Wednesday, August 29, 2018

605. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 4 - වළාකුළට මුවාවූ හිරු සහ නයන කළුෑ ඔබ මගේ කළුෑ…….

අපේ ඊද් නිවාඩුවෙ පළවෙනිද ඒ කිව්වෙ අඟහරුවාද මම සහභාගි වුනා සුලු පහේ මධු සාදයකට. දවල් එකොළහට වගෙ පටන් අරගෙන තුන වගෙ වෙනකල් තිබ්බ. වැඩිය බිව්වෙ එහෙම නෑ. කොහෙ බොන්ටද අප්ප මේ ගිණිගහන ඌස්ණෙ? ඒ.සී. ෆුල් බ්ලාස්ට් දාල තිබ්බට ඒ ඔරොත්තු දෙන්නෙත් නෑ.

/ඉතිං ඔය සාදයෙදි මට මුණ ගැහුන පොඩි කොලුවෙක්..වයස විසි හතරක් පහක් වගෙ තරම ඇති. ගම අනුරාධපුරේ..මෙහෙ එකවුන්ට්ස් ක්ලාක් රස්සාවකට ඇවිල්ල තියෙන්නෙ. මනුස්සය එක්ක ආගිය තොරතුරු කතාකරමින් ඉන්දැද්දි (අනුරාධපුරේට මයෙත් තියනවනෙ බොහෝම හෘදයාංගම සබඳතාවයක්) මිනිහ කපුගේ ගැන මම කලින් නෑසූ කතාවක් කිව්ව. බොරුවක් වෙන්නත් බෑ. මොකද මිනිහට එහෙම එකක් හදල කියන්න කිසිම උවමනාවක් නෑ. ඒ කතාව ලියන්නත් හදල ඒත් මේ ටැක්සි කාරයගෙ කතාව දැන් වාත වුනා වැඩියි කියල හිතල අද එහෙනම් ඒක ලියල ඉවරයක් කරන්නම්ය කියල හිතා ගත්ත. කපුගේගෙ කතාව දෙවනුව හොඳද? /

පහුගිය සිකුරාද අර ටැක්සි රියදුරාගෙ කතාව ලියන්ට ඉස්සරවෙලා මම එහෙම කිව්ව ඔබ තමුන්නාන්සේලාට මතක ඇති නේද? බලාගෙන යනකොට ඒ කතාවත් ජීවිතය මේ වගෙයි කතාවකට ඉතාම සුදුසු හින්ද මම හිතුව ඒකත් මේ එක්කම ලියල දාන්නම්ය කියල.

මේ දවස්වල මෙහෙට පැලෙන්ට පායනවය කියල මම කලින් කිව්වනෙ නේද? ඉතිං නිවාඩු දවසෙ ඒ කිව්වෙ සිකුරාද උනත් බහුතරයක් ඉන්නෙ ගෙවල් ඇතුලට වෙලා. උදේ හයටවත් නැඟිටල නාගත්තෙ නැත්තං ලෝදිය තමයි නාන්ට වෙන්නෙ. මහල් නිවාස වල කොහොමත් වතුර ටැංකිය තියෙන්නෙ වහල උඩනෙ. මෙහෙ උළු වහලවල් නෑ. ලී හොයාගන්නත් නෑනෙ.ඉතිං කොන්ක්‍රීට් ස්ලැබ් වහලවල් තමයි තියෙන්නෙ.

ඔය වහල බොහොම ප්‍රයෝජනවත් වෙනව ශීත කාලෙට. ඇඳුමක් කැඩුමක් වේලගන්ට. එතනිං ගිහාම බාබකිව් පාරක් දාන්ට අන්න ඒ වගෙ දේවල් වලට. ඒත් ඉතිං ගිම්හාන කාලෙදි නමය දහය වෙනකොට ගිණියම් වෙනව. හොඳට ඉන්සියුලේටිං නොහොත් තාප නිවාරණ කටයුතු කරල හින්ද ඇතුලට රස්නෙ නම් එන්නෙ නෑ. ආවත් ඒ එන්නෙ පස් වෙනි තට්ටුවෙ තියෙන ගෙවල් වලටනෙ. අපිට අවුලක් නෑ. අපි ඉන්නෙ හතරවෙනි තට්ටුවෙ....."අපිට මොටද අපි දසසිල් උපාසක....ඉබ්බන්නේ පුච්චන්නේ අනිප්පිට" කිව්වලු..හෙහ්..හෙහ්..දන්නවනෙ ඒ කතාව නේද?

