Thursday, June 20, 2013

195. කිරුළ සහ සෙනෙහස ……7







කුවණ්ණාගේ සිත එක්වරම පිරවූයේ එකිනෙකට හාත්පසින්ම වෙනස් හැඟුම් දහරාවන් දෙකකිනි. 

" කුමරියනි,මා සිත තුල ඔබ කෙරෙහි පැන නැඟී ඇති අපරිමිත සෙනෙහස ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවක් කොට ගනිමි, ඊට මට අවසරද? " 

ඔහු මෙසේ පැවසූයේනම් මම කුමන පිළිතුරක් දෙන්නෙම්ද?...ඇගේ සිත අර්ධයක් ඔහු මුවින් එබස් නික්මෙනු ඇසීමට පුල පුලා සිටිනාතුර අනෙක් අර්ධය ඔහු එවැන්නක් විමසාවිදැයි භීතියෙන් සලිත වනු සත්‍ය‍ය වශයෙන්ම පරස්පරයක් නොවන්නේද?..එහෙත් මා විශ්වාස කරනු මැන මා ප්‍රිය සහෘදය / සහෘදිනිය., මා ඒ විස්තර කලේ සත්‍යය වශයෙන්ම ඒ උක්ත මොහොතේ කුවණ්ණාවන්ගේ සිතෙහි පැන නැඟ එකිනෙකා හා ගැටුණු හැඟුම් දෙවර්ගයයි. 

හැඟුම් සහසක් කැළඹෙනා තම සිත ආයාසයෙන් මැඩගනිමින් විළියෙන් රත්වන්වූ වත ඔහු කෙරෙන් ඉවතට හරවාගැන්මට අසාර්ථක උත්සාහයක යෙදෙමින් කුවණ්ණා මෙළෙස පිළිවදන් දුන්නීය. 

" එසේය...කු...කුමරුනි....ඔ...ඔබට අවසරයි….." 

ඇගේ සිතතුල වු චංචල භාවය ඔහුට වැටහිණිනම් ඔහු හඬ අවදිකලේ ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් ඇයට දැනගැන්මට ඉඩක් නොතබමිනි. 

" කුමරියනි, තම්බපණ්ණිය බදු අයකිර්‍රිමෙන් සපුරා තොරවූ නිදහස් නැව් තොටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මැනවැයි මගේ අදහසයි. ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනගනු රිසියෙමි. " 

දෑස් විදහාගත්වන ඔහු දෙස බලාසිටින්නටවූ කුවණ්ණාගේ සිතතුල පළමුව හටගත්තේ බලාපොරොත්තු කඩවීමක සෙවණැලිය. ඒ හා සමඟම යම් පමණකට සහනයකට හුරු හැඟීමක්ද ඒ හා සමඟම පසුපස හඹාආ බවද නොරහසකි.එහෙත් ඒ සමඟම ඇගේ සිතට පිවිසුනේ නුරුස්නා හැඟීමකි.මොහු වනාහී තම්බපණ්ණි අධිකරණයෙන් දඬුවම් ලෙස ලංකාද්වීපයෙන් පිටුවහල් කිරීමට නියමව සිටින්නෙකි. පියාණන්ගේ අවසන් තීරණය මත ඔහුගේ ඉරණම උදක්ම රැඳී පවතින්නේය. පියාණන්ගෙ තීරණය ඇගේ උපදෙස් මත රැඳී පවතින්නේය යන්න පරිබාහිර කාරණයකි. ඒ කෙසේ වුවද ඔහු තවමත් දඬුවම් නියමව සිටින්නෙකි. එවැන්නෙකුට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පාලිකාව හා සමඟ සාකච්ඡා කිරීමට තරම්වූ ධෛර්යයක් පහළවූයේ කෙසේද? වහාම ඔහුගේ ස්ථානය ඔහුට මතක් කරදීම කළ යුතුයි. 

එහෙත් එවන් කටුක වදන් පෙළක් මුවින් නික්මීමට පළමු ඇය මඳක් වෙළෙවි වූවාය.ඔහු පළකල අදහස එක් වරම ඉවත දැමිය යුත්තක් නම් නොවේමය. තම්බපණ්ණිය බදු රහිත නැව්තොටක්සේ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පියාණන් හා ඈ අතර බොහෝ සාකච්ඡා සහ වාද විවාද අපමණ සන්ධ්‍යා සමයන්හි මේ ආලින්දයේදීම කැකුණ තෙල් විලක්කු ආලෝකය මධ්‍යයේ සිදුවී ඇත.එහෙත් ඒ කිසිදු විටෙක වාසුගීගේ සිත ඒ කෙරෙහි නම්මා ගැන්මට එවන් ක්‍රියා මාර්ගයකින් දෙතුන් ගුණයකින් වර්ධනය කොට ගත හැකි ආදායම පිළිබඳව ඔහුට ඒත්තු ගැන්වීමට සමත් වූයේ ඇය නොවේ. 

අවසන ඇය ඔහු ඇමතූයේ වෙසෙසින් පාලනය කොටගත් සන්සුන් ස්වරයකිනි. 

" කුමරුණි, ඔබ එසේ පවසනුයේ කුමක් නිසාද? තීරු බදු ආදායම් අහිමි වීමෙන් අනර්ථයක්ම සිදුවන බවයි මගේ අදහස.." 

තම අදහස් සඟවාපියා ඇය එසේ පැවසූයේ ඒ පිළිබඳව ඔහුගේ අදහස් දැන ගැන්මේ රිසියෙනි. 

" කුමරියනි..අසනු මැන...තීරු බදු ආදායම අහිමිවී යා හැක. එහෙත් තම්බපණ්ණිය යනු තම වෙළඳ භාණ්ඩ, තමන් ස්වකීය ධනය වැයකොට මිලදීගත් හෝ නිපදවූ වෙළඳ භාණ්ඩ ගැණුම්කරුවෙකුට විකුණා ලාභයක් ලැබීම වෙනුවෙන් තුන්වැන්නෙකුට නිකරුණේ යම් මුදලක් ගෙවියයුතු ස්ථානයක් නොවන බව ඈත පෙරදිග සීන දේශයේ සිට අපරදිග යවන දේශය දක්වා දනන් තුඩ තුඩ පැතිරුණු කල්හි ඔවුන් සැමදෙන තම වෙළඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය වශයෙන් ඉතාම සුදුසු වන්නේ තම්බපණ්ණිය බව තීරණයකොට මෙහි පැමිණෙනවාට මට කිසිදු සැකයක් නැති. එවිට වෙළඳාමෙන් ඔවුන් ලබනා ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් ඔවුහු මෙහිදී තම සුඛ විහරණය උදෙසා වියදම් කරනු ඇත. මම ඒ පිළිබඳව හොඳින්ම දනිමි. සති තුන හතරක් මහ සමුදුරෙහි ගත කරන වෙළෙඳුන් සහ නැවියන් නැව්තොටකට පැමිණෙනුයේ දෙව්ලොවකට පා තැබුවාක් මෙන් ආහ්ලාදයකින් යුක්තවය. " 

" ඒ ඔබගේ පෞද්ගලික අත්දැකීම් අශ්‍රයෙන් කල නිගමනයක්සේ හඟිමි කුමරුණි..හිහ්, හිහ්." 

