා අපි වෙන්වුනාට පස්සෙ දැක්කමයි. කෙට්ටුවෙලා අඳුනන්නත් බැරි තරමයි. ඇස් දෙකත් මලානික වෙලා. රමණිගෙ ඇස් දෙකට තමයි මම හුඟක්ම ආසා කලේ. එයාගෙ ඇස් කතාවක් කියන ඇස්.....මල්ලිට සමහර විට මම කියනදේ තාම තේරෙන්නෙ නැතිවෙයි. ඔයාල තාම පොඩි කොල්ලො. ඒත් එහෙම ඇස් තියනව මල්ලි.කතාකරන ඇස්, රමණිගෙ තිබ්බෙ එහෙම ඇස් දෙකක්, ඒත් එදා කුරුණෑගලදි මම දැක්ක ඒ ඇස් දෙක ගොළු වුනු ඇස් දෙකක්. ඒ ඇස් කතා කලේ නෑ. ඇඬුවා විතරයි.''

'' එහෙම්මම ගල්ගැහිල වගෙ හිටපු විනාඩියකට දෙකකට පස්සෙ අපි දෙන්නටම පියවි සිහිය ආව.එයාගෙ ඇස් දෙකේ කඳුළු මම දැක්කෙ බොඳ වෙච්ච චිත්රයක් වගේ. ඒ මගේ ඇසුත් කඳුලින් පිරිල තිබුණු නිසා.''

'' මේ කතාව මම මේ කාට හරි කියනවමයි.....හිතේ කවදාවත් නොමැකෙන විදිහට ඒ සිදුවීම ඇඳිල තියෙන එක ඇත්ත. ඒත් තව කාට හරි ඒ සිදුවීම විස්තර කරනව කියන්නෙ ආයෙම ඒ සිදුවීමෙ ජීවත් වෙනව වගේ......''

'' ඊට පස්සෙ එයා අඬන්න ගත්ත. අඬන්න ගත්ත කියනවට වැඩිය මම කැමතියි එයාට ඇඬුනයි කියල කියන්න.''

'' යමු රමණි මෙතන අඬන්න එපා....එන්න අපි යමු කොහාට හරි,...'' අපි ගියේ මගෙ යාළුවෙකුගෙ පොඩි හොටේල් එකකට.දවල්ට කන ගමන් අපි කතා කලා. මම මගේ විස්තර කිව්ව එයා එයාගෙ විස්තර කිව්ව. ඒ වෙනකොට රමණිට විවාහ ජීවිතේ අපායක් වෙලයි තිබුණෙ. ඒ විස්තර ඔක්කොම මා එක්ක කිව්ව. සැරින් සැරේ කඳුළු පිහින ගමන්.

අන්තිමට එයා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මගෙ ඇස් දිහා බලාගෙන මෙහෙම කිව්ව. '' ගුණේ....මට දැන් දිවිනහගන්ට තරම හිතිලයි තියෙන්නෙ.නැත්නම් අනිවාර්යයෙන් මට පිස්සු හැදිලයි නවතින්නෙ,මට වෙන කියන්ට කෙනෙක් නෑ.ඔයා විතරයි මට ඉන්නෙ. මාව කොහෙ හරි එක්ක යන්ට ගුණේ....මම ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි. ''

'' ඒ වෙලාව මල්ලි ක්ෂණික තීරණයක් ගතයුතු අවස්තාවක්.රමණි මෙගේ මුල්ම ආදරය...... ආදරය කියන එක මම ඉගෙන ගත්තෙ රමණිගෙන්. මගේ ජීවිතේ තියන තුරු රමණි මගෙ හිතෙන් මැකිල නොයන බවත් මට ඉර හඳ වගෙ ස්ථිරයි. රමණි එහෙම ආවට ගියාට ඉල්ලීම් කරන ජාතියෙ කෙනෙකුත් නෙවෙයි. මේ වෙලාවෙ ඉස්සරහට මොනව උනත් රමණිගෙ ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඕනය කියල මම ක්ෂණික තීරණයකට ආව.අර මම කලින් කියාපු ගාන්ධිතුමාගෙ කියමන මතකද මල්ලිට? ''

'' ඔව්...Do whatever you have to do without thinking about consequences... '' මම සෙමින් පැවසුවෙමි.

'' අන්න හරි..... මම කිව්ව හරි, රමණි මම ඔයාව එක්ක යන්නම්. මට දවසක් දෙකක් කල්දෙන්න කියල.ඒ වෙලාවෙ එයාගෙ ඇස් දෙකට ආයෙම පණ ආව. ඒ ඇස් මා එක්ක හිනා උනා. අපි හම්බ උනාට පස්සෙම රමණි හිනා උනේ ඒ වෙලාවෙ . ඒ හිනාව ආයෙ පාරක් දකින්න මේ ලෝකෙ ඕනම කැප කිරීමක් කරන්න මම සූදානම් කියල මම දැනගෙන හිටිය.ඒක මම එයාට කිව්ව.''

'' ඔයා ඔහොම හිනාවෙනව දකින්න ඕනම දෙයක් කරන්න මම සූදානම් රමණි. ''

'' මම දන්නව ගුණේ එයා කිව්වෙ එච්චරයි. ''

මතු සම්බන්ධයි.......

Thursday, November 24, 2011

66. නොහැඟවූ ආදරය......The Unexpressed Love......8

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

ජීවිතය සුපුරුදු ලෙස ගලා ගියේය.අපේ සුපුරුදු දින චර්යාව ඔබ දැන් දන්නා හෙයින් නැවත ඒ පැවසීමට මම නොවෙහෙසෙමි.

ඊළඟ මාසය තුල සිදු වූ වැදගත්ම සිදුවීම නම් වසන්ති සහ මා අතර ලියලාගෙන ආ සම්බන්ධය ඇණ සිටීමය.ඈ ප්රසන්න පෙනුමැති සේම මනා ගති ගුණැති තරුණියකද වූවා යයි ඔබට මා පවසා ඇත. එතෙකුදු වුව ජීවිත කාලයටම දුක් සැප බෙදාගැනීමට සහ කෙටියෙන්ම පැවසුවහොත් ජීවිතය බෙදාගැනීමට අප සොයනා ආත්ම සහකරුවකු (Soul Mate)තුල මා සොයනා ඒ අතිරේක යම් දෙය මම අවාසනාවකට මෙන් ඈ තුල නොදුටිමි.

I didn't find that extra something you search for in a soul mate ,which you can't define how much you try,

වර්තමානයෙහිදි නම් මේ අතිරේක යම් දෙය '' මෙව්ව එක'' යයි හැඳින්වෙනු ඇත.එසේනම් මෙසේ පැවසීමට මට අවසර.....වසන්ති කොපමණ රුවැති සහ යහ ගුණයෙන් යුත් තරුණියක වුවද ඈ තුල මා සොයන '' මෙව්ව එක'' මම නොදුටිමි. එබැවින් අපේ සම්බන්ධය එතෙකින් අවසන් විය.

