Monday, June 7, 2021

152. කාලය - අපි 80 දශකයේ තරු කැකුළියන් ද, 90 දශකයේ තරු කැකුළියන් ද?


    කාලෙන් කාලෙට විවිධ ගැහැනුන් මිනිසුන් අප ඇසුරට පත් වෙලා, සමහර අය ටික කලකින් මග දි නවතින අතරේ තවත් අය කාලාන්තරයක් හිත මිතුරුකම් පවත්වමින් රැඳී ඉන්නවා.

    සමහර කෙනෙක් යාවජීව සාමාජිකත්වයේ නිතර පෙනි පෙනී ඉන්න අතරේ තවත් කෙනෙක් පෙනී නොපෙනී ඉන්නවා.

    ඒ අතරේ නොපෙනී හිටියත් හිතවත්කම් වල වෙනසක් නොවන පිරිසකුත් ඉන්නවා.

    අන්තර්ජාලයේ සැරිසරන්න ගත්ත මුල් කාලයේ මීට අවුරුදු 10කට 15කට එපිට පටන් ගොඩනැගුණු එවැනි මිතුරු පිරිසක් තවමත් පෙනී නොපෙනී, ඉඳහිට මතුවෙවී, රැඳී ඉන්නවා. ඔයින් එක්කෙනෙක් ඒ පිරිසේ හිටපු කාන්තාවන් ව හැඳින්වූයේ, 70 දශකයේ තරු කැකුළියෝ, 80 දශකයේ තරු කැකුළියෝ ආදී වශයෙන්.

    පොඩි කාලේ ඉස්කෝලේ ගියා වගේ මතකයක් මට තියෙනවා. ඒ අතරේ ඉගෙනගත්තා වගේ මතක සමහර දේවල් ඉඳ හිට අවශ්‍ය තැන්වල දී මතුවෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේ මතකයේ රැඳුනු දෙයක් නිසා ඉහත කී භාවිතය වැරදි බව මට වැටහුණා. ඒ ඉගෙන ගත්තා වගේ මතක පාඩමට අනුව මං අයිති වෙන්න ඔනෑ 90 දශකයේ තරු කැකුළු ‌කුලකයට. ඒත් මේ අප‌ේ උගත් මිත්‍රයා භාවිතා කළේ 80 කුලකය. ඔය සාවද්‍ය භාවිතය ගැන මං ඒ අපේ සමුළු වලදි ටයිප් කළාදත් කොහෙද! වැඩක් වුණා කියලා මතක නම් නැහැ.

    පස්සේ මෑත කාලයේ දී අපේ, ප්‍රාග් ‌‌‌අයිතිහාසික (වචනය ටයිප් කරගන්න මතක නැහැ) යුගයේ පටන් බ්ලොග් ලියන හිතවතෙක් මුහුණු පොතේ, ඒ මා වැරදියි කියා කියන භාවිතය ම යොදා ගනිමින් ලිපියක් පළ කර තිබුණා. එහි දී මම ඒ ගැන ප්‍රතිචාර දැක්වූවා ම ඔහු පුදුම වුණා. අන්තර්ජාලය පිරික්සුවා ම ඔහු නිවැරදි බව හැඟෙන ලිපි මටත් හමු වුණා. මං ඉක්මනට-හිමිහිට පැත්තකට වුණා.



    වර්තමාන තත්ත්වය

    දුවගේ 7 වසර ගණිතය I කොටසේ 6 වන පාඩම, කාලය. පාඩමේ 3 වන පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා.

උපුටනය

* දශක

වසර 10ක කාල පරිච්ඡේදයක් දශකයක් ලෙස හඳුන්වනු ලැබේ. 1948 වර්ෂය සලකමු. එම වර්ෂය අයත් දශකයේ ප්‍රථම වසර වන්නේ 1941 වසර යි. එම දශකයේ අවසන් වසර වන්නේ 1950 වසර යි.

ක්‍රි.ව. 1 සිට - ක්‍රි.ව. 10 තෙක් පළමු දශකය වේ.

ක්‍රි.ව. 11 සිට - ක්‍රි.ව. 20 තෙක් දෙවන දශකය වේ.

ක්‍රි.ව. 1811 සිට - ක්‍රි.ව. 1820 තෙක් 182 වන දශකය වේ.

ක්‍රි.ව. 1951 සිට - ක්‍රි.ව. 1960 තෙක් 196 වන දශකය වේ.

ක්‍රි.ව. 2011 සිට - ක්‍රි.ව. 2020 තෙක් 202 වන දශකය වේ.

