Monday, December 6, 2021

671. පුවක් එෂැණිං - 64 - පාතාල මරණ.....



පාතාලයො ආවුද හංගපු තැං පෙන්නන්ට පොලිස්සිය එක්කං ගිහිල්ල එක පාට්ටම සැඟවූ ආවුදයක් අරගෙන පොලීසියට වෙඩි තියන්ට හදනව..එතකොට තම ආත්මාරක්සාව  වෙනුවෙං පොලිස්සිය පෙරලා වෙඩි තියල පාතාලය වෙඩි කාල නහිනව..පොලිස් නිලදාරීං දෙන්නෙකුට නැත්තං තුන්දෙනෙකුට  සුලු තුවාල සිද්ද වෙනව....අනාදිමත් කාලෙක ඉඳල පොලිස්සිය පාතාල සාමාජිකයො (පොලීසියමයි එහෙම කියන්නෙ..) මරල දාන්නෙ ඔන්න ඔය කියන ක්‍රියා පටිපාටිය අනුව..

මේ ඊයෙ පෙරෙයිදත් එහෙම සිද්දියක් උනා..මෙතන මේ වැඩේ උනේ නීතිඥ සංගමේ සබාපතිතුමා මෙහෙම දෙයක් අහවල් දවසෙ වෙන්ට යනවයි කියල නම් ගම් විස්තර ඇතුවම පොලිස්පති ගොයියට දැනුම් දීලත් තියෙද්දි..ඒ කියන්නෙ පොලීසිය රටේ නීතිය සදාචාරය කියන එව්ව තඹ සතේකට ගණං ගන්නෙ නෑ කියන එක නෙවෙයි නං වෙන අහවල් දෙයක්ද?

අවි පෙන්වීමට ගොස් පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කල පාතාලයා පොලිස් වෙඩි පහරින් මරුට...මෙච්චර සම්මාන දිනපු නාට්ටිය කාරයො, නවකතා කාරයො ඉන්නව පොහොට්ටුව පස්සෙ වැටිල..යකෝ ඔය එදා ඉඳං පට්ට ගහන අවි පෙන්නන සීන් එක අතෑරල දාල මොකක් හරි වෙන ප්ලොට් එකක් ලියාගනිල්ලකො උංට කියල.. 

ඒ නැතත්  අර මේ ඊයෙ පෙරෙයිද ගත්තු කින්සීලියයි සුදේවයිත් ඉන්නවනෙ..මූදු මංකොල්ලකාරයො හරි කවුරු හරි එවුංට මිලියං ගනං පඩි ගෙවනව ඇතිනෙ. ඒ ගන්න පඩියට හරියන්ටවත් උං දෙන්න ලව්ව මොකක් හරි මිනිස්සු විස්වාස කරන ප්ලොට් එකක් ලියවා  ගනිල්ල බාං රට්ටු හිනස්සන්නෙ නැතුව..එහෙම බැයිනං ඉඳහල්ල මම දෙන්නං ඔරිජිනල් සීන්ස් දෙකතුනක් ..සත පහක්වත් එපා...රට වෙනුවෙං

1. ආවුද සඟවා තිබූ තැන් පෙන්නීමට ගිය පාතාලයා පොලිස් වෙඩි පහරින් මරුට..

ඊයේ රාත්‍රී සඟවා තිබූ ආයුද පෙන්නීමට ගිය පාතාලයකු එක්වරම රට රකින අපේ විරුවා ගීතය මහ හඬින් ගායනා කිරීමට පටන් ගත්තේය. 

රාත්‍රියේ කරන මෙහෙයුම්වලදී සෑම අයුරකින්ම ජන ජීවිතයට බාදා එල්ල නොවනසේ ක්‍රියාකල යුතුයැයි පොලීසිය බාර ඇමතිවරයා තදින්ම උපදෙස් දී ඇති බැවින් පාතාලයාගේ ගායනයෙන් අවට ගම් වාසීන්ගේ නින්දට විය හැකි බාධාව අවම කිරීම උදෙසා දැඩි අකමැත්තෙන් හෝ පාතාලයාට වෙඩි තැබීමට පොලීසියට සිදුවිය. ඒ වෙඩි පහරින් පාතාලයා මිය ගියේය.

2. තවත් පාතාලයෙක්  මරුට..

ඊයේ රාත්‍රී ආයුද පෙන්නීමට පාතාලයෙක් පොලීසිය සමඟ ගියේය. යන අතරමඟදී අසල නිවෙසක දෙවෙනි ඉණිම ටෙලි නාට්ටියේ තේමා ගීතය ප්‍රචාරය වනු ඇසුණු පාතාලය දෙවෙනි ඉණිම තමාගේ ප්‍රියතම ටෙලි නාට්ටිය බැවින් එම නිවසේ ඇර තිබූ ජනේලයක් අසලට ගොස් දෙවෙනි ඉණිම බැලීමට පොලීසියෙන් අවසර ඉල්ලා සිටියේය. 

ඕනෑම දරුනු අපරාදකරුවෙකුට මානුසිකව සැලකිය යුතු බවට පොලීසිය බාර ඇමටිතුමා සියලුම පොලිස් ස්තාන වලට පැමින පෞද්ගලිකව උපදෙස් දී තුබුනු බැවින් පොලිස් නිලදාරීහු ඒ ඉල්ලීමට ඉඩදී පාතාලයා දෙවෙනි ඉනිම බලා ආපසු පැමිනෙන තෙක් වත්ත මායිමේ තිබූ කොට්ටම්බා ගහක් යට ඉඳගෙන සිටියෝය. 

එදින කතාංගයෙහි අනුහස් ආක්සාට ආදරය කරන බව ප්‍රකාස කරන දර්සනය ප්‍රචාරය වූ අතර එය බලා මහත්සේ සිත්තැවුලට පත් පාතාලයා "අයියෝ අර ලිහිනිට දැං මොකද වෙන්නේ? මට ඉඳලා වැඩක් නෑ.."  කියා මහ හඬින් කෑගහමින් පොලිස් නිලදාරියකු අත තිබූ තුවක්කුව උදුරාගෙන එයින් තම පපුවට වෙඩි තබාගත්තේය. පාතාලයා  ඔන් ද ස්පොට් එතනම මිය යන ලදී.

3. ආයුද ගබඩාවක් සොයා යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාලයෙකු මරුට..

අද අලුයම රහස් ආයුද ගබඩාවක් පෙන්වා දීමට පොලීසිය කැටුව ගිය පාතාලයෙක් අතරමඟ වූ දූරියන් ගසක් යටින් ගමන් කරද්දී එක්වරම දූරියන් ගස සොලවා පොලිස් නිලදාරීන්ගේ හිස් මතට දූරියන් ගෙඩි පතිත කරවා ඔවුන් අකර්මන්ය කොට පලායාමට උත්සාහයක් දැරීය. 

එහිදී පොලිස් නිලදාරීන් පතිතවන දූරියන් ගෙඩි වලින් තම හිස් ආරක්සා කරගැනීමට එහා මෙහා පනිමින් "කරුනාකර ඔය වැඩේ නවත්වනු මැන..." කියා  හත් වරක්ම පාතාලයාට ආයාචනා කල නමුත් පාතාලයා ඒ කිසිවක් කනකට නොගෙන දිගටම දූරියන් ගස සෙලවීමෙහි නිරතවූ වැවින් අවසානයේ දැඩිම දැඩි අකමැත්තෙම් හෝ  පොලිස් නිලදාරීන්ට සිදුවූයේ පාතාලයාට වෙඩි තබා මරා දැමීමටයි. 

කොහොමද ඒ ප්ලොට් තුන? ආතල් සහ ආයිස් කුණ්ඩියා නේද? 

මොනව උනත් ඔය හැමදාම ගහන එකවරම පොලිස් නිලදාරීන්ට වෙඩි තැබීමට තැත් කිරීමේ පරණ තැටියට වඩා මෙහෙම සීන් එකක් කිව්වොත් මිනිස්සු උනත් විස්වාස කරයි..නැද්ද මං අහන්නෙ?.. 

Sunday, November 14, 2021

670. දෙකුන් සැටවිය.......

 

අද මට දෙකුන් සැටවිය සපිරුනා...

ඊයෙ පෙරේද වෙනකල් දවස තිස්සෙම වගෙ වැහැපු වැස්ස ඊයෙ යම්තමට තුරල් කලා..අදත් උදේම පැය කාලක් විනාඩි විස්සක් තරම වැස්සත් දහය වගෙ වෙනකොට අව්ව රැල්ලකුත් වැටුන..

"මේ අව්වත් පායපු එකේ ගිහිල්ල ඔය කොණ්ඩෙ රැවුල කපා ගත්තනං හොඳ නැද්ද?" ප්‍රියාම්බිකා තොමෝ එහෙම කිව්වෙ උදේ තේ එක දෙන ගමං..

ටෙලි චිත්‍රපටවල දැකල ඇතිනෙ බාර්යා තොමෝ නිතරම සුවාමියාට තේ එකක් ගෙනත් දීල තමයි ඕනම වැදගත් කතාවකට මුල පුරන්නෙ..

"මේ අපේ ලොකු කෙල්ලට දැං පරස්තාවක් බලන්ඩත් කාලෙ හරි මහිතේ"...."අර හිච්චි නංගිල දෙණියෙ කුඹුරු කෑල්ල විකුණනට යනවලු..පොඩ්ඩක් කතා කරල ඒ ගැන බැලුවොත් නරකද?".....එහෙමත් නැත්තං "කහවත්තෙ නැන්දම්මගෙ ලොකු ළමය අන්න මනුස්සය එක්ක තරහ වෙලා ගෙදර ඇවිල්ලලු.."....එහෙමත් නැත්තං "අර පල්ලෙහ අමුණ ගාව කඬාඩුව ඊයෙ රෑ වැස්සට කැඩිලලු..සෝමෙ අයියල එහෙම අඬ ගහගෙන හෙටවත් ඒක බැඳල දැම්මොත් ...." 

ඔය හැමවෙලාවෙම සුවාමිය ඉන්නෙ පත්තරයක් බල බල..ඉතිං ඒ යෝදය කරන්නෙ පත්තරේ පැත්තකිං තියල අර බාර්යා තොමෝ දුන්නු තේ එක අතට අරගෙන ඒක බොන ගමං අර කිව්ව එකට මොකක් හරි උත්තරයක් දෙනව..

මට හිතෙන්නෙ ඔය ටෙලි චිත්‍රපට රචකයො ඔක්කොම මහමෙවුනාවෙ අපේ පිම්වත් ලොකු සුවාමීන් වාන්සේගෙ බක්තිමත් අනුගාමිකයො වෙන්න ඕන..ඇයි අර එතුමා නං නෙවෙයි හැබැයි එතුමගෙ ප්‍රදාන ගෝල රත්නයක්නෙ කිව්වෙ සුවාමියා උදේ තේ එක හදල බිරිඳට ගෙනල්ල දෙනවනම් ඒ බිරිඳ අපායෙ යනව ඒ ජීවිතය තුච්ඡයි කියල... 

මගෙ ඉතිං ඔය ඔලුවෙ තියන කෙස් ගස් දෙක තුන ගාල දාගන්න එක එතකොට රැවුල කපාගන්න එක මහ වැඩක් නං නෙවෙයි ඇත්තම කිව්වොත් ..ඒ උනත් මම ඔය පස් පොල කළු වෙන්ට ගත්ත කාලෙ ඉඳලම රැවුල කපා ගත්තෙ සැලූන් වලින්..

