Friday, August 31, 2018

143. අසීමිත කාරුණිකභාවයේ ඉම


   එම තරුණයා රිය අනතුරකට මුහුණ දුන්නේය. වාහනය අලුත්වැඩියාව සඳහා ගරාජයේ ගාල් කළ ඔහු කාර්යාලය බලා දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කළේය. මුල් දින වැඩ නිමවී එන අතරේ සෙවණක් අහිමි අයෙකු දුම්රිය ස්ථානයේ රැය ගෙවන අයුරු ඔහු දුටුවේය. පසුම්බියෙන් මාරු කාසි කිහිපයක් ගත් තරුණයා අසරණ පුද්ගලයාට දුන්නේය. ඒ තැනැත්තා ඔහුට ස්තුති කළේය. 

   පසුදිනද හේ පෙර පරිදී ම දුම්රිය ස්ථානයේ රැය ගෙවන්නට සුදානමින් සිටින බව තරුණයා දුටුවේය. ඔහුට කෑමට යමක් ගෙන දීමට සිතූ හෙතෙම පිටතට ගොස් ආහාර ගෙන ආවේය. ඔහුගේ කාරුණිකභාවය පිළිබඳ අසරණ පුද්ගලයා බොහෝ සේ ස්තුතිවන්ත විය. 

   “ඔබ කොහොමද මෙතැනට වැටුණේ?“ තරුණයාට නොඅසා ම බැරිවිය. 

   සෙවණක් අහිමි පුද්ගලයා ඔහු දෙස බලා සිනාසී මෙසේ පැවසුවේය. 

   “කරුණාව පෙන්නන්න ගිහිල්ලා...“ 

   තරුණයාට අගක් මුලක් වටහාගත නොහැකිවිය. 

   “ඒ කිව්වේ?“ 

   “මගේ මුළු ජීවිතේ ම කැප කළේ දන්න කියන හැමෝම සතුටින් තියන්න. මං මට මොනවද වෙන්නේ කියලා හිතුවේ නැහැ. කළේ, හැමතිස්සේ ම කාට ම හෝ බෙල්ල කඩාගෙන හරි උදව් කරන එක“ 

   “ඉතිං දැන් ඒ ගැන පසුතැවිල්ලෙන්ද?“ 

   “නැහැ. ඒ වුණාට මගේ ආත්මය ම රිදුම් දෙනවා. මම මගේ ඇඟේ තියෙන ඇඳුම ගලවලා දුන්නු මිනිස්සු මට ඕනෑ වුණු වෙලාවට වැරහැල්ලක්වත් මට දෙන්න බැලුවේ නැහැ. 

   පුතා, මතක තියා ගන්න තමන් ගෙයක් හදලා ඒකේ සෙවණ ලබන්න කෙනෙකුට අවස්ථාවක් දෙනවා මිසක කවදාවත් තමන් ගේ හදන ගමන් ඒකට ගෙනාපු ගඩොල් අනිත් අයට ගෙවල් හදාගන්න බෙදීම කිසිසේත්ම නොකළ යුත්තක්. මොකද දවසක් එනවා තමන් සැළසුම් කරපු ගේ තියෙන්න තිබුණු තැන වෙනසක් නැතිව එහෙමමයි, අනිත් ගෙවල් හැදිලා, ඒත් තමුන්ට දැන් ගේ හදාගන්න ගඩොල් හොයන්න වෙලා නේද කියලා කල්පනා කරන්න වෙන“ 

   එවදන් හිතේ ධාරණය කරගත් තරුණයා, ඔහුට ස්තුති කරමින් යන්නට ගියේය. 




   කෙනෙකුට උදව් උපකාර කිරීම කිසිසේත් ම වරදක් නොවේ. නමුත් සමහර අවස්ථාවලදී උදව්ව කරමින් ඉදිරියට යද්දී, අපට, අපේ පවුලට විසඳා ගැනීමට තිබෙන අපේම ගැටළු සහ පිරිමසාගන්න තිබෙන උවමනාවන් අමතක වන්නට, මග හැරෙන්නට පුළුවන්.

කෙනෙකු හැමවිට ම සිහිතබා ගතයුතු වන්නේ තමන් සතුව තිබෙන සියල්ල ම අන් අය වෙනුවෙන් වැය කිරීමට වඩා, හැකි අයුරින් බෙදා හදා ගැනීම සැමගේ සිතසුව සාදන සුදුසු ම ආකාරය බව. තත්ත්වය පහතට හෙළා ගැනීමෙන් නොව ශක්තිමත්, ස්ථායි ස්ථානයක සිට කටයුතු කිරීමෙන් රටට, ලෝකයට මෙන් ම තමන්ට, තමන්ගේ පවුලට වැඩදායි පුද්ගලයෙකු වියහැකි බව! 


අන්තර්ජාලය ඇසුරින්,
පරිවර්තනය : රන්දිකා රණවීර ප්‍රනාන්දු
පිරික්සන්න : A limit of your kindness

Wednesday, August 29, 2018

605. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 4 - වළාකුළට මුවාවූ හිරු සහ නයන කළුෑ ඔබ මගේ කළුෑ…….

අපේ ඊද් නිවාඩුවෙ පළවෙනිද ඒ කිව්වෙ අඟහරුවාද මම සහභාගි වුනා සුලු පහේ මධු සාදයකට. දවල් එකොළහට වගෙ පටන් අරගෙන තුන වගෙ වෙනකල් තිබ්බ. වැඩිය බිව්වෙ එහෙම නෑ. කොහෙ බොන්ටද අප්ප මේ ගිණිගහන ඌස්ණෙ? ඒ.සී. ෆුල් බ්ලාස්ට් දාල තිබ්බට ඒ ඔරොත්තු දෙන්නෙත් නෑ.

/ඉතිං ඔය සාදයෙදි මට මුණ ගැහුන පොඩි කොලුවෙක්..වයස විසි හතරක් පහක් වගෙ තරම ඇති. ගම අනුරාධපුරේ..මෙහෙ එකවුන්ට්ස් ක්ලාක් රස්සාවකට ඇවිල්ල තියෙන්නෙ. මනුස්සය එක්ක ආගිය තොරතුරු කතාකරමින් ඉන්දැද්දි (අනුරාධපුරේට මයෙත් තියනවනෙ බොහෝම හෘදයාංගම සබඳතාවයක්) මිනිහ කපුගේ ගැන මම කලින් නෑසූ කතාවක් කිව්ව. බොරුවක් වෙන්නත් බෑ. මොකද මිනිහට එහෙම එකක් හදල කියන්න කිසිම උවමනාවක් නෑ. ඒ කතාව ලියන්නත් හදල ඒත් මේ ටැක්සි කාරයගෙ කතාව දැන් වාත වුනා වැඩියි කියල හිතල අද එහෙනම් ඒක ලියල ඉවරයක් කරන්නම්ය කියල හිතා ගත්ත. කපුගේගෙ කතාව දෙවනුව හොඳද? /

පහුගිය සිකුරාද අර ටැක්සි රියදුරාගෙ කතාව ලියන්ට ඉස්සරවෙලා මම එහෙම කිව්ව ඔබ තමුන්නාන්සේලාට මතක ඇති නේද? බලාගෙන යනකොට ඒ කතාවත් ජීවිතය මේ වගෙයි කතාවකට ඉතාම සුදුසු හින්ද මම හිතුව ඒකත් මේ එක්කම ලියල දාන්නම්ය කියල.

මේ දවස්වල මෙහෙට පැලෙන්ට පායනවය කියල මම කලින් කිව්වනෙ නේද? ඉතිං නිවාඩු දවසෙ ඒ කිව්වෙ සිකුරාද උනත් බහුතරයක් ඉන්නෙ ගෙවල් ඇතුලට වෙලා. උදේ හයටවත් නැඟිටල නාගත්තෙ නැත්තං ලෝදිය තමයි නාන්ට වෙන්නෙ. මහල් නිවාස වල කොහොමත් වතුර ටැංකිය තියෙන්නෙ වහල උඩනෙ. මෙහෙ උළු වහලවල් නෑ. ලී හොයාගන්නත් නෑනෙ.ඉතිං කොන්ක්‍රීට් ස්ලැබ් වහලවල් තමයි තියෙන්නෙ.

ඔය වහල බොහොම ප්‍රයෝජනවත් වෙනව ශීත කාලෙට. ඇඳුමක් කැඩුමක් වේලගන්ට. එතනිං ගිහාම බාබකිව් පාරක් දාන්ට අන්න ඒ වගෙ දේවල් වලට. ඒත් ඉතිං ගිම්හාන කාලෙදි නමය දහය වෙනකොට ගිණියම් වෙනව. හොඳට ඉන්සියුලේටිං නොහොත් තාප නිවාරණ කටයුතු කරල හින්ද ඇතුලට රස්නෙ නම් එන්නෙ නෑ. ආවත් ඒ එන්නෙ පස් වෙනි තට්ටුවෙ තියෙන ගෙවල් වලටනෙ. අපිට අවුලක් නෑ. අපි ඉන්නෙ හතරවෙනි තට්ටුවෙ....."අපිට මොටද අපි දසසිල් උපාසක....ඉබ්බන්නේ පුච්චන්නේ අනිප්පිට" කිව්වලු..හෙහ්..හෙහ්..දන්නවනෙ ඒ කතාව නේද?

ඉතිං ඊද් නිවාඩුවෙ පළමුවෙනිද ඒ කියන්නෙ ඔන්න පහුගිය අඟහරුවාද උදේ නමයට වගෙ මගෙ පරණ යාලුවෙක් කතාකලා. මම මෙහෙ රස්සාවට ආපුම කාලෙ ඒ කිව්වෙ අවුරුදු දහයකට වගෙ ඉස්සර සුපර් මාර්කට් එකක බඩු ගන්න ගිය වෙලාවක අහම්බෙන් හම්බවෙලා මම ලංකාවෙ වෙන්න ඇතිය කියල උපකල්පනය කරල "ආ යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා?" කියල අහල කතාබහ කරල මගෙ අතිජාත මිත්‍රයෙක් බවට පත් වෙච්චි හිත හොඳ මනුස්සයෙක්.

