Wednesday, August 15, 2018

602. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 1

හයිඋන්ඩායි ව්‍යාපෘතිය ඉදිරිපිට වූ නාම පුවරුව 
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

හැත්තෑව දශකයේ නවයුගය පත්තරේ මතක තියන මගෙ පලෝලෙ කෙනෙකුට ඉහත මාතෘකාව අමතක වෙන්න විදිහක් නෑ. ජීවිතේ සිද්ද වෙන පුංචි පුංචි රසවත් සිදුවීම් බොහොම අපූරුවට පෙල ගස්වල ඉදිරිපත්කරල තිබුනු විශේෂාංගයක් ඒ. මම හිතන්නෙ ඔය ජීවිතය මේ වගෙයි කියන නම හදාගත්තෙ "Readers Digest" සඟරාවෙ පලවුනු "Life is like that" තීරු ලිපි ආශ්‍රයෙන් වෙන්න ඕන නොවැරදීම. 

නවයුගයෙ තව තිබ්බ "පුංචි ළිඳේ වතුර රසයි" සහ "ජීවිතේ මීවිතෙන්" කියල ඒත් පුංචි පුංචි සිදුවීම් අරභයා ලියවුනු ලිපි මාලාවක්. ජීවිතේ සිදුවන ඒ වගෙ පුංචි පුංචි සිදුවීම් වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Anecdotes" කියල.

ඉතිං මෙහෙම අතීතාස්මරණයක මම යෙදුනෙ අද මේ ලියන්ට යන සටහනට හොඳම මාතෘකාව "ජීවිතය මේ වගෙයි" කියල මට හිතුනු හින්ද.

ආ...මම අර කලින් කිව්වෙ මගෙ පලෝලෙ කෙනෙකුට කියල. ඒ කියන්නෙ මගෙ සම වයසෙ කෙනෙකුට කියන එක. "උං දෙන්න එක පලෝලෙ... අනික් අතට ඇවැස්ස නෑනල මස්සිනාල වෙච්චි. ඉතිං ආය තවත් අහවල් දෙයක්ද?" අන්න එහෙම..

ඉතිං මේ පලෝලෙ සීන්ස් එකේ මරු වැඩේ කියන්නෙ....මම නිකමට වගෙ මේ ලියන ගමන් පලෝලෙ කියල ගූගල් සෙවීමක් කලා. කාල වරෙංකො. ආපු රිසල්ට්ස් දහයෙන් නමයක්ම මමම මේ බ්ලොග් එකේ ලියපුව. එකම එකයි වෙන කෙනෙක් ලියපු එකක් තිබ්බෙ.



ඉතිං මට එක පාරට හිතුනෙ මොකක් හරි බොරුවක් සමාජගත කරල පිලිගැනීමක් ලබා දෙන්ට උනත් මේ අන්තර් ජංජාලෙ හින්ද කොච්චර ලේසිද කියල. ඒ ගැන නිතරම ලියන එක විතරයි තියෙන්නෙ. ගූග්ල් සර්ච් කරන කට්ටිය ඒක ඉස්මුදුනින් පිලිඅරගෙන එයාලත් ඒ විදිහට ලියන්ට ගන්නව. අන්තිමට භාවිතයෙන්ම ඒක ඇත්තක් වෙනව. 

මම හිතන්නෙ භාෂාව සමබන්ධයෙන් නම් ඒකෙ ඒ හැටි ගැටළුවක් නෑ. භාෂාව කියන්නෙ ගතික (Dynamic) දෙයක්නෙ. නිතරම අලුත් වචන එකතු වෙනව. වචනවල අර්ථය වෙනස් වෙනව. ජීව භාෂාවක් උනහම එහෙමනෙ.

හරි හරි පඳුරු හරණය නොහොත් ගොමු මැඩුම ඔය මදැයි අයිසෙ....... කතාවට එමු කතාවට එමු...

මේ රටේ ටැක්සි සේවය බොහොම ජනප්‍රියයි. නිල වශයෙන් ආණ්ඩුවෙ ලියාපදිංචි ටැක්සි සමාගම්වලට අයත් ටැක්සි වලට විශේෂිත වර්ණයක් තියනව. ඒ හින්ද දුර ඉඳලම අඳුන ගන්න ලේසියි. ඒ නිල ටැක්සිවල රියදුරන්ට නියමිත නිල ඇඳුමක් තියනව. ඊට අමතරව හැම ටැක්සියකම ගාස්තු මීටරය අනිවාර්යයයි.

ටැක්සි ඇරෙන්න පොදු රජය මඟින් පවත්වාගෙන යන බස් සේවයකුත් තියනව. ඒ වගේම දැන් අවුරුදු හතරකට වගෙ ඉස්සර පටන් ගත්ත උමං දුම්රිය ප්‍රවාහන පද්ධතියක ඉදිකිරීම් කටයුතුත්. ආරංචි විදිහට ලබන අවුරුද්දෙ අවසාන භාගෙ විතර ඒ උමං දුම්රිය මාර්ග පද්ධතිය ක්‍රියාත්මක වෙයිලු. 

මෙහෙ විදේශික ශ්‍රම බලකාය ඉතා විශාලයි.ඒ බහුතරයක් ලොකු වැටුපක් නොලැබෙන සුළු රැකියාවන්හි නිරත වන්නන්. ගැහැණු සහ පිරිමි දෙගොල්ලොම.

තමන්ගෙම වාහනයක් නැති ඒ උදවියට පිහිටට ඉන්නෙ ඉතින් කුලීරථ සේවාව තමයි. ඒ හින්ද හොඳ සංවිධානාත්මක නිල කුලී රථ සේවාවක් තිබ්බත් නොනිල වශයෙන් ධාවනයවන කුලීරථ වලටත් හොඳ ඉල්ලුමක් තියනව.