මේ මෙව්ව එක පිළිබඳව ඇයට කෙසේ පැහැදිළි කරන්නද?මට හැකි අයුරු ඒ සඳහා තැත් කලද ඒ සාර්ථක විනියැයි මම නොසිතමි.ඊට මාස දෙකකට පමණ පසු ඈ අපගේ කාර්යාලයට වඩා ප්රධාන මාර්ගයට ආසන්න කාර්යාලයකට ස්ථාන මාරුවක් ලබාගෙන අපගෙන් සමුගත්තාය.ඇය ඉතා කාර්යශූර මෙන්ම ප්රියමනාප යුවතියක වූ බැවින් ඇගේ ස්ථාන මාරුවට හේතු වූයේ මා යයි එකහෙලා තීරණය කල මගේ මිතුරන්ගේ නොයෙක් දෝෂාරෝපණ වලට ලක්වීමට ද මා හට සිදුවිය.

වසන්ති වෙනුවට නව පත්වීමක් ලබා පැමිණි යුවතියක් අප කාර්යාලයේ සේවය සඳහා එවා තිබිණි. "මේ අලුතෙන් කෙල්ලක් ඇවිත් ඉන්නව ඔෆිස් එකට.මේ කෙල්ලටවත් ටික දවසක් කරදරයක් නැතුව මෙතන රාජකාරිය කරන්ට දීල උඹ මෙහාට වෙලා ඉඳහං තේරුණාද?....ඔෆිස් එක පලාතෙ යනව එහෙම නෙවෙයි හරිද?...." මා මිතුරෝ මට තහනම් නියෝග පැණවූවෝය.මම හිස සලමින් ඒ පිළිගන්නා බව හැඟෙව්වෙමි.

වසන්තිගේ කාර්යශූර ස්වභාවය නිසා ලොක්කා ද ඈ කෙරෙහි බෙහෙවින් කැමැත්තක් දැක්වූ අතර ඇගේ ස්ථාන මාරුවට මා සම්බන්ධ බවට ඔහුට සැලවී ඒ පිළිබඳව මගෙන් විමසනු ඇතැයි බිය වූ මම සතියක් පමණ ගත වන තුරු කාර්යාලය අසලට වත් යාමෙන් වැළකුණෙමි.

ඔහුට මා පිළිබඳව සැල නොවිනි ද එසේත් නොමැතිනම් සැළ වුවද ඒ පිළිබඳව මගෙන් විමසීම නුසුදුසුයයි සිතුනි ද නොදන්නෙමි, ලොක්කා කිසි දිනෙක මගෙන් ඒ පිළිබඳව නොවිමසීය.

ඊට වසරකට පමණ පසු ඈ මංගල යෝජනාවක් අනුව ඇගේ ගම් ප්රදේශය ආසන්නයේම තරුණයකු සමඟ විවාහ වූවාය.

අප කාර්යාලයේ මා ද ඇතුළුව ඈ කිට්ටුවෙන් ආශ්රය කල කීප දෙනෙකුට ආරාධනා කොට තිබූ බැවින් අපි ගිනිගත්හේන ප්රදේශයේ ඇගේ නිවසෙහි පැවති මංගලෝත්සවයට සහභාගි වුනෙමු.

උඩරට සාම්ප්රදායික මනාලියක මෙන් සැරසුණු ඈ ඇත්ත වශයෙන්ම වෙනදාටද වඩා රූමත් වූවාය.අවසන අප සමුගනිද්දි මට පමණක් ඇසෙන සේ සෙමින් ඈ මෙසේ ඇසුයේ සිනාසෙමිනි "තවම අර Special some thing එක තියන එක්කෙනා හම්බ උනේ නැද්ද?"

"නැහැ අනේ තාම හොයනවා " මම ද සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි.

"මොකද උඹල දෙන්නගෙ මුකුළුව තාම තියනවද?"මිතුරෙක් අසුවේ ආපසු එන ගමනේදීය.

"නෑ මේ අපි දෙන්නගෙ පොඩි කතාවක්...." මම හඬ නඟා සිනාසුනෙමි.

"හුහ්, පොඩි කතාවක්....මම කිව්ව කියල හිතාගං " ඔහු මා දෙස බැලුවේ නොපහන් දෑසිනි..."දැං තමයි පොඩි කතා...අච්චර අපූරු කෙල්ල...අපරාදෙ...."

"අපූරු නේන්නම්....හෙහ්, හෙහ්," මම ඔහුගේ පිටට වැරෙන් පහරක් ගසමින් සිනාසුනෙමි.

වසන්තී මෙසේ මගේ ජීවිතයෙන් නික්ම ගියාය.

නැවත ප්රධාන කතා පුවතට එළඹීමට සුදුසු කාලයයි සිතමි.

මෙසේ ඒකාකාරී ලෙස ගෙවී ගිය වසරකට ආසන්න කාලයකට පසු දෙදින වැඩ මුළුවකට සහභාගී වීමට අප ආයතනය විසින් මා නම් කරන ලදී. විදේශීය රාජ්ය නොවන සංවිධානයක් විසින් බරපැන දරණ ලද ඒ වැඩමුළුව මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන් හේතුකොටගෙන පරිසරයට සිදුවන බලපෑම සහ ඒ අවම කර ගැනීම වැනි හෝ ඒ හා සමාන මාතෘකාවක් යටතේ පැවැත්වුනු බව මගේ මතකයේ ඇත.

නුවර තිලංකා හෝටලයේ වැඩ මුළුව පැවත්වුනු අතර නේවාසික පහසුකම් එහි සලසා තිබුන ද නිවසේ සිට සහභාගී විය හැකි බැවින් මම නේවාසික පහසුකම් අනවශ්ය බව දැන්වීමි.

සුපුරුදු ලෙස බහුතරයක් විදේශීය සම්පත් දායකයින්ගේ දේශන, පටල දර්ශන (Slide Show ) ප්රශ්න සහ පිළිතුරු සැසි අතරින් ඇදීගිය වැඩ මුළුව දෙවන දිනයට එලඹිණි.

දෙවන දිනයේ වැඩ කටයුතු ඇරඹී ටික වේලාවක් ගත වූ පසු "Excuse me please" පවසමින් ශාලාවට ඇතුලුවී මට මඳක් දුරින් අසුන් ගත් පුද්ගලයා දුටු මට එතෙක් දැඩි අවධානයෙන් අධ්යයනය කරමින් සිටි පරිසර හානි වළක්වාගන්නා ක්රමෝපායයන් එකෙනෙහිම අමතක විය.

ඒ ගුණේ අයියාය.

මගේ මතකයේ රැඳී ඇති රුවට වඩා මඳක් කෘෂ වුවද පෙර නොවූ පරිදි මුහුණ පුරා පැතිරුණු රැවුලක් සහිත වුවද කිසිදු සැකයකින් තොරව ඒ ගුණේ අයියාය.

දෙතුන් වරක් මා ඔහු දෙස බැලූවද දැඩි අවධානයෙන් දේශකයා දෙස බලා සිටි ඔහු මා නොදිටීය.

දිවා ආහාරය සඳහා වූ විවේකයේදී මම ඔහු සොයා ගියෙමි.පිඟානක් ද රැගෙන ආහාර පෝළිමෙහි සිටි ඔහු පිඟාන පසෙක තබා මහත් ප්රී තියෙන් සිනාසෙමින් මා වැළඳ ගත්තේය.

"මල්ලි... අප්පේ දැකපු කල්.....ඉතිං ඉතිං කොහොමද? දැන් බැඳල එහෙමද?"

"තවම නෑ අයියෙ....."ඔහු පසුපසින් පෝලිමට එකතුවෙමින් මම පැවසීමි.

