පන්හිඳ සමඟ නම් වූ බ්ලොග් අඩවියේ දුටු ලිපියක් නිසා මම නැවතත් මීට අවුරුද්දකට පමණ පෙර අතීතයට ගියෙමි. එම ලිපිය නම් ගබ්සාව නීතිගත කළ යුතුද? යන්නයි.
මීට වසරකට පමණ පෙර මේ කාලය වන විට මම අපේ දූ කුස දරා ගෙන සිටියෙමි. ඇය අපගේ ලෝකයට එන්නට සිටින බව නිල නොලත් ආකාරයෙන් මුල් වරට අප දැන ගත්තේ 2009 ජනවාරි මස 15 වෙනිදාට ආසන්න දිනයකදීය. ඒ වන විට යන්තම් සති 3-4ක් පමණ වන්නට ඇත. දරු පැටියකු බලාපොරොත්තුවෙන් ම සිටි නිසාවෙන් දෝ එතරම් ඉක්මනින් අපට ඒ පිළිබඳව දැනින. ජනවාරි මස 21 වන දින නිවසේ දී ප්‍රථම වරට පටි පරීක්ෂණයක් (Strip Test) මගීන් ඒ පිළිබඳ ව යම් තරමකට නිලලත් ආකාරයට දැන ගතිමු. එහෙත් වෛද්‍ය පරීක්ෂණයක් මගින් ස්ථිරව දැන ගැනීමට අප සැමට අවැසි විය. (පසුව දැන ගත් ආකාරයට වෛද්‍ය පරීක්ෂණය ද බොහෝ විට කරන්නේ ඒ ආකායටම ලු). යම් අවාසනාවන්ත තත්ත්වයක් යටතේ දින තුනක් යන්නටත් මත්තෙන් ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වන්නට මට සිදුවිය. එහෙත් ඊට පෙර අපි වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී වාර්තාවක් ලබා ගත්තේ යම් හෙයකින් අප කරන ලද පරීක්ෂණය දෝෂ සහිත වේදැයි සැක සිතුනු නිසාවෙනි.
රෝහලේ දී සිදු වූ දේවල් ලියන්නට නම් තවත් ලිපියක් ලිවිය යුතුය. එබැවින් මාතෘකාවට අදාල කොටස පමණක් මෙහි සටහන් තබන්නෙමි. එහි දී ප්‍රථම වරට ගණන් හදා බලා ඒ වන විට අපේ දූ පැටියා සති 7යි දින කිහිපයක කළල අවස්ථාවේ පසු වන බව පැවසිණ. පසු දින වාට්ටුව බාර ලොකු දොස්තර මහතා පැමිණ මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කර අවදානමේ ස්වභාවය නිර්ණය කරනු ඇති බවද පැවසිණ. කෙසේ හෝ ලොකු දොස්තර මහතා පැමිණෙන විට වාට්ටුව භාර ප්‍රධාන හෙදි නිලධාරිනියට පිං සිදු වන්නට මම අප්‍රමාණව බිය වී සිටියෙමි. ඇයට අනුව මාගේ දරුවාගේ තත්ත්වය සුභදායක නොවීය. වරින් වර දුරකථන ඇමතුම් දෙමින් මාගේත් දරුවාගේත් (කළලයක් ලෙසින් ඔවුන් හැඳින් වුවද අපට නම් කුස ඔත් දා පටන් ඒ අපට දරුවා විය) සුව විමසන සැමියාට ඇයගේ වදන් පැවසීමට මගේ සිතත් දිවත් නොනැමුනේ, නොහැඟවූවද ඔහු ඉමහත් සෝකයකින් පසුවන බව දත් නිසාය. මම තනිව සිතුවේ 'ඩොක්ටර් මොකුත් කියන කම් එයාට මේ ගැන කියන්නේ නැහැ.' යනුවෙනි.
කෙසේ හෝ ආධුනික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පිරිවරාගත් ලොකු දොස්තර මහතා ඇදෙන් ඇඳට රෝගී කාන්තාවන් පරීක්ෂා කරමින් පැමිණෙන විට මම වෙව්ලමින් බලා සිටියෙමි. අවසානයේ ඔහු පැමිණ මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කල අතර ඒ අවස්ථාවේ එතැන සිටි ආධුනික වෛද්‍ය ශිෂ්‍යාවකට ඔහු පරිගණක තිරය දක්වමින්, "See This Heart Beat" යනුවෙන් පැවසීය. මගේ සතුට නිම් හිම් නැති විය. වෙව්ලන මුවින් යුතුව මම මාගේ දරු පැටියාගේ තත්ත්වය විමසා සිටියෙමි. "අම්මා, අම්මාගේ දරුවා හොඳින් ඉන්නවා"යි මාගේ හිස අත ගාමින් ඔහු පැවසීය.
