Friday, April 5, 2013

176. වසන්තයේ අග....නිසල මහ කන්ද සහ දසත සරනා කුරවි කෙවිලිය……..

නුවර වැව් දිය පිස හමාඑන මඳ සුළඟ ඒ හා සමඟ ඔහුගේ ගත කිලිපොලන්නට සමත් සිසිලසක් ගෙන ආවේය. උරහිස් හකුළුවා ගත් වනම මොහොතක් ගතකල ඉක්බිති ඔහු සෙමෙන් නැඟීසිට ඔපවත් තේක්ක ලීයෙන් නිමවුනු ගරාදි වැටට බරදී ඈත පෙනෙන දළඳා මාලිගයේ රන් වියන සැඳෑ හිරු රැස් පතිතව බබලනු බලා සිටියේය. 

Chanel No. 5 ….නාස්පුඩු වලින් පෙනහළුවලට ඇතුලුව මුළු මහත් ආත්මයම පිරී ගත් ඒ සුපුරුදු සුගන්ධය උඩට ඇදගත් හුස්ම පහතට යා නොදී පපුව පුරවා හැකි පමන කල් දරා සිටීමට ඔහු උත්සාහ කලේය. 

ඒ ඇගේ ආවේණික සුගන්ධයයි. ඔහු ආපසු හැරී බැලීමට කිසිදු උත්සාහයක් නොදැරීය.ඇගේ උඩුකයෙහි උණුසුම ඔහුගේ පිට පෙදෙසට දැනුනි. කිසිදු ශබ්දයක් නොනගා ඔහු පසුපසින් පැමිණි ඕ ඔහුගේ උඩුකය වටා දෑත්යවා වැළඳ ගත්තී ඔහුගේ උරහිස මත තම හිස හොවා ගත්තීය. 

වසර අටක කාල පරාසයක් එක මොහොතකදී කාලයේ කළු කුහරයකට වැද සැඟව ගියේය. කාළය අසුරු සැනකින් ප්‍රතිවර්ත්‍ය වූයේ ජීවිත කාලයක අත්දැකීම් එක මොහොතකට හකුළුවා ලමිනි. 

'' එතකොට ඔයාගෙ තීරණයෙ වෙනසක් නැද්ද? " 

ඔහු ඇසුවේය. 

" නෑ මගේ තීරණය එහෙමමයි. " 

ඇය සුන්දර මඳහසක් පාමින් පැවසුවාය. ඇය වෙතින් හමා ආ Chanel 5 සුගන්ධය හැකි තරම් වේලා රඳවා ගැන්මට ඔහු දැඩි උත්සාහයක් දැරීය. 

ඒ අට වසරකට පෙරදීය. එසේය....ජීවිතයෙන් අට වසරක්..... 

" මෙහෙම ඇහුවට කමක් නැද්ද?...Forgive me if it's not my business……." 

මේසය මත වූ ලයන් ලාගර් බෝතලය වටා තැනින් තැන බුබුළු මෙන් මතුවී පහතට ගලායන ජල බිඳු දෙස ඔහු බලා සිටියේ ජීවිතයේ කිසිදිනෙක එම දර්ශනය ඉන් පෙර නොදුටු ලෙසය. 


" When you have to qualify a question with a rider like that it means more often than not its non of your business…" 

ඇය හිස පස්සට විසිකොට හඬ නඟා සිනාසුණාය. මේස තුන හතරකට එහා රතු පැහැ ජපන් අරලිය ගසක් අඩංගුවූ පෝච්චියකට ඔබ්බෙන් වූ රවුම් මේසයක් වටා අසුන් ගෙන පහත් කරගත් හිසින් යුතුව කොඳුරමින් හුන් තරුණ යුවල හිස් ඔසවා මොහොතක් බලා සිට යලිදු හිස් පහත් කොට ගත්තෝය. 

" හරි කමක් නෑ...මගෙ ඕනම දෙයක්…..Its your business too…...අහන්න " 

" මෙහෙම යන ගමනෙ කෙළවර කොතනද? " 

දළඳා තේවාව ආරම්භ වන බව හඟවන බෙර හඬ වැව මතුපිටින් හමා එන සුළඟේ දිශාව වෙනස් වීමත් සමඟ කඩින් කඩ සවන් පතිත වූයේ ඔහුගේ සිත තුල දැඩි පාලුවක් කාන්සියක් හෝ තනි කමක් වන් හැඟීමක් ජනිත කරවමිනි. ඒ හැඟීම පළවා හරිනු උදෙසා අචේතනික පියවරක් ලෙසින් දෝ දෑස් තදින් පියාගත්වනම හිස කීප කීප වරක් තදින් සෙලවූ ඔහු හිඳහුන් වේවැල් පුටුවෙහි ආනත වූ පසුපස ඇන්දට හොඳින් බර දී දෙපා දිගහැරගත්තේය. 

මේසය මතවූ රිදී පැහැ බන්දේසියෙන් ගත් එක් උසැති තඹලේරුවක් දෑතට මැදිකොටගත් ඕ එදෙස බලාගත්වනම එය කිහිපවරක් ඒ මේ අත කරකැවූවාය. 

" උත්තරේ හරියටම දන්නෙ නැතිව වැදගත් ප්‍රශ්නයක් අහන්න එපා කියල මම කොහෙදි හරි කියවල තියනව…." 

ඇය පැවසුවාය. 

" දන්නෙ නැද්ද කවුද එහෙම කිව්වෙ කියල....." 

ඇය යලිදු ඇසූයේ තවමත් තඹලේරුව කරකවමිනි. 

" නෑනෙ...මම අහල නෑ එහෙම එකක්….." 

ඔහුගේ දෙතොල විවර වූයේ මඳ සිනාවකිනි. 

" පුදුමයි........." 

හිස ඔසවා ඔහු දෙස එක් වරක් බැලූ ඇය ලයන් ලාගර් බෝතලය ඇලකොට ප්‍රවේශමෙන් තඹලේරුවෙහි මුවවිට තෙක් පිරවූවාය. 

රන්වන් බීර තඹලේරුවෙහි පතුලෙහි ඉපදුනු කුඩා වායු බුබුළු කෙමෙන් ඉහලට ඇදී ගොස් බිඳී විසිරීයනු ඔහු බලාසිටියේ අසුනෙහි ඇඳි මත වාරුකොටගත් දෑතෙහි බැඳගත් ඇඟිලි මතට මුහුණ බරකොටගනිමිනි. 

බීර පිරවූ තඹලේරුව සුරතින් එසවූ ඇය බීර බෝතලය දෙස බැල්මක් හෙලා යලි ඔහු වෙත හැරී ඝන ව වැඩුණු දෙබැම උස් කලේ ප්‍රශ්නාර්ථයක් විලසිනි. 

ඇගේ දෙබැම දෙස බලාගත්වනම ඔහු ඉදිරියට වාරුවී බීර බෝතලය සුරතට ගත්තේය. 

දෙබැම ඉවත්කොට පැන්සලෙන් ඇඳීම මෙන්ම අත් සහ පා නිය වර්ණාලේප කිරීමද ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රී රූපලාවණ්‍යයට ඒ අත්‍යාවශ්‍ය කරුණු ලෙස සැලකූ ඔවුන්ගේ සෙසු මිතුරියෝ ඇයට සිනාසුණෝය.ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමට හෝ තැකුවේ ඇය නොවේ. 

එහෙත් තායිලන්තයේ සතියක සංචාරයකින් පසු, සරදම් කල ඉතිරින් මුව ගොළු කරවමින් ඇය වමතෙහි මැණික් කටුවෙහි සිට වැලමිට දක්වා විහිදුනු දිගු දණ්ඩකින් යුත් රත් පැහැ නෙළුම් මලක පච්චයක් කොටාගෙන ආවාය. 

" This is called body art……….not tattoo……" 

ඒ සති අන්තයෙහි වාද්දුව මුහුදු වෙරළෙහි ඔහු අසළ වැතිර පලතුරු යුෂ බඳුනක් පානය කරමින් ඇය කීවාය. 

" මට හිතුන මේ නෙළුම් මල ඇතුලෙ ඔයාගෙ නම කොටවාගන්ටත්….." 

ඇය ඔහු දෙස නෙතඟින් බලා සිනාසුණාය. 

" ඉතිං??...එහෙම නොකලෙ?..." 

" ආය මොකටද කියල හිතුනා..එකක් ඒක ඔයාට අනවශ්‍ය බලපෑමක් ඒ වගේම මටත් අනවශ්‍ය බැඳීමක්......" 

දිගු සුසුමක් හෙලූ ඔහු ඇගේ වමතෙහි තම සුරත පටලවා ගත්තේය. 

ඒ නෙලුම් මල ......ඇය හැඳසිටි කහ පැහැ කමිසයේ අත වැළමිට තෙක් ඉහලට කල ඔහු සුදු පැහැ සම මත තවමත් දිදුලන නෙළුම් මල දෙස බලා සිටියේය. 

" අර උත්තරේ දන්නෙ නැතුව ප්‍රශ්නයක් අහන්න එපා කියල කිව්වෙ කවුද කියල නම් දන්නෙ නෑ. ඒත් Don't ask a question that you don't want to know the answer of කියල නම් කතාවක් මම අහල තියනව….. " 

ඇගේ අත අතහැර බීර තඹලේරුව සුරතට ගනි මින් ඔහු පැවසීය. 

" Yes, Will Smith…Men in Black "' 

ඇය තම තඹලේරුව ඔසවා සව්දිය පිරුවාය. 

" For Life, For Me and for you… " 

" In that order?.." 

මඳක් කල්පනාවේ නිමග්නව හුන් ඇගේ දෙතොලට සිනහවක් නැඟිනි. 

" yes, in that order………" 

පදමට ශීත කරන ලද බීර උගුර පහලට ගියේ ඔහුගේ ගත කිලිපොලවමිනි. 

" හරි ඔයාගෙ ප්‍රශ්නෙට එමුකො ආපහු..මේ ගමනෙ කෙළවර කොතනද?...ඔයා අහන්නෙ කොයි ගමන ගැනද? හෙට මම යන ගමන ගැනද?..මේ ජීවිතේ ගමන ගැනද? නත්නම් මේ සංසාර ගමන ගැනද? " 

ඇය කිසිලෙසකින් වෙනස්වී නැත. වසර අට ඇයට කිසිදු බලපෑමක් කොට නැත. දෑත් ඔසවා අත්ල ඈ දෙසට පා පරාජය පිළිගත් බව හැඟවූ ඔහු සිනාසුනේය. 

" Okay... Okay…..forget that I ever asked that question…….." 

උඩවත්ත කන්ද ක්‍රමයෙන් ගොම්මන් අඳුරේ ගිලීයත්ම ඒ ගනඳුර පසුබිම් කොට තැනින් තැන දිලෙන්නට වූයේ විදුලි ආලෝක එලි කිහිපයකි.බරාඳයේ කෙලවරක වූ දෙපළු ද්වාරය විවරකොට ගෙන ඔවුන් වෙත පැමිණි කර වැසූ සුදු කබායක් හැඳ සිටි වේටර්වරයා අමතර බීර බෝතල යුගලක් සමඟ සැන්ඩ්විච් සහ පස්තෑල පිරි බඳුනක් රවුම් මේසය මත තබා නික්ම ගියේය. 

" මේ කතාව මම මේ විදිහටම මීට බොහොම කාලෙකට කලින් ඔයාට කියල ඇති...එතකොට ඔයා ඒකට එකහෙලාම එකඟ උනා...ඒ උනත් ආයෙමත් ඔයාට ඒ කතාව කියන්නම්...." 

තඹලේරුවේ වූ ඉතිරි බීර ස්වල්පය උගුරට හලාගත් ඇය ත්‍රිකෝණාකාරව නැවූ අත පිස්නාවෙන් දෙතොල පිස දා ගත්තීය. 

" It’s a story about a mountain and a bird…ඔන්න එකමත් එක රටක තිබ්බ මහ කන්දක්..මේ කන්ද බොහොම නිසලයි..ගාම්බීරයි...කන්ද පල්ලෙහා තිබුනෙ නිම්නයක්.. මේ නිම්නය සරුසාර උනේ කෙත් වතු අස්වැද්දුවෙ මේ කන්දෙන් ගලා එන දිය පාරවල් වලින්..." 



" මහ කන්ද ඔහොම නිසලව ඉඳිද්දි එක දවසක් අනපේක්ෂිත දෙයක් උනා. ඒ තමයි නිල් අහසෙ ඒ මේ අත ඉගිලෙමින් හිටිය පුංචි කිරිල්ලියක් හදිස්සියෙම ඇවිල්ල කන්ද උඩ වැහැව්වා…" 

ඇය කථාව නතරකොට ඔහු දෙස බැලුවාය. ඒ මුවෙහි වූයේ සොඳුරු මන්දස්මිතියකි. 

" ඇයි ඒ කිරිල්ලි කන්දෙ වැහැව්වෙ? "

දෙතොල් විවරකොට සිනාසුනද ඔහු දෙනෙතෙහි වුයේ ගැඹුරකි. 

" ම්ම්.. ඇයි කන්දෙ වැහුවෙ නේද?....හරි අපි මෙහෙම කියමු. එක්කො ඈත ආකාසෙ වලාකුලු ඉරාගෙන පියාඹල තටු රිදෙන්න ඇති..නැත්නම් එහෙම නිදැල්ලෙ පියාඹන එක එපා වෙල වෙන්න ඇති.එහෙමත් නැත්නම්..එහෙමත් නැත්නම්….." 

ඇගේ දෑසෙහි වූයේ කෙලිලොල් දඟකාරී බැල්මකි. 

ඔහු පානය කරමින් හුන් බීර තඹලේරුව මේසය මත තබා දෙබැම හකුළුවා ඈ දෙස විමසුම් දෑසින් බලා සිටියේය. 

