" කුවණ්ණා..කුවණ්ණා..කුවණ්ණා...වසර පහකට ආසන්න කාලයක් අඹු සැමියන් සේ යුගදිවි ගෙවූවද ඔබ මා හැඳින නොමැති බව නොවේද ඔබගේ මේ විස්මයාවහ ඉරියව්වෙන් හඟවනුයේ...ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසි කලෙක නොසැලෙන බව මම තරයේ අදහා සිටියෙමි. එහෙත් ..එහෙත්...."
විජය පැවසූයේ ගෙල තෙක් දිගුවූ කාලවර්ණ කෙස්වැටිය සැලෙනා පරිදි හිස දෙපසට සොලවමිනි.
" අහෝ මා කුමරුණි..මම කිසිදු ලෙසකින් අංශු මාත්‍රයකින් හෝ ඔබ අවිශ්වාස කලා නොවේ. එහෙත් ..එහෙත්..එහෙත්...."
කුවණ්ණා කඳුළු පිරි දෑස් ඔහු වෙත යොමු කරමින් පැවසුවාය.
" හෙහ්..හෙහ්……"
ඔහු සිනාසෙමින් පහත්ව ඇගේ දෑස සිපගත්තේය.
" කුවණ්ණා..කුවණ්ණා..මා කෙරෙහි වූ ඔබගේ විශ්වාසය නිරුපද්‍රිතව පැවතියේද යන්න පිළිබඳව විවාද කරනුවස් අපට ඇති පමණ කාලය ඇත. එහෙත් ඒ මේ මොහොතේ නොවේ. අනලස්ව නිමේශයකුදු පවා නොවී අප ප්‍රාසාදයෙන් පිටවිය යුතුය.ප්‍රාසාදයෙන් මතුනොව ලංකාපුරයෙන්ද පිටව රක්ෂාවරණයක් සොය පළා යායුතුය. "
කුවණ්ණා ඔහු මුහුණ දෙස බලා සිනාසුනාය.
" හෙහ්, එවර ඔබ සිනාසෙන්නේ කුමක් නිසාද? "
ඔහු විමසුවේ ඇය අතැර නැඟී සිටිමිනි.
" ඔබ පළායාමක් පිළිබඳව සඳහන් කල බැවින් කුමරුනි මට සිනහ පහළවූයේ...මම මේ රාජ්‍යයෙහි පරම්පරාගත ලේ උරුමයෙන් කිරුළ හිමි කුමරියයි. ඔබ මා සමඟ සෙනෙහසින් බැඳී විවාහ වූ උරුමයෙන් කිරුළු පලන් වර්තමානයෙහි මෙහි නරේන්ද්‍රයාය. එසේ වූ අප දෙදෙන අපගේ නිල වාසස්ථානය වූ ප්‍රාසාදයෙන් මතු නොව අග නුවරින්ද පල් සොරුන් සේ පළායා යුතුයැයි ඔබ පවසනු අසා සිනහ පහළවීම කවරනම් අරුමයක්ද? "
" කුවණ්ණා අවශ්‍ය තන්හි පළායාමට ධෛර්යය නොඅඩුව තිබීම ද රාජ්‍ය පාලනයෙහි ඉතා වැදගත්ය. නැවත දිනෙක සටන් කිරීමට ඉතිරිවන්නේ අවශ්‍ය තන්හි පළායමට පසුබට නොවන්නා බව ඔබ නොදන්නෙහිද? "
" එසේනම් කුමරුනි..ඔබ අද මේ පළායන්නේ මතු දිනෙක යලි සටන් වැදීමෙහි අපේක්ෂාවෙන්ද? "
කුවණ්ණා විමසූයේ දෙනෙත් ඉඟිමරමිනි.
" කුවණ්ණා...මා නිදර්ශනයක් ලෙස කල ප්‍රකාශයක් අලලා මා වෙහෙසීම ඔබට තරම් නොවේ.."
විජය පැවසූයේ දෑත් ඉහලට ඔසවා දිග ඇදෙමිනි.