එතරම් ඉහළ වැටුපක් නොලබන බොහෝ ආසියාතිකයින් අර්ධ කාලීනවත් මේ රැකියාවෙ යෙදනව. උදේට තමන් කරන රැකියාවට යන අතරෙ පාර අයිනෙ ඉන්න කවුරුහරි දාගෙන යනව තමන් යන මාර්ගයෙන් බොහෝ දුරක් බැහැරව යන්න වෙන්නෙ නැත්නම්. ඒ වගේම හවස වැඩ ඇරිල ඇවිල්ලත් සමහරු ඔය වැඩේ කරනව. ජීවන අරගලයනෙ නේද? මොනව කරන්නද? කීයක් හරි වැඩිපුර හොයාගන්නනෙ මේ ඔක්කොම කරන්නෙ. එහෙම ලියාපදිංචි නොවී මගීන් ප්‍රවාහනය තහනම් උනාට ඒ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. අනික ප්‍රායෝගිකව එහෙම නීතියක් අකුරටම ක්‍රියාත්මක කරන්නත් හරිම අපහසුයි.

මගෙ හිතවතුන් බොහෝ දෙනෙක් නිල හෝ නිල නොවන කුලී රථයක ගමන් කරද්දි මුනිවත රකින්න තමයි කැමති. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. බොහෝවිට කතාබහ කරල අඳුන ගත්තොත් පස්සෙ මහ කරදරයක් වෙයි කියල හිතල වෙන්න ඇති සමහරවිට. මම හැබැයි එහෙම නෑ. කුලී රථ රියදුරා කතා කරන්න කැමතියි වගෙ පේනවනම් මම විස්තර අහනව. "රට මොකක්ද? කොයි කාලෙද මෙහෙ ආවෙ? කොහෙද නැවතිල ඉන්නෙ? මේ රස්සාව ලාබද?" ඔන්න ඔය වගෙ පොඩි විස්තර ටිකක් කතා කර කර යනව බහින තැනට එනකල්...

ඔහොම මිනිස්සු එක්ක කතාවට වැටුනම අපූරු කතන්දර එහෙමත් අහන්න ලැබෙනව. මම අවුරුදු තුනකට වගෙ ඉස්සර ලිව්ව මා එක්ක තම ජීවිත කතාව කියපු මහළු පකිස්තානුවෙක් ගැන. "බද්රියා මාර්ග සංඥා අසලදී මුණ ගැසුනු ඒ අපූර්ව මිනිසා……" ඒ ඔය මූකළං බස්සෙක් වගෙ බුම්මගෙන නොයා මිනිස්සු එක්කලා පොඩ්ඩක් කටපුරා හිනහවෙලා කතා කරපුවම ලැබෙන අනපේක්ෂිත බෝනස්...

මේත් ඒ වගෙ තවත් ටැක්සි කතාවක්....

පහුගිය අවුරුද්ද මට ඒ තරම් සුබපල දායක වුනේ නෑ. අවුරුද්දෙ මාස හයක් විතරම මම රැකියා විරහිතව හිටියෙ. එක දිගටම නම් නෙවෙයි. දෙපාරකට. අවුරුද්ද මුල මාස තුනක් වගෙ සහ අවුරුද්ද අග මාස තුනක් වගෙ.

මම මේ කියන්න යන සිද්ධිය වුනේ අර අවුරුද්දෙ මුල රස්සාවක් නැතුව හිටි කාලෙ. මාස තුනක්ම රස්සාවල් හොයල හොයල අපෝම වෙලයි මම හිටියෙ. එක පාරට දමල ගහල ආපහු එන්ටත් බෑ. ඇයි දෙයියෝ සාක්කි ඇවිල්ලත් මොනවයි කියල කරන්නද? අපි එනකල් මිනිස්සු රස්සාවල් තියාගෙන බලා ඉන්නෙ නෑනෙ. 

ඉතිං ඔහොම ඉන්නකොට මට මතක් වුනා මම කලින් වැඩකරපු කොම්පැණියක ලොක්කා ගැන... ලොක්ක සුද්දෙක්...එංගලන්තෙ....නියම ජෙන්ට්ල්මන් සුද්ද..අන්න කටපුරා නියම සුද්දො කියල කියන්ට පුලුවන් සුද්දො..ඒ සුද්ද යටතෙ මම අවුරුදු දෙකක් තරම හිටිය.

අර එංගලන්තෙ ඒ කාලෙ ගල් අඟුරු කර්මාන්තයට බොහොම ප්‍රසිද්ධ වුනු නගරයක් තියෙන්නෙ නිව්කාස්ල් කියල...සුද්දාණෝ අන්න එහෙ. "It's like taking coal to Newcastle" කියල සුද්දන් අතරෙ කියමනකුත් තියනව. අපි අර කියන්නෙ "පුත්තලමට ලුණු ගෙනියනව වගේ" කියල...අන්න ඒකම තමයි ඒ කියන්නෙත්. 

ඉතිං මම සුද්දගෙ නොම්මරේ හොයාගෙන දුන්න කෝල් එකක්. ඒ කරල විස්තරේ කිව්ව. "ලොක්කා අයෑම් ඉන් අ වෙරි ඩිෆිකල්ට් පොසිෂන් නව්.....නෝ ජොබ් ෆෝ ඕල්මෝස්ට් ත්‍රී මන්ත්ස්.." අරකද මේකද කියල දුන්න සුද්දට කඳුලු පනින්ට. සුද්ද ඉස්සෙල්ලම කෝල් එක කට් කලා. ඊට පස්සෙ ඉකි ගගහ ඇඬුව. අඬල හිත සන්සුන් කරගෙන මූනත් ටිකක් හෝදගෙන මට ආපහු කෝල්කලා.

