Friday, July 12, 2013

201. කිරුළ සහ සෙනෙහස ……10













" කුවණ්ණා..කුවණ්ණා..කුවණ්ණා...වසර පහකට ආසන්න කාලයක් අඹු සැමියන් සේ යුගදිවි ගෙවූවද ඔබ මා හැඳින නොමැති බව නොවේද ඔබගේ මේ විස්මයාවහ ඉරියව්වෙන් හඟවනුයේ...ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසි කලෙක නොසැලෙන බව මම තරයේ අදහා සිටියෙමි. එහෙත් ..එහෙත්...."

විජය පැවසූයේ ගෙල තෙක් දිගුවූ කාලවර්ණ කෙස්වැටිය සැලෙනා පරිදි හිස දෙපසට සොලවමිනි. 

" අහෝ මා කුමරුණි..මම කිසිදු ලෙසකින් අංශු මාත්‍රයකින් හෝ ඔබ අවිශ්වාස කලා නොවේ. එහෙත් ..එහෙත්..එහෙත්...." 

කුවණ්ණා කඳුළු පිරි දෑස් ඔහු වෙත යොමු කරමින් පැවසුවාය. 

" හෙහ්..හෙහ්……" 

ඔහු සිනාසෙමින් පහත්ව ඇගේ දෑස සිපගත්තේය. 

" කුවණ්ණා..කුවණ්ණා..මා කෙරෙහි වූ ඔබගේ විශ්වාසය නිරුපද්‍රිතව පැවතියේද යන්න පිළිබඳව විවාද කරනුවස් අපට ඇති පමණ කාලය ඇත. එහෙත් ඒ මේ මොහොතේ නොවේ. අනලස්ව නිමේශයකුදු පවා නොවී අප ප්‍රාසාදයෙන් පිටවිය යුතුය.ප්‍රාසාදයෙන් මතුනොව ලංකාපුරයෙන්ද පිටව රක්ෂාවරණයක් සොය පළා යායුතුය. " 

කුවණ්ණා ඔහු මුහුණ දෙස බලා සිනාසුනාය. 

" හෙහ්, එවර ඔබ සිනාසෙන්නේ කුමක් නිසාද? " 

ඔහු විමසුවේ ඇය අතැර නැඟී සිටිමිනි. 

" ඔබ පළායාමක් පිළිබඳව සඳහන් කල බැවින් කුමරුනි මට සිනහ පහළවූයේ...මම මේ රාජ්‍යයෙහි පරම්පරාගත ලේ උරුමයෙන් කිරුළ හිමි කුමරියයි. ඔබ මා සමඟ සෙනෙහසින් බැඳී විවාහ වූ උරුමයෙන් කිරුළු පලන් වර්තමානයෙහි මෙහි නරේන්ද්‍රයාය. එසේ වූ අප දෙදෙන අපගේ නිල වාසස්ථානය වූ ප්‍රාසාදයෙන් මතු නොව අග නුවරින්ද පල් සොරුන් සේ පළායා යුතුයැයි ඔබ පවසනු අසා සිනහ පහළවීම කවරනම් අරුමයක්ද? " 

" කුවණ්ණා අවශ්‍ය තන්හි පළායාමට ධෛර්යය නොඅඩුව තිබීම ද රාජ්‍ය පාලනයෙහි ඉතා වැදගත්ය. නැවත දිනෙක සටන් කිරීමට ඉතිරිවන්නේ අවශ්‍ය තන්හි පළායමට පසුබට නොවන්නා බව ඔබ නොදන්නෙහිද? " 

" එසේනම් කුමරුනි..ඔබ අද මේ පළායන්නේ මතු දිනෙක යලි සටන් වැදීමෙහි අපේක්ෂාවෙන්ද? " 

කුවණ්ණා විමසූයේ දෙනෙත් ඉඟිමරමිනි. 

" කුවණ්ණා...මා නිදර්ශනයක් ලෙස කල ප්‍රකාශයක් අලලා මා වෙහෙසීම ඔබට තරම් නොවේ.." 

විජය පැවසූයේ දෑත් ඉහලට ඔසවා දිග ඇදෙමිනි. 

" ඔබට හා මට ප්‍රිය තෙපුලෙන් සුහද අල්ලාප සල්ලාපයෙන් පසුවීමට නුදුරු අනාගතයෙහි කොපමණවත් අවස්ථාව ලැබෙනු ඇත. මේ රාෂ්ඨ්‍ර පාලන හිස රදයෙන් මිදී ඔබ හා සමඟ එසේ ආලිංගනයෙන් සහ මාගේ දරුවන් සමඟ කෙළි දෙලෙන් පසුවීමට මම කොපමණ සිහින දුටුවෙම්ද? අවසන මගේ ඒ සියළු සිහින සැබෑවන්නාවූ දිනය උදාවෙයි...මසිත දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි..සොඳුර දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි. ඔබගේ පැනයට පිලිතුරු ලෙස අප දරුවන්ගේ නාමයෙන් මෙසේ ඔබට සපථ කොට සිටින්නෙමි කුමරියනි. යලි කිසිදු දිනෙක කිරුලට හිමිකම් පෑමෙහි මගේ කවර හෝ අභිලාෂයක් එකළාවම නැත්තේය.ඒ කිරුළ මා හිසට බර වැඩිය. කිරුළු නොපැළඳි හිසින් යුතුව ඉතා සැහැල්ලුවෙන් ජීවිතයේ ඉතිරි කාලය ඔබ හා ගත කිරීම මාගේ එකම අභිලාෂයයි. " 

මෙසේ ස්ථිරසාර ස්වරයෙන් පැවසූ විජය ඈ වෙත පැමිණ දෙවුර මත දෑත් තබා ඇගේ දෑසට එබුණේය. 

" සොඳුර කොතෙකුත් මෙතැන සාමීචියෙන් පසුවනු නොහැක. දරුවන් දෙදෙනා සහ ඉතාම අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් ස්වල්පයක් පමණක් රැගෙන සූදානම් වුව මැනව. තව හෝරාවක් ඇතුලත උපතිස්ස අසුන් තිදෙනෙක් අවශ්‍ය ආහාර, පාන සහ ආයුධ රැගෙන පිටාංගනයෙහි බිහිදොර අසළට පැමිණෙනු ඇත. නගරාරක්ෂක රැකවළුන්ගේ අවධානය ඉතාම අඩු මට්ටමක පවතිනුයේ හිරු උදාවීමට ප්‍රථම දෙහෝරාවක කාලයෙහිදීය. ඒ අවස්ථාවෙහි අප නගරද්වාරයෙන් පිටවී යා යුතුය. " 

දරුවන් නිදන ඇතුළු ගැබ දෙසට පා ඔසවමින් හුන් කුවණ්ණා හිටිපියවරම නැවතී වහා ආපසු හැරී බැළුවාය. 

" එසේනම් කුමරුණි, උපතිස්සයන්ද අප සමඟ පැමිණෙන්නේද? " 

" මම ඔහුට කිසිසේත්ම එසේ අණ නොකලෙමි. අවම වශයෙන් ඉල්ලිමක් හෝ නොකලෙමි. ඒ හුදෙක් ඔහුගේ තීරණයකි.ප්‍රධාන ඇමති තනතුර උසුලනවාට වඩා අප සමඟ වනගතවීම යෙහෙකියි ඔහු එකහෙලාම තීරණය කොට ඇත. අවසන මට ද ඊට එකඟ නොවී නොහැකි වූයේය. " 

කුවණ්ණා ආපසු ඔහු අසළට පැමිණියාය. 

" කුමරුණි උපතිස්ස ද අප හා පැමිණීමට වඩා ඔහු ලංකාපුරයෙහි රැඳී සිටීම වඩාත් ප්‍රඥාගෝචර බව මගේ හැඟීමයි. " 

වත්මනෙහි ද බොහෝතන්හි තවමත් සිදුවන්නාසේම එදවස ද යම් වැදගත් තීරණයකට එලඹීමෙහිදී ඉතිරින්ගේ අදහස් විමසීමක් හෝ සැළකිල්ලට ගැන්මක් උදක්ම නොවීය.එහෙත් විජය රාජ්‍ය පාලනයෙහිදී සෑම වැදගත් තීරණයකටම ප්‍රථම කුවණ්ණාගේ අදහස් විමසීම සිරිතක් කොට ගත්තේය. මම නොපණත්කම්හි යෙදෙමින් මපියාණන්ට පවා බලවත් හිස රදයක්ව කල්ගෙවූ සමයෙහි පවා ඔබ ඉතා කාර්ය බහුල වෙළඳ නැව්තොටක් ඇතුළුව ප්‍රාන්තයක් පාලනය කල සහකාර පාලිකාවක වූ බව මම කිසිදුදිනෙක අමතක නොකරන්නෙමි සොඳුරිය..විජය සහස් වරක් පැවසූයේ ඈ දෙස සෙනෙහස මෙන්ම ඒ හා බැඳුනු ගෞරවයක්ද මුසුවූ බැල්මක් යොමු කරමිනි. 

" කුවණ්ණා..ඔබගේ විචක්ෂණභාවය සහ යම් ගැටළුවක් කෙරෙහි තියුණුව විචාරාක්ෂිය යොමුකොට වඩාත් බුද්ධිගෝචර තීරණයට එලඹීමේ නිසඟ හැකියාව මම කිසිවිටෙක සැක නොකලා මෙන්ම සෑම විටෙකම ඔබගේ උපදෙස් මවිසින් එකහෙලා ක්‍රියාත්මක කිරීමෙහිලා පසුබට නොවුනු බවද ඔබ මනාව දන්නෙහිය. එබැවින් කුමරිය..පවසනු මැන...උපතිස්ස අප හා සමඟ පැමිණෙනු නොව ලංකාපුරයෙහිම රැඳී සිටීම මැනවි යයි පැවසීමට තුඩු දුන් ඔබට හැඟුනු අදහස් වහා පවසනු මැන..." 

විජය අසල වූ කැටයම් කල ආසනයෙහි දිගා වෙමින් පැවසුවේය. 

" කුමරුණි.....අප ලංකාපුරය හැරදා පළාගියද ඔබට මේ දිවයිනෙහි කිරුළට නීත්‍යානුකූලව ඇති හිමිකම එසේ පහසුවෙන් අතහැර දැමිය නොහැක.ඒ ඔබගේ නෛසර්ගික වූ උරුමයයි. යළි කිරුළ දැරීමට සිහසුනෙහි හිඳ ගැනීමට ඔබගේ කිසිදු අපේක්ෂාවක් නොමැතිබව ඔබ ද මම ද සක්සුදක් සේ දන්නා නමුදු ලංකාද්වීපයෙහි ඊලඟ පාලකයා වශයෙන් රාජ සභාව තෝරාගන්නා පුද්ගලයා ඒ නොදනී.බලය සියතට පැමිණි පසු ඒ අත්හැරීමට නොව තවත් දෘඪ ග්‍රහණයෙන් තරව ගැනීමට පෙළඹීම පෘථග්ජන මිනිස් සන්තානයෙහි ස්වභාවිකව හට ගන්නා සිතුවිල්ලකි. " 

" හෙහ්, හෙහ්..එසේනම් මා සොඳුර ඔබගේ නිර්වචනය අනුව මම් වනාහී පෘථග්ජන පුද්ගලයකු නොවේ..ඒ එසේද? " 

කුවණ්ණාගේ මුවඟට සුන්දර සිනහවක් නැඟුනෙ නිරායාසයෙනි. 

" එසේමය කුමරුණි, අතපත් කිරුල අතැර දමා පලායන්නට උත්සාහ කරන්නෙකු පිළිබඳව මම අපගේ මුඛ පරම්පරාගත වංශ කථාවල පවා ඇසූ බවක් නොදනිමි. ඒ නයින් ඔබ වනාහී සාමාන්‍ය පුද්ගලයකු නොවන බව වෙසෙසින් කිවයුතු නොවේ. එහෙත් ඔබගේ ඒ සුවිශේෂී පෞරුෂය මා දුටුවේ මීට වසර ගණනකට පෙර තම්බපණ්නී මුහුදු තීරයෙහි එක් සොඳුරු සවස් කාලයකදීය. " 

" ආහ්හ්හ්හ්….. ඒ එසේද?.....කුවණ්ණාවනි...." 

විජය හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුනේය. 

" නො එසේනම් කුමරුනි..නො එසේනම්....තම්බපණ්ණියෙහි රාජ්‍ය පාලිකාව වූ මම සිය පියාණන් විසින් පවා පිටුවහල් කරනු ලැබූ නොදැමුණු තරුණයකු කෙරේ සෙනෙහසින් බැඳීගියේ අන් කවර නම් හේතුවක් කරණකොටගෙනය කියාද ඔබ මෙතෙක් කාලයක් සිතා සිටියේ? " 

කුවණ්ණාද මහ හඬින් සිනාසුණාය. 

