Tuesday, July 30, 2013

206. කිරුළ සහ සෙනෙහස ……12

කිරුළ සහ සෙනෙහස ……1 


Google Images

මහානදිය එතෙර වීමට ශක්තිමත් වූ මිල්ල දඬු එකිනෙක වෙළු කැවී කිරිල්ල වැලින් වෙලා සකස් කොට තිබූ පහුරකි. අසුන් දෙදෙන ගෙනයාමට පහුර මෙගොඩ තොටුපොළට ගොස් යළි පැමිණෙනතෙක් ඔවුහු එගොඩ මහ නුග වනස්පතියක් සෙවණෙහි විවේක ගත්හ. මෙවන් සුවිසක් දිය පහරක් කිසිදින නුදුටු වීරූ කුඩාවෝ මහත් හර්ෂයෙන් ප්‍රීති නාද නංවමින් නොගැඹුරු දියෙහි ශ්වේත වර්ණවූ සුසිනිඳු ඇල්ල මත පෙරැළී කෙළිදෙලෙන් ගත කළහ. 

" කුවණ්ණා..මා දියණිය..ඔබ සිව් දෙනාට වාසය පිණිස මම මගේ නිවස්නය ආසන්නයේම මනා ඉඩ පහසුකමින් යුතු නව නිවස්නයක් තැනීම දැනටමත් අරඹා ඇත. දින දෙකකින් පමණ එහි වැඩ කටයුතු නිමවනතෙක් ඔබට මා සමඟ වාසය කළ හැක. " 

වාශිෂ්ඨයෝ දරුවන්ගේ දඟකාරකම් මන්දස්මිතියකින් යුතුව බලා මොහොතක් නරඹමින් සිටියෝ ඔවුන් දෙසට හිස හරවා පැවසූහ. 

විජය කුවණ්ණා දෙස ක්ෂණිකව බැල්මක් යොමුකොට යලි ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නඟන දියණිය සහ පුත්‍රයා දෙසට හැරුනේය. මේ පිළිබඳව ඔවුහු දුම්රක්ගල කරා පැමිණෙන අතර වාරයෙහිදී සාකච්ඡා කොට තීරණයකට එලඹ තිබිණි. 

" මුත්තණුවනි..ඔබ අමනාප නොවන්නේනම්……." 

කුවණ්ණා වාසිෂ්ඨී දෙස බැගෑපත් බැල්මෙන් බලා සිටියාය. 

" කුවණ්ණා..මා අමනාප වන්නේ කුමකටද? ඔබගේ සිතැඟියාවන් නොවලහා පවසනු මැන.. "

" මුත්තණුවනි.. අප ඔබගේ ගම්මානයෙන් මඳක් දුරස්ව වන මැද සුදුසු ස්ථානයක දිවිගෙවනු කැමැත්තෙමු. "


" වන්නාටය! ඔබගේ කැමැත්ත එසේනම් ඒ එසේම වනු ඇත. ගම්මානයෙන් බොහෝ දුර බැහැර නොවන්නාවූ කුඩා කඳුගැටයක මස්තකයෙහි පිහිටි ඉඩ පහසුකම් ඇති මනා ආවරණයෙන් යුතු ගල් ලෙනක් පිළිබඳව මම දනිමි. ඒ ඔබට මනා ආරක්ෂක ස්ථානයක් වනු නිසැකය. "

වාසිෂ්ඨී පැවසූයේ සිනා මුසු මුහුණිනි. 

විජය ප්‍රීතියෙන් ඉපිලගිය හදින් යුතුව කුවණ්ණා දෙස බලා සිනාසුනේය. කුවණ්ණාගේ මුත්තණුවන් ගේ ආරක්ෂාව ඔවුනට අත්‍යාවශ්‍ය වුවද පූර්ණ වශයෙන් ඔහුගේ ත්‍යාගශීලීතාවය මත රඳාපවතිමින් ඔහු සෙවණේ වසන්නට විජය කිසිසේත් කැමති නොවූයේය. 

ස්වභාවයෙන්ම ප්‍රෞඪ සහ අනම්‍ය චරිත ස්වභාවයක් උරුමවූ ඔහු එමෙන්ම දින දෙකකට ඉහත වනතෙක් මුළු මහත් ලංකාද්වීපයෙහිම අසහාය නායකයා වූ එබැවින්ම ඒ මානසිකත්වයෙන් තවමත් අත්මිදිය නොහැකිවීමට බොහෝවිට ඉඩ ප්‍රස්ථාව ඇති හෙයින්ද වාසිෂ්ඨීගෙන් සෙවණේම නොව යම්තරමකට දුරස්ව වාසය කිරීම ප්‍රඥාගෝචර බව සිතූ කුවණ්ණා ද ඔහුගේ අදහසට එකහෙලා එකඟ වූවාය. 

එසේ වුවද කුවණ්ණා ලක් කිරුළ විජයට පවරාදීම නුරුස්සනා යක්ඛ ගෝත්‍රිකයන් මෙන්ම විජය අත්හැර ලූ ඒ ලක් කිරුළ ට අයිතිවාසිකම් කියන්නාවූ ඔහුගේම සගයින් යන දෙකොටසින්ම ඔවුනට විය හැකි අනතුරු වලින් ආරක්ෂාවනු පිණිස වාශිෂ්ඨී ගේ වාසභූමිය අසල බොහෝ දුරකින් නොවන රක්ෂාවරණිත ස්ථානයක වැදගත් කමද කුවණ්ණා මෙන්ම විජයද මනා කොට දැන සිටියෝය. 

ඔවුනගේ වාසස්ථානය ලෙස වාශිෂ්ඨී යෝජනා කල ගල්ලෙන මේ සියළු කරුණු කාරණා මනා ලෙස තෘප්ත කරන්නක් වීම ඔවුන්ගේ මහත් අමන්දානන්දයට හේතුවූයේය.ඒ ඔවුන් සිව්දෙනාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩ කඩ සහිත විය.

වසරේ මුල් මාස කිහිපය මුලුල්ලේ දිවයිනේ නැගෙනහිර වන ගහනයට අනවරතව ඇද හැලෙනා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් මෙන්ම ඒ හා සමඟම පැමිණෙන තද සුළඟින් ආරක්ෂාවීම උදෙසා සිරස් ගල් පර්වතයෙන් ඉදිරියට නෙරා ගිය පියස්සක් වන් ආවරණයකින් රක්ෂාව සැළසුනු සුවිසල් ගල්ලෙනෙහි පොළොව තීව්‍ර වර්ෂා සමයෙක්දී වුව අපහසුවකින් තොරව ගිනි මැලයක් දල්වා පවත්වාගත හැකි පමණ වියළිව පැවැතිණි.

ගල්ලෙන ඉදිරිපිට වූ සුවිසල් නුග රුකෙකින් සෙවණදුන් සමතල භූමි භාගයෙකි. ඒ වනස්පතිය පාමුළ හිඳගත්තෙකුට කඳුගැටය හාත්පස ඇසට අසුවන මානය තෙක් පැතිරි නිල් වනගහණය මෙන්ම හෝරාවෙක පමණවූ ඇවිදයන දුරෙකින් වූ වාශිෂ්ඨීගේ වාසභවනය වටකොටගත් ඔහුගේ අනෙකුත් සගයින්ගේ නිවෙස් ද ඒ සියල්ල වටා ඉදිකොට තිබූ ආරක්ෂක දඬු වැටද පැහැදිලිව දර්ශනය වේ. 

එලෙසම දඬු වැටෙහි ප්‍රධාන ද්වාරයෙහි සිට ඉද්ද ගැසුවාක් මෙන් එක එල්ලේ මහානදී ඉවුර අසබඩ තොටුපොළ දක්වා දිවෙන බොරළු අතුල මාර්ගයද නදියෙහි එහා ඉවුරෙහි වූ තොටුපොළෙන් ඇරඹී ඈත වනගහණය හරහා පැතිර හරිතවන් තුරු අගිසි අතරේ අතුරුදන් වන ලංකාපුරය දක්වා දිවෙන මාර්ගයද උදෑසන හිරු පායාවිත් හෝරාවක් දෙකක් පමනවනතුරු වියැකී නොගොස් ගුලි ගැසෙනා මිහිදුම් පටල තුනී ගිය කල්හි දැකිය නොහැක්කේ නොවේ. 

ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ මවිසින් ඔබට මින්පෙර සඳහන් කල යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තනාගත් තුනී රොටී විශේෂයයි. ඔවුනට දින කිහිපයකට සෑහෙන පමණ ඒ පිටි තම සහචරයකු අත එවීමට වාශිෂ්ඨී පළමුව යෝජනා කල මුදු කුවණ්ණා ඒ එකහෙලාම ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට ඕ දින තුනකට පමණ වරක් දරුවන්ද කැටුව ජනාවාසයට ගොස් තමනට අවශ්‍ය ධාන්‍ය ප්‍රමාණය තමන්ම අඹරා ගල්ලෙනට රැගෙන ආවාය.

එසේම ලබාගන්නා ධාන්‍ය වෙනුවෙන් විජය විසින් විද මරණ ලද මුව හෝ ගෝන මස් ගාතයක් හෝ දෙකක් කොළ පිරිවැස්සක ඔතා ඔවුන් වෙත ගෙන යාමටද ඇය කිසිදු විටෙක අමතක නොකළාය. වාශිෂ්ඨී කොතෙක් මේ ක්‍රියා පිළිවෙළට විරුද්ධව කරුණු දැක්වූ මුදු කිසිවෙකුට තමන් බරක් විය නොයුතු බව තරයේ ප්‍රකාශ කොට සිටි කුවණ්ණා ඔහු බසට නොනැමුණීය. 

ඔවුන් දෙදෙනගේ ජීවිතය මෙසේ මෙසේ කිසිදු හැල හැප්පීමකින් තොරව ගලාගියේ ගල්ලෙන ඉදිරිපිට වූ සමතල භූමි භාගයෙහි හිඳ දැකගත හැකි මහානදී තොමෝ දැඩි හිරු රශ්මියෙන් වනගහනය පීඩාවට පත්වන්නාවූ නියං සමයෙක ලැසි ගමනින් ගලායන්නාවූ පරිද්දෙනි. 

" කුවණ්ණා...මපියාණන් සහ මෑණියන්ද එදවස ඔවුන් කුඩාවුන් කල දිවි ගෙවා ඇත්තේ ද මෙවන් වූ මහා ගල් ලෙනකය. එමතුද ඔවුන් දෙදෙන උපත ලබා ඇත්තේද එහිදීමය.සිංහ පුරයෙහි රජ මැඳුරක ඉපිද හැදී වැඩුණු මම කිසිදු දිනෙක මෙසේ මහ වන මධ්‍යයෙහි ගල් ලෙනක දිවි ගෙවන්නට වේයැයි සිහිනෙනුදු නොසිතුවෙමි.හෙහ්, හෙහ්..හෙහ්..." 

ක්ෂිතිජ රේඛාවෙන් ඔබ්බෙහි නැගෙනහිර මුහුදු තීරය ඉහළින් පෑයූ සඳ මඬල අහස මුදුනතට අනවරත ගමනෙහි අඩක් ගෙවා තුනී දුහුල් සළුවක් වන් වූ වළාපෙලක් පැළඳ සිටියේය.නෙතු ගැටෙන මානය පුරා පැතිරගිය වන ගහනය ශ්වේත වර්ණයෙන් බැබලියේ සුළු අත් වැරැද්දෙකින් ගෙබිම ඉහිරීගිය කිරි බඳුනක් සිහියට නංවමිනි. 

මහා නදියේ නිසල ජල තලය මත සඳරැස් පතිතව දිලිනි. තොටුපොලින් එගොඩ ලංකා පුරය කරා දිවෙන මාර්ගයෙහි තුරු ලතා සෙවණෙන් තොර පෙදෙස් පැහැදිලිව දැක ගත හැකිවූයේය. ගල්ලෙන ඉදිරිපස වූ වනස්පතියෙහි තුරු පත් සැලුනේ ඈත මුහුදුකරයේ සිට හමා ආ සිහිල් මඳ නල හේතු කොටගෙනය. 

ඒ සිහිල් සුලඟේ දැවටී පැමිණි මල් සුවඳ කුමන වර්ගයේ මලකින් නිකුත් වන්නක්දැයි මල් පිළිබඳ පුළුල් දැනුමකින් යුතු කුවණ්ණා පවා දැන සිටියේ නැත. ඒ පිළිබඳව ඔවුනතර වූ බොහෝ වාද විවාද වලින් අනතුරුව දිවා කාලයෙහි කිහිප වරක් කඳුගැටයේ හාත්පස පීරා සොයා බැලූවද එවන් මලක් දැකගත නොහැකි විය. 

" මේ අපූර්ව සුවඳ හමනුයේ රාත්‍රී කාලයෙහි විකසිතව අළුයමට පෙර මුකුලිත වනා වූ පුෂ්පයකින් විය යුතුය. " 

එවන් අසාර්ථක ගවේෂණ චාරිකාවකින් ඉක්බිති පෙරළා ගල්ලෙන වෙත පැමිණෙමින් කුවණ්ණා පැවසුවාය. 

" මම ද එසේම සිතන්නෙමි. ඒ සුගන්ධය හමනා රාත්‍රිකාලයකම අපි ඒ පිළිබඳව සොය බැලියයුතුය."

විජය ඇයට එකඟවූයේය.  

හෙත් ඉන්පසු බොහෝ රාත්‍රි කාලයන්හි ඒ සුගන්ධය සුපුරුදු පරිදි හැමුවේ වී නමුදු ඔහුහු ද ඒ සුපුරුදු ලෙසම ළය පුරා උකහා ගත් නමුදු ඒ පිළිඅබඳ වැඩිදුර ගවේෂණය කිරීම දිනෙන් දින අත පසු වී ගියේය. 

ඔවුන් හිඳසිටියේ ගල්ලෙන ඉදිරිපිට නුගගස සෙවණේය. වියළි දර ඉපල් රැස්කොට ඇවිලවූ ගිණි මැලය බුර බුරා ඇවිලියේ අහසට ගිණි පුළිඟු නංවමිනි. උණුසුම් වායු දහරාවන්හි දැවටී ඉහල නඟිනා ගිණි පුළිඟු සහසක් වනස්පතියෙහි අතු පතර අතර එසැණින් සැණෙළි නිකුත් කරමින් නිවී යනයුරු බලා සිටි කුවණ්ණා දිගු සුසුමක් හෙලා ඔහුගේ දසරුවට වාරු වූවාය. 

" එහෙත් කුමරුණි ඔබගේ පියාණන් ඒ ගල්ලෙනෙහි කල් ගෙවූයේ කිසිදු සිත සතුටකින් නොවෙන බව ඔබම මා හා පවසා ඇත්තේය.එසේ හෙයින් ඔබ ද එලෙසම කෙදිනක හෝ මේ ගල්ලෙන හැරදාපියා නික්ම යාදෝයි මසිත නිරතුරු බියෙන් තැවෙයි. සොවින් පිරවෙයි…" 

" කුවණ්ණා...ඔබ සිතෙහි කොතෙකුත් මේ විච්කිච්ඡාව මාහට කිසිසේත් වටහාගත නොහැක.අප සිව්දෙන කොතරම් සතුටකින් මෙහි දිවිගෙවන්නෙම් වේද? කියනු මැන මා සොඳුර මේ නඳුනුයන නොවේනම් අන් කුමක්ද? " 

ගල්ලෙන තුලින් ඒ සමඟම නැඟී ආයේ ජීවහත්ථ හෝ දිසාලා සිහිනයෙන් යමක් දොඩන රාවයයි.වහා හිස ඔසවා ඒ දෙසට නෙත් යොමුකල කුවණ්ණා ඒ හඬ නෑසීගිය ඉක්බිති යලි ඔහු උරහිසට බර වූවාය. 

