Friday, February 26, 2010

35. මට සරළ වෙන්න ඇත්නම්........................



මට යමක් කර දීමට නොහැකි වූ විට
"කමක් නැහැ මට ඔහොම දේවල්
තමයි වෙන්නේ" යනුවෙන්
අම්මාගේ පද පෙරැළෙන විට

ඒ වදන් වලට හුමිටි තියනා
තාත්තාගේ වෙස් පෙරැළෙන විට

"අනේ අක්කේ ඕවා ගණන්
ගන්න එපා හලෝ" කියමින්
නංගී හිනැහෙන විට

ඒ දේවල් බලා කිවයුතු යමක්
නොමැතිව සැමි නිහඬ වන විට

සරළ වෙන්න ඇත්නම් මට
පුංචි ළමයෙකු තරමට

අනේ වෙන මොකුත් ඕනේ නැහැ අප්පා............. මට


Wednesday, February 24, 2010

34. දේදුනු, සඳු, තරු, නොවන්....... ඉන්න මා ළඟින්............


දේ දුන්නක් සේ පායාවිත් වඩින්න හිමි සිත්........... අහසට


දෑස තෙමන මේඝ වළා පළවා හැර ඈත................... දුරට


ඒත් එපා එහෙම වෙන්නදේ දුන්නට නෑ.................. ආවිස


මට නොදැනේ කෙළෙසින් හෝ නිති රැදෙන්න මා...අභියස




සිත් පතුලේ කඳුළු ගඟට දෙනෙත් අගින් ඇද.....හැලෙන්න


ඉඩක් නැතේ ඔබ ඇති සඳ සඳක් වෙලා හිත.....වැහෙන්න


ඒත් එපා එහෙම වෙන්න සඳ නෑ හැමදා ..............දකින්න


මට නොදැනේ කෙළෙසින් හෝ නිති මා අභියස...රැදෙන්න




රෑ අහසේ තරු මල් ඇත මල් යායක සිරි.................ගෙනදී


තරුවක් වී ඔබත් ඉන්න සිත් අහසේ දුරින්....................රැඳී


ඒත් එපා ‍එහෙම වෙන්න බැහැ එන්නට ලංවෙන්න........සිතී


මට නොදැනේ ‍කෙළෙසින් හෝ රැදෙන්න මා අභියසින්....නිතී

Tuesday, February 23, 2010

33. ඔබ මෙන් ඇයත්............... ඇය මෙන් ඔබත්..........


ඊයේ පෙරේදා යහළුවෝ කිහිප දෙනෙක් එක්ක සමාජයේ සුලභ තත්ත්වයක් ගැන කථා කරන්නට අවස්ථාවක් ලැබුණි. වෙන වෙන කථා, කථා වෙවී ඉන්න විටයි නොදැනීම අපි මේ කථාවට පැටළුනේ.


"අපේ වයිෆ්ට තද වුනේ මොකද දන්නවාද? එක පොඩි හෙඩ් මසාජ් එකක් නිසා"


එක් මිතුරෙක් පැවසුවේය.


"හෙඩ් මසාජ් එකක්?"


අපි දෙදෙනෙකුම එකවර ඇසුවෙමු.


"ඔව් ඔව් අප්පා..........."

ඔහු පැහැදිලි කරන්නට විය.


"මෙහෙමයි, දවසක් වැඩ ඇරිලා යද්දී මට හොඳට ම ඔලුව කැක්කුමක් හැදිලා ගියේ.

වයිෆ්ට කිව්වා ඔළුව ටිකක් මසාජ් කරන්න කියලා. කොහෙද එයා උයනවා කියලා ටිකකින් එන්නම් කිව්වා.

මමත් හා කියලා හිටියට මොකද මාර අමාරුයි.


අනේ ඒයි ඔය වැඩේ තියලා ඇවිල්ලා මේ ඔළුව ටිකක් අත ගානවාකෝ හලෝ කියලා මම කිව්වා ඒ පාර.


කුචු කුචු ගගා උය උයා හිටියා මිසක එයා ඒ පාරත් ආවේ නැහැ. එයා ඉව්වේ නැත්නම් අපි සේරම බඩ ගින්නේ කියන එක තමයි කුචු කුචු වොයිස් එකෙන් කිය කියා හිටියේ.


ඔන්න දැන් තමයි වැඩේ වුනේ. අපේ අම්මා ආවා එතනට.


' ආ එන්න පුතේ මෙතනට, ඉන්න මේ තෙල් ටික දාලා හොඳට අත ගෑවම ඔය ඔළුව කැක්කුම නිට්ටාවටම සුවයි'


මටත් ඉතින් දිව්‍යලෝක ගත වුනා වගේ තමයි. හැබැයි කුස්සිය පැත්තේ සද්දේ ටිකක් සැර වුනා කියලා නොදැනුනාමත් නොවෙයි. ඒත් ඒ වෙලාවේ මට තිබුණු අමාරුවට ඒවා සොයන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.


පස්සේ ඉතින් නිදියන්න යනකම් ගැස්සිලි පැස්සිලි. ඇහුවට කියන්නෙත් නැහැ හේතුවක්.


නිදියන්න ගියා කියලත් වෙනසක් නැහැ, මමත් අනිත් පැත්ත හැරිලා නිදිය ගත්තා.


උදේ පාන්දරත් එච්චරයි. ඒ පාර නම් මගේ හිසේ ඇම්මත් සනීප වෙලානේ තිබුනේ, මටත් තද වුනා.

මම බැන්නා, ඔනේ මගුලක් කථා කරලා විසඳ ගන්නවා හලෝ මෙතන දවසම සවුත්තු නොකර කියලා මම කිව්වා. කිව්වා නෙමේ ඇත්තටම බැන්නා. ඔන්න එතකොට තමයි බෝමබේ පත්තු වුනේ.


