නුවර වැව් දිය පිස හමාඑන මඳ සුළඟ ඒ හා සමඟ ඔහුගේ ගත කිලිපොලන්නට සමත් සිසිලසක් ගෙන ආවේය. උරහිස් හකුළුවා ගත් වනම මොහොතක් ගතකල ඉක්බිති ඔහු සෙමෙන් නැඟීසිට ඔපවත් තේක්ක ලීයෙන් නිමවුනු ගරාදි වැටට බරදී ඈත පෙනෙන දළඳා මාලිගයේ රන් වියන සැඳෑ හිරු රැස් පතිතව බබලනු බලා සිටියේය.
Chanel No. 5 ….නාස්පුඩු වලින් පෙනහළුවලට ඇතුලුව මුළු මහත් ආත්මයම පිරී ගත් ඒ සුපුරුදු සුගන්ධය උඩට ඇදගත් හුස්ම පහතට යා නොදී පපුව පුරවා හැකි පමන කල් දරා සිටීමට ඔහු උත්සාහ කලේය.
ඒ ඇගේ ආවේණික සුගන්ධයයි. ඔහු ආපසු හැරී බැලීමට කිසිදු උත්සාහයක් නොදැරීය.ඇගේ උඩුකයෙහි උණුසුම ඔහුගේ පිට පෙදෙසට දැනුනි. කිසිදු ශබ්දයක් නොනගා ඔහු පසුපසින් පැමිණි ඕ ඔහුගේ උඩුකය වටා දෑත්යවා වැළඳ ගත්තී ඔහුගේ උරහිස මත තම හිස හොවා ගත්තීය.
වසර අටක කාල පරාසයක් එක මොහොතකදී කාලයේ කළු කුහරයකට වැද සැඟව ගියේය. කාළය අසුරු සැනකින් ප්‍රතිවර්ත්‍ය වූයේ ජීවිත කාලයක අත්දැකීම් එක මොහොතකට හකුළුවා ලමිනි.
'' එතකොට ඔයාගෙ තීරණයෙ වෙනසක් නැද්ද? "
ඔහු ඇසුවේය.
" නෑ මගේ තීරණය එහෙමමයි. "
ඇය සුන්දර මඳහසක් පාමින් පැවසුවාය. ඇය වෙතින් හමා ආ Chanel 5 සුගන්ධය හැකි තරම් වේලා රඳවා ගැන්මට ඔහු දැඩි උත්සාහයක් දැරීය.
ඒ අට වසරකට පෙරදීය. එසේය....ජීවිතයෙන් අට වසරක්.....
" මෙහෙම ඇහුවට කමක් නැද්ද?...Forgive me if it's not my business……."
මේසය මත වූ ලයන් ලාගර් බෝතලය වටා තැනින් තැන බුබුළු මෙන් මතුවී පහතට ගලායන ජල බිඳු දෙස ඔහු බලා සිටියේ ජීවිතයේ කිසිදිනෙක එම දර්ශනය ඉන් පෙර නොදුටු ලෙසය.
" When you have to qualify a question with a rider like that it means more often than not its non of your business…"
ඇය හිස පස්සට විසිකොට හඬ නඟා සිනාසුණාය. මේස තුන හතරකට එහා රතු පැහැ ජපන් අරලිය ගසක් අඩංගුවූ පෝච්චියකට ඔබ්බෙන් වූ රවුම් මේසයක් වටා අසුන් ගෙන පහත් කරගත් හිසින් යුතුව කොඳුරමින් හුන් තරුණ යුවල හිස් ඔසවා මොහොතක් බලා සිට යලිදු හිස් පහත් කොට ගත්තෝය.
" හරි කමක් නෑ...මගෙ ඕනම දෙයක්…..Its your business too…...අහන්න "
" මෙහෙම යන ගමනෙ කෙළවර කොතනද? "
දළඳා තේවාව ආරම්භ වන බව හඟවන බෙර හඬ වැව මතුපිටින් හමා එන සුළඟේ දිශාව වෙනස් වීමත් සමඟ කඩින් කඩ සවන් පතිත වූයේ ඔහුගේ සිත තුල දැඩි පාලුවක් කාන්සියක් හෝ තනි කමක් වන් හැඟීමක් ජනිත කරවමිනි. ඒ හැඟීම පළවා හරිනු උදෙසා අචේතනික පියවරක් ලෙසින් දෝ දෑස් තදින් පියාගත්වනම හිස කීප කීප වරක් තදින් සෙලවූ ඔහු හිඳහුන් වේවැල් පුටුවෙහි ආනත වූ පසුපස ඇන්දට හොඳින් බර දී දෙපා දිගහැරගත්තේය.
