Thursday, October 29, 2015

363. The Story Of My Marriage - 12 - My mother came to Ahmedabad for my graduation and ……………..

උපාධි ප්‍රදානෝත්සවයට පෙරදින මගේ මෑණියෝ දුම්රියෙන් අහ්මදාබාද් බලා පැමිණියෝය. මම ඇය පිළිගැනීම උදෙසා දුම්රියපොළට ගියෙමි.අනන්‍යාගේ මව්පියෝ ඉන්දීය රජය විසින් රජයේ සේවකයින් උදෙසා සිව් වසරකට වරක් සහනදායක ගාස්තුවක් යටතේ ලබාදෙන ගුවන් ටිකට්පත් උපයෝගී කොටගෙන චෙන්නයි සිට ගුවන් මගින් පැමිණියෝය.

මගේ මෑණියෝ සැළකියයුතු තරමේ ගමන් මළු දෙකක් රැගෙනවිත් තිබිණි. ඉන් එකක් ඇගේ ඇඳුම් පැළඳුම් වලින් සමන්විතවූ අතර අනෙක පිරී තිබුණේ නොයෙක් රසකැවිලි වලිනි. මිතායි යනුවෙන් පොදුවේ හැඳින්වෙන මේ රසකැවිලි වෙළඳාම උදෙසාම වෙන්වුනු වීථි කිහිපයක් නවදිල්ලියෙහි නගර මධ්‍යයයෙන් මඳක් දුරස්වන්නට පිහිටා ඇත.

Mithai - Indian sweets - Wikipedia
"මම තව මෙහෙ ඉන්නෙ හරියටම දවස් පහයි. මොහොකටද මේ හැටි රසකැවිලි කන්දරාවක්?" මම විමසූයේ තුන්රෝද රියක නැඟී අප දුම්රියපොළේ සිට ආපසු එන අතරවාරයේදීය. 

"ඇයි?.... අපි ඒ ඔක්කොම කමු. තව අපිට ඔයාගෙ යාලුවො, යාලුවන්ගෙ දෙමව්පියෝ එහෙම හම්බවෙයිනෙ නේද? එයාල හිතයි පුදුම ලෝබ අම්මණ්ඩියෙක් තමයි මේ උන්දැ නං. එයාගෙ එකම පුතා උපාධිය ගන්නව . ඒත් සන්තෝසෙට අනික අයට බෙදන්ට එක කිරිටොපී කෑල්ලක්, එක සීනි බෝලයක් ගේන්නෙ නැතුව පේනවද මුන්දැ අත්දෙක වන වන ඇවිල්ල තියෙන අපූරුව කියල. පුතේ එහෙම නෝක්කඩු අහන්ට මම කැමති නෑ. ඔයාට තේරුණාද?" 

"හරි හරි තේරුණා..තේරුණා..මෙච්චර රස කැවිලි මොකටද කියල හොඳටම තේරුණා" කතා කරන්නට පටන්ගත්පසු ඇය නැවැත්වීම ඉතා අපහසු බව දන්නා මම ඉඩක් ලද වහා පැවසුවෙමි. 

"හිහ්, මම ඒත් මෙහෙ ඉන්න දවස් දෙක තුනට සෑහෙන තරමට කෑමත් උයල පොඩි පෙට්ටිවල දාල අරගෙන එන්නත් හදල නිකං හිටිය. මෙහෙ උයද්දි පරිප්පු වලටත් සීනි දානවලු නේද පුතේ? මේ ඇත්තම කියන්නකො එහෙම උයපු පරිප්පු කනකොට නිකම් ඔක්කාරෙට වගෙ එන්නෙ නැද්ද?" 

"කවුද ඔය බොරු කියන්නෙ? එහෙමට සීනි දාන්නෙ නෑ අම්මෙ පරිප්පුවලට..විකාරද?" 

"ඔයාට සහතිකද? මම අහල තියෙන්නෙ නං......" 

"හරි ..හරි ඔය කතා අල්ලල දාමු...මේක අහගන්නකො..මට අම්මට කෙනෙක්ව අඳුන්වල දෙන්න තියනව." 

"කවුද? …………….." අය ඇසිබැම යටින් මා දෙස විමසුම් බැල්මක් හෙලුවාය.

"ආ..මේ..මේ..එක ගෑණු ළමයෙක්…" 

"මොකක්? ඔයාට දැන් යාලු ගෑණු ළමයෙකුත් ඉන්නවද?" ඇගේ දෑස් සැණෙකින් විසල් වූයේ " අම්මේ කලබල වෙන්නෙ නැත්නම් මට කාරණාවක් කියන්න තියනව අම්මට..මේ..මේ...මට ඒඩ්ස් හැදිලා " යයි මා පැවසූ කලෙක පරිද්දෙනි.

"කළබල වෙන්න එපා අම්මෙ..එයා හොඳ යාලුවෙක් විතරයි" මම ඇය සන්සුන් කිරීමේ අටියෙන් පැවසුයෙමි.

"හොඳ යාලුවෙක්... හහ්? ...ඒ කියන්නෙ ඔයාට නරක යාලුවොත් ඉන්නවද මෙහෙ?" 

"නෑ...නෑ...අම්මෙ ..නෑ...මම කියන එක පොඩ්ඩක් අහන්නකො...අපි දෙන්න එකට පාඩම් කලේ. ගොඩක් ඔය විභාග වලට එහෙම එයා මට උදව් කලා. මම එයාට උදව් කලා." 

"හරි..හරි..උදව් කලා තමයි..මට තේරෙනව..මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල...හ්ම්ම්ම්ම්...ඔය ඔයාගෙ හොඳ යාලුවට මොකක් හරි රස්සාවක් එහෙම හම්බවෙලාද තියෙන්නෙ දැං?" 

"ඔව්..ඔව්... එයාට රස්සාව හම්බවුනේ H.L.L. කොම්පැණියෙ………" 

" H.L.L. ?.......ඒ කිව්වෙ?" 

"අර මේ....අර.....සර්ෆ් එක්සෙල් , එතකොට රින්..ආය ලයිෆ්බෝයි එහෙම හදන්නෙ ඒ කොම්පැණිය.ආ...තව කිසන් සෝස්..." H.L.L. සමාගමෙහි නිෂ්පාදන රැසක් මම එකදිගට කියාගෙන ගියේ යටත් පිරිසෙයින් ඒ මඟින් හෝ ඇගේ සිතෙහි අනන්‍යා කෙරෙහි පහන් හැඟීමක් හා /හෝ සුහදත්වයක් ඇතිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

"එතකොට කිසන් ජෑම්?" මව ස්වල්ප වේලාවක් කල්පනාකල ඉක්බිති විමසුවාය. 

"ඔව්..ඔව්..මම මේ කියන ගෑණු ළමයා වැඩ කරන්නෙ ඒ කොම්පැණියෙ ඔය කෑමබීම ජාති සම්බන්ධ අංශෙ. අම්ම කිව්වට විස්වාස කරන්ට. එයාට හම්බවුනේ බොහොම හොඳ තත්වයක් තියෙන අපූරු රස්සාවක්..ඔව් අම්මා..මේ ඇත්තමයි."

"ක්‍රිෂ්..මේ එයාට නොමිලෙත් ජෑම් හම්බවෙනවද? මම මේ කියන්නෙ මගෙ අර මාමගෙ පුතාගෙ දුවටත් ඔය වාගෙ......... "

"හරි හරි එව්ව ඕන නෑ මෙතෙන්ට...එයාට ජෑම් නොමිලේ හම්බවෙනව…. නොමිලේම හම්බවෙනව" එසේ පවසන අතර මම හිස සොළවමින් කල්පනා කලේ මේ සාකච්ඡාව යලි කෙලෙස අදාල ප්‍රස්තූතයට ගෙන එන්නේද? යන්නයි. මේ අවස්ථාවේ කිසන් ජෑම් පිළිබඳව සාකච්ඡා කිරීමට මට කිසිසේත් අවශ්‍ය නොවීය.

"ඒ උනාට අම්මෙ ජෑම් නෙවෙයිනෙ මෙතන වැදගත් කාරණේ"

"ඔව්..ඔව්..මට තේරෙනව ජෑම් නෙවෙයි නේන්නං වැදගත් කාරණේ" 

මම සැනසුම් සුසුමක් හෙළීමි."ඇති අම්මට ඒක තේරුනා අන්තිමට කොහොම හරි" 

"ඇයි ඔයා හිතන්නෙ මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ කියලද? මට හොඳටම තේරෙනව..දැං මෙතන වැදගත්ම කාරණේ අපි දවල්ට මඟිං මොකවත් කාල යනවද? නැත්තං ඔයාගෙ ඔය හොස්ටල් එකටම ගිහිල්ල මොනවහරි කනවද කියන එකනෙ? ඒකනෙ ක්‍රිෂ් ඔයා ඔය කියන්න හදන්නෙ? මට තේරෙනව පුතා..හරි අපි මෙහෙම කරමු. අද දවල්ට මේ කොහෙන් හරි හොඳ තැනකිං කමු. රෑට........" 

"අම්මා !!!! …………" මම දත්මිටි කමින් මුරගෑවෙමි. "කරුණාකරල මම කියන එක පොඩ්ඩක් අහනවද? මම මේ අපි දෙන්නටම බොහොම වැදගත් දෙයක් ගැනයි කතා කරන්ට හදන්නෙ." 

"හරි හරි ක්‍රිෂ් අපි ඒ ගැන කතා කරමු. ඉස්සෙල්ල කාල ඉමුකො..කාල ඉන්ට එපාය මොනව කරන්ටත්....මේ ත්‍රීවීල් එලවන අය හොඳට දන්නව කොහෙද කෑම රසම රෙස්ටෝරන්ට් තියෙන්නෙ කියල..මේ ඒයි පුතා.." ඈ එසේ එවර ඇමතූයේ මට නොව තුන් රෝද රියෙහි තරුණ රියදුරාටය. "මේ අහල පහල කොහෙද හොඳ පිරිසිදුවට රසට ගුණට කෑම ටිකක් කන්ට තියෙන්නෙ?" 

"නෝනා, වීල් එක මඟදි නවත්තනව නම් වැඩිපුර ගෙවන්ට ඕන ඔන්න. පස්සෙ නොකිව්වයි කියල එහෙම කියන්ට එපා." රියදුරා රිය පදවන අතරම ආපසු හැරී පැවසීය.

මම සියලු බලාපොරොත්තු සිඳීගිය අයුරින් ඇගේ මුහුණ දෙසම එක එල්ලේ බලා සිටියෙමි.

