Monday, August 22, 2011
35. මගේ කතාව 5 - ............ජීවිතය අලුතින්ම ඇරඹුවෙමි.
මගේ කතාව - 1
මගේ කතාව - 2
මගේ කතාව - 3
මගේ කතාව - 4
" අම්මප.....ඔයා එහෙම්මම කිව්වද?......ඉතින් සචිනි මොකෝ කිව්වෙ? "
" කවි ලියන එක නවත්තන්නෙ නෑ කිව්ව, පොඩි Argument එකකුත් උනා අපි දෙන්න අතරෙ,මටත් තරහ ගියා,......එදා රෑ සචිනි කෑවෙත් නෑ.......පහුවෙනිද මම ගෙදර එනකොට සචිනි ගිහිල්ල.....අයියෙ,"
" දැන් දවස් කීයක්ද මල්ලි සචිනි ගිහිල්ල? " ඒ ජානකී අක්ක,
" අදට දවස් තුනයි අක්කෙ,"
" ඔයා ඉතින් අඩු ගනනෙ කෝල් එකක් වත් දුන්නෙ නැත්ද? '' ඒ අයිය.
" සචිනි බලන්ට යන්ට,....... අඩු ගානෙ කෝල් කරන්ට මට හොඳටම ඕන කම තිබ්බ අයියෙ, ඒත් නිකම් සචිනි මොනව කියයිද කියන දෙගිඩියාව නිසා මම පස්ස ගැහැව්ව.''
" මල්ලි ඉස්සෙල්ලම කියන්ට තියෙන්නෙ විවාහ ජීවිතේ ඔය වගෙ ප්රශ්න මතුවෙන එක පුදුමයක් නෙවෙයි......හාත්පසින්ම වෙනස් පවුල් පසුබිමකින් ආපු....ආකල්ප අදහස් උදහස් අතින් අහසට පොළව වගෙ වෙනස් දෙන්නෙක් නෙවෙයි.......සමාන පසුබිම් වලින් ආපු අදහස් ගැලපෙන දෙන්නෙක් උනත් එක වහලක් යට ජීවත් වෙන එක ලේසි නෑ.......මිනිස්සු කියන්නෙ තමන්ටම ආවේණික සිතුම් පැතුම් තියෙන ලෝකෙ ගැන ජීවිතේ ගැන තමන්ගෙම ස්වාධීන අදහස්, ආකල්ප තියෙන සත්ව කොට්ඨාශයක්.......ඒ නිසා මත ගැටුම් ඇතිවෙන එක වළක්වන්න බෑ. නමුත් අපි උත්සාහ කරන්න ඕන අපේ මතය නැත්නම් ආකල්ප අනික් පුද්ගලය මත්තෙ බලෙන් පටවන්ට නෙවෙයි.එහෙම කරන්ට ගියොත් අනිවාර්යයෙන් විවාහ ජීවිතේ අපායක් වෙනව, මෙතන මම හිතන්නෙ අජන්තට මේව ආයෙම කියන්ට කිසිම උවමනාවක් නෑ.....මම හිතන්නෙ අජන්තම අජන්තගෙ වැරැද්ද තේරුම් අරගෙන තියනව....."
" විවාහ ජීවිතේ මුල් කාලෙම මේ වගෙ මත ගැටුමක් මතු උනු එක එක අතකට හොඳයි මල්ලි......එතකොට හිතේ හංගං ඉන්නෙ නැතුව හිතේ තියන දෙයක් එළියට දාල හිත නිදහස් කර ගන්ට පුලුවනි.මල්ලි දන්නවද පාරවල් වලට තාර දානකොට එක නියමිත උෂ්ණත්වයකට උණු කරන්ට අත්යාවශ්යයයි කියල. ඒකට කියන්නෙ ප්රශස්ත උෂ්ණත්වය නැත්නම් Optimum Temperature කියල. එහෙම කරන්නෙ ඇයි දන්නවද? ඒ තාර පාරට දැම්මයින් පස්සෙ ආයෙ මොන තරම් අව්ව වැටුනත් උණු වෙන්නෙ නෑ.මේ වගෙ ප්ර ශ්නයක් මතුවෙල සුහදව ඒක විසඳගත්තයි කියන්නෙ මල්ලි ඔය දෙන්න අතර ඇති වෙනව ආයෙ කිසිදාක කඩන්ඩ බැරි අවබෝධයක් නැත්නම් තේරුම් ගැනීමක්. විවාහ ජීවිතයක් සාර්ථකව ඉදිරියට ගෙනියන්ට බොහොම වැදගත් මෙන්න මේ දෙන්න අතර තියන තේරුම් ගැනීම එහෙම නැත්නම් පන්නරය......හප්පා.......මල්ලි මගෙ ලෙක්චර් එක දිග වැඩිද මන්දා.......හෙහ්, හෙහ්,''
'' නෑ අයියෙ, අයිය කියපු දේවල් ඔක්කොම ඇත්ත......''