මම ඔය පරණ ටයිප් එකේ සැලූන් වලින් රැවුල කපන්ට හරිම ආසයි. මේ අහල ගං හතක එහෙම සැලූන් එකක් තියෙන්නෙ පිළිමතලාවෙ විතරයි. නම ඇවිල්ල ස්වදේශීය සැලූන්. කොවීන් වසංගතේ එන්ට ඉස්සරවෙලා මම බස් දෙකක ගිහිල්ල එතනට යනව රැවුල කපාගන්ට. 

එහෙම පරණ ටයිප් එකෙ බාබර් සාප්පු දැකල ඇතිනෙ නේද? අර පස්වෙනි ජෝර්ජී මහරජාණන්ගෙ එතකොට එඩිම්බරෝ ආදිපාදයානන්ගෙ තව එළිසබෙත් රැජිණගෙ මෞලි මංගල්‍යයෙ එහෙම පෝටොස් රාමු කරල එල්ලල තියෙන්නෙ බිත්තිවල. එව්වයෙ ආය තියනව ඩී.එස්. මහත්තය බුෂ් කෝට් එකයි කාකි කළසමයි ඇඳගෙන ඉන්න, ආය ඩඩ්ලි හාමු කැමරාව කරේ එක්කගෙන පයිප්පෙත් උර උර ඉන්න, එතනිං ගිහාම ඔලිවර් ගුණතිලකගෙ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙ එහෙම පොටෝ...

මේ කොවීන් සීන් එක ටිකක් විතර එහෙ මෙහෙ උනහම මම එතෙන්ට ගිහිල්ල පෝටොස් හත අටක් දාන්නම්කො හුදී ජන පහන් සංවේගය උදෙසා...මාර්ටින් වික්‍රමසිංහ මහත්තය තමයි එහෙම ලිව්වෙ..."හුදී ජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කථාවෙන් අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මළලගම මාර්ටින් වික්‍රමසිංහයක් විසින් රචිත ගම්පෙරළිය මෙතකින් නිමියේය.." ඒ තමයි ගම්පෙරළියෙ හමාර කීම..

හරි බාබර් සාප්පු ගැන දැනට ඒ ඇති. මම බ්ලොග් එකේ එදවස ලියන්ට පටන් ගත්ත මගේ කරණවෑමි කතා කියල සීරීස් එකක්. අනික් එව්ව වගේම ඒකත් අතරමඟ ඇණහිටියනෙ. ආයම පටන් ගන්න ඕන ඔය කොව්ව කොව්වත්....කොව්ව කොව්වත් කිව්වෙ අනන්‍යාගෙ කතාව, අහල්‍යාගෙ කතාව සහ ගුරුවරියක සමඟ මගේ ජීවිතය වගේ එව්ව...

හරි...දැං එමු වර්තමානයට...මම ඉතිං ඔන්න ගියා කියමුකො සැලූන් එකට නොහොත් බාබර් සාප්පුවට...කරණවෑමියා නොහොත් බාබරය මගෙ හොඳ යාලුව..අර කෝවිඩ් පළවෙනි රැල්ල දවස්වල මාස තුන හතරක්ම රටම ෆුල් ලොක්ඩවුන් කරල තිබ්බෙ මම මේ කියන්නෙ ගිය අවුරුද්දෙ මාර්තු ඉඳල ජූලි වගෙ වෙනකල්....ඒ කාලෙ ඔය යෝදය අපෙ ගෙදරට ඇවිල්ල මගෙ කොණ්ඩෙ සහ රැවුල කපල ගියා..පොලීසියට හොරෙං කැළෑපාරවල් වලින් ආවෙ...අහල පහල මගෙ යාලුවො දෙන්නෙකුත් එදා අපෙ ගෙදරට ආව..නැත්තං මනුස්සයට පාඩුයිනෙ..

මිනිහ හොඳ කතා කාරය..රැවුල කොණ්ඩෙ කපනකල් මොන මොනව හරි කියවනව..හිටපු ගමං මාස්ක් එකත් පාත් වෙනව..මිනිහට ඒත් ගානක් නෑ.."ඔය මාස්ක් එක හදා ගනිං බං..."  මම එහෙම කිව්වම "සොරි.." කියල මිනිහ මාස්ක් එක හරියට හදාගන්නව....අදත් ඉතිං සුපුරුදු ලෙස මගෙ රැවුල් කොණ්ඩා කපන ගමං මිනිහා කතාව..

"සර් දන්නවද දැං ඔය කොල්ලො බොබ් මාලෙ වගේ කොණ්ඩෙ වවාගෙන ඉන්නව නේද?" 

"ඔව්..ඔය ඉන්නෙ..ඉතිං?"

"සර් දන්නවද ඔහොම අවුරුදු ගාණක්  කොණ්ඩෙ වවාගෙන පීරන්නෙ නැතුව ඉන්නකොට ඔලුවෙ මස් ගුලි ගුලි වගෙ හැදෙනව කියල.."

"ඇයි බං ඉතිං එහෙමනං අර මනුස්සය බොබ් මාලෙගෙ ඔලුව තනිකරම මස් ගුලියක් වගෙ වෙන්න එපාය.."

"ඔව් එහෙම තමයි..ඒ යකා මලෙත් එහෙම අසනීපෙකින් තමයි.."

"අඩෙහ්..එහෙමද? මම දැනගෙන හිටියෙ නෑනෙ එහෙම සීන් එකක්.."

"සර් පොඩ්ඩක් හොයල බලන්නකො..මම කියන්නෙ බොරුද කියල.."

"මෙහෙමයි...කාලයක් කොණ්ඩෙ කපන්නෙ පීරන්නෙ නැතුව ඉන්නකොට හම කොණ්ඩ ගස් දිගේ උඩට වැවෙනව කියලනම් මම අහල තියනව..."  මම කිව්ව.

ඔය කතාව  කිව්වෙ අපිට පහේ පන්තියෙ පංතිභාර ගුරුවරයා මුදියන්සෙ මහත්තය. ඒ කාලෙ පංතිභාර ගුරුතුමා තමයි ඉංග්‍රීසි සහ  විද්‍යාව ඇරෙන්න අනික් ඔක්කොම විෂයයන් උගන්වන්නෙ.. 

සිදුහත් තවුසා කැලේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරද්දි කෙස් වැටිය දික්වෙලා හැඩපළු ගෙතුනයි කියල තිබ්බ බුද්ධාගම පොතේ..ඒ කාලෙ සිංහල සහ ගණිතය පාඩම් පොත් විතරයි ආණ්ඩුවෙන් ගහල දුන්නෙ..අනික් විෂයයන්ට පොත් ඒ විෂයය ගැන ප්‍රාමාණික උගතුන් ලියපුව තිබ්බෙ....අපි භූගෝලය, ඉතිහාසය කලේ පී. රූබන් පීරිස් මහත්තය ලියපු පොත් වලින්. එතකොට බුද්ධාගම පාඨ ග්‍රන්ථය විදිහට තිබ්බෙ ජයසේකර අබේරුවන් කියල මහත්තයෙක් ලියපු පොත්..

ඉතිං ඔය "මොකක්ද සර් හැඩපළු ගෙතෙනව කියන්නෙ?" කියල පංතියෙ ළමයෙක් ඇහුවම මුදියන්සෙ සර් කිව්වෙ "කාලයක් කොණ්ඩෙ නොකප එතකොට නාන්නෙ  කොණ්ඩෙ පීරන්නෙ නැතුව උන්නම ඔලුවෙ හම කෙස් වහගෙන හැදෙන්ට ගන්නව..එහෙම උනාම තමයි හැඩපලු ගෙතෙනව කියල කියන්නෙ.."  අන්න එහෙමයි කිව්වෙ...

ඉතිං මම කොණ්ඩෙ රැවුලත් කපාගෙන ගෙදර ආව..එතනිං ඒ කතන්දරේ ඉවරයි කියමුකො...

අද ඉතිං මයෙ දෙකුන් සැටවන උපන්දිනේය කියල කලින් කිව්ව නෙව..මම සාමාන්‍යයෙන් ඔය උපන්දිනවලදි කරන දෙයක් තමයි අවුරුදු පහෙන් පහට නැත්නම් දහයෙන් දහයට අතීතයට යමින් කලින් උපන්දින වලදි මම හිටියෙ කොහෙද? මොකක් කරමින්ද හිටියෙ? එහෙම කියල ආවර්ජනය කරන එක..එහෙම කලාම අපේ ජීවිතයෙ ඒ ඒ යුගවල හරස්කඩක් වගෙ අපිට දැකගත්තෑකි..මේ පාර මම කලේ අවුරුදු දහයෙන් දහයට අතීතයට ගමන් කරන එක...

ඉස්සෙල්ලම 2011 නොවැම්බර් 14...මම හිටියෙ කටාර්වල..මම අර මැදපෙරදිග රැකියාවක් කලානෙ  ඒ කාල වකවානුවෙ...

එතකොට ඊලඟට 2001 නොවැම්බර් 14..මම එතකොට හිටියෙ කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ වැඩ කරමින්..ස්කන්ස්කා කම්පනි එකේ..

ඊගාවට 1991 නොවැම්බර් 14..මම ඒ කාලෙ මහවැලියෙ..බකමූණ සහ අත්තනකඩවල ප්‍රදේශයෙ...

1981 නොවැම්බර් 14..පළවෙනිපාර ඒ ලෙවල් කරල වැඩේ අනාගෙන මම අපේ පුංචි මාමලගෙ ගම්පල ගෙදර නතර වෙලා නුවර බාලදක්ෂ හෝල් එකේ ක්ලාස් යනව..දැන් එතන ක්ලාස් තියා ඒ හෝල් එකත් නෑ..ඒක තිබ්බෙ බෝගම්බර පිට්ටනියට යාබදව ඉස්පිරිතාලෙට යන පාරෙ අනික් පැත්තෙ..දැං එතන තියෙන්නෙ ප්‍රයිවට් බස් පාකිං ඒරියා එකක්..හරි ඒ 1981..

ඊට කලින් එතකොට 1971 නොවැම්බර් 14..මම එතකොට තුනේ පංතියෙ..කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකට යන්නෙ..අපි හිටියෙ නාගොල්ලෙ කච්චේරි නිල නිවාස වල..

1961 මම ඉතිං ඉහත ආත්ම භාවයෙ වෙන්න ඕන..හෙහ්..හෙහ්.. 

හරි..කාලෙකට පස්සෙ බ්ලොග් එකට සටහනක් ලිව්වෙ මට හිතුන ආයම බ්ලොග් එක පණ ගහල ගන්ට ඕන කියල..හරි එහෙනම් මේ අදින් ලැවුවාවූ එකුන් සැටවන වසරේ මගේ ඒ අපේක්ෂාව මල ඵල ගැන්වේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරමු!

Thursday, August 12, 2021

163. ඇල්බට් පාර, ඇල්බියන් පාර, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර සමග ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු





ඇල්බට් පාර - කොල්ලුපිටිය, කොළඹ 03
නව නාමය - ධර්මකීර්තියාරාම පාර

    කොල්ලුපිටියේ ගුණසිරි හෝටලය අසලින් ශාන්ත මයිකල් පාර ඔස්සේ ගොස්, වමට වන හඩ්සන් පාරේ යනවිට පළමුව වමට හමුවන කාමෙල් පාරේ යනවිට පළමුව දකුණට හමුවන මාර්ගය.

