Wednesday, June 5, 2013

191. කිරුළ සහ සෙනෙහස ……5






කොපුලෙන් ඇරඹි උණුසුමක් ගෙල පසුකොට ළැම පෙදෙස දක්වා පැතිරයනු දැනුනු කුවණ්ණා වහා ඔහු කෙරෙන් දෙනෙත් ඉවතට ගත්තීය. 

කිමෙක්ද? මා හැසිරෙනුයේ සොළොස් වියැති ළාබාල දැරිවියක ලෙස නොවන්නේද? මම් වනාහී තම්බපණ්ණියෙහි පාලිකාව නොවෙම්ද? නොදැමුණු විදේශික තරුණයකු ඉදිරියේ කුමක් හෙයින් මසිත මෙසේ පසුබාන්නේද? මසිත් කැළඹිල්ල වහා දමනය කොට ගත යුතුය. ඒ පිළිබඳව අංශු මාත්‍රයක්වත් ඔහුට දැනගැනීමට නොතැබිය යුතුය. 

ඇය පළමුව පහත් හඬින් තමාටම තරවටු කොට ගත්තීය. 

යලි තරව පියාගත් දෙනෙතින් යුතුව පෙණහළු පුරා කල ආශ්වාසය යලි සෙමින් ප්‍රශ්වාස කරමින් මද වේලාවක් ගත කොට සිත දමනය කරගත් ඕ ඉක්බිති හිස ඔසවා දෙනෙත් විවර කළාය. 

ඔහු, ඒ නොදැමුණු තරුණයා තවමත් ඈ ඉදිරියේ වැලි තලාව මත දෙදණ නවා හිඳියි.එතෙකුදු වුව උදෑසන දිස්වූ චණ්ඩ, නොඉවසිලිමත් ස්වභාවය වෙනුවට ශාන්ත සහ සන්සුන්වූ ඉරියව්වක් ඔහු වෙතින් පළකෙරෙයි. එසේම දැළි රැවුළු බෑ ඔහුගේ වතෙහි ඇත්තේ චිත්තාකර්ෂණීය කඩවසම් පෙනුමකි. 

ඈ ඔහු ඇමතීමට පෙර හිස එස්වූ ඔහු කථා කලේය.. 

" කුමරියනි..මට අවසරද? " 

" අවසර දීමට පෙර ඔබ අවසර ඉල්ලන්නේ කුමකටද යන්න මා දැනගතයුතු නොවේද? " 

ඔහුගේ මුව පුරා පැතිරගියේ සුන්දර සිනහවකි. 

" එසේය. කමා වුව මැන. මා අවසර පැතූයේ ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කිරීමටය. " 

" එසේ ඉල්ලීමක් කිරීමට ඔබ මා භාවනාවේ යෙදී හමාර වනතෙක් පොරොත්තු වී නම් ඒ වඩාත් මැනවි. කම් නැත, ඔබ දැනටමත් මා අභියස හිඳින බැවින් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කරනු මැන. " 

" උදෑසන තොප හැසිරුණු අයුරු නම් මීට උදක්ම පරස්පර බවද මට කිසිසේත්ම අමතකව නොමැත " යනුවෙන් පැවසීමට ද කුවණ්ණාවන්ගේ සිතට පිවිසි මුත් එවන් ඇණුම් පදයක් තෙපළීම තම හැදියාවට සුදුසු නොවෙන බැව් එකෙණෙහිම පසක් කල ඕ ඒ සිතුවිල්ල යටපත් කොට ගත්තීය. 

" ඔබතුමිය අද උදෑසන අධිකරණ ශාලාවෙහිදී දුන් තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා සිටීමටය මා මෙහි පැමිණියේ……" 

කුවණ්ණා ඔහුදෙස එකෙ එල්ලේ මොහොතක් බලා සිටියාය. ඔහුද උදක්ම ඉතා උනන්දුවෙන් ඈ දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේය. ඔහුගෙ අවංකභාවය ස්වරයෙන් මෙන්ම බැල්මෙන්ද හඳුනාගත් ඕ ඉන්පසු සන්සුන් ස්වරයකින් වදන් හොඳින් තෝරා බේරා ඔහු ඇමතුවාය. 

" මවිසින් දෙනු ලැබූ තීන්දුවක් මවිසින්ම වෙනස් කරනු ලැබීම නොහොබී. ඒ අපගේ ආචාරධර්ම හා සමඟ කිසිසේත් එකඟ නොවන්නකි. අධිකරණ තීන්දුවක් සංශෝධනය කල හැක්කේ ඒ සඳහා ප්‍රමාණවත් පමණ පිළිගත හැකි කරුණු සහ සාධක සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නේ නම් පමණි. ඔබ සතුව එවන් සාධක හෝ සාක්ෂි කිසිවක් තිබේද? " 

ඇය මද සිනහවකින් යුතුව පිළිවිසියාය. 