'' මමත් පොඩි කොටසක් එකතු කරන්නම් මල්ලි.....'' ජානකී අක්ක කටහඬ අවදි කලා....'' මේ මගේම අත්දැකීමෙන් කියන දෙයක්......විවාහ වෙලා කොච්චර අපහසු උනත් කමක් නෑ දෙන්න වෙනම පදිංචි වෙන්න........නැන්දම්ම කොච්චර හොඳ උනත් එකට ඉන්නකොට ප්රශ්න මතු වෙන එක අනිවාර්යයයි.......ඔය මහ ලොකු දේවල් නෙවෙයි......එක වචනයක්........බැල්මක් ඇති ලොකු ප්රශ්නයක් වෙන්න.....ඔයාට අම්ම අත් අරින්න කියනව නෙවෙයි මේ.......පුළුවන් නම් ......පුළුවන් නම් නෙවෙයි....මම හිතන්නෙ ඔයා අනිවාර්යයෙන් කල යුතුමයි.....ඒ කිට්ටුවම ඇනෙක්ස් එහෙකට හරි යන්න.''
'' දෙන්නෙක් එකතුවෙලා ජීවිතේ ප්රශ්න විසඳ ගන්න හදනකොට ඒ ඇතිවෙන අන්යෝන්ය අවබෝධය බන්ධනය කවදාවත් බිඳෙන්නෙ නෑ මල්ලි, ''
'' හරියටම හරි...මල්ලි අක්ක කිව්ව දේ මමත් සීයට දෙසීයක් අනුමත කරනව......ඔයාගෙ අම්ම එක්ක මේ ගැන මම කතා කරන්නම් එහෙම අවශ්ය යයි කියල ඔයාට හිතෙනව නම්.......අම්ම මාව දන්නව නෙව....අනික ඔයාගෙ අම්ම කියන්නෙ මට තේරෙන විදිහට යමක් තේරුම් ගන්න බැරි කෙනෙක් නෙවෙයි....මම හිතන්නෙ නෑ එයාට කරුණු පැහැදිලි කරල දෙන එක එච්චර අමාරු වෙයි කියල.''
'' හරි, අජන්ත දැන් මෙහෙම කරමු හෙට පෝයනෙ.....උදෙන්ම සචිනිට කතාකරල මෙහෙට එන්න කියමු........ඊට පස්සෙ අපි මේ ප්රශ්නෙ විසඳ ගමු......එහෙම හොඳයි නේද? ''..........රංජිත් අයිය මගෙ අත අල්ලගෙන කිව්ව.
දවස් තුනකට පස්සෙ එදා ඔන්න මට හොඳට නින්ද ගියා.......මත් ගතිය නිසාම නෙවෙයි හිතේ සැහැල්ලුව නිසාත්.....රංජිත් අයියට හැමදෙයක්ම කියාපු එකෙන් මගේ හිතේ තිබ්බ බර හෑල්ලු උනා වගේම හෙට සචිනි ඒවි කියන විශ්වාසෙත් නිසා කොට්ටෙ ඔළුව තිබ්බ විතරයි ඔන්න මතක......
පහුවදා උදේ අටට වගෙ මම කතාකලා සචිනිගෙ නම්බර් එකට.......
" සචිනි........මම අජන්ත......." මම එහෙම කිව්වෙ කියන්ඩ දෙයක් එක පාරට හිතට නාව නිසා........
" අජන්ත........ඔයා කොහෙද ඉන්නෙ? " ඒ කටහඬ මගෙ හිතට ගෙනාවෙ පුදුම සතුටක්.....
" මම ඉන්නෙ පේරාදෙනියෙ.....රංජිත් අයියලගෙ ගෙදර....."
" සචිනි මගෙ රත්තරං, ඔයා මා එක්ක තරහ නෑ නේද?" ......මම ඒ ටික කියා ගත්තෙ බොහොම අමාරුවෙන්.....
.........මඳ වෙලාවක් පැවතුණු නිහඬතාවයකට අනතුරුව ටෙලිෆෝන් එකෙන් ඇසුණෙ ඉකි බිඳින හඬක්....
" අනේ අඬන්න එපා සචිනි......" මගේ ඇස් වලට උනන කඳුළු වලක්ව ගන්න උත්සාහ කරන අතරෙ මම කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්........
" කෝ දෙන්න අජන්ත, මම කතා කරන්නම්" .....රංජිත් අයිය මගෙන් ටෙලිෆෝන් එක ගත්ත.....
" සචිනි......නංගි....මම රංජිත් අයිය.....හරි, හරි දැන් අඬන්න එපා.....ඔක්කොම හරි,...please calm down now, take a grip on yourself, okay?...... හරි ඔයා දැන් මෙහෙම කරන්න නංගි......දහයාමාරට කොටුව ස්ටේෂන් එකෙන් තියනව නුවරට කෝච්චියක්.....ඔයා ඒකෙ එන්න පේරාදෙණියට.......අජන්ත පේරාදෙණිය ස්ටේෂන් එකට ඇවිත් ඉඳියි.....දවසකට දෙහෙකට ඇඳුම් අරගෙන එන්න.......ඔන්න හරිනෙ එහෙනම්....okay..........bye,"
එකහමාරට මම ස්ටේෂන් එකට ගියා.......සචිනි ඇවිත් කෝච්චියෙන් බැස්ස.....මම එයාගෙ අත්දෙක අල්ලගෙන ඇස් දෙකට එබිල හෙමිහිට කිව්ව " මට සමාවෙන්න මගෙ රත්තරන් කියල" එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගෙ මගෙ පපුවට තුරුළු උනා.......සෙනඟ හිටපු නිසා අපි වැඩිවෙලා එහෙම හිටියෙ නෑ....
