Monday, April 1, 2013

174. අවසන ශේෂ වූ මහා පුරුෂයින් අතළොස්සකි. They were the giants and there are so few left…..

මේ ඇවිදිල්ල හිට අනුවෙ දසකයෙ මුල් බාගෙ විතර......අපෙ එවුන්ට කාලෙන් කාලෙට එනව එක එක පිස්සු...ඔන්න එක පාරක් පඩි එහෙම අරගෙන නිවාඩු ගිය එකෙක් අරං ආව ඔය කාන්තා පත්තරයක්...ඒ කාලෙ තිබ්බ කාන්තා පත්තර වැහි වැහැල...රෙජින ..කුමරි...යුවති ...කෙලී ...පටිණි..කාලි අම්ම ...මෝහිණී....රාස්සි..යස්සනී..ඔය මට මතක තියෙන නං කීපයක්...ඔය වගෙ ගෑණු නං ඔක්කොගෙම්ම වගෙ තිබ්බ පත්තර..තව මල් දෙවැට....මානෙල් පොකුණ.....බතල පාත්තිය..බුලත් කොරටුව....පතෝල මැස්ස...ඔන්න ඔයාකාර නං වලිනුත් පත්තර මහ ගොඩක්ම පළ උනා....තවම එව්ව පලවෙනවද කියල නං ඔන්න මංද.......පුවත් පත් කියවීම අපේ එක විනෝදාංසයක් වෙලා තිබ්බෙ...ප්‍රමුකස්තානය ඇවිල්ල අර පුංචි පත්තර කියන එව්ව...දන්නවනෙ නේද?...හරි ඔක්කොමල දන්නවා...ලැජ්ජ වෙන්ට එපල්ල...එව්වයෙ හැටි එහෙම තමයි...හරිද? 

ඉතිං ගෙදර ගිහිල්ල එන එවුං ගෙදර තියන තරමක් පත්තර ඔක්කොම ගේන්ට ඕන. ඒක නිල නොවන නීතියක් සම්ප්‍රදායක් වෙලයි තිබ්බෙ. ඔය පත්තර ඉතිං අත යනව මුළු කෑම්ප් එක පුරහම. ඔන්න ඔය වගෙ ගෙනාපු කාන්තා පත්තරේක තිබ්බ කොහොඹ කොළ කොටල බිව්වම හම නිකං රත්තරං පාටක් ගහනව කියල. 

ඔය දවස්වල අපෙ කොල්ලො බහුතරයක් මනමාලියො බලන්ට යන කාලෙ..ඉතිං මුංට මදැයි මේක..නොමිලෙම රත්තරං පාට වෙන්ට කවුද අකමැති. අනික අපි හිටියෙ වියළි කලාපෙ නෙව. කොහොඹ ගස් වෙහෙක්කම.....අපේ කෑම්ප් එක ඇතුලෙත් හෙවණට වවල තිබ්බෙ කොහොඹ..ඉතිං මොනවද ආය අපෙ චමරිවල ( අපි පදිංචි වෙලා හිටපු අර්ධ ස්ථිර නිල නිවාස හැඳින්නුවෙ ඒ නමින් ) ඉවුං පිහුං වලට හිටපු ගෝලයොන්ට වෙන වැඩක් තිබ්බෙ නෑ...උදේ පාංදර කොහොඹ කොළ කඩල වංගෙඩියෙ දාල කොටල ඉස්ම මිරිකනව පස්සෙ රෙදි පොට්ටනියක ගැටගහල මිරිකල ඉස්ම ගන්නව...සමහර එවුං ඕක බිව්වෙ කිරි එක්ක...පිටිකිරි දිය කරල ඒකට කොහොඹ ඉස්ම දාල...කිව්වට විස්වාස කරන්ට හොඳයි... එහෙම බිව්වම ගුණේ අඩුවෙනව කියල පෙලක් එවුං අර කල් කදුරු තිත්ත කොහොඹ ඉස්ම නිකම්ම ගසල ඇරිය නෙව උගුරට ...දෙකට. එවුං අමුර්තෙ බොන්නැහෙ කොහොඹ ඉස්ම බොනව බලා ඉඳල අම්මප බඩ දඟලන්ට ගත්තෙ මයෙ. අම්මප හම රත්තරං පාට කොරගන්ට මුංට තියෙන තදියම කියල මායි විමලෙයි බඩවල් අල්ලගෙන ඒ දවස්වල හිනාවෙන්නෙ... 