වයිෆ් හෝ ගාලා අඬනවා, අඬ අඬ අඩපාලි කියනවා, ඒ පාර නම් මට හිතුනා මූණ එල්ලගෙන ගස්සගෙන එහෙට මෙහෙට යන එක හොඳයි මේ ඇඬිල්ලට වඩා කියලා.


'ඔයාට මං ටිකක් එනකම් ඉන්න බැහැ. මොකටද එක එක්කෙනාට කියන්න යන්නේ. මම කිව්වනේ මම එන්නම් උයලා ඉවර වෙලා කියලා. ඉව්වේ නැත්නම් අපි විතරක් නෙමෙයි ඔය කොයි කවුරුත් කන හැටි බලන්න පුළුවන්'


ඔන්න එතකොට අම්මාත් ආවා.


'ඈ දුවේ කාටද ඔය පිට උන්ට දාලා එක එක ඒවා කියන්නේ? මේ මටද? මගේ දරුවා හිසේ ඇම්මේන් අමාරුවෙන් ඉද්දී මම කොහොමද අහක වෙලා ඉන්නේ. අනිත් එව්වන්ට අමාරු නැතිවට අම්මා කෙනෙකුට ඒ අමාරුව දැනෙනවා. .............................'


ඔන්න ඔය වගේ කථාව ඇදුනා. අන්තිමට මට බලාගෙන ඉන්න බැරි තැනට ආවා.


නවත්තනවාද නැද්ද දෙන්නම. දෙන්නට දෙන්නම් පොලු දෙකක් එළියට බැහැලා හොඳ හැටියට ගහ ගන්න එකයි ඇත්තේ.


අන්තිමට මම කිව්වා.


ඒ පාර දෙන්නම අඬ අඬ මට බණින්න පටන් ගත්තා. අම්මා අම්මා කෙනෙක් හැටියට කරපු දේවල් කියනවා. වයිෆ් එයාගෙන් ඉස්ට වෙන වගකීම් යුතුකම් ලිස්ට් එක කියාගෙන කියාගෙන යනවා.


මම ආවා එළියට. ගත්තා බයික් එක. කෑම එකත් නැතිව ඔෆිස් ආවා. ඔන්න ඔහොමයි නැන්දම්මලා ලේලිලා කෑම ටික හොයලා දෙන මනුස්සයාව ගෙදරින් වැඩට යන්න පිටත් කලේ".


අපගෙන් විටින් විට යොමු වූ ප්‍රශ්න වලටත් පිළිතුරු දෙමින් මිතුරා සිය කථාව පැවසුවේ එසේය.


"අපේ ගෙදරත් ඔය වගේ දේවල් වෙනවා මචං"


තවත් මිතුරෙකු පටන් ගත්තේය.


"අම්මා උදේට එනවා, පුතේ හාල් මැස්සෝ හදන්නයි යන්නේ කොහොමද හදන්න ඕන?"


ඕනෑ විදිහකට හදන්න කිව්වොත් අම්මාගේ හිතට හරි නැහැ, එයා තාත්තා ඉන්න කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ තාත්තා කියන විදිහට හදන්න, දැන් මං කියන විදිහට. ඉතිං මං ඔය මොකක් හරි හිතට එන විදිහක් කියනවා, ආ අම්මා හාල් මැස්සෝ ටික බැදලා ගන්නකෝ.


වයිෆ්ට එහෙම පුරුද්දක් නැහැ, එයා එයාට හිතුන හිතුන විදිහට හදනවා, එයා කුස්සියට ගිහින් අර අම්මා හෝදලා තියෙන හාල් මැස්සෝ ටික අරං තෙල් දානවා,


ඔන්න අම්මා ආපහු එනවා, ඇයි පුතේ මට බදින්න කියලා අර ළමයාට තෙල් දාන්න කිව්වේ, මට කිව්වා නම් මම තෙල් දානවානේ, මම තෙල් දාන විදිය දැන් පුතාට හරි නැද්ද?


ඔව් ඉතිං මං නාකි ගෑණිනේ. ලුණු රහ එහෙම හරියට වැටෙන්නේ නැතුවා වෙන්න ඇති,


අනේ අර මනුස්සයා හිටියා නම්................ අම්මා විස්සෝප වෙනවා, එහෙනම් ම්හු සද්දයක් නැතිව කනවානේ. මම තනි වුනා................


හාල් මැස්සෙක් පියෑඹුව දුර................


මට පිස්සු වගේ. අනේ අම්මා ඔය චූටි හාල් මැස්සෙක් අල්ලං ඔච්චර දුර යන්න එපා.

(මිතුරා දෙනෙතින්ද අතින්ද චූටි බව හඟවමින් පැවසු හැටි විදහා පායි) ඔය හාල් මැස්සා කොහොම හැදුවත් මට වෙනසක් නැහැ. අනික මම එයාට ඒ ගැන මොකුත් කිව්වෙත් නැහැ.


මම කොච්චර කිව්වත් අම්මාට විශ්වාස නැහැ. අම්මා හිතන්නෙම මම දෙපැත්තට දෙවිදියට කිව්වා කියලායි".


නැවතත් පෙර කථාව පැවසූ මිතුරාගේ වාරය,


"වයිෆ්ටත් ට්‍රෙස් එක මචං, මම උදේ පාන්දර 6 ට විතර ගෙදරින් එනවා, ආයේ යන්නේ රෑ වෙලා,

සමහර දාට 10 11 වෙනවා. දරුවා ගැනවත් කථා කරන්න වෙලාවක් නැහැ.


ඉතිං මම යද්දී වයිෆ් මේ පුටුවේ, අම්මා අර පුටුවේ,


කොච්චර වුනත් අම්මා වයසයිනේ මචං ඉතිං මට මුලින්ම කියවෙන්නේ අම්මා යන්න නිදිය ගන්න කියලායි. ඒකටත් වයිෆ්ට ඔරොප්පුව"



ඔය ආකාරයෙන් පිරිමි මිතුරන් පවසද්දී ගැහැණු පාර්ශ්වය නියෝජනය කරමින් මටද කියන්නට කරුණු ඕනෑ තරම් විය.


