ඊයේ පෙරේදා යහළුවෝ කිහිප දෙනෙක් එක්ක සමාජයේ සුලභ තත්ත්වයක් ගැන කථා කරන්නට අවස්ථාවක් ලැබුණි. වෙන වෙන කථා, කථා වෙවී ඉන්න විටයි නොදැනීම අපි මේ කථාවට පැටළුනේ.
"අපේ වයිෆ්ට තද වුනේ මොකද දන්නවාද? එක පොඩි හෙඩ් මසාජ් එකක් නිසා"
එක් මිතුරෙක් පැවසුවේය.
"හෙඩ් මසාජ් එකක්?"
අපි දෙදෙනෙකුම එකවර ඇසුවෙමු.
"ඔව් ඔව් අප්පා..........."
ඔහු පැහැදිලි කරන්නට විය.
"මෙහෙමයි, දවසක් වැඩ ඇරිලා යද්දී මට හොඳට ම ඔලුව කැක්කුමක් හැදිලා ගියේ.
වයිෆ්ට කිව්වා ඔළුව ටිකක් මසාජ් කරන්න කියලා. කොහෙද එයා උයනවා කියලා ටිකකින් එන්නම් කිව්වා.
මමත් හා කියලා හිටියට මොකද මාර අමාරුයි.
අනේ ඒයි ඔය වැඩේ තියලා ඇවිල්ලා මේ ඔළුව ටිකක් අත ගානවාකෝ හලෝ කියලා මම කිව්වා ඒ පාර.
කුචු කුචු ගගා උය උයා හිටියා මිසක එයා ඒ පාරත් ආවේ නැහැ. එයා ඉව්වේ නැත්නම් අපි සේරම බඩ ගින්නේ කියන එක තමයි කුචු කුචු වොයිස් එකෙන් කිය කියා හිටියේ.
ඔන්න දැන් තමයි වැඩේ වුනේ. අපේ අම්මා ආවා එතනට.
' ආ එන්න පුතේ මෙතනට, ඉන්න මේ තෙල් ටික දාලා හොඳට අත ගෑවම ඔය ඔළුව කැක්කුම නිට්ටාවටම සුවයි'
මටත් ඉතින් දිව්‍යලෝක ගත වුනා වගේ තමයි. හැබැයි කුස්සිය පැත්තේ සද්දේ ටිකක් සැර වුනා කියලා නොදැනුනාමත් නොවෙයි. ඒත් ඒ වෙලාවේ මට තිබුණු අමාරුවට ඒවා සොයන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.
පස්සේ ඉතින් නිදියන්න යනකම් ගැස්සිලි පැස්සිලි. ඇහුවට කියන්නෙත් නැහැ හේතුවක්.
නිදියන්න ගියා කියලත් වෙනසක් නැහැ, මමත් අනිත් පැත්ත හැරිලා නිදිය ගත්තා.
උදේ පාන්දරත් එච්චරයි. ඒ පාර නම් මගේ හිසේ ඇම්මත් සනීප වෙලානේ තිබුනේ, මටත් තද වුනා.
මම බැන්නා, ඔනේ මගුලක් කථා කරලා විසඳ ගන්නවා හලෝ මෙතන දවසම සවුත්තු නොකර කියලා මම කිව්වා. කිව්වා නෙමේ ඇත්තටම බැන්නා. ඔන්න එතකොට තමයි බෝමබේ පත්තු වුනේ.
වයිෆ් හෝ ගාලා අඬනවා, අඬ අඬ අඩපාලි කියනවා, ඒ පාර නම් මට හිතුනා මූණ එල්ලගෙන ගස්සගෙන එහෙට මෙහෙට යන එක හොඳයි මේ ඇඬිල්ලට වඩා කියලා.
'ඔයාට මං ටිකක් එනකම් ඉන්න බැහැ. මොකටද එක එක්කෙනාට කියන්න යන්නේ. මම කිව්වනේ මම එන්නම් උයලා ඉවර වෙලා කියලා. ඉව්වේ නැත්නම් අපි විතරක් නෙමෙයි ඔය කොයි කවුරුත් කන හැටි බලන්න පුළුවන්'
ඔන්න එතකොට අම්මාත් ආවා.
'ඈ දුවේ කාටද ඔය පිට උන්ට දාලා එක එක ඒවා කියන්නේ? මේ මටද? මගේ දරුවා හිසේ ඇම්මේන් අමාරුවෙන් ඉද්දී මම කොහොමද අහක වෙලා ඉන්නේ. අනිත් එව්වන්ට අමාරු නැතිවට අම්මා කෙනෙකුට ඒ අමාරුව දැනෙනවා. .............................'
ඔන්න ඔය වගේ කථාව ඇදුනා. අන්තිමට මට බලාගෙන ඉන්න බැරි තැනට ආවා.
නවත්තනවාද නැද්ද දෙන්නම. දෙන්නට දෙන්නම් පොලු දෙකක් එළියට බැහැලා හොඳ හැටියට ගහ ගන්න එකයි ඇත්තේ.
අන්තිමට මම කිව්වා.
ඒ පාර දෙන්නම අඬ අඬ මට බණින්න පටන් ගත්තා. අම්මා අම්මා කෙනෙක් හැටියට කරපු දේවල් කියනවා. වයිෆ් එයාගෙන් ඉස්ට වෙන වගකීම් යුතුකම් ලිස්ට් එක කියාගෙන කියාගෙන යනවා.
මම ආවා එළියට. ගත්තා බයික් එක. කෑම එකත් නැතිව ඔෆිස් ආවා. ඔන්න ඔහොමයි නැන්දම්මලා ලේලිලා කෑම ටික හොයලා දෙන මනුස්සයාව ගෙදරින් වැඩට යන්න පිටත් කලේ".