" එහෙමත් නැත්නම් කිරිල්ලිට හිතෙන්න ඇති මොකක්ද මේ කන්ද?..... ඔහොම එක තැනකම ඉන්න කොට එපා වෙන්නෙ නැද්ද? මොනවද ඔහොම එක තැනකටම වෙලා ඉඳල කන්ද බලාපොරොත්තු වෙන්නෙ ? අන්න ඒ වගෙ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්ට. Don’t forget she was a very inquisite bird…හි,හි…" 

" ඉතිං ඊට පස්සෙ? " 

" ඉතිං කන්ද සහ කිරිල්ලිය....බොහොම සුහදව කතා කලා..ආගිය තොරතුරු බෙදා හදාගත්තා. කිරිල්ලි කන්දට කිව්ව සුදුපාට මීදුම් වගෙ වලාකුලු ඉරාගෙන ඉගිල්ලෙනකොට ඇතිවන ලෝකෙම අයිති මට වගෙ හැඟීම ගැන...ඉර පායාගෙන එනකොට ලාහිරු රැස් අත්තටු මත පතිත වෙද්දි හිතේ හැටියට කරණම් ගහමින් ඉගිල්ලෙනකොට ඇතිවන නිදහස් හැඟීම..." 

" එතකොට කන්ද ඇහුවද එහෙමනම් ඇයි මා ළඟ ඇවිල්ල නැවතුනේ කියල? " 

" නෑ, කන්ද එහෙම ඇහුවෙ නෑ…" 

She said with twinkling eyes…. 

" එයා කිරිල්ලි කියන දේවල් අහගෙන හිටිය මිසක එහෙම මොකවත්ම ඇහුවෙ නෑ… " 

ඔහු ඈ දෙස බලා සිටියේය. කුමක්දෝ පැවසීමට මෙන් තොල් විවරකොට යලි මුනිවතට සම වැදුනේ පපුව පුරවාගත් හුස්මක් එක්වරම පහල හෙලමිනි. 

" You want to take up the story from here? " 

She asked pouring some more golden colored liquid in to the tumbler. 

" Okay no problem.....කිරිල්ලි කියන විස්තර කන්ද අහගෙන උන්නෙ බොහොම සතුටින්...කන්ද මෙච්චර කල් තමන්ගෙ නිසල නොසැලෙන ජීවිතය ගැන උපරිම තෘප්තියකින් හිටියෙ. ඒත් කිරිල්ලිගෙ කතා ඇහුවම ඒ වගෙ නිදහසේ ජීවිතයක් ගැන හිත පතුලෙ කොනක පුංචි ආසාවක් වගෙ දෙයක් ගිණි පුළිඟුවක් වගෙ ඇතිනොවුනාමත් නෙවෙයි...." 

" ඔහොම කාලයක් ගෙවිලා ගියා...අන්තිමට එක් දවසක... හිරු එළිය දසත පැතිරීගිය එක් දවසක ඇය මෙහෙම කිව....මට යන්ට කාලය හරි."

" එතකොට කන්ද?...කන්ද මොකද කිව්වෙ? …." 

ඇය ඇසුවේ සිහින් හඬිනි. 

" කන්ද කිසි දෙයක් කිව්වෙ නෑ. නිසලව මඳ සිනහවකින් යුක්තව බලා සිටියේය...." 

" ඉතිං?..." 

" ඉතිං මෙහෙමයි උනේ..කිරිලිය ඉගිල ගියාය...කන්ද නිසලව බලා සිටියේය. " 

" Is that the end of the story? " 

" Who knows?...it may be... it may be not…let the time decide…" 

He said looking over her bowed head at the moon floating over the darkened hills. දැඩි නිහැඬියාවක නිමග්නව ගෙවුනු කාලාන්තරයක් සේ දැනුනු මිනිත්තු කිහිපයකට පසු ඔහු යළි කථා කලේය. 

" යන්ට එපා, ඉන්ට කියල කන්ද කිව්වනම් කිරිල්ලි යන්නෙ නැතුව ඉන්නවද? " 

" ඒ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්ට බෑ…But I could say this…Half of her mind was wishing that he would say so and… " 


" And the other half was afraid he would say so…" 

He completed the sentence for her… 

" Yes,…… " 

She said in a small voice with just a trace of sadness in it.  

" But in retrospect she was glad that he didn't say so.......අහසෙ පියාඹනකොට සමහර වෙලාවට පියාපත් රිදෙනව. හුලං කෝඩ සැර වැඩි උනහම එව්වට එරෙහිව පියාඹන්න උනාම හරි අමාරුයි. ඒ වගෙ වෙලාවට පොළවට පියාඹල ඇවිල්ල තුරුල් වෙල ගිමන් නිවාගන්න නිසල මහ කන්දක් වගෙ එකක් තියෙන එක නිදහසේ පියාඹන කිරිල්ලියකට ඕනමයි… " 

ඇය පැවසූයේ ඔහුගෙ දෑස් දෙස එක එල්ලේ බලා හිඳිමිනි. ඒ විසල් දෑස් දිලිසුනේ කඳුළු නිසාදැයි ඔහු නොදත්තේය. ඒ පිළිබඳව වැඩිදුර සිතීමට ඔහුට කාලයක් හෝ අවශ්‍යතාවයක් ද නොවීය. 

" නිසල මහ කන්ද..ඔව්...කිරිලියට අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ තුරුලු වීමට නිසල මහ කන්ද ඔබ වෙනුවෙන් බලා සිටී. " 

ඔහු නැඟිට ඇය වෙත ගොස් දෙවුර වටා දෑත් යවා ඈ වැළඳ ගත්තේය. ඔහුගේ පුළුල් ළය මත මුහුණ සඟවාගත් ඇය ඔහු කෙරෙන් නික්ම ආ සුපුරුදු සුගන්ධය ළය පුරා පුරවා ගත්තීය. 

නුවර වැව වටා වීදි පහන් දල්වා තිබුණු නමුදු තැනින් තැන තුඟුව වැඩුණු නොයෙක් වනස්පතීන් හේතුකොටගෙන සැලකිය යුතු පමණ අඳුරක් පැතිර තිබිණි. ඒ අඳුර පසුබිම් කොටගෙන ඔහු සහ ඇය සෙමෙන් සෙමෙන් පියමං කරමින් සිටියෝය. ඇය කරවටා රැඳුනු අළු පැහැති Kipling බැක් පැකයේ උර පටි තදින් ග්‍රහණය කොටගෙන ගමන් කලේ ඉදිරිය බලාගත් වනමය. 

රැජින හෝටලය අසල මංසන්ධියේදී ඔවුහු නතර වූය. ඔහු ඇය දිගුකල සුරත ග්‍රහණය කොට නැවී ඇගේ නළලත සෙමින් සිප ගත්තේය. ඉක්බිති දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ පහළට ගමන් කරන්නට විය.ඇය බැක් පැකය ග්‍රහණය කරගත් වනම ඔහු කෙමෙන් නොපෙනී යනදෙස විසල් කොටගත් දෑසින් යුතුව බලා සිටියාය. 



එසඳ දුර අතීතයක ඔබ සහ මම, 
හමුවූයෙමු ජීවිත සිව් මංසලක නිමේශයකට, 
මොහොතකට විඳ සෙනෙහසේ සුවඳ බිඳ, 
වෙන්ව ගියෙමු සොඳුරු වූ මතකයන් දරාගෙන, 

බලා හිඳිමි ඔබ දෙසම සෙනෙහසින් නැවතී හිඳ, 
සොඳුරු ළඳුනි පාව යන පියාපතක් මෙන, 
හමු වෙමු හෙට දිනද සිව්මංසලෙක ඉතිකින, 
යලිදු සමුගමු මදහසින් මෙලෙසම, 


Wednesday, April 3, 2013

175. විමලෙගෙ වාං පතුල් කතාව නොහොත් තෝස් ලාම්පු, මුගටි සහ පොහොරි ගැන........

හප්පච්චියෙ..මේ වාං පතුල් කතාව නිසාවෙං මම අහපු බැණුං කන්තරාවක්....හෙහ්, හෙහ්, එක්කො උඹ මේ කතාව කියාපං නැත්තං...නැත්තං ඒත් කියාපං...ඔන්න ඔහොම තමයි කට්ටිය මට බැණ අඬගැහැව්වෙ..ඔව්ව මට ගාණක් නෑ අප්ප...අර කම්මලේ බල්ල වගෙ තමයි. කච්චිය පිච්චියට ගියත් කම්මලේ බල්ල හෙළුවෙංය කියනවනෙ.අඩේ වැරදුනා වත්ද?....හෙළුවෙං හිටියෙ වෙල්ලාවෙ තිබ්බ බල්ල ද කොහෙද නේද? හරි හරි ඉන්ටලාකො සුට්ටක් ඉවසල හිට..ඔය බල්ලො ගැන යස අගේට දන්නෙ අපෙ ජානිස් ගොයිය. එයයිගෙං අහල කියඤ්ඤා හෙළුවෙං හිටියෙ කොයි බල්ලද, ඇඳුං ඇඳං හිටියෙ කොයි බල්ලදයි කියල...හරි එතකල් කියමු කතාව...මෙහෙම බල්ලො ගැන කියවන්ට ගියොත් අදත් මේ කතාව ඉවරයක් කොරන්ට වෙන එකක් නෑ වගෙ මට පේන්නෙ... 

ඉතිං මම අර කිව්වෙ අපි කැලේ මැද්දෑවෙ කෑම්ප් එහෙක ජීවත් වෙච්චි කාලෙ.මම බොහොම පොඩි එකා ඔය දවස්වල. යාන්තමට දැළි රැවුල මෝදු වෙන කාලෙ...හෙහ්, හෙහ්, 

ඉතිං මම කලින් කිව්වනෙ මාසෙං මාසෙ එක එක්කෙනාට බාර දෙනවය කියල චමරියෙ වැඩ කටයුතු. ඒ කිව්වෙ මාසෙ මුලදිම හැමෝගෙන්ම කීය කීය හරි එකතු කරල මාසෙටම ඕන බඩු බාහිරාදිය ගේන්ට ඕන. බඩු ගේන්ට අපිට සතියකට සැරයක් දෙනව ජීප් එකක් කදුරුවෙලට.ඒ කාලෙ අපිට මේන් සප්ලයි ලයිට් තිබ්බෙ නෑ. හවස හයාමාරෙ ඉඳල රෑ දොළහ වෙනකල් ජෙනරේටර් එකකිං ලයිට් දුන්න. මධු පානෝත්සවයක් වගෙ මොකක් හරි හින්ද ඊට පස්සෙත් ලයිට් ඕන නම් කෑම්ප් මේන්ටෙනන්ස් බාරව හිටිය නිලධාරියට කියල අවසර ගන්න ඕන. ඒකෙ අවුලක් උනේ නෑ කවදාවත්.කෑම්ප් එක බාරව හිටිය එකත් අපේ එකෙක්මයි.. 

ඌ බොන්නෙත් නෑ කොහොමත්. අනික ඔය වෙලාවට පණිවිඩේ කියන්ට යවන්නෙ හොඳටම වැඩි වෙච්චි එකෙක්. බොහෝ වෙලාවට මට තමයි ඔය වැඩේ පංගාර්තු වෙන්නෙ..මසාජ් බෝයි වැඩේ....මම ඉතිං ගිහිල්ල අපෙ කෑම්ප් ඔපිසරගෙ ජනේලෙට තඩි බානව.. 

" ඒයි ඇරපං ඩෝ අඩෝ උඹ නිදිද මෙච්චර විජහට? …" 

" මොකද බං මේ මහ රෑ?.....නිදාගන්ට දෙන්නෙ නැද්ද?..මේ දැං මම ආවෙ ඩීසල් අරගෙන..කාල යන්තමට ඇඳට වැටිල ඇහැ පියවුනා විතරයි……" 

මිනිහගෙ නම අපි කියමු උපුල්ය කියල...උපුලට තිබ්බ පොඩි අසනීපයක්..අසනීපයක්මත් නෙවෙයි එක අතකට...සීන් එක මේකයි.මිනිහ කතා කරනව බොහොම වේගෙං...මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ. කලබල උනාම නං නෝ හෝප්...සර සර ගානව විතරයි ඇහෙන්නෙ. ඒ වෙලාවට අපි කරන්නෙ මිනිහ කියන එක ටේප් කරල ආයම ස්ලෝ මෝෂන් දාල අහල බලනව. මොකක්ද මේ යකා මේ කිව්වෙ කියල 

රයිට් උපුලා ගැනත් තියනව තව සෝක් කතා ගොඩක්..කලිං කමෙන්ට් එකකදි එක කතාවක් ලාවට වගෙ කිව්වත් එක්ක මම. 

උපුල් ගැන කියන්ට උනේ ජෙනරේටරේ ගැන කියන්ට ගිහිල්ල. ජෙනිය ගැන කියන්ට උනේ අපිට එතකොට මේන් සප්ලයි තිබුණෙ නැතිය කියල කියන්ට.මේන් සප්ලයි තිබුණෙ නැතිය කියල කිව්වෙ ඒ නිසාම ෆ්‍රිජ් එකක් තිබ්බෙත් නැතිය, ඒ කරණකොටගෙන අනිවාර්යයෙන් සතියකට සැරයක් නම් බඩු ගේන්ට ටවුමට , ඒ කිව්වෙ කදුරුවෙලට, යන්ටම වෙනවය කියල කියන්ට. 

ඔන්න වටේම ගිහිල්ල මයෙ වාරෙ ආව චමරිය බාරගන්ට.එදිනෙදා උයන්නෙ මොනවදෙයි කියල අපේ සූපවේදියට උපදෙස් දෙන එකත් චමරි පාලක තැන්පත්ගෙ එක් බාරදූර වගකීමක්. ඔළුව විකාර වෙන්නෙ ඔය එක එක එව්ව කන්නෙ නැති එවුං චමරියට සෙට් උනාම.. 

" මචං මම මස් කන්නෙ නෑ..හෙට මස් උයනවනං මට වෙන මොනව හරි…" 

ඔන්න එකෙක් කියනව 

" වෙන මොනව හරි කියන්නෙ?..එහෙනං බිත්තරයක් හදන්නං...උඹ බිත්තර කනවනෙ...." 

" බිත්තර නම් කනව මචං ඒත් පාම් බිත්තර විතරයි…" 

ඉතිං හොයාපල්ලකො ඌට පාම් බිත්තර...ඒ හද්ද කැලේ මැද්දෑවෙ මොන පාම් ද?..අපෙ කෑම්ප් එක කිට්ටුව තිබ්බ පාරම්පරික මුස්ලිම් ගමක්...ඕකෙං තමයි අපි හරක් මස්, බිත්තර එහෙම ගේන්නෙ...එව්ව ඔක්කොම ගම් බිත්තර....ඔය පාම් බිත්තර කන අය එහෙම කරන්නෙ ඒකෙං ප්‍රාණයක් හානි වෙන්නෙ නෑ කියන උපකල්පනය මත ඉඳලයි. 