" ඔබට හා මට ප්‍රිය තෙපුලෙන් සුහද අල්ලාප සල්ලාපයෙන් පසුවීමට නුදුරු අනාගතයෙහි කොපමණවත් අවස්ථාව ලැබෙනු ඇත. මේ රාෂ්ඨ්‍ර පාලන හිස රදයෙන් මිදී ඔබ හා සමඟ එසේ ආලිංගනයෙන් සහ මාගේ දරුවන් සමඟ කෙළි දෙලෙන් පසුවීමට මම කොපමණ සිහින දුටුවෙම්ද? අවසන මගේ ඒ සියළු සිහින සැබෑවන්නාවූ දිනය උදාවෙයි...මසිත දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි..සොඳුර දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි. ඔබගේ පැනයට පිලිතුරු ලෙස අප දරුවන්ගේ නාමයෙන් මෙසේ ඔබට සපථ කොට සිටින්නෙමි කුමරියනි. යලි කිසිදු දිනෙක කිරුලට හිමිකම් පෑමෙහි මගේ කවර හෝ අභිලාෂයක් එකළාවම නැත්තේය.ඒ කිරුළ මා හිසට බර වැඩිය. කිරුළු නොපැළඳි හිසින් යුතුව ඉතා සැහැල්ලුවෙන් ජීවිතයේ ඉතිරි කාලය ඔබ හා ගත කිරීම මාගේ එකම අභිලාෂයයි. "
මෙසේ ස්ථිරසාර ස්වරයෙන් පැවසූ විජය ඈ වෙත පැමිණ දෙවුර මත දෑත් තබා ඇගේ දෑසට එබුණේය.
" සොඳුර කොතෙකුත් මෙතැන සාමීචියෙන් පසුවනු නොහැක. දරුවන් දෙදෙනා සහ ඉතාම අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් ස්වල්පයක් පමණක් රැගෙන සූදානම් වුව මැනව. තව හෝරාවක් ඇතුලත උපතිස්ස අසුන් තිදෙනෙක් අවශ්‍ය ආහාර, පාන සහ ආයුධ රැගෙන පිටාංගනයෙහි බිහිදොර අසළට පැමිණෙනු ඇත. නගරාරක්ෂක රැකවළුන්ගේ අවධානය ඉතාම අඩු මට්ටමක පවතිනුයේ හිරු උදාවීමට ප්‍රථම දෙහෝරාවක කාලයෙහිදීය. ඒ අවස්ථාවෙහි අප නගරද්වාරයෙන් පිටවී යා යුතුය. "
දරුවන් නිදන ඇතුළු ගැබ දෙසට පා ඔසවමින් හුන් කුවණ්ණා හිටිපියවරම නැවතී වහා ආපසු හැරී බැළුවාය.
" එසේනම් කුමරුණි, උපතිස්සයන්ද අප සමඟ පැමිණෙන්නේද? "
" මම ඔහුට කිසිසේත්ම එසේ අණ නොකලෙමි. අවම වශයෙන් ඉල්ලිමක් හෝ නොකලෙමි. ඒ හුදෙක් ඔහුගේ තීරණයකි.ප්‍රධාන ඇමති තනතුර උසුලනවාට වඩා අප සමඟ වනගතවීම යෙහෙකියි ඔහු එකහෙලාම තීරණය කොට ඇත. අවසන මට ද ඊට එකඟ නොවී නොහැකි වූයේය. "
කුවණ්ණා ආපසු ඔහු අසළට පැමිණියාය.