ජානකී අක්ක සචිනිව වැළඳ ගත්තෙ කාලෙකින් නොදැකපු සොහොයුරියක් හමු උනු ගානට.....
එදා පෝය දවස......අපි හවස හතර දෙනාම ගියා දළඳා මාළිගාවට......රතු නෙළුම් මල් වට්ටි දෙකක් අරන් අපි දෙන්න එක ළඟම තියල පූජා කලා....
" අජන්ත මට පොරොන්දු වෙන්න ආයෙ කවම දාකවත් මගෙ හිත රිද්දන්නෙ නෑ කියල" සචිනි කිව්වෙ වැඳගෙනම හිස හරවල මා දිහා බලන ගමන්.
" නෑ......සචිනි...ආයෙ කවදාවත්ම නෑ" ......මමත් ඈ දිහා හිස හරවල බලල පොරොන්දු උනේ මගෙ හදවතින්ම.
එදා රෑට අපි කෑම නුවරින්ම ගෙනාව.ඉඳිආප්පයි.....සම්බෝලයි......කිරි හොදියි,
රෑට කාල ඉවර වෙලා අපි හතර දෙනා සඳළුතලයෙ ඉඳගෙන කෝපි කෝප්පයක් තොලගෑව.
අද ඊයෙ වගෙ වළාකුළු කිසිදෙයක් අහසෙ නෑ......පුරා හඳ එළියෙ හන්තාන කඳු වැටිය දිලිසුනෙ අතින් අල්ලන්ට පුළුවන් තරම් ළඟින්. ඊයෙ නොතිබිච්ච පිච්ච මල් සුවඳක් මඳ සුළඟත් එක්ක මුහු වෙලා සඳළු තලේ පුරා පැතිරුනා.
" පිච්ච සුවඳක් එන්නෙ කොහෙන්ද රංජිත්?" ......ජානකී අක්ක හුස්මක් පපුව පුරා අරගෙන ඇහුවෙ වටපිට බලන ගමන්.
" මේ කිට්ටුව පිච්ච නම් නෑ" ........රංජිත් අයිය අපි තුන්දෙනාගෙම මූණු දිහා බැළුව....." ඒත් ඔයාල දන්නවද?......දේවතාවො වඩිනකොට ඔය වගෙ පිච්ච සුවඳ හමනවයි කියල මම අහල තියනව........"
" මොනවද රංජිත් මේ කියන්නෙ?......මේ ළමයත් දැන් බය වෙයි ඔන්න" ....ජානකී අක්ක කිව්වෙ නොරිස්සුමෙන්.
" දේවතාවො වඩිනවයි කිව්වම බය වෙන්නෙ මොකටද?....ඒක බොහොම සුබ ළකුණක්නෙ " රංජිත් අයිය නැඟිටල කෝපි කෝප්ප ගේ ඇතුලට අරන් ගියා....
ආයෙම ඇවිල්ල අයිය අපි ඉස්සරහම වාඩිවුනා.
" අජන්ත, සචිනි.....මට ඔය දෙන්නට වැඩිපුර කියන්න දෙයක් නෑ...ඔයාල දෙන්නම දැනුම් තේරුම් තියෙන දෙන්නෙක්......අනික අජන්ත අතින් වෙච්ච වැරදි එයාම තේරුම් අරන් ඉන්න නිසා ආයෙම ඒවගෙ දෙයක් අජන්ත අතින් කෙරෙන එකක් නෑ කියල මට සීයට දෙසීයක් විශ්වාසයි....."
" ජිවිතේ පොඩි පොඩි හැලහැප්පීම්, මතභේද ඇතිවෙන එක ස්වාභාවිකයි......එහෙම නොවුනොත් තමයි පොඩ්ඩක් හොයල බලන්ට ඕනෙ.......දැන් මේ ජානකියි මායි ගන්නකො......මේ අම්මණ්ඩි එක්ක මම හින්දම ඉහ ගහල ඉන්නව මිසක්......." රංජිත් අයිය වාක්ය සම්පූර්ණ නොකරම කොක් හඬලා හිනාවෙන්ට පටන් ගත්ත.
" රංජිත්......අහල පහල මිනිස්සු නිදි මේ වෙලාවට " .....ජානකී අක්ක දත් මිටි කාගෙන කිව්වට හිනාව සඟවගන්ට එයාටත් බැරිඋනා.
" හරි, මම මේ කියාගෙන ආවෙ ජීවිතේ සිද්ධ වෙන හැමදේකින්ම පාඩමක් ඉගෙන ගන්ඩ....හැම දේම වෙන්නෙ හොඳටයි කියල හිතාගන්ට...එච්චරයි"
පහුවදා උදේ කුරුල්ලන්ගෙ සද්දෙට මම ඇහැරුනා. සචිනි නෑ ඇඳේ. බෙඩ් රූම් එකත් එක්කම තිබ්බ සඳළුතලේ පුටුවෙ සචිනි ඉන්නව දැකල මම එතනට ගියා.....