"ඇයි මොකද? …" මගේ එම අනවරත බැල්ම දරාගත නොහුනු ඇය අවසන විමසුවාය. 

"එයාගෙ නම අනන්‍යා. එයාලෙගෙ අම්මයි තාත්තයි දෙන්නත් මෙහෙ ඇවිල්ල ඉන්නෙ. අනේ අම්මෙ කරුණාකරල එයාල එක්ක සුහදව කතා කරන්න හොඳේ?" 

"හරි, හරි ක්‍රිෂ්, මම ඔයා කියන ඕනම කෙනෙක් මුණගැහෙන්න එන්නං. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් මොකක්ද අර සුහදව කතා කරන්න කියල කිව්වෙ? එහෙම විශේෂයෙන් කියන්න මොකෝ මම කවදාවත් එහෙම නැතුව කිසිම කෙනෙක් එක්ක කතාබහ කරල තියනවද? මම කොහොමත් කාත් එක්කත් බොහොම සුහදයි තමයි. හිහ්..සුහද කිව්වම මතක් වුනේ. ඔය සුහද හමුවීමකට එන ඔයාගෙ අමුත්තන්ට පිළිගන්වන්ට මොනවහරි හොඳ රසකැවීලි ටිකක් ගත්තොත් මොකද? මේ මම ගෙනාපු මිතායිත් හොඳයි තමයි. ඒත් මේ අහ්මදාබාද් රසකැවිලිත් මොන මොනව හරි........"

" අම්මා !!!! ............." මම යලිත් මොරගැසුවෙමි. "ඔන්න ඔය ඕක තමයි අම්මෙ මම අම්මගෙ අකමැතිම වැඩේ. කෑම බීම ගැන කතා කරන්ට ගියාම අම්මගෙ කිසිම කන්ට්‍රෝල් එකක් නෑ ඔහේ කියවගෙන යනව.අම්මම දන්නෙ නෑ ඒක. කරුණාකරල අර ළමයගෙ දෙමව්පියෝ මුණ ගැහුනම කෑම ජාති ගැන ඕනවට වඩා කියවන්ට යන්ට එපා. එයාලගෙ හිතේ අපි ගැන පැහැදීමක් ඇතිවෙන විදිහට අම්ම කරන කියන දේවල් කරන්ට දෙයියන්ගෙ නාමෙන්...හොඳද? අම්මට තේරුණාද?" මම ඇය දෙස බලා ආයාචනා කළෙමි. 

මගෙ මෑණියෝ තොල් තදකොටගත්වනම මා දෙස කෝපාවිෂ්ඨ දෙනෙතින් මොහොතක් බලා සිටියෝය. මම වහා ඉවත බලා ගතිමි.

"පුතා….." ඇය මෙවරද පුතා යනුවෙන් ඇමතූයේ මා නොව තුන් රෝද රියේ රියදුරු කොළු හැටයාය. 

"පුතා......... හරවන්න වාහනේ. මම යනව යන්න ආපහු. මදැයි මගෙ එකම පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට මම දිල්ලියෙ ඉඳල ආවෙ රසකැවිලි මහ ගොඩකුත් පොදි බැඳගෙන. දිල්ලියෙ ඔය රසකැවිලි තියෙන වීදියෙ මම වරුවක් ඇවිද්ද එහාට මෙහාට. එහෙම කරලයි මම එහෙ තියන හොඳම රස කැවිලි තෝරගත්තෙ. ඒ කවුරු වෙනුවෙන්ද? මගෙ එකම පුතණ්ඩියා වෙනුවෙන්. එයා වෙනුවෙන් මම එහෙම කලේ..ඔව්..එයා වෙනුවෙන්..." 

"අම්මෙ මේ....." මම කරුණු පැහැදිලි කිරීමට උත්සාහයක් දැරීමි. එහෙත් ඇය මට කිසිවක් පැවසීමට ඉඩ නොදුන්නාය.

"එහෙම එයා වෙනුවෙන් කැපවීමක් කරපු මට එයා කියනව මගේ කිසිම සුහද කමක් නැහැල්ලු. හරි පුතේ ඒකට කමක් නෑ. මගේ සුහදකමක් නැත්තං මම මෙහෙ ඉන්න එකේ තේරුමකුත් නෑනෙ. මම යන්නං ආපහු..ඔව්...මම යනව ආපහු. ….." 

මගේ මෑණියෝ කියවාගෙන ගියෝය. ඇය නිරතුරු නාට්‍යානුසාරයෙන් යම් යම් භූමිකාවන්හි නිරතවීමෙහි මහත් රුචිකත්වයක් දක්වන්නීය.ඇය යලිත් එවැනි භූමිකාවකට නිල වශයෙන් ප්‍රවිෂ්ඨ වී ඇති බවට මට කිසිදු සැකයක් නොවීය.

රියදුරු ගැටයා තුන් රෝද රිය මහමඟ මධ්‍යයේම නතර කළේය.

"ඒ පාර මොකද? ඔහේ මොකද මේ වීල් එක නැවැත්තුවෙ එක පාරටම? අනික මේ මහ පාර මැදම?" පසුපසින් පැමිණෙන කුදු මහත් රිය නලා නාදයෙන් සවන් පිරීයද්දී මම ඇසූයේ කෙමෙන් නැඟීඑන කෝපය පාලනය කොට ගැන්මට අසාර්ථක උත්සාහයක් දරමිනි.

"ඇයි නෝන මහත්තය ආපහු යංය කියල කිව්ව නේද?" පසුපසින් ඇසෙන අමිහිරි රියනලා නාදය කෙරෙහි කිසිදු තැකීමක් නොකොට ඔහු ඇසූයේ රියදුරු අසුනේම හිඳ ආපසු හැරෙමිනි. 

"අම්මා..මොකක්ද මේ නටන්ඩ හදන නාඩගම?" මම කෝපය දැඩි අසීරුවෙන් පාලනය කොටගෙන ඇගෙන් ආයාචනාත්මකව විමසූයෙකි. 

"ආ..මම අම්ම කියල මතක් උනාද? ඇති යාන්තං..මම හිතාගෙන හිටියෙ ඔයා දැන් දෙමව්පියො කියල සලකන්නෙ අර ඔයාගෙ හොඳ යාලුවගෙ දෙමව්පියන්ට කියලයි……." නර්මාලාප බිණීමෙහි ලා මගේ මෑණියන්ගේ සහජ දක්ෂතාවය හොඳින් දත් බැවින් මම මුණිවත රැකීමි.

ඇය කෝපාවිෂ්ඨ වී ඇති බව පැහැදිලිය. එසේ හෙයින් නොපමාව ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතුය. 

"මේ මල්ලි ඉස්සරහ හන්දිය පහුවුනත් එක්කම තියනව පාවෝ-භාජි රෙස්ටුරන්ට් එකක්. එතන නවත්තන්නකො. අම්මෙ..මේ අහන්නකො….ඒකෙ පාවෝ-භාජි වල තියනව පුදුම රහක්…" 

"එතන මොකෝ ආය පාවෝ-භාජි අමුර්තෙ දාල හදනවය වෙනම රහක් වෙන්න?...මට ඕන නෑ.." ඇය ඉවත බලාගෙනම පැවසුවාය. " අනික මට බඩගිනිත් නෑ කොහෙත්ම" 

"හරි හරි යමුකො මම කියනවට..කන්නම ඕන නෑ. නිකමට චුට්ටි කෑල්ලක් හපල බලන්ටකො." මම ඇයට පෙරැත්ත කලෙමි.

රියදුරු තෙමේ රථය ආපන ශාලාව ඉදිරිපස නතර කලේය. "යමු අම්මෙ.. බහින්නකො " මම රථයෙන් බසිමින් පැවසුවෙමි.

" හ්ම්ම්ම්..යමුකො එහනං" ඇය තවමත් පුළුටු කොටගත් මුහුණින් යුතුවම රථයෙන් බිමට  බැස්සාය.

පානීර් යෙදූ පාවෝ-භාජි සහ ලාසි මම ඇණවුම් කළෙමි. කෝපාවිෂ්ඨ වූ හෝ සන්තාපයටපත් පන්ජාබ් වැසියනගේ සිත් සන්සුන් කිරීමෙහිලා නොවරදින ක්‍රමෝපායය වන්නෙ කිරි අඩංගු ආහාර හෝ පාන වර්ග හැකිතරම් ඔහුට හෝ ඇයට කෑමට හා බීමට සැළැස්වීම බව මම හොඳින් දැනසිටියෙමි. 

(පානීර් යනු නැවුම් එළකිරි යොදයට දෙහි යුෂ යොදා මුදවා නිපදවා ගන්නා කේජු වර්ගයකි. පන්ජාබයේ ඉවුම් පිහුම් උදෙසා බහුලව පානීර් යොදා ගැනේ.ලාසි යනු යෝගට්, ජලය, යම් යම් කුළුබඩු වර්ග සවල්පයක් සහ සමහරවිට පළතුරු කැබලිද යොදා පිළියෙල කරනා පානයකි.)

Paneer - Wikipedia


Lassi - Wikipedia
"හ්ම්ම්ම්ම්..නරකම නෑ...ඒක නෙවෙයි කවුද ඔය ගෑණු ළමයා?" ලාසි තඹලේරුව පානය කල ඉක්බිති ඇය විමසූයේ යම්තරමකට සන්සුන් වූ හඬකිනි. 

"එහ්..එයා මේ නිකම් ගෑණු ළමෙක්...මේකනෙ වුනේ අම්මෙ. මම එයා එක්ක කිව්ව මගෙ අම්මා මාව ලොකු මහත් කරන්ට කොච්චරනම් දුක් වින්දද කියල. මම කිව්වෙ මේ තාත්තගෙ වැඩ පිළිවෙල දන්නවනෙ..ඒ හින්ද..ඒ පාර ඒ ළමයා බොහොම පුදුම වුනා. මට විස්වාස කරන්ටත් බෑ ඒ වගෙ අම්මල මේ ලෝකෙ ඉන්නවයි කියල. අනේ ක්‍රිෂ් මට ඒ ඔයාගෙ ආදරණීය අම්මව හම්බවෙන්නම ඕන. ඔන්න ඔහොම කියල මට නිතර දෙවේලෙ පෙරැත්ත කරන්න ගත්ත. ඒ පාර තමයි මම කිව්වෙ හරි එහෙනං මගෙ ග්‍රැජුවේෂන් එකට අම්ම එනවනෙ. එතකොට මම ඔයාට මුණ ගස්සනං කියල." මම හිස ඔසවා විටින් විට ඇය දෙස බලමින් පැවසුවෙමි.