" පාම් බිත්තර කොහෙං හොයන්ටද බං?...මම කියන්ටද ගම් බිත්තරයක් තම්බන්නං...උඹ කහමදේ කන්ට එපා...ඒක මට තියපං...පවක් උනත් මටනෙ…" 

වෙන ඉතිං මොනව කියන්ටද?....තව එවුං ඉන්නව මස් හොදි කන්නෙ නෑ...කෑළි කනව...තව එවුං කුකුලගෙ තටු විතරයි කන්නෙ.... 

එතන තර්කය මෙහෙමයි. කුකුලට තටු කියන්නෙ ජීවිතය පවත්වා ගන්ට අත්‍යාවශ්‍ය අවයවයක් නෙවෙයි.ඒ නිසා තටු දෙක කැපුවත් කුකුල ජීවත් වෙනව. ඒ නිසාම තට්ට කෑවට පව් සිද්ද වෙන්නෙ නෑ... 

හැබැයි ඒ කතාව ඇත්ත. අපි චුට්ටි කාලෙ අපෙ ගෙදර කුකුල්ලු ඇතිකලා. එළුවොත් හිටිය කාලයක්...කුකුලො හිටියෙ අපෙ ගරාජ් එක පිටිපස්සෙ පොළවෙන් අඩි තුන හතරක් උඩ හදපු දැල් ගහපු කූඩුවක .ඕකට යන්ට තිබ්බ පිටපළු දෙකක් එකට ඈඳල හදපු පොඩි ඉණිමඟක් වගෙ එකක්. හවස ඉර බැහැගෙන යද්දි අත්තම්ම කූඩු කූඩු කියල වත්ත පුරා ඇහිඳ කකා ඉන්න කුකුල් රංචුව උංගෙ නිවහනට එළෝනව. යන්තං වැටෙන්නෙ නැතුව ඇවිදගන්ට පුළුවං උන කාලෙ ඉඳලම මමත් උන්දැට උදව් උනා ඔය කුකුළො කූඩු කිරිල්ලෙ මහා කර්තව්‍යයට... 

අපේ ගේ පිටිපස්සෙ ඉඳල බැලුවම කෙලින්ම පල්ලෙහ පෙනෙනව කොළඹ - නුවර පාර , එතෙන්ට යනකල්ම තිබ්බෙ සාමාන්‍ය තරමෙ ළඳු කැලෑවක්. මුගටි, තළගොයි විතරක් නෙවෙයි ඕකෙ මීමින්නො, වල් බාවො, හම්බාවො ඉඳල හිටිය. කොච්චර බල්ලො ඇතිකලත් දැල් ගහල ආරක්සා කලත් මාස දෙහෙකටවත් සැරයක් මුගටිය හරි කළවැද්ද හරි කුකුලෙක් නම් අරං යනවමයි. 

ඔන්න රෑ දෙගොඩ හරියෙ ඇහෙනව කුකුළංගෙ මර ලතෝනිය...බල්ලො දෙන්නත් ලවක් දෙවක් නැතුව බුරනව...අත්තම්මයි මාමයි ඇහැරල කෑලි පහේ බැස්ටියත් එළිය කරගෙන යනව හෝදිසි කරන්ට. මටත් ඔය වෙලාවට අනිවාර්යයෙං ඇහැරෙනව. මගෙ ඒ දවස්වල තිබ්බ පොඩි පිස්තෝලයක් හැඩේ ටෝච් එකක්. ඒක අළු පාටයි,  කාණු දෙකයි. කාණු දෙකට පෙන් ටෝච් බැට්රි කෑලි දෙකක් දානව. මූණත රතුපාටයි. ඒ හැටි එළියක් එන්නෙ නෑ. අත්තම්ම ටෝච් එක කොට්ටෙ යට තියාගෙන බුදියෙන නිසා මමත් ඔය මගෙ පිස්තෝල ටෝච් එක කොට්ටෙ යට තියාගෙන නිදියන්නෙ. 

" සුට්ටි පුතා කොහෙද මේ රෑ යන්නෙ..පිණි බානව එළියෙ..මට හෙට බැණුං තමයි අම්මගෙං " 

අත්තම්ම හෙමීට කියනව, ගෙදර අනික් උදවිය ඇහැරෙයි කියල. 

" අනේ අත්තම්මෙ..මම මගෙ ආමි තොප්පිය දාගෙන එන්නංකො...එතකොට පිණි බාන එකක් නෑ……" 

ආමි තොප්පිය කිව්වෙ මට ඒ කාලෙ තිබ්බ කාකි කැප් එකට...අපෙ අම්මයෙ බාලම මලය...මයෙ පුංචි මාම වොලන්ටියර් ආමි එකේ හිටියෙ. ඔය එයාගෙ එකක්. අම්ම ඇතුලෙං මැහුං දෙකක් ගහල දුන්න මහ විසාල නිසා. ඒත් දාගත්තම මගෙ කං දෙකත් වැහෙනව. මම හතර මහ නිදානෙ වගෙ තමයි ඔය කැප් එකයි මහෙ පිස්තෝල ටෝච් එකයි ආරක්සා කලේ. කිසි කෙනෙකුට දෙන්නෙ නෑ අල්ලන්ටවත්. 

දවසක්ද දෙකක්ද ඉස්කෝලෙටත් අරගෙන ගියා ගෙදර තියල ගිහාම කවුරු හරි ගනීවිය කියල බයට.පස්සෙ ඒ වැඩේ අප්පච්චිට අහුවෙලා බැණුං ඇහුව. පස්සෙදි කලේ ඔය දෙක දවසිං දවස තැන වෙනස් කරල හංගල යන්ට පුරුදු වෙච්චි එක.ඔය මගෙ පරිකල්පන සක්තිය උපරිමේට ගිහිල්ල මමම හිතාගත්තු බහු බූත මිස ආය ඕක හොරා ගන්ට කවුරුවත් අපෙ ගෙදර හිටපු ඇති එකක් නෑ....හෙහ්...හෙහ් 

" සුපටි පටි පන්නෝ මුගටි ගෙට පැන්නෝ …" 

ඔහොම තාලෙට කිය කිය මම ආමිකැප් එකත් දාගෙන පිස්තෝලෙත් පත්තු කරගෙන එළියට බහිනව. බල්ලො දෙන්න පෙරමුණේම... ජම්බෝ සහ බිංගෝ….. උං දෙන්නම හොඳ ජාතියෙ .ජර්මන් ෂෙපර්ඩ් සහ ලැබ්රඩෝර්…...ඊට පස්සෙ මාම ...කෑලි පහේ ටෝච් එක වටේ පඳුරු වලට ගහනව.... විඩෙං විඩේ අපි යන පාරටත් ගහනව, මොකද සර්පයො එහෙම එළිබහින වෙලාවනෙ. නයා එළි බහිනව කියන්නෙ නමයට විතර...මහ රෑ දොලහට වගෙ පස්සෙ තමයි පොළඟා, මාපිලා සහ කරවලා වගෙ එවුං... 

ඊට පස්සෙ අත්තම්ම. උන්දැගෙ වමතෙ කෑලි තුනේ ටෝච් එකක් තිබුනට ඒක පත්තු කරල නෑ. දකුණු අතේ තියනව තෝස් ලාම්පුව පත්තු කරල. ඔන්න ඔය පල්ලෙහයිං තියෙන්නෙ .....එව්වගෙ එකක් තමයි තෝස් ලාම්පුව කියන්නෙ... ගනකම ගැල්වනයිස් තඩඩුවකින් හදල තියෙන්නෙ. 


දිග කෙමියකුත් තියනව සහ රවුම් අඬුවක් සහිත පියනක්. අර කෙමිය ඇතුලෙං එළියට එනව හණ නූල් අඹරවල හදපු ලොකු තිරයක් වගෙ එකක්. පියන ඇරල බූමිතෙල් දාල කෙමියෙ කෙලවරින් එළියට තියෙන තිරේ අග්ගිස්ස පත්තුකලාම ඔන්න සෑහෙන එළියක් විහිදෙනව. හැබැයි දුම කියන්නෙ ආය ඕන නෑ..කළුම කළු පාට දුමක් දානව පත්තු කරපු වෙලාවෙ ඉඳල.ඒ නිසාම අම්ම ඔය තෝස් ලාම්පුව ගෙදර ඇතුලෙ පත්තු කරන එක එකහෙලාම තහනම් කරලයි තිබ්බෙ. ඒත් අත්තම්මට මොන තරං අගේ ඇති ටෝච් ගෙනැත් දීපං උන්දැට හරියන්නෙ නෑ. අර තෝස් ලාම්පුවම තමයි. 

රෑපානෙ ගෙදරිං එළියට බහින්නෙ ඔය තෝසෙ පත්තු කොරගෙන තමයි. උන්දැ ඒ හැටි උස නෑ. තෝස් ලාම්පුව පත්තු කරල උරෙස්ස මට්ටමට උඩිං උස්සාගෙන ඉතිං යනව රෑ තිස්සෙ එක්කො එළුවො කෑ ගැහුවොත් නැත්නං කුකුලො කෙකර ගෑවොත් බලන්ට. ඔහොම යද්දි මමත් දණිපණිගාල කර කර හිටපු වැඩෙත් පැත්තක දාල පස්ස පාරෙ වැටෙනව. 

" මේ අම්මට කියන දෙයක් අහන්නෙම නැති හැටියක්. අර ටෝච් කීයක් නම් ගෙනත් දුන්නද? අර කලු දුමත් එක්ක බූමිතෙල් ලාම්පුවම තමයි හොඳ.. පුතා කොහෙද යන්නෙ? දැං පාඩං කර කර නේද හිටියෙ? යන්නෙ එහෙම නෑ..හොඳද?...." 

ආය කොහෙද මම නං අහයි එව්ව...ඒ වෙනකොටත් මම එළියට බැහැල අත්තම්මත් එක්ක. ටිකක් විතර ලොකු වෙනකොට තෝසෙ අරං උඩට උස්සල පාර එළිය කරන එක මම බලෙම්ම ඉල්ල ගත්ත.එහෙම යන්ට තිබ්බ දවසට මට මාර සන්තෝසයි. දවස් තුන හතරකින් එහෙම චාන්ස් එකක් ආවෙ නැත්තං මම කිට්ටු වෙනව හෙමීට අත්තම්ම ගාවට. 

" අත්තම්මෙ මේ කුකුලො කෑගහනව වගෙ ඇහුන මට... මුගටිය ඇවිල්ලද දන්නෙ නෑ…" 

අත්තම්මට හිනා යනව……. 

" හා එහෙමද?..මට නං ඇහුණෙ නෑ එහෙම එකක්. කමක් නෑ සුට්ටි පුතාට ඇහුණනෙ. හරි අපි යමුකො එහෙනං බලන්ට...." 

උන්දැ ඉඳගෙන හිටපු පුටු පුංචෙං නැඟිටිනව කොන්දට අතකුත් තියාගෙන 

දැං ඔන්න මාමයි අත්තම්මයි මායි යන අඩි පාර ඉවර වෙන්නෙ ටිකක් එහායිං තියෙන අත ඇරල දාපු පරණ ගල් වලකිං. අඩි පාර දිගේම තියනව සුදු පාට පිහාටු ගැලවිච්චා. 

" අනේ….. පොහොරි.." 

අත්තම්ම නැමිල පිහාටුවක් අහුලල බලල කියනව බොහොම දුක්බරව..පොහොරි කියන්නෙ සුදුපාට තටුවල අළු පාට වගෙ පුල්ලි තිබ්බ කිකිළියක්.... 

අපි ටිකක් අඩිය ඉක්මන් කරනව..ඔන්න ගල්වලට කිට්ටු වෙනකොටම අඩි පාර අයිනෙ වැටිල ඉන්නව පොහොරි. මුගටියට හරි කළ වැද්දට හරි පොහොරිව ගෙනියන්ට බැරි වෙල. බල්ලොංගෙ කලබලෙයි අපි ඒ එක්කම ටෝච් ගහගෙන ආපු එකයි හින්ද ඒකා කිකිළිව දාල ගිහිල්ල. 

" මැරිලද පුතා?..." 

අත්තම්ම අහනව..මාම එතනම නැමිල ඇණතියාගන්නව. මාත් මගෙ පිස්තෝල ටෝච් එක ගහනව කිකිළිට. 

" නෑ බෙල්ල අහුවෙලා නෑ. තට්ටක් විතරයි කාල තියෙන්නෙ. පණ තියනව. …" 

මාම පොහොරිව උස්සගන්නව ඇඟෙං ඈතට කරල අල්ලගෙන. ඒකිගෙං ලේ ගලනව ඕසෙට. බල්ලො දෙන්න බිම තියෙන ලේ ටික ලෙව කනව. 

" චිප් …..අහකට ......." 

අත්තම්ම උන්ට සැර කරල එලෝනව. ආයෙම ගියා වාගෙම අපි ආපහු එනව. ඒත් මේ පාර මම ඉස්සරහිම්ම. මමයි ආලෝකය සපයන්නෙ. මගෙ පිස්තෝල ටෝච් එකෙං එහෙම නෙවෙයි. මාම අත් දෙකිම්ම පොහොරිව උස්සගෙන හින්ද එයයිගෙ කෑලි පහේ ටෝච් එක මට දෙනව.මට නේද? ආය මොනවද?...අහල පහල ගස් වල කරටි වලටත් මම ටෝච් එක ගහල බලනව. රෑ දෙගොඩ හරියට කියන්නෙ යක්කු ගස් යන වෙලාව කියලනෙ. කියන්ට බෑනෙ නැද්ද?... ඔය ගහක යකෙක් වත් හිටියොත්. 

" මොකද ළමයො ඔය කරන්නෙ? ගහන්ටකො ඕක මේ පාරට....සරපයෙක්වත් පෑගුණොත් එහෙම…" 

මාම කෑගහනව.. 

" නෑ මම මේ බැලුවෙ යක්කු වත්…….." 

මගෙ අඬ බාල වෙල එහෙම්මම නෑහිලාම යනව. 

