Sunday, April 20, 2025

710 - දිඹුලාගල මතක සටහන් - 5


දිඹුලාගල පන්සල...

"බීඑම් මහත්තය කොහෙද මේ වෙලාවෙ ඇත්තෙ?"

"ගෙදර තමයි සර්..ආපහු ඔෆිස් එක පැත්තෙ නම් ආවෙ නෑ..."

මම ඒ ගමන තකහණියක් ගියා බීඑම් මහත්තය හම්බ වෙන්ට..

ගේ ඉස්සරහ බයික් එක නවත්තනකොටම බීඑම් මහත්තය දොර ඇරගෙන ආවා එළියට.."ආ..එන්ඩ එන්ඩ සුමනෙ.."

බීඑම් මහත්තයා පිටිපස්සෙං ආවා හොඳ උස මහත සුදු ගාම්බීර පෙනුමක් තියන ගෑණු කෙනෙක්..

"සුමනෙ මේ මගෙ නෝනා.."බීඑම් මහත්තයා අඳුන්වල දුන්නා.."ලලිතා මේ සුමනෙ..මෙහෙ මගෙ ලඟම හිතවතා.."

"ආයුබෝවන්..."  බීඑම් මහත්තයාගෙ නෝනා මට දෑත් එකතු කරල ආචාර කලා.....

"ආ..ලලිතා දන්නවද සුමනෙත් මෙහෙම හිටියට හොඳ වළව් කාරයෙක් තමයි..හරි හරි එව්ව ඕන නෑ....අපි  යංකො පොඩ්ඩක් හුළං වදින්ටත් එක්ක  එළියට පුදුම රස්නෙයි.." බීඑම් මහත්තයා මගෙ අතකිනුත් අල්ලගෙන ඇදගෙන වගෙ ගෙයිං එලියට බැස්සා..

"ඉතිං අනේ රස්නෙයි නං මේ ෆෑන් තියෙන්නෙ... අහවල් දේකටද් එලියට යන්නෙ?" නෝනා දොරකඩට ඇවිල්ලා ඇහුවා..

"ඒ ෆෑන් හරියන්නෙ නෑ අනේ මේ රස්නෙට..ස්වාභාවික හුළඟ වදින්ට ඕන..ස්වාභාවික හුළඟ.."

බීඑම් මහත්තයලගෙ ක්වාටර්ස් එකේ මිදුලෙ තිබ්බ පේර ගහ යට ලී බංකුවක් හදල තිබ්බා..අපි දෙන්නා ගිහිල්ල ඒකෙ ඉඳ ගත්තා..

" මොකක්ද බීඑම් මහත්තයා මේ....." මම පටං ගන්නකොටම බීඑම් මහත්තයා අතක් උස්සල මාව නැවැත්තුවා..

"සුමනෙට පුදුම ඇති මම මේ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑය කියපු මනුස්සය එක දවසකිං ආපහු ආවෙ මොකද කියල නේ? අර වඳින්ට ගිය දේවාලෙ ඉහ මත කඩා පාත් උන  මනුස්සයට වෙච්චි එකේ අනික් එකනෙ සුමනෙ මට උනේ..මම ඔන්න ඊයෙ ගෙදර ගියානෙ..අපේ නෝනා කියාපි අනේ වෙසක් පෝයට දිඹුලාගල ගල උඩට හඳ එලිය වැටුනම හරිම ලස්සනයිලු නේද? මගෙ ඉස්කෝලෙ හොඳම යාලුවෙක් අවුරුදු තුන හතරකට කලිං එහෙම ගිහිල්ල වෙසක් පෝය රෑ දිඹුලාගල ගල උඩ හිටියලු..අනේ හෙටම අපි දෙන්න ආපහු යමුකො..අනිද්දනෙ වෙසක්. එතකොට මට පුලුවං වෙසක් පෝයට දිඹුලාගල පන්සලේ සිල් ගන්ටත්.."

"ඉතිං බීඑම් මහත්තයට තිබ්බෙ  මොනවත් බොරුවක්.."

"පිස්සුද සුමනෙ අපේ නෝනා ඔය විසාකා සිටුදුව වගෙ හිටියට මහම මහ මොරෝමයි..ඒ ඔය පරම්පරාවෙම හැටි තමයි..එයාට යමක් හිතුනොත් හිතුනම තමයි..අනික ඕනවට වැඩිය මම පස්ස ගැහුවොත් ඔය අම්මණ්ඩි වෙන මඟුලක් හිතන්ටත් බැරි නෑ..ඉතිං ඒ ගමන ඔන්න උදේම පිටත් වෙලා ආවා.."

"ඉතිං බීඑම් මහත්තය මොකද දැං කරන්නෙ? හෙටනෙ වෙසක්..නෝනා සිල්ගන්ට එහෙම ගියොත් මල ජංජාලයක්නෙ වෙන්නෙ..හාමුදුරුවො නෝනත් ඉස්සරහ හොඳ හරුපවලිං කිව්වොත් එහෙම වතුර මලේ විස්තරේ ආය රෙදි නෑනෙ.."

"ඔව්..ඔව්..කොහොමත් මේ මනුස්සය සිල් ගන්ට නම් එක්ක යන්ට බෑ..හෙට ක්වාටර්ස් එකෙං එක අඩියක්වත් එළියට තියන්ට දෙන්ට හොඳ නෑ.."

"ඉතිං කොහොමද ඒක කරන්නෙ? "

"මම එන ගමං ඒකටත් පොඩි සුකුරුත්තමක් කල්පනා කරගෙන ආවෙ..මගෙ අවුරුදු දෙකකට වගෙ කලිං තිබ්බ දනිස් අමාරුවක්..මාසයක් විතර සිංහල බෙහෙත් කරලයි ගොඩ ගියේ..මම මේ අද එන ගමං අපෙ උන්දැට කිය කිය අවෙ ආයම අර මගෙ දණිස් අමාරුව මතුවෙන්ඩ එනව වගෙ දැනෙනව කියල.."

"හෙහ්..ඒ කියන්නෙ බීඑම් මහත්තය ලෑස්ති දණිස් අමාරුව පිටදාල හෙට ගෙදරටම වෙලා ඉන්ඩ නේද? එහෙනං ඔබගේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.."

මම එහෙම කියල බංකුවෙං නැඟිට්ටා..

"ස්තූතියි ස්තූතියි..." කියල බීඑම් මහත්තය ලාවට වගෙ නොන්ඩි ගගහ ගේ පැත්තට ගියා..ෂුවර් එකටම නෝනා ජනේලෙංවත් බලා ඉන්නව දකින්ට ඇති..බීඑම් මහත්තයා තමයි දවසකටවත් මිනිහා ..හෙහ්..හෙහ්..මම ඉතිං තනියම හිනාවෙවී එන්ට ආවා..

පහුවදා ඉතිං වෙසක් පෝයනෙ..වෙනදා පෝය දවසට අපි දෙන්නා ඉතිං අට නමය වෙනකල් නිදාගන්නව..අපි දෙන්නා කිව්වෙ මමයි වයිෆුයි....මෙදා කොහොම හරි දිඹුලාගල කන්දෙං ඇහෙන ගෝසාවට අපේ වයිෆ්ට හතාමාර වෙනකොට ඇහැරිලා..එලියට බැහැලා තවත් හොඳට අහගෙන ඉඳල දුවගෙන ආවා කමරේට..

"මේ ඒයි නැඟිටින්ඩකො නැඟිටින්ඩකො..අර ගිහිල්ල අහගෙන ඉන්ටකො දිඹුලාගල හාමුදුරුවොද කොහෙද මොනවද කියන්නෙ කියල.."

"ඈ මොනවද කියන්නෙ?" මමත් දනිපනිගාල නැඟිටල දිව්වා මිදුලට..අම්මාපල්ල දිඹුලාගල ලොක්කා නෙවෙන්නං..හැබැයි ඉතිං මීට කලිං පෝය දවස්වලට  දිඹුලාගල කන්ද මුදුනෙං ඇහෙන බණ මෙච්චර සද්දෙට අපේ කෑම්ප් එකට ඇහුනෙ නෑ නෙව..මේ මොකද අද විතරක් මෙච්චර සද්දෙට ඇහෙන්නෙ? රයිට් මට ඔලුවට ආවා හේතුව..ස්පීකර් ඔක්කොම අද අපේ කෑම්ප් එක පැත්තට හරවලා..දිඹුලාගල ලොක්ක එක්කත් සෙල්ලං නෑ..හෙහ්..හෙහ්..

"මොනවද අනේ ඔය කියන්නෙ? කාටද ඔය බණින්නෙ?" බිරින්දෑ තොමෝ මා ලඟට ඇවිල්ල ඇහුවා..

"අපේ බීඑම් මහත්තයටනෙ ...ආය ඉතිං වෙන කාටද? " මම හිනාව කාගෙන කිව්වා..

එතකොටමත් හුළං අත මේ පැත්තට හැරිලද කොහෙද ඔන්න සද්දෙ කනේ තිබ්බ වගෙ ඇහෙන්ට ගත්තා..

"ඔය යකා ඔය අර අඟහරු ලෝකෙං ආපු එකෙක් වගෙ ඉන්නෙ අන්න ඒකා මාව හම්බවෙන්ට ඇවිල්ල ඇහුව අපෙ හාමුදුරුවනේ මොකක්ද මගෙං කෙරෙන්ට ඕන මේ විහාරස්ථානයට කියලා..මම කිව්වා..නෑ මහත්තයො.."

ඔන්න සද්දෙ බාල වෙලා ගියා හුළං අත මාරුවෙන්ට ඇති..

"ඉතිං උපාසක උපාසිකාවනි..ඔය මිනිහා කරපු අපරාදෙ දන්නවද? " ආයෙමත් සද්දෙ බාල උනා ..හුළං අත..හුළං අත..."..මම කිව්වා වෙසක් පෝයට කලිං..අද උදේ අපේ උපාසකම්මලා දෙන්නෙක් පය ලිස්සලා පත බෑවුනා මේ පන්සලේ මිදුල මැද්දෑවෙ තියන මහ පතහට..හිටපු කට්ටිය විගහට බේරගත්තු ...දෙයියම්පල්ල මට ඔය මිනිහා එක්ක එන්නෙ.."

ඔය විදිහට හාමුදුරුවො ලවක් දෙවක් නැතුව බැණගෙන බැණගෙන යනවා..

"ඇයි අනේ බීඑම් මහත්තයට ඔහොම බණින්නෙ? 

"අර වතුර මලේ වැඩේ හින්දනෙ......මම අර ඔයාට කිව්වෙ.."

"එතකොට ඔය අඟහරු ලෝකෙං ආපු කතාවක් කියන්නෙ?"

"ඒ අපේ බීඑම් මහත්තයගෙ හැඩරුව ඒ වගේ හින්ද වෙන්ටැති...."

"මචං උඹලා දෙන්නා ඒ බීඑම් මහත්තයාව දැකල තියනවද?" සුමනෙ අපි දෙන්නගෙං ඇහුවා..

"නෑ අනේ ඔය කාලෙ අපි දෙන්නම හිටියෙ ඉංජිනේරු අංසෙනෙ..අනික මම සේනපුර..සේපාල දෙහිඅත්තකණ්ඩියෙ..ඒ හින්ද අපි දෙන්නටම ඔය බීඑම් මහත්තයා මුණ ගැහිල නෑ..."

"මචං ඒ බීඑම්ගෙ කොණ්ඩෙ නිකං මහ අමුතුයි..ඉත්තෑකූරු වගේ..මූණත් කෙට්ටුයි..ඒ හින්දයි හාමුදුරුවො ඔය අඟහරු ලෝකෙ කතාව කිය කිය බැන්නෙ..හරි ඉතිං මම ඒ ගමංම ගියා බීඑම් මහත්තයගෙ ගෙවල් පැත්තෙ..යනකොට ඔන්න ඇහෙනව ගේ ඇතුලෙං මහ සද්දෙං පිරිත් දේසනාවක්..බීඑම් මහත්තයා ගාව තිබ්බා හොඳ සවුන්ට් සෙටප් එකක්..ඒකෙ දාලා කරණීය මෙත්ත සූත්‍රයද රත්න සූත්‍රයද මොකක්ද එකක් කංඅඩි දෙදරන්ට.."

"මොකෝ බීඑම් මහත්තයා මේ? " මම බීඑම් මහත්තයගෙ කණට කට ලංකරලා කෑගහලා ඇහුවා..

"අර ඇහෙනව නේද අර යකා මට අම්ම මෝ නැතුව බණිනවා?" බීඑම් මහත්තයත් කෑගහලා කිව්වා..

"ඔව් ඔව් මට ඇහුනා..ඒකමයි මම මේ පැත්තෙ බලන්ට කියල ආවෙ.."

"ඔය මට බණින එව්වා අපේ උන්දැට ඇහුනොත් එහෙම ඔය අම්මණ්ඩි හෙටම මාව ඩිවෝස් කරනව ආය ඒකෙ දෙකක් නෑ..ඒ බැණිල්ල උන්දැට නෑහෙන්ඩයි මම මේ සද්දෙට පිරිත් දැම්මෙ.."

ඔන්න එතකොටම නෝන ආවා කුස්සියෙ ඉඳල.." ගුඩ් මෝනිං..සුමනෙ කිව්වා නේද නම? "

"ඔව් මැඩම්...." මම කෑගහලා කිව්වා..

" ඒකනෙ බලන්නකො සුමනෙ මේ අපේ මනුස්සයා කංඅඩි පැලෙන්ඩ පිරිත් දාලනෙ..මට අද දිඹුලාගල යන්ටත් නෑ මෙයාගෙ මේ අසනීපෙ හින්ද....අඩු ගණනෙ ගෙදර ඉඳල ධර්ම දේසනාවට ඇහුං කං දෙන්ටත් නෑ මේ පිරිත් දැමිල්ලක් හින්ද.." නෝනා කිව්වා..