" හරි ඒ මා සිතා සිටි අන්දම පිළිබඳව අපි දෙවනුව වැඩි දුරටත් සාකච්ඡා කරමු. ඔබ පැහැදිලි කරමින් හුන් කරුණ වෙත නැවත එළඹෙමු. " 

" කුමරුණි, මට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ ලංකාද්වීපයෙහි ඊළඟ පාලකයා කවුරු හෝ ඔහු ඔබ ඔහුගේ බලය සහ ආඥාව පවත්වාගෙන යාමය බලවත් බාධකයක් සේ දකිනු නිසැක බවයි.එබැවින් අපට අනතුරක් කිරීමට පවා ඔහු සහ ඔහුගේ සහචරයන් පෙළඹීමේ සැබෑ අවදානමක් ඇත. එවැන්නක් වැළැක්වීමට හෝ එසේ වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල් තබා අනතුරු හැඟවීමට හෝ ඔබට ඉතාම හිතවත් උපතිස්ස වැන්නෙක් රජ සභාවෙහි සිටීම ඉතාම වැදගත් බව මාගේ හැඟීමයි. " 

විජය නළල පිරිමදිමින් මොහොතක් කල්පනාවේ යෙදී සිට හිස එසවූයේය. 

" එසේය..කුවණ්ණා ඔබගේ අදහස මම එකහෙළා පිළිගනිමි. සුපුරුදු ලෙස ඔබ මම කිසිවිටෙක නොසිතූ දෘෂ්ඨි කෝණයකින් මේ ගැටළුව දෙස බලා ඇති බව පැහැදිලිය.ඔබට මගේ ස්තූතිය...එහෙත් උපතිස්ස එක හෙලාම කියා සිටියේ අපත් සමඟ ඔහුද පැමිණෙන බවය. වන්නාටය..අපි ඔහු සමඟ සාකච්ඡා කොට ඔහුගේ තීරණය වෙනස් කරවීමට උත්සාහයක් දරමු. " 

" මෑණියනි....???? " 

ඇතුළු ගැබට පිවිසෙන දොරටුව අසලින් නැඟුනු ඒ හඬ ඔවුන්ගේ අවධානය වහා ඒ දෙසට යොමු කරවීමට සමත් විය..ඒ දිසාලාය..සිව් හැවිරිදි වියේ පසුවූ ඕ මෑණියන්ගේ සහ පියාණන්ගේ සිනහ හඬින් නින්දෙන් අවදි වූවා අඩක් විවරවූ දෑස් පිසදමමින් දොරටුව අසල පසුවූවාය. 

" මාගේ දියණියනි....මෙහි එනු මැන..ඔබ සහ සහෝදරයා පුබුදවනු පිණිස මම මේ ඇතුළු ගැබට යාමට සූදානම් වූවා පමණි. කොහිද ඔහු?.....තවමත් සැතපෙන්නේද? " 

දැඩි නිදිමත හේතුකොටගෙන වෙළෙවි ගමනින් කුවණ්ණා වෙත පැමිණි දිසාලා ඇගේ ළැමට තුරුළු වූවාය. 

" තවමත් හිරු උදාව නොමැත්තේ නොවේද?..මෑණියනි..පියාණනි..අප මේ තකහනියේ කොයිබක යාමටද සූදානම් වන්නේ?...." 

" මෑණියන් හා සමඟ සූදානම් වන්න මා දියණියනි..මම ඔබට අප කොහි යන්නෙහිද? කුමක් පිණිස යන්නේද? යන සියළු විස්තර ගමනේ යෙදෙන අතර පහදන්නෙමි. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. " 

" කුමරුණි..ඔබ අපට පළායාමට ආරක්ෂිත එමෙන්ම රැකවරණය සහිත ස්ථානයක් පිළිබඳව තීරණය කොට තිබේද? " 

කුවණ්ණා විමසූයේ අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් කිහිපයක් කුඩා පැසක අසුරාගන්නා අතරතුරදීය. 

" උපතිස්සයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කලමුත් එකඟතාවයකට පැමිණීම උගහට විය කුවණ්ණා...එහෙත් අවසන දකුණු දෙස කඳුකරයෙහි උපතිස්සයන්ගේ ඉතා හිතවත් ඥාති සොයුරෙක් වෙසෙන බැවින් ඔහු වෙත ආරක්ෂාව පතා යාම සුදුසු බව අපගේ තීරණය විය." 

" කුමරුණි..මා කියන්නක් අසනු මැන..මේ පසුගිය මාස කිහිපය මා ගතකලේ ඉතාම අවිනිශ්චිත එමෙන්ම අතීරණාත්මකවය.අවසන මාගේ සහ දරු දෙදෙනාගේ ඉරණම කුමක් වේදැයි නොදැන ගතකල ඒ කාලය තුල මම අනාගතය පිළිබඳ සැලසුම් කළෙමි. " 

" කුවණ්ණා….." 

විජය ඇයට බාධා කරමින් යමක් පවසීමට තැත්කලමුත් ඈ සුරත ඔසවා ඔහු වැළැක්වූවාය. 

" පළමුව මට සවන්දුන මැනව. ......එබැවින් හදිසියේ මාළිගයෙන් පළායාමට සිදුවුවහොත් රක්ෂාවරණය ලැබිය හැකි ස්ථානයක් පිළිබඳව මම බොහෝ සේ කල්පනා කලෙමි.මාගේ මුත්තණුවන්ගේ බාල සොහොයුරා වසනුයේ ලංකාපුරයේ සිට අසුපිටින් දිනෙක ගමනකින් පසු ළඟාවිය හැකි  මහා නදියෙන් එතෙර පිහිටි දුම්රක්ගල නම්වූ පර්වතයක සෙවණේය.තම ස්වාධීනත්වය බොහෝසෙයින් අගය කළ බැවින්ම ඔහු කිසිදිනෙක සිරීසවත්ථු පුරයේ අණසකට හෝ යටත් වූයේ නැත. කුඩාකල මම කිහිපවරක් ඔහු සමඟ ඒ දුම්රක්ගල අබියස කල්ගත කොට ඇත්තෙමි. එදවස ඔහු මට බොහෝසේ ඇළුම් කලේය. දැනුදු එය එසේමය. පසුගිය සතියේ මම ඔහු වෙතට පණිවිඩයක් යැව්වෙමි.ඊට පිළිතුරු ලෙස මට සහ දරු දෙදෙනාට ආරක්ෂාව සැළසීමට ඔහු කිසිදු විටෙක පසුබට නොවෙන බව දන්වා එවා තිබිණි. එබැවින් කුමරුණි...අපි දුම්රක්ගල වෙත යමු. එහි අප සිව් දෙනාහට ආරක්ෂාව සහ රැකවරණය නොඅඩුව ලැබෙන බව මට හෙට උදෑසන හිරු පායන්නාසේ සහතිකය. " 

" එහෙත් සොඳුර…. ඔබගේ මුත්තණුවන් රක්ෂාවරණය සැපයීමට සූදානම් වනුයේ ඔබට සහ දරු දෙදෙනාටය. මට ආරක්ෂාව සැපයීමට ඔහු සූදානම්ද යන්න මට අවිනිශ්චිතය. " 

" කුමරුණි ඔබ මෙරට කිරුළ පලන් රජු වුවද ඔහුට එයින් කම් නැත. ඔබ මගේ සැමියා වීම පමණක් ඔබට ද ආරක්ෂාව සැපයීමට ඔහුට ප්‍රමාණවත්ය." 

තවත් හෝරාවකට අඩු කාලයක් ගත වෙද්දී විජය කුවණ්ණා සහ දරු දෙදෙන බිහි දිර අබියසට සැපත් වද්දී පෙරදිග අහස පැහැපත්වීම එතෙකුදු ඇරඹී නොතිබිණි. 

බිහිදොර එපිට පවුරෙහි රැඳුනු විලක්කු ආලෝකය පතිතවන සීමාවෙන් ඔබ්බෙහි අඳුරු සෙවණැලි අතර අසුන් දෙදෙනෙකු ද සමඟ ඔවුන් වෙනුවෙන් පොරොත්තු වෙමින් උපතිස්ස වූයේය. 

" උපතිස්ස ..කිමෙක්ද මේ?..අසුන් දෙදෙනෙකු පමණක්?..." 

විජය තම කලණ මිතුරාගේ දසරුව මත දෑත් තබා විචාලේය. 

" සමාවන්න කුමරුණි....මා ලංකාපුරයෙහි තවදුරටත් රැඳී සිටීම ඔබ හා සමඟ මෙපුර අතැර පළායාමට වඩා ඥාණගෝචර බව මට හැඟිණ. ..සමාවන්න..ඊට හේතු පැහැදිලි කිරීමට ........" 

විජය උපතිස්සගේ දසරුව මත රැඳි දෑත් එසේම තිබියදී හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුණේය. 

" හේතු කිසිසේත්ම අනවශ්‍යයයි....මා ප්‍රිය උපතිස්සයිනි..හේතු කිසිසේත්ම අනවශ්‍යයයි.මා සහ කුවණ්ණාට එදිරිව යම් කුමන්ත්‍රණයක් රාජ සභාවෙහි සිදුවන්නේ නම් ඒ වැළැක්වීමට ඔබ......" 

" එසේමය..එවැන්නක් වැළැක්වීමට මම රාජ සභාවෙහි රැඳී සිටීම අත්‍යාවශ්‍යයි මට සිතුණි....එසේම එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන්.." 

" එසේය උපතිස්ස..එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල්තියා අපට අනතුරු හැඟවීමට හෝ ඔබට එවිට හැකියාව ලැබෙනවා. මේ සියල්ල උදෙසා ඔබ රාජ සභාවෙහි තව දුරටත් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. " 

" කුමරුනි ?????..." 

උපතිස්ස අඩක් විවරවූ මුවින් යුතුව විජය දෙස විදහාගත් නෙතින් බලා සිටියේය....ඔහුගේ විදූෂක විලාසය දුටු විජය මෙන්ම කුවණ්ණාග්ද කොක් හඬලා සිනාසුනෝය. 

" උපතිස්ස..ඔබ සිතට හැඟුනු අනතුර ඒ ලෙසටම කුවණ්ණාවන්ටද හැඟී ගොස් ඇත.ඔබ ද අප හා පැමිණෙන බව මා ඇයට සැලකල වහාම ඇය ඒ පිළිබඳව මා දැනුවත් කළාය. ඔබගේ ඒකායන ප්‍රාර්ථනය අප අහා සමඟ පැමිණීම බැවින් ඔබගේ සිත් නොතැලෙන පරිද්දෙන් එපවත් ඔබට පවසනුයේ කෙළෙසකද යන උභතෝකෝටිකයෙහි ගිලී මම මෙතෙක් පීඩා වින්දෙමි. අහා..ඔබට ද එළෙසම හැඟී ඔබ ද ඒ තීරණයටම එලඹ සිටීම මට මහත්සේ සැනසුමකි. " 

" කුමරුණි..... කුවණ්ණා කුමරියගේ ඥාණය මෙන්ම යමක් අවබෝධ කොට ගැන්මේ හුරුබුහුටි බැව් මැනවින් දත් මා හට මේ කිසිසේත්ම විශ්මයට කාරණ නම් නොවේ.ඇයට එවැන්නක් පිළිබඳව සිතට නොනැඟුනි නම් එවිටයි මා විශ්මපත් වනුයේ...එළෙසින්ම කුමරුණි..ඔබ පරිදිම මමද එපවත් එනම් මම ඔබ හා සමඟ නොපැමිණෙන බව ඔබට පවසනුයේ කෙසේද යන ගැටළුවෙන් සිත් පීඩා වින්දෙමි..වන්නාටය...සෑම සියලු දෙයක්ම සිදුවනුයේ ඒ සිදුවිය යුතු හොඳම ආකාරයෙනි යනුවෙන් පෙර සෘෂි වරුන් පැවසූවෙහි සනාතන සත්‍යය යලිත් වරක් මට අවබෝධ විය. එසේනම් තවත් කුමකට පමා වන්නෙම්ද?....යන්න කුමරුනි....හිමිදිරි අරුණළු පෙරදිග අහසෙහි දිස්වීමට පළමු මෙනුවර හැරලා පියා පළායනු මැනව. " 

" උපතිස්ස..ඔබගෙන් සමුගැන්මට පළමු තවත් එකම කාරණයක් පැවසිය යුතුව ඇත. අප සාකච්ඡා කල පරිදි කඳුකරයට නොව මහානදිය එතෙරව දුම් රක්ගල සෙවණෙහි රක්ෂාවරණය ලබනුවස් අපි තීරණය කලෙමු. එහි වසන කුවණ්ණාගේ මුත්තණුවන් අපට රක්ෂාවරණය ලබා දීමට සපථ කොට සිටියි. " 

" අගෙයි කුමරුණි..ඒ ඉතා අගෙයි...ඒ එසේනම් ඔබට සිත් තැවුල් ගැන්මට කිසිදු කරුණක් නැත.එවන් රක්ෂාවරණයක් ලැබීම වනාහී ඔබගේ සියළු ප්‍රාර්ථනා එළෙසම ඉටුවන බවට සුභ පෙරනිමිත්තක්සේ හඟිමි. එසේනම් කුමරුණි, කුමරියනි...තවත් නොපමාව වහා පිටත් වන්න.මෙහි සිට මහානදී තොටුපොළ දක්වා දිවෙන මාර්ගය ඉතාම ජන ශූන්‍යය. එහෙත් ප්‍රවේශම් වුව මැනව. ඔබ තවමත් මෙරට කිරුළු පලන් රජුය. කිසිවෙකුට ඔබ හඳුනා ගැන්මට ඉඩ ප්‍රස්ථාව නොතැබීමට වග බලා ගත මැනව. " 

උපතිස්ස විජය වැලඳ සමුගත්තේය. ඉක්බිති කුවන්ණාටද ආචාර කල හේ ජීවහත්ථ සහ දිසාලාගේ හිස් සිඹ ඔවුනට ආශිර්වාද කළේය. 