    ඇල්බට් චංද්‍රවංකය සේ ම ඇල්බට් කුමරු සිහිකරමින් නම් කරන ලද්දක් යැයි අනුමාන කෙරේ.


ඇල්බියන් පාර - දෙමටගොඩ, කොළඹ 09

    ඇල්බියන් යනු එංගලන්තය හෝ බ්‍රිතාන්‍ය හැඳින්වීමට අතීතයේ භාවිතා වූ නාමයකි. එය සුදුපාට යන තේරුම ඇති ග්‍රීක වදන වන ඇල්බා - Alba යන්නෙන් බිඳී ආවකි. (එංගලන්තයේ ඩෝවර් නගරයෙන් මුහුද වෙතට වන ධවල වර්ණ ප්‍රපාතාකාර බෑවුම විස්තර කෙරෙන බවක් විශ්වාස කෙරේ). කොළඹ නගරය තුල ඇල්බියන් යන නම රැගත් මං මාවත් තුනක් විය. දැනට ඉතිරි ව ඇත්තේ දෙකක් පමණක් වන අතර ඒ දෙක දෙමටගොඩ ප්‍රදේශයේ වේ. එයින් ඇල්බියන් පෙදෙස දෙමටගොඩින් කොලොන්නාව දෙසට යනවිට පළමුව දකුණට හමුවන පටුමග වන අතර ඇල්බියන් පාර දෙමටගොඩින් කොලොන්නාව දෙසට යනවිට වම් දෙසින් ශ්‍රී සරණාරාමය විහාරස්ථානය පසු වනවාත් සමග හමුවන පළමුවන මාර්ගය වේ. එහි නව නාමය ශ්‍රී ධර්මාරාම පාර වේ.


ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස - කුරුඳු වත්ත, කොළඹ 07
නව නාමය - C. W. W. කන්නන්ගර මාවත

    ඩී සොයිසා වටරවුමේ සිට 120 බස් මාර්ගය ඔස්සේ නිදහස් මාවත දක්වා වන මාර්ගය.

    1863 දී බ්‍රිතාන්‍යයේ අනාගත රජ වූ හත්වන එඩ්වඩ් රජතුමා සමග ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය විවාහ වූවාය. පසුව 1875-76 කාලයේ මාස 8ක් පුරා වේල්සයේ කුමාරයා බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සෝ සයුරේ ගිල්වමිනි. කුමාරයා පිරිමින් පමණක් එකතු කරගෙන ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් සංචාරයක් සැලසුම් කර තිබුණේ වැඩි කාලයක් දඩයමින් කාලය ගත කරනු පිණිසය. චරිතාපදාන කතෘවරුන් අවධාරණය කරන්නේ, රාජ්‍ය කටයුතු වලට කුමරියගේ මැදිහත් වීම වළක්වාලනු පිණිස රජුගේ ලිපි ලේඛන පිළිබඳ කටයුතු වලිනුත් රජුගේ විදෙස් සංචාර වලිනුත් ඇය ව ඈත් කර තැබූ බවයි. ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය ගැන තවදුරටත් විස්තර කරනවා නම් ඇය ජර්මන් ජාතිකයින් ව තදින් අවිශ්වාස කළ බව පැවසිය හැකිය. ජර්මනියට වාසිදායක වන කවර දෙයක් හමුවේ වුවද ඇය සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙහි වූවාය. ඇයට ගෞරව පිණිස ශ්‍රී ලංකාවේ පාසලක් සහ පාරක් නම් කර තිබේ.


ඇලෙක්සැන්ඩ්‍රා පාර - වැල්ලවත්ත, කොළඹ 06

    කිරුළපන ඇල පසුකර වැල්ලවත්ත දුම්රිය පොළ දෙසට යන විට වමට වන පළමුවැන්න චාර්ලිමන්ට් පාර, දෙවැන්න ඇලෙක්සැන්ඩ්‍රා පාර, සහ තුන්වැන්න ෆ්‍රාන්සස් පාරවේ. ඇලෙක්සැන්ඩ්‍රා පාරේ ගාලු පාර අන්තයට ප්‍රතිවිරුද්ධ දෙසින්, ගාලු පාරෙන් ඇරඹෙන්නේ ෆෙඩ්‍රිකා පාරය. ෆ්‍රාන්සස් පාර පසුකර මද දුරක් යන විට වම් දෙසට වන කොලින්වුඩ් පෙදෙස හමුවේ.

    බර්ගර් ජාතිකයින් වන ගවුදර්වරු, 1796 දී ජර්මනියේ විටෙන්බර්ග් සිට ශ්‍රී ලංකාවට පැමිණි ජොහාන් ඇඩම් ගවුදෙක් යන අයගෙන් පැවත එති. වැල්ලවත්තේ, කිරුළපන ඇලෙන් දකුණු දෙසට වන්නට ඉඩම් සහ වර්තමානයේ සැවොයි සිනමා ශාලාව පිහිටා ඇති, ගාලු පාරින් බස්නාහිර දෙසට වන බිම් කඩත් අතීතයේදී ඔවුන් හිමිකම් කී ඉඩම් විය.

    චාර්ලිමන්ට් ජොනතන් ගවුදර්, ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩර්, ලේලිය ෆ්‍රාන්සස්, නැන්දනිය ෆෙඩ්‍රිකා සහ ඥාතිවරයෙකු වන ෆ්‍රෑන්ක් කොලින්වුඩ් යන සැමදෙන නමින් නම් වූ මං මාවත් වැල්ලවත්ත ප්‍රදේශයේ තිබේ. චාර්ලිමන්ට් පාර, ඇලෙක්සැන්ඩ්‍රා පාර සහ ටෙරසය, ෆෙඩ්‍රිකා පාර, ෆ්‍රාන්සස් පාර සහ කොලින්වුඩ් පෙදෙස ඒවා වන අතර මේ හැමට අමතර ව කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පිටත, දෙහිවල ඇල ආසන්නයේ ගවුදර් ප්ලේස් යනුවෙන් මාවතක් ද තිබේ. ඇලෙක්සැන්ඩ්‍රා-Alexandra යන්නෙහි අකුරු වැරදි ලෙස යොදා ඇති බවක් පෙනෙන්නට තිබේ. ගවුදර් පවුල් ඉතිහාසයේ ඇලෙක්සැන්ඩර් හැර ඇලෙක්සැන්ඩ්‍රා යන නමින් කිසිවෙකු සිට නැත.


ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03

    ආර්. ඒ. ඩී. මැල් මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට යනවිට වම් දෙසින් වන රැජණ පාර පසු වූ පසු මද දුරකින් දකුණු දෙසට වන්නට ඇති මග.

    ඇල්ෆ්‍රඩ් හවුස් යන නම ලත් ගෘහයට හිමිකම් කීවේ චාර්ල්ස් ඩී සොයිසාය. කොළඹ කළාප යටත් කොල්ලුපිටිය පිළිබඳ විස්තරයේ දී අඹවෙල රාළ නමැති අය ගැන විස්තර කෙරුණි. ඇල්ෆ්‍රඩ් හවුස් ගෘහය පිහිටා තිබුණේ අඹවෙල රාළ හිමිකම් කී පොල්වත්තේ කොටසකය. 1840දී එම පොල්වත්තෙන් අක්කර 125ක් චාර්ල්ස් එඩ්වඩ් ලයාර්ඩ් විසින් මිලදී ගත්තේය. මැණික් හා කෝපි ව්‍යාපාරික, බලසම්පන්න ධනවතෙකු වූ ලයාර්ඩ් විසින් එම වතුයායේ අත්‍යාලංකෘත ප්‍රාසාදයක් නිමවා එය “බගතලේ” නම් කළේය. පොල්, කෝපි, භාණ්ඩ ප්‍රවාහනය සහ මත්පැන් වෙළඳාමෙන් කාලයක් තිස්සේ උපයා සපයා ගත් ධනයෙන් කෝටිපතියෙකු වූ ජෙරනිස් ඩී සොයිසා විසින් පසු කලෙකදී එම ගෘහය මිලදී ගත් අතර ඔහු විසින් එය කාමර 100ක අතිවිශාල මන්දිරයක් බවට පත් කරන ලදී. ඔහුගේ මරණින් මතු පුත් වූ චාර්ල්ස් හෙන්රි ඩී සොයියා හට එහි හිමිකාරීත්වය නතුවිය.

(ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු ඉතිරි කොටස ලබන සතියට)

Wednesday, July 28, 2021

162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය




එයින්ට්‍රි වීදිය-හැව්ලොක් ටවුම, කොළඹ 05


    හැව්ලොක් ටවුමේ සිට, තිඹිරිගස්යාය පාරේ මීටර 800ක් පමණ යනවිට වම් දෙසට හමුවන ඇස්කොට් ඇවනියු ඔස්සේ මීටර 100ක් ගිය තැන වම් දෙසට වන මග එයින්ට්‍රි වීදිය නම්වේ.


    එඩ්වඩ් ක්ලැරන්ස් ඩි ෆොන්සේකා යනු කෝටිපති මිනිරන් ව්‍යාපාරික එඩ්මන්ඩ් ක්ලාර්ක් ඩී ෆොන්සේකාගේ පුතුය. අශ්වයින් හතලිස් දෙනෙකුට හිමිකම් කියූ එඩ්වඩ් ක්ලැරන්ස්, ඒ සතුන් ගාල්කර තිබුණේ ජාවත්තේ පිහිටි ඔහුගේ වතුයායේ ගොඩනැගූ ස්තාලයේය. රාජකීය විදුහලට ඉදිරිපසින්, වර්තමානයේ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබුනු තුරඟ තරඟ පිටියේ එම අසුන් තරඟ පිණිස යෙදවුණි. තුරඟ තරඟ කෙරෙහිවූ සිය බලවත් කැමැත්ත ප්‍රකට කරමින් ඔහු සිය වතුයායේ කොටස් වෙත ජනප්‍රිය බ්‍රිතාන්‍ය තුරඟ තරඟයන්හී නම් යෙදුවේය. එවැනි ජනප්‍රිය තුරඟ තරඟයක් සිහි කරමින් ඔහුගේ සමස්ත වතුයායට ගුඩ්වුඩ් නම දී තිබේ. වතුයාය වෙත වූ ප්‍රධාන පිවිසුම් මග ඇස්කොට් ඇවනියු යනුවෙන් නම් කෙරුණු අතර අතු වීදි දෙක එප්සම් වීදිය සහ එයින්ට්‍රි වීදිය ලෙසින් නම් කෙරිණ.




අක්බාර් ලේන්/පටුමග-අලුත්කඩේ, කොළඹ 12


    අලුත්කඩේ වටරවුමෙන් වම් දෙසට වන මිහිදු මාවත ඔස්සේ යනවිට දකුණු දෙසට හමුවන පළමුවන මග වන සෙන් සෙබස්තියන් වීදිය ඔස්සේ මීටර 100ක් යන විට වම් දෙසට හමුවන මග අක්බාර් පටුමගවේ.