කුවණ්ණා ඔහු දෙස නෙත් කොණින් බලා සිනාසුණාය. 

විජය ද ඇගේ දෑස දෙස එක එල්ලේ බලාසිට නෙත් සිහින් කොට සිනාසුනේය. 

ඉදින් ඉනික්බිති තම්බපණ්නියෙහි මෙසේ සිදුවිය. 

වාසුගී සිරීසවත්ථු පුරයෙහි සිට නියමිත කලට පෙරළා පැමිණියේය. 

පසුදින ඔහු විනිශ්චයාසනාරූඪ වූ අධිකරණයට ඉදිරිපත් වූ විජය සිය අභියාචනය ඉදිරිපත් කළේය. ඒ සලකා බැලූ වාසුගී තුන් මසක පරිවාස කාලයකට යටත්ව මනා කල් ක්‍රියාවෙන් පසුවන ලෙසට කල දැඩි අවවාදයකින් අනතුරුව සත්සියයක් හා එකක් වූ වංග තරුණයින් හට තම්බපණ්ණියෙහි රැඳී සිටීමට අවසර දුන්නේය.කුවණ්ණා පෙරදින සන්ධ්‍යාවෙහි ඔහු අබියස කල කරුණු දැක්වීම ද මේ තීරණය කෙරෙහි බල නොපෑවේ නොවේ යන්නද මවිසින් පැවසිය යුතුමය. 

තුන්මසක පරිවාස කාලය කිසිදු අතුරු ආන්තරාවකින් තොරව ගෙවී ගියේය. 

තැනින් තැන යමින් ගෙවූ සංචාරක අක්මුල් රහිත දිවිය නිමා කරමින් තම්බපණ්නියෙහි නතර වීමට වංග තරුණයෝ තීරණය කළෝය. 

ආහ්..සමාවුව මැන!...ඉන් පෙර සිදුවූවක් ඔබට පැවසිය යුතුමය. විජය හා නොයෙක් සන්ධ්‍යාකාලයන්හි පැවති සාකච්ඡා සහ වාද විවාද බොහෝ ගණනකට පසු තම්බපණ්ණිය බදුරහිත නැව් තොටක් බවට ප්‍රකාශයට පත් කිරීමට වාසුගී එකඟ වූයේය.එහෙත් ඒ ද තෙමසක අත්හදා බැලීම් කාලසීමාවකට යටත්වය. 

පියාණන්ගේ සහ විජයගේ වාද විවාදයන්හිදී ඇය සිනාමුසු මුවගින් යුතුව පසෙකට වී එදෙස බලා සිටියා පමණි. 

තුන්මස අවසානයෙහි ආදායම් ගණනය කිරීමෙන් අනතුරුව වාසුගී හිස ඔසවා කුවණ්ණා ඇමතුවේය. 

" දියණිය , මේ තරුණයා අසාමාන්‍ය හැකියාවන් සහ ඥාණයක් ඇත්තෙක් බවට සැකයක් නැත. ඔහු ස්ථිරව පුරෝකථනය කල පරිදිම ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. " 

කුවණ්ණා සිත පුරා පිරීයන ප්‍රීතියකින් යුතුව පියාණන් දෙස බලා සිණාසුනාය. 

ඔවුන් අතර සෙනෙහස කෙමෙන් විකසිත වූයේ උදා හිරු එළියේ විකසිතවන අරවින්දයක් මෙනි. 

තවත් සය මසක ඇවෑමෙන් විජය සහ කුවණ්ණා අතර සරණ බන්ධනය සිදු වූයේ රාෂ්ඨ්‍ර පාලක වූ වාසූගීගේ සොහොයුරාගේද පූර්ණ අනුමැතිය සහ අනුග්‍රහය සහිතවය. 

විවාහ උත්සවයෙන් බොහෝ කලක් ගෙවී ගියේ නැත. ගෝකණ්න ප්‍රදේශයේ දකුණු දිග ප්‍රාන්ත දේශ සීමාවෙහි පැණ නැඟි අර්ධ වනචාරීන්ගේ අරගලයක් මැඩ පැවැත්වීමෙහිදී හී පහරකට ගොදුරු වූ රාෂ්ඨ්‍ර පාලක තෙමේ දින තුනක ඇවෑමෙන් යලි සිහි නොලබාම මිය ගියේය. 

රාෂ්ඨ්‍ර පාලක පදවිය නිතැනින්ම උරුම වියයුතු වාසුගී ඒ වගකීම එකහෙලාම ප්‍රතික්ෂේප කල හෙයින් කුවණ්ණාවන්ට ඒ සඳහා ආරාධනා කෙරිණි. එදවස ලංකාපුරයෙහි රාෂ්ඨ්‍ර පාලකට පාලන උපදෙස් දෙනු උදෙසා ප්‍රාදේශීය ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් මන්ත්‍රණ සභාවක් වැන්නක් වූ නමුදු ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට රාෂ්ඨ්‍ර පාලකයා බැඳී නොසිටියේය. 

රාෂ්ඨ්‍ර පාලකගේ අභාවය සහ වාසුගීගේ පදවි ප්‍රතික්ෂේපය කරණකොට කුවණ්ණා ලංකාද්වීපයෙහි පාලක පදවියට නිසර්ගයෙන්ම හිමිකාරිය වූ නමුදු හිරිමල් යොවුන් වියේ පසුවූ ඇගේ පාලනය පිළිගැනීමට ඇයට වඩා බොහෝසේ වයසින් මුහුකුරාගිය ප්‍රාදේශීය පාලකයෝ බහුතරයක් මැළි වූහ. ඔවුහු සෘජුව තව අප්‍රසාදය පළනොකල වී නමුදු අළුයට සැඟවුනු ගිණි පුළිඟු නොසිතූ විරූ පරිදි හමාඑන මාරුතයකින් අළු විසිර ගිය ඉක්බිති යළි දැල්වී ගිණි දළු මතුකරන්නාක් මෙන් නුදුරු අනාගතයෙහි ඒ බුර බුරා මතුවිය හැකි/මතු වන බව වාසුගී මෙන්ම කුවණ්ණා ද මනා කොට දත්තෝය. 

එබැවින් ඒ හැම අර්බුදයකටම එකම විසඳුම වශයෙන් පියා සහ දියණිය තීරණය කලේ රාෂ්ඨ්‍ර පාලක තනතුර විජයට පැවරීමටය.කුවණ්ණා එම තනතුරට පත් වුවහොත් ඈ බලයෙන් පහකොට තමන් අතරින් වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියකු එම තනතුරට පත්වේයැයි මාත්සර්ය්‍යයෙන් පෙළුනු සියළු ප්‍රාදේශීය ප්‍රධානීහුද සිත යටින් කෙසේ වුවද මතුපිටින් ඔවුන්ගේ අදහසට එකඟත්වය පලකළහ. 

එසේ ලංකාද්වීපයෙහි පාලක තනතුරට පත් විජය වාසුගී සහ කුවණ්ණාගේද උපදෙසින් බොහෝ ඉදිරිගාමී පියවරයන් ගනිමින් සියළුම පුරවැසියන්හට එක හා සමානව තමනට කැමති පරිදි දිවිගෙවිය හැකි වතාවරණයක් රට තුල ගොඩ නැඟීමෙහිලා තම උපරිම උත්සාහය නොමසුරුව යෙදවීය. 

