Thursday, December 30, 2010

අතීතාවර්ජන නොහොත් මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක් - 2

මම එයාගෙ උපන්දිනේට වෙනුවෙන් ලියාපු, ප්‍රථම හමුවීමෙ කතාව මතකද? නැත්නම් ආයෙම බලල එන්න,

මුලින් ලියනකොට මගෙ හිතේ තිබුනෙ නැහැ තව දුරටත් කතාව ලියන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම් නිසා මට හිතුන අඩු ගනනෙ තව එක කොටසක්වත් ලියන්ඩ ඕනය කියල,අනික සමාවෙන්ඩ ඕන, අවුරුද්දෙ අන්තිමේ වැඩ රාජකාරි බොහොමයක් යෙදීම කරණ කොටගෙන මේ වැඩේ මෙච්චර පමාවීම ගැන,

දැං එයා බැහැල ගියා නෙව,

මම ඉතිං ඒ දිහාවෙ බලං හිටියය කියලත් කිව්වනෙ,වැඩි වෙලා බලන් ඉන්ඩ උනේ නැහැ, මොකද බස් එක ඇද්දුවා,

ඉම්පස්සෙ මම ඉතිං බකමූණට ඇවිත් ඒ තිබ්බ රාජකාරි ටිකත් අහවර කරගෙන එහෙම දවල්ටත් කඩේකින් කාල ගියා තව කිලෝ මීටර් දොලහක් වගෙ එහා තියෙන අත්තනකඩවලට, ඔන්න ඔය අත්තනකඩවල තමයි මම නැවතිල හිටියෙ,අභාවයට ගිය රජයේ ගොවිපොලක නිල නිවාසයක ඒ දවස්වල හිටිය මමයි තව මගෙ අතිජාත මිත්‍රයයි,

දැන්නම් වැඩේ හරියන්නෙ නැහැ, කතාවෙ කස්ටිය වැඩිවේගන එන්නෙ, ඒ නිසා මොනව හරි නමක් දෙන්ඩ වෙනව, මිත්‍රයගෙ නම සුමනෙ,ගෙවල් අලුවිහාරෙමයි, අලුවිහාරෙමයි කිව්වෙ මතකනෙ අර... අර.... අරය බස් එකට නැග්ගයි කියල මම කිව්වෙ අලුවිහාරෙන්නෙ, අන්න ඒ නිසා,

මම සතියම එක දිගට නැවතිල රාජකාරි කලාට, අලුවිහාරෙ ලඟ නිසාවෙන් සුමනෙ සාමාන්‍යයෙන් දවසක් ඇර දවසක් වාගෙ හවස ගෙදර ගිහිල්ල පහුවදා උදේ ආපහු ආවා,

සුමනෙ විවාහක, දෙදරු පියෙක්,මට වඩා අවුරුදු පහක් වගෙ විතර වැඩිමල්,ඒ වගේම ඉතාම හොඳ මනුස්සකම් වලින් පිරුනු මනුස්සයෙක්, එක අතකට ඒ කාරණේ විශේෂයෙන් කියන්ඩත් දෙයක්ය, මම වගේම තමා මගෙ යාලුවොත්,

සුමනෙ මට ගෑණු දරුවෙක්ව සෙට් කරන්ඩ බොහොම උනන්දුවෙන් කටයුතු කලා ඔය කාලෙදි, හැමදාම ගෙදර ඉඳං ආවොත් මට බේරුමක් නැහැ,ආපු ගමං පටං ගන්නව, රවී, මචං අද බස් එකේදි හම්බ උනා ලස්සන ටීචර් කෙනෙක්ය, මම කතා කර කර ආවෙය, අහවල් ඉස්කොලෙ උගන්නන්නෙය, ගෙවල් අහවල් දිහාය,මොකෝ කියන්නෙ? කියල,

මම ඉතිං කියවමින් ඉන්න පොත පැත්තක තියල හිනා වෙනව, එච්චරයි, ආයෙම පොත බලන්ඩ පටං ගන්නව," ඔහොම ඉඳහංකො, පොත් බල බල, උඹට තේරෙයි වැඩිකල් නොයා," කියල සුමනෙ නැඟිටල යනව, මම ආයෙත් හිනාවෙනව, ආයෙමත් පොත බලන්ඩ පටං ගන්නව, සුමනෙ කොච්චර උනත් උත්සාහය අත ඇරියෙත් නැහැ, මම හිනාවෙන එකයි, පොත බලන එකයි අත ඇරියෙත් නැහැ,