ඉතිං ඊද් නිවාඩුවෙ පළමුවෙනිද ඒ කියන්නෙ ඔන්න පහුගිය අඟහරුවාද උදේ නමයට වගෙ මගෙ පරණ යාලුවෙක් කතාකලා. මම මෙහෙ රස්සාවට ආපුම කාලෙ ඒ කිව්වෙ අවුරුදු දහයකට වගෙ ඉස්සර සුපර් මාර්කට් එකක බඩු ගන්න ගිය වෙලාවක අහම්බෙන් හම්බවෙලා මම ලංකාවෙ වෙන්න ඇතිය කියල උපකල්පනය කරල "ආ යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා?" කියල අහල කතාබහ කරල මගෙ අතිජාත මිත්‍රයෙක් බවට පත් වෙච්චි හිත හොඳ මනුස්සයෙක්.

ඒ මුල්ම කාලෙ මට මත්පැන් බලපත්‍රයක් නොතිබුනු නිසා ඔය ජයන්තයගෙ ගෙදර ගිහිල්ල තමයි සති දෙකකට වගෙ සැරයක් සකෘදාගාමී තත්වයට පත් වෙන්නෙ. මේ දවස්වල තියන වාතාවරණය අනුව ඔහොම දේවල් ලියන එකත් ටිකක් නෙවෙයි බොහොම අවදානම්සහගත වැඩක්. 

අර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයද මොකක්ද එකේ ගොබිලො මා ගැනත් ආචාර්ය විජේදාස රාජපක්ෂයන්ට පැමිණිලි කරන්ට බැරි නැහැ බුද්ධාගමට අපහාස කලාය කියල. අර පිස්සු හටන මධු මාධව උනත් කියන්ට බැරි නෑ මගෙ මළ ගෙදරවත් එන්නෙ නෑ කියල. ඔය යකා මල ගෙදර එන්නෙ නැත්තං දෙයියම්පල්ල මැරෙන එකේ තේරුමකුත් නෑ...හෙහ්..හෙහ්...

ඔය යකා වගෙ මොලේ කොළොප්පං හාදයෙක් මම හිතන්නෙ අග්නිදිග ආසියාවෙම ආය නෑ. එක පාරක් කළංසූරිය මලාය කියල පෙට්ටියකුත් අරගෙන කළංසූරියලගෙ ගෙදර ගියා. ඒ යනකොට කළංසූරිය "ඇයි මල්ලි මොකෝ මේ පෙට්ටියකුත් අරගෙන?" කියල අහගෙන ගෙයිං එලියට ආවලු. ඒ පාර මේ යකා "නෑ අයියෙ අපි මේ පෙට්ටිය තියන්න ඉඩ පාඩු තියන තැනක් තියනවද බලන්න ආව" කියල පෙට්ටියත් අරගෙන ආපහු ආවලු.

ඊටත් කලින් අර කාඩ්බෝඩ් කඩු වගයක් උරුක් කරගෙන ඒ මනුස්සය වගේම නුහුගුණ කාරයෙක් වෙච්චි අර ගොම්මංපිලය එක්ක එක නාඩගමක් නැටුව.

හරි හරි ඔය පිස්සු යක්කු ගැන මදැයි දැං. කතාවට එමු කතාවට එමු.

ජයන්ත අපේ ක්ෂේත්‍රයෙ ඒ කිව්වෙ ඉදිකිරීම් ක්ෂෙත්‍රයෙ නම් නෙවෙයි වැඩ කලේ. මනුස්සය ඇවිල්ල හිට විගණක නොහොත් ඔඩිටර්.

"රවී මචං, අද මොකද කරන්නෙ?" ජයන්ත ඇහුව.

"එහෙමට විශේෂ දෙයක් නම් තාම නෑ. මේ පිච්චෙන අව්වෙ කොහෙවත් යන්ට වත් පුලුවනිය බං?" මම එහෙම කිව්ව.

විජය අවුරුදු තිස් පහකට වගෙ ඉස්සර කියපු, මම හරිම කැමති සිංදුවක් තියනව. මේ දවස්වල මෙහෙ පායන පෑවීල්ල ගැන හිතලම ලියපු සිංදුවක්ද කොහෙද…..

වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ 
රත් වුණු වැලිකැට පුපුරණ 
මැද පෙරදිග මරු කතරේ.... 

වතුර මලෙන් නා දොළ අමතක කර 
දූලි සුළං විඳ වෙල අමතක කර 
විදුලි පහන් මැද සඳ අමතක කර 
දෙපා අභියසට ගමු අපි සුරපුර... 

නගර දනව් මැද සුවිසල් මන්දිර 
අතැර උපන් රට නොරටුන් ලංකර 
පඳුරු පතොක් කටු අතගා උල්කර 
විනෝද වෙමු අපි ලේ මස් දිය කර...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - රෝහණ වීරසිංහ



"එහෙනං දවල් වෙලා වරෙං අපෙ ගෙවල් පැත්තෙ..පොඩි කර්මාන්තයක් එහෙම කරල බත් කටක් එහෙමත් කාල ….."