" හෙහ්, හෙහ්..ඔබට ඇසුනේද සොඳුරිය..ඒ අපේ දියණිය හෝ පුත්‍රයා මා පැවසූව සැබෑවක් බවට එකඟතාවය පලකල අයුරුයි. " 

කුවණ්ණා මදහසක් පෑවද ඒ ඇගේ දෙනෙත් කරා පැතිර නොගිය හෙයින් දෙනෙතෙහි රැඳි ශෝකී පෙනුම එලෙසම පැවති බව ඈ දෑස කෙරෙහි එබුනු ඔහුට මනා ලෙස පසක් විය. 

" කුවණ්ණා අප දිවි ගෙවනුයේ මහත්වූ සතුටකින් නොවේද? අප පතූ සියල්ල එළෙසින්ම ඉටුවී ඇතුවා නොවේද? එසේම අපගේ මගේ නඳුන් උයනයි.අපගේ සතුටට කිසිදු බාධාවක් පෙනෙන තෙක් මානයේ නොමැතිව ඔබ අස්ථානයේ සිතින් මවා ගන්නා ලද යම් අනතුරකට බිය වී ඇති සේ මම දකිමි. " 

" එසේමය කුමරුණි..අප මේ විඳිනා මහත්වූ සතුටම මට මහත් බියක් ගෙන දෙන්නේය. මාගේ දයාබර පියාණන් නිතර පැවසූවක් ඔබට සිහිපත් කිරීමට මට අවසර..කුවණ්ණා මා දියණිය...කිසිදු බාධාවක් නොමැතිව ඔබ පැතූ සියල්ල ඉටුවන්නේනම් ඒ ඉතා අස්වාභාවිකය. ලෝකයෙහි, දෛවයෙහි ස්වභාවය කිසිසේත් එසේ නොවේ.එබැවින් සියල්ල සිතූ පරිදි ඉටුවන්නේනම් දියණියනි, ප්‍රවේශම් වන්න...එසේම ඔබ පැවසූ ලෙසම කුමරුණි. මේ නම් නඳුන් උයනයි... ඒ සැබෑවකි. එහෙත් ඒ ද මා සිත බියපත් කරවන්නකි.නඳුන් උයනෙහි සිට එක එල්ලේ නරකාදියට යාමට සිදුවුවහොත් ඒ මා කෙළෙස නම් ඉවසා ගන්නෙම්ද? " 

කුවණ්ණා තම කඳුළු පිරි දෙනෙත් ඔහු වෙත යොමුකරමින් සිහින් හඬකින් පිළිවිසියාය. 

මතු සබැඳි - සැබවක්ම පවසමි මා ප්‍රිය සබඳ / සබඳිනිය....ඒනම් තුදුස්වන සහ අවසාන කොටසමැයි. 

Friday, July 26, 2013

205. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 4......කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්, ගවනර් ජෙනරල් සහ සූකර මද්දව



අපෙ උන්නැහෙ එක්ක මයෙ ජීවිතේ ගැන දැනට කොටස් තුනක් ලිව්ව..හෙහ්, හෙහ්, හපෝයි එවුන්දැ ගැන ලිව්වැහැකි ඇහැ පියාන තව කොටස් විස්සක් තිහක් වත් අඩුගානෙ ...අනෙ අම්මප... 

3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම 

ඔය අපි සෙනෙහෙං බැඳිල ඉන්න කාලෙ උදේට බස් එකේ හම්බ උනාම උන්දැ මට දෙනව අලි බත් ගෙඩියක්… 

අර කොළපතක පට්ට ඇරල, තවල කාරිය හිට, බත බෙදනව කොළපතට. මාළුපිණි කෙහෙල් කොල වල ඔතල ඇන්න බත උඩින් තියනව. ඒ කරල කොළපොත නවනව ගෙඩියක් වගෙ වෙන්ට. ගෝණි මහන අර පත ඉදිකටු දන්නවද? අන්න එහෙකකට කෙහෙල් පට්ට අඹරල දාල ඒකෙං මහනව අර බත් ගෙඩිය. අන්තිමට අඩි දෙකක් විතර දිග කෙහෙල් පට්ටෙකම එල්ලනව . හොඳ හයිය ලීයක කෙලවර ඔය බත් ගෙඩිය එල්ලල අර ලීය කරේ තියාගන්නව. දෙපැත්තෙං ඔන්නං බත් ගෙඩි දෙකක් එල්ලල කදක් වගෙ අරගෙන යන්ටත් පුළුවෙනි. 

හෙහ්, හෙහ්, ඔහොම තමයි නියම කෙරේමෙට බඳිනවනං බත් ගෙඩියක් බඳින්නෙ.මට අපෙ අත්තම්ම තමයි ඔය විස්තරේ කිව්වෙ.. 

" සුට්ටි පුතේ මේං මෙහෙමයි ඒ දවස්වල අපි හීං එවුං කාලෙ වන්දනාවෙ යනකොට එහෙම බත්ගෙඩි බැඳගෙන ගියෙ "  

පෙ අත්තම්මගෙ මුල් ගම රඹුක්කන කිට්ටුව. එහාට කියන්නෙ කංසලගමුව කියල. උන්දැල පොඩි කාලෙ; මේ කියන්නෙ නමසිය දහයෙ වගෙ වෙන්ට ඕන; අළුත් නුවර දේවාලෙ වඳින්ට එහෙම ඔහොම බත් බැඳගෙන ගියාය කියාල මා එක්ක කියනව කෑගල්ලෙ අපෙ ගෙදර පිළේ ඉඳගෙන, අර තිබ්බ රවුං කුළුණකට එහෙම හේත්තු වෙලා. 

ඒ දවස්වල අළුත්නුවර දේවාලෙ මංගල්ලෙට ගමේ කට්ටියම එකට යනවළු උදේ හිමිදිරියෙ යාන්තමට ඇස් මානෙට පේන්ට පටන් ගන්නකොට පිටත් වෙලා පයිම්ම. ඉතිං කොහෙ හරි ඉඩ පාසු මඩුවක් වගෙ තියන ගෙදරකට එකතුවෙලා බබලත්තු රෑ පානුපැයිං පටං ගන්නවලු ඉවිල්ල. ඒ කරල කට්ටියටම දවල් බතට සෑහෙන්ට බත් ගෙඩි හත අටක් හදාගෙන අර මම කලිං කිව්වැගෙ කත් ලීවල එල්ලල පිරිමි තුං හතර දෙනෙක් ඔය කත් අරගෙන ඉස්සර වෙනව. බබලත්තු සුදු ඇඳගෙන තෙල් මලුත් ඇන්න ඒ පස්සෙ වැටෙනව. 


ගමේ කට්ටියම සම්මාදං වෙලා සූජානං කරගත්තු පූජා බාන්ඩ තියෙන්නෙ නඩේ ගුරා විදිහට යන වැඩිහිටියගෙ බාරෙ. අපෙ අත්තම්මගෙ හීං අප්පච්චි කෙනෙක්ලුය  අත්තම්මට මතක ඇති තාක් කල් ඔය නඩේ ගුරාගෙ වැඩේ කලේ.

" සුට්ටි පුතේ..ඔය බත් ගෙඩියට මාළුපිණි මොනවයි දන්නවය අපි හදන්නෙ?..ඔන්න සම්බෝලයක් මලෝනව උම්බලකඩ එහෙම දාන්නෙ නෑ... හොඳද?...එව්ව කිළි....එතකොට පරිප්පු හොඳටම හින්දෝල තෙල් දානව.එතනිං ගිහාම මුකුණුවැන්න වගෙ මැල්ලුමක් හදා ගන්නව. අල තෙල් දානව..ඔව්ව තමයි ඉතිං " 

" ඔක්කොම ජාති තෙල් දාලනෙව..ඇයි අත්තම්මෙ හොද්දක් මොකවත් හදාගන්නෙ නැද්ද?..." 

මම උන්දැගෙ කට දිහා බලාගෙන ඉඳල අහනව.මම හරිම ආසයි ඒ දවස්වල උන්දැ කතා කරනව බලා ඉන්ට. කට අඹරවනව, හිනාවෙනව මහ හයියෙං ..ඇස් නටෝනව..එක වැඩයි...හෙහ්, හෙහ්. 

අපෙ අත්තම්මගෙ ආසම දෙයක් තමයි කිරි හොද්ද...කහම කහ පාටට ...උම්බලකඩ කෑලි ආය නෑ කරුමෙට වත් හැපුවෙ එහෙම නැත්තං ආය දෙකක් නෑ උගුර හරහට හිරවෙලා වල කජ්ජ ගහනව ආය ඒකෙ දෙකක් එහෙම නෑ...ඒ තරමට මහ විසාලයි එව්ව...

" මේ අම්ම එක්ක නං බෑ මේ වැඩේ කරන්ට..කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ..කූපන් පොතකට දැං දෙන්නෙ උම්බලකඩ අවුන්ස දෙකයි..මේ මාසෙටම තිබ්බ උම්බලකඩ ටික ඔක්කොම අම්ම දාල මේ හොද්දට…" 


දාවල් එකට වැඩ ඇරිල ගෙදර ආපු අම්ම කුස්සියෙ හොදි හට්ටිය ඇරල බලල ගෝරනාඩු කරනව.මම අත්තම්මගෙ මූණ බලල හිනාවෙනව. උන්දැ කුස්සිය පැත්තටකට ඇද කරල දකුණු අතිං කට වහගෙන හිනා වෙනව. අම්ම කෑගහන එකත් සාදාරනයි. ඒ ඇවිල්ල හැත්තෑවෙ දශකය. සිරිමාවෝ මැතිණියගෙ ආණ්ඩුව. හාල්, පරිප්පු, සීනි, උම්බලකඩ,   අල, සැමන් ඔය ඔක්කොම දුන්නෙ සලාකයකට. හාල් පොත, කූපං පොත කියල කිව්වෙ ඒකට. සමූපකාරෙං පෝලිමේ ඉඳල බඩු ගන්ට ඕන.උදේ පාන්දරම මමත් ගිහිල්ල ඉඳල තියනව පෝලිමෙ.දවල් වෙනකොට අම්ම හරි මාම හරි ලොකු කෙනෙක් එනව. එතකොට මම යනව ආපහු ගෙදර. ඒ තමයි හැත්තෑව දශකයේ ආශ්චර්‍යය නොහොත් පෝළිං යුගය..හෙහ්, හෙහ්,

" අඩේ බලාගෙන බං... ඔය සරමෙං අදින්ට එපා..ඕක ඉරිල ගියොත් කෙලියා බොල...එක සරමමයි තියෙන්නෙ හාල් පොත වාගෙ " 

අන්න එහෙමයි ඒ දවස්වල හාල් පොතට තිබ්බ සැලකිල්ල..අනික ගෑණු දරුවෙක් දීග ගියාද,   නැන්දම්ම බලන්නෙ රිදී රත්තරං වලට වැඩිය හාල් පොත ගෙනාවද කියලයි.. 

" බුදුන්ගෙ සරණයි..සියළු දෙවු දේවතාවුංගෙ පිහිටයි, වැඩි වැඩියෙං කිරි උතුරන්ට ඕනෙ..හ්ම්ම්ම්ම්...කෝ දියංකො මයෙ දුවේ උඹේ හාල් පොත මෙහාට.." 

අලුත් ලේළි දණගහල වැන්දහම නැන්දම්ම ලේළිව නැඟිට්ටවන්නෙ ඔන්න ඔහොම කියලයි 

ඉතිං මම " ඇයි අත්තම්මෙ ඔක්කොම ජාති මලවන්නෙ නැත්තං තෙල් දාන්නෙ? " කියල ඇහුවම... 

" පාන්දර තුනට විතර උයාපුව පුතේ අපි කන්නෙ හවස දෙකට විතරනෙ..එහෙම තෙල් දැම්මෙ නැත්තං මාළුපිණි පිළුණු වෙනවනෙ. ඒකයි.." උන්දැ කියනව.. 

" ඉතිං එතකොට උදේට කන්නෙ මොනවද? " 

" උදේට කන්ට වෙනම ගෙනියනව ඉඹුල් කිරිබත්...අපි මාඔයෙං එගොඩ වෙලා ඔය අයිනෙ කුඹුක් ගස් යට ඉඳගෙන ඉඹුල් කිරිබත් කනව..පුතා ඉඹුල් කිරිබත් කාල තියනව නේද? " 

" ඔව්..අත්තම්ම හදල දීල තියනව..ඒත් මට ආය කන්ට ආසයි අත්තම්මගෙ විස්තරේ ඇහුවම... හෙට හදමුද? " මම රහසෙං වගෙ අහනව. 


" හා. හෙට උදේට මම හදල දෙන්නං.."

" මා ඔය අයිනට යන්ටත් ඕන හැබැයි ඉඹුල් කිරිබත් කන්ට…" 

" හිහ්..හිහ්..හී .."…...උන්දැ හිනා වෙන්නෙ එහෙම තමයි 


" හිහ්..හිහ්..හි..මා ඔයට යන්ට නම් බෑ..සුට්ටි පුතේ..හරි අපි මෙහෙම කරමු..අර වත්ත පල්ලෙහා වතුර පාරක් ගලන්නෙ ඒක අයිනට ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන හෙට උදේ ඉඹුල් කිරිබත් කමු. " 

අපි හිටපු රජයේ නිල නිවාසෙට තිබ්බ අක්කර දෙක තුනක වත්තක්..ඕකෙ පල්ලෙහා කෙලවරේ ගලා ගෙන ගියා පොඩි වතුර පාරක්. වැහි කාලෙට ටිකක් සැරට වතුර තිබ්බට පායන්ට ගත්තම වතුර පාර යාන්තමට තෙතමනයක් විතරක් ඉතුරු වෙනකල් හිඳිලම යනව. 

උදෙම්ම ඉඹුල් කිරිබත් හදල අත්තම්මයි මායි අර හිඳිච්ච දොල පාර අයිනට ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන කෑව. එතනට යන්ට ඕන පල්ලමක බැහැල. අපෙ අත්තම්ම කොටයි මහතයි..මම උන්දැට අත දීල පල්ලමේ බස්ස ගත්ත. 

" මේ අම්මත් ඕන නැති එව්ව කියල දීල කරගන්න දේවල්...කකුල ලිස්සුවොත් එහෙම මම දන්නෙ නෑ කොහේ නතර වෙයිද කියල.." අම්ම උඩ ඉඳගෙන කෑගැහුව. 


ඔන්න දවස් දෙක තුනකට පස්සෙ මට හිටපු ගමං මතක් වෙච්චි කොලපතේ බත් ගෙඩිය..

