Friday, December 26, 2014

296. සොබා දහම කල මහා ව්‍යසනයක මතක සටහන්..Painful Reminiscences of Tsunami..A Decade Later...






හරියටම අදට අවුරුදු දහයකට ඉස්සෙල්ල...2004 දෙසැම්බර් 26 වෙනිදා...දවස ඉරිදාවක්..මම ඒ වෙනකොට වැඩකලේ ගම්පොළ-නුවර එළිය මාර්ගය ඉදිකිරීම් කටයුතු කල චින සමාගමේ. තවලම්තැන්න ප්‍රදේශයේ මාර්ග නිර්මිත ඉදිකිරීම් අධීක්ෂණය මගෙ රාජකාරිය. කලින් දවසෙ නත්තල් දවසෙ හදිසි කටයුතු කිහිපයක් යෙදිල තිබුනු හින්ද මට ගෙදර යන්ට විදිහක් තිබ්බෙ නෑ. මොබයිල් එකක් මට තිබ්බෙ නෑ ඒ දවස්වල. තිබ්බ එක අපි හිටපු ක්වාටර්ස් එකට ටෙලිෆෝන් නැති නිසා අපෙ උන්දැ ගාව තිබ්බෙ. තවලම්තැන්න සබ් පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එකක් අරගෙන එදා ගෙදර එන්නෙ නෑ කියල නිසි බලධරයට දැනුම් දීල මම වැඩ ඉවරවෙලා එදා රෑ එහෙ නැවතුනා. එහෙම හදිස්සියෙ රෑට ගෙදර යන්ට බැරිඋනහම නවතින්ට අපි දෙතුන් දෙනෙක් එකතුවෙලා ගෙස්ට් හවුස් එකක කාමරයක් අරන් තිබ්බ. රෑ නමයට වගෙ වැඩ ඉවර උනේ. පට්ට හීතල ඉවසන්ට බෑ. බාර් එකෙන් හැනපියර් එකකුත් අරගෙන කොත්තු දෙක තුනකුත් දාගෙන ඇවිල්ල කාමරේට වෙල බීල කාල බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදිය ගත්ත. 



පහුවදා 26 වෙනිද......දනිපනිගාල අට වගෙ වෙනකොට නැඟිටල මූණ කට හෝදගෙන ගියා සයිට් එකට.ගම්පල - නුවර එළිය පාරෙ ගියපු අයට මතක ඇති රම්බොඩ උමඟ...ලංකාවෙ මහා මාර්ගයක තියන දිගම උමඟ. 2004 වෙනකොට ඒ උමඟ හදන්ට මූලික විමර්ශන කටයුතු කෙරෙමින් තිබුනෙ. ඔය උමඟ පටන් ගැන්මට මීටර් හාරසීයක් වගෙ කලින් තිබ්බ පොඩි පාළමක ඒ වෙනකොට ඉදිකිරීම් කටයුතු කෙරෙමින් තිබුන. 26 වෙනිද උදේ එතන Abutment එකට හැඩයම් ( Formwork ) ගහනව. අපේ සයිට් වල වැඩකලේ 99% ක්ම අවට වතුවල දෙමළ කම්කරුවො. මාරි මුත්තු එතන කම්කරුවන් කණ්ඩායමේ නායකය. 

දහයට වගෙ තේ වෙලාව. ඒ වෙලාවට ගෙදරින් ඔතාගෙන එන රොටියක් වගෙ මොනවහරි කාල ඒ ලඟ තිබ්බ තේ කඩෙන් ප්ලේන්ටියක් ගහන එක ඒ මිනිස්සුන්ගෙ සිරිත. 