පොහොරි ගෙනැල්ල අපෙ කුස්සියෙ බිම තියල අත්තම්ම ලුණු මිරිසක් අඹරනකොට දාන අඩුම කුඩුම අහුරක් මිරිස් ගලට දාල කහත් වැඩිපුර වෙන්ඩ දාල අඹරනව. මාම කිකිළිගෙ තට්ටෙ තුවාලෙ වටේටම පිහාටු ගලවනව. තුවාලෙ පෑදුනාම අර අඹරපු කහ ලුණු මිරිස් තලිය අත්තම්ම ගානව තුවාලෙ. පොහොරි මොකවත්ම කියන්නෙ නෑ. කොක් කොක් ගගා ඔහේ ඉන්නව පැත්ත වැටිල. 

ගරාජ් එකේ තියනව අපිව පොඩි කාලෙ නාවපු නාන බාල්දිය. ඒක බිත්තරේක හැඩේ. යකඩ තහඩු වලින් හදල තියෙන්නෙ. ඒක ඇතුලෙ කිකිළිව තියල ඉටි රෙද්දකිං වහල හිට උඩිං හරහට ලොකු ලීයක් තියනව. ඒ කිකිළි ඉටි රෙද්ද පෙරලල පැනල යයි කියල. 

ඔහොම දවස් දෙකක් පොහොරි ඉන්නෙ බාල්දියෙම තමයි. කන්ට වී පොල් කුඩු එහෙම අත්තම්ම ඇතුලට දානව. 

" ඇයි අත්තම්මෙ පොහොරිව මේ බාල්දිය අතුලෙ තියාගෙන ඉන්නෙ එළියට යන්ට දෙන්නෙ නැතුව?......" 

ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල මම අත්තම්මගෙං අහනව. 

" තුවාලෙ සනීප වෙන්ට කලින් එළියට දැම්මොත් අනික් එවුං තුවාලෙට කොටනව " 

අත්තම්ම මට කියල දෙනව.දෙවෙනි දවසෙ අත්තම්ම කිකිළිව උඩට අරගෙන බලල…. ආ, දැං සනීපයි …..කියල ඒකිව නිදහස් කරනව. 

මුගටිය එක්ක වෙච්ච අලකලංචියෙං පොහොරිට කිසි අවුලක් උනේ නෑ. ඒත් ඊට පස් සෙ ඒකිව දකින හැම වෙලේම මට හිතුනෙ පොහොරි ඇවිදින්නෙ එක පැත්තකට බර වෙල කියලයි. මට පේන හැටිද නං මන්දා...... 

පොහොරි තව කාලයක් අපි එක්ක ජීවත් වෙල වයසටම මැරිල ගියා.අත්තම්මයි මායි එළු ගාල එහා පැත්තෙ තිබ්බ අරලිය ගහ යට වලක් කපල පොහොරිව වැලලුව. ඒ උඩ ලොකු ගලකුත් තිබ්බ අපි දෙන්නම එකතුවෙලා පෙරලගෙන ඇවිල්ල. 

" නැත්තං කබරයි හාරනව …" 

අත්තම්ම මගෙ ඔලුව අත ගාන ගමන් කිව්ව. මම ඔලුව උස්සල බලනකොට උන්දැගෙ ඇස් වල කඳුළු වගෙ දිලිසුනා…

 
හප්පච්චියේ මදෑ.....වාං පතුල් ගැන කියන්ටයි ආවෙ ඒත් අන්තිමට කිව්වෙ ...තෝස් ලාම්පුයි, පොහොරියි, මුගටියොයි රටේ නැති එව්ව...හරි මොකද කොරන්නෙ?.....ලබන විඩේනං කියන එක කියනව.....වාං පතුල් ගැන…..දෙයියම්පල්ල 

Monday, April 1, 2013

174. අවසන ශේෂ වූ මහා පුරුෂයින් අතළොස්සකි. They were the giants and there are so few left…..

මේ ඇවිදිල්ල හිට අනුවෙ දසකයෙ මුල් බාගෙ විතර......අපෙ එවුන්ට කාලෙන් කාලෙට එනව එක එක පිස්සු...ඔන්න එක පාරක් පඩි එහෙම අරගෙන නිවාඩු ගිය එකෙක් අරං ආව ඔය කාන්තා පත්තරයක්...ඒ කාලෙ තිබ්බ කාන්තා පත්තර වැහි වැහැල...රෙජින ..කුමරි...යුවති ...කෙලී ...පටිණි..කාලි අම්ම ...මෝහිණී....රාස්සි..යස්සනී..ඔය මට මතක තියෙන නං කීපයක්...ඔය වගෙ ගෑණු නං ඔක්කොගෙම්ම වගෙ තිබ්බ පත්තර..තව මල් දෙවැට....මානෙල් පොකුණ.....බතල පාත්තිය..බුලත් කොරටුව....පතෝල මැස්ස...ඔන්න ඔයාකාර නං වලිනුත් පත්තර මහ ගොඩක්ම පළ උනා....තවම එව්ව පලවෙනවද කියල නං ඔන්න මංද.......පුවත් පත් කියවීම අපේ එක විනෝදාංසයක් වෙලා තිබ්බෙ...ප්‍රමුකස්තානය ඇවිල්ල අර පුංචි පත්තර කියන එව්ව...දන්නවනෙ නේද?...හරි ඔක්කොමල දන්නවා...ලැජ්ජ වෙන්ට එපල්ල...එව්වයෙ හැටි එහෙම තමයි...හරිද? 

ඉතිං ගෙදර ගිහිල්ල එන එවුං ගෙදර තියන තරමක් පත්තර ඔක්කොම ගේන්ට ඕන. ඒක නිල නොවන නීතියක් සම්ප්‍රදායක් වෙලයි තිබ්බෙ. ඔය පත්තර ඉතිං අත යනව මුළු කෑම්ප් එක පුරහම. ඔන්න ඔය වගෙ ගෙනාපු කාන්තා පත්තරේක තිබ්බ කොහොඹ කොළ කොටල බිව්වම හම නිකං රත්තරං පාටක් ගහනව කියල. 

ඔය දවස්වල අපෙ කොල්ලො බහුතරයක් මනමාලියො බලන්ට යන කාලෙ..ඉතිං මුංට මදැයි මේක..නොමිලෙම රත්තරං පාට වෙන්ට කවුද අකමැති. අනික අපි හිටියෙ වියළි කලාපෙ නෙව. කොහොඹ ගස් වෙහෙක්කම.....අපේ කෑම්ප් එක ඇතුලෙත් හෙවණට වවල තිබ්බෙ කොහොඹ..ඉතිං මොනවද ආය අපෙ චමරිවල ( අපි පදිංචි වෙලා හිටපු අර්ධ ස්ථිර නිල නිවාස හැඳින්නුවෙ ඒ නමින් ) ඉවුං පිහුං වලට හිටපු ගෝලයොන්ට වෙන වැඩක් තිබ්බෙ නෑ...උදේ පාංදර කොහොඹ කොළ කඩල වංගෙඩියෙ දාල කොටල ඉස්ම මිරිකනව පස්සෙ රෙදි පොට්ටනියක ගැටගහල මිරිකල ඉස්ම ගන්නව...සමහර එවුං ඕක බිව්වෙ කිරි එක්ක...පිටිකිරි දිය කරල ඒකට කොහොඹ ඉස්ම දාල...කිව්වට විස්වාස කරන්ට හොඳයි... එහෙම බිව්වම ගුණේ අඩුවෙනව කියල පෙලක් එවුං අර කල් කදුරු තිත්ත කොහොඹ ඉස්ම නිකම්ම ගසල ඇරිය නෙව උගුරට ...දෙකට. එවුං අමුර්තෙ බොන්නැහෙ කොහොඹ ඉස්ම බොනව බලා ඉඳල අම්මප බඩ දඟලන්ට ගත්තෙ මයෙ. අම්මප හම රත්තරං පාට කොරගන්ට මුංට තියෙන තදියම කියල මායි විමලෙයි බඩවල් අල්ලගෙන ඒ දවස්වල හිනාවෙන්නෙ... 

ඉතිං ඔය කොහොඹ සීන් එක එහෙම්මම නැති වෙලා ගියා..ඊට පස්සෙ ආව Baywatch පිස්සුව. ඒ කාලෙ රූපවාහිනියෙ ගියා සතියකට සැරයක් බේ වොච් කියල ඩ්‍රාමා සීරීස් එකක්....ඇමරිකාවෙ කොහෙදෝ වෙරළක ජීවිතාරක්ෂක සේවාවෙ යෙදෙන ගෑණු / පිරිමි කණ්ඩායමක් මුහුණ දෙන නොයෙක් සිදුවීම් සම්බන්දවයි ඒ සීරීස් එක හදල තිබ්බෙ....ඕකෙ ප්‍රධාන නලුවට හිටියෙ ඩේවිඩ් හැසල්හොෆ් ( හරි... කනයිට් රයිඩර්ට රඟපෑවෙත් ඒ මනුස්සයම තමයි ) බේ වොච් එකේ හිටපු කෙල්ලො තමයි කෙල්ලො...මට හොඳටම මතක පැමලා ඇන්ඩර්සන් ( 36-22-34 ) හප්පා, බිකිණියක් ඇඳගෙන වෙරළෙ එහෙ මෙහෙ දුවන එකම තමයි ඒ අම්මණ්ඩිගෙ වැඩේ. අපි ඉතිං ඇස් දෙක නළලෙ තියාගෙන උස්ම අල්ලගෙන ඒ දිහාවෙ බලා හිටියෙ. 

ඔන්න අපෙ එකෙකුට, මිනිහගෙ ගෙවල් තලාතුඔය පැත්තෙ; ආව ආසාවක් බේ වොච් එකේ කියවෙන කතාව තේරුම් ගන්න. ඉංගිරිස් වචනයක් වත් බැරිඋනත් රූපරාමු බලල කතාව මොකක්ද කියල අල්ලගන්න එක එච්චරම අමාරු නෑ..ඒත් එහෙම බෑ මිනිහට ඕන උනා ඉංගිරිසි ඉගෙන ගන්ටම. ඔය මනුස්සය ඉන්නව නේද? යමක් හිතුනොත් ආයෙ හිතුනම තමයි..කඟවේන වගෙ කඩාගෙන ඉස්සරහට යන්නෙ...ආය අපි වගෙ පස් මහ බැලුං බල බල ඉන්නෙ නෑ..ඊලඟ පාර නිවාඩුවට ගෙදර ගිහිල්ල ආපහු එමිං පාර මිනිහ අරගෙන ආව නුවර ඉංගිරිස් ටියුසන් පංති ගැන ගහපු දැන්නීම් පත්‍රිකා වගයක්. 

එයිං එකක තිබ්බෙ මෙහෙම. සුචරිත ගම්ලත් විසින් පැවැත්වෙන සරල ඉංග්‍රීසි පංතිය.... ඉස්සෙල්ලම මම මේ කතාව විස්වාස කරන්ටත් අමාරු ගතියක් දැනුන. සුප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් පෞද්ගලික ඉංග්‍රීසි පංති පවත්වනවයි කියන එක විස්වාස කරන්ටත් පුලුවන් දෙයක්ද?....ඒත් පස්සෙ මට දැනගන්ට ලැබුන ඒ කතාව ඇත්තම ඇත්තය කියල. මහාචාර්ය ගම්ලත් නිතරම විශ්ව විද්‍යාල පාලක බලාධිකාරීන් එක්ක ගැටුණු පුද්ගලයෙක්. ඉතිං බොහෝ විට ඔහු හිටියෙ සේවය අත්හිටුවල. ඒ එහෙම කාලයක්. දරු පවුල ජීවත් කරවන්නට වෙන මාර්ගයක් නැති තැන ඔහු ඉංග්‍රීසි ටියුෂන් දෙන්න පටන්ගෙන තිබුන. පේරාදෙනිය පාරෙ ඔන්න ඔය කොහෙද තැනක.... ඇඩ්රස් එකත් ඒකෙ තිබ්බ දැන් මට මතකයක් නම් නෑ හරියටම. 


මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන මට මුලින්ම මතකයක් තියෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ..... මට මතක විදිහට පත්තරේ රිවිරැස වෙන්න ඕන...ඒ පත්තරේ පළවුනු විශේෂාංග ලිපියක ඔහු ගැන වූ සඳහනක්.1975 වසරෙදි යාපනයේ විශ්ව විද්‍යාලය ඇරඹුනා. හරියටම කිව්වොත් ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ යාපනය මණ්ඩපය හැටියට.ඒ කාලෙ තිබ්බෙ එක විශ්ව විද්‍යාලයයයි. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය. අනික් ඒවා මණ්ඩප. කොළඹ මණ්ඩපය, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යෝදය මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය ..ඔන්න ඔහොම..75 වර්ෂයේ යාපනය මණ්ඩපය පටන් අරගෙන ඒකෙ සිංහල අංශයෙ මහාචාර්යවරයා හැටියට පත් කරල තියෙන්නෙ සුචරිත ගම්ලත් මහත්මය. කථිකාචාර්යවරු විදිහට ධර්මසේන පතිරාජ සහ සුනිල් ආරියරත්න. එදා රිවිරැසේ තිබ්බෙ අවුරුද්දක විතර කාලයක් ඔවුන් යාපනේ ගත කරපු ජීවිතය පිළිබඳව ඒ ගොල්ල එක්ක කරපු සාකච්ඡාවක්. 

ජන වාර්ගික අර්බුදයෙ ගිණි දැල් දසතින් ඇවිලෙද්දි යාපන මණ්ඩපයෙ සිංහල අංශය සදහටම වසා දමා ( කොළඹ බලා දුම් රියෙන් එද්දි ඔවුන් කොහොමවත් හිතල නැහැ මේ සදහටම යාපනයට ආයුබෝවන් කියල ආය නොඑන්ටම යන ගමනක්ය කියල ) ආපසු කොළඹ එද්දි ඇතිඋන හැඟීම් ගැන මහාචාර්ය තුමා අපූරුවට විස්තර කරල තිබුනා මට මතකයි. 