" නැත කුමරියනි..ඉදිරිපත් කිරීමට එවන් සාක්ෂි කිසිවක් මා සතු නොවේ. " 

ඔහුගේ හඬෙහි රැඳි බලාපොරොත්තු රහිත භාවය කුවණ්ණාගේ සිතට සංවේගයකට ආසන්න හැඟිමක් ගෙන ආවේය. 

" එසේනම් මගේ තීරණය සංශෝධනය කිරීමට කිසිදු හේතුවක් මට නොපෙනෙයි..මට කණගාටුයි.." 

ඇය පැවසූයේ සත්‍යය වශයෙන්ම පසුතැවීමකින් යුක්තවය.උදෑසන ඇගේ දැහැනට බාධාකල නොදැමුණු තරුණයා සහ මේ ඇය ඉදිරිපිට සිටින්නා අතර කොතරම් වෙනස් කමක්ද? ඒසපුරා වෙනස් පුද්ගලයින් දෙදෙනෙකුසේ ඇයට හැඟෙන්නේ කුමක් නිසාද? එසේම ඔහුගෙ එක් බැල්මකින් ඇගේ හදතුල ඉපිදෙන මේ නුහුරු සහ නුපුරුදු හැඟුම් සමුදාය කුමක්ද? කෙසේ හෝ ඒ කැළඹිලි ස්වභාවය, ඒ අවිනිශ්චිත අතීරණාත්මක සවභාවය ඇයට කිසිසේත් රුචි නොවීය. එබැවින් හැඟීම් කෙරෙහි වහල් නොව බුද්ධියට ඉඩ දීමට ඇය දැඩි තීරණයක් ගත්තීය. මොහු සිය පිරිවරද සමඟ අනිවාර්යයෙන් ලංකාද්වීපයෙන් පිටවී යා යුතුය. 

දුනු දිය මුදාහල කල දුනුකඳ සැණෙකින් සෘජුවන්නසේ ඇය එකවරම නැඟී සිටියාය. ඔහු ද ඒ සැණින් නැඟීසිට ඇය දෙසට දෙපියවරක් තබා ඇගේ දෑසට එබුණේය. ඇය එක් පියවරක් පසු පසට ගත්තේ උදෑසන වූ අමිහිරි සිදුවීම යලිදු මතකයට නැඟුනු හෙයිනි. 

" බිය නොවනු මැන. කුමරියනි ඔබට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මා මෙන්ම ඔබද හොඳින් දන්නා බව මට සහතිකයි. " 

වේදනාබර සිනහවක් නඟමින් ඔහු පැවසූයේ සිය සුරතෙහි වැලමිට ප්‍රදේශය වමතින් පිරිමදිමිනි. ඇය කිසිවක් නොබැණ ඔහු දෙස බලා හුන්නාය. 

" කරුණාකර යලි අසුන් ගත මැනව. ඔබට පැවසීමට මට කථාවක් ඇත…... සමාවන්න. " 

ඇය යමක් පැවසීමට උත්සාහ කරනු දුටු ඔහු සුරත ඔසවා ඈ වැළකීය. 

" සමාවන්න කුමරියනි. මම ඔබෙන් ඉල්ලාසිටිනුයේ මෙපමණයි. මාපවසන්නට යෙදෙන කථාවට පලමුව සවන් දෙනු මැනව. ඉන් අනතුරුව ඔබ රුචි වූ ඕනෑම තීරණයකට එළඹෙනු මැනව. " 

කුවණ්ණා නැවත තල් රුක සෙවණෙහි අසුන් ගත්තීය. ඔහුද සත් පියවරකට පමණ එපිට අසුන් ගත්තේ ඈ දෙස දෙනෙත් දල්වා බලා සිටියේය. 

" ඔබට අවසරයි……" 

ඇය එසේ පවසමින් කථාව අරඹන මෙන් සුරතින් සංඥාවක්ද කලාය. 

" මේ කතාව පටන් ගන්නෙ අවුරුදු හතළිහකට පෙර.දඹදිව ඊසාන දිගින් පිහිටි වංග දේශයේ රජතුමාට දූ කුමරියක් උපන්නා. ඇය ඉතා රූමත් සේම හිතුවක්කාර කිසිවකුගේ බසට නොනැමෙන යුවතියක්. ඇගේ නම සුප්පා……" 

" ඇය වැඩිවියට පැමිණෙද්දි ඇගේ පියා ඇය දැඩි ආරක්ෂාව මධ්‍යයේ තැබුවෙත් ඇගේ මේ හිතුවක්කාර දැඩි මානසික ස්වභාවය හොඳින් දන්නා නිසාමයි. ඒත් සැමගේ ඇස් වසා ඇය මාළිගයෙන් පිටවී ප්‍රාන්ත අතර වෙළඳාමේ යෙදෙන ගැල් කණ්ඩායමකට එක් වූවා.ඔවුන් හා සමඟ ඝන වනාන්තරයක් මධ්‍යයෙන් ගමන් කරද්දී මං පහරන්නන් කණ්ඩායමකගේ ප්‍රහාරයකට ඔවුන් ගොදුරු වූවා. ඒ ප්‍රහාරය මධ්‍යයේ ගැල් කණ්ඩායමේ හුන් වෙළෙඳුන් හිස් ලූ ලූ අත පළා යද්දී සුප්පාවන් මං පහරන්නන්ගේ අත් අඩංගුවට පත් වූවා...." 