ඒ ගැනත්, තව තව මිතුරන් පැවසූ දේවලුත්, මේ පිළිබඳ මගේ අදහසත් වෙනත් ලිපියකින් පවසන්නම්.


Friday, February 19, 2010

32. වර්ණ සංයෝජනය

මගේ මහ ගෙදර අය
කළුයි
සැමියාගේ මහ ගෙදර අය
සුදුයි
ඉස්සර මමත් කළුයි

සැමියා පෙම්වතා ව
මුණ ගැසුණු යුගයේ පටන්
මගේ පාට වෙනස් වෙන්න
පටන් ගත්තා

පෙම්වතා සැමියා වෙද්දී
මගේ පාට බොහෝ දුරටම
වෙනස් වෙලා
තිබුණා

දැන් මම
සම්පූර්ණයෙන් අළු වෙලා

එහෙම නොවුනා නම්
...........................................
ඉක්මනින් ම අළුවෙලාම
යන්න තිබුණා

Thursday, February 18, 2010

31. ආදරණීය ටයිම් පීස් ඔරලෝසුව

හතර වරිගේ නෑයෝ
බොහොම දෙනෙක්
ඉදිරිපිටදී
අත්සන් කරලා
මහ පොතක
ජීවිතේටම තියාගන්න
සන්තක කර ගත්ත

ටයිම් පීස් ඔරලෝසුව,

උදේ රැයින් අවදිවෙලා
උයන විටදී මා
කඩිමුඩියේ
ළඟින් යයි එහෙට මෙහෙට
"රන්දි හයයි කාලයි"
"රන්දි හතට දහයයි"

සිනාපිරි මුවින් යුතුව
පවසමින් ලෙංගතුව





Friday, February 12, 2010

30. පියතුමනි !!!!!!!!!!!!!!!!!!! ඔබ ලොව එළිය දකින්නට අවසරද?


පන්හිඳ සමඟ නම් වූ බ්ලොග් අඩවියේ දුටු ලිපියක් නිසා මම නැවතත් මීට අවුරුද්දකට පමණ පෙර අතීතයට ගියෙමි. එම ලිපිය නම් ගබ්සාව නීතිගත කළ යුතුද? යන්නයි.

මීට වසරකට පමණ පෙර මේ කාලය වන විට මම අපේ දූ කුස දරා ගෙන සිටියෙමි. ඇය අපගේ ලෝකයට එන්නට සිටින බව නිල නොලත් ආකාරයෙන් මුල් වරට අප දැන ගත්තේ 2009 ජනවාරි මස 15 වෙනිදාට ආසන්න දිනයකදීය. ඒ වන විට යන්තම් සති 3-4ක් පමණ වන්නට ඇත. දරු පැටියකු බලාපොරොත්තුවෙන් ම සිටි නිසාවෙන් දෝ එතරම් ඉක්මනින් අපට ඒ පිළිබඳව දැනින. ජනවාරි මස 21 වන දින නිවසේ දී ප්‍රථම වරට පටි පරීක්ෂණයක්
(Strip Test) මගීන් ඒ පිළිබඳ ව යම් තරමකට නිලලත් ආකාරයට දැන ගතිමු. එහෙත් වෛද්‍ය පරීක්ෂණයක් මගින් ස්ථිරව දැන ගැනීමට අප සැමට අවැසි විය. (පසුව දැන ගත් ආකාරයට වෛද්‍ය පරීක්ෂණය ද බොහෝ විට කරන්නේ ඒ ආකායටම ලු). යම් අවාසනාවන්ත තත්ත්වයක් යටතේ දින තුනක් යන්නටත් මත්තෙන් ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වන්නට මට සිදුවිය. ‍එහෙත් ඊට පෙර අපි වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී වාර්තාවක් ලබා ගත්තේ යම් හෙයකින් අප කරන ලද පරීක්ෂණය දෝෂ සහිත වේදැයි සැක සිතුනු නිසාවෙනි.

රෝහලේ දී සිදු වූ දේවල් ලියන්නට නම් තවත් ලිපියක් ලිවිය යුතුය. එබැවින් මාතෘකාවට අදාල කොටස පමණක් මෙහි සටහන් තබන්නෙමි. එහි දී ප්‍රථම වරට ගණන් හදා බලා ඒ වන විට අපේ දූ පැටියා සති 7යි දින කිහිපයක කළල අවස්ථාවේ පසු වන බව පැවසිණ. පසු දින වාට්ටුව බාර ලොකු දොස්තර මහතා පැමිණ මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කර අවදානමේ ස්වභාවය නිර්ණය කරනු ඇති බවද පැවසිණ. කෙසේ හෝ ලොකු දොස්තර මහතා පැමිණෙන විට වාට්ටුව භාර ප්‍රධාන හෙදි නිලධාරිනියට පිං සිදු වන්නට මම අප්‍රමාණව බිය වී සිටියෙමි. ඇයට අනුව මාගේ දරුවාගේ තත්ත්වය සුභදායක නොවීය. වරින් වර දුරකථන ඇමතුම් දෙමින් මාගේත් දරුවාගේත් (කළලයක් ලෙසින් ඔවුන් හැඳින් වුවද අපට නම් කුස ඔත් දා පටන් ඒ අපට දරුවා විය) සුව විමසන සැමියාට ඇයගේ වදන් පැවසීමට මගේ සිතත් දිවත් නොනැමුනේ, නොහැඟවූවද ඔහු ඉමහත් සෝකයකින් පසුවන බව දත් නිසාය. මම තනිව සිතුවේ 'ඩොක්ටර් මොකුත් කියන කම් එයාට මේ ගැන කියන්නේ නැහැ.' යනුවෙනි.