" මාත්තය කමු රොටි කෑල්ලක්.." මාරිමුත්තු මටත් පත්තරේක ඔතල තිබ්බ රොටියක් දික්කලා 

ලංකාවෙ වතු කම්කරුවො වගෙ දුක් විඳින මිනිස්සු ජාතියක් මම මෙතෙක් කාලෙකට දැකල නෑ. ඒත් ඒ මිනිස්සුන්ට එව්වයෙ ගානක් නෑ.හවසට ගෑණු පිරිමි දෙගොල්ලම එකතුවෙලා ඇම්බැසඩර් රා බෝතලයක් ගහල ඔය තියන දෙයක් කාල පරණ කම්බිලියක් පෙරවගෙන නිදාගන්ට තිබ්බනම් ඒ මිනිස්සුන්ට ඉහටත් උඩින්. ඔය තොණ්ඩමන් වගෙ අවස්ථාවාදී දේශපාලුවන්ට තවම වතු කම්කරුවන්ගෙ නායකයො විදිහට ඡන්ද වෙන්දේසියෙ දාන්ට පුලුවන් වෙලා තියෙන්නෙ මේ හින්දමයි. 

ඉතිං මේ අහිංසකයො බොහොම අමාරුවෙන් හදාගෙන එන රොටිය කන්ට මගෙ කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් එහෙම බොහොම ආදර ගෞරවයෙන් යමක් දුන්නම බෑ කියන එකත් හරි නෑනෙ. 

" හරි මාරිමුත්තු..ඔක්කොම එපා..මට ඕකෙන් කෑල්ලක් දීහං..ඒ ඇති…" කොච්චි මිරිස් තලල සම්බලක් වගෙ හදල රොටිය මැදට දාල තිබ්බ. ආය නෑ කෙලින්ම ඉස් මුදුනට දාඩිය දාල මූණ කටත් එක්ක රතු වෙනව. සීතලට මරු. 

" ඉතිං මොකද මාරිමුත්තු තව සුමාන දෙකකින් විතර කරන්ට හිතාගෙන ඉන්නෙ? හෙල්බොඩ යනවද?..." 

එතනම තිබ්බ ගල් තලාවෙ ඉඳ ගන්න ගමන් මම ඇහුව. මේ හරියෙ වැඩ තව සුමානයක් දෙකක් වෙනකොට ඉවරයි. ඊට පස්සෙ මේ හරියෙ වැඩ කරන අයට යන්ට වෙන්නෙ තව කිලෝමීටර් පහක් හයක් වගෙ එහා හෙල්බොඩට. ගොඩක් දෙමළ කම්කරුවො එහෙම දුර යන්ට කැමති නෑ. ඒකයි මම මාරිමුත්තුගෙන් එහෙම ඇහුවෙ. 

" බලන්ට ඕන මහත්තය...තවම හරියට ඒ ගැන කල්පනා කලේ නෑ.." මාරි මුත්තු එහෙම කිව්ව. 

" යමුද තේ එකක් බොන්ට.." මම ගල් තලාවෙන් නැඟිට්ට. ඒ එක්කම මම දැක්ක මීටර් සීයකට වගෙ එහා පාර අයිනෙ තිබ්බ තේ කඩේට ඒ අහල පහල වැඩ කර කර හිටපු මිනිස්සු එක පොදියට දුවනව. 

" අර මොකද බං ? අර මිනිස්සු ඔක්කොම සුන්දර්ගෙ කඩේට දුවන්නෙ? "
අත දික්කරල මම එහෙම ඇහුවම මාරිමුත්තුත් නැඟිටල ඒ පැත්ත බැලුව.. 

" මොකද දන්නෙ නෑ. සුන්දර් අයියට ආයම අසනීප උනාද දන්නෙ නෑ." 

ඊට මාස දෙහෙකට වගෙ කලින් ඔය තේ කඩේ මුදලාලි සුන්දර් ( මිනිහට ඇති වයස හැටක් වගෙ ) හදිස්සියෙ කලන්තෙ දාල කඩේ ඇතුලෙම වැටිල කට්ටිය එකතුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිහිල්ල. හාට් ප්‍රශ්නයක්...අන්තිමට ගම්පොල ඉස්පිරිතාලෙ සුමාන දෙකක් වගෙ ඉඳලයි මනුස්සය ආපහු ගෙදර ඇවිල්ල තියෙන්නෙ. 

" කියන්ටත් බෑ තමයි..යමං යමං විජහට මොකද කියල බලන්ට…" 

මාරිමුත්තුයි මායි පය ඉක්මන් කරල කඩේ දිහාවට යද්දි මුරුගන් කඩේ ඉඳල එනව හම්බ උනා. 