" මං පහරන සොර මුලේ නායකයා ඉතා හැඩි දැඩි ආරෝහ පරිණාහ දේහධාරී පුද්ගලයෙක්.අසීමිත කාය ශක්තියකින් හෙබි එමෙන්ම ඉතා නිර්භීත පුරුෂයෙකු වූ ඔහු එනිසාම ප්‍රසිද්ධ වූයේ සිංහ යන නමින්. සුප්පාගේ අසාමාන්‍ය රූප ලාවන්‍යය නිසාම ඇය කෙරෙහි වශී වූ ඔහු ඇය තම බිරිඳ කොට ගත්තා…." 

" කලක් ගත වූ පසු ඔවුන්ට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණා. පිරිමි දරුවකු සහ ගැහැණු දරුවකු. ඔවුන් වැඩිවිය පැමිණි පසු මෑණියන්ගෙන් විමසූවා තමන් මේ වනයේ ගෙවන ජීවිතය පිළිබඳව.සුප්පා පළමුව ඒ තොරතුරු පැවසීමට මැළි වූවා. ඇය දැනසිටියා ඇගේ අතීතය පිළිබඳව දැනගත් විගස පුත්‍රයා පියාගෙන් මිදී මිනිස් වාසයකට පළායමු යයි බලකරන බව. එහෙත් ඔහුගේ දැඩි ඉල්ලීම හමුයේ ඇයට තව දුරටත් මුණිවත් රැකිය නොහැකි වූවා. " 

මෙතෙක් හිස බිමට හරවා කතාව පවසමින් සිටි ඔහු එක් වරම හිස එසවීය. 

" කුමරියනි මාගේ කතාව අසා සිටීම ඔබට නීරස යයි හැඟෙන්නේනම් වහා පවසනු මැන. මම කතාව නතර කරන්නෙමි. " 

" නැත, නැත...මෙවන් කතාවක් කෙළෙසක නීරස වන්නේද?...එසේම එය සත්‍ය වශයෙන්ම සිදුවූවක් වන විට...කතාව අවසන් වන්නේ කෙළෙසකද දැනගනු රිසියෙන් මසිත කුතුහලයෙන් පිරී ඇත්තේය. කරුණාකර කතාව අවසන් කරනු මැන…" 

ඇය ඔහු දෙස බලා සිනාසුනාය. 

" ස්තූතියි කුමරියනි...මගේ කතාව අවසානයට ඉතාම ආසන්නයි...අවසානයේ ඇගේ අතීතය පිළිබඳව සත්‍යය වශයෙන්ම ඇය රජ කුමරියක් බව දරුවන් දෙදෙනාට හෙළිකිරීමට ඇයට සිදුවූවා.ඇය උපකල්පනය කල අයුරින්ම වනයෙන් පිටවී මිනිස් වාසයක් බලා යමුයයි පුත්‍රයා නිතරම ඇවිටිලි කරන්නට වූවා. ඒ අනුව අවසානයේදී තම සැමියා කෙරෙහිවූ සෙනෙහස දාරක ප්‍රේමය වෙනුවෙන් යටපත් කොටගෙන ඈ එක් දිනක සැමියා දින කිහිපහකට තම කණ්ඩායම හා සමඟ බැහැරව ගිය පසු ගල්ලෙනෙන් පිටවී මිනිස් වාසයකට සැපත් වූවා. " 

ඔහු කතාව නවතා මොහොතක් හිස ඔසවා ඈත ක්ෂිතිජයේ ගිලීයන හිරු දෙස බලා සිටියේය. අවසානය දැනගනුවස් නොඉවසිලිවත්වූ නමුදු ඇය නිසොල්මන්ව ඔහුට ඉඩදී පහතට නැඹුරුකොටගත් හිසින් යුතුව පොරොත්තු වූවාය. 

" බිරිඳ සහ දරුවන්ගේ වියෝව දරාගත නොහැකිවූ සිංහ වියරු වැටුනා. ඔහු තම සගයින් හා එක්ව වනය ආසන්නයේ වූ ගම් දනව් වනසන්නට වූවා.සුප්පා සහ දරුවන් දෙදෙනාහට මෙහිදී මුහුණ දීමට සිදු වූයේ උභතෝකෝටික ගැටලුවකට. තම පියා මෙසේ සාහසික ලෙස හැසිරෙනුයේ තමන් ඔහු හැරදමා ඒම හේතුකොට ගෙනයි. එබැවින් ඔහු සිදුකරන අපරාධ වලට තමන් ද අනියම් ලෙස වගකිවයුතු බව පුත්‍රයා එකහෙලාම පැවසූවා. එබැවින් හැකි විගස පියා හමුවන්නට ගොස් ඔහුට කරුණු කාරණා පහදා දී මේ අපරාධ නතර කරවීමට තමන් කටයුතු කල යුතු බවද ඔහුගේ අදහස වූවා." 