" මොකද ලමයො....මේ උදේම මෙතන කරන්නෙ? "
හන්තාන කන්දට උඩින් ඉර පායාගෙන ආව. කෙලින්ම මිදුලෙ අඹ ගහේ අතු අස්සෙන් ආපු හිරු එළිය දහරාවක් සචිනිගෙ මූණටම වැටුන නිසා එයා වමතින් ඇස් මුවාකර ගත්ත.
මගෙ දිහාවෙ ඇස් කොනකින් බලල උකුලෙ තිබ්බ සුදු කඩදාසියක් මට දිගු කලා....
මලින වූ මල් කිනිති නැවතත්,
හද පුරා විකසිත වෙලා,
පුලින තල මත සිඳීගිය,
දිය දහර ආයෙත් යයි ගලා,
අඳුරු මේ කුළු පහව ගිය සඳ,
හිරු දිලුනි අහසේ නිලේ,
සොඳුරු මනසේ පිපුණු නෙළුමකි,
ඉතිරි වී ඇති හද විලේ,
ආදරය පිදු ඔබට එදවස,
මිලින වී නැත කිසි දිනේ,
නීල සිඳු මත නඟන රැළිසේ,
නැවත ඉපදෙයි හදවතේ,
සෙනෙහෙ ඔබගේ විලකි,
මම එහි පිපෙන්නෙමි නෙළුමක් වෙලා,
සසර සැමදා ඔබෙ සුරත ගෙන,
ඇවිද යමි සෙවණට වෙලා,
මගෙ ඇස් දෙකට පිරිච්ච කඳුළු වලක්ව ගන්ට මම කිසිම උත්සාහයක් ගත්තෙ නෑ. මම එහෙම්මම පාත් වෙලා සචිනිව වැළඳ ගත්ත. එයා මගෙ පපුවට මුහුණ තදකරගෙන කොඳුරලා කිව්ව. " Never ever let me go Ajantha.......do you promise me? "
" With all my heart Sachini, I am giving you my word........i won't let you go, again, ever,".......ඇගේ නලල සිප ගන්න අතර මම එහෙම කිව්ව.....
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්...සචිනියි අජන්තයි.. වාසනාවන්තයි.....ප්‍රශ්නයක් තමන් විහින්ම තේරුම්ගන්න පිරිමි වගේම ගැහැනුත් හරි අඩුයි...තමන්ගෙ උද්දච්ච කමට,පුහු මාන්නෙට අඩුපාඩුවක් වෛ කියල හිතාගෙන ඉන්න අය තමා වැඩි.....ඒත් දේවතාවො වඩින ආදර කතා හරිම විරලයි....සුන්දරයි කතාව බෙහෙවින්ම...
ReplyDeleteAnd they lived happily ever after...
ReplyDeleteඑහෙම කෑල්ලක් දාන්ට ඕනැන්නෙ නැද්ද..?? නැත්තං ඊට පස්සෙත් දෙන්න වලි දාගත්තද..?? :)
ම්ම්..
ReplyDeleteතවත් වරක් ජීවිතය හැඳින්නෙමි.
ReplyDeleteඇස් දෙක බොඳ කරාපු නිමාවක් රවි අයියේ. හරිම ලස්සනයි. අජන්තගේ කතාව පටන් ගත්ත දා ඉඳන් මේක කොහොම ඉවර කරයිද කියලා බල බල හිටියේ කමෙන්ට් එකක්වත් නොදා. සචිනිගෙ කතාවට වඩා අජන්තගේ කතාව දිග් ගැස්සෙන කොට රවි අයියා මේක මෙගා ටෙලියක් කරන්න හදනවද කියලත් හිතුනා. අර පාරට දාන තාර උණු කරන කතාව මම අද තමයි දැන ගත්තේ. ඒක ජීවිතේට ආදේශ කළාම මොන තරම් ගැඹුරු යතාර්ථයක් එතන තියෙනවද නේද. කතාවට මේ වගේ සුභවාදී අවසානයක් ලැබුණ එක ගැන සතුටුයි. රවි අයියගෙන් මේ වගේ ලස්සන කතා තව තවත් ලියවේවා.
ReplyDeleteකතාවෙ අවසානය නම් සුපිරියි අයියෙ. ඒකෙ කිසිම කතාවක් නෑ. පවුල් ජීවිත වල ඇති වෙන ප්‍රශ්න හැම එකක්ම ඔය වගේ කතා බහ කරල විසඳගන්න පුලුවන් නම් කොච්චර හොඳද. බොහොම සංවේදී විදියට කතාව ගලාගෙන ගිහින් තියනව. ජය.