එදා හවස තුනට වගෙ තමයි සුමනෙ ආවෙ, මොනවදෝ රාජකාරියකට ගිහිල්ල,ඇවිත් යමං නාමු කියල දෙන්නත් එක්කම ගියා, අපේ ක්වාටර්ස් එක ඉස්සරහිම්ම ගලාගෙන යන යෝධ ඇලට,නා කියාගෙන ඇවිල්ල එලියෙ තණකොල ගොල්ලෙ පුටු දෙහෙකුත් තියාගෙන ගැහැව්ව ප්ලේන්ටියක්, ප්ලේන්ටියක් කියන්නෙ ඇත්තටම කිව්වොත් ප්ලේන්ටී දෙකක්,

දැං මේ උදේ වෙච්චි සීන් එක කියන්ඩත් එපාය,අපිට උයන්ඩ හිටපු ගෝලයත් "එන්නම් මහත්තය,රෑට කෑම බෙදල තියෙන්නෙ" කියාගෙන යන්ඩ ගියා, ටික ටික කරුවලත් වැටෙනව, මම තේ කෝප්පෙ බිමින් තියල කකුල් එහෙම දිග ඇරල පුටුවෙ දිගා උනා,

" සුමනෙ, අද එද්දි බස් එකේදි කවුරුවත් ටීචර් කෙනෙක් හෙම මුණගැහුනෙ නැතෙයි? "

" නැහැනෙ, අද මම එනකොට ටිකක් පරක්කු උනා,ඒකෙ වැඩි හරියක් ආවෙ මේ මල ගෙදරක යන කට්ටියක්,ඒක නෙවෙයි, මේක කියාපං, මොකෝ, උඹ මේ කවදාවත් නැතුව ටීචර්ල ගැන අහන්නෙ?, මට නෝන්ඩිය දානවද? "

" අනේ නෑ, පිස්සුද?, මට උදේ බස් එකේදි ටීචර් කෙනෙක් හම්බ උනානෙ " මම නිකම් ගාණකට නැතුව වාගෙ කිව්වා,

පුටුවෙ දිගා වෙලා හිටපු සුමනෙ කෙලිං උනා,

" අප්පට සිරි, නෑ........., ඉතිං ඉතිං උඹ කතා කලාද?, කොහොමද හැඩ රුව?, උසද, මහතද, කලුද?, ගෙවල් කොහෙද? උගන්නනෙ කොහෙද?" ප්‍රශ්න වැලයි,

" ඉඳහං, ඉඳහං, කලබල වෙන්ඩ එපා " මම හිනාවෙවී කිව්වා,

" කලබල නොවී බැහැනෙ, මම කොච්චර කිව්වත් ඔය ගැන උඹ හිනාවෙවී හිටිය විතරනෙ, දැං උඹම කියනවනම් ඒ කියන්නෙ හිතට අල්ලල හින්ද නිසානෙ, හරි, කියාපන්කො විස්තරේ "

" හැඩරුව විස්තරේ කියනව නම් එච්චර සුදුමත් නැහැ,ටිකක් විතර උසයි,ඒ හැටි මහතකුත් නැහැ, ගෙවල් නම් දන්නෙ නැහැ, හැබැයි නැංගෙ අලුවිහාරෙං "

" අඩේ, අලුවිහාරෙද?, එහෙනම් ප්‍රශ්නයක් නැහැ, මම හොයා ගන්නං විස්තරේ, උඹ කිසි දේකට බය වෙන්ඩ එපා, " සුමනෙ ඉස්තිරසාර හඬින් කිව්වා,

බයක්?, මගෙ හිතේ මොනව හරි බයක් තියෙනවද? මම මගෙම්ම ඇහැව්වා, පිස්සුද මොන බයක්ද?, හිතෙං උත්තර හම්බ උනා,සුමනෙ ඉතිං හිත හොඳිං කියාපු එකනෙ, මම උත්තර බඳින්ඩ ගියේ නැහැ,

" කොහේද දැං ඔය කියන ළමය උගන්නන්නෙ? "