මේසය මතවූ රිදී පැහැ බන්දේසියෙන් ගත් එක් උසැති තඹලේරුවක් දෑතට මැදිකොටගත් ඕ එදෙස බලාගත්වනම එය කිහිපවරක් ඒ මේ අත කරකැවූවාය.
" උත්තරේ හරියටම දන්නෙ නැතිව වැදගත් ප්‍රශ්නයක් අහන්න එපා කියල මම කොහෙදි හරි කියවල තියනව…."
ඇය පැවසුවාය.
" දන්නෙ නැද්ද කවුද එහෙම කිව්වෙ කියල....."
ඇය යලිදු ඇසූයේ තවමත් තඹලේරුව කරකවමිනි.
" නෑනෙ...මම අහල නෑ එහෙම එකක්….."
ඔහුගේ දෙතොල විවර වූයේ මඳ සිනාවකිනි.
" පුදුමයි........."
හිස ඔසවා ඔහු දෙස එක් වරක් බැලූ ඇය ලයන් ලාගර් බෝතලය ඇලකොට ප්‍රවේශමෙන් තඹලේරුවෙහි මුවවිට තෙක් පිරවූවාය.
රන්වන් බීර තඹලේරුවෙහි පතුලෙහි ඉපදුනු කුඩා වායු බුබුළු කෙමෙන් ඉහලට ඇදී ගොස් බිඳී විසිරීයනු ඔහු බලාසිටියේ අසුනෙහි ඇඳි මත වාරුකොටගත් දෑතෙහි බැඳගත් ඇඟිලි මතට මුහුණ බරකොටගනිමිනි.
බීර පිරවූ තඹලේරුව සුරතින් එසවූ ඇය බීර බෝතලය දෙස බැල්මක් හෙලා යලි ඔහු වෙත හැරී ඝන ව වැඩුණු දෙබැම උස් කලේ ප්‍රශ්නාර්ථයක් විලසිනි.
ඇගේ දෙබැම දෙස බලාගත්වනම ඔහු ඉදිරියට වාරුවී බීර බෝතලය සුරතට ගත්තේය.
දෙබැම ඉවත්කොට පැන්සලෙන් ඇඳීම මෙන්ම අත් සහ පා නිය වර්ණාලේප කිරීමද ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රී රූපලාවණ්‍යයට ඒ අත්‍යාවශ්‍ය කරුණු ලෙස සැලකූ ඔවුන්ගේ සෙසු මිතුරියෝ ඇයට සිනාසුණෝය.ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමට හෝ තැකුවේ ඇය නොවේ.
එහෙත් තායිලන්තයේ සතියක සංචාරයකින් පසු, සරදම් කල ඉතිරින් මුව ගොළු කරවමින් ඇය වමතෙහි මැණික් කටුවෙහි සිට වැලමිට දක්වා විහිදුනු දිගු දණ්ඩකින් යුත් රත් පැහැ නෙළුම් මලක පච්චයක් කොටාගෙන ආවාය.
" This is called body art……….not tattoo……"
ඒ සති අන්තයෙහි වාද්දුව මුහුදු වෙරළෙහි ඔහු අසළ වැතිර පලතුරු යුෂ බඳුනක් පානය කරමින් ඇය කීවාය.
" මට හිතුන මේ නෙළුම් මල ඇතුලෙ ඔයාගෙ නම කොටවාගන්ටත්….."
ඇය ඔහු දෙස නෙතඟින් බලා සිනාසුණාය.
" ඉතිං??...එහෙම නොකලෙ?..."
" ආය මොකටද කියල හිතුනා..එකක් ඒක ඔයාට අනවශ්‍ය බලපෑමක් ඒ වගේම මටත් අනවශ්‍ය බැඳීමක්......"
දිගු සුසුමක් හෙලූ ඔහු ඇගේ වමතෙහි තම සුරත පටලවා ගත්තේය.