ඉතිං ඔය කොහොඹ සීන් එක එහෙම්මම නැති වෙලා ගියා..ඊට පස්සෙ ආව Baywatch පිස්සුව. ඒ කාලෙ රූපවාහිනියෙ ගියා සතියකට සැරයක් බේ වොච් කියල ඩ්‍රාමා සීරීස් එකක්....ඇමරිකාවෙ කොහෙදෝ වෙරළක ජීවිතාරක්ෂක සේවාවෙ යෙදෙන ගෑණු / පිරිමි කණ්ඩායමක් මුහුණ දෙන නොයෙක් සිදුවීම් සම්බන්දවයි ඒ සීරීස් එක හදල තිබ්බෙ....ඕකෙ ප්‍රධාන නලුවට හිටියෙ ඩේවිඩ් හැසල්හොෆ් ( හරි... කනයිට් රයිඩර්ට රඟපෑවෙත් ඒ මනුස්සයම තමයි ) බේ වොච් එකේ හිටපු කෙල්ලො තමයි කෙල්ලො...මට හොඳටම මතක පැමලා ඇන්ඩර්සන් ( 36-22-34 ) හප්පා, බිකිණියක් ඇඳගෙන වෙරළෙ එහෙ මෙහෙ දුවන එකම තමයි ඒ අම්මණ්ඩිගෙ වැඩේ. අපි ඉතිං ඇස් දෙක නළලෙ තියාගෙන උස්ම අල්ලගෙන ඒ දිහාවෙ බලා හිටියෙ. 

ඔන්න අපෙ එකෙකුට, මිනිහගෙ ගෙවල් තලාතුඔය පැත්තෙ; ආව ආසාවක් බේ වොච් එකේ කියවෙන කතාව තේරුම් ගන්න. ඉංගිරිස් වචනයක් වත් බැරිඋනත් රූපරාමු බලල කතාව මොකක්ද කියල අල්ලගන්න එක එච්චරම අමාරු නෑ..ඒත් එහෙම බෑ මිනිහට ඕන උනා ඉංගිරිසි ඉගෙන ගන්ටම. ඔය මනුස්සය ඉන්නව නේද? යමක් හිතුනොත් ආයෙ හිතුනම තමයි..කඟවේන වගෙ කඩාගෙන ඉස්සරහට යන්නෙ...ආය අපි වගෙ පස් මහ බැලුං බල බල ඉන්නෙ නෑ..ඊලඟ පාර නිවාඩුවට ගෙදර ගිහිල්ල ආපහු එමිං පාර මිනිහ අරගෙන ආව නුවර ඉංගිරිස් ටියුසන් පංති ගැන ගහපු දැන්නීම් පත්‍රිකා වගයක්. 

එයිං එකක තිබ්බෙ මෙහෙම. සුචරිත ගම්ලත් විසින් පැවැත්වෙන සරල ඉංග්‍රීසි පංතිය.... ඉස්සෙල්ලම මම මේ කතාව විස්වාස කරන්ටත් අමාරු ගතියක් දැනුන. සුප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් පෞද්ගලික ඉංග්‍රීසි පංති පවත්වනවයි කියන එක විස්වාස කරන්ටත් පුලුවන් දෙයක්ද?....ඒත් පස්සෙ මට දැනගන්ට ලැබුන ඒ කතාව ඇත්තම ඇත්තය කියල. මහාචාර්ය ගම්ලත් නිතරම විශ්ව විද්‍යාල පාලක බලාධිකාරීන් එක්ක ගැටුණු පුද්ගලයෙක්. ඉතිං බොහෝ විට ඔහු හිටියෙ සේවය අත්හිටුවල. ඒ එහෙම කාලයක්. දරු පවුල ජීවත් කරවන්නට වෙන මාර්ගයක් නැති තැන ඔහු ඉංග්‍රීසි ටියුෂන් දෙන්න පටන්ගෙන තිබුන. පේරාදෙනිය පාරෙ ඔන්න ඔය කොහෙද තැනක.... ඇඩ්රස් එකත් ඒකෙ තිබ්බ දැන් මට මතකයක් නම් නෑ හරියටම. 


මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන මට මුලින්ම මතකයක් තියෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ..... මට මතක විදිහට පත්තරේ රිවිරැස වෙන්න ඕන...ඒ පත්තරේ පළවුනු විශේෂාංග ලිපියක ඔහු ගැන වූ සඳහනක්.1975 වසරෙදි යාපනයේ විශ්ව විද්‍යාලය ඇරඹුනා. හරියටම කිව්වොත් ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ යාපනය මණ්ඩපය හැටියට.ඒ කාලෙ තිබ්බෙ එක විශ්ව විද්‍යාලයයයි. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයය. අනික් ඒවා මණ්ඩප. කොළඹ මණ්ඩපය, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යෝදය මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය ..ඔන්න ඔහොම..75 වර්ෂයේ යාපනය මණ්ඩපය පටන් අරගෙන ඒකෙ සිංහල අංශයෙ මහාචාර්යවරයා හැටියට පත් කරල තියෙන්නෙ සුචරිත ගම්ලත් මහත්මය. කථිකාචාර්යවරු විදිහට ධර්මසේන පතිරාජ සහ සුනිල් ආරියරත්න. එදා රිවිරැසේ තිබ්බෙ අවුරුද්දක විතර කාලයක් ඔවුන් යාපනේ ගත කරපු ජීවිතය පිළිබඳව ඒ ගොල්ල එක්ක කරපු සාකච්ඡාවක්. 

ජන වාර්ගික අර්බුදයෙ ගිණි දැල් දසතින් ඇවිලෙද්දි යාපන මණ්ඩපයෙ සිංහල අංශය සදහටම වසා දමා ( කොළඹ බලා දුම් රියෙන් එද්දි ඔවුන් කොහොමවත් හිතල නැහැ මේ සදහටම යාපනයට ආයුබෝවන් කියල ආය නොඑන්ටම යන ගමනක්ය කියල ) ආපසු කොළඹ එද්දි ඇතිඋන හැඟීම් ගැන මහාචාර්ය තුමා අපූරුවට විස්තර කරල තිබුනා මට මතකයි. 

ඊට වසර කිහිපයකට පස්සෙ උසස් පෙළ විභාගයට ලියල ප්‍රතිපල එනකල් ගෙවූ නිදහස් සමයේ මගේ හිතවත් ඥාතිවරයෙක්ද සමඟ යාපනයේ සතියක පමණ සංචාරයක යෙදීමේ මහඟු අවස්ථාව මට උදා උනා. කන්නියා උණු වතුර ළිං,යාපනය කොටුව පසුපස මුහුදු තීරය, යාපනය මාළු වෙලඳ පොල, යාපනේ මිදි, කොත්තු රොටී සහ සාම්බාර් සමඟ තෝස....කළු පැහැති A 40 මෝටර් රථ, ඒ ඔක්කෝටම වඩා බයිසිකල් වල නැඟී ඒ මේ අත පියාඹන රූමත් දමිළ යුවතියන්..... 

අර්බුදයේ ගිණි පුළිඟු ඒ වනවිටත් අළු අතරින් වරින් වර දීප්තිමත්ව බැබලෙමින් තිබුණා. අපි යාපනයේ සංචාරය කලේ ඒ අතර වාරයක බල පැවැත්වුනු නොසන්සුන් සංහිදියාවකදි.යාපනය මහජන පුස්තකාලය ඒ වෙනකොට නිරුපද්‍රිතව තිබුනා සහස් සංඛ්‍යාත දැනුම් පිපාසිතයින්ගේ පවස නිවා ලමින්. ඒ ඉදිරිපිට සරස්වතිය තම ඇකයේ තබාගත් වීණාවද වයමින් නොසැලෙන බැල්මෙන් බලා හිඳිනු ඇය ඉදිරිපිට මහා මාර්ගයේ සිට මම බලා සිටියා.ඒ සියල්ල උඩු යටිකුරුවී වෛරයේ ගිණි දැල් දසත වෙලා ගැන්මට බොහෝ කාලයක් ගත වූයේ නෑ. මම හිතන්නෙ මම යාපනයට ගොස් පැමිණ මාස හයක් වගෙ කාලයක් ඇතුලත ඒ සියල්ල සිදුවෙලා රටම ගිණි ගත්තා. 