"අන්න අර, ............. ඉස්කෝලෙ "

" ඔය තියෙන්නෙ, ඉතිං මොනවද?, අපේ අසෝකයගෙ වයිෆ් උගන්නන්නෙත් ඔය ඉස්කෝලෙනෙ, "

"ඔව්, මම ඇහුවා, නෙලුම්ව දන්නවය කිව්වා,"

මම අර ගියපාර කිව්වෙ මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඒ ඉස්කෝලෙ උගන්නනවය කියල, ඒ දෙන්නා අසෝක සහ නෙලුම්,

" ඉතිං මොනවැයි කතා කලේ, මුල ඉඳං කියාපං විස්තරේ " සුමනෙ හරි බරි ගැහුනා,

" මුල ඉඳංම කිව්වෙ මම ගෙදරිං පිටත් උන වෙලේ ඉඳංද? "

" නෑ. උඹ ඊයෙ රෑට කාපු වෙලාවෙ ඉඳං " සුමනෙටත් වෙලාවකට ෂුවර් නැහැ මම මේ කියන එව්වා කියන්නෙ විහිලුවටද ඇත්තටමද කියල

මම ඉතිං, හතර වටිං අඳුර ගලා එද්දි, අත්තනකඩවල ගොවිපොලේ අපේ නිල නිවසේ ඉදිරිපස රූස්ස සියඹලා ගස යට තණබිස්සේ පුටුවක ඉඳගෙන, සුමනෙට සම්පූර්ණ විස්තරේ ( මේකට තවම ප්‍රේම කතාව කියල නම් කියන්ඩ බැහැනෙ ) මුල ඉඳං අකුරක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, නෑර කිව්වා,

'' හරි දැං මොකක්ද නම? ''

නම?, දෙයියෝ සාක්කි, නම අහගත්තෙ නැහැ නේද?, මම උඩ බිම බැලුවා,

'' නමනම් අහගන්ඩ වෙලාවක් තිබ්බෙ නැහැ සුමනෙ '' මම සුමනෙගෙන් සමාව ඉල්ලන ස්වරයකින් කිව්වා,

'' උඹත් මාර බඩුවක්නෙ බං, එයාට රාජකාරි කොරන විදිහ ගැන දේසනයක් දෙන්ඩ වෙලාව තිබ්බ, නම අහ ගන්ඩ තමයි වෙලාවක් නැති උනේ නේද? '' සුමනෙට තරහ ගොහින්ද මංදා, ඇත්තනෙ ඉතිං මයෙනෙ වැරැද්ද, අම්මප නමක් ගැන හාංකවිසියක් මතක් උනෙ නැති හැටි බලමුකො හැබැහැට,

'' හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, යමං, අසෝකයගෙ වයිෆ් හම්බ වෙලා වැඩි විස්තර සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතා කරගමු '' සුමනෙ නැඟිට්ටා,

'' මේ දැම්මම? '' මම ඇහුවා, අසෝක ඉන්නෙ බකමූණෙ,කිලෝ මීටර් දොලහක් එහා, අනික මේ වෙනකොට සෑහෙන්ඩ කලුවර වැටිලා,

'' එහෙනං, ඔව්ව කල් දදා ඉන්ඩ ඕන නැහැ, අනික මේ වැඩේ සෙලිබ්‍රේට් කොරන්ඩත් එපාය, බකමූණෙන් එකක් ගේමු, නෙලුම් හම්බ වෙල විස්තරෙත් දැනගමු, යමං, යමං, ''

ඉතිං අපි දෙන්න සුමනෙගෙ බයික් එකේ ආව බකමූණට,

අපි ආපු පාර තියෙන්නෙ යෝධ ඇලේ බන්ඩ් එක දිගේ, ඒ පැත්ත ගැන දන්න කස්ටිය දන්නවා ඇති, ඉතිං හුළඟ බොහොම සැරයි, ඒ වගේම සීතල, ඉතිං මොකද කරන්නෙ කියල සීතලේම ආව බකමූණට,

මග දිගටම සුමනෙගෙං ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස්,

'' දැං අපි නෙලුම්ගෙං අහගමු විස්තරේ, බැඳලද, නම ගම, වාසගම, පවුලෙ විස්තර එහෙම, ඊට පස්සෙ වැඩේ හරි යන සයිස් එකක් නම් උඹ හෙට පලයං ගෙදර, ඒ කරල අනිද්දා ඒ බස් එක අල්ලල වරෙං, හරිනෙ, ''