ReplyDeleteආහ් හැබැයි කතාවෙන් කියවුන එක අදහසකට නම් මම එකඟ වෙන්නෙ නෑ. අර ජානකී අක්ක කිව්වෙ දෙන්නට වෙනම ජීවත් වෙන්න කියල. ඇත්තම කතාව කිව්වොත් ප්‍රශ්න අඩු කරගන්න හොඳම ක්‍රමය තමයි ඒක. ඒත් එහෙමයි කියල තනියම ඉන්න අම්මව ගෙදර දාල වෙන ගෙදරකට යන එක ආත්මාර්ථකාමී නේද? තාත්තත් නැතුව පොඩි කාලෙ ඉඳල අජන්තව තනියම හදා ගත්ත අම්මට අන්තිමට ඒකද ලැබෙන්නෙ? ඒ දේ ඇරෙන්න අනිත් හැම දෙයක් එක්කම 100% එකඟයි.
ප.ලි. අයියගෙ කතා සීරීස් එකෙන් මටත් පොඩි දෙයක් ගැන කතා කරන්න හිතුන.
අපුරුයි .. තව කතා ලියන්න..
ReplyDeleteඅන්න හොඳයි . ''මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි ...
ReplyDelete@ බුරා ,
අපොයි නැතුව . ඒත් දැන් දෙන්න කතා බහ කරලා විසඳ ගන්නවා ඇති . ඉන්දහුට වලියක් නැත්නම් කිසි ගතියක් නැහැ . හැබැයි වැඩි දුර නොයා ගොඩින් බේර ගෙන යන්න හැකි නම් ගමන ලේසියි
ඇත්තම කියනව නම් මට දැන් මගෙ කඳුලු නවත්ත ගන්න බැහැ.
ReplyDeleteකොටින්ම....
ඇත්තෙන්ම නිසි මග පෙන්වපු කල්‍යාණ මිත්‍රයින් නිසාත් ජීවිත අයසට පත් නොවී බේරෙනවා..
මේ කතාව පුරාවටම උන්නේ බොහෝ සාමාන්‍ය ඒත් බොහෝ අසාමාන්‍ය වස්තු බීජයක්..කිසිවෙ ලෙහෙසියෙන් ලියන්නට නොපෙලඹෙන , මේ අපේ මහ පොලව උඩ කතාවක්..
රවී මහත්මයා... ඔබට ස්තූතියි.. මේ අපූරු කතා මාලාව එක පී ඩී එෆ් එකක් කොට ඔබේද , මේ බ්ලොග් එකේද විස්තර සහිතව , දන්නා අඳුන්නා උදවියට යෑව්වාට කමක් නෑද්ද ? මේක ඒ තරම්ම වටින කතාවක් ....
තව තවත් , මෙවෑනිම , මේ මහ පොලවේ අද කාලයේ සෑබෑ කතා ලියන්නට ඔබට ශක්තිය ලෑබේවා ... !~
අප්පා දෙන්නා වෙන් වෙන්නෙ නැතුව මෙහෙම වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද.
ReplyDeleteහරිම ලස්සන කතාවක්.ඒ වගේම විවාහ වෙන දෙන්නෙක්ට හොඳ උපදෙස් ටිකකුත් තියෙනවා.මට මේ බ්ලොග් එක මඟ හැරිලා තිබුනේ. අද අහම්බෙන් වගේ හම්බ වුනා.:))))
ReplyDeleteඔය විදියට කතාව ඉවර උනු එක හොඳයි. නැත්නම් ඉතින් ඒ දෙන්නා ගැන දුක් වෙවී ඉන්ට වෙනවනේ.
ReplyDeleteනිමාව ලස්සනයි. ඇහට යාන්තමට වගේ තෙත් ගතියක් දැනුනා. නැත්නම් ඉතින් පොඩ්ඩි ඔය මෝඩ පිරිමින්ගේ ඒවට අඬන කෙනෙක් නෙමේනේ...:D
ඉතා ආසාවෙන් කියවූවෙමි...!!!
ReplyDeleteරවී අයියේ, බොහොම ලස්සනට සංයමයකින්, දෙදෙනාම වැරදි කොනේ හිරකරල නොතියා අපූරුවට ලියල තියනව. මම දෙගිඩියාවෙන් උන්නෙ අතරමඟදි කවුරු කොහේ නවතීද කියල.
ReplyDelete@ මකුළු,
ReplyDeleteස්තූතියි මකුළු......හැම ආදර කතාවකටම අනිවාර්යයෙන් දේවතාවෙක් වඩින්ඩම ඕනෙ......නැත්නම් බෑ......හෙහ්, හෙහ්,
@ Buratheno,
ReplyDeleteවලි නැති ජීවිත කොහෙද බං තියෙන්නෙ අර බින්දි කිව්වැහෙ......හෙහ්, හෙහ්,
And they lived happily ever after...
ඕකට මම යෝජනා කරනව මෙහෙම සංශෝධනයක්......
And they lived happily ever after taking an occasional spat on their stride.....
BTW , මල්ලි....එංගලන්තෙ දෙනව අපෙ අසල්වැසි මහ බලවතාට පාරවල් හදාගෙන දුවන්ට නෙවද?........බලන්ට වත් ගියේ එහෙම නෑ?
@ චේජනා,
ReplyDeleteමට කලහැකි ඉහලම පැසසුම ලෙස නිසැකවම සලකන්නෙමි.
Thanks Chejana..........your words definitely made my day........
@ සිතුවිලි නඟා,
ReplyDeleteස්තූතියි නංගි ඔබගේ අදහස් දැක්වීමට......
