Friday, April 23, 2010

45. සතුටු වෙමි, සිහින දකිමි, සසල වෙමි, දුක් වෙමි, බිය වෙමි, එහෙත් අවසානයේ සැනසෙමි




සතුටු වෙමි මම.................
මා ලය මඩලෙන් දොරේ ගලනා
අපරිමිත වූ ස්නේහයෙන්,
නොඅඩු වූ ක්ෂීර සාරයෙන්,
පෝෂණය වී දිනෙන් දින
පිය නගන්නට වෙර දරන
මා දූ සිඟිත්තිය...................
සිඟිති දසන් පෙන්වා
පාන සිනාවෙන් ප්‍රමුදිතව
අපිරිමිතව
සතුටු වෙමි මම.....................


සිහින දකිමි මම.....................
අපේ ලොව එළිය කරමින
මිණි පහනක්ව හිනැහෙන
අපේ රං මැණික මතු දිනෙක................
ලබැඳිව අප රකින
ලබැඳියක වී,
දයාවෙන් කුටුම්භය රකිනා
දයාබර මවක වී,
යහපතම ඉත සිතින් ඉටු කරනා
යහපත් කාන්තාවක වී,
පා තැබූ හැම තැනම දුල්වන
මිණි පහනක්ම වේමැයි
පියවි දෙනෙතින්
සිහින දකිමි මම.....................


සසල වෙමි මම.....................
සිනිදු පෙරවන පෙරවා,
මෘදු ඇඳුම් අන්දා,
පා වැසුම් පළන්දා,
හිස් වැසුම් රන්දා,
අවැසි හැම දැය නොඅඩුව,
සුදු දෝණිය මගට
ගෙනියන සඳ..................................

ඒ කිසිත් නොමැතිව
සැඩ හිරු රැසින් දැවී ගිය නගරයේ
කැබලි වී ගිය ඇඳුම් අන්දා
දුගී වූත් එනිසාම අසරණ වූත්
මව් තුරුල්ලේ හාමතින් නිදිබරව
ගුලී ගැසී ගිය පඬරලා පතක්වන්
දූ සිඟිත්තක් පුත් සිඟිත්තෙක් දැක
හදවතේ මහා බරකින් යුතුව
සසල වෙමි මම.....................



දුක් වෙමි මම.....................
අප දයාවිය අප දෙදෙන
මැදට වී
සුව යහනේ සුභ සිහින
හා සිනා පාමින්
නිදි සුවය ලබන කල.....................

රෑ අහසින් හෙවිල්ලා
රළු පොළොවෙන් යහන් සදා
හුළං පොදින් කුස පුරවා
සීත පින්නෙන් ගත පෙරවා
නින්දත් නොන්දත් අතර
හඬා වැටෙන දූ සිඟිත්තන්
පුත් සිඟිත්තන් සිහිව
දෙනෙතට නැගෙන කඳුලින් යුතුව
දුක් වෙමි මම.....................



බිය වෙමි මම.....................
අප සඳවතිය වැඩිවියට පත්
දැනුම් තේරුම් ඇත්තියකව
ලොවට පා නගන මතු දිනයේ.....................
අද මා දුකට පත් කරන
මා සිත සසල කරවන
ඒ සිඟිත්තියන් ද සිඟිත්තන් ද
වැඩිවියට පත් ව
මා දියණියගේ ලොවට
විස මුසු කරන
විෂම සමාජයක්ම වේදැයි
සිතින් සැලී සැලී
බිය වෙමි මම.....................

සැනසෙමි මම.....................
ඊයෙත් අදත් හෙටත්
හැමදාමත්
එවන් වූ සමාජයක්
පැවතියේමැයි පවතින්නේමැයි............

ඒ විසෙන් මා දූ රකින්නට
දූගේ පියාණන් වැනිම වූ
දයාබර සැමි සඳක්
මා දූගේ ලෝකයට
සොමි සඳ කිරණක්
මතු දිනෙක ගෙනෙනු
දකින රිසියෙන්
අදට
සැනසෙමි මම.................




26 comments:

  1. පිස්සු හැදෙයි අම්මෝ හිතලා තියන දුර
    ඹයාගේ නිර්මාන අතරින් මම දැක්ක හොන්දම නිර්මානය ලෙස මම හිතනවා

    ReplyDelete
  2. තම දියණිය දෙස
    පමණක් නොව
    ලෝකයක් දෙසම
    මවකගෙ දෙනෙතකින් බලන
    ඔබ ගැවසෙනු දුටුවා
    මේ පදපෙළවල් තුළ

    හිතට දැනුනා අක්කේ මේ පදපෙල.