    කීර්තිමත්, ලාංකික මැලේ ජාතිකයෙකු වන, මාස් තාජූන් අක්බාර් (1880-1944) මහතා දිස්ත්‍රික් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජෙනරාල්වරයා සහ 1937-1938 කාලයේ නගර සභා සභීකයෙකු ආදී වශයෙන් ක්‍රියා කළ අතර ඊට අමතර ව මල්ලව පොර ශූරයෙකු මෙන්ම ජූඩෝ ක්‍රීඩකයෙකුද වශයෙන් කීර්තියක් ඉසිලීය. ආදී රාජකීයයෙකු වන අක්බාර් මහතා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුද වන්නේය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා වූ කොමිසමේ සාමාජිකයෙකුවූ අතර හුසායිනියා පිරිමි විදුහලත් ෆාතිමා කාන්තා විදුහලත් පිහිටුවීමේ පුරෝගාමියෙකුද විය. මේ ආකාර වූ සේවාවන් වල නියුතු වීම නිමිති කොටගෙන ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් කොළඹ වීදි දෙකක් නම් කර තිබේ. එයින් එකක් අලුත්කඩේ පිහිටා ඇති මෙම වීදිය වන අතර අනෙක පිහිටා ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ මැලේ ජාතිකයින් බහුල ව වසන පෙදෙසෙහිය. වඩා ම වැදගත් කාරණය වනුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ද ඔහුගේ නමින් නම් කර තිබීමයි.




ඇලන් මැතිනියාරාම පාර-හැව්ලොක් ටවුම, කොළඹ 05


    පොල්හේන්ගොඩ මං සන්දියෙන් වම් දෙසට විජය කුමාරණතුංග මාවත ඔස්සේ මීටර 500ක් පමණ යනවිට වම් දෙසට වන මග මෙම පාර වේ.

    පොල්හේන්ගොඩ කඳු කැටය මුදුනේ, නාවලත් කිරුලපනත් අතර මැද ඇලන් මැතිනියාරාම විහාරය පිහිටා තිබේ. කොළඹ නගරයේ උස් ම ස්ථානයක් වන මෙතැනට හිමිදිරියේ සමනල කන්ද දිස්වේ.

    මෙම විහාරය මේ නමින් හඳුන්වන්නේ ඇයි? කවුද මේ ඇලන්? විහාරවාසී ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු සපයති.

    නෙලී චාර්ලට් හෙන්රියාටා ඩී ඔලිවෙරා මහත්මිය (1869-1907) යම්කිසි මානසික රෝගයකින් පෙළුනාය. ඇයට බොහෝ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත් ප්‍රයෝජනයක් නොවීය. අවසානයේ ඇය කඳවෙල ධර්මාලංකාර තෙරණුවන් වෙත එළඹුනාය. උන්වහන්සේ ඇයට සෙත් පැතීමෙන් අනතුරුව ආයුර්වේද ප්‍රතිකර්ම නිර්දේශ කළෝය. සමහරවිට එය සුළු සම්‍ය ප්‍රයෝගයක් විය හැක. කෙසේ නමුදු සුවය ලැබූ ඇය එයින් සතුටට පත් ව තමන් මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි තෙරණුවන්ගෙන් විමසුවාය. උන්වහන්සේ විහාරයක් ගොඩ නැගීම පිණිස බිම් කඩක අවශ්‍යතාව විස්තර කළ අතර නෙලී මහත්මිය ඒ සඳහා සුදුසු වූ මෙම බිම්කඩ ලබා දී විහාරය ගොඩ නැගීම පිණිස අවශ්‍ය මුදල් ද ලබා දුන්නාය. ඈ මියගිය පසු ආදාහනයෙන් අවශේෂ වූ අළු බඳුනක බහා ගෙනවිත් විහාර භූමියේ තැන්පත් කර ඇගේ නමින් ස්මාරකයක් ගොඩනගන ලදී. විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇගේ ඡායාරූප දෙකක් දකින්නට ලැබේ. විහාරවාසී භික්ෂූන් වහන්සේ අදහස් කරන්නේ නෙලී මහත්මිය මේ වනවිට දේවදූත ආත්මයක් ලබා විහාරය ආශ්‍රිතව ම ගැවසෙන බවයි.

    ඇලන් යනු සමීපතයින් නෙලී මහත්මිය හැඳින් වූ කෙටි නාමය වන අතර ඇයට ගෞරව පිණිස ඇලන්මැතිනියාරාමය වශයෙන් එම විහාරය හඳුන්වයි.




ඇල්බට් චන්ද්‍රවංකය - කුරුඳුවත්ත, කොළඹ 07


    ජාතික කෞතුකාගාරය අභිමුව වන කේම්බ්‍රිජ් පෙදෙසේ අන්තයත්, නිදහස් මාවතේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල අන්තයත් යා කරන මග ඇල්බට් චන්ද්‍රවංකය නම්වේ.

    වික්ටෝරියා රැජණගේ වල්ලභයා ඇල්බට් කුමාරයාය. ඇගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුලදී ම (1837-1901) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය යටත් පාලනය කෙරුණු අතර 1876 දී වික්ටෝරියා රැජණ ඉන්දියාවේ අධිරාජිණිය බවට පත් වූවාය. ඔවුන්ගේ පුතුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළත් ඇල්බට් කුමරු කිසිදා මෙහි පය තබා නැත. එබැවින් මෙම නාමකරණයට සෘජු සම්බන්ධයක් පිළිබඳ සිතිය නොහැකිය. තවත් සිත්ඇදගන්නාසුලු කාරණයක් නම් ලන්ඩනයේ ලැම්බත් හී කොළඹ වීදියේ (Colombo Street) ප්‍රින්ස් ඇලබට් පබ් නමින් අවන්හලක් තිබීමයි. නමුත් ඇල්බට් කුමරු එයට ද කිසිදා පා තබා නැති බවට ලියුම්කරුට විශ්වාසය. කාලාන්තරයක් මෙරට පාලනය කළත් වික්ටෝරියා රැජණට කොළඹ ප්‍රදේශයේ උද්‍යානයක් මිස මාවතක උරුමයක් නැත.



Wednesday, July 21, 2021

161. වීදි සරන ළය 06 - අභය පෙදෙස, අභයාරාම පටුමග, අභයසිංහාරාම පාර, ඇඩම්ස් ඇවනියු, ඇඩම්ලි පෙදෙස, අධිකරණ මාවත සමග අහමඩ් පටුමග


අභය පෙදෙස - දෙමටගොඩ, කොළඹ 09

කොලොන්නාව දෙස සිට දෙමටගොඩ හන්දිය දෙසට පැමිණෙන විට දෙමටගොඩ ඇලත් දෙමටගොඩ හන්දියත් අතර මාර්ගයේදී වම් අත දෙසට වන අභය පෙදෙස හමුවේ.

අභය යනු නිර්භයභාවය වන අතර අභය මුද්‍රාවෙන් සංකේතවත් වන්නේ ආරක්ෂාව ලබා දීමටත්, බිය පලවා හැරීමටත්, හේතුවන අධ්‍යාත්මික ශක්තියයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගැනීමේදී අභය මුද්‍රාව භාවිතා කළ අතර පසුව කලහාකාරී ලෙස හැසිරුණු ඇතෙකු දමනය කරනු පිනිස ද එය යොදා ගන්නා ලදී. අභය සූත්‍ර දේශනාවේ, ‘සම්මා වාචා’ පිළිබඳ විස්තරයේදී උන්වහන්සේ කෙනෙකු කිව යුතු නොකිව යුතු දේ පිළිබඳ ව දේශනා කළෝය. ‘අප නිතර ම කතා කළ යුතු වන්නේ සත්‍ය හා අර්ථයක් ඇති දේ පමණයි. ඒ වගේ ම සතුටුදායක වුවද දුක්ඛදායක වුවද යම් දෙයක් පැවසීමට වඩා සුදුසු ම අවස්ථාව තෝරාගත යුතුය’

බොහෝ සිංහල රජවරුන්ගේ නාමයන් හී මුලට හෝ අගට ‘නිර්භය’ යන තේරුම ගෙනදෙමින් ‘අභය’ යන වදන එක්කර තිබේ. ඒ අතර අභය රජ (ක්‍රී . පූ. 474-454), අභයගිරි දාගැබ සෑදූ වට්ටගාමිණි අභය/වගලම්බාහු රජ (ක්‍රී . පූ. 88-76) සහ දුටුගැමුණු රජ (ක්‍රී . පූ. 161-137) යනාදී රජවරුන් වේ.



අභයාරාම පටුමග - හැව්ලොක් ටවුම, කොළඹ 05

නාරාහේන්පිට, ශ්‍රී අභයාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසීමට ඇති පටුමග මෙනමින් හැඳින්වේ.



අභයසිංහාරාම පාර - මරදාන, කොළඹ 10

පංචිකාවත්ත වටරවුමෙන් පංචිකාවත්ත දෙසට යන විට වම් අත දෙසට මෙම පාර හමුවේ. ඒ ඔස්සේ ගොස් අභයසිංහාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසිය හැකිය. (අභයසිංහ - නිර්භය සිංහයා යන අරුත දේ)



ඇඩම්ස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03

බම්බපිටිය හන්දියේ සිට, තුන්මුල්ල වටරවුම් ද්විත්වය පසුකර කොළඹ විශ්ව විද්‍යාලය දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන පළමු මාවත මෙනමින් හැඳින්වේ. මෙම නාමය උපන් හේතුව නිශ්චිත නැත. ආදම් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන ආදම්ජී ලුක්මන්ජී පවුලේ පිරිස දැනට ජීවත් වන්නේ ඇඩම්ස් ඇවනියු පාරට පසු ව හමුවන පටුමගට මායිම් වන සයිෆි විලා - Saiffee Villa මන්දිරයේය (පෙර ලක්ෂ්මිගිරි මන්දිරය). සමහරවිට ඇඩම්ස් ඇවනියූ නාමය ඉපදීමට මෙම සම්බන්ධය බලපෑවා විය හැකිය. කෙසේ නමුදු මෙම දේපල වල පැරණි හිමිකරුගේ නම ඇඩම්/ඇඩම්ස් විය හැකි බවට H. A. C. හුලුගල්ල විසින් රචිත, The Centenary Volume of the Colombo Municipal Council යන ග්‍රන්ථයෙන් යෝජනා කෙරේ.



ඇඩම්ලි පෙදෙස - බම්බලපිටිය, කොළඹ 04

මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල පසු කර කොළඹ දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන දෙවන මග ඇඩම්ලි පෙදෙස වේ.

