Thursday, August 30, 2012

104. රහසක්................ රනූට තෑග්ගක්

අපේ දෝණිට ලබන සිකුරාදාට ඒ කිව්වේ 2012 සැප්තැම්බර් 07 වන දිනට අවුරුදු 3ක් පිරෙනවා. ඊට දින දෙකකට කලින් ඒ කිව්වේ 2012 සැප්තැම්බර් 05 වන දින ඇය පෙර පාසලට ඇතුලත් කරන්නත් සියල්ල සූදානම් !.

කාලය ගත වුණු ඉක්මන....................

ඇයට මාස හයක් වූ කාලයේ ඈ ගැන ලියන ලද 38. රනුලිමා චින්තනි නම් වූ ඇය......... ‍ යන මෙයින් බොහොම දෙනෙක් ඈ ගැන දැන ගත්තා. ඊ ගාවට ලියැවුනේ,
45. සතුටු වෙමි, සිහින දකිමි, සසල වෙමි, දුක් වෙමි, බිය වෙමි, එහෙත් අවසානයේ සැනසෙමි පෝස්ට් එක. ගොඩක් හිත හිතා ලියපු ඒක මං කැමති ම පෝස්ට් එකක්. (ඒත් මේ ලිපිය ලියද්දි ඒක අමතක වුනු එක පුදුමයක්)

ඊටත් පස්සේ ලියන ලද 60. ජූලි හතයි.......දූට මාස දහයයි......... මෙහි පද ගැට ගැහුවේ අද ඊයේ වගේ තමයි තාමත් දැනෙන්නේ... අම්මලාගේ අවුරුදු උත්සවය ගැන ඇය විසින් ලියන ලද 72. දූ දුටු සැණකෙළි සිරි බොහොම දෙනෙක් සතුටින් කියවපු හැටි සිහි වෙද්දි අදටත් මුවගට හිනාවක් නැගෙනවා. 84. සැහැල් වූ හිස දෝණිගේ උකුල මත - නිති සුව ලබයි කිසි සැක නොමැත යනුවෙන් ලියන ලද්දේ එකල ගූගල් බස් සේවාවේ බසයක නැගී යන අතරතුරේ හිටිවන පබඳින ලද පද වැලක්.

ඉතිං ආදරණීයව හුරු බුහුටිව හැදෙන වැඩෙන අපේ දූ සිඟිත්තට මේ පාර ඇගේ උපන් දිනයට මං දෙන්න හිතුවා වෙනස් විදිහේ තෑග්ගකුත්.

ගිය සතියේ දවසක,

"අම්මේ මටත් ආෂයි ඉෂ්ෂරහ ගෙදර නංගි වගේ ෂිංදු රේඩි එකේ දාලා කියන්න" තතන තතන, අත් දෙකින් රඟ පාමින් ඔය ටික කියන්න විනාඩි භාගයක් පමණ ගතවන්නට ඇත.

"හා හා හොඳයි හොඳයි මං අද හවසට එද්දි අරං එන්නම්කෝ මගේ පැටියෝ" යි ඇය සැනසූ මාගේ එකායන අරමුණ වූයේ අන්තර්ජාලය පීරා හෝ ඇගේ ආසාව සපුරන්නටය.

ඒ අනුව අන්තර්ජාලයේ සෙවුම් කරන විට ලැබුනු http://sinhalalamagee.blogspot.com/ බ්ලොග් අඩවියෙන් බාගත කරගන්නා ලද ළමා ගී 61 පමණ ඇය හට අසන්නට සලස්වා ඇය සතුටු ව නර්තනයේ යෙදෙන අයුරු බලා අපි දෙන්නා ලැබුවේ මිල කල නොහැකි සතුටක්. එයින් බොහොම සිංදු ඇය දැන සිටි අතර හිතෙන තරම් වේලා අසා සිටින්නට ලැබීම ගැන ඇගේ තිබුනේ ලොකු සතුටක්.

ඉතිං ඔන්න ඔය වැඩේ තවත් දුරට ගෙනියෑම තමයි මගේ ඊ ගාව බලාපොරොත්තුව වුනේ. ඒ කියන්නේ ඒ සිංදු වල පදවැල් සොයලා, පරිගණකයෙන් යතුරු ලියනය කරලා, මුද්‍රිත පිටපත් අරගෙන පොතක අලවලා ඇයට දෙන්න.

ඒත් මට පස්සේ හිතුනා ඇයි මං එහෙම කරන්නේ? ඊට වඩා හොඳ විදිහක් මට තියෙනවානේ කියලා. ඒ අනුව මං තීරණය කලා ඒ හැම සිංදුවක් ම මං මගේ අතින් ම පොතක ලියලා, ඇයට දෙනවා කියලා. ඉතිං ඔය ගැන තව දුරට හිතාගෙන යද්දි මට හිතුනා, මේ වැඩේට තවත් යමක් එකතු කරන්න. ඒ තමයි දකුණු පැත්තේ පිටුවේ මං සිංදුව ලියනවා. වම් පැත්තේ පිටුවේ තාත්තාට කියලා ඒකට අදාල පරිදි චිත්‍රයක් නිර්මාණය කර ගන්නවා කියලා. රනූ ගේ තාත්තා පොඩ්ඩ‍ට චිත්‍ර අඳින්න පුළුවන් එකේ, එහෙම කරන එක තමයි සුදුසු ම කියලා මට හිතුනා. මලක් වගේ එකක් නං මටත් අඳින්න පුළුවන්නේ. ඒ වගේ තැන් වලට මලක්, ගහක්, තණකොල ටිකක් මාත් අඳිනවා කියලා හිතුවා.



ඉතිං යෝජනාව ඉදිරිපත් කෙරුණා. තාත්තාත් කිසිම විරෝධතාවක් නැතුව කැමති වුනා. දැන් ඉතිං වැඩේ ස්ථිරයි.

"හා ඔයා සිංදු ටික ලියලා ගන්නකෝ. කලින් දවසේ රෑ වෙද්දි හරි මං චිත්‍ර ටික ඇඳලා ඉවර කරන්නම්කෝ"

ඉතිං එහෙම තමයි අවසන් වශයෙන් සභා තොමෝ සතුටින් විසිර ගියේ.

අද මට එක පාරම හිතුනේ මොකද්ද දන්නවද ළමයිනේ.......... මුලින්ම මට හිතුනේ පිටුවක් ඉතිරි කරලා තියලා, අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධි ප්‍රසාද් නම් වූ අසහාය චිත්‍ර ශිල්පියා අපේ ගෙවල් පැත්තේ ආ වෙලාවක පිටුව පිරෙන්න ම චිත්‍රයක් නිර්මාණය කරගන්න කියලා. පස්සේ තව ටිකක් වෙලාව ගතවෙන කොට මට හිතුනා මේ තෑග්ගට තව එකතු වෙන්න කැමති අයවත් එකතු කර ගන්න පුළුවන්නේ කියලා.‍

ඉතිං නැන්දේ, මාමේ, අක්කේ, අයියේ, නංගියේ, මල්ලියේ, ඔයාලා කැමති නං රනූගේ උපන්දින තෑග්ගට එකතු වෙන්න මෙන්න අවස්ථාව. ඔයාලාට හැකි අයුරින්, ඒ කිව්වේ අඳින්න පුළුවන් මලක් නං මලක් හරි ඇඳලා එවන්න. කැමති විදිහකට ඇඳලා එවන්න. ඒ කිව්වේ, පරිගණක ආශ්‍රයෙන් හෝ අතින් ඇඳලා ස්කෑන් කරලා හෝ එවන්න පුළුවන්. පොත සී ආර් පොතක් වුනාට, ඔයාලාට හැකි ප්‍රමාණේ චිත්‍රයක් ඇඳලා එවන්න. ඔයාලා කැමති ළමා ගීතයකට අදාල කොටසක් නං ඇඳලා එවන්නේ ඒ ගමන් ඒ ගීතය මොකද්ද කියලාත් කියන්න අමතක කරන්න එපා. මං ඒක කොහොම හරි හොයාගෙන ලියා ගන්නම්. එහෙම නැත්නම් පදවැල තියේ නම් ඒකත් එවන්න.

චිත්‍ර අදාල විදිහට අලවලා, යටින් එව්ව මාමාගේ, නැන්දාගේ, අයියාගේ හෝ අක්කාගේ නමත් බ්ලොග් ලිපිනයක් තියේ නං ඒකත් ලියන්න තමයි මං හිතුවේ. එතකොට එයා කවදා හරි ඔයාලාගේ බ්ලොග් වලට ඇවිත් බලලා, මේ කෙනාත් මගේ සිංදු පොතට චිත්‍රයක් ඇඳලා එවලානේ කියලා සතුටු වෙයි.

ඔයාලා ගොඩක් දෙනෙක් හඳුනන අපේ පැංචිගේ, උපන්දිනය වෙනුවෙන් හදන්න යන ඒ පොතට ඔබේ දායකත්වය ඒ විදිහට ලැබුනොත් ඒක මට සතුටක්. හැකි විදිහට දායක වෙන්න. කොහොම නමුත් තව තියෙන්නේ දින 8යි. මටත් වැඩ ගොඩයි. පොත හදන්න තියෙනවා. පදවැල් එකතු කරන්න තියෙනවා. තව එකතු කරන්නේ මොනවද බලන්න තියෙනවා. ඉතිං එහෙනම්, randil02 at gmail dot com වෙත ඔයාලාගේ චිත්‍ර එවන්න. පොතේ පිංතූර ගෙන ඔයාලා හැමෝටම බලන්න සලස්වන්නත් හිතාගෙන ඉන්නේ. ඒ වගේම සේරම චිත්‍ර 7 වෙනිදාට බ්ලොග් එකේ පල කරන්නත් හිතාගෙන ඉන්නවා. (සේරම කියලා බොහොම බහු වචනයෙන් කියලා තියෙන නිසා මගේ නම්බුව බේරපල්ලා ඈ............ :) )

මේක රහසක්. ඒ කිව්වේ තාම රනු නොදන්න රහසක්. ඒකයි මාතෘකාව මෙහෙම වුනේ....... :D

මා ලඟ ඇති ගීත ලැයිස්තුව (මේ සියල්ල
http://sinhalalamagee.blogspot.com/
අඩංගුයි. මීට අමතරව කාටුන් වල සිංදු තියෙනවා. ඒ ටික පුළුවන් වුනොත් අද රෑට එකතු කරන්නම්.)


1. ආදරේ ඇයි පොඩි හඳ මාමේ
2. මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
3. අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
4. අම්මාගේ උකුලේ නැලවී තාත්තාට හුරතල් වෙවී
5. මා බාල කාලේ
6. දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ
7. දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
8. අන්න බලන් ඉදිකඩ ලඟ
9. පහන තියා බුදු සාදුට හිමිදිරියේ
10. අකුරු මැකී නැහැ කොල ගැල වී නැහැ
11. කොප්පර කොප්පර පිපිඤ්ඤා
12. කටු අකුලේ මල් ඇහැරේ
13. රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
14. හිනහේවී බෝනික්කා
15. හිංචි පිංචි හාවා
16. හොර පූසෙක් බටු මීයෙක්
17. දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ
18. කන්කන් බූරු සිං සිං නූරු
19. මොනවද අම්මේ අකුරු ජාතියක්
20. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
21. කොන්ඩේ දිගට දාලා, හැම උදයෙම එනවා
22. කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන
23. කුරුම්බැට්ටි මැෂිමේ මගේ කුරුම්බැට්ටි මැෂිමේ
24. මගේ හොඳ පූසි ඇගේ නම රෝසි
25. මගේ පොඩි යාළු
26. මට මෑණි වගේ මට පියා වගේ
27. මේ හොඳ ලස්සන බෝනික්කා
28. මොනවද මුත්තේ මොකද කරන්නේ
29. ඈත පෙනෙන කඳු පාමුල-නන්දා මාලිනි
30. දිලිහි දිලිහි ආකාසේ-නන්දා මාලිනි
31. ගස අගනා අර රඟනා- නන්දා මාලිනි
32. ගීතිකාවෝ- නන්දා මාලිනි
33. හා හා හරි හාවා- නන්දා මාලිනි
34. හඳ හාමි- නන්දා මාලිනි
35. මේ හිරු රැස් වැටී- නන්දා මාලිනි
36. රෝස ගසින් මල්- නන්දා මාලිනි
37. සමන් පිච්ච මල් ඉහිරුණු- නන්දා මාලිනි
38. සිලි සිලි හඳ අහසේ- නන්දා මාලිනි
39. සිරිමත් මගේ සකි- නන්දා මාලිනි
40. තොටිල්ල හැම සුව පිරි- නන්දා මාලිනි
41. ටිකෙන් ටිකම- නන්දා මාලිනි
42. අක්කේ අක්කේ අර බලන්නකෝ- නන්දා මාලිනි
43. නිල් අහස්තලේ අගේ- නන්දා මාලිනි
44. පේලි පේලි පේලි සැදි ඇත්තු ඇදෙනවා
45. පොඩි කාලේ දඟ කෙරුවාට
46. පොලිස් හාමිනේ මං
47. රකිමු අපේ සිරිලක් අම්මා
48. රන් ටිකිරි සිනා
49. රූන් රූන් හඬ
50. සකල බුජං කොට කලිසං
51. සීනි බෝල හෝටලේ
52. සිඟිති ලොවේ සුරතල් හඳයා
53. ඕළු නෙළුම් නෙරිය රඟාලා
54. දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
55. ලංකා ලංකා පෙම්බර ලංකා
56. මිහිකත නලවාලා
57. ඕළු පිපීලා විල ලෙල දෙනවා
58. සුරතල් නංගියේ අපේ අම්මා
59. ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා
60. උදෑසනම පොඩි අපි දිව එනවා
61. සෙන්පතියන් ගැන නැව් පතියන් ගැන

