ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල
" අනේ අයියෙ අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව.
ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන ඒකා මගෙන් බැගෑපත්ව එහෙම් ඇහුවම මට මහ මොකද්දෝ වගේ උනා..
" හරි, හරි බං..මොනවහරි කරමුකො..ඉඳහං කලබොල වෙන්නැතුව ඩිංගිත්තක්.." මම එහෙම කියල වදෙං පොරෙං අත ගලවගෙන නැඟිට්ට.
" සැමී..මොනවත් නැද්ද බං තෙල් ටිකක් දාල ගන්ට ? "…ජයේ කෑගහගෙන ගේ ඇතුලට යනව දැකල හෙමීට මාත් ඒ පැත්තට ගියා.
" පපඩං පැකට් දෙක තුනක් නං තිබ්බ මහත්තය.." සැමී කුස්සියෙ දොර ගාවට ඇවිල්ල කිව්ව.
" ආ..ඔය තියෙන්නෙ...ඒ මදැයි...කොල්ලො... මතක ඇතුව වේලිච්චි මිරිස් කරල් හත අටක් පලල ලුණු පොලොත්තෙ දාල තියල ඒ තෙලටම දාල බැදල ගං හොඳද? " වේලිච්චි මිරිස් බයිට් එක ජයේගෙ ෆේවරිට්...
ජයේ ආපහු හැරිල එනකොට සාලෙ මැදදි මම ඒකව අල්ල ගත්ත. " මොකද්ද බං උඹ මේ කරපු වැඩේ?..."
" මොන?..." ඒකා මොකවත් දන්නෙ නැති ගානට ඇහුව බබා වගෙ..
" මොන?.... මොන තමයි..මොකද්ද උඹ අර කලේ?... විජිතයට කවි ලියන්ට මට සෙට් කලේ?...මහ කරදරයක් නෙව බං ඒක...මට උගෙං දැං බේරිල්ලක් නැති වෙයි...කුකුල වී පැදුරට එන්නැහෙ ඔයි යකා දවස තිස්සෙ මයෙ පස්සෙං එන්ට සැට් උනේ නැත්තං බලාපං ඔන්න කවි ලියල දෙන්ටෙයි කියාල…" මම හිතේ කේන්තියටම කියල දැම්ම.
" හරි බං කෑනුගහ ඉඳහං...මෙතන වැඩේ මේකයි මල්ලි...තනිකරම විවුර්ත ආර්තිකය..ඉල්ලුම සහ සැපයුම..මිනිස්සු ඉස්සෙල්ලම ඔය සල්ලි කියන ජාතිය හොයාගන්ට කලින් කලේ මෙන්න මේ වැඩේ..භාන්ඩ හුවමාරුව....ඒ නමැත්තා සතුව ඇති යම් භාන්ඩයක් බී නමැත්තාට අවශ්‍ය වේ. ඒ වෙනුවට එහි වටිනාකමට සරිලන තමන් සතුව ඇති ඒ නමැත්තාට අවශ්‍ය භාන්ඩයක් හුවමාරු කොට බී නමැත්තා තමන්ට අවශ්‍ය භාන්ඩය ලබා ගනී. දෙදෙනාගේම පූර්ණ කැමැත්තෙන් සිදුවන මේ ගනුදෙනුව වනාහී අද පවතින සමස්ත ලෝක ආර්ථිකයෙහි මූලාරම්භයයි. "
ජයේ ඒ එල් වලට ආර්ථික විද්යාව කරල තියෙන්නෙ. ඔය මනුස්සය කැම්පස් යන්නත් තේරිල ගෙදර ප්‍රශ්න නිසා දමල ගහල මේ කැලේ මැද රස්සාවට ආපු එකෙක්.
" හරි දැන් කියාපං උඹේ ඔය ආර්තික විද්දියා පාඩම මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල?...." මම තේරුනෙ නෑ වගෙ ඇහැව්ව...