පාවෝ-භාජී වල අඩංගුවූ පානීර් හෝ ඉන් අනතුරුව පානය කල ලාසි හෝ ඇගේ ක්‍රියා කලාපය අගය කරමින් මම පැවසූ වදන් හෝ වියහැක. එසේත් නැතහොත් එයින් ඕනෑම දෙකක එකතුවක් හෝ තුනෙහිම එකතුවක් හෝ විය හැක. ඒ කුමන හේතුවකින්දෝ මගේ මව පැහැදිලි ලෙසම සන්සුන්ව යහපත් මානසික මට්ටමකට කෙමෙන් පත්වෙමින් සිටියාය.

"මේ දැං ඔය ගෑණු ළමයට ඔයා අපේ පවුලෙ විස්තර ඔක්කොම කිව්වද? " ඇයටදැනගැනීමට අවශ්‍ය විය.

"නෑ..නෑ..මොන පිස්සුද? මම මේ අම්ම ගැන චුට්ටක් කිව්ව එච්චරයි..ආ..අම්මෙ තව එකක්. එයාගෙ මව්පියො ටිකක් මේ දන්නෙ නැද්ද? පරණ තාලෙ උදවිය. අන්න ඒ හින්දයි මම අරෙහෙම කිව්වෙ...ටිකක් සුහදව එයාලගෙ හිත් දිනාගන්න විදිහට හැසිරෙන්නය කියල. ඇත්තටම ඒකයි. එහෙම නැත්නම් අම්මට ආය ඒ වගෙ දෙයක් විශේෂයෙන් කියන්න ඕනය? නැද්ද මං අහන්නෙ...අනික එයාල බොහොම කැමති වෙයි අම්මව මුණ ගැහෙන්න.ආය ඒකෙ දෙකක් එහෙම නෑ." මම ඇගේ රිදුනු සිත තව දුරටත් සුවපත් කළෙමි.

"හ්ම්හ්හ්හ්හ්..." බොහෝ වේලාවකට පසු ඇය යන්තමට සිනා සුනාය. "මොනවද මෙතන තියෙන්නෙ අතුරු පසට? මේ ගුජරාටි මිනිස්සු කෑම වලට සීනි දාන විදිහට අතුරුපස හදන්ට සීනි ඉතුරු වුනොත් ඇති. හොහ්..හොහ්...කෝ ගන්ට ක්‍රිෂ්... ඔය මෙනියු කාඩ් එක මෙහාට..... බලමු මොනවද අතුරුපස තියෙන්නෙ කියල" 

"කෑගහන්ට එපා අම්මෙ..හෙමීට හෙමීට කියන දෙයක් හෙමීට" මම පැවසූයේ අවට කිසිවකු ඇසෙන තෙක් මානයේ සිටීදැයි සෙමෙන් හිස හරවා පරීක්ෂා කරමිනි. 

Monday, October 26, 2015

362. The Story Of My Marriage - 11 - " Your mom will love me more than you after this " Ananya said very confidently.


Real Life Krish & Ananya - Chetan Bhagat & Anusha Suryanarayanan

"ඒත් මට විශ්ව විද්‍යාලෙ ඉහලම මට්ටමේ උපාධියක් තියනව. I.I.M.A. එකෙන් M.B.A. එකක් තියනව.මම රැකියාව කරන්නෙ H.L.L. එකේ. එතකොට තව..ම්ම්ම්ම්..සමාවෙන්න මම කැමති නෑ මම ගැන පාරට්ටු කරන්ට. ඒත් ඔයාලගෙ අම්මලට උනත් පෙනෙයි මම අවලස්සන නැති බව. එයාලගෙ පුතාට පෝර උරයක් ඔලුවට නොදා මාව පාරෙ එක්ක යන්ට බැරි කමක් නැතිබව එයාලට පේන්ට ඕන." ඇය නොනවත්වා කියවාගෙන ගියාය. 

"ඒ ඔක්කොම හරි අනන්‍යා. ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ඒ සියල්ල අදාල නොවේ කියල තමයි." 

"එතකොට මොකක්ද අදාල වෙන්නෙ?" ඇය රත්පැහැ ගැන්වෙන මුහුණින් යුතුව විමසුවාය.

"ඔයා දමිළ,මම පන්ජාබී...අපි දෙන්නගෙ අන්න ඒ වෙනස තමයි අදාල වෙන්නෙ." 

මදෙස මොහොතක් බලා සිටි අනන්‍යා සිය පත්වීම් ලිපිය දෙකට නවා අත්බෑගයෙහි රුවා ගත්තාය.ඉනික්බිති කඩිමුඩියේ අත්බෑගය තුලවූ ආම්පන්න පිළිවෙලකට සකසන්නට වූවාය. ඒ ඇය මා හා අමනාපව පිටත්ව යෑමේ සංඥාව බව හොඳින් දන්නා බැවින් මම වහා කතා කලෙමි. 

"මේ....කොහෙද යන්න හදන්නෙ?" 

"මට බෑ තවත් මේ ගල් යුගේ සාකච්ඡාව ඔයත් එක්ක කරගෙන යන්න. ඔයත් එකයි ඔයාගෙ අම්ම තාත්තලත් එකයි. ඔක්කොම ජීවත් වෙන්නෙ තාමත් ....." එසේ පවසමින් ඇය නැඟීසිටියාය. "ඔයාට තියෙන දුක් අඳෝනා ගිහිල්ල ඒ අයත් එක්ක කතාකරගන්න. මට කියන්ට එන්ට එපා" 

මම ඇගේ සුරත ග්‍රහණය කොට ඇය යලි අසුනෙහි හිඳුවා ගත්තෙමි. 

"හරි...හරි...නිස්කාරණේ උඩ පනින්නෙ නැතුව මම කියන එකත් පොඩ්ඩක් අහන්නකො. හරි..දැන් මම පන්ජාබි කියල ඔයාගෙ දෙමව්පියන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?"

"නෑ, මට සහතිකයි එහෙම වෙන්නෙ නෑ. …" ඇය වහා පැවසුවාය. 

"ඔයා දැන් මම ගැන එයාලට කිව්වද?" 

"තවම නෑ" 

"ඇයි ඒ?" 

"ඔයා ගැන එයාලට කියන්ට සුදුසු අවස්තාව එනකල් මම හිටියෙ.තව සති දෙකකින් අපේ උපාධි ප්‍රදානෝත්සවය. ඒ ගොල්ලො ඒකට එනව.එතකොට මම ඔයාව එයාලට අඳුන්වල දෙන්නම්. එතකොට එයාලට කියන්න ඔයා මොනවද මේ ජීවිතේ දැනට දිනාගෙන තියෙන්නෙ කියල. එයාලට වැදගත් වෙන්නෙ ඒ ටික මිසක ඔයා ඉපදුනෙ කොහෙද කියල නෙවෙයි."

"හ්ම්ම්ම්ම්..." 

"මොකද හූම්ම්..ගාන්නෙ?...හූම්ම් නෙවෙයි එහෙම තමයි වෙන්නෙ..ආ..ඒක නෙවෙයි ඔයාලගෙ අම්මයි තාත්තයිත් එනව නේද? මම හිතන්නෙ අපේ දෙමව්පියන්ට මුණ ගැහිල කතාබහ කරල අඳුන ගන්න මේක හොඳ අවස්තාවක්." 

"අම්ම නම් එයි.තාත්ත ගැන මට කියන්න බෑ" 

"ඒ මොකෝ ඒ?" 

"අපි ඒ ගැන කතා නොකර ඉමු." 

"හරි වැඩක්නෙ ඒක. මමයි ඔයාව බඳින්න ඉන්නෙ. ඔයාගෙ අනාගත භාර්යාව.ඉතින් මොකක්ද මේ ඒ ගැන කතා නොකර ඉමු කියන එකේ තේරුම? මට ඇත්තම කියන්න. ඔයා තාත්තට ආරාධනා කලාද කොන්වොකේෂන් එකට එන්න කියල?" 

"නෑ." මම පැවසූයෙමි. ඇය නැඟීසිටියාය. මම ද ඒ සමඟම නැඟී සිටියෙමි.

"හරි. අපි යමු කමියුනිකේෂන් එකට." 

"ඒ මොකටද?" මම විමසූයෙමි.

"මේ.. ඔයාගෙ තාත්තයි, ඔයයි අතරෙ තියෙන සීතල යුද්දෙ පවත්වාගෙන ආවා හොඳටම ඇති. දැන් ඒක නවත්වන්ට කාලෙ ඇවිත්."

"මේ වෙලාවෙ ටෙලිෆෝන් කෝල්ස් අස්ප ගණං." 

"කමක් නෑ. මම ගෙවන්නං. අදම ඔය දෙන්නගෙ මේ විරසකේ ඉවරයක් කරල දාන්න ඕන" 

මීටර දෙසියයක් පමණ දුරින්වූ දුරකථන සේවා සපයන වෙළඳසැලට අප දෙදෙන ඇවිද ගියෙමු. මම අප නිවසේ අංකයට ඇමතුමක් ගතිමි. සිව්වරක් දුරකථනය නාදවූ ඉක්බිති මගේ මව කථා කලාය. 

"හෙලෝ.." 

"අම්මෙ මේ මම…." 

"ක්‍රිෂ්...ඔයා කතාකරපු එක නම් හුඟක් හොඳයි. කොහොමද අපි ටිකට් ගන්නෙ අහ්මදාබාද් එන්න? ම්ම්ම්ම්...බලමු..මම එනවා අනිවාර්යයෙන්ම....ලොකු අම්මත් එන්න ඕනය කිව්ව. එතකොට රජ්ජි මාමා. එයයි කම්ලා නැන්දත් එන්න ඕනලු..එතකොට කීයද ඔක්කොම…….." 

"අම්මා.....මේ…....තාත්තා එනවද? " 

ඇය එක්වරම නිහඬ වූවාය. "නෑ………" ටික වේලාවකට පසු ඇය ඉතා සෙමින් තෙපලාය. 

"අම්මෙ..මේ මගේ උපාධි ප්‍රදානෝත්සවය. ඇයි තාත්තා එන්නෙ නැත්තෙ?" 

"එයාට වැඩ කියල ඔය කිව්වෙ…" 

"තාත්ත විශ්‍රාම ගිහිල්ල ඉන්නෙ. මොනවද ඔය හැටි එයාට තියෙන වැඩ?" 

දුරකථන ගාස්තු ගණක යන්ත්‍රය මේ වනවිට රුපියල් විස්සක් රතුපැහැ ඉලක්කම් වලින් පෙන්නුම් කලේය.

"ඔයා එයාට කතා කරන්න. මම හිතන්නෙ එයා බලාපොරොත්තු වෙනව ඔයාම කතා කරල එයාට එන්න කියල ආරාධනා කරයි කියල.''