ඒ මුල්ම කාලෙ මට මත්පැන් බලපත්‍රයක් නොතිබුනු නිසා ඔය ජයන්තයගෙ ගෙදර ගිහිල්ල තමයි සති දෙකකට වගෙ සැරයක් සකෘදාගාමී තත්වයට පත් වෙන්නෙ. මේ දවස්වල තියන වාතාවරණය අනුව ඔහොම දේවල් ලියන එකත් ටිකක් නෙවෙයි බොහොම අවදානම්සහගත වැඩක්. 

අර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයද මොකක්ද එකේ ගොබිලො මා ගැනත් ආචාර්ය විජේදාස රාජපක්ෂයන්ට පැමිණිලි කරන්ට බැරි නැහැ බුද්ධාගමට අපහාස කලාය කියල. අර පිස්සු හටන මධු මාධව උනත් කියන්ට බැරි නෑ මගෙ මළ ගෙදරවත් එන්නෙ නෑ කියල. ඔය යකා මල ගෙදර එන්නෙ නැත්තං දෙයියම්පල්ල මැරෙන එකේ තේරුමකුත් නෑ...හෙහ්..හෙහ්...

ඔය යකා වගෙ මොලේ කොළොප්පං හාදයෙක් මම හිතන්නෙ අග්නිදිග ආසියාවෙම ආය නෑ. එක පාරක් කළංසූරිය මලාය කියල පෙට්ටියකුත් අරගෙන කළංසූරියලගෙ ගෙදර ගියා. ඒ යනකොට කළංසූරිය "ඇයි මල්ලි මොකෝ මේ පෙට්ටියකුත් අරගෙන?" කියල අහගෙන ගෙයිං එලියට ආවලු. ඒ පාර මේ යකා "නෑ අයියෙ අපි මේ පෙට්ටිය තියන්න ඉඩ පාඩු තියන තැනක් තියනවද බලන්න ආව" කියල පෙට්ටියත් අරගෙන ආපහු ආවලු.

ඊටත් කලින් අර කාඩ්බෝඩ් කඩු වගයක් උරුක් කරගෙන ඒ මනුස්සය වගේම නුහුගුණ කාරයෙක් වෙච්චි අර ගොම්මංපිලය එක්ක එක නාඩගමක් නැටුව.

හරි හරි ඔය පිස්සු යක්කු ගැන මදැයි දැං. කතාවට එමු කතාවට එමු.

ජයන්ත අපේ ක්ෂේත්‍රයෙ ඒ කිව්වෙ ඉදිකිරීම් ක්ෂෙත්‍රයෙ නම් නෙවෙයි වැඩ කලේ. මනුස්සය ඇවිල්ල හිට විගණක නොහොත් ඔඩිටර්.

"රවී මචං, අද මොකද කරන්නෙ?" ජයන්ත ඇහුව.

"එහෙමට විශේෂ දෙයක් නම් තාම නෑ. මේ පිච්චෙන අව්වෙ කොහෙවත් යන්ට වත් පුලුවනිය බං?" මම එහෙම කිව්ව.

විජය අවුරුදු තිස් පහකට වගෙ ඉස්සර කියපු, මම හරිම කැමති සිංදුවක් තියනව. මේ දවස්වල මෙහෙ පායන පෑවීල්ල ගැන හිතලම ලියපු සිංදුවක්ද කොහෙද…..

වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ 
රත් වුණු වැලිකැට පුපුරණ 
මැද පෙරදිග මරු කතරේ.... 

වතුර මලෙන් නා දොළ අමතක කර 
දූලි සුළං විඳ වෙල අමතක කර 
විදුලි පහන් මැද සඳ අමතක කර 
දෙපා අභියසට ගමු අපි සුරපුර... 

නගර දනව් මැද සුවිසල් මන්දිර 
අතැර උපන් රට නොරටුන් ලංකර 
පඳුරු පතොක් කටු අතගා උල්කර 
විනෝද වෙමු අපි ලේ මස් දිය කර...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - රෝහණ වීරසිංහ



"එහෙනං දවල් වෙලා වරෙං අපෙ ගෙවල් පැත්තෙ..පොඩි කර්මාන්තයක් එහෙම කරල බත් කටක් එහෙමත් කාල ….."

"පොඩි කර්මාන්තය දුරදිග ගියොත් එහෙම ඉතිං බත් නොකාම…." මම ඌණ පූර්ණය කරල හක හක ගාල හිනා වුනා.

එකොළහ වගෙ වෙනකොට මම ජයන්තයලගෙ ගෙදර ගියා. මනුස්සය වැඩි දුරක නෙවෙයි ඉන්නෙ. කිලෝමීටර් තුනක් වගෙ එහා. ශිශිරයෙදි නම් ඇඟටත් හොඳයි නෙව කියල මම පයින්ම යනව. ඒත් මේ කාලෙ එහෙම කලොත් මඟදිම කලන්තෙ දාල වැටෙයි කිසි කතාවක් නැතුව. 

ජයන්තයගෙ තව යාලුවො හත් අට දෙනෙක්ම ඇවිල්ල හිටිය. බොහොම දෙනෙක් ඔයිට කලින් ජයන්තයලගෙ ගෙදරදිම මට හම්බවෙලා තියනව. ඒත් කලින් මුණ නොගැහිච්චි පොඩි කොලුවෙකුත් හිටිය වයස විසිපහක හයක තරමෙ. 

"ආ මචං මේ අපේ ෆර්ම් එකට ලඟදි ආවෙ..එකවුන්ට්ස් ක්ලාක්..ගම අනුරාධපුරේ...අහ්..උඹගෙත් ඔය අනුරාධපුරේ එක්ක තියනව නේද බොහොම කිට්ටු සම්බන්ධයක්…"

එහෙමයි තාරක (තාරක කියන්නෙ කොලුවගෙ නම) සහ මගේ කතාබහට මුල පිරුවෙ.

"මිස්ට රවී කොයි කාලෙ වගේද අනුරාධපුරේ හිටියෙ?"

"අපොයි ඒ කාලෙ ඔයා ඉපදිලාවත් නැතුව ඇති..මම හිටියෙ 76 ඉඳල 84 වෙනකල්…"

"අපොයි කිව්වත් වගෙ ඉපදිලාවත් නෑ නෙවෙන්නම් ..මම ඉපදුනෙ 92 අවුරුද්දෙ.."

"ඒකනෙ මම කිව්වෙ..කොහෙද තාරකගෙ ගෙවල්?"

"මම කඩ පණහට පොඩ්ඩක් එහා..දන්නවද ඒ හරිය?"

"අපොයි මොකද මම නොදන්නෙ? ඒ කාලෙ අපි නිතරම ඔය හරියෙ ගැවසෙනව..රජරට සේවය තිබ්බෙ කඩ පණහ ඉස්සරහනෙ…."

අසූව දශකයෙ මුල් භාගය කියන්නෙ රජරට සේවයෙ ස්වර්ණමය යුගය ඩී.එස්. දයාරත්න, ජෝතිපාල තෙබුවන, ප්‍රේමකීර්ති ද අල්විස්,ස්වර්ණ ශ්‍රි බණ්ඩාර සහ ගුණදාස කපුගේ ඒ ස්වර්ණමය යුගය උදාකල පහන් තරු රාශියෙන් කිහිපයක්.


කඩපණහ ඉදිරිපිට රජරට සේවය මැදිරි සංකීර්ණය...


"අන්න හරි මගෙ ලොකු මාම වැඩකලා රජරට සේවයෙ සංගීත අංශයෙ…"

ඉතිං අපේ කතාබහ නිරායාසයෙන් යොමුවුනා ඒ අමරණීය කලාකරුවන් පිළිබඳ මතකය යලි ස්මරණය කරනු උදෙසා. තාරකගෙ වයසෙ හැටියට නෙවෙයි පොදුවේ ඒ ගෙවීගිය යුගය පිළිබඳව ඔහුගෙ තිබුණු දැනුම. මම හිතන්නෙ ඔහුගෙ මාමගෙ ආභාෂයෙන් වෙන්න ඕන.

"කපුගේ මහත්තය කියන්නෙ පුදුම නිහතමානී මනුස්සයෙක් කියල මගෙ මාම නිතරම කිව්ව මිස්ටර් රවී.." තාරක ඔය කතාබහ අතරෙදි කිව්ව.

"ඒකනම් ඇත්ත...මම කපුගේව පෞද්ගලිකව නොදන්නව උනාට ඒ දවස්වල කපුගේගෙ හොඳ යාලුවො කීපදෙනෙක් එක්ක මම කතාබහ කරල තියනව…"

"මම මාම කිව්ව එක කතාවක් කියන්නං. විශ්වාස කරන්නත් බෑ මේ සමාජයෙ එහෙම මිනිස්සු ඉන්නවද කියලවත්.."

"මොකක්ද? යංකො අර එලියට මෙතන සද්දෙ වැඩියි..අනික මට සිගරට් එකක් බොන්නත් ඕන.."

අපි දෙන්න වීදුරු දෙකත් පුරවගෙන බැල්කනියට ආව.

බැල්කනිය රස්නෙ නම් තමයි. ඒත් ගෝසාව නැති හින්ද කෑගහන්නෙ නැතුව කතා කලෑකි…"ඉතිං මොකක්ද අර කපුගේ ගැන කියන්න ආපු කතාව?"

"මිස්ටර් රවී අනිවාර්යයෙන්ම දන්නව ඇතිනෙ අර නයන කළුෑ සිංදුව.."

"අපොයි ඔව්..මම ආසම සිංදුවක්...බණ්ඩාර අතාවුද කියන්නෙ පුදුම දක්ෂතාවයක් තියෙන ගායකයෙක්.."

"හරි..හරි..ඒත් ඔයා දන්නවද ඔය සිංදුව කියන්න ඉඳල තියෙන්නෙ කපුගේ මහත්තය කියල…."