Wednesday, August 29, 2012

103. තෑගි.................... Precious gifts are not to be sold



ගිය සතියේ දවසක්,

"අනේ බලන්නකෝ ලැප්ටොප් එකේ තියෙන්නේ වින්ඩොස් 7 හෝම් ප්‍රිමියම් කියලා පැකේජ් එකක්ලු. ඒකට කිසිම ඔටෝ කැඩක් (Auto Cad) සපෝර්ට් කරන්නේ නැහැල්ලු. මහත්තයාගේ ඔෆිස් එකේ අයි ටී තමයි කියලා තියෙන්නේ"

"හැහ්......... අඩේ එහෙමද? මං දාලා ගෙනාපු වින්ඩොස් වලටද දාන්න බැහැයි කියන්නේ? දාන්නම බැහැයි කියනවද?"

ඔතැනදී විදුලිය විසන්ධි වීමේන් සම්බාධක පැන නැගුනි. ඉතිරිය එස් එම් එස් මාර්ගයෙනි.

"Yes he is saying like that. Power Cut" (ඉතිරිය පසුවට)


***********************************************************************************

අම්මාගේ එක් මිතුරියකගේ පවුල හා අපේ පවුල අතර දුරාතීතයේ පටන් ලඟ ආශ්‍රයක් පැවතුනි. අප දෙපිරිස කාලයක් වාසය කලේද එකම නිවාස යෝජනා ක්‍රමයේ නිවාස දෙකකය. ඒ මීට අවුරුදු 25කට පමණ ඉහතදීය. අනතුරුව අප රාගම ප්‍රදේශයට පදිංචියට ආවද, මිතුදම නොබිඳී පැවතුනේ අම්මාත් ඒ ආන්ටිත් එකම පලාත් පාලන ආයතනයේ, ප්‍රධාන කාර්යාලයේ දෙපාර්තමේන්තු දෙකක සේවය කිරීම නිසාත්, බොහෝ විට එකම දුම්රියේ ගමන් කල නිසාත්ය. අප ඉඳ හිට නිවාඩු ඇති පරිදි ඔවුන්ගේ නිවසට යන අතර ඊටත් වඩා ඉඳහිට ඔවුන් අප නිවසට පැමිණෙන සිරිතක් ද පැවතින.

කාලය ගතවිණ. 1988 වර්ෂයේදී මාගේ උපන්දිනය දාම ඔවුනට දියැණියක් ඉපැදිණි. ඇය ඇගේ සොයුරාට වඩා වසර 8-9කට ආසන්න ප්‍රමාණයකින් බාල වීම නිසා පවුලේම සුරතලිය වූවාය. එම නැගණියගේත් මාගේත් එකම දිනයේ උපන්දින යෙදීම නිසා ආන්ටිට කිසි දිනෙක මාගේ උපන්දිනය අමතක වූයේ නැති තරම්ය. මට මතක පරිදි 1989 වර්ෂයේදී ඇය මට ඉතාමත් අලංකාර කහපාට, ගවුමක් තැගී කලාය. එහි ඉදිරිපස අලංකාර ලෙස වැඩ දමා තිබුණි. පපුව හරියේ රෝස පාට, නිල් පාට හා කහ පාට මල් තුනක් ඇප්ලික් කර තිබුණා මතකය. ඒ දිනවල ඇගේ සැමියා රෙදිපිළි හා සම්බන්ධ ව්‍යාපාරයක් කල බැවින්, මනා නිමාවකින් යුතු ඒ ගවුම මට ලැබින. එලෙසම එය මට දිග මදිවනතුරු යන යන තැන ඇඳගෙන ගිය අයුරුද මතකයේ තිබේ.

ඒ වගේ ගවුමක් අන්තර්ජාලයේ සොයා ගන්නට අපොහොසත් වීමි

අවුරුදු කිහිපයක් ගතවීමෙන් අනතුරුව කාලයක් යනතුරු සම්බන්ධතාව ඉතාමත් දුර්වල මට්ටමකින් පැවතුනේ අම්මාට එම පලාත් පාලන ආයතනයේම වෙනත් ස්ථාන වලට මාරු වීම් ලැබීම නිසා විය යුතුය. නැවතත් කෙසේ හෝ මිතුදම අලුත් වන විට 2000 වර්ෂයට ආසන්නව තිබිණ. එකල රටපුරා තිබුණු ආයතන සියල්ලේම එකතුවෙන්, 'යුනියන් මීටින්' යනුවෙන් හැඳින්වුනු එකතුවක් වාර්ෂිකව පවත්වන්නට යෙදුනු අතර මේ සඳහා රටේ විවිධ ප්‍රදේශ තෝරා ගැනුනු අතර එය අපට විනෝද සවාරියක් මිස යුනියන් මීටිමක් නොවුනු තරම්ය. (නවම් මාවත ලියන අපේ නවම් දිනක් පවසා තිබුනේත් මේ විනෝද සවාරිය පිළිබඳවය. අප සැවොම එකම තැනට රැස් වූ එකල නවම් හා අප මුණ ගැහෙන්නත් ඇති. කවුද දන්නේ ඒ කාලේ මේ වගේ බ්ලොග් ලියද්දි ආයේ මුණ ගැහෙන යාළුවෙක් තමයි මේ කියලා. නැද්ද මං අහන්නේ? )

මෙකී සවාරිය බොහොම විට යෙදුනේ මගේ උපන්දිනය යෙදෙන මාසය හෝ ඉදිරි මාසයේ වන අතර එය මගේ උපන්දිනය යෙදුනු මාසයේ යෙදුනු වසරකදී නැගණියට සුළු ත්‍යාගයක් ගෙන යාමට අමතක නොකලේ ආන්ටි ද අනිවාර්යයෙන් මට යමක් රැගෙන එන නිසාය. ඒ එසේමය. නැගනියට ගෙන ගිය දෑ මට මතක නැත. ඒත් ආන්ටි ගෙනා දේ මතකය. එය අලංකාර, නීල වර්ණ ස්කාෆයකි.

මට හරියට ම අවුරුද්ද සිහියේ නැතද, (පාසල් සමයේ අවසන් කාලයේ විය යුතුය) ඇගෙන් ලද ත්‍යාගය වූයේ කුඩා අත් බෑගයකි. අපේ අම්මා ඒ කාලයේ කීයටවත් එවැන්නක් අරං දෙන්නට නොසිතනු නොඅනුමානය. ඇගේ සිතුවිල්ලට අනුව එවැන්නක් ලැබීමට තරම් මා මෝරා සිටියේ නැත. නමුදු එය ලැබුනු පසු අම්මාද සතුටු වූවාය. මාද යන යන තැන එය රැගෙන ගියෙමි. ආන්ටි එහි ඇතුළු සාක්කුවක රුපියලක් ද බහා තිබුණා මතකය. දුඹුරු වර්ණ වූ එම බෑගය, සිනිඳු වූ කෘත්‍රීම ලෙදර් වර්ගයේ රෙද්දකින් නිමවා තිබිණි.

ඒ වගේ අත් බෑගයක් ද අන්තර්ජාලයේ සොයා ගන්නට අපොහොසත් වීමි

පාසල් කාලය නිමවින. වෘත්තිය අධ්‍යාපන කාලය උදා විය. අනතුරුව රැකියාවක නියුතු වන කාලය උදාවිය. ලොකු අත් බෑගයක් ගෙන රැකියාවට යන කාලය උදාවිය. මගේ කුඩා අත් බෑගය අල්මාරියට විය. ඉඳ හිට එය අතට ගෙන, ඇර එහි ඇති රුපියල දෙසද බලා නැවත තිබුණු තැනින් තැබූ අවස්ථා ද නැතුවාම නොවේ. ඒත් පාසල් සමයෙන් පසු, ගෙයින් පිට යෑම එයට අහිමි වූ බව කිව යුතුය. සමහර වැහි කාල වලට ඉතාමත් තුනී ලේයරයක් ලෙසින් ඒ මත සුදුපාට පුස් ඇති වී තිබෙනු දුටු විට වහා රෙද්දක් ගෙන පිස දමන්නට අමතක නොකලෙමි.

වසරක් දෙකක් ගත වන්නට ඇත. මාමා කෙනෙකු ඔහුගේ බිරිඳ සමග දින කිහිපයක් නවතින්නට අපේ නිවසට පැමිණියේය. ඔවුන් සමග අවුරුදු 12-14ක් වයස ප්‍රමාණයේ ඔවුන්ගේ දමිළ මෙහෙකාර දැරියද පැමිණියාය. (මයේ අම්මෝ මං නැහැ ඔය බාලවයස්කාර මෙහෙකාර සේවා කතන්දර වලට. ) මම අල්මාරිය අස්කරමින් සිටියෙමි. එම දැරියද අහල පහළ වූවාය. ඇය අර අත් බෑගය දුටු සැනින් එය අතට ගෙන,

"නෝනා මේක කාගේ?"යි ඇසුවාය.

"මගේ"

"ඔපිස් ගෙනියනවා?"

"අනේ නැහැ. ඉස්සර පුංචි කාලේ ගෙනියපු එකක්"

"මාත් ආසයි මේ වගේ එකකට. අපේ ගමේ නැහැනේ"

මම මදක් නැවතුනිමි. ඇගේ අහිංසක අසරණ මුහුණ දෙස බලා සිටියෙමි. වැඩි දුර හිතන්නට දෙයක් නැත. මා භාවිතා නොකරන එයින් ඇය සතුටු වනවා ඇති.

"හ්ම්............. ඔයාට ඕනෑද?"

ඇගේ දෙනෙත් විශ්මයෙන් විසල් වන්නට ඇත. නැතහොත් ඒ ඇය කල් යල් බලා හිටි අවස්ථාව නිසා එසේ නොවන්නටද ඇත. මට මතක නැත.

"මට දෙනවා.?"

"හ්ම්............. ගන්න"

එයින් අනතුරුව වසර එකහමාරක් ගතවිණි. අම්මා දිනක් වැඩ ඇරී නිවසට පැමිණියේ දුකින් බර වූ මුහුණින් යුතුවය. ඇයට කේන්ති යන යමක්ද අප තිදෙනාගෙන් කෙනෙකු අතින් ඒ අතරේ සිදුවිණ.

"අරක මේක කරලා මාවත් නැති කරගනිල්ලා." යි පවසා ඇය හඬන්නට වූවාය. අපි බිය වීමු.

"මොකද අම්මේ මොකද වෙලා තියෙන්නේ?"

"............... ආන්ටි නැති වෙලා" මට මද වේලාවකට හුස්ම නතර වූවා සේ දැනිණ. අනතුරුව තොරතුරු දැන ගතිමු.

උදෑසන ඇති වූ හෘදයාබාධයකින්, රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටද ඇය මෙලොව හැර ගොස් අහවර ව තිබුණි.

අනතුරුව අවුරුදු ගණනක් යනතුරු ඇය මට තිළිණ කල තෑගි සිහිකරමින් තැවුලට පත් වීමි. රෙදිවලින් තැනුනු ගවුමත් ස්කාෆයත් දිනෙක දිරා ගියද අත් බෑගය එසේ නොවේ. එය මා විසින් හිතා මතා ම නැති කරගතිමි. සැමියා විසින් අරං දුන් සමහර වටිනා සාරි ආදිය, එක් වරක් ඇඳි පමණින් එතරම් මිල මුදල් අත නැති මිතුරියන්ට දී ඇති අවස්ථා නැතුවා නොවේ. මේ පවසන්නේ එවන් අවස්ථාවක් නොවේ. මන්ද යත් මා සතු දේ වලින් 95%ක් පමණ ම ඔහු අරං දුන් දේ නිසාවෙන්, ඒ දේවල් හැර දෙන්නට වෙන දෙයක් මා සතුව නැති නිසාවෙනි. නෑයින් හා මිතුරු මිතුරියන් තිළිණ කල දේ හා මා මිල දී ගත් සබ්බ සකල මනාව ම ගොනු වන්නේ ඉතිරි 5%ටය.