අපගෙන් විටින් විට යොමු වූ ප්‍රශ්න වලටත් පිළිතුරු දෙමින් මිතුරා සිය කථාව පැවසුවේ එසේය.
"අපේ ගෙදරත් ඔය වගේ දේවල් වෙනවා මචං"
තවත් මිතුරෙකු පටන් ගත්තේය.
"අම්මා උදේට එනවා, පුතේ හාල් මැස්සෝ හදන්නයි යන්නේ කොහොමද හදන්න ඕන?"
ඕනෑ විදිහකට හදන්න කිව්වොත් අම්මාගේ හිතට හරි නැහැ, එයා තාත්තා ඉන්න කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ තාත්තා කියන විදිහට හදන්න, දැන් මං කියන විදිහට. ඉතිං මං ඔය මොකක් හරි හිතට එන විදිහක් කියනවා, ආ අම්මා හාල් මැස්සෝ ටික බැදලා ගන්නකෝ.
වයිෆ්ට එහෙම පුරුද්දක් නැහැ, එයා එයාට හිතුන හිතුන විදිහට හදනවා, එයා කුස්සියට ගිහින් අර අම්මා හෝදලා තියෙන හාල් මැස්සෝ ටික අරං තෙල් දානවා,
ඔන්න අම්මා ආපහු එනවා, ඇයි පුතේ මට බදින්න කියලා අර ළමයාට තෙල් දාන්න කිව්වේ, මට කිව්වා නම් මම තෙල් දානවානේ, මම තෙල් දාන විදිය දැන් පුතාට හරි නැද්ද?
ඔව් ඉතිං මං නාකි ගෑණිනේ. ලුණු රහ එහෙම හරියට වැටෙන්නේ නැතුවා වෙන්න ඇති,
අනේ අර මනුස්සයා හිටියා නම්................ අම්මා විස්සෝප වෙනවා, එහෙනම් ම්හු සද්දයක් නැතිව කනවානේ. මම තනි වුනා................
හාල් මැස්සෙක් පියෑඹුව දුර................
මට පිස්සු වගේ. අනේ අම්මා ඔය චූටි හාල් මැස්සෙක් අල්ලං ඔච්චර දුර යන්න එපා.
(මිතුරා දෙනෙතින්ද අතින්ද චූටි බව හඟවමින් පැවසු හැටි විදහා පායි) ඔය හාල් මැස්සා කොහොම හැදුවත් මට වෙනසක් නැහැ. අනික මම එයාට ඒ ගැන මොකුත් කිව්වෙත් නැහැ.
මම කොච්චර කිව්වත් අම්මාට විශ්වාස නැහැ. අම්මා හිතන්නෙම මම දෙපැත්තට දෙවිදියට කිව්වා කියලායි".
නැවතත් පෙර කථාව පැවසූ මිතුරාගේ වාරය,
"වයිෆ්ටත් ට්‍රෙස් එක මචං, මම උදේ පාන්දර 6 ට විතර ගෙදරින් එනවා, ආයේ යන්නේ රෑ වෙලා,
සමහර දාට 10 11 වෙනවා. දරුවා ගැනවත් කථා කරන්න වෙලාවක් නැහැ.
ඉතිං මම යද්දී වයිෆ් මේ පුටුවේ, අම්මා අර පුටුවේ,
කොච්චර වුනත් අම්මා වයසයිනේ මචං ඉතිං මට මුලින්ම කියවෙන්නේ අම්මා යන්න නිදිය ගන්න කියලායි. ඒකටත් වයිෆ්ට ඔරොප්පුව"
ඔය ආකාරයෙන් පිරිමි මිතුරන් පවසද්දී ගැහැණු පාර්ශ්වය නියෝජනය කරමින් මටද කියන්නට කරුණු ඕනෑ තරම් විය.
ඒ ගැනත්, තව තව මිතුරන් පැවසූ දේවලුත්, මේ පිළිබඳ මගේ අදහසත් වෙනත් ලිපියකින් පවසන්නම්.
අපොයි බැඳලා පවුල් කනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි වගේ. හැමෝටම ඉතින් වෙනම ඉන්නත් බැහැනේ
ReplyDeleteඅනේ ඇත්තට මම හිතන්නේ නම් ඔතන ප්‍රශ්නෙ සංනිවේදනය
ReplyDeleteඹය දෙගොල්ලෝ එකිනෙකා තෙරුම් ගැනිලිලේ ගැටලුව
බිරිද සැමියා තමන්ට හොදටම ආදරේ බවත් සියලු දේවල් කරන්නේ එම ආදරය යටතේ බවත් තේරුම් ගන්නවානම් අනෙක් පැත්තද එසේනම් ගැටලු හුගක් අඩුයි නේද
wife katha peththaka daamu...mage GF hitan oya wage...
ReplyDeletemata welawakata athi wenawa...
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...............
ReplyDeleteමට නම් උයලා පිහලා දෙන නැන්දම්මා කෙනෙක් ඉන්නවානම් දෙවියන්ට වගේ සලකනවා :D ආයේ මොකටද කුස්සි බෙදාගන්න පොරකන්නේ ? මං දන්න හොඳම නැන්දම්මා අපේ අම්මාගේ අම්මා..කිසිම දවසක නැන්දලාගෙ චූටි අඩුපාඩුවක්වත් කිව්වේ නැහැ. ඊ ගාවට අපේ අක්කාගෙ නැන්දම්මා...එයාත් ඉතින් වෙලාවකට එයාගෙ දුවටත් වඩා හොඳට සලකනවා. හොඳට විහිළුත් තේරෙනවා..
ReplyDelete