හරි හරි ඒ සුද්ද අඬපු කතන්දරේ මම අතින් දපු එකක් හොඳද? හෙහ්..හෙහ්..අර 2015 ජනාධිපතිවරණ කාලෙ නීලකාසය රටපුරා අල්ලෙ පැලවෙන ගජබින්න කිය කිය ගියෙ..අර අම්මලගෙ බඩේ ඉන්න ළමයි ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා කියල කෑගැහුවයි කියල. අන්න ඒ වගෙ එකක් තමයි මේකත්...හෙහ්..හෙහ්...නෑ මම මේ කියන්නෙ නීලකාසයට හොඳනම් මට මොකෝ නරක? නැද්ද?

හරි එව්ව ඇති...ඉතිං සුද්ද මට කතා කරල කිව්වෙ මෙහෙමයි …..

"රවි ජොබ් එකක්නම් තියනව.."

"හරි බොස් මම කැමතියි.."

"මනුස්සයො ඉස්සෙල්ල විස්තරේ අහගන්නවකො..ඊට පස්සෙ කියනව කැමතිද නැද්ද කියල…"

මම ඒ වෙලාවෙ හිටියෙ ඔටුවන්ගෙ මොල්ලිවල ලොම් ගලවන රස්සාවක් හම්බ උනත් ඒත් හා කියන සයිස් එකේ..

"හරි හරි බොස් කියන්නකො…"

"ඉස්සෙල්ලම කියන්න ඕන වැඩේ තාවකාලිකයි.."

"හරි….."

"මාස තුනක් නැත්නම් හතරක් තියෙයි….උපරිම මාස හයක්…"

"හරි……"

"You have to prepare variations in an on going project... දැනට කරගෙන යන ව්‍යාපෘතියක අමතර වැඩ ඇස්තමේන්තු කරන්නයි තියෙන්නෙ.."

"ඕ.කේ...නෝ ප්‍රොබ්ලම්…""

"හරි අනික් වැදගත් කාරනේ මට ඔයාට කලින් ගෙවපු පඩිය ගෙවන්න නම් බෑ...ඊට සෑහෙන්න අඩුවෙන් තමයි ගෙවන්න වෙන්නෙ.. ""

"ඒත් කමක් නෑ බොස්..""

"හරි එහෙනම් මම එතන ලොක්කට කියන්නම් ඔයා එනව කියල..අනිද්ද ඉඳල වැඩට යන්න.."

"ආ තව එකක්.. "

"යස්? …"

"කිලෝ මීටර් අසූවක් වගෙ යන්න තියනව...වාහනයක් ඇරේන්ජ් කරගන්න..මම ඒකට අමතර ගෙවන්නම්."

"ඕකේ බොස් …"

"හරි මම ලොකේෂන් එක වට්ස් අප් එකෙන් එවන්නම්…"

ඉතිං මම කලේ උන්නු හැටියට මලා මදැයි කියල ඒ කියපු අනිද්ද ඉඳලම රස්සාවට ගියා. උදේ හවස යන්ට එන්ට මම කතා කරගත්ත මම කලින් ඉඳලම අඳුනන හොරොව්පොතාන දිහා මුස්ලිම් රියදුරෙක්. මිනිහ මෙහෙ ඇවිල්ල ඔය ෂේප් එකේ ප්‍රයිවට් ටැක්සියක් එලවල කීයක් හරි හොයාගෙන ලංකාවටත් කීයක් හරි යවල දෙයියනේ කියල කාල බීල ඉන්නව. 

ඒ කියන්නෙ මිනිහ ඇවිල්ල අර මම කලින් කතාවෙ මුලදි කියපු නොනිල කුලී රථ රියදුරෙක්...හොඳ නිවිච්ච මනුස්සය. වයසත් අවුරුදු 38 /40 තරම වගෙ ඇති. නම රහුමන්. 

කාලෙන් කාලෙට මා එක්ක හිතවත් වෙනව ඔහොම ලංකාවෙ රියදුරෝ....බොහොම දෙනෙක් මුස්ලිම්. අර පකිස්තානුවගෙ කතාවෙ මම කිව්ව මුසම්මිලුත් එහෙම එක්කනෙක්. එහෙම හිතවත් වෙන කට්ටිය හිටපු ගමං අන්තර්දාන වෙනව. කොහෙ ගියාද කියල හොයාගන්ට වත් නෑ. බොහෝවිට හදිස්සියෙ ආපහු ලංකාවට ගියහම ගම් පලාතෙ මොකක් හරි ජොබ් එකක් සෙට් උනහම එහෙම්මම නවතිනව. එහෙම තමයි වෙන්නෙ.

ඔය කිලෝමීටර් අසූව යන්ට සාමාන්‍යයෙන් විනාඩි හතළිහක් පැයක් අතර කාලයක් යනව. මට වැඩ කරන්ට තිබ්බෙ හයිඋන්ඩායි කම්පනි එක කරන මහා පරිමාණ මළ අපහරණ පිරියම් මධ්‍යස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියක. (Sewage Treatment Plant Construction Project). හයිඋන්ඩායි කියන්නෙ දකුණු කොරියන්නෙ. 

කොරියො කියන්නෙ එක ජාතියක මිනිස්සු. මම එවුං දන්නෙ සෑහෙන කාලෙකට ඉස්සෙල්ල. අපි මහවැලියෙ වැඩ කරපු කිට්ටුව කියන්නෑම් කොම්පැණිය පාරක් කරපු හින්ද. ඒ ඔය කියන්නෑම් ලංකාවෙ වැඩට ආපු මුල්ම කාලෙ. 85/86 විතර. වැලිකන්දෙ ඉඳල ත්‍රිකෝණමඩු කියල මහවැලි ගඟ අසබඩම තියෙන ගම්මානෙට පාරක් හැදුව කියන්නෑම්ල. 