කෙසේ හෝ ආධුනික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පිරිවරාගත් ලොකු දොස්තර මහතා ඇදෙන් ඇඳට රෝගී කාන්තාවන් පරීක්ෂා කරමින් පැමිණෙන විට මම වෙව්ලමින් බලා සිටියෙමි. අවසානයේ ඔහු පැමිණ මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කල අතර ඒ අවස්ථාවේ එතැන සිටි ආධුනික වෛද්‍ය ශිෂ්‍යාවකට ඔහු පරිගණක තිරය දක්වමින්, "See This Heart Beat" යනුවෙන් පැවසීය. මගේ සතුට නිම් හිම් නැති විය. වෙව්ලන මුවින් යුතුව මම මාගේ දරු පැටියාගේ තත්ත්වය විමසා සිටියෙමි. "අම්මා, අම්මාගේ දරුවා හොඳින් ඉන්නවා"යි මාගේ හිස අත ගාමින් ඔහු පැවසීය.


දැන් පන්හිඳ සමඟ හී දැක්වෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම දෙස බලමු.

"ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය."

එය කෙතරම් සාධාරණ දැයි සිති බැලීම තනි තනිව ඔබට බාරය. මට දැනෙන්නේ ප්‍රථම වරට යුක්තානුව බිහි වූ දා පටන්ම ඒ සජීවි ජීවියෙකු බවයි. එනම් එදා පටන් උපදින්නට පෙර ඕනෑම අවස්ථාවක දී ගබ්සාවකට ලක් වන්නේ නම් ඒ ලක් වන්නේ සජීවි ජීවියෙකු බවයි. මා එලෙසින් පවසන්නේ අම්මා කෙනෙකු හැටියට මිස විද්‍යාත්මක ඇසින් බලා නොවන බව ඇත්තය. කන්න අවැසි වූ විට සතා මාරු වන න්‍යාය ධර්මයට අනුව නම් ඒ පැහැදිලි කිරීම පිළි ගන්නට සිදුවේ. එහෙත් ඔබ බොහෝ දෙන මා දරණ අදහස සමඟ එකඟ වේ යැයි සිතමි.

මේ ඒ සඳහා මා දැක්වූ ප්‍රතිචාරයයි.
"ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය."

මට කියන්නට තිබෙන්නේ අතිශය නොමේරු කියන වචනය මෙහිදී භාවිතා කිරීම අතිශය වැරදියි. අතිශය නොමේරු නම් ඒ දරුවා යම් හෙයකින් සති 28ට පෙර ඉපදුනහොත් ජීවත් කරවන්නට බැරි විය යුතුයි. මාගේ කාර්යාලයේ මිතුරන් දෙදෙනෙකුගේ දරු පැටවුන් දෙදෙනෙකු එක් අයෙකු කාසල් රෝහලේ දී සති 26න් ද, අනිත් දරුවා ආසිරි රෝහලේ දී සති 25න් ද, හදිසි තත්ත්ව යටතේ ඉපදුනා. දැන් සති 26න් ඉපදුන දුට අවුරුදු 2යි මාස 5යි. සති 25න් උපන් පුතාට අවුරුද්දයි මාසයයි.



පියෙකු හිමිකම් කීමට අකමැති දරුවකු ඒ මවට, ලෝකයට මෙන්ම ඒ දරුවාටමත් තමන්ම බරකි. ඒ අප අද දක්වා ජීවත් වූ ජීවත්වන සමාජයේ දැක්මට අනුවය. එබැවින් කල යුත්තේ ඒ දරුවා උපදින්නට පෙරම මරා දැමීමද? මේ ප්‍රශ්නය මතුපිටින් අත ගා අප හට තීරණ ගත නොහැක. තවද ආර්ථික ප්‍රශ්න හමුවේ තම බිරිඳ ගබ්සාවන් සඳහා යොමු කරන පුද්ගලයින්ද නැතිවා නොවේ.

මව රෝගී වුවහොත් ඇයගේ ජීවිතයට අවදානම් සහගත තත්ත්වයක් ඇති වුවහොත්, ඇතිවන තත්ත්වය සමනය කිරීමට එවන් තීරණ ගැනීමට සිදු වේ.

ගහේ කටු උල් කල මනාද? යන්නට සාක්කි දෙමින් යම් වයසකට පත් වු පසු මනා ලෙසින් හෝ නොමනා ලෙසින් සහකරුවන් සමඟ එක්වීම 90%ක් පමණ වූ මිනිසුන්ගේ ස්වභාවයයි. සමාජයේ පිළි ගැනීම එය 'මනා' වන්නට නම් විවාහය ඊට පෙර සිදුවිය යුතුය. 'නොමනා' වන්නට නම් 'මනා' නොවීම පමණක් ප්‍රමාණවත්ය. මේ කියන නොමනා අවස්ථාවේ පිළිසිඳ ගන්නා දරුවන් පිය පාර්ශවය විසින් නොසලකා හැරීමේ සම්භාවිතාව වැඩිය. නමුත් පියා මග හැරීම නිසා, නූපන් දරුවකු මරා දැමීමට පිඹුරු පත් සැකසීම සාධාරණද? එහි දී මූලික වශයෙන් ඉදිරිපත් වන්නේ සමාජ සම්මතයන්ට මුහුණ දීමේ අපහසුතාවයි. ඊට අමතරව ආර්ථික ගැටළු, එවන් දරුවකු සමඟ නැවත විවාහයක් ගැන සලකා බැලීමට අපහසු වීම වැනි පරිවාර ගැටළු ද ඉදිරියට පැමිණේ. අතවරයකදී යම් හෙයකින් දරුවකු පිළිසිඳ ගතහොත් තත්ත්වය යම් තරමකට වඩා බැරෑරුම්කාරී වෙයි. එහෙත් එයද නීතිමය මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සහ දැරීම ගබ්සාවක් දක්වා ගොස් මවගේ ජීවිතයද අවධානමකට ලක් කර ගන්නවාට වඩා උචිත නොවේද?