ඊට වසර කිහිපයකට පස්සෙ උසස් පෙළ විභාගයට ලියල ප්‍රතිපල එනකල් ගෙවූ නිදහස් සමයේ මගේ හිතවත් ඥාතිවරයෙක්ද සමඟ යාපනයේ සතියක පමණ සංචාරයක යෙදීමේ මහඟු අවස්ථාව මට උදා උනා. කන්නියා උණු වතුර ළිං,යාපනය කොටුව පසුපස මුහුදු තීරය, යාපනය මාළු වෙලඳ පොල, යාපනේ මිදි, කොත්තු රොටී සහ සාම්බාර් සමඟ තෝස....කළු පැහැති A 40 මෝටර් රථ, ඒ ඔක්කෝටම වඩා බයිසිකල් වල නැඟී ඒ මේ අත පියාඹන රූමත් දමිළ යුවතියන්..... 

අර්බුදයේ ගිණි පුළිඟු ඒ වනවිටත් අළු අතරින් වරින් වර දීප්තිමත්ව බැබලෙමින් තිබුණා. අපි යාපනයේ සංචාරය කලේ ඒ අතර වාරයක බල පැවැත්වුනු නොසන්සුන් සංහිදියාවකදි.යාපනය මහජන පුස්තකාලය ඒ වෙනකොට නිරුපද්‍රිතව තිබුනා සහස් සංඛ්‍යාත දැනුම් පිපාසිතයින්ගේ පවස නිවා ලමින්. ඒ ඉදිරිපිට සරස්වතිය තම ඇකයේ තබාගත් වීණාවද වයමින් නොසැලෙන බැල්මෙන් බලා හිඳිනු ඇය ඉදිරිපිට මහා මාර්ගයේ සිට මම බලා සිටියා.ඒ සියල්ල උඩු යටිකුරුවී වෛරයේ ගිණි දැල් දසත වෙලා ගැන්මට බොහෝ කාලයක් ගත වූයේ නෑ. මම හිතන්නෙ මම යාපනයට ගොස් පැමිණ මාස හයක් වගෙ කාලයක් ඇතුලත ඒ සියල්ල සිදුවෙලා රටම ගිණි ගත්තා. 

හුදෙක් එකම තීරු ලිපියක් නැත්නම් සතිපතා පලවන එකම ලිපියක් කියවීමටම පමණක් ඔබ යම් පුවත්පතක් මිලදීගෙන තිබෙනවාද? නැත්නම් එහෙම මිලදී ගන්නවාද? මම එසේ කොට ඇත්තෙමි. සුචරිත ගම්ලතුන් සති සිතුමිණ නමින් සතිපතා තීරු ලිපියක් ලිවීය.ගම්ලතුන්ට එක පත්තරයක වැඩි කලක් ඒ තීරු ලිපිය ලිවීමට ඉඩ නොලැබිණි.ඔහුට වරින්වර ඉරිදා පුවත්පත් කීපයකටම සති සිතුමිණි ද ඔසවාගෙන යෑමට සිදුවිය.ඒ සමඟම මම ද ඔහු පසුපස යමින් සති සිතුමිණි වෙනුවෙන්ම ඒ පලවන අදාල පුවත්පත මිලදී ගැන්මට පුරුදු වූයෙමි. 

බී.බී.සී. ආයතනයේ සිංහල සේවයේ සංදේශය වැඩ සටහනට ඔහු ගී මිණි ආර නමින් ගීත පිලිබඳව අර්ථ විවරණාත්මක වැඩ සටහනක් ද බොහෝ කාලයක් ඉදිරිපත් කලේය. බි.බී.සී. සංදේශයට මම බොහෝ කලක සිට සවන් දුනිමි. ලංකාවේ රාජ්‍ය පුවත් වාරණයෙන් මිදී සත්‍යය පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් ලබනු වස් ඒ එදවස මට මහෝපකාරී විය. 

" ග්‍රීනිච් වේලාව පස්වරු තුන පසුවී විනාඩි හතළිස් පහයි. ලංකාවේ වේලාව රාත්‍රී නවය පසුවී විනාඩි පහළවයි. බි.බී. සී. ගුවන් විදුලි සේවය ලන්ඩනයේ සිට ඔබ වෙත ගෙන එන සං....දේ..ශ..ය..........අද.....උතුරේ අධි ආරක්ෂක කලාප තුල නිජ බිමේ උරුමක්කාරයෝ අනාථ වෙලා...ද්‍රවිඩ සංධානයේ නියෝජ්‍ය නායකයා කියයි.....ඒ සමඟ සුචරිත ගම්ලත් ඉදිරිපත් කරන ගී මිණි ආර.......ප්‍රියත් ලියනගේ සමඟ මම ඉන්ද්‍රා රාමනායක......" 

අසූව දශකයේ අග භාගයේ හෝ අනූව දශකයේ මුල් අවුරුදු කීපය තුල සුචරිත ගම්ලත් මහතා ආචාර්ය පියසීලී විජේගුණසිංහ මහත්මිය සමඟ මාකස්වාදී කලා විචාරයෙහි සිද්ධාන්ත පිළිබඳව ඉතා උණුසුම් විවාදයක් ගෙන ගියේය.මගේ මතකය නිවැරදිනම් රාවය පත්‍රයේ සතිපතා පළවූ ඒ වාදයෙහි සුචරිත ගම්ලත් මහතා දැරූ අදහස් වලට බොහෝවිට එකඟ නොවූ නමුදු ඒ ඔහු කෙරෙහි මාතුල පැවති ගෞරවය බිඳකුදු අඩු කිරීමට සමත් නොවුණි.පියසීලී විජේගුණසිංහ මහත්මිය ද මීට වසර කිහිපයකට පළමු මිය ගියාය. 

ජීවිතයේ අවසාන භාගයේදී සුචරිත ගම්ලත් මහතා ඉතා භාරදූර කාර්යයන් දෙකකට කර ගැසුවේය. ඉන් පලමුවැන්න පරීපූර්ණ සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් සම්පාදනය කිරීමයි. එතෙක් වදනක අරුත සොය ගැන්ම උදෙසා යොදාගතහැකිවූයේ අඩ සිය වසකටත් වඩා ඉහත ගුණපාල මළලසේකර මහතා විසින් සකස් කල ශබ්ද කෝෂය පමණි.එහි බොහෝ අඩුපාඩු තිබුණු බව විශේෂයෙන් කිව යුත්තක් නොවේ. සුචරිත ගම්ලත් මහතා බොහෝ වෙහෙසව වදන් පන් ලක්ෂයකින් යුතු ශබ්ද කෝෂයක් 2009 වසරේ එලි දැක්වීය. 

ඉන් අනතුරුව ඔහු අත ගැසූයේ ඊටත් වඩා භාරදූර කාර්යයකටය.එනම් මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි මහතා සමඟ එකව සිංහල-ඉංග්‍රීසි-දෙමළ ශබ්ද කෝෂයක් නිර්මාණය කිරීමය. මීට වසර කිහිපයකට පෙර සිවතම්බි මහතාද මියගිය හෙයින් ඒ ඔහුගේ අවසාන යෝධ ව්‍යායාමය සපල වූවාදැයි නොදන්නෙමි. 

අවසන් හුස්ම පොද දක්වා තමන් විශ්වාස කල දෙය වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පෙනීසිටි ඔහු ඇත්ත වශයෙන්ම මහාචාර්ය යන ගෞරව නාමයට අත්‍යන්තයෙන්ම සුදුස්සෙකු වීය. 

යස ඉසුරු, ලාභ ප්‍රයෝජන සහ බලය කෙරෙහි ලොබින් කටේ තොලේ නොගෑවී ශෛලතලාවන් පවා විභේදනය වන මුසාවන් පවසන මහාචාර්ය වරුන් හමුවේ, කිසිදු වැදගැම්මකට නැති අවර ගණයේ බාල චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් පැතිරයන ආගමික උන්මාදයෙන් ප්‍රයෝජන ගනිමින් බොරදියෙහි මසුන් ඇල්ලිමෙහි යෙදෙන රාජපාක්ෂික මහාචාර්ය වරුන් හමුවේ, ගැහැණුන්ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ග්‍රාම්‍ය වදන් භාවිතා කරමින් ගැලරියේ විසිල් හඬ බලාපොරොත්තුවෙන් දේශනයන් පවත්වන මහාචාර්ය වරුන් හමුවේ ඔහු වනාහී සත්‍යය වශයෙන්ම යුග පුරුෂයෙකි. 

සුචරිත ගම්ලත් මහාචාර්ය තුමනි..යලි හමුවන තෙක් ඔබට ආයුබෝවන්!!! 


සරල ම දේ උගනිව් 
තොපගේ යුගය එළඹ ඇත 
උගැනුමට පමා නැත 
උගනිව් අයනු ආයනු 
ඒ මදි බව සැබැවි 
එහෙත් උගනිව් 
හෝඩිය 
අධෛර්යවත් නො වව් 
දියත් කරව් නැණ නැව 
කරව් තරණය 
විදු සයුර අපරිමිත 
උදුරා ගනිව් නායකත්වය. 

අනාථය, හදාරව 
අනාථාගාරයෙහි 
සිරකරුව, හදාරව 
බන්ධනාගාරයෙහි 
ගෘහණියනි, හදාරව 
කුස්සියෙහි 
හැට පිරුණත් හදාරව 
ඉහට වහලක් නැතත් 
සොයා යව් විදුහල 
ගත වෙවුලත සීතලෙන් 
මොලවවු ඥාන අග්නිය 
සා පිපාසා පහරත 
ගනිව් පොත සුරතට - 
එයයි තොප ආයුධය 
උදුරා ගනිව් නායකත්වය 

නොබා විමසවු සොයුරනි 
නො විකිණෙව් උන්ට, 
බලා තමා දෙස 
නො දත් බව දැන ගනිව්. 
හොය හොයා නොදත් දේ 
රැස් කරව් ඥාන ධන 
උදුරා ගනිව් 
නායකත්වය. 


රචනය – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් 
පරිවර්තනය – සුචරිත ගම්ලත් 

Wednesday, March 27, 2013

173. ගම්ලත් රාලලාගේ පුංචි මැණිකේ සහ ඌෂා චෞද්රී…..මේ ඔවුන්ගේ කතාවයි.

පහුගිය හෙනහුරාදට කලිං හෙනහුරාද මතකයි නේද?...අර ධවාන්ය කියන කොළුව හනුම දර පලන්නැහෙ ඔස්ටේලියං කාරයිංට එලෝ එලෝ තඩි ගැහැව්වෙ.අර අති ගෞරවාර්හ ධුරන්ධර N.G.P. ලලනාව මෙරිල් ලොක්කි ගැන මට කිව්වෙ…..ආං එදා. 

ඔන්න මේ හෙනහුරාදත් මම කලිංදා වගේම ඕස්ටේලියා ඉන්දියා ( කලිං බැලුවෙ තුංවෙනි ටෙස්ට් එක. මේ පාර හතර ) මැච් එක බලබල උන්නයි කියමුකො. ඕන්න ආයෙම ටිං ගාල ආව සද්දයක්. බැලුව කම්පියුටර් ස්ක්‍රීන් එකේ පල්ලෙහා දකුණු කෙරෝල දිහා..දෙයියෝම සාක්කි... 

" Oh, no... not her again…….What have I done to deserve this? " 

" මොකද බං?....." 

මම ඇහැව්ව ටිකක් විතර සැරට..නුහුගුණ හරි නැතුව හරි බබලත්තු එක්ක ටිකක් ඉන්ට ඕන කැත්තට පොල්ල වගෙ. නැත්තං බලන්නෙ කරේ උරේම නගින්ට. කරේ උරේ..කරේ උරේ......මම ඉතිං ඔව්වයෙ අත්දැකීං තියනවනෙ දැං දීර්ග කාලයක් තිස්සෙ...හෙහ්, හෙහ්, 

කිව්වම මොකද ලලනා තොමෝ ටිකක් බය උනා...ආය බොරුවක් කියන්නෙ මොකටද? 

" අනේ සොරි මම ඩිස්ටර්බ් කලාද..අයියෙ ? " 

ඔන්න උන්දැ ඇහුව බෝම බයපක්සපාතව. 

දන්නවනෙ මම ඔය සැර පෙන්නුවට මයෙ පපුව උනු වෙනව එක මිලි තප්පරේට. 

" නෑ, නෑ..මම මේ මැච් එක ඩිංගක් බල බල හිටියෙ..කියාපං …" 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……"

ඔන්න පඳුරු තැලිල්ලකට කාලෝ අයංතේ..... 


******************************** 

රාජස්තාන්....රාජස්තාන් කියනකොටම මට මතක් වෙන්නෙ F ස්ටොප්ස් ඇට් රාජස්ථාන්......ඒ ඇවිල්ල ඡායාරූප ප්‍රදර්ශනයක්.... 

මට මතක විදිහට අනුව දශකයෙ අන්තිම අවුරුද්දෙ විතර තිබ්බෙ. කොළඹ කලා භවනෙ... 

මම ඔය හැමදාම කියන්නෙ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක සේවය කලාය කියල. අනූව දශකයෙ අග භාගෙදි අපෙ ආයතනයෙ ක්‍රියාත්මක උනා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ වැඩ පිළිවෙලක්. විශ්‍රාම ගැනීමෙ කිව්වට විශ්‍රාම ගැන්වීමෙ කිව්වනම් තමයි හරියටම හරි. ඒ කියන්නෙ සේවයෙන් ඉල්ලා අස්වෙන අයට සේවය කරපු කාල සීමාව අනුව වන්දි මුදලක් ගෙවනව. 

සේවක අතිරික්තයක් තියනවයි කියල තමා ඔය වැඩේ ක්‍රියාත්මක කලේ. මටත් හිතුන මදැයි මේකෙ හිටිය මෙච්චර කාලයක්..බලමු අයිං වෙලා අතට ගානකුත් හම්බවෙන එකේ කියල... 