" හෙට දවල්ට මට කොලපතේ බත් ඕන... අත්තම්මෙ... ඇහුණද? " 

අත්තම්ම මං දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්.." හා බැරිය ඉතිං ඕක…" 

" අර දේවාලෙට යද්දි උයාපු දේවල් ඒ විදිහටම උයලත් ඕන.... බත් ගෙඩිය ලීයක ගැටගහන්ටත් ඕන.." 

" ඇයි කරේ තියාගෙන යන්ට එපාද? " ඒ පාර එහෙම ඇහුවෙ අපෙ අම්ම.. 

" මොකද නැතුව? අත්තම්මල වන්දනාවෙ ගියාවගෙ මාත් යන්ට ඕන තමයි බත් ගෙඩිය කරේ තියාගෙන. " 

පහුවදා අත්තම්ම අර විදිහටම කොලපත් බත් ගෙඩියක් මට බැඳල දුන්න. වන්දනාවෙ තනියම යන්ට බැරිනිසා මම ඒ ගමනට නංගිල දෙන්නත් එකතුකරගත්ත. 

" සාදු! සාදු!! සාදූ!! " මම බත් ගෙඩිය කරේ තියාගෙන ඉස්සරහිං යනව..නංගිල දෙන්න " සාදු! සාදු!! " කිය කිය පස්සෙං එනව.. 

වත්ත වටේ හතර පස් පාරක් වන්දනාවෙ ගිහිල්ල අපි බත් ගෙඩිය ලිහාගෙන කෑව. ජීවිතේ තියනකල් අමතක වෙන්නෙ නෑ..මම මෙතෙක් කාලෙකට කාපු රහම බත...හෙහ්, හෙහ්, 

අම්ම කම්මුලකට අතකුත් තියාගෙන බලාගෙන ඉන්නව. ඒත් යාන්තමට හිනා රැල්ලක්...අත්තම්ම..හෙහ්, හෙහ්, අත්තම්ම අර මම කිව්ව රවුං කුළුණට හේත්තු වීගෙන ඉඳගත්තු පාර බඩ උඩ දම දම හිනාවෙනව.." හිහ්..හිහ්..හිහ්..හී….." 

මදැයි වෙච්චි දෙයක්..අපෙ උන්දැගෙ බත් ගෙඩිය ගැන කියන්ට ඇවිල්ල මතක මං පෙත ඔස්සේ යන්ට උනා නෙව රිවර්ස් ගියර් එකේ..හෙහ්, හෙහ්..හෝව්..හෝව්..හෝව්....බෙරේක්..බෙරේක්..බෙරේක්...මම මේ ලියල තියෙන්නෙ මිත්තණියක සමඟ මගේ ජීවිතය කථා මාලාවේ එක කථාංගයක් නෙව හැබැහැටම?....බලමුකො ඒකෙත් හැටි...කමක් නෑ නැද්ද?...වන්නාටය!!!..වෙච්ච දේට එන්න සෙය්යරදු කියලත් කියනවනෙ..හරි බෑක් ටු ද මේන් ස්ටෝරි ..... 

ඉතිං අපෙ උන්දැ ගේනව අලි බත් ගෙඩියක්..මොකද මගෙ තව යාලුවො ඉන්නවනෙ තුන් හතර දෙනෙක්..එවුංටත් එක්කලා. බෝම රහයි...මයෙ මිත්තරයො ඉතිං අපෙ උන්දැගෙ සූප ශාස්ත්‍ර නිපුනතා ගැන සහතික නිකුත් කරමින් දෙසා බානව බත් ගෙඩිය. මට ඉතිං හිනා..මමනෙ දන්නෙ එවුන්දැගෙ සූප සාස්තරේ. හැබැයි ඇස්සහක් කටවහක් නෑ..උන්දැ මට නමෝ විත්තියෙම්ම කියාහිටියනෙ ඇත්තම..මතකනෙ මම කලින් සැරේකුත් කිව්ව.. 

" මේ ..මට ඔය උයන්ට එහෙම නං බෑ...ඒ නිසා එක්කො ඔයාට උයන්ට වෙයි නැත්තං තුං වේලම කඩෙං තමයි….." 

අන්න එහෙමයි උන්දැගෙ හැටි ආය නෑ. කියන්ට තියන එක කියනව මහ රජ්ජුරුවන්ට උනත් මූනටම...ලබ්භශෛලමස්තකරූඪව විදාරණය කියල අර කියන්නෙ..ආන්න එහෙමම තමයි.. 

ඔය බත් ගෙඩිය උයල දෙන්නෙ එයයිලගෙ අම්මා. මයෙ සදාදරණීය නැන්දම්මා..උන්දැගෙ ඉවිල්ලට ගහන්ට ඉවිල්ලක් නෑ ආය අහල ගං හතක...ඒ වගේම තමයි ඔය උඳු වැල්...අළුවා..වැලිතලප වගෙ රස කැවිලි හදන්ටත්... 

අපි බැන්දට පස්සෙ තමයි මෙවුන්දැ හරියකට කියල ඉවුම් පිහුම් පටන් ගත්තෙ. එතකල් ගෙදර බඩ පිස්සි නෙව..ඔහෙ එහාට මෙහාට දඟල දඟල හිටිය මිස එහෙමට වැඩක් පලක් කරල එහෙම නෑ... 

ඔන්න අපි බැඳල නිල නිවාසෙට ආවයි කියමුකො. මේ අර මදුරු සංහාර මෙහෙයුමෙං එහෙම පස්සෙ ඔන්න. අර ඇඳ එහෙමත් හදල ගත්ත කකුල් කෙටි එහෙම උස් කරල..ඒ දවස්වල එහෙ පොළ තිබ්බෙ බදාදා...උන්දැ ඉස්කෝලෙ යනව පාන්දරම. මම එයයිව බස් එකට දාල එමිං ගමන යනව පොළට...ඔය එළවළු දෙක තුනක්...එහෙම ගන්ට...වැඩිය මොකවත් ගන්නෙ නෑ..ඒ දවස්වල අපිට අයිස් පෙට්ටියක් තිබ්බෙ නෑ. 

පොළෙං මම අනිවාර්යයෙං ගන්නව දුවන පුහුල්.... දන්නව නේද?...හෙහ්, හෙහ්..අර උපදේසක කවියක් එහෙම තියෙන්නෙ... දුවන පුහුල් දැක නොදමං නෙලූ පළා කියල...ඒ කියන්නෙ දුවන පුහුල් එක්ක හොඳටම ගැලපෙන්නෙ පළා මැල්ලුමක්ය කියන එක. ඔය උපදේසෙ නොමැකෙන විදිහට තිබ්බ මයෙ හිතේ එදා ඉඳලම..ඒ නිසා මුකුණුවැන්න මිටි දෙහෙකුයි දුවන පුහුල් කිලෝ එහෙකුයි අනිවාර්යයෙන්ම පොළෙං ගන්නවා ගන්නවාමයි. 

ඒ කරල ඔන්න ගෙදර ඇවිල්ල දුවන පුහුල කපනව පොඩි කෑලිවලට..කහ, ගම්මිරිස් සහ ලුණු දාල තම්බනව. ඒ වැඩේ ඉවරයක් වෙලයි මම රාජකාරියට යන්නෙ.හවස වැඩ ඇරිල ඇවිල්ල දුවන පුහුල බදිනව තෙල් බොහොම සුට්ටක් දාල. මොකද පුහුලෙ තෙල් ඇති ඕනවටත් වැඩිය...හෙහ්, හෙහ්, 

අපෙ උන්නැහැලගෙ ගෙදරට හප්පා..කුකුල විතරයි මසක් කියල ගන්නෙ.හරක්, ඌරු, පැත්ත පළාතෙ ගේන්නෙ නෑ..ගෙදර ඔක්කොමල සුර එහෙම එල්ලගෙන ඉන්නෙ...අනික ඔය යන්තර මන්තර ගුරුකම් එහෙම හරියට විස්වාස කරනව. නලලෙ අළු ටිකක් ගාගෙන කටේ උලක් ගහගෙන එහෙම නැත්තං මොණර පිලක් දෙපරැන්ද අස්සෙ ගහගෙන ඔන්න මොකෙක් හරි රටේ නැති පල් හොරෙක් ආවද ඌට දෙයියන්ට වගෙ තමයි සලකන්නෙ...හෙහ්, හෙහ්,...මම ගෙදර ඉන්නවනම් වැඩිය එව්ව නෑ. දන්නව මම එයාල එහාට මෙහාට වෙනකල් ඉඳල අරුංට පස් පඩංගුවෙ බැණල පන්නල දානව කියල. 

අපේ ගෙදර උනත් සූකර සහ මහිෂ මාංශ ගෙනාවෙම නෑ දන්න කාලෙක ඉඳල. අපි පොඩි කාලෙ නම් ගෙනාව මතකයි. පස්සෙ මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුනා. ඒත් මම අර කැළේ මැද රස්සාවට ගිහාම වෙච්ච වැඩේ ඔව්ව තෝර තෝර කන්ට ගියොත් බඩ ගින්නෙ තමයි ඉන්ට වෙන්නෙ. අනික ගවනර් ජෙනරල් තමයි එහෙ ලාබම. ඒ නිසා නැචුරලි ඒකට පුරුදු වෙන්ට උනා. 

මම ඇවිල්ල කාටත් ගරු නම්බු දීල කතා කරන මනුස්සය වෙච්චි. ඒ නිසා මම අපෙ උන්නැහැගෙන් අහන්නෙ මෙහෙමයි……" මේ ඒයි අද ගේන්ටද ගවනර් ජෙනරල් පන්සීයක්…" එහෙම නැත්තං " අද රෑට උයමු සූකර මද්දව.." එහෙම ගරු නම්බු දීල ඇමතුවෙ නැත්තං මම කියල තියෙන්නෙ කන කෑමක් උනත් ඇඟට අල්ලන්නෙ නෑ කියල. අන්තිමට අපෙ උන්නැහෙත් ඒකට එකඟ උනා. 

ඉස්සොරෝම ඔන්න සූකර මද්දව පිළිබඳව ඔන්න පොඩි ප්‍රශ්නයක් ආව. මගෙ ප්‍රියතම ආහාරයක්නෙ. හැබැයි අපෙ උන්නැහැ කටේ තියන්නෙ නෑ. 

" රයිට්..." මම කිව්ව. " ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්ට එපා. මට හැමදාම සූකර ඕන නෑ. ඒත් සතියකට දෙහෙකට සැරයක් මම ගෙනල්ල මමම උයා ගන්නං. ඔයා ඒකට කිසිම විදිහකිං සම්බන්ධ වෙන්ට ඕන නෑ..." 

ඔන්න ඒ අන්ඩස්ටෑන්ඩිං එක උඩ පලවෙනි දවසෙ මම සූකර මද්දව ගෙනල්ල උදේ තම්බල තියල හවස බදින්ට ගත්ත. හප්පා..සූකර්ස් ගානට පහේ වැටිල එහෙම බැදෙනකොට මොන යකාටවත් බෑ ඉවසං ඉන්ට. ඔය යක්කු හිටං එනවයි කියනවනෙ ඒ සුවඳට. 

කුස්සියෙ දොර වහගෙන මම සූකරය බැද්දෙ...මොකද හරි නැහැනෙ මොනව උනත්..මෙන්න විනාඩි දෙකක් ගියේ මේ උන්දැ එනව දොර ඇරගෙන... 

" මොකද ඒයි? …" මම ඇහුව...සූකර තෙමේ එහාට මෙහාට පෙරලන ගමං 


" ආ, නෑ නෑ මොකවත් නෑ..මම මේ නිකමට වගෙ බලන්ට ආවෙ මාර සුවඳයි නෙ..." 

" ඇත්තද? මේ..... ළමයා මම කියන්ටද?... පොඩි කෑල්ලක් කාලම බලන්ටකො.." 

" එතකොට මේ සුරේ?....." උන්දැත් ඇබිත්තං සුරයක් එල්ලං හිටිය බෙල්ල වටේ.. 

" හරි හරි ඔන්න ඕක ගලවල දාල කෑල්ලක් කන්ට...උදේට ඕනම නං ටොයිලට් එහෙම ගිහිල්ල ආපහු සුරේ දාගන්ට බැරිය?..." 

" ඒහ්හ්හ්..එහෙම කමක් නැද්ද ඒයි?..." 

" ආයෙ කමක් නැද්ද කියලත් අහනව..කිසි අවුලක් වෙන්නෙ නෑ. අද්දුටුවයි සත්තයි ප්‍රත්තියාක්සයි…." 

අන්තිමට කිව්වට විස්වාස කරනු මැන මා සහෘදයිනි / සහෘදිනියනි එහෙමම තමයි උනේ..හෙහ්, හෙහ්, 

" එක්කො මේ සුරේ ඕනම නෑ අනේ..මගේ අපල ඔක්කොම දැං ගෙවිල ඇත්තෙ මට හිතෙන්නෙ.." 

සති දෙහෙකට විතර පස්සෙ මගෙ සූකර ව්‍යාපෘතිය නරඹන අතරෙ උන්දැම කිව්ව. 

" හෙහ්, හෙහ්, කවද ඉඳලද ඒ? අපි බැඳපු දවසෙ ඉඳලද? " මම ඇහුවෙ කෝකටත් කොහාට හරි පැනගන්ට සූදානමිං.

" ඔව් එහෙමත් වෙන්ට ඇති..කෝ දෙන්ටකො මම බදින්නං ඉතුරු ටික…" උන්දැ කිව්වෙ මගෙං තෙල් හැන්ද ගන්න ගමං.

මතු සම්බන්ධයි...... 

Wednesday, July 24, 2013

204. සුබපැතුම්......චන්දිමාල්!

Image - Cricinfo

පහුගිය සෙනසුරාද හවස මැච් එක බැලුව.සංගා ගැහුව කියන්නෙ ගැහිල්ලක් ඇස්වලට කඳුළු ආව.මේ දවස්වල සිරි ලාංකිකයෙක්ය කියල හිතේ පොඩි ආස්වාදයක් එන්නෙ ඔය සංගා, උපුල්, මහේල හෝ දිල්ෂාන් හතර අතේ නෙලන කොට එහෙම නැත්තං ඊට පස්සෙං පහු ඔය කොල්ලො ටික සපිරිවරින් පිට්ටනියට බැහැල අර යස්සය කොණ්ඩෙත් හොලව හොලව ඇවිල්ල අනික් පැත්තෙ එවුන්නෙ දකුණු මහපට ඇඟිල්ලෙ නියපොත්ත මත පතිතවන පරිදි පන්දුව පතිත කරල උං එක්කො ඇල්.බී. ඩබ්ලිව්..නැත්තං පොළු තුන, හතර අතේ යවනකොට විතරමයි.


මේ තරඟය දිනේස් චන්දිමාල් කොලුවගෙ පලවෙනි තරඟෙ, ලංකා කණ්ඩායමේ නායකය හැටියට.බොහොම ලාබාල කොලුව. වයස විසිතුනයි. සිරි ලංකාවෙ මෙතෙක් කාලෙකට ලාබාලම නායකය.උන්දැට කැප්ටන්සි එක හම්බ උනේ වෙස්ට් ඉන්ඩීස් වල ගහපු තුංකොං තරඟාවලියෙ අවසාන තරඟෙ; අර ඉන්දියාවත් එක්ක ගහල පැරදුනෙ; අන්න ඒකෙදි නියමිත කාලයට නියමිත ඕවර් ප්‍රමාණය දැම්මෙ නැහැය කියල අපෙ නායකය ඇන්ජලෝ මැතිව්ස් ගොයියට තරඟ දෙකක තහනමක් පනෝපු නිසා. 