"ඊයෙ මට එන්ට බැරිඋනා මල්ලි, ලියුම හම්බ උනෙත් ඊයෙ. මල්ලි දන්නවනෙ එහාට ලියුම් යන්නෙ කොහොමද කියල....."

"අයිය තාම වැලිඔය ද?"

"ඔව් මල්ලි තාම එහෙ, තව අවුරුද්දක් වත් එහෙ ඉඳලම එනව..."

අවශ්ය දෑ බෙදාගත් අප පසෙක අසුන් ගෙන ආහාර ගන්න අතර කතාවට වැටුණෙමු.

ඔහු කාර්යාලයේ අනෙකුත් සහෝදර නිලධාරීන් පිළිබඳ ව දැඩි උනන්දුවෙන් කරුණු විමසීය. සියලු විස්තර පවසා අවසානයේ නිහඬව අප ආහාර ගැනීමෙහි යෙදුනු මිනිත්තු කිහිපයකට පසු ගුණේ අයියා මා දෙස නොබලාම හඬ අවදි කළේය.

"මල්ලි..මම ඇත්තටම මල්ලිව හම්බ වෙන්න ලොකු උවමනාවකින් හිටියෙ.මල්ලි මා ගැන මොන විදිහට හිතාගෙන ඉන්නවද කියල මම දන්නෙ නෑ..බොහෝවිට ඒ වැරදි චිත්රයක් වෙන්න හොඳටම ඉඩ තියෙනව."

රමණි අක්කා සියළු විස්තර සඳහන් කොට මට ලිපියක් එවූ බව ඔහු නොදන්නා බව මට පැහැදිලි විය. ඒ පිළිබඳව ඔහුට නොපැවසීමට ද මම තීරණය කළෙමි.

"අදින් වර්ක්ෂොප් එක ඉවරයිනෙ. හවස යමු කොහාට හරි. නිදහසේ කතාකරන්න පුළුවන් තැනකට."

"නිදහසක් නම් මන්ද අයියෙ....යමුකො මම එක්ක යන්නම් නියම තැනකට."

සවස පහට පමණ වැඩ මුළුව අවසන් වූ පසු ගමන් මල්ලක්ද උරයේ එල්ලාගත් ගුණේ අයියාද සමඟ මම දළඳා මාළිගය අසලින් වැව රවුම දිගේ පැමිණ කොටුගොඩැල්ල වීදියේ කාසල් අවන් හලට ගොඩ වැදුනෙමු.

මගේ මතකය නිවැරදිනම් කාසල් අවන්හල පිහිටා තිබුණේ වර්තමානයේ විජිත යාපා පොත්හල ඉදිරිපිට ඇඟලුම් වෙලඳ සැල ඇති ස්ථානයේය.

එකල නුවර නගරයේදී අප මිතුරන් හමු වීමේ සහ මත්පැන් ස්වල්පයක් පානය කිරීමේ මධ්යස්ථානය වූයේ කාසල් අවන් හලයි.

ප්රසිද්ධ අවන්හලක මත්පැන් පානය කොට නොමැති කෙනෙකුට එහි පවතින අධික ඝෝෂාව, කළබලය සහ සිගරට් දුමින් නිරතුරුව පිරුනු අවකාශය කිසිසේත් ඔරොත්තු නොදෙන්නක් වියහැකි බව මම පිළිගනිමි.

එසේම ඒ සියලු දුෂ්කරතා මධ්යයේ වුවද ප්රසිද්ධ අවන් හලක මත්පැන් පානය කිරීමේ ඇති "ගතිය" වෙනත් කිසිදු ලෙසකින් ලබාගත නොහැකි බව ද ඒ හා සමානම සත්යයකි.

සවස හයට වත් නොවූ ඒ අවස්ථාවේ අවන්හලේ මේස බොහොමයක් හිස් වී තිබිණි. පසුපස වූ මැද මිදුල ආසන්නයේ කෙලවරක වූ රවුම් මේසයක අසුන්ගත් මම ගුණේ අයියා දෙස බැලීමි.

"මොනවද ගුණේ අයියෙ?"

"ඕල්ඩ් හොඳයි මටනම්, මල්ලිට ඕන දෙයක් ඕඩර් කරන්න."

"හරි ඕල්ඩ් බාගයයි, සෝඩ බෝතලයයි, මාළු බැදපුව දෙකයි, වඩේ පහයි,ගෝල්ඩ් ලීෆ් හතරයි"

තව එක් පුද්ගලයෙකු සමඟ පමණක් මත්පැන් පානය කිරීම ආරම්භ කිරීමේදී ඒ මගේ සුපුරුදු ඇණවුමයි.

බාගේ බෝතලය විවෘත කල මම අසෝක වීදුරුවේ කට්ටය ලඟට එනතුරු සෝඩා මිශ්ර අරක්කු පුරවා ගතිමි."චියර්ස්" වීදුරු එකට ගැටූ අපි වීදුරු බාගයක් හිස්කොට මේසය මත තබා ඇඹුල් වූ මුහුණින් යුතුව මාළු කැබැල්ලක් හපන්නට වීමු.

දෙවන වඩියද පානය කල ඉක්බිති මම සිගරට්ටුවක් ද දල්වාගෙන ගුණේ අයියාගේ මුහුණ බැලීමි.

"ඉතින් ගුණේ අයියෙ......."අවසන් නොවූ වැකිය අවකාශයේ ඉල්පෙමින් ගුණේ අයියාට අවස්ථාව පාදා දුන්නේය.

මතු සම්බන්ධයි.......

Wednesday, November 23, 2011

65. නොහැඟවූ ආදරය......The Unexpressed Love......7

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

" ඩැනියෙල්.....මට ගේන්න පුතා...කහට එකක්....'' පවසමින් කාමරයට ඇතුළු වූ මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කොට එයට ඇලවීමි.පොත් පත් පවා කියවීමේ මගේ ප්රියතම ඉරියව්ව අදට ද එයයි.

ලියුම් කවරය කඩා ඉන් ලිපිය ඉවතට ගත් මම මුලින්ම ඒ දිගහැර ලිපිය අවසානයට නෙත් යොමු කලේ ලිපිය එවූයේ කවුරුදැයි දැනගැනීමටය....රමණි අක්කා.....මගේ සිතෙහි වූ සැකය ස්ථිර විය.

වහා ලිපිය දිගහැරි මම ඒ නොඉවසිල්ලෙන් කියවන්නට වූයෙමි.

දයාබර මල්ලී,

මේවගේ ලියුමක් ඔයාට ලියන එක හරිද නැද්ද කියල මම සෑහෙන දවසක් කල්පනා කලා. අන්තිමට මම තීරණය කලා අපි අපේ හිත් වලට අවංක නම් හෘද සාක්ෂියට අවංක නම් ගැටළුවක් ඇතිවෙන්න කොහෙත්ම විදිහක් නැහැනෙ කියල.

ගුණේගෙයි මගෙයි කතාව මම මුල ඉඳල පටන් ගන්නම්. ඔයා දැනටම මේ කතාව දන්නවද කියල මම දන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ ඔයාට දැනගන්න විදිහක් නෑ.

උණු තේ බඳුන රැගෙන ආ ඩැනියෙල් ඒ ඇඳ අසල ලියන මේසය මත තබා පිටවිය. තේ කෝප්පය අතට ගෙන උගුරක් පානය කල මම නැවත රමණි අක්කාට සවන් දුනිමි.