"පොඩි කර්මාන්තය දුරදිග ගියොත් එහෙම ඉතිං බත් නොකාම…." මම ඌණ පූර්ණය කරල හක හක ගාල හිනා වුනා.

එකොළහ වගෙ වෙනකොට මම ජයන්තයලගෙ ගෙදර ගියා. මනුස්සය වැඩි දුරක නෙවෙයි ඉන්නෙ. කිලෝමීටර් තුනක් වගෙ එහා. ශිශිරයෙදි නම් ඇඟටත් හොඳයි නෙව කියල මම පයින්ම යනව. ඒත් මේ කාලෙ එහෙම කලොත් මඟදිම කලන්තෙ දාල වැටෙයි කිසි කතාවක් නැතුව. 

ජයන්තයගෙ තව යාලුවො හත් අට දෙනෙක්ම ඇවිල්ල හිටිය. බොහොම දෙනෙක් ඔයිට කලින් ජයන්තයලගෙ ගෙදරදිම මට හම්බවෙලා තියනව. ඒත් කලින් මුණ නොගැහිච්චි පොඩි කොලුවෙකුත් හිටිය වයස විසිපහක හයක තරමෙ. 

"ආ මචං මේ අපේ ෆර්ම් එකට ලඟදි ආවෙ..එකවුන්ට්ස් ක්ලාක්..ගම අනුරාධපුරේ...අහ්..උඹගෙත් ඔය අනුරාධපුරේ එක්ක තියනව නේද බොහොම කිට්ටු සම්බන්ධයක්…"

එහෙමයි තාරක (තාරක කියන්නෙ කොලුවගෙ නම) සහ මගේ කතාබහට මුල පිරුවෙ.

"මිස්ට රවී කොයි කාලෙ වගේද අනුරාධපුරේ හිටියෙ?"

"අපොයි ඒ කාලෙ ඔයා ඉපදිලාවත් නැතුව ඇති..මම හිටියෙ 76 ඉඳල 84 වෙනකල්…"

"අපොයි කිව්වත් වගෙ ඉපදිලාවත් නෑ නෙවෙන්නම් ..මම ඉපදුනෙ 92 අවුරුද්දෙ.."

"ඒකනෙ මම කිව්වෙ..කොහෙද තාරකගෙ ගෙවල්?"

"මම කඩ පණහට පොඩ්ඩක් එහා..දන්නවද ඒ හරිය?"

"අපොයි මොකද මම නොදන්නෙ? ඒ කාලෙ අපි නිතරම ඔය හරියෙ ගැවසෙනව..රජරට සේවය තිබ්බෙ කඩ පණහ ඉස්සරහනෙ…."

අසූව දශකයෙ මුල් භාගය කියන්නෙ රජරට සේවයෙ ස්වර්ණමය යුගය ඩී.එස්. දයාරත්න, ජෝතිපාල තෙබුවන, ප්‍රේමකීර්ති ද අල්විස්,ස්වර්ණ ශ්‍රි බණ්ඩාර සහ ගුණදාස කපුගේ ඒ ස්වර්ණමය යුගය උදාකල පහන් තරු රාශියෙන් කිහිපයක්.


කඩපණහ ඉදිරිපිට රජරට සේවය මැදිරි සංකීර්ණය...


"අන්න හරි මගෙ ලොකු මාම වැඩකලා රජරට සේවයෙ සංගීත අංශයෙ…"

ඉතිං අපේ කතාබහ නිරායාසයෙන් යොමුවුනා ඒ අමරණීය කලාකරුවන් පිළිබඳ මතකය යලි ස්මරණය කරනු උදෙසා. තාරකගෙ වයසෙ හැටියට නෙවෙයි පොදුවේ ඒ ගෙවීගිය යුගය පිළිබඳව ඔහුගෙ තිබුණු දැනුම. මම හිතන්නෙ ඔහුගෙ මාමගෙ ආභාෂයෙන් වෙන්න ඕන.

"කපුගේ මහත්තය කියන්නෙ පුදුම නිහතමානී මනුස්සයෙක් කියල මගෙ මාම නිතරම කිව්ව මිස්ටර් රවී.." තාරක ඔය කතාබහ අතරෙදි කිව්ව.

"ඒකනම් ඇත්ත...මම කපුගේව පෞද්ගලිකව නොදන්නව උනාට ඒ දවස්වල කපුගේගෙ හොඳ යාලුවො කීපදෙනෙක් එක්ක මම කතාබහ කරල තියනව…"

"මම මාම කිව්ව එක කතාවක් කියන්නං. විශ්වාස කරන්නත් බෑ මේ සමාජයෙ එහෙම මිනිස්සු ඉන්නවද කියලවත්.."