නිත්‍යානුකූල විවාහයට පෙර පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සම්පාදනය කිරීම අප රටේ සමාජය දකින්නේ නිත්‍යානුකූල විවාහයට පෙර දෙදෙනෙකු එක් වීම අනුමත කිරීම නම් මහා පාප කර්මය කරන්නා සේය.කෙතරම් සදාචාරය රකින්නට ගියද අත් මිටකට ගත් වැලි අහුරක් සේ සදාචාරය ඇඟිලි අතරින් බේරි හැලේ. තමන් තමන්ව පාලනය කර නොගන්නේ නම්, ගැහැණුන්ට මිනිසුන්ට වැට බඳින්නට ආණ්ඩු වලට නොහැකිය. වැට පනින ගැහැණු පිරිමි නිසා අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන නූපන් දරු පැටවුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුරුද?

සමාජ සම්මතයට අනුව,

නිත්‍යානුකූල විවාහයට පෙර ගැහැණු ළමුන් කුමරි බඹසර රැකිය යුතුය.
එවිට ඔවුනට නිත්‍යානුකූල විවාහයට පෙර පිරිමි සමඟ ගනු දෙනු නොමැත.
එකල් හී දරුවන් පිළිසිඳ ගන්නේ නැත.
එවිට පිය පාර්ශවය මග හැර යදෝයි ගැටළු මතු වන්නේ නැත.
එබැවින් නූපන් දරුවන් මරන්න සිදු වන්නේ නැත.
අවසාන තීරණය - විවාහයට පෙර පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සම්පාදනය අවශ්‍ය නැත.
යම් හෙයකින් එසේ සම්පාදනය කරන්නේ නම් ඒ ගැහැණු ළමුන් හට කුමරි බඹසර බිඳ ගැනීමට අවසර දීමකි.

අවුරුදු 18, 20 පසු වු පසු තමන්ගේ ගෞරවය රැක ගන්නවාද නැද්ද යන වග ගැහැණු දරුවකු තනිව දැරිය යුතු මට්ටමකට පැමිණේ. රැක ගන්නා අය බොහෝ විට යහපත් අනාගතයක් ලබනු ඇත.එහෙත් එසේ රැක නොගන්නා පිරිසක් ද සිටිනා බව අමිහිරි සත්‍යයකි. මා සිතන්නේ එවන් අය හරහා අවදානමට ලක්වෙන නූපන් දරුවන් මරා දමනවාට වඩා,එවන් දරුවන් පිළිසඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සමාජය තුල ප්‍රබලව පතුරුවා හැරීම වඩා සුදුසු බවයි. ජනමාධ්‍ය තුලින් උදේ සිට රෑ මැදියම තෙක් ඔවුන්ටත් නැති අපටත් නැති දේවල් ප්‍රචාරය කරන වේලේ දිනකට එක් පැයක් දෙකක් වැය කොට මේ පිළිබඳ ව සමාජය දැනුවත් කරන්නේ නම්,එවන් මිනී මැරුමක තිබෙන ආගමික පසුබිම පැහැදිලිව දක්වන්නේ නම් සමාජය මීට වඩා යහපත් තලයකට ගෙන ඒමට හැකිවනු ඇත.

මට දැන් සොයා ගැනීමට අපහසුව ඇති එක් බ්ලොග් අඩවියක මෙහි ඇති ආගමික සහ අපට නොපෙනෙන පැත්ත මනාව පෙන්වා තිබිණ. එයින් පෙන්වා දී තිබුනේ එසේ ආකාලයේ මිය යන්නේ බුදු දහමට අනුව බලන කල මිනිසත් බව ලබා උපදින්නට පිං කෙරූ කෙනෙකි. ‍එවන් කෙනෙකු බලෙන් කුසින් එළියට ඇද දැමීම බලවත් අකුසල කර්මයකි. තවද ඒ නිසා එම ප්‍රාණියා වෛර කරමින්, එසේ කල පුද්ගලයින් හට වින කෙරූ අවස්ථාවන් එයින් මනාව පෙන්වා දී තිබිණ.

කෙසේ හෝ ගබ්සාව නීති ගත කරන්නට උත්සහ දරනවාට වඩා තමනට අවශ්‍ය නොවන දරුවන් පිළසිඳ ගැනීම වළක්වා ගැනීම සෞඛ්‍යමය වශයෙන්ද වැදගත් කාරණයකි. එසේ වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ ගබ්සාව නීති ගත කලද එළිපිට ගොස් ගබ්සා කර ගැනීමට අප රටේ උදවිය පෙළඹේවිද? එබැවින් එයින් මවට ඇතිවිය හැකි ශාරිරික අවධානම යම් තමින්වත් අඩු නොවේ. ‍යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතු මවගේ ශරීරයත් නූපන් බිළිඳාත් එවන් දෙයකට සුදුසු තත්ත්වයක නොසිටින නිසා අධික රුධිර වහනය, පිට ගැස්ම වැනි තත්ත්ව උද්ගත වී මවගේ ජීවිතය අවදානමට පත් විය හැකි නොවන්නේද? අවසානයේ සිදු වන්නේ පෙරටත් වඩා මේ හේතුවෙන් කාන්තාවන් ජීවිත අවධානමකට ලක් වීමය.

මෙලෙසින් බලන කල තමනට අවශ්‍ය නොවන දරුවන් පිළසිඳ ගැනීම වළක්වා ගැනීම, ගබ්සාව නීති ගත කරන්නට උත්සහ දරනවාට වඩා සමාජමය, සෞඛ්‍යයමය, මානසිකමය, ආගමිකමය සහ සංස්කෘතිකමය යනාදී හැම අතින්ම සුභදායක වනු ඇත.