"ඈ? ඒ මොකක්ද ඒ කතාව? ඔහොම කතාවක් මම ඔය ඇහුවමයි…"

"ඒකනෙ කියන්නෙ බොහොම දෙනෙක් ඔය කතාව දන්නෙ නෑ. විස්වාස කරන්නත් තරම අමාරු මනුෂ්‍යත්වයක් ඒ කතාව පිටිපස්සෙ තියනව. මම අර කිව්වෙ මගෙ මාම. ඒ මාම කපුගේ මහත්තය එක්ක බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කලා රජරට සේවයෙ වැඩ කරද්දි. වෙන කවුරුවත් නෙවෙයි කපුගේ මහත්තයමයි ඔය කතාව කියල තියෙන්නෙ. ඒත් හොඳටම බීපු වෙලාවක. එහෙම නැත්නම් ඒ කියන්නෙත් නෑ.."

"හරි හරි මොකක්ද ඔය කතාව කියල කියන්නකො.." මම නොඉවසිල්ලෙන් කිව්ව.

"කපුගේ මහත්තයගෙ නෝන දන්නව නේද?"

"ඔව්..ප්‍රේමා කපුගේ..ඒ දවස්වල අනුරාධපුර බාලිකාවෙ නැටුම් ටීචර්..අපෙ නංගිලාට එහෙමත් උගන්නල තියනව මයෙ හිතේ.."

"ඔව්..මේ සිද්ධිය වෙලා තියෙන්නෙ ඒ දෙන්න බඳින්න කලින්. ඒ කිව්වෙ මුණ ගැහිච්ච අලුත. ඒ කාලෙ කපුගේ මහත්තය වැඩ කරල තියෙන්නෙ කොළඹ ගුවන් විදුලි සංස්ථාවෙ.."

"ඔය හැත්තෑ හතරෙ, පහේ වගෙ වෙන්න ඇති එහෙනම්…."

"ඔව් එහෙම වෙන්න ඇති. ඉතිං දවසක් ඔය නෝන ඇවිල්ල තියනව කපුගේ මහත්තය හම්බවෙන්න ගුවන් විදුලි සංස්ථාවට. පස්සෙ ඩෝල්ටන් අල්විස් මහත්තයට කපුගේ මහත්තය නෝනව අඳුන්නල දුන්නලු මචං මේ ප්‍රේමා..මම බඳින්න ඉන්න ගෑණු ළමය කියල.."

"ඉතිං?" මම නොඉවසිල්ලෙන් ඇහුව…

"ඩෝල්ටන් අල්විස් මහත්තය මොකවත් කීවෙ නැතිලු හිනා වෙලා ආ එහෙමද? කියල ඇහුවලු..ඔය කපුගේ නෝන කලුයිනෙ"


කපුගේ යුවල....

"ඔව්..ඔව්….." මම හිනා වුනා..

"පහුවදා ඩෝල්ටන් අල්විස් මහත්තය කපුගේ මහත්තයෙ අතේ දෙකට තුනට නවපු සුදු කොළයක් තියල මොකවත්ම නොකිය යන්න ගියාලු. කපුගේ මහත්තය ඒක දිග ඇරල බැලුවලු.."

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

"පිස්සු හැදෙන සඳ..ඉතිං ඉතිං?"

පස්සෙ කපුගේ මහත්තය නිවාඩු පාඩු වෙලාවක් බලල ඕකට තනුවක් එහෙම දැම්මලු. ඒත් සිංදුව රෙකෝඩ් කරන්න වෙලාවක් ආවෙම නැතිලු. ගෑණු ළමය හම්බ වෙන්න ගිය වෙලාවක විස්තරේ කියල සිංදුව එහෙමත් පෙන්නුවලු.

"අනේ හරිම ලස්සනයි..දැං කවද්ද ඔයා ඕක කියන්නෙ?" ඈ මුවපුරා සිනාසී අහන්නැති.

"මේ දවස්වල වෙලාවක් නෑ අනේ..පුලුවන් ඉක්මනටම කියන්නම්කො" කපුගේත් හිනාවෙලා කියන්නැති.

"ෂෝක්...ඔන්න මම බලා ඉන්නව…" ඇය එහෙමත් කියන්නැති. 

ඇගේ මිතුරියන්ටත් ඇය මේ ගැන කියන්නැති.."මේ අරය මම ගැන ලියපු සිංදුවක් කියන්නයි යන්නෙ..ඔයාලටත් හෙට අනිද්දම රේඩියෝ එකේ අහතැහැකි.."...දෑස් ප්‍රේමයෙන් දැල්වෙද්දි ඈ එහෙමත් කියන්නැති.

ඔහොම සතියක් දෙකකුත් යන්නැති...

කපුගේගෙ හොඳම යාලුවෙක් තමයි බණ්ඩාර අතාවුද.

දවසක් උදේ දහයට විතර බණ්ඩාර හිස ගිණිගත්තකු එගිණි නිවීමට දුවනව වගෙ කලබලෙන් එහෙම මෙහෙ දුවනව දැකල කපුගේ මෙහෙම අහන්නැති.."මොකෝ බං මේ? හදිස්සියක්ද? "

"අනේ ඔව් අයියෙ මගෙ සරළ ගීත රෙකෝඩිං එකක් තියනව දොළහට. ඒකට එක සිංදුවක් අඩුයි. ඒක ලියල දෙනව කියල පොරොන්දු වෙච්චි මනුස්සය වැඩේ කලේ නැහැනෙ…."

ඒ කාලෙ ඔය අද වගෙ බෝවිටියා පඳුරක් පඳුරක් ගානෙ එෆ්.එම්. සේවා තිබ්බෙ නෑ. කෝකටත් තිබ්බෙ එස්.එල්.බී.සී. නොහොත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි. ඉතිං ඒකෙ රෙකෝඩිං එකක් මඟ ඇරෙනව කියන්නෙ බරපතල පාඩුවක්..

"හ්ම්ම්ම්.... එහෙමත් එකක්ද? ඉඳහං පොඩ්ඩක් ඔහොම.." කපුගේ මේසෙ ලාච්චුව ඇරල පරණ ෆයිල් එකක දාල තිබ්බ දෙකට තුනට නමපු කොළ කෑල්ලක් අරං බණ්ඩාරට දුන්න.

ඒක දිගඇරල කියවද්දි බණ්ඩාරගෙ මූණ ටික ටික හිනාවකින් එළිය වුනා. "ෂෙහ් හරිම ලස්සන පද මාලාවක්නෙ..මේක කාගෙද අයියෙ?..."

"කාගෙ උනහම මොකද? උඹ ගිහිල්ල ඕක කියපංකො... එතකොට උඹේ වැඩේ කෙරෙනවනෙ..මේ වෙලාවෙ ඕන එච්චරයිනෙ"

"ඒත් මේකට තනුවක් මේ හදිස්සියෙ හදාගන්නෙ.....?"

"මම තනුවක් හදල තියෙන්නෙ..මම ඒකත් උඹට දෙන්නං.."

පහුවදා කපුගේ ප්‍රේමා හමුවෙන්නට ගිහිල්ල ඔය ආගිය තොරතුරු කතා කරමින් ඉන්න අතරෙ කපුගේ මෙහෙමත් කියන්නැති. "මේ ප්‍රේමා..අර ඩෝල්ටන් ඔයා ගැන ලියපු සිංදුව….."

"ආනේ..ඔයා ඒක රෙකෝඩ් කලාද? මම මගෙ යාලුවන්ටත් ඒ ගැන කියලයි තියෙන්නෙ..කවද්ද දැං ඕක අපිට අහන්න පුලුවන් වෙන්නෙ?"

"ම්ම්ම්..ඒක තමයි මම මේ කියන්න යන්නෙ...මම ඒක දුන්න බණ්ඩාරට.."

"ඈ?...."

"ඔව් අනේ ඒ කොල්ල උගෙ රෙකෝඩිං එකකට සිංදුවක් අඩුයි කියල පිස්සෙක් වගේ එහෙ මෙහෙ දුවනව. මම ඉතිං එහෙනම් බං උඹ මේකවත් කියපං කියල ඒ සිංදුව දුන්න..ඔයා දුක් වෙන්න එපා අනේ..මම ඔයා ගැන ඔයිට වඩා හොඳ සිංදුවක් කියන්නම්කො…"

තව ප්‍රේමවන්තයා කුමන ආකාරයේ මිනිසකුදයි මේ කෙටි කාලය තුලදී හොඳින් වටහාගෙන සිටි බැවින් ප්‍රේමාද බොහෝවිට මුනිවත රකින්නට ඇත. එලෙසම ගුණදාස කපුගේ නම් සැබෑ මිනිසා තුල පැවති උදාර මානව දයාවට මීටත් වඩා අගනා සාක්ෂියක් කෙළෙසක සොයන්නද?

පලි - ආශාවේ මල් වැටින් එබී..කියන්නෙ කොහොමත් මම ආසම ගීතයක්...ඒත් ඒ ගීතයට පසුබිම් වූ මේ අපූර්ව මනුෂ්‍යත්වයේ කථාව පිළිබඳව දැනුවත්වූ පසු ඒ ගීතය අහද්දි මට බණ්ඩාර අතාවුදගෙ මුහුණට වඩා මැවිල පෙනෙන්නෙ ගුණදාස කපුගේගෙ මූණ...


Friday, August 24, 2018

604. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 3 - එක්තරා කුලීරථ රියදුරෙකුගේ කථාව…


අර මම කලින් කිව්ව නිල ටැක්සි තමයි ඔය තියෙන්නෙ....

දැන් මේක මහ වාතයක් වෙන්නයි තනන්නෙ. මම මේ කිව්වෙ තව දුරටත් අර ටැක්සි රියදුරාගෙ කතාව කල් දාන එක. නැත්තං තව අපූරු කතාවක් සෙට් වුනා. ඒක උනේ මෙහෙමයි…

අපේ ඊද් නිවාඩුවෙ පළවෙනිද ඒ කිව්වෙ අඟහරුවාද මම සහභාගි වුනා සුලු පහේ මධු සාදයකට. දවල් එකොළහට වගෙ පටන් අරගෙන තුන වගෙ වෙනකල් තිබ්බ. වැඩිය බිව්වෙ එහෙම නෑ. කොහෙ බොන්ටද අප්ප මේ ගිණිගහන ඌස්ණෙ? ඒ.සී. තිබ්බට එව්ව ඔරොත්තු දෙන්නෙ නෑ.