/ රවි අයියා මේක මෙගා ටෙලියක් කරන්න හදනවද කියලත් හිතුනා. /
අජන්තගෙ කතාව ටිකක් දිග වැඩිවෙනව වගෙ මටත් තේරුනා......සංස්කරණයක් කරන්ට බැළුවට හිත ඉඩ දුන්නෙම නෑ.....මගෙ ජම්ම ගතිය නෙව නංගි ඕක......කෙටියෙන් යමක් කොරන්නම බෑ.....හෙහ්, හෙහ්,
/ අර පාරට දාන තාර උණු කරන කතාව මම අද තමයි දැන ගත්තේ. ඒක ජීවිතේට ආදේශ කළාම මොන තරම් ගැඹුරු යතාර්ථයක් එතන තියෙනවද නේද. /
තාර කතාව ගත්තොත් ඔයා දැකල ඇතිනෙ සමහර වෙලාවට ගිනි මද්දහනෙ පාරෙ යන්ට බෑ කකුල් වල තාර ඇලෙනව...ඒ ඔය ප්‍රශස්ථ උෂ්ණත්වෙට තාර උණු නොකලම වෙන සන්තෑසිය තමා. ඇත්ත ඔයාගෙ කතාව....ජීවිතේටත් මොන තරම් සම්බන්ධයිද නේද?
/ කතාවට මේ වගේ සුභවාදී අවසානයක් ලැබුණ එක ගැන සතුටුයි. /
සුබවාදී අවසානයක් ඇර වෙන විදිහකට අවසාන කරන්ට මගෙ හිත ඉඩ දුන්නෙම නෑ......දෙන්න වෙන් කලා නම් ඒ දුක මගෙ හිතෙත් සදාකාලිකවම රැඳිල තියෙයි......හෙහ්, හෙහ්,
@ Kasun,
ReplyDelete/ ඒත් එහෙමයි කියල තනියම ඉන්න අම්මව ගෙදර දාල වෙන ගෙදරකට යන එක ආත්මාර්ථකාමී නේද? තාත්තත් නැතුව පොඩි කාලෙ ඉඳල අජන්තව තනියම හදා ගත්ත අම්මට අන්තිමට ඒකද ලැබෙන්නෙ? /
ඔබේ කතාවට එකහෙලාම එකඟයි මල්ලි.....ඒත් ජීවිතේ අපිට දීර්ඝ කාලීන යහපත තකා ගන්න වෙනව බැලූ බැල්මට අසාධාරණයි කියල හිතෙන තීරණ, තීන්දු......ඒකට කරන්ට දෙයක් නෑ......මේකත් ඒ වගෙ එකක්.....කොහොම උනත් ඔය වැඩේ හරියන්නෙ නෑ....මල්ලි......අඩුගනනෙ ගෙදරම පැත්තක හිටියත් බොහෝවිට හරි යන්නෙ නෑ....පොඩි පොඩි හිත් තැවුල් එනවාම තමා......විශේෂයෙන් අජන්තගෙ වගෙ අම්ම කෙනෙක්ගෙ ආකල්ප එක්ක වැඩේ කොහොමත් අමාරුයි.......මොකද ඒ අම්ම හිතන්නෙ මම මෙච්චර අමාරුවෙන් මගෙ කොල්ල හදා ගත්ත දැන් මේ එකියක් ඇවිල්ල මෙතන එයාට ඕන විදිහට කොරන්න හදනව....හුහ්, එව්ව කොහෙද මා එක්ක කියලනෙ.
මම කියන්නෙ නෑ මේක හැමෝටම අනිවාර්යයෙන් පොදුයි කියල......ඒත් මගෙ ජීවිතේ මෙතෙක් කාලෙකට එහෙම සාධාරණව යථාර්තවාදීව හිතන නැන්දම්ම කෙනෙක් මට හම්බ වෙලා නම් නැහැ කියල තමයි කියන්ට වෙන්නෙ ඉතාම කණගාටුවෙන් උනත්......හෙහ්, හෙහ්,
@ සරත් ලංකාප්‍රිය,
ReplyDeleteස්තූතියි සරත් හැමදාම ඔබේ ප්‍රතිචාරය ඇත්තටම තවත් ලියන්න මට දිරිගැන්වීමක්...
@ Bindi,
ReplyDeleteනෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි.........හෙහ්, හෙහ්,
කතාව නම් ඇත්ත......මොකක් හරි පොඩි කේස් එකක් සතියකට පාරක් වත් තිබ්බෙ නැත්නම් ඔයාට කියන්න බින්දි මම හිතලම ඇදගන්නව පොඩි වලියක්.......හෙහ්, හෙහ්......අනෙ අම්මප මේ ඇත්තමයි.......දැන් මේක දැක්කම අපෙ මහගෙ මෙදානම් අමුතුවෙන් අදින්ඩ දෙයක් නෑ...........හෙහ්, හෙහ්,
@ ජීවිතේ මල්,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මල්......ඔබේ වියුණු සටහනද මම ඉතාම ආසාවෙන් කියවන්නක් එහි රචනා විලාශය සේම ඔබ එහි දක්වන මානව දයාවද ඇත්ත වශයෙන්ම අගය කල යුතුයි...