බෝරා මුස්ලිම් ජාතිකයින් 1831 දී මෙම දිවයිනට ලඟා වූයේ අහම්බෙනි. ගුජරාටය බලා කරවල රැගෙන යමින් සිටි ජැෆර්ජි ඊසාජීගේ කුඩා මුහුදු යාත්‍රාව කුණාටුවකට අසු වී විනාශ වූ අතර දිවි බේරාගත් ඔහු ගාල්ල වෙරළට ලඟාවිය. මෙරට ඇති ව්‍යාපාර අවස්ථා දුටු ඔහු පසුකාලීන ව මෙරට මූලික කරගෙන ආනයන අපනයන වෙළඳාම ඇරඹීය. ඔහුගේ පුත් කරීම්ජී ජැෆර්ජි එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉංදියානු සාගරය හරහා නැගෙනහිර අප්‍රිකාවේ සිට සිංගපූරුව දක්වා වෙළෙඳ ගනුදෙනු මෙහෙයවන්නට සමත්වීය. ඔහුගේ ඥාති සොයුරු මොහොමඩ්බායි අලීබායි නැමැත්තා සිය පුතුන් වන ඉසුෆ්අලී, ගුලාම්හුසෙයින් සහ ඇඩම්ලි (Esufally, Gulamhussein and Adamaly) යන අයගේ නම් උපයෝගී කරගෙන ඊ. ජී. ඇඩම්ලි සහ පුත්‍රයෝ (E G Adamaly & Sons) යන ව්‍යාපාරය අරඹා, සීනි, භූමිතෙල්, රබර්, පිටි සහ හාල් වෙළදාමෙන් ඉතාමත් කෙටි කලකදී ඉමහත් දියුණුවක් ලබා, දිවයිනේ ප්‍රමුඛත ම වෙළඳ ව්‍යාපාරයන් අතරට එක්විය. පවුලේ තවත් සාමාජිකයෙකු වන ඊ. ජී. ඇඩම්ලි යන අය 1920-1925 අතර කාලය තුල ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අතර ඔහුගේ පුත් කුර්බාන් හුසෙයින් ඇඩම්ලි 1948 දී නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ද, 1947-1971 අතර කාලය තුල සෙනෙට් සභිකයෙකු වශයෙන් ද, කටයුතු කළේය. ඉතාමත් සිත්ඇදගන්නාසුලු බෝරා මස්ජිදය පිහිටා තිබෙන්නේ ද මෙම ඇඩම්ලි පෙදෙස කෙලවරෙහි ය.



අධිකරණ මාවත - මරදාන, කොළඹ 10

ටෙක්නිකල් හන්දියේ සිට පංචිකාවත්ත දෙසට ශ්‍රී සංඝරාජ මාවත ඔස්සේ යන විට වම් අත දෙසට හමුවන පළමු මාවත මෙය වේ.

‘අධිකරණ - සමථ ධම්ම’ යනු බෞද්ධ විනය පිටකයෙහි එන කොටසකි. එයින් පනවා ඇත්තේ භික්ෂූන් අතර ඇතිවන ආරවුල් හෝ නඩු ආදි කාරණා සමථයට පත් කරගැනීමේදී සැළකිය යුතු විනය නීති සමුදායයි. අධිකාරණික යනු විනිශ්චයකාරවරයාය. අධිකරණ මාවත, පහළ උසාවි සහ අලුත්කඩේ පිහිටා ඇති අධිකරණ අමාත්‍යාංශය වෙත දිවෙයි.



අහමඩ් පටුමග - කොම්පඤ්ඤ වීදිය, කොළඹ 02

තොරතුරු සපයන කෙනෙකු මගින් ලේඛකයාට කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙම පටුමගෙහි, පදිංචි, ටී. බී. ජයා මහතාට සමීප ඤාතියෙකු වන තුවාන් අහමඩ් හමීඩ් ඩීන් නැමැති ශ්‍රී ලාංකික මැලේ ජාතික සමාජ සේවකයෙකු හමු වී තිබේ. ඒ හැර එම පටුමග පිළිබඳ වැඩිදුර විස්තර නොමැත.

Wednesday, July 14, 2021

160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර්




පෙර ලිපි
154. වීදි සරන ළය - 01



අබ්දූල් කෆූර් මාවත - කොල්ලුපිටිය, කොළඹ 3

පැරණි නම - පෙන්ඩෙනිස් ඇවනියු

    ගාලු පාරේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට, දකුණු පැත්තේ ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමය ගොඩනැගිල්ලට පසු ඇති මග අබ්දූල් කෆූර් මාවත වේ.

    අරාබි වෙළෙඳුන් මෙරටට පැමිණ පළමුව බේරුවල ආශ්‍රිත ව පදිංචි වූයේ, අටවන සියවසයේ දී යැයි විශ්වාස කෙරේ. මෙරට පතල් කර්මාන්තය හා මැණික් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීමෙහි ලා මැණික් පිළිබඳව වූ සිය ප්‍රවීණතාව මැනවින් උපයෝගී කරගත් ඔවූහු කොළඹට පැමිණ මැණික් වෙළඳාමෙහි යෙදුණු අතර අවසානයේ එහි ම පදිංචි වූහ. 1894 දී ‘නූර්ඩීන් හාජියාර් අබ්දූල් කෆූර් හාජියාර්’ විසින් පළමු වරට කොළඹ වරායේ මැණික් වෙළඳාම අරඹන ලද අතර මද කලකින් ම ඉමහත් කීර්තියක්, ප්‍රසිද්ධියක් උපයාගත් ඔහු 1901 දී වේල්සයේ කුමර කුමරියන් මෙරටට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී මහනුවර මණ්ඩපයේ දී ඔවුනට සිය දියමන්ති සහ මුතු මැණික් එකතුව සහිත ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට ද සමත්විය. පසුකාලීන ව යුරෝපයේ සහ ඇමරිකාවේ පවත්වන ලද ප්‍රදර්ශනයන්හි දී සම්මානයට පත් වූ අබ්දූල් කෆූර් 1929 දී සිය මිල කළ නොහැකි අනර්ඝ මුතු මැණික්, දියමන්ති සහ අභරණ එකතුව ප්‍රදර්ශනය කරනු පිණිස, කොළඹ කොටුවේ, පල්ලිය වීදියේ මැණික් කෞතුකාගාරයක් විවෘත කළේය. ඒ පෙදෙසෙහි සංචාරය කරන්නේ නම්, කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ව අදටත් එම ගොඩනැගිල්ල දැකගත හැකිය.

    මෙරට මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට කැපවීමෙන් කටයුතු කළ අබ්දූල් කෆූර් මරදාන සහිරා විද්‍යාලයට, ද ගෆූරියා ඇරබික් විද්‍යාලයට සහ ද ගෆූර් අරමුදලට සිය ධනය පරිත්‍යාග කළේය. තව ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුනගේ මක්කම වන්දනාවන් සඳහා මූල්‍යමය දායකත්වයත් සැපයීය. 1949 දී අභාවප්‍රාප්ත වූ අබ්දූල් කෆූර් මහතාගේ දේහය මරදාන මුස්ලිම් පල්ලිය භූමියේ භූමදාන කරන ලදී.



අබ්දූල් හමීඩ් වීදිය - අලුත්කඩේ, කොළඹ 12

පැරණි නම - වින්සන්ට් වීදිය

    කෙසෙල්වත්තේ සිට උසාවිය පසුකොට අලුත්කඩේ වීදිය ඔස්සේ පැමිණෙද්දී හමුවන ‘Y’ හන්දියෙන් දකුණු දෙසට වන්නට ඇත්තේ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත වේ. එහි මීටර 200ක් පමණ දුරින් හමුවන සිව්මංසලින් දකුණු පසට වන මග අබ්දූල් හමීඩ් වීදිය වේ.

    1900දී ශ්‍රී ලාංකික මුස්ලිම්වරු, තුර්කි සුල්තාන්-දෙවන අබ්දූල් හමීඩ්ගේ රිදී ජුබිලිය මහ ඉහළින් උත්සවාකාරයෙන් සැමරුවේ කොඩි ලෙලවමින් සහ ගිණිකෙළි සංදර්ශන පවත්වමිනි. ඔහු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ ප්‍රධානියා මෙන් ම ඉස්ලාමීය සහයෝගීතාවේ සංකේතයක් බඳු කාලීෆ් වරයෙකුවිය. එරටෙහි පළමු සිවිල් සේවකයා වූ අමා අසීස් මෙසේ පවසයි.

    ‘සුල්තාන්වරයාගේ සෑම ප්‍රධාන කටයුත්තක් ම රාජ්‍යයේ කටයුත්තක් හා සමානයි. සෑම සතියේ ම දේවස්ථාන වල සිකුරාදා පූජාවන්හී එතුමාගේ නාමය රැව්දීම ඉතාමත් සාමාන්‍ය කාරණයක්. බොහෝ මුස්ලිම් නිවෙස් වල එතුමාගේ පිංතූරයක් තිබෙනවා. තුර්කි රාජධානිය සුල්තාන්ගේ උත්සව හා වෙනත් විවිධ අවස්ථාවන් වෙනුවෙන් උවමනාවටත් වඩා කාලය හා ඉඩ වෙන් කෙරුවා. ළදරුවන් සහ ආයතන නම් කෙරුණේ සුල්තාන්වරයාගේ නමින්’.

    සුල්තාන්වරයාගේ උරුමයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු තුර්කි තොප්පිය (Fez) පැළඳීමත්, හඳ පලුව හා තනි තරුව ප්‍රදර්ශනය කිරීමත් සිදු කළ අතර ඒවා ඔටෝමාන් අධිරාජ්‍යයේ සංකේත විය.

    I.L.M. නූර්ඩීන් හාජියාර් ඔහුගේ පියාවන ඉඩෘස් ලෙබ්බේ මාරිකාර්ගෙන් පසු 1900දී ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය-පදනමේ භාරකාරවරයා බවට පත් වූ අතර ඔහු අලුත්කඩේ පෙදෙසේ දේපළ පරිත්‍යාග කර පල්ලියේ නඩත්තු කටයුතු සැළසීය. සිය පුද්ගලික වියදමින් කොළඹ ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය භූමියේ හමීඩියා විද්‍යාලය වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකළ නූර්ඩින් හාජියාර් මහතා එය තුර්කි සුල්තාන් හමීඩ් නමින් නම් කළේය.

    ලාංකීය විද්වතුන් හා කතාබහ කිරීමෙන් මෙන් ම පුස්තකාල ආශ්‍රය කරගනිමින් සොයා බැලුව ද අබ්දුල් හමීඩ් මාවත කුමන පුද්ගලයාගේ නමින් නම් වූයේ දැයි පැහැදිළි අදහසක් ගත නොහැකි වූ අතර වියහැකි ආකාර පහත පරිදි ලඝු කොට දැක්විය හැකිය.

I.L.M. අබ්දූල් හමීඩ් - I.L.M. නූර්ඩින් හාජියාර්ගේ සහෝදරයා

    N.D.H. අබ්දූල් හමීඩ් - මරදාන මොස්ක් හී භාරකාරවරයා, නූර්ඩින් හාජියාර්ගේ පුතා, N.D.H. අබ්දූල් කෆූර්ගේ සහෝදරයා (අබ්දුල් කෆූර් මාවත)

    B.S. අබ්දුල් හමීඩ් - කොළඹ මහා නගර සභා සභික (1950-1957)



අබ්දුල් ජබ්බාර් මාවත - අලුත්කඩේ, කොළඹ 12

    ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට, M.J.M. ලෆිර් මාවත ඔස්සේ යන විට හමුවන පළමු සිව්මංසලින් දකුණු දෙසට වන මග අබ්දුල් ජබ්බාර් මාවත වේ.

    වාපු මරිකාර් අබ්දුල් ජබ්බාර් මහතා 1940-1957 දක්වා කාලය තුල මාරදාන මොස්ක් මුස්ලිම් පල්ලියේ භාණ්ඩාගාරික තනතුර හෙබවීය. ඔහුට, මාමා වන I.L.M. නූර්ඩීන් හාජියාර්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් උරුම විය. අදටත් එම වෙළඳසැල, M.J.M. ලාෆිර් මාවත-මැසෙන්ජර් වීදියත්, ගල්වල පාරත් (Quarry Road), අබ්දුල් ජබ්බාර් වීදියත් හමුවන සිව්මංසලදී දැකගත හැකිය.

