Thursday, September 15, 2011

84. සැහැල් වූ හිස දෝණිගේ උකුල මත - නිති සුව ලබයි කිසි සැක නොමැත

ලොව ඇහැරෙන කලක
වළාකුල නැත දැකුමට ගිය තැනෙක
හිරු විය පසෙක වැටීගෙන
සඳු විය මෙය හොරෙන් බලාගෙන

දෝණි නෙත් පිස ආවා
උදෑසන සිරි මැව්වා
වළාකුල ගෙන සිම්බා
නැවත අහසෙන් තිබ්බා

හිනා මලින් මුව දෝවා
ඈ හිරු මල අත ගෑවා
හිරුත් සිනා පෑවා
විගස පැන අහසට වූවා

දවස ටික ටික ගත වූවා
දූ පැටි හවස ගෙන ආවා
සඳුට හඬ ගෑවා
අහස වෙත යන්ට කීවා

සඳු හිනැහෙන්නා
දුවට හාදු දෙන්නා
අම්මා දැන් එන්නා
කියා ඈ නලවන්නා

වතුසුදු මල් ඇහැරෙන්නා
නැන්දා ඒ මල් නෙලන්නා
දෝණිය උදව් වෙන්නා
නමුදු ඇහැ පාර වෙත වෙන්නා

මව් එන්නී අඳුර සමගින
දෝණි හිනා මල පූදාගෙන
ඈ අතේ නැලවී ගෙන
නිදන්නී සොඳ හිනා පාගෙන

දෝණිගේ සිනා මුව දැක
සැඟවුනා රතු රෝස මල
ඇගේ නැටුම් විඳ විඳ
නිදි වැදුනා නිදිකුම්බා පඳුර

ලපටි කථා අසමින
ගිරව් බත් කෑ බව කියමින
ඇයට පැරදීගෙන
ඉගිල ගියා විගසින

ඇයගේ හැඬුම් අසා
බිය වූවා අහස පවා
හෙණ පුපුරා අකුණු ගසා
අහස දොඩමළු වුවා

ඇගේ අගේ ඇති කවිකම්
අසා සිටි කොවුලන් විකුම්
නොමැතිව කවිකාරකම්
හඬති යමක් කරනට නැතිව වෙනයම්

මිත්තණියගේ දිගු වූ වරලස
අම්මාගේ කෙටි වු වරලස
දෙකින් කොයික වුව නැහැ වෙනස
ඇද ඇද පාන සිනා සතපයි අප මනස

“දෝණි කාගෙදෝ-තාත්තාගේ”
“දෝණි කාගෙදෝ- අම්මාගේ”
“තාත්තා කාගෙදෝ-අම්මාගේ”
“අම්මා කාගේදෝ-තාත්තාගේ”

"ඒයි එන්න තේ බොන්නට"
අම්මා අමතන සඳ තාත්තාට
"ඒයි ඒයී එන්න තේ බොන්නට"
ලෙසින් අමතයි දෝණි තාත්තාට

තාත්තා පසු පස යන දෝණි
වැඩ එක දෙක කර දෙන්නී
සුහද සිනා මුව පුරවා දෙන්නී
ඔහුගේ වෙහෙස නිවා දමන්නී

දෙමව්පිය හිස මත ඇති ලොවක බර
සැමදා හවස දෝණිය දමයි විසිකර
සැහැල් වූ හිස දෝණිගේ උකුල මත
නිති සුව ලබයි කිසි සැක නොමැත

පසුගිය සැප්තැම්බර් 7 වන දින දෙවසර පූර්ණය කල අප ආදර දියැණියට සෙනෙහසිනි.

පුංචි කාලේ ඉඳන් ම ඔයාව දොයි කරවද්දි සුපුරුදු නැලවිලි වලට අමතරව මං ම හදාගෙන කියපුවාත් මට දැන් සිහි වෙනවා. ඒවා කිහිපයක් සටහන් කරන්න හිතයි මට. ඔයාත් දැන් මාත් එක්ක මේවා කියනවා ඇහෙද්දි ඔයාට කෙසේ වෙතත් මට ම නින්ද යනවානේ.