'' පිස්සුද එහෙම කරන්ඩ බැහැ, හෙට ගෙදර ගියොත් අම්ම බලයි මොකෝ මේ කවදාවත් නැතුව සතියෙ මැද කියල, ඒක නම් මොනව හරි කිව්වැහැකිය කියමු, අනිද්ද ඒ බස් එකේ ආවොත් මෙහෙ එනකොට දොලහ වත් වෙනව, මට හෙට උදේ වැඩ වගේකුත් තියෙනව, ඔක්කටම වැඩිය එයා අනිද්දත් ඒ බස් එකේම එයිද කොහොමද දන්නෙ? '' මම කියවගෙන ගියා,

'' උඹ මුලිං අඬපු කාරණාවල නම් කිසිම වැදගැම්මක් නැහැ, එව්ව මොනව හරි කරගත්තෑකි, හැබැයි අන්තිමට කිව්ව කාරණේ නම් වැදගත්, හැමදාම එන්නෙ ඒ බස් එකේමද කියලනම් දැන ගන්ඩ වෙනවා ''

ඔන්න මේ වෙනකොට අසෝකලගෙ ගෙදරට ඇවිත්, මම බැහැල දොරට ගැහැව්වා,උන්ගෙ දොරට තට්ටු කලාට ඇහෙන්නෙ නැහැ, තඩි බාන්ඩම ඕනෙ

අසෝකය දොර ඇරිය," වරෙං, වරෙං, මොකෝ........, අඩේ සුමනෙත් ඉන්නෙ, මොකෝ බං මේ වෙලාවෙ, "

ඒ අස්සෙ නෙලුම් නංගි ආව කුස්සියෙ ඉඳල හිනාවීගෙන ,'' එන්ඩ අයිය ඇතුලට මොකද අසෝක, ගෙට එන්ඩ වත් කිව්වෙ නැද්ද? ''

තේ එකක් එහෙම ආයෙම බීල සුමනෙ බැස්ස අදාල කාරනාවට,

'' නඟෝ, අපෙ මේ රවීට අද බස් එකේදි හම්බ වෙල තියෙනව ඔයාලගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක්, ''

'' ආනේ ඒ රවි අයියද, චන්ද්‍රා අක්ක කිව්ව තමයි අසෝකගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් බස් එකේදි හම්බ උනාය කියල, මට හිතුනෙම නැහැ ඒ අයියය කියල '' නෙලුම් මගෙ කෝප්පෙ ගන්න ගමං කිව්වා,

අන්න හරි.... ඔය තියෙන්නෙ..... මෙච්චර වෙලා එයා එයා... කිය කියනෙ හිටියෙ, දැං ඔන්න නමක් තියෙනව............. චන්ද්‍රා, හ්ම්ම්ම්ම්... නමත් නරකම නැහැනෙ, සඳ.... සඳවතිය.......

'' මඟ දිගටම, පරක්කු වෙලා වැඩට යන එක ගැන දොස් කිය කිය ආවය කියල කිව්ව, අක්කට හොඳටම තරහ ගිහිල්ල හිටියෙ, '' නෙලුම් අසෝක ලඟිං ඉඳගන්න ගමං කිව්වා, හැබැයි කට පුරා හිනා වෙවී,

'' මට බැන්නද? '' මම හිනාවෙවී ඇහැව්වා,

'' ම්ම්ම්....., බැන්නෙමත් නැහැ, මෙහෙමයි කිව්වෙ, බලන්ඩකො අදමයි දැක්කෙ මගෙන් වැඩට යන වෙලාව ගැන ඇහුවනෙ කියල ''

'' ඒකනෙ බලන්ඩකො මේ මනුස්සය කරල තියෙන දේ එතන ආචාර ධර්ම ගැන දේශනයක් තියලනෙ,ඒක නෙවෙයි නංගි, චන්ද්‍රා බැඳලද? '' සුමනෙ කවදත් එහෙමයි අනම් මනම් වලට කැමති නැහැ, කෙලිම්ම වැදගත් කරුණු විතරයි,

'' නෑ, බැඳල නැහැ, අයියා, '' සුමනෙ ප්‍රශ්නෙ ඇහුවට නෙලුම් උත්තරේ දුන්නෙ මට,

හරි.... බැඳලත් නැහැ, මට දැනගන්ඩ ඕන උනේ එච්චරයි......