මම ඔය හයිඋන්ඩායි කොරියො එක්ක වැඩ කරපු සුලු කාලෙ අපූරු අත්දැකීම් නම් බොහොමයි. ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්කො. දැනට එකක් විතරක් කියන්නං. 

ඔන්න මම එතන වැඩට ගිහිල්ල සතියකින් විතර කොරියන් ආණ්ඩුවෙන්ම නියෝගයක් ආව සියළුම කොරියන් සමාගම් කාර්යාලවල උදේට වැඩ පටන් ගන්ට ඉස්සෙල්ල විනාඩි පහළවක් ශාරීරික ව්‍යායාම වල යෙදෙන්ට කියල. මේ නියෝගය ලෝකෙ පුරා තියන සියළුම කොරියන් සමාගම් වලටත් අදාලයි.

මාර පිස්සුවක් ඒක. ඇත්තටම ඒ නියෝගය නරක නෑ. මම යූ ටියුබ් වීඩියෝ එකක දැක්ක එහෙම කොරියාවෙ කාර්යාල සේවක සේවිකාවො උදේ වැඩ පටන්ගන්ට ඉස්සෙල්ල ව්‍යායාම් කරනව. ඒ ඔක්කොමල එක පාටක ක්‍රීඩා ඇඳුම් ඇඳල හිටියෙ. ඒ කියන්නෙ තමන් ඇඳගෙන ආපු ඇඳුම් ගලවල ක්‍රීඩා ඇඳුම් ඇඳගෙන ව්‍යායාම කරල ඇඟපත එහෙම හෝදගෙන ආපහු තමන්ගෙ ඇඳුම් ඇඳගෙන රාජකාරිවල යෙදෙන්ට ඒ රටේ පහසුකම් සලසල ඇති. එහෙමනම් ඒකෙ අවුලක් නෑ.

ඒත් මේ අපේ කොරි පරියො කලේ කිසිම එහෙම පහසුකමක් නැතුව "කරපිය ව්‍යායාම්..."  කියල උදේ විනාඩි පහලවක් කට්ටියම මිදුලෙ එහාට මෙහාට අඹරවපු එක. මම එක දවසකවත් ඒ මල විකාරෙට සහභාගි උනේ නෑ. 

අනික ඒ අතපය ඇඹරිල්ල පැවැත්වෙන්නෙ සාමාන්‍ය රාජකාරි පටන් ගන්ට කලින්. හයාමාර අපේ රාජකාරි අරඹන වෙලාව. මම ඉතිං උදේ පහමාරට ඇටපල් කලුවරේ (මම ඔය කොරි පරියො ගාව වැඩකලේ ශීත කාලෙක. ශීත සෘතුවෙ එලිවෙන්නෙ පරක්කු වෙලා) පිටත්වෙලයි වෙලාවට වැඩට එන්නෙ. පහමාරට ලෑස්තිවෙලා පිටත්වෙන්ට මම නැඟිටින්නෙ හතරහමාරට.

හුහ් අර පට්ට සීතලේ තව පැය බාගයක් කලිං නැඟිටල තකහනියක් වරෙල්ලකො මුංගෙ මේ මල සමයං ජෝගිය නටන්ට..

"අනේ මට ඔව්ව කරන්ට බෑ. අනික මම හයිඋන්ඩායි එකේ ස්ථිර සේවකයෙකුත් නෙවෙයි. සුවඳ ආරාදනයට බොහොම ස්තූතියි. නෝ තෑන්ක්ස්…"

ඔය උදෑසන පට්ට හීතලේ අතපය ඇඹරිල්ල ගැන කියල මටත් ඒකට සහබාගි වෙන්ටෙයි කියාපු ව්‍යාපෘතියෙ පරිපාලන කළමනාකරුට මම බොහොම කාරුණිකව එහෙම කිව්ව.

To be Continued …Of Course…

42 comments:

  1. (මෙන්න ඉස්සර වගේ ලියනෝ!!)

    කොටස් පහක්වත් යයි නේද? ඒත් කමක් නැහැ මෙව්වා නම් බොහොම කැමැත්තෙන් කියවනවා අපි. පලොලේ වචනේ google search කරපු කතාව නම් නියමයි. ඔබතුමා ම අන්තර්ජාලගත කළ වචන තව කීපයක්ම තියෙනවා මං හිතන්නේ.. ඔය නීලකාස වගේ..

    මමත් Readers Digest සඟරාවේ බරපතල ෆෑන් කෙනෙක්. ඔය Life is Like That කතා එහෙම අවුරුදු විස්සකට විසිපහකට පස්සේ තාම හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී...:)

      /කොටස් පහක්වත් යයි නේද?/

      නෑ..නෑ...මේ කතාව නම් තව එක කොටසයි..ඒත් "ජීවිතය මේ වගෙයි.." කියල ලියන්න නම් තියනව තව කතන්දර අටෝරාසියක්..හෙහ්,හෙහ්,

      /මමත් Readers Digest සඟරාවේ බරපතල ෆෑන් කෙනෙක්. /

      අපෙ ගෙදර පරණ සන්ලයිට් පෙට්ටියක තිබිල (70 දශකයෙ බහුතරයක් ඔය එක එක ලට්ට ලොට්ට අහුරන්ට පාවිච්චි කලේ හිස් සන්ලයිට් පෙට්ටි. කහ පාට වගෙ ලීයකින් හදල තිබ්බ ඔය පෙට්ටිවල දිග දෙපැත්තෙ නිල් පාටින් පින්තාරු කරල තිබ්බ නිල් පාටින් පායන හිරු දැක්වෙන සන්ලයිට් සංකේතය) මට හම්බ වුනා අප්පච්චිගෙ පරණ රීඩර්ස් ඩයිජස්ට් සඟරා දහයක් දොළහක්. ඒ අප්පච්චි බඳින්ටත් ඉස්සර පණස් ගණං වල කොළඹ වැඩකරද්දි ගත්තුව. රු. 1.25 වගෙ ගාණක් මුල පිටුවෙම පල්ලෙහයින් ගහල තිබ්බ.