ඉඳින් එම සිදුවීමෙන් අනතුරුව තැගී ලද දේවල් කිසිවිට අන්සතු නොකරන්නට ඉටා ගතිමි. මක් නිසාද යත්, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් කථාවක් තිබුණද, අදටත් ඒ සිදුවීම සියුම් ව හෝ මගේ හිත පෙළන නිසාය. බොහෝ විට ලෝභ කමක් ගෙන එන නිසාය. එහි තිබූ අවර්ණ වෙමින් පැවතුනු රුපියල මා හට කිසි දාක අමතක නොවනු ඇත.

********************************************************************************
එස් එම් එස් සංවාදයේ ඉතිරිය............

"ඉතිං මාර වැඩක්නේ. එතකොට ඕක ගත්ත අයට ඔටෝ කැඩ් දාගන්න ම බැරිද? මොක හරි එහෙනම් විකුණලාවත් වෙන එකක් ගන්න බැරි වෙයිද?"

"Calm down daruwa calm down. He is saying that he can put another windows version. But I'm the person who is stopping it cos it will be a pirated one. If you can, Pls check what kind of solution will help me. However dear ....................., Remember this! Precious gifts are not to be sold :-)"

ඔටෝ කැඩ් දමා ගන්නට නොහැකි වුවද, එය කිසිදා මා අතින් නොවිකිණෙන බව මා හට සක් සුදක්සේ විශ්වාසය.

පසු ලිවීම.

පිං සිදුවන්නේ අනේ මිතුරු ළමුන්නේ
ලැපිස් ටොපිස් ගැටළුව විසඳාලන්නේ


වින්ඩොස් 7 හෝම් ප්‍රිමියම් නම් වර්ෂන් එකට 2000-2010 දක්වා ඕනෑම වර්ෂන් එකක ඔටෝ කැඩ් දමා ගන්නට හෝ වෙනයම් ක්‍රමයකින් ඔටෝ කැඩ් දමා ගන්නට හෝ උදව් කල මැනවි‍.

Tuesday, August 28, 2012

131. සඳකත් පිණිදියෙහි මුල් වරට කිමිද ගියේ ඒ ඔහුය...The First Ever Conqueror of the Moon


ජීවිතේ සමහර සිද්ධීන් තියනව අපිට මැරෙනකල්ම අමතක නොවන...මම මේ කියන්නෙ අපිට සිද්ධවෙන පෞද්ගලික සිද්ධීන් ගැන එහෙම නෙවෙයි ඔන්න...අපිට බලපාන සතුටුදායක ඒ වගේම කණගාටුදායක සිදුවීම් බොහෝවිට කිසිමදාක අමතක වෙන්නෙ නැහැ කියල අමුතුවෙන් කියන්ට උවමනාවක් නෑනෙව...ඒක එහෙමම තමයි...මම මේ කියන්නෙ පොදුවේ මුළු ලෝකෙටම බලපාන සිද්ධීන් ගැන....ලංකාවෙ නම් බණ්ඩාරනායක ඝාතනය, අමරිකාවෙ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය, එතකොට මාටින් ලූතර් කිං.....ඒ අපේ කාලසීමාවට ඉස්සරවෙලා වෙච්චි සිදුවීම්....ඒව ගැන පත්තර පොත් වල කියවල තියෙනව, ඒ වගේම ඒ සිද්ධීන් ගැන නිපදවුනු වාර්තා චිත්‍රපට බොහොමයක් මම බලල තියනව.

ඒත් එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි...අපි දකින්නෙ ඒ සිද්ධිය පිළිබඳ තව කෙනෙකුගෙ දෘෂ්ඨි කෝණයකින් දැකපු අන්දම...ඒ නිසා එතන තියනව පොඩි ඇල්මැරිච්ච ගතියක්...පිළුණු වෙච්ච ගතියක්...

මගෙ ජීවිතේ පළමු වරට ඔය වගෙ ලෝකයේ හැම මනුස්සයගෙම...හැම මනුස්සයම කිව්වොත් නම් හරිමත් නෑ...ඒ ගැන අහපු කියවපු හැම මනුස්සයගෙන්ම හිත් කුතුහලයෙන් සන්ත්‍රාසයෙන් ඒ වගේම විශ්මයෙන්...ඔව්, වැඩිපුරම විශ්මයෙන්..මිනිස්සුන්ට කරන්ඩ පුළුවන් දේවල් වල සීමාව කොතනද කියන ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන්ට අපි හැමෝම පොළඹවපු සිද්ධියක් උනේ 1969 ජූලි 20 වෙනිදා...ඒ තමයි මුල්වරට මිනිසෙක් සඳ මත පා තැබීම...


.

ඒ දවස්වල ටී.වී. කියන ජාතිය ගැන අපි හාංකවිසියක් දන්නෙ නෑ...රටේ ලෝකෙ වෙන දේවල් දැන ගන්ට ක්‍රම දෙකයි..එක්කො පත්තරේ..එහෙම නැත්නම් රේඩියෝ එක...උදේ 6.30 ට දවල් 12.45 ට හවස 6.00 ට රෑ 9.00 තමයි ප්‍රවෘත්ති...අනිවාර්යයෙන් අපේ ගෙදර ඔය ප්‍රවෘත්ති ප්‍රකාශය නම් අහනවම තමයි.

ප්‍රවෘත්ති වල තේමා වාදනය හරිම අපූරුයි...එකක් මෙහෙම '' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.....තන තනෙන තන තනෙන තන තනෙන තනතා.....''

ඔයාල හුඟ දෙනෙක් හත් හවුල පැත්තක තිබ්බාවෙ...ඇන් ඇම් ගැන උනත් දන්නෙ නැතුව ඇති...හෙහ්, හෙහ්,මොකදෑ කොරන්නෙ ඉතිං කරුමෙට?....හරි හරි එව්ව පැත්තක තියමු...දැන් මේ හඳට ගිය එක ගැන කියන්ට ඇවිල්ල වෙන බහුබූත නෙ කතා කරන්නෙ...

හැටනමයෙ අපි හිටියෙ කෑගල්ලෙ ...අප්පච්චි කෑගල්ල කච්චේරියෙ වැඩ කලේ...පොඩි කඳුගැටයක් උඩ රජයේ නිල නිවාසයක අපි හිටියෙ...ගෙදර ඉස්සරහ මිදුලෙ තිබ්බ රූස්ස කොස් ගහක්..ඔය ගහේ පිලිල වගයක් හැදිල තිබ්බ කියල මට තාම මතකයි...කොස් ගහ යට තිබ්බ ගල් තලාවක්...ඔය ගල්තලාවෙ වාඩි වෙලා හිටිය අපෙ අත්තම්ම..අම්මයෙ අම්ම...උන්දැගෙ උකුලෙ මම....අපෙ තිබ්බ ට්‍රාන්සිස්ටරයක් ඒ දවස්වල...එලයිට් වගෙ මට මතක නම...දිග බම්බුවක් වගෙ එකකට ලක්සපාන බැට්රි කෑලි හතරක් දාපුවම තමයි ඒක වැඩ කරන්නෙ...අපෙ ගෙදර හිටිය අම්මගෙ පොඩි අයිය...ඒ මාම තමයි ඔය රේඩියෝ එකේ නිසි බලධාරී...

ඉතිං එදා සඳ ගමන දවසෙ...මාම රේඩියෝ එක දාල ඇල්ලුව රේඩියෝ සිලෝන් එකේ සඳ ගමන විකාශය....

අපෙ අප්පච්චි ඉස්තෝප්පුවෙ වේවැල් පුටුවෙ ඉඳගෙන හිටියෙ ඔළුවෙ සුම්බරේකුත් ඔතාගෙන...එයයිට රෑට හීතල හුළඟ වැදුනොත් නාහෙ බර වෙනව...

'' දයාබර අසන්නනි..මෙන්න දැන් චන්ද්‍ර යානාවෙ දොරටුව විවර වෙනවා...ඔව් ...නීල් ආම්ස්ට්‍රෝං මෙන්න සෙමින් සෙමින් පඩිපෙල බැහැගෙන එනවා..ඔව් ඔන්න අවසාන පඩියට කකුල තිබ්බා...ඔව් තම වම් පාදය මේ දැන් සඳ මත තැබුවා....මල කෙළියයි...මේ යක්සය හාවගෙ බෙල්ල උඩටම නේද කකුල තිබ්බෙ?....ජූලි හතයි..නෑ..නෑ...ජූලි විස්සයි...''

ඇත්තම කියන්නද?...එහෙම විස්තර ප්‍රචාරයක් මට මතක නම් නෑ...ඒත් මොකක් හරි රේඩියෝ එකේ සජීව විස්තරයක් දුන්න කියල නම් මතකයක් තියෙනව...ඔය ඒ විස්තර ප්‍රචාරය මම හිතේ මවා ගත්තු විදිහ තමයි...

අර මම කියාපු කොස් ගහ පාමුල අත්තම්මගෙ තුරුලෙ ඉඳගෙන මම ඔය විස්තර ප්‍රචාරයට සවන් දුන්න...තුන් කාලක් විතරව් පිරිච්ච හඳ දිහාවෙ බලාගෙන..

'' ඈ සුට්ටි පුතේ..ඔය ඇත්තද කවුද හඳට ගියාය කියන්නෙ? ''

අත්තම්ම මගෙන් ඇහුවෙ මගෙ ඉසකෙස් අතරින් ඇඟිලි යවල පිරිමදින අතරෙ....

'' අනේ මන්ද අත්තම්මෙ...කවුරු දන්නවද ඕවෑ ඇත්ත නැත්ත....''

මම ඔළුව හරවල අත්තම්මගෙ මූණු දිහාවෙ බලල කිව්වෙ ඔය හඳට යන කතාවට අත්තම්මගෙ අබමල් රේණුවක තරම් වත් මනාපයක් නැතිබව දන්න හින්දමයි...

'' ඒකනෙව මමත් කියන්නෙ...''

අත්තම්ම එහෙම කිව්වට ආයෙම ඇකිරියගල කන්ද උඩින් මතුවෙලා තිබ්බ හඳ දිහාවෙ බොහොම ලොකු ඕනෑ කමකින් බලාඋන්න...මමත් උන්දැගෙ උකුලෙ උණුහුම විඳිමින් හඳ දිහාවෙ බලාහිටිය දන්නෙම නැතුව එහෙම්මම නින්ද යනකල්ම....හෙහ්, හෙහ්,

අවුරුදු හතළිස් තුනකට එහා වෙච්චි ඒ සිද්ධියෙ ප්‍රධාන චරිත කවුරුත්ම අද ජීවතුන් අතර නෑ..මුලින්ම මාම..අකාලයෙ අපෙන් සමුගත්ත..ඊට පස්සෙ මයෙ අත්තම්ම..ඊටත් පස්සෙ අප්පච්චි....අන්තිමට කෑගල්ලෙ අපෙ ගෙදර එදා ඉස්තෝප්පුවෙවත් කොස් ගහයට ගල් තලාව උඩ වත් නොහිටියත් ඒ සිද්ධියෙ ප්‍රධාන චරිතයක් වෙච්චි නීල්.....ඔව් නීල් ආම්ස්ට්‍රෝං මේ පහුගිය සෙනසුරාද ....25 වෙනිදා ජීවිතෙන් සමුගත්ත...මේ වැල්වටාරං ඔක්කොම ලිව්වෙ අන්න ඒ ටික කියන්න...මුල් වරට සඳ මත පාතැබූ ඒ අසාමාන්‍ය මිනිසා වසර 82 දිවි ගෙවා අවසානෙදි අප අතහැර ගියා.

වසර මිලියන ගනනක් පොළව මත මිනිසා ගතකල මුළු කාලාන්තරය තුල ඔහු විසින් මෙතෙක් දක්වන ලද ඉහළම දස්කම අවිවාදයෙන් සඳ ජය ගැනීමයි......ඒ ජයග්‍රහණය මුළු මහත් මිනිස් වර්ගයාගෙම සාමූහික ප්‍රයත්නයක් වුව අප වෙනුවෙන් ඒ කුඩා පියවර සඳ මත තැබුවේ ඔහුය...ඔව්...නීල්...ආයුබෝවන්.......ඔබට සුබ ගමන්....