මගේ රනුලි සුදු දුවනි
හෙට උදයේ ඉස්කෝලේ යනවා
ඉස්කෝලෙදි වැඩ කරලා
හොඳ ළමයෙකු වී එනවා

මගේ රනුලි සුදු දුවනි
හෙට උදයේ කොළඹ යනවා
කොළඹ ගිහිල්ලා වැඩ කරලා
මට ඇඳුමක් ගෙන එනවා

රනුලි රනුලි සුදු රනුලි
රනුලිගේ අම්මා මම රන්දි//

රනුලි අපේ සුදු ‍දෝණි
අම්මා අතේ දැන් සැනසෙනවා
සැනසීලා හිනැහෙනවා
හිනැහීලා දොයියනවා








28 comments:

  1. දෝනිට සුභ උපන්දිනයක්!!!!!!!!
    අක්කගේ කවි ටික නම් මරු.....

    ReplyDelete
  2. සුභම සුභ උපන්දිනයක් මෙන්ම සුභ අනාගතයක් පුංචි දෝණිට

    ReplyDelete
  3. කවි ටික නම් නියමම නියමයී..
    ඔක්කෝටම වැඩිය නැලවිලි ගී ටික හොදයි වගේ ..

    ''රනුලි රනුලි සුදු රනුලි
    රනුලිගේ අම්මා මම රන්දි''

    පුන්චි රන්දිකා පැටියට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනවා. :* :*

    ReplyDelete
  4. දෝනිට සුභම සුභ උපන්දිනයක් අක්කේ. දැන් ටිකක් කල් නේද?

    ReplyDelete
  5. කාන්තා පාර්ශ්වයෙන් අයම හතර දෙනෙක් මුලටම අදහස් දක්වලා තියෙනවානේ.......... මගේ හැඟීම හොඳින්ම වැටහිලා වගෙයි..... ස්තුතියි නංගිලා 4 දෙනාටම. ඔව් නිසුපා හරියටම අවුරුදු දෙකයි සතියයි අදට දුවට...... මේ කවි පංතිය ගැන කියනවා නං ගූගල් බස් එකක හිටිවන ලියාපු කවි පංතියක්.... ඒක පොඩ්ඩක් වෙනස් කරලා පෝස්ට් එක හැදුවේ........... :)

    ReplyDelete
  6. අප්පේ... පළවෙනි ස්ථානෙම ගන්න තිබ්බා... කොහේද මේක ලෝඩ් කරගන්න මට ගිය වෙලාවක්...

    දැන් චූටි දෝණි කියන එක නතර කරන්න වෙනවා.. දැන් ලොකු දෝණියෙක්... :)

    කවිටිකෙන් සමහර ඒවා මතකයි තමා බස් එකේදි..

    ආදරය පිරීතිරී යන ලස්සන යහපත් අනාගතයක් පතනවා දෝණියෝ...

    ReplyDelete
  7. පුරුස පාර්ස්වයෙං ඔන්න මමළු මුලිම්ම.......ඈ...

    බට්ටෆයි පස්සේ,
    දුවන දෝණි හිනැහිල්ලේ,
    දුටුව කල එක මොහොතේ,
    වෙහෙස දවසෙම පහව යයි ඇසිල්ලේ............හෙහ්, හෙහ්,

    A woman is born twice...........When she brings a new life to this world, she is born again...........

    ලස්සන පදවැල රන්.........

    මවකගේ අපිරිමිත සෙනෙහස අපූරුවට සිත්තම් කල සදාතනික සිතුවමක් ඇත්තටම.............

    My heartiest best wishes to Ranuli...............May she bring so many wonderful moments to you both..............

    ReplyDelete
  8. හරිම ලස්සන පැදි පෙළ. ඒ වගේම ඔක්කෝම ඇත්ත තමා
    දුවට සුබම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා මම

    ReplyDelete
  9. එළ.. එච්චරයි කියන්න තියෙන්නෙ

    අපි ඔක්කොම සුබ පැතුවනෙ මකරගෙ බස් එකෙන් මෙයාට උපන්දිනේ දවසෙ.

