Monday, December 1, 2014

291. ඇෆ්ගන් බ්‍රදර්ස්හි රාත්‍රි භෝජනය, විගමනික ආර්ථික සරණාගතයකුගේ චින්තනය සහ මාර පරාජය බිතු සිතුවම



පහුගිය සතියෙ දෙකේ ඉතාම කාර්යබහුලයි. කොච්චර හරි පහුගිය 14 වෙනිදට යෙදිල තිබ්බ මගෙ ජම්මෝස්සවේ උස්සවාකාරයෙන් සැමරුවෙ ඔන්න පෙරෙයිද..සැමරුවයි කියන්ට ඉතිං මහ ලොකු දෙයක් කලේ නෑ.මම හවුලට ඉන්න ගෙදර ඒ යාලුවයි එයයිගෙ බිරින්දෑයි පොඩි එවුන් දෙන්නයි එක්ක ගියා රෑ කෑමකට නොහොත් ඩිනර් ඩාන්ස්..සොරි සොරි..ඩිනර් අවුට් එහෙකට. 

ඇෆ්ගන් බ්‍රදර්ස් රෙස්ටෝරන්ට් කියල මෙහෙ තියනව බොහොම ජනප්‍රියයි ඉතාම රසවත් බාබකිව්, බත්, නාන් සහ රොටි පිළිබඳව. 


අන්න ඒකට අපිගියේ. මේ ගමනට එකතුවුනා මෙහෙ ඉන්න අපෙ හිතවත්ම මිත්‍රයෙක් සහ ඔහුගේ ලොකු තාත්තා සහ ලොකු අම්මා. ඒ මම කියන ලොකු තාත්තා අපේ ක්ෂේත්‍රයෙ ප්‍රාමාණික විද්වතෙක්.අචාර්ය උපාධියක් එහෙම තියෙන කලින් මේ රටේ වැදගත් තනතුරක් දරල දැනට ලංකාවෙ විශ්‍රාම සුවයෙන් ඉන්න මහත්මයෙක්. 2022 පාපන්දු ලෝක ශූරතාව සඳහා කෙරෙන යටිතල පහසුකම් ඉදිකිරීම් වෙනුවෙන් උපදෙස් ගන්ට කටාර් රජයේ ආරාධනය මත මේ දවස්වල මෙහෙ ඇවිල්ල ඉන්නව.

ඇෆ්ගන් සහෝදරයින්ගෙ ආහාර ගන්ට තියෙන්නෙ බිම එලපු කළාල මත. අඩි 12 x 12 වගෙ කාමර වල කළාල එලල බිත්තිය අයිනට කොට්ට දාල තියනව. මැද ඇනවුම් කරපු ආහාර බඳුන් ගෙනත් තිබ්බම වටේට ඉඳගෙන දහරමණ්ඩිය ගොතාගෙන කන්ටයි තියෙන්නෙ.අර මම කියපු විද්වතා සහ ඔහුගේ බිරිඳට බිම ඉඳගන්න එක අපහසු නිසා ඔවුන්ට පුටු දෙකක් ගෙනල්ල තිබුනා. 

මේ දවස්වල අපේ ප්‍රධාන මාතෘකාව මරා පරාජය උනාට මේ රාත්‍රි ආහාර ගන්න අතරෙ මම ඒ ගැන කතා කලේ නෑ වෙන ආගිය තොරතුරු මිසක. ඒකට හේතුව මගෙ ඔය කියපු යාලුවගෙ තාත්තා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. 

මනුස්සය ඉන්න වෙලාවට දේශපාලනය ගැන කතාකිරීමෙන් වැළකෙමි නොහොත් දේශපාලනං සාකච්ඡානං වේරමණීයන ශික්ෂා පදය සමාදං වීමේ අප්‍රකාශිත එකඟතාවයකට අපි හැමෝම එලඹිලයි හිටියෙ. 

මගෙ යාලුව ඇවිල්ල බොහොම ස්වාධීන අදහස් තියෙන අපක්ෂපාතී යථාර්ථ වාදී පුද්ගලයෙක්. තාත්ත ආණ්ඩු පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙද්දි පවුලේ වන් ඇන්ඩ් ඔන්ලි පුතා වෙච්චි මේ මනුස්සය මේ කාන්තාරෙට ඇවිල්ල දුක් විඳින එකෙන්ම මම මේ කියන කතාව සක්සුදක්සේ පැහැදිලි වෙනවනෙ. නැද්ද? පරංගියාවාඩියෙ ප්‍රාදේශීය සභාවට පොදු පෙරමුණෙං ඉල්ලල පැරදිච්චි ගෝඩා නිමලයගෙ හොර ගෑණිගෙ මල්ලිගෙ පවුලගෙ අල්ලපු වත්තෙ පදිංචි එකාටත් ආණ්ඩුව ගානෙ කොන්තරාත් හරි මොන මොනව හරි කරල ඔයගොල්ල අපි බොහොම දුක් මහන්සියෙන් හම්බ කරල ආන්ඩුවට බදු හැටියට ගෙවන කප්පං මුදලෙං කීයල් හරි යටි මඩි ගහ ගන්ට ආන්ඩුවෙ ඉහලම තැන වන මරා මහත්තයම කිසි අවුලක් නැතුව තනි සම්බුද්දියෙ හරියට මැදමුලන රාජපස්ස පරංපරාවෙ බූදලෙං තමයි මම මේ දොර දං දෙන්නෙ කියල හිතාගෙන වගෙ ඉඩ දීල තියෙන රටක ආන්ඩුවෙ පාර්ලිමේතු මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙකුට මේ ආසියාවෙආස්චර්යයෙ මොනවනම් කරගන්ට බැරිද ආය කාගෙං තහනමක්ද? කියල ඔබ තමුන්නාන්සේලාට මම අමුතුවෙන් කියන්ට ඕමනා නෑනෙ නෙවද? 

ආණ්ඩුවෙ බත්බැලයින්ට මේ ගහ ගන්ට දීල තියෙන සීමා රහිත ලයිසොම ගැන කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි රටේම මහ තැන. කොහොමද කෑම? අති විශිෂ්ඨයි සර්.....අනික කාරණේ අද දේශපාලනයෙ අලුත්ම අමන ලක්ෂණය තමයි කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් බයක් නැතුව අපි හොරු නැත්තං මම ඇවිල්ල හොර මුලක නායකයෙක්, එවුං හතර අතේ හොරකං කරපු හැටි ඔක්කොම මම දන්නව, ඒත් මම උංට රිසිසේ හොරකං කරන්ට දීල අහක බලාගෙන හිටිය කියල කටේ තොලේ නොගෑවී කියල දාන්ට ලොක්කටම පුලුවන් වීම. දන්නවනෙ අර ෆයිල් කතාව...දෙයියම්පල්ල රටේ මිනිස්සු හරක්ය කියල හිතාගෙන ද මන්ද මෙහෙම කතා කියන්නෙ. අනික් අතට අපේ මිනිස්සුන්ගෙ පැටිකිරිය, කල්කිරියාව බැලුවම එහෙම හිතුවත් වැරැද්දකුත්  නෑ ඒ හැටිම. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නං මේ කතාවෙ තව ඉස්සරහදි. 

රයිට් ආපහු එමු ඇෆ්ගන් සහෝදරයෝ ආපන ශාලාවට. ඉතිං රාත්‍රි ආහාර ගද්දි සුපුරුදු පරිදි අපි දේශපාලනය ගැන කතාබහෙන් වැළකුනා.අනික මගෙ යාලුවට අමතරව එයාගෙ ලොකු තාත්තත් හිටියනෙ. අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්, ඒ වගේම ගරු කටයුතු වැඩිහිටියෙක්. එහෙම අයගෙ දේශපාලන මතිමතාන්තර ගැන පූර්ව අවබෝධයකින් තොරව මම කොහොමත් මගේ මතය ප්‍රකාශ කරන්ට ඉක්මන් වෙන්නෙ නෑ පුරුද්දක් විදිහට. 

කකුල් දණිස් වලින් නවාගෙන සෑහෙන වෙලාවක් ඉන්න එක කොහොමත්ම ලේසි වැඩක් එහෙම නෙවෙයි. අනික එහෙම කකුල් නවාගත්තම බඩ තද වෙන නිසා කන්නත් අමාරුයි. සමහරවිට හාමුදුරුවරුන්ට ඒ විදිහට ආහාර ගන්ට නියම කරල තියෙන්නෙ ඒ ඉරියව්වෙන් ඉඳගත්තම බඩ කට පිරෙන්ට කා ගන්ට අමාරු හින්දමත්ද මන්ද. 

ඉතින් ඔය නොයෙක් සතුටු සාමීචි කතා මධ්‍යයේ බොහොම සුහදව රාත්‍රි භෝජන සංග්‍රහයෙ කටයුතු කෙරීගෙන ගියා. 

" Ravi, when are you going to Sri Lanka again? " විද්වතා ඔන්න මා දිහාට හැරිල ඇහුවා. 

" Middle of December  Doctor" මම කිව්වා. 