    අබ්දුල් ජබ්බාර් සහ පුත්‍රයෝ (Abdul Jabbar & Sons), අබ්දුල් ජබ්බාර් නිවස (Abdul Jabbar House) යන ව්‍යාපාරය සහ නිවස අබ්දුල් ජබ්බාර් මාවතේ පිහිටා ඇත.

Wednesday, July 7, 2021

159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස







කොළඹ 11 - පිටකොටුව

    සිංහල භාවිතය අනුව පිටකොටුව-Pettah යනු ‘කොටුවෙන් පිටත’ යන්න අරුත් ගන්වන වදනකි. හොබ්සන්-ජොබ්සන් නම් ඉංග්‍රීසි-ඉන්දියානු ශබ්දකෝෂයට අනුව Pettah යනු (දමිළ බසින් පෙට්ටායි) බලකොටුවකට ඈඳුනු උපනගරයක් හෝ බලකොටුවකට යාබද නගරයකි. අතීතයේ බොහෝ ජනයා පදිංචි පෙදෙසක් වූ එහි එළිමහන් කඩ වීදියක් හා වෙළෙඳපොලක් තිබී ඇත. වර්තමානයේ වීදි, පටු මං හා මුඩුක්කු පෙදෙස් වලින් ගහන වංකගිරියක සිරිගෙන ඇති පිටකොටුව, ශ්‍රී ලංකාවේ තොග සහ සිල්ලර වෙළෙඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ව ක්‍රියා කරයි.

කොළඹ 12 - අලුත්කඩේ

    ඕලන්ද ජාතික ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් (Gerard Hulft), 1656 දී සිදු කළ, පෘතුගීසින්ට එරෙහි විජයග්‍රාහී අවසන් සටනේ දී ඝාතනයට ලක්විය. ඔහු, වසර 150කට අධික කාලයක් තිස්සේ කොළඹ අත්පත්කරගෙන සිටි පෘතුගීසින් පළවා හැරීම සඳහා එවකට කන්ද උඩරට පාලනය කළ දෙවන රාජසිංහ රජු සමග සන්ධාන ගතවිය. හල්ෆ්ට් මිය යෑමට පෙර දිනයේ ඔවුන් ත්‍යාග හුවමාරු කරගන්නා ලද අතර දෙවන රාජසිංහ රජු, ‘රන්මය කරපටියක්’ ජෙනරාල් හල්ෆ්ට්ගේ ගෙල වටා පැළඳ වූයේය. ඊට අමතර ව තමන් දෙදෙනා අතර වන මිත්‍ර සන්ධානය සංකේතවත් කරමින් තමාගේ මුදුවක් හල්ෆ්ට්ගේ ඇඟිල්ලක පැළඳවීය.

    පසුදා ජනරාල්වරයා අවසන් සටනේ දී භාවිතා කළ හැකි ඉදිරිපෙළ අගල් ගැන පරීක්ෂා කරමින් සිටියේය. ඒ අතරේ ඕලන්ද ශාලාවක ගින්නක් ඇති කිරීමට පෘතුගීසින් සමත් විය. ඔහු උදව් සොයන්නට විය. ‘යහපත් දෙවියනි!, උදව් කරන්න!’ නමුදු පමා වැඩිය. හදවත පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයක් හේතුවෙන්, ඕලන්දයින් කොළඹ අත්පත් කරගන්නා අයුරු දකින්නට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. නමුදු, ඒ ඕලන්ද සෙනෙවියා සිය නිවස ගොඩ නැගූ කඳු ගැටය සියවස් ගණනාවක් තිස්සේ Hulftsdorp (හල්ෆ්ට්ගේ ගම්මානය) නාමය දරමින් කොළඹ පදාසයක් හිමිකරගෙන සිටියි.

    වරෙක බ්‍රිතාන්‍යයින් පිටකොටුවේ වෙළෙඳපොළ මෙම කඳු ගැටයේ බෑවුම් වෙත ගෙන එන්නට දරපු උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් එම පෙදෙසට ‘අලුත්කඩේ’- New Bazar යන නාමය හිමිවිය.

    වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ වූ සියලු ම ආයතන පාහේ පිහිටා ඇත්තේ අලුත්කඩේ පෙදෙසෙහිය. ඒ අතර මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් ම අධිකරණ අමාත්‍යාංශය ද වේ. (මෙම පෙදෙස හඳුන්වන ඉංග්‍රීසි නාමයෙහි නිවැරදි අක්ෂර වින්‍යාසය, ‘Hulftsdorp - හල්ෆ්ට්ස්ඩෝප්’ වේ).

කොළඹ 13 - කොටහේන

    කුඩා ධීවර ගම්මානයක් වුණු කොටහේනට ඒ නම ලැබී ඇත්තේ එහි තිබුණු සරුසාර කොට්ටන් ගස් (Costus Speciosus) යාය (කොට්ටන් හේන) නිසා යැයි සැළකේ. පෘතුගීසි යුගයේ දී මේ පෙදෙස හැඳින්වූයේ කොට්ටන්චීන - Kottanchina යනුවෙනි. ඕලන්ද බසින් ‘Korteboam’ යනු ‘කොට ගස්’ යන්නට සමාන පදයකි. අවසානයේ බ්‍රිතාන්‍යයන් විසින් කොටහේන - කොට්න් චයිනා (Cotton China) බවට පෙරළීය.

    සිංහල ක්‍රමයට ගතහොත් කොටහේන යන්න, ‘ගස් කපා ලඳු කැලෑ ගිණි ලූ පසු ඉතිරිවන කොට සහිත හේන’ යන යෙදුමෙන් ආවා ද විය හැක. (වරක් අස්වැද්දූ පසු මෙවැනි හේන් අතහැර දැමෙන අතර වෙනත් බිම් කඩක නව හේනක් සාදා ගැනීම සිරිතයි)

    1760 පමණ සිට කොටහේනේ දේවස්ථානයක් තිබුණද, මේ කුඩා ගම්මානය කලඑළි වී නාගරීකරණය වූයේ 1838 දී ශාන්ත ලුසියාස් ආසන දෙව්මැදුර පිහිට වීමෙන් පසුවය.

කොළඹ 14 - ග්‍රෑන්ඩ්පාස්

    පෘතුගීසි යුගයේ දී කැළණි නදිය හරහා උතුරු දෙසට තරණයට තොටුපළ ඔරු (Ferries) දෙකක් විය. පෘතුගීසින් එවා හැඳින්වූයේ ‘Passo’-පැසෝ යන නමින් වන අතර බ්‍රිතාන්‍යයන් පසු කාලීන ව එවදන ‘Pass’-පාස් යනුවෙන් ඉංග්‍රීසිකරණය කරන ලදී. පළමු තොටුපළ ඔරුව වූයේ වර්තමාන නාගලගම් වීදිය කෙළවරෙහිය. එය පෘතුගීසි යුගයේදී ‘Passo Grande’ ලෙස හැඳින් වූ අතර පසුකාලීන ව ග්‍රෑන්ඩ්පාස් බවට හැරුණේ එම නාමයයි. දෙවැන්න පිහිටියේ වත්තල පෙදෙස ආසන්නයේය. ග්‍රෑන්ඩ්පාස් තොටුපළ වඩා කාර්යය බහුල ස්ථානය වූ අතර එයට ම හිමි වූ වෙළෙඳපොළක් සහ රේන්දයක් තිබූ බව සඳහන් ය. 1822 දී පාරු පාලම (Pontoon Bridge) ඉදි වූ පසු ඔරුව ඉවත් කෙරිණ. එම පාරු පාලමට බෝට්ටු 21ක් අයත් වූ අතර එහි දිග අඩි 499ක් විය. 1895 දී අඩි 26ක් පළල, ගරාදි බාල්ක යෙදූ මාර්ග පාලමක් (lattice girder road bridge) වන වික්ටෝරියා පාලම නිමවන තෙක් ගඟ තරණය සඳහා වූ ප්‍රධාන ක්‍රමය වූයේ මෙයයි. ඊට වසර 30කට පෙර කැළණි ගඟ හරහා දුම්රිය පාලම සම්පූර්ණ කර තිබිණ.

කොළඹ 15 - මුත්වාල්

    කැළණි ගඟේ සාගරයට බැඳි කොටස සාම්ප්‍රදායික ව හඳුන්වන්නේ ‘මුත්වාල් ඔය’ නමිනි. මෝය කට යන්නට දමිළ බසින් යෙදෙන ‘මුහතුවරම්’ යන වදන, පෘතුගීසින් හා ලන්දේසීන් භාවිතා කිරීමේදී ‘මුත්වාල්’ යන වදන බිහි වූ ලෙස සැළකේ. වර්තමාන මුත්වාල් ප්‍රදේශයට, උතුරු කොළඹට අයත් මට්ටක්කුලිය, මෝදර, කදිරාන සහ කාක දූපත අයත් වේ.


                         (මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)


කොළඹ කළාප නිමි

Saturday, July 3, 2021

158. පුස්තකාල පූසා සහ කළු උස මනුස්සයෙක් සමගින් ගෙදර'වට සිතියම


    හරි වැඩක් මට වුණේ. පසුගිය දවස් 40ක වගේ කාලයක් තුල පොත් 20ක් කියවලා අවසානයේ ඒ පොත් 20 මා තුල ඇති කළ සිතුවිලි ගැන සම්පිණ්ඩනයක් ලියන්න ගත්ත කටු සටහන (Draft) අන්න තවම බ්ලොගර් ලිපි ගොනුවේ සේව් කරපු ගමන්. (සගයා නම් දකින්න ඇති)

    අපේ තරුරසි අක්කයි මායි පොත් හුවමාරු කරගෙන කියනවා මේ දවස් වල. අර විස්සෙන් 5-6ක් ඒ හුවමාරුවේ පොත්. මෙදා සැරේ අක්කා පොත් 9ක් එවා තිබුණා. පොත් 20 ගැන ලියන්න ගන්න අතරතුරේ ඒ 9න් එකක් කියවන්න ගත්ත එක තමයි මට වුණු හරි වැඩේ.

    ඒ පොත 'පුස්තකාල පූසා සහ තවත් කතා'. ලියලා තියෙන්නේ ප්‍රින්ස් සේනාධීර කියලා මහතැන් කෙනෙක්. අර කතාවට කියන්නේ, "‌ශෙහ්!... අන්න පොත්!" අන්න ඒ කතාව මේ පොතටත් කියන්න පුළුවන් කිසි ලෝභ කමක් නැති ව.


    විස්තර ලියනවා නම් එක කතාවක් ගානේ ලියන්න තරම් විස්තර. අනේ මන්දා කෙටි කතා! කියලා අතට ගත්ත පොතේ කතා 8 ම එක දවසින් කියවලා ඉවර කරන්න ජවය දුන්නේ පළමු කතාවෙන්මයි. භාවිත රචනා විලාශයේ වෙනස, එක වගේ කතා කියවලා කම්මැලිකම අමාරුවෙන් දරාගෙන හිටපු හිතට ගෙනාවේ පුදුමාකාර අස්වැසිල්ලක්. මං මොකුත් වැඩියේ කියන්නේ නැහැ. ඔයාලා ම කියවලා බලන්න. මේක කියවන්න ම ඔනෑ පොතක්! කියලා විතරක් කියන්නම්.