" කුමරුණි උපතිස්ස ද අප හා පැමිණීමට වඩා ඔහු ලංකාපුරයෙහි රැඳී සිටීම වඩාත් ප්‍රඥාගෝචර බව මගේ හැඟීමයි. "
වත්මනෙහි ද බොහෝතන්හි තවමත් සිදුවන්නාසේම එදවස ද යම් වැදගත් තීරණයකට එලඹීමෙහිදී ඉතිරින්ගේ අදහස් විමසීමක් හෝ සැළකිල්ලට ගැන්මක් උදක්ම නොවීය.එහෙත් විජය රාජ්‍ය පාලනයෙහිදී සෑම වැදගත් තීරණයකටම ප්‍රථම කුවණ්ණාගේ අදහස් විමසීම සිරිතක් කොට ගත්තේය. මම නොපණත්කම්හි යෙදෙමින් මපියාණන්ට පවා බලවත් හිස රදයක්ව කල්ගෙවූ සමයෙහි පවා ඔබ ඉතා කාර්ය බහුල වෙළඳ නැව්තොටක් ඇතුළුව ප්‍රාන්තයක් පාලනය කල සහකාර පාලිකාවක වූ බව මම කිසිදුදිනෙක අමතක නොකරන්නෙමි සොඳුරිය..විජය සහස් වරක් පැවසූයේ ඈ දෙස සෙනෙහස මෙන්ම ඒ හා බැඳුනු ගෞරවයක්ද මුසුවූ බැල්මක් යොමු කරමිනි.
" කුවණ්ණා..ඔබගේ විචක්ෂණභාවය සහ යම් ගැටළුවක් කෙරෙහි තියුණුව විචාරාක්ෂිය යොමුකොට වඩාත් බුද්ධිගෝචර තීරණයට එලඹීමේ නිසඟ හැකියාව මම කිසිවිටෙක සැක නොකලා මෙන්ම සෑම විටෙකම ඔබගේ උපදෙස් මවිසින් එකහෙලා ක්‍රියාත්මක කිරීමෙහිලා පසුබට නොවුනු බවද ඔබ මනාව දන්නෙහිය. එබැවින් කුමරිය..පවසනු මැන...උපතිස්ස අප හා සමඟ පැමිණෙනු නොව ලංකාපුරයෙහිම රැඳී සිටීම මැනවි යයි පැවසීමට තුඩු දුන් ඔබට හැඟුනු අදහස් වහා පවසනු මැන..."
විජය අසල වූ කැටයම් කල ආසනයෙහි දිගා වෙමින් පැවසුවේය.
" කුමරුණි.....අප ලංකාපුරය හැරදා පළාගියද ඔබට මේ දිවයිනෙහි කිරුළට නීත්‍යානුකූලව ඇති හිමිකම එසේ පහසුවෙන් අතහැර දැමිය නොහැක.ඒ ඔබගේ නෛසර්ගික වූ උරුමයයි. යළි කිරුළ දැරීමට සිහසුනෙහි හිඳ ගැනීමට ඔබගේ කිසිදු අපේක්ෂාවක් නොමැතිබව ඔබ ද මම ද සක්සුදක් සේ දන්නා නමුදු ලංකාද්වීපයෙහි ඊලඟ පාලකයා වශයෙන් රාජ සභාව තෝරාගන්නා පුද්ගලයා ඒ නොදනී.බලය සියතට පැමිණි පසු ඒ අත්හැරීමට නොව තවත් දෘඪ ග්‍රහණයෙන් තරව ගැනීමට පෙළඹීම පෘථග්ජන මිනිස් සන්තානයෙහි ස්වභාවිකව හට ගන්නා සිතුවිල්ලකි. "
" හෙහ්, හෙහ්..එසේනම් මා සොඳුර ඔබගේ නිර්වචනය අනුව මම් වනාහී පෘථග්ජන පුද්ගලයකු නොවේ..ඒ එසේද? "
කුවණ්ණාගේ මුවඟට සුන්දර සිනහවක් නැඟුනෙ නිරායාසයෙනි.
" එසේමය කුමරුණි, අතපත් කිරුල අතැර දමා පලායන්නට උත්සාහ කරන්නෙකු පිළිබඳව මම අපගේ මුඛ පරම්පරාගත වංශ කථාවල පවා ඇසූ බවක් නොදනිමි. ඒ නයින් ඔබ වනාහී සාමාන්‍ය පුද්ගලයකු නොවන බව වෙසෙසින් කිවයුතු නොවේ. එහෙත් ඔබගේ ඒ සුවිශේෂී පෞරුෂය මා දුටුවේ මීට වසර ගණනකට පෙර තම්බපණ්නී මුහුදු තීරයෙහි එක් සොඳුරු සවස් කාලයකදීය. "
" ආහ්හ්හ්හ්….. ඒ එසේද?.....කුවණ්ණාවනි...."