දැන් පන්හිඳ සමඟ හී දැක්වෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම දෙස බලමු.
"ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය."
එය කෙතරම් සාධාරණ දැයි සිති බැලීම තනි තනිව ඔබට බාරය. මට දැනෙන්නේ ප්‍රථම වරට යුක්තානුව බිහි වූ දා පටන්ම ඒ සජීවි ජීවියෙකු බවයි. එනම් එදා පටන් උපදින්නට පෙර ඕනෑම අවස්ථාවක දී ගබ්සාවකට ලක් වන්නේ නම් ඒ ලක් වන්නේ සජීවි ජීවියෙකු බවයි. මා එලෙසින් පවසන්නේ අම්මා කෙනෙකු හැටියට මිස විද්‍යාත්මක ඇසින් බලා නොවන බව ඇත්තය. කන්න අවැසි වූ විට සතා මාරු වන න්‍යාය ධර්මයට අනුව නම් ඒ පැහැදිලි කිරීම පිළි ගන්නට සිදුවේ. එහෙත් ඔබ බොහෝ දෙන මා දරණ අදහස සමඟ එකඟ වේ යැයි සිතමි.
මේ ඒ සඳහා මා දැක්වූ ප්‍රතිචාරයයි.
"ගබ්සාවක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ අවසන් ඔසප් දිනයේ සිට සති 28ක් දක්වා වූ ගර්භ කාලයක් තුල සිදු වන අතිශය නොමේරූ උපතකටය."
මට කියන්නට තිබෙන්නේ අතිශය නොමේරු කියන වචනය මෙහිදී භාවිතා කිරීම අතිශය වැරදියි. අතිශය නොමේරු නම් ඒ දරුවා යම් හෙයකින් සති 28ට පෙර ඉපදුනහොත් ජීවත් කරවන්නට බැරි විය යුතුයි. මාගේ කාර්යාලයේ මිතුරන් දෙදෙනෙකුගේ දරු පැටවුන් දෙදෙනෙකු එක් අයෙකු කාසල් රෝහලේ දී සති 26න් ද, අනිත් දරුවා ආසිරි රෝහලේ දී සති 25න් ද, හදිසි තත්ත්ව යටතේ ඉපදුනා. දැන් සති 26න් ඉපදුන දුට අවුරුදු 2යි මාස 5යි. සති 25න් උපන් පුතාට අවුරුද්දයි මාසයයි.
පියෙකු හිමිකම් කීමට අකමැති දරුවකු ඒ මවට, ලෝකයට මෙන්ම ඒ දරුවාටමත් තමන්ම බරකි. ඒ අප අද දක්වා ජීවත් වූ ජීවත්වන සමාජයේ දැක්මට අනුවය. එබැවින් කල යුත්තේ ඒ දරුවා උපදින්නට පෙරම මරා දැමීමද? මේ ප්‍රශ්නය මතුපිටින් අත ගා අප හට තීරණ ගත නොහැක. තවද ආර්ථික ප්‍රශ්න හමුවේ තම බිරිඳ ගබ්සාවන් සඳහා යොමු කරන පුද්ගලයින්ද නැතිවා නොවේ.
මව රෝගී වුවහොත් ඇයගේ ජීවිතයට අවදානම් සහගත තත්ත්වයක් ඇති වුවහොත්, ඇතිවන තත්ත්වය සමනය කිරීමට එවන් තීරණ ගැනීමට සිදු වේ.
ගහේ කටු උල් කල මනාද? යන්නට සාක්කි දෙමින් යම් වයසකට පත් වු පසු මනා ලෙසින් හෝ නොමනා ලෙසින් සහකරුවන් සමඟ එක්වීම 90%ක් පමණ වූ මිනිසුන්ගේ ස්වභාවයයි. සමාජයේ පිළි ගැනීම එය 'මනා' වන්නට නම් විවාහය ඊට පෙර සිදුවිය යුතුය. 'නොමනා' වන්නට නම් 'මනා' නොවීම පමණක් ප්‍රමාණවත්ය. මේ කියන නොමනා අවස්ථාවේ පිළිසිඳ ගන්නා දරුවන් පිය පාර්ශවය විසින් නොසලකා හැරීමේ සම්භාවිතාව වැඩිය. නමුත් පියා මග හැරීම නිසා, නූපන් දරුවකු මරා දැමීමට පිඹුරු පත් සැකසීම සාධාරණද? එහි දී මූලික වශයෙන් ඉදිරිපත් වන්නේ සමාජ සම්මතයන්ට මුහුණ දීමේ අපහසුතාවයි. ඊට අමතරව ආර්ථික ගැටළු, එවන් දරුවකු සමඟ නැවත විවාහයක් ගැන සලකා බැලීමට අපහසු වීම වැනි පරිවාර ගැටළු ද ඉදිරියට පැමිණේ. අතවරයකදී යම් හෙයකින් දරුවකු පිළිසිඳ ගතහොත් තත්ත්වය යම් තරමකට වඩා බැරෑරුම්කාරී වෙයි. එහෙත් එයද නීතිමය මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සහ දැරීම ගබ්සාවක් දක්වා ගොස් මවගේ ජීවිතයද අවධානමකට ලක් කර ගන්නවාට වඩා උචිත නොවේද?