" So you would be there for the presidential election? " ඩොක්ටර් ආයෙම ඇහුවා. 

" Yeah, I hope so " 

" So If I may ask…. to whom are you going to vote for? " ඩොක්ටර් ආයම හිනාවෙමින් ඇහුවා. 

මම අර කියපු ආණ්ඩුවෙ මන්ත්‍රීවරයා හෙවත් මගෙ යාලුවගෙ තාත්තා කියන්නෙ මේ විද්වතාගෙ සහෝදරයා. එහෙම වෙන්නෙ ඒ දෙන්නගෙ භාර්යාවන් ඇවිල්ල සහෝදරියන්. ඒ නිසා මම පොඩ්ඩක් කල් අරගෙන උත්තර දුන්න. 

" Well I am definitely not voting for Mahinda…" 

" Me too, we need a change now ..." 

“Politicians and diapers must be changed often, and for the same reason.” නැමිල දකුණු අතේ ඇඟිලි තුඩුවලට ගත්තු බත් කට වමත යටින් තියාගෙන පරෙස්සමින් කට ලඟට අරගෙන එන ගමන් මම කිව්ව. 

" Heh, heh..exactly ...හරියටම හරි " ඩොක්ටර් හිනාඋනා.." But I don’t remenber who said that.." 

" Mark Twain " බත් කට කාල අහක වෙලා මම කිව්ව. 

" ඩොක්ටර් දන්නවද අද අර ඇමති කෙනෙක් ඉන්නෙ මහින්ද අමරවීර කියල….ඒ මිනිහ කියල තියෙන කතාවක් " ඒ මගෙ යාලුව. 

" එහෙම ඇමතිකෙනෙක් ඉන්නවද? අනේ මන්ද මම ඔය ඇමතිලගෙ නම් ගම් නම් දන්නෙම නෑ. ඇයි අප්පේ කී දෙනෙක් ඉන්නවද? " 

" මම හිතන්නෙ ජනාදිපතිවත් දන්නෙ නැතුව ඇති ඇමතිල කී දෙනෙක් ඉන්නවද කියල..අර ජනාදිපති ලේකම් කෙනෙක් ඉන්නව මට හිතෙන්නෙ මිනිහට වෙන වැඩක් කරන්ට වෙලාවක් නෑ ඇමතිලගෙ පත්වීම ලිපි හදන එක ඇරෙන්න." 

" අනික මම හිතන්නෙ හෙට අනිද්දම තව ඇමතිකෙනෙක් පත් කරන්ටවෙයි ඔය පත් කරපු ඇමතිලගෙ ගණං හිලව් විස්තර බාර ඇමති කියල..හෙහ්,හෙහ්, " අපි ඔක්කොම හිනාවුනා, 

" හරි හරි අර කවුද ඇමති කෙනෙක් කිව්වයි කියපු කතාව තාම කිව්වෙ නෑනෙ " ඩොක්ටර් ඇහැව්වා. 

" අහ්..හරි හරි ඒ ඇමතියගෙන් පුවත්පත් සාකච්ඡාවකදි කවුද අහල තියනව ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ට බොහොම දූෂණ චෝදනා තියනව නේද කියල..දන්නවද මේ අසමජ්ජාතිය කියල තියන එක..මම නෑ කියන්නෙ නෑ. එහෙම අයථා විදිහට ධනය හම්බකරගත්තු අයත් ඉන්නව ඇති. ඒත් දැං ඒ අය ඕන විදිහට හම්බ කරගෙන තියෙන්නෙ. ආය ඒ අයට හම්බකරගන්න දෙයක් නෑ. ඒ නිසා හොඳම වැඩේ ආණ්ඩුවම ආය පත්කරගන්න එක..කොහොමද ඒ කතාව ඩොක්ටර්? " 

" Goodness, has he really said that? What a bloody idiot " 

" Idiot may be Doctor, Most of the ministers and MPs  are idiots, but I think its sheer arrogance. They don't care about the general public. උං දන්නව මොනව කිව්වත් මොනදේ කලත් මිනිස්සු චන්දෙ දෙනව කියල. ඒකනෙ වෙලා තියෙන්නෙ…" 

" But we have to change it this time..this madness has gone too far now. " 

ඔය සිද්ධිය වුනේ පහුගිය බදාදා. මේ ඊට කලින් සෙනසුරාදා වෙච්චි දෙයක්. අපේ රටේ මිනිස්සුන්ගෙ මානසික තත්වය හිතන පතන විදිහ ගැන හොඳ උදාහරණයක් මම කියන්නංකො කතාවෙ තව ඉස්සරහදි කියල මම කිව්වෙ මේ සිද්ධිය ගැන තමයි. 

මම කලින්ම කිව්වනෙ පහුගිය මාසෙක වගෙ කාලසීමාව තදටම කාර්ය බහුල උනාය කියල. රාජකාරීපැත්තෙන් නම් එහෙම නැති දවසක් තිබ්බෙම නැති තරං. ඒත් විශේෂයෙන්ම මේ පහුගිය ටිකේ වුනේ රාජකාරි බහුල සමයක් එක්ක මගෙ පෞද්ගලික වැඩ කටයුතුත් බහුල සමයක් අතිපිහිත වෙච්චි එක ( අතිපිහිත = Overlapping ) 

ඉතිං පහුගිය සිකුරාද මම උදේ ඉඳලම වැඩ. ඉරිදට අනිවාර්යයෙන් ඉවර කරන්ට ඕන කටයුත්තක යෙදිල හිටියෙ.දහයට වගෙ යාලුවෙක් කතා කලා. 

" මචං දන්නවද සීන් එක? " 

" මොකක්ද බං? " 

" මෛත්‍රීපාල සිරිසේන තමයි ඔන්න විපක්ෂෙ පොදු අපේක්ෂකය. " 

" නෑ?? " 

" නෑ නෙවෙයි ඔව්." 

ඒ පාර ලහිලහියෙ කරමින් උන්න කටයුත්ත පොඩ්ඩකට නතර කරල ලංකාවෙ ප්‍රවෘත්ති බැලුව. ඇත්තම නේන්නං...ඒත් ඔය ගැන කල්පනා කරන්ට බැරිය පස්සෙ. අනික ඕක බැලුවයි කියල ආය ඉරිදට ඉවර කරන්ට තියන වැඩේ කරල දෙන්ට සක්‍රදෙයියො ප්‍රාදුර්බූත වෙන්නෙ නෑනෙ. මමම එපාය ඒක කරන්ට. ඒ නිසා ආයම දිව විකාගෙන වැඩේට බැස්ස. සිකුරාද රෑ අට නමය වෙනකොට යන්තමට වැඩේ එකලාසයක් කරගත්ත ඔන්න. 

පහුවදා සෙනසුරාද...අටට වැඩට ඉන්ඩ එපාය..මේ දවස්වල ට්‍රැෆික් එක බොහොම දරුණුයි.අපාට්මන්ට් එකේ ඉඳල ඔෆිස් එකට තියෙන කිලෝ මීටර් දෙකක වගෙ දුර යන්ට අඩුම ගණනෙ යනව විනාඩි තිහක්වත්. හතයි විස්සට වගෙ මම බැස්ස පාරට. ඒ එක්කම වගෙ ආව ටැක්සියක්. දැම්ම අත මෙන්න ඩග් ගාල නවත්තාපි මගෙ ඉස්සරහම.. මම නැඟල ඉඳගත්ත. රියදුරු වයස තිහක වගෙ කලු උස මහත මනුස්සයෙක්. බොහෝවිට මේ ටැක්සි රියදුරන් එක්කො පිලිපීනුවන් නැත්තම් කේරළයින්. 

" මුන්ටාසා ........." 

මම යායුතු තැන කිව්ව.. දැන් ටැක්සිය යනව. ඉස්සරහ සිග්නල් එකේ රතු එලිය... ටැක්සිය නැවැත්තුව.තුෂ්නිම්භූත වෙල වගෙ නැත්තං ගල් ගිල්ලවගෙ ඉස්සරහ බලාගෙන යන තැනකට ගිහිල්ල සල්ලි දීල බහින වැඩේට මම කොහොමත් හරිම අකමැතියි. කතාකරන්ට අකමැත්තක් නැති රියදුරෙක් නම් ඒ වගේම අපි දෙන්නටම වටහාගත හැකි, අදහස් හුවමාරු කරගත හැකි පොදු භාෂාවක් තියේනම් මොනවහරි කතාකරන එකයි මගේ කැමැත්ත.... ඒ වගේම සිරිත. 

රියදුරුගෙ පෙනුම හැඩරුව විදිහට මම පොඩි උපකල්පනයක් කලා.. 

" Are you from India ? " 

" No, I am from Sri Lanka ….You? " 

" I am also from Sri Lanka…" 

" සිංහල ද? " 

" ඔව්,ඔව්...මම සිංහල " 

" බොස් කොහෙද ලංකාවෙ? " 

" මම මේ …..පේරාදෙණියෙ.....ඔයා එතකොට? " 

මේ වෙනකොට සිග්නල් ආපහු කොළ පාට. වාහන පේලිය හෙමිහිට ඉස්සරහට ඇදෙන්න පටන්ගත්ත. 