හැබැයි මැතිව්ස්ට ඒ තහනමෙන් පාඩුවක් උනෙත් නෑ. උන්දැ පට ගාල කසාදයක් කරගත්ත ඒ සතිය දෙක ඇතුලත. අන්න මිනිස්සු...ඕක තමයි කියන්නෙ කල දුටු කල වල ඉහ ගන්නවාය කියල. එහෙම නැත්තං යකඩෙ රත් වෙච්ච වෙලාවෙ තලා ගන්නවය කියල.මොකද ලේසි වැඩක් නෙවෙයි නෙව කෙල්ලෙකුත් හොයාගෙන මඟුල් ගේකුත් ඕගනයිස් කරල මඟුලක් කනවයි කියන්නෙ සතියක් දෙකක් ඇතුළත  ඔක්කොම ඕගනයිස් කරල..මැතිව්ස් කොහොම හරි වැඩේ කරගත්ත. මිනිහ වැඩ කාරය..හෙහ්, හෙහ්, 

ඉතිං ඇත්තම කියනවනම් මම මේ ලියන්ට ඉඳගත්තෙ මැතිව්ස් ගැන කියන්ට නම් නෙවෙයි. දිනේස් චන්දිමාල් ගැන කියන්ට. ආනන්දෙට සෙල්ලං කරන කාලෙ ඉඳලම මම බොහොම කැමති ක්‍රීඩකයෙක්. 2011 ලෝක ශූරතාවයට චන්දිමාල් තෝරගත්තෙ නෑ. 

මතකනෙ 2011 ලෝක කුසලානෙ නේද?..අර අපේ ජනාදිපතිතුමාගෙ මුද්දෙ වැඩ වාසය කරන දෙවිවරු හතර දෙනා ඉන්දියාවෙ දෙයියංට බයවෙලා පැනල ගියායිං පස් සෙ යස අපූරුවට දිනන්ට තිබ්බ අවසාන තරඟෙ අපි පැරදුනෙ..ආන්න ඒක. 

ඒ දවස්වල මයෙ හිතට හරි අමාරුයි ඒ කරපු අසාදාරනේට.ඒ කිව්වෙ මේ දෙවියන් පලායාම ගැන එහෙම නෙවෙයි. චන්දිමාල් ළමය ටීම් එකට තෝර නොගත්ත එකට. දෙකක් ලඟ ලඟ නවාගත්තද ඕකමයි මතක් වෙන්නෙ. කොටින්ම ඒ දවස්වල ඕක මයෙ ඔලුවෙ කොච්චර වැඩ කලාද කිව්වොත් ඒ වර්ල්ඩ් කප් කාලෙ අපි හැමෝටම එකෙක් නෑර හැදිල තිබ්බ ක්‍රිකට් පිස්සුව ගැන මම ලියපු කතාවකත් ඒ ගැන ලිව්ව ඔන්න කොටින්ම. පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් හැටියටයි ඒ කතාව මුලින්ම පලඋනේ. ඔන්න එහෙනම් ඒ කතාව තියනව පල්ලෙහායින් හොඳද? 

හිමිදිරියෙම ඇහැ ඇරුනෙ කුරුල්ලංගෙ නාදෙට, ඊයෙ දෙගොඩහරියක් වෙනකල් හඳ දිහාවෙ බලාන කවි හදාල ඇඟටත් මහ කෙඩෙත්තුයි වාගෙ ඔන්න, 

උයනගෙයි පැත්තට සරං කෙටියත් ඇඳ ඇඳම ගෑටුවා උණුවට කෝපි කෝප්පයක් වත් බුන්නනං මේ ඈලි මෑලි ගතිය දුරුවං වෙයිය කියාල හිතමිං, 

කුස්සිය පැත්තෙං වෙනද වගෙ නෙවෙයි ඔන්න මහ සද්දෙං කතාබහක් නං ඇහෙනවා, 

අපෙ අම්මයි කිරි අම්මයි වගෙයි, මොකදෑ මුංදැල දෙන්න මේ කවදාවත් නැතුව? ගමේ මොකක්වත් අලකලංචියක් වෙලා වද්දෑ ඊයෙ රාත්තිරියෙ? 

කුස්සියට ගෙහුං ඈඳිගත්ත තුනපහ දාපු පෙට්ටගම ගාව තියෙන ලොයි බංකුවෙ, ඒ කොරල පොඩ්ඩක් කංදිහෑව්ව මොනවදෑ මේ සාකච්චාව කියාල, 

"හොඳ විස්සාසෙට ගනිං ලොකු දුවේ, ඔය අසේල ලමය හාහාපුරා කියල පිටැන්නට එව්වෙ නැහ්නං ඔක්කොම හබක්, මම්මේ හූන කියන්නැහෙ කියන්නෙ ඕං,"

 ඒ අපෙ කිරි අම්මා, විටකුත් කොටන ගමං, විට කොටන පරණ යකඩ ඇණ පතේ අම්ම දිහාට උරුක්කරල කියැව්වා, 

"අනෙ අපෙ අම්ම නිකං ඉන්නකො, අසේල නෙවෙයි ඒ ළමයගෙ නම මහේල," 

අපෙ අම්ම එක හෙලාම විරුද්ධ උනා, 

" මහේල ඉන්න ඕන මැද පෙල සත්තිමත් කරන්න, මම නං කියන්නෙ මහේල ලමය අංක පහ නැත්නං හය තමයි බෑට් කොරන්න ඕනෙ " 

"හුහ්, උඹ කට වහං ඉඳිං, ඇහුනැයි, බොට ලොකු මහත් වෙච්චි දරුවො හිටියට මම තාමත් උඹෙ අම්ම, ඒක මතක තියාගනිං ඇහුණැයි?, මයෙ මේ කෙස්ස පැහුනෙ නියගෙට කියාලද උඹ හිතන්නෙ?" 

කිරි අම්මට අසූහාරදාහකුත් තවත් ටිකක් කේංචි ගිහිල්ල, බුලත් කෙටිල්ලත් එහෙම්මම අත ඇරල නැඟිටල ඉණට අත් දෙකත් තියාගෙන කිව්වා, ඇස් දෙක හීං ඉරි වායෙ උනා, උන්දැට හොඳටෝම කේංචි ගියාම එහෙම තමයි, 

අම්මත් බය උනා ඒ පාර නම්, ඇයි දන්නවනෙ අපෙ කිරි අම්මයෙ හැටි සුබාවෙ, කේංචි ගිහාම යස්සනී වාගෙ තමයි, 

"හරි, හරි කිරි අම්ම කලබොල නොවී ඉන්නකො,"

 මම උන්දැව ආයෙම කොලොම්බු කොටේ ඉන්දෙව්වා, 

"මොනවදෑ එහ්හෙන්නං,දන්න කියන වැඩිහිටියෙක් යමක් කියැව්වම ඒ දැනමුතුකං පිළිපදින්ඩ එපාය, එව්ව තමයි ගුන දර්ම කියන්නෙ "

කිරි අම්ම ආයෙම විට කෙටිල්ල පටං ගත්තා, 

"හරි, හරි ,අම්මට ඉතිං ඔච්චර ගෝලු ගන්ඩ දෙයක් මං කියැව්වය? අම්මට ඕනම නං අපි මහේල ළමය මුලිම්ම යවමු අහවරයිනෙ " 

අම්ම මයෙ අතට කෝපි කෝප්පෙ දෙන ගමන් කිව්වා, 

"ඒ විතරක් නෙවෙයි අර චාමර කොලුවත් මුලිම්ම යවන්ඩ ඕනෙමයි "

කිරි අම්මට පොඩ්ඩක් ඔලුව දාගන්ඩ දුන්නම අර කූඩාරමට ආපු ඔටුවා වගේ තමයි, 

අම්මගෙ කට නලියනව මම දැක්ක, ඒත් හොඳ වෙලාවට මොකවත් කිව්වෙ නැහැ, කෝපි එකේ මෙලෝ රහක් නැහැ, සීනිත් නැහැ, කටේ තියන්ඩ බැහැ ඇයි අම්ම ඉන්නෙ කිරිකැට් සිහියෙන්නෙව, 

"පුතේ උදේට උයන්ඩ නං වෙලාවක් නැහැ, රෑ හීල් බත් ඩිංගක් ඇති මඩක්කුවෙ දාල වහල , පොල් සම්බෝල ඩිංගක් වත් තලාගෙන කාහං කොලුවො,හොඳේ " 

අම්ම කෝප්පෙ ආපහු ගන්නා ගමන් කිව්ව, 

මේ මොකෝ බොලේ කවදක්කත් නැතුං, මයෙ අම්මට අසනීපයක්කද්ද? මයෙ හිතේ මහ බයක් උපන්නා, 

"ඇයි අපෙ අම්මා? අම්මට අසනීපයක්වද්ද? " 

මම බයෙන් බයෙන් ඇහැව්වා, 

" පිස්සුද කොලුවො, මට ඇති ඉහෙං බහින ලෙඩක් නැහැ,මායි කිරි අම්මයි නාගෙන කාරිය යනව පංසලේ බණ මඩුවට,කලිම්ම ගියෙ නැත්නම් ඉස්සරහම තැනක් අල්ලා ගන්න එක ලේසි වෙන්නෙ නැහැ" 

" ඒ මොටදෑ අද පංසල් යන්නෙ? අදයැ පෝය, හෙට නෙව, කිරි අම්ම හෙටනෙ සිල් ගන්නෙ, නේද? " 

මම හිතුවෙම අම්මට දවස එහා මෙහා වෙලාය කියල, 

" මොන සිල් ගැනිල්ලද්ද බං? උඹලැයි අම්මයි මායි යන්නෙ අද අපේ කොල්ලො බෝල ගහනව බලංඩ, අනික ආයෙ මං සිල් ගන්නෙ බක් මහේ පෝයට තමයි, මේ බෝල ගැහිලි ඔක්කොම ඉවර වෙනකල් සිල් ගන්නෙ මං නෙවෙයි ඕං," 

කිරි අම්මා පුලුං කුල්ලක් හේ තියෙන ඔලුවත් හොල්ල හොල්ල කිව්වා, 

" මොන කිරි කැට් ගැහිල්ලද්ද ඒ? අපෙ ගමේ කොල්ලොද? අල්ලාපු ගමත් එක්කලාද? " 

මට මේ මොනව කියනවද කියාල නිනව්වක් ඇත්තෙම නැතුවා, 

කිරි අම්මට ඒ පාර නම් ඩිංගක්කිතර තරහ ගියාද කොහේද, 

" උඹ හැබෑටම කොයි ලෝකෙද ඉන්නෙ?, උඹ ඉතිං දන්නෙ අතන මෙතන අගු පිල් ඔල කවි කිය කිය ඇවිදින්ඩ නෙව, ඒ ඇරුනම රටේ ලෝකෙ වෙන්නෙ මක්කද කියාලත් ටිකක් ඇහැ ඇරල කාරිය බලාහං, ගමේ කොල්ලො නෙවෙයි බොල, අපෙ සිරි ලංකාවෙ කොල්ලො අද ගහනව පකිස්තාං ද මක්කද එවුං එක්කලා, බණ මඩුවට යන්නෙ ඒක අර රූප පෙට්ටියෙං බලන්ඩ, දැං බොට තේරුණාය? " 

අනෙ අම්මප මේක මාර කෙලියක් නෙව, එතකොට දවල්ට කන්නෙ එහෙම කොහෙන්දෑ? එහෙම හිතුනට මම ඇහැව්වෙ නම් නැහැ, 

අම්මට තේරුනා මයෙ හිතුවිල්ල,

" මම කැකුලු හාල් ටිකක් ලිපේ තියාල යඤ්ඤං සම්බෝලයක්කත් හදාගනිං මයෙ පුතේ" 

ඔන්න නාකියාගෙන ඇවිදිල්ල දෙන්න පිටත් උනා පංසලට යන්න, 

" සනත් කොලූ නොගත්ත එක නං මයෙ හිතට තවම හරි නැහැ, " 

මිදුලට බහින ගමං කිරි අම්ම ආයෙම පටං ගත්ත කංඩායම් සමාලෝචනේ,

" අම්මල එන්නෙ කීයටද? " 

මම ඇහැව්වා, 

"රාත්තිරි දහය එකොලහ වත් වෙයි, උඹ නිදාගනිං පුතේ, දොර අඩවල් කරාල තියහං " 

අම්ම යන ගමම්ම ආපහු හැරිල කියැව්ව, 

"අජන්ත ළමෙය අද සෙල්ලං කරයිද දුවේ? "

කිරි අම්මගෙ කට හඬ දෙවට දිගේ මැකිලා ගියා, අම්ම මොනව කිව්වද ඊට පස්සෙ මට ඇහුනෙ නැහැ, 

මම පිලේ දිගාවෙලා අඹ ගහේ මයිනො කහපාට අඹේකට පොරකනව බලා හිටියා,

"ඇයි උඹල යන්නෙ නැද්ද පකිස්තාං මැච්චෙක බලන්ඩ,පලයල්ල බොලත්, බොලා විතරයි එතන අඩු " 

මට තරහටම කිය උනා, 

කන්ඩ පිරියකුත් නැහැ මම එහෙම්මම පිලේ දිගාවෙලා ඔහේ හිටියා, 

" ෂ්, ෂ්, ෂ්, ...... මේ , මේ, ඔයා නිදිදෝ?" 

 පැළ ඉනි වැට අස්සෙන් ආව රිදී සීනු අඬට මගෙ හීන ලෝකෙ බිඳ වැටුනා, 

ඔන්න ඉණි වැට අස්සෙන් මතු උනා, දන්නවනෙ...... කවුද? .....වෙන කවුද?..... අර අරයා....... අරුංදතී, මගෙ හිතේ පිරිල තිබ්බ දුක් කංකටොලු අර හිරු දුටු ........ මොනවද මට මතක නැහැ නෙව, පැණි බිඳුද........ පිණිබිඳු ද..............මොක හරි දෙකෙන් එකක්, අන්න ඒ වගේ දුරු වෙලා ගියා, 

ඔන්න ඔය තියෙන්නෙ, කවුරු නැති උනත් මට මයෙ අරුන්දතී ඉන්නවනෙ, මගෙ හිතට පුදුම තන්තෝසයක් ඔන්න ආවෙ, 

" එන්නකො මෙහාට ඒයි, මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා" 

අරුංදතී මට කතා කලා, 

ඔය අරුංදතිගෙයි මගෙයි පයිරුපාසානෙට සෑහෙන කලක් උනාට අපි දෙන්න සෙනේවංත කොම තාම වචනෙං පොරකාස කොරල නැහැ නෙව, ටක්කෙටම අද නම් මුන්දැ මට සෙනෙහෙවන්තයි කියාල කියන්ඩ තමයි මේ තනන්නෙ, නැහ්නං ලඟට කතා කොරල අහන ඔහෑටි වැදගත් දේ මොකැයි හැබෑටම, 

මමත් හිනා කටක් පුරෝගෙනම ඉණිවැට ගාවාට කිට්ටු උනා, ඒ කරල මගෙ කණට මී පැණි වක්කරන්නැහෙ අරුංදතී ඒ වචන කියන කල් එයාගෙ ඇස් දෙක දිහාවෙම බලා හිටියා, 

"ඉතින් අහන්න ලමයො ලැජ්ජ වෙන්න එපා" 

මම අරුන්දතීගෙ අතින් අල්ලගන්න ගමන් කිව්වා, 

"ඔයා හිතන්නෙ අද සංගක්කාර කාසියේ වාසිය දිනුවොත් මුලින් බැට් කරන එකද බෝල් කරන එකද අපිට වාසි" 

මගෙ අතිං අරුන්දතීගෙ අත අත ඇරුනා, මගෙ කට ඇරුන මම හිතන්නෙ යටි තල්ල පපුවෙ වදින ගානට, මම එහෙම්මම අරුංදතී දිහාවෙ බලාගෙනම හිටියා, 

"මොකෝ අනේ මේ ඔයා කාටවත් බය උනාද?" 