ඉතිං ඔය සාදයෙදි මට මුණ ගැහුන පොඩි කොලුවෙක්. වයස විසි හතරක් පහක් වගෙ තරම ඇති. ගම අනුරාධපුරේ. මෙහෙ එකවුන්ට්ස් ක්ලාක් රස්සාවකට ඇවිල්ල තියෙන්නෙ. 

මනුස්සය එක්ක ආගිය තොරතුරු කතාකරමින් ඉන්දැද්දි (අනුරාධපුරේට මයෙත් තියනවනෙ බොහෝම හෘදයාංගම සබඳතාවයක්) මිනිහ කපුගේ ගැන මම කලින් නෑසූ කතාවක් කිව්ව. බොරුවක් වෙන්නත් බෑ. මොකද මිනිහට එහෙම එකක් හදල කියන්න කිසිම උවමනාවක් නෑ. 

ඉම්පාර ඒ කතාව ලියන්නත් හදල ඒත් මේ ටැක්සි කාරයගෙ කතාව දැන් වාත වුනා වැඩියි කියල හිතල අද එහෙනම් ඒක ලියල ඉවරයක් කරන්නම්ය කියල හිතා ගත්ත. කපුගේගෙ කතාව දෙවනුව හොඳද?

මම ඉතිං බද්රියා සිග්නල්ස් ගාවට එනකොටම ඔන්න කාරෙකක් ඈත ඉඳලම හෙඩ් ලයිට්ස් ඔන් කරල සිග්නල් කලා. ඒ ඔය නිල නොවන ටැක්සි කාරයින්ගෙ සුපුරුදු සංඥාව. ඒ අහන්නෙ "Do you want to go somewhere? I am ready.." කියල

මමත් පාරට අඩියක් තියල අත ඉස්සුව. ටැක්සි කාරය මගෙ ලඟම නවත්තල ඉස්සරහ දකුණු පැත්තෙ වීදුරුව පාත් කලා. පෙනුමෙන් එක්කො ලංකාවෙ නැත්නම් බංගලි. 

ඔය කේරළයින්ට වැඩිය බොහෝ විට බංගලියන්ගෙ හැඩ හුරුකම් අපිට බොහෝම කිට්ටුවෙන් යනව. මහාවංසෙ නම් තියෙන්නෙ විජේ මල්ලි ඉන්දියාවෙ ලාට රටේ සිංහපුරයෙ ඉඳල ආවයි කියලනෙ. ඒ කියන්නෙ වර්තමාන ඉන්දියාවෙ ගුජරාටය. ඉන්දියාවෙ අගමැති මෝඩිගෙ ගම් පළාත. 

ඒත් මම මේ ලඟදි දැක්ක මට මතක විදිහට මහාචාර්ය ගණනාථ ඔබේසේකරගෙ පර්යේෂණ පත්‍රිකාවක වෙන්න ඕන ජාන විශ්ලේෂණය අනුව සිංහලයින්ට කිට්ටුම ඥාතිත්වයක් තියෙන්නෙ බටහිර බෙංගාල වැසියන්ගෙයි කියල. බංග්ලාදේශ් කියන්නෙ බටහිර බෙංගාලයත් එක්කම අල්ලපු රට.

"ගොයින් වෙයා?" රියදුරා ඇහුව. වයස හතළිහක් තරම ඇති. යම්තමට උඩු රැවුලක් වවල. කහ පාට ටී ෂර්ට් එකකුයි ඩෙනිම් කළිසමකුයි ඇඳල. ඉයර් ෆෝන් සෙට් එකක් කන් දෙකේ.....

"නියර් ස්පෝට්ස් රවුන්ඩ් අබවුට්. අයි විල් ෂෝ යූ ද වේ. හව් මච්?" මම ජනේලෙන් නැවීගෙන ඇහුව. 


මේ තියෙන්නෙ ස්පෝට්ස් වට රවුම.....

කෝකටත් ගාස්තුව කලින් කතා කරගෙන තියන එක ඇඟට ගුණදායකයි.

"ටුවෙන්ටි..." රියදුරා කිව්ව..

මේ වෙලාවෙ හැටියට විසිපහයි කිව්වත් මම යනව. ඒත් විස්ස අසාධාරණයි.

"නෝ අයි විල් ගිව් ෆිෆ්ටීන්.." මම කිව්ව.

"ඕ.කේ.." රියදුරා කිසිම හෙට්ටු කිරිල්ලකින් තොරවම එකඟ වුනා. මිනිහ දන්නව නියම ගාණ. ඒකයි ඒ…

මම වාහනේට ගොඩවෙලා දොර වහල මගෙ දවල් කෑම පෙට්ටිය එහෙම තියන කැන්වස් බෑග් එක පිටිපස්සෙ සීට් එකට දාල බෙල්ට් එක දාගත්ත.

රියදුරා හෙමීට වාහනේ පාරට ගත්ත. ඒ එක්කම ඉස්සරහින් බද්රියා සිග්නල්ස්. රතු එළිය මේ වෙලාවෙ. වාහනේ නැවතුනා. මම හෙමිහිට ඇස් කොණින් මිනිහ දිහා බැලුව. මිනිහ වාමුවා වීදුරුවෙන් (Windscreen) ඉස්සරහ බලාගෙන ඉන්නව. නළලත් රැළිගැහුන ටිකින් ටික. මට හිතෙන්නෙ ඉයර් ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කරනව ඇති. බොහෝවිට භාර්යාව හෝ දෙමව්පියන් එක්ක වෙන්න ඇති. මමත් ඉස්සරහ බලා ගත්ත. මිනිහගෙ මූඩ් එකේ හැටියට මට හිතුනෙ නෑ මොකවත් අහන්න. 

සිග්නල් කොළ පාට වුනා. වාහනේ දකුණට හැරිල පාලු පාර දිගේ වේගයෙන් යන්න ගත්ත. මමත් ආසනයෙ දිග ඇදිල ඇස් පියා ගත්ත. 

"ලොකු දුව ක්ලාස් ගියාද?"

මම ගැස්සිල ඇහැරිය. මගෙ ඔලුව ඉබේටම රියදුරා පැත්තට හැරුන. මිනිහ ඒක දැක්කෙ නෑ. මිනිහ දැඩි අවධානයෙන් ඉස්සරහ බලාගෙන වාහනේ එළවනව. මම ආයම ආසනේට හේත්තුවෙලා ඇස් පියාගත්ත. ඒ කියන්නෙ මේ මනුස්සය ලංකාවෙ. බලමු..පස්සෙ මිනිහගෙ කෝල් එක ඉවරවෙලා වෙලාවක් තිබ්බොත් කතා කරල බලමු...මම එහෙම හිතාගත්ත.

"හරි හරි ක්ලාස් එකට යවන්නකො..මම කොහොම හරි සල්ලි ටිකක් එවන්නං…"

තව මිනිත්තුවක් දෙකක් වගෙ නිහඬතාවයෙන් ගෙවිල ගියා.

"අම්මට කොහොමද?...මම කිව්වෙ අර කොන්දෙ අමාරුව එහෙම...."

" ********************************** "

"එහෙම කියල හරියන්නෙ නෑනෙ..අසනීපනම් බෙහෙත් අරන් දෙන්න එපාය…"

" ********************************** "

"හරි මනුස්සයො ඉස්පිරිතාලෙ ගිහිල්ල පෝලිමෙ ඉන්න වෙලාවක් නැත්නම් අර ප්‍රයිවට් දොස්තර ගාවට හරි යනව.."

" ********************************** "

"සල්ලි ඕන තමයි..මම එවන්නං පුලුවන් විදිහට.."

" ********************************** "

"ඇයි තමුසෙගෙ කඩෙනුත් ලාබයක් තියනවනෙ නේද?"

" ********************************** "

"ආ..එහෙමද? ඕක තමයි ඔය කඩ කෙරුවාව පටන්ගන්නකොටම මම කිව්වෙ. කොහෙද කියන එකක් ඇහුවය? ඔය කඩේ දාගන්නකල් මට කණක් ඇහෙන්න දුන්නය? දැන් මොකද කියන්නෙ?"

" ********************************** "

"අර සැම්සන් අයියගෙන් ලෝන් එකකුත් දාල මම ඔය කඩේ දාගන්ට සල්ලි එව්වෙ. ඒකෙ බාගයක් වගෙ තව ගෙවන්ටත් තියනව. ඒ මිනිහ හිත හොඳ හින්ද මගෙන් අහන්නෙ නෑ..නැත්තං එහෙම..."

" ********************************** "

"මොකද්ද කිව්වෙ? මට හරියට ඇහුනෙ නෑ.."

" ********************************** "

"අම්මත් එක්ක වලි දාගන්න එපා කියල මම තමුසෙට කට කැඩෙනකල් කියල තියනවනෙ…."

" ********************************** "

"හරි හරි..ඒ වයසක මිනිස්සු කියන එව්ව ගණං ගන්න එපා ඕයි..තමුසෙ නෑහුනා වගෙ ඉන්නව…."

" ********************************** "

"ඉවසන්ට බෑ කියල බෑනෙ..ඉවසන්ටම වෙනව…"

" ********************************** "

"අනේ මෙහ්..තමුසෙ පත්තිනි අම්මනෙ..නිකං මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්නෙ නැතුව ඉන්නව…."

රියදුරා එක පාරටම බිරුසන් දුන්න. මම උඩ ගිහිල්ල බිම වැටුනෙත් ඔලුව හරවල මනුස්සයගෙ මූණ දිහා බැලුනෙත් එකම මොහොතෙ.

"සොරි…" රියදුරා එහෙම කිව්වෙ මූණ දැඩි කෝපයෙන් විරූපව තියෙද්දි. 

මම වමත උස්සල සංඥා කලා ඒක ගණං ගන්න දෙයක් නෙවෙයි කියල. ඊට පස්සෙ ඔහු පහත් ස්වරයෙන් කතා කලේ කටහඬ පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින්. 