/ මේ අපූරු කතා මාලාව එක පී ඩී එෆ් එකක් කොට ඔබේද , මේ බ්ලොග් එකේද විස්තර සහිතව , දන්නා අඳුන්නා උදවියට යෑව්වාට කමක් නෑද්ද ? /
අපොයි....කිසිම ප්‍රශ්නයක් ඇත්තේම නෑ.....මම එය මට කරන ලද ගෞරවයක් හැටියටයි සලකන්නෙ......අනික අපි ලියන දේ තවත් සුවහසක් දෙනා කියවනව නම් ඉන් යම් දෙයක් ලබාගන්නවා නම් ඊට වඩා සතුටක් කොයින්ද වෙන?
No, problem at all. You can do whatever you like with this story........thanks again, Mal,
@ පිණිබිඳු,
ReplyDelete/ අප්පා දෙන්නා වෙන් වෙන්නෙ නැතුව මෙහෙම වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද./
මොන පිස්සුද පිණි......එහෙම කොරන්නෙ මොන හිතකින්ද අප්පා?.....එහෙම කොරල මම කොහොමද අප්ප හිත නිදහසේ බත් කටක් වත් උගුරෙන් පහලට යවා ගන්නෙ?........හෙහ්, හෙහ්,
හික් හික්.. ඉන්දියාවට කිරිකැට් එපාවෙන්ටම ගහනවා බං අයියෙ.. මේ දවස්සල මයෙ වැඩේම ඉන්දියන් යාළුවන්ට නෝන්ඩි දාන එක.. :)
ReplyDeleteTV එකේ බලනවා මිසක් ground එකට ගියේ නෑ, අපරාදෙ නෙවැ ටිකට් එකේ සල්ලි.. :D
සුන්දර විදියට ගලාගෙන ගිය විදියටම ලියලා තියෙනවා.මුල්ම කොටස් වලදිනම් මම හිතුවෙ නෑ මෙහෙම ඉවර වේ කියා.ඒත් අජන්ත නුවර යන්න හඩනකොටම ට්‍රේන් එකෙ කියන්නෙ මම අජන්ත කියලා.එතකොට මට හිතුනා මේක මෙහෙම හොඳ විදියකට ඉවර වෙයි කියලා.
ReplyDelete@ Buratheno,
ReplyDeleteඇත්ත ඇත්ත....මගෙ අල්ලපු කාමරේ ඉන්දියානුවාගෙ මූණ දෙහි මිරිකුව වගෙ මේ ටිකේම........හෙහ්, හෙහ්, පව්.....ඌ නං හොඳ එකා......මට ආරංචියි ධෝනිගෙ ගෙට දැම්මම පෙට්‍රල් ඉහලයි තියෙන්නෙ කියල...........හෙහ්, හෙහ්,
කතාවේ ගැලීම වගේම සන්තෝසමත් අවසානය ඉස්තරම්. Hat-off!
ReplyDeleteජීවිතය සුන්දරයි! ඒ සම්ප්‍රදායීක වචනය කතාවේ දී ගෙනහැර දැක්වූ පිච්ච මල් සුවඳ, දේවතාවුන් වැඩීම වගේ යෙදුම් බොහෝ අගේය. ඉන් ගොඩාක් සුවඳ පැතිරුවාට සැක නැත. ප්‍රශ්ණය කොතැනක වුනත් පරාජය පරදවා ඔවුන් දෙදෙනාම ජීවිතය දිනවූවෝය.
රවී, අද බොහෝ රචනා වලට මුල් වෙන්නේ සමාජයේ එතරම් පැහැපත් නොවන පැත්තමයි. මේ කතාවෙන් ඔබ ඉදිරිපත් කර සමාජමය වටිනාකමක් ඇති විමසුම, බෙදූ සුවඳ, දුන් පණිවුඩය; ඒ අතින් බොහෝ අගේය. එවැන්නක් ඉදිරිපත් කිරීමට ලොකු සංයමයක් වගේම හැකියාවක් අවශ්‍යයි. ඔබේ අතින් මෙවැනි මංජුසාවන් තව බොහෝමයක් තිළිණ කරන්නට හැකියාව හා ශක්තිය ඔබට ලැබේවා සහෘදයා.
@ නිසුපා,
ReplyDeleteස්තූතියි, නිසුපා, සාදරයෙන් ආදරයෙන් පිළිගන්නෙමි.