හුදෙක් එකම තීරු ලිපියක් නැත්නම් සතිපතා පලවන එකම ලිපියක් කියවීමටම පමණක් ඔබ යම් පුවත්පතක් මිලදීගෙන තිබෙනවාද? නැත්නම් එහෙම මිලදී ගන්නවාද? මම එසේ කොට ඇත්තෙමි. සුචරිත ගම්ලතුන් සති සිතුමිණ නමින් සතිපතා තීරු ලිපියක් ලිවීය.ගම්ලතුන්ට එක පත්තරයක වැඩි කලක් ඒ තීරු ලිපිය ලිවීමට ඉඩ නොලැබිණි.ඔහුට වරින්වර ඉරිදා පුවත්පත් කීපයකටම සති සිතුමිණි ද ඔසවාගෙන යෑමට සිදුවිය.ඒ සමඟම මම ද ඔහු පසුපස යමින් සති සිතුමිණි වෙනුවෙන්ම ඒ පලවන අදාල පුවත්පත මිලදී ගැන්මට පුරුදු වූයෙමි. 

බී.බී.සී. ආයතනයේ සිංහල සේවයේ සංදේශය වැඩ සටහනට ඔහු ගී මිණි ආර නමින් ගීත පිලිබඳව අර්ථ විවරණාත්මක වැඩ සටහනක් ද බොහෝ කාලයක් ඉදිරිපත් කලේය. බි.බී.සී. සංදේශයට මම බොහෝ කලක සිට සවන් දුනිමි. ලංකාවේ රාජ්‍ය පුවත් වාරණයෙන් මිදී සත්‍යය පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් ලබනු වස් ඒ එදවස මට මහෝපකාරී විය. 

" ග්‍රීනිච් වේලාව පස්වරු තුන පසුවී විනාඩි හතළිස් පහයි. ලංකාවේ වේලාව රාත්‍රී නවය පසුවී විනාඩි පහළවයි. බි.බී. සී. ගුවන් විදුලි සේවය ලන්ඩනයේ සිට ඔබ වෙත ගෙන එන සං....දේ..ශ..ය..........අද.....උතුරේ අධි ආරක්ෂක කලාප තුල නිජ බිමේ උරුමක්කාරයෝ අනාථ වෙලා...ද්‍රවිඩ සංධානයේ නියෝජ්‍ය නායකයා කියයි.....ඒ සමඟ සුචරිත ගම්ලත් ඉදිරිපත් කරන ගී මිණි ආර.......ප්‍රියත් ලියනගේ සමඟ මම ඉන්ද්‍රා රාමනායක......" 

අසූව දශකයේ අග භාගයේ හෝ අනූව දශකයේ මුල් අවුරුදු කීපය තුල සුචරිත ගම්ලත් මහතා ආචාර්ය පියසීලී විජේගුණසිංහ මහත්මිය සමඟ මාකස්වාදී කලා විචාරයෙහි සිද්ධාන්ත පිළිබඳව ඉතා උණුසුම් විවාදයක් ගෙන ගියේය.මගේ මතකය නිවැරදිනම් රාවය පත්‍රයේ සතිපතා පළවූ ඒ වාදයෙහි සුචරිත ගම්ලත් මහතා දැරූ අදහස් වලට බොහෝවිට එකඟ නොවූ නමුදු ඒ ඔහු කෙරෙහි මාතුල පැවති ගෞරවය බිඳකුදු අඩු කිරීමට සමත් නොවුණි.පියසීලී විජේගුණසිංහ මහත්මිය ද මීට වසර කිහිපයකට පළමු මිය ගියාය. 

ජීවිතයේ අවසාන භාගයේදී සුචරිත ගම්ලත් මහතා ඉතා භාරදූර කාර්යයන් දෙකකට කර ගැසුවේය. ඉන් පලමුවැන්න පරීපූර්ණ සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් සම්පාදනය කිරීමයි. එතෙක් වදනක අරුත සොය ගැන්ම උදෙසා යොදාගතහැකිවූයේ අඩ සිය වසකටත් වඩා ඉහත ගුණපාල මළලසේකර මහතා විසින් සකස් කල ශබ්ද කෝෂය පමණි.එහි බොහෝ අඩුපාඩු තිබුණු බව විශේෂයෙන් කිව යුත්තක් නොවේ. සුචරිත ගම්ලත් මහතා බොහෝ වෙහෙසව වදන් පන් ලක්ෂයකින් යුතු ශබ්ද කෝෂයක් 2009 වසරේ එලි දැක්වීය. 