"හරි හරි තමුසෙගෙ කැරැට්ටුව මම දන්නෙ නැද්ද?"

" ********************************** "

"ඔව්...එහෙම තමයි..මම මේ දැනගෙන තමයි කතා කරන්නෙ..කොටින්ම ඕයි ඔය පොඩි එකා මගෙද කියලත් මට එක වෙලාවකට සැකයි.."

" ********************************** "

"ඔව්ව්..මට හෙණ ගහන්ට තමයි ඕන. මෙච්චර මෙහෙ ඇවිල්ල දහදුක විඳගෙන හම්බ කරල උඹලට කන්ට අඳින්ට දෙනවට මට හෙණම තමයි ගහන්ට ඕන…."

රියදුරා ජංගම දුරකථනයෙ මම හිතන්නෙ කෝල් එකක් කට් කරන බොත්තමට වැරෙන් ඇඟිල්ලෙන් ඇන්න. ඊලඟට ඉයර් ෆෝන්ස් සෙට් එක ගලවල අරගෙන ඇති වීරියෙන් ඩෑෂ් බෝඩ් එක උඩට වීසි කලා. මම හොරැහින් ඔහු දිහා බලා හිටිය. වේගයෙන් හුස්ම ගනිමින් මිනිත්තුවක් පමන ගතකල ඔහු ඔලුව හරවල මා දිහා බැලුව. මම ඒ එක්කම ආයම සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්ත.

මේ වෙනකොට අපි ස්පෝට්ස් වටරවුම කිට්ටුවට ඇවිල්ල..

"වෙයාටු?" රියදුරා වේගයෙන් හුස්ම ගනිමින් මගෙන් ඇහුව.

"ටර්න් ලෙෆ්ට් දෙයා…" මම ස්පොර්ට්ස් වටරවුමට අත දික් කරල පෙන්නුව.

අපි ස්පෝට්ස් වටරවුමෙන් වමට හැරුන.

"සෙකන්ඩ් ටර්න් ටු රයිට්…" මම කිව්ව.

"ඕකේ …." රියදුරා එහෙම කියල ආයම ඉයර් ෆෝන් සෙට් එක කණේ ගහ ගත්ත. 

මම යම්තමට වම් ඇහැ ඇරල බැලුව මනුස්සය මොකද කරන්නෙ කියල. මිනිහ ආයම කෝල් එකක් ගන්න හදනව. මට හිතෙන්නෙ කවුරු හරි මෙහෙ ඉන්න යාලුවෙකුට වෙන්න ඇති. බලපං බං මේ ගෑණු එක්ක බැරි හැටියක්..අපි මේ මෙහෙ මෙච්චර දුක් විඳිනව..එවුන්ට තේරෙන්නෙ නෑ ඒක... කොයි වෙලාවෙත් අපිව කන්නමයි හදන්නෙ..ඔන්න ඔහොම මොකක් හරි ඇහෙයි කියල බලා පොරොත්තුවෙන් මම ඇස් දෙක පියාගෙන කණ් දෙක ඇරගෙන හිටිය.

මේ වෙනකොට මගෙ ගමනාන්තය ඒ කියන්නෙ රහුමාන්ගෙ රූම් එක කිට්ටුවට අපි ඇවිල්ල හිටියෙ. මම බෙල්ට් එක තියෙද්දිම අපහසුවෙන් පස්ස සීට් එකට බරවෙලා මගෙ කැන්වස් මල්ල අතට ගත්ත. රියදුරා තාමත් කතාවක් බහක් නෑ. නළලත් රැලිකරගෙන ඉයර් ෆෝන් සෙට් එක කණේ ගහගත්තු ගමන් ඉන්නව. මේ එක්කම සල්ලිත් ගත්තනම් ලේසියි. සල්ලි දුන්න බැස්ස. මම එහෙම හිතල කලිසමේ පස්ස සාක්කුවෙ තිබ්බ මුදල් පසුම්බිය ගන්න කියල සීට් එකෙන් පොඩ්ඩක් ඉස්සුනා.

"මේ කට් කරන්න එපා..කට් කරන්න එපා..මම කියන එක පොඩ්ඩක් අහන්නකො.." රියදුරා කලබල ගතියකින් කෑගැහුව.

මනුස්සයගෙන් එහෙම වචන මාලාවක් මම කොහෙත් බලා පොරොත්තු උනේ නැති හින්ද මම එහෙම්මම ආපහු සීට් එකේ ඉන්ද වුනා.

"හරි හරි අනේ..මට ටිකක් තරහ ගියා තමයි..කොහෙද ඔයත් මේ එක එක බහුබූතනෙ කියවන්නෙ කෝල් එකක් ගත්තම....ඉතිං තරහ යන්නෙ නැතුව තියෙයිද?"

" ********************************** "

"අපිත් මොකෝ ආය රහත් වෙලා නෑනෙ.."

" ********************************** "

"හරි හරි ඒක අමතක කරල දාන්නකො…"

" ********************************** "

"හරි හරි ඒ මම කටට ආවට කිව්වෙ..මගෙ හිතේ එහෙම දෙයක් නෑ….".

" ********************************** "

"හරි හරි ඉතිං දැන් මම කිව්වනෙ එව්ව ඔක්කොම අමතක කරල දාන්නෙයි කියල.."

" ********************************** "

"හරි හරි මම අද රෑට සල්ලි ටිකක් දාන්නං…"

" ********************************** "

"කොහෙන්ද කියන්නෙ?....කාගෙන් හරි අතමාරුවක් කරගෙන හරි මම සල්ලි එවන්නංකො…."

" ********************************** "

"අම්මව එහෙනං බෙහෙත් අරන් දෙන්න එක්ක යන්න. ඔය කියන එව්ව ගණං ගන්න එපා. පොඩි එකා සනීපෙන් නේද?"

මේ වෙනකොට අපි රහුමන්ගෙ රූම් එක ලඟටම ඇවිල්ල. 

"ස්ටොප් දෙයා..නියර් දැට් බ්ලැක් කාර්.." මම කිව්ව.

රහුමාන්ගෙ කාමරේ ඉස්සරහ කලුපාට කාර් එකක් නවත්තල තිබ්බ. රහුමාන්ගෙ වාහනේ නෙවෙයි. එකත් එකටම අර රහුමාන්ගෙ යාලුව ගෙනත් දෙනව කිව්ව කාර් එක වෙන්න ඕන. රහුමාන් නම් පේන්න නෑ වගේ…

"හරි හරි ඉතිං මම කිව්වනෙ…" රියදුරා තවම කතාව…

මම පිටිපස්සෙ සාක්කුවෙන් මුදල් පසුම්බිය අරගෙන රියාල් දහයෙ නෝට්ටු දෙකක් ඔහුට දිගුකලා.

"තෑන්ක් යූ" රියදුරා කිව්ව.."යූ ෆ්‍රොම්?" ඔහු ආයම මගෙ මූණ බලල ඇහුව. 

"අයෑම් ෆ්‍රොම් බංග්ලාදේශ්…" මම එහෙම කියල වාහනෙන් එලියට බැස්ස.

"හරි එහෙනං මම කිව්ව එව්ව මතකයිනෙ….." රියදුරා තවමත් කතාව..

මම වාහනේ දොර වහල මගෙ කැන්වස් මල්ලත් කරේ දාගෙන රහුමාන්ගෙ කාමරේ පැත්තට හැරුන. කෝ මේ යස්සය? කොහෙ ගිහින්ද මන්ද මේ රහුමාන්...

Tuesday, August 21, 2018

603. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 2 - Operation Traffic Warning…..

දැන්වීම් පුවරුවක් පසුපස සැඟව සිට වේග මානක යන්ත්‍රයක්
උපකාරයෙන් ඉදිරියට පැමිණෙන මෝටර් රථයක වේගය
මනින පොලිස් නිලධාරියෙකු ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
- Google Images

කොරියන්ගෙ ව්‍යායාම් සීන් එකෙන්නෙ මම කලින් කතාව ඉවර කලේ.

හරි අද එතැන් සිට........(අද එතැන් සිට කියල කිව්වම දයා මහත්තයට එහෙම මොකක්ද මතක් වෙන්නෙ?...පොඩි උදව්වක් කරන්නම් ඕනනම්....එල්.සී....)

මම මේ ඔක්කොම පසුතල නිර්මාණය හෙවත් බෑක් ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන් කලේ ඔය කොරියො ගාව මම වැඩට ගිය කාලෙ මගෙ අත්දැකීමක් ගැන කියන්ට…

මම කලින් කිව්වනෙ උදේ පාන්දර පහමාරටවත් මම පිටත්වෙනව කියල. එහෙම නැත්නම් නියමිත වෙලාවට වැඩට යන්ට බැරිවෙනව. ඔන්න එක දවසක් පහමාරත් පහුවෙලා මේ ගස්ගෝන නෑ. ගස්ගෝන කිව්වෙ කුලීරථ රියදුරාට. මතකනෙ. නම ඇවිල්ල රහුමාන්. ගම ඇවිල්ල හොරොව්පොතානෙ.

මිනිහ සාමාන්‍යයෙන් කරන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් බිල්ඩිං එක ඉස්සරහට ඇවිල්ල මිස් කෝල් එකක් දෙනව. 

ඔය මිස් කෝල් කියන වචනෙත් සමාජය ඉදිරියට යනකොට පැන නැඟෙන අලුත් අලුත් අවශ්‍යතා උදෙසා අලුත් අලුත් වචන නිපදවා ගැනීමට හොඳම උදාරණයක්.නික්මට හිතන්න ඔය වචනෙ ඇත්තටම එතන වචන දෙකක් ඒත් දැන් ඒ සුවිශේෂී අර්ථයෙන් භාවිතා වෙනකොට පාවිච්චි වෙන්නෙ එක වචනයක් හැටියට. නොතිබ්බානම් ඒකෙන් අදහස් කරන ක්‍රියාවලිය විස්තර කරන්ට තනිකරම වචන පණහක විතර ඡේදයක් ලියන්ට වෙනවනෙ..නේද?