"අනේ එයාගෙ කෙහෙම්මල් ධර්ම දේශනා..ඒ වගේද මේ උතුම් වෙසක් පෝය දවසෙ පිරිත් ටිකක් ඇහුවම? නැද්ද සුමනෙ? " බීඑම් මහත්තය මා දිහාට හැරිල ඇහැක් වැහුවා..

"එහෙනං..එහෙනං..මේ මොනව කියනවද? පිරිත තමයි ඉතිං උතුම්...." මම හද පත්ලෙන්ම එකඟ උනා..

"ඉතිං ළමයි...ඔන්න ඕක තමයි  දිඹුලාගල වතුර මලේ කතාව..." සුමනෙ කතාව ඉවර කලා..

"ඉතිං ඊට පස්සෙ මොකද උනේ? "

"බීඑම් මහත්තය වැඩි කාලයක් හිටියෙ නෑ එහෙ..මාස දෙක තුනකිං ට්‍රාන්ස්ෆර් එකක් හදාගෙන ගියා මම හිතන්නෙ ඔය නොච්චියාගම පැත්තට.."

"ඉතිං වතුර මලේ වැඩේට මොකද උනේ?"

"ඒ කාලෙම ඒ පැත්තෙ ලොකු වැවක් පටං ගත්තා ඉද්දපිච්ච වැව කියලා..ඒක කරන්ඩ ආවෙ මේ කැකිරාව පැත්තෙ ප්‍රසිද්ධ කන්ට්‍රෑක්ටර් කෙනෙක්..මිනිහට මේ වතුර මලේ සීන් එක කවුදෝ කියල..මිනිහ ඇවිල්ල හාමුදුරුවො හම්බවෙන්ට..හාමුදුරුවො ඉතිං සම්පූර්ණ විස්තරේ කියල..අඟහරු ලෝකෙං ආපු එකයි ඔක්කොම...ඒ ගමන මිනිහා එයාගෙ වියදමෙං වතුර මල හදලා දුන්නා.."

"ඒ කිව්වෙ වලාකුලු බැම්මක් එහෙම දාලා එතකොට ටයිලුත් අල්ලලා එහෙමද? " ඒ ඇහුවෙ මම..

"මම දන්න වලාකුලක් නෑ බං..මම කොහොමහරි දිඹුලාගල තව අවුරුදු තුනක් විතර හිටියා..ඒ අවුරුදු තුනටම ඔන්න මම දිඹුලාගල පන්සලට එක අඩියක් තිබ්බෙ නෑ..යමල්ලා යමල්ලා ඔය අන්තිම ෂොට් එක දාගෙන කන්ඩ යමල්ලා.."

සුමනෙ එහෙම කියල පුටුවෙං නැඟිටල අතපය හිරි ඇරගත්තා..

ඔය දිඹුලාගල ලොක්කා සම්බන්ධව සේපාලගෙ කතාවකුයි මගෙ කතාවකුයි වසයෙන් තව කතා දෙකකුත්  තියනව..හැබැයි මගෙ කතාවට දිඹුලාගල ලොක්කා කෙලින්ම සම්බන්ධත් නම් නෑ..හරි කොහොම හරි ඒ කතා දෙක ඊලඟට ලියඤ්ඤං..හොඳෙයි?

Saturday, April 12, 2025

709 - දිඹුලාගල මතක සටහන් - 4


පේර ගහට ආපු රිලවා....

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

ඊලඟ දවස් දෙක තුනේ මට සෑහෙන ෆීල්ඩ් එකේ වැඩ වැටිච්චි හින්ද ඔෆිස් එක පැත්ත පළාතෙවත් යන්ට උනේ නෑ..ඒ හින්ද බීඑම් මහත්තයාගෙ "වලාකුල් බැම්ම සහිත ටයිල් ඇතුරූ මහා ජලපුෂ්ප ව්‍යාපෘතියේ " (එහෙම තමයි අපි වාරිමාර්ග අංශෙ උදවිය බීඑම් මහත්තයගෙ වැඩේ බෞතීස්ම කරල තිබ්බෙ) ප්‍රගතිය ගැන කිසිම යාවත් කාලීන වීමක් උනේ නෑ...

රෑ ගෙදර ඇවිල්ල ඕනනම් බීඑම් මහත්තයාගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ල විපරම් කරල එන්ට තිබ්බ උනත් දඩ පෑවිල්ලෙ දවස් තිස්සෙ ඇලවල් කුඹුරු ගානෙ ගියාම හවස් වෙනකොට ඇඟට පුදුම තෙහෙට්ටුයි..වයිෆ් ගෙදර ඉන්න හින්ද හැමදාම පොඩි එකක් දාගන්ටත් නෑ..ඒ හින්ද මමත් කාල නිදාගත්තා මිසක බීඑම් මහත්තයලගෙ ගෙවල් පැත්තෙ හෝදිසි කරන්ට ගියේ නෑ..

ඔන්න තුන්වෙනි නැත්තං හතරවෙනි දවසෙ රෑ අටට වගෙ  මම පාන් ගෙඩි දෙකක් ගේන්ට ගියා අපේ කෑම්ප් එක ලඟම තිබ්බ සිල්ලර කඩේට..පාං අරං බයික් එකට නැග්ග විතරයි මෙන්න කලුවෙරේම මතු වෙච්චි හතරෙ ඇලේ ගොවි සංවිධානෙ සභාපතියා..නම හේරත් බණ්ඩා..කෑගල්ල පැත්තෙ මුල් ගම්බිම්....

මනුස්සය දිඹුලාගල හාමුදුරුවන්ගෙ දකුණු අතයි වං කකුලයි දෙකම ඔන්න කොටිම්ම..පන්සලේ දායක සබාවෙත් කාරක සබිකයෙක්ද කොහෙද..ගොවි සංවිධාන කටයුතු හින්ද මිනිහ මගෙ හොඳ හිතවතා..

"ආ..මහත්තය හම්බ උන එක නම් කීයත් වටිනව..මම හවස මහත්තයලගෙ ගෙවල් පැත්තෙ එන්ටත් හිතල ආයම ඉතිං කරදර කරන එක හරි නෑනෙ කියල නිකං උන්නා..දවල් මම ඔෆිස් පැත්තෙත් ගියා..මහත්තය මේ ටිකේම වැඩිය ඔෆිස් පැත්තෙ ආවෙ නෑ කියල කිව්ව.."

"ඔව් බං මේ ටිකේ ටිකක් ප්‍රශ්න වැඩියි..ඒ හින්ද වැඩිපුර ෆීල්ඩ් එකේමයි හිටියෙ..ඇයි හේරත් මාව හෙව්වෙ? අර විසි එකේ ඇලේ ප්‍රශ්නෙටද? "

"අනේ නෑ මහත්තය..ඒක මේ මේ කපේදි විසඳන්ට පුලුවං ප්‍රශ්නයක් නෙවෙයිනෙ..ඒකෙ ඉන්න ගොවියො සමඟි වෙලා එක කතාවකට එනකල් ඒකෙ වතුර ප්‍රශ්නෙ එහෙමම තමයි..මම මහත්තයව හෙව්වෙත් නම් වතුර ප්‍රශ්නෙකටම තමයි හැබැයි හරියටම කිව්වොත් වතුර මල් ප්‍රශ්නෙකට.." 

හේරත් එහෙම කියල හක හක ගාල හිනාඋනා..මටත් හිනාගියා මිනිහා ඒක කියපු විදිහට..

"ඔව්..බං මම දන්නව උඹ ඔය කියන්ට එන්නෙ මොකක්ද කියල.."

"ඔව් මහත්තය..හාමුදුරුවො මාත් එක්ක හුඟක් කිට්ටුයිනෙ..දැං දෙතුං පාරක් මහවැලි ඔෆිස් එකට එන්ටයි ලෑස්ති උනේ බීඑම් මහත්තය හම්බවෙලා මේකෙ දෙකිං එකක් විසඳ ගන්ටෙයි කියල..දන්නවනෙ හාමුදුරුවංගෙ කට..හේරත් මම ඔය මිනිහා මනම්පිටිය හන්දියට යනකල් ගගහ එලවලා දාලයි පස්ස බලන්නෙ..ඔන්න ඔහොමයි කෑගැහැව්වෙ..."

"හප්පච්චියේ එහෙමද?"

"මම ඉතිං කියල කියල ටිකක් සේප් කරල දැම්ම..අන්තිමට කිව්ව හරි තමුසෙ එහෙනං ගිහිල්ල ඒ යකා එක්ක කතා කරල මේ වැඩේ එකලාසයක් කරල දානවා..හැබැයි ගොයියෝ මතක තියාගන්න්ව උගෙ රෙXX වලාකුලු බැම්ම යකාට ගියාවෙ....වෙසක් පෝයට ඉස්සෙල්ල තිබ්බ විදිහටවත් වතුර මල හදල නොදුන්නොත්  මම ඔය බීඑම් කියන එකා බෙල්ලෙං ඇදගෙන ඇවිල්ල මේ වතුර වලේම ඔබනව..ඔබන එකත් ඔබනව..හේරත් දන්නවනෙ මගෙ හැටි....."

"හරි හරි හේරත් මම හෙට අනිවාර්යයෙංම බීඑම් මහත්තය මුණ ගැහිල අහන්නං මොකද අපි දැං මේකට කරන්නෙ කියල..මම එහෙම කියල එතනිං ආව.."

කිව්වත් වාගෙ මම පහුවදා ඔෆිස් ගිහිල්ල බීඑම් මහත්තය මුණ ගැහුන..මම යනකොට එතුමා ඔන්න මොකක්ද ෆයිල් එකක් දිග ඇරගෙන බරටම වැඩ..

"ආ..එන්ඩ සුමනෙ..ඔයා ආපු එකත් හොඳයි..මම මේ පණිවිඩයක් යවන්ඩත් හිටියෙ..මොකෝ මේ ටිකේ පේන්ට නොහිටියෙ? "

"ටිකක් වැඩ වැඩිවුනා බීඑම් මහත්තය..ඒක නෙවෙයි ඊයෙ රෑ මම පාං ගේන්ටය කියලා අර අතන හන්දියෙ කඩේට ගිය වෙලාවෙ මෙහෙ ගොවි සමිතියෙ සභාපති හම්බ උනා..බීඑම් මහත්තය මිනිහව දන්නෙ නෑ මං හිතන්නෙ.."

"ඉතිං? "

"මිනිහා දිඹුලාගල හාමුදුරුවංගෙත් හොඳ හිතවතා..මිනිහා මා එක්ක කිව්වෙ අර වතුර මලේ ප්‍රස්නෙ ගැන තමයි බීඑම් මහත්තය..හාමුදුරුවන්ට හොඳටම යකා නැඟලලු ඉන්නෙ.."

( මගේ සටහන -  ඔය ඇවිල්ල හිට මල පනින්ට ඉස්සර යුගය..ඒ කාලෙ මල පනිනව වෙනුවට යකා නඟිනව....)

"ඒක තමයි සුමනෙ මමත් මේ ඔලුව නරක් වෙලා ඉන්නෙ මොකද මේකට කරන්නෙ කියල.."

"බීඑම් මහත්තය එදා කිව්වනේද යන වියදම හෙඩ් ඔෆිස් එකට කියල විශේෂ ප්‍රතිපාදන යටතෙ වෙන් කරගන්න බලනවය කියල? මොකෝ ඒකට උනේ? "

"සුමනෙ කිව්වා හරියටම හරි..නිල වශයෙන් ඉල්ලන්න ඉස්සෙල්ල මම ෂේප් එකේ මගෙ හොඳ හිතවතෙක් ඉන්නව ඩීජී ගාව මිනිහගෙං අහල බැලුව..පිස්සුද යකෝ කතා කරන්නවත් එපා එහෙම සල්ලි වෙන් කිරිල්ලක් ගැන..දිඹුලාගලට කියපු ගමං කුණු හරප තමයි අහන්න වෙන්නෙ..ඔන්න ඔහොමයි මගෙ යාලුවා කිව්වෙ.."

බීඑම් මහත්තය එහෙම කියල ඇඬුං මූණෙන් මා දිහා බලා හිටියා බොහොමත්ම අසරණ ලීලාවෙන්..ඒ මූන දැකල බං මටත් ඇඬෙන්ඩ ආව බං දෙයියම්පල්ල..

මේ වෙනකොට බෝතලෙං තුං කාලක් විතර ඉවරයි..පොඩි වැස්සක් වගෙත් එන්ට එනව..ඒ අස්සෙ සුමනෙගෙ ගේ ඉස්සරහ තිබ්බ ඇඹුල් පේර ගහට රිළවෙකුත් ඇවිදිල්ලා කියහල්ලකො..

"ෂෙහ් මේ යකා එන්ට තිබ්බෙ පහුගිය 15 වෙනිද අපේ ගෙවල් පැත්තටනෙන..මම රිලව්, මොනරු පෝරම කොලේ නිකම්ම ආපහු ඇරියා අපේ ග්‍රාම නිලධාරිනීට  මම බලාගෙනම හිටිය මේ ලෝකෙ සතෙක් ආවෙ නෑ මිස් මේ පැත්ත පළාතෙ කියල යටිං ලියල..."මම නැඟිටල රිලාස් තුමාගෙ පෝටොස් එකකුත් ගත්තා..

"හරි හරි බං රිළා වඳුරු කතා පස්සෙ පුලුවං..සුමනෙ කතාව ඉවරයක් කරහංකො ..ගෙවල් වලට යන්ටත් එපාය.."ඒ අපේ සේපාලයා..