"මට බෑ. මම ආරාධනා කරන්න ඕනමද? තමන්ගෙ එකම පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට එන්ට තාත්තෙකුට පුතෙක් පෞද්ගලිකව ආරාධනා කරන්නම ඕනද?" 

"මම දන්නෙ නෑ එව්ව. ඉතිං ඇයි ඔයාටම බැරි එයාගෙං කතා කරල අහන්න ඇයි එන්නෙ නැත්තෙ කියල…" 

"මට ඕන නෑ. එයාට එන්න ඕන කමක් නැත්තං මට ප්‍රශ්නයක් නෑ…………….." 

"හරි ඔයාගෙ කැමැත්තක්...ලොකු අම්මයි, මාමයි එනවනෙ. " 

"අම්මේ මේ...අම්ම විතරක් එන්න..වෙන කවුරුවත්ම එක්ක එන්න එපා." 

"ඇයි පුතා එහෙම කියන්නෙ? ඒ දෙන්න ඔයාට කොච්චර ආදරෙයිද? එයාල හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාව දකින්න." 

"හරි. හරි.. ඒක ඇත්ත වෙන්නැති ඒත් ඉන්නකො මම කියනකල්." 

"මොකක්ද?" 

"මට අම්මට එක්කෙනෙක්ව මුණ ගස්සන්ටයි හිතාගෙන ඉන්නෙ?" 

"එක්කෙනෙක්?...…..ඒ කව්ද?" ඇගේ හඬ කුතුහලයෙන් පිරී තිබිණි. 

"අම්ම එන්නකො..ආවම බලාගත්තෑකි." මම ඇමතුම විසන්ධි කළෙමි. 

ආපසු ගමනේදී අප දෙදෙන බොහෝ දුරක් නිහඬව ඇවිද ආයෙමු. මගේ සිත සංතාපයෙන් ඔද්දල්වී තිබිණි. " දෙයියෝ සාක්කි,ලෝකෙ වෙන මොන තාත්තද තමන්ගෙ පුතාගෙ උපාධි ප්‍රදානෝත්සවයට එන්න පුතාගෙන් ආරාධනාවක් එනකල් බලාගෙන ඉන්නෙ. අනේහ්..මට ඕන නෑ එයාට ආරාධනා කරල ගෙන්න ගන්ට. එන්නෙ නැත්තං කුදගහගන්ටය කියල කියනව. මට පාඩුවෙයි එහෙනං " 

"ක්‍රිෂ්, තාත්ත එනවද?" අනන්‍යා විමසුවාය.

"නෑ ………….." 

"ඇයි?" 

"තාත්තයි මායි අතර මතක ඇති කාලෙක ඉඳල කිසිම ඇයි හොඳයියක් තිබුනෙ නෑ. ඒ තමයි ඒකෙ හැටි.ඔයාට මම එකක් කියන්නං. කරුණාකරල සාම දූතිකාවක් වෙලා අපි දෙන්න අතර පිය-පුතු සෙනෙහසක් ආයෙම ඇතිකරන්ට එහෙම උත්සාහ කරන්නවත් එපා. මොකද ඒකෙං කිසිම වැඩක් වෙන්නෙ නෑ" 

"හරි..හරි ඉතිං කියන්නකො මොකක්ද ඔය තාත්තයි ඔයයි අතර විරසකේට හේතුව?" 

"මම ඒ ගැන කතා කරන්න කැමති නෑ." 

"ඔයා ඉතිං හැමදාම දෙන්නෙ ඔය උත්තරේ තමයි." 

"ඔයා ඉතිං හැමදාම අහන්නෙත් ඔය ප්‍රශ්නෙමනෙ. එකම ප්‍රශ්නෙට කොච්චර ඇහුවත් එකම උත්තරයයි තමයි දෙන්න තියෙන්නෙ." 

"ඒ කොහොම උනත්, කොච්චර නෑ කිව්වත් ඔයාගෙ හිතේ තාත්තා ගැන තවම හැඟීමක් තියනව." 

"ඒ කොහොමද ඔයා එහෙම කියන්නෙ?............" 

"එහෙම කියන්නෙ තාත්තා කොන්වොකේෂන් එකට එන්නෙ නැති එකට ඔයාගෙ හිත රිදිල ඉන්නෙ. මට ඒක ඔයාගෙ මූණෙන් කිව්වැහැකි " 

"පිස්සුද? මම මේ අප්සෙට් වෙලා ඉන්නෙ අර ටෙලිෆෝන් කෝල් එකට අස්ප ගානක් ගෙවන්ට වෙච්චි එකට. මේ ඒක නෙවෙයි... ඔන්න මම බොහොම අමාරුවෙන් ලොකු අම්මයි, මාමයි එන එක නවත්ත ගත්ත. අම්ම විතරයි එන්නෙ. දැන් කොහොමද මේ වැඩේ වෙන්නෙ? මම හිතනව ඔයා සියලු කටයුතු බොහොම අපූරුවට සංවිධානය කරල ඇති කියල." 

ඇය එකෙනෙහිම නතරව ආපසු හැරී මගේ දෑත අල්ලාගත්වනම මා දෑසට එබුණාය. 

"හරි..අපි මේ අපේ දෙමව්පියන්ගෙ පළමු හමුවීම කවදාවත්ම අමතක නොවන විදිහෙ එකක් කරන්න ඕන. අපි මොකක් හරි හොඳ එකිනෙකා සුහදව හඳුනාගන්ට පුලුවන් විදිහෙ දෙයක් සංවිධානය කරමු." 

"මම දන්න රයිෆල් ක්ලබ් එකක් තියනව කිලෝ මීටර් පණහක් වගෙ එහා. ඒකෙ රයිෆල් කුලියට දෙනව දඩයමේ යන අයට. මොකද කියන්නෙ? ඒකෙං රයිෆල් තුනක් දවසකට කුලියට අරගෙන ඔයාගෙ අම්මටයි තාත්තටයි අපෙ අම්මටයි දීල කියමු එකිනෙකාට වෙඩි තියා ගන්ටෙයි කියල...හෙහ්,හෙහ්," 

අනන්‍යා ගමන නතරකොට මදෙස රවා බැලුවාය. "මේ මනුස්සයො...පිස්සු කියවන එක නතර කරනවද? මම මේ වැඩේ ලස්සනට කරන්නෙ කොහොමද කියල දහ අතේ කල්පනා කරනව..මෙයා එනව මෙතන…" 

තවත් ටික දුරක් අපි නිහඬව ගමන් කලෙමු. "නෑ කොහොමත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ක්‍රිෂ්ට I.I.T. එකේ උපාධියක් තියනව කිව්වම අම්මයි තාත්තයි කොහොමත් කැමතිවෙයි." අනන්‍යා තමන්ටම කියාගත්තාය. 

"උපාධිය නම් අවුලක් නෑ. ඒත් එයාල මගෙ ළකුණු ඇහුවොත් තමයි කෙළ වෙන්නෙ." මම හිස දෙපසට සොලවමින් පැවසූයෙමි.

"ම්ම්ම්ම්..සමහරවිට අහන්නත් පුලුවන්.." අනන්‍යාගේ දෙතොල දඟකාර සිනහවකින් විවරවිය."ඒත් එහෙම වුනත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔයා සිටි බැංකුවෙ වැඩ කරන්නෙ කිව්වම එව්ව ඔක්කොම හරියයි. මේ ඒක නෙවෙයි. අපි කොහෙ හරි විනෝද ගමනක් සංවිධානය කරමුද කට්ටියටම...මේ පොඩි ට්‍රිප් එකක්, පික්නික් එකක් වගෙ" 

"එහෙම හොඳද අනන්‍යා? මම හිතන්නෙ නෑ මේ පළවෙනි පාරම එහෙම දෙයක් සංවිධානය කරන එක...." ඇය මට වැකිය අවසාන කිරීමට ඉඩ නොදුන්නාය. 

"ඔයා ඉන්නකො පැත්තකට වෙලා. මම වැඩේ සෙට් කරන්නං ගාණට. ඔන්න බලන්නකො බොරුනං. මීට පස්සෙ ඔයාගෙ අම්ම ඔයාට වැඩිය මට ආදරේ වෙනව. ඒක සහතිකයි" ඇය හඬනඟා සිනාසෙමින් පැවසුවාය.

Thursday, October 22, 2015

361. The Story Of My Marriage - 10 - From biscuits to brides, if there is anything their children really want, parents have a problem.


IIMA  දොරටුව අසල රම්භායිගේ කුඩා ආපන ශාලාව www.burrp.com

මම සිටි බැංකුවේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටියෙන් පිටතට පැමිණියෙමි. ඒ අසලම කොරිඩෝවේ බිත්තියක සවිකොට තිබූ දැන්වීම් පුවරුවෙහි ඉදිරියෙහිදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තුවන අනෙකුත් සමාගම් සහ බැංකුවල නම් ලැයිස්තුවක් ප්‍රදර්ශණය කොට තිබිණි. ඒ සෑම සමාගමකින්ම සහ සෑම බැංකුවකින්ම වැටුප් වශයෙන් බලාපොරොත්තු වියහැක්කේ සිටි බැංකුව ගෙවන වැටුපින් අඩක් බව මම හොඳහැටි දැනසිටියෙමි. දැන්වීම් පුවරුව අසලමවූ අසුනකට බරදුන් මම දෑස් වසාගෙන යාඥා කළෙමි. මගේ යාඥාවට පිළිතුරු ලෙසින්දෝ එකෙණෙහිම දෙවියෝ මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූහ.

"ආයුබෝවන් දෙවියනි!මගේ ආයාචනය ඇහිලයි ඔබතුමා ආවෙ කියල මම හිතනවා." මම ගෞරව පූර්වක අයුරින් පැවසුවෙමි.

"ඔව්..අපි එහෙම හිතමු." 

"ඉන්ටවීව් එකේදි මම කිව්ව තරමක් කිව්වෙ අල්ලෙ පැලවෙන බොරු. මම ඒක පිළිගන්නවා. ඒත් දෙවියනි, මට මේ රස්සාව අත්‍යාවශ්‍යයයි. කරුණාකරල මට මේක ලබාදෙන්න. " 

" ඉන්ටවීව් එකේදි බොරු කියපු එකේ ප්‍රශ්නයක් නෑ. කොහොමත් එතන ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්න අය ඇත්ත බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි" දෙවියෝ පැවසූහ.

"වෙන මොකක්ද එහෙනම්?" 