" එසේනම් මා ප්‍රාණසම මිතුර..අපට අවසරයි...හැකි විගස ලද පළමු අවස්ථාවෙහිදිම මම ඔබ වෙත අප වසන ස්ථානය දන්වා රහසිගතව පණිවිඩයක් එවන්නෙමි. එසේනම් නැවත හමුවන තුරු......!!!!! " 

විජය කුවණ්ණා සහ දරුවන් රැගත් අසුන් දෙදෙන ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන බොරළු අතුල මාර්ගයෙහි ඈතින් ඈතටම ගොස් සතර දෙසින් කැටිවන අඩ අඳුරේ නොපෙනී යන තෙක් බිහිදොර අභියස එදෙසනෙත් යොමා හුන් උපතිස්ස අවසන දිගු සුසුමක් හිමිදිරියේ සිහිල් වා තලයට මුදාහැරපියා ආපසු හැරුණේය. 


මතු සම්බන්ධයි...... 

Monday, July 8, 2013

200. මගේ නොවන මගේම ආදරය.....



රාජගිරිය පැත්තෙන් මහ වැස්සක් වැහැගෙන එනව පළාතම කළු කරගෙන.ලා නිල් පාටට පේන උස ගොඩනැඟිලි දෙක මට හිතෙන්නෙ රෝයල් පාර්ක් අපාට්මන්ට්ස් වෙන්න ඕන. අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මේ ආසනයෙම ඉඳගෙන සතියට දවස් හයක් දවසට අඩුම ගානෙ පැය දහයක්වත් පරිගණක තිරයෙන් ඔළුව ඉස්සුවාම පෙනෙන්නෙම ඒ එකම දර්ශනය. ඒත් ඒ ගොඩනැඟිලි හරියටම මොනවද කියල දැනගන්න මම කවදාවත් උත්සාහ කලේ නෑ.ජීවිතේ හැටි එහෙමයි. අපිට අනවශ්‍ය විස්තර හොයල මොකටද නිකං නිස්කාරණේ ඔළුව පුරවගන්නෙ? 


වැස්ස කිට්ටු වෙනවත් එක්කම කාමරේ අඳුරු උනා. පරිගණක තිරෙන් නික්මෙන ආලෝකය අඩ අඳුරෙ ඇහැට දරන්න තරම අමාරු නිසා ඇස් පිටිපස්සෙං හීං රිදුමක් වගෙ ඔළුව ඇතුලෙ කකියන්න ගත්ත.උපැස් යුවල ගලවල මම දෑතින්ම නළල දෙපැත්ත පිරිමදින්න ගත්ත.ඒත් ඔලුව ඇතුලෙ හීන් රුදාව අඩු නැතිනිසා මම නැඟිට්ටෙ උපැස් යුවල සාක්කුවෙ දාගෙන. කාමරේ විදුලි බුබුල දල්වන්න අත දිගු කරලත් ආය මොකටද කලුවරේ පොඩ්ඩක් ඉන්න එක ඔලුවෙ අමාරුවටත් හොඳයිනෙ කියල හිතල මම වීදුරු බිත්තිය ළඟට ගියා. 

කාමරේ එක බිත්තියක් තනිකරම වීදුරු..දුඹුරු පාට තිරය පැත්තකට ඇදල දාල මම වීදුරුවට අත්ල තියාගෙන හිටගත්ත. වැහිබිඳු එක දෙක වීදුරුවට වැටෙන්ට පටන් අරගෙන.ඇලේට වීදුරුවට වැදෙන වැහි බිංදුව දිග ඉරක් වගෙ වතුර පැල්ලමක් වීදුරුවෙ ඉතිරි කරල හෙමිහිට පාතට ගලාගෙන යනව. ඒ ගලාගෙන යන පාර දිගේ මම හෙමිහිට දකුණු අතේ දබරැඟිල්ල දිවෙව්වා. 

කුරුණෑගලින් පිටත් වෙනකොටත් අහස කළු කරල වගෙ තිබුනට ගලගෙදර පොලීසිය ලඟ කන්ද මුදුනෙ හෝල්ට් එකේ බස් එක නතර කලාම තමයි එක පාරටම වහින්න ගත්තෙ.හරියට වතුර කොරහක් එක පාරටම මුනිං නැව්ව වගෙ. වැහි බිංදු වීදුරු ජනේලෙට වදින්ට ගත්තෙ ගල ගහන්න වගෙ. එයා හිටියෙ ජනේලෙ අයිනෙ.පිටිපස්ස සීට් එකේ හිටපු මනුස්සය ජනේලෙ වීදුරුව වහල දැම්ම. ඒත් කළුපාට රබර් බීඩිම එක තැනක පළුදු වෙල එතනින් වතුර උතුරන්න ගත්ත ඇතුලට. මුලින්ම වීදුරුව දුවන කාදුවට පිරිල ඊටත් පස් සෙ එතනිනුත් උතුරල සීට් එකට ගලන්ට පටන් ගත්ත. 

ඈ කළුපාට වතුර පාරෙන් බේරෙන්ට මගෙ පැත්තට තල්ලු වෙලා මගෙ ඇඟට හේත්තු උනා.ඇගේ සිරුරින් නැඟි සමන් පිච්ච විලවුන් සුවඳ මගෙ නාස්පුඩු තුලින් ඇතුලුවෙල මුලු පපුව පුරහටම පැතිරිල ගියා. මීට ඉස්සර සිය දහස් වරක් ඒ සදාදරණීය සුවඳ මගෙ පපුව පුරා පැතිරිල ගිහිල්ල තිබුණට එදා ඒ මොහොත මගෙ හිතේ ගලේ කෙටුව වගෙ නොමැකී තියෙන්නෙ ඒ ඇය හමුවූ අවසාන දවස නිසා වෙන්න ඇති. ඔව්..ඒ ඇය මගෙන් සමුගෙන වෙන්ව ගිය දවස.... 

ඒ සමන් පිච්ච සුවඳ ඇගේ ප්‍රියතම විලවුන් වර්ගය...ඊට පස්සෙන් පහු මේ ගතවුනු මුළු කාලයෙම සමන් පිච්ච මල් පඳුරක් ළඟින් ගියත් මට ඒ සොඳුරු අතීතය මතකයට එන්නෙ අනායාසයෙන්ම. 

ඉකි ගසා හඬන අතීතයක, 
කඳුලු එක්ක ගනුදෙනු කරනා, 
මට මගේ නොවන…. මගේම ආදරයක් තිබුණා... 

ආයෙමත් ඒ සුවඳ මගෙ පපුව පුරා පිරිල..මම දෑස් පියාගෙන වීදුරු බිත්තියට අත් තද කරගත්තු ඉරියව්වෙන්ම ඔළුව උඩට උස්සල පපුව පුරා පිරෙන්ඩ හුස්මක් ගත්ත.කාලෙකට පස් සෙ දෑස් තෙත් වේගෙන ආවෙ ඉබේටම.වීදුරු බිත්තිය අතඇරල අඩියක් පස්සට වෙලාමම ආයෙම නලල දෑතින්ම පිරිමදින්න ගත්ත. ඒ එක්කම මට තේරුනා මේ මල් සුවඳ මගෙ හිතේ හෝදිසියට දැනෙන එකක් නෙවෙයි...ඇත්තටම මගෙ නහයට දැනෙන එකක් කියල. 

මම හෙමිහිට ආපහු ඔළුව හරවල බැලුවෙ හීනෙන් වගෙ. 

මගෙ කාමරේ දොර සාමාන්‍යයෙන් කොයිවෙලාවෙත් වහලයි තියෙන්නෙ.ඩෝ ක්ලෝසර් එකක් තියෙන නිසා අනිවාර්යයෙන්ම දොර ඉබේම වැහෙනව. ඒත් මම හැරිල බලනකොට දොර බාගෙට ඇරිල.... දොරට අතක් තියාගෙන මා දිහා බලා හිටියෙ.... 

" සුබා????.............." 

මගෙන් හඬ පිට උනේ නෑ. පපුවෙන් පටන්ගෙන උගුර දිගේ උඩහට ඇවිල්ල මැදක් හරියක් එනකොට ඉබේම නැතිවෙලා ගියා.ඒත් ඒ හඬ එක්ක ආපු උණුසුම් ගුලිය උගුරත් පහුකරගෙන දෑස් දවාගෙන ගින්දර වගෙ පිට උනා. 

ඇයත් මාත් අඩ අඳුරේ එකිනෙකා දිහා බලාගෙන ගතවුනු නිමේශයකට පසු...... 

" මොකද රවී මේ කළුවරේ?..ලයිට් එක දාන්නකො....." 

කියමින් දොර සම්පූර්ණයෙන් විවර කොට කාමරයට පිවිසියේ මා සේවය කල සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සමරවික්‍රම මහතාය. ජංගම දුරකතනය සවණට ළංකොටගත්වනම ඊට පිළිතුරු දෙමින් ඔහු දොර අසලවූ ස්විචය ක්‍රියාත්මක කොට විදිලි පහන දැල්වීය. 

අඩ අඳුරේ ගිලී තිබුණු කුටිය එක්වරම සැණෙකින් ආලෝකයෙන් පිරීයත්ම මගේ දෑස් පියවුණේ නිතැනින්ම.ආයෙම මොහොතකට ප ස්සෙ මම ඇස් අරිනකොටත් මිස්ට සමරවික්‍රම තවම ෆෝන් එකේ කතාව. 

" නෑ..නෑ..මම කිව්වනෙ..අද හවස මම චෙක් එක එවන්නම් වරද්දන්නෙ නැතුව..ඔයා මම කිව්ව විදිහට බඩු ටික යවන්නකො තිස්සමහාරාමෙට...." 

උඩ සාක්කුවෙ තිබ්බ උපැස් යුවල මම හෙමිහිට පැලඳ ගත්ත.අඩ අඳුරෙ උනත් මගෙ ඇස් මට බොරු කරල නෑ. දොර ගාව හිටියෙ සුබානම් නෙවෙයි. ඒත් ඒ..ඒත් ඒ...සුබාගෙ ඇස් දෙක...ආත්ම ගානක් මැරි මැරී ඉපදුනත් මට අමතක නොවෙන ඒ ඇස් දෙක...ඒ ඇස් දෙකේ පිරිල තිබ්බෙ කුතුහලයක්..විශ්මයක්..... 

" හරි එහෙනං එහෙම කරන්න..හොඳද?....වරද්දන්න එහෙම එපා…" 

දුරකථන සංවාදය හමාර කරල සමරවික්‍රම මහත්තය මා දිහාට හැරුනෙ ජංගමය සාක්කුවට දාගන්න ගමන්. 

" රවී මේ අපේ අළුත් ඇසිස්ටන්ට් එකවුන්ටන්ට්....සචිත්‍රා....ගමත් ඔන්න ඔයාලගෙ පැත්තෙමයි...නුවර කිට්ටුව..කොහෙද කිව්වෙ ඔයාගෙ ගම? " 

සමරවික්‍රම මහත්තය අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ ඒ යුවතියගෙන්...ඇගේ ඇස් දෙක ආයෙම හිනාඋනා… 

" ගුණ්ණෑපානෙ සර්….." 

ඇය එහෙම කියන්න කලින්ම උත්තරේ මොකක්ද කියල මම දැනගෙන හිටිය. 

"නුවර පැත්තෙ කිව්වෙ මේ..මිස්ට රවීගෙ ගෙවල් හරියටම කොහෙද? " 

ඈ ආයෙම මාදිහාට හැරිල හිනාවෙලා ඇහුව. 

" මම පැණිදෙණියෙ......" 

මම කලින් කිව්වෙ නැහැනෙ අපෙ ඔෆිස් එක තට්ටු දෙකයි, මගෙ කාමරේ තිබුනෙ උඩ තට්ටුවෙය කියල. මුදල් අංශය තිබ්බෙ පල්ලෙහා තට්ටුවෙ. වෙනද නම් මම දවසට දෙතුන් පාරක් පල්ලෙහා තට්ටුවට යනව ඔය කට්ටිය එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිල එන්න. ඒත් අනෝරා වැසි ඇදහැලුනු ඒ උදේ වරුවෙ මම පහලට ගියේම නෑ. ආයෙම අර යුවතියගෙ ඒ ඇස් දෙක දිහා බලන්න මට කොහෙත්ම හැකියාවක් තිබ්බෙ නෑ....වෙන ඕනම දෙයක් වගේම හිත කියන එකට දරාගන්න පුළුවන් සීමාවක් තියනව නෙව.... 

කාලය සියළු සිත්වේදනා සමනය කරයි නැත්නම් Time is the best healer කියල බොහොම සුප්‍රසිද්ධ හතර අතේ පට්ට ගහපු කතාවක් නම් තියනව තමයි.මාත් ඔය කොච්චරවත් ඔය කතාව පණ්ඩිතය වගෙ කියල තියනව, ඒ වගේම ලියලත් තියනව. ඒත් අර වණේ තියන මිනිහයි ඒකෙ අරුමෙ දන්නෙ කියනව වගෙ මගෙ හිතේ තුවාලය , තැල්ම නම් දැන් සෑහෙන කාලයක් ගතවෙලා ගියත් සුවවෙන පාටක්වත් නෑ. අර තුවාල වල උඩින් කබොල්ල ඇවිල්ල වැහිල තියෙන්නෙ. බැලූ බැල්මට තුවාලයක් තියනවද කියල කියන්ටත් අමාරුයි. කොටින්ම කිව්වොත් අපිටම උනත් අමතක වෙනව තුවාලයක් තියෙනව නේද කියල.ඒත් තුවාලෙ තියනව. ඒක අනිවාර්යයයි. 