"ඉතිං බීඑම් මහත්තය අඬන්න ඔන්න මෙන්න කියල මූණ හදාගෙන මාදිහා බලා ඉන්නව..මමත් මෙන්න මෙහෙම මූණ හදාගෙන බීඑම් මහත්තය දිහා බලා ඉන්නව.."

සුමණයා මූණ ඒ විදිහට හදල පෙන්නුවා අපිට මැරෙන්ට හිනා..

"ඒ මූණ දැක්කම නම් තව එකක්  දාගන්ට ඕන.." සේපාලයා එකක් වක් කරගත්තා..

"ඒයි මටත් එකක් දීපං ..." මම කිව්වා...

ඒ ගමන තුං දෙනාම ෂොට් එකක් එක දාගත්තා කියහංකො..දැං ආයම සුමණෙගෙ කතාව..

"ඉතිං බං සරළවම කියනවනං වතුර මලේ වැඩේ කෙරුනෙ නෑ..කොහේ තියන සල්ලිද ඔහොම දඩ වතුර මලක් හදන්ට?..ඒ හින්ද දිඹුලාගල හාමුදුරුවො පණිවිඩ පිට පණිවිඩ එව්වට බීඑම් මහත්තය ඒ වෙලාවට මඟ අරිනව නැත්තං ඔය කටට ආපු එකක් කියනව.."

"පුදුමයි හාමුදුරුවො සිවුරත් කරේ තියාගෙන ඔෆිස් එකට ආපු නැති එක.." මම කිව්වා..

"අර ගොවි සංවිධාන සභාපති හේරත්ගෙං මම ඔය ප්‍රශ්නෙම ඇහුවා බං..උඹලා දන්නවද පොර මොකක්ද කිව්වෙ කියල?..හේරත් මම ඔය ඔෆිස් එකට ගියොත් එහෙම අර යකාගෙ බෙල්ල මිරිකනව..මේ වෙලාවෙ ආණ්ඩුවෙ ලොක්කො මා එක්ක හොඳ නෑ..ඉතිං එහෙම දෙයක් උනොත් කෙලිම්ම මාව ඇතුලට දානව..ඒ හින්ද මම ඔය පැත්ත පලාතෙ යන්නෙ නෑ..ඔන්න ඔය හින්දයි හාමුදුරුවො අපේ ඔෆිස් එකට ඇවිල්ලා නැත්තෙ.."

"බීඑම් මහත්තයගෙ හොඳ වෙලාව.." සේපාල කිව්වා..

"ඉතිං හාමුදුරුවංගෙ ඩෙඩ් ලයින් එක වෙසක් පෝයනෙ..වෙසක් පෝයට දවස් හතර දෙහෙකට වගෙ කලිං බීඑම් මහත්තය නිවාඩු දාලා ගෙදර ගියා..සුමනෙ මම ගෙදර යනව..වෙසක් පහුවෙලයි ආපහු එන්නෙ..යන්ට කලිං මට කිව්වා..ඔව් ඉතිං කමක් නෑ..වෙන අහවල් දෙයක් කරන්නද? බීඑම් මහත්තයා මමත් කිව්වා.."

"එතකොට එච්චරයිද කතාව?" සේපාල නැඟිට්ටා..

"නෑ..නෑ..ඉඳහංකො දැං තමයි හොඳම හරිය.." මම සේපාලයගෙ අතින් අල්ලල ආපහු පුටුවෙ ඉන්දුවා..මම අර කලිං කිව්වෙ සුමනෙයි මායි එක ක්වාටර්ස් එකේ ඉන්න කාලෙ මම ඔය කතාව අහල තියනව හත් අට පාරක්ම සුමනෙගෙ කටින්ම..

ඉතිං මෙන්න යකෝ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑ කියල ගෙදර ගිය මනුස්සය පහුවදාම ආපහු ආව කියහල්ලකො..එදා උදේ මම ෆීල්ඩ් ගිහිල්ල දවල්ට කන්ඩ එනකොට අපේ ගේට්ටුවෙ වොචර් මාව නවත්තල කිව්ව...

 "සර් අපේ  බීඑම් සර් ආපහු ආවනෙ.."කියල..මගෙ කටත් ඇරුන අප්පල්ලෙ වගේ..

"මොකක්? උඹට හොඳටම ෂුවර්ද? "

"අය ෂුවර්ද කියල අහනව..මම දන්නෙ නැද්ද බීඑම් සර්ව? ..තව කවුද නෝනා කෙනෙකුත් හිටිය ඉස්සරහ සීට් එකේ..ආ..සර්ට කියන්න කිව්ව ආපු ගමං ඇවිල්ල බීඑම් සර්ව මුණ ගැහෙන්නයි කියල.."

මතු සම්බන්ධයි ඈ...

Tuesday, April 8, 2025

708 - දිඹුලාගල මතක සටහන් - 3


ඔය අපේ අත්තනකඩවල ක්වාටර්ස් එකේ..
වමේ මම (කොහොමද ඒ කාලෙ මගෙ කොණ්ඩෙ?) 
මැදිං ඉන්නෙ සුමනේ..දකුණෙ අපේ ඉවුම් පිහුම් 
කරපු ගෝල බාලයා..කරුණාතිලක..

"නම පවතින්ට නම් වැඩේ කරල ඉවරයක් කරන්න ඕනනෙ බීඑම් මහත්තය.."

"ඔව්  ඔව්..වැඩේ කරල ඉවරයක් කරන්න ඕන තමයි සුමනෙ..මම නුවර ඉපදිච්චි මනුස්සයෙක්නෙ..අර නුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ වළාකුළු බැම්මක් ගහන්ට ඕන ඔය වතුර මල වටේ..අනික වතුර මල සම්පූර්ණයෙන්ම ටයිල් කරන්ටත් ඕන..."

ඔන්න ඔය වෙනකොටනම් මචං මගෙ ඉවසීමෙ සීමාව පනින්ට ඔන්න මෙන්න..ඇයි යකෝ මේ මනුස්සය මේ පොඩි එකෙක් වගේනෙ කතා කරන්නෙ..ඒ කියන්නෙ මේ වගේ වැඩකට යන වියදම ගැන මේ මනුස්සයට කිසිම අයිඩියා එකක් නෑ..

"හරි ඔය වළාකුළු බැම්මයි වතුර මලයි ටයිලුත් කරලා අපි හදනව කියමුකො..බීඑම් මහත්තය හිතාගෙන ඉන්නෙ ඔය වැඩේට කීයක් විතර යයි කියලද? " බැරිම තැන මම ඇහුවා..

"වියදම ප්‍රශ්නයක් නෑ සුමනෙ..හෙඩ් ඔෆිස් එකෙං සල්ලි දුන්නෙ නැත්තං මම මගෙ අතිං දාල හරි ඕක කරනව කරනවාමයි..යංකො අපි ගෙට ගිහිල්ල ඉඳගෙන කතා කරමුකො.."

අපි ගෙට ගිහිල්ල සාලෙ ඉඳගත්තා වේවැල් පුටු සෙට් එහෙක..බීඑම් මහත්තය ෆ්‍රිජ් එක ඇරල කොකා කෝලා බෝතල් දෙකක් අරගෙන කඩලා එකක් මට දුන්නා..ඔය මනුස්සය කොකාකෝලාමයි බොන්නෙ..මේ වැටිල තියෙන අමාරුවෙං ගොඩ එන්නෙ කොහොමද කියල කල්පනා කරලම මගෙ උගුර කටත් වේලිලයි තිබ්බෙ..ඇයි යකෝ..බීඑම් මහත්තය මේ අහකයන නයෙක් අරං රෙද්ද අස්සෙ දාගත්තට ඔය වැඩේ නොකෙරුනොත් එහෙම ඕකෙං මහවැලියෙ අපි ඔක්කෝගෙම සායමනෙ යන්නෙ.....දන්නවනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ කට?  

"දන්නව දන්නව..මමත් සෙවණපිටියෙ ඉන්න කාලෙ අපේ D.R.E. ඔෆිස් එක විවෘත කරල පිරිතක් කිව්වනෙ..ඒකට ආවෙ ඔය දිඹුලාගල ලොක්කා..අප්පට උඩු ඇවිල්ල අර අපේ පොඩි  කෙල්ලොත් ඉන්න තැන කටේ තොලේ නොගෑවී කියපු කතා..ආ..මෙන්න මේ සේපාලයටත් තියනව දිඹුලාගල ලොක්කා ගැන ඒ වගෙ මරු කතාවක්.." එහෙම කිව්වෙ මම...

"හරි බං එව්ව පස්සෙ බැරිය..සුමනෙ කතාව කියහංකො.." සේපාලයා තව ෂොට් එකක් දාගෙන වඩේ කෑල්ලක් හැපුවා.."සෝක් වඩේ ඈ? බෝ ගහ ගාව අලුතෙං දාපු කඩේකිං ගත්තෙ.."

ආයෙම සුමනෙගෙ කතාවට.....

ඉතිං බං ඔය වතුර මලේ වැඩේ නොකරුනොත් එහෙම ආයෙ මහවැලියෙ අපි ඉතිං මේකෙ වසල හමාරයි..හාමුදුරුවො පංසලට එන එන ආන්ඩුවෙ නිලදාරිනුයි අවසේස මනුස්සයොයි එක්ක ඕක කියවයි අපේ රෙදි නැතිවෙන්ට....ඊට පස්සෙ ඉතිං කන්න රැස්වීමකටවත් ගිහිල්ල හමාරයි...උං අපිට හිනාවෙන්නෙ කටිං එහෙම නෙවෙයි...

මගේ සටහන - කන්න රැස්වීම කියන්නෙ හැම කන්නයක්ම පටන් ගන්ට  ඉස්සෙල්ල ගොවි මහත්තුරුයි, ගොවි සංවිධාන නායකයොයි, වගා කටයුතු වලට සම්බන්ධ මහවැලි  නිලධාරිනුයි, අදාල අනෙකුත් රජයේ නිලධාරිනුයි ඔක්කොම රැස්වෙලා තීරණය කරනව ඉදිරි කන්නෙ කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කරනවද එතකොට වවන්නෙ වී ද නැත්නම් ගොඩ බෝගද වතුර ඉස්සෙල්ලම නිකුත් කරන්නෙ කවද්ද? මුර වතුර (මුර වතුර කියන්නෙ කුඹුරු වලට දිගටම වතුර  නොදී යම් කාලසීමාවකට විතරක් වතුර දෙන එක..වතුර හිඟ උනාම එහෙම තමයි කරන්නෙ..) නිකුත් කරන්නෙ කවදා ඉඳලද? අන්තිමට වතුර නිකුත් කරන්නෙ කවද්ද? ආ..වැදගත්ම කාරණෙ..කොච්චර වතුර දෙනවද?..ඔන්න ඕවා තීරණය කරන්නෙ ඔය කියන කන්න රැස්වීමෙදි..

ආ..කන්න රැස්වීම කියනකොට මතක් උනේ..පොඩි පඳුරු තැලිල්ලක්නම් කරන්නම වෙනව..මටම වෙච්චි ආතල් සීන්ස් එකක්..මේක මම කලිං ගමනක් ලිව්ව නම් තමයි..කමක් නෑ ඔන්න ඔහෙ ආයෙ කියවහල්ල..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...

පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..

කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර නිකුත් කරන්ට ඉස්සෙල්ල වතුර නිකුත් කරන කාල වකවානු එතකොට සම්පූර්ණ කුඹුරු කරන්ට පුලුවන් තරමට ප්‍රමාණවත්ව වතුර දෙනවද? එහෙම  වතුර ප්‍රමාණවත් පරිදි නැත්තං කොච්චර ප්‍රමාණයක් ගොඩ බෝග කරන්ඩ ඕනද කියන කාරණා ගොවි මහත්වරුන්ට දැනුම් දෙන රැස්වීම..

මම ඉතිං ඔව්ව ගැන අඳෝ සංසාරයක් දන්න එකක්ය..මගෙ විෂය ක්ෂේත්‍රයට කෙලින්ම අයිතිත් නෑ..එක අතකට නෑ කියන්ටත් බෑ..ගොවීන් එක්ක වැඩ කරනකොට ඔය හැම ක්ෂේත්‍රයක්ම ඒ කිව්වෙ ජලපාලන, වාරිමාර්ග, කෘෂිකර්ම, ජනාවාස සේවා එතකොට ප්‍රජා සංවර්ධන, ආයතන සංවර්ධන ඔය ඔක්කොම එකකට එකක් බැඳෙනව..නැත්තං සාර්ථකව අපේ රාජකාරිය කරන්න බෑ..

ඉතිං අර 1991 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ පවත්වපු අත්තනකඩවල කන්න රැස්වීමට ආපහු ආවොත් ඒ රැස්වීම කරගෙන යන්ට ගොවි මහත්වරු ඉඩ දුන්නෙම නෑ..පටං ගත්තු වෙලාවෙ ඉඳල ගොවියො ගේම ඉල්ලුවා..අන්තිමට එක දිගට හූ කිව්වා..

එහෙම හූ හඬින් පලාතම දෙවනත් වෙද්දි රැස්වීමක් කරගෙන යන්ට බෑනෙ..අන්තිමට රැස්වීම නවත්තල ආපු නිලධාරි කට්ටිය යන්ට ගියා..ගොවි මහත්වරුත් හූ කිය කිය ගෙවල් වලට ගියා..මට ඉතිං හරි පුදුමයි මේ වෙච්චි දේ..ඇසුයි කටයි දෙකම ඇරගෙන බලා ඉඳල මමත් ඉතිං මම ඒ කාලෙ නැවතිලා හිටපු බකමූණෙ ක්වාටර්ස් එකට ගියා..