" මම පිළියන්දල…" 

" පිළියන්දල කොහෙද? සුවාරපොල හරියෙ? " 

සුවාරපොල හිටිය මගෙ හොඳ යාලුවෙක්. එහෙ හත් අට පාරක් ගිහිල්ල මම ඒ හරිය ටිකක් විතර දන්නව. 

" නෑ බොස් මම මඩපාත…" 

" ආ..එහෙමද? දැං කොච්චර කල්ද මෙහෙ ඇවිල්ල…" 

" මාස හතරක් වෙනව...." 

බොස් යන ඔහුගේ ආමන්ත්‍රණය සරල සිංහලෙන් පැවසුවහොත් බජාර් එකේ භාෂාවයි. බජාර් යන වදනේ මූලාශ්‍රය වන්නෙ ඉංගිරිසි බසින් කඩ වීදිය හැඳින්වෙන Bazaar යන්නයි.අරාබි බසින් ඊට සමාන වදන වන්නෙ Souq යන්නයි. 

වාහන තදබදය මදක් ඉහිල් වී මෝටර් රිය සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. 

" ලාබද මේ වැඩේ?..." 

මම එහෙම ඇහුවෙ මෙහෙ කුලීරථ රියදුරෙක් දිනපතා අනිවාර්ය මුදලක් කුලීරථ සමාගමට ගෙවන්ට ඕන කියල දැනගෙන හිටපු හින්දයි. ෂිෆ්ට් එක කොයි වෙලාවෙද සහ වාහනේ වර්ගය අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට සාමාන්‍යයෙන් ඒ මුදල රියාල් 220 ක් වගෙ. දල වශයෙන් රුපියල් 7900/= වගෙ වෙනව. පැය දහයක ෂිෆ්ට් එහෙකදි ඒ මුදල හොයාගන්න එක අසීරු වැඩක් නෙවෙයි. ඒත් පහුගිය මාස දෙක තුන තිස්සෙ හැමතැනම පාරවල්වල ඉදිකිරීම් පටන්ගෙන නිසා වාහන තදබදය ඉතාම දරුණුයි. ඊට අමතරව හතු පිපෙනව නැත්තං වැස්සට පස්සෙ මෙරු මතුවෙනව වගෙ පහුගිය කාලෙ ටැක්සි සමාගම් බිහිවීම නිසා තරඟකාරිත්වය බොහොම වැඩියි. අලි මදිවට හරක් කිව්ව වගෙ පෞද්ගලික රියදුරනුත් ඔය අස්සෙ ඉන්නව වැලි කැට ගාණට. ඔය හින්ද ටැක්සි රියදුරෝ කීයක් හරි ඉතුරුකරගන්නෙ බොහොම අමාරුවෙං... 

අලි මදිවට හරක් කියල කියන්නෙ මොකෝ දන්නවද? හේන් ගොවිතැන් කරද්දි වටේට ගහනව දඬු වැට කියල එකක්. අඩි තුනක වගෙ පරතරෙන් හේන වටේටම වට අඩියෙ වගෙ කඳන් දෙපෙලක් හිටවනව වලවල් කපල. හේනට කැළේ කපද්දි බිම දාපු ගස් තමයි ඕකට ගන්නෙ. ඔය කොට දෙපේළිය වැල් වලින් තද කරල එකකට එකක් බඳිනව නොහෙල්ලෙන්ට. ඊට පස්සෙ ඒ දෙපෙළ අතරට පුරවනව හේන කපද්දි බිම දාපු වට ප්‍රමාණය අඩු දඬු. ඔය දඬු වැට බොහොම ශක්තිමත්. ඔහොම කලේ නැත්තං අල්ලිස් උන්නැහැ එක්ක හේන් කෙරුවාව කොරල හමාරයි. 

ඒත් ඔහොම ශක්තිමත්ව දඬුවැට ගැහුවට ඕකෙ දුර්වල තැනක් බලල කොට ගලවල අලි කඩාවදිනව හේනට අවස්ථාවක් ලැබුණු ගමං. ඒ ඇවිල්ල හිතූ මනාපෙ වගාව අසානාසි කරල ගිහාම ( අසානාසි කරනවා = විනාශ කරනවා ) අර දඬු වැටේ කඩාඩුවෙං ඒ එක්කම රිංගනව හරක්. එවුං ඇවිල්ල අලි ඉතුරු කරල ගියපු හරියට වැඩ සිද්ද කරනව. අලි මදිවට හරක් කතාව හැදිල තියෙන්නෙ ඔන්න ඔහොමයි. 

ඉතිං " ලාබද මේ වැඩේ? " කියල මම රියදුරාගෙන් ඇහුවනෙ. ආ..පොඩි කොටසක් මඟ ඇරුන. මිනිහ " මම පිළියන්දල …" කිව්වම මම ඊළඟට ඇහුවෙ " මොකක්ද නම? " කියල 

" ඩික්සන් ….." 

" ඉතිං ඩික්සන් ලාබයක් තියනවද මේ වැඩේ? "…...මම ඇහුව. 

" මොන ලාබයක්ද බොස්. යන්තං කොම්පැණියට දෙන ගානයි කෑමටයි කාමරේටයි යන වියදමයි ඇරියම පොඩි ගාණක් තමයි ඉතුරු වෙන්නෙ බොස්..දෙදාහක් වගෙ තමයි…" 

දෙදාහ කියන්නෙ රුපියල් 72,000 / = වගෙ. 

" ලංකාවෙත් මේ ජොබ් එකමද කලේ?.." 

ඉස්සරහ හතරමං හන්දියෙ ට්‍රැෆික් බ්ලොක් එකක්. කොයි පැත්තටවත් යාගන්ට බැරුව වාහන ඔක්කොම එකා පස් සෙ එකා හිරවෙල නැවතිල ඉන්නව. 

" නෑ..මම එළවලු බිස්නස් කලේ..පොඩි කඩයක් තිබ්බ පිළියන්දල ටවුමෙ..ඉතිං ඒක අතෑරල මෙහෙ ආවෙ." 

" ඒ මොකෝ පාඩු උනාද? " 

ප්‍රශ්නෙ ඇහුවට පස්සෙ තමයි මට හිතුනෙ මෝඩ ප්‍රශ්නයක් ඇහුවෙ කියල. පාඩු නොවුනනං ඒක දාල මේ කාන්තාරෙට එයිද? 

" ඔව් බොස්..දැං සිල්ලර බිස්නස් කරන එක ලේසි නෑ..මිනිස්සු ගාව සල්ලි නෑ කාල ඇඳල ඉන්ට...එලවලු දෙසීය පනහ තමයි උපරිම ගන්නෙ. අනික ප්‍රාදේශීය සභාවෙ ටැක්ස් ගැහිල්ල. ඒක අස්සෙ කප්පං දෙන්ටත් ඕන. ඔය ඔක්කොමට දුන්නම කන්ට නෙවෙයි ලෙවකන්ටයි වෙන්නෙ. ඊට පස්සෙ බැරිම තැන දාල මෙහෙ ආව බොස්....යුද්දෙ ඉවර උනාම අපි හිතුව...ෂික් කොහෙද?...." 

" ඔතන ඉස්සරහින් වමට…." 

මම වමතින් ඩික්සන්ගේ උරහිසට තට්ටු කරමින් පැවසුවෙමි. මගේ කාර්යාලය පෙනෙන තෙක් මානයට අපි ළඟාවී සිටියෙමු. 

" ඔතන ඔය නිල්පාට බිල්ඩිං එක ඉස්සරහ නවත්තන්න…" මම බඳ පටියෙහි ගාංචුව පන්නමින් පැවසුවෙමි. 

" ආ ඒක නෙවෙයි මට අමතක උනානෙ දන්නවද මෛත්‍රීපාල සිරිසේන එනවලුනෙ ජනාධිපති ඡන්දෙට.." 

" මොකක්? ඇයි බොස් එයා ඔය මොකක්ද ඇමති කෙනෙක් නේද? ඒ කියන්නෙ මහින්ද මහත්තය මේ පාර එන්නෙ නැතිලුද? " 

ඩික්සන් එකපාරට මගෙ පැත්තට ඔලුව විතරක් නෙවෙයි කඳත් එක්ක හරවල ඇහුව.. 

" නෑ..නෑ..මහින්ද මහත්තය තමයි ආණ්ඩුවෙන් එන්නෙ. මෛත්‍රීපාල එන්නෙ විරුද්ධ පක්ෂෙ පොදු අපේක්ෂකය හැටියට. " 

" ඒ කියන්නෙ මහින්ද මහත්තයට විරුද්ධව?

" ඔව්..එහෙම තමයි.." 

" හෙණ ගහනව බොස්..කෙළෙහි ගුණයක් දන්නෙ නැති බල්ලො..ඔය මිනිහට නං හොඳක් වෙන්නෙ නෑ." 