එහෙත් ඔහුන්ගේ ඒ උත්සාහය බොහෝවිට මල්පල ගැන්වූයේ නොවේ.විදේශ වෙළඳාමෙන් බොහෝ ආදායම් ලැබූවද තම්බපණ්ණිය පෙරදිග අපරදිග යාකෙරෙන ප්‍රධාන නැව්තොට ලෙස විරුදාවලි ලැබූවද රටේ අභ්‍යන්තර තත්වය නිතර කැළඹෙන සුළු අවිනිශ්චිත තාවයෙන් යුතු විය. 

ප්‍රාදේශීය ප්‍රධානීහු ස්වල්ප කලක් නිහඬව හුන් නමුදු විදේශික රජකුගේ පාලනය පිළිබඳ ජනයා තුල තිබූ අප්‍රසාදය කුළු ගන්වමින් තත්වය අස්ථාවර කිරීමෙහි උත්සාහ කළෝය. බොහෝවිට ඔවුන් මැඩපැවැත්වීමට යුද සේනාව යොදවන්නට පවා සිදුවිය. 

මෙසේ බොහෝ වියවුල් මධ්‍යයේ පස් වසරක් ගත වූයේය. කුවණ්ණා සහ විජයගේ සෙනෙහබර යුග දිවි ගමනට අත්වැලක් වන් වූ නිවුන් පුතකු සහ දියණියක විවාහයෙන් දෙවන වසරේහිදී ඔවුනට එකතු වූහ.දරුවන්හට දෙවන වසර ගෙවෙද්දී වාසුගී එක් උදෑසනක නින්දෙන් අවදි නොවීය.තම දරු දෙදෙනා දෑතින් ගත් කුවණ්ණා බොහෝවේලා ඔහු දෙස බලා සිට සෙමෙන් පහත්වී අවසන් වරට සිය පියාණන්ගේ නලලත සිප ගත්තීය. ඇය පසුපස සිටි විජය ඇගේ අතින් දරුවන් රැගෙන මුදුව ඈ හිස සිප ගත්තේය. 

ඒ තුන් වසරකට පෙරය. ඉන්පසු ගතවූ කාලය තුල යක්ඛ ගෝත්‍රික ප්‍රධානීන්ගෙන් එල්ලවූ බලපෑම් අවම වූ නමුදු ඒ හා සමඟම පැණ නැඟුනේ උදක්ම අනපේක්ෂිත උවදුරකි.රට අභ්‍යන්තරයෙහි තැන තැන ඇතිවූ නොසන්සුන් තාවයක් සමනය කිරීම උදෙසා විජය හා සමඟ වංග දේශයෙන් පැමිණි සඟයෝ තමන්ගේ සේනාංකයන්ද කැටුව නොමද සහයක් ලබා දුන්නෝය.එතෙකුදු වුව යුද මානසිකත්වයෙන් ඔද වැඩුනු ඔවුහු තමන්ගේ සේනාංකයන්හි බල මහිමයෙන් ප්‍රාදේශීය රජවරුන්සේ කටයුතු කළෝය. රජකුමරකු වුවද තමන් හා එකට වංග දේශයෙන් පළවාහරිනු ලැබූ පිටුවහලකුගේ අණ පිළිපදිනුයේ කුමකටදැයි ඔවුන් බොහෝවිට කල්පනා කලා විය හැක. ඒ කෙසේ වතුදු විජයට ඉතාම විශ්වාස සහ හිතවත් භටයින් සියයකට ආසන්න පිරිසක් හැරෙන්නට අනෙකුත් සේනාංක පිළිබඳව විශ්වාසයක් තබා කටයුතු කල හැකි වතාවරණයක් එදවස ලංකාද්වීපයෙහි නොතිබිණි. ඒ අතර යක්ඛ ගෝත්‍රිකයින්ගේ නොසන්සුන්තාවයන්ද දිවයිනෙහි ඈත ගම් දනව් අතරින් විටින් විට මතු නොවූයේ නොවේ. 

ලංකාපුරයෙහි ( යක්ඛ අගනගරය වූ සිරීසවත්ථු පුරය ලංකාපුරලෙස යළි නම්කරන ලද්දේ විජය කිරුළු පැළඳ දෙවන වසරේදීය. )රාජ සභාවෙහි ඇමති වරුන් අතර පූර්ණ පක්ෂපාතීත්වය පිළිබඳව විජය සහ කුවණ්ණාට විශ්වාසය තැබිය හැකිවූයේ උපතිස්සයන් කෙරෙහි පමණකි. 

කෙමෙන් රට තුල උත්සන්නවන්නාවූ අරාජක තත්වයට පිළියම් ලෙස ලංකාද්වීපයට ඉතාම ආසන්නයේ පිහිටි දඹදිව් තලයේ රාජධානිය වන මදුරාපුර රජුගේ සහාය පැතීමට විජයට අවසානයේ සිදුවිය.එහෙත් එසේ සහාය දෙනු වස් මදුරාපුර රජු එක් කොන්දේසියක් පැණවීය. එනම් විජය ඔහුගේ දියණිය හා සමඟ අවාහ වියයුතුය යන්නයි. කුවණ්ණා හා සමඟ දැඩි සෙනෙහසින් වෙළී හුන් විජය ඒ යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කළේය. 

" එවැන්නක් පිළිබඳව සාකච්ඡා කිරීම පවා මගේ සිත මහත්සේ පාරවන සුළුයි උපතිස්ස, කුවණ්ණා මා කෙරෙහි කොපමණ සෙනෙහසක් දක්වන්නේද යන්න ඔබට කිසිසේත්ම රහසක් නොවෙයි.මම ද ඇයට එලෙසම පෙම් කරන්නෙමි.එසේ හෙයින් මේ වෙනත් කුමරියක හා කරන විවාහයක් පිළිබඳව මින් මතු මා හා වදනකුදු නොදොඩන්නැයි මම හෙටම අමාත්‍ය මණ්ඩලයට නියෝග කරමි. " 

අමාත්‍ය මණ්ඩලයෙහිදී අදාල යෝජනාව සාකච්ඡාවට ගැණුනු පළමු දින රාත්‍රි යාමයෙහි මාළිගයෙහි බිහිදොර අබියස අඹ තුර සෙවනෙහි වූ ගල් ආසනයෙහි හිඳ සිටි විජය තමා අසලම අසුන්ගෙන හුන් උපතිස්ස අමතා පැවසූයේ බිඳුනු හඬකිනි. 

" ඔබගෙන් මම එකම ඉල්ලීමක් කරන්නෙමි උපතිස්ස..කරුණාකර මේ බවක් කුවණ්ණාට දැනගැන්මට කිසිසේත්ම ඉඩ නොතබනු මැනවි…" 

අවසානයේ අසුනෙන් නැඟීසිටි විජය උපතිස්සගේ දසරුව මත තම දෑත් තබමින් එසේ ආයාචනය කලේය. 