      මට ඒ වෙනකොට අවුරුදු 12/13 වගෙ ඇති ඒත් වචන ගැට ගහගෙන නොදන්න වචන වල තේරුම ඒ වාක්‍යය අනුව අනුමාන කරගෙන මම ඔය පොත් ඔක්කොම කියෙව්ව. එතනින් තමයි මගේ ඩයිජස්ට් ලව් එක පටන් ගත්තෙ...

      Delete
  2. ඔන්න මගෙනුත් කොමෙන්ටුවක්
    දැන් මට ලියන්න වෙන්නේ "නැවත සිහි කිරීමයි. කරුණාකර කලින් දුන් උපදෙස ගැන අවධානය යොමු කරන්න" ඔබගේ අලුත් බ්ලොග් වොකැබියුලරිය, ඒ කියන්නේ මේ අන්ඩර දෙමළ අස්සට දමන අලුත් පාරිභාෂික වචන. මේවා සියල්ල එකතුකර නව පාරිභාෂික වචන මාලාවක් සකස් කරන ලෙස මම කිහිප වරක්ම ඉල්ලීම් කළා. එසේ නොකලොත් අද හෙටම ගුගල් කාරයා ඒ වචන වලට copyrights අරගනිවී. එතකොට නිර්මාතෘට හුලන් තමයි. අදම ක්‍රියාත්මක වන්න.

    ඔය උඩින් මලී කියා තිබෙන ආකාරයට මාත් එක දිගට වසර හතළිහක් පමණ Readers Digest නොකියවම බැරි කෙනෙක් වෙලා සිටියා. ඔය කියන Life is like that, All in a days work, Laughter is the best medicine, word power ආදිය නොකඩවාම කියෙව්වා.
    ඒගැන ඔය ඇති. කෝ කියාගෙන ආ කතාව. පටන් ගත්තද? අවසන් කළාද? නිලකාස මතක් වූ ගමන් සියල්ල upset උනාද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      උපදෙස අමතක නෑ..අමතක නෑ...ඒ ගැන යමක් කරන්නම්...:)

      /ඔය කියන Life is like that, All in a days work, Laughter is the best medicine, word power ආදිය නොකඩවාම කියෙව්වා./

      ඩයිජස්ට් එකේ අන්තිමට පලවුනු කෙටි නවකතාවක් වගෙ කතාව දයා මහත්මයාට මතකද? හුඟක් වෙලාවට සත්‍ය වශයෙන්ම සිදුවුනු කතා...හැම අවුරුදු තුනකටම වගෙ සැරයක් ඔය කතා වලින් තෝරගත්ත කතා දහයක් වගෙ එකතු කරල ඩයිජස්ට් ප්‍රකාශකයො වෙනම අතිරේකයක් පලකලා ඔබතුමාට මතකද? ඒක වාර්ෂික දායකයින්ට නොමිලේ එව්වා.

      මා ගාව ඒ පොත් හත අටක්ම තිබ්බ. මහ ගෙදර කොහෙ හරි අහු මුල්ලක ඇති.

      /කෝ කියාගෙන ආ කතාව. පටන් ගත්තද? අවසන් කළාද?/

      කතාව ඊලඟට.... කතාව ඊලඟට...:)

      Delete

    2. මාළඟ වසර 45 ක Digest එකතුවක් තිබුණා. විදේශ ගත වීමේදී වාර්ෂිකව මිටි බැඳ තිබුණු පොත් සියල්ලම කළුතර බෝධිඥාන පුස්තකාලයට තෑගී කළා. ඔය වාර්ෂික අතිරේකත් විස්සක් විතර තිබුණා. මුල් කාලයේ කලාපය තැපෑලෙන් ආවේ Hongkong වල සිට. ඒ අයගේ වැරදීමකින් එක මාසයකදී මට තැපෑලෙන් ලැබුණු පිටපත් දෙකකින් එකක්‌ ආපසු යැවීම නිසා මට Volumes තුනක Readers Digest ශබ්ද කෝෂයක් තෑගී ලැබුණා.

      Delete
    3. දයා මහත්මයා,

      /ඒ අයගේ වැරදීමකින් එක මාසයකදී මට තැපෑලෙන් ලැබුණු පිටපත් දෙකකින් එකක්‌ ආපසු යැවීම නිසා මට Volumes තුනක Readers Digest ශබ්ද කෝෂයක් තෑගී ලැබුණා./

      ඔබ තුමාට තිබ්බෙ මොකද වෙන්නෙ කියල බලන්ටත් එක්ක ඒ ශබ්ද කෝෂයත් ආපහු යවන්න "මෙන්න ආයම වැරදිලා දෙකක් ඇවිල්ල තිබ්බ.." කියල ,,,:)

      Delete
  3. "Readers Digest" සඟරාව අස්රෙන් හදපු "මුතුහර" පාඨකයෝ තමයි අපි.ඉස්සර ගෙදර මුතුහර සඟරා පුරෝලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      මුතුහරට කලින් මනහර කියල ආව ඩයිජස්ට් මාදිලියෙ සඟරාවක්..ඒ 77/78 විතර. ඒකෙ කවරෙම ලියල තිබ්බ "මනහර - ඩයිජස්ට් වර්ගයේ සඟරාව" කියල. ඒත් ඒක වැඩිකල් දිව්වෙ නෑ. බොහොම ඉක්මනට නැවතුනා..