"මොකක්ද? යංකො අර එලියට මෙතන සද්දෙ වැඩියි..අනික මට සිගරට් එකක් බොන්නත් ඕන.."

අපි දෙන්න වීදුරු දෙකත් පුරවගෙන බැල්කනියට ආව.

බැල්කනිය රස්නෙ නම් තමයි. ඒත් ගෝසාව නැති හින්ද කෑගහන්නෙ නැතුව කතා කලෑකි…"ඉතිං මොකක්ද අර කපුගේ ගැන කියන්න ආපු කතාව?"

"මිස්ටර් රවී අනිවාර්යයෙන්ම දන්නව ඇතිනෙ අර නයන කළුෑ සිංදුව.."

"අපොයි ඔව්..මම ආසම සිංදුවක්...බණ්ඩාර අතාවුද කියන්නෙ පුදුම දක්ෂතාවයක් තියෙන ගායකයෙක්.."

"හරි..හරි..ඒත් ඔයා දන්නවද ඔය සිංදුව කියන්න ඉඳල තියෙන්නෙ කපුගේ මහත්තය කියල…."

"ඈ? ඒ මොකක්ද ඒ කතාව? ඔහොම කතාවක් මම ඔය ඇහුවමයි…"

"ඒකනෙ කියන්නෙ බොහොම දෙනෙක් ඔය කතාව දන්නෙ නෑ. විස්වාස කරන්නත් තරම අමාරු මනුෂ්‍යත්වයක් ඒ කතාව පිටිපස්සෙ තියනව. මම අර කිව්වෙ මගෙ මාම. ඒ මාම කපුගේ මහත්තය එක්ක බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කලා රජරට සේවයෙ වැඩ කරද්දි. වෙන කවුරුවත් නෙවෙයි කපුගේ මහත්තයමයි ඔය කතාව කියල තියෙන්නෙ. ඒත් හොඳටම බීපු වෙලාවක. එහෙම නැත්නම් ඒ කියන්නෙත් නෑ.."

"හරි හරි මොකක්ද ඔය කතාව කියල කියන්නකො.." මම නොඉවසිල්ලෙන් කිව්ව.

"කපුගේ මහත්තයගෙ නෝන දන්නව නේද?"

"ඔව්..ප්‍රේමා කපුගේ..ඒ දවස්වල අනුරාධපුර බාලිකාවෙ නැටුම් ටීචර්..අපෙ නංගිලාට එහෙමත් උගන්නල තියනව මයෙ හිතේ.."

"ඔව්..මේ සිද්ධිය වෙලා තියෙන්නෙ ඒ දෙන්න බඳින්න කලින්. ඒ කිව්වෙ මුණ ගැහිච්ච අලුත. ඒ කාලෙ කපුගේ මහත්තය වැඩ කරල තියෙන්නෙ කොළඹ ගුවන් විදුලි සංස්ථාවෙ.."

"ඔය හැත්තෑ හතරෙ, පහේ වගෙ වෙන්න ඇති එහෙනම්…."

"ඔව් එහෙම වෙන්න ඇති. ඉතිං දවසක් ඔය නෝන ඇවිල්ල තියනව කපුගේ මහත්තය හම්බවෙන්න ගුවන් විදුලි සංස්ථාවට. පස්සෙ ඩෝල්ටන් අල්විස් මහත්තයට කපුගේ මහත්තය නෝනව අඳුන්නල දුන්නලු මචං මේ ප්‍රේමා..මම බඳින්න ඉන්න ගෑණු ළමය කියල.."

"ඉතිං?" මම නොඉවසිල්ලෙන් ඇහුව…

"ඩෝල්ටන් අල්විස් මහත්තය මොකවත් කීවෙ නැතිලු හිනා වෙලා ආ එහෙමද? කියල ඇහුවලු..ඔය කපුගේ නෝන කලුයිනෙ"


කපුගේ යුවල....

"ඔව්..ඔව්….." මම හිනා වුනා..

"පහුවදා ඩෝල්ටන් අල්විස් මහත්තය කපුගේ මහත්තයෙ අතේ දෙකට තුනට නවපු සුදු කොළයක් තියල මොකවත්ම නොකිය යන්න ගියාලු. කපුගේ මහත්තය ඒක දිග ඇරල බැලුවලු.."

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

"පිස්සු හැදෙන සඳ..ඉතිං ඉතිං?"