ඒ නෙලුම් මල ......ඇය හැඳසිටි කහ පැහැ කමිසයේ අත වැළමිට තෙක් ඉහලට කල ඔහු සුදු පැහැ සම මත තවමත් දිදුලන නෙළුම් මල දෙස බලා සිටියේය.
" අර උත්තරේ දන්නෙ නැතුව ප්‍රශ්නයක් අහන්න එපා කියල කිව්වෙ කවුද කියල නම් දන්නෙ නෑ. ඒත් Don't ask a question that you don't want to know the answer of කියල නම් කතාවක් මම අහල තියනව….. "
ඇගේ අත අතහැර බීර තඹලේරුව සුරතට ගනි මින් ඔහු පැවසීය.
" Yes, Will Smith…Men in Black "'
ඇය තම තඹලේරුව ඔසවා සව්දිය පිරුවාය.
" For Life, For Me and for you… "
" In that order?.."
මඳක් කල්පනාවේ නිමග්නව හුන් ඇගේ දෙතොලට සිනහවක් නැඟිනි.
" yes, in that order………"
පදමට ශීත කරන ලද බීර උගුර පහලට ගියේ ඔහුගේ ගත කිලිපොලවමිනි.
" හරි ඔයාගෙ ප්‍රශ්නෙට එමුකො ආපහු..මේ ගමනෙ කෙළවර කොතනද?...ඔයා අහන්නෙ කොයි ගමන ගැනද? හෙට මම යන ගමන ගැනද?..මේ ජීවිතේ ගමන ගැනද? නත්නම් මේ සංසාර ගමන ගැනද? "
ඇය කිසිලෙසකින් වෙනස්වී නැත. වසර අට ඇයට කිසිදු බලපෑමක් කොට නැත. දෑත් ඔසවා අත්ල ඈ දෙසට පා පරාජය පිළිගත් බව හැඟවූ ඔහු සිනාසුනේය.
" Okay... Okay…..forget that I ever asked that question…….."
උඩවත්ත කන්ද ක්‍රමයෙන් ගොම්මන් අඳුරේ ගිලීයත්ම ඒ ගනඳුර පසුබිම් කොට තැනින් තැන දිලෙන්නට වූයේ විදුලි ආලෝක එලි කිහිපයකි.බරාඳයේ කෙලවරක වූ දෙපළු ද්වාරය විවරකොට ගෙන ඔවුන් වෙත පැමිණි කර වැසූ සුදු කබායක් හැඳ සිටි වේටර්වරයා අමතර බීර බෝතල යුගලක් සමඟ සැන්ඩ්විච් සහ පස්තෑල පිරි බඳුනක් රවුම් මේසය මත තබා නික්ම ගියේය.
" මේ කතාව මම මේ විදිහටම මීට බොහොම කාලෙකට කලින් ඔයාට කියල ඇති...එතකොට ඔයා ඒකට එකහෙලාම එකඟ උනා...ඒ උනත් ආයෙමත් ඔයාට ඒ කතාව කියන්නම්...."
තඹලේරුවේ වූ ඉතිරි බීර ස්වල්පය උගුරට හලාගත් ඇය ත්‍රිකෝණාකාරව නැවූ අත පිස්නාවෙන් දෙතොල පිස දා ගත්තීය.
" It’s a story about a mountain and a bird…ඔන්න එකමත් එක රටක තිබ්බ මහ කන්දක්..මේ කන්ද බොහොම නිසලයි..ගාම්බීරයි...කන්ද පල්ලෙහා තිබුනෙ නිම්නයක්.. මේ නිම්නය සරුසාර උනේ කෙත් වතු අස්වැද්දුවෙ මේ කන්දෙන් ගලා එන දිය පාරවල් වලින්..."
" මහ කන්ද ඔහොම නිසලව ඉඳිද්දි එක දවසක් අනපේක්ෂිත දෙයක් උනා. ඒ තමයි නිල් අහසෙ ඒ මේ අත ඉගිලෙමින් හිටිය පුංචි කිරිල්ලියක් හදිස්සියෙම ඇවිල්ල කන්ද උඩ වැහැව්වා…"
ඇය කථාව නතරකොට ඔහු දෙස බැලුවාය. ඒ මුවෙහි වූයේ සොඳුරු මන්දස්මිතියකි.
" ඇයි ඒ කිරිල්ලි කන්දෙ වැහැව්වෙ? "
දෙතොල් විවරකොට සිනාසුනද ඔහු දෙනෙතෙහි වුයේ ගැඹුරකි.