නිත්‍යානුකූල විවාහයට පෙර පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සම්පාදනය කිරීම අප රටේ සමාජය දකින්නේ නිත්‍යානුකූල විවාහයට පෙර දෙදෙනෙකු එක් වීම අනුමත කිරීම නම් මහා පාප කර්මය කරන්නා සේය.කෙතරම් සදාචාරය රකින්නට ගියද අත් මිටකට ගත් වැලි අහුරක් සේ සදාචාරය ඇඟිලි අතරින් බේරි හැලේ. තමන් තමන්ව පාලනය කර නොගන්නේ නම්, ගැහැණුන්ට මිනිසුන්ට වැට බඳින්නට ආණ්ඩු වලට නොහැකිය. වැට පනින ගැහැණු පිරිමි නිසා අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන නූපන් දරු පැටවුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුරුද?
සමාජ සම්මතයට අනුව,
නිත්‍යානුකූල විවාහයට පෙර ගැහැණු ළමුන් කුමරි බඹසර රැකිය යුතුය.
එවිට ඔවුනට නිත්‍යානුකූල විවාහයට පෙර පිරිමි සමඟ ගනු දෙනු නොමැත.
එකල් හී දරුවන් පිළිසිඳ ගන්නේ නැත.
එවිට පිය පාර්ශවය මග හැර යදෝයි ගැටළු මතු වන්නේ නැත.
එබැවින් නූපන් දරුවන් මරන්න සිදු වන්නේ නැත.
අවසාන තීරණය - විවාහයට පෙර පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සම්පාදනය අවශ්‍ය නැත.
යම් හෙයකින් එසේ සම්පාදනය කරන්නේ නම් ඒ ගැහැණු ළමුන් හට කුමරි බඹසර බිඳ ගැනීමට අවසර දීමකි.
අවුරුදු 18, 20 පසු වු පසු තමන්ගේ ගෞරවය රැක ගන්නවාද නැද්ද යන වග ගැහැණු දරුවකු තනිව දැරිය යුතු මට්ටමකට පැමිණේ. රැක ගන්නා අය බොහෝ විට යහපත් අනාගතයක් ලබනු ඇත.එහෙත් එසේ රැක නොගන්නා පිරිසක් ද සිටිනා බව අමිහිරි සත්‍යයකි. මා සිතන්නේ එවන් අය හරහා අවදානමට ලක්වෙන නූපන් දරුවන් මරා දමනවාට වඩා,එවන් දරුවන් පිළිසඳ ගැනීම් වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සමාජය තුල ප්‍රබලව පතුරුවා හැරීම වඩා සුදුසු බවයි. ජනමාධ්‍ය තුලින් උදේ සිට රෑ මැදියම තෙක් ඔවුන්ටත් නැති අපටත් නැති දේවල් ප්‍රචාරය කරන වේලේ දිනකට එක් පැයක් දෙකක් වැය කොට මේ පිළිබඳ ව සමාජය දැනුවත් කරන්නේ නම්,එවන් මිනී මැරුමක තිබෙන ආගමික පසුබිම පැහැදිලිව දක්වන්නේ නම් සමාජය මීට වඩා යහපත් තලයකට ගෙන ඒමට හැකිවනු ඇත.
මට දැන් සොයා ගැනීමට අපහසුව ඇති එක් බ්ලොග් අඩවියක මෙහි ඇති ආගමික සහ අපට නොපෙනෙන පැත්ත මනාව පෙන්වා තිබිණ. එයින් පෙන්වා දී තිබුනේ එසේ ආකාලයේ මිය යන්නේ බුදු දහමට අනුව බලන කල මිනිසත් බව ලබා උපදින්නට පිං කෙරූ කෙනෙකි. එවන් කෙනෙකු බලෙන් කුසින් එළියට ඇද දැමීම බලවත් අකුසල කර්මයකි. තවද ඒ නිසා එම ප්‍රාණියා වෛර කරමින්, එසේ කල පුද්ගලයින් හට වින කෙරූ අවස්ථාවන් එයින් මනාව පෙන්වා දී තිබිණ.