ඉන් අනතුරුව ඔහු අත ගැසූයේ ඊටත් වඩා භාරදූර කාර්යයකටය.එනම් මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි මහතා සමඟ එකව සිංහල-ඉංග්‍රීසි-දෙමළ ශබ්ද කෝෂයක් නිර්මාණය කිරීමය. මීට වසර කිහිපයකට පෙර සිවතම්බි මහතාද මියගිය හෙයින් ඒ ඔහුගේ අවසාන යෝධ ව්‍යායාමය සපල වූවාදැයි නොදන්නෙමි. 

අවසන් හුස්ම පොද දක්වා තමන් විශ්වාස කල දෙය වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පෙනීසිටි ඔහු ඇත්ත වශයෙන්ම මහාචාර්ය යන ගෞරව නාමයට අත්‍යන්තයෙන්ම සුදුස්සෙකු වීය. 

යස ඉසුරු, ලාභ ප්‍රයෝජන සහ බලය කෙරෙහි ලොබින් කටේ තොලේ නොගෑවී ශෛලතලාවන් පවා විභේදනය වන මුසාවන් පවසන මහාචාර්ය වරුන් හමුවේ, කිසිදු වැදගැම්මකට නැති අවර ගණයේ බාල චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් පැතිරයන ආගමික උන්මාදයෙන් ප්‍රයෝජන ගනිමින් බොරදියෙහි මසුන් ඇල්ලිමෙහි යෙදෙන රාජපාක්ෂික මහාචාර්ය වරුන් හමුවේ, ගැහැණුන්ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ග්‍රාම්‍ය වදන් භාවිතා කරමින් ගැලරියේ විසිල් හඬ බලාපොරොත්තුවෙන් දේශනයන් පවත්වන මහාචාර්ය වරුන් හමුවේ ඔහු වනාහී සත්‍යය වශයෙන්ම යුග පුරුෂයෙකි. 

සුචරිත ගම්ලත් මහාචාර්ය තුමනි..යලි හමුවන තෙක් ඔබට ආයුබෝවන්!!! 


සරල ම දේ උගනිව් 
තොපගේ යුගය එළඹ ඇත 
උගැනුමට පමා නැත 
උගනිව් අයනු ආයනු 
ඒ මදි බව සැබැවි 
එහෙත් උගනිව් 
හෝඩිය 
අධෛර්යවත් නො වව් 
දියත් කරව් නැණ නැව 
කරව් තරණය 
විදු සයුර අපරිමිත 
උදුරා ගනිව් නායකත්වය. 

අනාථය, හදාරව 
අනාථාගාරයෙහි 
සිරකරුව, හදාරව 
බන්ධනාගාරයෙහි 
ගෘහණියනි, හදාරව 
කුස්සියෙහි 
හැට පිරුණත් හදාරව 
ඉහට වහලක් නැතත් 
සොයා යව් විදුහල 
ගත වෙවුලත සීතලෙන් 
මොලවවු ඥාන අග්නිය 
සා පිපාසා පහරත 
ගනිව් පොත සුරතට - 
එයයි තොප ආයුධය 
උදුරා ගනිව් නායකත්වය 

නොබා විමසවු සොයුරනි 
නො විකිණෙව් උන්ට, 
බලා තමා දෙස 
නො දත් බව දැන ගනිව්. 
හොය හොයා නොදත් දේ 
රැස් කරව් ඥාන ධන 
උදුරා ගනිව් 
නායකත්වය. 


රචනය – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් 
පරිවර්තනය – සුචරිත ගම්ලත් 

18 comments:

  1. සුචරිත ගම්ලත් මහාචාර්ය තුමනි..යලි හමුවන තෙක් ඔබට ආයුබෝවන්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සෙන්නා, ඔහු වන් අධීන පුරුෂයින්ගේ අගය දැනෙනුයේ අද නොව හෙටය.