" මෙතන විජිතයට අවශ්‍ය මොනවද?.... කවි.... ඒත් ඌ ළඟ කවි නෑ. කවි තියෙන්නෙ අපි ...හරියටම කිව්වොත් මල්ලි උඹ ලඟ.ඒත් ඌ ලඟ අරක්කු තියනව. තියනව කිව්වොත් හරියටම හරි නෑ ඇත්තම කිව්වොත්. ඒත් ඌට පුලුවන් අරක්කු ප්‍රසම්පාදනය කරන්න..ආන්න ඒ අරක්කු අපිට අවශ්‍යයයි. ඒ නිසා මියුචුවලි ඇග්‍රීඩ් අපි කවි සහ අරක්කු හුවමාරුවකට.දෙපාර්ශ්වයටම සතුටුදායක සාර්ථක ගණුදෙනුවක්...A win win situation....තේරුණය බොට දැන්වත්? "
" තේරුණා..තේරුණා..මොකද නොතේරි ?..යස අගේට තේරුණා...ඒත් මේ කවි මත්පැං හුවමාරුව නිසා බොහොම ලඟදිම මහ විසාල ජංජලයක් වෙනව මම දන්නෙ ඔච්චරයියෝ...." මම දන්නෙ ඔච්චරයියෝ..ඒකත් මයෙ අත්තම්මගෙ වචනයක්.....හෙහ්,හෙහ්
" හරි එව්ව ඇරිච්චාවෙ..උඹ ලෑස්ති වෙයං කවි ලියන්ට....කෝ මේ විජිතය?..දැං උඹ නහකුණු ගෑවිල්ලෙ නෙවද උන්නෙ කවි ලියන්ට බෑය කියල..ඔන්න වැඩේ කෙරෙන විදිහක් මම සංවිදානය කලා..ඉතිං පල..ගිහිල්ල අරං වර අර කියාපුව.."
" අනේ අයියෙ..මා ගාව මේ වෙලාවෙ සල්ලි නං නෑනෙ...අපෙ බාප්ප කෙනෙක් නැතිවෙලා පෙරෙයිද වගෙ මම අතේ තිබ්බ සල්ලි ඔක්කොම අම්මට යැව්ව..මේ මම කියන්නද?..කවුරුගාව හරි තියනවනං මට ලෝන් එකක් දෙන්න..පඩි ගත්ත ගමං මම ආපහු දෙනව…"
" මේං මේකා කියන එක බලාපල්ල..." ජයේ හක හක ගල හිනා උනා..
" බොල මැට්ටො..අපි ගාව සල්ලි තියේනං මෙච්චර වෙල අර මොනවද කාපු රිලව් වගෙ මෙතන බඩ උලාන බකං නිලාන ඉඳීය කියල උඹ හිතනවද?.... යකෝ සත පහක් නෑ එකෙක් ගාවවත්...ණයට දෙන්නෙත් නෑ ලොක්ක දෙන්ට එපා කියලනෙ තියන ණය බේරනකල්...මල්ලි මෙහෙම කරමු...මේ අපිට බොන්ට ඕන කමටත් වඩා උඹේ මේ පේම ආතල් එක වැඩි දියුණු කිරීමේ පරම පවිත්තර චේතනාවෙන් ගේන යෝජනාවක්...ඇහුණය?..උඹෙ ගාණට දාල ණයට අරං වරෙං බෝතල් දෙකක්..."
" අනේ අයියෙ...එච්චරම ඕනද?...දෙකක්ම ? "
" ආපෝඕඕඕ...මොනවද මල්ලි ඔහොම පුලුවන්ද ලව් කොරන්ට?..නිකං ලෝඩ් බකිංහැම් වගෙ ඉන්ට එපාය ලෝස් බෝස් නැතුව..හරි හරි ඉඳපං මම කියන්ට..උඹ දෙකක් ගෙනෙංකො..එකකට අපි සල්ලි දෙන්නං ලබන සුමානෙ පොල්මුරේ කැඩුනම..එතකොට ඔන්න එකයි උඹ ගානෙ..මේ ඊට අඩුවෙන්නං එහෙම බෑ හරිද? යකෝ කවි ලියනවයි කියන එක සෙල්ලං කෙලියක්ය කියලය උඹ හිතාගෙන ඉන්නෙ? හුහ්...එහ්හෙනනං...."
කොලුව ඒත් ඇඹරෙනව..
" මොකද බොල ඒ පාර?...ඒත් වැඩියි කියලද කියන්න හදන්නෙ?...උඹ ගල් බාගෙකට කවි ලියවගන්නද ඒ පාර හදන්නෙ? මේ ඒ බබා උකුං හරියන්නෙ නෑ හොඳද?...."
" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." ලොක්කගෙ ඔය මොකක්ද දුර නෑ කමක් තියනව විජිතයට කියල අපි දැනගෙන හිටිය.
ජයේට ඒ පාරනං මලම පැන්න..
" මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව පලයං යන්ට...යකෝ තොට දහ අටට වැඩියි නේද? ඉතිං මොකද්ද ප්‍රශ්ණෙ?...උඹ ඇවිල්ල වැඩිහිටියෙක්..ඕනනං බොන්ට එහෙම නැත්තං නාන්ට උනත් උඹට තියනව නිදහස......මේක මේ වෙලා තියෙන්නෙ බොට රැවුලයි කැඳයි දෙකම ඕන...ලව් කොරන්ටත් ඕන කීර්ති නාමය රැකගන්ටත් ඕන....එහෙම බෑ...දොං නං දොං... සිමං නං සිමං..දොං සිමං දෙකක් බෑ.....අන්න ඒක හිතේ තියාගං " ජයේ කෑගහපු පාරට කුස්සියෙ ඉඳල සැමී දුවගෙන ආවෙ තෙල් හැන්දත් අතේ අරගෙන.
විජිතය පස්සට විසිඋනා.." නෑ..නෑ..අයියෙ මං ගේන්නං....සැමී දෙන්නකො ඔය කඩදහි බෑග් එකක් වගෙ මොකක් හරි…" විජිතය කුස්සිය පැත්තට ගියා.
අපේ අර අති බලගතු කනප්පුව මතකයි නේද?...ඔන්න බොරුද මම කිව්වෙ ඕක වටේ වාඩිවෙලා හිටියනං ආයෙ මොකවත් නෑ දෙයියො දුන්න වගෙ බඩු වැඩ කරනව කියල. රයිට් කනප්පුව උඩට ඔන්න වැඩම කලා මත්පැන් බෝතලයයි පපඩං පිඟානයි ගෝල්ඩ් ලීෆ් පැකට් එකයි..කට්ටිය පටං ගත්ත ඩබල් එකේ ලඟ ලඟ නවන්ට. මම ඇවිල්ල බුද්ධ දේශනාව අකුරටම පිළිපදින එකා වෙච්චි. අප්පමාදෝ අමත පදං මහණෙනි, අප්‍රමාදව අමර පදමට පැමිණෙන්න...හෙහ්, හෙහ්, ඇහුණය?...ආන්න එහෙමයි ඔය පරණ පොත් පත්වල තියෙන්නෙ....හරිය?
මගේ සුපුරුදු චර්යාව ඒක උනාට අද මොන විකාරද? අර යස්සය, විජිතය මා ලඟ මුද්දරේ ඇලෙව්ව වාගෙ..හෙල්ලෙන්නෙ නෑ..අනේ අයියෙ කවි ලියමු..අනේ අයියෙ කවි ලියමු...අර පරණ ග්‍රැමපෝන් තැටි එක තැන දුවන්නෙ හිටපු ගමං...අන්න ඒ වගේමයි...
අපි සුට්ටි කාලෙ රේඩියෝ එකේ සිංදු අහද්දි ඔය ආතල් එක හරියට සිද්ද වෙනව. " රාජසඟබෝ හිස දී..දී..දී..දී..." කවුරුහරි දුවගෙන ඇවිල්ල හිට කට්ටට සුට්ටක් ඇඟිල්ලෙං ඇනල එහාට දානකල් දීදීදීදී තමයි ඉතිං....ඔය එකතැන දිවිල්ල බොහෝ විට වෙන්නෙ මහ අසමජ්ජාති අකුරු ගාව.." බොහොම සැරට හුළඟ හමයි ගස් ද වැල්ද ඇදං වැටෙයි .." ඔය සිංදුවෙ කට්ට හිටින්නෙ තුන්වෙනි වචනෙ මුල් අකුරට පස්සෙම තමයි.... ආය ඒකෙ දෙකක් නෑ...
" හරි බාං ඉඳහං ...ටිකක් එක විදිහක් වෙනකල්….කවි ලියන්ට එන්ට ඕන ගැම්මක්…" මම විජිතයගෙ පිටට තට්ටුවක් එහෙම දාල පපඩං කෑල්ලක් කටේ දාගත්ත.
" ඒයි මොනවද බං කරන්නෙ?..ඔය අහිංසකයගෙං අරක්කුත් බීල උගෙ වැඩේ කොරල දෙන්නෙ නැද්ද?...."
විජේ කෑගහනව නටන ගමං...ඌට නටන්ටමයි ඕන...බොන්ට ඕනමත් නෑ...බෝතලේ කනප්පුව උඩ පේන්ට තිබ්බත් ඇති..ඌට ඉබේටම නැටවෙනව.