      ඊට පස්සෙ හරි ඒ එක්කම වගෙ හරි සුනේත්‍රා රාජකරුණානායක මහත්මියත් පටන් ගත්ත ඔය වගෙ සඟරාවක් කරන්න. ඒකෙ නම "විදර්ශනා"...මම ඒකෙ වාර්ෂික දායකත්වයක් ගත්තා. ඒකත් මට මතක විදිහට අවුරුදු තුනක් වගෙ පලවෙලා නැවතුනා.

      Delete
  4. https://www.ancestry.com/1940-census/usa/California/James-L-Palolay_2fqt2c
    //මගෙ පලෝලෙ කෙනෙකුට කියල. ඒ කියන්නෙ මගෙ සම වයසෙ කෙනෙකුට කියන එක//


    වැලිකන්ද-ත්‍රිකෝණමඩු පාරෙ මට වැඩියෙන්ම මතක හිටියෙ ghost cattle වගේ ඉන්න සුදු හරක්.


    https://www.vogue.com/article/korean-women-work-out-exercise-fitness-trends

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      /වැලිකන්ද-ත්‍රිකෝණමඩු පාරෙ මට වැඩියෙන්ම මතක හිටියෙ ghost cattle වගේ ඉන්න සුදු හරක්./

      හුටා..ප්‍රා මොකද ඒ පැත්තෙ කලේ ඒ කාලෙ?

      වැලිකන්ද ත්‍රිකෝණමඩු පාර කිලෝමීටර් 8-10 වගෙ යනකොට මාදුරු ඔය ජලාශයෙ ඉඳල ඉඳල මහවැලි බී කලාපයට වතුර ගේන වම් ඉවුර ප්‍රධාන ඇල ( Left bank main canal) හරහා යනව. ඒ එක්කම ඇලෙන් එහා තිබ්බ ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයෙ (NLDB) ගොවිපොලක්. ඒකට කිව්වෙ මුතුවැල්ල ෆාම් එක කියල.

      ඔය ෆාම් එකේ තමයි ඔය කියන උසට වක් වෙච්චි අං තියෙන මහ විසාල සුදු හරක් හිටියෙ. ඔය ඉන්දියාවෙන් ගෙන්නපු එවුන්..ඒ කාලෙ ඉන්දියාවෙ අමුල් සමාගමත් එක්ක ලංකාණ්ඩුව ගිවිසුමක් ගහල ණ්ළ්ඪ්ඹ් එක අමුල් එකට දුන්නනෙ ලංකාවෙ කිරි නිෂ්පාදනය දියුණු කරන්ට.

      මට මතකයි කිරියා ලංකා කියල හවුල් ව්‍යාපාරයකුත් පටන් ගත්ත ඒකටම.කොහොම හරි කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හින්ද ඒ කිරි නිෂ්පාදන වැඩේ අතරමඟ ඇණහිටිය. මට මතක විදිහට අමුල් එක කැමති වුනේ නෑ එහෙම අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරන්න.

      Delete
    2. I'm talking of much later. The thin tall white cattle. Must be descendants. I thought they are called Kinniya cattle.

      Delete
  5. මේකත් තව අවුරුදු තුනකින් විතරවත් ඉවරවෙයි නේද?

    දැං ඔය වියායාම කරන්න බෑ කිවුවට පස්සෙ බොට න්‍යෂ්ටික මිසයිලයක්වත් එව්වද කොරියාවෙන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ නෑ මේක ඒ හැටි දුර යන එකක් නෑ...

      / න්‍යෂ්ටික මිසයිලයක්වත් එව්වද කොරියාවෙන්./

      ඒ බොල මිසයිල් ගහන්නෙ උතුරු කොරියාවෙන්නෙ.මේ ඇවිල්ල දකුණු කොරියාව...අර චංගුමී එහෙම ඉන්නෙ..අන්න එහෙ...

      Delete
  6. පලෝලෙ වාගේම තව කතාවක් තමයි අපෝ වෙලා කියන වචනෙ. ඕව දැන් කතාබහේදී නොයෙදුණාට ඒ කාලේ අපේ අම්මලගෙ මුවග නිතරම රැඳුණු වචන.

    ReplyDelete
    Replies
    1. හැළප,

      මම ඔය වචන බොහොමයක් ඉගෙන ගත්තෙ අපෙ අත්තම්මගෙන්...:)

      Delete
  7. ඔය කියං නාම් එක ගැන කියවුන (සත්‍ය) විහිලු කතාවක් මතක් උනා. 88/89 කලබල කාලේ, කියං නාම් එකේ වැඩකරපු , ටිකක් කථන අපහසුවක් තිබුන කොල්ලෙක්ව පොලිසියෙන් චෙක් කරන කොට කොහෙද වැඩ කරන්නේ කියලා ඇහුවාම මේකා "කියන් නෑ "(කියං නාම්) කියලා කිව්වලු. පොලිස් රාළහාමි "මොකක් බොල, තෝ වැඩකරන තැන කියන්නේ නෑ ?? කියලා කරුණාවෙන් කියාපුවාම "නෑ නෑ කියන් නෑ, කියන් නෑ " ( නෑ, නෑ කියං නාම්, කියං නාම් ) කිව්වලු. ඉතින් ඊට පස්සේ ඌට වෙච්ච දේ ගැන කියන්න උවමනා නැහැනේ. හොඳ වෙලාවට එතන හිටපු කියං නාම් එකේම වැඩකරපු තවත් කෙනෙක් මේකාගේ හතර හන්දි ගලවන්න ඉස්සෙල්ලා වචනේ පැහැදිලි කරලා දීලා මේකාව බේරා ගත්තාලු .

