" කුවණ්ණා කිමද සොඳුර?...ඔබට මෙපමණ සිත් තැවුල් වීමට කිමද කාරණය? "
විජය විමසූයේ ඇගේ දෙඋර මත දෑත් තබාගත්වනමය.
" ඔබට විඩාව අධික බව පෙනේ. කුමරුණි..මඳක් විවේක ගත මැනව. මම ඔබට පානයට යමක් ගෙන එන්නෙමි. "
විජයගේ මුහුණ දෙස නොබලාම සෙමෙන් ඔහුගේ දෑත ඉවත්කල කුවණ්ණා ආපසු හැරී මුළුතැන්ගෙය දෙසට පිය මැන්නාය.
ප්‍රධාන නිදන මැදිරිය ඔබ්බෙහිවූ පටු බරාඳයට පිවිසිය හැකිවූයේ ලා රත් පැහැ කබොක් ගල් පදම්කල මැට්ටෙන් බැඳ නිමකල අර්ධ වෘත්තාකාර ආරුක්කු දෙකකිනි. ලංකාපුරයෙහි ගෘහනිර්මාණ ශිල්පයෙහි මෙතෙක් දක්නට නොලැබුණු ආරුක්කුව යන සංකල්පය වංග ඉඳිකිරීම් ශිල්පයෙහි ආභාෂයෙන් ලැබූවකි.
ආරුක්කුව එපිට වූ දිගු අසුනෙහි වූ කුලිච්චම ( Cushion ) ඉවත්කොට එහි හිඳගත් විජය දෙදණ මත වැලමිට තබා දෑතින්ම හිස මිරිකා ගත්තේය. සිත්තැවුලට කාරණා කිමද යනුවෙන් කුවණ්ණාගෙන් විමසූවද ඇගේ සිත්තැවුලට හේතුවූ කරුණ කිමෙක්ද යන්න ඔහු අතැඹුලක්සේ දැන සිටියේය.
කුවණ්ණා රැගෙන පැමිණි සිසිල් පානය කුමක්දැයි ඇසීමට හෝ නොවෙහෙසුණු විජය ඒ ඇගේ සුරතින් ගෙන බිඳින් බිඳ තොලගාන්නට වූයේ ද පහතට නැඹුරු කොටගත් හිසිනි.
ඔහු අසල අසුන්ගත්වනම කුවණ්ණාද බරාඳය සීමාවූ කෙටි බිත්තියෙන් ඔබ්බෙහි වූ සේපාලිකා පඳුරෙහි දැවටෙනා කණමැදිරියන් දෙස බලා උන්නාය.ලංකාපුරයෙහි වසර මුලුල්ලේ බල පැවැත්වූ කර්කශ දේශගුණය හමුවෙහි සුපුෂ්පිත උද්‍යානයක් පවත්වාගෙන යාම දැඩි දුෂ්කර මෙන්ම වෙහෙසකරසුළු කර්තව්‍යයක් වූ නමුදු සිතෙහි උපන් යම් අදහසක් ඉෂ්ඨ කර ගැනීමෙහිලා ඉතා අනලස් එමෙන්ම අධිෂ්ඨානශීලී කුවණ්ණාවන් හට ඒ කිසිසේත්ම අපහසු කාර්යයක් නොවීය.ඇගේ දෑතින්ම නිතොර සත්කාර ලැබූ පුෂ්පධාරක තුරු ලතා මෙන්ම දවස මුළුල්ලේ ගත සිත දෙකම දවනා නිරුදක කතරට වටනා දැඩි හිරු රැසින් සෙවණ දෙනු පිණිස රෝපණය කරනු ලැබූ හරිත වර්ණ වනස්පතීහුද ඇයට තම කෘතඥතාව පළකරනු සේ නිතොර සුගන්ධවත් පුෂ්පයන්ගෙන් මෙන්ම හරිත වර්ණ තුරු පතින්ද සජ්ජිත වූවාහුය.
අංගනය පුරා රටාවකට අනුව සිටුවා තිබූ කොහොඹ තුරු පත් සොළවමින් හමා ආ මද පවන ඒ හා සමඟ සේපාලිකා මල් සුවඳ ද දසත පැතිරවීය.අඩ සඳක් ඈත අහස් කොණෙහි එල්ලී තිබියද ඉන් ප්‍රාසාද අංගනයට ගෙන ආයේ ඉතා මද ආලෝකයක් සේම පාළු මූසල ස්වභාවයකි.