" ඒ පිළිබඳව කිසිදු සැකයක් ඔබ සිතෙහි තබාගත යුතු නැත රජතුමනි. මම ඔබගේ ඉල්ලීම එලෙසම ඉටු කරමි. එහෙත් කොපමණ කලක් මෙය කුමරියගෙන් වසන් කොටගෙන සිටින්නද? " 

ඒ පැණයට සුදුසු පිළිතුරක් සිතාගත නොහැකිවූ විජය උපතිස්ස වෙතින් ඉවත්ව අංගනය හරහා සිය වාස භවන වෙත පිය නැඟුවේය. 

උපතිස්ස පැවසූ ලෙසම කුවණ්ණා දින කිහිපයක් ඉක්මයාමට පෙර විවාහ යෝජනාව පිළිබඳ පුවත දැනගත්තාය. 

දින කිහිපයක් මාළිගයෙන් බැහැරයාමෙහි අවස්ථාවක් නොලද විජය එදින සවස උපතිස්ස හා සමඟ ඉද්ද ගැසුවාක්සේ දිවෙන ලංකාපුරය සහ තම්බපණ්ණි මාර්ගයෙහි බොහෝ දුර අසු විහිදවූයේ ගතමෙන්ම සිතද ඉපිල යන අන්දමේ ප්‍රීතියකිනි. 

" උපතිස්ස ජීවිතය යනු මෙයයි උපතිස්ස, කුමක්ද මේ කිරුළ?...ඒ මා හිස මත තැබූ ගල පර්වතයක් මෙන් මා සිත මෙන්ම ගතද දවයි. කුවණ්ණා සහ දරු දෙදෙනාද රැගෙන මේ රාජ්‍යය රුචි අයෙකුට භාරදී වනගතව දිවිගෙවීමට ඇත්නම් ඒ කෙතෙක් භාග්‍යයයක්දැයි මට සිතී ඇත්තේ වරක් හෝ දෙවරක් නොවේ උපතිස්ස වරක් හෝ දෙවරක් නොවේ. " 

කොහොඹ ගස් මණ්ඩියක අසුන් පිටින් බැස හිරු බැසයන දෙස මඳක් වේලා දෑස් දලවා බලා සිටි විජය උපතිස්ස අමතා එසේ පැවසූයේ වැල්ලේ හිඳ ගනිමිනි. 

" රජතුමනි, කිරුළ පැලඳීම තරම්ම එය ඉවතහෙලීමද අසීරුයි. සමහර විට ඊටද වඩා අසීරුයි.අප හැමදෙනගේ දෛවය අනුව ඉරණම අනුව ලියැවී ඇත්ත වෙනස් කිර්‍රිමට තරම් අපි කවුද?

බටහිර අහසේ හිරුඑලිය මැකීගියේ ගනඳුර අතරින් නිල් මිණිවන් තරුකැට දහසක් පායා එනයුරු නරඹමින් ඔවුහු බොහෝ වේලාවක් එහි ගත කළහ. 

Image - Huffingtonpost.com

" බලනු මැන උපතිස්ස කොපමණ අයස්කාන්ත දර්ශනයක්ද? අහෝ මේ අපූර්ව දසුන නරඹනුවස් කුවණ්ණා මෙහි නොමැතිවීමය මසිත පෙලන එකම ශෝකය…" 

එදින ආපසු සිය වාස භවන වෙත විජය පැමිණියේ උද්දාමයට පත්වූ සිතකිනි. විලක්කු ආලෝකයෙන් බබලන පෙත් මඟ ඔස්සේ ඔහු ප්‍රධාන දොරටුව වෙත ලඟා වූයේ " කුවණ්ණා…. " යනුවෙන් හඬ නඟමිනි. 

" කෝ මගේ කුඩාවුන් දෙදෙනා?...ඔවුන් වේලාසනම නින්දට ගියා වත්ද? " 

ආලින්දයෙහි ඈත කෙලවර අසුන්ගෙන සිටි කුවණ්ණා සෙමෙන් නැඟිට ඔහු වෙත පිය මැන්නාය. 

" එසේය කුමරුණි, දරුවන් නින්දට ගොස්ය. " 

ඔහු රජවූ පසුවද ඇය ඔහු ආමන්ත්‍රණය කල කුමරුණි යන්න වෙනස් නොකලාය.ඇගේ ස්වරයෙන්ම යම් වෙනසක් දැනුනු විජය දරුවන්ගේ නිදන මැදිරිය වෙත පිවිසීම උදෙසා එසවූ පය එලෙසම තබා කුවණ්ණා දෙස හැරුණේය. 

" කුවණ්ණා????..." 

" කුමරුණි....." 

ඔහු ඇගේ දෑස් දෙස එබී බැලීය. වෙනදා ඔහු වත දුටු වහාම දීප්තිමත්ව බබලනා ඒ දෑස්, ඇගේ සිහින් දෑස් වේදනාවෙන් පරිපීඩිතව තිබිණි. 


මතු සම්බන්ධයි...... 

29 comments:

  1. චැහ් කුවණ්නා ගම කෑවනේද මේ කොහෙවත් යන ගොබිලෙක්ව බැඳලා, ඒ මදිවට ඌට රජ කමත් දීලා..

    කතාව එක පාට්ටම ගාල කඩා ගත්තු හරකා වගේ දුවන්න ගත්තනෙ.. තුන්මාසෙකින් බදු ඉවත් කිරීමේ ප්‍රතිඵල පෙන්නුම් කිරීමනම් ටිකක් විතර අභව්‍යයි.

    ReplyDelete
    Replies
    1. ගමේ වැල ගමේ කපුටන්ටය කියනවනෙ නේද සෙන්න.

      තුන් මාසෙ කතාවටනම් මමත් විරුද්දයි. ඇයි යකෝ රුවල් නැව් තිබ්බ කාලෙ කොහොමද ඔච්චර ඉක්මනට ඕක වෙන්නෙ. අඩුම තරමෙ අවුරුද්දක්වත් යන්න ඕන මන් හිතන්නෙ.

      Delete
    2. සෙන්නා,

      / කතාව එක පාට්ටම ගාල කඩා ගත්තු හරකා වගේ දුවන්න ගත්තනෙ /

      ඔව් බං..හරකා ගල කඩාගත්ත නෙවෙයි මම ගාල කඩල උගෙ පිට හරහට කෙවිටි පාරකුත් ගහල එලෙව්ව ජඃ ජඃ දුවපිය ගෙරියා කියල...

      මට බය හිතුන බං ..මොකද අපේ පෙර කල් ක්‍රියාව ඒ කිව්වෙ මේ කැරැට්ටුව හරි නෑනෙ ඒතරම්...අනික අර දවල් වැටිච්ච වලේ රෑත් වැටෙන්ඩ එපයි කියලත් තියනවනෙ..ආය කණාමැදිරියො කෑවහම ( මෙතන කණාමැදිරියො අපිව කනවද, අපි කණාමැදිරියං කනවද කියන එකනං මට සුට්ටක් විතර හුරස්පරස්, හරි ඒක කෝක හරි ) අහසෙ මඩයි මුහුදෙ මාලුයි ගාල ගිණිපෙනෙල්ලෙං බැට දෙන්ඩෙයි ඊට පස්සෙ සුරුට්ටුවෙං රැවුලට ගිණි තියල ඔන්න ඔය මොකක්ද කරන්නෙයි කියලත් කියමනක් තියනවනෙ. ඔය ඔක්කොම පිළිබඳව බොහොම ගම්බීරව එකත්පස්ව ඉඳල කල්පනා කරල තමයි මම හරකව එලවන්ඩ තීරණය කලේ..තේරුණයි දැං බොට?