" මෑණියනි..ඔබට නොවැටහෙන්නේද?...පියාණන් වියරු වැටී ඇත්තේ අප ඔහු හැරදා පැමිණි නිසාමය. එබැවින් කෝපයෙන් වියරු වැටී ඔහු සිදු කරනා මේ සියලු නොපණත්කම් වෙනුවෙන් අපද වගකිවයුතු බව ඔබට නොවැටහෙන්නේද? වහා ඔහු හමුවට ගොස් කරුණු පහදා දී මේ විනාශය නතර කරලීමට මා මොහොතක් හෝ පමා විය යුතු නොවේ. පුත්‍රයා මෑණියන්ගේ දෙපා අසල හිඳ මෙසේ ඉල්ලා සිටියේ ඇගේ ඇකයේ හිස තබාගත් වනමය. දියණිය ඒ අසල කඳුළු පිරි දෙනෙතින් බලා සිටියාය. " 

සුප්පාවන් දැඩි සංවේගප්‍රාප්ත දෙනෙතින් යුතුව සිය ඇකය මත වූ පුතුගේ හිසසෙමින් පිරිමදිමින් කථා කලාය. 

" දනිමි පුත ඔබ පවසන්න පරම සත්‍යය බව ඉඳුරාම දන්නෙමි. එහෙත් ඔබගේ පියාණන්ගෙ ගතිගුණ ස්වභාවය ඔබ හොඳින් දන්න බවට මට සැක නැත. ඔහු වනාහී ඉතාම අත්තනෝමතික, තම මතය කිසිසේත් වෙනස් නොකරන සුළු රළු එමෙන්ම ප්‍රචණ්ඩ පුද්ගලයෙකි. ඔහුට කිසිවක් පැහැදිලි කරදීමට උත්සාහ කිරීම පවා කිරිසයුර කළඹා අමාව මතුකරගැන්මට උත්සාහ කිරීමටද වඩා අසීරුය. ඔබ ඔහු වැළක්වීමට ඔහු හමුවට යාමේ ඒකාන්ත ප්‍රතිපලය මම දනිමි. එසේ හෙයින්මය මම ඔබ වැළැක්වීමට මේසා උත්සාහ කරනුයේ. " 

" ඔබ පවසන්න මට මනාව වැටහේ මෑණියනි එහෙත් පොදු සුබ සිද්ධිය උදෙසා තමන් අතින් සිදුවිය යුත්ත කොපමණ අප්‍රසන්න වුවද එසේම කොපමණ සිත් රිදවනුසුළු වුවද අකමැත්තෙන් වුවද ඒ කළයුතුමයි යන්න මට ඉගැන්වූයේද ඔබ බව ඔබට අමතකද මෑණියනි? " 

" නැත..මට ඒ කිසිසේත් අමතකව නැත.එසේය...දෛවය අනුව විය යුත්ත එලෙසම සිදුවිය යුතුය. ඔබට හෝ මට ඒ වැළැක්විය හැක. එහෙත් පියාණන් හමුවීමට යනු පිණිස ඔබට මගේ ආශිර්වාදය හෝ අවසර හිමි නොවෙන බව පමණක් පවසමි. " 

" මෑණියන්ගේ අවසර නොළබාම පුත්‍රයා පසුදින පියා හමුවට ගියා. එහිදී ඔවුන් අතර දැඩි මත භේදයක් හටගෙන එය පිය පුතු අතර සටනක් දක්වා දුර දිග ගියා. ඔහුගේ නොපනත්කම් නවත්වන ලෙස පුත්‍රයා කල ඉල්ලීමට පියානන්ගේ එකම පිළිතුර වූයේ එසේ කිරීමට නම් තම බිරිඳ සහ දියණිය හෝ තමා වෙතට පැමිණිය යුතු බවයි.පුත මම ඔබට කිසිදු බලපෑමක් නොකරමි. ඔබ ඔබට අවශ්‍ය පරිදි ජීවිතය ගෙන යන්න. එහෙත් ඔබේ මෑණියන් එනම් මගේ බිරිඳ සහ ඔබේ සොයුරිය එනම් මගේ දියණිය මවෙත පැමිණිය යුතුමයි. එතෙක් මම මාගේ මේ ක්‍රියාකාරකම් ඔබ පවසන පරිදි නොපණත්කම් කිසිවක් නතර නොකරමි. " 

" අවසානයේ ඇතිවූ ද්වන්දව සටනින් පුත්‍රයා අතින් පියා මරාදමනු ලැබුවා. ඉන්පසු තම මෑණියන් සහ සොයුරිය හා සමඟ ඔහු නව රාජ්‍යයක් බිහිකොට එහි රජු ලෙස කිරුළු පැළැන්දා.තම සොයුරිය හා සමඟ විවාහ වූ ඔවුන්ට දරුවන් බොහෝ ගණනක් ලැබුණා. ඔහු ඉතාම ධාර්මික ලෙස බොහෝ කාලයක් රාජ්‍යය පාලනය කලා. " 

ඔහු කතාව නවත්වා යලි ඈත සමුදුර දෙස බලා සිටින්නට විය. මුදුදෙහි අඩක් ගිලුනු රත් පැහැ හිරු මඬල පසුබිම් කොටගෙන හී තුඩක ආකාරයට සැදී පියඹාගිය මුහුදු ලිහිණීහු කණ්ඩායමක් දකුණු දිග කලපුව ඔබ්බෙහි පිහිටි හිරිගල් පර ඉහළින් අතුරුදන් වූහ. 