That's one small step for a man, one giant leap for the
mankind

ප.ලි. - මේ කලකට ඉහත මම කියවපු නීල්ගෙ සඳ ගමන ගැන ලියවුනු අපූරු කතාවක්...පරිවර්තනය කලොත් කතාවෙ ගතියට හානියක් වෙයි කියල හිතුන නිසා ඔන්න එහෙම්මම දැම්ම...


On July 20.1969 Neil Armstrong was the first person to set foot on the moon. His first words of course were the famous, "That's one small step for man, one giant leap for mankind."

But just before he reentered the Lander, he made the enigmatic remark, "Good luck Mr. Gorsky." Many people at NASA thought it was a casual remark concerning some Soviet cosmonaut. However, upon checking, there was no Gorsky in either the Russian or American space programs.

Over the years, many people questioned Armstrong as to what the Gorsky comment meant, but Armstrong would always just smile and not answer the question.

On July 5, 1995, in Tampa Bay, Florida, Armstrong gave a speech and was then answering questions. A reporter brought up the 26 year old question to Armstrong. This time, he finally responded. Mr. Gorsky had died, so Neil felt that he could divulge the answer.

In 1938, when as a kid in a small midwestern town, he was playing "catch" in his neighbor's yard by the bedroom windows. His neighbors were Mr. and Mrs. Gorsky. As Neil leaned down to pick up the ball, he heard Mrs. Gorsky shouting at Mr. Gorsky. "Sex! You want sex?! You'll get sex when the kid next door walks on the moon!"

Wednesday, August 22, 2012

130. රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,.....A haunting melody across the decades



.




ආදරය , එහෙම නැත්නම් ප්‍රේමය...එහෙමත් නැත්නම් සෙනෙහස...මේ ඔක්කොගෙන්ම කියන්නෙ එක දෙයක්.....ඔය මොන විදිහට නිර්වචනය කරන්ට උත්සාහ කලත් කෙරුවත් ඔය ඔක්කොම අන්තිමට වහල තියන සළු පිළි ගැලෙව්වම එතන තියෙන්නෙ ආකර්ෂණය...නැත්නම් ආශාව....හිමිකරගැනීමේ අවශ්‍යතාවය....ශෘංගාරය...

ස්වභාවයෙන්ම මේ විදිහට මිනිස්සුන්ට මේ තරම් ආහ්ලාදජනක චමත්කාර ජනක, හෘදයාංගම හැඟීමක් බවට ආදරය පත්කලේ ඇයි?....ස්වභාවයට වැඩක් නෑ මිනිහෙකුයි ගැහැණියෙකුයි එකිනෙකා අතර පෙම් පත් කීයක් හුවමාරු කරගත්තද?....කවි සංකල්පනා කීයල් ලිව්වද?...ප්‍රේම ගීත කීයක් පදබැඳුනද කියන කාරණා.....

ස්වභාව ධර්මයේ ඒකායන අපේක්ෂාව වර්ගයා නොනැසී ඉදිරියට පවත්වා ගැනීම....විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇති ආකර්ෂණය වැඩි විය පැමිණීමත් සමඟම එක් වරම තීව්‍ර ලෙස ඉහල යන්නෙ ඒ නිසයි.ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනා කියන්නෙ ඇය ස්වභාව ධර්මයෙන් ඇයට නියමිත ප්‍රධානම කර්තව්‍යයට සූදානම් කියන එකයි. ඒත් අද තියෙන නොයෙකුත් බලපෑම්, සහ වෙනත් නොවැළැක්විය හැකි හේතු කාරනා නිසා ඒ කර්තව්‍යය කල් දැමෙන එක ප්‍රමාද වෙන එක වෙනම කතා කලයුතු කාරණයක්...

එතකොට මේ වර්ගයා නොනැසී පවත්වා ගැන්මේ කර්තව්‍යය උදෙසා අත්‍යාවශ්‍ය සාධකය මොකක්ද?.....ගැහැණියක සහ පිරිමියකුගේ එකතුවීම...නැත්නම් කාම සම්භෝගය...රමණය....මේ සෙනෙහස, ප්‍රේමය...ආදරය...ඔය ඔක්කොම අන්තිමට යොමු වෙන්නෙ එතනට....ඒක තමයි ඔය ඔක්කොගෙම කූට ප්‍රාප්තිය...

හරි...එහෙම වෙන්නම ඕනද?...නෑ...එහෙම නැතුවත් ආදරය සෙනෙහස, ප්‍රේමය පවතින්න පුළුවන්...මම එකඟයි..ඒත් මම මේ කියන්නෙ ස්වභාවයෙන් සිද්ධ වෙන්ට නියම වෙලා තියන දේ....එච්චරයි...

මේ පූර්විකාව මම ලිව්වෙ මොකටද දන්නවද?...මේ පහුගිය ඉරිද සිදුවුණු අපූර්ව සිදුවීමක් ගැන කියන්ට.....

මැද පෙරදිග රටවල් වල රමදාන් උපවාස සමය නිමාවෙන්නෙ දින තුනක නිවාඩුවකින්.....සිකුරාදා කොහොමත් නිවාඩුනෙ...එදා රෑ කපල අයිං කරපු නියපොතු කෑල්ලක් වගෙ අලුත් හඳ උදා උනේ ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් නිමාවත් එක්කම අපි හැමෝටම දවස් තුනක නිවාඩුවක් අරගෙනයි.

ඉරිද දවල් මම ඉන්න අපාට්මන්ට් එකේ අපි හතර පස් දෙනෙක් පොඩි සුහද හමුවකට එකතු උනා......මේ ගෙවල් වලින් යොදුන් දහස් ගණක් දුර බැහැර දේස දීපංකරේ ඇවිල්ල ඉන්න අපිට පොඩි හිතට නිවනක් ලැබෙන්නෙ ඔය වගෙ දේකින් තමයි...ඉතින් සුපුරුදු ලෙස පස්වන සිල් පදය සම්බන්ධ කටයුත්තත් නොකෙරුනාමයි කියල එක හෙලාම කියන්ට බැරි බව තමයි මට මේ වෙලාවෙ තියන ප්‍රශ්නෙ...හෙහ්, හෙහ්,

යම් පමණකට එලඹි කල ඉනික්බිති සුපුරුදු ඊලඟ පියවර....මීයැසිය........

මීවිතය එක් අතක,
ගීපොත ද පිටු දිගැර,
ගෙවන කල තුරු සෙවණ,
සොඳුරුය මේ දිවිය........

මේ ඔමාර් ඛයියාම් ලියාපු කවියක්....

තබ්ලාවට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ බොන වතුර ගේන ගැළුම් පහේ ප්ලාස්ටික් බෝතලේ...හිස් බෝතලේ මුනින් හරෝල දණිස් දෙකට තද කර ගත්තම දෙන්න පුළුවන්..දන්නවද?.... ආයෙ අහවල් තබ්ලා....මෙහෙ ඉන්නව ඒවයෙ විශාරද කට්ටිය...උදක භාජන තබ්ලා විශාරද....

ඒත් ඉරිදනම් ඔන්න තබ්ලා කුට්ටමක් හම්බ උනා...දැන් ඔන්න වැඩේ නැඟලම යනව...

පස්සෙ ඔන්න එක එක්කෙනා කැමති ගීත ඉල්ලීමේ වාරය ආව...එදාම අපිට සෙට් වුනු අළුත් යාලුවෙක් උන්න...මිනිහගෙ කැමතිම සිංදුව කිව්වෙ තිසරු ලියන් මැද....සමන් ජයනාත් ජිනදාස.....අහපු දවසෙ ඉඳලම මගෙත් කැමතිම සිංදුවක්...මට මතක විදිහට අනූව දශකයෙ මුල් වසර කීපය ඇතුලත රූප වාහිනියෙ යාත්‍රා වැඩ සටහනින් මුල් වරට ප්‍රචාරය වුනේ....

බොන්නම ඕන නෑ මත් වෙන්න ඒ වගෙ සිංදු තියනව නම්....හෙහ්, හෙහ්, රචකයා බන්දුල නානායක්කාරවසම්...සංගීතය නවරත්න ගමගේ....

ඉතිං මොනවද කිව්ව තමයි......එක පාරක් මදි කියල හිතුන නිසා දෙපාරක්ම කිව්ව...

තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,

විපුලිත ලැම රණ හංස තුඩට කිම,
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,

වචනෙන් වචනෙ විස්තර කරන්න ඕන නෑනෙ නේද?....නොතේරෙන කවුරුවත් නෑනෙ .....හෙහ්, හෙහ්,

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,

හෙහ්, හෙහ්, හෙහ්......කොහොමද හැබෑටම හැඟුමන් මැඩලන්නෙ?.....බෑම තමයි අප්පා.....

දෙපාරක් සිංදුව කියල කට්ටියම නිහඬව ඇස් පියාගෙන මොහොතක් හිටියා...තවම හිතෙන් බිසරු ලියන් මැද......

'' නියමෙට ආව සිංදුව...ඒත් අර තම් තම් කෑල්ලත් ආවනම් තමයි මරු...''

සිංදුව ඉල්ලපු අලුත් යාළුව එක පාරටම කියාපි..

'' මොකක්?....තම් තම්....ඒ මොකක්ද බං? ''

මට හිනා යන්ටත් ආව....

'' ඇයි ඕකෙ තියනව තම් තම් කෑල්ලක් ....දාපන්කො බලන්න යූ ටියුබ් එකේ...''

ඔන්න යූ ටියුබ් එකේ සිංදුව දැම්මා...අඩේ ඇත්තම නේන්නම්...සිංදුව මුලිනුයි අන්තර් වාදන කොටසෙයි තම්, තම් කියල කෑල්ලකුත් තියනව නේන්නම්....

'' හරි උඹට දැන් තම් තම් කෑල්ල ඕනෙමද? '' මම ඇහුවා....

යූ ටියුබ් එකේ සිංදුව හෙමීට දාල ආයෙම අපි තුන්වන පාරටත් සිංදුව කිව්වා...

ඔන්න නිශ්ශබ්දතාවය ආයෙම කඩ කලේ අලුත් යාලුව....

'' මේකෙ තේරුම මොකක් කියලද මචං උඹ හිතන්නෙ....'' ඇහුවෙ මගෙන්..

මම ඌ දිහා බැළුවෙ පුදුමයෙන්....

'' ඇයි මොකක්ද තේරුම කියල අහන්නෙ? ...පෙම්වතුන් දෙන්නෙක්ගෙ මංගල රාත්‍රිය නැත්නම් කොහොම හරි දෙන්නෙක්ගෙ එක් වීමක්...වෙන මොකක්ද?''

මිනිහා ඔළුව දෙපැත්තට වැනුව..තිරස්ව..මට එකඟ වෙන්න බෑ කියල..

'' නෑ මම නම් හිතන්නෙ වෙන තේරුමකුත් තියෙන්න පුළුවන්...මේකෙ මුල්ම වචන දෙක බලපන්.....බිසරු ලියන් මැද.........අබිසරු ලියන් කියන්නෙ කවුද කියල දන්නවනෙ ....'' මිනිහ හිනාවුනා..

'' කොහෙද බං ඒකෙ බිසරු ලියන් කියල තියෙන්නෙ....සිංදුව පටන් ගන්නෙ තිසරු ලියන් කියලනෙ ''

මම ඇහුවෙ පුදුමයෙන්....මෙච්චර කාලයක් සිය පාරකට වඩා අහල ඇති ඔය සිංදුව..ඒ වගේම කියලත් ඇති..ඒත් මේ බිසරු ලියන් කතාව මම දන්නෙ මේ අදනෙ..

'' උඹ සිංදුව අහල නෑ හරියට..ආයෙම දාල අහපං හරියට.. ''

ආයෙම ඇහුව කියමුකො...අනෙ අම්මාපල්ල ඇත්තම නොවෙන්නම්...

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,

ඔන්න ඉතිං බලමු ඒකෙත් වැඩේ හැටි...හෙහ්, හෙහ්,

'' ඇත්තමයි අදමයි මම මේ බිසරු ලියන් කතාව දන්නෙ...හෙහ්, හෙහ්, ''

ඒත් පරාජය පිළිගන්න මම සූදානම් උනේ නෑ....

'' ඒත් මචං ඕක මෙහෙම වෙන්න බැරිද?....ඔතන කියන්නෙ බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත සසල කරයි හද මානනියේ, කියලනෙ ඒ කියන්නෙ අබිසරු ලියන් මැද උනත් මගෙ හිත සසල කලේ නුඹේ සුපුල් වත එහෙම වෙන්න බැරිද? ''

මම ඇහුවෙ කට කොනකින් හිනා වෙමින්...

'' එහෙම වෙන්නත් පුළුවන්...ඒත් ඕක හරියටම දන්නෙ බන්දුල නානායක්කාරවසම් තමයි...ගනිං මචං බෝතලේ මෙහාට....''