      Delete
    3. ලොකු ශානා,

      / තුන් මාසෙ කතාවටනම් මමත් විරුද්දයි. ඇයි යකෝ රුවල් නැව් තිබ්බ කාලෙ කොහොමද ඔච්චර ඉක්මනට ඕක වෙන්නෙ. අඩුම තරමෙ අවුරුද්දක්වත් යන්න ඕන මන් හිතන්නෙ. /

      අපෙ අත්තම්ම ඉස්සර අපිට කතන්දර කියල දෙනව.

      " ඔන්න ඉතිං පුතේ කුමාරයයි කුමාරියි කැලේ මැදිං යද්දි කකුල් හතරක මිනිහෙක් ආව ඉස්සරහට"

      " ඒ කොහොමද අත්තම්මෙ ඒ? කකුල් හතරෙ සත්තු හිටියට මිනිස්සු ඉන්ට විදිහක් නෑනෙ..."

      " මම මේ පුතාල කතාව අහගෙන ඉන්නවද නැත්තං නින්ද ගිහිල්ලද බලන්නයි එහෙම කිව්වෙ...හරි හරි බොහොම හොඳට කතාව අහගෙන ඉන්න බව පේනවා..බොහොම හොඳයි..බොහොම හොඳයි..."

      .......................

      තුන් මාසෙක කතාව අභව්‍යයයි නම් තමයි...හෙහ්, හෙහ්, ඒ දවස්වල අරාබියෙ ඉඳල ලංකාවට එන්නම මාස දෙකක් විතර යනව..මෝසම් හුළඟෙන් ඉන්දියාවෙ මලබාර් වෙරළට ඇවිල්ල ඊට පස් සෙ ඉන්දියාවෙ බටහිර වෙරළ තීරය දිගේ පහළට ඇවිල්ලයි ලංකාවට එන්න ඕන.ලංකාවෙ ඉඳල චීනෙට යනවනම් මාස හයක් වත් යනව. ඒ නිසා බොලාගෙ ගණං හරි. මොකද ඔය ආරංචිය ඒ රටවලට යන්නයි ආපහු නැවක් ලංකාවට එන්නයි අඩු ගානෙ අවුරුද්දක්වත් යනවමයි.ඒත් මේ ගාල කඩාගත්තු සීන් එක නිසා කාලය හකුලන්නට මට සිද්ද උනානෙ බං ඒකයි උනේ...

      Delete
    4. හෙ... හෙ... එහෙම තමයි අපි හොදට ඇස් කන් ඇරගෙන ඉන්නෙ.

      Delete
  2. Replies
    1. ස්තූතියි නලීන්...:)

      Delete
  3. අයියෙ, තේරුණේ නැති එක පොඩි තැනයි තියෙන්නේ. මේ කොටසේ අන්තිමට මේ විජය කුවේණිව හම්බ වෙන්නේ අර පළවෙනි කොටස ඉවර වෙච්ච තැනට පස්සෙද. නැත්තම් මේ පළවෙනි කොටසට කළින් සිද්ද වෙච්ච දෙයක්ද?

    /*ඇගේ සිත අර්ධයක් ඔහු මුවින් එබස් නික්මෙනු ඇසීමට පුල පුලා සිටිනාතුර අනෙක් අර්ධය ඔහු එවැන්නක් විමසාවිදැයි භීතියෙන් සලිත වනු සත්‍ය‍ය වශයෙන්ම පරස්පරයක් නොවන්නේද?..එහෙත් මා විශ්වාස කරනු මැන මා ප්‍රිය සහෘදය / සහෘදිනිය., මා ඒ විස්තර කලේ සත්‍යය වශයෙන්ම ඒ උක්ත මොහොතේ කුවණ්ණාවන්ගේ සිතෙහි පැන නැඟ එකිනෙකා හා ගැටුණු හැඟුම් දෙවර්ගයයි. */

    ආයෙ අමුතුවෙන් කර්තෘතුමාව විශ්වාස කරන්න දෙයක් නෑ, ඔහොම එව්වා වෙනවා තමා. :D

    අයියා මේ කතාව ලියනකල් මම ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ මුලින්ම මේකේ පළවෙනි කොටස අයියා පොඩ්ඩි අක්කගේ වළව්වේ ලියපු දවසෙ ඉඳන්. හරිම ලස්සන චරිත ගොඩනැගීමක්, සිදුවීම් ගැලපීමක්. මම හරිම හෙමින් මේ කතාන්දරේ කියවගෙන යන්නේ හිත ඇතුළෙන් චිත්‍රපටයක් වගේ බල බල. මෙන්න මෙච්චරයි නොගැලපෙන තැනකට තිබ්බේ:

    " ඒ ඔබගේ පෞද්ගලික අත්දැකීම් අශ්‍රයෙන් කල නිගමනයක්සේ හඟිමි කුමරුණි..හිහ්, හිහ්." මෙහෙමත් හිනාවෙනවද මේ වගේ සම්භාව්‍ය කතා වල චරිත, ඈ?

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / අයියෙ, තේරුණේ නැති එක පොඩි තැනයි තියෙන්නේ. මේ කොටසේ අන්තිමට මේ විජය කුවේණිව හම්බ වෙන්නේ අර පළවෙනි කොටස ඉවර වෙච්ච තැනට පස්සෙද. නැත්තම් මේ පළවෙනි කොටසට කළින් සිද්ද වෙච්ච දෙයක්ද? /

      නැතෝ..ඒ පළවෙනි කොටස අවසානෙදි විජය කුවණ්ණා හම්බ වෙන්න එන්නෙ අර රජ සභාවෙ රැස්වීමෙන් පස්සෙනෙ. එදා ඇමතිවරු දෙනව අවසන් නිවේදනය...රාජ කුමාරි එක්ක විවාහය වෙන්නම ඕනය කියල...මෙතන මේ ඊට මාසෙකට දෙහෙකට විතර කලින් සීන් එකක්. විජයට මදුරාපුර කුමාරි බඳින්නෙයි කියල ඇමතිවරු යෝජනාවක් ගෙනල්ලයි කියල ඉස්සෙල්ලම කුවණ්ණා දැනගත්තු දවස තමයි මේ...

      / ආයෙ අමුතුවෙන් කර්තෘතුමාව විශ්වාස කරන්න දෙයක් නෑ, ඔහොම එව්වා වෙනවා තමා. :D /

      " මේ මම මේ ඔයාට දෙයක් කියන්න කියල හිටියෙ ටික දවසක ඉඳල..."

      ඇගේ සිරුර හා ගැටෙන නොගැටෙන පමණ දුරින් ගමන් කරමින් සිටි ඔහු එක් වරම ඇගේ මුහුණ දෙස බලා ඒ හා සමඟම හිස යලි බිමට හරවා ගත්තේය.