සුමනෙට තව ප්‍රශ්න වැලක් තියෙනව, " වයස කොහොමද?, මොකක්ද වාසගම?, ගෙවල් කොහෙද?, අම්ම තාත්ත ඉන්නවද?, පවුලෙ තව කීදෙනෙක්ද?............?...........? "

" අනේ අයියෙ ඒ මොකවත් මම නම් දන්නෙ නැහැ, නමයි බස් එකට නගින්නෙ අලුවිහාරෙන්ය කියලයි දන්නව,ආ.... තව රස..... බත් එකෙක් අරං එනව "නෙලුම් සමාව ඉල්ලනව වගෙ සුමනෙ දිහා බැලුවා,

( පස්සෙ මම දැන ගත්ත ඒ බත් එක උයන්නෙ අම්මය කියල, )

" මොනවද අප්ප, ඔයාගෙ හොඳ යාලුවලු, යාලුව ගැන කිසි දෙයක් දන්නෙ නැහැනෙ, " අසෝකට මේක නිකම් මදි කමක් වගෙ හිතිලද කොහෙද,

" අපි යාලුවො තමයි, ඒ උනාට හරියකට කතා කරන්ඩ හම්බ වෙන්නෙ දවල් කෑම වෙලාවෙ විතරයි, අනික ඒ වෙලාවෙ කනව මිසක් පවුල්වල විස්තර කතා කරන්ඩ වෙලාවක් නැහැ, " නෙලුම්ට තරහ ගිහිංද කොහෙද,

" හරි, හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, ඒ විස්තර පස්සෙ හොයා ගන්ඩ බැරිය, " මම නෙලුම්ගෙ සහායට ඉදිරිපත් උනා, මේ උන්දැ කෝකටත් ෂේප් එකේ තියා ගන්ඩම එපාය,

" හරි, මම හෙට අක්කගෙම්ම අහන්නංකො, රවි අයිය ඇහුවය කියලම ඇහුවට කමක් නැහැනෙ? "

" කමක් නැහැ, නංගි, ඒකට කමක් නැහැ, " මම නැඟිටින ගමන් කිව්වා,

අපි ඊට පස්සෙ ඒ දෙන්නගෙන් සමු අරං, බෝතලේකුත් අරගෙන ආපහු අත්තනකඩවලට ආවා,

පහුවදා කිව්ව වගේම නෙලුම් විස්තර හොයං ඇවිත් තිබුනා,ඉතිං මමත් එයත් එකම බස් එකේ යන්ඩත් පටං ගත්ත,ඉතිං ඔන්න ඔහොම කාලය සුපුරුදු ලෙස අපටද නොදැනීම ගෙවී ගිහිල්ල, තව කාලෙකට පස්සෙ අනිත් අවශ්‍ය කරන කටයුතුත් කරල, අපි දෙන්න එක වහලක් යටට ආව,

ඉතිං ඔන්න එදා ඉඳම්ම අද වෙනකල් එහෙම්මම තමයි,

එදා මා හද එකලු කල,
සඳ පහන් කැලුම් රැස,
එදා මා සිත වසඟ කල,
තරු කැලුම් ඔබ නෙත,

කාලය ද ගෙවිලාය මෙලෙසේ,
ඔබට මට නොකියාම රහසේ,
මගේ සෙනෙහස පිදුනු එදිනේ,
මිලින නොමවෙයි මතුද සසරේ,

මම හිතුවෙ මේ කතාව අර එයාගෙ උපන් දිනේ වෙනුවෙන් දාපු මුල් කොටසින් ඉවර කරන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම නිසා නොහිතූ විදිහට දිග්ගැස්සුනා නෙව, කමක් නැහැ, කතාව කියල මම ලබපු සංතෝසෙ කියවල මගෙ යාලුවොත් ලැබුවනම් මට ඒ ඉහටත් උඩිං ඇති,

28 comments:

  1. මේ කතාව කියෙව්වට පස්සෙ මම් තීරණය කලා පාරෙ බස් එකේම වැඩට යන්න . ඕං මම නෙවෙයි මීට පස්සෙ නිල රථ, අහස් යාත්‍රා දිහා බලන්නෙ . හි හී

    ReplyDelete
  2. අප්පේ හරිම ලස්සනයි . .