    ඉතින් ඊ ගාවට ඒ මහතැන්ගේ ම "කළු උස මනුස්සයෙක්" පොත අතට ගම් දෝ නොගම් දෝ කියලා දෙකට දෙවාරේ හිතලා හිතලා, ඒ පොතින් කලින් පොත නිසා ඇතිවුණු ප්‍රහර්ශය නැති වේදෝ කියන බයට වෙන පොතක් අතට ගන්න හිතුවා. මොකද මේ පොත් දෙක 2020, 2021 කියන එක ලඟ අවුරුදු දෙකේ නිකුත් වෙලා තියෙන්නේ. 

    ඒ පණ්ඩිතකම් නිසා මං ඊ ගාවට අතට ගත්තේ ලියනගේ අමරකීර්ති මහතැන්ගේ "ගෙදර'වට සිතියම"

    ඒ මහතැන්ගේ සේරම පොත් වගේ මං කියවලා තියෙනවා. වෙනදාටත් වඩා නිදහසකින් ස්ත්‍රී ලාලිත්‍යය, මිනිස් සබඳතා හී මාන, රට වැටුණු තැන ආදී කාරණා ගැන ඉතාමත් සරළව, නමුත් හිසට ටොකු අනිමින් පෙන්වා දෙමින් රචනා කර තිබෙනවා.

    සිනමාවේ ‌ඛේදාන්තය, රට රැකගත් කාණ්ඩේ රණවිරුවන්ගේ ‌ඛේදාන්තය, තුන්වෙනි ලෝකයෙන් ඌන සංවර්ධිත ලැයිස්තුවට යෑමට ඔන්න මෙන්න ඉන්නා රටක ‌‌වත, ඒ රටේ අධ්‍යාපනයේ ගමන් මග වැනි කාරණා ඔස්සේත් නොවැළැක්විය හැකි ලෙස අප රට ජන ජීවිතයට බද්ධ වී ඇති 88-89 කාලයේ වේදනාවත් කතන්දර 8ක් පුරා සිතුවම් කර තිබෙනවා. ඒ කතා 8ත් එක දවසින් කියවලා ඉවර කළා.



    ඉතින් ඊට පස්සේ මම "කළු උස මනුස්සයෙක්" කියවන්න ගත්තා. එක ලඟ අවුරුදු දෙකේ පළ වුණා කියලා, කිසිම අඩුපාඩුවක් නැහැ. පොත් දෙකින් කොයි පොත ද වැඩියෙන් හොඳ කියලා හිතා ගන්නත් බැහැ. හැබැයි මේ පොතේ භාවිත රචනා ශෛලිය වෙනස්. කතා 8න් තුනක විතර ලියුම් ඔස්සේ කතාව ගොඩ නැගෙනවා. ඒ වියමන් හරි ම රසයි. වෙන වචනයක් නැහැ. එයිනුත් 'ලියුම් මාත්‍රාව' කියන කතාව පුදුමාකාර ‌වින්දනීය වේදනාවක් ඇති කරනවා. 'අසූනවයට පස්සේ' කතාවේ ලියුම ලියන මනුස්සයා අහන ප්‍රශ්න වලට ටිකින් ටික උස් මහත් වෙන දරුවෝ ඉන්න දෙමව්පියන් හැටියට අපටත් උත්තර දී ගත නොහැකි නේදැයි වරින් වර හිතෙන්න ගන්නවා. අපේ දරුවෝ එවැනි පියවර වලට ගියොත් කොයි තරම් නම් ප්‍රවේශමෙන් ඒ කාරණාවට ප්‍රවේශ විය යුතුදැයි රචකයා අපිත් සමග මානසික ගනුදෙනුවකින් සාකච්ඡා කරනවා.

    මා කියවා ඇති පොත් වල දැක නැති දෙයක් මේ පොතේ හමුවෙනවා. එක ම මාතෘකාවෙන් කතා දෙකක්. කියවලා ම බලන්න. ඒ කතා දෙක ඒ තරම් වටින කතා දෙකක්.

    බොහෝ කතා වල අමරකීර්ති මහතාගේ කතා වල වගේ ම නොවැළැක්විය හැකි 88-89 ජන ජීවිතයට ඇලී ගැලී සිටින අයුරු දක්වා තිබුණත් ඒ සියල්ල ම පාහේ වෙනදා කියවා නැති මාන ඔස්සේ දිව යනවා.

    ඇත්තම කියනවා නම් 8 වෙනි කතාව කියවන එක මදකට පසෙකින් තබා මේ ලිපිය මේ ලිය ලියා ඉන්නේ. අද නොලිව්වොත් ආයේ ලියන්න වෙන්නේ සඳුදා. ඒ වෙනකොට මේ ලියමනට මගෙන් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් (කම්මැලිකම නිසා)



    සමස්තය සළකා බලද්දි මට මේ කතා ‌සේරම එක හා සමාන හෝ එක ලඟින් යන හෝ දැනීමක් ඇති කරපු කතා ගොන්නක්. මම කැමති රීතියේ කතා. සංකේත විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා, කතාවට වඩා සංකේත උද්දීපනය වෙලා, අවසානයේ සංකේත මල්ලේ කතාව හොයා ගන්න බැරි ව යන බොහෝ කතන්දර අතර සංකේතත්, කතන්දරයත් පත අට එකට හිඳුවා සාදන ලද ඖෂධීය පානයක් වගේ මේ කතන්දර 24 (තාම 23) මහා දැනවීමක් හිතට දනවලා තියෙනවා. විශේෂයෙන් ප්‍රින්ස්ගේ පළමු කෙටි කතා පොත් දෙක වන මේ පොත් දෙකේ දි එයා ගොඩක් ප්‍රවේශමෙන් වචන එකතු කරලා, රටා මවමින් වියමන කර ඇති බව පැහැදිලියි. ඒ වගේ ම මගේ දැනීමේ හැටියට ඒ කාර්යය අතිශයින් සාර්ථකයි.

    




Wednesday, June 30, 2021

157. වීදි සරන ළය 03 - කොළඹ කළාප දෙවන කොටස






කොළඹ 5 - හැව්ලොක් ටවුම

1890 සිට 1895 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ ආතර් එලිබෑන්ක් හැව්ලොක් (Arthur Elibank Havelock) මහතාය. කඩවසම් භාවය අතින් ඉහළ ම ආණ්ඩුකාරවරයා නොවුණාට ‘ජැන්ඩියට’ ඇඳ පැළඳීම අතින් එකල දිවයිනේ ඉහළින් ම වැජඹුණු තැනැත්තා ඔහු විය. කොහොම නමුත් අන් අයට නොවූ අවස්ථාවක් ඔහුට අත්කරදෙමින් මෙරට නගරයක් ඔහු නමින් නම් විය. එම වාසනාව ලද එකම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඔහු ය. එයට අමතර ව හැව්ලොක් පාර, එලිබෑන්ක් පාර සහ හැව්ලොක් පෙදෙස යනුවෙන් තවත් මාර්ග තුනක් ඔහු නමින් නම් කෙරුණ ද හැව්ලොක් පාර අද වන විට ඔහුට අහිමි ව තිබේ. එහි වර්තමාන නාමය සම්බුද්ධත්ව ජයන්ති මාවත වේ.

කොළඹ 6 - වැල්ලවත්ත

වැල්ලවත්ත යනු වැලි උයන යන්නට සමාන වදනකි. එකල එය සැනෙන් එරෙන වැල්ලෙන් නිර්මිත, වල් පැළැටි සහ පඳුරු වලින් ගහන වූ, මුහුදු වෙරළ කරා දිවෙන මුඩු බිමක් වූ නමුදු වර්තමානයේ ගාලූ පාරේ පිහිටි නගර අතුරින් ඉතාමත් ජනාකීර්ණ වෙළෙඳ නගරයක් බවට පත් ව තිබේ. දිය මං සහ කානු සෑහෙන ප්‍රමාණයක් වැල්ලවත්ත හරහා මුහුදට ඇදෙයි.



(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)

කොළඹ 7 - කුරුඳු වත්ත

1765 සිට 1785 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරවරයා වූ විලෙම් ඉමාම් ෆැල්ක් (Willem Imam Falck) ගොවිබිම් හී කුරුඳු වගා කිරීම පිළිබඳ ව පර්යේෂණයෙහි යෙදුනෙකි. එයට පෙර විශ්වාසය වූයේ කුරුඳු යනු වනාන්තරයේ ස්වභාවික ව වැඩෙන ශාකයක් වශයෙනි. මෙම කුරුඳු යාය දැනට කොළඹ 7 කලාපයට අයත් පෙදෙස ද ඇතුලු ව, මරදානේ සිට හැව්ලොක් ටවුම දක්වා මයිල 12ක් පුරා විහිද පැතිර පැවතිණි. සිංහලෙන් කුරුඳු වත්ත ලෙසින් ද, ඉංග්‍රිසියෙන් Cinnamon Garden ලෙසින් ද, කොළඹ 7 කලාපය හැඳින්වීමට හේතු වන්නේ මෙකී කුරුඳු යායයි.


කොළඹ 8 - බොරැල්ල

බොරැල්ල යනු බොරලු ඇති බිම යන්නට සමාන පදයකි. පෘතුගීසින් ද මේ පෙදෙස හැඳින්වූයේ ගල් ගොඩැල්ල/බොරලු කන්ද - Outeirinho das pedras ලෙසිනි. වර්තමානයේ, වෝඩ් පෙදෙස, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), ඥානාර්ථ ප්‍රදීපය පාර සහ දොස්තර එන්. එම්. පෙරේරා මාවත (කොටා පාර) යන මාර්ග මුණ ගැසෙන පස් මං සන්ධිය නිසා කාර්යය බහුල වූ බොරැල්ල සෑහෙන ජනාකීර්ණ වෙළෙඳ නගරයකි. මෙරට, දරුවන් සඳහා වන ප්‍රධාන රෝහල වන රිජ්වේ ආර්යයා ළමා රෝහල මෙන් ම වෛද්‍ය පර්යේෂණ ආයතනයත් බොරැල්ලේ (MRI) පිහිටා ඇත.

කොළඹ 9 - දෙමටගොඩ

මෙරට, නාග දෂ්ටන ඇතුලු බොහෝ අවස්ථාවන්හි දී දෙමට පඳුරු (Gmelina Asiatica or Asiatic bushbeech) වෙදකම සඳහා භාවිතා කෙරේ. ප්‍රධාන පඳුරෙන් පහළට එල්ලෙන සීනු ආකාර කහපාට මල් ඇති මෙම පඳුරු සාමාන්‍යයෙන් මීටර තුනට වඩා උස් නොවේ. සමහරවිට දෙමටගොඩ ප්‍රදේශය අතීතයේ දී දෙමට පඳුරු දහස් ගණනක් සරුවට වැවුණු ගම්මානයක් ව පවතින්නට ඇත.