      ඇගේ කොපුල් තල රත් පැහැයෙන් උණුසුම් විය.ආශ්වාස ප්‍රශ්වාස වේගය එකෙණෙහිම ඉහල ගියේය. රුධිර සංසරණය සතරවන ගියරයට පිළිපන්නේය.කර්ණ පටහ පටලය ගිගුම් දෙන්නට විය. මහා ප්‍රාචීරය අනුනාද වන්නට වූයේය.ක්ෂුද්‍ර අතුණුබහන් මහා අතුණු බහන් හා එකිනෙක දඟර වැටිණි. දෙදණ අක්‍රියාකාරීව එකිනෙක හා ගැටෙන්නට වූයේය. අහෝ මේ ඔහු අසන්නට යන්නේ මා ඔහු මුවින් නික්මෙනතෙක් පුල පුලා නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටිනා පැණයද?....ඇගේ සිත තුල අපේක්ෂාවේ සහ භීතියේ සේයා අතිපිහිතව රඟදෙන්නට වූයේය. ඈ ඔහු දෙස විසල වූ දෙනෙතින් බලා උන්නාය.

      " මම.....මේ කියන්න හිටියෙ ...මම ..මේ කියන්න හිටියෙ ඔයාගෙ චිත්‍ර වල හැඩතල නම් අපූරුයි. ඒත් රේඛාවල ලාලිත්‍යය ගැන ඔයිට වැඩිය ටිකක් උනන්දු උනොත් හොඳයි..."

      ඇගේ වත එක වරම අඳුරුවිය.

      " අනේ මේ ඉතිං ඕකට මූණ නරක් කරගන්න ඕන නෑ..මම උදව් කරන්නං..ඔයාට ඒ අඩුපාඩුව හදා ගත්තෑකි..."

      ඔහු දෙස මොහොතක් කෝපය සහ සංවේගය කැටිවුනු දෑසින් බලා සිටි ඈ ආපසු හැරී ඔවුන් පැමිණි පෙත්මඟ ඔස්සේ ඇවිද යන්නට වූවාය.

      " මේ කොහෙද ඔය යන්නෙ?...මම ඉතිං ඔයාට ඔයහැටි තරහ යන්න දෙයක් කිව්වද?..ඉන්නකො ඔහොම?...."

      ඔහු ඇය පසුපස දුවමින් බැගෑපත් වන්නට වූයේය.

      …………………………………………………………

      මම එහෙම දෙපැත්තටම තියල සැකෙං වගෙ ලිව්වෙ මොකද දන්නවද?...මගෙ ඔය වෙලාවෙ ඇතිඋනේ බොල පරාණ බයක් විතරයි. දෙයියෝ සාක්කි අද නම් මේ අම්මණ්ඩි මේක අහනවමයි..එහෙම උනොත් මොකද මම කරන්නෙ?..අනේ අසරණ මං....

      / අයියා මේ කතාව ලියනකල් මම ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ මුලින්ම මේකේ පළවෙනි කොටස අයියා පොඩ්ඩි අක්කගේ වළව්වේ ලියපු දවසෙ ඉඳන්../

      එහෙනං..එහෙනං...මොනව කියනවද? ඔයා තමයි මේ වැඩේ කූරු ගහල මාව මෝටිවේට් කරල, උනන්දු කරල ගත්තෙ...මාසෙකට සැරයක්වත් කොයි බොල අර කතාව කියල අහල..හෙහ්, හෙහ්....තෑන්ක්ස් සෝ සෝ සෝ මච් හොඳද?

      කතාව සාර්ථක වේ නම් එහි සම්පූර්ණ ගෞරවය සිත්තමී ගරු කටයුතු තරුණ නෝනා මහත්මියටද අසාර්ථක වේනම් එහි වගකීම සම්පූර්ණයෙන් මා කර මතද පැවරෙන බව මෙයින් දැනුම් දෙන්නෙමි.

      / මෙන්න මෙච්චරයි නොගැලපෙන තැනකට තිබ්බේ: /

      / " ඒ ඔබගේ පෞද්ගලික අත්දැකීම් අශ්‍රයෙන් කල නිගමනයක්සේ හඟිමි කුමරුණි..හිහ්, හිහ්." මෙහෙමත් හිනාවෙනවද මේ වගේ සම්භාව්‍ය කතා වල චරිත, ඈ? /

      ඈ??? එහෙනං කොහොමද බොල සම්භාව්‍ය චරිත හිනා වෙන්නෙ? ඒකට අමුතු කෙරේමයක් තියනවය?

      අපෙ ලොක්කි සෙට් වෙච්ච මුල්ම කාලෙ..එතකොට නිල වසයෙං සෙනේහෙ පොරකාස කොරල එහෙම නෑ ඔන්න...මම ඉතිං බෝම ගාම්බීර විදිහට තමයි හිටියෙ. අර වංගෙඩි ගිල්ල පිඹුරො දෙමෝලෙං පිටි කොටනකොට වගේ...වැඩිය නෑ කතා බතා....හා..හ්ම්ම්ම්..එහෙමද?..ආ..ඇත්තද?....ඔච්චර තමයි...එයයිගෙ ජෝක් එහෙකට උනත් වැඩිය හිනා වෙන්නෙ නෑ..යාන්තං තොල් ඈත් කරල දත් වහල්ල ටිකක් විතර පෙන්නල උගුරෙන් හුග්..හුග්..ගාල දානව පොඩි සද්දයක් එච්චරයි..

      ඔහොම හිනාවෙන විදිහ මම ඉගෙන ගත්තෙ කොහෙන්ද දන්නවද? ඔයා කියවල තියනවද වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස් මහත්මය කියල බොහොම දක්ෂ ඒ වගේම හරිම අපූරු කතා ලියපු රචකයෙක්ගෙ පොත්..පණංගල අයියා, ජිනපාලගෙ කතන්දරේ..ඒ එයාගෙ පොත්..ඒ එක පොතක තමයි ඔය හිනාවෙන විදිහ තිබ්බෙ..හරි ඉතිං ඔහොම දෙතුං පාරක් හිනා උනාය කියමුකො..අපෙ උන්දෙට ඇල්ලුවෙ නෑ ඕක..දෙතුං පාරක් මා දිහා ඇස් පුංචි කරල බලා හිටිය..

      " මොකද අනේ ඔය හිනාවෙන විදිහ? "

      " ඇයි?... මෙහෙම තමයි සම්භාව්‍ය විදිහට හිනා වෙන්නෙ…"

      " ආ, එහෙමද? දැන ගත්තු එකත් හොඳයි..අපේ ගෙදර බල්ලා... බිංගෝ...ඌට ගුල්මෙ හැදුනම කහින්නෙත් ඔය වගෙ.."

      ඕන්න කියාපු එක..අම්මප වෙන මනුස්සයෙක් නම් ඒ වෙලාමයි ඔවුන්දැ එක්ක පයුරු පාසානං ඔක්කොම අත අරින්නෙ..ඒත් මම ඉතිං වෙන මිනිහෙක් නෙවෙයිනෙ..මම ඇවිල්ල මම...