From Google Images |
එක්වරම හිස ඔසවා බැලූ කුවණ්ණා නැඟී සිටියාය.
" බිහිදොර දෙපස විලක්කු මෙතෙක් දල්වා නැත්තේ මක් නිසාද?...මේ එකදු සේවිකාවකුත් සොයා බලා අණ කළොත් මිස කිසිදු කාර්‍යයක් නොකිරීම තරමට මා කෝප ගන්වන්නක් වෙනත් නැත. "
එසේ පැවසූ ඕ ඉක්මන් ගමනින් ප්‍රාසාදය පසුපස දෙසට නික්ම ගියාය.
විජය මදින් මද කැටිගැසෙන අඳුර මධ්‍යයේ දෑත් ළයමත පටලාගත්වනම දසතින් නැඟෙන රැහැයි හඬට සවන් දෙමින් බරාඳයේ අසුන්ගෙන හුන්නේය.
දැල්වෙන කැකුණතෙල් විලක්කු දෙකක් දෑතින් රැගත් සේවිකාවක මැදුරේ පසු අංගනය දෙසින් නික්ම බිහිදොර දෙසට පියමනිනු විජයගේ දෑසට ලක්වනු හා සමඟම කුවණ්ණා පැමිණ යළි ඔහු අසළ අසුන් ගත්තීය.
සේවිකාව විලක්කු බිහිදොර දෙපස වූ විලක්කු ධාරක මත රැඳවූවද ඉන් නික්මුණු ආලෝකය අඳුර දුරුකලේ අංගනයේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් පමණි.
" විලක්කු වලින් නික්මෙනා ආලෝකය ප්‍රමාණවත් නොමැති බවක් පෙනේ. මේ දෙසට ඉන් ලැබෙනා ආලෝකය කිසිසේත්ම නොසෑහේ නොවේද? "
දැල්වෙනා විලක්කු දෙස මද වේලාවක් බලාසිටි ඔහු පැවසීය.
" මගේ හදවත ද එසේමයි කුමරුණි..යළි කිසිදු දිනෙක ඒ ආලෝකයෙන් පිරී යනු නොමැතිබව මට දැඩිව හැඟේ.."
කුවණ්ණා සිහින් හඬින් පැවසූයේ තම ඇකය මත වූ එකිනෙක පටලාගත් දෑත් දෙස බලාගත්වනමය.
වහා හිස හරවා ඇය දෙස මොහොතක් බලා සිටි ඔහු දිගු සුසුමකට ඉක්බිති ඇගේ සුරත පිරිමදිමින් හඬ අවදිකලේය.
" එසේ නොපවසනු මැන සොඳුර..ඔබේ ඒ වදන් මා හද මහත් සොවකින් පුරවාලයි.මෙපමණ ඔබ කෙරෙහි සෙනෙහස දක්වන මා පිළිබඳවද ඔබගේ විශ්වාසය බිඳ වැටී ගොස්ද? අහෝ එසේ නොකරන්න. මගෙ සෙනෙහස කිසිදිනක වියැකී නොයනු ඇත. "
කුවණ්ණාගේ දෑස කඳුලින් පිරීගියේය. ඔහු වෙතට ලංව ඔහුගේ උරහිසට තම හිස වාරුකොට ඇය කතා කලේ බිඳුනු ස්වරයකිනි.
" ඒ බැව් මම හොඳින්ම දන්නෙමි මා කුමරුනි......මා සහ අපගේ දරු දෙදෙනා කෙරෙහි ඔබගේ ළය පුරා පිටී ඉතිරී පවත්නා සෙනෙහස කිසිදිනෙක වියැකී නොයන බව මම ඉඳුරාම දනිමි. එහෙත් එදවස මහද සොරාගත් දින ඔබ විජය නම්වූ කුමරෙකි.සිය රටින්ද පිටුවහල් කරනු ලැබ හුදු අහම්බයකින් ලංකාද්වීපයට සපැමිණි නොදැමුණු තරුණයෙකි. "
ඒ සොඳුරු අතීතය යලි සිහිපත්වූ කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස බලා දෙතොල් විදහා සිනහසුණාය. අපරිමිත සෙනෙහසින් පිරීගිය හදවත ඉහිල් කොටගනු වස් දිගු සුසුමක් හෙලූ විජය ඇගේ නෙතඟ පිරි කඳුලු සුරතෙහි දබරැඟිල්ලෙන් සෙමෙන් පිසදැම්මේය.ඉන් අනතුරුව සෙමෙන් පහත්ව ඇගේ දෙතොල සිප ගත්තේය.