මනුස්සය කිව්වෙ මගෙ උරහිසට පාරක් ගහන ගමන්...

Monday, August 20, 2012

102. නෙතින් නොදුටු, උපනෙතකින් දුටු

ඊයේ නිවාඩු දිනයේ, දුවත් එක්ක වෝටර් වර්ල්ඩ් පැත්තේ ගිහින්, හවස් වෙලා කැළණි විහාරය වන්දනා කරගෙන එන්න කියලා අපි කථා වුනා. ඉතිං ඒ ගමන් දෙක ඒ අයුරින් ම සිදුවුනා. දුවටත් සතුටුයි. අපටත් සතුටුයි.

අපේ හිතවත් ම සොයුරකු විසින් පිටරට ඉඳන්, පහසු ගෙවීමේ ක්‍රමයට ගෙනැත් දුන්නු Canon IXUS 115 HS කැමරා රාජයාත් අරගෙන තමයි ගමන ගියේ. වෝටර් වර්ල්‍ඩ් එකේ පිංතූර නං ඔයාලා ඉතිං ඔය හැම තිස්සේම දකින වර්ගයේ ඒවා තමයි. ඒත් ‍ඒ ගමන් දෙක යන්න කලින් උදේ වරුවෙත් දුර ගමනක් ගිහින් ආපු මගේ මහත්තයා, අපි දෙන්නාට වන්දනා කර ගැනීමට ඉඩ දීලා, කැළණි විහාරයේ, බෝ මළුවේ බිත්ති කණ්ඩියට හේත්තු වෙලා වාඩි වෙලා ඉඳගෙන අරගෙන තිබුණු පිංතූර ටික නම් ඔයාලාට පෙන්වන්න ඕනෑ කියලා මට හිතුනා. ඒ පිංතූර ගැන ඔයාලා මොනවගේ අදහසක් දැරුවත්, මායි දුවයි වැඳුම් පිඳුම් අවසන් කරලා ආ හැටියේ මහත්තයා ඒවා පෙන්නපු වෙලාවේ මට ඇති වුනු හැඟීම හා සිතුවිලි නම් වෙනස් වන්නේ නැහැ කියලා මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන්.‍


විහාර මන්දීරය

චෛත්‍යය හා විහාර මන්දීරය

බෝධීන් වහන්සේ

චෛත්‍යය හා විහාර මන්දීරය

චෛත්‍යය හා විහාර මන්දීරය

බෝධීන් වහන්සේ

මේ බෝධීන් වහන්සේ පිංතූර ගත්විට ලැබුණු පිංතූරයක්

බෝධීන් වහන්සේ

මේ පිංතූරය ගැන මොකද හිතෙන්නේ? (මෙතැන පහතින් පෙනෙනුයේ විහාර මන්දීරය ඇතුලත දල්වා ඇති විදුලි බුබුලකි. එහි බලපැමක් පිටතට නැති බව පහත රූපයෙන් පැහැදිලි වේ)

විහාර මන්දීරය

බෝධීන්වහන්සේගේ අතු ඉති අතර (මෙවැනි දේට විද්‍යාත්මක යැයි විවිධ අර්ථකථන දිය හැකිය..............)

අවසාන පිංතූරයේ කව තුන ලකුණු කිරීම හැර අඩුම වශයෙන් ආලෝක තත්ත්වයවත් වෙනස් නොකර, පිංතූර ලබාගත් ආකාරයටම මෙතැන පල කර තියෙන්නේ. වැඩි විස්තරයක් කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. පිංතූර ටික පෙන්වන්නට තමයි උවමනා වුනේ.

පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව                  පැවතියේ
එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා                   උරුදියේ
වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්නේ                 පැහැදියේ
 උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත්           කැළණියේ
(මෙහි වරක් යනු වසරක් යැයි පැවසේ)

Friday, August 17, 2012

129. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....16


දඩයක්කාරයාගේ ජීවිතයෙහි සෑම සුවිශේෂී සිද්ධියක්ම සිදුවනුයේ සඳ පායා ඇති රාත්‍රියන්හි දීමය.මෙදිනද ඒ අහේතුක වූ ධර්මතාවය යලිදු පසක් කරමින් පුරා සඳ කොහොඹ අතුපතරින් එබෙමින් ගෙමිදුල කිරි දියරෙන් නැහැවීය.

පියාණන් ගෙපැල මධ්‍යයේ ඇතිරූ මුව සමෙහි වැතිරී නිදනු වස් ගෙපිලෙන් නැඟී සිටියේ සඳ අවපසෙහි අඩක් පමණ ගමන් කල ඉක්බිතිය.නැඟී සිට දඩයක්කාරයාගේ දසරුව සිය සුරතින් ග්‍රහණය කල හෙතෙම තම ගැඹුරු හඬින් මෙසේ පැවසූයේ දීගු සුසුමක් හෙලූ අනතුරුවය.

'' ජීවිතේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන පුදුම වෙන්න වත් පසු තැවිලි වෙන්නවත් එපා පුතා....සිද්දවෙන, ඒ වගේම සිද්ද වෙන්ට නියමිත හැමදෙයක්ම, එහෙම වෙන්නෙ එහෙම වෙන්ට නියමිත නිසාය කියල හිතන්න......පුතාගෙ ජීවිතේ ඉස්සරහට විස්වාස කරන්ට බැරි විදිහෙ සිදුවීම් වේවි....ඒ වෙලාවට උපේක්ෂා සහගත වෙන්න...එච්චරයි මට කියන්න තියෙන්නෙ.....ආයෙත් දවසක අපි හමුවේවි....අනාගතේ දවසක.......''

එදින හිරු උදාවට පෙර මහ දඩයක්කාරයා මිය ගියේය. සිතෙහි අධික විපිලිසර භාවය නිසාම නින්දට පත්විය නොහුණු දඩයක්කාරයා මුළු රාත්‍රි කාලයම ගත කලේ ඉදිරිපස පිලෙහි කටුමැටි බිත්තියට පිට දී ගෙමිදුල දෙස බලා සිටිමිනි.

කොහොඹ අතුපතර පීරා වැටුණු උදෑසන ලහිරු රැස් ගෙමිදුල රටා මවන්නට වී තවත් කාලයක් ගතවූ පසුවය දඩයක්කාරයා අවදි වූයේ.සත්‍ය වශයෙන්ම අවදි වූවාය යන යෙදුමට වඩා අත්‍යන්තයෙන්ම ඔබිනුයේ ඔහු ගැලී සිටි නින්දත් අවදියත් අතර අවිනිශ්චිත අවකාශයෙන් එක් වනම බැහැරවූවා යන්නයි.

බිමට යොමුවූ හිසින් සහ ළය මත බැඳගත් දෑතින් යුතුව සෙමින් ගෙපැලට පිවිසි දඩයක්කාරයා ලී පතුරු වලින් කලකට පෙර නිමැවූ හිරු රැස් මෙන්ම දැඩි වර්ෂාවටද ඒ කාල පරාසය තුල නොකඩවා නිරාවරණය වීමෙන් අබල දුබල තාවයට පත් ගෙපැලෙහි නූස් පසුපස බිත්තිය අසල අතිරූ මුව සමක් මත වැතිර නිසොල්මනේ අවසන් නින්දට පිවිස හුන් පියාණන් දෙස මොහොතක් බලා සිටියේය. අවසන දෙදණ නවා පහත්ව පියාගේ කෙමෙන් සිසිල් වන එහෙත් මෙතෙකුදු ජීවන රශ්මිය පූර්ණ වශයෙන් නොවියැකුණු නලලත සෙමෙන් සිප ගත්තේය.

විසි වසරකට මඳක් අධිකවූ තම දිවියෙහිදී ( තම වයස හෝ යටත් පිරිසෙයින් වයස යන සංකල්පය හෝ පිළිබඳව දඩයක්කාරයා තුල වූයේ ඉතාමත් අපහැදිලි සහ ව්‍යාකූල වූ හැඟීම් මාත්‍රයක් පමණි.එබැවින් මෙහිදී මවිසින් වයස යන සංකල්පය යොදනුයේ හුදෙක් පාඨක ඔබගේ වටහා ගැන්ම උදෙසාමය, ප්‍රිය සහෘදය, සහෘදිනිය )තමනට ජීවය ප්‍රධානය කල පියාණන් ප්‍රථම වරට සිපගත්තේ ඔහු මියගියදා ඔහුගේ මෘත දේහය වීම කවර නම් උත්ප්‍රාසයක් වන්නේද?

ගෙපැල තුල වූ එකම ගෘහ භාණ්ඩය වූ ඉපැරැණි කැටයමින් සමලංකෘත පෙට්ටගම විවෘත කල ඔහු ඉන් ශ්වේත වර්ණ වූ පුළුල් රෙදි කඩක් පිටතට ගත්තේය.මීට දොළොස් වසරකට ආසන්න වූ කාලයකට ඉහත මවගේ මළගම දා මහ දඩයක්කාරයා කටයුතු කල ආකාරය නැවත සිහියට නඟා ගන්නට ඔහු තවත් වරක් උත්සාහයක් ගත්තේ රෙදිකඩ තරව ගත් දෑතින් සහ පියාගත් දෙනෙතින් යුතුව මොහොතක් ගත කරමිනි.

එදින, කාලයේ ඝන මිහිදුම් සලුවෙන් වැසීගිය ඒ අතීතයේ දිනෙක සිදු වූ සිද්ධීන් මාලාව ඔහුගේ මනසට එක් වරම පිවිසියේ උදෑසන කැටි ගැසෙන තිමිර සළු ඉරාපියා මිහිමතට පතිත වන හිරු කිරණක් කරන කොටගෙන හාත් පස ආලෝකවත් වන අයුරිනි.

සිත තුලට පිවිස සිත පහන් කල ඒ මතකය ද සමඟ යුහුසුළුව ක්‍රියාත්මක වූ දඩයක්කාරයා ශ්වේත වර්ණ වූ රෙදි කඩ දිග හැර පියාණන්ගේ දේහය දැඩි පරීස්සමකින් මෙන්ම සෙනෙහසකින් යුක්තවද එහි වෙළුවේය.ඉන්පසු දෙදණින් නැවී සිට දෑතින් ඔසවාගත් දේහය ද ළයට තුරුළු කොටගෙන නැඟී සිටියේය.

දේහයද ඔසවාගෙන මිදුල මධ්‍යයෙහිවූ කොහොඹ වනස්පතිය පසුකරනවාත් සමඟම සිතට ඇතුළුවූ එක් මතකයක් හේතුකොටගෙන හෙතෙම ඉද්ද ගැසුවාක් මෙන් එකෙණෙහිම නතර වූයේය.

දඩයක්කාරයාගේ සිතට පැන නැඟී ඔහුගේ ගමන නතර කිරීමට උදක්ම හේතුවූයේ මෑණියන්ගේ දේහය මිහිදන් කිරිම උදෙසා පියාණන් හා සමඟ එවක පැටි වියේ පසුවූ ඔහු යවුලකින් කණිමින් දැඩි පොළව සෑරූ දර්ශනයයි. ඒ සමඟ ආපසු හැරුණු හෙතෙම සීරුවෙන් දේහය පිල්කඩ මත තැබුවේ ගෙපැල පසුපස බිත්තියට හේත්තු කොට තිබූ යවුල ද රැගෙන නැවත පැමිණ යලි ඔසවාගත් දේහය ද ළයට තුරුළු කොටගෙන මිදුල වසා පැතිරි කොහොඹ වෘක්ෂය ද පසුකොට මඟට පිළිපන්නේය.

එදින අහස් කුස වැසි වලාවන්ගෙන් බරව පැවතියේ ඔහුගේ සිත පුරා පිරී ඉතිර ගිය සෝ දුකට අගුළුපත් තබන්නාක් මෙනි. වරින්වර හාත්පස කඳු මුදුන් වැළඳ හුන් මිහිදුම් සළුතිර හමා ආ සුළඟ කරන් කොට මඳක් ඉහිල් වූ කල්හි ඒ අතරින් පෙරීවිත් දෙරණ ආලෝකවත් කල හිරු එළියෙහි වූයේද සුපුරුදු සැඩ රශ්මිය නොව මළානික පීත වර්ණයෙකි.

මේ කිසිවක සංජානනයකින් තොරව දඩයක්කාරයා ස්ථිර වූ පියවරින් වන මෘගයින් නොගිණිය හැකිවූ සංඛ්‍යාවෙක සිව් පයින් කාලාන්තරයක් තිස්සේ ගෙවී සුමට වූ වන පෙත මධ්‍යයෙන් දිවෙන පෙත් මඟ දිගේ ගමන් ගනිමින් සිටියේය.