ඔවුන් නොපෙනෙන තෙක් ඒ දෙසබලා සිටි කුවණ්ණා යලි ඔහු දෙස හැරුණාය. 

" ඉතින් ඉන්පසු?......." 

තව දුරටත් ඉවසා සිටිය නොහැකිවූ ඇය ඇසුවාය. 

" ඔවුන් දෙදෙනා සිංහබාහු සහ සිංහසීවලී. ඔවුන්ගේ රාජධානිය සිංහපුරය…" 

ඔහු මෙවර කතාව ඇරඹූයේ ඈත මුහුද දෙස දෙනෙත් යොමුකොටගත්වනමය. 

" ඔවුන්ගේ වැඩිමලු පුත්‍රයා කුඩා කල සිටම දඩබ්බරයෙක්.මිත්තණියගේ දඩබ්බරකම්, මුත්තණුවන්ගේ සැර පරුෂභාවය සහ අත්තනෝමතික කම, එමෙන්ම පියාණන් ගේ දැඩි අධිෂ්ඨානයද අඩුවක් නැතුව ඔහු තුල පිහිටීම මේ අසාමාන්‍ය සංකූලතාවයට හේතුවිණියැයි උපකල්පනය කල හැකිය. ඒ කෙසේ වුවද ඔහු කුඩා කල පටන්ම කලහකාරී වහා කිපෙනසුළු පුද්ගලයෙක් බව නම් සැබවි. " 

" යොවුන් වියට පැමිණෙත්ම ඔහුගේ දඩබ්බරකම් තවත් ඉවසිය නොහැකි මට්ටමට ඉහළ ගිය කල්හි රජු ඔහු සහ සඟයින් සත්සියයක් නැවක නංවා රටින් පිටුවාහල් කලා…" 

කුවණ්ණා සුරත ඔසවා ඔහු නිහඬ කළාය. 

" ඔහුගේ නම කුමක්ද?......" 

" ඔහුගේ නම … " 

ඔහු ඈ දෙස යලි එක එල්ලේ මොහොතක් බලා සිටියේය 

" ඔහුගේ නම විජය......." 

" ඔබගේ ඉල්ලීම යලිත් වරක් පවසනු මැන.. " 

" ඔබ තුමිය විසින් කල පිටුවාහල් නියෝගය අවලංගු කරනු මැන...." 

" කුමරුණි, …" 

කුවණ්ණා මුල් වරට කුමරුණි යනුවෙන් ඔහු ඇමතුවාය. විජය සහසක් බලාපොරොත්තු රැඳි දෑස ඇය වෙත යොමුකලේය. 

" මවිසින් නිකුත් කල නියෝගයක් මවිසින්ම යලි නිෂ්ප්‍රභ කරනු නොහොබී. එහෙත් කුමරුණි, මම ඔබට එක් අවස්ථාවක් දෙන්නෙමි.මගේ තීරණයකට විරුද්ධව මපියාණන් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක. හෙට උදෑසන අධිකරණ ශාලාව වෙත ඉදිරිපත්ව එසේ කරනු මැන. මපියාණෝ මේ දිනවල ලංකාද්වීපයෙහි අගනුවර වන සිරීසවත්ථු පුරය වෙත රාජකාරී කටයුතු උදෙසා ගොස් සිටිති. ඔහු ආපසු පැමිණෙන්නට අවම වශයෙන් තවත් දින දහයක් වත් ගතවනු ඇත. එතෙක් ඔබට තම්බපන්ණියෙහි රැඳී සිටීමට අවසර ලැබෙනු ඇත. " 

" ස්තූතියි කුමරියනි...." 

කුවණ්ණා නැඟීසිටියාය.යලි ප්‍රාසාදය වෙත යනු පිණිස එදෙස හැරුනු ඇය ඔහු ඈ අමතනු ඇසුණු හෙයින් එතැනම නැවතී ආපසු ඔහු දෙසට හැරුණාය. 