පහුවදා අපේ කොට්ඨාශ කළමනාකාර නොහොත් Block Manager නොහොත් බී.එම්.මහත්තයා සියළුම නිලධාරීන්ට රැස්වීමක් කැඳවල තිබ්බ උදේ නමයට..මමත් ඉතිං ඕකට ගියා..ඒකෙදි බී.එම්. ලොක්කා ඊයෙ කන්න රැස්වීමෙදි වෙච්චි දේ ගැන බොහොම හිත් අමනාපෙන් සහ තරහිං කතාකරල එක පාරටම මා දිහාට හැරුන..මම වාඩිවෙලා හිටියෙ තුන්වෙනි පේළියෙ විතර..

"වීරසිංහ මහත්මයා ඊයෙ කන්න රැස්වීමට සහභාගි උනා නේද?"

මම නැඟිටල "ඔව් බී.එම්. මහත්තයා.." කියල උත්තර දුන්නා..

"හරි එහෙනම් මට කියන්ට පුලුවන්ද ඇයි ඒ ගොවි මහත්තුරු ඒ වෙලාවෙ එහෙම හැසිරුනේ? වෙනත් වචන වලින් කිව්වොත් ඇයි ඒ වෙලාවෙ ගොවියො හූ කිව්වෙ?..." කියල බී.එම්. ලොක්කා මගෙං අහපි ගහෙං ගෙඩි එන්නැහෙ..

මම නේද අන්දුන් කුන්දුන් උනා කිව්වොත් ඒත් ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැඟීම හරියට විස්තර කරන්ට බෑ..උතුර දකුන මාරු උනා..කරකවල අතෑරියා..තුස්නිම්බූතයිස්ඩ් උනා..ඔය ඔක්කොම කිව්වත් මදි..

යකෝ මම මේ දවස් දෙකයි මෙහෙට ඇවිල්ල වැඩ බාරගෙන..මම කොහොමද ඕයි දන්නෙ ගොවියො හූ කිව්වෙ මොන මඟුලකටද කියල?..මේ මනුස්සයට නුහුගුණෙද? පිස්සුද නැත්තං හැටිද? ඔහොම කල්පනා කරකර මම දහ අතේ හිතුව මොකක්ද යකෝ මම දැං කියන්නෙ? කියල..රැස්වීමෙ ඔක්කොමලා මා දිහා බලාගෙන..

ඔන්න එතකොට මට මතක් උනා උදේ අපේ සහෝදර නිලධාරීන් කට්ටියක් කතාවෙනව මට ඇහුන වෙල්පහු වතුර මදි උන හින්දයි පහුගිය කන්නෙ කුඹුරු හුඟක් මැරුනෙ...ඒක හින්ද ගොවියො ලොකු හිතේ අමාරුවකින්ය ඉන්නෙ කියල..අප්පට සිරි  ඔය තියෙන්නෙ බඩු..දැං ඉතිං කාට බය වෙන්ටද? 

වෙල්පහු වතුර කියන්නෙ මොනවද?  එහෙම වතුරක් ඇත්තටම තියනවද? තියනවනම් ඒ වතුර කලුද සුදුද? කියලවත් මම දන්න ඉටිගෙඩියක් නෑ..ඒ උනාට ඉතිං එහෙම හිත හිත ඉඳල හරියන්නෙ නෑනෙ..මොනවහරි කියන්ටත් එපාය..බී.එම්. ලොක්කා  මාදිහා කන්ට වගෙ බලාගෙන ඉන්නව...

මම කෙලින්ම සිංහය වගෙ බී. එම්. ලොක්කා දිහාබලාගෙන කතාකලා.."බී.එම්. මහත්තය අර වෙල්පහු වතුර පහුගිය ටිකේ හරියට ලැබුනෙ නෑනෙ.."

"ඉතිං?" ඇසුත් උඩ තියාගෙන බී.එම්. ඇහුවා..

"ඉතිං ඒ හින්ද තමයි ගොවි මහත්තුරු හූ කිව්වෙ.."

බී.එම්. විනාඩියක් විතර මගෙ මූණ දිහා කන්ඩ වාගෙ බලා හිටිය.."එතකොට වීරසිංහ මහත්තය කියන්නෙ ගොවියො හූ කිව්වෙ වෙල්පහු වතුර ලැබුනෙ නැති හින්ද..එහෙමද?"

"ඔව් බී.එම්. මහත්තය... ඒක තමයි හේතුව.."

බී.එම්. ලොක්කටත් යන්තමට හිනාවක් ගියාද නැත්තං ඒ මට පෙනිච්චි හැටිද මන්ද..

"හරි හරි..වීරසිංහ මහත්තයා ඉඳගන්ට.." කියල බී.එම්. මහත්තයා කිව්වා..

මම ඉතිං ආයම කියනකල් හිටියෙ නෑ.. ඉඳගත්තා...

පලි - 

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරකට වතුර දුන්නම ඒ වතුර කුඹුරෙ ලියද්දෙං ලියද්දට ගලාගෙන ගිහිල්ල අන්තිම ලියද්දෙං පිටතට ගලාගෙන යනව..ආං ඒ වතුරට..

ඒ පිටවෙන වතුර බැහැල යන්ට කපල තියනව Drainage Canal කියල ඉංග්‍රීසියෙං කියන අපවහන ඇළවල්..ගොවියො ඒවට කියන්නෙ කුණුඇළවල් කියල..

ඉතිං ඔය කුණුඇළවල්වල වතුරෙනුත් ගොවි මහත්තුරු ආයම කුඹුරු අස්වද්දනව..ඒ වැඩේ ඇත්තටම බොහොම හොඳයි..ඒ මොකද කිව්වොත් අපතේ යන වතුරකිං ආයම ප්‍රයෝජනයක් ගන්න එක කොහොමත් හොඳයිනෙ..

ඒත් අවුල වෙන්නෙ වතුර හිඟවෙලා වතුර දෙන ප්‍රමාණය සීමා කරන්ට උනොත්..එතකොට ඔය වෙල්පහු වතුරක් කියල එකක් නැතිම වෙලා යනව බොහෝවිට..එහෙම උනාම වෙන්නෙ අර වැඩිපුර කරපු කුඹුරු බේරගන්ටම බැරුව මැරිල යනව....ඒත් එක්කම එව්වට වියදම් කරපු මුදල්, ශ්‍රමය ඔක්කොම අපරාදෙ අපතේ යනව..

පඳුරු තැලිල්ල එතෙකින් සමාප්තයි...මගේ මලගිය මෑණියන්ට පින්පෙත් පමුණුවමින් හෝ ඒ කියවූ ඔබ සැමට ස්තූතියි...

හරි එහෙනං ආපහු සුමනෙගෙ කතාවට...

ඉතිං මම බැරිම තැන ඇහුවා.." දැං මේ සද්දන්ත සයිස් වතුර මලක් හදන්ට ඔය බීඑම් මහත්තය කියන වළාකුලු බැමියි අරව මේවා සුකුරුත්තනුත් දාලා වියදම කීයක් විත වෙයි කියලද ඔබතුමා හිතන්නෙ? " කියල..

"ඇයි සුමනෙ ඕනනං උපරිම රුපියල් දෙතුන් දාහක් යයි නේද?  සුමනෙ කියන්නෙ ඊට වැඩිවෙයි කියලද? "

ඔන්න බීඑම් මහත්තයටත් හොඳ සිහිය පහල වෙන්ට ගත්තා..මිනිහා කෝකටත් කියල අතේ තිබ්බ කොකා බෝතලේටම කට තියාගෙන ( ඉස්සරහ කණප්පුව උඩ වීදුරුවක් තිබ්බ උනත් ) බාගයක් විතර බීගෙන බීගෙන ගියා..ඒ කරල මගෙ මූන දිහා බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා..

" බීඑම් මහත්තයා ඇත්තම කිව්වොත් ඔය බීඑම් මහත්තයා හිතාගෙන ඉන්න විදිහෙ වතුර මලක් හදන්ට බෑ රුපියල් විසිදාහකිං  මෙහා පැත්තෙ..වට අඩි හතලිහක් කිව්වම සෙල්ලං සයිස් එකක්ද? අනික දැනටම අරූ අඩි පහක් විතර හාරලා..වලාකුලු බැමියි ටයිලි කිරිලියි එනකොට ඔය මම කියපු ගානට අඩුවෙන් නම් කරන්න බෑ කීයටවත් බොස්.."

"කෙලියනෙ ..සුමනෙට ඔය ගණං ෂුවර් නේද? " බීඑම් මහත්තයගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල ..ආය දාඩියකුත් දාන්ට ගත්ත..ෆ්‍රිජ් එක එහා පැත්තෙ ස්විච් එක ලඟට ගිහිල්ල සීලිං ෆෑන් එකත් ෆුල් දැම්ම..

"ෂෙහ් මාර කෙලියක්නෙ උනේ..ඇත්තම කිව්වොත් සුමනෙ මම නම් හිතුවෙම නෑ ඔච්චර ගාණක් යයි කියල..හෙඩ් ඔෆිස් එකට ලියුමක් දාල බලනව.."

"ඒක හරියන්නෙ නෑ බොස්.."

"ඇයි? "

"ඇයි කියන්නෙ අර පෝල් පෙරේරට කුඩෙං ගහල එලවපු සීන් එක හින්ද ජේආර්ට  දිඹුලාගල  හාමුදුරුවන්ව පෙන්නන්ට බැරුව ඉන්නෙ..පුලුවන්නම් මරාගෙන කයි..ඒ හින්ද මටනම් සීයට දෙසීයක් ෂුවර් ඔය වැඩේට සත පහක්වත් අනුමත කරන්නෙ නෑ හෙඩ් ඔෆිස් එකෙං.."

"අප්පට උඩු එහෙම සීන් එකකුත් තියනවනෙ නේද? ෂෙහ් මමත් අරනිකං ඉන්ට බැරුවට කොහාටද ගිහිං පැන්න මොකාද එකා වගෙ ගිහිල්ල හාමුදුරුවන්ට වතුර මලක් පොරොන්දු උනා මිසක ඔව්ව කල්පනා කලේ නෑනෙ..අනේ මන්දා සුමනෙ අහවල් දෙයක් කරන්නදෙයි කියල....මගෙ ඔලුවත් එක්ක නරක් උනා අම්මපා මේක අහල.."

බීඑම් මහත්තය එහෙම්මම පුටුවෙ ඉඳගත්තු ගමන්ම ඔලුවත් දෑතිං අල්ලගෙන ටික වෙලාවක් කල්පනා කලා..ඊට පස්සෙ හෙමීට ඔලුව ඉස්සුවා..

"මේ සුමනෙ බැරි වෙයිද අපේ ස්ටාෆ් එකේ අයට සම්මාදම් වෙන්ට කියල..." ඒ වාක්‍යය සම්පූර්ණ නොකර බීඑම් මහත්තය මගෙ මූන දිහා බලාන හිටිය..

"පිස්සුද බීඑම් මහත්තය ඒක හරියන්නෙ නෑ..ෆීල්ඩ් ස්ටාෆ් එකත් එක්ක උපරිම අපේ ඇති 40 දෙනෙක් විතර..ඉතිං එක්කෙනා අඩුම 500/= ගානෙවත් දාන්ට වෙනව 20,000/= ක් හොයාගන්ට..අනික මාසෙ පඩියෙං 500/=ක් දීල මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඊටත් වඩා කටක් ඇරල ඕක කියන්නෙ කොහොමද? ජපං කුණුහබ්බ අහගන්ට වෙන්නෙ.."

ඒ කාලෙ බං මම රස්සාවට ගිය අලුතනෙ..පඩිය රුපියල් 1200/= යි..ඉතිං මට වැඩිය පඩි ගන්න අය ඉන්න ඇති මුලු ඔෆිස් එකේම ඕනනම් පස් හය දෙනෙක්..අනික් ඔක්කෝටම ඊට අඩුයි පඩිය..ඉතිං කොහොමද බං උංගෙං රුපියල් පන්සීයක් දීපල්ලය කියල ඉල්ලන්නෙ?

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

අදත් ඉතිං ඔන්න  මතු සම්බන්ධයි ඈ...



Friday, April 4, 2025

707 - දිඹුලාගල මතක සටහන් - 2


"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක..
එදා තිබ්බ වතුර මලම වැඩි දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද
කියල හිතාගන්න නම් බෑ ළමයි....


හරි ආයම සුමනෙගෙ කතාව අද එතැන් සිට...

අර මං කියපු බැකෝ ඔපරේටර් සමරයා මම හිටපු ක්වාටර්ස් එක පිටිපස්සෙං කටුකම්බි වැටේ පොටවල් දෙකක් උස්සල ගැටගහල කපොල්ලක් හදාගෙන තිබ්බ එතනිං පැනල ගම්මැද්දෙ තිබ්බ කසියා වාඩියකට යන්ට..

**************************

මගේ සටහන - කසියා දන්නවනෙ නේද? කසිප්පු, සුදුවා, හැලි අරක්කු, සීනි කරිඤ්ඤං කියල කියන්නෙත් එව්වටම තමයි..තව තියනව හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල  කියල නම් කීපයකුත්..හැබැයි ඒ නම් කවුරුත් පාවිච්චි කරනව නම් මට ඇහිලා නෑ..

ඔය නම් මම අහුල ගත්තෙ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්මයගෙ පොතකිං..ඉස්කෝලෙ පුස්තකාලෙං මම අරං ආවෙ...මට දැං පොතේ නම හරියටම මතක නෑ..මනෝසීල, මනෝජාජ්ජේ නැත්තං සිරි ලංකා ඉල්ලංකා වෙන්න ඇති..