      Delete
  2. අසූවේ මැද ඉදන් වසර දහයක්ම ගෙවුන මැද පෙරදිග රටක කෑම්ප් ජීවිතය සිහි වුනා. නිවාඩු යනෙන අය ඕන තරම් හිටියා, අඩුවක් නැතිව පත්තර මිටි ගනන් අරන් එනවා - ඒ කාලේ මුද්‍රිත මාධ්‍ය විතරයි නෙව. කිසිම අපතේ යාමක් නැහැ පත්තරය සම්පූර්ණයෙන්ම කියවනවානේන්නම්. BBCය හසුවෙන එකම World Brand රේඩියෝව 89-90 අඳුරු යුගයේ තොරතුරු දැන ගන්න එකම ක්‍රමය විය.

    යාපනය ගැන විස්තර කියවද්දි මැද පෙරදිග දී හමු වූ යාපනයේ සඟයෙකු කඳුලු පුරවාගෙන කී විස්තරත් සිහිවිය ඒ එක්ක කිසියම් බරක් වගේම වත්මන ගැන දුකක් දැනුනේ...

    ඔබේ ලියවිල්ලෙන් ගම්ලත් තුමන් ගැන තිබූ මගේ ගෞරවය තවත් වැඩිවිය, බොහෝ තුති සහෘදයා.

    මහැඳුරුතුමනී සුබ රාත්‍රියක්

    ReplyDelete
    Replies
    1. / ඒ කාලේ මුද්‍රිත මාධ්‍ය විතරයි නෙව. කිසිම අපතේ යාමක් නැහැ පත්තරය සම්පූර්ණයෙන්ම කියවනවානේන්නම් /

      හෙහ්, ඒ දවස්වල අපිත් එහෙමයි ඩීන් සහෝදරයා....පත්තරේ ගත්තම අන්තිමට තියෙන්නෙ අහවල් තැන මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලදී කියල ඒකත් කියවල තමයි පස්ස බලන්නෙ...එක එකාට ඕන එක එක පිටු...මම විශේෂාංග ලිපි වලට අමතරව දිවයිනේ අටවෙනි පිටුව..සුනිල් මාධව සංස්කරණය කලේ....එතකොට මනමාලියො හොයන එවුං කෙලින්ම මංගල යෝජනා තියන පිටු අරගෙන හන්හ ගන්නව.හෙහ්, හෙහ්,

      / යාපනය ගැන විස්තර කියවද්දි මැද පෙරදිග දී හමු වූ යාපනයේ සඟයෙකු කඳුලු පුරවාගෙන කී විස්තරත් සිහිවිය ඒ එක්ක කිසියම් බරක් වගේම වත්මන ගැන දුකක් දැනුනේ /

      කියල වැඩක් නෑ ඩීන්....ඒ ගැන හිතනකොටත් පපුවට දැනෙන්නෙ මහම බරක්....:(

      මේ පහුගිය දෙපාරම ලංකාවට ගිහාම යාලුවන්ගෙන් පොරේ යාපනේ ගිහිල්ල එමුය කියල...මම බෑ නොකිය හෙමීට මඟ ඇරිය..මට හිතුනෙම නෑ යන්ට

      මේ Boondi.lkහි කලකට පෙර පලවූ කවියක්…

      ජැෆ්නා වන්දනාව…

      මුහමලයේදි වෙයි ජුංඩක් ඇඹරෙන්ඩ
      දූවිලි වදී මුකවාඩම් ගෙනියන්ඩ
      කිලිනොච්චියෙදි කමු යටි බඩ හිරවෙන්ඩ
      කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ

      බය හිතෙනා නමුත් සොමි ගමනකි ඔන්න
      නාගදීපයට වේලාහන යන්න
      වාලම්පුරි තිබේ අඩුවට ගෙන එන්න
      තල් රා මඳ පමණ ගෙන නිවනට යන්න

      මුලූ රට පුරා සිරියාවයි එක හීයයි
      කලූ වර දුවයි අම්බානක හඳ පායයි
      මුලූ ගැන්නී මොකද කාටත් ජය පාටයි
      පුලූ පුලූවං එවුං හෙලූවෙං රජු ගාවයි

      කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ඩ
      ටාප්පයේ අලවා ඇත දත් ඇන්ඩ
      බට්ටෝ නැති පොළව ලං වී ලෙවකන්ඩ
      මහට්ටුරිනි ජැප්නා වැඳ ගෙන එන්ඩ

      Don Putha | ඩෝං පුතා

      හෘදයාංගම සටහනට ඔබටත් මගේ ගෞරවනීය ස්තූතිය සහෝදරයා...:)

      Delete
  3. ඔබ තුමන්ගෙන් අප ලත් දැනුම සදා මතකයේ තියේවි ඇදුරුතුමනි,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්.....