ලක්ෂ්මී ගුණේව හොයාගෙන ආව කියල මම දන්නව.එදා අපි දෙන්න ඔහෙ ඉඳල එනකොට මගදිම ගුණේට ආරංචි උනා අපි දෙන්න ගැන කියල කවුද ලක්ෂ්මීට යවපු නිර්නාමික ලියුම ගැන.මම ඒත් ඇහුව මම එන්නද ලක්ෂ්මීට වෙච්ච දේ පැහැදිලි කරල දෙන්න කියල. ගුණේ කිව්ව " නෑ, රමණි , ඕන නෑ, මේ වෙලාවෙ ඔයා ලක්ෂ්මී හම්බ වෙන්න යන එකෙන් ප්රශ්නෙ තව උග්ර වෙන්න පුළුවන්. ඒ නිසා ඕන නෑ. ටික දවසක් ගියාම මම කතාකරන්නම් එයාට" කියල.

ගුණේයි මමයි එකම පංතියෙ හිටියෙ... තුනේ පංතියෙ වගෙ ඉඳල. ඇත්තටම ගුණේ ඉගෙනීමට දක්ෂයි. කැම්පස් සිලෙක්ට් උනත් යන්න බැරිඋනේ අඟ හිඟ කම් නිසා.මම අනික් විෂයයන්ට වඩා දක්ෂ උනේ සංගීතයට. සංගීතයට මගෙ තිබුණ උපන් හැකියාවක්.....මතකනෙ එදා රෑ ගේ පිටිපස්සෙ අපේ සාදය. ඒ මගේ ජීවිතේ අමතක නොවන දවසක් ....මට ජාති ජාති ඒ දවස මතක තියේවි.

ලිපිය කියවීම පසෙක තබා මම තේ උගුරක් යලි පානය කලෙමි. එදා රෑ ඈ ගී ගැයූ අයුරු මගේ මනසේ යලි දිස් වන්නට වූයේ චිත්රපටයක් නරඹන අයුරිනි. දෑස් පියාගත්වනම අතීත මතකයන්හි සැරිසැරූ නිමේශයකට පසු මම යලිත් ලිපියට අවතීර්ණ වූයෙමි.

ඉතින් ආයෙම අපෙ කතන්දරේට ගියොත්, ගුණේ මට ආදරෙයි කියල කිව්වෙ හතේ පංතියෙදි. ඒ වෙනකොට මමත් එයාට ආදරේ කරන්න පටන්ගෙන තිබුණු නිසා කිසිම ප්රශ්නයක් උනේ නෑ. මම කැමතියි කිව්ව.ඒ ලෙවල් කරල ගුණේ පවුලෙ ප්රශ්න නිසාම ඔය රස්සාවට ගියා. ගුණේලගෙ පවුල බරපතලයි. නංගිල හැමෝගෙම බර වැටුනෙ එයාගෙ කරපිට.

මට සංගීතය උගන්වන්න පත්වීමක් ලැබුණ අපේ ගමට කිට්ටුව ඉස්කෝලෙක.ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිල ගියා.අපේ ආදරයත් බොහොම නිවී සැනසිල්ලෙ ගලා ගියා.ප්රශ්න මතු උනේ අපේ ගෙදරින් මට විවාහයක් ගැන බලකරන්න පටන් ගත්තට පස්සෙ. ගුණේ ගැන මම කිව්වම අපේ අම්ම අප්පච්චි නෑදෑයො එකහෙලාම විරුද්ධ උනා.අපේ පවුල ඒ පැත්තෙ හැටියට යමක් කමක් තිබුණු පවුලක්.ගුණේලගෙ දුප්පත්කම ඒ වගේම පවුලෙ බරපතලකම ඔය ඔක්කොම ගුණේට විරුද්ධව අපෙ කට්ටිය පාවිච්චි කරපු තුරුම්පු.

ඒ ඔක්කෝටම වැඩිය හුඟක්ම ගුණේගෙ අවාසියට හිටියෙ එයාගෙ තාත්ත එයාල පොඩි කාලෙම වෙන ගැහැණු කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන ගමෙන් ගිහින් තිබුණු එකයි. ඒ එක කාරණයක් වත් ගුණේගෙ වැරදි නෙවෙයි කියල මම ගෙනාපු තර්ක, හැඬුම් වැළපුම්, දිවි නසා ගැනීමේ තර්ජන එකක්වත් සාර්ථක උනේ නෑ. අපෙ වැඩිහිටියො එක හෙලාම කියා හිටිය මේ වැඩේට නම් කොහොමවත්ම ඉඩ දෙන්ට බැහැමයි කියල.

ඒ හැම එකක්ම නොසලකා මම ලෑස්ති වෙලා හිටිය ගුණේ එක්ක හිතුවක්කාරෙට විවාහ වෙන්න. ඒත් එයාට පවුලෙ වගකීම් වැඩියි. නංගිලට උගන්නන්න බන්දල දෙන්න ඒ ඔක්කොම කරන්න වෙලා තිබුණෙ එයාට. අනික අපි දෙන්න හිතුමතේට කසාද බැන්දොත් එයාලගෙ පවුලට අපෙ කට්ටිය අතින් කරදරයක් වෙයි කියන බය අපි දෙන්නගෙම හිතේ හොල්මන් කලා.ඒ නිසා මල්ලි අවසානයේ අපි දෙන්න තීරණය කලා වෙන් වෙන්න.කුරුණෑගල වැව රවුමෙදි දවසක් හවසක හම්බ වෙලා මම මගේ ප්රථම ප්රේමයට නැවතීමේ තිත තිබ්බ.


තේ කෝප්පය අතට ගත් මම හොඳටම නිවී තිබුණු ඉතිරි තේ ස්වල්පය එක උගුරට පානය කළෙමි.

ඊට අවුරුද්දකට දෙකකට විතර පස්සෙ මම කසාද බැන්ද. මම බැන්දෙ කොහුමෝලක් එහෙම තියන සල්ලි කාරයෙක්. ගෙදරින් ගෙනෙන යෝජනා වලින් බේරෙන්න බැරිම තැන මම ඒ යෝජනාවට කැමැත්ත දුන්න.

මම ඇත්තටම මල්ලි විවාහ ජීවිතේ සාර්ථක කරගන්ට මගෙ උපරිම උත්සාහය දැරුව.අපෙ ගෙවල් දොරවල් බලන්ට එයා ආපු මුල්ම දවසෙ මම එයාට ගුණේ ගැන කිව්ව. ඒ කරල කිව්ව මම හොඳ බිරිඳක් වෙන්න උපරිම උත්සාඝ කරන්නම් ඒත් මට ඒකට කල් දෙන්න කියල. එයා හිනාවෙලා ඒකට එකඟ උනා. " ප්රශ්නයක් නෑ ඔයාට ඕන තරම් කල් ගන්න'' එහෙමයි එයා එදා කිව්වෙ.