කොහොම හරි මම ඔය නම් තිබ්බ පොත් කියෙව්වෙ අවුරුදු නමයක් දහයක් වගෙ කාලෙදි..ඒ කාලෙ ඉතිං ඔව්වගෙ බරක් පතලක් නොදැන මම ගෙදර එහාට මෙහාට යමිං එමිං ගමන "හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල.." කියල කෑගහගෙන යනවා...මුලිං හිටපං මචං හෙමීට පටංගෙන වචනෙං වචනෙ ටික ටික සද්දෙ වැඩි කරල අන්තිමට මනෝසීල කෑල්ල කියන්නෙ යටිගිරියෙං.. 

දවසක් අප්පච්චි ඕක ඇහිල මට කතාකරල ඇහුවා "මොනවද කියලද ඔය කෑගහන්නෙ? කොහෙන්ද ඔය නම් ඉගෙන ගත්තෙ?" කියල..මම ඉතිං පොත ගෙනත් දුන්නා..අප්පච්චි පොත කියවල බලල කිව්වා "ආයම ඔය නම් කෑගහල කියන්ට එහෙම එපා.." කියල..ඒ ඇර "මොනවද මේ කියවන පොත්? ඔව්ව කියවන්ට එහෙම එපා..."..කියල සත්තමක් එහෙම දැම්මෙ නෑ..අපේ අප්පච්චි එහෙමයි..කිසිම දේකට තහංචි දාන්නෙ නෑ..

ආය මට අවුරුදු 14 වගෙ කාලෙ අප්පච්චිගෙ ඇඳයට තිබ්බ පරණ පොත් පෙට්ටියක තිබිල හම්බ උනා පරණ කාවො කාච්ච ඉංග්‍රීසි පොතක්..පිටු හැටක විතර ...නම ඇවිල්ල "Sex Before Six" මුලපිටුවෙ තිබ්බෙ බාගෙට හෙලුවෙං ඉන්නෙ කෙල්ලෙක්ගෙ රූපයක්..කතාව තිබ්බෙ හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් වටේම ඉන්න පිරිමි එක්ක ලිංගික කාය කර්මයෙ යෙදෙන විදිහ විස්තර කරල..ඔය American Pulp Fiction  කියන්නෙ අන්න ඒ ජාතියෙ පොතක්..

මගෙත් ඉතිං පස්පොල කලුවෙන කාලෙනෙ..(අර කොහාටද කිරි උණනව කියන්නෙත් ඒ තේරුමෙන්ම තමයි) පස්පොල කලුවෙන කතාව දන්නව නේද? ඔය කතාව මම අහුල ගත්තෙ කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ 7,8,9 පන්ති වලට අපිට ගණිතය උගන්නපු පුංචි නිළමේ සර්ගෙං.."ඔය ඔය ඉතිං පස්පොල වේගෙන එනකොට ඉන්ට බෑ..ඉන්ටම බෑ..."  එහෙමයි ඒ සර් කියන්නෙ..පස්පොල කලු වෙනවයි කියන්නෙ යොවුන් වියට පැමිණෙනවා කියන එක..කලුවෙන පස්පොල තමයි උඩු තොල, කිහිලි දෙක, පපුව සහ කිරිපල්ල..

ඉතිං මගෙත් පස්පොල කලුවෙන කාලෙ හින්ද මම කරන්නෙ අප්පච්චි ඔෆිස් ගියාම අර පොත අරගෙන කියවල හෙමීට ආපහු පෙට්ටියට දාල තියන එක..කොහොමහරි අප්පච්චිට වැඩේ අහුවෙන්ට ඇති..ඔන්න දවසක් මම යවුමට ගිහිල්ල එනකොට ඒ පොත තියනව මගෙ මේසෙ උඩ..ඒ කියන්නෙ අප්පච්චි එහෙම තමයි මට නොකියා කිව්වෙ "තමුසෙගෙ වයසෙ හැටියට මේ වගෙ පොත් කියවන එකේ අවුලක් නෑ..කියවහං.." කියල..අන්න මල් තියල වඳින්ට ඕන අප්පච්චිල..හෙහ්..හෙහ්..

මගේ සටහන අවසානයි...හරි කසියා ගැන කියන්ට ගිහිල්ල මදැයි තලපු පඳුරු කැටිය..දන්නවනෙ එහෙම තමයි මගේ රචනා ශෛලිය නොහොත් ආඛ්‍යානය..ඒක අලුත් ෂානරයක්..මගෙ චිරාත් කාලීන පාඨකයො නම් සක්සුදක්සේ දන්නවනෙ..

සෝ මයි ඩියර් ගයිස් ඇන්ඩ් ගෑල්ස්..නව් ආෆ්ටර් දැට් ලිටිල් ඉන්ටලූඩ් ඔෆ් බීටිං අරවුන්ඩ් ද බුෂ් ලෙට්ස් ගෙට් බෑක් ටු ද මේන් ස්ටෝරි..මයික්‍රෆෝනය සුමනේට නැවතත්..

**************************************

ඉතිං සමරේ එදත් සුපුරුදුලෙස කසියා වාඩියට යන්ට අපේ ගෙදර පිටිපස්සෙං වැට පනින්ට ඇවිල්ල මම මිදුලෙ ඉන්නව දැකල මා ගාවට ආවා..ආ..මේක මේ ඉන්ටරෙස්ටිං ටිට්බිට් එකක්..සමරේ සෙට් උනා ඔය කසිප්පු වාඩිය කරපු එකාගෙ නංගිත් එක්ක..ඒ කරල දිඹුලාගලම බින්න බැස්සා..ඕකගෙ ගම දකුණෙ මේ වළස්මුල්ල පැත්තෙ....

"සර්..මම මේ සර්ව හම්බ වෙන්නමයි හිටියෙ.." සමරේ මා ලඟට ආවෙ එහෙම කියාගෙන..

ඒ කාලෙ මම බැඳපු අලුතනෙ අපේ භාර්යා තොමෝත් මා එක්ක ක්වාටර්ස් එකේමයි හිටියෙ..ඔය සමරයා කසියා ගහල හීනියට සිංදුවකුත් කියාගෙන ආපහු රෑ යාමෙ ඔතනිං වැට පැනල උංගෙ ඩෝමිටරි එකට යන එකට එයයිගෙ ඒ හැටි මනාපයක් තිබ්බෙ නෑ..

"මොන ජාතියෙ මිනිස්සුද දන්නෙ නෑනෙ ඔවුං..අනික බීලත් එක්ක.." එයයි එහෙමයි කිව්වෙ..

"නෑ..නෑ..බයවෙන්න එපා..උං ඔය කෑව බිව්වට හිත හොඳ කොල්ලො..උංගෙං වචනෙකිංවත් වැරැද්දක් වෙන්නෙ නෑ.." මම එහෙම කිව්වා..

පස්සෙ ඉතිං එයාටම තේරුණා කතාව් ඇත්ත කියලා..මේ වෙලාවෙ එතුමී කුස්සියෙ දොරෙං ඔලුව දාල බැලුවා..

"ආ සමරක්කොඩි ප්ලේන්ටියක්වත් හදන්න බොනවැයි?"

"එපා නෝනා..මේ වෙලාවට ඉතිං තේ බොන්න බෑ...." සමරේ ඔලුව පාත් කරල හිනාඋනා..

"හරි හරි බං මොකටද මාව හම්බ වෙන්න උන්නයි කිව්වෙ?"..මම ඇහුවා..

"මම අද මරු වැඩක් කලානෙ  සර් "

"ඒ මොකද්ද බං ඒ මරු වැඩේ?"

"මම අර දිඹුලාගල පන්සලේ තියෙන්නෙ අර වතුර මල....."

"ඔව් ඉතිං?.."

" මම බැකෝ එක අරං ගිහිල්ල ඒක කඩල දැම්මනෙ.."

"ඈ? බොට අමු කැවිලද සමරේ? " මගෙ කටත් එක්ක ඇරුනා..යකෝ මූ දීයා කන්ට එපාය..

"නෑ..නෑ සර්..අහන්ටකො විස්තරේ..බීඑම් මහත්තයයි මට කිව්වෙ.."

" බීඑම් මහත්තය උඹට කිව්ව සමරේ ගිහිල්ල පන්සලේ වතුර මල කඩල දාන්ටෙයි කියල..ඒකද උඹ කියන්නෙ? "

"ඔව් සර්..නැතුව ඉතිං මයෙ හිතු මනාපෙට දිඹුලාගල පන්සලේ වතුර මල කඩල දාන්ට මගෙ ඔලුවෙ අමාරුවක් තියනවය?"

"ඒකත් ඇත්ත බලාගෙන ගියාම..ඉතිං වතුර මල කඩල දාල උඹ මොකෝ කලේ?"

" බීඑම් මහත්තය මට කිව්වා සමරේ එතන වට අඩි හතලිහක් වගෙ වෙන්ට වලකුත් හාරපංය කියල.."

"ඉතිං උඹ ඒකත් කලාද?"

" නැතුව? අපෙ ලොක්කනෙ එයා..එයා කිව්වම නොකර කොහොමද? "

මේ මනුස්සයට මොන යකෙක් වැහිලද මන්දා..ඒත් මොනව උනත් මූ ඉස්සරහ බීඑම්ව නෝන්ඩි කරන්ට බෑනෙ..

"හරි හරි බං..බීඑම් මහත්තය එහෙම කිව්වනං මොකක් හරි හොඳ හේතුවක්  ඇතුවනෙ එහෙම කියන්ට ඇත්තෙ..මම හෙට බීඑම් මහත්තයාගෙංම අහන්නංකො.."

පහුවදා උදේම මම බයික් එකේ ගියා බං දිඹුලාගල පන්සලට..ඊයෙ රෑ සමරක්කොඩියා කිව්වෙ ඇත්තක්මද කියල සහසුද්දෙං දැනගන්ට එපාය බීඑම් ලොක්කා මුණගැහෙන්ට යන්ට ඉස්සෙල්ල..

යකෝ පන්සලට ගියාම මගෙ ඉහමොල රත් වුනා කියහංකො..මම එහෙම්මම බයික් එකේ ඉඳගෙනම කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මෙතන කරල තියෙන විනාසෙ දිහා..වතුර මලක් කියල හොයාගන්ටත් නෑ..ඒකෙ කොන්ක්‍රීට් කෑලි පැත්තක ගොඩ ගහල තිබ්බා..වතුර මල තිබිච්ච තැන සද්දන්ත කුලේ අලි පස්දෙනෙක් විතර එක පාර නාවන්ට පුලුවං තරමේ දඩ වලක්..වලක් කියන්නෙ පතහක්..

මොනව උනත් සමරයගෙ ගණං හිලව් නං හරියටම හරි....බීඑම් වට අඩි හතලිහක වලක් කපන්ඩෙයි කියලනෙ කිව්වයි කිව්වෙ..ඒ ගාන හරි..ඕනෙම නම් අඩි පහක හයක වගෙ දෝසයක් ඇති.,,ප්ලස් ඕ මයිනස්...ගැඹුරත් අඩි පහක් විතර ..පතහෙ දැනටම අඩි දෙකක් විතර වතුර පිරිල..කලිං තිබ්බ වතුර මලට වතුර අරං තිබ්බෙ කන්ද මුදුනෙ ඉඳං බට දාල..ඒ බට අරූ කඩල දැම්මට වතුර පාර තාම වැඩනෙ..

සමරක්කොඩියා ඊයෙ රෑ අරෙම කිව්වට මම හිතුවෙ නෑ මූ මෙහෙව් විනාසයක් කරල ඇතිය කියල..මම ඉතිං එහෙම්මම බයික් එක උඩ ඉඳගෙන කටත් ඇරගෙන බලා ඉන්දැද්දි දිඹුලාගල හාමුදුරුවො ආවාස ගෙයි ඇතුලෙ ඉඳල මිදුලට බැස්සෙ නැතැයි..මම ඉතිං හත් අට ගමනක් පන්සලට ඇවිල්ල එතකොට හාමුදුරුවො අපේ ඔෆිස් එකේ ඔය තියන පිංකම් වලට එහෙම ඇවිල්ල හාමුදුරුවො මාව හොඳටම අඳුනනව..

"ආ..මහත්තය..සමාවෙන්න ඕන..මට නමනම් අමතකයි මේ වෙලාවෙ.."

"මම සුමනසිරි අපෙ හමුදුරුවනේ.." මම බයික් එකෙං බැහැල හාමුදුරුවන්ට වැන්දා..

"හරි හරි සුමනසිරි මහත්තයා...ඔබතුමා මේ පාන්දරම ආවෙ වැඩ පටංගන්ටද? "

"ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ? මට තේරුනේ නෑනෙ.."

"නෑ මම මේ ඇහැව්වෙ අලුතෙං වතුර මලක් හදන එකේ වැඩ පටංගන්ටද යන්නෙ උදේ පාන්දරම කියලයි.."

"වතුර මලක්? කවුද වතුර මලක් හදන්නෙ? "

"ඇයි බීඑම් මහත්තයා නෙවෙයිද මහත්තයව එව්වෙ? කිව්වෙ නැද්ද විස්තරේ?"

"මොන විස්තරේද හාමුදුරුවනේ? "

"ඊයෙ බීඑම් මහත්තයා ආවනෙ මාව මුණ ගැහෙන්ට..ඒ ඇවිල්ල මොනවද එයා ගානෙ කෙරෙන්ට ඕන කියල ඇහුවම මම අනන්ත කිව්ව මොකවත් එහෙමට ඕනකමක් නෑ කියල..ඒ ගමන එයාමයි කිව්වෙ මෙතන කලිං තිබ්බ වතුර මල කඩල අයිං කරල විසාලෙට හොඳ වතුර මලක් එයයි ගානෙ හදවල දෙන්නංය කියල..මම ඒ ගමන කමක් නැතිය කිව්ව..පස්සෙ බීඑම් මහත්තය ගිහිල්ල පැයක් ගියෙ නෑ ඔය ඩෝසරයක් ඇවිදිල්ල අර තිබ්බ වතුර මල කඩල බිඳල දාල මෙතන මේ අලි වලකුත් හාරලා ගියා.."