ඩික්සන් එක දිහට කියවාගෙන ගියේය. නියමිත ගමන් ගාස්තුව රියාල් දහයක් වුවද මම ඔහුට රියාල් විස්සක් . දිගු කලේ විසල් කොටගත් දෑසින් ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටිමිනි. 

" තැන්කියු බොස්....තැන්කියු…" ඔහු මදෙස බලා සිනාසෙමින් මුදල් නෝට්ටු දෙක සුරතට ගත්තේය. 

" මේ ඩික්සන් මම මේ පොඩි කාරණයක් අහන්ට කියල….." යළිදු වරක් ඔහුගේ මුහුණ දෙස එක එල්ලි බලමින් මම විමසුවෙමි. 

" ඔව් බොස් මොකද්ද? " 

මම වහා තීරණයකට එළඹියෙමි. 

" නෑ එක්කොත් ඕන නෑ..ආය හම්බ උන දවසක මම අහන්නංකො." මෝටර් රියෙන් බසිමින් මම පැවසුවෙමි. 

" ඕකේ බොස් අපි ගියා එහෙනං. " 

මට සුරත ඔසවා ආචාර කොට ඔහු කෙමෙන් ඉදිරියට ඇදීයන රියපෙළ සමඟ එක්විය. දිවාආහාරය බහාලූ ප්ලාස්ටික් පෙට්ටිය ද අතැතිව මම එතැන එකම ඉරියව්වෙන් ඔහු නොපෙනී යන දෙස බලා සිටියෙමි. 

තම රටවැසියන්හට සාධාරණ ව්‍යාපාරයක යෙදී යම් මුදලක් උපයාගෙන තම අඹුදරුවන් හා සතුටින් කල්ගෙවිය හැකි පරිසරයක් වාතාවරණයක් සකස්කරදීම පාලකයකු සතු වගකීමක් නොවන්නේද? 

ඒ වගකීම පැහැර හැරි පාලකයකුට නැවත වරක් රටේ පාලන බලය ඉල්ලීමට අයිතියක් ඇද්ද? 

ඉහත ප්‍රශ්ණ ඉතා වැදගත් සහ තීරණාත්මක බව සැබෑ වුවද මසිතෙහි කැකෑරෙමින් රැව් පිළිරැව් දුන්නේ ඒ කිසිවක් නොව ඊටත් වඩා වැදගත් වෙනත් ප්‍රශ්ණයකි. එනම් රටක යහ පාලනය සහ මූලික මිනිස් අයිතිවාසිකම් බිඳ වැටීමට එහි විධායක පාලකයා සාකල්‍යයෙන් සහ එක පැහැර වග කිවයුතුබව ඒ යහපාලනය බිඳ වැටීමෙන් පීඩා විඳින සහ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවීමෙන් ගැහැටට පත් මිනිසුන්ම වටහා ගන්නේ කවදාද? 

Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. - Martin Sheen 

මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි - මාටින් ෂීන් 

දැන් මාර පරාජය බිතු සිතුවමේ මහා අර්බුදය... .... 

පහුගිය පෝස්ට් එකේ අර තුවක්කුවක් අතිං ගත්තු යස්සයෙක්ගෙ බිතු සිතුවමක් කරගම්පිටිය විහාරෙ තියනවය කියල ජනූ කියපු කතාවක් මම කියල පොඩි අලකලංචියක් උනා නෙව. මම එහෙම කිව්වට ඒ කතාව සාකල්‍යයෙන්ම ඇත්ත. එහෙම බිතු සිතුවමක් යස අගේට තියනව කරගම්පිටියෙ සුබෝධාරාමෙ...ජානුස් ගොයිය මට ඒ බිතු සිතුවමේ පෝටොස් එකක් එවල තිබ්බ. මේ පල්ලෙහ තියෙන්නෙ ඒං ඒක...


31 comments:

  1. //ජනතාව කැමැත්තෙන්ම ..........................දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. //

    අපිට ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? තමන් පත් කරගන්නා ජනතා නියෝජිතයන් තමන්ට පුරුදු රජවරු හා රජුන් විසින් පත් කරන නිලමෙවරු, රටේ මහත්තයා, කෝරාල, ආරච්චි ආදීන්ට වෙනස් වියයුතු බව තේරුම් ගැනීමට තරම් දියුණු නොවීම?
    එලෙස වැරදි විදිහට ජනතා සූදානමක් හෝ සුදුසුකමක් නොමැතිව පටන්ගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ගොඩ නොනැගීම?

    (රවි මං දැන් රයිගම්ගේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක මෙතන පේස්ට්කලේ මගේ කම්මැලිකම, එය මෙයට අදාලයයි සිතීම හා රවිගේ අදහස් දැනගැනීම යන කාරණා නිසාය. )

    In SL in mid-Dec?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      / අපිට ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? /

      ඔබ පවසන කරුණට මමත් එකඟයි. ලාංකික ජනතාව මත බ්‍රිතාන්‍යයින් බලෙන් පැටවූ මහජන ඡන්ද ක්‍රමය ඔවුන්ට ඔරොත්තු නොදෙන්නක්.එසේම ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය යනු ඔවුන්ට වටහාගත නොහැක්කක්. යහපාලනය, වගවීම,අදහස් ප්‍රකාශනයේ අයිතිය..මේ සංකල්ප ලාංකික පොදු ජනයාට ආගන්තුකයි.එසේත් නැත්නම් එම සංකල්ප වලට දියයුතු ප්‍රමුඛස්ථානය ඔවුන් දෙන්නේ නෑ.

      ජනාධිපතිම කියපු ෆයිල් කතාව බටහිර රටක වගේ නම් අනිවාර්යයෙන් තනතුර හැරදා ගෙදර යාමට තුඩුදෙන මට්ටමේ බරපතල කාරණයක්. ඒත් මෙහෙ වෙන්නෙ මොකක්ද? ආ..ඔය කියන්නෙ..ලොක්ක ගාව ෆයිල් ඔක්කොම තියනව.බලමුකො මෛත්‍රීට වෙන වැඩේ...අන්න එහෙම හිතල අපි පොඩි ආතල් එකක් ගන්නව. දේසපාලුවො කිසිම හිරිකිතයක් බයක් සැකක් නැතුව මේ වගෙ අහස පොලව නුහූලන කතා කියන්නෙ ඒ බව හොඳාකාරවම දන්න නිසයි.

      තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැල උද්ඝෝෂණය කිරීම කියන්නෙ අපිට හුරුපුරුදු දේවල් නෙවෙයි. අපේ තියනව මම හිතන්නෙ Laid back Approach එකක් ඕනම ප්‍රශ්නයක් දිහා බලන්ට . එහෙමත් නැත්තං Happy Go Lucky Attitude එකක්.මේ ගැන කල්පනා කරනකොට මට වෙලාවකට හිතෙන දෙයක් තමයි බුදු දහමෙ ආභාෂයත් මේ අපේ ආකල්ප වලට හේතු උනාදෝ කියල. ඒ කියන්නෙ උපේක්ෂාව, ශාන්තිය, සියළු සතුනට මෛත්‍රිය පැතිරවීම..ඒ එක්කම පින් පව් පිළිබඳ විශ්වාසය. අපිට මේ ලෝකෙ ලැබෙන්නෙ අපි පසුගිය ආත්ම භාවයන්හි සිදුකල කුසල් අනුව ලැබිය යුතු දේය, ඊට වඩා දෙයක් නොලැබෙන්නෙ පෙර කරුමය අනුවය කියන ආකල්පය.

      / ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? /

      මෙතනත් ඔබ හා එකඟයි. බටහිර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් වසර සිය ගණනක් තිස්සේ වර්ධනය වූවක්. එහෙම උනහම ඒ ආයතන ඉතාම ශක්තිමත් පදනමක් මත පිහිටනව පමණක් නෙවෙයි ජනතාවගෙ ආකල්ප වුනත් ඒ ආයතනයන්හි ගරුත්වය ආරක්ෂාකරගැනීම වෙනුවෙන් ඒ සංකල්පයන් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරන්නේනම් වහා ඒ ආරක්ෂා කරගැනීමේ අභිප්‍රායක් පෙරදැරිකරගෙන වර්ධනය වෙනවා. අවාසනාවකට අපේ එහෙම දෙයක් දකින්නට වත් නෑ. අපි තාම එහෙම පරිණත තත්වයකට පත්වෙලා නෑ. අවාසනාවට ඇත්ත කතාවක්

      මේ විෂයට අදාල නොවුනත් ප්‍රා මට හිතෙනව වසර අසූවක් වගෙ කෙටිකාලයක් තුල කමියුනිස්ට් ක්‍රමය බිඳ වැටීමටත් මේ ක්‍රමිකව විකාශනය නොවීම බලපෑවයි කියල.මාක්ස්වාදී න්‍යායන්හි තියෙන්නෙ කමියුනිස්ට් රාජ්‍යයක් බිහිවෙන්නෙ ඉතා වේගයෙන් කාර්මීකරණය වන එංගලන්තය, ජර්මනිය වගෙ රටවල කම්කරු පංතියෙ මූලිකත්වයෙන් කියල.මාක්ස් කිව්වය කියල මම කොහෙද දැක්ක සමාජවාදී රාජ්‍යයක් බිහිවීමට වසර සියයක් පමණ ගතවේයයි මාක්ස් විශ්වාස කලාය කියල. ඒ කියන්නෙ මාක්ස්ගෙ න්‍යාය අනුව 1960 විතර.