    හරිම සුන්දරයි . .

    හෙනම ආසාවෙන් කියෙව්වා . .

    ඇත්තෙන්ම ඔයා නියම උපන්දින තෑග්ගක් චන්ද්‍රාට දුන්නේ . .

    දිගටම ලියනන් රවී. .

    ඔයා ලියන විදිහ හරිම අපූරුයි . .

    සරලයි . .

    එක දිගට කියවගෙන යන්න ආසා හිතෙනවා.

    ReplyDelete
  3. බස් ලව් එකකට ඕන කරන නියම අඩු වැඩිය තිබිල තියෙන්නෙ, හරිම ආසාවෙන් කියෙව්ව. කිසිම අමාරුවන් නෑ එක හුස්මට කියවගෙන යන්න පුළුවන්

    ReplyDelete
  4. අපූරුවට ලියලා තියනවා. ආසාවෙන් කියෙවුවා මේ මතක සටහන.

    සුබපැතුම් ඔබ දෙපළට.

    ReplyDelete
  5. සිත් සන්තොසින් බසයේදී බැඳී හාද
    ගනදුරු වලා බිඳ සඳවත නැගුනාද?

    ReplyDelete
  6. කියපු රවී ලැබුවා වූ සතුට හා සමාන සතුටක් කියවපු මමත් වින්දා කියල හිතනව.......

    ReplyDelete
  7. TG,

    බස් එකෙ ගියාටම මදිනෙ, බස් එකේ පත්තරයක් එහෙම දිග ඇරගෙන " මං පොර " ලීලාවෙන් ඉන්න කෙනෙක්ගෙ සීට් එකේ කොනක වාඩි වෙන්ඩත් ඕනමයි,ඒ කරල ඉස්සරහ බලාගෙන වික්ටෝරියා මහේසිකාව වගෙ යන්ඩත් ඕනෙ,වැඩේ හරියනව, අද්දුටුවයි,සත්තයි,ප්‍රත්‍යාක්ෂයි,අත්දැකීමෙන් කියන්නෙ,හරි නොගියොත් මුදල් ආපසු,

    ReplyDelete
  8. දුකා,

    දහස් වාරයක් ස්තූතියි,

    උඹ වාගෙ කෙනෙක්ගෙ අගයකිරීම හරියට නියත විවරණ ලැබුවා හා සමානයි, දුකා,

    ස්තූතියි නැවත වාරයක්,

    ReplyDelete
  9. nawammawatha,

    ස්තූතියි,

    අම්මප ඒ අඩුවැඩිය එහෙම්ම තිබිල තියෙනව නෙවද?,

    මටත් කම්පනාවට ආවෙ උඹ කිව්වයිම් පස්සෙ නෙව,

    ReplyDelete
  10. Raven,

    ස්තූතියි මල්ලි,

    මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් සිහින සෙවනැලි,

    ReplyDelete
  11. sithuwilimandiya,

    නැඟුනා,මලේ නැඟුනා තවමත් නැඟිලා,
    බස්සා ගන්ඩ බැරුවයි ඉන්නේ දතකා,

    ReplyDelete
  12. නිශ්,

    ස්තූතියි, කලිනුත් කිව්වැහෙ ඒ ඇති, බොලේ මයෙ ඉහටත් උඩිං,

    ReplyDelete
  13. අනේ අයියා... අයිය දන්වයි. මම ජීවිතේ වැඩි හරියක් ගෙවුවෙ බස් එකේ ඒත් තාම තනිකඩ නෙව. බස් යාළුවො නම් ගොඩයි...

    එහෙනම් රවීට සඳ හමු වුනේ අහසෙදි නෙමයි නේද?
    ඒකත් හොඳයි. මොකද කියනව නම් අහසෙදි ඔයා රවී සහ සඳ හමුවෙන්නේ නැහැ නෙ. එකම අහසක නමුත් දෙතැනක...