වන සත්වයින් හා සමඟ සිතිවිලි හුවමාරුවෙහි ඔහු මේ වනවිට බොහෝ සෙයින් පරිණත වූ නමුදු එදින ඒ කිසිවකට ඔහු සිත ඉඩක් නොවුණි. අවට තුරු ලිය අතු පතර මෙන්ම දෙපස වන බූටෑව තුල ද සිට ඔහු දෙස බලාසිට ඔහුගේ සොව නිසාම ඒ වෙනුවෙන්ම ඔහු සමඟ සහානුභූතිකව ශෝකවන වන මෘගයින් මෙන්ම සියොතුන් ද නැතක් වූ නමුදු ඔවුන්ගේ සිතුවිලි ඔහු සිතට ඡායාමාත්‍ර ලෙස විශය වූ නමුදු ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරවම දඩයක්කාරයා පෙත් මඟ දිගේ ඇවිද යමින් සිටියේය.

උදෑසනම අවදිව තුරු අතු පතර සොළවමින් එකිනෙකා පසුපස හඹායමින් හුන් වානර සේනාව ඝෝෂාව ඒ වනම නැවැත්වූවෝ අතුපතරින් එබෙමින් දඩයක්කාරයා හොඳින් දැකගත හැකි මානයට පැමිණ සොවින් පිරී ගිය මහත් ඇස් විදහාගනිමින් ඔහුගේ ශෝකයට හවුල් වූයේ කුඩාවුන් තුරුළු කර ගනිමිනි.

හිරුරැස් දැඩි වන්නට පෙර සෙවණක් සොයායනු පෙර අවසන් තණ පත් කිහිපය බුදිමින් හුන් මුවැත්තියක් හිස ඔසවා දඩයක්කාරයා ඈ අසලින් පියමං කරනතෙක් ඇසිපිය නොහෙලා බලාසිට ශෝකයෙන් බරවූ සිතින් යුතුව හිස පහත් කරගත්තීය

රාත්‍රියේ පශ්චිම යාමයෙහිදී දෙවරක්ම තරුණ මුව පොව්වන් දෙදෙනෙකුට ඇල්ලූ කුරුමාණම අබල දුබල තාව නිසාම වැරදීගිය හෙයින් සාගින්නෙන් පීඩිත තවත් දවසක් ගෙවීමට ඉරණම් වූ වයස්ගත දිවියෙක් දිවාකල නිවහන වූ ගල් රුකුල වෙත යාමට පෙර දොළ පහරට බැස කුස පුරා ජලය පානය කරමින් සිටියේ දඩයක්කාරයා දෙස බලාඋන්නේ සිය සාගින්න මෙන්ම ගතෙහි අබල දුබලකම් ද මොහොතකට අමතක කර ලමිනි.

මේ කිසිවක් නොදුටු, යම්තමට ඇස ගැටුණද ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකල දඩයක්කාරයා පියාගේ දේහය ද රැගෙන පෙත් මඟ දිගේ සෙමෙන් එහෙත් ස්ථිරසාර පියවරින් ගමන් ගත්තේය.

ඉනික්බිති අවසන ඔහු ඉලක්ක ගමනාන්තය වෙත සැපත් වූයේය. මේ ගමනාන්තය කිමෙක්ද යන්න මා ප්‍රිය සහෘදය, සහෘදිනිය.... ඔබට යලිදු විස්තර කිරීමෙහිලා කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේම නැත.දඩයක්කාරයා මීට වසර දොළොසකට පමණ කාල පරාසයකට ප්‍රථම වර්තමානයෙහි ඔහුගේ දෑතෙහි ප්‍රාණය නිරුද්ධව වැතිර හිඳිනා සිය පියාණන් පසුපස මෑණියන්ගේ අවසන් මිහිදන් කටයුතු උදෙසා පැමිණියේ ද මෙතැනටමය.ඉදින් අනතුරුව දිනපතාම පාහේ චන්ද්‍රයා කිහිප වරක් පූර්ණත්වයට පත්ව ක්ෂය වී යනතෙක් පියාණන් කැටුව ඔහු මෙහි පැමිණියේ පාරම්පරිකව පැවත එන්නාවූ වූ ඔවුන්ගේ අද්භූත මෙන්ම විශ්මයජනක ද වූත් ශාස්ත්‍රඥාණය ලබා ගනු වස්ය.

ඒ මේ ඔවුන්ගේ පාරම්පරික ශුද්ධ වූ පුදබිම වූ හෙයිනි. ශාස්ත්‍රෝද්ග්‍රහණය නිමාවූ ඉක්බිති පසුගිය දීර්ඝ කාල සීමාව මුළුල්ලේම දඩයක්කාරයා මෙහි පැමිණියේ දෑතෙහි ඇඟිලි වලින් ගිණිය හැකි වූ තරම් වාර සංඛ්‍යාවෙකි.ඒ ද දඩ මං ඔස්සේ සැරිසරද්දී හෝ කිසිදු අරමුණකින් තොරව නිදැල්ලේ ඉබාගාතේ වනයේ සැරිසරද්දී හෝ හුදු අහඹුවකිනි.එහෙත් මේ ශුද්ධ භූමිය එදා වසර දොළසකට පූර්වයෙහි පැවති අන්දමින්ම අනවරතව පැවතීම දඩයක්කාරයා කිසිදු අයුරකින් විශ්මයට පත් නොකලේය.

කිසිදිනෙක ලොකු කුඩා කිසිදු වනසතකු, යටත් පිරිසෙයින් ඕනෑම අසීරු ස්ථානයකට වැද ඒ තම කෙළි මඬල බවට නිමේශයකින් පත් කරගන්නා, වනය පුරා තුරු හිස් අග නිබඳ සරනා කාල වර්ණ වානරයින් රැළ පවා එහි ඇතුලුවූ බවට කිසිදු සාක්ෂියක් නොවූ අතරම වියලි කල හේබා ගොස්, වාලිඹේ ගිරිහිස අඹරවමින් එක එල්ලේ මසක පමණ කලක් පොළවට ඇද වටනා මහ වැසි සමයේ දළු කොළ අතු රිකිලි ලමින් වැඩෙනා මහ වනය පවා ඒ භූමි භාගය වටා ආරක්ෂක රැකවළුන් මෙන් නැඟී සිටි වෘත්තාකාර ගල් කුළුණු පරයා ඇතුළු වීමට බිය වූ බවක් පළකලේ අනාදිමත් කාලයක සිට මෙබිම ආරක්ෂා කරනා ඒ අද්භූත බලවේගය තවමත් ක්‍රියාත්මක බව කිසිදු සැකයකින් තොරව සාක්ෂාත් කරවමිනි.

මෑණියන් මිහිදන් කල ස්ථානය අසලම යවුලෙන් ඔහු කණින්නට වූයේ පීඨිකාව මධ්‍යයේ වූ ශෛලමය පුවරුව මත දේහය සීරුවෙන් තැන්පත් කල අනතුරුවය.

සුපුරුදු ලෙස මේ වනවිට වනබිම දියකඩිති වලින් ගහන, තබනා පියවරක් පාසා වලලුකර දක්වා පා කිඳාබස්වන, මුදු තණ පළසක් බවට පත් කරවන නිකිණි වැස්ස ද නියමිත කාල වකවානුව ගෙවී ගොස් දෙසතියක් පමන වූවද හුදෙක් ඈත නැගෙනහිර අහස කළුකරවමින් වරින්වර සවස්කල දිදුලන අසනි ධාරාවකට පමණක් සීමා වූහෙයින් පොළව කැණීම අයෝමය තහඩුවක් සිදුරු කිරීමට තැත් දැරීමකට සමාන විය.

එහෙත් යොවුන් වියේ නොදැමුණු කාය ශක්තියෙන් මොනවට ප්‍රයෝජන ගනිමින් දඩයක්කාරයා හිරු මධ්‍යාහ්නයට ලංවිමට බොහෝ වේලාවකට ප්‍රථම කැණීම නිම කළේය.

දොළොස්වසරකට පෙර මතකය යලිත් අවදි කරගනිමින් දඩයක්කාරයා දේහය සීරුවෙන් වලෙහි තැන්පත් කොට බිඳෙන් බිඳ පස් දමා අවසන අසලින් ගලායන දොළ පහරෙහි බැස දහදිය, දුහුවිලි යනාදිය සමඟ ගතේ වෙහෙසද සිතෙහි වෙහෙස යම් පමණකටද සෝදා හලේ දොළ පහරෙහි පා කොට යැවීය.

අවසන සුපුරුදු පාරම්පරික චාරිත්‍ර විධි ක්‍රමය අනුව භෞතික ශරීරය මිහිමත රඳවා තබා , තම මනෝ කායයෙන් පියාණන්ගේ ආත්මය ද සමඟ ඒ ආලෝකයෙන් සදා දිදුලන අවකාශය වෙත සැපත් වූයේය. එසේමය, ඒ පුද බිම ඉහල අහසේ පිහිටිය හැකිවා මෙන්ම එසේ ඉතා පහසුවෙන්ම ආලෝක වර්ෂ අසංඛ්‍යයක් ඔබ්බෙහි පිහිටිය හැකි වුවාට අමතරව දඩයක්කාරයා මතු නොව ඔහුට අත්‍යන්තයෙන් සහස්‍ර ගුණයකින් බුද්ධි මහිමයෙන් යුක්ත වූ මහා ප්‍රඥාවන්තයෙකුට වුවද කිසිසේත්ම වටහා ගත නොහැකි බවට දිවි පරදුවට තැබීමට පවා කිසිවිටෙකත් මම නොපැකිලෙන්නාවූ ඒ උත්තර භූමිය වෙතට ඔහු සැපත් වූයේය.

එහිදී අවසන් වරට පියාණන් ,ඒ අපූර්ව භූමිය හෝ අවකාශයේහිදී ඔහු සමුදුන්නේ පියාණන්ට ද යන්න විවාදාපන්න කරුණක් බැවින් අපි මෙහිදී ඒ පිළිබඳව විමසීම පසෙක තබා දඩයක්කාරයා වෙතට හැරෙමු.

අවර හිරු මඬල වාලිඹේ පර්වතය පසුබිම් කොට ගනිමින් රක්තවර්ණ සිත්තමින් පෑලදිග අහස සරසද්දී දඩයක්කාරයා සෙමින් සෙමින් පියවර තබමින් තම ගෙපැල වෙතට ළඟා වෙමින් සිටියේය.වර්ෂාව සම්ප්‍රාප්තිය නොබෝ දිනකින් බව පවසමින් කොහොඹ අතු පතර සිප ආ සිහිල් සුලං රැළ්ලක් ගත සිපගනිමින් දාහය නිවා දමද්දී ඔහු පිල්කඩ මත ඇද වැටුනේ ළය පුරා පිරි හුස්ම සියල්ල එක ප්‍රශ්වාසයකට කැටි කොට පිටකර හරිමිනි.

පුරා සඳ මඬල කොහොඹ අතුපතරින් මුදුන්ව ඉක්බිති ගෙමිදුළ මැවූ රටා කෙමෙන් අතුරුදන්ව ලහිරු මඬල කඳු වටයෙන් එබෙමින් සිය ගත උණුසුම් කරනා තෙක්ම දඩයක්කාරයා කිසිදු හැඟීමකින් තොරව අඩවන් වූ දෑසින් යුතුව එලෙසම වැතිර හුන්නේය.

මතු සම්බන්ධයි........

Thursday, August 16, 2012

128. දඩයක්කාරයාගේ කතාව - ප්‍රමාදයට හේතු සහ සමාධිය භජනය කරන ලෙස කරන කාරුණික ඉල්ලීම


ආයුබෝවන්..මගේ සහෘදයනි, සහෘදිනියනි...ඔන්න කාලෙකට පස්සෙ දඩයක්කාරගෙ කතාව ආයෙම....

සමාධිය භජනය කරන්ට ඕනමයි සිදුවූ ප්‍රමාද දෝෂයට හොඳේ....කට්ටියම,




ඉන්ඩකො වෙච්චි දේ මුල ඉඳලම අකුරක් නෑර කියල හිටින්ඩ,

ඔන්න ජූනි මුල ගියානෙව මයෙ වාර්සික නිමාඩුවට ගම රට බලා...මම හිතාන හිටියෙ පුලුහං ඉක්මනට දඩයක්කාරය එහෙදිම ලියාල ඉවරයක් කොරන්නම්ය කියල...මොන සමයංද?...එව්ව කොහෙද අපෙ ලොක්කි එක්කල....හෙහ්, හෙහ්,

ඔන්න නිවාඩුවෙ පලවෙනි සති දෙකම ගෙවිල ගියා උන්දැගෙ විස්තර කියවිල්ලට. ඇයි අප්ප අවුරුද්දක් තිස්සෙ වෙච්චි දේවල් ඔක්කොම කියනව නෙව මයෙ ඔළුව විකාර වෙනකල්ම...පව් ඉතිං එක අතකට...මා එක්ක නැතුං ආය වෙන කවුරු එක්ක කියන්ටද නැත්ද හොඳයි?