ඉදින් ඒ අදිසි වණය හුදෙක් ළය තුල සැඟවී පවතිනු මතු නොව ඔබ සිහිනයෙන් පවා අපේක්ෂා නොකරන අනපේක්ෂිත නිමේශයකදී ඉතා නොවැදගත් සිදුවීමකින් හෝ දසුනකින් යලි ඔද්දල්ව ඔබට රිදුම් දෙන්නේය. 

ඔබට දෑස් පියාගත්වනම ඔබගේ අවසාන රුපියල පවා ඒ උදෙසා පරදුවට තැබිය හැක. You could bet your bottom dollar on it with eyes shut..

දොළහමාරට විතර මේසෙ උඩ තිබ්බ දුරකථනය වදින්ට ගත්ත. 

" මචං මොකද කොරන්නෙ?..අද කන්නෙ නැද්ද උඹ? " 

ඒ පල්ලෙහා තට්ටුවෙ මයෙ අතිජාත මිත්‍රයෙක්....රණේ......වෙනදා අපි ඔක්කොම එකට දවල් කෑම කන්නෙ...ඔය දවල් කෑම කන වෙලාව අපෙ ඔෆිස් එකේ එක විදිහක සෝෂල් ඉවෙන්ට් එකක් එහෙම නැත්තං සමාජීය ක්‍රියාකාරකමක් වගෙ වෙලයි තිබ්බෙ.ඒ වෙලාවෙ ඔෆිස් එකේ ඉන්න ඔක්කොමලා එකතුවෙලා එදා දවසෙ වෙච්ච හාස්‍යජනක සිදුවීම්....වැඩබිම්වල වෙච්චි දේවල්..එහෙම මොකවත්ම නැත්තං මොනව හරි හදල හරි...දේශපාලනික, ආර්ථික සමාජීය නව ප්‍රවනතා...ඔය රටේ නැති අටමගල් ඔක්කොම කතාවෙන්නෙ දිවා ආහාරය ගන්නා අතර තමයි.බොහෝවිට අපේ අධ්‍යක්ෂ මණ්ඩලයත් ඊට එකතුවෙනව ඔෆිස් එකේ හිටියොත් අනිවාර්යයෙන්ම.හෙහ්, පඳුරු තැලිල්ලක් කරන්ට පුළුවනි අනෙ අම්මප නැතිවෙන්ට අපේ ඔය භෝජන ශාලාවේ කථා කියන මාතෘකාවෙන්..හරි එව්ව ඇරිච්චාවෙ..මේ අද කියන කතාව එහෙම පඳුරු තැලිල්ලකට උචිත කතාවක් නෙවෙයි... 

" උඹල කාපල්ලා..මම මේ හදිස්සි වැඩක්....මේක ඉවරයක් කරලම මම කන්නං...." 

ගොඩක් කාලෙකට කලින් ලියාපු කවියක් ආයෙම කියවන අතරෙ මම උත්තර දුන්නා..... 

සෙමෙන් සපැමිණි නුඹ, 
ඇරයුමකුදු නොමැතිවම, 
කොඳුරමින් මඳනල ලෙස, 
ඇතුලු විය විවර වී තිබු හදට, 

ඊලඟ දවස් දෙකේම අඟහරුවාදා සහ බදාදා මට අපේ ව්‍යාපෘති වැඩබිම් දෙහෙකට යන්ට සිද්ද උනා.ඒ නිසා අර ඇස් දෙක ගැන ඒ හැටි වදවෙන්ට උනේ නෑ. ඊටත් පහුවදා මම හදිසි වැඩකට ගිහිල්ල ආපහු ඔෆිස් එකට ආවෙ දෙකත් පහුවෙලා. ආපු ගමන් බත් එක දිග ඇර ගත්තෙ උදෙත් හරි හමං කෑමක් නැතුව හාමත් වෙල වගෙ හිටපු නිසා.ඒ වෙලාවෙ අපෙ සිවා ( සිවා කිව්වෙ අපෙ ඔෆිස් එක බලා කියාගෙන අතු පතු ගාගෙන තේ කෝපි කාරිය හදාගෙන උන්නු හාදය..උන්නු කිව්වට මිනිහ තාමත් ඉන්නව ) බත් එකක් ගෙනල්ල තිබ්බ මේසෙ උඩ. 

" කාටද බං?.... " 

මම බත් කන ගමං බල බලා හිටපු පත්තරෙං ඔළුව උස්සන්නෙ නැතුවම ඇහුව. 

" මේ අර අළුතෙං ආපු මිසීට මහත්තය. …" 

සිවා දොර ඇරගෙන යන ගමං ආපහු හැරිල කිව්ව. 

මම එහෙමම ඔළුව පාත් කරගෙන බත් කන අතරෙ පත්තරෙත් බැලුව. පෑන්ට්‍රි එකේ දොර ඇරෙනවයි මා ඉස්සරහ පුටුව පස්සට ඇදෙනවයි එක්කම සමන් පිච්ච මල් සුවඳ ආයෙම පාරක් මගෙ පපුව පුරහට ඉතිරිලා ගියා. මම ඔළුව උස්සල හිනා උනා. 

"හෙලෝ, ඉතිං කොහොමද?...." 

" වරදක් නෑ මිස්ට රවී …" 

ඇය හිනාවෙලා බත් එක දිගඇරගත්තා. 

මම කනකොට බත් සහ මාළු එකට අනන්නෙ නෑ. කොයි ලෝකෙං පුරුදු උනාද නං මන්ද අනාදිමත් කාලෙක ඉඳල එහෙම තමයි මගෙ පුරුද්ද. ඒ හින්දම මට ඔය කෑමට වැඩි කාලයක් යන්නෙ නෑ. බත් ටිකක් අරං වෙනම තිබ්බ. තියන වෑංජන වලිනුත් පොඩ්ඩ පොඩ්ඩ ඒක උඩම තිබ්බ. ඔක්කොම එකට අරං කෑව. එච්චරයි..මගෙ ඔය අතිජාත යෙහෙළියක් ඔය බත් කන අපූරු ක්‍රමේට කියන්නෙ රෙදි නමනව කියල. දශක දෙහෙකට විතර ඉස්සරවෙලා ඇයත්.... ඒ පිච්ච මල් සුගන්දයෙන් පිරි යුවතියත්.... බත් කන්ට ඉඳගත්තම ඉස්සෙල්ලම කරන්නෙ මම කන හැටි බලා ඉඳල හිනාවෙන එක. 

බත් එක දිගඇරගත්ත මිසක කිසිම සද්දයක් බද්දයක් නැති නිසා මම ඔළුව ඉස්සුවා. ඇය ඇසි පිය නොහෙලා මගෙ බත් එක දිහා බලාගෙන ඉන්නව. දෙතොලග මඳ සිනහවක් යාන්තමට පිපිලා.මම බලාඉන්නව දැනිල වෙන්න ඕන ඇය මා දිහා බලල හිනා උනා. 

" සොරි.........." 

බත් කොලේ ගුලි කරල ඩස්ට්බින් එකට දාල ෆිල්ටරෙන් වතුර එකකුත් වීදුරුවකට පුරවගෙන මම ඇවිල්ල අයෙම ඉඳගෙන පත්තරේ බලන්න පටන් ගත්ත. 

" පුරුදු කියන එව්ව අවුරුදු විස්සක් තිහක් නෙවෙයි මුළු ජීවිත කාලයක් ගියත් වෙනස් වෙන්නෙ නෑ නේද මිස්ට රවි? " 

සචිත්‍රා කාල ඉවරවෙලා නැඟිටල අත හෝදන ගමන් ජනේලෙන් එළිය බලාගෙනම මගෙන් ඇහුව. මම පත්තරෙන් ඔලුව උස්සල බැලුව. 

" ඔව්, අපි පතාගෙන එන දේවලුත් එහෙමයි මිස්...." 

ඇය ආපහු හැරිල දිග සුසුමක් හෙලල ඔලුව හෙල්ලුව.. 

" ඔව් ඒක හරි…" 

ඔය සිද්ධිය උනේ බෘහස්පතින්ද...මම සාමාන්‍යයෙන් සෙනසුරාදත් දොළහමාරට ඕෆ් උනාට තුන විතර වෙනකල් වැඩ කරනව. ඒ කරල කොටුවෙන් 4.10 සෙංකඩගල මැණිකෙ තමයි ගෙදර යන්නෙ. සිකුරාද උදේ සමරවික්‍රම මහත්තය මගෙ කාමරේට ආව. 

" රවී අද හවස ඔයා ගෙදර යන්න. අර සචිත්‍රත් අද ගෙදර යනවනෙ. ඒ ලමය ඔය බස් කෝච්චි ගැන ඒ හැටි දන්නෙ නෑ මම හිතන්නෙ. එයාගෙ අප්පච්චි උදේ මට කෝල් කරල කිව්ව. ඒ නිසා රවීට පුළුවන් නේද අදට එයාත් එක්ක යන්න. නුවර ස්ටේෂන් එකට එයාලගෙ අප්පච්චි එන්නම් කිව්ව. " 

සචිත්‍රාගෙ පියා සමරවික්‍රම මහතාගේ කිට්ටු හිතවතෙක්ය කියල මම ඒ වෙනකොට දැනගෙන හිටිය. 

" හරි මිස්ට සමරවික්‍රම මට ප්‍රශ්නයක් නෑ...." 

සතියෙ දවස් වලට සෙංකඩගල මැණිකෙට මරදානෙන් නඟිනව කියන්නෙ සෑහෙන ඉහල මට්ටමේ ක්‍රියාන්විතයක්…Major operation එකක් ඔන්න කොටිම්ම කිව්වොත්. සිකුරාදට තත්වය වඩාත් දරුණුයි. සඳුද උදේම ඇවිල්ල කොළඹ නැවතිලා ඉන්න ගෑණු පිරිමි ඔක්කොම ඕකෙ පැටවිලා තමයි සති අන්තෙ ගෙවල් බලා යන්නෙ. 

යාන්තමට කෝච්චි පෙට්ටිය ඇතුලට යන්ට හම්බ උනේ රාගමදි. සචිත්‍රාට නම් මම දැක්ක වේයන්ගොඩ හරියෙදි සීට් එකක් ලැබෙනව. පොල්ගහවෙලින් එහාට නම් ආය නෑ බුදියගෙනත් ගිහෑකි.රඹුක්කනදි මගෙ ලඟ සීට් එක හිස් උනා. සචිත්‍රා ඇවිල්ල මා ලඟ ඉඳගත්ත. 

" මාර සෙනඟක්නෙ ඉන්නෙ... හැම වීක් එන්ඩ් එකේම මිස්ට රවී මේ විදිහටද යන්නෙ? " 

ඇය ඇහුවෙ අර දිලිසෙන දෑස් විදහාගෙන ...ඒ දිහාවෙ එක පාරක් බලල මම ජනේලෙන් එපිට ගණ අඳුරේ දුම් රිය පහුකරගෙන දුවන ගස් වැල් ලයිට්කණු රේල් පාර අයිනෙ පොඩි ගෙවල්වල දැල්වෙන විදුලි එළි දිහාවෙ බලා හිටිය. 

" නෑ මිස්..මම සාමාන්‍යයෙන් සෙනසුරාදටයි ගෙදර යන්නෙ..එතකොට සෙනඟ නෑ. අනික මම කොටුවෙන් නඟින්නෙ. එතකොට කොහොමත් සීට් එකක් ගත්තෑකි. " 

මම මොකවත්ම නොකිය හිනා උනා..... 

" වඩේ..වඩේ...වඩේ........" 

රඹුක්කන සහ බලන අතර දුම්රියේ වෙළඳාම් කරන මහත මැදිවියේ කාන්තාවගේ සුපුරුදු හඬ ඇසෙන්නට වූයේ ඇය මැදිරියේ එකා කෙළවරේ සිටියදීමය. මහනුවරින් උදෑසන පහට පිටත් වන මාතර දුම් රියේ ඉඳිආප්ප, ආප්ප සහ කඩල විකුණන ඇය සවස සෙංකඩගල මැණිකේට තැම්බූ මඤ්ඤොක්කා, වඩේ සහ එහෙමත් දවසක තෝසේ වැන්නක් ගෙන එයි. 

අවුරුදු විසි පහකට එහා තරම ඇය.... මා සිත්ගත් ඒ සොඳුරු යුවතිය...මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙ සේවාස්ථ පුහුණුවක් කරන කාලෙ මාස දෙකක් විතර හැම සිකුරාදාවකම මේ දුම්රියේම අපි සවස නුවරට ආපු අන්දම එක පාරටම මතක් උනේ මම හිතන්නෙ අර කලින් කිව්ව අනපේක්ෂිතව රිදුම් දෙන වණ කැලල ආයෙම පෑරුන නිසා වෙන්න ඇති. එතකොට වඩේ වෙළඳාම කලේ තැනින් තැන් පැසුණු උඩු රැවුලක් පැලඳි මැදිවියේ පුද්ගලයෙක්... 

" රවී මට වඩේ ඕන.." 