එසේත් නැත්නම් එම නාමය භාෂා දෙකක සම්මිශ්‍රණයෙන් බිහි වූවක් විය හැක. පෘතුගීසි බසින් ‘De mata’ යනු වනයේ/බැද්දේ ආදී තේරුමක් දෙන අවස්ථාවකි. සිංහලෙන් ‘ගොඩ’ යනු ‘Village’-ගම යන ඉංග්‍රීසි වදනට යෙදෙන පදයකි. මේ සියලු දේ සළකා බැලීමේ දී දෙමටගොඩ යනු ‘Village in the jungle’ නොහොත් ‘බැද්දේගම’කි. එය අපට ලෙනාඩ් වුල්ෆ්ගේ එනමින් ම වන කෘතිය සහ පරිවර්තන කෘතිය සිහිගන්වයි. (එහි සඳහන් ගම අයත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ය.)

අද වනවිට දෙමටගොඩ යනු ග්‍රාමිය පෙදෙසක් නොවේ. ජනාකීර්ණ නාගරික පෙදෙසකි. ජාතික දුම්රිය කෞතුකාගාරය දෙමටගොඩ පිහිටා ඇති අතර බහු මංතීරු ගුවන් පාලමක් ද දෙමටගොඩ සතුව තිබේ.

කොළඹ 10 - මරදාන

දෙමළ භාෂාවෙන් මරම් යනු ගස ය. දානම් යනු පෙදෙස ය. එසේ ගත්කළ මරදාන යනු ‘ගස් පෙදෙස’ විය නොහැකිද?

ක්ලෆ්ගේ අර්ථ දැක්වීමට අනුව (Clough’s definition) ‘වැලි තලාව’ යන තේරුමින් ‘මරදාන’ බිහි වූ බව දැක්වේ. මුල් ම කුරුඳු වගාව සිදු කරන ලද්දේ මරදාන පෙදෙසේ වැලි තලාවේය. එයින් ලබාගත් අස්වැන්න ශ්‍රී ලංකාවේ හොඳ ම කුරුඳු ලෙස සැළකේ. මේ වැලි පසේ කුරුඳු මෝරා පරිනත භාවයට පත්වන්නට පස් වසක් ප්‍රමාණවත් වුවත්, සාමාන්‍ය පසේ ඒ සඳහා වසර හතක් හෝ ඊට වැඩි කලක් ගතවන බවක් පැවසේ.

මරදානේ කුරුඳු කෙතරම් ඉස්තරම් වූවාද යත් එහි අස්වැන්න විනාශ වන දෙයක් හෝ හොරකමක් කළහොත් මරණ දණ්ඩනය පැනවුණු නමුත් අනෙක් පෙදෙස් වල කුරුඳු අස්වැන්න සඳහා එවැනි වරදකට නියම වූයේ කස පහර දීම පමණි.

වර්තමාන මරදාන කාර්යයබහුල වූ සංකීර්ණ මාර්ග මං සන්ධියකින් හා දිවයිනේ දකුණු දෙසින් ඇදෙන දුම්රිය සඳහා වූ දුම්රිය පර්යන්තයකින් සන්නද්ධ ව සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතර මුල් තැනක වැජඹේ.

Sunday, June 27, 2021

669. මගේ පළමු අත් ඔරලෝසුව.....

 



පහුගිය දවස්වල ගෙදර පොඩි පේන්ටිං වැඩක් කලා. කොරෝනා පලවෙනි රැල්ලටත් එහෙම ඉස්සරවෙලා.. හරියටම කිව්වොත් පහුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසෙ විතර..

ගෙදරක පදිංචි වෙලා කාලයක් ඉඳල පේන්ටිං කරනව කියන්නෙ තනිකරම වහක්. බඩු එහාට මෙහාට අදින්ට, බිත්ති කපනකොට එන දූවිලි වැටෙන්නෙ නැතිවෙන්ට පරණ බෙඩ් ෂීට් එතකොට පොලිතීන් ගෙනල්ල වහල දාන එක..ඔන්න ඔය වගෙ රාජකාරි මහ හුඟයි...

හරි ඒ ගැන වෙනම දවසක කියන්නං..ඉතිං ඔය පේන්ටිං වැඩේ ඉවර වෙලා අපි දෙන්න එකතු වෙලා ගෙදර ඔය තියන පරණ පෙට්ටි, ලාච්චු එහෙම අස්පස් කරන්ට පටං ගත්ත. තවම ඒ වැඩේ ඉවරයක් නෑ...

ඉතිං ඔහොම අස්පස් කරද්දි හම්බ වුනා මගෙ පළවෙනි ඔර්ලෝසුව. ඒ කිව්වෙ Wrist watch එක නොහොත් අතේ බඳින ඔරලෝසුව. Citizen Automatic Day & Date ... සෙල්ලං නෑ ඒකට දැං වෙනව වයස අඩුම ගානෙ අවුරුදු 39ක් විතර.... ඕක අපෙ අම්ම මට අරන් දුන්නෙ 1982 අවුරුද්දෙ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් වගෙ කාලෙදි.

දෙපාරක් ඒ ලෙවල් කරල වැඩේ සවුත්තු උනහම මම අනුරාධපුර ටෙක්නිකල් එකේ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාවට අයදුම් කලා. ඒකට තේරිලා ලියුම් ආහම අම්මයි මායි නුවර ඇවිල්ල ත්රිකුණාමල වීදියෙ ෆැන්සි හවුස් සාප්පුවෙං තමයි අම්ම මට ඔය ඔරලෝසුව අරන් දුන්නෙ.

ඒ දවස්වල අපෙ පුංචි මාම ඒකිව්වෙ අම්මගෙ බාලම මලය වැඩකලේ කොත්මලේ ප්රොජෙක්ට් එකේ. ස්කන්ස්කා සමාගමේ. මාමට ස්කන්ස්කා එකෙන් ගෙයක් අරන් දීල තිබ්බ ගම්පළ කහටපිටියෙ. අන්න එහෙ ඇවිල්ල දවසක් ඉඳල ආපහු අනුරාධපුරේ යන ගමන් තමයි අම්ම මට ඔය ඔර්ලෝසුව අරන් දුන්නෙ.

අම්ම ඒ කාලෙ ඉඳම්ම බඩු ගන්න කඩ දෙක තුනක් තිබ්බ නුවර. ෆැන්සි හවුස්, සමරසිංහ ඇස් කන්නාඩි සාප්පුව, නාගලිංගම්ස් රත්තරන් බඩු කඩේ සහ පලය කාට්ස් රෙදි කඩේ...

ඉතිං මේ මගෙ සිටිසන් මිත්රය මා එක්ක ටෙක් එකේ ඩ්රාෆ්ට්ස්මන් කෝස් එක කලා. ඊට පස්සෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ ට්රේනිං ගියා. ඊට පස්සෙ සංස්කෘතික ත්රිකෝණයෙ පරණ පංචායතන සංඝාවාසවල එතනින් ගියාම වැසිකිළි සහ කැසිකිළිවල සැළසුම් ඇන්ද. ඊට පස්සෙ මහවැළියෙ වැලිකන්දෙ සහ බකමූණෙ ඇළවල් හැදුව..වැව් හැදුව..පාරවල් හැදුව..මගෙ විවාහය වෙලාවෙත් මා එක්කම හිටිය.කුකුළේ ගඟ ප්රොජෙක්ට් එකේ උමං හෑරුව. ඊටත් පස්සෙ සරසි කන්ස්ට්රක්ෂන්ස් කම්පනි එක නුවර ත්රිත්ව විද්යාලයෙ තට්ටු පහක ගොඩ නැඟිල්ලක් හදද්දි ඒකෙත් මා එක්ක වැඩ කලා.

දවසක් ඒ බිල්ඩිං එක හදද්දි උඩ තට්ටුවක ස්ලැබ් එකට කම්බි බැඳල හරිද කියල බලන්ට නඟිද්දි මෙතුමා මගෙ අතිං ගැලවිල තට්ටු දෙකක් හෝ තුනක් පාතට වැටුන. ඒත් වීදුරුව හීරුණා ඇරෙන්ට වෙන මොකවත්ම වෙලා තිබුනෙ නෑ. එහෙම වැටෙන්ට හේතුව බෙල්ට් එකේ ඇණයක් ගැලවිල.

මම කලේ ඒ වෙලාවෙම නුවර ටවුමට ගිහිල්ල දිනපාල එකට ඔර්ලෝසුව හදන්ට දුන්න. වැඩේට දවසක් දෙකක් යයි කිව්වම එතනිම්ම කැසියෝ අත් ඔර්ලෝසුවක් ගත්ත. දවස් දෙකකින් මට පරණ ඔර්ලෝසුව හම්බවුනාට එතනිං පස්සෙ මම වැඩිපුරම පාවිච්චි කලේ අලුතින් ගත්තු ඔර්ලෝසුව. ඒකට හේතුව මේ පරණ ඔටෝමැටික් ඔර්ලෝසු සෑහෙන්න බරයි. එක පාරක් මට මතකයි මම ඔය කොහෙදිද ඉලෙක්ට්රොනික් තරාදියක මේක කිරුව ග්රෑම් අසූපහක්ද කොහෙද තිබ්බ.

ඉතිං ඔන්න ඔහොම එදයිං පස්සෙ මේ ඔර්ලෝසුව මම පාවිච්චි කලේ ඉඳහිට වගෙ...ඒත් මම හිතාගෙන ඉන්නෙ මේ කොරෝනා කේස් එහෙම එකලාසයක් උනහම නුවර දිනපාල එකට මේක අරගෙන ගිහිල්ල ෆුල් රෙපයාර් එකක් දීල හදල ගන්ට.ටිකක් බරනම් වැඩියි තමයි . ඒත් එහෙම කියල පරණ මිත්රයො අතෑරල දානට පුලුවනිය? නැද්ද හොඳයි?

ආ..මේ..මේ යන්ට එපල්ල..පොඩ්ඩක් හෝව් පලියකුත් තියෙනව...

පලි - විජේ දන්නව නේද? නෑ..නෑ..අර කුවේණිට කොක්ක ගහල ඒ අහිංසක අම්මණ්ඩිගෙං ගන්ට පුලුවං උදව් ඔක්කොම අරගෙන අන්තිමට රටත් ලියවගෙන ඊට පස්සෙ පස්චාත් බාගයට පයිං ගහල එලවල දාපු නරුමය ගැන නෙවෙයි මම මේ කියන්නෙ...CBK ගෙ හස්බන්ඩ්...

අන්න ඒ විජේ පාවිච්චි කලෙත් මේ ජාතියෙම ඔර්ලෝසුවක්..මම ඒ කාලෙ කයිය ගහනව "අඩෝ බලපං මේ ජාතියෙම ඔරලෝසුවක් තමයි විජේ දාන්නෙත්..." කියල..ඒ සීන් එක මම දැනගත්තෙ ඒ කාලෙ තිබ්බ සරසි කියල සිනමා පත්තරයක් ඕකෙ එක පාරක් මුල පිටුවෙ විජේගෙ ෆොටෝ එකක් දාල තිබ්බ අතේ බැඳල තිබ්බෙ ඔය මගෙ ජාතියෙම ඔරලෝසුවක්..

ආ..තව එකක්... 1982 අවුරුද්දෙ ඔය ඔරලෝසුව රුපියල් 800/= ක් වුනා. ඒ කාලෙ හැටියට ලොකු ගාණක්. 1984 අවුරුද්දෙ මහවැලියෙ මගෙ ඉස්සොරෝම වැටුප රු. 940/=
 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...