 අරුංදතී ටිකක් වෙලා මා දිහාවෙ බලාන ඉඳල බය වෙලා ගෙට දිව්වා, 

මම ආපහු හෙමිං හෙමිං පුරුදු පිල්කඩ උඩටම ආව, 

මයෙ හිත මට වාවන්නෙ නැති උනාම මම හැමදාම යන තැන තමයි අපෙ පංසල, ලොකු හාංදුරුවො එක්කල ටික වෙලාවල් මොනවහරි කතා කලාම හිතට දැනෙන සහනෙ අප්පරමානයි,එනිසාවෙන් මටත් නොදැනිම මගෙ දෙපා මාව අරන් ගියා පංසල පැත්තට, 

පංසලේ ගේට්ටුවෙ මෙන්න ලොකු දැන්නීමක් අලෝල, 

"ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසාන වන තුරු හෝ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වන තුරු පින්කම්, පිරිත් දේශනා, බණ කීම්, අවමංගල උත්සව, පාංශුකූල කටයුතු,බෝධි පූජා සහ වෙනත් පුණ්‍ය කටයුතු සඳහා ආරාධනා භාර නොගන්නා බව ගම්වාසී සියලු සැදහැවතුන් වෙත ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි. සියලුම දානයන් පන්සලටම ගෙනැවිත් පූජා කල යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතා පැවැත්වෙන සෙත් කවි ගායනා, බෝධි පූජා සහ සෙසු කණ්ඩායම් වලට විරුද්ධව පැවැත්වෙන වස් කවි ගායනාවන් පමනක් තරඟ නොපැවැත්වෙන දින වල සවස් භාගයේදී බෝධි රාජයා අසල පැවැත්වේ. ඊට සහභාගිවී සඟ මොක් සුව ප්‍රාර්ථනා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි, බුදු සසුන බැබලේවා!!! අපේ කොල්ලෝ ද බැබලේවා!!! "

- මීට අතිගරු විහාරාධිපතීන් වහන්සේගේ අණ පරිදි දායක සභාව,



මේ දැන්නීම දැක්කම මගෙ හිතත් එක්ක නිකං තෝන්තු වෙලා ගියානෙව. මදැයි හිතට සැනසීමක් හොයාගෙන ආවා, 

මම ආපහු හැරෙන්න හදනකොටම ලොකු හාංදුරුවො මාව දැකල කතා කලා.

"ආ, මේ ළමයනෙ, එන්න එන්න මොකෝ මේ පිට පාරෙම යන්න හදන්නෙ? එමු එමු මෙහාටම "

මම ඉතිං උන්නාන්සෙ පස්සෙන්ම පංසලටම ගියා, මට හිතුන අනික් හැමෝන්ටම නුහුගුනේ හැදුනට මුන්නාන්සෙට නම් එහෙම වෙන්ඩ බැහැ, ඇයි අප්පේ හොඳ උගත් සිල්වත් සුවාමීන් වහන්සේ නමක් නෙව, ඔය පණ්ඩිත විබාග තුන හතරක්ම පාස් කොරල තියෙනව එක පාරිම්ම, එහෙනං, එහූ උගතෙක් නෙව, 

"අනේ හාන්දුන්නේ මට කලකිරිල ඉන්නෙ මේ අපෙ මිනිස්සුන්ගෙ වැඩ ගැන දැන් බලන්න මේ ක්‍රිකට් මැච් වගයක් අල්ලගෙන............." 

මට ඉවර කරන්ඩ හම්බ උනේ නැහැ, හාමුදුරුවො පටන් ගත්තා, 

"ඔන්න බලන්න, ඔය ළමය දැනුම් තේරුම් තියෙන, කාරනා කාරනා දන්නා ළමයෙක් නිසාවෙන් ඔය ළමයට තේරුනා...... "

මෙහෙම හාමුදුරුවො කියනකොට මට ඉහිලුං නැති සන්තෝසයක් ආවා, අන්තිමට යාංතං මේ ක්‍රිකට් නුහුගුනේ නැති එක මනුස්සයෙක් හරි හම්බ උනාය කියල, 

"මේ මිනිස්සුන්ගෙ වැඩ ගැන ලමයෝ, ඔය ලමයට කියන්ඩ මමත් ඉත්තේරුවෙම්ම කලකිරිල ඔන්න ඉන්නෙ, දැන් බලන්න අර දිනේෂ් චන්දිමාල් දරුවට කොරාපු අසාධාරණේ,මොන තරම් දක්ෂ පිතිකරුවෙක්ද........" 

 ඔන්න අද දවසෙ සාර්ථක දෙවෙනි පාරටත් මයෙ කට ඇරුනා,මතකනෙ කලින් ඇරුනෙ පැළ ඉනි වැට ලඟදි, 

මයෙ කට නෙවෙයි මොනව ඇරුනත් හාමුදුරුවන්ට වගේ වගක් නැහැ, නේරංජනාව ගලනව වගෙ එතුමා දෙනව ඇට්ටි හැලෙන්ඩ, 

"මට තේරෙන්නෙ නැහැ අපේ මේ තේරීම් කමිටුව මොන ප්‍රතිපත්තියක් උඩ මේ තීරණ ගත්තද කියල...... හරිම අපරාධයක් අර ළමයට කලේ, මම හිතන්නෙ අපේ ජනාධිපති තුමා අර ආතක් පාතක් නැති සිංදුව තහනම්............" 

හාමුදුරුවො තට්ටෙ අත ගගා ඇස් දෙකත් පියාගෙන දේසනා කරන අතර තුරේ මම හෙමිහිට නැගිටලා එන්ඩ ආව.

"........කලා වගේ එතුමාටම බාර දුන්න නම් හොඳයි කණ්ඩායම තෝරන එකත් , අනිවාර්යයෙන්ම එතුමා ඒ වැඩෙත් අපූරුවට කරයි කිසිම සැකයක් නැතුව, අච්චර බලගතු කොටි පැරැද්දුව එකේ.............. " 

මම ගේට්ටුවෙන් පිට වෙලා එනකනුත් හාමුදුරුවන්ගෙ දේසනාව මගෙ පස්සෙන් ආව. 

පංසලේ ඉඳං එන පාර වැටිල ඇත්තෙ වලව්ව අද්දරිං,වලව්ව කිට්ටුවට එනකොට මෙන්න එක පාරට මහ ගෝසාවක් ආපි, එහෙං අර වයසක අලි බොටා කං හොල්ල හොල්ල බෙරි හං දෙනව, වලව්ව ඇතුලෙනුත් එනව මහ ගෝසාවක්, කෝකටත් කියල කර පොවාල බැලුවා, අප්පට සිරි, අර ක්‍රිකැට් නුහුගුනේ හොඳ එක තියෙන්නෙ වලව්වෙනෙ,එක පනහක් හැටක් ගෑනුද, පිරිමිද, බල්ලොද බලල්ලුද ඔක්කොම එක ගොඩේ වැටිල රූප පෙට්ටිය වට කොරාගෙන මැච් බලනොව,ලොකු මැණිකෙයි පොඩි කුමාරිහාමියි දෙන්නත් ඉන්නව මැද්දෑවට වෙලා,
 
මාව දැක්ක විතරයි ලොකු මැණිකෙ ගර්ජනා කලා, 

" ඒයි මේ මෙතන කවි කියන්න එහෙම ලෑස්ති වෙන්නෙ නෑ හොඳද? අපි ක්‍රිකට් බලනව පෙනෙනවනෙ" 

මම පොඩි කුමාරිහාමි දිහා බැලුවා, වෙනදා මා පැත්තට කතා කොරන්නෙ ඒ ඇත්තිනෙ. අද මාව දැක්කෙත් නැද්ද කොහෙද.

" Come on Sangha, come on, you can do it "

 තවත් මොනවද ඉන්ගිරිසියෙං කිය කිය ඔය උඩ පැන පැන හිටියෙ, 

"අන්න කුස්සියෙ කෙහෙල් මුහයි පරිප්පුයි ඇති, බඩගිනිනං බෙදාගෙන කන එකයි ඇත්තෙ " 

ඒත් ලොකු මැණිකෙ, 

මට හොඳටම දැන් බඩගිනිත් නිසා කුස්සිය පැත්තට යන්න හදනකොටම,

 " වර්ල්ඩ් කප් ඉවර වෙනකල් කවි ඕනෙ නැහැ, හරිද? රෑට මේ පැත්තෙ එනව නම් මල්දෙනියෙන් කෑම ගෙනෙන්නෙ, ජනූලගෙ කෑම කෑහැකි, "

පොඩි කුමාරිහාමි රූප පෙට්ටිය දිහා බලාගෙනම කිව්වා, 

හුහ්, මට උන්න මලා මතක නැති උනා ඒ කතාවට, උන්දලට ඕන වෙලාවට කවි කියන්ඩයි, එපා වෙලාවට කුණු පොල්කුඩු ගානට අහක දාන්ඩයි මම කවුරුය කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නෙ, හිටපල්ලකො බොලාට දෙන්නං හොඳ කවියක්, යනව යන්ඩ, ආයෙ එන්නෙ නැහැ මේ හතර හීමාවෙ, 

වලව්වෙං එලියට බහින කොටම මට සිහියට ආව මල්දෙනියෙං රෑ කෑම ගේන කතාව, හරි, මම දැම්මම යනව ජනූ නඟාලයෙ අහ, ඒ නඟාත් එහෙමයි ඒ පවුලෙ අනික් ඈයොත් එහෙමයි හරිම ගුණ යහපත් උදවිය, බොක්කෙ තියෙන දේ හරි අරං දේවි මෙන්න කියල, 

ඉතිං ඔන්න මම එදා ඒ වෙලාවෙම මල්දෙනි යන්නෙයි කියල එක හිත් හිතාගෙන මඟට බැස්සා, 

Monday, July 22, 2013

203. කිරුළ සහ සෙනෙහස ……11

කිරුළ සහ සෙනෙහස ……1 

කිරුළ සහ සෙනෙහස ……10 

මහා නදියෙහි තොටුපොළ දක්වා දිවෙන මාර්ගය උපතිස්ස පැවසූ සේම බොහෝ සෙයින් ජනශූන්‍යව පැවතිණි.මධ්‍යාහ්නය වන තුරු ගමන් කල ඔවුහු දැඩි හිරුරැස් දරාගත නොහැකි පමණට චණ්ඩවත්ම මාර්ගයෙන් මදක් ඉවත වූ තුරු ගොමුවක සෙවණේ නතර වූහ.පසුගිය දින කීපය මුළුල්ලේ වට වැසි හේතුවෙන්, දැඩි හිරු රැසින් පෙලුණේ වුවද ගස් ගොමුවෙහි වූයේ ගත මෙන්ම සිතද සනහා නිවාලන්නාවූ සිහිලසකි. 

කිසිදු හදිසියකින් තොරව ඇවිදයන වේගයට මඳක් වැඩි හැල්මේ ගමන් කල බැවින් අසුනට සැලකියයුතු වෙහෙසක් නොවූවද ඒ අසල වූ දිය පහරක් වෙත උන් කැඳවාගෙන ගිය විජය ඔවුනට සිත්සේ ජලය පානය කිරීමට ඉඩ හලේය.
 
ඉක්බිති රුක් ගොමුවෙන් මඳක් එපිට ඇස ගැටෙන මානයෙන් එහා නොයන ලෙස ඔවුන් දිගේලි කල හෙතෙම ඔවුනට සිත්සේ තණ කෑමට ඉඩ හලේය. 

කුවණ්ණා මේ වන විට දරුවන් දෙදෙනාහට ඈ රැගෙන ආ යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තැනූ පූප නමින් හැඳින්වුනු තුනී රොටී වන් ආහාරයක් පිළිස්සූ මුවමස් තීරුද සමඟ කවමින් උන්නාය.ඈ අසල අඹ තුරක සෙවණේ වැතිරගත් විජය බැඳගත් දෑත් මත හිස වාරුකොට ගත්තේ ඒ සිහිල් තණ පිටිය මත වැතිර ගත්තේය. 

" කුවණ්ණා..කුවණ්ණා..මගේ සොඳුරිය කුවණ්ණා..මේ තමයි ජීවිතය..හිසෙහි කිසිදු බරක් නොමැතිව, සහසක් රාජ්‍ය පාලන ගැටළු මහිස දරා නොගනිමින් සැහැල්ලු වූ සිතින් යුතුව ඊලඟ අහරවේල සපයාගනුයේ කෙසේද යන සනාතන ගැටළුව විසඳීමෙහිලා පමණක් සිත වෙහෙසවමින් අපගේ දරුවන් දෙදෙන දෙපසින් හිඳුවාගෙන ඔබ හා තුරුළුව මෙසේ සැනසීමෙන් කල් යවනුයේ කෙදිනකද යන්න පිළිබඳව දිවා රෑ සිතූයෙමි. අවසන ඒ මා උදක්ම පැතූ අවස්ථාව මවෙත ළඟා වී ඇත. " 

සිය පියාණන්ගේ ඉමහත් ප්‍රීති ප්‍රමෝදය කුඩාවුන් දෙදෙනාට මහත්ම ආහ්ලාදයක් ගෙන දීමට සමත් විය. ඔවුහු ද ආහාර අනුභවය එකෙණෙහිම නවත්වා මුව පුරා පැතිරුණු අහිංසක සිනහ රැල්ලෙන් යුතුවූවෝ පියාණන් සහ මෑණියන්ගේ දෙස වරින්වර නෙතු යොමුකරන්නට වූහ. 

එහෙත් කුවණ්ණා ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයට එක්විමෙහිලා මඳක් පසුබට වූවාය. ඇගේ මන්දෝත්සාහීභාවය මනා ව වටහාගත් විජය ඉනික්බිති ඒ පිළිබඳව තව දුරටත් කථා කිරීමෙන් වැළකී සිටියේය. 

සාගිනි නිවුනු කුඩාවෝ ඉක්බිති අසුන් සිටි දෙසට ගොස් ඔවුන් හා සුරතල් වන්නට වූවෝය. 