විජය හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුනේය.
" නො එසේනම් කුමරුනි..නො එසේනම්....තම්බපණ්ණියෙහි රාජ්‍ය පාලිකාව වූ මම සිය පියාණන් විසින් පවා පිටුවහල් කරනු ලැබූ නොදැමුණු තරුණයකු කෙරේ සෙනෙහසින් බැඳීගියේ අන් කවර නම් හේතුවක් කරණකොටගෙනය කියාද ඔබ මෙතෙක් කාලයක් සිතා සිටියේ? "
කුවණ්ණාද මහ හඬින් සිනාසුණාය.
" හරි ඒ මා සිතා සිටි අන්දම පිළිබඳව අපි දෙවනුව වැඩි දුරටත් සාකච්ඡා කරමු. ඔබ පැහැදිලි කරමින් හුන් කරුණ වෙත නැවත එළඹෙමු. "
" කුමරුණි, මට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ ලංකාද්වීපයෙහි ඊළඟ පාලකයා කවුරු හෝ ඔහු ඔබ ඔහුගේ බලය සහ ආඥාව පවත්වාගෙන යාමය බලවත් බාධකයක් සේ දකිනු නිසැක බවයි.එබැවින් අපට අනතුරක් කිරීමට පවා ඔහු සහ ඔහුගේ සහචරයන් පෙළඹීමේ සැබෑ අවදානමක් ඇත. එවැන්නක් වැළැක්වීමට හෝ එසේ වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල් තබා අනතුරු හැඟවීමට හෝ ඔබට ඉතාම හිතවත් උපතිස්ස වැන්නෙක් රජ සභාවෙහි සිටීම ඉතාම වැදගත් බව මාගේ හැඟීමයි. "
විජය නළල පිරිමදිමින් මොහොතක් කල්පනාවේ යෙදී සිට හිස එසවූයේය.
" එසේය..කුවණ්ණා ඔබගේ අදහස මම එකහෙළා පිළිගනිමි. සුපුරුදු ලෙස ඔබ මම කිසිවිටෙක නොසිතූ දෘෂ්ඨි කෝණයකින් මේ ගැටළුව දෙස බලා ඇති බව පැහැදිලිය.ඔබට මගේ ස්තූතිය...එහෙත් උපතිස්ස එක හෙලාම කියා සිටියේ අපත් සමඟ ඔහුද පැමිණෙන බවය. වන්නාටය..අපි ඔහු සමඟ සාකච්ඡා කොට ඔහුගේ තීරණය වෙනස් කරවීමට උත්සාහයක් දරමු. "
" මෑණියනි....???? "
ඇතුළු ගැබට පිවිසෙන දොරටුව අසලින් නැඟුනු ඒ හඬ ඔවුන්ගේ අවධානය වහා ඒ දෙසට යොමු කරවීමට සමත් විය..ඒ දිසාලාය..සිව් හැවිරිදි වියේ පසුවූ ඕ මෑණියන්ගේ සහ පියාණන්ගේ සිනහ හඬින් නින්දෙන් අවදි වූවා අඩක් විවරවූ දෑස් පිසදමමින් දොරටුව අසල පසුවූවාය.
" මාගේ දියණියනි....මෙහි එනු මැන..ඔබ සහ සහෝදරයා පුබුදවනු පිණිස මම මේ ඇතුළු ගැබට යාමට සූදානම් වූවා පමණි. කොහිද ඔහු?.....තවමත් සැතපෙන්නේද? "
දැඩි නිදිමත හේතුකොටගෙන වෙළෙවි ගමනින් කුවණ්ණා වෙත පැමිණි දිසාලා ඇගේ ළැමට තුරුළු වූවාය.