මුලදි අපෙ විවාහ ජීවිතේ කරදරයක් නැතුව ගෙවිල ගියාට ටික ටික එයා වෙනස් වෙන්න ගත්ත.අපිට දරුවො නොහිටිය එකත් ඒකට ප්රධාන හේතුවක්. මම දොස්තර කෙනෙක් ළඟට යමුය කියල කොච්චර කිව්වත් එයා ඒකට කැමති උනේ නෑ. මගේ වැරැද්ද කියල මට නොකිය කිව්ව.හරි මල්ලි...ඒ වැඩි විස්තර කියල මල්ලිට වදයක් වෙන්නවත් මේ ලියුම දිග්ගස්සන්නවත් මට උවමනා නෑ.එකක් විතරක් කියන්නම්. එයා ඒ කිව්වෙ මගෙ මහත්තය නිතරම කිව්වෙ මම තාම හිතන්නෙ ගුණේ ගැනය කියල. ඒක ඇත්ත....ජීවිතේ මුළු හදවතින්ම කල ආදරයක්..... ඒකත් මගේ මුල්ම සහ එකම ප්රේමය, එහෙම සුදු බිත්තියක කහ පාට ගාල සුද මකල දානව වගෙ එක පාරට මකල දාන්න පුලුවන්ද?

එහෙම කරන්න ඇත්තටම පුළුවන්ද නම් මම දන්නෙ නෑ. ඒත් අඩු ගනනෙ එහෙම උත්සාහයක් දරන්න වත් තමන් බැඳපු පිරිමියා නැත්නම් ගැහැණියගේ සහයෝගය අත්‍යාවශ්‍යයයි.මගෙ මහත්තයගෙන් මට එහෙම සහයෝගයක් කොහෙත්ම ලැබුණේ නෑ.

ඔහොම ජිවිතේ මිහිපිට අපායක් වෙලා තිබුණු කාලෙක තමයි මට කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි ගුණේ හම්බ උනේ. මම බැඳල ගියත් හරි මට ගුණේ හම්බ උනේ ඔය පළවෙනි වතාවට.බස් එකෙන් බැහැල මම මොනවහරි දෙයක් ගන්ට බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආව. ගුණේ මම හිතන්නෙ ඔයාලගෙ කෑම්ප් එකේ ඉඳල ඇවිත් එයාලගෙ ගෙදර යන්න බස් එකට නගින්ඩ ආව. ඒ ගිණි මද්දහනෙ දෙනෝදාහක් මැද්දෙ අපි දෙන්න ගල් උනා වගෙ එකිනෙකා දිහා බලාගෙන එහෙමම ඉන්න ඇති විනාඩි ගානක්.කිසිම දෙයක් කිසිම ශබ්දයක් නෑසී මුලු ලෝකෙම අපි දෙන්න විතරක් උණු ඒ විනාඩි ගණන මගෙ හිතේ අදටත් නොමැකෙන විදිහට ඇඳිල තියනව මල්ලි.

ටික වෙලාවක් එහෙමම ඉඳල අපි දෙන්නම පියවි සිහියට ආව.මගෙ කඳුළු මට වළක්වගන්න බැරිඋනා. ඇත්තටම නම් වළක්ව ගන්න උත්සාහයක් මම ගත්තෙ නෑ කිව්වොත් ඒක තමයි සම්පූර්ණ ඇත්ත.

" අඬන්න එපා රමණි...එන්න යමු කොහාට හරි......'' ගුණේ මගෙ අතින් අල්ලගත්තෙ නෑ. මම එයාට අඩි කීපයක් පසුපසින් ......අපි දෙන්න ගියා පුත්තලම් පාරෙ එයාගෙ යාළුවෙකුගෙ රෙස්ටෝරන්ට් එහෙකට.

උඩ තට්ටුවෙ දවල්ට කන ගමන් එයා මගෙන් ඇහුව මගෙ විස්තර...

'' කලින් මට ඔයාගෙ විස්තර කියන්න ගුණේ....ඔය බැන්ද කියල මම දන්නව ඒත් එතනින් එහාට මොකවත්ම මම දන්නෙ නෑ ''

'' ඔව් දරුවො දෙන්නෙක් ඉන්නව....''

'' ඔයා සතුටින්ද ඉන්නෙ?''

'' ඔයා දන්නව රමණි මට කවදාවත් සතුටින් ඉන්න බෑ කියල..ඒත් ලක්ෂ්මීයි මායි දරු දෙන්නයි හොඳින් ඉන්නව..ඔයා?''

'' මේව කියල ඔයාගෙ හිත පාරනවට මට සමාවෙන්න ගුණේ...ඒත් මම ඉන්නෙ අපායක. මට ජීවිතේ නහගන්න තරමට හිතිලයි තියෙන්නෙ.''

එයා මගේ අත අල්ලගත්ත. මම ඒ උණුසුමට, එයාගෙ ස්පර්ශයෙ මට දැනුනු ආරක්ෂාවට තුරුලු උනේ කාලෙකින් නොලැබුනු ඒත් හිත හැමදාම බලාපොරොත්තු වුනු සුන්දරත්වයක් මුළු හිතින්ම විඳ ගනිමින්.

'' ගුණේ මම මෙහෙම කියන එක එක අතකට... නෑ හැම අතින්ම අසාධාරනයි. ඔයාගෙ ජීවිතේටත් මම මේ කරන්නෙ අයුතු බලපෑමක්.''

" නෑ අයුතු කියන වචනෙ කියන්න එපා. ඔයාට ඒ අයිතිය තියනව. කියන්න රමණි මොකක්ද මම කරන්න ඕන...''

'' අනේ මාව කොහෙ හරි එක්කගෙන යන්න ගුණේ.....නැත්නම් එක්කො මට පිස්සු හැදෙයි නැත්නම් මට වෙන්නෙ ජීවිතේ නැතිකරගන්න...''

මල්ලි මම මේ කියන්නෙ ඇත්ත. ඒ වගෙ එයාගෙ මුලු ජීවිතේම ආපහු හරවන්ඩ බැරි විදිහට අනතුරේ වැටෙන තීරණයක් ගන්න ගුණේ එක මොහොතක් වත් පැකිලුනේ නෑ,

'' හරි රමණි...මම දන්නව ඔයා ගැන. මේ ලෝකෙ අනික් හැමෝටම වැඩියෙන් ඔයා ගැන දන්නෙ මම. හරි මම ඔයාව එක්ක යන්නම්....මට උපරිම දවස් හතරක් නැත්නම් පහක් කල් දෙන්න. මම ඔයාව එක්ක යන්නම්.''

මාව එක්ක යන්නෙ කොහාටද?.....කොච්චර කාලෙකටද?...මගෙ හිතේ ඒ කිසිම ප්රශ්නයක් ඇති උනේ නෑ....මම ගුණේගෙ ඇස් දෙක...ජීවිත කාලයක් මම ආදරය කල ඒ ඇස් දෙක දිහා බලාගෙන එයාගෙ අත් දෙකම අල්ලගත්ත. ඊට පස්සෙ මතක ඇති කාලෙකින් හිත පතුලෙන්ම සැහැල්ලුවෙන් හිනාඋනා.

'' රමණි ඔයා ඔහොම ආයෙම හිනා වෙනව දකින්න මම ඕනම දෙයක් කරන්න සූදානම්...මේ ඇත්තමයි.''

'' මම දන්නව ගුණේ...'' මම කිව්වෙ මේ මුළු ලෝකෙම අමතක වුනු ගානට.