ඇය එහෙම කිව්වෙ දුම්රියේ අපි ආපු පළවෙනි දවසෙ. කඩදාසි බෑග් එහෙකට බොම්බයි ලූණු රවුම් කපල දාල ඒකටම අමු මිරිස් කරල් දෙක තුනකුත් ලියල දාල පොඩි රවුම් වඩේ දහයක් දාපු බෑග් එකක් එතකොට නම් රුපියල් තුනක් නැත්නම් හතරක්ද කොහෙද...ඒ මැදිවියේ පුරුෂයා මේ උස මහත කාන්තාවගෙ කවුද කියල විමසන්න මම හැමදාමත් හිතාගෙන හිටියත් කවදාවත් මට ඒකට අවස්තාවක් ලැබුණෙ නෑ. 

වඩේ දහයෙ මළු දෙකක් ගත්තු මම එකක් සචිත්‍රාට දිගු කලා.... 

" තෑන්ක්ස්...මම හරිම ආසයි වඩේ වලට…" 

ඇය සිනාසුණා.. 

" මම දන්නව…" 

ඇය මා දිහා ඇසිපිය නොහෙලා ටික වෙලාවක් බලා හිටිය මිසක කොහොමද දන්නෙ කියල ඇහුවෙ නෑ..එහෙම ඇහුවත් කියන්න තරම් දෙයක් මට තිබුණෙත් නෑ. 

රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රියෙන් යද්දි කන්ද පල්ලෙහා පෙනෙන දර්ශනය මට සිය දහස් වාරයක් දැක්කත් කවදාවත් එපාවෙන එකක් නෙවෙයි.දවල් වෙලාවක ඉර එළිය තියෙනවනම් පල්ලෙහා කුඹුරු, ගෙවල්, පාරවල් පුංචි සෙල්ලම් බඩු වගෙ පේන හැටි, වැස්ස දවසක ඒ නිම්නයම මිහිදුමින් වැහිල ගිහිල්ල හිට වරින් වර පෙනී නොපෙනී යන හැටි... මේ වගෙ රෑක නම් කඳුවල පිහිටි නිවෙස් වල විදුලි පහන් එළි නිවි නිවී දැල්වෙමින් වේගයෙන් අප පසුකරයන හැටි...මම බලා ඉන්නෙ නොසිඳෙන ආසාවකින්.මම හෙමිහිට වඩේ එකින් එක කමින් ඒ දර්ශනය දිහාවෙ ආයෙම බලා හිටියා. 

" සුබා කියන්නෙ මගෙ ලොකු අප්පච්චිගෙ දුව....." 

සචිත්‍රා මගෙ ලඟම සීට් එකේ හිටියත් මට ඇගෙ කටහඬ ඇහුනෙ කොහෙද මම ඈතකින් ඇහෙනව වගෙ. 

වඩේ මල්ල එක අතකට ගුලි කරගෙන මම සීට් එකේ ඇන්දට ඔළුව හේත්තු කරල ඇස් දෙක තදින් පියාගත්ත. 

" රවී…. අපෙ හීං අප්පච්චිගෙ පොඩි එකීට ගවුං දෙක තුනක් අරගෙන යන්න ඕන..ඒකි මට පණ ඇරල…" 

ගුරු වෘත්තියෙන් මුල්ම වැටුප ලැබුණු දවසෙ දළඳා වැඳල ආපහු එන ගමන සුබා කිව්වෙ මගෙ අතක් අල්ලගෙන.. 

" හෙහ්, වයස කීයක් විතර ඇද්ද? " 

" අවුරුදු හයක්....." 

" හ්ම්ම්..එහෙනං කොළඹ වීදියෙ ශිවාජීස් හරි පලයකාට්ස් හරි තමයි යන්න ඕන…" 

අපි සමුගත්තට පස්සෙ වැඩි කාලයක් ගියේ නෑ..සුබා විවාහ වෙලා සැමියත් එක්කම විදේශ ගත උනා. ඊට පස්සෙ එයා ආපහු ලංකාවට ආවද තාම ඒ ගිය දිහාද කියල මම හරියටම දන්නෙ නෑ. මම ඒ ගැන හොයා බැලුවෙත් නෑ.. 

" සුබා අක්ක මට හරිම ආදරෙයි. එයාල ලඟ මම අවුරුදු පහක් විතර හිටිය. එහෙ යුනිවසිටි එකකට මාව ඇතුල කරවල ඔක්කොම වියදම් කලෙත් සුබා අක්ක. " 

මෙච්චර වෙලා හතිදමමින් බලන කන්ද නැග්ග සෙංකඩගල මැණිකෙ ඔන්න කඩුගන්නාව ස්ටේෂන් එකට ලඟාඋනේ බරපතල කාර්යයක් ඉවර කරල ටිකක් ඉසුඹු ලබනගැහැණියකගෙ ස්වරූපයෙන්. මොකදෝ මන්ද මට හැමදාම මතක් වෙන්නෙම දරුවෙක් වදල සැනසුම් සුසුමක් හෙලන මවක්… 

කඩුගන්නාවෙ ඉඳල පිළිමතලාවට එනකල් අපි අතර කිසිම කතාබහක් ඇතිඋනේ නෑ. සුබාට කොහොමද? එයා සන්තෝසෙන්ද?...දරුවො කී දෙනෙක් ඉන්නවද?..ආයෙ ලංකාවට එන්නෙම නැද්ද?...මම ඒ ප්‍රශ්න මොකවත්ම ඇහුවෙ නෑ...මිස්ට රවී ඔයාට සුබා අක්ක ගැන දැන ගන්න ඕන නැද්ද? සචිත්‍රා එහෙම ඇහුවෙත් නෑ. මම එහෙම අහයි කියල එයා බලාපොරොත්තු උනාද නැද්ද කියලනම් මට හරියටම කියන්න බෑ. ඒත් එකක් කිව්වැහැකි. එයා එහෙම අහයි කියල මම බලාපොරොත්තු උනේ නෑ... 

පේරාදෙණිය දුම්රිය ස්ථානය පේනතෙක් මානෙට ආහම මම සචිත්‍රා දිහාට හැරුණා. 

" මිස් මම පේරාදෙණියෙන් බහිනව.." 

" ඔව්…. මම දන්නව තෑන්ක්ස් මිස්ට රවී..අප්පච්චි ඇවිල්ල ඉඳියි නුවර ස්ටේෂන් එකට. " 

ඇය එහෙම කියල මගෙ ඇස් දිහා එක එල්ලේ බලා හිටිය. 

" මට මිස්ට රවීට කාරණා දෙකක් කියන්න තියනව. එකක් සුහද ඉල්ලීමක්..අනික අවසර පැතීමක්. " 

මම මගෙ ට්‍රැවලින් බෑග් එක ඇරල ටෝච් එක එලියට අරගෙන සුචිත්‍රා දිහාවෙ නළල රැළි කරගෙන බලා හිටිය. 

" මුලින්ම ඉල්ලීම…. මම ඔයාට අයිය කියල කියන්නද? " 

" හරි…. කිසිම ප්‍රශ්නයක් නෑ.." 

මම හිනා උනා.. 

" දැන් එහෙනම් අවසර පැතීම...මම රවි අයියගෙ ටෙලිෆෝන් නම්බර් එක සුබා අක්කට දෙන්නද? " 

දුම්රිය හති හලාගෙන ඇවිල්ල පැණිදෙණියෙ නැවැත්තුව.. 

" කමක් නෑ සචිත්‍රා..එයා ඉල්ලුවානම් විතරක් මගෙ නම්බර් එක සුබාට දෙන්න .." 

මම එහෙම කියල දුම්රියෙන් වේදිකාවට බැස්සා. 


ඉකි ගසා හඬන අතීතයක, 
කඳුලු එක්ක ගනුදෙනු කරනා, 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... 

හීනෙන් හිනැහී තුන්යම මා රවටා,
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා, 
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... 
මගේම ආදරයක් තිබුණා... 

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා,
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා, 
උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා, 
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... 
මගේම ආදරයක් තිබුණා... 
මගේම ආදරයක් තිබුණා.............



Thursday, July 4, 2013

199. කිරුළ සහ සෙනෙහස ……9












ඒ සොඳුරු සන්ධ්‍යාවට පසු පුන්සඳ දෙවරක් ලංකාපුරය ඉහල අහසේ මුදුන්ව යලි අවපස්ව ගියේය.ඒ කාළසීමාව වනාහී කුවණ්ණාගේ ජීවිතයේ මෙතෙක් ඉතාම සිත් තැවුලින් ගතකල කාලය බව ඇයට එකහෙලා සහතිකය. 

ඇය ජීවිතය තමනට රිසි පරිදි හැඩගස්වා ගැනීමෙහිලා රුචි එමෙන්ම එසේ කිරීමට නොපැකිලෙන ඉතිරියක වූවා තම ජීවිතයෙහි දිශානතිය තීරණය කිරීමෙහි පූර්ණ බලය පිටස්තර පුද්ගලයින් කණ්ඩායමක සිතැඟියාවන් මත රැඳී පවතිනු කිසිසේත්ම නොරිස්සීය. 

එහෙත් දෛවෝපගතව නැතහොත් ඉරණමෙහි ලියවී ඇති පරිදි ඇගේ ඉරණම තීරණය කිරීමෙහි පූර්ණ බලය ලංකාපුර රජ සභාවට පැවරී ඇත.ඇය ඒ කෙතරම් නොරිස්සූවද ඒ පිළිබඳව ඇයට කල හැකි කිසිවකුදු නැත. රාජ සභාවෙහි තීරණය ඇය පිළිගත යුතුමය. 

විජය ඈ කෙරෙහි බැඳි සෙනෙහස පිළිබඳ කිසිදු සැකයක ලේශ මාත්‍රයක් වුවද ඈ සිත් තුල නොමැත්තේ වුව රාජ්‍යය පිළිබඳ බොහෝ වැදගත් වූද එමෙන්ම අනාගතය කෙරෙහි වෙසෙසින් බලපාන්නා වූ ද මෙවන් තීරණයක් ගැනීමෙහිදී ඔහුට තම හැඟුම් වලට වහලෙක්ව නො එසේනම් හදවතට ඉඩදී රාජ සභාවෙහි තීරණය එකහෙලා පිළිකෙව් කිරීමෙහි ධෛර්යයක් ඇත්ද යන සැක සංකා මාත්‍රය ඇගේ සිතෙහි විටින් විට හටගත්තේ මේ වලාවන් පසුබිම් කොට වහා දිලී එකෙණෙහි නිවීයන අසනි සැරයක් පරිද්දෙනි. 

එසේ හෙයින්ම අවසන ඇය තීරණය කලේ තමනට පාලනය කල නොහෙන කටයුතු පිලිබඳ සිත් තැවුල් වීමෙහිලා කිසිදු ආදීනවයක් නොමැත්තේ වී හෙයින් ඒ පිළිබඳව කොතෙකුත් සිත් නොවෙහෙසා දෛවෝපගතව වියයුත්ත සිදුවනුවස් ඉඩ සලසා එදෙස හැඟීම් විරහිතව බලා සිටීමටය.අවසන වෙනත් කිසිදු විකල්පය පිළිබඳ සිතාගත නොහුණු කල්හි ඔබ, මම, අප සැම මෙලෙසින්ම සිතනා අවධියකට නිතැණින්ම පත්වන නමුදු ඒ කොතරම් දුෂ්කර කර්තව්‍යයක්මවේදැයි එවන් තත්වයකට සත්‍ය වශයෙන්ම මුහුණ නොදුන්නකුට වටහා දීම පවා එතරම් පහසු නොවේ. 

මේ තීරණාත්මක කාල සීමාව තුල මදුරාපුර කුමරිය අවාහ කරගැන්මේ යෝජනාව රාජසභාවෙහි න්‍යාය පත්‍රයෙහි වරෙක ප්‍රමුඛස්ථානයට පැමිණි අතර වෙනත් නොයෙකුත් රාජ්‍ය පාලනයෙහි එදිනෙදා ගැටළු අනපේක්ෂිතව පැන නැඟි කල්හි නොවැදගත්ව යටපත්ව ගියේය. එහෙත් ඒ අළුයට සැඟැවුණු පුළිඟුවක් මෙන්, සියුම් කෙස් ගසකින් හිස මතුයේ එල්ලූ අසිපතක් මෙන් එකලාව පහව නොගොස් රැඳී පැවතියේය. 

අවසන විජය මෙන්ම කුවණ්ණා ද බලාපොරොත්තු වූ එහෙත් කිසිදිනෙක උදා නොවේවායයි නිතොර පැතූ ඒ දිනය උදාවිය. 

බහුතරයක් යක්ඛ ගෝත්‍රිකයින් විජයගේ පාලනයට අනුගතව, ඉන් ලද පෙර ස්වකීය පාලිත අවධියෙහි දක්නට නොලැබුණු වරප්‍රසාදයන් මහත් සතුටින් යුතුව භුක්ති වින්දෝය. ඒ බොහෝතන්හි දක්නාපරිදි සාමාන්‍ය පොදු ජනතාවයි. එදිනෙදා ජීවනෝපාය සරිකොටගෙන තම සුතනඹුවන් හා දිවිගෙවන ඔවුහු ලංකාපුර කිරුළ දරන්නෝ කවරෙක්වෙත්දැයි බොහෝකොට සොයා නොබලති. සොයා බැලුවද ඒ ඔවුනගේ එදිනෙදා ජීවිතයට යම් අනිසි බලපෑමක් නොකරන්නේවී නම් ඔවුහු එතෙකින්ම තෘප්තිමත් වන්නෝය.කිරුළ දරනුයේ විජය ද කුවණ්ණාද යනු ඔවුනට බොහෝසේ සිත වෙහෙසවියයුතු වැදගත් පැණයක් නම් නොවන්නේමය. 