එනම් 1941 - 01 - 01 දින වේලාව 00:00 සිට 1950 දෙසැම්බර් 31 වැනි දින වේලාව 24:00 දක්වා ඇති කාලය දශකයකි. ‌මෙම දශකය 195 වන දශකය ලෙස ද හඳුන්වනු ලැබේ.

උපුටනය අවසන්

ඉතින්, නමසිය අසූ එකට පසු ඉපැදුනු අය 80 දශකයේ තරු ද, 90 දශකයේ තරු ද?

30 comments:

  1. දසකේ මොකක් උනත් දැන් නාකි වෙන්න පටන් අරන් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. 😅 සෑහෙන කල් ඉඳන්නේ ඒක පටන් ගත්තේ. උපන් දා ඉඳන්නේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Replies
    1. මෙච්චර මහන්සියෙන් පාඩම ටයිප් කරලත් වැඩක් වුණේ නැහැ නෙව. හී'ස් සෙවන්ටීස් වන් 😄

      Delete
    2. නැහැනෙ. 1960 න් පස්සෙ හැත්තෑව දශකය (7th decade of the 20th century) තමයි පටන් ගන්නෙ. ඒත් 1960-69 වෙනකම් හැට ගණන් (60s ) කියලයි සැකකෙන්නේ. දශකය හා 'ගණන්' ලෙස දැක්වෙන්නේ දෙකක්

      Delete
    3. අසූව දශකය ලෙස යෙදෙන්නේ අසූ ගණන් කියන අර්ථයෙන් කියලයි මම හිතන්නේ.

      අසූව දශකය - 80-89
      අසූවන දශකය - 791-800
      අටවන දශකය - 81-90

      වයස කියද්දීත් මේ වෙනස තියෙනවනේ.

      වයස අවුරුදු හතයි - 7.000 සිට 7.999 දක්වා (අට වන තුරු)
      වයස හත ලබලා - 6.001 සිට 7.000 දක්වා. (හත්වන උපන්දිනයෙන් පසුව)

      Delete
  4. පළමුව කාලෙකට පසුව බ්ලොග් පොස්ටුවක් කියවන්න ලබා දීම ගැන බොහෝම සතුටුයි. වෙලාවලකට හිතෙනවා ෆේස්බුක් ඇබ්බැහිය නොවුනා නම් මාගල් තරම් බ්ලොග් පොස්ට් කියවන්න තිබුනා නේද කියලා. මොනවා වුනත් වෙනස කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුනත් පිළිගන්න එපැයි.

    හද ගී පොතේ වරක් කියවපු ලස්සන කතාවක් මතක් වුනා; මාන්නයෙන් තොර විවාදය - සංවාදයයි. අපේ බ්ලොග් සහෘදයින් අතර තිබුන ලොකුම කැපෑසිටිය ඒ කියූ සංවාද, බ්ලොග් පාලුවීමෙන් ඒකයි අපිට නැතිවුනේ.

    ලිවීමේදී මෛ වගෙ එ-යන්නෙන් පටන් ගත්තට නිවැරැදි සිංහල වචනය ඓතිහාසික වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ.

      දෙවැනි ඡේදයේ කියන දේ අහිමිවීම සහ ඒ අහිමිවීම නිසා ඇතිවුණු හිස්තැන ඇති කළේ විශාල හිස්කමක්. ඉතාමත් වටිනා, වැදගත් කාරණා ගැන සංවාද කරපු කාලය ගෙවිලා කිසිම වැදගැම්මකට නැති දේවල් ගැන වාද කරන්න මිනිස්සු පෙළඹුනේ කොහොම ද?

      අන්න ඒ විදිහට විජේසේකර බෝර්ඩ් එකෙන් අයිතිහාසික ලියන විදිහ අමතක වෙනකම් ම විජේසේකරෙන් ටයිප් කරලා නැහැ

      Delete
    2. මම තවමත් UCSC Realtime Unicode Converter, 2009 පටන්

      Delete
    3. මේ ඒක නෙමෙයි වැඩේ! ගල් මල් කොරල් හී හැඳින්වීමේ 80 දශකයේ මුල් භාගයේ සිට කියලා තියෙන කොටස සාවද්‍ය ද? නිරවද්‍ය ද? 😊

      Delete
    4. සර්ටිෆිකේට් ඇත්ත, ඇත්ත මිස nothing else.

      Delete
    5. 80 දශකයේ කියලා යෙදීමයි සුදුසු නැහැ, දැනුයි වැටහුනේ. කරුණු කාරනා අනුව එය කතා කරන බාසාවේ 80 ගනන් වල කියලා වෙනස් වෙන්න ඕනේ. බොහෝම ස්තුතියි ඒක පෙන්නලා දුන්නට.