"තමුන් අවුරුදු දෙකක් ගෑණු ළමයෙක් එක්ක එක කාමරේ ජීවත් වුනා. ජීවත් වුනා නෙවෙයි ඇත්තටම... ජීවත් වෙනවා. එහෙම නේද?" 

"දෙවියනි මේක අහන්න…. මම එයාට ආදරෙයි" 

"එහෙම ආදරෙයි කියල කිව්වට වැඩක් නෑ. මම හිතන්නෙ තමා දන්නව තමා කලයුත්තෙ මොකක්ද කියල." 

" එහෙමයි, එහෙමයි..මම දන්නව. ඒත් මට තව ටිකක් කල් අවශ්‍යයයි. " 

"ඒ කතාව නිදහසට කාරණයක් විදිහට කොහෙත්ම පිළිගන්ට බෑ.තමුන්ට තීරණයක් ගන්ට ඕන තරම් කල් තිබ්බ කියලයි මම හිතන්නෙ. දැන් තමුන්ට ලබාදුන් කාලය ගෙවිල අවසානයි. තමුන් දන්නව මම හිතන්නෙ තව මිනිත්තු පහකින් නැත්නම් උපරිම මිනිත්තු දහයකින් මට පුලුවන් තමුන්ට මේ රස්සාවත් නොලැබෙන තැනට වැඩ කටයුතු කරන්න." 

"එහෙම කරන්න එපා. මට සිටි බැංකුවෙ මේ රස්සාව අත්‍යාවශ්‍යයයි." මම දෙවියන්ට ආයාචනා කළෙමි.

"තමුන්ට මේ රස්සාව ඕනම නම් ඉස්සෙල්ල කලයුතු නිවැරදි දේ කරල ඉන්න" 

"ඒ කොහොමද? දැන් පරක්කු වැඩියි දෙවියනි." 

දෑස් විවරකොට මම H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පවැත්වෙන කුටිය දෙස හිස ඔසවා බැලූයෙමි.අනන්‍යා කුටිය පිටත දක්නට නොවූවාය. නිසැකවම ඇය කුටිය තුල තම අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමින් සිටිනු විය යුතුය. මම යලි දෑස් පියාගතිමි.

"කොහොමද මම එහෙම කරන්නෙ? ඇය මේ වෙලාවෙ ඉන්නෙ කුටිය ඇතුලෙ ඇගේ අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමිනුයි. මේ වෙලාවෙ ඒක කරන්න බෑ. ඔබ මට සිටි බැංකුවෙ රස්සාව ලබා දෙන්න. මම පොරොන්දු වෙනවා ඊට පස්සෙ මම ඔබ බලාපොරොත්තු වනදේ කරනවයි කියලා." 

"ඇත්තම කිව්වොත් මට තමුන් ගැන කිසිම විශ්වාසයක් නෑ.හරි ඒ කොහොම හරි තීරණය තියෙන්නෙ තමුන්ගෙ අතේ.තමුන් මම ඉල්ලනදේ ඉෂ්ඨ කරන්න සූදානම් නැත්නම් මමත් තමුන් ඉල්ලන දේ ඉෂ්ඨ කරන්න සූදානම් නෑ." දෙවියෝ පැවසූහ.

මම දෙනෙත් විවර කළෙමි. මට උපරිම වශයෙන් ඉතිරිව තිබූයේ මිනිත්තු තුනක් හෝ හතරක පමණ කාලයකි. මේ මොහොතේ ඇය අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අවස්ථාවෙහි අවිචාරාත්මකව එම කුටියට කඩා වැදුනහොත් අනන්‍යා මට කිසිදු අයුරකින් සමාවක් නොදෙන බව මම පැහැදිලිව දැන සිටියෙමි.එහෙත් මසිත මට කොඳුරා පැවසූයේ මේ මොහොතේ මම ඇය හමුවී කලයුතු නිවැරදි දේ නොකලහොත් රහූල් අහුජා හෝ දේවේෂ් ෂර්මා හෝ ඔවුන් ගේ මහා කළමනාකාර තැන හෝ මා සිටි බැංකුවට බඳවාගැනීමට එරෙහිවනු නියත බවයි. 

ඇත්තෙන්ම මගේ හේතුවාදී , තාර්කික මනස ඒ එසේ නොවන බව මේ සිදුවීම් අතර එකිනෙකට සම්බන්ධතාවයක් කිසිසේත්ම නොමැතිබව කොතෙක් මුරගා පැවසූවද මම මගේ බුද්ධියට නොව හැඟීම්වලට ඉඩ දුනිමි. අප ජීවිතයෙහි යම් යම් සිදුවීම් සහ කර්මය හෝ දෛවය අතර මසැසට ගෝචර නොවන වටහා ගත නොහෙන සබඳතාවයක් තිබිය හැකි බවද මට සිහිවිය. අසුනින් වහා නැඟී සිටි මම මැද මිදුල හරහා H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටිය වෙත දිව ගියෙමි. 

"ඇතුලෙ ඉන්ටවීව් එකක් කෙරෙනවා. මේ වෙලාවෙ ඇතුලට යන්ට දෙන්න බෑ." ස්වේච්ඡා සේවක පළමු වසර සිසුවා කුටියේ දොරටුව අසළ හිඳ මා වැළැක්වීමට තැත් කලේය.

"මට ඇතුළට යන්ට ඕන" මම පැවසුවෙමි. "මේක හදිස්සියක්. අත්‍යාවශ්‍ය කාරණයක්." 

"බෑ..බෑ..යන්ට දෙන්ට නම් බෑ..මම කිව්වනෙ එක පාරක්...." 

මම ඔහු පසෙකට තල්ලු කොට දොර විවරකොටගෙන කුටියට ඇතුළු වූයෙමි.ඒ වනාහී සාමාන්‍ය පංති කාමරයකි. H.L.L. සමාගමෙන් පැමිණ හුන් නියෝජිතයෝ පංති කාමරයේ පළමු පෙලේ අසුන්ගෙන සිටි අතර රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ගුරුවරයාගේ අසුනෙහි හිඳ තම ඉදිරිපත් කිරීම ( Presentation ) කල යුතුය.

මම අනවසරයෙන් කුටියට ඇතුල්වද්දී අනන්‍යා පලමු පෙළෙහි එකිනෙකට ආසන්නව හිඳහුන් තරමක වයස්ගත පුද්ගලයින් පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂක මණ්ඩලයක් ඉදිරියේ යම් කරුණු දැක්වීමක නිරතව හුන්නාය.

"ග්‍රාමීය වෙළඳපොලට ඇත්තටම අවශ්‍ය වෙන්නෙ විවිධ භාණ්ඩ වර්ග මහත් රාශියක් නෙවෙයි. වැදගත්ම කාරණය ග්‍රාමීය ප්‍රජාවට මිළදී ගතහැකි........" 

 දෑත් උපයෝගී කොටගෙන අභිනයන් පාමින්, මුහුණින් හැඟීම් පලකරමින් කරගෙන ගිය ඇගේ දේශණය මා දුටු වහා ක්ෂණයකින් ඇණ සිටියේය. ඒ හා සමඟම විශ්මයට පත්වූ ඇගේ ඇහි බැම එක්වරම නළල මධ්‍යය දක්වා ඉහළ ගියේය.

"ඔව්..මොකද මේ?...." 

සැට හැවිරිදි වියේ පමණවූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා යයි උපකල්පනය කල හැකි පැසුණු හිසින් යුතුවූවෙක් මදෙස හැරී බලා විමසීය. අනන්‍යාගේ මුහුණ පළමුව ලජ්ජාව හේතුකොටගෙන ලා රත් පැහැයටද අනතුරුව කෝපය හේතුකොටගෙන තද රත් පැහැයටද හැරුනි. 

"මට එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෑ…." පරික්ෂක මණ්ඩලයේ සියළු දෙනාගේ මුහුණු දෙස පිළිවෙලින් බලමින් මම පැවසූයෙමි. 

"ඒක පස්සෙ කරගන්න බැරිද? මේ මෙයාගෙ අන්තිම ඉන්ටර්වීව් එක. අපේ සීනියර් මැනේජ්මන්ට් එකේ ඔක්කොමල වගෙ මෙතන ඉන්නව.ඒ හින්ද මම හිතන්නෙ...." පරීක්ෂක මණ්ඩල ප්‍රධානියා වියහැකියයි මා සිතූ තැනැත්තා යලිත් පැවසීය.

"සමාවෙන්න. ඒත් මට දැන්ම කතාකරන්න ඕන. මේක හදිස්සියක්" 

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?" එසේ විමසූයේ පරීක්ෂණ මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකි. 

"ඔව් මෝඩයෝ තේරෙන්නෙ නැද්ද? මිනිත්තු පහයි මට දෙයියො දුන්නෙ නිවැරදි දේ කරන්න.එහෙම නැත්නම් මගේ අනාගතය ඉවරෙටම ඉවරයි" මම එසේ නොපැවසූබව ඔබට විශේෂයෙන් කිවයුතු නොවේ.

"නෑ..නෑ ප්‍රශ්ණයක් නෙවෙයි. මට එක මිනිත්තුවක් විතරයි ඕනෙ" මම එසේ පවසමින් අනන්‍යාට කුටියෙන් පිටතට එන ලෙස සංඥා කළෙමි.

"එළියට යන්න ඕන නෑ. ඔයාට කියන්න තියෙන දෙයක් මෙතනම කියන්න." ඇය මදෙස නොපහන් බැල්මක් හෙලමින් පැවසූයේ යටිතොලද සපාගනිමිනි.

පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ එකිනෙකා දෙස වික්ෂිප්තවූ බැලුම් හෙලමින් ඔවුනොවුන් අතර තොලමතුරාගන්නට වූහ. මම සෙමින් අනන්‍යා වෙත ගියෙමි.

"මොකක්ද ක්‍රිෂ් මේකෙ තේරුම? ඔයාට පිස්සුවක්වත් හැදීගෙන එනවද ඇත්තටම?" ඇය දත්මිටි කමින් කෙඳුරුවාය.

මම ඇගේ අසුන අසල දණ ගසා ඇගේ කණට මගේ මුව කිට්ටු කළෙමි. " සමාවෙන්න, කොහොමද ඉන්ටර්වීව් වැඩේ හොඳට යනවද? " මම හැකි තරම් පහත් හඬින් ව්මසූයෙමි. 

"මිස්ටර් ක්‍රිෂ් මල්හෝත්‍රා, ඔයා මේ කියන්න යන කාරණය ඇත්තටම වැදගත් එකක් නෙවෙයි නම් එහෙම ඒකත් මම බලාගන්නම්. හරි…. දැන්වත් කරුණා කරල කියනවද ඔයාගෙ ඔය වැදගත් කාරණය මොකක්ද කියල." ඇය ඇසූයේ මුලු පරීක්ෂක මණ්ඩලයටම ඇසෙන තරමට පහත් හඬිනි.

"අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවියනි , ඔබ ඉදිරියේ දණ ගසා මෙහි සිටින ක්‍රිෂ් මල්හෝත්‍රා නම් වන මම ඔබට දැඩි ලෙස ආදරය කරන්නෙමි. මගේ ඉදිරි මුළු දිවියම ඔබ හා සමඟ ගතකිරීම මගේ එකම අභිප්‍රායයයි. මා සදාදරණීය මෙනෙවියනි, ඔබ මා හා විවාහ වීමට කැමැත්තේද?" 

අනන්‍යාගේ මුව එසැණින් විවර විය.ඇය දෙතුන් වරක් පරීක්ෂක මණ්ඩලය දෙසත් මා දෙසත් විසල් කොටගත් දෙනෙතින් මාරුවෙන් මාරුවට බැලුවාය. 

"ක්‍රිෂ්………" ඉන්පසු ඇය පහත් හඬින් මා ඇමතුවාය. වළක්වා ගැන්මට කෙතෙක් උත්සාහ කලද එක් කඳුලු බිඳුවක් ඇගේ ඇසිපිය අතරින් ගිලිහී කොපුල් තල මතට පතිත විය.

"මේ...ඇයි?.....මොකක් හරි ප්‍රශ්නයක්ද?" පරීක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වහා විමසූයේ අනන්‍යා කඳුළු සඟවා ගැන්මට වෙර දරනු දුටු හෙයින් වියයුතුය. " නරක ආරංචියක් එහෙම නෙවෙයි කියල මම හිතනවා. " 

දෑස් පියාගෙන හිස වරක් දෙවරක් සෙලවූ අනන්‍යා ඇය ඉදිරියේ මේසය මතවූ වතුර වීදුරුව එක හුස්මට පානය කලාය. "නෑ..නෑ...නරක ආරංචියක් නෙවෙයි, බොහොම හොඳ ආරංචියක්." 

මේ වනවිට රළු පොළව හේතුකොටගෙන මගේ දෙදණ රිදුම් දෙන්නට පටන්ගෙන තිබිණි. "සික්..මෙච්චර වෙලා දණ ගහගෙන ඉන්න වෙයි කියල දන්නවනම් කොට්ටයක් වත් අරං එනවනෙ...." මම එළෙස ද නොපැවසූ බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

"අනන්‍යා…." මම යලිත් කෙඳිරීමි. 

 "ඒ පාර මොකද?" 

"කෝ මගේ ප්‍රශ්ණෙට කෙලින් උත්තරයක් දුන්නෙ නෑනෙ. ඔයා මුලු ජීවිත කාලෙම මා එක්ක මගෙ හෙවණැල්ල වගේ ඉන්නව නේද?" 

මුවගින් පුපුරා යන්නට ඉතා ආසන්නවූ සිනහවක් වලක්වා ගැන්මට ඇය දෙතොල් තදින් පියාගත්තාය. 

"ඔව්..ඔව්..ඔව්..මෝඩයෝ..ඔව්...මම ඔහේ එක්ක මගෙ මුලු ජීවිත කාලෙම ඉන්ට කැමතියි….කැමතියි...කැමතියි….ඒත් මේ වෙලාවෙ මම මෙතන වැදගත් වැඩක්. ඒ හින්ද දැන් කරුණාකරල නැඟිටල දණිස් පිහදාගෙන මෙතනින් යනවද යන්ට..." 

*********************************

"මට මේක කොච්චර බැලුවත් ඇතිවෙන එකක් නෑ" අනන්‍යා ඉතා සතුටින් පැවසූයේ රම්භායිගේ කුඩා ආපන ශාලාවෙහිදී තුන්වන වරටත් H.L.L. සමාගමෙන් ඇය වෙත නිකුත් කල පත්වීම් ලිපිය දිගහරිමිනි.

සිටි බැංකුව මවෙත නිකුත් කල පත්වීම් ලිපිය ලැබුනේ පෙරදිනය. මා අපේක්ෂා කල වැටුප නිවැරදිව එහි සඳහන් බව ස්ථිර කොටගත් වහාම මම එය මගේ මේස ලාච්චුවට දමා ලාච්චුව වසා ඒ පිළිබඳව අමතක කළෙමි.

"ඔය පත්වීම් ලිපියක් කියන්නෙ වහලෙක් වගෙ වැඩ කරන්ට ලැබුණු ආරාධනාවක්. ඒ ගැන ඔය හැටි සතූටු වෙන්ට ඕන කමක් නෑ" සමෝසා ගෙන එන ලෙස වේටර් කොලුවාට සංඥා කරමින් මම පැවසුවෙමි.

"මොකද අනේ?... ඔච්චරම සර්ව අශුභවාදී වෙන්ටත් එපා. H.L.L. එක බොහොම කැමතිවුනා මාව බඳවගන්ට. අනික ඒ ගොල්ලන්ගෙ ඉදිරි සැළැස්මෙ තියනව දකුණු ඉන්දියාව පුරාම සමාගම ව්‍යාප්ත කරන්ට අදහසක්." 

රම්භායිගේ ලාබාල වයසැති සේවකයෙක් සමෝසා සහ තේ රැගෙන විත් අප ඉදිරියෙහි තැබීය.අවසාන වසරේ විභාගයෙන් අනතුරුව සිසුන් සහ සිසුවියන් රැකියා සඳහා බඳවා ගන්න මේ කාල සීමාවෙහි අනිවාර්යයෙන් රම්භායි යටතේ සේවය කරන්නෝ සන්තෝසම් ලෙස සැළකිය යුතු මුදලක් උපයා ගනිති. 

"ඔයා ඉස්කෝලෙ යනවද?" අප ඉදිරියේ සමෝසා සහ තේ අඩංගු තැටිය තබා ඉවත්ව යාමට හැරුනු තුදුස් වියැති පමණවූ කොලුවාගෙන් අනන්‍යා විමසුවාය.

"ඔව්, රම්භායි මාව ඉස්කෝලෙ යවනවා." කොලුවා පැවසුවේය.

"ආ.. එහෙමනම් හොඳයි. ඔයාලව ඉස්කෝලෙ යවන්නෙ නැත්නම් පොලීසියට ගිහිල්ල කියන්න." අනන්‍යා එසේ පැවසූයේ කොලුවාට රුපියල් පණහේ නෝට්ටුවක් දිගු කරමිනි.

"H.L.L. එක ඔයාව දායි දකුණු ඉන්දියාවෙ කොහෙ හරි මුල්ලකට. ඔය තියෙන්නෙ නම කියන්ට ගියාම දිව ගැටගැහෙන තැන්. ඩිරෙක්ට් ඩයලිං ටෙලිෆෝන්වත් නැති. එහෙම තැනකට දායි..ආය කතා දෙකක් නෑ." මම මුහුණ ඇඹුල්කොටගතිමි.

"නෑ, නෑ, එයාල එහෙම කරන එකක් නෑ. අනික එයාල එහෙම කලත් මගෙ ඉන්නවනෙ ශූර වීර කුමාරයෙක් සුදු අසු පිටින් ඇවිල්ල මාව බේරගෙන යන්ට" ඇය ඉඟිමරමින් පැවසුවාය.

"අනන්‍යා ඔයාට මේක තේරෙන්නෙ නෑ. දැන් අපි දෙන්න කසාද බඳිනවයි කියල තීරණය කරල ඉවරයි.ඒත් අපේ දෙමව්පියො තවම ඒ ගැන දන්නෙවත් නෑ." මම ඇයට පැහැදිලි කලෙමි. 

"ඉතිං මොකද? මම හිතන්නෙ නෑ එතන ප්‍රශ්නයක් තියෙයි කියල. මගෙ අම්මයි තාත්තයි ටිකක් සම්ප්‍රදායික, පරණ තාලෙට හිතන අය නම් තමයි. ඒත් අපි ඒ ගොල්ලන්ගෙ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ඨ කරල නේද තියෙන්නෙ? ඉන්දීය මධ්‍යම පාංතිකයින් තම දරුවන් වෙනුවෙන් දකින සදාතනික සිහිනය..... අපි දෙන්නම ඒ සිහිනය එයාල වෙනුවෙන් සැබෑ කරල තියෙන්නෙ. ඉතිං මම හිතන්නෙ නෑ එයාල අපිට බාධා කරයි කියල....මොකක්ද කියන්න බලන්න එයාලට අපිට විරුද්ධ වෙන්න තියන හේතුව?" 

"එයාල විරුද්ධ වෙන්නෙ එයාල දෙමව්පියො හින්ද. ඒ හේතුව ඇති එයාලට. ෆ්‍රොම් බිස්කට්ස් ටු බ්‍රයිඩ්ස් තමන්ගෙ දරුවන් මොනවහරි දේකට කැමතිනම් දෙමව්පියන්ට ඒ ගැන තියනව මොකක් හරිම ප්‍රශ්නයක්." 

"ඔයා හිතනවද ඔයාගෙ දෙමව්පියන්ට මට අකමැතිවෙන්ට හේතුවක් මොකක් හරි තියනවයි කියල." අනන්‍යා ඇගේ කෙස් කළඹ හිස පිටුපසට කොට ලිහිල්ව බැඳගන්නා අතර විමසුවාය.ඈ ඉදිරි දත් අතර කොණ්ඩ කටු දෙකක් සිරකොටගෙන සිටියාය.

"විශේෂයෙන් ඔයා ගැනම කියල නෙවෙයි මම තෝරගන්න ඕනම කෙල්ලෙක් ගැන එයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි.එතකොට අපි ඔයා ගැන සළකල බැලුවොත් ඔයා දකුණු ඉන්දියානු.ඒක ප්‍රශ්නයක් වෙයි. වෙන ආගමක කෙනෙක් එක්ක විවාහ වෙනව තරම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නෙ. ඒ කොහොම උනත් ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙනව නොවැරදීම." 

"ඒත් මට විශ්ව විද්‍යාලෙ ඉහලම මට්ටමේ උපාධියක් තියනව. I.I.M.A. එකෙන් M.B.A. එකක් තියනව.මම රැකියාව කරන්නෙ H.L.L. එකේ. එතකොට තව..ම්ම්ම්ම්..සමාවෙන්න මම කැමති නෑ මම ගැන පාරට්ටු කරන්ට. ඒත් ඔයාලගෙ අම්මලට උනත් පෙනෙයි මම අවලස්සන නැතිබව. එයාලගෙ පුතාට පෝර උරයක් ඔලුවට නොදා මාව පාරෙ එක්කයන්ට බැරි කමක් නැතිබව එයාලට පේන්ට ඕන." ඇය නොනවත්වා කියවාගෙන ගියාය. 