" ඔබට ඒ අතීතය මතකද කුමරුණි? "
යලි ඔහුගේ උරතලය මත හිස හොවාගත් ඈ පිළිවිසියාය.
" එසේය, එසේය...ඔබ සහ මම..අප පිළිබඳව ඒ සොඳුරු අතීතයෙහි ඉතා සුළු සිද්ධියක් පවා ගල කෙටූ අකුරක් මෙන් පැහැදිලිව නොමැකෙන සේ මසිත රැඳී ඇත. ඒ නොදැමුණු තරුණයා දමනය කරනු උදෙසා එක්තරා ඉතා රූමත් කුමරියක විසින් කල එක් ක්‍රියාවක වේදනාකාරී මතකය මසිත පවතිනා තුරු ඒ මතකය මසිත හැර නොයන්නේය. "
ඇය හමුවූ පළමු දින ඔහුගේ සුරත අකර්මණ්‍ය වනයුරු ඇය නිලයක් ස්පර්ශ කිරීමේ සිද්ධිය ඔහුගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි.
" කුමරියනි …"
ඔහු එවර හඬ අවදිකලේ දෙනෙතට දඟකාර බැල්මක් ආරූඪ කරගනිමිනි.
" ඔබට ඇත්තක්ම පවසමි.බොහෝ කලක සිට ඔබට මේ පවසනු අපේක්ෂාවෙන් හුන් නමුදු ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොලද්දෙමි."
" කුමරුණි ???.."
ඔහු පවසන්නට යත්න දරනුයේ කුමක් පිළිබඳවදැයි එකෙණෙහි සිතාගත නොහුණු කුවණ්ණා ඔහුදෙස දෑස් දල්වා ප්‍රශ්නාර්ථයක් රැගත් දෙනෙතින් බලා හුන්නේ නළලත ද රැළි නංවමිනි.
ඔහු එවර පහත්ව ඇගේ කණට තම මුව බොහෝ ආසන්නකොට පහත් හඬින් තෙපළීය.
" එදින සිට මේ අද දක්වාම ඔබ හා සමඟ ආලිංගනයෙන් වෙළී කල්යැවූ සෑම මොහොතකම ඔබගේ නිල ස්පර්ශ කිරීමෙහි දක්ෂතාවය පිළිබඳ මතකය මසිත රැඳී පැවතිණි.කුමන හෝ අවස්ථාවක ඔබ විසින් නොදැනුවත්ව කිසියම් මර්මස්ථානයක් ස්පර්ශකොට යම් අවයවයක් එකෙණෙහි අකර්මණ්‍ය වේදැයි බියෙන් ත්‍රස්තව කල් යැව්වෙමි. ආලිංගනයෙහිදී මවිසින් යම් ආකූල හෝ වික්ෂිප්ත බවක් පලවිනිනම් ඊට හේතුව ඔබට දැන් පැහැදිලියයි සිතමි. "
ඔහු පැවසූයේ මහ හඬින් සිනාසෙමිනි.
කුවණ්ණා විළියෙන් රත්ව ගියේ තම්බපණ්ණි නැව්තොට කෙළවරපිහිටි හුණු ගල් පරය ඔබ්බෙහි අස්තගතවන සැඳෑහිරු අවර අහස රත් පැහැ කරවන අයුරිනි.