      ඒත් පලමුවෙන්ම සමාජවාදී රාජ්‍යයක් පිහිටවුනේ රුසියාවෙ. රුසියාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති රටක්. මාක්ස්ගෙ න්‍යාය අනුව ලෙනින් රුසියාවෙ සමාජවාදී රාජ්‍යයක් පිහිටවූවත් ඊට අවශ්‍ය මූලික පදනම ඇතිවෙලා තිබුනෙ නෑ වෙන්න පුලුවන්. ඉතාම කෙටි කලක් තුල සෝවියට් දේශයෙ බිඳ වැටීමට වෙනත් නොයෙක් හේතු අතර මේ හේතුවත් බලපාන්ට ඇති කියල මට හිතෙනව.

      Delete
  2. මොනවටද ආයේ ඉතින් පස්සට අහන්න ඉතුරුකලේ ඒ මනුස්සයට... හෙහ්...

    අහල දාන්න එපෑ පුරස්නේ.... ඇහුව නම් බිම දාගෙන ගහන්නේ ඒ 'කෙළෙහිගුණ දන්නා' ටැක්සි රියදුරා. හෙහ්... වෙලාවට ඌ රටේ නැත්තේ කතිර යුද්දේ දවසට...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      හෙහ්,හෙහ්, කියලා වැඩක් නෑ බං..පාරෙම පෙරලගෙන කෙලීද කියන්ටත් බෑ තමයි පොර මට...ඒ තරමට ආවේගශීලීවනෙ පොර කතා කලේ. මම නිකං කරකවල අතෑරිය වගෙ උනා...

      Delete
    2. //වෙලාවට ඌ රටේ නැත්තේ කතිර යුද්දේ දවසට//
      agree...:D

      Delete
    3. උපේක්ෂා සහ මනෝජ්,

      / වෙලාවට ඌ රටේ නැත්තේ කතිර යුද්දේ දවසට /

      ඕකා ඒ වෙලාවෙ දාපු සද්දෙ හැටියට නම් බොලල්ලා රස්සාවත් බල්ලට දාල යයිද දන්නෙත් නෑ මරාට චන්දෙ දාන්ට...හෙහ්,හෙහ්,

      Delete
    4. අනේ අනේ රවියෝ.... මම මේ අර මාර පරාජය චිත්‍රෙ ලං කරලා බැලුවේ මේ දැන්.... අම්මප උඹලගේ ඔලුවේ තියෙන එව්වා නේ පේන්නේ....
      තුවක්කුවක් නෙවෙයි යකුනේ ඒ තියෙන්නේ අර ගුරුලාට පිටිපස්සේ ඉන්න (දැකුම්) කළු හාදයාගේ ( සොලි... මාර හාදයාගේ... අඩේ රටේ ලොක්කගේ නම වගේ වෙන්නේ කොහොමද බොලේ... හැක් ) අත !!! එකම අවුල එතන ඇඳලා තියෙන කළුපාට ඉරෙන් වෙනස් බෙදීමක් එනවා ඒ අතරේ. කොහෙද ළදරු කාලේ චිත්‍ර ගැන දන්නවය?

      මේකත් හරියට අර ඉස්කෝලෙන් තමුන් කවුරු වෙන්නද කැමති කියල ඇඳගෙන එන්න කිව්වම පොඩි එකෙක් ඇඳගෙන ගියපු චිත්‍රෙ දැකල, ගුරුතුමී කලන්තේ දාල පස්සේ අම්මට මේ පින්තුරේ ගැන නිදහසට කරුණු කියන්න වුන සිද්ධිය වගේ.. හෙක්...

      මේ තියෙන්නේ ළමය ඇඳපු චිත්‍රෙ....
      [im]http://i60.tinypic.com/2dgnyo4.jpg[/im]

      (Enable images to view this)

      ඔන්න ඒකට අම්ම එවපු නිදහසට කරුණු ලියුම....


      Dear Mrs. Jones,

      I wish to clarify that I am not now, nor have I ever been, an exotic dancer.

      I work at Home Depot and I told my daughter how hectic it was last week before the blizzard hit. I told her we sold out every single shovel we had, and then I found one more in the back room, and that several people were fighting over who would get it. Her picture doesn't show me dancing around a pole. It's supposed to depict me selling the last snow shovel we had at Home Depot.

      From now on I will remember to check her homework more thoroughly before she turns it in.

      Sincerely,
      Mrs. Smith

      Delete
  3. හා හා මේ හවස් වල කියවපු හොඳම කතාව.

    ඒක නෙමෙයි රවියෝ දැන් අර ඇෆ්ගන් කඩේට යන පාරත් කියලම හිටියා නම්...

    ReplyDelete
    Replies
    1. බූරු,

      අම්මට උඩු රංගි..කොහෙද බොල ගිහිල්ල හිටියෙ?....හෙහ්,හෙහ්, තැන්කියු හොඳේ...

      ඇත්තටම ඇෆ්ගන් බ්‍රදර්ස් එකේ කෑම නම් ටොප්. උඹ වරෙංකො මම එක්ක යන්නං..එරමිණියා ගොතාගෙන සිදුහත් තවුසා අර ඇසතු රුක මුල වැඩ උන්න වගෙ ඉඳල වලඳන්ටයි තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  4. ඔය තුවක්කුව තියෙන මාර පරාජය චිත්‍රය ගැන අපිට ඕ ලෙවල් කාලේදී කියල දුන්නා.
    පන්සලේ නම මට හරියටම මතක නැහැ. කැළණිය විහාරය වගේ මතකෙකුත් තියෙනවා...
    ඒත් සුවර් නැහැ.
    සමහර විට කරගම්පිටිය පන්සල ගැන කියපු දේ ඔළුව මඥ්ඥං වෙච්ච වෙලාවක කැළණිය වගේ මතක හිටියද දන්නේ නැහැ...

    අර රියදුරු මහත්තයාගෙන් අහන්න හදපු දේ අපිට දැනගන්න මෙතන පළකලොත් නරකද

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      / අර රියදුරු මහත්තයාගෙන් අහන්න හදපු දේ අපිට දැනගන්න මෙතන පළකලොත් නරකද /

      ඈ..බොල ******** පුතෝ..තෝම නෙවෙයිද දැන් විනාඩි පහකට කලිං මා එක්කම කිව්වෙ කරපු එලවළු බිස්නස් එක පාඩුයි, ටැක්ස් එතනිං ගිහාම බදුගෙව්වම ඉතුරුවෙන සොච්චමක් නැතය. ඒ ඔක්කෝටම වැඩිය මිනිස්සුන්ට බඩු ගන්ට සල්ලි නැතිය. ඒ හින්ද ඒ බිස්නස් අතෑරල මෙහෙ ආවය කියල. එතකොට මට කියාපං ******යො, උඹලට නිදහසේ බිස්නස් එකක් කරගෙන කීයක් හරි හොයාගෙන දෙයියනේ කියල අඹු දරුවො එක්ක සැනසීමෙන් ඉන්ට ඉඩ කඩ සලසල දෙන්ට ඕන රටේ ජනාධිපතිය කියල කියන අර ***** ****** නෙවෙයිනම් මමද?

      ඒ මිනිහ ඒක නොකර පොඩි එවුංට හංකිති කව කව රට වටේ ගිහාම හරියනවද? යුද්දෙ තියන කාලෙ කිව්වෙ යුද්දෙට අච්චර යනව මෙච්චර යනව කියල නේද? දැං යුද්දෙ ඉවරවෙලා අවුරුදු පහකට වැඩියි ඒ අතිං මොනවද ඒ කාලෙට වඩා වෙලා තියන වෙනස? එහෙම මිනිහෙකුට ආයමත් චන්දෙ ඉල්ලන්ට මොකක්ද තියන අයිතිය? එතකොට එහෙම මිනිහෙක් එක්ක එගේන්ස්ට් එකට එන්ට කොන්ද පණ තිබ්බ මනුස්සයෙක්ට හෙණ ගහන්ට කියල තෝ කියන්නෙ කටිංද නැත්තං වෙන කොහෙංවත්ද?

      Delete
    2. රවී ලොක්කා, උඹ ඕක අරූට කිව්වා කියල හිතමු... ඊට පස්සේ ඌ උඹේ දිහා බලාගෙන හිටියි කළින් උඹ ඌ දිහා බලාගෙන හිටපු විදිහටම.

      රටේ තියෙන බදු ප්‍රශ්න, බඩු මිළ වැඩිකම සහ තියෙන නොයෙකුත් දේවල් මහින්ද නිසා පමණක් වෙනවා කියල මිනිස්සු හිතන්නේ නැහැ...
      ඒක එහෙම උනත් නැතත් ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. වෙන දෙයක් වෙනවනම් ඒ සියළුම දේ ඉන්ඩිරෙක්ට්, ඒ නිසා මිනිස්සු ඒ ගැන බ්ලයින්ඩ්.