"ඒ ඔක්කොම හරි අනන්‍යා. ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ඒ සියල්ල අදාල නොවේ කියල තමයි." 

"එතකොට මොකක්ද අදාල වෙන්නෙ?" ඇය රත්පැහැ ගැන්වෙන මුහුණින් යුතුව විමසුවාය.

"ඔයා දමිළ,මම පන්ජාබ්...අපි දෙන්නගෙ අන්න ඒ වෙනස තමයි අදාල වෙන්නෙ." 

Monday, October 19, 2015

360. අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු - 1 - ක්ලියෝපැට්රා හමුව


Heart break hotel by Raymond Leech

අප වැතිරහුන් සයනයට අඩි කීපයක මානයේ දකුණුපස වූ බිත්තියෙහි ඇති වීදුරු ජනේලය ඉහලින් වූ වාකවුලුව ආවරණය වූයේ කුරුස හැඩයට එකිනෙක හරහා සවිවුනු ලී පටි සමූහයකිනි. සම්ප්‍රදායානුකූලව දොරක හෝ ජනේලයක ඉහළින් එවැන්නක් ඇත්තේ වාතාශ්‍රය පිණිසය. එනම් පිටත සිහිල් වාතය ඇතුළතට ඇදීඑනු පිණිසය. එහෙත් මේ ජනේලය සැළසුම් කල ගෘහ නිර්මාණ ශිල්පියා හෝ වාස්තු විද්‍යාඥයා අපේක්ෂා කල කර්තව්‍යය ඉටුකිරීමට කිසිසේත්ම මේ වාකවුලුව සමත් නොවන්නේ ලී පටි රාමුවට පිටතින් සවිකොට ඇති වීදුරුවක් හේතුකොටගෙනය. 

ගොඩනැඟිල්ල ඉදිකොට යම් කලක් ගතවූ පසු වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීමට අවශ්‍ය වූකල්හි කල්හි ඊට ප්‍රථම කඩිමුඩියේ සවිකරන ලදැයි ඉඳුරාම පැවසිය හැකි එම වීදුරුවෙහි පිටත බොහෝවිට මී මැස්සන් විය හැකි කුඩා සතුන් මහත් රාශියක් කඩිමුඩියේ එහා මෙහා යනු ගෙවත්ත මධ්‍යයෙහිවූ පහන් කණුවෙන් නිකුත්වූ කහ පැහැ පසුබිම් ආලෝකයෙන් දිස්විය.

ප්‍රධාන මාර්ගයෙන් හැරී, වසර පණහකට පමණ ඔබ්බෙහි ඇරඹි,දිවයින පුරා ඉතා ප්‍රසිද්ධ රජයේ ගොවිපොළක් දක්වා දිවෙන ප්‍රවේශ මාර්ගයෙහි යාර පන්සියයක පමණ දුරක් ගෙවූ ඉක්බිති දකුණු පස වූ කුඩා වැවක් අබියස පිහිටි මෙම නිවාඩු නිකේතනය පිළිබඳ මට පැවසූයේ පාසලෙහි එක වසරේ සිටම මා හා එකම පන්තියෙහි ඉගෙනුම ලැබූ අදටද මගේ කිට්ටුම මිතුරෙකි. ඒ කරා දිවෙන මාර්ගය තැනින් තැන තාර ගැළවී වළවල් සෑදුණද ඉතා මෑතකදී බොරළු දමා වළවල් යම් පිළිසකර කිරීමක් කිරීමට ගත් උත්සාහයක ළකුණු දක්නට තිබුණි.

කුඩා කල සිටම අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙනා බැවින් පියවි දෙනෙතින් මට ඔවුන් හඳුනාගත හැකි පමණ පැහැදිලිව දිස්වූයේ නැත.ඔවුන් මීමැස්සන්මදැයි සැකහැර දැනගැන්මේ හදිසි ආශාවක් සිත තුල හටගත් බැවින් මම සයනයෙහි කෙළින්වී හිඳ ඒ අසළම වූ කුඩා කනප්පුව මත වූ මගේ උපැස් යුවල සුරතට ගතිමි. 

" මොකටද දැන් මේ හදිස්සියෙ ඕක? " ඇය මදෙස හැරීබලා විමසුවාය.ඇගේ දෙතොලග මද සිනහවක් තැවරී තිබිණි.

" කංකානියද? කංකානිය දාගත්තෙ....." මම උපැස් යුවල පළඳමින් පැවසුවෙමි. 

" අර අතන වීදුරුව එහා පැත්තෙ ඉන්නෙ මී මැස්සොද කියල හරියටම දැනගන්ට. " 

" කංකානිය ?... ඒ මොකක්ද? " ඇයද ඉහළට ඇදී ඇඳ විට්ටමට කොට්ටයක් තබා ඊට හේත්තුවුනාය.

" අපෙ අක්කගෙ පුතා පොඩි කාලෙ කණ්නාඩියට කිව්වෙ කංකානිය කියල " උපැස් යුවල පැළඳගත් ඉක්බිති මට වීදුරුවෙන් එහා ඔබ මොබ නළියන සතුන් පැහැදිලිව දැකගත හැකිවිය.

" හ්ම්ම්ම්..මී මැස්සො තමයි…." 

" සීතලයි……." ඇය සයනයෙහි පාමුළ අඩක් ගුලිවී තිබූ පොරෝණය ගෙන නිරුවත් උඩුකය වසා ගත්තීය.

" මට එතන මී මැස්සො කීදෙනෙක් ඉන්නවද කියල ගණන් කරන්ට ඕන. " ඇය සයනයෙහි කෙලින්වී හිඳගෙන සුරතෙහි දබරැඟිල්ල දිගුකොට මී මැස්සන් ගණින්නට වූවාය.

" එකයි..දෙකයි..තුනයි..හතරයි...පහයි..ම්ම්ම්ම්...බෑ අනේ උන් එක තැනක ඉන්නෙ නෑනෙ….." 

" එවුං ආය එක තැනක ඉඳීය ඔයා ගණන් කරනකල්..හෙහ්,හෙහ්, එක තැනක හිටියොත් උන් මී මැස්සො වෙන්නෙ නෑනෙ. කතාවටත් කියන්නෙ ඔය මී මැස්සා වගෙ කඩිසරයි කියල. " 

" මම අහල තියෙන්නෙ මී මැස්සො වඩාත්ම දක්ෂ මල්වල පැණි බොන්ට කියල " මී මැස්සන් ගණන් කිරීම අත් නොහැරම ඇය යටසින් මදෙස බලමින් කට කොණකින් පැවසුවාය. ඇගේ එසේ කට කොණකින් කථාකරනු දක්නට මම බොහෝසේ ප්‍රිය කළෙමි.

" ඒ මී මැස්සො නෙවෙයි ළමයා..ඔයා ඔය කියන්නෙ බඹරු ගැන..වන බඹරු...හෙහ්,හෙහ්, පියුමෙහි පැණි බොති වන බඹරු....." 

" උන්ව ගණන් කරන්ට බෑ අනේ ඒක හරියන වැඩක් නෙවෙයි. " මීමැස්සන් ගණන් කිරීමේ උත්සාහය අත්හැර දමූ ඕ යලි ඇඳ විට්ටමට හේත්තුවූවාය. 

" හෙහ්..මම කියල දෙන්නද මී මැස්සො ගණන් කරන්ට ලේසි ක්‍රමයක්? " 

" හරි කියන්නකො එහෙනම්……." 

" මී මැස්සො ගණන් කරන එක පැත්තක තියල උන්ගෙ කකුල් ගණන් කරන්ට. " 

" ඈ? ………." 

" යස් ..මී මැස්සෙකුට කකුල් හයක් තියනව. එතකොට ඔයාට තියෙන්නෙ ඔක්කොම කකුල් ගාණ හයෙන් බෙදන එක. ඒ උත්තරේ තමයි මී මැස්සො ගාණ. හිහ්..කොහොමද මගෙ ක්‍රමේ? එළ නේද? ඉතාම පහසුයි සහ ලෙහෙසියි " 

" හිහ්..එළ නේන්නං..ආය මොකට කියනවද ඒ හරිය?..මේ... මම කිව්වයි කියල හිතාගන්නව......" ඇය සුරත ඔසවා මට පහර දීමට තැත් කළාය. මම දෑතින්ම හිස අත්බදාගත්වනම උඩු කය නවා පහත්වීමි. ඇය මට පහරදීමට තැත් කරන කල්හි තන මත්තක් දවටා තිබූ පොරෝණය ගිලිහී ඇගේ උඩුකය යලිත් නිරුවත්විය. 

" ඊයි………….." ඇය කෑගසමින් යලි කඩිනමින් පොරෝණය දවටා ගත්තාය.

" හරි හරි මම දැකල නැති දෙයක්ය ආය? " මම ඇගේ නාසය මිරිකමින් ඇසුවෙමි.

" හිහ්..ඒ වුනාට..ඒක වෙනයි මේක වෙනයි.." ඈ මගේ සුරත ගෙන තොලට තබා සිපගනිමින් පැවසුවාය.

" මේ නහය තමයි....හෙහ්,හෙහ්, ………." මම යලිත් ඇගේ නාසය මිරිකමින් පැවසුවෙමි. ම්ම ඇගේ නාසයට බොහෝ සේ ඇලුම් කළෙමි.


***************************************************


" මේ ලොක්කා...මොකක්ද කියවන පොත? " 

භෝජනාගාරයේ කෙළවරකවූ මේසයයක හිඳ පොතක් කියවමින් හුන් මා අමතා එසේ විමසූයේ කවුරුන්ද යන්න මට පැහැදිලිව මතකයට නඟා ගත නොහැක.එහෙත් බොහෝවිට ඒ ප්‍රසම්පාදන අංශයෙහි මා සමඟ සේවයකල මගේ සමීප මිතුරන්ගෙන් කෙනෙකු විය යුතුය. නැතහොත් ගිණුම් අංශයෙහි සේවය කල කවුරුන්හෝ ද විය හැක. 