" කුමරියනි...විජය ඔහුගේ මිත්තණිය, මුත්තණුවන්ගේ සහ පියාණන්ගේ නොදැමුණු, හිතුවක්කාර ගතිගුණ උරුම කොට ගත්තා සේම ඔහුගේ මෑණියන්වන සිංහ සීවලීගෙන් ආදරය සෙනෙහස සහ දයාර්ද්‍ර භාවය ද බොහෝ සෙයින් උරුම කොටගෙන ඇත.මෙතෙක් චණ්ඩ වූ මතුපිටින් සැඟවී තිබුණු ඒ සදාදරණීය හැඟුම් මේ වන විට ඔහුගේ සිතෙහි පොදිකමින් ඔහුගේ හැඟුම් ආලෝලනය කරන්නීය. " 

කිසිවක් පවසාගත නොහුණු කුවණ්ණා විස්මයපත් දෑසින් විජය දෙස බලා හුන්නාය. 


මතු සම්බන්ධයි...... 

16 comments:

  1. අම්මෝ විජය දාල තියෙන මායම් ටික කුවේණිව අල්ල ගන්න ..අසරණි අහු වුනානේ .අද කවුරුත් කමෙන්ට් කරලා නැහැ නේ තාම

    ReplyDelete
  2. අනේ අසරණී..අහු උනා ගැටේට.. බලන් යනකොට කොය් කාලෙත් කොල්ලො එකය් නේ.. :)

    ReplyDelete
    Replies
    1. බින්දි සහ මෙකුවි,

      අම්මප මේ ඉස්තිරියාවො හිතන්නෙම ඔහොමනෙ...පිරිමි තමයි මායං දාන්නෙ,ගැට ගහන්නෙ..ඔය රටේ නැති එව්ව ඔක්කොම...බොල බබාල...හරහට වඩාගන්ට පුළුවන් සයිස් ළඳ බොලඳ සුකුමාල ලාමක ටිං ටිංල...හෙහ්, හෙහ්, මොනවටද ඉතිං මම කියන්නෙ?

      ඇයි බොලව්..පිරිමින්ට කියල හටගන්නෙ නැද්ද සංකල්පනා, සදාදර සිතුවිලි, ආ..දර හැඟුම්...ආ..දර..හැඟුම්.......ආ..ආ..ආ...ද..ර....හැ...ඟු..ම්..ම්...ම්...ම්

      Delete
    2. //ඇයි බොලව්..පිරිමින්ට කියල හටගන්නෙ නැද්ද සංකල්පනා, සදාදර සිතුවිලි// ඔව්වා ඔක්කොම හිමි කරගත්තම අමතක වෙන එකනෙ අය්යෙ අවුල..

      Delete
  3. අපූරුයි ඈ.. ඔබ අපූරුවට අවස්තා සම්බන්දයන් මේ කතාවට ගලපනවා..

    ඇත්තටම ඇයි ඔය අයියයි, නංගියි කසාද බැන්දෙ ? උන්ට වෙන කාවවත් හොයා ගන්නම බැරි වුනාද ?

    මේ වගේ ගොන් බූරු කතාවක් සිංහල ජාතියේ ආරම්භය හැටියට ගොතන්න ඇත්තටම මහානාම හාමුදුරුවන්ට පිස්සුවක්වත් හැදිලා තිබුනද මංදා !! ඔය මහා වංශෙ මුල් පිටු ටික ඩිලීට් කරලා බැරි වෙයිද රවී අයියගෙ කතාව එතෙන්ට ඔබා ගන්න.. :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / ඇත්තටම ඇයි ඔය අයියයි, නංගියි කසාද බැන්දෙ ? උන්ට වෙන කාවවත් හොයා ගන්නම බැරි වුනාද ? /

      දැං මෙතන වෙන්න ඇත්තෙ මේකයි...විජය ගොයිය සිංහලයිංගෙ මූලාරම්බකය හැටියට එක හෙලා පෙන්නල ඔප්පු කරන්ටයි මහානාම හාංදුරුවංට ඕන වෙන්ට ඇත්තෙ.එතකොට විජය ගොයිය සිංහයෙක්ගෙං කෙලින්ම පැවත එන Pure bred lionized විරෝදාර පුරුසයෙක්ය කියල කියන්ට තියන එකම ක්‍රමය තමයි අම්ම තාත්ත දෙන්නම සිංහයගෙ දරුවොය කියල කියන එක. එහෙම නැත්තං සිංහයගෙං පැවතෙන්නෙ විජයගෙ බාගයයිනෙ. That means not pure bred but a half breed...heh, heh

      සිංහ බාහු ගොයිය වෙන ඉස්තිරියාවක් සහේට ගත්තනං වෙන්නෙ ඒකයි. ඒ අක්‍රමිකතාව වලක්වන්නයි අපෙ මහානාම හාංදුරුවංට ඕන උනේ. ඒක වළක්වල සිංහබාහුයි, සිංහ සීවලීයි දෙන්න දණ්ඩ නීති සංග්‍රහයෙ යටතෙ බරපතල වරදක් වන ව්‍යාභිචාරයෙ ( incest ) යෙදුනත් අවුලක් නැහැ කියලයි එතුමා හිතන්න ඇත්තෙ.

      සමහරවිට සතෙක්ගෙ පුතෙකුට තමංගෙ දුවෙක් සහේට දෙන්ට කිසිම අම්මෙක් අප්පෙක් අකමැති උනා වෙන්ටත් පුළුවනි...