Thursday, February 11, 2010

29. නැතොත් නැත දොස නැගෙන සැකයට ඔබත් කෙනෙකි'යි එවන්


මගී රියතුල ඇඟට වදදෙන
පස් කඳට විරු'ධව
සියලු වෙර ගෙන යුධ වදින
ඈ අසරණයි තනිවම
දකින මිනිසුනේ ! කිම්ද නිහඬව
බලව ! නෙත් දෙක හැර
ඔබේ දුවණිද, මව්ද, සොයුරිද,
නොකර තව අසරණ

"අනෙක් කතුනට කුමක් වූවද
අනේ මට මොකදා
දුවක් ගෙයි ඇත මවද එහි ඇත
නොමැත කිසි වරදා
වියත් වැකි මැද සමුළුවක් ඇත
තෙවැනි මස අට වැනිදා
"කතුන් සුරකිමු" කෑ ගසමි මම
එදින හැම පරදා"

ඇයිද මිනිසුනි මෙසේ සිතමින්
යන්නේ නෙත් අඳ ලෙසින්
ඇයද බිරිඳකි, මවකි කෙනෙකුට
ඔබේ සොඳුරිය මෙන්
වෙන්න එක් වී පිහිට ඇයහට
මග නොහැර විගසින්
නැතොත් නැත දොස නැගෙන සැකයට
ඔබත් කෙනෙකි'යි එවන්


28. මගේ චූටි නංගී................ දිනු

පුංචි කාලේ ඉඳන්
මාත් එක්කම හිටපු
පුංචිම කාලේ බටර් දාලා
මගේ අතින් අනපු

බත් ගුලි කාපු
බොරු තුවාල පෙන්නලා
මම ගැහුවා කියලා
අම්මාගෙන් මට ගුටි
ඉල්ලලා දීපු
මගෙන් ගුටි කාලා
අඬාගෙන දුවපු
අනිත් අතට ඇවිත්
අයෙත් කරදර කරපු
මගේ පාසල් මිතුරියන්ට
පේර ගෙඩි අල්ලස්
දීලා මගේ තොරතුරු
ඉල්ලපු
පස්සේ කාලේ අවැසි තැනදි
අවැසි ලෙසට මට
උදව් කරපු

මගේ මංගල්‍යයේදී
දෙවැනියකව ඉඳිමින්
ඉකි බිඳ බිඳ හඬපු
දූ ලැබෙන්න යන විටදී
මට ඇඳුම් සකසා දීපු
දූට අන්දවන්න
පුංචිම පුංචි ඇඳුම් පොඩි
මහලා දීපු
දැනටත් වෙලාවකට ඇණයක්
වෙලා මගේ ලඟින් ඉන්න
මගේ ආදර චූටි නංගියාට බුදු සරණයි !!!

ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා !!!!!!!! දිනු‍

පසු ලිවීම
අද මේ ලිපිය පල කලද නංගීගේ උපන් දිනය තිබුනේ ඊයේ දිනයෙයි
පෙර ලිපියේ සඳහන් 'අපේ බබා' මෙයා තමයි.

27. කාන්තා හඬ විය නිහඬ




ඊයේ උදෑසන කන්තෝරුවේ කෑම කාමරයේදී උදේ ආහාරය ගන්නා'තර කන්තෝරුවේ කෙනෙක් ඇවිත් මා ඉදිරිපසින් හිඳගෙන දිනට නියමිත ලංකාදීප පත්තරය දිග හැර ගත්තේය. සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු වචන අහල පහල තිබෙන විට ඇස එදෙසට යන්නේ නිරායාසයෙන් බව මා මෙන්ම ඔබද අත්දැක ඇතැයි සිතමි. පත්තරය මට පෙනුනේ උඩු අතින් වුවද එහි මාතෘකාවක තිබූ 'රණවිර' යන නම මා නෙත ගැටුනේ පෙර කී කාරණය නිසාවෙන් විය හැක. එය දුටු සැනින් නුහුරු අතට වුවද සම්පූර්ණ මාතෘකාව ම කියවා ගතිමි.


'ප්‍රවීණ ගත් කතු ඊවා රණවීර අභවප්‍රාප්ත වෙයි'

එක්වරම සිතුනේ 'අයියෝ' කියා පමණි.

මමද රණවීර කෙනෙකු බැවින් (රණවීර යනු මගේ වාසගම නොවේ,එය තාත්තාගේ උවමනාව පිට දමන ලද මගේ නමේම කොටසකි) කෙනෙකුට ඇය මාගේ නෑදෑයකු යැයි සිතෙන්නට පුළුවන. නැත. එය එසේ නොවේ.

ඇයව ප්‍රථම වරට මා හඳුනා ගත්තේ මා කුඩා අවදියේදිය. ඇයගේ තිබූ සමාජ දැක්මත්, බහුශ්‍රැත භාවයත්, උගත් බුද්ධිමත් භාවයත් මාගේ ජීවන දැක්ම හැඩ ගැස්වීමට ඉමහත් උපකාරයක් වී යැයි මට වදන් පිට වදන් ගැට ගසමින් දීරඝ රචනයක් සම්පාදනය කල හැක. එහෙත් එය සත්‍යයක් නොවන්නේ, මා එකල එලෙස ඇයගෙන් නියම පල ප්‍රයෝජනය ගැනීමට තරම් මුහුකුරා නොසිටිය බැවිනි. එබැවින් මම එසේ නොලියමි. එසේ ලියන්නට හැකියාවක් ඇති අය නොලියන බැවින් මම මෙසේ ලියමි.