    ReplyDelete
  3. @ චතු,

    මල්ලී, මල්ලී කවදා හරි තාත්තා කෙනෙක් වුනු දවසක මීටත් වඩා හිතයි මල්ලී. ස්තුතියි.

    ReplyDelete
  4. @ Raven,

    මගේ දැක්ම
    විගස වටහා ගත්
    ඔබට ස්තුතියි

    ReplyDelete
  5. ගුණගරුක දියනියක වී සෙනෙහෙබර බිඳක් වී දයාබර මවක් වූ ඔබට හැකි වේවි එදිනට කියාදෙන්න දියණියට ජීවත් වන හැටි හැම සමාජ තලයකම. එයයි ඔබේ වගකීම දයාබර මවකු ලෙස... හිමිවේවි දියණියට ඔබට හිමි වූවා සේම දයාබර සැමියෙකු ඔබ පැතූ සේම... එයයි මාගේ පැතුම....

    ReplyDelete
  6. @ මම (කුෂාල් අයියා),

    ස්තුතියි අයියේ. මම මට පුළුවන් උපරිමයෙන්ම දුවට හොඳම දේ දයාද කරනවා අයියේ. ස්තුතියි සුභ පැතුමට

    ReplyDelete
  7. සෑහෙන දිග සටහනක්නෙ.
    මව්පිය ගුණය හැම හදවතකම හැම දරුවෙක් වෙතම උතුරා යනවනම් සමානව ඔයාගෙ දියණියට විෂ පෙවිය හැකි මිනිසුන් බිහි ‍නොවේ මේ පො‍ලොවෙ කවදාවත්.
    ඒත්....?

    ReplyDelete
  8. @ ``` Outsider```,

    ඇත්ත, අපිත් බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ අනේ අපොයි කියන්න විතරයිනේ. ඒත් එයින් ඔබ්බට ගිහින් ඒ මිනිස්සුන්ට පුළුවන් තරමින්වත් පිහිට වෙන්න හිතන්නේ කී දෙනාද නේද? අපේ දරුවන්ට වගේම නැතත් හැකි අයුරින් ඒ දරුවන් ගැනත් හිතන්න අපිට පුළුවන්නම් මේ ප්‍රශ්න මෙච්චර දුර යන්නේ නැහැ

    ReplyDelete
  9. එකම වයසක එකම රටක එකම දරුවෝ දෙදෙනෙක් සල්ලි මත (ලැබීම/වාසනාව කියලා කියාවි කෙනෙක්) කොයිතරම් ලොකු වෙනසක් ජීවිතේ අත්දකිනවද?
    ගොඩක් දුර හිතන්න පුලුවන් පබැදුමක්......

    ReplyDelete
  10. ඔව් punchisamanalee යේ, කර්මයට යටවන සමාජවාදය.

    95% දෙනා සමාජවාදය උළුප්පන්න හදන්නේ ධනවාදයේ උඩුමහලට නැග ගන්නකම් විතරයිනේ. ඊට පෙර හැම දේම සමාජවාදයෙන් දැක්ක ඒ අය ඊට පස්සේ ඒ දේවල්ම දකින්න හදන්නේ කර්මයට අනුව.

    සමාජවාදය 100% සමාජගත කරන්න බැරි දෙයක් වුනත් තමන්ට හැකි අයුරින් අන් අය ගැන හිතන්න පුරුදු වුනා නම් සමාජය මීට වඩා සමනල පාට වෙන්න තිබුනා punchisamanalee යේ.

    ReplyDelete
  11. දරු සෙනෙහසින් අපරිමිත් දයාවෙන් තම දරවෙකු දෙස බැලූ මවකගෙ හැගීමක්...

    හැණියකට ජීවිතයේ කොයිතරම් වගකීමක් තියෙනවද..යුතුකමක් තියෙනවද...ඒවා කොයි අකාරයෙන් අනිත් අයටත් බලපානවද කියන එක මනාවට පැහැදිලි කරපු ඉතා වටිනා නිර්මානයක්..මගෙ සුබ පැතුම්

    ReplyDelete
  12. ස්තුතියි දිල්. ඔයාත් අම්මා කෙනෙක් වුනු දවසක මේ හැඟීම් මොන වගේ දැයි ඔයාටත් මොනවට පැහැදිලි වෙයි.