ඔන්න, ඌරො ඇවිල්ල ඇන්තූරියම් හාරපු එකයි, අල්ලපු ගෙදර බල්ල ඇවිල්ල එළියෙ තියන පුටුව උඩ බුදියන එකයි, ඉස්කෝලෙ වෙච්චි එව්වයි,තව ඔය ඔය ගමේ වෙච්චි පොඩි පොඩි සීන් කෝන්..... ඔය ඔක්කොම කියනව එකක් නෑර..

ඒ ඔක්කොමත් හරි ඒ අස්සෙ අහනව...

'' ඇයි අනේ ******, ඔය ඌරො ඇන්තූරියම් හාරන්නෙ ඇත්තට ? ''

ඔය තරු තියන තැනට දාන්න ඕන උන්දැ මට කියන නම, එහෙම විශේෂ නමක් තියනව එයා මට කතා කරන...ඒ වගේම මම එයාට කතා කරන්නත් විශේෂ නමක් තියනව...ඒ නම් දෙක දන්නෙ අපි දෙන්න විතරයි. අපි යාළු වෙච්චි අලුතම තමයි ඔය නම් දෙක දාගත්තෙ...මම මේ ඔයාලගෙං අහන්ටමයි හිටියෙ ඔයාලගෙ නැද්ද ඒ වගෙ කවුරුවත් නොදන්න ඔයාල දෙන්නටම විශේෂ වෙච්චි නම් එහෙම?

එහෙම තමන් විතරක් දන්න තමන්ටම විශේෂ වුනු නම් දෙකක් තියන එකේ අමුතු ගතියක්, සමීප බවක් තියනව කියල හිතෙන්නෙ නැද්ද?...මන්ද මට නම් එහෙම හිතෙනව...හෙහ්, හෙහ්, මේ ඔය එහෙම නම් නැති කට්ටිය බලන්ට එහෙම නම් දෙකක් දාගෙන, ඒක මොන තරම් සුන්දරයිද කියල...මම කීවට කරල බලන්ටකො..ඔන්න...

ඔය ස්පෙෂල් නම් කේස් එක නිසා වෙච්චි හිනා කන සීන්ස් වගේකුත් නම් තියනව...දැන් එව්ව කියන්ට ගියොත් අද දඩයක්කාරය ගැන කියල හමාරයි..පස්සෙ දවසක හරිය?

අහ්, ඉතිං අර ඌරො ඇන්තූරියම් හාරන්නෙ ඇයි කියල උන්දැ මයෙං අහනව කියලනෙ මේ කතාව වෙන පැත්තකට ඇදිල ගියෙ...

එහෙම ඇහුවට මම දන්නවය ඒකට හේතුව මොකෝ මම ඌරෙක්ය...ඒත් ඉතිං දන්නෙ නෑ කියන්නෙ කොහොමෙයි?

'' ඕකෙ වැඩේ මෙහෙමනෙ, ළමයා, ......ඌරො ඇවිල්ල පෘෂ්ඨ වංශික සූකර වංශෙනෙ...ඒ නිසා එවුන්ගෙ ඇහේ දෘෂ්ඨි විතානයෙ රතු පාටට සංවේදී සෛල වැඩියි. ඉතිං රතු පාට ඇන්තූරියම් දැක්කම ඌරංට මල පනිනව..ඒකයි උං ඇන්තූරියම් පැල හාරල විනාස කරන්නෙ දැං තේරුණා නේද ඔයාට? ''

ඔන්න සති දෙහෙකින් එයයිගෙ විස්තර කියවිල්ල ඉවර උනයි කියමුකො...දෙයියනේ කියල මම ඉඳගත්ත කොම්පියුටරේ ඉස්සරහ දිග හුස්මක් එහෙම හෙලල,

ආය මොනවද?...වචන දහයක් ටයිප් කරන්ට උනේ නෑ...

'' මොකද අනේ මේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන කරන්නෙ?...දැං කොච්චර වෙලාද? ''

ඔන්න ආපි පැනගෙන කාමරේට...

කොච්චර වෙලාද කියන්නෙ?....විනාඩි පහක් වත් උනේ නෑනෙ...මම එහෙම කිව්වෙ නම් නෑ,

'' මම මේ කතාවක් ලියන්ට යන්නෙ අනේ...දඩයක්කාරයෙක් ගැන...''

'' මොකෙක්? දඩයක්කාරයෙක් ගැන?...ඉතිං කොහෙද ඔය මනුස්සය ඉන්නෙ? ''

මේං මුන්දැ මම ලියපු ටිකකට එබිල බලල අහපි,

'' දඩයක්කාරය ඉන්නෙ කැළේ......''

ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටයිප් කරන ගමනම මම උත්තර දුන්න.

'' ආය කැළේ නැතුව කුවීන්ස් හෝටලේ ඉන්නවය දඩයක්කාරයො ?...ඔයත් කියන එව්ව....ඉතිං ඔය මනුස්සය මොකද කැලේට වෙලා ඉඳන් කරන්නෙ? ''

'' දඩයං කරනව......''

'' ඔය කිව්වෙ..කිව්වොත් ඔහොම එකක්මයි...දඩයක්කාරයො ආය දඩයම් කරන්නෙ නැතුව කැවුං බදිනවයි?....ආ, ඒකෙං කමක් නෑ...ඉතිං ඔය මනුස්සෙය දඩයම් නොකරන වෙලාවට මොකද කරන්නෙ? ''

'' මොකවත් නෑ....''

'' මොකවත්ම නෑ? ''

'' නෑ, ඉතිං මොකවත්ම නෑ කියන්ට නං බෑ...ආ, අර මිනිහගෙ වත්ත පාමුළ තියනව රූස්ස නුග ගහක්.... ඒක යටට වෙලා ඇණ තියාගෙන බලා ඉන්නව ''

'' මොනවද බලා ඉන්නෙ? ''

'' ආ...මේ මේ තලගොයි ජෝඩුවක් දිහා...''

මම දැන් නම් කතාව ලියන එක නවත්තල දාලයි තියෙන්නෙ...එක පාර වැඩ දෙකක් කරන්ට පුලුවන් බුදු හාමුදුරුවන්ට විතරයි කියනවනෙ...වෙන මොනව වෙලා තිබුනත් මම බුදු වෙලා නම් නෑ...ඒක මට ඉස්තිරයි...

'' එතකොට දැං තලගොයි දෙන්න මොකද කරන්නෙ? ''

'' ආ, උං දෙන්න දඩයක්කාරය දිහාවෙ බලං ඉන්නව.....''

දැන්නම් උන්දැගෙ කටත් බාගෙට ඇරිල...

' මොන විකාරද මංද ඔයා මේ ලියන්නෙ?...බාගෙට තිබ්බ පිස්සුව හොඳටම තද වෙලා වගෙයි මට පේන්නෙ...අනෙ අම්මප මේ ලියන විකාර කියවන මිනිස්සුන්ටයි ගහන්න ඕන අර මොකක්ද එහෙකිං...ආ, ඒකෙං කමක් නෑ...දඩයක්කාරය බැරිනං උන්දැගෙ ලොකු අප්පොච්චි ගැන හරි පස්සෙ ලියා ගත්තෑකි...යමු අර මම අලුතෙං ගෙනාපු ඕකිඩ් පැලටික හිටවන්ඩ..''








ඔන්න, ඉතිං මොකද කරන්නෙ?....දඩයක්කාරයගෙ කතාව එතනිං ඉවරයි...

ආය කිව්වම මොකද නිවාඩු මාසෙම ඔහොම තමයි උනේ...නිවාඩුව ඉවර වෙලා ඔන්න ආව කියමු..සති දෙකක් තරම ගියා ගොඩ ගැහිල තිබ්බ වැඩ එකලාසයක් කරන්න...මයෙ මෙහෙ බොස් ඇවිල්ල ඒත් ලලනාවියක්....හප්පා ..ඒ අනිත් අම්මණ්ඩි..කොහොමවත් බේරුමක් නෑ....ඇත්තට මයෙ මේ කල්පනාවට ආවෙ මට කාන්තාවියන්ගෙන් හරිම අපලයි...ඇත්තම ඇත්ත ඔන්න...

රාජකාරි ටිකක් එක විදිහක් වෙනකොට ආපි ඔලිම්පික්...අවුරුදු හතරකට සැරයක් එන එක නෙව..ඒක නොබල කොහොමෙයි...රෑ නිදි මරාගෙන ඒකත් බැලුව...ගිය ඉරිද ඒ මංගල්ලෙත් අහවර වෙච්චි...ඊට පස්සෙ ඔන්න දෙයියනේ කියල ඉඳ ගත්ත දඩයක්කාරය ලියන්ට...අන්තිමට උනේ ඔන්න මේ පූර්විකාව නැත්නම් සමාවට කරුණු දැක්විම බොහෝම දුර දිග ගියා...ඒ නිසා මෙහෙම කරන්නම්...මේක අද දාල හෙට දාන්නම් දඩයක්කාරයගෙ කතාව...තරහ නෑනෙ නේද?

Friday, August 10, 2012

127. සැබෑ මිනිසුන්ගේ කතාව - From The Limbless Fighter Pilot to The Blade Runner


පොඩි දවස්වල, මම මේ කියන්නෙ වයස නමයක් දහයක් කාලෙ, මගෙ හිතේ ලොකු බයක් තිබුන මොකක් හරි අසනීපයක් එහෙම නැත්නම් අනතුරක් වෙලා මගෙ කකුල් දෙකම කපල දායි කියල....ඔහොම කිසිම සාධාරණ හේතුවක් නැතුවම එක එක අහේතුක භීතිකාවන් පොඩි දරුවන්ගෙ හිත්වල ඇතිවෙන එක බොහොම ස්වාභාවිකයි කියල මම කියවල තියනව...ඒව ඒ කාලෙම වගෙ නැතිවෙල යනව...වැඩිහිටියො උනාට පස්සෙත් එහෙම භීතිකාවන් හිතේ පැළපදියම් වෙල තියනව නම් ඒක අසනීපයක්....එහෙම එව්වට කියන්නෙ Phobias කියල. 

අපිටත් ඔන්නම් තව Phobia එකක් අළුතින් හැදුවැකි මෙහෙම... 

Phobiaphobia - Fear of having a phobia, භීතිකාවක් වැළඳේයයි ඇතිවන භීතිකාව... 

හෙහ්, හෙහ්, දැං ඔය ඉතාම නිර්භීත රට ජාතිය වෙනුවෙන් හතුරො එක්කල හටනට යන්ට Ever Ready on One Foot Mode එකේ ඉන්න හෙළ කුල කතුන් ඉන්නව නේද?.... ඒත් ඇස් වහක් කට වහක් නෑ..මකුළුවන්ට පරාණ බයයි...ඔව් අනේ...අර පොඩි අහිංසක සත්තුන්ට..මකුළුවන්ට.... 

ඔන්නම් නහයෙන් පෙන්නුවෑකි...හෙහ්, හෙහ්, මේ ළඟම ඉන්නව... 

ඒ භීතිකාවට කියන්නෙ Arachnedaphobia කියල 

හපොයි, මදැයි කියන්ට යන කතාවෙ Introduction එකම සෑහෙන දුර දිග ගියානෙ....මෙහෙම ගියොත් මේකත්කෑලි තුන හතරකට තමයි ලියන්න වෙන්නෙ...එහෙම කරල බෑ කොහොමවත්....මම දන්නව බහුතරයක් කස්ටිය Longusfabulaphobia කියන රෝගයෙන් පෙලෙනව කියල....ඒ කියන්නෙ දීර්ඝ වෘත්තාන්ත භීතිකාව...හෙහ්, හෙහ්, 

හරි, ආපහු කතාවට...ඉතිං ඔය මම කිය කිය හිටපු පොඩි කාලෙ...ඉස්කෝලෙ යද්දි...ඒ දවස්වල ඔය දැන් පොඩි එවුන් අරන් යනව වගෙ බැක්පැක්ස් තිබ්බෙ නෑ. එක්කො පොත් ටික මහත රබර් පටියක් දාල අතේ ගෙනියනව..එහෙම නැත්නම් තිබ්බ සූට්කේස් කියල ජාතියක්..දැන්නම් එව්ව කඩවල ඇත්තෙත් නැද්ද කොහෙද... 