    ReplyDelete
  10. හරිම සුන්දරයි... නෙත කඳුලක් මතු විය සතුටට....

    ලස්සන පවුලට තෙරුවන් සරණයි... දූට සුබ උපන්දිනක් !!!!

    ReplyDelete
  11. තාත්තා පසු පස යන දෝණි
    වැඩ එක දෙක කර දෙන්නී
    සුහද සිනා මුව පුරවා දෙන්නී
    ඔහුගේ වෙහෙස නිවා දමන්නී

    මං ආසම කවිය මේකේ තිබුන..........

    චූටි දෝණිට ආයෙමත් සුභ උපන්දිනයක්...... :)

    ReplyDelete
  12. චූටි දුවට සුබ උපන් දිනයකට සුබ පැතුම් මගෙනුත්!!!

    ReplyDelete
  13. කවි ටික මරු! ඔය කොහෙ ඉදං කියපුවද.....

    ReplyDelete
  14. රනුලි දුවටත්, දෝණිත් එක්කම අම්මා කෙනෙක් විදිහට ආයෙත් ඉපදුණු රන්දි අක්කටත් සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  15. ලස්සන චුටි දෝනිට සුභ උපන් දිනක් වේවා! දෝනිගේ අනාගතය සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ඒ වගේම දෝනිගේ ආදරණීය අම්මටයි තාත්තටත් සුභ පතනවා පුංචි කැදැල්ලේ සතුට වෙනුවෙන් :)

    ReplyDelete
  16. රනුලිට සුබ උපන් දිනයක් ..

    දරුවන් තමයි ජීවිතය . හරිම ලස්සනයි කවිටික ...

    ReplyDelete
  17. පුන්චි දෝණිට සුභම සුභ උපන්දිනයක් පතනවා...

    ReplyDelete
  18. චූටි දූට සුභම සුභ උපන්දිනයක්!

    අක්කගේ කවි ටික නම් ලොවෙත් නෑ.

    ReplyDelete
  19. මමත් එනව සෙල්ලම් කරන්න

    ReplyDelete
  20. රනුලි රනුලි සුදු රනුලි
    රනුලිගේ අම්මා මම රන්දි//

    මේක නියමයි... සුබ උපන්දිනයක් දෝණිට....

    ReplyDelete
  21. කවි ටික සෝක්...!!!

    ReplyDelete
  22. සුභ පැතුම් එක් කල, ලියැවිල්ලේ අගය දුටු හැමටම ස්තුතියි.

    ප්‍රශ්න අහලා තියෙන්නේ එක්කෙනයි. ඒ බුද්ධි

    නැලවිලි නං ගෙදර ඉඳන් කියපුවා. ලියැවිල්ල නං ගූගල් බස් එකක කියපු කවි වගයක් ඇසුරින් නිර්මාණය වුනේ............

    ReplyDelete
  23. රනුලි රනුලි සුදු රනුලි
    රනුලිගේ අම්මි මම රන්දි
    රන්දි රන්දි සුදු අම්මි
    අම්මිගෙ දෝණි මම රනුලි

    ReplyDelete
  24. ෂා මකර මල්ලී, ඒක නං හරිම ලස්සනයි. මං දුවට කියලා දෙන්නම්.............

    ReplyDelete
  25. චූටි දෝණිට වාසනාවන්ත අනාගතයක්,, තව ටික දවසකින් පොත් කියවන්නත් කියාදෙයි අම්මා හොඳේ

    ReplyDelete
  26. අප්පේ වස වැ‍රැද්දයි, දැක්කෙ පහුවෙලා නෙව.
    කෙළිපොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා, !

    ReplyDelete
  27. පරක්කු වෙලා හරි කමක් නැහැ ඔන්න ආයෙත් මගෙනුත් සුභ පැතුම්.. මේවා දකිද්දිනම් ඉගෙනීම පැත්තක තියලා ඉක්මනටම කෙලි පැටියෙක් හදන්න හිතෙනවා... :D

    ReplyDelete
  28. අක්කගේ කවි ටික නම් සුපිරි.
    චූටි බබාට සුභ අනාගතයක් පතනවා !

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...