එතනින් පස්සෙ වුනේ මොකක්ද කියල මල්ලි දන්නව. මම ගුණේ එක්ක ඔයාලගෙ කෑම්ප් එකට ආව. ඒ ගත කරපු මාසෙකට කිට්ටු කාලෙ මගේ ජීවිතේ අමතක නොවන කාලයක්.මගෙ සතුට පිරිල ඉතිරිල ගිය කාලයක්.මට ජීවිතේට මූණ දෙන්න අවශ්ය ශක්තිය පන්නරය අඩුවක් නැතුව මට ලැබුණෙ ඒ කෙටි කාලෙදි. තමන්ට ආදරය කරන තමන් ආදරය කරන කෙනෙක් එක්ක ගත කරන කෙටි කාලයක් උනත් කල්පයක් වගෙ වටිනව.ඔයාල ඔක්කොටමත් මම ස්තූති කරන්න ඕන. විශේෂයෙන් මල්ලි ඔයාට.

අපි එදා ආවට පස්සෙ කුරුණෑගලදි වෙන්වුනාට පස්සෙ මට ආපහු ගුණේ හම්බ උනේ නෑ. මම එයාට කිව්ව ඔයා මා වෙනුවෙන් කරපු කැපකිරීම හොඳටම ඇති, තවත් ඔයාට කරදර කරන්ට මට බෑ,මගේ ජීවිතේ ඉදිරිය ඔහෙ ගෙවෙන විදිහකට ගෙවුනාවෙ.ඔයා හැමදාම මගේ හිතේ ඉඳීවි. ඔයාගෙ හිතෙත් මම ඉන්න බව මම දන්නව. මට ඒ ඇති හොඳටම...කියල. ඒ කරල ටික වෙලාවක් අපි දෙන්න අපි දෙන්නගෙ ඇස් දිහාවෙ බලන් ඉඳල අපි සමු ගත්ත.

මගෙ මහත්තයට මම කෙලින්ම කිව්ව මේ විදිහට ජීවත් වෙන්න බෑ. කරුණා කරල අපි දික්කසාද වෙමු කියල. එයා නඩු දාල තියෙන්නෙ. ගිය සුමානෙ එයාගෙ ලෝයර්ගෙන් මට ලියුමක් ආව.මම උගන්නන ඉස්කෝලෙ කිට්ටුවම පොඩි ගෙයක් කුලියට අරගෙන ඉන්නෙ. ආපහු ගෙදර යන්න මගෙ අදහසක් නෑ මල්ලි.

ඉතින් ඔන්න ඔහොමයි මගෙ කතාව. ලියුම නම් බොහොම දික් උනා. ඒත් මේ කතාව ඔයාට කියන්න මට ලොකු ඕන කමක් තිබ්බ. ඔයා දන්නවද ඒ ඇයි කියල....ඔයා මට ආදරය කලා කියල මම දැනගෙන හිටිය.

ලිපිය කියවීම නතර කල මම සාලයේ මේසය මත වූ ගුරුලේත්තුවෙන් වත් කරගත් වතුර වීදුරුවක් එක හුස්මට පානය කලෙමි.

දෙයියෝ සාක්කි, මම එයාට ආදරේ කලා කියල රමණි අක්ක දැනගෙන තියෙන්නෙ කොහොමද?.....ගුණේ අයියත් දැනගෙන ඉඳලද තියෙන්නෙ ඒ කියන්නෙ?......හපොයි හතර විළිලජ්ජාවයි, ඉඳල ඕන නෑ....

ඔයා මට ආදරේ කලා කියල මම දැන ගත්තෙ කොහොමද කියන එක දැන් ඔයාට ප්රශ්නයක් වෙලා අති නේද මල්ලි?....ආදරේ හංගන්න බෑ මල්ලි, හංගන්න කොච්චර හැදුවත් එක බැල්මකින් වචනයකින් ඉරියව්වකින් ඒක දැනෙනෙව. විශේෂයෙන් ඒ ආදරයට ඉලක්ක උන කෙනාට.ඔයාට ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නෑ. ආදරය කියන එක ස්වාභාවික දෙයක් අපි හැමෝටම ආදරේ අත්යාවශ්යයයි.ආදරේට සීමා මායිම් නෑ කියන්නෙ නිකමට නෙවෙයි මල්ලි.

හරි මට කියන්න ඕන ටික මම කිව්වා. මට ඕන උනේ ඔයාගෙ හිතේ මා ගැන වැරදි අවබෝධයක් තියේනම් ඒක නැතිකරන්න විතරයි,

එහෙනම් මල්ලි ඔයාට සුබ අනාගතයක්,

රමණි අක්කා,

රමණි අක්කාගේ ලිපිය අතේ ගුලිකරගත් මම එලෙසම ඇඳේ දිගාවී සිවිලිමෙහි කැරකෙන විදුලි පංකාව දෙස බලාගත්වනම කොපමණ වේලාවක් සිටියාදැයි මට මතක නැත. එහෙත් ඒ අවම වශයෙන් පැයකට ආසන්න කාලයක් විය යුතුය.

'' මොකද මහත්තය කලුවරේම? '' අසමින් කාමරයට පිවිසි ඩැනියෙල් නිසා දැහැනින් මිදුණු මම සාලයට පැමිණියේ සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. සාලයේ තිබූ ඇඳි පුටුවක්ද රැගෙන මිදුලේ ජෑම් ගහ යටට ගිය මම දිගු සුසුමක් හෙලා එහි හිඳගත්තෙමි.

රමණි අක්කාගේ ලිපිය එතෙකුදු සුරතේ ගුලිවී තිබෙනු මා දුටුවේ වැලමිට අසල වැසූ මදුරුවකු තලා දැමීමට සුරත එසවූ විටය.

මතු සම්බන්ධයි.......

64. නොහැඟවූ ආදරය......The Unexpressed Love......6

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

" තෑන්ක්ස් මල්ලි...මම ඇත්තටම බඩගින්නෙ.... හිටියෙ අද ආපහු යනකොට කීය වෙයිද මන්ද?.......'' ඈ පැවසූයේ බත් ස්වල්පයක් බෙදා ගන්නා අතරය.

'' බෙදාගෙන කන්න... ඔන්න මම බෙදන්නෙ එහෙම නෑ.....'' මේසය මත වූ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත් කරගන්න අතර මම පවසුවෙමි.

'' රමණි මියුසික් ටීචර් කෙනෙක්......'' නිහඬව ආහාර ගනිමින් සිටි ඈ එක්වරම පැවසුවාය.

'' මට හිතුනා.......'' නිතැනින්ම මට පැවසුනේ රමණි අක්කාගේ මියුරු ගායනය සිහිවූ බැවිනි.

ලක්ෂ්මී හිස ඔසවා මදෙස බැලූ නමුදු මා එසේ සිතුවේ ඇයිදැයි විමසූයේ නැත.

'' රමණි අක්ක බැඳල ද?......'' මම ඒ වදන් පිටකලේ බොහෝ ආයාසයෙනි.

'' ඒක නම් මම දන්නෙ නෑ හරියටම.....මම ඔය වැඩි විස්තර ගුණේගෙන් අහන්නෙත් නෑ...එයා කියන්නෙත් නෑ......ඇති මල්ලි කෑව..'' ඈ නැඟීසිට අත සෝදාගත්තාය.