ඉතිං සූට්කේස් එකත් උස්සං ඉස්කෝලෙ ඇරිල ආපහු එද්දි ටවුම මැද ඔර්ලෝසු කණුව යට ඉටි රෙද්දක් එළාගෙන ඉන්න හිඟන මනුස්සය ළඟ නැවතිල ටික වෙලාවක් බලාගෙන ඉන්න එක මගෙ පුරුද්දක් වෙලා තිබුණ.මේ මනුස්සයගෙ කකුල් දෙකම දණිස් හරියෙන් නෑ.අත් දෙකට රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන පැන පැන ඒ ළඟ තිබ්බ තේ කඩේට ගිහිල්ල කහට එකක් බීල ආපහු එන විදිහ එහෙම මම බලා හිටියෙ පුදුමයකුත්, අනුකම්පාවකුත් එක්කම මිශ්‍ර වුනු භයක් වගෙ හැඟීමකුත් කලවම් වුනු අමුතුම සිතුවිල්ලක් හිතේ දරාගෙන... 

මගෙ හිතේ කකුල් නැතිඋනොත් කියල බයක් ඇතිවෙන්ට මූලික හේතුව මම හිතන්නෙ ඔය හිඟන්නගෙ දර්ශනය...ඒත් ටික කලකින් ඒ මනුස්සය එතන පේන්ට හිටියෙ නෑ....ඒත් එතනින් ඒ භීතිකාව නැතිවෙලාම ගියේ නම් නෑ...හිතේ මුල්ලක තිබ්බ වහං වෙලා...ඔන්න ආයෙම පණ ගහල ආවෙ මම බලපු හින්දි ෆිල්ම් එකක් නිසා...නම නම් මතක් වෙන්නෙම නෑ...රඟපෑවෙ නම් රාජේශ් කියල යන්තම් මතකයි...රාජේශ් ඛන්නා දන්නව නේද?...මේ මාසෙකට විතර උඩදි මැරුණෙ... 

ඔය ෆිල්ම් එකේ රාජේශ් බොහොම සෙල්ලක්කාර තරුණයෙක්...ඒත් ගුවන් යානා අනතුරක් නිසා කකුල් දෙකම කපල රෝද පුටුවක තමයි ජීවිතේ ගෙවන්න් වෙන්නෙ...ඔන්න ආයෙම මගෙ අර බය වැඩි වුනා මේ ෆිල්ම් එක බලල... 

ෆිල්ම් ගැන කියනකොට මේ ටිකක් කියන්නම වෙනව....ඒ දවස්වල ෆිල්ම් එකක් බලන එක අපිට පුදුම සතුටක් ආශ්වාදයක් ගෙනෙන සිද්ධියක්... 

මාසෙකට පාරක් විතර තමයි ෆිල්ම් එකක් බැලෙන්නෙ...අපි කට්ටියම එකතු වෙලා යන පවුලේ සාමූහික සමාජ ක්‍රියාකාරකමක් විදිහටයි මේ මාසික චිත්‍රපට දර්ශනය සැලකුනේ....හරි, හරි,.......ඒ ගැන තව දවසකට තියමු.... 

ඔය කාලෙම වගෙ මගෙ භීතිකාව ආයෙම අලුත් වෙන්න හේතු වුනා අපේ පවුලටම බලපෑ සිද්ධියක්...අපෙ අම්මගෙ වැඩිමහල් සහෝදරයෙක් වැඩ කලා දුම් රිය රියැදුරෙක් විදිහට...රෑ වැඩ කරල ගෙදර එන්ට කෝච්චියෙන් බහිනකොට හෝ නගිනකොට මට හරියට මතක නම් නෑ..කකුල ලිස්සල ගිහිල්ල කෝච්චියටම යට වෙලා ඒ මාමගෙ කකුල් දෙකම කපන්ට උනා. එකක් දණිහට පහලින්..අනික කලවය මැදින්ම වගේ..... 

මුලින්ම බොරු කකුල් වලින් ඇවිදින්න පුරුදු වෙනකල් ඒ මාමව අල්ලගෙන එහාට මෙහාට අපෙ මිදුලෙ ජෑම් ගහයට ඇවිදිනව මට තාම මතකයි...ඒ අර මගෙ භීතිකාව අළුතින් දළු දාල වර්ධනය වුනු යුගයක්... 

කොහොමින් කොහොමින් හරි අර මගෙ තිබ්බ අස්ථාන භීතිකාව ක්‍රමයෙන් වැඩි වියට පැමිණෙද්දි නැති වෙලා ගියා...ආහ්, ඔය සම්බන්ධ තව එක කාරණයක් කියන්න ඕන...ඒ පොතක් ගැන..සැබෑ මිනිසෙකුගේ කතාවක්...දෙවන ලෝක යුද්ධයේදි ගුවන් යානයට වෙඩි වැදී ඒ අනතුර නිසාම පාද දෙකම කපා ඉවත් කරන ලද රුසියානු ගුවන් නියමුවෙක් තම නොපසුබට උත්සාහය නිසාම නැවත ප්‍රහාරක ගුවන් යානා පැදවීමට සමත් වන ආකාරය පිළිබඳව ලියවුනු ඉතාම හෘදයාංගම අනුවේදනීය කතාවක්... 


දෛවයේ අකාරුණික භාවය නිසාම නොසිතූ වීරූ ඉරණමකට මුහුණ දුන් මිනිසුන් ඒ ඉරණම භාරගෙන පසෙකට වී උකටලීව නොහිඳ දෛවයට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සටන් වැද ජීවිතය දිනා සෙස්සන්ටද අගනා ආදර්ශයක් දුන් අයුරු කියවෙන මේ වීර කථා වෘත්තාන්ත මාලාවේ නවතම දිගහැරුම ගැන කියන්නටය මා දයාබර සහෘදය, සහෘදිනිය මේ දීර්ඝ පූර්විකාව මා ඔබට ගෙන ආවේ..... 

දිරිය මිනිසුන්ගේ කතාව...අලෙක්සේයි මෙරේස්යේව් සිට ඔස්කා පිස්ටෝරියස් දක්වා....



සංජානනීය පාද අස්ථි අක්‍රමිකතාවයක් හේතුවෙන් වයස මාස 11 කදී ඔහුගේ පා යුවලම දණහිසට පහතින් සැත්කමකින් ඉවත් කිරීමට සිදු උනා. එහෙත් තම ආබාධය පරදවා නැඟී සිටි ඔස්කා ටෙනිස් රග්බි වැනි ක්‍රීඩා කිහිපයකම සාමාන්‍ය ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටී නිරත වී අවසන මලල ක්‍රීඩාවට එක් උනා. 

2008 බෙයිජිං ආබාධිත ඔලිම්පික් උළෙලෙහිදී මීටර 100, 200 සහ 400 යන ධාවන තරඟ වල ජයග්‍රාහකයා ලෙස රන් පදක්කම් දිනා ගත්තේ ඔහුයි. 

එහෙත් ඔහුගේ සිහිනය වූයේ ආබාධිත ඔලිම්පික් උළෙලක නොව ආබාධිත යන උපසර්ගය රහිත ඔලිම්පික් උළෙලකට සහභාගි වීමයි.සියළුම ආබාධිතයින් වෙනුවෙන් එවන් දස්කමක් කිරීමෙන් ආබාධිතතාව යනු කිසිවකු දෙවන පෙල පුරවැසියකු සේ සැළකීමට හෝ අනුකම්පාව දැක්වීමට හේතුවක් නොවන අතර ආබාධිතයින් යනුද සාමාන්‍ය මිනිසුන්ගේ හැකියාවන් අපේක්ෂා, ඉලක්ක ඇති මිනිසුන් කොටසක් වන අතර සාමාන්‍ය මිනිසුනට කල හැකි සියල්ල ආබාධිතයන්ටද අනිවාර්යයෙන්ම හැකි බව මුළු ලොවටම..ආබාධිතයින් සහ සාමාන්‍ය මිනිසුන් යන දෙකොටසට පෙන්වා දීමටය ඔහුට අවශ්‍ය වූයේ. 

ඔහුගේ ඊළඟ ඉලක්කය 30 වන ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල - ලන්ඩන් 

එහෙත් ඊට පෙර ඔහුට දැඩි බාධකයකට මුහුණ දීමට සිදු වුනා. ඔහු භාවිතා කරන කාබන් කෙඳිති වැරගැන්වූ බහුඅවයවයකය ( Carbon Fibre Reinforced Polymer) මඟින් නිමකල කෘත්‍රිම පාද යුගලයෙන් ඔහුට අනිසි වාසියක් අත්වන බව තීරණය කල අන්තර් ජාතික ආධුනික මළල ක්‍රීඩා සම්මේලනය සාමාන්‍ය ක්‍රීඩකයන් සමඟ තරඟ කිරීමෙන් ඔහු වළක්වන නියෝගයක් පැනවූවා. 

ඊට එරෙහිව ක්‍රීඩාවන්ට අදාල මතභේද පිළිබඳව අවසන් තීරකයා වන ක්‍රීඩා සඳහා බේරුම්කාර මණ්ඩලයට ( Court of Arbitration for Sports ) ඔහු අභියාචනයක් ඉදිරිපත් කලා. ඔස්කා වෙනුවෙන් සහ ඔහුට විරුද්ධව ඉදිරිපත්වූ සියළු සාක්ෂි සහ වාර්තා සළකා බැලූ ඔවුන්ගේ තීරණය වූයේ මලල ක්‍රීඩා සම්මේලනය ලබා දුන් මුල් තීරණය වැරදි බවයි. ඔස්කාට තම කෘත්‍රිම පාද නිසා අනිසි වාසියක් ලැබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතරම, ඔහුගේ ආබාධිත තත්වය නිසාම තරඟ ආරම්භයේදී සහ තරඟය අතරතුර ත්වරණයේදී මෙන්ම වක්‍ර ධාවන පථයක ධාවනයෙහිදී ඔහුට අත්විඳීමට සිදුවන අවාසි පිළිබඳව ප්‍රමානවත් ලෙස සළකා බැලීමක් කර නොමැති බව ඔවුන්ගේ තීරණය උනා. 


අවසානයේදී තම ප්‍රාර්ථනය ලෙසම ඔලිම්පික් වරම් හිමිවූ ඔස්කා 2012 අගෝස්තු 4 වනදා ඔලිම්පික් උළෙලක තරඟ වැදුනු ප්‍රථම ආබාධිත ක්‍රීඩකයා ලෙස තවත් වාර්තාවක් පිහිටවූවා. මීටර් 400 තරඟයේ මුල් වටයෙන් ජයගත් නමුදු ඔහුට අවසන් පූර්ව වටයෙහිදී පරාජය වී ඉවත් වීමට සිදු වූවත් ආබාධිතයින් වෙනුවෙන් ඔහු ලැබූ ජයග්‍රහණය මෙන්ම ආබාධිතයින් කෙරෙහි ඇති ආකල්ප වෙනස් කිරීමෙහිලා ඔහු කල කාර්ය භාරය අති විශිෂ්ඨයි. 

ඔස්කා...ඇලෙක්සේයි සේම ඔබ ද සැබෑ මිනිසෙකි...... 


ඔස්කා ඔබට මගේ හෘදයාංගම සුබ පැතුම්!!! 

Friday, August 3, 2012

126. නොහමුවීම සහ සමුගැන්ම....A farewell sans an encounter.




නිමිත්ත - මගේ මළගම දා - ලිව්වේ සොඳුරු සිත
දුර බැහැර බෝ ගෙවා,
සිත පිරුණු දුක් දරා,
නෑවිත්ම බැරි නිසා,
අවසන,
පැමිණියෙමි නුඹ සොයා.
ජීවිතයෙ කිසි දිනෙක,
නොදුටුවෙමි නුඹේ වත,
රෑ සයනෙ හොත් කලෙක,
නෙතු පුරා පිපි සිහිනෙක  මිසක,
නෑසුවෙමි  නුඹ සිනහ.
නෑවිත්ම නොහැකිවිය,
හදවතට තවත් උහුලනු නොහැක,
එසේහෙයින් වූ කල,
එසඳ පිළිපන්නෙමි තනි මඟට.
තරු ලකුණු මඟ දිගේ,
සකුණ ගී රැව් අසමිනේ,
පිපුණු සහසකුත් එකක් සේපාලිකාවනගේ,
නළ මුසු සුවඳ විඳිමිනේ,
තබා පියවර බරට,
ආවෙමිය නුඹ සොයා ඉතිකිනේ.
හමුවෙන්ට පැමිණියෙමි සහසකුත්  හිතේ  පිරි හැඟුම් කියනුව නියා,
කොඳුරන්ට සිදුවුනේ එසඳ ඒ මඳ නලට හමන ගතු කියමිනා,
සමුගන්ට  පලමු මේ බව කතර යළිත් හමු වෙමු කියා,
නික්මෙන්ට අවසරයි අරලියා මලක් නුඹ නිදන අහලින් තියා.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...