      Delete
    2. අනෙ අම්මේ මේකෙ දිග! මේල් එකට ආපු කමෙන්ට් එක මෙච්චර දිගට පෙනුනෙ නෑනේ. බ්ලොග් එකටම ඇවිත් බැලුවාම තමයි දිග දැක්කේ. තැන්ක් යූ අයියේ මහන්සි වෙලා උත්තර ලිව්වට. අයියා මටයි සිත්තරාටයි ලියලා තියෙන කතා ටික එකතු කරලා තියාගන්ට ඕනෙ පස්සෙ කාලෙක පොතක් ගහන්නවත් පුළුවන් වෙයිද බලන්න. :D හැබැයි මේ කිව්ව කතාවෙ වගේ /*ඔහු ඇය පසුපස දුවමින් බැගෑපත් වන්නට වූයේය*/ ජාතියේනම් නෙමෙයි මගේ සිත්තරා.

      Delete
  4. ගාල කඩාගෙන දිවීම පිළිබඳ පොඩි සන්තෝසෙකුත් නැත්තෙම නෑ... මොකද මට දඩයක්කාරයව මතක් වුනා... හප්පේ මේ එපිසෝඩ් එකේ දේවල් හිමින් හිමින් විස්තරකරගෙන ගියා නං, දඩයක්කාරයගෙ සන්තෑසියම වෙනවා... හැබැ‍යි, අන්තිමේ ස්ලෝ කරලා නවත්තලා තියෙන්නේ...

    වෙළෙවි.. අලුත් වචනයක් මට... පසුබානවා වගේ එකක් වෙන්ටැ නේද?

    ඔය දෛවය, ඉරණම කියන ඒවා ජීවිත කාලයක්ම වාද කර කර ඉන්න හොඳ මාතෘකා... අමුවෙංම අමාරු නිසා සප්පායං වෙන්න වෙනවා... අර කලින් කොටසේ වාසුගී කුවණ්නාට පැහැදිලි කරන ක්‍රමේ නියමයි... ඔය විදිහට ඕවා දැන ගත්තයි කියලා මෙලෝ වැඩක් නෑ.... මම කැමති, "හෙට උදේ 10.37ට උඹ පාන් කපන්න ගිහින් පිහියෙන් අත කපාගන්නවා" වගේ ස්පෙසිෆික් අනාවැකි. එතකොට ඒ වෙලාවට පාන් නොකපා හිටියෑකි. අනික ඉරණම වෙනස් කිරීමත් අන්තිමේ ඉරණමම වෙනවා...

    ReplyDelete
    Replies
    1. මාත් සුට්ටක් කැමතියි ..මේක ඉක්මනට ඉවර වෙනවා දකින්න ,..රවිට හෙම කියන්න එපා තිසර

      Delete
    2. තිසර,

      / වෙළෙවි.. අලුත් වචනයක් මට... පසුබානවා වගේ එකක් වෙන්ටැ නේද? /

      වෙළෙවි කියන්නෙ බාං වෙලුවයි කියන එක...ඇය කඹයකින් වෙළෙවි වූවාය ..කියන්නෙ කඹයක් ඇරගෙන බැඳගත්තය කියන එක..හෙහ්, හෙහ්...පොඩි කකුලෙං ඇදිල්ලක් කලේ බොල...උඹ කිව්ව හරි ..පසුබට උනාය කියන එක තමයි වෙළෙවි වූවාය කියන වචනෙ තේරුම...:)

      / මම කැමති, "හෙට උදේ 10.37ට උඹ පාන් කපන්න ගිහින් පිහියෙන් අත කපාගන්නවා" වගේ ස්පෙසිෆික් අනාවැකි. එතකොට ඒ වෙලාවට පාන් නොකපා හිටියෑකි. /

      තිසර අන්න ඒ වගෙ අනාවැකි කිව හැකි අපි මේ ඉන්න මානයෙන් ඉහළ මානයක ඉන්න කෙනෙකුට..දැන් අපි ඉන්නෙ ත්‍රිමාන අවකාශයකනෙ..හතරවන නැත්නම් චතුර්මාන අවකාශයක පසුවෙන ජීවියෙකුට නැත්නම් Entity එහෙකට ත්‍රිමානයේ ජීවත් වන්නකුගෙ අනාගතය කියවන එක බොහොම සරල දෙයක්. පස්වන මානයේ අයට හතරවන මානයේ අය ගැනත් එහෙමමයි.

      Delete
    3. බින්දි,

      / මාත් සුට්ටක් කැමතියි ..මේක ඉක්මනට ඉවර වෙනවා දකින්න ,..රවිට හෙම කියන්න එපා තිසර /

      නෑ..නෑ..තිසර කිව්වෙ එහෙම නෑ ඔන්න..ඒත් මම ඉන්නෙ හතරවන මානයෙ නිසා ඔව්ව මගෙන් හංගන්න බෑ..දන්නවද?

      Delete
    4. @ රවි,

      // තිසර අන්න ඒ වගෙ අනාවැකි කිව හැකි අපි මේ ඉන්න මානයෙන් ඉහළ මානයක ඉන්න කෙනෙකුට..දැන් අපි ඉන්නෙ ත්‍රිමාන අවකාශයකනෙ //

      හැහ් හැහ්! බොලාට නං මඤ්ඤං බොල.. අපි ඇවිල්ලා චතුර්මාන අවකාශයක ඉන්නා ත්‍රිමාන ජීවින්.. බොරු නං අහලා බලහං අර අයින්ස්ටයින් ගොයියගෙන්.. බොලා අහලා නැද්ද 'කාලය' කියන මානය ගැන..

      Delete
    5. බූරා,

      ඒ අයින්ස්ටයින් ගොයිය කියාපුව වැඩක් නෑ බං...කාලය හතරවන මානය කියන එක දැං යල් පැනපු මතයක්....කාල් සේගන්..අන්න පොර...

      Delete
    6. හෙහ් හෙහ්! තාම ඒක යල්පැනලා නෑ බොලං.. ඇත්ත, ඒ මතයට විරුද්ධව තර්ක මතුවෙලා තියෙනවා තමා.. ඒ වුනත් මෙතනදි දෙපැත්තටම කරුණු දැක්වීම් තියෙනවා.. විවාදය දිගටම ඇදෙනවා.. :)

      Delete
    7. බූරා,

      හෙහ්, කාලය තමයි හතරවන මානය කියන න්‍යාය යල් පැනලයි කියල මම කිව්වෙ අර සුජීවය කියන්න වගෙ හුදෙක් උඹත් එක්ක කොක්කට..ඒක ගනං ගන්න එපා බොල...

      මගෙත් කල්පනාව ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ය කියලයි. අතීතයට අනාගතයට ගමන් කිරීම කියන එක කාලය හතරවන මානය වන අවකාශයක ඉන්න ජීවියෙකුට හෝ එවන් අවකාශයක පවතින අපිට තවමත් තේරුම් ගත නොහැකි Entity එකකට ඉතාම සුළු දෙයක්. කොටින්ම අපි ඉණිමඟක් පාවිච්චි කරල තුන්වන මානය වන උසෙහි එහා මෙහා යනව වගෙ සරළ දෙයක් වෙන්න පුළුවන් ඔවුන්ට කාලයෙහි එහා මෙහා යන එක.