ඇය කුමන අර්ථයකින් පැවසුවද ශ්වේත වර්ණ ඉතිරියක නොවූවාය. යක්ඛ ගෝත්‍රිකයෝ ස්වභාවයෙන්ම ලක් දිවයිනෙහි දැඩි හිරුරැසින් පීඩිත එමෙන්ම උණුසුම් සහ කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන පරිදි කාල වර්ණ වූවාහුය. එහෙත් ඇගේ මෑණියන් යවන කතක වූ හෙයින් ( වාසුගී තම යොවුන් අවදියෙහි ශාස්ත්‍ර පිපාසය සන්සිඳුවාගනු වස් වෙළඳ නෞකාවක සහායක නැවියකු ලෙස යවන දේශයට ගොස් එහි වසරක පමණ කාලයක් ගත කල සමයෙහි ඒ රුවැති යවන යුවතිය හා පෙමින් බැඳී ඈ මෙහි කැටුව පැමිණියේය ) ඇයට ආවේණිකවූ ධවල වර්ණය උරුම කොටගත් කුවණ්ණා ද එළලු පැහැයෙන් යුතු වූවාය.
එසේ හෙයින් ඇය විළියෙන් රත් පැහැගැන්වෙනු දැකීම විරල වූ නමුදු මෙවිට කන්පෙති වලින් ඇරඹී ගෙල පසුකොට ළයමඬල ඉහළකොටස දක්වා ඇය විළියෙන් රතු වූවාය.ඒ හා සමඟම ඔහු කෙරෙන් දෑස් ඉවතට ගත් ඕ තොමෝ වහා අසුනෙහි එහා කෙළවරට වූවාහු හිස ගස්සා ඉවත බලා ගත්තීය. සිනහව පාලනය කර ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනු විජය අවසන හිස නවා දෑතට වාරුකොටගෙන ආයාසයෙන් තොල් තදින් පියාගත්තේය.
ඇය විළියෙන් රත් රත්පැහැ ගැන්වෙමින්ද ඔහු සිනහව පාලනය කොට ගැන්මට වෙහෙසෙමින්ද ගතවුනු නිමේෂයකට පසු කුවණ්ණා විජය දෙසට හැරුණාය.
එක්වරම ඔහුගේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල විදූෂක භාෂිතයෙන් ( කවට බසින් - Jesting ) ඇය විපිළිසර වුවද කුවණ්ණා මුඛරිකමෙහි ඉතා සමත්වූවාය.
" මා දයාබර වූ දියණියනි, රාජ්‍ය පාලනයෙහිලා මුඛරිකම ඉතා අගනා මෙවලමකි. ඕනෑම ආතතියක් ලිහිල්කොට සුහද වාතාවරණයක් ඇතිකිරීමෙහිලා ඒ හැකියාව ඉතාමත් අනර්ඝය "
ඒ වාසුගී ඇය රාජ්‍ය පාලනය සඳහා පුහුණු කිරීම අරම්භකල මුල් අවදියෙහි දිනක් ඇය අමතා පළකල අදහසකි.ඇය ඒ කිසිදින අමතක නොකලා පමණක් නොව ඉන් බොහෝ ප්‍රයෝජන ද ගත්තීය.
" එසේනම් කුමරුනි මා කියන්නක් ද අසනු මැන. මෙපවත් ඔබට පැවසීමටද මම බොහෝ කාලයක් මුලුල්ලේ පොරොත්තු වූයෙමි."
ආලිංගනය පිළිබඳ නර්මාලාපය ( Yarn ) පැවසීමෙහිලා විජයගේ දෙනෙතෙහි වූ දඟකාර පෙනුම නොව මෙහිදී කුවණ්ණාගේ දෑසෙහි වූයේ බැරෑරුම් පෙනුමකි. ඇගේ දෑසෙහිවූ බැල්මෙන් වික්ෂිප්තවූ ඔහු දෑස් විදහා ඈ දෙස බලා උන්නේ ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යනු සිතා ගැන්මට අසාර්ථක උත්සාහයක් දරමිනි.
ඔහුගේ ව්‍යාකූල බැල්ම කරනකොටගෙන ගෙන දෙතොලට නැඟ ආ මන්දස්මිතිය ආයාසයෙන් පාලනය කොටගනිමින් ඇය කථා කලාය.