      ඒ වගේම මහින්දයි, කළින් my3 ත් ඇතුළුව ආණ්ඩුවේ කවුරුවත් මිනිස්සු වෙනුවෙන් අත්‍යවශ්‍යම භාණ්ඩ වල මිළ අඩු කරන්න (හාල් ඇතුළුව... :-), මිනිහෙකුට නිදහසේ බිස්නස් එකක් කරන්න ඉඩ ලබා දෙන්න හෝ මිනිස්සු වෙනුවෙන් කිසි හඬක් මතු කලේ නැහැ.
      අඩු ගානේ පාර්ලිමේන්තුවේ සැළකිය යුතු හඬක් නැගුනේ නැහැ.

      මොනවහරි අතපල්ලෙන් වැටෙන දෙයක් හරි මිනිස්සුන්ට ලැබුනේ ලොක්ක නිසා කියන මතය තමයි මිනිස්සු ගාව තියෙන්නේ.

      මිනිහෙක් තමන් එක්ක එකට කාබීගෙන හිටපු තව යාළුවෙකුට පස්ස හරවද්දී අපේ මිනිස්සු හිතනවා ඒක වැරැද්දක් කියලා. සමහර විට අර පස්ස හරවන මිනිහගේ පැත්තෙන් බැලුවම ඒක වැරද්දක් නොවෙන්න පුළුවන්...

      නමුත් බහුතරයක් මිනිස්සු බලන්නේ ඒ කෝණයෙන්... ඒ වගේම දෙයක් වෙන්න ඇති අර රියදුරු මහත්තයට වෙන්න ඇත්තෙත්...

      අර රියදුරු මහතාට my3 කරපු දේ කෙළින්ම ජනාධිපතිට මුණට මුණ කරපු එදිරිවාදිකමක් වගේ පේනවා ඇති.
      ඒ නිසා වෙන්න ඕනෙ ඌ හෙණ ඉල්ලන්නේ... ;-)

      Delete
    3. ලොකු පුතා,

      කතාව ඇත්ත, ඔබ සමඟ එකඟයි. ඒ වගේම මේ වෙලාවෙ අපේ රටේ දේශපාලනය කරන්ට වෙන්නෙ මේ ජනතා සිතුම් පැතුම් හඳුනාගෙන ඊට අනුගත වෙලයි.ඒ එක්කම ඉන් එහාට පැතිරුණු පුලුල් දේශපාලන සංවාදයක් කරන්ට අවශ්‍යයයි එවන් දෙයකට සූදානම් ජනතාව එක්ක...

      Delete
  5. අර කඩේ බත් එක නම් රහ පාටයි ... සෑහෙන දවසක ඉඳල පට්ට රස බුරියනියක් කන්න හිතිලා තියෙනවා .. තාම බැරි වුනා ඒක ඉස්ට කරගන්න ...

    my3 අවුරුදු 10ක් බලයේ ඉන්නකොට මහින්දට වැඩිය වෙනස් වෙයි කියල හිතන්න තියෙන සාක්ෂි මොනවාද .. මම මේ අවංකවම නොදන්නා කමට අහන්නේ .. මහින්ද කරගෙන යන සංවර්ධන වැඩ (හොර වැඩ එක්ක)එයා දිගටම කරයි කියල හිතනවද ?

    අර ප්‍රා. ජෙ ගේ කතාව හරි කියල හිතල බැලුවොත් ආයේ මේ වෙන්නේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් වෙන්න බැරි ද ? (ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ කියන්නේ දෙකම සැර නිසා ද .. හෙහ් හෙහ් )

    තුවක්කුව එදා හෙළ යකුන් විසින් නිර්මාණය කරලා මාර පරාජයටත් යොදා ගගන්න ගිහින් කෙල වුනාට පස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවෝ/ බමුණෝ පුස්කොල ගිනිතියල අපේ ඒ පෞරාණික දැනුම බටහිරට ගෙන ගියා කියන්න හොඳම සාක්ෂියක් අර පින්තුරේ තියෙනවා .. මි.ජයා තාම දැකල නැද්ද කොහෙද .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. Pathum,

      / අර කඩේ බත් එක නම් රහ පාටයි /

      මේ මොනව කියනවද මල්ලි?..දිවිය ලෝකෙ තමයි...:)

      / අර ප්‍රා. ජෙ ගේ කතාව හරි කියල හිතල බැලුවොත් ආයේ මේ වෙන්නේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් වෙන්න බැරි ද ? /

      එහෙම වෙන්නත් පුලුවන් මල්ලි..අපි කොහොමද මනුස්සයෙක් ගැන සීයට සීයක් විශ්වාසය තියන්නෙ? ඒත් මෛත්‍රී මොකක් හරි වෙනසක් කරයි, කියල අඩුගනනෙ බලාපොරොත්තුවක් හරි තියාගන්ට පුළුවන් එහෙම නේද? ඒත් මේ ඉන්න මිනිහම ආයම ආවොත් නෝ හෝප් නේද? මිනිහ පලවෙනි දෙසැරෙටත් වඩා අන්ත වෙයි කියල නේද හිතන්ට තියෙන්නෙ?

      උග්‍ර ප්‍රශ්නයක් වෙලාවෙදි පස්මහ බැලුම් බල බල ඉන්ට වෙලාවක් නෑ පැතුම්. පිස්සු බල්ලෙක් පන්නං එනව කියල හිතමු දත් විළිස්සගෙන. බේරෙන්ට තියන එකම ක්‍රමය ඉස්සරහ තියන වළකට පනින එක. වලේ නයි පොළොංගු ඉන්නවද? කොටි වළස්සු ඉන්නවද කියල කල්පනා කර කර ඉන්ට ගියොත් වෙන්නෙ පිස්සු බල්ල කන එක. ඒ කියන්නෙ අනිවාර්ය මරණය. වලේ අර වගෙ සත්තු ඉන්ටත් පුලුවන් ඒ වගෙ අන්තරායක් මොකවත්ම නොතියෙන්නත් පුලුවන්. අපිට තියෙන්නෙ Hope For The Best කියල පනින එක....නැද්ද හොඳයි?

      Delete
    2. රවි
      මම දැක්කා මේ පිස්සු බලු කතාව කියල දෙන්න උත්සාහයක් අරන් තිබුන "සංවේදී"ට. මම හිතන්නෙ ඔයා කරල තියන ලොකුම මෝඩකමක් එතුමාට මේ වගෙ සිල්ලර දේවල් පැහැදිලි කරල දෙන්න උත්සාහ ගත්ත එක.එතුමාගෙ බුද්ධිය අගය කරපු හැටි යුනි වලින් දාල ඒවට නඩු දාන්න කියල කියල තිබුනෙ.උන්නැහැ දන්නෙ නෑ ඔය අගය කරල තියෙන්නෙ එයාගෙ උගත්කම මිසක් බුද්ධිමත් කම නෙමෙයි කියල.ඔය වගෙ අයට කොහොම මොනව කිව්වත් පිලිගන්න කැමති නෑ.ඉන්නෙ තමන් මවා ගත්ත ලෝකවල.එහෙම අයගෙන් ඉගෙන ගන්න යුනිවල ලම්යින්ට දෙයියන්ගෙම පිහිටයි. එයා දන්නෙ නෑ මහින්ද මාමවත් නාලන්දෙන් දොට්ට දාල තියන කතාව.

      Delete
    3. හෙහ් හෙහ් සාමාන්යෙන් නම් මම කරන්නේ පිස්සු බල්ලන්ට ඕනේ *කක් කරගන්න කියල මගින් හැරිලා මගේ ගමන යන එක ... දැන් දැන් මේ වයසේ වරද්දටද මන්ද මේ පිස්සු බල්ලෝ කරන වැඩ ගැන ඕපාදුප හොයන්න පුරුදු වෙලා ... සැක් විතරක් ..

      "මෛත්‍රී මොකක් හරි වෙනසක් කරයි, කියල අඩුගනනෙ බලාපොරොත්තුවක් හරි තියාගන්ට පුළුවන් එහෙම නේද?" ඔය බලාපොරොත්තුව මහින්ද ගැනත් තිබ්බ නිසානේ ඒ දවස් වල මිනිහට දුන්නේ ...

      Politicians and diapers must be changed often, and for the same reason. ඔන්න ඔය කතාව හරි කියල හිතල දුන්නොත් මිසක් මම නම් හිතන්නේ නෑ my3 උන්නැහෙත් මහ දෙයක් කරයි කියල නම් ... will see කො ...

      Delete
    4. පැතුම් සමහරවිට මේ සටහන දකින්න ඇති.....

      වෙනසකට බය ඇයි?

      මේ පාර මැතිවරණ තීන්දුව සංස්කෘතික තීන්දුවක් වෙන තැන අතිශය සරලයි. ඍජුයි. වෛරයද, මෛත‍්‍රියද? සංස්කෘතික මායිම තියෙන්නෙ එතන. වෙනස එතන.