අපෙ පිරියම්බිකා තොමෝ මද්‍යස්තව හිටිය. එපා කිව්වෙත් නෑ. දැඩි කැමැත්තක් පෙන්නුවෙත් නෑ. ඔයයිගෙ කැමැත්තක් කිව්ව 

අන්න ඒ ඉල්ලා අස්වීම සම්බන්දව මොහොකට හරි මම ආව දවසක් කොළඹ.හයිඩ් පාක් එක ගාව තිබ්බෙ අපෙ ප්‍රධාන කාර්යාලෙ. එතනට ගිහිල්ල ඒ වැඩෙත් කරගෙන මහජන පුස්තකාලෙ තිබ්බ මොකක්දෝ පොත් ප්‍රදර්ශනයක් …ඒකටත් ඔලුව කාරිය ඩිංගක් විතර දාල, හතරයි දහයෙ සෙංකඩගල මැණිකෙට තව වෙලාව තියන නිසා මම කලා භවන ඉස්සරහ පාරෙ ඔහෙ ඇවිදගෙන ගියා. ඒ දවස්වල නම් ආනන්ද කුමාරස්වාමි මාවත . මේ ඊයෙ පෙරෙයිද ඒක නෙළුම් පොකුණ මාවත උනානෙ. මොකද කොරන්නෙ ඉතිං ඉතිහාසය කියන්නෙ මොකක්ද? ඒ ඉතිහාසය අපිට රැකල දුන්නු යුග පුරුෂයො කවුද කියල මෙලෝ හසරක් නොදන්න මිනිස්සු අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්න බලය තියෙන තැන් වලට පත් උනහම ඔහොම විලම්බීත සිද්ද නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. 

කලා භවනෙ තිබ්බ ඉස්සරහ නෝටිස් බෝඩ් එකක්. “ එෆ් ස්ටොප්ස් ඇට් රාජස්ථාන්.. “ ඡායාරූප ප්‍රදර්ශනයක්. ඡායාරූප ශිල්පියා පද්ම කුමාර මෙත්තසේන.ඔව් අර සුප්‍රසිද්ධ පුද්ගලයා තමයි. කලා භවන ඇතුලට එක අඩියයි තිබ්බෙ. මම අමුතුම ලෝකෙකට ඇතුලුවුනා කියලයි මට හිතුනෙ. ආනන්ද කුමාරස්වාමි මාවතේ එහා මෙහා යන වාහන වල ශබ්දය නෑසුණාම නම් නෙවෙයි. ඒත් ඒ ශබ්දය මගෙ මොලේට වැටුනෙ නෑ. කාන්තාර වල දුඹුරු කහ පැහැය, තද නිල් රතු, කහ දුඹුරු පැහැයෙන් බබලන මාළිගාවන් සහ බල කොටු, ඒ වගේම දීප්තිමත් වර්ණ වලින් යුතු ඇඳුම් හැඳි යුවතියන්...මම එදා කලාභවනෙ ගත කල හෝරා අඩකට ආසන්න කාලය ගත කලේ වෙනම විචිත්‍රවත් ලෝකයක. 

අපෙ ජීවිතේ එක එක බලාපොරොත්තු ඇතිවෙනව නේද කාලෙන් කාලෙට?...සමහර එව්ව ඉස්ට උනහම අමතක වෙලා යනව. තවත් සමහර එව්ව මම හිතන්නෙ බහුතරයක් ඉස්ට නොවීම අමතක වෙලා යනව. ඒත් තවත් සමහර බලාපොරොත්තු මහ අමුතුයි. ඉස්ට වෙනකල් හිතේ කොහෙ හරි මුල්ලක රැඳිල තියනව. සමහරවිට අපි දන්නෙත් නෑ එහෙම එකක් තියනවය කියල. ඒත් තියෙනව. එදා කලා භවනෙදි ඒ සන්ධ්‍යාවෙදි මයෙ හිතට ආවෙත් ඒ වගෙ සදා කල් රැඳී තියෙන බලාපොරොත්තුවක්. වෙන මොකවත් නෙවෙයි.කවදාක හරි රාජස්තානෙට යන්ටම ඕනෙය කියන හිතුවිල්ල... 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක එක මෙතෙකින් නිමියේය. 

******************************** 

ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……" 

" අඩේ ෆෙමිනා එවෝඩ්ස් හම්බවෙන්නෙ නිළියන්ට නෙව. මම දැනගෙන හිටියෙ නෑ බොලේ උඹ බොලිවුඩ් නිලියොත් ආස්සරේ කරනවයි කියල...හෙහ්, හෙහ්, " 

" නිළියන්ටත් දෙනව තමයි. ඒත් ඒකෙ තව කැටගරි එකක් තියනව ෆෙමීනා විමෙන් ඔෆ් අචීව්මන්ට් කියල, අන්න ඒ එවෝඩ් එකක් තමයි මගෙ යාලුවට හම්බ උනේ…" 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

******************************** 

ළමා විවාහ......ගොමු තැලීම...දෙවන භාගය 

" යං සුට්ටි පුතේ අර මයියොක්කා පඳුරක් ගලවල අල තියනවද බලන්ට. දවල්ට මයියොක්ක තම්බන්ට පුතා කනව නේද?..." 

" මම කනව. ඒත් පුළුං වගෙ තියනව නම් තමයි මම කැමතිම..ඇයි අත්තම්මෙ මයියොක්ක තම්බද්දි පියන වහන්නෙ නැත්තෙ? " 

මගෙ පුංචි උදලු කෙටියත් කර තියාගෙන උන්දැ පස්සේන් යන ගමං මම අහනව. 

" පියන වහල තැම්බුවම පුතේ හරියට තැම්බෙන්නෙ නෑනෙ ඒකනෙ. " 

" අත්තම්ම දන්නෙ කොහොමද? වහල තම්බල බැලුවද? " 

මයෙ අත්තම්ම..අම්මයෙ අම්ම..සුට්ටං එකා කාලෙ මයෙ ජීවිතේට ලොකුම බලපෑමක් කලේ උන්දැ....මම ඉපදිල සතියකින් විතර දුවයි මුණුබුරේයි බලන්ට තැම්බුං හොදිත් හදාන ආපු ගමන උන්දැ දිගටම අපෙ ගෙදර නැවතුනා. ආපහු ගියේ ඒ මුණුබුරාත් ඇතුලු හතර දෙනෙක්ගෙ කරපිටිං....හරි ඒ කතාව සහ උන්දැගෙයි මගෙයි තවත් දහසකුත් එකක් පයුරු පාසානං ගැන වෙනම ලියන්නම් වෙලාවක..දැනට මේ මාතෘකාවට අදාලව කතා කොරමුකො. හොඳද? 

හයේ නැත්නම් හතේ පංතියෙ මට මතක විදිහට., සමාජ අධ්‍යයනය කියල විෂයයක් තිබුන අපිට ඒ කාලෙ. ඕකට අපිට කිව්ව අපේ පරම්පරාව අම්මගෙ පැත්තෙනුයි අප්පච්චිගෙ පැත්තෙනුයි දෙපැත්තෙන්ම ඊට ඉහළ මට්ටම දක්වා පරම්පරා සටහනක් අඳින්නෙයි කියල. සමාජ සම්බන්ධතා වගෙ මොකක් හරි ගැන උගන්වන්නයි එහෙම කිව්වෙ. 

අප්පච්චිගෙනුත් විස්තර අහගෙන මම ඔය සටහන හැදුව. පංතියෙ ඒ පාඩම ඉවර උනා. ඊට පස්සෙ මට හිතුනා එක එක්කෙනා උපන් වර්ෂ එහෙම දාල ඔය සටහන ටිකක් වැඩි දියුණු කරන්න. අප්පච්චිත් එක්ක ආයෙම එකතුවෙලා ඒ වැඩේ කරද්දි මට ආව පොඩි ප්‍රශ්නයක්. අම්මලගෙ පවුලෙ වැඩිමලා අපෙ ලොකු මාම. ඒ සටහනේ හැටියට ලොකු මාම ඉපදෙනකොට අත්තම්මගෙ වයස දාහතයි. 

සෞඛ්‍යය සහ ස්වස්ථතාව විෂයයට ඒ වෙනකොට ප්‍රජනක පද්ධතිය, ගර්භණී කාලය ගැන එහෙම යමක් ඉගෙන ගෙන තිබ්බ නිසා මේ දත්ත ඇත්තම නම් අත්තම්ම විවාහ වෙන්ට ඇත්තෙ අවුරුදු දාසයෙවත් වෙන්ට ඕනය කියල මට හිතුන. 

" අම්මෙ..අත්තම්ම කසාද බැඳල තියෙන්නෙ අවුරුදු දාසයෙන්ද? " 

" ඔව්, ඒ දවස්වල එහෙම තමයි, ගොඩක් අඩු වයසෙන් ගෑනු ලමයි කසාද බඳිනව…" අම්ම මා එක්ක කිව්ව. 

ඒ වෙනකොට මට අවුරුදු දොළහක් ඇති ඕනනම්. ඊට අවුරුදු හතරක් වැඩිමල් වයසෙ ගෑණු ළමයෙක් කසාදයක් බඳිනව කියන එක මට හිතාගන්නවත් බැරිඋනා. ඒ නිසාම දවසක් මොර හූරන වරුසාව වෙලාවක අත්තම්ම මැටි කබලක වැලි උඩ දාල බැදපු රටකජු පොතු ඇරල එකිං එක කටේ දාල හපන ගමං මම උන්දැගෙං මෙහෙම ඇහුව. 

" ඈ අත්තම්මෙ ..කසාද බඳින්ට අත්තම්මට බයක් වගෙ හිතුනෙ නැද්ද? " 

" සුට්ටි පුතා මොනව අහනවද මන්ද? " 

අත්තම්මගෙ එක පාරට මයෙ මූණ දිහා බලල කිව්ව. ඒ හඬේ තිබ්බෙ නොරිස්සුම් ගතියක්මත් නම් නෙවෙයි..ඒ නිසා මම ආයෙම " කියන්නකො අත්තම්මෙ ඉතිං " කියල ඇහුවෙ රටකජු පොතු කාණුවෙ ගලාගෙන යන වතුර පාරට වීසි කරන අතරෙ. 

වැස්ස උළු වහලට වැටෙන සද්දෙයි අත්තම්ම රට කජු පොතු අරින සද්දෙයි විතරක් ඇහුනු විනාඩි කීපයක් ගෙවිල ගියා. ආයම ඒ ගැන කතා නොකරන්ට කියල මම හිතාගත්ත. 

" ලොකු අත්ත ඉස්සරලම අපේ ගෙදර ආපු වෙලාවෙ මම දුවල ගිහිල්ල වත්ත පහල තිබ්බ පිදුරු මඩුවෙ හැංගුණා. " 

මම ඔළුව හරෝල අත්තම්ම දිහා බැලුව. උන්දැගෙ මූණෙ තිබ්බෙ සොඳුරු මතක සැමරුම් අතරින් මතු උන සුන්දර හිනාවක්. 

ඊට පස්සෙ අත්තම්මගෙම කටින් විඩෙන් විඩේ පිටවෙච්චි මතක සැමරුම් ඒ වගේම අම්මා, මාමලා සහ පොඩි අම්මගෙන් කියවුනු සොඳුරු මතකයන් පෙලගස්වාගෙන ජී. ආර්. පුංචිමැණිකේ ගෙ කතාව මගෙ හිතේ මම ඇඳගත්ත. ඒක ලියන්න ඕනය කියල මම හිතාගෙන ඉන්නෙ වියුණුවක් ලියන්න පටන්ගත්ත මුල්ම කාලෙ ඉඳලම. 

පුංචිමැණිකේ ඇත්තටම වාසනාවන්තයි. ඇයට දීගයන්ට සිදුවූ පුරුෂයා ඇයට වඩා බොහෝසේ වැඩිමහලු උනත් ඉතාම නිවුණු තැන්පත් ගතිගුණ ඇත්තෙක්. රජයේ දුම් රිය සේවයේ Head Fireman ලෙස සේවය කල ඔහුට දාව ඇය දරුවන් දස දෙනෙකු ලබනවා.ජීවිතයේ සැඳෑසමය නිවී සැනසිල්ලේ ගෙවන ඇය මිය යන්නේ අනූ හතර වියැතිව. 

ඒ ගම්ලත් රාලලාගේ පුංචිමැණිකේ නොහොත් මගේ අත්තම්මාගේ කතාවයි. 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක දෙක මෙතෙකින් නිමියේය. 

******************************** 

මගේ මිත්තණිය එසේ භාග්‍යවත් වූවද මෙසේ විවාහ බන්ධනයට බලහත්කාරයෙන් ඇතුලත් කෙරෙන බොහෝ ලාබාල දැරියන් මුහුණදෙනුයේ බොහෝ දුක්ඛදායක සහ රුදුරු ඉරණමකටය. නන්නාඳුනන බොහෝවිට තමන්ගේ පියාගේ සමවයස්ක වූ පුරුෂයින් හා විවාහ වීමට බල කරනු ලැබ දෙමව්පියන් නෑදෑ හිතවතුන් සහ යෙහෙළියන්ගෙන් එක් සැනෙකින් වෙන් කරනු ලබන්නාවූ ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම ගෙවනුයේ බොහෝ සෙයින් හැඬූ කඳුලිනි. ළමා විවාහය යනු අසල්වැසි භාරත දේශයෙහි ඉතා සුලභය. භරතය යනු පරස්පර විරෝධයෙහි ජන්ම භූමිය යැයි කිව හැකි තරමට එරට ඕනෑම සංසිද්ධියක පරම අන්ත දෙක අතර දෝලනය වනුයේ ඇසිපිය ගසන වේගයෙනි. 

ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා යනු ඉන්දීය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඉන්දියාව විදේශිකයින් අතර ප්‍රචලිත කිරීමට යොදා ගන්න තේමා පාඨයයි. 

ඔවුන් ඒ යොදාගැන්මෙහිදී බලාපොරොත්තුවන අර්ථය මෙන්ම ඊට සපුරා විරුද්ධ අර්ථයක් උදෙසාද මේ තේමා පාඨය බොහෝ පහසුවෙන් යොදා ගත හැක. 

ලෝකයේ තොරතුරු තාක්ෂණයෙහි ඉහලම ස්ථානයක වැජඹෙන බෙංගලූරු නගරයෙන් බොහෝ ඈත නොවන ගම්මාන වල අද ද කිරිකැටි ගැහැණු දරුවන් උපන් විගස මරා දැමෙන්නේ ඔවුන් පවුලට දැරිය නොහැකි බරක් වගකීමක් ලෙස සැළකීමෙනි. 

න්‍යාෂ්ඨික බලාගාරවලින් විදුලිය නිපදවාගන්න ඉන්දියාවේ තවමත් වයස 13 හෝ 14 වන දැරියන් බලහත්කාරයෙන් ඔවුන්ගේ වයස මෙන් දෙගුණයකටත් වඩා අධික නාඳුනන පුරුෂයින්හට පාවා දීම සාමාන්‍ය සිද්ධියකි. 