ඔන්න දවසක් මම එලියට බැහැල හීගෝතුවෙම ඉන්නව ගැහි ගැහි මේ කයිතාඬුව නෑ..බැරිම තැන ගත්ත කෝල් එකක්.

"හලෝ.."

"ආ..සර්.."

"ආ සර් තමයි.... මොකද බං කරන්නෙ? උඹ අද එන්ට කල්පනාවක් එහෙම නැද්ද?"

"හරි වැඩේනෙ සර් උනේ.."

"මොකෝ?"

"වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුව ගියානෙ"

"මළ කෙලියයි..ඉතිං මොකෝ බොලේ කොරන්නෙ?"

"නෑ..නෑ..සර් කලබල වෙන්න එපා. මම සර්ව අමාරුවෙ දාන්නෙ නෑ කීයටවත්..මම මගෙ යාලුවෙකුට කතා කරල කිව්ව එයාගෙ වාහනේ පැයකට දෙකකට දෙන්ටෙයි කියල. "

"එහෙමද? ඉතිං කෝ දැන් යාලුවා?..."

"මිනිහ දැන් මඟ එනව..ආපු ගමන් යමු. සර්ට මෙහෙම දෙයක් කරන්න බැරිද?"

"කියපංකො බලන්න…"

"ඔතනින් ටැක්සියක් අරගෙන මගෙ කාමරේ ගාවට එන්න පුලුවන්ද? එහෙම නැත්නම් මට වෙන්නෙ යාලුව ආහම ඒ වාහනෙත් අරගෙන සර්ගෙ ගෙදර ලඟට ආපහු එන්න. එහෙම කරන්ට ගියොත් තවත් පරක්කු වෙයිනෙ.."

හ්ම්ම්ම්....ඒක ඇත්ත..රහුමාන්ගෙ රූම් එක තිබ්බෙ අපි යන පාරෙන්ම තව පොඩ්ඩක් ඇතුලට ගියාම. ඒ හින්ද මම එතෙන්ට ගියානම් කාලෙ තව ඉතුරු වෙනව. ඒ කොහොම උනත් අදනම් අඩුමගානෙ මිනිත්තු විස්සක් තරමවත් පරක්කු වෙන එක නම් ආය අහන්ට දෙයක් නෑ.

"හරි බං මම ටැක්සියක එන්නම්…" මම එහෙම කියල දුවගෙන වගෙ ගියා බද්රියා සිග්නල් කිට්ටුවට.

ඔය බද්රියා සිග්නල්ස් මංසන්ධිය තියෙන්නෙ අපෙ එපාට්මන්ට් එකේ ඉඳල මිනිත්තු පහක වගෙ ඇවිදගෙන යන දුර. එතන බොහොම ජනාකීර්ණ කළබල කාරී තැනක්. ඕන අවේලාවක ටැක්සියක් ගන්නත් කියාපු තැන.

ටැක්සි වලට බද්රියා මංසන්ධිය කොච්චර ප්‍රසිද්දද කියනවනම් මගෙ යාලුවෙක් හිටිය මිනිහ හිටියෙ කිලෝ මීටර් තුන හතරක් එහා. මනුස්සය කොහෙ හරි යන්ට ඕන උනහම ටැක්සියක් අරන් එනව බද්රියා සිග්නල්ස් ලඟට. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව එතන ඉඳල ටැක්සියක් අරගෙන යනව යන්ට ඕන දිහාට...

කොහොමද මිනිහගෙ මීටරේ?..එහෙම තමයි මගෙ යාලුවො...ජීනියස්ල ...හෙහ්..හෙහ්

හරි හරි ඒ අනම්මනම් ඇති..කතාවට එමුකො...මම ඉතිං බද්රියා සිග්නල්ස් ගාවට එනකොටම ඔන්න කාරෙකක් ඈත ඉඳලම හෙඩ් ලයිට්ස් ඔන් කරල සිග්නල් කලා. ඒ ඔය නිල නොවන ටැක්සි කාරයින්ගෙ සුපුරුදු සංඥාව...ඒ අහන්නෙ "Do you want to go somewhere? I am ready.." කියල

ඔන්න ඔය හෙඩ් ලයිට්ස් ඔන් කරල ආය ඒ එක්කම නිවන සිග්නල් එක සී ලංකාවෙ රියදුරෝ බහුතරයක් පාවිච්චි කරනව හැබැයි වෙන දෙයක් අඟවන්ට...ඉස්සරහ පොලීසියෙන් ඉන්නව කියල තමන් ඉස්සරහට එන රියදුරන්ට දැනුම් දෙන්ට. හෙහ්..හෙහ්..ඔන්න මට මේ කතාව නම් නොකියම බෑ. සමාවන සේක්වා...අනික මේ සීරීස් එකේ නම මොකද්ද? "ජීවිතය මේ වගෙයි"..ජීවිතය මේ වගෙයි කිව්වම මේ වගෙ ආතල් "Anecdotes"  ඒකට අඩංගු වෙන්නම ඕන...

මේ කතාවෙ කතා නායිකාව ඇවිල්ල අවුරුදු තුන හතරකට කලින් වෙනකල් බොහොම අපූරු බ්ලොග් එකක් ලියපු ඉතාම දක්ෂ ලේඛිකාවක්....මගෙ ඉතාම හිතේසිවන්ත ලලනාවක්...කතා නායකය එවුන්දිගෙ සුවාමිය. දැන් දෙන්නම විදේසයක තමයි ඉස්තිර පදිංචිය…

රයිට් කතාව මෙහෙමයි..ආය වෙන කවුරුවත් නෙමෙයි ඒ යෝදිම තමයි මේ කතාව කිව්වෙ...ඔන්න මෙහෙමයි කතාව. මම ඒක ඒ අම්මණ්ඩියි මායි අතරෙ වෙච්චි සංවාදෙ විදිහටම ලියන්නම්කො. එකල්හි ඒ ඔබ තමුන්නාන්සේලාට වටහා ගැන්මට පහසු වනවා සේම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කල හැකිවනුද ඇත.

මේ කතාව චැට් සංවාදයකින් තමයි කෙරුනෙ මට මතක විදිහට. ඒ කාලෙ තිබ්බනෙ අර ගූගල් බස් ද චැට්ද මොකක්ද කියල අයිටම් එකක්. ගූගල් කාරය දැනට අවුරුදු පහකට වගෙ ඉස්සර ඒක නවත්තල දැම්ම. මගෙ ඔය චැට් සංවාද වල තිබ්බ අපූරු කතන්දර ටිකක්. ඒ ඔක්කොමත් ඒත් එක්කම මැකිල ගියා..සංසාරේ තමයි ඉතිං...

ආ..තව එකක් කියන්න ඕන....ඔය කාලෙ උං දෙන්න බැඳපු අලුත. ඔන්න ඔය මාලබේද කඩුවෙලද කවුඩුපැලැල්ලද කොහෙද පැත්තක පොඩි ගෙවල් කෑල්ලක හිටියෙ. කාරෙකකුත් ගත්ත අලුතම. මට මතක විදිහට නිසාන් මාච් එකක්ද කොහෙද....

"අයියෙ.."

"මොකෝ බොල?"

"ඊයෙ මරු වැඩක් උනානෙ බං අපිට…"

"ඒ මොකක්ද?"

"අර අපෙ මනුස්පය ඉන්නවනෙ.."

"යස් අයි නෝ... යුවර් හස්බන්ඩ්..සෝ වට්?"

"ඒ පිස්සු හුටං ඊයෙ නියම වැඩක් කලානෙ.."

"ඉතිං කියාපන්කො තවත් තෙපර බාන්නෙ නැතුව.."

"ඔන්න ඊයෙ හවස වැඩ ඇරිල අපි දෙන්න ගෙදර එනව කියාපංකො....."

"ඊට පස්සෙ?" මම ඇහුව.

"ඔන්න අපේ ගෙවල් කිට්ටුවටම එනකොට තියනව හෙණ වංගුවක්...අපි ටිකක් හයි ස්පීඩ් ආවෙ. ට්‍රැෆික් නිසා පරක්කු උන හින්ද...හරි...අපි ඔන්න ඔය වංගුව ගාවට එනකොටම මෙන්න අපි ඉස්සරහින් ආපු වෑන් කාරයෙක් හෙඩ් ලයිට් දාල සිග්නල් කලා..මම හිතුවෙ අපෙ මිනිහ ස්ලෝ කරයි කියල..මොන? පොරට ගාණක්වත් නෑ..මෙන්න ආපු ස්පීඩ් එකේම යනව..මම කෑගැහුව ඒ පාර..ඒයි මේ ස්ලෝ කරන්න ස්ලෝ කරන්න කියල..මෙන්න මේ යෝදය ඇසුත් උඩ තියාගෙන මා දිහාට හැරිල අහනව ඇයි? ඇයි ඒ ස්ලෝ කරන්නෙ? කියල..."

"හෙහ්..හෙහ්.."

"මට නේද මරු නැග්ග..ඇයි හලෝ දැක්කෙ නැද්ද අර අපිට ඉස්සරහට හම්බඋන වෑන් එකේ හෙඩ් ලයිට් සිග්නල් කලා..දන්නවද ඒ යෝදය කියපු එක..ඉතිං අපිට මොකටද ඒකෙ වගක්? ඒ මනුස්සය හෙඩ් ලයිට් දාල බලන්න ඇති පත්තු වෙනවද කියල…"

"එළ කොල්ලෙක්නෙ බං උඹෙ මහත්තය…"

"අයියෝ කියල වැඩක් නෑ අයියෙ..මගෙ ඔලුව විකාර වෙනව වෙලාවකට.."