" අනේ මෙහ්...."
මම ඌට සුපුරුදු හස්ත මුද්‍රාවෙන් උත්තර දුන්නත් ඒ එක්කම නැඟිටල කාමරේට ගිහිල්ල පයිල් එහෙකුයි හාප් සීට්ටෙහෙකුයි පෑනකුයි අරං ආව. විජිතයගෙ මූණෙං එකයි හිනාව. ඌත් පුටුව ඇදගෙන මගෙ තුරුලටම ආපි.
" අඩේ පොඩ්ඩක් එහාට වෙල ඉඳුකො හුලං සුට්ටක්වත් වදින්ට.." එහෙම කියල මම ලෑස්ති උනා කවි ලියන්ට.
" ආහ්හ්..මේ මලේ... කෙල්ලට කවි ලියන්ට කලිං අරං වර අන්තිමට ඒකි බොට එවාපු කවි කොලේ...."
" ඒ මොකටද අයියෙ?..." විජිතය මගෙ මූණ දිහා බැලුව..
" ඒ මොකටද කියන්නෙ?..යකෝ කෙල්ල එවාපු කවි වලටනෙ උත්තර ලියන්න ඕන...."
" ඒත් මේ..ඒත් මේ….." ඒකා ඇඹරෙනව එහාට මෙහාට..
" මේ මට ඒ ලියුම බලන්ට ඕන නෑ බං..කවි ටික විතරක් අරං වර...."
ඔන්න ඒකා ගෙනාව කවි කොලේ...මම ඇත්තම කිව්වොත් ඔය යන්තමට හතර පදයක් එක විදිහකට ගැටගහ ගත්තට එහෙමට කවි කාරයෙක් නං නෙවෙයි. ඒත් ඉතිං අර ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ය කියන්න වගෙ මමත් නිකම්ම කවිකාරයෙක් වෙලයි තිබ්බෙ.
" අම්මට උඩු නයා කිව්වලු…...මරු නෙව මලේ…"
මතක මංපෙත ඇවිද යන සඳ,
සසර ඉම තෙක් ඉසිඹුලා,
තනිය මකනට සුසුම පමණකි,
මහද පිරවෙන නෙතු තෙමා,
තනිය මකනට සුසුම පමණකි,
මහද පිරවෙන නෙතු තෙමා,
කතර දවනා හිරු කිරණ සැඩ,
දවන මාවත ගිනිහෙලා,
කෙලෙස පියවර නඟන්නෙම් මම,
සෙවණ මා පැතු ඔබ තමා,
" මතක මංපෙත ඇවිද යන සඳ…" මම මුල්පදේ තාලෙට ඇදල පැදල කිව්ව සද්ද නඟල කාරිය..
" කෑගහන්ට එපා අයියෙ…" විජිතය බැගෑපත් උනා.
දවන මාවත ගිනිහෙලා,
කෙලෙස පියවර නඟන්නෙම් මම,
සෙවණ මා පැතු ඔබ තමා,
" මතක මංපෙත ඇවිද යන සඳ…" මම මුල්පදේ තාලෙට ඇදල පැදල කිව්ව සද්ද නඟල කාරිය..
" රයිට් ඉඳපංකො එහෙනං පිළිතුරු කයියක් ලියමු. ඊට කලිං දාගෙන ඉම්මු තව එකක් කට කපල...." එකක් දාගත්ත..පපඩමකුත් හැපුව කරස් කියල...
" දැං මේ වනිතාවි මේ කියන්නෙ බෝම දුකින් බරව තනියම සසර මඟ යනවයි කියලනෙ.සුසුම් විතරලු එයයිගෙ තනියට ඉන්නෙ.අනික කාන්තාරෙක යනව වගෙ තමයි එයයිට හිතෙනව කියන්නෙ...ඉර මුදුංවෙලා, කකුලුත් පිච්චෙනව..ඒත් හෙවනකට නෑ කවුරුත්... තනියම තමයි යන්නෙ..ඒත් මලේ අන්තිමට කියනව සෙවන මා පැතු ඔබ තමා..ආන්න ආව ඉම්පෝටඩ් පොයින්ට් එකට..උඹව තමයි පතාල තියෙන්නෙ..හෙහ්, හෙහ් "
විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල..
" අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා.
" නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත.
මතු සම්බන්ධයි.....
මතු සම්බන්ධයි.....