පස්සෙ කපුගේ මහත්තය නිවාඩු පාඩු වෙලාවක් බලල ඕකට තනුවක් එහෙම දැම්මලු. ඒත් සිංදුව රෙකෝඩ් කරන්න වෙලාවක් ආවෙම නැතිලු. ගෑණු ළමය හම්බ වෙන්න ගිය වෙලාවක විස්තරේ කියල සිංදුව එහෙමත් පෙන්නුවලු.

"අනේ හරිම ලස්සනයි..දැං කවද්ද ඔයා ඕක කියන්නෙ?" ඈ මුවපුරා සිනාසී අහන්නැති.

"මේ දවස්වල වෙලාවක් නෑ අනේ..පුලුවන් ඉක්මනටම කියන්නම්කො" කපුගේත් හිනාවෙලා කියන්නැති.

"ෂෝක්...ඔන්න මම බලා ඉන්නව…" ඇය එහෙමත් කියන්නැති. 

ඇගේ මිතුරියන්ටත් ඇය මේ ගැන කියන්නැති.."මේ අරය මම ගැන ලියපු සිංදුවක් කියන්නයි යන්නෙ..ඔයාලටත් හෙට අනිද්දම රේඩියෝ එකේ අහතැහැකි.."...දෑස් ප්‍රේමයෙන් දැල්වෙද්දි ඈ එහෙමත් කියන්නැති.

ඔහොම සතියක් දෙකකුත් යන්නැති...

කපුගේගෙ හොඳම යාලුවෙක් තමයි බණ්ඩාර අතාවුද.

දවසක් උදේ දහයට විතර බණ්ඩාර හිස ගිණිගත්තකු එගිණි නිවීමට දුවනව වගෙ කලබලෙන් එහෙම මෙහෙ දුවනව දැකල කපුගේ මෙහෙම අහන්නැති.."මොකෝ බං මේ? හදිස්සියක්ද? "

"අනේ ඔව් අයියෙ මගෙ සරළ ගීත රෙකෝඩිං එකක් තියනව දොළහට. ඒකට එක සිංදුවක් අඩුයි. ඒක ලියල දෙනව කියල පොරොන්දු වෙච්චි මනුස්සය වැඩේ කලේ නැහැනෙ…."

ඒ කාලෙ ඔය අද වගෙ බෝවිටියා පඳුරක් පඳුරක් ගානෙ එෆ්.එම්. සේවා තිබ්බෙ නෑ. කෝකටත් තිබ්බෙ එස්.එල්.බී.සී. නොහොත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි. ඉතිං ඒකෙ රෙකෝඩිං එකක් මඟ ඇරෙනව කියන්නෙ බරපතල පාඩුවක්..

"හ්ම්ම්ම්.... එහෙමත් එකක්ද? ඉඳහං පොඩ්ඩක් ඔහොම.." කපුගේ මේසෙ ලාච්චුව ඇරල පරණ ෆයිල් එකක දාල තිබ්බ දෙකට තුනට නමපු කොළ කෑල්ලක් අරං බණ්ඩාරට දුන්න.

ඒක දිගඇරල කියවද්දි බණ්ඩාරගෙ මූණ ටික ටික හිනාවකින් එළිය වුනා. "ෂෙහ් හරිම ලස්සන පද මාලාවක්නෙ..මේක කාගෙද අයියෙ?..."

"කාගෙ උනහම මොකද? උඹ ගිහිල්ල ඕක කියපංකො... එතකොට උඹේ වැඩේ කෙරෙනවනෙ..මේ වෙලාවෙ ඕන එච්චරයිනෙ"

"ඒත් මේකට තනුවක් මේ හදිස්සියෙ හදාගන්නෙ.....?"

"මම තනුවක් හදල තියෙන්නෙ..මම ඒකත් උඹට දෙන්නං.."

පහුවදා කපුගේ ප්‍රේමා හමුවෙන්නට ගිහිල්ල ඔය ආගිය තොරතුරු කතා කරමින් ඉන්න අතරෙ කපුගේ මෙහෙමත් කියන්නැති. "මේ ප්‍රේමා..අර ඩෝල්ටන් ඔයා ගැන ලියපු සිංදුව….."

"ආනේ..ඔයා ඒක රෙකෝඩ් කලාද? මම මගෙ යාලුවන්ටත් ඒ ගැන කියලයි තියෙන්නෙ..කවද්ද දැං ඕක අපිට අහන්න පුලුවන් වෙන්නෙ?"

"ම්ම්ම්..ඒක තමයි මම මේ කියන්න යන්නෙ...මම ඒක දුන්න බණ්ඩාරට.."

"ඈ?...."