" එසේ ආලිංගනයෙන් කල් යැවූ කිසිදු විටෙක ඔබේ චර්යාවෙහි හෝ ක්‍රියාකාරකම්හි කිසියම් වූ ආකූල භාවයක් හෝ එසේත් නොමැතිනම් වික්ෂිප්ත භාවයක් නොදිටිමි කුමරුණි.එසේත් නැතහොත් නොහැඟුනි...ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඔබගේ අධික ලාලසාව ( Passion ) හේතුකොටගෙන ඒ අදාල අවයවය සදාකාලිකව අකර්මන්‍ය වනයුරු නිලයක් ස්පර්ශ කිරීමට සහසක් වර මසිතට නැඟුනි. එහෙත් ඒ සෑම විටම මසිත දමනය කොට ගතිමි. එසේ වුවද ඉදිරියෙහිදී එසේ මසිත දමනය කොට ගත නොහුණු අවස්ථාවල් නොඑලඹෙනබවට මට කිසිසේත් ඔබට සහතික විය නොහැක. එසේ හෙයින් කුමරුණි ඉදිරියෙහිදී ප්‍රවේශම් වුව මැන.ඔබට මා අනතුරු නොහැඟවූයේයයි අනතුරුව මාහට දෝෂාරෝපණය නොකරනු මැන "
ඇය හැඟීම් විරහිතවූ මුහුණින් යුතුව පැවසුවාය.
විජය අයාගත් මුවින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුවණ්ණා තම සහකාරිය කොට ගතකල පසුගිය පස්වසර මුළුල්ලේ ඔහු හොඳහැටි වටහාගත් ඇගේ එක් ගුණාංගයක් වූයේ ඕනෑම කවට බසක් ඉතා බරපතල කරුණක්සේ හැඟීම් විරහිතව එමෙන්ම දෙතොලග මන්දස්මිතියක් හෝ රහිතව තෙපලීමට ඈ තුල වූ නිසර්ග හැකියාවයි.
ඔහුගේ විශ්මයාහව වත දෙස තව දුරටත් හැඟීම් විරහිතව බලා සිටිය නොහැකි බව වටහාගත් කුවණ්ණා තොල් සපාගෙන ඉවතට හැරුණාය.ඇගේ උරහිස් ගැස්සෙන අයුරින් ඇය සිනාසෙන බව වටහාගත් විජය මහත් හඬින් සිනාසුණේය. එසේ සිනාසෙමින්ම ඇය තමා වෙතට ලංකොටගෙන උඩුකය වටා දෑත යවා තරව ග්‍රහණය කොට වැළඳ ගත්තේය.
මෙතෙක් ආයාසයෙන් වළක්වාගෙන හුන් සිනහව මුදාහල හෝ ඔහු හා එක්ව හඬනඟා සිනාසුනාය.
දෙනෙත් කඳුළු පිරී බිහිදොර දෙපස දිලෙන විලක්කු ආලෝකය බොඳව සහසක් ගිණිජාලා ලෙස දර්ශනය වන තෙක් ඔවුහු එකිනෙකා වැලඳ සිනාසුනහ.
කෙමෙන් සිනහ හඬ මැකීගොස් ඔවුහු එකිනෙකාගේ ආලිංගනයෙහිම හිඳ සෙනෙහසේ උණුසුම විඳින්නට වූවෝය.
" කුමරුනි, මාගේ අනතුරු හැඟවීම කවටකමක් ලෙස නොගත මැනව. නිල ශාස්ත්‍රය තවමත් මට අමතක නොමැතිබව සිහිතබා ගනු මැනව. "
කුවණ්ණා ඔහුගේ තුරුළෙහි හිඳ තෙපළුවාය. යලිත් සිනහව අලුත් විය.
ඒ සිනහ හඬ මැකීයන්නාහාම විජය පහත්ව තම දෙතොල් ඇගේ කණට ලංකොට කෙඳිරීය.
" සොඳුර තොපගේ අනතුරු හැඟවීම ක්‍රියාත්මක කරනුවස් අවස්ථාවක් ළබාදීමට මම සූදානම්ය. කිමෙක්ද?..මෙතැනම?...මේ ආසනය මතම? මේ නිල් අහස යට? ඔබම සාත්තු සප්පායම් කොට හැදූ වැඩූ සේපාලිකා මල් සුවඳ රැගත් මඳ නල පහස විඳිමින්ම?...කිමෙක්ද සොඳුර? ....ඔබ ඊට සූදානම්ද? "
කුවණ්ණා යලිදු විළියෙන් රත්ව ගියාය.
මතු සම්බන්ධයි......