" ම්ම්.. ඇයි කන්දෙ වැහුවෙ නේද?....හරි අපි මෙහෙම කියමු. එක්කො ඈත ආකාසෙ වලාකුලු ඉරාගෙන පියාඹල තටු රිදෙන්න ඇති..නැත්නම් එහෙම නිදැල්ලෙ පියාඹන එක එපා වෙල වෙන්න ඇති.එහෙමත් නැත්නම්..එහෙමත් නැත්නම්….."
ඇගේ දෑසෙහි වූයේ කෙලිලොල් දඟකාරී බැල්මකි.
ඔහු පානය කරමින් හුන් බීර තඹලේරුව මේසය මත තබා දෙබැම හකුළුවා ඈ දෙස විමසුම් දෑසින් බලා සිටියේය.
" එහෙමත් නැත්නම් කිරිල්ලිට හිතෙන්න ඇති මොකක්ද මේ කන්ද?..... ඔහොම එක තැනකම ඉන්න කොට එපා වෙන්නෙ නැද්ද? මොනවද ඔහොම එක තැනකටම වෙලා ඉඳල කන්ද බලාපොරොත්තු වෙන්නෙ ? අන්න ඒ වගෙ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්ට. Don’t forget she was a very inquisite bird…හි,හි…"
" ඉතිං ඊට පස්සෙ? "
" ඉතිං කන්ද සහ කිරිල්ලිය....බොහොම සුහදව කතා කලා..ආගිය තොරතුරු බෙදා හදාගත්තා. කිරිල්ලි කන්දට කිව්ව සුදුපාට මීදුම් වගෙ වලාකුලු ඉරාගෙන ඉගිල්ලෙනකොට ඇතිවන ලෝකෙම අයිති මට වගෙ හැඟීම ගැන...ඉර පායාගෙන එනකොට ලාහිරු රැස් අත්තටු මත පතිත වෙද්දි හිතේ හැටියට කරණම් ගහමින් ඉගිල්ලෙනකොට ඇතිවන නිදහස් හැඟීම..."
" එතකොට කන්ද ඇහුවද එහෙමනම් ඇයි මා ළඟ ඇවිල්ල නැවතුනේ කියල? "
" නෑ, කන්ද එහෙම ඇහුවෙ නෑ…"
She said with twinkling eyes….
" එයා කිරිල්ලි කියන දේවල් අහගෙන හිටිය මිසක එහෙම මොකවත්ම ඇහුවෙ නෑ… "
ඔහු ඈ දෙස බලා සිටියේය. කුමක්දෝ පැවසීමට මෙන් තොල් විවරකොට යලි මුනිවතට සම වැදුනේ පපුව පුරවාගත් හුස්මක් එක්වරම පහල හෙලමිනි.
" You want to take up the story from here? "
She asked pouring some more golden colored liquid in to the tumbler.
" Okay no problem.....කිරිල්ලි කියන විස්තර කන්ද අහගෙන උන්නෙ බොහොම සතුටින්...කන්ද මෙච්චර කල් තමන්ගෙ නිසල නොසැලෙන ජීවිතය ගැන උපරිම තෘප්තියකින් හිටියෙ. ඒත් කිරිල්ලිගෙ කතා ඇහුවම ඒ වගෙ නිදහසේ ජීවිතයක් ගැන හිත පතුලෙ කොනක පුංචි ආසාවක් වගෙ දෙයක් ගිණි පුළිඟුවක් වගෙ ඇතිනොවුනාමත් නෙවෙයි...."
" ඔහොම කාලයක් ගෙවිලා ගියා...අන්තිමට එක් දවසක... හිරු එළිය දසත පැතිරීගිය එක් දවසක ඇය මෙහෙම කිව....මට යන්ට කාලය හරි."
" එතකොට කන්ද?...කන්ද මොකද කිව්වෙ? …."
ඇය ඇසුවේ සිහින් හඬිනි.
" කන්ද කිසි දෙයක් කිව්වෙ නෑ. නිසලව මඳ සිනහවකින් යුක්තව බලා සිටියේය...."
" ඉතිං?..."