"ඔව් අනේ ඒ කොල්ල උගෙ රෙකෝඩිං එකකට සිංදුවක් අඩුයි කියල පිස්සෙක් වගේ එහෙ මෙහෙ දුවනව. මම ඉතිං එහෙනම් බං උඹ මේකවත් කියපං කියල ඒ සිංදුව දුන්න..ඔයා දුක් වෙන්න එපා අනේ..මම ඔයා ගැන ඔයිට වඩා හොඳ සිංදුවක් කියන්නම්කො…"

තව ප්‍රේමවන්තයා කුමන ආකාරයේ මිනිසකුදයි මේ කෙටි කාලය තුලදී හොඳින් වටහාගෙන සිටි බැවින් ප්‍රේමාද බොහෝවිට මුනිවත රකින්නට ඇත. එලෙසම ගුණදාස කපුගේ නම් සැබෑ මිනිසා තුල පැවති උදාර මානව දයාවට මීටත් වඩා අගනා සාක්ෂියක් කෙළෙසක සොයන්නද?

පලි - ආශාවේ මල් වැටින් එබී..කියන්නෙ කොහොමත් මම ආසම ගීතයක්...ඒත් ඒ ගීතයට පසුබිම් වූ මේ අපූර්ව මනුෂ්‍යත්වයේ කථාව පිළිබඳව දැනුවත්වූ පසු ඒ ගීතය අහද්දි මට බණ්ඩාර අතාවුදගෙ මුහුණට වඩා මැවිල පෙනෙන්නෙ ගුණදාස කපුගේගෙ මූණ...


29 comments:

  1. බණ්ඩාර ආතාවුද ත් මම කැමති ගායකයෙක්. "සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ " සීනුව හෙම කොහොමද ? කපුගේ සංදර්ශන වල හම්බවෙන සල්ලි බෙදල හිස් අතින් ගෙදර යන කතාත් අහල තියනවා. ඉතින් මේ කතාවත් ඒ වගේ තමයි. හැබැයි මේ කතාව අහන්නේ පලමුවරට . දන්මම් කොපි රයිට් දාගනින්. හේ හේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මම හන්තර් ජංජාලෙත් පුලුවන් තරම බැලුව. ඒත් මේ කතාව ගැන හෝඩුවාවක් දැනගන්ට ලැබුනෙ නෑ.

      කොහොමත් මම අර කලින්ම කිව්ව වගෙ අර කොලුවට බොරුවක් කියන්න හේතුවක් නෑ...:)

      Delete
    2. මේ කතාව ඉතා කෙටියෙන් මෙතන තියනවා.. https://geearana.blogspot.com/2013/12/blog-post_9809.html

      Delete
  2. කපුගේ ගැන අහලා තියෙන දේවල් වල හැටියට මේක ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා. සංගීත සංදර්ශන වලට ඈත පළාත් වලට ගිහින් එද්දී කාගේ හරි දුකක් කරදරයක් දැක්කොත් සංදර්ශනයෙන් හම්බවුණු ඔක්කොම සල්ලි ටික දීලා හිස් අතින් ගෙදර එන ජාතියේ කෙනෙක් කියලා මම කොහේදී දැක්කා.

    //"අපොයි ඒ කාලෙ ඔයා ඉපදිලාවත් නැතුව ඇති..මම හිටියෙ 76 ඉඳල 84 වෙනකල්…"
    "අපොයි කිව්වත් වගෙ ඉපදිලාවත් නෑ නෙවෙන්නම් ..මම ඉපදුනෙ 92 අවුරුද්දෙ.."//

    ලඟදි මුණගැහුණු මල්ලි කෙනෙක් එයා උපන්න අවුරුද්ද අපේ හබීට කිව්වාම -"හැබෑට? මම A/L කළෙත් ඊට කලින්නේ!" කියලා එයා කිව්වා. මල්ලිත් ටිකක් වෙලා කල්පනා කරලා හිනාවෙලා කිව්වා "හැබෑට? එහෙනම් මම අයියාට කියන්න ඕන අන්කල් කියලානේ!" කියලා! :D

    ReplyDelete
    Replies
    1. මලී,

      /මල්ලිත් ටිකක් වෙලා කල්පනා කරලා හිනාවෙලා කිව්වා "හැබෑට? එහෙනම් මම අයියාට කියන්න ඕන අන්කල් කියලානේ!" කියලා! :D /

      හෙහ්..හෙහ්..වයසට යනකොට ඔව්ව ඔහොම තමයි...මක්කා කොරන්නෙයි?