ඊවා රණවීර මෙනවිය අපගේ ගම් පලාත වන රාගම පදිංචි ව සිටි අයෙකි. එහෙත් ඇයගේ නැගනියව හඳුනා ගන්නාතුරු ඇයවන් කෙනෙකු අප ආසන්නයේ සිටින බවවත් අපි නොදැන සිටියෙමු. ඔවුන් දෙදෙනාම ඉතාමත් කරුණාවන්ත අය විය. ඇයගේ නැගණිය ගුරුමහත්මියකි. ඇය ඉගැන්වූයේ ඉංග්‍රීසි භාෂාවයි. පාසලේ උගන්වනවාට අමතරව තව තවත් ඉංග්‍රීසි උගැන්ම අවශ්‍ය වු බැවින් 7වන ශ්‍රේණියේ සිට මා හා 3වන ‍ශ්‍රේණියේ සිටි ලොකු නංගීව අම්මා ඇයගේ පංතියට ඇතුලත් කලාය. චූටි නංගී එවකට සිටියේ හෝඩිය පංතියේ බැවිනුත් ඇයට ඒ වනවිට ඉංග්‍රීසි තබා සිංහලවත් හරියකට බැරි වූ බැවිනුත් මුල් දින දී ඇයට සිදු වූයේ පංතිය අවසන් වන තෙක් බංකුවකට වී වාඩි වී සිටිමටය. නමුත් රණවීර මහත්මීන්ගේ කරුණාව හේතු කොට ගෙන, ' මේ ඉන්නේ අපේ බබා' යයි පවසමින් දෙදෙනා කථා වූයේ අපේ චූටි නංගීටත් ඉංග්‍රීසි ඉගැන්වීමටයි. ඉතාමත් සාධාරණ මුදලක් අය කිරීමට අපේ ගුරුතුමිය නිරතුරු උත්සුක වූ අතර ඔවුන්ගේ කාරුණික භාවය ප්‍රකට කරමින් 'අපේ බබා'ට නොමිලේ ම ඉංග්‍රීසි ඉගැන්වීමට ඔවුන් ඉදිරිපත්විය.

ඔවුන් දෙදෙනා අපට 'ලොකු මිස්' සහ 'පොඩි මිස්' විය. ලොකු මිස් ගෙදරට එන්නේ පංති ඇරෙන්නට කිට්ටුව බැවිනුත් අපේ ගෙදරින් එක්කාගෙන යාමට එන්න බොහෝ විට පමා වන බැවිනුත් අනෙක් ළමුන්ට වඩා ඇය අප තිදෙනට සමීප විය. මම අද ඇය ගැන දන්නා පමණ එදා දැන නොසිටියෙමි. එබැවින් අද පුදුම වෙමි. ඒ ඇයගේ නිරහංකාර නිරපේක්ෂ ස්වභාවය නිසාය. වෙනත් කෙනෙකු ඇයගේ තත්ත්වයේ සිටියා නම් තාප්පය ඊට වඩා උස් වී දීර්ඝ විස්තරයක් සහිතව නම දැක්වෙන බෝඩ් කැබැල්ලක්ද ඇලවෙන්නට ඉඩ තිබිණ. ගේට්ටුව, දෙපස පෙනෙන ආකාරයේ නොවන්ට ඉඩ තිබිණ. නිවසද වඩා සුඛොපභෝගී වන්නට ඉඩ තිබිණ. සුනඛ සේනාවේ ස්වභාවය ද වෙනත් ආකාරයක් ගන්නට ඉඩ තිබිණ.

ඇය 'කාන්තා හඬ' යන්නට නියම අර්ථ කථනයක් දුන් බව සිතමි. ඇය හඬක් හා ශක්තියක් වුයේ මිනිස් කාන්තාවට පමණක් නොවේ. ඔවුන්ගේ නිවසේ අසරණ භාවයට පත් බැල්ලන් හතර දෙනෙකු යහපත් ලෙසින් සැප විඳමින් හැදුනෝය. මට මතක ආකාරයට ඔවුන්, ' ටයිනි, ටෙඩි, බ්ලැකි, වයිටි,'විය. ඔවුන් දකින කෙනෙක් පාරේ අසරණ වූ එවුන් බව නොසිතනු ඇත. ඒ ගේට්ටුව ඇතුලේය. එයට අමතරව ගේට්ටුවට පිටතින් ද පැටවකු ලැබීමට ආසන්න ව සිටි බැල්ලක ඔවුන්ගේ සරණ ලැබුවාය. ඇයට අවශ්‍ය විටමින් වර්ග පවා ඔවුන් ලබා දෙන ලදී. මා මේ කියන්නේ මා ඔවුන් ඇසුරේ සිටි අවුරුදු දෙකකට නොඅඩු කාලය පිළිබඳවයි. ඊට පසු ඉහත කී ගණන් ප්‍රමාණත්මකව ඉහල යන්නට ඇතැයි සිතමි.

කාන්තාවන් හා එක්ව ඔවුන්ගේ ගැටළු හා ගැටී රණවීර සොයුරියන් හට විවාහය ද එපා වන්නට ඇතැයි සිතමි. දෙදෙනාම අවිවාහක විය. ඉතාමත් ලබැඳි සොයුරියන් වු ඔවුන්ගේ නෑදැයන් සියලුම දෙනා පාහේ මා දන්නා තරමින් සිටියේ පිටරට වලය. ඔවුන් දෙදෙනා පමණක් මෙහි රැඳී සිටිය අතර එයින් ඊවා රණවීර මහත්මිය කාන්තාවන් උදෙසා නිහඬ නමුත් ප්‍රබල සේවයක් කල බව දන්නේ අතලොස්සක් පමණක් වන්නේ ඇයගේ සේවයේ තිබූ අනපේක්ෂිත නිහඬ බව නිසාමය. ඇත්තම පවසනවා නම් ඇයගේ සේවය පැතුරුනු පරාසය පිළිබඳ නිවැරදි පුළුල් හැඟීමක්, පෙරදින පුවත් පතේ දකිනතුරුවත් මා හට නොවීය.