******************************** 

නැවතත් ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව සහ පොදුවේ ගැහැණුන්ට වෙන අසාධාරණ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

ඇය නොනවත්වා කතා කලාය. මම වචනයකුදු නොදොඩා ඇයට සවන් දුන්නෙමි. 

" එයාගෙ කතාව අහපංකො පොඩ්ඩක්...එයාත් වයස දහ හතරෙදි විතර කවුද මනුස්සයෙකුට බලෙන්ම බන්දල දෙන්න හදල දෙමව්පියො. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම උනාම ගෑණු ළමය අකමැත්තෙං උනත් වැඩිහිටියංගෙ බහට නැමෙනව. ඒත් මෙයා කැමති වෙල නෑ ඒකට. බෑම කියල……" 


මම හිඳසිටිඅසුනේම පසුපස ඇන්දට හේත්තුවී දෑස පියාගතිමි.ඇගේ කටහඬ කෙමෙන් මැකී ගොස් අවසන අතුරුදන් විය. කාර්යාලය ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගයේ නිතොර ඇසෙන අනවරත වාහන ගමන් ගන්නා ශබ්දය ද කෙමෙන් හීනව ගොස් අවසන නෑසී ගියේය. 

ඒ වෙනුවට අඹ ගසක පත්‍ර මඳ සුළඟේ සෙලවෙන නාදය මගෙ සවන් පුරා පැතිර ගියේය.එසේය ඒ අඹ ගසකි. ග්‍රීෂ්ම සෘතුවේ අහසෙහි අනුකම්පා විරහිතව දිලෙන සැඩ හිරුරැසින් බොහෝ පත් හැලීගොස් ඉතිරිවූ පත්‍ර කිහිපය මඳ සුළඟේ සෙලවෙමින් තමනට හැකි පමණ සෙවණක් ලබා දුන්නෝය. 

එසේය. රාජස්ථානයෙහි ග්‍රීෂ්මය යනු ගත මෙන්ම සිත ද අනුකම්පා විරහිතව පෙලනු ලබන කාලයකි. 

ඒ අඹ සෙවණෙහි දැරියන් තිදෙනෙක් යම් ක්‍රීඩාවක නිරත වෙමින් සිටියෝය.තැනින් තැන නූල් පෑදී කඩමාලුවීගිය එහෙත් කලකට පෙර තද වර්ණයන්ගෙන හෙබි බවට දෙස් දෙන ඇස්වටය දක්වා දිගුවූ සායක් සහ වැලමිට දක්වා දිගු අත් ඇති හැට්ට වලින් සැරසුණු ඔවුහු දහහතර හෝ පහලොස් වන් වියෙහි පමණ පසුවන්නියෝ වූහ. 

" ඌෂා..........." 

ඒ අසල වූ ගෙපැලින් නික්මුනු තවමත් තරුණ විය නොඉක්මවූ ගැහැණියක් ඔවුන් වෙතට එමින් හඬගෑවාය. 

දැරියන් තිදෙන අතරින් හිණ දක්වා වැඩුනු කාල වර්ණ වරලසකින් යුතුවූ සිහින් දැරිය නැඟී සිටියාය. 

" අම්මා........." 

" මෙහෙට එන්ට..තාම සෙල්ලම..ඇවිල්ල ඔය මූණ ටිකක් හෝදගෙන මේ ඇඳුම දාගන්ට….." 

කෙසඟ ගැහැණිය පැවසූයේ රතු සහ කහ පැහැයෙන් සිත්තම් වූ සායක් සහ ඊටම ගැලපෙන හැට්ටයකින් සැදුනු අලුත්ම ඇඳුමක් ඇය වෙත පාමිනි. සතුටින් පිනාගිය දැරිය වහා මව වෙත දිවගියේ හඬ නඟා සිනාසෙමිනි. ඒ පසුගිය ඉරුදින චිත්තෝර් කඩ මණ්ඩියෙන් මෑණියන් මිලදීගෙන ආ ඇඳුමයි. 

" ඇයි අම්මා මේ ඇඳුමක් ගත්තෙ මේ හදිස්සියෙ?..." 

ඌෂාට අලුත් ඇඳුමක් ලැබෙනුයේ වසරකට වරක් එළඹෙන කුම්භ මංගල්‍යය දිනයේ පමනක් බැවින් ඇය එසේ විමසුවාය. මවගෙන් ඇයට කිසිදු පිලිතුරක් නොලැබුනද අලුත් ඇඳුම හේතුවෙන් උද්දාමයට පත්ව හුන් ඇය ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවාය. 

අලුත් ඇඳුම හැඳගත් දැරිය සිය මව සමඟ කුඩා නිවසේ ඉදිරිපස කොට බිත්තියෙන් ආවරණය වූ කොටසෙහි අසුන් ගෙන හුන් අමුත්තන් ඉදිරියට ගියාය. ඔවුන් ඇය දෙස බලමින් පහත් හඬින් කතාබහෙහි යෙදුනද අලුත් ඇඳුමෙහි තාන් සුවඳ පපුව පුරා පිරීයනසේ විඳිමින් හුන් ඌෂා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකලාය. 

දින කීපයක් ගෙවී ගියේය. සුපුරුදු ලෙස අඹ ගස සෙවනෙහි දැරියෝ කෙලි දෙලෙන් පසුවූවෝය. 

" ඌෂා මදැයි ඔය සෙල්ලම.....මෙහාට ඇවිල්ල මට ටිකක් උදව් වුනා නම් නරකයිද?...තව මාස තුනකිං දීහ යන්ට ඉන්න ගෑණියක් නේද?..." 

එකවරම ගෙමිදුලට බට කෙසඟ ගැහැණිය හඬගෑවාය. 

ඌෂාගේ ලෝකය කඩා වැටුනේ අසුරු සැනෙනි. ඇය හිඳ හුන් තැනින් නැඟිට්ටේද නිවස වෙත පා තැබුවේද සිහිනෙන් ඇවිදින්නියක මෙනි. 

" මොකක්ද අම්මා කිව්වෙ?...මම දීග යනවා?...ඒ මොකටද? කා එක්කද? …" 

සිහි එලවා ගත් සැනින් ඇය ලිප අසල බිම ඇණ තබාගෙන ගින්නෙහි කැකෑරෙන කුමන හෝ හොද්දක් හැඳි ගාමින් සිටි අම්මා අසල බිම හිඳගෙන අසූයේ හීන් හඬිනි. 

" ගෑණු ළමයි උනාම දීග යන්නෙ නැද්ද?..දැං වයසත් හරිනෙ..අර එදා ආවෙ...උස හීන්දෑරි මනුස්සය..එයා තමයි....හමුදාවෙ වැඩ කරන්නෙ...හොඳට සල්ලි හම්බ කරනවා...ඔයාට දුකක් නැතුව ඉන්න පුලුවන්…" 

ගැහැණිය පැවසූයේ හොද්ද හැඳිගෑම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඌෂා දෑස් පියා ගත්තාය. යාබද නිවසකින් අතමාරුවට රැගෙන ආ කලු පැහැ වේවැල් කැඩුණු පුටුවෙහි හිඳගෙන හුන් කට දෙපසින් පහතට නැවීගිය ඝන උඩු රැවුලකින් හෙබි කෙසඟ පුරුෂයා ඇය වෑයමෙන් සිතට නඟා ගත්තීය. ඔහු බොහෝ විට තමාදෙසම දැඩි උනන්දුවෙන් බලා සිටි බව ඒ සමඟම ඇයට සිහිවිය. 

දෑස් පියාගත් වනම ලිපෙහි ගිනිදලුවල උනුසුම විඳිමින් තවත් නිමේශයක් ගත කල ඌෂා තීරණයකට එලඹියාය. 

එක් තැනැත්තකු හෝ තැනැත්තියක එක් මොහොතකදී ගන්නා එකම තිරණයක් නිසා දහස් සංඛ්‍යාත මිනිසුන් ගැහැණුන්ගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක බව/ වෙනස් වූ බව මම අමුතුවෙන් කිවයුතු නොවේ. ඌෂා එදින ඒ මොහොතේ ගත් තීරණය නිසා ද දහස් සංඛ්‍යත නොවූවද සැලකියයුතු මිනිසුන් කෙසේ වුවද ගැහැණුන් සංඛ්‍යාවකගේ ඉරණම වෙනස් වූ බව මෙහිලා සටහන් කර තබනුයේ තම ඉරණම පරාජිත මානසිකත්වයෙන් භාරගැන්ම ප්‍රතික්ෂේප කොට ඊට විරුද්ධව නිර්භයව සටන් වැදුනු ඔවුන්ට මෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය පන්නරය නොමසුරුව ලබාදුන් ඌෂාට ද උපහාර පිණිසය. 

" නෑ මම බඳින්නෙ නෑ….." 

එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටිඇය සෙමෙන් එහෙත් ස්ථිරසාර හඬින් පැවසුවාය. 

නැවත මම මගේ සුපුරුදු අසුනට පිවිසියෙමි. මගේ යෙහෙලියගේ හඬ යලිත් කෙමෙන් මා සවන් පුරවා ලන්නට විය. 

" අඬල කෑ ගහල. .....පණ නහගන්නවයි කියල. අන්තිමට ගෙදරින් යන්නත් ගිහිල්ල වෙන කවුද නෑදෑ කෙනෙකුගෙ ගෙදරක නවතින්න. අන්තිමට අර මනමාලයගෙ කට්ටියට බලා ඉඳලම එපා වෙල ඒ අය වෙන අතක් බලාගෙන. මගෙ යාලුව තමන්ගෙ උත්සාහයෙන්ම ඉගෙන ගෙන එම්. ඒ. එකකුත් කරල. එයා ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන ඒ වගෙ බලෙන් බන්දල දෙන්ට යන ගෑණු ලමයින්ට එතකොට ඔය දෑවැදි ප්‍රශ්න නිසා මනුස්සයගෙ පවුලෙ උදවිය අතින් අතවරයට පත් වෙච්ච කාන්තාවන්ට පිහිට වෙන්ට.එයා දැන් සම්පූර්ණ කාලයම යොදවන්නෙ ඒ වෙනුවෙන්. එන්න ඒකට තමයි මේ පාර ෆෙමීනා එවෝඩ් එක එයාට ලැබුණෙ. " 

කවුරුන් හෝ විද්වතෙක් පැවසූවක් මෙහිදී මගේ මතකයට පැමිණේ. 

" The true measure of a civilization is not how tall the buildings are nor how wide the highways are, its how they treat their women and children " 

ළමා විවාහයන් යනු කාන්තාවන් සහ ලමුන් යන දෙපිරිසම එක්වර අපයෝජනය කිරීමකි. 

ළමා විවාහයන් අනුමත කරන සමාජයක් ශිෂ්ඨාචාරයක් ඇගයීමට ලක් කරනා නිර්නායක දෙකින්ම එක්වරම අසමත් වේ. 

******************************** 

විශේෂ ස්තූතිය - එක් සුවිශේෂී අධිෂ්ඨානයකින් සහ අප්‍රතිහත ධෛර්යයකින් හෙබියා වූ ද දෛවයෙන් නියම කෙරුනු ඉරණමට එරෙහිව සටන් වැද ජයග්‍රහණය කිරීමෙන් තෘප්තිමත් නොව ඒ සමාන ඉරණමකට මුහුන දෙන තම සොහොයුරියන් රැසකගේ ජීවිත වලට සෙනෙහෙබර ආලෝකයක් ගෙන දෙන්නා වූද අයෝමය යුවතියක පිළිබඳ සොඳුරු සැමරුම් අප හා බෙදා ගැන්ම වෙනුවෙන් මා හිතවත් යෙහෙළිය ...යලිත් වරක් ඔබට

Monday, March 25, 2013

172. නුහුගුණාපිත කතන්දර තුනක්....

කතන්දර කියන එව්වට අපි හැමෝම ආසයි. පොඩි කාලෙ අපි නිදා ගන්නෙත් අත්තම්මගෙ නැත්නම් ලොකුඅත්තගෙ කතන්දර අහගෙන. එහෙම නින්ද ගිහාම හීනෙනුත් පේන්නෙ ඒ කතන්දර ....මමත් ඔය කතන්දර අහන්ට වගේම කියන්ටත් බොහොම මනාපයි නෙව..මේ පහුගිය සුමානෙ එක පාරටම ආව කං කකියන්ඩ හීතලක්. ඉතිං රාත්තිරි ආහාරයට පෙර පොඩිවට එකක් නවාගෙන බුලංකේට්ටුව අස්සෙ ගුලිඋනහම රටේ නැති විකාර හිතුවිලි මයෙ ඔලුව අස්සෙ කැරකෙනව. ඒ එහෙම මට හිතිච්ච පොඩි කතන්දර ම්ම්..කතන්දරමත් නෙවෙයි කිව්වම මොකද.... සිද්ධීන් කියමුකො..හරි සිද්ධීන් දෙක තුනක්.මෙව්ව ගැන වැඩි දුරට හිතන්ට යන්ට එපල්ල. ඔහෙ කියවල අමතක කරල දාන්ට.

****************************************

පලවෙනි සිද්ධිය මේකයි. මේක මම දැනට වැඩ කරන කම්පනි එකේ වෙච්චි දෙයක්. දැන් මේකෙ අතීත කතාව නැත්තං පසුබිම එහෙමත් නැත්තං නිදාන කතාව ( Treasure story ) මෙන්න මෙහෙමයි.

කම්පනි එක පටන් ගත්තු කාලෙ බොහොම අමාරුවෙන් දුවල තියෙන්නෙ. ඒ කියන්නෙ පටං අරගෙන අවුරුදු දෙකක් යනකල් කිසිම ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා නැහැ. නොයෙක් අංශවල මැනේජර්ස්ල විදිහට හතර පස් දෙනෙක්ම ඔය කාලෙ ඇතුලත වැඩ කරල තියනව. ඒත් ඒ කිසි කෙනෙකුට පුළුවන් වෙලා නෑ එකම ව්‍යාපෘතියක්වත් අපිට ලැබෙන තැනට වැඩ කරන්න.ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙ විතරක් නෙවෙයි ඔයාල දන්නව වෙනත් ඕනම ක්ෂේත්‍රයක උනත් ආදායමක් එන්නෙ නැතුව තනිකර වියදම් විතරක් කරල වැඩිකලක් කිසිම ආයතනයකට පවතින්න බෑ. ආයතනයකට විතරක් නෙවෙයි මේ කතාව පුද්ගලයින්ටත් අදාලයි.