      Delete
  4. අමුතුවෙන් අටුවා ටීකා ලියන්න තරම් දෙයක් දන්‌ෙන් නෑ නේ... ඒක නිසා සද්ද නැතුව යන්න තමයි අද නම් වෙලා තියෙන්නේ... දේශපාලන හා වෙනත් මතවාද වෙනත් දෙයක්.. නමුත් මහාචාර්යතුමා කියලා කටපුරා කියන්න පුළුවන් කෙනෙක් කියලා නම් දන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු...මිනිස්සුන්ගෙ මතවාදය පැත්තක තිබ්බාවෙ..මහාචාර්ය ගම්ලත් මහත්මය එක්ක මමත් එකඟ වෙන්නෙ නෑ 90% විතරම. ඒක වෙනයි. මේ අද ඉන්න දෙකයි පනහෙ මහාචාරියල එක්ක සැසඳුවම ඒ වගෙ මිනිස්සුන්ට මල් තියල වඳින්න ඕන..මල් තියල...මල් තියල....

      Delete
  5. මම ඔය තරම් සවිස්තරව නම් කරුණු දැනගැන හිටියේ නෑ මහාචාර්ය ගම්ලත් ගැන. එතුමාට ආයුබෝවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි..හුඟ දෙනෙක් දන්නෙ නෑ එතුමා ගැන...

      Delete
  6. ගම්ලතුන්ගේ යම් යම් මතවාද හා එකඟ විය නොහැකි නමුත් ඔහු 'යුග පුරුෂයකුය' යන මතය සම්බන්ධයෙන්නම් 200% එකඟ වෙමි..

    මම මීට පෙරද කොහේ හෝ කමෙන්ටුවක කියුවාක් මෙන් අප රටේ හැම ක්ෂේත්‍රයකම පාහේ දැවැන්ත නුග ගස් එකින් එක බිම ඇද වැටෙද්දී ඒ අඩුව පුරවන්නට අලුතින් බිහිවන්නෝ කවුද.!? රටේ අනාගතය ගැන ඇතිවන්නේ බියකටත් වඩා දුකකි..!!

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදිය සොයුර......දැවැන්ත නුග ගස් කඩා වැටෙති. අප පසුවූයේ ඒ වනස්පතීන් සෙවණේ බව අපට වැටහෙනුයේ හාත්පස ගිගුම් දෙවමින් ඒ බිම පතිතවූ අනතුරුවය. ඒ වනස්පතීන් වෙනුවට ඒ කාර්ය භාරය ඉටු කරනු සමත් වනස්පතීහු ඇසට අසුවන මානයක නොමැත. වෙනත් තුරු මත දිවිගෙවන පිළිල මිස. ඒ අප ජීවත්වන මේ යුගයේ මහත්ම වූ අභාග්‍යයයි.

      Delete
  7. රවි රවි මොනවද මම කියන්නෙ රවි,එච්චර අගනා ආකාරයට ඔබ ලිපිය ඉදිරිපත් කරල තියෙනව.
    සුචරිත ගම්ලත් මහාචාර්ය තුමාට සුබ රාත්‍රියක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හැලප...:)

      Delete
  8. ඔබට නිවන්සුව ඇදුරුතුමනි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත්....

      Delete
  9. මේ පොස්ටුව පස්සෙනෙ කියවන්න සෙට් වුනේ..සුචරිත් ගම්ලත් මහාචාර්ය තුමාගේ ඉංගිරිසිපන්ති නම් ගොඩක් ප්‍රසිද්දයි කියලා දන්නේ මම දන්න යාළුවො ගොඩක් ගියපු නිසා...ළඟක් වෙනකම් එතුමා පන්ති කරා මම හිතන්නෙ..

    කොහොම් වුනත් සංවේදී සටහනක් රවී..

    ReplyDelete
  10. http://sinhala.lankanewsweb.net/featured/item/6584-2016-11-25-18-00-04

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...