      Delete
    2. අපිත් රවියට ෆිට් එකට අයියා කිව්වට අපිටත් නිකන් සීයද අංකල් ද කියල හිතා ගන්න බෑ.. :D

      Delete
  3. කපුගේ ගැන කතාව ඇත්ත වෙන්න ඕනේ. කපුගේ කියන්නේ කොහොමත් රත්තරන් මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔව් බං...හැමෝම ඒ කතාව තමයි කියන්නෙ..අන්න බලපං මනුස්සයෙක් වගෙ මේ ලෝකෙ ඉන්න ටික කාලෙ ගෙවල මැරිල ගියාම මිනිස්සු හැමදාම හොඳ කියනව...:)

      Delete
  4. අපරාදෙ, පත්තරමල්ලි අයියා දැන් කමෙන්ට් කරන්නෙ නැති එක

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඒ මොකෝ බොලේ එහෙම කිව්වෙ? කපුගේ ගැන කතාවෙ ඇත්ත නැත්ත දැනගන්ටද?

      Delete
  5. අන්න ගායකයො. හෙක්.. ඇති යන්තං මිස් කපුගේ, කපුගේගෙ බෙල්ල මිරිකුවෙ නැතුවා.

    ඉතිං ඔය කතාව අස්සෙ බොලා අර කොල්ලටත් සිගරට් පෙව්වද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /ඇති යන්තං මිස් කපුගේ, කපුගේගෙ බෙල්ල මිරිකුවෙ නැතුවා./

      නෑ බං මම හිතන්නෙ ඒ කාලෙ ඉඳලම ඒ යෝදි මේ යෝදයගෙ හැටි සුබාවෙ දැනගෙන ඉන්ට ඇති...:)

      /ඉතිං ඔය කතාව අස්සෙ බොලා අර කොල්ලටත් සිගරට් පෙව්වද?/

      මම ඇහුව..ඌ බොන්නෙ නෑය කිව්වෙ..අම්මප මේ දැං හැදෙන තරුණ කොල්ලො..සෙක්...

      Delete
  6. අනික සහරාවේ සිහිනය ෆිල්ම් එකේ විජය කියන අර සින්දුව මගේ ආසම සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      "සැරයටියෙන් අපි යනෙන තුරා.." ඒත් මම හරිම කැමති විජේගෙ ගීතයක්...

      Delete
    2. මල් හසරැල් සැලෙන ලොවක්... ඒක කියන්නේ විජය, චන්ද්‍රලේඛා, කීර්ති. කුලරත්න ආරියවංශගේ පදරචනය, සංගීතය රෝහණ වීරසිංහ

      Delete
    3. [වලාකුලක් ගෙන මුවා කරමු හිරු] සින්දුවට මමත් හෙන ආසයි

      Delete
  7. මුල ටික කියවනකොට යකා නැග්ගා මේ මනුස්සයා කලින් පෝස්ට් එකම ආයෙත් දාලාද මන්දා කියල හිතින් බැන බැන.

    කපුගේ කියන්නෙ පොඩි කාලේ ඉදන් අපිට ගෙදර ඇහුන ගීතවත් කටහඬක්..ඒ නිසාම කපුගේ කියන්නෙ මගේ ප්‍රියතම ගායකයෙක්.ඔහු ගැන කතාවක් නිසා බොහොම ආසාවෙන් කියෙව්වා. ඒ වගේම ගීතයක ඉතිහාස කතාවත් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      /මුල ටික කියවනකොට යකා නැග්ගා මේ මනුස්සයා කලින් පෝස්ට් එකම ආයෙත් දාලාද මන්දා කියල හිතින් බැන බැන./

      බොලාගෙ ඉතිං යකා බිමට බහින්නෙ එහෙමත් වෙලාවකනෙ.. ඒහින්ද අවුලක් නෑ...හෙහ්,හෙහ්,

      Delete
    2. මටත් මුළදි හිතුණා මේ කළින් පෝස්ට් එකමද ආයෙ ලියලා තියෙන්නෙ කියලා. එහෙම හිතිලා ඊළඟට, මේ දිග නිවාඩුවක් හම්බවුණාය කිව්ව එකේ වයර් මාරු වෙච්ච වෙලාවක එහෙම වෙන්න ඇතිය, ලයිෆ් ඉස් ලයික් දැට් ය කියලා හිත හදාගෙන ඉතිරි ටිකත් කියෙව්වා. :D

      Delete
  8. මටත් රවී අයියෙ දැං ඔය සින්දුව අහනකොට බන්ඩාර ට වඩා කපුගේ ව මැවෙනව. සින්දුව ඇහෙන්නත් කලින් කපුගේ ගෙ හඬින් කියවෙන මේ සින්දුව හිතේ ඇහෙනව.