      අර සබැඳියෙ කාල් ගොයියගෙ ඩෙමොන්ස්ට්‍රේෂන් එක බලන්න. ද්විත්ව මානයක ඉන්න ජීවියෙකුට ත්‍රිමානයෙන් ග්‍රහණය වෙන්නෙ එක තලයක් විතරයි. තමන්ගෙ ඉන්න ද්විමානය අනුව එයා දන්නෙ, එයාට පේන්නෙ එච්චරයි. තුන්වන මානය දිගේ ඉහලට හෝ පහකට යාමක් ගැන හිතාගන්නවත් එයාට බෑ. එහෙම කරන්න කිසිදාක බැහැ කියලයි එයා හිතන්නෙ. ඒත් ත්‍රිමාන ජීවියාට ඒක ඉතාම පහසුයි. ඒ වගේම තමයි ත්‍රිමානයෙ ඉන්න අපිට හතරවන මානය වන කාලයෙන් ග්‍රහණය වෙන්නෙ එක තලයක් විතරයි. ඒ කියන්නෙ මේ අපි ගතකරන මොහොත. ඒත් කාලය මේ මොහිතෙන් පිටිපස්සට ( අතීතය ) සහ ඉදිරියට ( අනාගතය ) විගිදෙනව. ඒ ඔස්සේ ඉදිරියට සහ පසුපසට අනාගතයට සහ අතීතයට යන්න නම් ඒ සතරවන මානයට ඇතුල් වෙන්න වෙනව. අපි බොහොම ලඟදිම ඒ දේ කරාවි.එහෙම උනොත් මම මොකක්ද දන්නවද මුලිම්ම කරන්නෙ? අතීතයට ගිහිල්ල දඩයකාරය ආපහු ලියනව..හෙහ්, හෙහ්, අනෙ අම්මප..

      Delete
  5. පුරාණෝක්තියක් ලස්සණට ලියා‍ගෙන යන ආකාරය අපූරැ යි. දිගට ම ලියමු. අපි කියවනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි, :)

      Delete
  6. මේක දැක්කේ අද නොවෑ රවි අයිය. එක හුස්මට පෝස්ටු හතම කියෙව්ව ඕන් පට්ට සීන් කෝන් එක ඈ.

    කොහොමින් කොහොම හරි විජයයි කුවණ්ණයි කෑලේට යනවා. යඛ්ක සෙට් එකත් එක්ක වලියකින් විජය වැටෙනව කුවණ්ණව අරුන් අල්ලන් යනවා. උපතිස්ස කොහොමහරි විජයව ආපහු මාලිගවට ගෙනෙයිද දන්නෙ නෑ නේද රවි අයියා. මට හිතුනදේ කිව්වෙ හොදේ

    අනික එනකම් මග බලාගෙන ඉන්නව ඕන්

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්..ඒකත් නරකම නෑ..තව විස්තර ටිකක් කියාපං බලන්ට..මම කතාව ඒ විදිහට ලියඤ්ඤං.....

      බොහොමත්ම ස්තූතියි ශානා...:)

      Delete
    2. ශානා,
      මෙහෛම නෙවිද වුනේ. කුමාරයයි කුමාරයයි කැලේට යනවා. යක්කු වලියට එනවා. යක් නායකයයි කුමාරයයි පයිට් කරනවා. කුමාරි කඩුව යක් නායකයට දෙනවා...රෙස්ට් ඊස්...

      හපොයි..ඒ වෙන කතාවක් නේද..මට ඔක්කොම ටැපලිලා.

      Delete
    3. @ රූ,

      ඔයා ඔය කියන්නෙ වෙස්සන්තර කතාව නේ.. ;)

      Delete
    4. බුරා, බොටනම් හොඳටම පිස්සු.. ඒක කොහොමද වෙස්සන්තර කතාව වුනේ.. ඒ සිරිසඟබෝ කතාවනෙ.. :D

      Delete
    5. අඩෝව් බූර්ස් ඇන්ඩ් සෙන්ස්,

      යකෝ බවුද්ද සාහිත්තියට අපහාස කොරන්ට එපල්ල බොලව්...එකෙක් වෙස්සන්තරලු අනිකා සිරිසඟබෝලු..තොපෙ....මම කියන්නෙ නෑ ඉතිං...

      මේ අහගං හෝතඹුවො ඩබල,...ඔය රූ නෝන මාත්තය කියල තියෙන්නෙ අර කාලගෝල කතාව ගැන....ඔන්න කාලගෝලයට පරන කකුස්සි වලක තිබිල කලු ගැහිච්ච රත්තරං පිඟානක් හම්බ වෙනව...ඒකෙ ඉරක් ඇන්දම ඒක රත්තරං කියල පේනව...ඒකෙ දාල බත් මාලු එහෙම අනල කාලගෝලය කරන වැඩේ චිංචි මානවිකාවගෙ ඇඟ පුරා ගාල එහෙම අව්වෙ තියනව.

      එතකොට එතනිං යන්ට එන ජූතක බමුනට දුක හිතිල චිංචි මානවිකාවව එක්කගෙන යනව.කාලගෝලය තද වෙච්චි ගමන දෙකක් දාගෙන එහෙම්මම බූරු ඇඳේ දපා තියල ඉඳල ඔන්න හවස් කරේ ඇහැරිලා බැලින්නං Ms. චිංචි නෑ පේන තෙක් මානෙක.

      ඔන්න පොරට බෝම දුක හිතිල පොලවෙ පස් කමිං එහෙම අඬ අඬ යනව කැලෑව පැත්තට..ඕන්න මඟදි හම්බ වෙනව සක්කරයා හාවෙකුත් කං දෙකෙං එල්ලගෙන වට පිට බල බල යනව..ඒ පාර මේ කොහෙද යන්නෙ කියල ඇහුවම සක්කරේ කියනව මේ හා මොටාගෙ රූපෙ හඳේ අඳින්ට හඳ පායනකල් එහාට මෙහාට ඇවිදිනව කියල..ඒ පාර කාල් ගෝල්ස් අහනව බොට මඤ්ඤංද සක්කරේ? අද කොහෙද හඳ? අද ඇවිල්ල අමාවක නෙව කියල..ඒ කරල කියනව එහෙම නෙවෙයි, සක්කරේ සුදුව බෝතලයක් ගහන්ට හා මස කියාපු බයිට් එක. ආය හඳ කොහෙවත් යන එකක්ය, හාව පස්සෙ අඳින්ට බැරුවය. මොකද කියන්නෙ? කියල...සක්කරයත් හා, එහෙනං ඒකත් හොඳයි තමයි කියල....

      Delete
    6. අම්මප රවි අයියෙ මේ ඉස්කෝලෙ උගන්නල තියෙන්නෙ පට්ටපල් බොරුනෙ. කොහොම විභාගෙ පාස් උනාද මන්ද මං. ඕව ටික ඉගෙන ගන්න බැරිද පොඩි ක්ලාස් එකක් දාන්න බැරිද හැබෑට.

      Delete
  7. කතාව ඉවර වුනාමම කියවලා කොමෙන්ටුවක් දාන්නම් නේද?
    මෙහෙම කෑලි කෑලි වලට කොමෙන්ට් කරන සිරිතක් මගේ නෑ නෙව...;)

    ReplyDelete
    Replies
    1. රූ,

      අඩේ එහෙම කරන්ට හොඳද ඈ???. කමෙන්ට් එකෙං කෑල්ලක් වත් දාපං

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...