/ ඒ වගේම විවාහ වෙන දෙන්නෙක්ට හොඳ උපදෙස් ටිකකුත් තියෙනවා./
මේ අපේ රංජිත් අයිය.....දන්නෙ නැද්ද?....මොනවහරි ගැන ඇහුවොත් උපදෙස් මාලාවක්ම දීල තමයි පස්ස බලන්නෙ......හෙහ්, හෙහ්
ළඟදි බඳින්න එහෙම කම්පනාවක් තියනම් ලැජ්ජ වෙන්න ඕන නෑ, කියන්න, රංජිත් අයිය දෙයි උපදෙස් පෝර ගෝනියකිං එකක්.......එක්කො බඳියි...නැත්නම් ඒත් බඳියි.........හෙහ්, හෙහ්,
@ Podi Kumarihami,
ReplyDelete/ නැත්නම් ඉතින් පොඩ්ඩි ඔය මෝඩ පිරිමින්ගේ ඒවට අඬන කෙනෙක් නෙමේනේ...:D /
"ඔන්න මම පොඩ්ඩිගෙ කැමතිම ගතිගුනේ......පැත්තක් ගියත් ඇත්ත කියන එක....දැන් බලන්න මෙතන අජන්ත කලේ තමන්ගෙ වැරැද්ද පිළිඅරගෙන සචිනිගෙන් සමාව ඉල්ලුව එක නෙව.....අනික් හැම කාන්තාවක්ම අජන්ත කරපු වැඩේ අනුමත කරද්දි පොඩ්ඩි විතරයි බය නැතුව එක හෙලාම කියන්නෙ අජන්ත මෝඩයෙක්ය කියල.......ඒ කියන්නෙ අජන්ත වැරැද්ද පිළිගත්තු එක වැරදිය.......අජන්ත නෙවෙයි වැරැද්ද කරල තියෙන්නෙ සචිනිය කියන එකයි මෙතන පොඩ්ඩි බය නැතුව කියන්නෙ.....අනික් හැමෝම කියන දේට විරුද්ධ වෙනවට කියන්නෙ උඩුගං බලා යනව කියලයි...එහෙම උඩුගං බලා යන්ටත් බෑ ලේසි පාසු කෙනෙකුට අපෙ පොඩ්ඩි වගෙ නිර්බීත, කුල කාන්තාවකට ඇරෙන්න.....
"
My congratulations, Poddi, it's definitely a privilege to have known someone like you.......A really brave woman indeed.
@ තිස්ස දොඩන්ගොඩ,
ReplyDeleteබොහොම ස්තූතියි තිස්ස,
@ nawammawatha,
ReplyDelete/ දෙදෙනාම වැරදි කොනේ හිරකරල නොතියා අපූරුවට ලියල තියනව. /
ස්තූතියි නවම්.....ජීවිතේ ප්‍රශ්න බහුතරයකදි වැරදිකාරයො හොයන්ට බෑ නවම්, මට මතකයි කලිනුත් ඔයා මේ කතාව කියල තිබ්බ.....
අනික අපි කවුද තව කෙනෙක් විනිශ්චය කරන්ට?......හෙහ්, හෙහ්,
/ මම දෙගිඩියාවෙන් උන්නෙ අතරමඟදි කවුරු කොහේ නවතීද කියල /
ඔන්න නවම්, උඹ ඔහොම කියනව......උඹට වඩා මල්ලි මම පණ බයේ හිටියෙ......අජන්ත වැරැද්දක් උනාය කියල පිළිගන්නෙ නැතිවෙයිද?.....සචිනි සමාව දෙන්ට බෑ කියයිද?......ඔන්න මගෙ හිතේ කැරකිච්ච ප්‍රශ්න, මේ දවස්වල,......උඹට කියන්ට මයෙ මලේ රෑට හරි හැටි නින්දක් නෑ කිව්වම මේ ටිකේම මුං දෙන්න එකලාසයක් කොරල දානකල්.......අනෙ අම්මප.
@ sithuwam,
ReplyDelete/ ඒත් අජන්ත නුවර යන්න හඩනකොටම ට්‍රේන් එකෙ කියන්නෙ මම අජන්ත කියලා.එතකොට මට හිතුනා මේක මෙහෙම හොඳ විදියකට ඉවර වෙයි කියලා /
අඩේ....සිතුවම්.....ඔයාට එතකොටම තේරුණාද වැඩේ වෙන්න යන්නෙ මෙහෙමයි කියල.......හෙහ්, හෙහ්,.....ස්තූතියි ඔබටත්....
@ ගල්මල්-Coral
ReplyDeleteඩීන් මගෙ සොහොයුරා.......මම හැමදාමත් හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නෙ ඔබෙ කමෙන්ටුව වැටෙන තෙක්......ජීවිතේට හැමදාම මොනවා හෝ ගතයුත්තක් වගේම වැදගත් උපදෙසක් හරබර හෘදයාංගම බසකින් ලිවීමට ඇති හැකියාව ඔබට නිසගයෙන් ලැබී ඇති දායාදයක්.........ඒ ගැන කිසිම කුකුසක් ඇත්තේම නෑ....
Shukran Habibi, Assalaam Alaimum,
සිතූ අවසානයම ලැබුනා මට නම්....... :)
ReplyDeleteකෙනෙක් තමන්ගෙන් වුන වැරැද්ද පිළිගන්නවානම් නිහතමානිව එතන කවදාවත් දුක්බර අවසානයක් තියෙන්න බැහැනේ. හැබැයි ඒකට සචිනිගේ අප්පච්චි සචිනිට කියලා දීලා තිබුන බොහෝ දේ වැදගත් වුනා.
ඇත්තම කියන්ට එපැයි. පටන් ගත්තු තරම් කතාව රසවත්ව ඉවර උනේ නම් නෑ
ReplyDeleteMal Hathai, Its not just a fiction, you are giving something to society. Best of luck.
ReplyDelete