      අපේ ජනවහරේ එනවා නේ 60, 70, 80 ගනන් වල දරුවෝ (60s kids, 70s Kids, etc) කියනවා වගේ. හැබැයි 56 දරුවෝ කියන එක වෙනස්.

      Delete
    6. දැන් නම් ආයේ ටැපලීගෙන එන්නේ
      🥴🥴🥴

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මෙතෙක් නොවිසඳුණු ප්‍රප්‍රස්නයක් විසඳුනා වාගේ...
    ගණන් පාඩමෙන් වැඩේ පැහැදිලි වුණා...
    ඉස්සර සිංදුවක් තිබ්බා "විසිවන සියවස සිටුකුමරියනේ සඳළුතලාවෙන් බිමට වඩින්..." කියලා... හෙන අවුල් ඉතිං වැඩේ...
    ජය..!
    ප.ලි. ඩීන් මහත්තයා කියපු කතා එක්ක බොහොමයක් එකඟයි..

    ReplyDelete
    Replies
    1. 😊

      ඒ කියලා තියෙන්නේ, තමන්ගේ වස බෝතල් විසික්කා වෙන සිටුකුමාරියන්ට, ඒ බෝතල් ටික පරිස්සම් කර ගන්න උවමනා නම් බැල්කනි එකෙන් බහින්න කියලා

      Delete
    2. ආ තිසා භයියා.. දකින්ටත් ආසයි..

      Delete
    3. තිස්ස මහත්මයා :)

      දසක, සියවස, සහශ්‍ර ලිවීම් වල බොහෝසේ පටලවා ගන්න යෙදුම් නේද?

      බුරා දකින්නත් ආසයි. මේ මෑතක දී තිසා, දුකා, බුරා, සුලා, යෝගී, නිමන්ති, බිඟුවා, රවා, රේවන්, විශ්මි, බින්දි පරණ සෙට් එකම මතක් වුනා විශේෂයෙන් වියත් සබාව

      Delete
    4. මේ ලිස්ට් එකෙන් එක්කෙනෙක් තමයි ඒ තරු කැකුළු කතාව කීවේ

      Delete
  7. ඔබ වැනියවුන් ඉඳහිට හෝ ලියන එක
    පොලඹයි පැරැණියන් යළි කැඳවනා එක
    ඔවුනුත් comment කරලා තියෙනවා දැක
    සිතේ, මිතුරුදම් නැත යන්නේ වියැක!

    ReplyDelete
    Replies
    1. ඒක ඇ‍ත්ත නිදි. මෙතන තමයි ඉන්නේ නොපෙනුනත් නොවෙනස් වන හිතවත්කම් රැක්කෝ! 😊

      Delete
  8. ඊයෙ මේකට දෙපාරක් කමෙන්ට් කෙටුවා රන්දිකා, දෙකම ගඟේ ගියා. ඊට පස්සෙ අතෑරලා දාලා නිකා හිටියා.

    හැබෑට අර රවියාට මක්කැයි වුනේ? ඝෝටා සුදු වෑන් එකක් දාලා ඉස්සුවාවත් දෑ?

    ReplyDelete
    Replies
    1. මාත් බය වුණා මක්කාවත් වෙලා ද කියලා. පස්සේ ඇමතුමක් දීලා බැලුවා. නෝනා මහත්මිය එක්ක නිස්කාංසුවේ දිවි ගෙවමින් ඉන්න නිසා ලියන්න වෙලාවක් නැහැ වගේ තමයි වැටහුණේ කතාබහෙන් 😊

      Delete
    2. අම්මට උඩු බූරා...ඔබ දැක්මත් මහත් සතුටෙකි පිය සබඳ..:)

      Delete
    3. ජීවිතය විඳිමින් සිටින්නෙමි ප්‍රිය මිතුරනි මිතුරියනි...:)

      Delete
  9. ඔය වැඩේ මෙහෙමයි මට හිතෙන්නෙ...1960 සිට 1969 වෙනකල් ගත්තම සාමාන්‍යයෙන් අපි කියන්නෙ හැට ගණංවල කියලනෙ. ඒත් හරියටම බැලුවොත් 1960 කියන්නෙ 20 වන සියවසේ 6වන දශකයේ අවසාන අවුරුද්ද...දශක 6 ක් ගතවුනා කියන්නෙ අවුරුදු 60ක් ගෙවෙන්ට එපාය..හරිනෙ?

    හැබැයි ඉතිං අපි කියන්නෙ 60 ඉඳල 69 වෙනකල් හැට ගණංවල කියලයි.ඉංග්‍රීසියෙන් Sixties.

    ReplyDelete
  10. මගේ දශකය අපොයි හැටේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...