    ඉතින් අයියා... කර ගන්න වැඩ ටික ඉක්මනින් අහවර කර ගෙන ආයෙත් ඉරයි හඳයි ඉක්මනින්ම එකම වහලක් යටට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    හැබැයි ඉතින් අපි තරහයි...
    මොකද කියනව නම් තව ලස්සනට දික්ගස්සල තව කොටස් ටිකක් ලියන්න තිබ්බ කතාව අන්තිම ජේදයෙන් ගොඩක් කොට කරල කියල දාලා...

    කමක් නැහැ ස්තූකියි ඉල්ලීම ඉටු කරාට....

    ReplyDelete
  14. සොඳුරු සිත,

    මේ කතාව නංගි, මෙතනින් පස්සෙ සාමාන්‍යය සාම්ප්‍රදායික කතාවක් වෙනව, එකම සිද්ධියක් තියෙනව, වෙලාවක ඒකත් ලියන්නම්, ස්තූතියි,

    ReplyDelete
  15. අනේ රවි, මේ අකුරු මේ පසුබිමේ කියවන්න හරි අමාරුයි නෙ.. :( පොඩි සහනයක් සලසන්නකො.

    ReplyDelete
  16. ස්වප්නා,

    අකුරු කලු කලා, දැං හරිද බලන්න,

    ReplyDelete
  17. කතාව දිගයි ඒත් ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  18. මැණික්,

    ජීවිතේ හැම දෙයක්ම ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙන්නෙ නැහැ නෙව,හෙහ්, හෙහ්,

    ReplyDelete
  19. හමුවීමක රැඳෙයි වෙන්වීමක සේයා,
    පැමිණීමක රැඳෙයි නික්මීමක සේයා,

    කියල ලියල ගිහින් තිබුන රවි කවුද කියල හොයාගෙන ආවෙ, ඒත් මම කලින් මේ බ්ලොග් එකට ඇවිත් තියෙනව නෙ ඔයාව නොදැක්කට...

    ReplyDelete
  20. ස්තූතියි චේජනා,

    මේක අපේ රන්දිල් මැඩම්ගෙ ගෙදර නෙව,

    මම මේ ආතක් පාතක් නැතුව කරකැවෙනව දැකල පතලා වූ මහා කරුණාවෙන් අඬගහල ඉස්සරහ තියෙන කාමර කෑල්ල දුන්න නෙව, ඔන්න ඕකෙ වත් ඉඳහං කියාල,

    ReplyDelete
  21. මමනම් ඔන්න මේක කිහිප වතාවක්ම බැලුවා ...

    නිමයි මචං ඇත්තටම සුපිරි ..උඹ ලියන ක්‍රමය නියමයි බං ..

    ජය වේවා !!

    ReplyDelete
  22. හිස් අහස,

    ස්තූතියි මල්ලි,

    ඔය මම කියාපු දිහාවෙත් ඉන්නව අලි ඕසෙට,

    අලි දුරුවං වේවා!!!

    අනෝරා වැස්ස නවතීවා!!!

    ReplyDelete
  23. "එදා මා හද එකලු කල,
    සඳ පහන් කැලුම් රැස,
    එදා මා සිත වසඟ කල,
    තරු කැලුම් ඔබ නෙත.."

    මෙව්වා කියවන්න වෙන්නේ තනි වුනහම... ඒත් ඊට පස්සේ පපුව බර වෙලා ඇස් අග්ගිස්සෙන් කඳුළු එන එක වලවන්නේ කොහොමෙයි රවී මහත්තයෝ...?

    ReplyDelete
  24. තිස්ස,

    මොකදෑ කොරන්නෙ මස්සිනේ, පූරුවේ පවක් එතකොට පාරුවේ පුවක් කියල අහල තියෙනවනෙ නේද?

    ReplyDelete
  25. සුන්දර අතීතයක්,
    හරිම ආසාවෙන් කියෙව්වා.

    (අග ඉදන් මුලට කියවගෙන යෑමක් තමා කරන්නෙ :P)

    ReplyDelete
  26. සමන්ත,

    බොහොමත්ම ස්තූතියි,

    ReplyDelete
  27. ලස්සන ස්ටෝරි එකක් ලස්සනට ලියලා තියනවා .....

    ReplyDelete
  28. චැහ්! මං හිතුවෙ තව කොටස් දෙකතුනක්වත් ඇති කියල.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...