    ReplyDelete
  9. අපේ තාත්තා තද කපුගේ රසිකයෙක්... තාත්ත මුල් කාලේ සීජීආර් එකේ වැඩ කරන කාලේ, ප්‍රසංග සංවිධානය කරනවා. ඒ ප්‍රසංග බොහොමයක නිවේදන කටයුතු කරන්නෙත් තාත්තමයි. ප්‍රසංග කීපයකටම කපුගේත් ආවා. මාත් යනව ඕවා බලන්න. එහෙම ගිය වෙලාවක ගත්ත පින්තූරයක් තියනවා, අම්මයි තාත්තයි මමයි කපුගේයි. කපුගේ සිංදු කියන්නේ මයික් එක අත් දෙකින්ම අල්ලගෙන, හිටගන්නෙ කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා. ඊට පස්සෙ ගල් පිලිමේ වගේ ඉන්නේ.. පස්සෙ කාලෙක ටීවී ප්‍රසංග එහෙම ජනප්‍රිය වුණහම, මේවා වෙනස් වුණා.

    ReplyDelete
  10. බොහෝ රසිකයින් ප්‍රිය කරන සින්දුවක සුල මුල හොයා ගැනීම හරි අගෙයි රවී. ඕකට තමයි කියන්නේ 'sometimes the roots are sweeter than the fruits' කියල.

    ReplyDelete
  11. බණ්ඩාර අතාවුද සහ කපුගේ මගෙත් ප්‍රියතම දෙන්නෙක්. වැඩේ කියන්නේ මට දැන් කපුගේ අහන්න වෙන්නේ නෝනට හොරෙන්. එතුමියට කපුගේ දිරවන්නේ නෑ... එයා කැමැති ක්ලැරන්ස්ට... දෙන්නම ඉන්න වෙලාවට කපුගේ දැම්මොත් මුණ හොඳ නෑ... මම ඉතින් තනිපංගලමේ ඉන්න වෙලාවට තමා කපුගේ අහන්නේ.. කපුගේ ගේ සිංදු වලට අකමැති මිනිස්සුත් ඉන්නවා කියල මම තේරුම් ගත්තෙත් මේ උන්දැව හම්බ වුනාට පස්සේ...

    ReplyDelete
    Replies
    1. කපුගේ මගෙත් ෆේවරිට් ගායකයෙක් නෙවෙයි. :)

      Delete
  12. බොහොම ස්තුතියි රවී තුමා, මේක ලිව්වට.

    එහෙම මිනිස්සුත් ඉන්නව, ඒ වගේම තමන් ගැන ලියපු සින්දුව වෙන කෙනෙකුට දුන්නම ඒක කාරුණිකව ඉවසන ගෑණුත් ඉන්නව කියල දැනගත්ත. :)

    මම වුණා නම් ආයෙ දෙකක් නෑ, ගස්සයි, පුප්පයි, හපෝ! :D

    මම මේ ලඟදි සහන් කසීර ගෙ ඉන්ටවිව් එකක් බැලුව. එතකොට ඔහු කියනව, ලියන එකත් මුද්දර එකතු කිරීම හෝ පොත් කියවීම වැනි විනෝදාංශයක් වෙච්චි කොට, අපි ලේඛකයෙක් විසින් සමාජ පෙරළියක් ඇති කල යුතුයි හෝ සමාජයට පණිවිඩයක් දීම උදෙසා ලිවිය යුතුයි කියා බලාපොරොත්තු වීම අසාධාරණයි කියල. ඇත්තටම හිතල බැලුවොත් රස්සාවකුත් කරන ගමන් ලියන (ෆුල් ටයිම් ලේඛකයෙකුත් නොවෙන) ඔබතුමාට අපි අරක ලියන්න, මේක ලියන්න කියන එකත් කොයි තරම් අසාධාරණද කියල මම ඉතින් කල්පනා කළා. :)

    ඒ උනාට මේ ටිකත් කියන්නම් කෝ. මේ වගේ හොඳ මිනිස්සු ගැන කතා යට නොගිහින්, හැමෝටම කියවන්න පුළුවන් විදියට වෙබ් සයිට් වල වැටෙන එක හොඳයි. එතකොට අනිත් අයටත් ඒ දේවල් වලින් ජීවිතයට එකතු කරගන්න දේවල් තියනව.

    උදාහරණයක් විදියට කපුගේ මැතිණිය අර සිදුවීම දරගනිපු උපේක්ෂාව, (හොඳටම බැරි උණත්, යම් තරමකට හරි) පුහුණු කරන්නට මම හිතට ගත්ත. බොහොම ස්තුතියි ඔබටත්, ඔබට මේ කතාව කියපු සොයුරා ටත්.

    ReplyDelete
  13. මම මේ බලාගෙන ඉන්නේ දැන් බණ්ඩාර ආතාවුද දැන් කොයි වෙලවක හරි ඔය දේ ගැන කියයිද කියල..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...