'' ඩැනියෙල්.....ගිහිල්ල මුතුබණ්ඩට කියන්න ලොකු මහත්තය කිව්වයි කියල කදුරුවෙලට යන්න ඩීසලුත් ගහගෙන එන්නෙයි කියාල. '' මම ඩැනියෙල් පිටත් කලේ ජීප් රථයේ රියදුරාට පණිවිඩය දෙනු පිණිසය

වතුර වීදුරුව ද රැගෙන ඈ නැවත වරක් අසුනට බර වූවාය. '' මල්ලි ගුණේ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. මගෙ ජීවිතේට හම්බ වෙච්ච හොඳම ගතිගුණ තියෙන පුද්ගලයයි කියල බය නැතුව කියන්න පුලුවන්. මටයි දරුවො දෙන්නටයි කිසිම අඩුවක් කලේ නෑ. හරිම ආදරෙන් සැලකුව. අපි දෙන්න අතරත් ප්රශ්න තිබ්බෙම නෑ කියන්න පුලුවන්. ඔය කොයි පවුල් වලත් ඇතිවෙන පොඩි පොඩි හිත් අමනාපකම් ඇරෙන්න.... එව්ව එවෙලෙට ඉවරයි.'' කතාව මදකට නතර කල ඕ වතුර වීදුරුව අවසාන වනතෙක් පානය කලාය.

අනතුරුව ඇරුණු දොරින් පෙනෙන මිදුලේ දැඩි අව්ව නිසා හේබාගිය රෝස පඳුරු කීපය දෙස මොහොතක් බලාසිට දිගු සුසුමක් හෙලුවාය.

'' ඒත් ගුණේ මෙහෙම කළේ ඇයි ද කියන එක මට හිතාගන්න බැරි ප්රශ්නයක්....ගුණේ එහෙම ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙවෙයි...ඒ නිසා දරු දෙන්න වෙනුවෙන් මම වෙනුවෙන් ඒ ඔක්කෝටම වැඩිය ගුණේ වෙනුවෙන් මම එයාට අවස්ථාවක් දෙනව.....''

'' ඒක හොඳයි අක්ක....'' ඈ මට වැකිය අවසන් කිරීමට ඉඩ නොදුන්නාය.

'' ඉන්න මම කියල ඉවර වෙන කල්....මල්ලි හිතන එක නෙවෙයි මම කියන්න යන්නෙ, මම එයාට අවස්ථාවක් දෙන්නෙ මේ කරපු දේ ගැන හේතු පහදන්න. ඊට පස්සෙ ගුණේට කියන්න හේතුවක් ඇත්නම් ඒ හේතුයි, දරුවන්ගෙ සහ අපේ අනාගතයයි ඔක්කොම සාධාරණව සළකල බලල මම තීරණයක් ගන්නව.''

ඇගේ හඬෙහි වූයේ දැඩි තීරණාත්මක බවකි.එහෙත් දෙතොලග මද සිනහවක් ද නලියනු මම දුටිමි.

ඇගේ වදන් මෙන්ම ඒ ස්වරය ද ඈ කෙරෙහි දැඩි අනුකම්පාවක් මුසු වුනු ගෞරවයක් වැනි හැඟීමක් මසිත පිරී ගියේය.

'' ස්තූතියි මල්ලි හැමදේටම.....අපි ආයෙ බොහෝ වෙලාවට හමු වෙන්නෙ නැතිවෙයි....ඒත් ආයෙමත් ස්තූතියි ඔයාට....'' ඈ සමුගනිමින් පැවසුවාය.

එදින කදුරුවෙලට පැමිණි මම කුරුණෑගල බලා යන බස් රථයක ඇය නංවා ආපසු පැමිණියෙමි. ඒ මා ඈ දුටු අවසන් අවස්ථාවය. ඉන්පසු කිසිම දිනෙක මම ඈ නුදුටිමි.

ගුණේ අයියා එම සිද්ධියෙන් පසු නැවත අප කඳවුරට පැමිණියේ නැත.ඒ සමයෙහි වවුනියාවට එපිට යුද කලාපයෙහි නව ව්යාපෘතියක් අප ආයතනය මඟින් අරඹා තිබිණි. එහි සේවයට යාමට බහුතරයක් මැළිවූ අතර එහි සේවය සඳහා යවනු ලැබූවන් පවා කලේ හැකි විගස අපසු ස්ථාන මාරුවක් ලබාගෙන පැමිණීමටය. ගුණේ අයියා එහි සේවය සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව එහි ගිය බව සතියකට පමණ පසු අපට දැන ගන්නට ලැබිණ.

කඳවුරේ අපේ ජීවිතය සුපුරුදු ජීවන රටාවට නැවත හැඩ ගැසිනි.සුපුරුදු ලෙස දවස පුරා රාජකාරිය, සවස ක්රිකට් හෝ මේස පන්දු ක්රීඩාව, දින කිහිපයකට වරක් මත්පැන් සාදයක් පැවැත්වීම ඒ සුපුරුදු ජීවන රටාවේ ප්රධාන කටයුතු විය.ඊට අමතරව මගේ දින චර්යාවට එකතු වූ නවතම අංගය වූයේ ලොක්කා කාර්යාලයෙහි බැහැරව ගිය අවස්ථාවන්හි කාර්යාලයේ ලිපිකාරිනිය වූ වසන්ති සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමය.ප්රිය මනාප යුවතියක වූ ඕ මා කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. රමණි අක්කාගේ ආගමනය හේතු කොටගෙන වසන්තිට ප්ර‍තිචාර දැක්වීමට මට අවස්ථාවක් නොලැබිණි.

ගුණේ අයියා සහ රමණි අක්කා මාසයකට කිට්ටු කාලයක් දිවි ගෙවූ විවාහක නිවෙසට සති දෙකකට පමණ පසු අපගේ ගබඩා භාරකරු වූ චන්දරේ ඔහුගේ බිරිඳ සමඟ පදිංචියට පැමිණියේය. ඔහුගේ බිරිඳ හා අපේ ඇසුර ක්රිකට් පිති ආදිය ද රැගෙන ඔවුන්ගේ නිවෙස ඉදිරියෙන් පිටිය කරා ගමන් කරද්දී ඇය ගෙමිදුලෙහි සිටියහොත් " අක්කා, කොහොමද ඉතිං? '' යයි විමසීමට සහ සුහද සිනහවකට සීමා විය.ඉඳහිට නිවසෙහි පිටුපස වීර ගස දකින විට රමණි අක්කාගේ ගී ගැයුම මගේ සිතේ සැඳෑ අහසක දිස්වන විදුලියක් මෙන් ඇඳීගොස් එකෙනෙහිම මැකී ගියේය

චන්දරේට ඔහුගේ බිරිඳ සමඟ නිවසෙහි පදිංචියට ඒමට සති දෙකක කාලයක් ගත වූයේ ද ගුණේ අයියාගේ සිද්ධියෙහි අතුරු ඵලයක් හේතු කොටගෙනය. ගුණේ අයියාගේ බිරිඳ පැමිණ ගොස් දින දෙකකට පසු කාර්යාලීය දැන්වීම් පුවරුවේ මෙවන් දැන්වීමක් ප්රදර්ශනය කොට තිබිණි.

චක්රලේඛන අංක......

සියලු නිලධාරීන් / සේවකයින්ගේ දැන ගැනීම සඳහා,

වහාම ක්රියාත්මක වන පරිදි කඳවුරේ විවාහක නිවාස සඳහා අයදුම්කරුවන් පහත සඳහන් ලිපිලේඛන අයදුම් පත්රය සමඟ අමුණා ඉදිරිපත් කල යුතුය.