"අප්පට සිරි.." මට හාමුදුරුවො ඉන්නව කියලවත් මතක නැතුව එහෙම කියවුනා කියපංකො...මේ අපේ බීඑම් මහත්තය එහෙම පොරොන්දු උනාද?"

" නැතුව එහෙනං..මම ඒත් උන්දැට කිව්ව ගොයියෝ තව සති දෙහෙකිං වෙසක් පෝය..ඊට කලිං මේ වැඩේ එකලාසයක් වෙලා තියෙන්ට ඕන කියල.."

"හරි හරි අපේ හාමුදුරුවනෙ..බීඑම් ම්හත්තයා එහෙම කිව්වනම් ඒ මොකක් හරි වැඩ පිලිවෙලක් එතුමාගෙ හිතේ ඇති..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බවෙලා කතා කරන්නංකො මේ ගැන.."

"හරි මහත්තය ගිහිල්ල කතා කරන්නකො..හැබැයි සති දෙකයි ඔන්න ඈ..නැත්තං දන්නවනෙ මේ දිඹුලාගම සරණංකර කියන්නෙ කවුද කියල..යැංකි ඩිකී එවපු මැරයටත් කුඩෙං ගහල පන්න ගත්තු මිනිහෙක් මම.." හාමුදුරුවො එහෙම කිව්වෙ දබරැඟිල්ලත් උරුක් කරල..

"හරි අපේ හාමුදුරුවනේ..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බ වෙන්නංකො.." මම හාමුදුරුවන්ට වැඳල විගහට එතනිං ආව එන්ට..

ඒ වෙනකොට වෙලාව උදේ හතටත් නෑ..අටට තමයි ඔෆිස් ටයිම්,,මේ වෙලාවෙ බීඑම් ලොක්කා ඇත්තෙ ක්වාටර්ස් එකේ..මගෙ ක්වාටර්ස් එකේ ඉඳල තව ගෙවල් හතරකට එහායිං බීඑම් ලොක්කා හිටියෙ..මම ගෙදර පෝටිකෝව යට බයික් එක නවත්තනකොටම මම එනකල් බලාඋන්නා වාගෙ බීඑම් මහත්තයා දොර ඇරගෙන ආවා..ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ගහගෙන..

"ආ සුමනෙ ගුඩ් මෝනිං...මම මේ මගෙ උදේ එක්සසයිස් එකට දුවනවනෙ හැමදාම....ඉතිං දැං තමයි මේ දුවල ආවෙ.."

බීඑම් මහත්තයා එතනම පෝටිකෝවෙ එක්සසයිස් කරන්ට ගත්තා..වන් ටූ අප් කියල උඩ පැනල බිත්තියෙ ගහල තිබ්බ ලී පටියක් අල්ලනව...වන් ටූ ඩවුන් කියල නැමිල බිම අල්ලනව..ඒ ගමනුත් කතාව..

"සුමනෙ දන්නවද අද මම වන් කිලෝ මීටර් කම්ප්ලීට් කලා මිනිත්තු හයකින් විතර..යූ නෝ දැට්ස් නොට් බෑඩ් ෆෝ මයි ඒජ්.."

" ම්හ්ම්..වන් කිලෝ මීටර් නෙවෙයි ගම හරහා දිවීම ප්‍රැක්ටිස් කලානම් තමයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නෙ හාමුදුරුවො පන්නං එනකොට ආත බූත කඩාගෙන දුවන්ට.."  මම සුටු පුටු ගාලා කට ඇතුලෙම එහෙම කිව්වා..

"සුමනෙ මොකවත් කිව්වද? " බීඑම් මහත්තයා නැඟිටලා කෙලිං උනා..

"නෑ නෑ මම මොකවත් කිව්වෙ නෑ..ඒක නෙවෙයි බීඑම් මහත්තයා මම මේ එන්නෙ දිඹුලාගල පංසලට ගිහිල්ලා..."

"රායිට් වෙරි ගුඩ්.." බීඑම් මහත්තයා අන්තිම පාරට උඩ පැනලා අර ලී පටිය අල්ලලා අප්පුඩියකුත් ගැහුවා.."කොහොමද අපේ ඩෝසර් කොල්ලා වැඩේ නියමෙට කරලද? "

"වැඩේ නම් කරල තියනව ආය ටොප් ක්ලාස් එකට..වලක් හාරල තියනව අලි පස් හය දෙනෙක් නෑව්වැහැකි එක පාරට.."

"අන්න හරි බිගර් ද බෙටර්..වැඩේ විසාල වෙන තරමට තමයි හොඳ..අපේ නම පවතින්නෙ එතකොටනෙ.."

"නම නම් පවතියි තමයි මටත් හිතෙන්නෙ.." මම එහෙම කිව්වා නෙවෙයි ඇත්තම කිව්වොත් කියවුනා...

"ඇත්තටම බං දැං අවුරුදු හතළිහක් ගිහිල්ලත් අපි තවම ඒක ගැන කතාකරනවනෙ..ඒ කියන්නෙ බීඑම් මහත්තයා එදා කියපු නම පවතින කතාව සහතික ඇත්ත.." සුමනෙ ඒ ටික කිව්වෙ වර්තමානෙට ඒ කිව්වෙ අළුවිහාරෙට  ඇවිල්ල අපි දෙන්නට..ඒ කිව්වෙ සේපාලටයි මටයි..


මතු සම්බන්ධයි ඈ...


Tuesday, April 1, 2025

706 - දිඹුලාගල මතක සටහන්...A Walk Down Memory Lane...


සුමනේ වමේ..සේපාල දකුණේ....

පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ ප්‍රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ අම්මා..අවුරුදු සීයකුත් සතියක්ද කොහෙද ජීවත්වෙලයි ඒ නැන්දම්මා අභාවප්‍රාප්ත වෙලා තියෙන්නෙ..

මළගෙදරදි මට මුණගැහුනා මහවැලියෙ ඉන්න කාලෙ මගෙ අතිජාත මිත්‍රයෙක්..අපි දෙන්නා එකට හිටියෙ මහවැලි ජී කලාපයෙ..ඒ කියන්නෙ බකමූණෙ..1993 වාගෙ ඉඳල 1998 වගෙ වෙනකල්..යාලුවගෙ නම සේපාල..

ඉතිං බිස්කට් එකක් එහෙම කාල නෙස්කැෆේ එකක් එහෙමත් බීල ආගිය තොරතුරු එහෙම කතා කර කර ඉන්න අතරෙ මට මතක් උනා අපි එක්කම බකමූණෙ හිටපු අපෙ තවත් කළ්‍යාණ මිත්‍රයෙක්..සුමනෙ...ගම ගලගෙදර උනාට සුමනෙ පදිංචි උනේ අළුවිහාරෙ....පන්සල පිටිපස්සෙම වගෙ..ඒ ගමන කෝල් එකක් අරගෙන බලනකොට වෙලාවට සුමනෙ ගෙදර ඉන්නව..ඒ ගමන අපි දෙන්න එහෙ ගියා..

ඉතිං සුළුවට කර්මාන්තයක් එහෙමත් කරන ගමං අපි ඉතිං පරණ මහවැලි සමරු සටහන් ගැන ආයෙමත් පාරක් මතක මංපෙත ඔස්සේ සොඳුරු අතීතයට ඇවිදගෙන ගියා...

ඉස්සෙල්ලම සුමනෙගෙ ආතල් කතාවක් කියන්නං..ඒකට කියන්නෙ දිඹුලාගල බී.එම්. ගෙ කතාව කියල.. (බී.එම්. කියන්නෙ Block Manager නොහොත් කොට්ඨාශ කළමණාකාර..මහවැලි අධිකාරියෙ කොට්ඨාශයක් භාරව ඉන්න නිලධාරියා) 

අපි දෙන්න 1992 අවුරුද්දෙ වගෙ අත්තනකඩවල එක ක්වාටර්ස් එකේ ඉන්දැද්දි හවසට මිදුලෙ පුටු දෙකක් තියාගෙන හෙමිහිට මධු විතක් තොල ගාමින් මේ දිඹුලාගල කතාව ඇතුලු තව කතා තිහ හතළිහක් සුමනෙ කියල ඇති..ඒත් ආයෙමත් ආයෙමත් ඒ කතාව සුමනෙ කියනකොට තමයි ආතල්...

මෙන්න සුමනෙගෙ වචන වලින්ම...

"මම මචං දිඹුලාගලට ගියේ First Appointment ..84 අවුරුද්දෙ..ඊට අවුරුද්දකට විතර පස්සෙ බී.එම්. ඒ කියන්නෙ මගෙ බොස් වෙලා ආව විජේරත්න කියල මහත්තයෙක්..(නම අපි කියමු විජේරත්න කියල) හරිම හිත හොඳ මනුස්සය..හැබැයි ඒ වගේම හරිම කලබලයි..ඉස්සරහ ගැන හිතන්නෙ නැතුව සුටුස් ගාල තීරණ ගන්නව..අපේ ඔෆිස් එකයි ක්වාටර්ස් ඔක්කොම තිබ්බෙ දිඹුලාගල කන්ද පේන මානෙ.."

"ඔව් බං මම දන්නව..මම ගිහිල්ල තියනවනෙ.."

"ඉතිං අපේ මිස්ට විජේරත්න වැඩ බාරගෙන සතියකිං විතර ගියාලු දිඹුලාගල නායක හාමුදුරුවො බැහැ දකින්ට..ඒ පැත්තෙ ඉතිං නිල නොලත් නායකයා ඒ හාමුදුරුවොනෙ..ඕනම ලොක්කෙක් වැඩ බාරගෙන ඊලඟට යන්නෙ උන්නැහැ හම්බ වෙන්ට.."

"ඔව් අර පෝල් පෙරේරා ලොක්කට කුඩෙනුත් ගැහැව්වය කියනවනෙ..." මම අගුල්පත් තිබ්බා...

දුහුනන් දැනුම් උදෙසා - 1981 අවුරුද්දෙ විතර මාදුරුඔය ව්‍යාපාරෙ පටං ගන්න සැලසුම් කරන කාලෙ දිඹුලාගල ලොක්කා ඔය පදවිය පැත්තෙං එහෙම සිංහල පවුල් බර ගාණක් ගෙනල්ල මාදුරුඔය කැලේ පදිංචි කෙරෙව්ව..

එහෙම කලේ මාදුරුඔය ව්‍යාපාරය පටං ගන්නකොට ඒ මිනිස්සුන්ටහ් නීත්‍යානුකූල ඉඩම් ලබාදෙන බලාපොරොත්තුවෙන්...පොරගෙ ගජ යාලුවා මහවැලි ඇමති ගාමිණී දිසානායක..ගාමිණී මේ වැඩේ බරපතලකම දන්න හින්ද එලිපිට සහයෝගෙ දුන්නෙ නෑ..හැබැයි යටිං සපෝට්..

දෙමළ නිජබිමක් කියල සැලකෙන පලාතක අත්තනෝමතිකව සිද්ද වෙන මේ පදිංචි කිරීම් ගැන දෙමළ නායකයින් අතර ලොකු හාහෝවක් ගියා..ඊට පස්සෙ ඉන්දියාවෙං ජේආර්ට කතා කරල ගේම ඉල්ලුව..වහාම මේ පදිංචි කරපු කට්ටිය  අයිං කරන්නෙයි කිව්ව....

ජේආර් කරපු වැඩේ පොරගෙ චීෆ් ලෙෆ්ටිනන්ට් මැරයා පෝල් පෙරේරා පොළොන්නරුවෙ දිසා ඇමතිකරල එව්ව මේ වැඩේටම....පෝලා මැරයො ගෙනල්ල අර අහිංසක මිනිස්සුංගෙ ගෙවල් ගිනි තියල ගහල එලෙව්ව..එහෙම කරන්ට කලිං පෝලා ගිහිල්ල තිබ්බ දිඹුලාගල හාමුදුරුවො හම්බ වෙන්ට මේ වැඩේ ගැන කතා කරගන්ට..ඒ වෙලාවෙ හාමුදුරුවො පොරට කුඩෙං ගහල එලවල දාලා..හැබැයි ඉතිං අන්තිමට පෝල් පෙරේරා ජේආර් පප්පා බාර දුන්නු වැඩේ අකුරටම කලා..අන්තිමට කොහොමිං කොහොමිං හරි දෙපැත්තෙම්ම තැලුනෙ අර අහිංසක අසරණ මිනිස්සු.....

ඕකේ හරි... ඒ අතුරු කතාවෙන් පසු නැවතත් සුමනේගේ කතාවට...

ඉතිං අපේ බී.එම්. මහත්තය දිඹුලාගල හාමුදුරුවො හම්බවෙන්ට ගිහිල්ල ආගිය තොරතුරු කතාබහ එහෙම කරල  ආපහු එන්ට ලෑස්තිවෙලා ඇහුවලු...

"අපේ හමුදුරුවනේ..මගෙං ඒ කිව්වෙ මහවැලියෙං මොකවත් එහෙම කෙරන්ට තියනවනං කියන්ට ..කිසි ප්‍රශ්නයක් නෑ මම කරල දෙන්නං " කියල..

හාමුදුරුවො කිව්වලු "නෑ මහත්තය එහෙමට මොකවත් නෑ..මම ඉතිං ඔය බොහොම සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මනුස්සයා වෙච්චි..ඒ හින්ද එහෙමට අවශ්‍යතාවයක් නෑ..."  කියල..

අපේ බී.එම්. ලොක්කත් වැඩේ අතෑරල නෑ.."ඕනම දෙයක් කියන්ට...කරල දෙන්නං.." කියල..

ඒත් හාමුදුරුවො "එහෙමට වැඩක් කියල එකක් නෑ මහත්තයො... " කියලමයි කියල තියෙන්නෙ..