කෙසේ හෝ ගබ්සාව නීති ගත කරන්නට උත්සහ දරනවාට වඩා තමනට අවශ්‍ය නොවන දරුවන් පිළසිඳ ගැනීම වළක්වා ගැනීම සෞඛ්‍යමය වශයෙන්ද වැදගත් කාරණයකි. එසේ වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ ගබ්සාව නීති ගත කලද එළිපිට ගොස් ගබ්සා කර ගැනීමට අප රටේ උදවිය පෙළඹේවිද? එබැවින් එයින් මවට ඇතිවිය හැකි ශාරිරික අවධානම යම් තමින්වත් අඩු නොවේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතු මවගේ ශරීරයත් නූපන් බිළිඳාත් එවන් දෙයකට සුදුසු තත්ත්වයක නොසිටින නිසා අධික රුධිර වහනය, පිට ගැස්ම වැනි තත්ත්ව උද්ගත වී මවගේ ජීවිතය අවදානමට පත් විය හැකි නොවන්නේද? අවසානයේ සිදු වන්නේ පෙරටත් වඩා මේ හේතුවෙන් කාන්තාවන් ජීවිත අවධානමකට ලක් වීමය.
මෙලෙසින් බලන කල තමනට අවශ්‍ය නොවන දරුවන් පිළසිඳ ගැනීම වළක්වා ගැනීම, ගබ්සාව නීති ගත කරන්නට උත්සහ දරනවාට වඩා සමාජමය, සෞඛ්‍යයමය, මානසිකමය, ආගමිකමය සහ සංස්කෘතිකමය යනාදී හැම අතින්ම සුභදායක වනු ඇත.
This comment has been removed by a blog administrator.
ReplyDeleteමගේ අදහසේ හැටියට ගබ්සාවන් කොටස් දෙකකට බෙදිය හැකිය.
ReplyDelete1. අනපේක්ෂිත ගැබ් ගැනීමක් නිසා(ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ නම් "වැඩ වරද්දා ගැනීම නිසා) ගබ්සා කරන පිරිස. අද සිදුවන නීති විරෝධී ගබ්සා වලින් වැඩි කොටසක් මේ ගණයට අයත් වේ යැයි මම සිතමි. මේවා වලක්වා ගත හැක්කේ විධිමත් ලිංගික අධ්‍යපනයක් ලබාදීම මගිනි.
2. සෞඛ්‍යමය/සානුකම්පිත හේතුන් මත.(ආබාධිත කලල, මවගේ ජීවිතයට අනතුරුදායක වීම, ස්ත්‍රී දූෂණයකදී). මේ පිරිස සඳහා ගබ්සාව නීතිගත කිරීමෙන් යහපතක් වියහැක.
නමුත් මෙම නීතියෙන් අයුතු ප්‍රයෝජන ගනීද යන්න පිළිතුරු දිය නොහැකි ගැටළුවකි. මන්ද අපේ රටේ ඕනෑමදෙයක් සිදුවියහැකි නිසාය.
මේ පෝස්ටය ගබ්සාව කිරීමේ අයිතිය මවට ලබාදීම තුළින් සිදුවන ගබ්සා සංඛ්‍යාව ඉහළ යතැයි යන වැරදි නිගමනයට බසී. එය වැරදිය.
ReplyDeleteමෙතැන ඇත්තේ නරක හා හොඳ අතර තෝරා ගැනීමක් නොව නරක දෙකකින් අඩු නරක තෝරා ගැනීමකි.
ගබ්සාව නීතිගත කළත් නොකළත් ඒවා සිදුවේ. ගබ්සාව නීතිගත කිරීම තුළින් සිදුවන්නේ දැනට මවට හා දරුවාට දෙදෙනාටම අනර්ථයක් ලෙස සිදුවන කාරණයකින් මව මුදා ගැනීමය. අවස්ථා දෙකේදීම (ගබ්සාව නීතිගත කළත් නොකළත් ) දරුවාට අනර්ථයක් වේ. ඒ ගැන විවාදයක් නැත.
- Taboo
මේ පිලිබද කතාකල තවත් තැනක්
ReplyDeletehttp://beyondframe.wordpress.com/2009/05/16/%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94-%E0%B6%AF-%E0%B6%BA%E0%B6%9A%E0%B7%9D-%E0%B6%B8/
test
ReplyDeleteඅනේ මේ රෝස පාට අකුරු පෙන්නේ නෑ
ReplyDeleteසමාවෙන්න, බ්ලොග් එක අප්ඩේට් කලාම ඔය වගෙ අකුරුවල පාට වෙනස්වෙනව වගේ දේවල් වෙලා තිබුනා. ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුයි. වරද නිවරද කලෙමි.
Delete