 අගනුවර ප්‍රත්‍යාන්ත, එතරම් ජනාකීර්ණ නොවූ පෙදෙසක පිහිටි අප සේවය කල සමාගමේ භෝජනාගාරය සිව් දෙනෙකු බැගින් අසුන් ගත හැකි මේස දහයකින් පමණ සමන්විත තරමක් විශාල එමෙන්ම මනා ඉඩපහසුකම් ඇත්තකි. එදින කුමන හේතුවක් නිසාදෝ නිල වශයෙන් දිවා ආහාර විවේකය ඇරඹීමට පෙර මම දිවාආහාරය ගත්තෙමි.බොහෝවිට ඒ පාතරාසය මඟහරුණු දිනයක් විය හැකිය. එවන් දිනවල කුසගිනි දැනුනු වහාම මධ්‍යාහ්නය වීමටද ප්‍රථම මම දිවා ආහාරය ගනිමි. මේ ද බොහෝවිට එවන් දිනයක් විය යුතුය.

" මේ ජැක් ලන්ඩන්ගෙ පොතක් ………." 

" කාගෙ? " 

" ජැක් ලන්ඩන්…." මම නොසැලකිළිමත් ලෙස පැවසූයේ පහත්කොටගත් හිස මදක් හෝ එසවීමෙන් පවා තොරවය. 

" ජැක් ලන්ඩන් ?? කොහෙන්ද ඔයා ඔය පොත ගත්තෙ? " ඒ විශ්මයපත් නුපුරුදු ගැහැණු කටහඬ මාහිස එසවීමට සමත්වූයේ නිතැනිනි.

මා අසලම වූ මේසයට ඔබ්බෙන් තිබුණු මේසය වටා මා සගයින් කිහිප දෙනෙක් අසුන් ගෙන උන්නෝය. ඒ අතර වූ නුපුරුදු මුහුණක් විමසුම් දෑසින් මදෙස බලා සිටියි.එතරම් පැහැපත් නොවූ ඇය තිස් හැවිරිදි වියේ පමණ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඒ මගේ උපකල්පනය බොහෝ දුරට නිවැරදි බවට මම පසුව ඇගෙන්ම දැනගතිමි. එදින ඒ මුල්දිනයේම හා පුරා කියා මසිත පැහැර ගත්තේ ඇගේ නාසයයි.

ගැහැණුන්ගේ නාසය පිළිබඳ මම එදවස සිටම උනන්දුවක් දැක්වීමි. මනාසේ වාත්තු කලාක් බඳු දිගටි එමෙන්ම තියුණු නාසයක් යුවතියකගේ රූප ලාවන්‍ය වර්ධනය කිරීමෙහිලා ඉතා වැදගත්වන බව එදවස මගේ බලවත් විශ්වාසය විය.සත් සමුදුරින් එතෙර පවා විහිදුනු මහා අධිරාජ්‍යයක් ගොඩනැඟූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි නම්වූ රෝම රණ ශූරයින් දෙදෙන දුටු වහාම වසඟ වූයේ ක්ලියෝපැට්රාවන්ගේ නාසයට බව ඔබ අසා තිබේද? 

ක්ලියෝපැට්රා නම් මිසර රැජිණියගේ නාසය තව ස්වල්පයක් කෙටිවූයේ නම් ලෝක ඉතිහාසය අලුතෙන්ම ලියන්නට සිදුවන බව පැවසූයේ 17 වන සියවසේ විසූ ප්‍රංශ ජාතික ගණිතඥයකුවූ බ්ලේස් පැස්කල්ය. ඒ ව්‍යාකූලතා න්‍යාය පිළිබඳව තවත් එක් නිදර්ශණයකි.සමනල ආචරණය පිළිබඳව ඔබ අසා ඇතිවාට මට සැක නැත. අද දින වෙනිසියුලාවෙහි සමණලයෙකුගේ තටු සැලීමක් තවත් මාස කිහිපයකින් පිලිපීනය හරහා හමායන ප්‍රචණ්ඩ මාරුතයකට හේතුවිය හැක.

" මේ පොත ගත්තෙ නම් නුවර පරණ පොත් වෙළෙන්දෙක්ගෙන්….." 

නුවර කතරගම දේවාලය අසලින් කොටුගොඩැල්ල වීදිය සහ යටිනුවර වීදිය යා කරන පටු මඟක් ඇත. මාර්ගය දෙපසම එකිනෙකට යාබදව පිහිටි බොහෝකොට නොයෙක් විසිතුරු භාණ්ඩ අලෙවි කරනා කුඩා වෙළඳසැල් මහත් රාශියක් පිහිටි නිරත්තරයෙන් ඉතා ජනාකීර්ණ සහ කලබලකාරී එහි මැද භාගයට පමණ වන්නට තාවකාලික ලෑලි කඩයක් අටවාගෙන පැරණි භාවිතා කල පොත් වෙළඳාමෙහි යෙදෙන මැදිවියෙහි වූ මුසල්මානුවෙකු සමඟ මම කලක් බොහෝ කුළුපගව ආශ්‍රය කළෙමි. 

" ඒක තමයි, පොත් කඩවලත් නෑ ජැක් ලන්ඩන්ගෙ පොත්. " ක්ලියෝපැට්රා පැවසුවාය.

පරණ පොත් කඩ සමඟ මගේ ආශ්‍රයට බොහෝ දුර විහිදුනු අතීතයක් ඇත.පාසල් ශිෂ්‍යයකු වශයෙන ගතකල අවධියේ අවම වශයෙන් මසකට වරක් හෝ මරදාන මැකලම් පාර අසබඩ පිහිටි පරණ පොත් කඩ වන්දනාවෙහි  මම වතාවතක් සේ යෙදුනෙමි.

" ඔව්...මමත් කවදාවත් දැකල නෑ ජැක් ලන්ඩන්ගෙ පොත් කඩවල තියනව.." 

" මේ..ඔයාට කරදරයක් නැත්නම් මම එන්නද ඔතෙන්ට? " 

" හරි, හරි,එන්න…. ඒකට මක් වෙනවද?" 

මෙතෙක් ආසනයේ දිගඇදී පහසුවෙන් හුන් මම කොන්ද කෙළින් කොට වැලමිටි මේසය මත රඳවා දෑතේ ඇඟිලි එකිනෙක පටලවා ගතිමි. ඇය එතෙකුදු දිග හැර නොතිබුණු බත්පතද රැගෙන නැඟිට සිට ඇය දෙස බලාහුන් මිතුරියන් දෙස සමාව යදින්නාක් මෙන් වූ බැල්මක් හෙලුවාය. 

" ඉට්ස් ඕකේ නෝ ප්‍රොබ්ලම් ….." ඔවුහු සිනාසෙමින් උරහිස් හකුළුවා ඇයට අවසර දුන්හ.

" ඔයා කොහොමද ජැක් ලන්ඩන්ගෙ පොත් ගැන උනන්දු වෙන්ට පටන් ගත්තෙ? " ඇය මගේ මේසයෙහි අසුන්ගෙන බත්පත දිගහැරගත් ඉක්බිති මම විමසුවෙමි.

" අප්පච්චි ගාව තිබ්බ ඒ කාලෙ ගත්ත පරණ පොතක්..ඒක කියවල.." 

" මම ජැක් ලන්ඩන් ගැන දැනගත්තෙ කොහොමද දන්නවද? " 

" නෑනෙ………………" ඇය සිනාසුණාය. 

ඇත්තෙන්ම ඇගේ නාසය ඉතා මනබඳිනසුළුය. එක්වරම ඉදිරියට නැවෙමින් ඇගේ නහය අල්ලා මිරිකීමට මසිතෙහි ඇතිවූ පෙළඹවීම මම මැඩගත්තේ අසීරුවෙනි. සත්‍ය වශයෙන්ම මා එසේ කළහොත් ඇය කුමක් කරයිද? මා හට අතුල් පහරක් එල්ල කරාවිද? නැතහොත් මොකද මිනිහො වෙලා තියෙන්නෙ? පිස්සු හැදීගෙන එනවද? එසේ මට බැණ වැදී බත්පතද රැගෙන නැඟිට ඉවත්ව යාවිද? නැත ඒ එකක්වත් නොව ඇය විසල් කොටගත් දෑසින් මදෙස බලා හිඳිනු ඇත. මම ඒ බව දන්නෙ කෙලෙසද යන්න නොදනිමි. එහෙත් ඒ එසේ බව සහතිකව දනිමි.ඇගේ නාසය දෙස බලාහිඳිනාතර මගේ සිතතුල නැඟි විකාරරූපී සිතුවිලි පිළිබඳව මට නොදැනුවත්වම සිනහ පහළවිය. 

" මේ..ඒ පාර මොකද මේ හිනා වෙන්නෙ? " 

" හෙහ්..හිනාවෙන්නෙ මොකටද නේද? ඒක අපූරු කතාවක්...අද නෙවෙයි..මම ළඟදිම දවසක ඒක ඔයාට කියන්නම්කො..හොඳද? " 

" ම්ම්ම්ම්..ලඟදිම දවසක? ඒ කියන්නෙ ආයෙම දවසක් අපි හම්බවෙනවද? " 

" එහෙනං ආය?...." මම විශ්මයපත් දෙනෙතින් ඈ දෙස බැලීමි. " ජැක් ලන්ඩන් ගැන අද කතා කරල ඉවරයක් කරන්න පුළුවන්ය කියල ඔයා හිතනවද? " 

" ම්ම්ම්ම් ..බැරිවෙයි වගේ නේද? " 

" බැරිවෙයි වගේ නෙවෙයි..බෑ තමයි. අනික ජැක් ලන්ඩන් ගැන උනන්දුවෙන ගෑණු ළමයෙක් එක්ක තව කොච්චර දේවල් තියනවද කතා කරන්ට....හෙහ්,හෙහ්," 

" හරි හරි එහෙනම් කතා කරමුකො ආය දවසක..ආ..මට ඔයාට මාව අඳුන්වල දෙන්නත් බැරිවුනානෙ..සොරි..මම මේ පහුගිය සඳුදා එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආවෙ..මගෙ නම…" 

" මම දන්නව..ක්...ලි...යෝ... පැ...ට්... රා……." මම අකුරින් අකුර නවතමින් උච්චාරණය කලෙමි. 

" මොකක්? ක්ලියෝ පැට්රා? මොන පිස්සු කතාවක්ද ඒ? " 

" හෙහ්...ඒකත් මම පැහැදිලි කරන්නම් හැබැයි…" 

" අද නෙවෙයි…………" ඇය හඬ නඟා සිනාසෙමින් සම්පූර්ණ කළාය.

" අන්න හරි ආයම දවසක……" 

" හිහ්..දැනටම ඔයා ආයම දවස් තුන හතරක් හම්බවෙන්ට ප්‍රෝග්‍රම් හදාගෙන ඉවරයි වගේනේද? " 

" ආය මොනවද? අන්න එහෙමයි අපි.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...