" තවමත් හිරු උදාව නොමැත්තේ නොවේද?..මෑණියනි..පියාණනි..අප මේ තකහනියේ කොයිබක යාමටද සූදානම් වන්නේ?...."
" මෑණියන් හා සමඟ සූදානම් වන්න මා දියණියනි..මම ඔබට අප කොහි යන්නෙහිද? කුමක් පිණිස යන්නේද? යන සියළු විස්තර ගමනේ යෙදෙන අතර පහදන්නෙමි. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. "
" කුමරුණි..ඔබ අපට පළායාමට ආරක්ෂිත එමෙන්ම රැකවරණය සහිත ස්ථානයක් පිළිබඳව තීරණය කොට තිබේද? "
කුවණ්ණා විමසූයේ අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් කිහිපයක් කුඩා පැසක අසුරාගන්නා අතරතුරදීය.
" උපතිස්සයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කලමුත් එකඟතාවයකට පැමිණීම උගහට විය කුවණ්ණා...එහෙත් අවසන දකුණු දෙස කඳුකරයෙහි උපතිස්සයන්ගේ ඉතා හිතවත් ඥාති සොයුරෙක් වෙසෙන බැවින් ඔහු වෙත ආරක්ෂාව පතා යාම සුදුසු බව අපගේ තීරණය විය."
" කුමරුණි..මා කියන්නක් අසනු මැන..මේ පසුගිය මාස කිහිපය මා ගතකලේ ඉතාම අවිනිශ්චිත එමෙන්ම අතීරණාත්මකවය.අවසන මාගේ සහ දරු දෙදෙනාගේ ඉරණම කුමක් වේදැයි නොදැන ගතකල ඒ කාලය තුල මම අනාගතය පිළිබඳ සැලසුම් කළෙමි. "
" කුවණ්ණා….."
විජය ඇයට බාධා කරමින් යමක් පවසීමට තැත්කලමුත් ඈ සුරත ඔසවා ඔහු වැළැක්වූවාය.
" පළමුව මට සවන්දුන මැනව. ......එබැවින් හදිසියේ මාළිගයෙන් පළායාමට සිදුවුවහොත් රක්ෂාවරණය ලැබිය හැකි ස්ථානයක් පිළිබඳව මම බොහෝ සේ කල්පනා කලෙමි.මාගේ මුත්තණුවන්ගේ බාල සොහොයුරා වසනුයේ ලංකාපුරයේ සිට අසුපිටින් දිනෙක ගමනකින් පසු ළඟාවිය හැකි මහා නදියෙන් එතෙර පිහිටි දුම්රක්ගල නම්වූ පර්වතයක සෙවණේය.තම ස්වාධීනත්වය බොහෝසෙයින් අගය කළ බැවින්ම ඔහු කිසිදිනෙක සිරීසවත්ථු පුරයේ අණසකට හෝ යටත් වූයේ නැත. කුඩාකල මම කිහිපවරක් ඔහු සමඟ ඒ දුම්රක්ගල අබියස කල්ගත කොට ඇත්තෙමි. එදවස ඔහු මට බොහෝසේ ඇළුම් කලේය. දැනුදු එය එසේමය. පසුගිය සතියේ මම ඔහු වෙතට පණිවිඩයක් යැව්වෙමි.ඊට පිළිතුරු ලෙස මට සහ දරු දෙදෙනාට ආරක්ෂාව සැළසීමට ඔහු කිසිදු විටෙක පසුබට නොවෙන බව දන්වා එවා තිබිණි. එබැවින් කුමරුණි...අපි දුම්රක්ගල වෙත යමු. එහි අප සිව් දෙනාහට ආරක්ෂාව සහ රැකවරණය නොඅඩුව ලැබෙන බව මට හෙට උදෑසන හිරු පායන්නාසේ සහතිකය. "
" එහෙත් සොඳුර…. ඔබගේ මුත්තණුවන් රක්ෂාවරණය සැපයීමට සූදානම් වනුයේ ඔබට සහ දරු දෙදෙනාටය. මට ආරක්ෂාව සැපයීමට ඔහු සූදානම්ද යන්න මට අවිනිශ්චිතය. "
" කුමරුණි ඔබ මෙරට කිරුළ පලන් රජු වුවද ඔහුට එයින් කම් නැත. ඔබ මගේ සැමියා වීම පමණක් ඔබට ද ආරක්ෂාව සැපයීමට ඔහුට ප්‍රමාණවත්ය."