" පුතණ්ඩ, දියණියනි..අපගේ දෑසට හසුවන මානයෙන් ඉවත නොයනු මැනව.." 

කුවණ්නා ඔවුන් දෙස හැරී හඬනඟා පැවසුවාය. 

ආපසු හැරුණු ඈ ඉතිරි ආහාර ස්වල්පය ඔහුට පිළිගැන්වූවාය. 

" එන්න කුවණ්ණා, අප දෙදෙනම මෙය සමව බෙදාගනිමු. " 

නිහඬවම අහර ගන්නා කුවණ්ණා දෙස කීප වරක් තම ඝනව වැඩුණු බැම සඟල යටින් බැලූ විජය ඉක්බිති ඇය ඇමතූයේ සෙනෙහස පිරී ඉතිරීගිය හඬකිනි. 

" කුවණ්ණා....ඔබ සිතෙහි යම් තැවුලක්, අර්බුදයක් පවතින බව මට රහසක් නොවේ. අප එකිනෙකාගේ සිතැඟි අනෙකාට වසන් කල නොහැකි පමණට දැඩි සෙනෙහසින් බැඳී සිටිනා බව ඔබ හොඳාකාරවම දන්නෙහිය. එබැවින් වහා මා හා පවසන්න කුමරිය ඔබ සිත් පෙලන කාරණය කිමෙක්දැයි කියා…" 

ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. කඳුළු පිරී නොතිබුනේ වුවද ඇගේ දෑස් දිළිසෙනු තුරුගොමුවෙහි මධ්‍යාහ්නයේ පවා පැවති මඳ අඳුරෙහි වුවද ඔහුට පැහැදිලිව දැකිය හැකි විය. 

" කුමරුණි..ඔබ සිත් පුරා පිරි ප්‍රීති ප්‍රමෝදය මට ද මහත් ආහ්ලාදයට කරුණෙකි.එහෙත් මසිත සපුරා ඒ ප්‍රීති ප්‍රමෝදය විඳීමට මැලිවෙයි. මසිත පිරී ඇත්තේ අද මේ මොහොත පිළිබඳව සිතනා කල්හි උපදින නිම් හිම් නොමැති ප්‍රීතිය සහ ඒ සමඟම අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය, එළෙසම බිය අතර සම්මිශ්‍රණයකිනි. "


" කුවණ්ණා.... කුවණ්ණා..ඔබ සිතෙහි අනාගතය පිළිබඳව බියක් පවතිනු යනු ඔබ මා කෙරෙහි විශ්වාසය තබා නැත්තේය යන්න නොවේද?...මා විශ්වාස කරන්න සොඳුර..මා විශ්වාස කරන්න...." 

" කුමරුණි..මා ඔබ අවිශ්වාස කළාම නොවේ. ඔබේ මා කෙරෙහි සහ දරු දෙදෙන කෙරෙහි ඇති සෙනෙහස සහ කැපවීම මම හොඳින්ම දනිමි. එහෙත් කුමරුණි..ඔබ සාමාන්‍ය මිනිසකු නොවේ. ඔබ තවමත් මෙරට කිරුළු පලන් නරේන්ද්‍රයාය.කිරුළක් පැලඳීම සහ සිහසුනක හිඳගැන්මට වඩා කිරුළ ඉවත් කිරීම සහ සිහසුන අත්හැරීම අසීරු විය හැකි බව මම මීට පෙරද දීනක් ඔබට පැවසුවා ඔබගේ මතකයෙහි රැඳී ඇතැයි සිතමි. " 

" එසේමය කුවණ්ණාවනි එහෙත්....." 

සුරත ඔසවා ඇය ඔහු වැළැක්වූයාය. 

" මා කියන්න පළමුව අසනු මැන..එදවස ඔබ රුව මා නෙත ගැටීමටද වසර කිහිපයකට පෙර එක් අනාගත වක්තෘවරියකද වන්නාවූ යෝගිනියක හමුවීමට මපියාණන් සමඟ මම ද ගියෙමි. දියණිය ඔබ ගන්නා වූ එක තීරණයක් හේතුකොටගෙන මේ දිවයිනෙහිම අනාගතය වෙනස් වනු ඇත. ඒ එදින ඇය මා අමතා පැවසූ අනාගත පුරෝකථනයයි. එළෙස සිදුවීමට නම් ඔබ මෙරට රාෂ්ඨ්‍ර පාලකයා, නරේන්ද්‍රයා වශයෙන් කටයුතු කල යුතුමය. හුදෙක් කුවණ්ණා නම් හිටපු කිරුල හිමි කුමරියගේ සැමියා වශෙයෙන් දිවි ගෙවීමෙන් ඔබට ඒ අනාවැකිය ඉටු කිරීම අපහසුය. " 

කුවණ්ණා මඳක් නිහඬව ඔහු දෙස බලා සිටියාය. 

" එබැවින් ඔබ දෛවය ඔබ යලිත් ලක්දිව රජ කිරුළ වෙත රැගෙන යන බවට මම සැක කරන්නෙමි. එලෙස මට නිරතුරු හැඟෙයි. එවිට ඔබ පසෙකින් මට හෝ අපේ දරු දෙදෙනාට නියමිත ස්ථානයක් නැත. එබැවින් මසිත අවිනිශ්චිතාවයෙන් සහ එනයින්ම හට ගන්නා සිත් තැවුලෙන් පිරී තිබීම අරුමයෙක් නොවේ. "

ඇගේ ඒ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් කිවයුතු කිසිවක් එක්වර හිතට නොනැඟි හෙයින්ම විජය මොහොතක් දෑස් පියාගත්වනම නිහඬව හුන්නේය. කුඩාවුන් දෙදෙනා කෙළි දෙලෙන් නඟනා සිනා හඬ සහ ඔවුනට සෙවනදුන් තුරු පියසේ සැඟවී හුන් යම් පරවියකු වන් පක්ෂියෙකු වරින්වර නඟනා කූජනය හැරුනු විට අවට පැවති දැඩි නිහඬතාවය බිඳීනු වස් වෙනත් කිසිදු හඬක් නොනැඟුනු කාල ප්‍රාන්තරයකට පසු අවසන ඔහු ඉදිරියට නැවී ඇගේ සුරත ගෙන සිප ගත්තේය. 

" ඔබගේ සිතෙහි ඇති බිය සහ අවිනිශ්චිතතාව සහේතුක බව මම දනිමි, කුමරියනි...එසේම ඒ බව පිළිගන්නෙමි. එහෙත් මාගේ හෘදය විදාරණය කොට මේ මොහොතේ ඔබට පෙන්වාලිය හැකිනම් මා කියන්න ඔබට දිවිහිමියෙන් විශ්වාස කල හැකිබව ඔබට එකහෙලා පැහැදිලිවනු ඇත.කුවණ්ණා..මම බැගෑපත්ව ඔබගෙන් ඉල්ලා සිටින්නෙමි. සොඳුර මා කෙරෙහි විශ්වාසය තබනු මැන. " 

ඔහුවෙත ඇදී ආ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තීය.තම වමත ඇගේ දසරුව වටා යවා ඇය තුරුළු කරගත් විජය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නට වූයේය. තුරු පියසෙහි සැඟව ගී ගයමින් හුන් කුරුල්ලා අතු පතර සොළවමින් ඈත කොහේදෝ පියඹා ගියේය. ඒ හේතුකොටගෙන ගිලිහුණු හරිතවන් පත්‍රයක් කරකැවෙමින් බොහෝවෙලාවක් ගනිමින් තණ පලසට පතිත වූයේ ඔවුන් අසළින්මය. 

සුරත දිගුකොට ඒ පත්‍රය අතට ගත් ඈ හඬ අවදිකලේ ඒ දෙස නෙත් යොමුකොටගත්වනමය. 

" වන්නාටය..කම් නැත කුමරුණි..අනාගතයේ සිදුවන්න නිවැරදිව පුරෝකථනය කල හැකියාවක් නොමැති අප වැන්නවුන්ට ඇත්තේ උපෙක්ෂාසහගතව පොරොත්තු වීම පමණකි.එලෙසම අනාගතය පිළිබඳව කොතෙකුත් වික්ෂෝප වෙමින් සිත් රිදවා ගනිමින් වර්තමානයෙහිද තැවීමෙන් කිසිදු පලක් නැති බවද මම හොඳින් දන්නෙමි. එබැවින් සියළු දේ අනාගතයට භාර කොට නොතැවී වර්තමානයෙහි ජිවත්වීමට මම අදිටන් කොට හත්තෙමි. කුමරුණි..ඔබගේ සිතෙහි පිරී ඉතිරීයන්නාවූ දැඩිප්‍රීති ප්‍රමෝදයට මම බාධකයක් වුනු නම් මට සමාවන්න. " 

අවසන් වදන් කිහිපය ඇය තෙපලූයේ ඔහු වත ඉඳුරාම බලමින් සිනාසෙමිනි.විජය ද ඈහා එකව සිනාසුනු නමුදු ඇගේ දිළිසෙන දෑස ඔහු තුල ඇති කලේ යම් අවිනිශ්චිත හැඟීමකි. 

" පියාණනි, මේ අයියණ්ඩිය මා හට අර එපිට පිපී ඇති මල් නෙලනු පිණිස යන්නට ඉඩ නොදෙයි. " 

දිසාලා දිවගෙන පැමිණියේ පැමිණිල්ලක්ද කරමිනි. විජය ඇය තම ඇක ය මත හිඳුවා වැළඳ ගත්තේය. ඒ පසුපසම දිව ආවේ ජීවහත්ථය. 

" නැත පියාණනි..නැඟණිය එහි තනිව යාම ට ඉඩදිය නොහැකි බව පමණකි මා පැවසූයේ.." 

" එසේද පුතණුවනි?.....එසේනම් දියණිය ඔබේ සොයුරාගේ ක්‍රියාව මම ද අනුමත කරමි. කිසිම විටෙක මා හෝ මෑණියන්ගේ ඇස ගැටෙන මානයෙන් ඉවත්ව බැහැර නොයාමට ඔබ දෙදෙනම තරයේ සිහිතබා ගත යුතුයි. අපගේ ඉදිරි කාලය ගතකලයුතු වනුයේ මහ වන මධ්‍යයේ බැවින් ඒ ඔබගේ ආරක්ෂාව පිණිස මහෝපකාරී වනු ඇත. එන්න ඔබ දෙදෙනම මා සමඟ..අපි යමු ඒ මල් නෙලා ගනු පිණිස " 


විජය හිඳ හුන් තැනින් නැඟිට්ටේ කුඩාවුන් දෙදෙනාගේ දෑත් අල්ලා ගනිමිනි. 

" අප මහවන මැද ජීවත්වන්නට යන්නේ මන්ද පියාණනි?...." 

ඒ පැණය ජීවහත්ථගෙනි. 

" ඉවසිලිවත් වන්න පුතණුවනි. ඒ මක් නිසාද ? එවන් තීරණයක් මට ගැනීමට සිදුවූයේ මන්ද යන සියලු කරුණු සවිස්තරව නුදුරු දිනෙක මම ඔබ දෙදෙනාට පහදා දෙන්නෙමි. එතෙක් ඉවසිලිවත් වුව මැනවි. " 

විජයගේ දෑතේ එල්ලී තම සිඟිති දෑත් දිගු කරමින් ඔහුගෙන් කිසිවක් විමසමින් ඔහුගේ දිගු පියවර හා සමපාතවනු පිණිස වරෙක මඳක් දුර දුවමින් පුත්‍රායා සහ දියණිය ඈත පෙණෙන මල් ගොමුව වෙත ගමන් කරනු කුවණ්ණා රුක් ගොමු සෙවණැල්ලේ සිට බලා සිටියේ ළය පිපිරීයන තරමේ සෙනෙහසකිනි. 

දුම්රක්ගල පිහිටියේ ලංකා පුරයේ සිට අසුපිටින් දිනක ගමනක දුරකින් වුවද නිවීහැනේ අවට සිරි නරඹමින් කුඩාවුන් දෙදෙනා අසුපිට බොහෝවේලා ගමන් කිරීමෙහි මැලිබවක් දැක්වූ හෙයින්ම හෝරා තුන හතරකට වරක් මග අසල පිහිටි තුරු ගොමුවක නැවතී විඩා හරිමින් ගමන් කල ඔවුහු ඉලක්ක ගමනාන්තයට ළඟාවූවෝ පසුදින හිරු අස්තගතවීමට හෝරාවක් පමණ තිබියදීය. 

කුවණ්ණාගේ මුත්තණුවෝ ඔවුන් පැමිණෙන බව තම බල ප්‍රදේශයෙහි සීමා මායිම් නිරතුරු රැකවළෙහි යෙදෙන මුර භටයින්ගෙන් සැළවූයේ මාර්ගය කෙළවර මහා නදියෙහි මෙගොඩ ඉවුරෙහි ජලයට හොඳින් ඔරොත්තුදීමෙහි සමත් කුඹුක් වන් ලී දඬු සිටවා ඉඳිකොට තිබුණු තොටුපලට පැමිණ සිටියෝය.





තුඟු එසේම තවමත් ශක්තිමත් සිරුරකින් හෙබි ඔහුගේ ළය වසා සිටියේ සුදු පැහැ දිගු රැවුලකිනි.අසුපිටින් බට කුවණ්ණා වහා ඔහු වෙත ගොස් නමස්කාර කලාය. කුඩාවුන් දෙදෙනාද ඇය අනුගමනය කලෝ කිසිදු ඇණවීමකින් තොරවමය.විජයද ඔහු ඉදිරියේ දණින් වැටීමට තැත් කලමුත් වාශිෂ්ඨී; එසේය කුවණ්ණාගේ මුත්තණුවන්ගේ මේ මල් බෑයා නමින්ග් වාශිෂ්ඨී වෙයි; ඔහු වැළැක්වූයේය. 

" අහෝ..මා අබියස දණ නොගසනු මැන රජතුමනි........" 

වාශිෂ්ඨී විජයගේ දසරුවෙන් අල්ලා ඔහු නැඟිටවමින් පැවසූයේ ගැඹුරු හඬකිනි. වසසින් වසර අනූවකට ආසන්න වූ නමුදු ඔහු තවමත් තරුණයකු මෙන් ශක්තිමත් බව තම දසරුවට දැනුනු ඔහුගේ අතැඟිලිවල ග්‍රහණයෙහි දැඩි බව විජයට කියා පෑවේය. 

" මම තව දුරටත් ලංකාද්වීපයෙහි රජු නොවන්නේය, මුත්තණුවනි...මම ඊයේ උදෑසන සිට රජකම අතහැර දැමූයෙමි. " 

" එසේනම් ඔබ මෙහි පැමිණියේ කුමන තරාතිරමක අයෙකු ලෙසද යන්න දැනගනු රිසියෙමි…." 


වාශිෂ්ඨී විමසූයේ සිනා සෙමිනි. 

" ඒ ඔබගේ මිණිබිරියගේ සැමියා නො එසේනම් ඔබගේ මුණුබුරා ලෙසයි මුත්තණුවනි. ඔබගේ මුණුබුරා ලෙසයි….." 

විජයද සිනාසෙමින් පැවසූයේ කුවණ්ණා දෙස හිස හරවා බලමිනි. 


මතු සම්බන්ධයි...... 