පස්සෙ බී.එම්. ලොක්කා ඇහැව්වලු "අපෙ  හාමුදුරුවනේ අර විහාර ගේ ඉස්සරහ පොඩි වතුර මලක් වගෙ එකක් තියනව නේද?"

"ආ ඔව් මහත්තය ..ඔය අපේ ඔය මල් පූජා කරන්ට එන උපාසක උපාසිකාවන්ට අතපය එතකොට මල් එහෙම දෝවනය කරගන්ට...මල් වලට පැං ඉහින්ට එහෙම ගමේ මිනිස්සු සල්ලි එකතු කරල හදාගත්තු එකක්නෙ..මිනිස්සු ඕක ගැන මට කිව්වම මෙහෙම එකක් ඕනය කියල මම කිව්වා උඹල දන්නවනෙ මට ඔව්වට සල්ලි නෑනෙ..බොලාට ඕනනං සල්ලි එකතු කරල බොලාම  වියදං කරල හදා ගනිල්ල මගෙං බාදාවක් නෑ කියල..ඒ ගමන උංම තමයි ඔය වැඩේ කලේ..ඇයි මහත්තය ඒ ගැන ඇහැව්වෙ?"

ඒ ගමන අපේ බී.එම්. කිව්වලු "නෑ හාමුදුරුවනේ ඒ වතුර මල බොහොම කුඩයිනෙ..දිඹුලාගල වගෙ රටේම ප්‍රසිද්ධ සිද්ධස්ථානෙකට එහෙම පොඩි වතුර මලක් ගැලපෙන්නෙ නෑ..මම කියන්ටද? අපි හදල දෙන්නංකො ඔතන බොහොම ලස්සනට ලොකු වතුර මලක්.."

ඒ ගමන හාමුදුරුවො කිව්වලු "හරි මහත්තය මගෙ අදහස නම් ඕක හොඳටම ඇති..ඒත් මහත්තය කියනවනං මගෙංවත් අපෙ දායකයිංගෙංවත් වියදමක් යන්නෙත් නැත්තං මහත්තය ඒ සියලු වියදං බලාගන්නවනං මං ඉතිං අහවල් දේකටද එපයි කියන්නෙ? මහත්තයගෙ කැමැත්තක්..හැබැයි මහත්තය තව සති දෙහෙකිං වාගෙ වෙසක් පෝය..එදාට මෙතෙන්ට දාස්ගාණක් බැතිමතුන් එවා..කරන දෙයක් ඊට කලිං කරල ඉවර වෙන්න ඕන.."

"හරි හාමුදුරුවනේ..මම අදම වැඩේ පටං ගන්නංකො ..අපි හදමුකො අපූරු වතුර මලක්..අර මහනුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ බැම්මකුත් වටේට දාලා... එහෙමනං මට අවසර.."

"සුවපත් වේවා.." හාමුදුරුවොත් බී.එම්. මහත්තයාට ආශිර්වාද කලා..

බී.එම්. මහත්තය ආපහු ඔෆිස් එකට ආපු වෙලාවෙම අපේ බැක්හෝ එක්ස්කැවේටර් එකේ ඔපරේටර්ට කතාකලා..ඌ පොඩි කොල්ලා..හැබැයි හොඳ වැඩ්ඩා..නම ඇවිල්ල හිට සමරක්කොඩි...

"සමරක්කොඩි බැකෝ එක අරං ගිහිල්ල දිඹුලාගල පන්සලේ අර තියෙන්නෙ වතුර මලක් කොන්ක්‍රීට් වලිං හදල... අන්න ඒක කඩල දානවා.." ගහෙං ගෙඩි එන්නැහෙ බී.එම්. මහත්තයා කිව්ව..

"ඈ....." සමරක්කොඩිගෙ ඇස් දෙකත් උඩ ගියා.."මොකක්ද සර් කිව්වෙ? පන්සලේ වතුර මල කඩල දාන්ට? "

"ඔව්..අයිසෙ මම දැං එක පාරක් කිව්වෙ ..ඇහුනෙ නැද්ද?"

"නෑ සර් ඇහුනා..ඒත් මම මේ ආයම සහසුද්දෙං අහගන්ටයි එහෙම ඇහුවෙ.."

"හරි එහෙනං ගිහිල්ල මම කියපු විදියට වැඩේ කරනවකො.."

"අනේ සර් මට නම් බෑ ලොකු හාමුදුරුවො මාව එතනම බෙල්ල මිරිකලා මරයි.."

"බයවෙන්ට එපා ඕයි..තමුසෙ හිතුවද මේ වැඩේ කරන්නෙ හාමුදුරුවන්ට හොරෙං කියල? මම හාමුදුරුවන්ට කියල තියෙන්නෙ..තමුසෙ බය නැතුව ගිහිල්ල වැඩේ කරනවකො..ආ තව එකක්..එතන වට අඩි හතලිහක් පණහක් වගෙ වෙන්ට වලකුත් හාරලා එනව.."

"අනේ මන්දා සර්.." කියල ඔලුවත් කහ ක සරක්කොඩියා ගිහිල්ල බී.එම්. මහත්තයා කියපු විදිහටම වැඩේ කලා..

කතාව ටිකක්..ටිකක් එහෙම නෙවෙයි හොඳටම දික් උනා..ඉතුරු කොටස හෙට අනිද්දම ලියඤ්ඤං ඈ...

Wednesday, March 26, 2025

705 - මහාචාර්ය ගණනාත් සහ නෙරපූ රජ....Prof. Gananath & The Doomed King...


මහාචාර්ය ගණනාත් ඔබේසේකර

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මිය ගිහිල්ල..

නමෝ විත්තියෙන්ම කියන්න ඕන ඔහුගේ නම ගණනාථ නෙවෙයි ගණනාත්....

ඔහු මට එකම වරක් මුණගැහිල තියනව මීට අවුරුදු හතරකට වගෙ කලිං පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති ආචාර්ය පී.බී. මීගස්කුඹුරේ උපහාර ග්‍රන්ථයක් එලිදැක්වීමේ උළෙලකදි..ඒ වෙනකොට මම ඔහුෆේ "The Doomed King" ග්‍රන්ථය කියවමින් හිටියෙ..ආචාර්ය ගණනාථ  දැක්කම මට හිතුන අපරාදෙ ඔහුගෙ ඒ පොත අරං ආවනම් අත්සනක් ගන්න තිබුණනෙ කියල..

ආචාර්ය ගණනාත් ඒ පොතේ කියන විදිහටම මටත් හිතෙනව ඔය ශ්‍රී වික්‍රම ලොක්කා ගැන ලියවිල තියන එව්ව බාගෙට බාගයක් අමු බොරුය කියල..මිනිස්සු අතර රජු අප්‍රසාදයට පත් කරන්ට සුද්දො, එතකොට රජුට විරුද්ධ නිළමෙලා, හාමුදුරුවරු එහෙම පතුරවපු පට්ටපල් බොරු කාලයක් යනකොට ඇත්ත වෙන්න ඇති. කොහොම හරි එහෙමයි මට හිතෙන්නෙ..

ඒ තියා ඇහැලේපොල කුමාරිහාමියි රජුයි අතරෙ යම් සෙනෙහසක් වගෙ එකක් තියෙන්නත් ඇති කියල මට හිතෙනව..My Imagination running riot of course ..Heh..heh..heh..

ඔය ඇහැලේපොල කුමාරිහාමි ගායනයට සහ වාදනයට ඉතාම දක්ෂයි කියනවනෙ..රජ්ජුරුවොත් එහෙමලු..ඉතිං හතර වටින් කලුවර වැටීගෙන එන සීතල සන්ධ්‍යා සමයක රට පුරා පැතිර ඇති වියවුල් සමනය කිරීමට දවසම වෙහෙස මහන්සිවී  දැඩි විඩාවට සහ කළකිරීමට පත්ව සිටිනා ශ්‍රී වික්‍රම තම රාජකීය ඇඳුම් පැළඳුම් ඉවත් කොට සැහැල්ලු ඇඳුමකින් සැරසී වෙස් වලාගෙන බෝගම්බර ඇතුලු නුවර සැරිසරන්න ඇති..එහෙම ඇවිදං යද්දි ඇතුළු නුවර යම් ප්‍රාසාදයක් දෙසින් ඇසෙනා මධුර මනෝහර වීණා නාදයක් ඔහුගේ ඉබාගාතේ සරනා දෙපය එක්වනම පාෂාණිභූතවූවාසේ නවතන්නට ඇති...ඉතිං එහෙම තමයි වැඩේ පට්ටාං ගන්න ඇත්තෙ....හෙහ්..හෙහ්..හෙහ්..

මේ කටාර් ඉන්න කාලෙ මම ලියපු මීටම අදාල සටහනක්...

මේ දවස්වල ....මේ දවස්වල කිව්වෙ දැං මාසෙක තරම ඉඳල මම යෙදිල ඉන්නෙ හදිසි සහ බාරදූර කාර්යයක....ඒ කියන්නෙ රාජකාරිය සම්බන්දව හොඳද? හෙහ්..හෙහ්...බාරදූර කිව්වම මට මතක් වෙන්නෙ මම බොහොම ආස කරන පරණ නාඩගං ගීතයක්. නාඩගම ඇවිල්ල ශ්‍රී වික්‍රම..ගීතය ඇවිල්ල මෙහෙමයි..

"රකී බුද්ද දම්ම සීල පූර්වේ රජුන් ලෙසේ ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ ඒතුමා ඒතුමා ඒතුමා වෙතේ දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාරදූරයේ.... බාරදූර... බාරදූර.... බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ....." හිච්චි එකා කාලෙ මම ඔය සිංදුව කිව්වෙ ඔන්න ඔහොම...

ඔතන කන්නසාමි කියල කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ ගිහි කාලෙ නම...ආහ්..සමාවෙන්න ඕමනයි..ගිහිකාලෙ නෙවෙයි රජවෙන්ට ඉස්සර කාලෙ. ඒ කාලෙ ඔය කන්නසාමි කුමාරය හිටියයි කියන්නෙ පේරාදෙණිය කිට්ටුව මහ වැලි ගඟ අයිනෙ තම්පළා කොටුවක් වවාගෙන. ඒ මනුස්සයගෙ කන්ද උඩරට රජවෙන්ට කිසියම්ම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබිල නෑ. තනියම තම්පළා කොටුවෙ පොඩි ගේකුත් හදාගෙන විවේක වෙලාවට බටනලාවකුත් වාදනය කරමින් කන්නසාමි පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගතකරල තියනව.

කන්නසාමි කුමාරය කියන්නෙ ඒ කාලෙ හිටපු රජ්ජුරුවන්ගෙ ඒ කිව්වෙ රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ රිදී දෝලියකගෙ (එදවස රජකුගේ මෞලි මංගල්‍යයකදී රජු හා සමඟම අභිෂේක කරනු ලබන අග මෙහෙසිය නොවන වෙනත් අවශේෂ මෙහෙසියන් හඳුන්වන ලද්දේ රිදී  දෝලි යන ව්‍යාවහාරයෙනි. එලෙසම අවශේෂ අන්තඃපුර කතුන් හඳුන්වන ලද්දේ යකඩ දෝලි යන නමිනි.) සහෝදරියකගෙ පුතා. ඒ කියන්නෙ රජ්ජුරුවො නෑකමට වෙන්නෙ බාප්පා.

ඒ කාලෙ පැවතිච්ච සම්ප්‍රදාය විදිහට රජ්ජුරුවන්ට පුතෙක් නැත්නම් රජකම උරුම වෙන්නෙ අග මෙහෙසියගෙ සහෝදරයට. හැබැයි එකක් කියන්ට ඕන. ඔය Rule of Succession එක අපේ රටේ එතෙක් තිබ්බ සම්ප්‍රදාය නෙවෙයි. අපේ තිබ්බෙ රජකම ඊලඟට උරුම වෙන්නෙ වැඩිමහල් පුතාට. එතකොට පුතෙක් ඇත්තෙම නැත්නම් ඊලඟට ඉන්න සහෝදරයට.

ඔය මෙහෙසියගෙ සහෝදරයට කිරුළ උරුම වෙන සම්ප්‍රදාය ඇවිල්ල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. කන්ද උඩරට රජවරු සූර්ය වංශික උභය කුළ පාරිශුද්ධ කුමාරිකාවන් ඒ කාලෙ ගෙන්නගෙන තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ තන්ජෝර් පළාතෙන්. ඒ කුමරියන් එක්ක එයාලගෙ නෑදෑ පරපුරම ඇවිල්ල මෙහෙ පැල පදියං වෙන එක සිරිතක් විදිහට කෙරුනලු. ඒ හින්ද ඒ කාලෙ උඩරට රාජධානියෙ රාජ සභාවෙ එහෙම වැඩිපුර භාවිතා වුනාය කියන්නෙ දෙමළ භාෂාව. කොටින්ම 1815 අවුරුද්දෙ මාර්තු දෙවෙනිදා බ්‍රිතන්‍යයන් එක්ක අත්සන් කරපු උඩරට ගිවිසුමට අත්සන් කරපු උඩරට ප්‍රධාන නිළමේ වරුන්ගෙන් සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ කැප්පෙටිපොළ නිළමෙ විතරයිලු.