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සෙල්ල හිතුවේ රවිය වැරදිලා ලියල කියල

      Delete
    2. සෑම්,

      ස්තූතියි සෑම්.....:)

      Delete
  8. මගේ මුල්ම කමෙන්ට් එක වැටුණත් හරි, බ්ලොග් එකට නරක දසාවක් ලැබුවා කියල කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මෙ ඊයෙ. කොහොමින් හරි අද වෙනකොට හරිම අපූරු, කිසිම මහන්සියක් නැතිව කියවගෙන යන්න පුළුවන් සීදේවි පෝස්ට් එකක් දාල.

    ඔය අන්තර්ජාලයෙන් එක එක මත පතුරන එක මමත් දැකල තියනවා නිතරම මූණු පොතේ එහෙම. මූලාශ්‍ර ඉල්ලුවම දෙන්නේ එකම ඇරඹුමකින් එන ලිපි කිහිපයක්. කල්පනාවෙන් බැලුවේ නැත්නම් මුලා වෙන්න ඉඩකඩ වැඩියි. 2015 මැතිවරණයට කලින්, මඩ ප්‍රචාර උදෙසා ත් ඔය වගේ දේවල් කරලා තියනවා, හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ෂෙයා කරන අයත් ඉන්න නිසා.

    සුද්දාණෝ නිව්කාසල් නම්, කියන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙච්චි එක ලොකු දෙයක්. :) ඒ වගේම මෙහෙ ඉන්න ඉන්දියන් පකිස්තාන් ටැක්සි ඩ්‍රයිවර් ල නම් කතා නොකරන තරමට මම කැමතියි. හරිම ඕපෙ.

    ReplyDelete
    Replies
    1. Maanavee,

      /සුද්දාණෝ නිව්කාසල් නම්, කියන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙච්චි එක ලොකු දෙයක්./

      ඒ කිව්වෙ එහෙ ඇක්සන්ට් එක එච්චර තේරුම් ගන්න අමාරුද? අපේ සුද්ද කියන එව්ව නම් අගේට තේරෙනව. මම හිතන්නෙ මනුස්සය දැන් අවුරුදු විස්සක් විතර මැද පෙරදිගම වැඩ කරන හින්ද මෙහෙ අයට තේරුම් ගන්න පුලුවන් විදිහට කතාව වෙනස් කරගෙන ඇති බොහෝවිට...

      Delete
  9. මාත් මගේ අටෝරාසියක් රස්සා ගොඩවල් මැද්දේ ටැක්සි රස්සාවත් කරල තියනවා. බොහොම කැමැත්තෙන් කරපු රස්සාවක්... ඒක නිකං කිසිම ඒකාකාරී කමක් නැත් රස්සාවක්.. දවස ඇතුලත කොයි කොයි මිනිස්සු එක්ක කොහේ කොහේ යන්න වෙනවද කියලා දන්නේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තිස්ස,

      /මාත් මගේ අටෝරාසියක් රස්සා ගොඩවල් මැද්දේ ටැක්සි රස්සාවත් කරල තියනවා./

      හෙහ්..දෙයියම්ප කියාපං...හෙහ්..හෙහ්..උඹත් නියම පොරක් නෙව...:)

      Delete
  10. අනන‍යා කථාවට බඩු සෙට් වීම ගැන මගේ සංතෝසය.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හුහ් එහෙමද ආස?....

      අනන්‍යා අතාරින්නෙ නෑ බොල මම...මේ අරව මෙව්ව අස්සෙ ඒ ළමයගෙ වගතුගත් ලියනව...

      Delete
  11. හි හී.. මාත් අවුරුදු තුනක් විතර ඔය ජෝගිය නටලා නටවල තියෙනව .. ඒ උනාට චීන්නුන්ට වැඩිය කොරියෝ මට නං සෙට්.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ ,

      අපොයි ඔව් චීන්නුන්ට වඩා නං දාහක් හොඳයි තමයි...

      Delete
  12. සුවඳ ආරාදනයට ?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      අපෙ එකෙක් හිටිය ඌට සමහර වචන කියවෙන්නෙ අමුතුවට..

      සුහද කියන එකට ඌ කියන්නෙ සුවඳ කියල...ඌ මතක් වෙලා මම එහෙම ලිව්වෙ...:)

      Delete
  13. අලුත් සීරිස් එකක් නේද? නියමයි දිගටම ලියමු. ජයවේවා!

    ReplyDelete
  14. මා අසා තියෙන්නේ එක පලොලෙ කියා නොව එක පළලෙ කියා ය. සම වයසේ අය හැඳින්වීමට මගේ අම්මා ඒ යෙදුම භාවිතා කරනවා.

    මං හිතන්නේ
    එක පළලෙ = same width
    කියායි.

    Google results

    ReplyDelete
    Replies
    1. රසික,

      එහෙම එක එක පළාත්වල උච්ඡාරණයෙ පොඩි පොඩි වෙනස්කම් ඇති...:)

      Delete
  15. යාන්තම් ඇති වෙන ටොපික් එකක් අහු වෙලා.
    ටැක්සි කරුවන් සමග මගෙත් හොඳ සම්බන්ධයක් තිබුනා. වාහනේ ගත්තට පස්සේ ඒක නැති වුනා. මටත් ආස හිතෙන රස්සාවක් ඔය ටැක්සි එලවිල්ල නම්... හරි ජොලි වැඩක්

    ReplyDelete
    Replies
    1. පැතුම් ප්ලීස්,

      කිව්වත් වාගෙ ටැක්සි රස්සාව උඹටනම් ගැලපෙනම රස්සාව...:)

      Delete
  16. මමත් ඔය ඩයිජස්ට් , මනහර, මුතුහර - වගේ ඒවල හෙන ෆෑන් කෙනෙක්. ඩයිජස්ට් ගත්තම ඉස්සෙල්ලම කියවන්නේ අර ජෝක් වගේ පොඩි පූදියට දාල තියෙන කතා පෙළ. ඊට පස්සේ ඔය වීර කතාව නැත්නම් ඇඩ්වෙන්චර් වගේ අනිවාර්යයෙන් යන එක. රවිට මතකද ඊට කලින් සඟරාවක් ප්‍රකාශයට පත් වුනා . ඒකෙ අග මහා දිග කතාව කියල කතාවක් යනවා. "වනිතා" වගේ මම හිතන්නේ නම. සමහර විට අපි මේ බ්ලොග් වල රින්ගන් ඉන්නෙත් ඒක හින්දමද මන්ද .