" ඉතිං මෙහෙමයි උනේ..කිරිලිය ඉගිල ගියාය...කන්ද නිසලව බලා සිටියේය. "
" Is that the end of the story? "
" Who knows?...it may be... it may be not…let the time decide…"
He said looking over her bowed head at the moon floating over the darkened hills. දැඩි නිහැඬියාවක නිමග්නව ගෙවුනු කාලාන්තරයක් සේ දැනුනු මිනිත්තු කිහිපයකට පසු ඔහු යළි කථා කලේය.
" යන්ට එපා, ඉන්ට කියල කන්ද කිව්වනම් කිරිල්ලි යන්නෙ නැතුව ඉන්නවද? "
" ඒ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්ට බෑ…But I could say this…Half of her mind was wishing that he would say so and… "
" And the other half was afraid he would say so…"
He completed the sentence for her…
" Yes,…… "
She said in a small voice with just a trace of sadness in it.
" But in retrospect she was glad that he didn't say so.......අහසෙ පියාඹනකොට සමහර වෙලාවට පියාපත් රිදෙනව. හුලං කෝඩ සැර වැඩි උනහම එව්වට එරෙහිව පියාඹන්න උනාම හරි අමාරුයි. ඒ වගෙ වෙලාවට පොළවට පියාඹල ඇවිල්ල තුරුල් වෙල ගිමන් නිවාගන්න නිසල මහ කන්දක් වගෙ එකක් තියෙන එක නිදහසේ පියාඹන කිරිල්ලියකට ඕනමයි… "
ඇය පැවසූයේ ඔහුගෙ දෑස් දෙස එක එල්ලේ බලා හිඳිමිනි. ඒ විසල් දෑස් දිලිසුනේ කඳුළු නිසාදැයි ඔහු නොදත්තේය. ඒ පිළිබඳව වැඩිදුර සිතීමට ඔහුට කාලයක් හෝ අවශ්‍යතාවයක් ද නොවීය.
" නිසල මහ කන්ද..ඔව්...කිරිලියට අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ තුරුලු වීමට නිසල මහ කන්ද ඔබ වෙනුවෙන් බලා සිටී. "
ඔහු නැඟිට ඇය වෙත ගොස් දෙවුර වටා දෑත් යවා ඈ වැළඳ ගත්තේය. ඔහුගේ පුළුල් ළය මත මුහුණ සඟවාගත් ඇය ඔහු කෙරෙන් නික්ම ආ සුපුරුදු සුගන්ධය ළය පුරා පුරවා ගත්තීය.
නුවර වැව වටා වීදි පහන් දල්වා තිබුණු නමුදු තැනින් තැන තුඟුව වැඩුණු නොයෙක් වනස්පතීන් හේතුකොටගෙන සැලකිය යුතු පමණ අඳුරක් පැතිර තිබිණි. ඒ අඳුර පසුබිම් කොටගෙන ඔහු සහ ඇය සෙමෙන් සෙමෙන් පියමං කරමින් සිටියෝය. ඇය කරවටා රැඳුනු අළු පැහැති Kipling බැක් පැකයේ උර පටි තදින් ග්‍රහණය කොටගෙන ගමන් කලේ ඉදිරිය බලාගත් වනමය.
රැජින හෝටලය අසල මංසන්ධියේදී ඔවුහු නතර වූය. ඔහු ඇය දිගුකල සුරත ග්‍රහණය කොට නැවී ඇගේ නළලත සෙමින් සිප ගත්තේය. ඉක්බිති දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ පහළට ගමන් කරන්නට විය.ඇය බැක් පැකය ග්‍රහණය කරගත් වනම ඔහු කෙමෙන් නොපෙනී යනදෙස විසල් කොටගත් දෑසින් යුතුව බලා සිටියාය.
එසඳ දුර අතීතයක ඔබ සහ මම,
හමුවූයෙමු ජීවිත සිව් මංසලක නිමේශයකට,
මොහොතකට විඳ සෙනෙහසේ සුවඳ බිඳ,
වෙන්ව ගියෙමු සොඳුරු වූ මතකයන් දරාගෙන,
බලා හිඳිමි ඔබ දෙසම සෙනෙහසින් නැවතී හිඳ,
සොඳුරු ළඳුනි පාව යන පියාපතක් මෙන,
හමු වෙමු හෙට දිනද සිව්මංසලෙක ඉතිකින,
යලිදු සමුගමු මදහසින් මෙලෙසම,