Tuesday, July 16, 2013

202. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම


අර ගුරුවරියක් දණ ගැස්සවීමෙ සිද්ධිය හින්ද මයෙ මොන්ටිසෝරි කාලෙ ඉඳල පටන් ගත්තු කතාව ගුරුවරියක් සමඟ මගේ ජීවිතය ගැන කතාකරන තැනට ආවනෙ. ඒ කොටස් දෙක මෙන්න මේ විදිහයි. 



මම එදා කතාන්තරේ ඉවර කලේ එදා අර අපෙ උන්දෑ එයයිලගෙ ඉස්කෝලෙ පොඩි එකෙක් ගෙදර එක්කං එන්ට ලැහැත්ති වෙච්චි තැන..කොලුවගෙ නම අසිත.. 

ඔන්න පහුවදා අපෙ උන්දැ ඉස්කෝලෙ ඇරිල එනකොට එක්කං ආපි අර කොලුව. අනේ ඒකා අන්ඩර් ෆෝටීන් කිව්වට අවුරුදු දහයකවත් නෑ පෙනුමක්. බොහොම හීනැසි සරීර කූඩුව. ඒත් ඒකගෙ හිනාව... හරිම අහිංසකයි. ඒ වගේම බොහොම ලැජ්ජකාරය..අපෙ උන්නැහැගෙ පස්සෙම්මයි..මැඩං ..මැඩං...කියාගෙන..මම දෙතුං පාරක් බැලුව කොල්ලව කතාවට අල්ල ගන්ට..ම්හු...හරිගියෙ නෑ..ඌ ඇඹරි ඇඹරි ඔළුව හොල්ල හොල්ල හිටිය මිසක වැඩි කතා බහට ආවෙ නෑ...පස්සෙ මාත් වැඩේ අල්ලල දාල ඌට ටී.වී. එක දාල දුන්න. 

ඒ දවස්වල ඔය බැඳපු මුලම කාලෙ අපෙ ගෙදර බඩු බොහොම අවම මට්ටමෙං තමා තිබ්බෙ. කොහොමහරි මාස හයක් විතර යනකල් අපි නිදාගත්තෙ ඩබල් මෙට්ටයක් බිම දාල.ඒකෙ නිදාන කතාවනම් මෙහෙමයි. අපි ඔන්න ඇඳක් හදාගත්ත අපෙ උන්නැහැගෙ පංතියෙ ගෝලයෙක්ගෙ තාත්තට කියල.මිනිහ නමගිය වඩුව.ඒත් මොන යකෙක් වැහිලද මන්ද මේ යස්සය හදාපු ඇඳේ උස ඔන්නම් යන්තං අඟල් නමයක් ඇති පොළවෙ ඉඳල. ඒ කෙහෙම්මලේ බුදියනව කියන්නෙ ආය බිම බුදියනව වගේම තමයි. 

ආපහු පාරක් ගෙනත් දෙන්න මිස්, මම හොඳට හදල දෙන්නං..මම මේ ටිකේ ගෙදර හිටියෙ නෑ...ගරන්ට ගියා...ගෝලයෙක් ඕක හැදුවෙ…අපෙ උන්නැහැ මිනිහට සත්තම දැම්මම මිනිහ ඔහොම කිව්වලු...ඇත්තත් වෙන්ට ඇති. ඒ පැත්තෙ මිනිස්සු ඔය කාලෙකට යනව මැණික් ගරන්ට කැළේ. 

මම කිව්ව මේ ආය ඕක උස්සං ඒ මනුස්සය ගාවට යන්ට ඕන නෑ..මම මෙහෙ මම දන්න වඩ්ඩෙකුට කියල ඕකෙ කකුල් උස්සන්ටනෙ තියෙන්නෙ ඒක කරවන්නංකො කියල. ඒ කකුල් උස්සන ව්‍යාපෘතිය කෙරෙනකල් අපි දෙන්න මෙට්ටෙ බිම දාල තමයි ඔන්න නිදාගත්තෙ. 

අපෙ උන්නැහැට මදුරුවො කියන ජාතිය පෙන්නන්ට බෑ. මයෙ හිතේ ඔය ආත්ම ගානක ඉඳල එන සංසාරගත පුරුද්දක් වෙන්ට ඕන. බැඳපු අළුත් මට මහ විහිළුවක් ඕක. ඇයි දෙයියෝ සාක්කි මේ කිං සයිස් නෙට් එකක් තියනව. ඔවුන්දැ ඕක දිගඇරල ඇඳ වහන්නෙ යාන්තමට හවස පහ වෙනකොට. 

" මොකද අනේ මේ?...යන්තං කලුවර වෙනකොට නෙට් එක දාන්නෙ?...අර පාරෙ යන කවුරු හරි දැක්කොත් එහෙම හිතයි මේ ඊයෙ රෑ දාපු පාර තාම එහෙමමය කියල. හතර විලිලැජ්ජාවෙ පස්වෙනි එක. " 

" හුහ්...ඔයා නං කියයි..ඔයාට මොකද?....මම එපාය විඳවන්ට මදුරුවො කෑහම...මදුරුවො කාපුවම මගෙ සිල්ලං එනව.. " 

ඒ එවුන්දැගෙ තව එක වචනයක් මම අම්ම මුතුං කාලෙ අහපු නැති..සිල්ලං කියන්නෙ ඔය රතුවෙලා එන්නෙ පොඩි පළු වාගෙ...මකුණො කූඹි එහෙම කෑහම..අන්න ඒවට එවුන්දැ කියන්නෙ සිල්ලං කියල… 

" හෙහ්, හෙහ්,හා..හරි, හරි එහෙනං දාන්ටකො නෙට් එක..හැබැයි ඒ එක්කම ඔය ජනේලෙත් වහල දාන්ට.." මම එහෙම කියල වැඩේ ෂේප් කර ගන්නව. 

මෙවුන්දැ පහ වෙනකොට ඇඳට නෙට් එක දාල ජනේලෙත් වහනව මදිවට මදුරු කොයිල් දෙකක් පත්තු කරල එකක් ඇඳ යටයි, අනික ඇඳ ඉහත්තාවෙ තිබ්බ මගෙ වේවැල් පොත් රාක්කයක්..ඔන්න ඕක උඩයි තියනව..මගෙ ඇඟේ ලේ වතුර වෙලයි ඉන්නෙ..එකක් අර කොයිල් එක පත්තුවෙලා ගිහිල්ල පොත් වලට ගිණි ඇවිලෙයි කියල.අනික ඔය මදුරු කොයිල් පැකට් එකත් එක්ක දෙනව කොයිල් එක රඳවන්ට තහඩු කෑල්ලක්. ඕකෙ තියනව බොහොම තියුණු උලක් වගෙ එකක්. ඒක උඩ තමයි කොයිල් එක රඳවන්නෙ. 

ඉතිං කොයිල් එක පත්තුවෙලා අළුවෙලා ඉවර උනාම ඔය උළ තියනව කොහෙ හරි තිබ්බ තැන උඩට හැරවිලා අර රජකාලෙ අපරාදකාරයො උල තියන්ට හිටවපු යකඩ උල් වාගෙ. දැකල ඇති නේද අර රොබර්ට් නොක්ස්ගෙ එදා හෙළ දිව පොතේ තියෙන්නෙ රූපයක් හිට ඇඳල පැහැදිලි කරල උල තියන විදිහ. 

ඉතිං මගෙ බඩ පපුව හීතල වෙලයි තියෙන්නෙ මේ මනුස්සය රෑ තිස්සෙ නැඟිට නැඟිට කොයිල් පත්තු කරල එහෙ මෙහෙ තියල උදේ හිමිදිරියෙ මම ඔය දොට්ට පිලට එහෙම යන්ට ඇඳෙං බහිනකොට කොහොමද ඤරස් ගෑවිල්ලෙ අර කොයිල් උලක් උඩ එහෙම කකුල තිබ්බ නං… 

" විකාරද අනේ..ඔයා හිතන්නෙ මට පිස්සුය කියලද? එහෙම තැං තැංවල හදිස්සියෙ පෑගෙන විදිහට මම කොයිල් පත්තු කරන්නෙ නෑ...බය නැතුව ඉන්ට.." 

ඔන්න මම ඔය ගැන කිව්වම එයයි දුන්නු උත්තරේ....ඉතිං මට තනියම කල්පනා උනේ..අනේ අම්මප මේ එක වහලක් යට විවාහ ජීවිතයක් ගතකරන එක ඇවිල්ල සෙල්ලං කෙලියක් හේම නෙවෙයි මහ පණයන වැඩක්..කොටිම්ම ඇඳෙං බහින්ට වෙල තියෙන්නෙත් පණ ගැහි ගැහි..ඇයි කොයි වෙලාවෙ කොයිල් උලක් යටි පතුලෙ ඇණෙයිද කියල උඩ ඉන්න දෙයියො තමයි ඔන්න හරියටම දන්නෙ... 

කෝකටත් එවුන්දැ කිව්වට එහෙම පෑගෙන තැංවල කොයිල් පත්තු කරන්නෙ නැත කියල මම ඇඳෙං බැස්සෙ කොට්ටෙ යට තියෙන ටෝච් පොල්ල එහෙම ගහල හොඳට වටපිට හොදිවිසි කරල තමයි..හෙහ්, හෙහ්, කෝකටත් සූදානම් සරීරේය කියල... 

අනේ කිව්වට ඇස්වහක් කටවහක් නෑ රෑට නිදියෙන්ට ලෑස්තිවෙලා මෙවුන්දැ නටන නාඩගම නං ඔන්න බලා ඉන්ටම වැඩේ. ඔයයිගෙ තියනව ඔය දනිස්ස ගාවට විතර දිග කලසං..ඉස්කෝලෙ ඇරිල ආපු ගමං  ඔව්වයිං එහෙකට තමයි ඔන්න බහින්නෙ කෙලිම්ම... ආය නෑ කතා දෙකක්...

" මේ..ඒයි....මම ගෙදරට කලිසං තමයි වැඩිපුර අඳින්නෙ..ඉතිං බැන්දට පස්සෙත් එහෙම ඇන්දට කමක් නැද්ද? " 


දවසක් උදේ මේල් බස් එකේ යද්දි එයයි මගෙං ඇහුව හෙමිහිට..ඒක වෙලා තියෙන්නෙ මයෙ ඉන්නවනෙ වසවර්ති යාලුවො රැලක්..එවුං මේ මනුස්සයව බය කරල අපෙ අම්ම හරි සැරයිය, උඩරට කුල කතක්ය...නාන්නෙත් ඔසරිය ඇඳල මුතු පොටකුත් දාගෙනය, නඟේ ඔයයිටත් එහෙ ගිහාම ඉන්න වෙන්නෙ ඔසරියක් ඇඳගෙන තමාය අරකය , මේකය රටේ නැති විපිරියාස...අනේ අප්පේ මෙවුන්දැගෙ තුම්මුනිං දාඩිය දාල..ඉම්පස්සෙ තමයි ඔන්න මයෙං අරම ඇහුවෙ. 

" පිස්සුද අනේ?..ඔයට කැමති එකක් අඳින්ට..මොකවත්ම නැතුව හිටියත් මම නෙවෙයි......" 

මමත් රහසින්ම වගෙ කිව්වෙ කෙලින්ම ඉදිරිය බලාගෙනඉස්සරහ සිට් එකේ උඩ පොල්ල දෑතිම්ම මිරිකගෙන....උන්දැ රතු උනා රතුවිල්ලක් බක් මහේ පල ගත්තු ජම්බයක් වගෙ..හෙහ්, හෙහ්.. 

" ෂික්..කියන එව්ව..අර එහා පැත්තෙ අබේ අයියටත් ඇහුණද මන්ද?...." 

තුං දෙනා ඉන්න සීට් එකේ මට එහා පැත්තෙ හිටියෙ ඒත් මගෙ යාලුවෙක් අබෙය, ඒ වෙලාවෙ ඒක පත්තරයක් දිග ඇරගෙන උන්නෙ… 

" ආ..ඉන්ටකො මම අහන්නං ..මේ අබේ උඹට ඇහුණද මම කිව්ව එක මේ........." උන්දැ මගෙ අත කෙනිත්තුව ලේ පනින තරමට. 

" මේ පිස්සු විකාර කරන්ට ලෑස්ති උනාද ඒ ගමන?...නොකිව්වයි කියන්ට එපා ඔන්න මම බහිනව ඊළඟ හෝල්ට් එකෙං.." රැව්ව රැවිල්ලක් මයෙ වම් පැත්තම අළු වෙලා යන්ට... 

ඉතිං නිදාගන්ට පලමු ඔය සෝට් බෑයත් ඇඳගෙන ඔන්න නගිනව කනප්පුවක් උඩට. ඕකටම හදාගත්තූ පොඩි මෙවලමක් තිබ්බ එයයිගෙ..ඕකටම කිව්වෙ මේ මදුරු මැරිල්ලට..පරණ කොහු මිටක කෙරෝලෙ අඩියක් විතර දිග අඟල් හයක් විතර පලල ලෑලි කෑල්ලක් ගහල..මමමයි ඕක හදල දුන්නෙ එයයිට..හරියට අර දැකල තියද අර ගෙවල්වල බවුන්ඩේසංවල ( Foundation කියන එක එහෙම තමයි කට වහරට හැඩ ගැහිල තියෙන්නෙ ) පස් තලද්දි පාවිච්චි කරන්නෙ තාප්ප මෝල කියල එකක්..ආන්න ඒ වගේ එකක්. ඒත් එච්චර බර නෑ..බෝම සැහැල්ලුයි. 

ෆවුන්ඩේෂන් ගැන කියනකොට ඔන්න තව පොඩි කතාවක් මතක් උනා..එක්කො ඒකත් කියලම ඉඤ්ඤංකො නැත්තං ඔව්ව අමතක වෙනව..නිදහස් චතුරශ්‍රෙ තියන ශ්‍රී ලංකා පදනම් ආයතනය දන්නව නේද? Sri Lanka Foundation Institute ..දන්නවද ඕකට ඔය නම වැටුන හැටි...හැත්තෑ ගනංවල මැද වගෙ ඔය බිල්ඩිං එක පටංගෙන ඔන්න බවුන්ඩේසම දැම්මය කියමුකො. ඊට පස්සෙ ඔන්න සල්ලි ටිකක් හුරස් පරස් වෙලා හිට අවුරුදු ගානක් ඕකෙ බවුන්ඩේසම විතරයි තිබ්බෙ...දැකල ඇතිනෙ ඔය ගංවල එහෙම තියනව අනන්ත, සල්ලි යහමිං තියෙන කාලෙ හදන්ට පටංගත්තු ගෙවල්වල බවුන්ඩේසම විතරක් හදල කැලේට යට වෙලා තියනව. 

අර නිදහස් චතුරශ්‍රෙ බිල්ඩිමත් ඔය විදිහට සෑහෙන කාලයක් තිබ්බ. එක එක කට කතාත් ඒ කාලෙ ඕක ගැන පතුරුනා. ඒකෙ බවුන්ඩේසම විතරක්ය හදන්ට සැළසුම් කරල තිබ්බෙ..බිල්ඩිම වෙනම තැනක හදනවය, අරකද මේකද රටේ නැති එව්ව.....අනික ඒ කාලෙ ඕකට මිනිස්සු කිව්වෙ බවුන්ඩේසම කියල..අර බවුන්ඩේසම ගාව හෝල්ට් එකෙන් බැහැපං බං ..එතකොට සී.සී.සී. එකට කිට්ටුයි... ඔන්න ඔය වගෙ.... 