    ReplyDelete
    Replies
    1. Ajith,

      /රවිට මතකද ඊට කලින් සඟරාවක් ප්‍රකාශයට පත් වුනා . ඒකෙ අග මහා දිග කතාව කියල කතාවක් යනවා. "වනිතා" වගේ මම හිතන්නේ නම../

      අජිත්, උඹ ඔය කියන්නෙ "ශ්‍රී" සඟරාව ගැන..දවස සමාගමෙන් නිකුත් කලේ...දීර්ඝ කාලයක් ශ්‍රියා රත්නකාර මහත්මිය තමයි සංස්කාරක වෙලා හිටියෙ.

      ශ්‍රී ඇවිල්ල පළල වැඩි සඟරාවක්...ලෑන්ඩ්ස්කේප් මොඩ්ල්...ඒකෙ අන්තිම පිටු දහයෙ විතර තමයි ඔය මහදිග කතාව ගියේ...ගොඩක් වෙලාවට කරුණාරත්න සපුතන්ත්‍රී, එඩ්වඩ් මල්ලවාරච්චි සහ ජයකොඩි සෙනෙවිරත්න වගෙ ලේඛකයින්ගෙ කතා පලවුනා.

      මට තවම මතකයි මම බොහොම ආසාවෙන් කියෙව්ව ජයකොඩි සෙනෙවිරත්නගෙ "රන් කුසලාන" කියල කතාවක්. සල්ලිකාර කෙල්ලෙක් සහ දුප්පත් කොල්ලෙක්..කොල්ල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්...

      මනුස්සය කොහොම හරි අන්තිමට ඉස්කෝලෙ ඉන්න කාලෙම ලංකා ටීම් එකට ගහනව. එංගලන්තෙ එක්ක මැච් එකක්දි මූ හෙණ වැඩර් වෙනව.විකට් ගන්නව..හතරෙ හයේ ඒව ගහනව එක ජංජාලයයි.....කෙල්ල පොඩි ට්‍රාන්ස්සිස්ටර් එකක් කොට්ටෙ අස්සෙ හංගගෙන කමෙන්ට්‍රි එක අහනව.

      ඕක කොහොමහරි අයියට අහුවෙලා අයිය රේඩියෝ එක පොළවෙ ගහනව.අයියත් ක්‍රිකටර්. ඒත් ඌට අර කොල්ලගෙ පැත්ත පලාතට වත් එන්න බෑ. ඒ හින්ද ඌ දේවදත්ත පාට් එක ඇක්ට් කරනව.

      රේඩියෝ එක පොළවෙ ගැහුවම කෙල්ල එදා රෑටත් නොකාම අඬ අඬා නිදාගන්නව. කතාව කියවල මමත් රෑට නොකාම නිදාගත්ත...දෙයියම්පා...

      ආ...සුනේත්‍රා රාජකරුණානායකව මම ඉස්සෙල්ලම ඇඳින් ගත්තෙත් ඔය මහදිග කතාවෙන්...

      Delete
    2. හරි "ශ්‍රී " තමයි. මට ඔය කතාවත් මතකයි.

      Delete
    3. // ශ්‍රී ඇවිල්ල පළල වැඩි සඟරාවක්...ලෑන්ඩ්ස්කේප් මොඩ්ල් //

      අපේ ගෙදර නම් ලෑන්ඩ්ස්කේප් හා පෝට්‍රේට් මොඩ්ල් දෙකෙන්ම ශ්‍රී සඟරා තිබුනා ඒ කාලෙ. මං හිතන්නෙ රවියා ඒ වෙනකොට ශ්‍රී කියවන එක නවත්තලා වෙන්ටැති. :P

      මමත් සුනේත්‍රා රාජකරුණානායකව මුලින්ම අඳුනගත්තෙ ශ්‍රී සඟරාවෙ මහ දිග කතාවෙන් තමා.

      Delete
  17. හැත්තැ ගනං වල අපේ අප්පච්චි එක්කහු කරපු Reader's Digest ටිකක් තාම අපේ ගෙදර තියනව.මම ඉස්සරෝම Roots කියෙව්වෙ ඒ සගරාවක අග ගිය කෙටි කරන ලද නවකතා තුලින්

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලි,

      අහ්..රූට්ස් ඩයිජස්ට් එකේ ගියාද? මට අහුවුනේ නෑ...මම ඉස්සෙල්ලම රූට්ස් බැලුවෙ 89 විතර රූපවාහිනියෙ යනකොට.

      කොහොම හරි ඔය රූට්ස් කතාව ඇලෙක්ස් හේලිගෙ අතේ රෝලක් කියල අන්තිමට ඔප්පු වුනා...මිනිහ මිනිහගෙ අත්තද මුත්තද කියල කියපු අර කුන්ටා කින්ටේ කියල මනුස්සයෙක් ඉඳලවත් නැහැලු.

      අනික ඒක විතරක්නම් බැරිය...බොරුව උනත් කමක් නෑ අපූරු ප්‍රබන්ධයක් කියල හිතන්ට තිබ්බ. ඒ කතාවත් වෙන කෙනෙක් කලින් ලියපු එකකට මේ යකා ලුණු ඇඹුල් දාලලු ලියල තියෙන්නෙ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...