    ReplyDelete
  13. ගොඩාක් කාලෙකින් තමා ඔයාගේ පිටුවට ගොඩ උනේ...
    අම්මෝ...
    මටත් බය හිතෙනවා...
    ඔයා මාවත් බය කරනවද මන්දා....

    දූගේ මුළු සිහිනයම අකුරු කරලනේ
    එල එල...

    ලස්සන දූ පොඩ්ඩ.... අර බයික් එකේ ඉන්න...
    රැජිණගේ සුබ පැතුම් දෙන්න කිව්වා....

    ReplyDelete
  14. @ Bings,

    බයයි තමයි. ඒත් යථාර්තයත් ඒකම නොවෙයිද?

    රැජිණට කියන්න ස්තුතියි කිව්වා කියලා

    ReplyDelete
  15. ලස්සනයි ....... රස වින්දෙම්

    ReplyDelete
  16. @ W ආරච්චිගේ P,

    කෙනෙකුට රසවිඳින්න පුළුවන් දෙයක් සටහන් කරන්න පුළුවන් වුණා නම් මට ඒ ප්‍රමාණවත්.

    ReplyDelete
  17. හරිම ලස්සනයි නගේ . . .

    උදාරයි. . . .!!

    මවකගේ ගීතය කියලා නම් කලා නම් කියලා හිතෙනවා මේ කවි පංතිය . . .

    ReplyDelete
  18. මගේ හිතට හුඟක් දැනුනා මේ පද පෙල.
    ඇත්තටම හරීම ලස්සනයි..රන්දිල්.

    ReplyDelete
  19. සන්නාලියනේ... සන්නාලියනේ... කාටද ඇඳුම වියන්නේ....?

    ReplyDelete
  20. සන්නාලියනේ... සන්නාලියනේ... කාටද ඇඳුම වියන්නේ....?

    ReplyDelete
  21. @ Duks,

    ස්තුතියි අයියේ, ඒත් නිර්මාණයකට එක්කෙනෙකු හෝ ප්‍රතිචාර දැක්වූවාට පසු මාතෘකාවවත් වෙනස් කරන්න හොඳ නැහැ කියලා හිතෙන නිසා ඔයා කිව්ව මාතෘකාව දාන්නේ නැහැ අයියේ. එහෙම නොහිතුනා නම් මාතෘකාව වෙනස් කරනවා

    ReplyDelete
  22. @ පැංග්ස්,

    අයියෝ.......... සන්නාලියනේ... සන්නාලියනේ... කාටද ඇඳුම වියන්නේ....?
    ඇයි එහෙම කිව්වේ.

    මේ ගීතයට මම කැමති නැහැ අයියේ. මුල හොඳයි අග තමයි එපා වෙන්නේ.

    මම තාමත් කල්පනා කරනවා ඇයි අයියා කොමෙන්ට් එකක් විදිහට මේ කොටස දැම්මේ කියලා. සෝ සෑඩ්

    ReplyDelete
  23. ජීවිතයෙන් පටන් අරන් මරණය දක්වා ගොඩනගන බලාපොරොත්තු දිහා චුට්ටක්, ජීවිත ගමනෙන් එලියට ගිහිල්ල බලන්න මතක් කිරීමක් හැටියට...

    ReplyDelete
  24. ස්තුතියි නිල් අහස මේ ප්‍රතිචාරයට

    ReplyDelete
  25. මොනා ලියන්නද කියලා තේරෙන්නෙ නැහැ... ඔයා මාව හොඳටම බය කළා..

    ඔයා... එක දූ සිඟිත්තක් ගැන
    මම... දූ සිඟිත්තන් දෙන්නෙක් ගැන

    සතුට, සිහින හා සැනසීමට ප්‍රිය නමුත්

    “සසල වීමට, දුක් වීමට, බිය වීමට“ අකමැතියි මා

    එදවස අපේ මවුපියන් අප පසුපස නොආවාට
    අද අපට එසේ කළ හැකිද?
    ඇත්ත බොහොම භයානකයි
    “රැකියාවට අකමැති වීමට ප්‍රධාන හේතුවත් එයයි. එහෙත් එය අතහැර දැමීම ඊට වඩා භයානක වේ මට... “
    ??????

    ReplyDelete
  26. තනෝජා අක්කි,

    දරුවෝ, විශේෂයෙන් ගැහැණු දරුවෝ ඉන්න දෙමව්පියෝ මොන තරම් සෙවිල්ලකින් ඉන්න ඕනේද නේද? අපිත් අම්මා තාත්තා වුනාට පස්සේ තමයි අපිටත් ඒ ‍ගැන දැනෙන්නේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...