ඒත්කාලෙකට පස්සෙ ඔන්න කොහොමිං කොහොමිං හරි බිල්ඩිමේ වැඩ ආයම පටංඅරගෙන ඉවරයක් උනාය කියමුකො. අන්තිමට නම හැටියට දැම්මෙ මිනිස්සු කියාපු නමම තමයි..බවුන්ඩේසම...ඒකෙන් තමයි ඔය අද කියන නම ආවෙ..ශ්‍රී ලංකා පදනම් ආයතනය...මම ඒකෙ වෙබ් අඩවියටත් ගිහිල්ල බැලුව ඔය මූලාරම්භය සහ නම හැදුනු හැටි ගැන මොකවත් සඳහනක් තියද කියල කොහෙද ඔහෙ නෑ. අපේ කොහොමත් හැටියක්නෙ ඒක...මුල මතක නැති එක...ලියල යවන්ට ඕන මගේ දැඩි විරෝධය පලකරල අපේ අනාගත පරපුර දැනුවත් වීම් උදෙසා හෝ මෙවන් ඉතා වැදගත් අතීත තොරතුරු ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව... 

හරි ආපහු අපෙ කතාවට.... 

සිවිලිම පුරාම වහල ඉන්නව ඔන්න මදුරුවො....මුන්දැ කොරන්නෙ අර තාප්ප මෝලෙං හෙමීට ගහල මදුරුවො චප්ප කරල දානව. අත දිග මානෙ මදුරුවො ඔක්කොම ඉවරයක් කලාම ඔන්න බැහැල කනප්පුව අදිනව තව තැනකට එම වැඩ පිළිවෙල ඔන්න නැවත ක්‍රියාත්මක වෙනව. රිපීට් ද ප්‍රෝසස් කන්ටිනිව්ලි අන්ටිල් යූ ආ ටෝටලි සැටිස්ෆයිඩ් දැට් යුවර් ඔබ්ජෙක්ටිව්ස් හෑව් බීන් අටේන්ඩ්....ආන්න එහෙමයි වැඩේ යන්නෙ. තේරුණාද ඔහෙලට?..වඩමාරච්චි මෙහෙයුම තව මොකක්ද ? මේකනෙව වැඩේ... 

මට ඉතිං මුලිම්ම මේක බලා ඉන්න එක පිස්සු වගෙ...මෙයයිගෙ මේ විප්‍රකාරෙ මයෙ කටත් බාගෙට ඇරගෙනයි බලාහිටියෙ කියල පස්සෙං පහු දවසක එයයිම මා එක්ක කිව. ඇත්තම වෙන්ටැති...ඇත්තම වෙන්ටැති... 

මම ඉතිං කලේ උඹ ඕන කෙහෙල්මලක් කොරගනිංය කියල මෙට්ටෙ සනීපෙට දිග ඇදිලහිට පොතක් බලන එක.ඒ අතර හෙමීට මේ බහුරූ කෝලම දිහාවෙත් එක ඇහැකිං හෙමීට බලනව. එවුන්දැත් මම බලනවද කියල හොරෙං බල බල තමයි මදුරු ඝාතක ව්‍යාපෘතිය කරගෙන යන්නෙ. එහෙම නිස්සද්දව ඒ වැඩේ කරනව නම් බැරිය තව....ඔන්න ඒ අස්සෙත් කතාව... 

" අම්මේ..මේ බලන්ටකො ඒයි මේ මදුරුවගෙ මහත...මූ අද මගෙ ලේ බිව්වනම් එහෙම ඇඟේ තියන ලේ වලින් බාගයක්ම බොයි. අපෙ ඇඟේ ලේ කොච්චර තියනවද ඒයි? " 

ඔය අහන්නෙ ආය නොදැන එහෙම නෙවෙයි..එයා ඇවිල්ල සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපන ගුරුවරී වෙච්චි. ඕක දන්නෙ නැද්ද?..ඔය අහන්නෙ මාව අවුස්සන්ට නෙව...මම අර පොත බල බල ඉන්න එකෙං අයිං කොරෝල එයාගෙ වල් පල් කියවිල්ලට හවුල් කොරගන්ට... 

" පනිට්ටු තුනයි දශම හතරයි තුනයි...." මම පොත දිහා බලාගෙනම උත්තර දුන්න. ඕනම ගණං හිලව්වක් ඉදිරිපත් කරනකොට දශමස්ථාන දෙකකට කිව්වම ඒකෙ  තියනව පොඩි විශ්වාසනීයත්වයක් සහ ඒ වගේම ගතියක්.

" ඔය කිව්වෙ ඔන්න කිව්ව..ඔන්න කිව්ව... ..පනිට්ටු වලින් කොහෙද මනුස්සයෝ ඇඟේ ලේ ප්‍රමාණෙ මනින්නෙ?.." 

" අනේ මන්ද සමහරවිට දැං මනින්නෙ කැන්ද ගොටු වලින්ද නම් මන්ද..අපි ඉස්කෝලෙ යනකාලෙ නම් ලේ ප්‍රමාණෙ මැන්නෙ පනිට්ටු වලින් තමයි…" 

" ආආ..ඒක කෝක හරි..ඒයි මේ මේ බලන්ටකො මූ නං අනිවාර්යයෙන්ම ඩෙංගු මදුරුවෙක් වෙන්ට ඕන.." 

ඒ දවස්වල ඔය ඩෙංගු වැඩේ නැඟල ගිය කාලයක්නෙ. අපෙ උන්නැහෙත් ඉස්කෝලෙ සෞඛ්‍යය ටීචර් විදිහට පංතියෙ ළමයි එක්ක යනව සති දෙහෙකට විතර දවසක් මුළු ගම්මානෙ පුරාම ඩෙංගු මරන්ට. ඩෙංගු මරන්ට යනව කියන්නෙ ඔය මදුරුවො බෝවෙන වතුර එකතුවෙන තැං විනාස කරල දාන්ට, ගමේ මිනිස්සු දැනුවත් කරන්ට ..ඔය වගෙ රටේ නැති එව්ව...ඒ කරල කරුවල වැටීගෙන ඔන්න එනව පාං කියාගන්ට බැරුව....හෙහ්, හෙහ්, 

" ඩෙංගු මදුරුවයි කියල දැනගන්ට ක්‍රමයක් නම් තියනව. එවුංගෙ තටු දෙකේ ඩී අකුරක් වගෙ තියනව.."' මම පොතෙං ඇස් දෙක අහකට අරගෙන කියනව. 

" පිස්සුද අනේ... එහෙම ඩී අකුරු හොයන්නෙ කොහොමද මදුරුවංගෙ?....වෙන ක්‍රමයක් නැද්ද?...." ඔය කියන ගමනුත් උන්දැ මදුරු සංහාරය ජයටම කරගෙන යනව. 

" ආ.. ඩී අකුරු හොයන එක අමාරු නං තව ලේසි ක්‍රමයක් තියනව. " මම කෙලිං වෙල මෙට්ටෙ ඉඳ ගන්නව.. 

" ඒ මොකක්ද? " 

" ඩෙංගු මදුරුවගෙ කුඩා බඩවැල දඟර වැටිල තියෙන්නෙ දෙපාරයි. අනික් ඔක්කොම මදුරුවංගෙ දඟර තුනක් තියනව. " 

" අනේ..මෙහ්...…මම කිව්වයි කියල හිතා ගන්නවා හොඳද? "

මම කෝකටත් සූදානං සරීරෙ කියල ක්ෂණිකව කොහාට හරි පැනගන්ට බලාගෙන ලෑස්තිපිට ඉන්නෙ....අර තාප්ප මෝලෙම්ම කෙලල අරින්ටත් බැරි නෑ ඔය යෝදි..හෙහ්, හෙහ්, 

ඔය අම්මණ්ඩි මදුරුවන්ට කොච්චර බයද කිව්වොත් මාසෙකට සැරයක් මදුරු දැළ අරගෙන ගිහිල්ල මැලේරියා මර්දන කාර්යාලෙං අර බේත් වතුරෙ ගිල්ලවල අරගෙන එනව. නෙට් එකේ හතර කොණේ සුදු රෙදි පටි මහනව ඇඳේ කකුල් වලට අල්ලල බඳින්ට. ඒ ඔක්කොමත් කරල නෙට් එක ඇඟේ ගෑවුනොත් ඒ තැන්වල මදුරුවො කනවය කියල බිත්තිය දිගට නෙට් එක ඇතුලෙං තියනව කොට්ට පෙලක්..අනෙ අම්මේ අල්ලපු ජල්ලියක් නිදාගන්න ටිකට...අනේ ඉතිං වෛවාහික දිවියක් ගෙවනවය කියන්නෙ මේ ඔල්මොරොන්දං ඔක්කොම දැක දැකත් නොදැක්ක වගෙ මෞන ව්‍රතයට සම වැදිල ඇහැ කණ කට පියාගෙන ඉන්න එකය හිතල මම ඔය මොකවත්ම නොකිය ඉන්නව. ඒත් එහෙම ඉන්ටම බැරි වෙනකොට..... 

" මේ මම ඔයාගෙන් අහන්ටම කියලයි හිටියෙ..ඔය උපන්ගෙයිම හැටිද? ඒ කිව්වෙ පරම්පරාවෙන්ම එන විදිහද? නැත්තං ඔයාම ස්ව උත්සාහයෙන් වර්ධනය කරල පුරුදු පුහුණු කරගත්තු දෙයක්ද?.." 

මම කොට්ටෙට හේත්තු වෙලා පොත දිහාවෙ බලාගෙන කියනවා.. 

" ඈ??? මොකක්ද ඒ කිව්වෙ?..ආයෙම කියන්ට බලන්ට? " 

ඔන්න මදුරු සංහාරය ඇණහිටිනව...මම ඔලුව උස්සල බලනකොට මෙන්න මා දිහාවෙ කන්ට වගෙ බලාන ඉන්නව.. 

" මොකක්ද? ……." මම බෝම අහිංසක විදිහට අහනව. 

" මොකක්ද කියල තමයි මාත් අහන්නෙ?...." 

" ඇයි?..මම මොකවත් කිව්වද?...." 

" කිව්ව නේන්නං..කිව්ව එක ගැන තමයි මාත් මේ අහන්නෙ…" 

" ආ..ඒ මේ පොතේ තිබ්බ එකක්..මට හයියෙං කියවෙන්ට ඇති…." 

" ආ..එහෙමද? හරි ඔතන මතක තියාගන්ටකො. මම මේ වැඩේ එකළාසයක් වෙලා එන්නංකො පොතේ එහෙම තියන තැන බලන්ට හොඳද? " 

ඒ තමයි අපෙ උන්දැගෙ මදුරු මෙහෙයුම...හැබැයි එකක් තියෙන්නෙ අපි ඔය කැළේ හිටිය නෙව බැඳල අවුරුදු පහකට කිට්ටු වෙන්ට.එක පාරක්වත් ඩෙංගු මැලේරියා ඔය මොකවත්ම හැදුනෙ නෑ කිව්වම ඔන්න....අම්මප ඇත්තම ඇත්ත... 

හරි ආපහු අර පොඩි එකා ගැන කතාවට..මතකද මංද ඌ ගැන..හරි අසිත තමයි...ඔන්න ඕක ඉතිං අපෙ උන්දැ පස්සෙ ඇඹරි ඇඹරි එකෙල මෙකෙල වෙවී හිටියනෙ..කොලුවට මොනව හරි රහට කන්ට දෙන්ට ඕනය කියල මම ටවුමට ගිහිල්ල ගෙනාව මස් කොත්තු. 

ඒ දවස්වල අළුතෙං කොත්තු කඩයක් දාල තිබ්බ ටවුමෙ කොත්තු ගහනව අපෙ ගෙදරට ඇහෙනව කණේ තිබ්බ වගෙ...සුදු අසු පිට උඩ නැඟලා..ඕක තමයි කොත්තු බාස්ගෙ ෆේවරිට් තාලෙ...ඔන්න කොත්තු ගෙනල්ල කාල කලිම්ම බුදියන්ට සූදානං උනාය කියමුකො. පාන්දර පහමාරෙ බස් එකේ කොල්ලත් දක්කාන යන්ටත් එපාය අපෙ උන්දෙ... 

ඔන්න මට ඇහෙනව කොල්ල ඇඹරි ඇඹරි අපෙ උන්නැහැ එක්ක මොනවද සුටු පුටු ගාල කියනව.. 

" මොකෝ කේස් එක? " මම ඇහුව.. 

" අසිතට ටොයිලට් යන්ට ඕනය කියන්නෙ.." 

" ඉතිං මොකෝ ප්‍රශ්නෙ?..අර තියෙන්නෙ යන්ට කියන්ට…." 

ඒ දවස්වල අපෙ ක්වාටර්ස් එකේ එළියෙං තිබ්බ උක්කුටික පෝච්චි කකුස්සිය වහල දාල තිබ්බෙ. මෑන් හෝල් එකේ මොකක්ද බ්ලොක් එකක් වෙලා.මෑන් හෝල් එක කියන එක දන්නව නේද?..මනු බිල තමයි සිරා වචනෙ...කක්කුස්සියෙං කෙලිම්ම පූතික ටැංකියට එහෙම නැත්තං කවුරුත් දන්න විදිහට කකුස්සි වලට කෙලින්ම මල ද්‍රව්‍ය යවන්නෙ නැතුව ඔය වගෙ අතර මග මනු බිලක් හරහයි ඒ වැඩේ කෙරෙන්නෙ. ඔය නිසා පාවිච්චි කරන්ට තිබ්බෙ ගේ ඇතුලෙ තියන කොමෝඩ් එක විතරයි.මම කිව්වෙ අර පොඩි එකාට ඔය කොමෝඩ් එකට යන්ට පුලුවන්නෙව කියලයි. 

" ඒත් අනේ හරි වැඩේනෙ..අසිත දන්නෙ නෑනෙ කොමෝඩ් එකක් පාවිච්චි කරන විදිහ...." 

" එහෙනං ඉතිං අර ඉපිල් ඉපිල් පඳුරක් යටට යන්ටෙයි කියන්නයි තියෙන්නෙ " ඒ ටික මම කිව්වෙ උන්දැගෙ කණට කරල… 

" මේ කටවහගෙන ඉන්නවද? දැං අර ළමයටත් ඇහෙනව.." 

" ම්ම්ම්..ඒකත් එහෙමයි නේද?..එහෙනං නෝනා එකම දෙයයි කරන්ට තියෙන්නෙ?.." 

" මොකක්ද ඒ?..." උන්දැ මගෙ දිහාවෙ බලා හිටියෙ බලාපොරොත්තු දාහක් දෑසෙ දල්වගෙන.. 

" ඔයා පොඩි එකාට වැඩේ කරල පෙන්නන්ට ...වෙන ක්‍රමයක් නම් මට කල්පනා වෙන්නෙ නෑ…" 

" මොකක්??????......" 


මතු සම්බන්ධයි...... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...