තවත් හෝරාවකට අඩු කාලයක් ගත වෙද්දී විජය කුවණ්ණා සහ දරු දෙදෙන බිහි දිර අබියසට සැපත් වද්දී පෙරදිග අහස පැහැපත්වීම එතෙකුදු ඇරඹී නොතිබිණි.
බිහිදොර එපිට පවුරෙහි රැඳුනු විලක්කු ආලෝකය පතිතවන සීමාවෙන් ඔබ්බෙහි අඳුරු සෙවණැලි අතර අසුන් දෙදෙනෙකු ද සමඟ ඔවුන් වෙනුවෙන් පොරොත්තු වෙමින් උපතිස්ස වූයේය.
" උපතිස්ස ..කිමෙක්ද මේ?..අසුන් දෙදෙනෙකු පමණක්?..."
විජය තම කලණ මිතුරාගේ දසරුව මත දෑත් තබා විචාලේය.
" සමාවන්න කුමරුණි....මා ලංකාපුරයෙහි තවදුරටත් රැඳී සිටීම ඔබ හා සමඟ මෙපුර අතැර පළායාමට වඩා ඥාණගෝචර බව මට හැඟිණ. ..සමාවන්න..ඊට හේතු පැහැදිලි කිරීමට ........"
විජය උපතිස්සගේ දසරුව මත රැඳි දෑත් එසේම තිබියදී හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුණේය.
" හේතු කිසිසේත්ම අනවශ්‍යයයි....මා ප්‍රිය උපතිස්සයිනි..හේතු කිසිසේත්ම අනවශ්‍යයයි.මා සහ කුවණ්ණාට එදිරිව යම් කුමන්ත්‍රණයක් රාජ සභාවෙහි සිදුවන්නේ නම් ඒ වැළැක්වීමට ඔබ......"
" එසේමය..එවැන්නක් වැළැක්වීමට මම රාජ සභාවෙහි රැඳී සිටීම අත්‍යාවශ්‍යයි මට සිතුණි....එසේම එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන්.."
" එසේය උපතිස්ස..එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල්තියා අපට අනතුරු හැඟවීමට හෝ ඔබට එවිට හැකියාව ලැබෙනවා. මේ සියල්ල උදෙසා ඔබ රාජ සභාවෙහි තව දුරටත් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. "
" කුමරුනි ?????..."
උපතිස්ස අඩක් විවරවූ මුවින් යුතුව විජය දෙස විදහාගත් නෙතින් බලා සිටියේය....ඔහුගේ විදූෂක විලාසය දුටු විජය මෙන්ම කුවණ්ණාග්ද කොක් හඬලා සිනාසුනෝය.