පොදු ජන සිත් සතන් අවුල්වා ඔවුන් කැරළි කෝලාහල කෙරෙහි යොමු කරවන්නෝ තමන් අත්විඳි වර ප්‍රසාද ගිලිහීමෙන් අතෘප්තියට පත් ප්‍රභු පැළැන්තියම වෙත්.ලංකාද්වීපය පුරා විජය ක්‍රියාත්මක කල පොදුජන හිතකාමී පියවර හේතුකොටගෙන පොදු ජනයා වෙතින් ඔහු ලද මහත් ප්‍රසාදය මෙතෙක් යක්ඛ ගෝත්‍රිකයින්ගෙන් රාජ්‍ය විරෝධී කැරැල්ලක් එල්ල නොවීමට මහත් පිටුබලයක් විය. 

එළෙසම බොහෝ දෙනෙකු පුරෝකථනය කල පරිදි විජය රාජ්‍යත්වය ලබා ගත් පසු කුවණ්ණා අත්හැර නොදමා ඇය තම සහකාරිය ලෙස නිල වශයෙන් පිළිගැනීම මෙන්ම ඈ හා සමඟ අපරිමිත වූ සෙනෙහසින් බැඳී සිටීම ද යක්ඛ ගෝත්‍රිකයින් තුල ඔහු කෙරෙහි වූ ගෞරවය සහ ප්‍රසාදය සහස් වරකින් වර්ධනය වීමට හේතු කාරක වූයේය. ඒ එසේමය..කුවණ්ණා තවමත් ලංකාද්වීපය පුරා සියළු යක්ඛ ගෝත්‍රිකයන්ගේ සදාදරණීය කුමරිය වූවාය.ඇය විජයගේ බිරිඳ ලෙස දිවිගෙවනාතෙක් ඇය කෙරෙහි දැක්වූ ඔවුන්ගේ භක්තිය කිසිදු අඩුවකින් තොරව විජයටද හිමි වූයේය. 

එසේමය!!! බැලූ බැල්මට ලංකාද්වීපය වනාහී කිසිදු අවුල් වියවුලකින් තොර උත්තර භූමිය හා සාම්‍ය දේශයක් සේ දිස්වූවද අභ්‍යන්තරයෙහි ඒ විදාරණය වීමට ආසන්න යමහලක් සේ පැසෙන්නේය. මේ අභාග්‍යසම්පන්න තත්වයට හේතුකාරක ඔබට උපකල්පනය කල නොහැක්කේද මා ප්‍රිය සහෘදය / සහෘදිනිය?.....එසේය, ඔබ නිවැරදිය..ඊට එකම හේතුවනම් අනාදිමත් කාලයක සිට මෙදියත යුද, කැරළි කල කෝලාහල සියල්ලටම හේතුවන්නාවූ ඒ එකම කරුණය. එනම් මනුෂ්‍යයින්ගේ කිසිදා තෘප්තිමත් නොවෙන අසීමිත බල තණ්හාවයි. 

වත්මනෙහිද එහි කිසිදු වෙනසක් ඇති බවක් ඔබට පෙනේද? සියළු සත්වයින් කෙරෙහි ආදරය සහ කරුණාව දක්වන්නාවූ නිරාමිස අල්පේච්ඡ දිවියකට මඟ පෙන්වනා සනාතන දහමක් දෙසූ ඒ අසමසම මාර්ගෝපදේශකයානන්ගේ සුපිරිසිදු ධර්මය රැඳී ඇති මෙදියත එකම දේශයයයි කටමැත දොඩන මේ දේශයෙහි පාලකයින්ගේ පටන් පූජ්‍ය පක්ෂය මතු නොව රට වැස්සන් පවා නිතොර බල ලෝභිත්වයෙන් පෙලෙමින් සුඛ විහරණයට ලොල් වෙමින් කරනා විප්‍රකාර දැකීම පවා පූර්වයෙහි කරන ලද මහා අකුශල කර්මයක් පලදීමක්ම නොවන්නේද? 

වන්නාටය! වත්මන අප දිවයිනට සිදුව ඇති අභාග්‍යය පිළිබඳ කනස්සළු වීම පසෙක තබා; කිසිදු ඵලක් නොමැති කටයුතුවල යෙදීම පවා කාළය නිකරුණේ අපතේ හැරීමකි; යළිදු විජය-කුවණ්ණා කථා පුවතට එලඹීමට මට අවසර..... 

එදවස ලංකාද්වීපයෙහි අහිමිවීගිය වරප්‍රසාද පිළිබඳව නිරතුරු සිතමින් රාජ්‍යයට විරුද්ධව නැඟී සිටීමට අවශේෂ යක්ඛ ගෝත්‍රිකයින් පෙළඹවීමට උත්සාහ දරන යක්ඛ ප්‍රභූවරුන්ගේ චර්යාව අවබෝධ කොට ගැනීම එතරම් දුෂ්කර නොවූවද විශ්මයට කාරණය වූයේ විජය හා සමඟම වංග දේශයෙන් පිටුවහල්ව පැමිණි ඔහුගේ එක්කුස ඔත් බෑයන් බඳුවූ මිතුරන් ඔහුට විරුද්ධ වීමය. 

එසේ විරුද්ධ වූවෝ එළිපිට එසේ නොකල මුත් ඔවුනගේ සිත්තුල ඒ මිත්‍රද්‍රෝහී අදහස් නිසල විල් තලයක අභ්‍යන්තරයේ කරකැවෙන දියසුළියක් පරිද්දෙන් නිරතුරු දඟකැවෙන බව කිසිවෙකුට රහසක් නොවීය. 

හා.... අප වනාහී එකටම වංග දේශයෙන් පිටුවහල් කරන ලද්දෝ වෙති. ඔහු ද අප වන්ම පිටුවහලෙකි. ඔහු රජකුගේ පුතකු බව සත්‍යයකි.එහෙත් ඒ කුමාරකම් වලංගු වනුයේ වංග දේශයෙහි සතර සීමාවන් තුලදී පමණි. ලංකාද්වීපයෙහි ඔහු වනාහී පිටුවහලෙකු පමණය. අප මෙන්ම පිටුවහලෙක් පමණය. කුවණ්ණාවන් වශී කොටගෙන ඔහු රාජ්‍යත්වය ලබාගත්බව සැබවි. එහෙත් මෙහි කිරුලට ඔහුට සමාන වූ හිමිකමක් අපටද පවතින්නේය. 

මෙසේ සිතූවෝ රාජ්‍ය අභ්‍යන්තරයෙහි වියවුල් ස්වභාවයක් උද්ගතකිරීම තම සිතැඟි මුදුන්පත් කොට ගැනීමෙහිලා ඒකායන මාර්ගය ලෙස දුටුවෝ ඒ වෙනුවෙන් සියළු උපක්‍රම යෙදුවෝය. යක්ඛ ගෝත්‍රිකයින් වෙනුවෙන් විජය යෝජනාකල ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක වීම පොදු ජනයා අතර ඔහුගේ ජනප්‍රසාදය ඉහළ නංවන්නක් බව වටහා ගත් ඔවුහු හැකි සෑමවිටම කිසිවෙකුට නොදැනෙන පරිදි ඒ කඩාකප්පල් කිරීමෙහිලා පසුබට නොවූහ. එසේම හැකි සෑමවිටම යක්ඛ ගෝත්‍රිකයින් නිකරුණේ තලා පෙලා ඔවුනට හිරිහැර කලේද ඒ සියල්ල විජයගේ ගිණුමට බැරව අවසන ඔවුන්ගේ වාසියටම කටයුතු යෙදෙන බව එක පැහැර දත් හෙයිනි. 

විජය මේ පිළිබඳව සපුරා දැනසිටියද අමාත්‍ය මණ්ඩලයේම සාමාජිකයින්වූ මේ මිත්‍රද්‍රෝහීන්ට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකිව කල් යැවූයේ අමාත්‍යවරුහු හුදෙක් ඔවුන්ගේ අණට පමණක් අඩංගුවන සෙබළුන් ගෙන් සැදුම්ලත් සේනාංක නඩත්තු කල හෙයිනි. එලෙසම සම්මත රාජ්‍යය සම්ප්‍රදාය අනුව විජය ක්ෂත්‍රිය කුමරියක අවාහ වී නොතිබීම කරණකොටගෙන ඔහුගේ ලක්දිව කිරුළට ඇති නීත්‍යානුකූල අයිතිය භාරතයේ රාජ සභාවන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද අමාත්‍යවරුන්ගේ නොදැමුණු, අත්තනෝමතික ක්‍රියාකලාපයට තවත් හේතුවක් විය. 

රාජ සභාවෙහි ඒකමතික තීරණය විජය මදුරාපුර රජ කුමරිය හා සමඟ විවාහ වියයුතුය යන්න වුවද ඒ එකම තීරණය කරා ඇමතිවරුන් එලඹියේ කණ්ඩායම් දෙකකට බෙදී හාත්පසින්ම වෙනස් වූ අරමුණු සාධනය කොටගනු උදෙසාය.විජයට අත්‍යන්තයෙන් හිතවත්වූ ඇමතිවරු මදුරාපුර රාජ්‍යය හා සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැන්ම අභ්‍යන්තර වියවුල් සහ කුමන්ත්‍රණ මැඩපැවැත්වීමට හේතුවනු ඇතැයි යන විශ්වාසයෙන් ද බල ලෝභී ඇමතිවරු මදුරාපුර කුමර හා විවාහවනු පිණිස විජය කුවණ්ණාගෙන් වෙන්වීම යක්ඛ ගෝත්‍රිකයින් අතර ඔහුගේ ප්‍රසාදය අතුරුදන්ව අභ්‍යන්තර කෝලාහල උග්‍ර වීමට හේතුවනු ඇතැයිද යන අපේක්ෂාවෙන් ද යෝජනාවට පූර්ණ සහය පලකළහ. 

හුදෙක් විජයගේ සහ ලංකාද්වීපයෙහි අනාගත ශුභසිද්ධිය අපේක්ෂාවෙන් වේවා නො එසේනම් තම නොයෙක් සැඟවුනු න්‍යායය පත්‍රයන් මුදුන්පත් කොට ගැනීමෙහි ඒකායන අභිලාෂයෙන් වේවා රාජසභාව ඒකමතිකව තම තීරණය දැනුම් දුන් කල්හි විජය ඉදිරියේ වූයේ විකල්ප දෙකක් පමණකි.එනම් එම තීරණයට එකඟ වීම නැතහොත් කිරුළ හැරදා කුවණ්ණා සහ දරු දෙදෙනාද සමඟ සමඟ අප්‍රකටව දිවි ගෙවීමය. 

විජය තීරණයකට එලඹියේය. තම සෙනෙහස වෙනුවෙන් කිරුළ කැපකිරීමට ඔහු තීරණය කළේය. 

එසඳ අතීත කථාව අවසන අප එනම් ඔබ සහ මම ...මා දයාබර සහෘදය / සහෘදිනිය වර්තමානයට සැපත්ව සිටින්නෙමු. විජය සහ කුවණ්ණාගේ ආදර අන්දරයෙහි සමාරම්භක කථාංගයෙහි අවසන් ඡේදය කෙරෙහි ඔබේ අවධානය යොමු කරවනු වස් මට අවසර.... 

" එසේනම් උපතිස්ස මම ඔබේ තීරණයට ගරු කරනවා. තව හරියටම හෝරා දෙකකින් රාජ අංගනයේ උතුරු පස බිහි දොර අසලදී හමුවෙමු. අසුන් තිදෙනෙක්, අවශ්‍ය ආයුධ සහ ආහාර ස්වල්පයක් පමණක් රැගෙන එන්න." 

" එසේය රජතුමනි," 

" මම තව දුරටත් රජතුමා නෙවෙයි උපතිස්ස. මේ කෙහෙල්මල් රජකමට පත්වීමට පෙර මට ආමන්ත්‍රනය කල පරිදි විජය කියා මා අමතන්න," 

පියවරක් ඉදිරියට තැබූ විජය දැඩි සෙනෙහසින් උපතිස්ස වැලඳගත්තේය. 

" උපතිස්ස වසර ගනනකින් නොදැනුනු සැහැල්ලුවක් මට දැනෙනවා උපතිස්ස......ජීවිතේ ඉදිරියට ගත කරන්ට තියෙන්නෙ කොපමණ කෙටි කාලයක් වුවත් මේ සැහැල්ලුව ඒකට හිලව්වට හොඳටම වටිනවා. හරි හරියටම හෝරා දෙකකින් හමු වෙමු. කුවණ්ණාට මේ සුබ ආරංචිය දැනුම් දෙනතෙක් මට ඉවසුමක් නෑ." 

මෙසේ පැවසූ විජය රජෙකු ලෙස නොව ආදරණීය පෙම්වතකු, සදාදර ස්වාමියකු ලෙස කුවණ්නා කුමරිය හමුවීමට ගියේ සැහැල්ලු උද්දාමයට පත් වූ සිතකිනි. 

රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. 

වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. 

වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි. 

විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය. 