      / මේ වගේ ගොන් බූරු කතාවක් සිංහල ජාතියේ ආරම්භය හැටියට ගොතන්න ඇත්තටම මහානාම හාමුදුරුවන්ට පිස්සුවක්වත් හැදිලා තිබුනද මංදා !! /

      හාංදුරුවො කියන ජාතිය එහෙම තමයි බං...බොහොම පටු විදිහට තමයි හිතන්නෙ අවුරුදු එක්දාස් පන්සීයක් ගිහිල්ලත් අද උනත් බලාපං ඒ හැටි වෙනසක් වෙලාද කියල?....හෙහ්, හෙහ්,

      කොටිම්ම වෙන මොකවත් ඕන නෑ. අපෙ ජාතියෙ මුල් පරම්පරා තුනම ආය් කිසි කතාවක් නෑ බරපතල වැඩ ඇතුව අවුරුදු පහළවකට වැලිකඩ කූඩු කරන්ට පුළුවන් ජාතියෙ දරුණු අපරාදකාරයො. ඔන්න බලාපං අර අපෙ මුත්තම්ම ..සුප්පා...

      කාලිංග රජුගේ දියණිය වන සුප්පා දේවිය නම්වන යුෂ්මතිය ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 23. 1 ඇ වගන්තිය යටතට ගැනෙන සාපරාධී වරදක් සිදුකොට ඇති බැවින් එනම් සත්වයකු සමඟ ලිංගිකව හැසිරී ඇති බැවින් ඔබට බරපතල වැඩ සහිතව වසර පහලවක සිර දඬුවම් නියම කරමි. ඒ සමඟම සත්ව හිංසාව යන චෝදනාව යටතේ එක් වරම ගෙවීයන පරිදි වසර පහක සිර දඬුවමක් නියම කරමි.

      හරි අපෙ මිත්තණිය අවුරුදු පහලවකට මහ උළු ගෙදර...

      ඊට පස් සෙ ඊළඟ මුත්තයි මුත්තියි..

      සිංහ බාහු සහ සිංහ සීවලී යන යුෂ්මතුන් දෙදෙන දණ්ඩ නීති සංග්‍රහයේ 32. 2 .එ. වගන්තිය යටතේ සාපරාධී වරදක් සිදුකොට ඇති බැවින් එනම් ව්‍යාභිචාරයේ( Incest ) යෙදී ඇති බැවින් ඔබ දෙදෙනාට වසර පහළවක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් මෙයින් නියම කරමි.

      රයිට් උන් දෙන්නත් ඇතුලෙ....

      ඊට පස්සෙ විජය...මිනිහට තියන චෝදනා නම් ඒ හැටි බරපතල නෑ..මංකොල්ල කෑම, අයුතු ලෙස රාශිගතවී මිනිසුන්ට තලාපෙලා හිරිහැරකිරීම..අන්තිමටම තමන්ගෙ භාර්යාව සහ දරුවන් දෙදෙනා නිර්දය ලෙස අත්හැර දමා ඔවුන් පළවා හැරීම..කොහොමද?...නරකම නෑ නෙවද?....අපෙ තෝම්බුව..අපෙ පැටිකිරිය මල් හතයි පහන් දාහතරයි..හඳුංකූරු විසි අටයි නේද?..

      මට වෙලාවකට හිතෙනව සෙන්නො මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ සහ ඇන්.ජී.ඕ, ඩොලර් කාක්කන්ගෙ කුමන්තරණයක්ද කියලත්.. මහානාම හාමුදුරුවො ඒ වගෙ සිංහල ජාතියට අපහාස කිරීමේ මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නොදැනුවත්වමන බළල් අතක් උනා වෙන්ටත් බැරිද? නෑ..මම මේ නිකමට අහන්නෙ....Truth is stranger than fiction කියලත් කියනවනෙ...හෙහ්, හෙහ්,

      / ඔය මහා වංශෙ මුල් පිටු ටික ඩිලීට් කරලා බැරි වෙයිද රවී අයියගෙ කතාව එතෙන්ට ඔබා ගන්න.. :D /

      ආය මොනවටද මුල් පිටු ටික විතරක්?...ඉඳපංකො නිවාඩුව ලියන්ට ඕන මහාවංසෙ මුල ඉඳලම...

      Delete
    2. උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් කියන්න පුළුවන් හැකියාවනම් අපූරුයි ඈ.. මට හිතෙන්නෙ ඕකෙ තියෙන ඔක්කොම දඩුවම් විඳලා තියනවද කොහෙද.. හැක් හැක්.. :D

      අනිවා මේක බටහිර කුමන්ත්‍රණයක්.. අපේ ජාතිය හෑල්ලු කරන්න අටවපු උගුලක්.. අපිව මේ උගුලෙන් ගලව ගන්න පුලුවන් එකම ජගතා උඹ විතරමයි අයියේ, උඹ විතරමයි...