" උපතිස්ස..ඔබ සිතට හැඟුනු අනතුර ඒ ලෙසටම කුවණ්ණාවන්ටද හැඟී ගොස් ඇත.ඔබ ද අප හා පැමිණෙන බව මා ඇයට සැලකල වහාම ඇය ඒ පිළිබඳව මා දැනුවත් කළාය. ඔබගේ ඒකායන ප්‍රාර්ථනය අප අහා සමඟ පැමිණීම බැවින් ඔබගේ සිත් නොතැලෙන පරිද්දෙන් එපවත් ඔබට පවසනුයේ කෙළෙසකද යන උභතෝකෝටිකයෙහි ගිලී මම මෙතෙක් පීඩා වින්දෙමි. අහා..ඔබට ද එළෙසම හැඟී ඔබ ද ඒ තීරණයටම එලඹ සිටීම මට මහත්සේ සැනසුමකි. "
" කුමරුණි..... කුවණ්ණා කුමරියගේ ඥාණය මෙන්ම යමක් අවබෝධ කොට ගැන්මේ හුරුබුහුටි බැව් මැනවින් දත් මා හට මේ කිසිසේත්ම විශ්මයට කාරණ නම් නොවේ.ඇයට එවැන්නක් පිළිබඳව සිතට නොනැඟුනි නම් එවිටයි මා විශ්මපත් වනුයේ...එළෙසින්ම කුමරුණි..ඔබ පරිදිම මමද එපවත් එනම් මම ඔබ හා සමඟ නොපැමිණෙන බව ඔබට පවසනුයේ කෙසේද යන ගැටළුවෙන් සිත් පීඩා වින්දෙමි..වන්නාටය...සෑම සියලු දෙයක්ම සිදුවනුයේ ඒ සිදුවිය යුතු හොඳම ආකාරයෙනි යනුවෙන් පෙර සෘෂි වරුන් පැවසූවෙහි සනාතන සත්‍යය යලිත් වරක් මට අවබෝධ විය. එසේනම් තවත් කුමකට පමා වන්නෙම්ද?....යන්න කුමරුනි....හිමිදිරි අරුණළු පෙරදිග අහසෙහි දිස්වීමට පළමු මෙනුවර හැරලා පියා පළායනු මැනව. "
" උපතිස්ස..ඔබගෙන් සමුගැන්මට පළමු තවත් එකම කාරණයක් පැවසිය යුතුව ඇත. අප සාකච්ඡා කල පරිදි කඳුකරයට නොව මහානදිය එතෙරව දුම් රක්ගල සෙවණෙහි රක්ෂාවරණය ලබනුවස් අපි තීරණය කලෙමු. එහි වසන කුවණ්ණාගේ මුත්තණුවන් අපට රක්ෂාවරණය ලබා දීමට සපථ කොට සිටියි. "
" අගෙයි කුමරුණි..ඒ ඉතා අගෙයි...ඒ එසේනම් ඔබට සිත් තැවුල් ගැන්මට කිසිදු කරුණක් නැත.එවන් රක්ෂාවරණයක් ලැබීම වනාහී ඔබගේ සියළු ප්‍රාර්ථනා එළෙසම ඉටුවන බවට සුභ පෙරනිමිත්තක්සේ හඟිමි. එසේනම් කුමරුණි, කුමරියනි...තවත් නොපමාව වහා පිටත් වන්න.මෙහි සිට මහානදී තොටුපොළ දක්වා දිවෙන මාර්ගය ඉතාම ජන ශූන්‍යය. එහෙත් ප්‍රවේශම් වුව මැනව. ඔබ තවමත් මෙරට කිරුළු පලන් රජුය. කිසිවෙකුට ඔබ හඳුනා ගැන්මට ඉඩ ප්‍රස්ථාව නොතැබීමට වග බලා ගත මැනව. "
උපතිස්ස විජය වැලඳ සමුගත්තේය. ඉක්බිති කුවන්ණාටද ආචාර කල හේ ජීවහත්ථ සහ දිසාලාගේ හිස් සිඹ ඔවුනට ආශිර්වාද කළේය.
" එසේනම් මා ප්‍රාණසම මිතුර..අපට අවසරයි...හැකි විගස ලද පළමු අවස්ථාවෙහිදිම මම ඔබ වෙත අප වසන ස්ථානය දන්වා රහසිගතව පණිවිඩයක් එවන්නෙමි. එසේනම් නැවත හමුවන තුරු......!!!!! "
විජය කුවණ්ණා සහ දරුවන් රැගත් අසුන් දෙදෙන ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන බොරළු අතුල මාර්ගයෙහි ඈතින් ඈතටම ගොස් සතර දෙසින් කැටිවන අඩ අඳුරේ නොපෙනී යන තෙක් බිහිදොර අභියස එදෙසනෙත් යොමා හුන් උපතිස්ස අවසන දිගු සුසුමක් හිමිදිරියේ සිහිල් වා තලයට මුදාහැරපියා ආපසු හැරුණේය.
මතු සම්බන්ධයි......