1. විවාහ සහතිකයේ ඡායාස්ථිති පිටපතක්

2. කලත්රයාගේ ජාතික හැඳුනුම් පතෙහි ඡායාස්ථිති පිටපතක්

ඉහත ලිපි ලේඛන සමඟ ඉදිරිපත් නොකරන අයදුම්පත් කුමන හේතුවක් කරණ කොටගෙන හෝ සළකා නොලබන බව වැඩි දුරටත් දන්වා සිටිමි,


----------------
ප්රධාන ඉංජිනේරු,

චන්දරේ ගේ විවාහ සහතිකය අස්ථාන ගතවී තිබූ බැවින් කච්චේරියෙන් එහි පිටපතක් ලබාගෙන ඉදිරිපත් කරන තෙක් ඔහුට විවාහක නිවසෙහි පදිංචිය සඳහා අවසර නොලැබුණි.ඊට සය මසකට පමණ පෙර පැවැත්වුණු ඔහුගේ විවාහ මංගල්යයට ලොක්කා ඇතුළු අප සැම සහභාගී වුවද විවාහ සහතිකය ඉදිරිපත් කරන තුරු ඔහුට නිවාසය ලබා නොදීමට ලොක්කා ගත් තීරණයෙහි ඔහු එළෙසම රැඳී සිටියේය.

මසක් පමණ මෙසේ ඒකාකාරීව ගෙවී ගියේය.

මේ අතර රමණි අක්කා පිළිබඳ මතකය මෙන්ම ගුණේ අයියාගේ බිරිඳ ලක්ෂ්මී අක්කා පිළිබඳ මතකය ද කෙමෙන් මගේ සිතින් විය යුතු ලෙසම ගිලිහී යමින් තිබිණි

වසන්තී සමඟ වූ මගේ උකුළු මුකුළුව ද එක්තරා දුරක් ගමන් කොට යුවතියක හා සම්බන්ධයක් ඇරඹීමේදී ස්ථිර පොරොන්දුවක් ලබා නොදී යා හැකි උපරිම දුරට ලඟාවී එහි නතර වී තිබිණි. ඇය ප්රසන්න එමෙන්ම හොඳ ගති ගුණැති තරුණියක වුවද ඇයට මගේ කැමත්ත ප්රකාශ කිරීමට මා පසුබට වීමි. ඒ පිළිබඳව විමසූ මගේ මිතුරන්ට මම පැවසූයේ ''මම දන්නෙ නෑ බං මටත් හරියට හේතුවක් හිතාගන්න බෑ" ආකාරයේ පිළිතුරුය.

එක් දිනෙක මාහට රාජකාරියක් නොයෙදී තිබුනු සවසක මම කාමරයේ ඇඳෙහි දිගාවී කව් පෙලක් පබැඳීමට තැත් කරමින් සිටියෙමි.පසුගිය මසක කලක් තුල මා විඳි අත්දැකීම් කව් පොතක් පවා ලිවීමට සෑහෙන බව මම දැන සිටියෙමි.කුමක්දෝ අවශ්යතාවයකට කාර්යාලයට ගොස් සිටි ඩැනී මගේ කාමරයට පැමිණියේ මෙවිටය.

'' මහත්තය...වසන්ති මිස් මහත්තයට එන්න කිව්ව....''

මගේ හිතේ ඈ ගැන ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක් දැයි හරිහැටි වටහා ගන්නා තෙක් ඈ හමුනොවීමට මම තීරණය කර සිටියෙමි.එසේ හරිහැටි තීරණයක් නොමැතිව තවදුරටත් ඈ හා ආශ්රය කිරීම ඇයට කරන අසාධාරණයක් බව මම ඇයට පහදා දුනිමි. ඈ එයට එකඟ වූවාය. එබැවින් හදිසියේම ඈ මට හමුවන ලෙස දැන්වීම මසිතේ ඇතිකලේ නොරිස්සුමකි.

'' මොකටද ඩැනියෙල්? ''

'' ලියුමක් ඇවිල්ල කිව්වෙ මහත්තයට....''

'' ඉතිං ලියුමක් නම් ඩැනියෙල් අතේ එවන්න තිබුනනෙ, මොකෝ ආය මම්ම යන්න ඕනය ලියුම ගන්න...'' ටිකින් ටික වැඩි වන කෝපය පාලනය කර ගනීමට තැත් කරමින් මම ඇසුවෙමි.

'' එහෙනම් මම ගිහිල්ල ලියුම ඉල්ලං එන්නද? ''

'' එපා මටනෙ එන්න කියල තියෙන්නෙ. මම යන්නම් ''

කාර්යාලයට යන විට මගේ කෝපය පාලනය වී තිබූ අතර වසන්තී කෙරෙහි අනුකම්පාවක් ද සිතෙහි ඇතිවී තිබුනු බව සත්ය යකි.

'' මොකක්ද වසන්ති මට ආපු ලියුම? '' මම ඇගේ මේසය ඉදිරිපිට සිට විමසුවෙමි.

කථාවකින් තොරව මේස ලාච්චුව විවෘත කල ඕ ඉන් ඉවතට ගත් ලියුමක් මට දිගු කලාය.

ඒ දිනවල මට ලියුම් ලැබුනේ එක්කෝ අම්මාගෙන් එසේත් නැතහොත් නංගීගෙන් පමණි.මගේ අනෙකුත් මිතුරන් හෝ මිතුරියන් ලියුම් ලියන වර්ගයේ අය නොවූහ. මේ ලියුමෙහි ලිපිනයෙහි අකුරු මට කිසිසේත් හුරුපුරුදු නොවිනි.මුද්රාව කියවීමට තැත්කල ද ඒ බොහෝ සෙයින් අපැහැදිලි එයින් ඒ ද සාර්ථක නොවිණි.

'' කාගෙන්ද ලියුම?...'' වසන්තී ඇසුවේ මේසය මත වූ ලිපි ගොනුවක් පෙරලා ගනිමිනි.

'' මට දිවැස් තිබුන නම් ළමයා, මම මේ රස්සාවට එයි කියල ඔයා හිතනවද? '' මම සැහැල්ලුවෙන් සිනා සෙමින් පිලිතුරු දුනිමි.

'' ඔය අකුරු නම් කෙල්ලෙක්ගෙ.''

'' ආහ්, එහෙමද?...ඔයාල ඉතිං ඔව්ව දන්නවනෙ...එහෙනම් නංගිගෙන් වෙන්න ඇති '' ඒ අකුරු නංගීගේ නොවන බව හොඳින් දැන දැනම මම පැවසුවෙමි.

'' ඔයාගෙ නංගිගෙ අකුරු මම අඳුනනව...ඔය එයාගෙ අකුරු නෙවෙයි...''

'' හරි ළමයා...පේන බල බල ඉන්ඩ දෙයක් නැහැ නෙව මෙතන......මම මේක කඩලම බලන්නම්කො......'' .එසේ පවසමින් මම කාර්යාලයෙන් පිට වුනෙමි.

නැවත නිල නිවසට මා පැමිණියේ මේ නාඳුනන වසන්තී පැවසූයේ සත්යයක් නම් නාඳුනන ගැහැණු අත් අකුරින් ලිපිනය ලියැවුනු ලිපිය කාගෙන්ද යන දැඩි කුතුහලයෙනි.

මතු සම්බන්ධයි.......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...