ඇය විසින් සම්පාදිත පොත්, ඇය විසින් කරන ලද මෙහෙය දීර්ඝ වශයෙන් මෙහි සටහන් කරන්නට නොයන්නේ, ඈ පිළිබඳ නියම ලෙසට දන්නා අය ඒ සැම දේ පිළිබඳව දන්නා නිසාත් මා ඒ පිළිබඳ ව විස්තර සහිතව නොදන්නා නිසාත්ය. මේ සටහන තබන්නට හේතු වූයේ එවන් කාන්තාවකට මේ ආකාරයෙන් වත් උපහාරයක් දැක්විය යුතු යැයි සිතුණු බැවිනි. තවද ඇයගේ සමු ගැන්ම නොදන්නා යම් සහෘදයකු වේනම් ඒ අයට දැන ගැනීම පිණිසත්ය. 'නිසල ජලේ ගැඹුරුයි' යන වැකියේ ඇති සත්‍යයතාව පසක් කරමින් ජීවත් වූ ඇය, 'රූපය දිරයි නාමය නොදිරයි' යන වැකියේ සත්‍යයතාව පසක් කරමින් අවුරුදු 86 කට ආසන්න කාලයක් ජීවත්ව සිට අභාවප්‍රාප්ත වූයේ ඇයගේ සේවය ලැබූ අසරණ වූ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ සහ අප වැනි අයගේ නෙතට කඳුළක් එක් කරමිනි.

'ඊවා රණවීර මෙනවියනි, ඔබ ජීවත්ව සිටියදී පැතූ පැතුම් ඉටු වේවා !!!'

Friday, February 5, 2010

26. MYBLOG වෙතින් BLOGGER වෙතට එන්නෙමි .....

ඉතින් ආයුබෝවන් !!! MYBLOGනි ගරු...........


මම මගේ බ්ලෝග් සටහන් වෙනත් තැනක ස්ථාපනය කරන්නට තීරණය කළෙමි. එයට හේතු වූයේ myblog හී ස්ථාපනය කර තිබූ මගේ බ්ලෝග් අඩවියෙහි යම් යම් තාක්ෂණික කටයුතු හසුරුවා ගැනීමට මට දැනුම මදි වීමත්, මගේ හිතමිතුරු බොහෝ දෙනෙකුගේ බ්ලොග් blogger හී ස්ථාපිතව ඇති හෙයින් ඔවුනට මා හට තාක්ෂණික ගැටළු හමුවේ උපකාර කිරීමට අපහසු වීමත් නිසාය.දැනට myblog හී ඇති
'නිදහස් සිතුවිලි' නම් මගේ බ්ලොග් අඩවියෙහි අඩංගු ලිපි සඳහා link, එනමින් ම නම් කර ඇති blogger හී අලුතින් ස්ථාපනය කරන ලද මගේ නව බ්ලොග් අඩවිය වන මෙහි දී ඇත.එයට හේතුව එම ලිපි මෙහි ස්ථාපනය කරන්නට අවශ්‍ය ක්‍රමවේදය අප නොදන්නා බැවිනි.ඔබට ඒ සඳහා අදහසක් වේ නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

තවද මෙතෙක් කාලයක් මගේ බ්ලොග් සටහන් දරා සිටිමින්, මට බ්ලොග් ලෝකයේ සැරි සරන්නට උපකාරී වූ,පහසුවෙන් බ්ලොග් අඩවියක් සාදා ගැනීමට මට උපකාරි වූ,මගේ පරණ බ්ලොග් අඩවිය ස්ථාපිතව පැවති MYBLOG අඩවියට මගේ ස්තුතිය මෙයින් පිරි නමමි. තවද blogger හී නව අඩවිය පිහිටුවීමට මට 'අ' යන්නේ සිට කියා දෙමින් බොහෝ සෙයින් උපකාරී වූ සහ මේ මොහොතේත් උපකාරී වෙමින් සිටින
චතුරංග රූපසිංහ මල්ලි ව දයාබරව සිහිපත් කරමි.

මෙතෙක් කාලයක් මගේ බ්ලොග් සටහන් හා රැඳෙමින් මා දිරිමත් කල ඔබ සැමත්, අලුතින් මගේ බ්ලොග් සටහන් හා එක්වන්නට බලාපොරොත්තු වන ඔබ සැමත් මගේ නව අඩවිය වෙත සාදරයෙන් පිළි ගනිමි.



පෙර ලිපි

25.0 26ට දෙන්නම් කිව්වාම 27.50ට ගත්තෙමු ……..
24.0 කන විදින වෙලේ කඳුළු ගගේ පතුල බැලූ දූ ………………..
23.0 දිනන්නේද, පරදින්නේද වීරයෙකි ………………….
22.0 අම්මෝ…….. සීතලයි…………… සීතල හිතටද? ගතටද?
21.0 හා පැටියෝ මේ අහන්න – පුංචි සාදු කෙනෙක් වෙන්න
20.0 මීට පෙර මේවායේ තේරුම මෙහෙමයි කියලා හිතිලා තිබෙනවාද?

සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)

10.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය I
11.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය II
12.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය III
13.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය IV
14.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය V
15.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VI
16.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VII
17.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය VIII
18.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය IX
19.0 සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය X

9.0 ඩෙංගු, සූකර උණ, තණකොළ සහ WHO සභාපති
8.0 ‘චූටි’ අපේ පුංචි ගිරා පැටියා (අනතුරක් සිදුවිය. හැකි කෙනෙක් බෙහෙතක් කියන්න).
7.0 රැවටිල්ල, රැවටිල්ල, මෙහෙමත් රැවටිල්ලක් සහ රැවටීමක්
6.0 ඔබ ගැන මතකය රිදවයි මා හද (අවාසනාවට සැබෑවටම සිදුවූ දෙයකි.)
5.0 ඇයි මේ ????????????
4.0 දිගු කල් දිනේවා අප ආයතනය !!!!!
3.0 ආදරණීය මෙරුවා !!!
2.0 සඳට නොදැනෙන සඳ
1.0 සිප්පි බෙල්ලෙකු නොකී කව

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...