තම ප්‍රාසාදයට ඇතුළු වූ විජය කුවණ්ණා පිටි අංගනයට ඇරුණු ද්වාරය අබියස කවිච්චියක අසුන්ගෙන හිඳිනු දුටුවේ සෙමෙන් ඈ වෙත ගියේ ඈ අසල අසුන් ගත්තේය. කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස නෙත් යොමු කළාය. ඒ දෑස් කඳුලින් බරවී නොතිබුණද මලානික විලක්කු ආලෝකයෙන් දිළිසුනු නියා කඳුලු එහි රැඳී ඇතිබැව් විජයට පසක් කලේය.පසුගිය සිව් වස මුළුල්ලේ ඇගේ දෑස් කොපමණ වරක් ඔහු නිවැරදිව කියවා ඇත්ද?...එහි රැඳි ආනන්දය, සෙනෙහස, දාරක ප්‍රේමය, සංවේගය මෙන්ම කෝපයද එක් පැහැර හඳුනා ගැන්මට ඔහු වන් සමතෙක් මෙදියත වෙනත් කොතැනක නම් සිටීද? 

ඇගේ දෙනෙත පිරි සංවේගය සහ බලාපොරොත්තු සුන් වූ ස්වභාවය ඔහු එක්වර හැඳින්නේය. 

" කුවණ්ණා.........." 

සෙමෙන් තොල මතුල ඔහු ඇගේ හිස පිරිමදින්නට වූයේ මුදුවූ දැඩි සෙනෙහසකිනි. කුවණ්ණා කඳුළු උනන දෑස් ඔහුගෙන් සඟවනු වස් ඔහු පුළුල් ළය මඬල මත මුහුණ හොවා ගත්තීය. 

" කුමරුනි..රජ සභාවේ තීරණයට මම එකඟයි. හෙට උදෑසනම දරු දෙදෙනාද සමඟ මම මේ ප්‍රාසාදයෙන් පිටවී යන්නෙමි. " 

" සොඳුර, හෙට උදෑසන වන තෙක් පොරොත්තු විය නොහැක, අද තව උපරිමව අඩ හෝරාවක් ඇතුලත අප මාළිගයෙන් පිටවිය යුතුය. " 

කුවණ්ණා වහා හිස ඔසවා ඔහු දෙස බලා සිටියාය. 

" මේ දැන්ම?....මේ මොහොතේම? අහෝ කුමරුනි, මේ මධ්‍යම රාත්‍රියෙහි දරු දෙදෙනාත් කැටුව මම කොයිබක යන්නද?..." 

" මම?...... මම කොයිබක යන්නද?...සොඳුර ඔබ මාපැවසූව හොඳින් ශ්‍රවණය කොට නොමැති බවක් හැඟීයයි. මා පැවසූයේ ඔබ මාළිගයෙන් පිටවියයුතු බවක් නොව අප මාලිගයෙන් පිටවිය යුතු බවකි. " 

" කුමරුණි……" 

විස්මයාහව දෑස් ඔහු දෙනෙත් වෙත එකලාව රඳවමින් ඈ පැවසූයේ හැඟීම් බර ස්වරයකිනි. 


මතු සම්බන්ධයි......

Monday, July 1, 2013

198. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන ඉස්කෝලේ යාම

මේ අර දණගැස්සවීම ගැන මම ලියන්ට කියල ඉඳගත්තම එක පෙලට හිතට ගලාගෙන ආපු මතක සටහන් වල ඉතිරි කොටස.... 

ඒ කතාවෙ අර තුනේ පංතියෙ පොඩි එවුන් දෙන්නගෙ " ආ..ඒ අර පී.ටී. මැඩම්ගෙ ගෙදර අතුගාන එක්කෙනානෙ " කතාව ලියද්දි ඔය වගේම පොඩි එකෙක් කියාපු තවත් අපූරු කතාවක් මට මතක් උනා. 

මම කලින් කතාවකදි කිව්වනෙ මම මෙහෙ ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කය කියල. එයාට ඉන්නව පොඩි කොල්ලො දෙන්නෙක්. ලොකු එකා තමයි අර ගිණිකඳු කතාව මගෙන් ඇහුවෙ.පොඩ්ඩට වයස හතරහමාරයි.මට හරිම ආදරෙයි.කොයි වෙලෙත් මයෙ කරේමයි. 

" රවි අංකල් අරක කොහොමද? මේක කොහොමද? එහෙම වෙන්නෙ ඇයි?...මෙහෙම වෙන්නෙ ඇයි? " 

ප්‍රශ්න වලට උත්තර දීල මට දවස හරි...මේ ලියනකොට උනත් ඇවිල්ල අහනව මොනවද ඔය ලියන්නෙ කියල. මම ඉතිං කිව්වම කතාවක් ලියනවය කියල මිනිහට ඕන ඒකෙ විස්තර දැනගන්ට...මමත් ඉතිං ඔය ඒ වෙලාවට මොනව හරි කියල බේරෙනව.එහෙම නැත්තං මනුස්සය යන්නෙම නෑ. මුද්දරේ ඇලෙව්ව වගෙ මයෙ ලඟමයි. 

ටී රෙක්ස් ගැන හැමෝම දන්නව ඇති නේද? වසර මිලියන 65 වගෙ ඉස්සර පොළෝතලය මත ජීවත්වෙලා වඳවීගිය දේහ ප්‍රමාණයෙන් අති දැවැන්ත සත්ව කොට්ඨාශයක්....උංට කියන්නෙ ඩයිනෝසරයො කියල… 

මම ඩයිනෝසරයන් ගැන මුලින්ම ඉගෙන ගත්තෙ හතේ පන්තියෙ සමාජ අධ්‍යයනය පාඩමෙන්.පෘථිවියේ උපත, ජීවයේ සම්භවය, ඩාවින්ගේ පරිණාමවාදය, මිසර ශිෂ්ඨාචාරය, දෙගංමැදි රාජ්‍යය, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, චීන ශිෂ්ඨාචාරය විතරක් නෙවෙයි මාකෝ පෝලෝ, වස්කෝ ද ගාමා, මැගලන් සහ සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් වගෙ දේශාටකයො ගැනත් අපේ 6,7,8 සහ 9 වසරෙ සමාජ අධ්‍යයනය පොත් වල ඉතාම රසවත් තොරතුරු පිරිල තිබ්බ. ඇත්තම කිව්වොත් අදටත් මයෙ හිතේ තියන රටේ ලෝකෙ ගැන නොයෙක් තොරතුරු සොයා බැලීමේ උනන්දුව මුලින්ම සාර භූමියක ඉන්දවන බිජුවටක් වගේ මයෙ හිතේ ඉන්දෙව්වෙ ඒ සමාජ අධ්‍යයනය පොත් පෙළ... 

අපි ඉතිං හත වසරෙදි ඩයිනෝසර්ල ගැන ඉගෙන ගත්තට ජුරසික් පාක් චිත්‍රපටයට පිංසිද්දවෙන්ට දැං කොල්ලො කෙල්ලො අවුරුදු තුන හතර වෙද්දි ඩයිනෝසර්ල ගැන විසේසඥයො....මයෙ යාලුවගෙ පොඩි එකා..මයෙ අතිජාත කුඩා මිතුරා..ඒකත් එහෙමයි. ටී රෙක්ස් ගැන ඒකා නොදන්න මල ඉලව්වක් නෑ... 

" රවි අංකල්..අපි දෙන්න අද ටී රෙක්ස් බලමුද? " 

ඔන්න ඔහොම අහගෙනයි මයෙ කාමරේට එන්නෙ… 

" හා, බලමුකො ..හැබැයි ඔන්න විනාඩි පහලවයි හොඳද? මට තියනව වැඩක්….." 

ඔහොම කියල මම ජුරසික් පාක් ෆිල්ම් එක හරි ටී රෙක්ස් ගැන වෙන වැඩ සටහනක් හරි මගෙ ලැප් ටොප් එකේ දාල දෙනව.කොල්ල මගෙ පුටුවෙ ඉඳගෙන කටත් ඇරගෙන විනාඩි බාගෙන් වාගෙට වාව්..වාව්..කිය කිය ඔන්න ටී රෙක්ස් දිහා බලා ඉන්නව. මම එතනම ඇඳේ දිගාවෙලා මොකක් හරි පොතක් කියවනව.හිටපු ගමන් පොඩි එකා මගෙ පැත්තට හැරිල ප්‍රශ්න අහනව. 

" අංකල් ?????..." 

" හ්ම්ම්ම්...." 

මම පොතදිහා බලාගෙනම හූ මිටි තියනව. 

" අංකල්..කෝ ඉතිං අංකල් මේ පැත්ත බලන්නෙ නෑනෙ...." 

කොල්ලට හද්ද කුණුහබ්බෙං හිත යටිං බැණ බැණ මම පොත වහල දාල ඒ පැත්ත හැරෙනව... 

" ඇයි අංකල් සූ එකේ එහෙම ඩයිනෝසර්ල නැත්තෙ?...." 

උඹෙ මහ එකාගෙං ගිහිල්ල අහපිය ..මොනවද ආය එහෙනං?....යකෝ මේක මාර කෙළියක්නෙ...මම මොනවටද මුගෙ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ...එහෙම හිතුවට මම ඒ ටික වචන වලට හැරෙව්වෙ එහෙම නෑ..අනික පොඩි එකෙක්ට නොදන්න දෙයක් කියාදෙන එක වගෙ සතුටක් තවත් තියනවද? ඔන්න ඔහොම හිතල හිත සංසුං කරගෙන මම පොඩි එකා දිහාට හැරෙනව. 

" ඒ මේකනෙ පුතා..ඩයිනෝසර්ල හිටියෙ ගොඩක් ඈත කාලෙක...හුඟාක් ඉස්සර..දැං ඒ ගොල්ල නැතිවෙලා ගිහිල්ල…. ඒකයි සූ එකේ එහෙම එයාල නැත්තෙ." 

" ගොඩාක් ඉස්සර කියන්නෙ?...තාත්තිල පොඩි කාලෙටත් ඉස්සරද?..." 

උගෙ තාත්ති පොඩි කාලෙ තමයි ඒකා දන්න ඉස්සරම කාලෙ...හෙහ්...හෙහ් 

" හපොයි ඔව්නෙ...ඒ කාලෙටත් ගොඩාආආ......ක් ඉස්සර " 

මම ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා. 

" ඒ කාලෙ කාර් එහෙම තිබ්බද? " 

" මොන පිස්සුද දරුවා..ඒ කාලෙ කාර් බස් තියා මිනිස්සුත් හිටියෙ නෑ…" 

" ඉතිං ටී රෙක්ස්ලා ඒ කාලෙ කෑවෙ මොනවද?..කාරුත් නැත්තං මිනිස්සුත් නැත්තං.." 

ඔන්න එතකොට තමයි මට මීටර් උනේ..පොඩ්ඩා මේ මොනවද කියන්නෙ කියල..ජුරසික් පාක් ෆිල්ම් එකේ තියනවනෙ ටී රෙක්ස් කාර් එකක් පෙරළගෙන හපන සීන් එකක් සහ මිනිස්සුංව කන එකක් එහෙම..පොඩි එකා හිතල තියෙන්නෙ ටී රෙක්ස්ලා කෑවෙ මිනිස්සුනුයි කාරුයි කියල 



" නෑ දරුවා..ඒ ෆිල්ම්ස්වල බොරුවට දාන එව්වනෙ..ටී රෙක්ස්ලා ඇත්තටම කෑවෙ වෙන ඩයිනෝසර්ලව.අර ඒ ෆිල්ම් එකේම පෙන්නන්නෙ එහෙම එව්ව.." 

" ආ...ඇත්ත තමයි..අර හයියෙං දුවන පොඩි ඩයිනසෝර්ලව අල්ලං කනව නේද? මට මතකයි..මට මතකයි.." 

කොළුව ඔලුවත් ඉහලට පහලට හොල්ල හොල්ල කිව්ව. 

ඒ ටී රෙක්ස් කතාව ඔන්න ඉවරයි..ඊට සතියකට දෙහෙකට පස් සෙ සිකුරාද දවසක මම දවල් කෑම එහෙම සප්පායං වෙල ඇඳේ පොඩි හාන්සියක් දාල ආතල් එකේ හිටියයි කියමුකො. මෙන්න දොර ඇරගෙන ආපි පොඩි එකා කාමරේට. ඇවිල්ල මගෙ ඇඳේම පැත්තක ඉඳ ගත්ත. 

" අංකල්... අනේ අංකල්…. මට කතන්දරයක් කියන්නකො...." 

මගෙ උරෙස්සෙං අල්ලල හොල්ලන ගමං කිව්ව. 

මොන කතංදරද බොල මේ වෙලාවට..මම මේ පොඩි ඇලට් එකක් ගහන්න හැදුවෙ. නිදිමත බේරෙනව ඇස් දෙකෙං මම එහෙම කිව්වෙ නෑ හිතුව විතරයි..කිව්වෙ මෙන්න මෙහෙම. 

" අනේ පුතේ මම කියන්නද? ඔයානෙ ඉස්කෝලෙ යන්නෙ..ඔයාට ඉස්කෝලෙදි මිස් කියල දුන්නු කතන්දරයක් කියන්නකො.... මම අහගෙන ඉන්නං " 

" ඇයි අංකල් ඉස්කෝලෙ යන කාලෙ කතන්දර කියල දුන්නෙ නැද්ද? " 

මේකා අහපි ඇස් දෙකත් ලොකු කරගෙන… 

" මොකෝ නැතුව කියල දුන්න...කියල දුන්න..ඒත් ඒ ගොඩාක් ඉස්සරනෙව, මට දැං එව්ව මතක නෑ.." 