      මෙච්චර කාලයක් අපි ජීවත් වුණේ වෛරයේ කලාපය ඇතුලෙ. අපි අපේම රටේ ජාතීන් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. දෙමළා කොයි වෙලාවෙ අපිට ගහයිද කියල නොසන්සිඳෙන බයකින් ජීවත් වෙන්න අපි තෝරගෙන තිබුණ. තාමත් මහින්ද කියන්නෙ ආණ්ඩුව පෙරළුණොත් කොටි ගහයි කියල. අපි අපේම රටේ ආගම් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. මුස්ලිම් ජාතිය වැඩිවෙනවා සිංහල ජාතිය වඳවෙනවා කියල අපි වෛර කරමින් ජීවත් වුණා. අපි ලෝකෙ අනිත් රටවල් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. කොයි වෙලාවක විජාතික කුමන්ත‍්‍රණ එනවද කියල තේරුමක් නැති සැකයකින් අපි තැවි තැවී පැහි පැහී හිටියා.

      මේක මං මුලින්ම දැකලා තිබුණෙ අපේ ආච්චිගෙන්. කිසිම හේතුවක් නැතුව එලියෙ මිනිස්සු බලන් ඉන්නෙ අපිට හිනාවෙන්න කියල භීතියක් එයාගෙ හිතේ තිබුණ. මං හිතුවෙ වයස හින්ද වෙන්නැති කියල. ඒත් ආච්චිගේ භීතිය රටක පාලනය දක්වා වැඩෙන්න පුළුවන් කියල මං තේරුම් ගත්තෙ ලොකු වෙලා. අපි ජනතාවක් විදිහට ජීවත් වෙන්නෙ ආච්චිලාගෙ ඔලූගෙඩි ඇතුලෙ.

      මේ සීමාව වෙනුවට ලෝකයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්, අනෙකා බාරගන්න, අනෙකා සමග බෙදාහදාගන්න පුළුවන් තත්වයක් දක්වා අපි විවෘත වෙන්න  ඕන. කැමපේන් භාෂාවෙන් කියනවා නම් අපි මෛත‍්‍රී වෙන්න  ඕන. වෛරයෙන් පනවපු සීමාවන් බිඳින්න පුළුවන් මෛත‍්‍රියෙන් විතරයි.

      මෛත‍්‍රී කියන්නෙ පුද්ගල තෝරාගැනීමක් වෙනුවට සංස්කෘතික තෝරාගැනීමක් වෙන්නෙ ඒ විදිහට. මෛත‍්‍රී කියන්නෙ නමක් වෙනුවට අභ්‍යාසයක් වෙන්නෙ ඒ විදිහට. එතනදි මෛත‍්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා නාම මාත‍්‍රිකයි. ඒ පිටිපස්සෙ තියෙන පොදු සවිඥාණක උවමනාවයි වැදගත් වෙන්නෙ. ඒ උවමනාව හරහා යෝජනා කරන අලූත් දේශපාලනික වෙනසයි වැදගත් වෙන්නෙ. අපි වෙනස බාර ගන්න ලෑස්තිද? සමහර විට අපි අපි විසින්ම දොරේ ඉබ්බා දාගෙන යතුර විසි කරන්න ඉඩ තියෙනවා

      මේ CULT බ්ලොග් එකෙන්

      Delete
    5. Kumara,

      / මම දැක්කා මේ පිස්සු බලු කතාව කියල දෙන්න උත්සාහයක් අරන් තිබුන "සංවේදී"ට. /

      මා මෛත්‍රීට ඡන්දය නොදෙන්නේ ඇයි? මාතෘකාවෙන් සංවේදී ලියල තිබුනු ලිපියට මම ලියූ ප්‍රතිචාරයෙ පළමු ඡේදය මෙහෙමයි.

      / සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ විශ්ව විද්‍යාල වලට තේරෙන්නෙ රටේ ඉතාම බුද්ධිමත් පිරිස කියලයි. ලෝකෙ කොහෙට අදාල උනත් ලංකාවට නම් ඒක අදාල නොවෙන බවට හොඳම සාක්ෂියක් මේ ලිපිය. ඔබ කෘත්‍රිම බුද්ධිය ගැන පර්යේෂණ කරන එකනම් බොහොම හොඳයි....:) /

      කෙනෙකුහෙ හෝ කණ්ඩායමක බුද්ධිමත්භාවය ප්‍රශ්න කෙරෙන ඉහත වර්ගයේ ප්‍රකාශ මම කරන්නෙ නෑ සිරිතක් වශයෙන්. ඇත්තටම ඒ ප්‍රකාශය කිරීමට සිදුවීම පිලිබඳව මම කණගාටු වෙනවා. ඒත් මේ සංවේදී මහත්මයගෙ ලිපිය කියෙව්වම මට එහෙම නොකියම බැරිවුනා. ඒ මොකද කියනවානම් අද අපේ රට තීරණාත්මක සංධිස්ථානයකට සැපත්වෙලා තියෙන්නෙ. ජනවාරි 8 වෙනිද බහුතර ජනතාව එළඹෙන තින්දුව අනුව රටේ අනාගතය කුමන දෙසකට යොමුවන්නේද යන නිශ්චය වෙනු ඇති. මේ අවස්ථාවේ රට වෙනුවෙන් අප කලයුතු වන්නේ මේ දුර්දාන්ත පාලනය පැරදවීම බවට කිසිම සැකයක් තිබිය නොහැක. එතකොට ඒ කාර්යභාරය ඉටුකොට ගත හැක්කේ මෛත්‍රීට ඡන්දය ප්‍රකාශ කීරිමෙන් පමණක් බවද එසේම නිසැකය.

      ඉතින් කරුණු කාරණා එසේ තිබියදී මේ සංවේදී මහතා තමන් මෛත්‍රීට ඡන්දය නොදෙන බවත් එයට හේතුව මෛත්‍රීට ඔහුගේ සහෝදරයින් පාලනය කරගත නොහැකිවීම බවත් කියනවා. රටක අනාගතක තීරණය කෙරෙන බැරෑරුම් අවස්ථාවක ඔහුගේ තීරණයට හේතු වන්නේ එවන් සිල්ලර කාරණයක් නම් ඔහුගෙන් සිප්සතර ලබන සිසුදරුවන්ට දෙවියන්ගේ පිහිට හැර වෙන සරණක් ඇත්ද?

      පිස්සු බල්ලාගේ උපමාව මම ඔහුගේ බ්ලොගයේ පලකලේ එයින්වත් ප්‍රයෝජනයක් වෙතැයි සිතාගෙන.

      Delete
    6. ඒ 'සංවේදී' කොහොමත් 'සංවේදී නායකයෙක්' හොයනවා වෙන්න ඇති. අම්මප මගෙත් කට කහනවට එතැන ගොහින් ලිව්වා මිසක්... %$%^#^%$^

      මටත් හරිම පුදුමයි රවී මේ මිනිස්සු ඉන්න මානසික ලෝක ගැන. පොතක් පතක් කියවන, අන්තර්ජන්ජාලේ සැරිසරන ( FB නම් නෙවෙයි පුතෝ) කෙනෙක්ට කොතරම් තොරතුරු ප්‍රමාණයක්ද ලැබෙන්නේ... ලෝකයේ ආර්ථික තත්වයන් ගැන මොන තරම් දේවල් කියවන්න පුලුවන්ද? මොනවද මුන් මේ ගිරව් වගේ කියවන්නේ? ලංකාව මාරම මාර රටක් කියලනේ මුන් හිතන් ඉන්නේ?

      අම්මප මම මේ ඇහුවමයි ජනාධිපති කෙනෙක් තෝරනකොට ඌට ඉන්න සහෝදරවරු ගණන නිර්නායකයක් විදියට ගන්න පොඩ්ඩක් හරි ඉගෙනගත්ත පොරක්.... හැක්..

      අන්න ඒ පාර ඌ කොමෙන්ටු approve කරන්න පටන් අරන්... හැක්! අනේ ආචාරියා....!

      Delete
  6. සමහරක්ගෙ කතා ඇහුවම නං හිතෙන්නෙ මුන්ට මහින්දත් හොඳ වැඩියි කියල රවි බොස්. මිනිස්සු නොදැනුවත්. සාක්ෂරතාවය 100ට කිට්ටු වුනාට නොදැනුවත්කමින් අංක එක. මූලිකම අවුල තමයි මිනිස්සු එක පැත්තකින් හිතනව ඔය කන්න දීපු අත හපාකෑම වගේ විකාර. තවත් පැත්තකින් ප්‍රශ්න වලට හේතුව දේශපාලනයයි කියල කල්පනා නොකිරීම.
    අර ටික්සිකාරය ගත්තොත් උගේ ප්‍රශ්න ඔක්කෝටම මුල දේශපාලනය. නමුත් ඌට ඒක තේරුම්කරන්නෙ කවුද?
    [මේ අතරෙ නරුමයන් ටිකක් ඉන්නව දේශපාලකයන් කොහොම උනත් අපි හම්බකරගත්තොත් අපිට වගේ මතයක ඉන්න. උන්ට තේරෙන්නෙ නැති දේ තමයි තමුන් වියදම් කරන හැම රුපියල් සීයකින්ම තිහක් හතලිහක් බදු කියල.]