"හරි හරි බං මැරීඩ් ලයිෆ් එක කියන්නෙ එහෙම තමයි..යම් පමණකට විකාර රූපී බවක්ද එහි අඩංගු විය යුතුමය. ඉතිං ඉතිං..කතාව කතාව"

"ඒ පාර මම කිව්ව හලෝ ඒ මිනිහ මේ මහ දවල් අහවල් දේකටද හෙඩ් ලයිට් ටෙස්ට් කරන්නෙ? ඒ කිව්වෙ ඉස්සරහ පොලීසියෙන් ඉන්නව කියල. ෂුවර් එකටම අර ඉස්සරහ වංගුවෙ සම්පත් බෑන්ක් බිල් බෝඩ් එක එහා පැත්තට වෙලා පොලීසියෙන් ඇති. ඒ හින්ද දඩ කොළයක් ලියව ගන්ට ඕන නැත්නම් කරුණාකරල ස්පීඩ් එක අඩු කරන්න කියල. ඒ පාර මෙයා කියනව එයා උපන්තේකට එහෙම කතාවක් ඇහුවමයිලු ඔය කියල. ඒ මදිවට තව මට කියනව මම එයාව අන්දන්න හදනවනම් ඒකට ටිකක් වෙලායයි කියල.."

"හෙහ්,හෙහ්..බොරුවට වෙන්න ඇති..Just pulling your leg I think"

"අනේ මන්ද බං..මේ මනුස්සය හිටපු ගමං ඔහොම එව්ව අහනව මට තාම හිතාගන්ට බෑ ඇත්තටම දන්නෙ නැතුව අහනවද නැත්නම් මාව අන්දන්ට හදනවද කියල.."

"උඹල දෙන්න බැඳල දැන් කොච්චර කල්ද?"

"තවම අවුරුද්දක් නෑ..මාස නමයක් වෙන්ට සතියක් වගෙ තියෙන්නෙ"

"හපොයි එහෙමනම් ඔය සුවාමියාගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල බාර්යාවටවත් බාර්යාවගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල සුවාමියාටවත් තේරුං ගන්ට තාම ඉතාම කල් මදි.."

"ඒ කියන්නෙ එහෙම වෙන්ට කොච්චරක් විතර කල් යනවද? මට අයියෙ උඹේ අත්දැකීමෙන් කියාපන්කො බලන්ට"

"හ්ම්ම්ම්..අවුරුදු පහක් වගෙ යනකොට සීයට විස්සක් වගෙ තේරුම් ගන්ට ඇහැකි. එතකොට සීයට පණහක් වගෙ වෙන්ට අවුරුදු දහයක් වගෙ යනව. අවුරුදු විස්සකින් සීයට අසූවක් තරම තේරුම් ගතෑකි.."

"අප්පේ එහෙනං මට ඕන නෑ ඒ  තේරුම් ගැනිල්ල..හිහ්..හිහ්.."

"හරි හරි උඹට ඕන නැත්නං උඹ නිකා ඉඳහං... කතාව කියහංකො.."

"හ්ම්ම්ම්..කෝකටත් මම එහෙනම් ස්ලෝ කරන්නම්කො ඔයා කියනවට..ඒ උනාට මට සීයට දෙසීයක් ෂුවර් ඉස්සරහ පොලිසියෙන් නම් නෑ කියල..එහෙම කියල මිනිහ වාහනේ ස්ලෝ කලා..වංගුවට ආහම මෙන්න මම කියපු විදිහටම කියපු තැනම ඉන්නව ට්‍රැෆික් පොලිස් දෙන්නෙක්..අර ස්පීඩ් ගන් එකකුත් තියාගෙන.."

"හෙහ්..හෙහ්..ඉතිං මොකෝ අර යෝදය කිව්වෙ?"

"මෙන්න මේ මනුස්සය මගේ දිහා ඇසුත් ලොකු කරගෙන බලා ඉඳල කියපි..දෙයියම්ප ඔයා කීවෙ ඇත්තම නේන්නම්..කියපු විදිහටම එතන ට්‍රැෆික් එකෙන් හිටියනෙ කියල.."

"ඉතිං උඹ මොකද කිව්වෙ? "

"මම නෑහුනා වගෙ ඉස්සරහ බලාගෙන හිටිය තොල් දෙකත් පියාගෙන…"

"හ්ම්ම්....එච්චරද කතාව? ඊට පස්සෙ අතුරු ආන්තරාවක් නැතුව බොලා දෙන්න ගෙදර ගියා...එතනින් කතාව ඉවරයි එහෙමද?"

"උඹ මේ මඟුලක් කතා කරනව අයියෙ...එහෙම නිකම්ම ගෙදර ගියානං මොකක්ද බං ඒකෙ කතන්දරයක් තියනවය?..හිහ්...හිහ්..ඊට පස්සෙ තමයි බං ආතල් එක පටන් ගත්තෙ.."

"හෙහ්..හෙහ්..සොමිය අංක තුන...මොකද හැබෑටම උනේ?"

"ට්‍රැෆික් පොලිස් කාරයො ඉන්න තැන පහු කරල කිලෝ මීටර් තුනක් විතර ගිහිල්ල මෙන්න මේ මනුස්සය පාර අයිනට කරල වාහනේ නතර කලයි කියපංකො…"

"හෙහ්..හෙහ්..මම දන්නව..වාහනේ නතර කරල එහෙම දඩ කොලේකිං උන්දැව බේරුවට ස්තූතිය පල කරනු වස් උඹව බදාගෙන සිප ගන්න ඇති…"

"පිස්සුද උඹට? මඟුලක් කියවනව...එහෙම එකක් නම් බැරිය…"

"එහෙනං?"

"මෙන්න මේ මනුස්සය වාහනේ නවත්තල ස්ටියරිං වීල් එක උඩ අත්දෙකම බර කරල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ඈත බලාගෙන ටිකක් වෙලා හිටිය. මොකද අනේ? බැරිම තැන මම උරහිසෙන් හොල්ලල ඇහුව. නෑ මම මේ කල්පනා කලේ අර වෑන් කාරය මොන තරම් සත්ගුණවත් මනුස්සයෙක්ද කියල. බලන්න ඒ මනුස්සය ඒ කරපු උදව්ව හින්ද නෙවෙයි නම් මට අද දඩයක් ගෙවන්න වෙනවනෙ..ඒ පාර මම කිව්ව...හරි හරි..ඩ්‍රයිවිං කරන කවුරුත් එහෙම තමයි. එකිනෙකාට උදව් කර ගන්නව. දැන් ඔයාටත් තියෙන්නෙ මීට පස්සෙ ඔහොම වෙලාවක හෙඩ් ලයිට්ස් ඔන් කරල අනික් අයට වෝනිං එකක් දෙන්න. එතකොට අද මේ මනුස්සය අපිට කරපු උදව්වට කළගුණ දැක්කුව වෙනව..හරි අපි යමුකො දැන් මට නම් හොඳටම මහන්සියි..මම එහෙම කිව්ව"

"Then?"

"මම එහෙම කිව්වට මේ මනුස්සයගෙ යන්ට සූජානමක් නැති වගයි පේන්නෙ. මම ඒ පාර කිව්ව මේ යමු නේද? කියල. ඒ පාර මෙයා මා දිහාවෙ ආයම ටික වෙලාවක් බලා ඉඳල කියපි එහෙම නෙමෙයි ඩලෝ...මම ඔයාව ගෙදර දාලා ආපිට එන්නං කියල.."

"ආපිට එන්න? ඒ මොකටද?"

"ඒකනෙ අයියෙ කියන්නෙ. මමත් ඔහොම්මම ඇහුව..ඒ පාර දන්නවද කිව්ව එක? නෑ ඔයා දන්නවනෙ මම කලයුතු කිසිම දෙයක් පස්සට හෙටට කල් දාන මනුස්සයෙක් නෙවෙයිනෙ..මට ඒ කලගුණ සැළකීම අදම, මේ දැන්ම කරන්න ඕන.."

"හෙහ්,හෙහ්.."

"අයියෝ කියල වැඩක් නෑ බං.. මම ඇහුව කොහොමද ඒ කළගුණ සැළකීම අදම කරන්න හිතාගෙන ඉන්නෙ? කියල. ඒ පාර කියනව මගේ ප්ලෑන් එක මෙහෙමයි. අර පොලිස් කාරයො ඉන්න වංගුවෙ ඉඳල දෙපැත්තටම කිලෝ මීටර් දෙකක් තුනක් විතර එහාට මෙහාට ඩ්‍රයිව් කර කර ඉස්සරහට එන ඔක්කෝටම හෙඩ් ලයිට් ගහල වෝනිං එකක් දෙනව ඉස්සරහ පොලීසියෙන් ඉන්නවයි කියල.."

"හෙහ්..හෙහ්..මරු අයිඩියා එක ඒක.."

"ආය මොනවද? අපෙ උන්නැහැට එන්නෙ ඔහොම විශ්මිත අයිඩියාස්  තමයි. ඒ ගමන මම දන්න විදිහට කිව්ව මේ පිස්සු විකාර කරන්න හදන්න එපාය. ගෙදර යම්ය කියල. කොහෙද ඒ යකාට යමක් හිතුනොත් හිතුනම තමා. ලෑස්තිම මාව ගෙදර බස්සල ඇවිල්ල ඔය ට්‍රැෆික් වෝනිං සමාජ සේවය කරන්ට…"

"ඒ පාර බැරිම තැන උඹ ඕන කුදයක් ගහගං කියල උඹ ගෙදර ගිහිං බැස්ස?"

"පිස්සුද බං? එහෙම පුලුවන්ද? මේ යෝදය ඔතන ගිහිල්ල මොනව කර ගනීද කියල කවුද දන්නෙ? ඒ හින්ද බැරිම තැන මම කිව්ව හ්ම්ම්ම්..යන්නම ඕන නම් යමු..හැබැයි මාත් එනව..කියල.."

"පොරට හෙන හැපී ඇති.."

"හිහ්..හිහ්..හැපීද අහනව...මගෙ අතක් අරං ඉඹල තැන්ක්යූ තැන්ක්යූ..යූ ආ ද බෙස්ට් කියල වාහනේ ආපහු හරෝගෙන ඔන්න පටන් ගත්ත ඔපරේෂන් ට්‍රැෆික් වෝනිං…"

"හෙහ්..හෙහ්..මරු කතාව ඕයි...පස්සෙ කිසිදු අතුරු ආන්තරාවක් නැතුව ඔපරේෂන් එක ඉවරවෙලා උඹල දෙන්න ගෙදර ගියා? "

"නෑ..නෑ...අහපංකො ඊට පස්සෙ විස්තරේ..ඔන්න මයෙ හිතේ හතර පස් පාරක් දෙපැත්තට ඔහොම වෝනින් දිදී ගියයි කියමුකො.."