අපිට කන්න බොන්න අඳින්න පලඳින්න වගෙ අත්‍යාවශ්‍ය දේවල් වලට අනිවාර්ය වියදමක් යනව. ගමන් බිමන් විනෝදාංශ ටිකකට අමතක කරමුකො.ඉතිං මොනවහරි එක්කො වතුපිටි වලිං එහෙමත් නැත්තං රැකියාවකිං මොනවහරි ආදායමක් ලැබුණෙ නැත්නම් බොහොම ඉක්මනට ගෙල වැළලාගෙන මිය යන්නයි වෙන්නෙ.

ඉතිං ඔන්න ඔයවගෙ ගෙල වැළලාගතයුතු අවස්ථාවට අපේ කොම්පැණිය පත්වෙලා ඉන්නකොට එක අල්ලපු රටේ පුද්ගලයෙක් වැඩ බාරගෙන තියනව ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර හැටියට. බිස්නස් ඩිවලප්මන්ට් මැනේජර්..මිනිහ හොඳ වැඩ කාරය...අපේ කලින් හිටපු ඒ අංශයෙ මැනේජර්ල ඇතිකරල තිබ්බ ක්‍රියා පිලිවෙල සම්පූර්නයෙන්ම උඩු යටිකුරු කරල මනුස්සය අළුත්ම වැඩ පිළිවෙලක් හඳුන්වා දුන්නලු මුලින්ම. ලු කියන්නෙ ඒ දවස්වල මම මෙතන වැඩට ඇවිත් නැති නිසයි. මම දන්නෙ ඔය එක එක්කෙනා කියන එව්ව..ඒවං මේ සුතං...මා විසින් මෙසේ අසන ලදී.කොහොම හරි මිනිහා බොහොම උනන්දු වෙලා අනික් කට්ටියත් අභිප්‍රේරණය ( Motivate ) කරල ඔන්න ප්‍රොජෙක්ට්ස් දෙකක් අරගෙන තියනව.

ඇත්තටම අපෙ කොම්පැණිය අද පවතින්නෙ මිනිහ හින්ද. ඒක තමයි ඇත්ත.ඒ මුල් ව්‍යාපෘති දෙක මිනිහ අරං තියෙන්නෙ අතට යටින් පොඩි ගේමක් දීලයි කියල තමයි අපේ කට්ටිය හැමෝම කතා වෙන්නෙ.රයිට්,ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවෙ අපි වැටිල හිටිය අමාරුවෙ හැටියට මොන දහංගැටේ ගහල හරි මොන මංගල්ලෙ කරල හරි එහෙම කරපු එකත් මදෑ...ඒ වෙනකල් ගැටළුවක් නෑ. හැමෝම එකඟයි ඒ අර්ථකථනයට..

රයිට් ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ....දැන් ඊට පස්සෙ අපි අළුතෙන් තව ව්‍යාපෘති කීපයක් ගත්ත. එව්වට තියනවනෙ පිළිගත්ත ක්‍රමයක් ..අන්න ඒ විදිහට වැඩ කරල. දැන් ප්‍රශ්නෙ මෙන්න මේකයි. අර මනුස්සයට මේ ක්‍රමේ තේරෙන්නෙ නෑ. මිනිහ දන්නෙ අර අතට යටිං ක්‍රමේ විතරයි. ඒ විදිහට වැඩ කරන්ට ගිහිල්ල මිනිහ හත් පලේ ගාගෙන තියෙන්නෙ..ඒ මදිවට වැඩේ කියන්නෙ අපේ කොම්පැණියෙ කීර්ති නාමය තමයි මේ මනුස්සය හින්ද බල්ලට යන්නෙ.

වැඩේ කියන්නෙ මේ මනුස්සය අයිං කරන්ටත් බැරි සයිස් එකක් තියෙන්නෙ. වැහෙන්ට ඔන්න මෙන්න කියල තිබ්බ කොම්පැණිය බේරල දුන්නෙ මෙයා නෙව. මිනිහත් හැබැයි අපරාදෙ කියන්න බෑ දවස් දෙක තුනකට සැරයක් ඕක අපිට මතක් කරල දෙනව. මම අරමයි කලේ මම මෙහෙමයි කලේ කියල. ඒත් ප්‍රශ්නෙ එහෙම කලාය කියල මිනිහ දිගටම තියාගන්න එක පාඩුවක් නම් මොකද කරන්න ඕන?..අයිං කරල දාන එක නේද කරන්න ඕන?....කියන්න බලන්න ඔයාලගෙ අදහස්........

තව කාරණයකුත් කියන්නම ඕන. අපි කවුරු හරි මොකක් හරි තනතුරකට පත් කරගන්නෙ රයිට්, උඹට අපි මෙච්චර පඩියක් දෙනව.මේ මේ පහසුකම් දෙනව. උඹ මෙන්න මේ මේ දේවල් කරන්න ඕනය කියල එකඟතාවයකට ඇවිල්ල. එතකොට ඒ මනුස්සයට කලින් හිටපු මිනිස්සු තමන්ට බාර දුන්නු වැඩේ හරියට නොකරා වෙන්න පුළුවන්. ඒත් මේ මනුස්සය බාරගත්තු වැඩේ අකුරටම කලා. ඒක හරි. මිනිහ බාර දුන්නු වැඩේ කලා එච්චරයි. එතනිං එහාට ඒක මහා ලොකු දෙයක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඊට පස්සෙ දිහටම නාගන්න මනුස්සයෙක්. ඒ වැඩේ හරියට කලයි කියල ඊට පස්සෙ වැඩ කරන්නෙ හරියට අර බැළතණ ගහේ රුන්න බළල් ගෙඩිය වගේ නම් මොකද අපි කරන්න ඕන? ඒකත් කියන්නකො බලන්න ඔයාලම...

****************************************

දැං මේ දෙවෙනි කතාව...කතාව කිව්වට මේක මේ මම දැක්ක හීනයක්...ඒත් හැබහිංම උනා වගෙයි මට දැනුනෙ. ඒ තරම්ම සජීවී හීනයක්. ඔන්න මේක උනේ අපෙ ගමේ. අපෙ ගමේ ඉතිං කට්ටිය බොහොම සාමකාමීව පිනක් දහමක් කරගෙන හවසට හවසට ටීටර් සිංදුවක් දෙකක් කියාගෙන හිටියයි කියන්ඩකො. අපෙ ගමට එහායිං තිබ්බ මහ කැලෑවක්. අපේ අය ඔය අලයක් හාරගන්ට සතෙක් මරාගන්ට ගියේ ඔය කැලෑවට. ඔන්න ඔය කැලෙං හිටපු ගමං මතු උනා මං පහරන මිනී මරුවෙක්..... රාස්සයෙක් වගෙ....

මිනිහටම ලෑස්තිවෙලා හිටිය ඒ වගේම රාස්සයො රැලක්. මේ වසවර්තියො කරන්නෙ රෑ පානෙ කැළෑව අයිනෙ තියෙන ගෙවල් වලට පැනල මිනිස්සු ගෑනු ලමයි ඔක්කොම අමු අමුවෙ මරල දාල අතට අහුවෙච්චි සබ්බ සකල මනාවම අතගාගෙන ආයෙම කැළෑ පයින එක. ඔහොම පටන් ගත්ත වැඩේ අන්තිමට ගිනි මද්දහනෙ ගමට පැනල මිනීමරන්ට තරං දුර දිග ගියා. ගමේ මිනිස්සු කොටින්ම දවාලකට උනත් එලියට පහලියට බහින්ට බයේ හිටියෙ. මේ මල කරදරෙන් බේරල දෙන්ටය කියල ගම් නායකයො කීප දෙනෙක්ම පත් කර ගත්තත් ඒ කවුරුවත් වැඩේ හරියට කලේ නෑ. ඔන්න අන්තිමට එක මනුස්සයෙක් කිව්ව  මම ඔය වැඩේ කරඤ්ඤංය මාව පත් කොරගනිල්ලය කියල. අනේ මිනිස්සුත් අනේ හොඳයිය. එහෙනං මෙයයි පත් කොර ගනිමුය කියල ඔන්න ඒ මනුස්සය පත් කොරගත්ත කියමුකො. අනේ කිව්වත් වගෙ ඇස්වහක් නෑ, කටවහක් නෑ..මේ මනුස්සය කිව්ව වගේම වැඩේ නං කොලා.

ඒ කිව්වෙ අර පල් හොර දෙටුවයි උගෙ සහචරයො ටිකයි හොයාගෙන ගිහිල්ල උං ඔක්කොම නැත්තටම නැතිකරල දැම්ම සුන්නද්දූලි වෙලා යන්ටම. ගමේ මිනිස්සුන්ට නේද? සංතෝසෙ කියන්නෙ ඉහේ මල් පොකුරක්ම පිපුන වගෙ. ගම් නායකතුමාට දෙයියන්ට වගෙ තමයි සැලකුවෙ.

හැමෝම හිතුවෙ දැං ඉතිං අර හොර දෙටුවත් ඉවරයි, මොනවද ගම නිකං තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙයි. අපිට තියෙන්නෙ තෙලෙන් කා කිරෙං අත සෝදා අපේ මේ ජීවිතේ ගෙවනා . මොන පිස්සුද? ගම් නායකය කලේ ගමේම ඉන්න හරක් හොරු ටිකයි. මිනී මරුවොයි, කුපාඩියොයි ටික ලං කරගත්ත. මිනිහගෙ හත්මුතු නෙවෙයි දාහතර මුතු පරම්පරාවටම තනතුරු නැත්තං තනතුරු හදල දුන්න.කිසි කෙනෙක් කියන දෙයක් බලු මයිලක තරංවත් ගනං ගන්නෙ නෑ. මයි කාර් මයි පැට්‍රොල්, හූ ටු වට් වට් කියල පටං ගත්ත ජෝගි නටන්ඩ.

දැං ඔන්න ගමේ මිනිස්සු බලා ඉන්නව අර ශෛලතලාමස්තකයෙහි ශරීර කෘත්‍යය කොට වදාළ බිළාල පෝතක තෙම උකටලිවැ හාත්පස බලමින් පසුවන්නේ යම්සේද ආන්න ඒ වාගෙම...

****************************************

දැං ඕං තුන්වන හෙවත් අවසාන කථා වස්තුව. කතාවක් කිව්වට මේක ඇත්තම සිද්ධියක්.අපෙ අම්මගෙ පොඩි අයිය මයෙ මාමණ්ඩිය හිටියෙ අපෙම අල්ලපු වත්තෙ.මිනිහ නාහෙට අහන්නෙ නෑ. කිසිම බරක් පතලක් නෑ. ලිවිං තවුසන්ඩ් ඩෙඩ් තවුසන්ඩ් තමයි මනුස්සයගෙ මොටෝ එක. ඒ කිව්වෙ තේමා ගීතය. ගම පුරාම ගිහිල්ල අතන මෙතන හැමතැනම බොනව. හද්ද කුණුහරුප කියනව. මිනිස්සුන්ට තඩි ගහනව එකක් නෙවෙයි. ඒ කරල හවස ගෙදර ඇවිල්ල පවුලටයි ලමයින්ටයි අල්ලගෙන ගහනව උං කෑගහද්දි.

ගමේ මිනිස්සුන්ටත් හැමදාම මේ යකාගෙ කරදරේ විඳින්ට පුලුවන්ය. ඔන්න දවසක් ගමේ වැඩිහිටියො ඔක්කොම එකතු වෙලා ආව අපේ වැට මායිමට. 


" මේ ගොයියො ඔහොම මේ වැඩේ කොරන්ට බෑනෙ. උඹට මෙහෙම හැසිරෙන්ට ඉඩ දෙන්ට බෑ. උඹේ කල්කිරියාව වහාම වෙනස් කරගන්ට ඕන. නත්නං අපි නරක මිනිස්සු කියන්ට එපා හොඳද? "

ඔහොම කියල කට්ටිය ගියා යන්ට. එයාල යනකල් සද්ද නැතුව හිටපු අපෙ මාමා මෙන්න ඊට පස්සෙ බණින්ට පටං ගත්තෙ.


" හුහ්, එවුං කොහොමද එහෙම මට නීති දාන්නෙ? උං කවුද මගෙ? මගෙ බල්ලවත් ගණං ගන්නෙ නෑ ඔය කියන එව්ව..."

ඒ විතරක් නම් මදැයි අපිටත් බැන්න නෙව. 

" මම මේ උඹල ඔක්කොම වෙනුවෙන් වැඩ කරන්නෙ.ඒත් උඹලගෙ නෑ කිසිම කෙලෙහි ගුණයක්.දන්නවද මේ ගමේ එවුං අපිට ඊරිසියයි. ඔවුංට ඕන කොහොම හරි අපිව පාගල දාන්ට. දැනගනියව්. මම ඉන්නකල් එව්වට ඉඩ දෙන්නෙ නෑ. ඕන නං මාව එල්ලයි. නැත්තං අර තියෙන්නෙ බැට්රි පුටුවක්ද මොකක්ද කියල එකක්. ඒකෙ තියල මාව මරල දායි. ඒත් මම ලෑස්ති නෑ උංට ඕන විදිහට වැඩ කරන්ට."

ඔහොම කිය කිය දේයි දේයි කියල පපුවට ගහගන්ට ගත්තෙ නැද්ද අර සත්තෝද්දියානෙ ඉන්න ගෝරිලි තඩියෙක් වාගෙ.

අපේ ගෙදර ඉන්න අයටත් ඉතිං ඔය මාමණ්ඩිය කියන ඔක්කොම හැබෑ....මේ මනුස්සය අපිව බේරගන්ට පණ උනත් දෙන්ට සූදානම්ය කියන්නෙ උන්දැම දාගන්න කුණ්ඩවාලි වලින්ය කියල තේරෙන්නෙ නැති හැටියක් හැබෑටම....

Disclaimer - All characters appearing in this work & incidents reported herein are absolutely genuine. Any resemblance to fictitious persons, living or dead, is purely coincidental.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...