    ReplyDelete
    Replies
    1. //සාක්ෂරතාවය 100ට කිට්ටු වුනාට නොදැනුවත්කමින් අංක එක//
      එකඟයි.

      //අර ටික්සිකාරය ගත්තොත් උගේ ප්‍රශ්න ඔක්කෝටම මුල දේශපාලනය. නමුත් ඌට ඒක තේරුම්කරන්නෙ කවුද?//
      ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඕක.ගොඩක් ප්‍රශ්න වලට මුලික හේතුව දේශපලනය.එත් ගොඩක් උන්ට එක තිත්ත,කතා කරන්න අකමැති මෘතුකාවක්.එකට විවිධ හේතු තියෙන්න පුළුවන්.නමුත් දේශපලනය කියන දේ මගහැර යන්න පුළුවන්මෘතුකාවක් නෙමේ. අර ටැක්සි කාරයත් සම්ප්‍රදායිකව හිතන කෙනෙක් වගේ.ඉතින් එහෙම අයට ඕවා තේරුම් කරලා දෙන එකත් ලේසි පාසු වැඩක් නොවේ.

      Delete
    2. රාජ්,

      / සමහරක්ගෙ කතා ඇහුවම නං හිතෙන්නෙ මුන්ට මහින්දත් හොඳ වැඩියි කියල /

      හපොයි මෙහෙත් ඉන්නව, නිකං අපි වගෙ අවසේස උදවිය එහෙම නෙවෙයි..පශ්චාත් උපාධි දෙක තුන තියන අය...උං එක්ක කතාකරන එකෙන් වෙන එකම ප්‍රයෝජනේ මගෙ ලෝ බ්ල්ඩ් ප්‍රෙෂර් පෙති වලට යන වියදම ඉතුරුවෙනව...

      / මිනිස්සු නොදැනුවත්. සාක්ෂරතාවය 100ට කිට්ටු වුනාට නොදැනුවත්කමින් අංක එක. /

      ඒක තමයි හේතුව....සාක්ෂරතාවය කියන්නෙ කියවීමේ හැකියාව. සාක්ෂරතාවය තිබ්බට කියවන්නෙ නැත්නම්, කියෙව්වා වුනත් තේරුම්ගන්නෙ නැත්නම් එහෙමත් නැත්නම් කියවන්නෙ දිනමිණ සිළුමිණ විතරක් නම් ඉතිං මොකක්ද ඒ සාක්ෂරතාවයෙන් ඇති වැඩේ?

      Delete
  7. බැලුව, කෑම එකයි, චිත්තරෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ මදැයි මලේ...හෙහ්,හෙහ්,

      Delete
  8. අපේ මිනිස්සු හිතන සම්ප්‍රදායික සිතුවිලි තමයි ඒ. මෛත්‍රීපාල ගියාට වඩා හෙණ ගහන අපරාධයක් තමයි මහින්ද ආයෙමත් එනවා කියන එක.මෛත්‍රීපාල ගැනත් සියට සීයක්ම විශ්වාස නැතත් රවීයියා කියලා තියෙනවා වගේ බලපොරොත්තුවක් තියාගන්න පුළුවන් යහපාලනයක් ගැන සුළුවෙන් හෝ.නමුත් මහින්ද ගැන එහමෙවත් තියාන්ට බැහැ.

    මේ තමයි වෙනසකට කාලය.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / මේ තමයි වෙනසකට කාලය. /

      ඔබ හරි මල්ලි..කාලෝ අයංතේ..යුද ජයග්‍රහණය වෙනුවෙන් අපි සියල්ලන්ම ගෙවූ මිල ඉහටත් උඩින්ය. දැන් වෙනසකට කාලයයි....

      Delete
  9. මචං දෙකක් දාගෙනද ඇෆ්ගන් කඩේට ගියේ :
    මට මචං හිටගෙන කෑවත්, බිම ඉඳගෙන කන්න ගියාම ඔලුව කොලොප්පම් වෙනවා. මොකද වාඩිවෙන්නේ ඔලුවෙන් නිසා : ඔමානයේ ඉන්න කාලේ ඔය බිම සොමියට වාඩි වෙනවා. බැහැ කියන්නත් බැහැ, ඒක උන්ගේ චාරිත්‍රය නිසා. දවසක් ඔය වගේ සීන් එකකට ඔමානි සෙට් එකක් එක්ක වාඩිවුනා. අම්මට හුඩු මැද්දෙන් ගෙනත් තිබ්බනේ, එළුවෙක්ගේ ඔළුවක්. අරුන් අතදාගෙන දෙනවා බස බස ගාලා. අතින් අරන් සවාන උඩටත් දානවා. පිස්සු හැදුනා. ඒත් ඔය ඇෆ්ගන් සීන් එකේ සවාන නැතුව, තනි තනි පිඟන් වල නේද කන්නේ..

    අද රට දිහා බැලුවාම, අර ටැක්සි බුවා කොහොම කිව්වාම මොකෝ කියලා හිතෙනවා, අති පණ්ඩිත මහාචාර්ය බුවලා දෙන ටෝක් බලාගෙන ඉන්න කොට. උන් නම් ඒ ටෝක්ස් දෙන්නේ පෞද්ගලික වාසි වලට නේ. පුරවැසියා ඉල්ලගෙනම යටත් වැසියා වීමේ ආදීනව තමයි මට නම් ඔය ගැන දැක්කාම පේන්න තියෙන්නේ.
    උඹ ඔය උපුටා දක්වන මාටින් ෂීන්ගේ කියමන තමයි, ඒ වගේ බොහෝ අයට පෙන්නන්න වෙන්නේ. ඒත් සමහර ඔළු නම් අර උඩින් කියපු එළු ඔළු වගේ නිසා, මේ කියන දේවල් වැටහෙන්නේ නැහැ. වෙනසක් අවශ්‍ය ඇයි කියලා ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නැහැ මචං..ඒක හොඳට පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Aru,

      / අරුන් අතදාගෙන දෙනවා බස බස ගාලා. අතින් අරන් සවාන උඩටත් දානවා. පිස්සු හැදුනා. ඒත් ඔය ඇෆ්ගන් සීන් එකේ සවාන නැතුව, තනි තනි පිඟන් වල නේද කන්නේ../

      සවාන කියන්නෙ මොකද්ද බං? යෙදෙන විදිහ අනුව උපකල්පනය කරතෑකි හවුලෙ වටවෙලා කනකොට කැම ගෙන ලොකු තැටිය වගෙ එක කියල...

      මගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ඊට පස්සෙ රස්සාව කරන කාලෙත් මුස්ලිම් යාලුවො බොහොම හිටපු හින්ද ඔය එක පතේ අනාගෙන හන එක මට එහෙමටම අවුලක් නෑ.ඒත් ඇෆ්ගන් එකේ එහෙම බිම ඉඳගෙන වටවෙලා කෑවට වෙනම පිඟන් වලට බෙදල ගේන්නෙ. එහෙම උනත් " වරෙං බං අපි දෙන්න එක පිඟානක කමු " කියල මමයි අපේ අර මුස්ලිම් යාලුවයි එක පිඟානක කෑවෙ..ඒ හිතවත් කමට....:)

      / වෙනසක් අවශ්‍ය ඇයි කියලා ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නැහැ මචං..ඒක හොඳට පේන්න තියෙනවා. /

      වෙනසක් අවශ්‍යයයි කියන එක බොහොම පැහැදිලියි. එහෙම ඕන නෑ කියන්නෙ පට්ට හොරුටික..එච්චරයි කියන්න තියෙන්නෙ....පීරියඩ්.

      Delete
    2. සවාන කියන්නේ මචං....එක ලොකු පිඟානක එකට අනාගෙන කන එක. ඒක අප්සට් එකක් නැහැ. හම්බන්තොට ඉන්න කාලේ , ඒ සවානට බත් කෑවට පස්සේ මී කිරියි, පැණියි දානවා. ඒක කන්න ගියාම නම් පිස්සු හැදෙනවා. ඕමාන් ඉන්න කාලේ, එයිට වඩා අමාරු සවාන් වල වාඩිවුනා මචෝ. මම ඕමාන්වලත් ගමක හිටියා. ට්‍රැඩිශනල් ඔමානි ලයිෆ් එක මම රස වින්දා. මම විතරක් නෙමේ අපි තුන් දෙනාම. කියන්න ගියොත් තව බොන්න වෙනවා.

      Delete
  10. අඩේ ඔය කඩේ කෑම ඔච්චර රහද? සෑ.. අපරාදේ. අපි කී සැරයක් ඔය ඇෆ්ගන් සහෝදරයෝ දැක දැක ගිහින් වෙන කඩ වලින්න් කෑම කාල තියෙනවද. චන්දෙ දාන්න යන්න කලින් ඕකෙන් කන්න ඕන.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...