" ගොඩාක් ඉස්සර කිව්වෙ?..." 

" අපෝ මම ඉස්කෝලෙ ගියෙ දරුවො ගොඩාආආආක් ඉස්සර…" 

" ආ....අර ටී රෙක්ස්ල හිටියෙ ..ඒ කාලෙද අංකල් ඉස්කෝලෙ ගියෙ? " 

ඇස් බෝල දෙකත් ලොකු කරගෙන අහපු විදිහට මට මැරෙන්ඩ හිනා..ඔන්න නිදිමතත් කොහෙං ගියාද නෑ... 

දන්නවනෙ මගෙ පරිකල්පන ශක්තිය ( Imagination ) හෙහ්, හෙහ්, අම්මට වූඩු..තාත්තට ගෝයා..... පරිකල්පනේ වැඩ කොරන්න ගත්ත ඕවර් ඩ්‍රයිව්. මම ඇඳේ දිගා වෙල හිටපු එකා ඔන්න කෙලින් වෙලා කොට්ටෙ ඇඳ වියලට හේත්තු කරල ඒකට වාරු උනා. 

" ඒ කාලෙ දරුවා මෙහෙමයි ඔන්න...ඔය ටී රෙක්ස්ල ඉන්නව නේද?...." 

මම කතාව පටංගත්තා. 

" හා ඉතිං?....." 

කොල්ලගෙ කටත් එක්ක ඇරුන අප්පල්ලෙ වාගෙ. ඌටත් ඔය බහුබූත කතා අහන්ට තියනවනං ඊට වඩා දෙයක් නෑ. කන්නෙ බොන්නෙ නැතුව අහගෙන ඉඳී කටත් ඇරගෙන.ඌත් ඇවිල්ල මගෙ කොට්ටෙම පැත්තකිං ඔලුව තියාගෙන මම හිටපු විදිහටම කකුල් දිගඇරගත්ත. 

" අපෙ ගෙදර ගාවම තිබ්බ මහ විසාල කැලයක්.." 

" හා……..ඉතිං???? " 

කොල්ල කටත් ඇරගෙන අහගෙන ඉන්නව. 

" ඔය කැලේ හිටිය ටී රෙක්ස්ල හතර පස් දෙනෙක්…" 

පොඩි එකාට මොකවත් කියාගන්ට බෑ..මා දිහා බලා ඉන්නව ඇසුත් ජිල්බෝල වගෙ කරගෙන.. 

" නෑ????..අංකල් දැක්කද ටී රෙක්ස්ලව? …" 

" දැක්කදත් අහනව...ඔන්න උදේට ඉස්කෝලෙ පටන් ගන්නෙ සෙවන් තර්ටි වලටනෙ. " 

ඉස්කෝලෙ ඉංග්ලිශ් මීඩියම් ඉගෙන ගන්න නිසා මිනිහට එහෙම කිව්වම තේරුම් ගන්න ලේසියි. 

" ඉතිං සෙවන් තර්ටි වලට ඉස්කෝලෙ පටන් ගත්තට මම සික්ස් තර්ටි වගෙ වෙනකොට ගෙදරිං පිටත් වෙනව. " 

එහෙම කියල මම කතාව නවත්තල කොල්ලගෙ මූණ බලනව. 

" ඒ මොකද එහෙම කලිං යන්නෙ? " 

මම බලාපොරොත්තු වුන විදිහටම පොඩ්ඩ අහනව. 

" ඒ මොකද දන්නවද?....." 

මම කටහඬ බාල කරනව ත්‍රාසජනක ස්වරයකට..... 

" ටී රෙක්ස්ල ඉන්නව මම එනකල් බලාගෙන අර කැළේ ගස් අස්සෙ හැංගිල…" 

" ඒ මොකටද අංකල්?...." 

කොල්ලත් කතාකරන්නෙ ඇහෙන නෑහෙන ගාණට… 

" වෙන මොකටවත් නෙවෙයි. එයාල බලා ඉන්නෙ මාව අල්ලං කන්ට…" 

" Oh, Coooool….ඉතීඊඊඊඊඊං????? …….ඔයා කොහොමද බේරෙන්නෙ?...." 

" හහ්, ටී රෙක්ස්ල කොහෙද මාව අල්ල ගන්නෙ?.....මම කට්ටයි එයාලට වැඩිය. " 

" ඉතිං??? අංකල් මොකද කරන්නෙ?...." 

" මම ගෙදරිං යන්නෙ බැදපු චිකන් කෑලි තුන හතරක් ෂොපිං බෑග් එහෙම ඔතාගෙන. " 

" ඈඈඈ......??? අර මොකටද? " 

" අර මොකටද කියන්නෙ ටී රෙක්ස් මාව කන්න එනව ඔන්න පැනගෙන. එතකොටම මම කරන්නෙ අර චිකන් කෑල්ලක් වීසි කරනව ඈතට. ඌ ඒකෙ සුවඳට ඒ පස්සෙ යනකොට මම දුවල යනව ඉස්කොලෙට. " 

" එතකොට තව ටී රෙක්ස් කෙනෙක් ආවොත් ? " 

" ඇයි මම කිව්වෙ මා ගාව චිකන් කෑලි තුන හතරක් තියනවය කියල…...මම කරන්නෙ තව චිකන් කෑල්ලක් විසි කරනව...තේරුණෙයි? " 

" ඒත් ...ඒත්..ටී රෙක්ස්ල කන්නෙ ගෝට්ස්ලනෙ…" 

ජුරසික් පාක් ෆිල්ම් එකේ ටී රෙක්ස් එළුවෙක් කන සීන් එකක් තියනව. පොඩි එකාට ඒක මතකයි.. 

" හරි හරි, එහෙම තිබ්බට මට ඉස්කෝලෙ යනකොට එළුවො අරං යන්ට බෑනෙ. ඒ නිසා මම කරන්නෙ චිකන් අරං යන එක. " 

" එතකොට ඉස්කෝලෙ ඇරිල ආපහු එද්දි? …." 

" ආ....ඒ වෙලාවට ප්‍රශ්නයක් නෑ...දවල් ටුවෙල්…. ටුවෙල් තර්ටි වගෙ වෙනකොට ටී රෙක්ස්ල බුදියනව. ඉතිං ඒ වලාවට මම හෙමීට ගෙදර එනව කරදරයක් නැතුව....හෙහ්, හෙහ්, " 

පොඩි එකාට මාර සැට...කට කණේ තියාගෙන මා දිහා බලා ඉන්නෙ හරියට මම මේ ලෝකෙ ඉන්න නොම්මර එකේ වීරවරය කියල හිතාගෙන ...හෙහ්, හෙහ්... 

" හරි පුතා දැන් හරිනෙ ටී රෙක්ස් ගැන විස්තරේ..හොඳ ළමය වගෙ දැං එළියට යනවද? අංකල් සුට්ටක් දොයියන්නයි හදන්නෙ…" 

" හා…" 

අපරාදෙ කියන්න බෑ..කොල්ලා කියපු ගමං ඇඳෙං බැස්ස… 

" හෙට ස්කූල් ගිහාම අපෙ මැඩම්ට කියනව මම ටී රෙක්ස්ල අංකල්ව කන්ට පන්නපු හැටි...." 

" හෑ?????.." 

ඔන්න මට ආයෙම නැඟිටුනා..කෙළිය නේද පහන් කන්ද පාමුලටම..මේකා හෙට ගිහිල්ල මම මේ කියපු අහස පොළව නුහූලන පට්ට පල් බොරු කතාව පංතියෙ ටීචර් එක්ක කිව්වොත් වසල හමාරයි. ටීචර් කෝල් කරල මගෙ යාලුවගෙං අහන්ට බැරිනෑ මොනවද මේ පොඩි එකාට කියල දෙන විකාර කියල..මල කෙලි හතයි එහෙම උනොත්. 

" මේ මේ දරුවො..මෙහෙට එන්ටකො....ඔය මම කියල දුන්නෙ ටී රෙක්ස් කතාව කාටවත් කියන්ට එපා හොඳද? අර ජුරසික් පාක් ෆිල්ම් එක වගෙ තමයි මේකතාවත් මම හදපු කතාවක්...මම හිතාගෙන ඉන්නෙ ඒකෙං ෆිල්ම් එකක් හදන්න. මම ඔයාට දෙන්නංකො ටී රෙක්ස් විදිහට ඇක්ට් කරන්න.....ඉතිං ඔන්න ඔයයි මමයි විතරමයි ඒ කතාව දන්නෙ. වෙන කාටවත් කියන්ට ඔට්ටු නෑ හොඳේ? " 

ඔන්න ඔහොම කියලයි යාන්තමට එතනිනුත් ඔළු ගෙඩියෙයි කියන එක බේර ගත්තෙ....හෙහ්, හෙහ්. 

හරි ඒ අතුරු කතාව අහවරයි. දැං එමු බලන්ට ප්‍රධාන මාතෘකාවට..ඒ කිව්වෙ අපෙ මේ අති ගෞරවාර්හ ධුරන්ධර, සත් ගුණවත් පරාර්ථකාමී ගුරුවරී මහත්මිය සමඟ ගෙවූ මගේ දිවිය..ආන්න ඒකට…. 

ගුරුවරියක් කසාද බඳින්න බහුතරයක් පිරිමි කැමති මොකද දන්නවද? එකහමාරට වැඩ ඉවරයි. ඊට පස් සෙ ගෙදර...ඒ එක්කම අවුරුද්දකට මාස තුනක්වත් නිවාඩු..ඔන්න ඔය හින්ද..හුහ්, ඒකට අපෙ උන්දැ.... 

බැඳල ඔන්නම් මාසයක් එන්න ඇති ඉස්කෝලෙ ඇරිල වෙලාවට ගෙදර. 

" මේ මම මේ සුමානෙ හවස ඉස්කෝලෙං පස් සෙ ඉඳලයි එන්නෙ. ඩිස්ට්‍රික්ට් මීට් එක තියනවනෙ. කොල්ලො කෙල්ලො ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවන්න ඕන. " 

" හා, හා, ඔයා ඒ වැඩේ කරන්න. තමන්ගෙ වැඩේ හරියට කරන්න එපාය. " 

තමන් මාසෙ අන්තිමට ගන්න පඩියට හරියන්න ඒ ගන්න සල්ලිවලට ලැජ්ජාවක් නොවෙන තමන්ට පැවරිලා තියෙන රාජකාරිය උපරිම මට්ටමින් කරන්න ඕනය කියල මමත් එකහෙලාම විශ්වාස කරපු සහ එහෙම ක්‍රියාකරපු නිසා මගෙං එයාට වචනෙකින් වත් කිසිම බාධාවක් උනේ නෑ. උදව්වක් සහ ධෛර්යයක් මිසක. 

හප්පච්චියේ ඉබ්බ දියට දාන්ට හදනකොට දැන් නෑවෙ කිව්වලු. මුන්දැටත් මදැයි ඕක..ඊට පස් සෙ ඉතිං සතියකට කොහොමත් දවස් දෙකක් තුනක්වත් ගෙදර එනකොට හවස පහ නැත්තං පහමාරයි. 

දවසක් ඔන්න අපි දෙන්න රෑට කනගමන් .... 

" මේ අනිද්දට කුරුණෑගල තියනව ඒජ් ගෲප් ස්කූල්ස් ඇත්ලටික් මීට් එක. අපෙ ඉස්කෝලෙ පොඩි එකෙකුත් තේරිල අන්ඩර් ෆෝටීන් මීටර් පණහට. " 

" ඉතිං?...... සික් මුංගෙ පාං මෙලොව රහක් නෑ. කටේදිම පිටි ටික ගුලි වෙනව පාප්ප වගෙ…" 

එහෙම කිව්වට මම ඒත් එක්කම…… 

" දෙන්ඩකො අනේ තව පාං කෑල්ලක්. ඔයාගෙ පොල් සම්බෝලෙ නම් මරු, දෙහි එහෙම ගානට…" 

එහෙමත් කිව්ව අනේ පව් උන්දැගෙ කට කණේ... 

" ඉතිං මොකක්ද අර පොඩි එකෙක් ගැන කියන්ට ආව නේද? " 

" ආ..ඔව්..ඔව්..කොල්ලගෙ නම අසිත.....ගෙවල් තියෙන්නෙ ඉස්කෝලෙ ඉඳල කිලෝමීටර් හතරක් විතර ගම මැද්දෑවෙ. අනික මේ දවස්වල පාන්දර අලි ඉන්නවලු පාරෙ. ඒ නිසා වෙලාවට පාරට එන්ට බැරිවෙයිලු. උදේ නමයට පිට්ටනියෙ ඉන්ට ඕන. ඒ නිසා මම හිතාගෙන ඉන්නෙ මෙහෙම කරන්ට.හෙට පොඩි එකා මෙහෙ එක්ක ඇවිල්ල රෑට නතරකරගෙන ඉඳල අනිද්ද උදෙම්ම පහමාරෙ බස් එකේ දඹුල්ලට ගිහිල්ල එතනිං කුරුණෑගල් යන්ට. " 

" හරි හරි ඒකට මක් වෙනවද?..එක්ක එන්ට එක්ක එන්ට..පව්නෙ පොඩි එකා...එහෙමවත් උදව්වක් කරන්ට තියේනං කොච්චර එකක්ද? " 

මම බොහොම උනන්දුවෙන් කිව්වා. 


මතු සම්බන්ධයි...... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...