"දැං කොහොමද ඔය වැඩේ උඹල කලේ? "

"මෙහෙමනෙ..ඔන්න පොලිසියෙන් ඉන්න තැන ඉඳල කිලෝ මීටර් තුන හතරක් විතර එක පැත්තකට එන එන වාහනේට හෙඩ් ලයිට් ඔන් කර කර යනව කියපංකො. බහුතරයක් ඩ්‍රයිවර්ල අත වනල තැන්ක්යූ කියල කියනව. අපේ උන්දැට හෙණ සතුටුයි. අන්න දැක්කද? අන්න දැක්කද ? මිනිහ මට තැන්ක්යූ කියලත් කිව්ව කියල හිනා වෙනව. ඔහොම සෑහෙන දුරක් ගිහිල්ල තියෙන හන්දියකිං ආපහු හරෝ ගන්නව. ඊට පස්සෙ අනික් අතටත් ඔය සෙල්ලම කරනව. ආපහු හරව ගන්නව. ආපහු ඔය සෙල්ලම.."

"ඉතිං කීපාරක් විතර ඔහොම කලාද උඹල දෙන්න?"

"උඹල දෙන්න කියන්නෙ ආය මම කරපු කෙහෙල්මලක් නෑ.. අපෙ මිනිහ තමයි ඔක්කොම කලේ. හෙඩ් ලයිට් ගහනව. හිනාවෙනව. අත වනන මිනිස්සුන්ට ආයම අත වනනව. එක ජංජාලයයි. මම කලේ තොල් දෙකත් හපාගෙන මගෙ පැත්තෙ ජනේලෙං ඈත බලාගෙන මේ විගඩං දැක්කෙ නෑ වගෙ සීට් එකේ ඉඳගෙන ඉන්න එක.."

"පස්සෙ?"

"හතර පස් පාරක් එහාට මෙහාට ගියාම මම කිව්ව දැන් ඇති නේද කළගුණ සැළකුව? හෙටටත් සලකන්ට ටිකක් ඉතුරු කරගත්තොත් නරකද? අපි දැන් ගෙදර යමු කියල..කොහෙද බීරි අලින්ට අර මොකක්ද ගහනව වගෙ.."

"පොරට වැඩේ එච්චරම අල්ලල ගිහිල්ල?"

"ඔව්..ඒත් මම දැනගත්ත කොයි වෙලාවක හරි වැඩේ වකූර් කරගන්නව මේ මනුස්සය කියල. ඕනම දේක තියනවනෙ ගාණක් මිම්මක්. අනික අපේ කාර් එක රතු පාට. නෝට් වෙනව වැඩියි. සුදු එකක් නම් ඔන්න එච්චර ගානක් නෑ. මම නිකමට කිව්ව දැන් ඔන්න බලන්න ට්‍රැෆික් පොලිස් දෙන්න ඔයාව නවත්තන්නෙ නැද්ද කියල. ඒ කියල කට ගන්ට හම්බවුනේ නෑ ඊලඟට අර වංගුව ගාවට එනකොට ඒ පොලිස් කාරයෙක් පාරට පැනල අපේ වාහනේ නවත්තන්ට කියල සිග්නල් කලා.."

"ජලා හුටා..ඉතිං?"

"අපේ මනුස්සය කියනව..ඒ මොකටද නවත්තන්න කියන්නෙ? මම වරදක් කලේ නෑනෙ කියල.."

"ඒ කතාවෙත් ඇත්තක් තියනව.."

"ඔව්..ඔව්..ඒත් සිග්නල් කලාම නවත්තන්න එපාය. මම කිව්ව හරි අපි නවත්තල බැහැල යමු මොකද කියල බලන්න. මමත් එන්නම්කො කියල. ඔන්න අපි දෙන්නම බැහැල ගියා. ලඟට ගියාම රාළහාමි අහනව මේ මහත්තුරු නෝනල කොහෙද ගෙවල්? කියල. මම කිව්ව අපි ඉන්න දිහාව. එතකොට අහනව දැන් හත් අට පාරක්ම මෙතනින් එහාට මෙහාට යනව අපි නෝට් කලා මොකක් හරි කරදරයක්ද? කියල.."

"කෙලිය තාප්පෙටම ඉතිං?"

"මම කෝකටත් කියල කතාවක් හදාගෙන ගියේ...අපෙ උන්නැහැ මොකවත් කියන්ට ඉස්සර මම කිව්ව ඔව් සර්..අපෙ යාලුවෙක්ගෙ කාර් එකේ මොකක් හරි අවුලක් වෙලා මේ කිට්ටුව කොහෙ හරි පාරෙ නැවතිල කියල අපිට කෝල් එකක් ආව. අපි මේ එහාට මෙහාට ගියේ එයාට උදව්වක් දෙන්න කියල හිතාගෙන. ඉතිං හම්බ උනාද? පොලිස් කාරය ඇහුව...නෑනෙ ඒකයි මේ එහාට මෙහාට ......."

"පොලිස් කාරයොත් මෝඩයො නෙවෙයිනෙ…"

"ඔව් ඔව්..ඒ පාර මිනිහ අහනව කෝල් එකක් දීල බැලුවෙ නැද්ද කියල. මම කිව්ව ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ කියල. පොලිසියෙන් එතකොට කිව්ව එහෙමනම් හිතාගන්න තියෙන්නෙ යාලුව කොහොම හරි කාර් එක හදාගෙන ගිහිල්ල කියලනෙ. අනික හත් අට පාරක් එහාට මෙහාට ගිහිල්ල හොයන්න මොකෝ කාර් එකක් කියන්නෙ ඉදිකටුවක් වගෙ එකක් නෙවෙයිනෙ. පාර අයිනෙ නවත්තල තියනවනම් පේන්ට තියෙන්න එපාය. එහෙනම් මම කියන්නද? මේ දෙන්න දැන් ගෙදර යන්න..අපිත් දැන් මේ යන්න කියල..මේ වගෙ තැනක හයි ස්පීඩ් අල්ලන්න පැය බාගෙකට වඩා ඉන්න එකේ තෙරුමක් නෑ..අපිව දකින දකින ගස් ගෝන්නු පටන් ගන්නව හෙඩ් ලයිට් ගහල අනික් අයට කියන්න අපි ඉස්සරහ ඉන්නව කියල. එතකොට අපි ඉන්න එකෙන් වැඩක්ම නෑ. ඒ හින්ද අපි මේ යන්නයි හැදුවෙ..මඟදි යාලුවගෙ කාර් එක දැක්කොත් අපිත් පුලුවන් උදව්වක් කරන්නං..හරි එහෙනම් ඔය දෙන්න යන්න..ඔන්න ඔහොමයි පොලිස් කාරය කිව්වෙ..."

"නියම කතාව...ඒ කියන්නෙ උංට සැක හිතිල?"

"ඔව්..සැක හිතෙන්න ඇති..ඊට පස්සෙ අපි දෙන්න හෙමීට එතනින් මාරුවෙල ගෙදර ආව..ගෙදර ඇවිල්ලත් අපෙ උන්නැහැ බනිනව පොලිස් කාරයින්ට..එහෙම කොහොමද ඒ මිනිහ අපිට ගෙදර යන්න කියන්නෙ? මොකක්ද මම කරපු වැරැද්ද? හරි නම් මානව හිමිකම් නඩුවක් දාන්නයි තියෙන්නෙ කියල..මම කිව්ව...හරි හරි මානව හිමිකම් නඩුවක් පස්සෙ දාමු..මට අද හරිම මහන්සියි ඔයත් එක්ක මේ සමාජ සත්කාර්යයන්ට ගිහිල්ල. අද රෑට උයන්ට නම් බෑ.. හන්දියෙ කඩේට ගිහිල්ල ඉඳි ආප්ප මොනව හරි අරං එනවද කියල. හරි මම කාර් එකේම යන්නම්..අපෙ උන්නැහැ කිව්ව..මේ මේ..කාර් එකට අත තියන්නෙ එහෙම නෑ. මට විස්වාස නෑ තමුං කාර් එකේ ගිහිල්ල මොනව කරගනීද කියල. වැඩි දුරක් නෑනෙ..ඕනනම් මීටර් හත් අටසීයක් ඇති..පයින් ගිහිල්ල එන්න..එතකොට ඔය හිතේ තියන මල පැනපු ගතියත් බහියි කියල..ඔන්න ඔහොමයි බං අයියෙ කතන්දරේ..."

"හිහ්..හිහ්..මරු කතාව බං..බ්ලොග් එකේ ලියන්ට වටිනව.."

"ලියහං ලියහං හැබැයි මගෙ නම එහෙම දාන්නෙ නෑ හොඳද?"

"නෑ..නෑ..එහෙමත් කරනවද බං මම?....."

හෙහ්,හෙහ්....ඉතිං මගේ දයාබර පාඨකයිනි..ඔන්න ඔහොමයි උනාය කියන්නෙ...

අඩේ ඒ අතුරු කතාවත් සෑහෙන්න දිගට ඇදුන නේද? කමක් නෑ මම අර කලිං කිව්ව වගෙ මෙව්ව තමයි "Life Is Like That" කියල ලියන්න ඕන කතා. ඒ හින්ද ටැක්සි කාරයගෙ කතාව ඊලඟ කොටසින් ලියන්නම් හොඳද? 

ආ...නෑ..නෑ..නෑ..අනිවාර්යයෙන් දවස් දෙක තුනක් ඇතුලත ලියන එක ලියනවමයි. අද ඉඳල අපිට දවස් හතරක් නිවාඩු. ඊද් නිවාඩුව. අනික මෙහෙ මේ දවස්වල පැලෙන්න පායනව. ඉතිං දවල්ට එලියට බහින්ට බෑ. ඔය කූල් බියර් එකක් එහෙම ගහගෙන මොන මොනවහරි ලියාගෙන පොතක් පතක් කියවගෙන ඉන්ටයි තියෙන්නෙ...

To be Continued …Of Course…

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...