ඉතිං ඔය රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියටත් (ආ...අවශේෂ මෙහෙසියන් රිදී දෝලි කියල හැඳින්වෙද්දි අග මෙහෙසිය හැඳින්වුනෙ රන්දෝලිය කියල. අදත් ඔය දළඳා පෙරහැරේ රන්දෝලි පෙරහැර කියල කියන්නෙ ඇත්තටම ඒ කාලෙ ඔය පෙරහැරේ ගෙනිච්චයි කියන්නෙ අග බිසවගෙ රන් ආභරණ කියලයි කියන්නෙ) සහෝදරයෙක් ඉඳල තියනව මුත්තුසාමි කියල. ඉතිං සම්ප්‍රදාය අනුව රජකම උරුම වෙන්ට ඕන ඒ මුත්තුසාමිට වුනාට මහ අදිකාරම් (ඒ කාලෙ රටේ අගමැතිට කිව්වෙ මහ අදිකාරම් කියල) පදවිය දරපු පිළිමතලව්වේ මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි රජකරවන්ට රහසේ කටයුතු කලා. 

මිනිහට ඇත්තටම ඕන කලේ තමන්ගෙ රූකඩයක් වගෙ රජෙක් සිංහාසනේ ඉන්දවල පස්සෙ හෙමීට තමන්ටම රටේ රජකම ගන්ට කියලයි කියවෙන්නෙ. පිළිමතලව්වෙගෙ කේන්දරේ ඉතා බලගතු රාජයෝගයක් තිබ්බයි කියල කියනව. එහෙම තමංගෙ කේන්දරේ රාජ යෝග තියෙනවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය කරන්නෙ මොන දහං ගැටේ ගහල හරි මොන පාවාදීම කරල හරි ඒ අනාවැකිය ඇත්ත කරවන්ට දතකන එක.

පිළිමතලව්වේ තමන්ගෙ පළවෙනි බලාපොරොත්තුව ඉස්ට කරගත්ත. ඒ කිව්වෙ කොහොමින් කොහොමින් හරි මුත්තුසාමි කපල දාල කන්නසාමි රජ කෙරෙව්ව. ඒත් උන්දැගෙ දෙවෙනි බලාපොරොත්තුව ඉස්ට සිද්ද කරගන්ට බැරුව ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ (මේ වෙනකොට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙලා) රජකමින් පහකරල තමන් රජවෙන්ට කරපු කුමන්ත්‍රණ කීපයක්ම එලිවෙලා රජ්ජුරුවො කීපවරක්ම සමාව දුන්නත් අන්තිමට බැරිම තැන රජ්ජුරුවො පිළිමතලව්වේ මරා දාන්ට අණකලා.

හරි අපි ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන අහල තියෙන්නෙ අන්තිම දරුණු දුෂ්ඨ, ක්‍රෑර රජෙක් විදිහටනෙ. අර ඇහැළේපොළ කුමාරිහාමිව සහ දරු තිදෙනා මරණයට පත්කපු විදිහ ගැන එහෙම මයිල් කෙලින් වෙන කතන්දරනෙ අපි අහල තියෙන්නෙ. නේ?..."අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි"  ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්ම සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමිකලා. අන්න එහෙමනෙ නේ? ඒත් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ සුට්ටං කුකුසක් තිබ්බ මේ කියන විදිහටමද වැඩේ වුනේ කියල.

කුමාරිහාමිගෙ දරුවො තුන්දෙනා ගෙල සිඳ මරණයට පත් කලා. එතකොට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්ලල මරල දැම්ම. අපි පුංචි කාලෙ ඔය ඇහැළේපොළ කුමාරිහාමිගෙ ආත්මය බෝගම්බර වැව වටේ පාරෙ හඳ තියෙන රෑට සැරිසරනව කියල අපිට කිව්ව. එහෙම කිව්වෙ අපෙ පොඩි අම්මගෙ දුවල. ඒ ගොල්ල ඒ කාලෙ හිටියෙ බෝගම්බර බන්ධනාගාර නිල නිවාස වල. බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.

අපි ඒ කාලෙ හිටියෙ කෑගල්ලෙ. ඉතිං ඉස්කෝල නිවාඩු කාලෙට එයාල අපේ ගෙදර ඇවිල්ල සතියක් දෙකක් වගෙ ඉන්නව. ඊට පස්සෙ ඒ ගොල්ල ආපහු නුවර යද්දි බොහෝවිට මම එයාල එක්ක ඇවිල්ල සතියක් විතර පොඩි අම්මලත් එක්ක ඉඳල ඉස්කෝලෙ පටන් ගන්ට ඉස්සර ආපහු යනව. වේල්ස් චිත්‍රපට ශාලාව තිබ්බෙ ඔය මම කියන ක්වාටසුත් එක්කම පල්ලෙහා. ඩී. එස්. සේනානායක පුස්තකාලෙත් එක්කම. දැන්නම් ඒ ෆිල්ම් හෝල් එක කඩල දාල. ඒ පොඩි අම්මලගෙ ගෙදර ආපු එක නිවාඩු කාලෙක "වනරාජා නොහොත් සිංහල ටාසන්" ෆිල්ම් එක බලන්ට ගියා මට මේ අද ඊයෙ වාගෙ මතකයි.

ෆිල්ම් එක බලන්ට ගියේ පොඩි අම්මගෙ වැඩුමල් දුවයි මායි. පොඩි අප්පච්චි ටිකට් අරන්දීල අපිව හෝල් එක ඇතුලට දාල ආපහු ගියා ෆිල්ම් එක ඉවරවෙන්ට කිට්ටුව එක්ක යන්ට එන්නම්ය කියල. 

"අප්පච්චි නාව උනත් අපිට යන්ට පුලුවනි. අපේ ගෙවල් මේ ලඟනෙ" සුදු අක්ක මහදැනමුත්තියක් වගෙ කිව්ව මගෙ කණට කට ලං කරල. මම ඔලුව හෙල්ලුව. ඒ වෙනකොට මයෙ වයස ඔන්නම් දහයක්  වගෙ වෙන්ටැ. සුදු අක්ක මට වඩා අවුරුද්දක් වැඩුමල්.

වනරාජා ෆිල්ම් එකේ එකේ රඟපෑවෙ බැසිල් ද සේරම් සහ තලතා ගුණසේකර. බැසිල් ද සේරම් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනේ සිංහල සිනමාවේ උසම නළුවා කියල. වනරාජා ෆිල්ම් එකේ ප්‍රචාරක පත්‍රිකා වල තිබ්බෙත් සිංහල සිනමාවේ උසම නළුවා රඟපාන කියල. තලතා ගුණසේකර කියන්නෙ නදීකා ගුණසේකරගෙ අම්මා.

සුදු අක්කල ඔය ෆිල්ම් එක කලින් බලල තියනව. මං හින්දමයි ඔය ආයම බලමු කියල ආවෙ. ඉතිං වැඩේ කියන්නෙ ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල මේ අම්මණ්ඩි මම ඉන්න සීට් එකට නැමිල ඊලඟට තියන සීන් එකේ විස්තරේ කියනව. මුලින්ම වැඩේ පටන් ගත්තෙ මම බයවෙයි කියල එහෙම බයවෙන සුළු සීන් ගැන වෝනිං එකකිං.

"රවි මල්ලි ඔන්න බයවෙන්න එහෙම එපා. ඊලඟට ඔය දොර අරිනකොටම කාමරේ මැදම තඩි නයෙක් ඉන්නව පෙණෙත් පුප්පගෙන. ඒත් ඌ අහිංසකයි දස්ට කරන්නෙ එහෙම නෑ.....හොඳේ?"

මමත් ඉතිං "හා මං බයවෙන්නෙ නෑ" කියල ඔලුව වනනව. ඒත් කෝකටත් ඇසුත් වහගන්නව...හෙහ්,හෙහ්, එහෙම අති බයංකාර සීන්ස් ගැන වෝනිං එකක් විදිහට පටං ගත්තු සුදු අක්කගෙ රනිං කමෙන්ට්‍රි එක නොහොත් විස්තර ප්‍රචාරය ඊට පස්සෙ සම්පූර්ණ කතාවම කලින් කියන මට්ටමට දියුණු වුනා. 

"ඔතන මල්ලි ඔය ඉන්නෙ රැජිණ..නම මායා...ඊලඟට සේවිකාවෝ දෙන්නෙක් ඇවිත් රැජිනිව එක්කං ගිහිල්ල කිරි දියරෙං නාවනව.."

"මොනවා? ඇත්තම කිරි වලිං?" මගෙ කටත් එක්ක ඇරුන. ඒ ඔය සිරිමා මැතිණිගෙ ආණ්ඩුව කාලෙනෙ. බඩු බාන්ඩ එහෙම බොහොම හිඟයි. අන්න ඒකයි තනිකර කිරෙං රැජිනිව නාවනව කිව්වම මට පුදුම හිතුනෙ.

"නෑ..නෑ...මම හිතන්නෙ බොරුවට වතුරට පාටක් දාල වෙන්ට ඇති"

"එහෙම කිරි වතුරෙන් නාවල ඊට පස්සෙ?" 

"ඊට පස්සෙ ලස්සන සළුවක් දෙනව ඇඳගන්ට"

"ඒක ඇඳගෙන? …"

මගේ ඒ ප්‍රශ්නෙට සුදු අක්කට උත්තර දෙන්ට ලැබුනෙ නෑ. පිටි පස්ස පේලියෙ ඉඳල බුරුසු රැවුල්ධාරී තඩි මූණක් අපි දෙන්න අතරට පාත් වුනා. 

"මේ ඔය ළමයි මේ ෆිල්ම් එක කලින් බැලුවනම් කටවල් වහගෙන ඉන්නවද? අපිටත් නිදහසේ මේක බලන්ට ඕන.."

"නෑ මම කලින් බලල නෑ මේ අක්ක තමයි කලින් බැලුවෙ.." මම සුදු අක්කව පෙන්නල බුරුසුවාට කිව්ව

"අක්ක හරි මල්ලි හරි කවුරුවුනත් කමක් නෑ...කෝ? ඔයාලගෙ නැද්ද කවුරුවත් වැඩි හිටියෙක් ඇවිල්ල?"

"නෑ අපි දෙන්න විතරයි..." මම හෙමිහිට කිව්ව.

"අන්න ඒකනෙ කියන්නෙ. පොඩි ළමයි තනියම ෆිල්ම් බලන්ට එවනව..මෙව්ව මේ ලමයින්ගෙ නෙවෙයි වැඩිහිටියන්ගෙ වැරදි..."

හැබැයි ඊට පස්සෙනම් සුදු අක්ක මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුව. 

ඉතිං මම අර කියපු විදිහට අපි සමහර දවස්වලට රෑට කාල ක්වාටර්ස් එකේ මිදුලෙ සෙල්ලං කරනව. හැංගිමුත්තං හෝ බට්ට පනින එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඔන්න හිටපු ගමං සුදු අක්ක "ඔන්න ඇහැළේපොල කුමාරිහාමිගෙ අවතාරෙ එනෝ..." කියල කෑගහගෙන ගෙට දුවනව. අපි පොඩි එවුනුත් ගිරිය යටිං කෑගහගෙන ඒ පස්සෙ දුවනව. එක දවසක් එහෙම දුවද්දි එළිපත්තෙ පය පැකිලිම වැටිල මගෙ දනිස්ස තුවාල වුනා. එදානං පොඩි අම්ම සුදු අක්කගෙ පස්සට දුන්න වේවැලෙන් දෙකක්...හෙහ්,හෙහ්,

හරි ආයම කන්නසාමි ගැන කතාවට ආවොත්.....මගේ හිතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගැන ඇඳිල තියෙන කතාව ඔය අපි අහල තියෙන කතාවට වඩා බොහෝම වෙනස් ... කොහෙත්ම ඔය ඉතිහාස පොතේ තියන එක නම් නෙවෙයි..අපේ අතීතය ගැන මගෙ හිතේ එහෙම කතන්දර මහ ගොඩක් ඇඳිල තියනව. එව්ව බොහොම වෙලාවට අපි ඔය අහල තියන එව්වට වඩා වෙනස්. එහෙම කතන්දර දෙකක් මම මීට කලින් ලිව්ව. විජය රජ්ජුරුවන්ගෙ කතාව සහ අනුලා බිසවගෙ කතාව.

හරි ඒ මගේ කතාවට ඉස්සෙල්ල ඇහුංකං දෙන්නකො ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ට.

ඔහු වනාහී  මියගිය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගෙ වැඩිමහළු සොහොයුරා. ආචාර්ය ගණනාත් කියන්නෙ ලංකාවෙ කවුරුත් වැඩිපුර නොදන්නව උනාට ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක්. ඔහු මේ ලඟදි ප්‍රකාශයට පත් කලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කල අධ්‍යයනයක්. පොතේ නම "The Doomed King - A Requiem For Śri Vikrama Rajasinha"

පෝස්ට් එක නම් ටිකක් දිගවෙයි. කමක් නෑ  කියවල බලන්න...පාඩුවක් වෙන එකක් නෑ...හෙහ්, හෙහ්,



The Doomed King...


මේ මුලින්ම සිළුමිණේ පළවූ ලිපියක්....

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 

1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. 

ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති "Land Tenure in Village Ceylon: A Sociological and Historical Study" (1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. 

චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන "The Cult of the Goddess Pattini" (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ "Buddhism Transformed: Religious Change in Sri Lanka" යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ "The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific" (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. 

පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය (Dutthagamini and the Buddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.

විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

මේ රසික කොටුදුරගේ මහාචාර්ය ඔබේසේකර සමඟ කල සම්මුඛ සාකච්ඡාවක්.. (උපුටාගැනීම සිළුමිණ පුවත්පතෙනි)

"ද ඩූම්ඩ් කිං ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?"

"දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හෝටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි"

"ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ."

"ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව"

"මේ කරුණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා."

"ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?"

"මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බේබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජ්ජුරුවන්ගෙ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගනිද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ."

"රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා."

"මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි."

"ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද?"

"1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා."

"මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා."

"මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?"

"පේරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි."

"ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා."

"ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන."

"මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?"

"අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්."


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...