      කිව්වට මොකෝ ඔය කමෙන්ට් එක දාලා තත්පර තුනක් යන්න කලින් මටත් හිතුනනෙ මූ මුල් පිටු නෙමේ ඔහොම ගිහින් මුලු මාහාවංශෙම ලියයිද දන්නෑ කියලා.. :D :D

      එහෙනම් ඉතින් ඔහොම ලියාගෙන යමු...

      Delete
    3. සෙන්නා,

      / උබැහෙට මේ දණ්ඩ නීති සංග්‍රහය කටපාඩමින් කියන්න පුළුවන් හැකියාවනම් අපූරුයි ඈ.. /

      අනේ බාං ඔය නීතිය ඉගෙන ගන්නවයි කියන එක ඒ හැටි කෙළියක් නෙවෙයි බං ..ඔය අපෙ පෙරකදෝරු නෝනල මහත්තුරු හිතාගෙන ඉන්නෙ ඕක මාර සිරා වැඩක්ය..අපිටම තමයිය පුලුවන්ය..අරකද මේකද කියලනෙ..බම්බුව තමයි..

      මතකෙයි අපෙ අර හිටපු ජනාදිපති තුමෙකුත් එක පාරක් කිව්වෙ…

      " නීතිය ඉගෙන ගන්න එකේ ඇති කෙහෙල්මලක් නෑ. අපෙ ගෙදර තිබ්බෙ අලුත්කඩේ උසාවියෙ පිටිපස්සෙ තාප්පෙට අල්ලල. උසාවියෙං විසික්කරන පරණ නඩු වාර්තා එහෙම වැටෙන්නෙ අපෙ පිළිකන්නට. මම පොඩි කලෙ ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල පිලේ ඉඳගෙන ඔය පොත් එකක් නෑර බලනව. අන්න එහෙමයි මම නීතිය ඉගෙන ගත්තෙ. අද උනත් මට පුලුවන් ඔය ඕනම උගත් පෙරකදෝරුවෙක් එක්ක කතා කරල නඩුවක් දිනන්ට.."

      ආන්න තේරුණාද? ආය මොනවද ඉතිං?..ජනාදිපති තුමෙක් එහෙම කිව්වම ඊට වඩා දෙයක් තියද ආයෙ?

      Delete
    4. හිනා වෙලා පන යනවනේ මේ කතා වලට . සෙන්නෝ මේ දණ්ඩ නීති අපි නීති පොත් පෙරලලා බලන්න යනවයි. මුන්දට කටට එන එකක් ඔය කියනව ඇත්තේ .

      මහා වන්ශේ අලුතින් ලියයි වගේ තමා මේ යන විදිහට ..

      අම්මපා මටත් ඔය අපේ උත්පත්ති කතාව නම් අල්ලන්නේ නැහැ . හැබැයි ඔය බෙන්ගාලි කාරයොයි අපියි අතර හරි හරි සමානකම් තියෙනව . ඔය ඉන්දියාවේ හින්දුන් නිර්මාන්ශයිනේ . හැබැයි බෙන්ගාලේ පැත්තේ අයට විශේෂ වාරයක් දීලා තියේලු මාළු කන්න . ඒගොල්ල කියන්නේ ෆිෂ් ඉටින්ග් බ්රාහ්මින් කියල .අපිත් එහෙමනේ නැද්ද .

      Delete
    5. බින්දි,

      විශ්වයේ හරි මැද තියෙන්නෙ කොහෙද දන්නවද?....අමරිකාවෙ අයිඩහෝ ප්‍රාන්තයෙ වොලස් කියන නගරයෙ මංසන්ධියක් මැද තියෙන පල්දෝරු මනු බිලක ආවරණය ( Sewerage man-hole cover ) තමයි ඔන්න තැන. ...හෙහ්, හෙහ්,

      අරුණි නෝන මහත්තැං මේ ලඟදි ලියාපු සංචාරක ලිපිපෙල කියවද්දි ඒ ගැන දැනගත්තෙ...

      Delete
  4. මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.. ලස්සනයි රවී.... ලස්සනට කතාව ගලාගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. සඳා,

      ස්තූතියි සඳා...බොහොම ස්තූතියි..:)

      Delete
  5. niyama katawa. ekmanata anith tikath denna sahooo :D :D

    ReplyDelete
    Replies
    1. Thanks ano...හැකි ඉක්මනින් දාන්නම් ..:)

      Delete
  6. අපි ඉතිං වැඩ අස්සෙ ඇවිල්ල ඉක්මනින් කියවලා මාරු වෙනවා මේ දවස් වල...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර..එහෙම තමයි නැද්ද?....බ්ලොග් කියෙව්වයි කමෙන්ට් දැම්මයි කියල බඩ පිරෙනව කියලයි..නැද්ද?...අපි හැමෝම බඩ ගෝස්තරේ හරි කරගන්න ගමන්ම තමයි මේ ඔක්කොම කොරන්නෙ...ස්තූතියි ආයෙමත්..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...