" මොකද බං ? " මම ඇහුව. 

මුරුගන්ට එච්චරම සිංහල බෑ.. මිනිහ චට පට ගාල මොනවද දෙමළෙන් මාරිමුත්තු එක්ක කිව්ව. 

" මොනවද බං වෙලා තියෙන්නෙ? " මම නොඉවසිල්ලෙං ඇහුව... 

" හරි වැඩක්නෙ මහත්තය...මුහුද ගොඩ ගලනව කියන්නෙ...." 

" මොකක්? මුහුද ගොඩ ගලනව? පලයං බං පච ගහන්නෙ නැතුව..මුහුද ගොඩ ගලන්නෙ කොහොමද? රජකාලෙනං එහෙ උනා කියල මම අහල තියනව..ඒත් එව්ව නිකං කතා විතරයි.." 

විහාරමහාදේවිගෙ කතාව එකපාරටම මතක් වෙලා වෙලා මම එහෙම කිව්ව. 

" නෑ මහත්තය බොරු නෙවෙයි..අර කඩේ රේඩියෝ එකෙං කියනවය කියන්නෙ." 

ඒ පාර අපි දෙන්න දුවල ගියා කඩේට. ඇත්තම තමයි. රේඩියෝ එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදිහට විස්තරේ කිව්ව. හම්බන්තොට, ගාල්ල, මාතර එහෙම මුහුදුබඩ පළාත් ඔක්කොම ඉවරයි. කටත් ඇරගෙන අපි අහගෙන හිටිය විස්තරේ. එදා හවස ගෙදර ආපුවම තමයි හරි විස්තරේ ටී.වී. එකෙන් බලා ගත්තෙ. අපෙ උන්දැයි මායි ඇස් අදහාගනු නොහී බලා හිටිය අම්ම මුත්ත කාලෙ නාහපු මේ විනාසෙ දිහා. 


ඔය සුනාමිය වෙලාවෙ තමයි අපෙ එතුමා මහා පරිමාණ ගැහිල්ල පටන්ගත්තෙ. මතකයි නේ? හෙල්පිං හම්බන්තොට...හෙල්පිං හම්බන්තොට නඩුව අහල එතුමා නිදොස් කොට නිදහස් කරපු එතකොට අග විනිසුරු සරත් සිල්වා පස්සෙ මේ ඊයෙ පෙරෙයිද කිව්වනෙ මහින්දට විරුද්ධව ප්‍රබල සාක්ෂි තියෙද්දිත් රටේ අනාගතය ගැන හිතල මිනිහව නිදහස් කලාය කියල. ඒ ගැන පසු තැවෙනවය කියල..හෙහ්,හෙහ්, කාටද මෙව්ව කියන්නෙ? සමාවෙන්ට ඕමනයි. දේශපාලනයට කිසිම කැමැත්තක් නැති පාඨකයො සහ පාඨකාවියො..මෙතන වැඩේ මෙහෙමයි..අර අපේ කතාවක් තියෙන්නෙ..කොස් කාලෙට හමුදුරුවන්ගෙ සිවුරෙත් කොහොල්ලෑ කියල. අන්න ඒ වගේ මේ දවස්වල ලියවෙන ඕනම දේකට දේශපාලනය ගෑවෙනව ස්වයංක්‍රීයව. 

සුනාමියට අහුවෙලා මගෙ යාලුවෙක්ගෙ නංගි, එයාගෙ මහත්තය සහ දරුවො දෙන්නගෙ ජීවිත අහිමි වුනා. නුවර සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක මහා කළමනාකාර විදිහට සේවය කරපු මගෙ යාලුවගෙ මස්සිනා වර්ෂ අවසානයෙ හෝටලය ගානෙ දෙන හොලිඩේ පැකේජ් එක ගත කරන්ට තෝරාගෙන තිබුනෙ යාල සෆාරි බීච් හොටේල් එක. ඊට අවුරුදු හතරකට පස්සෙ මම කොළඹ ආසන්නව ඉදිකිරීම් සමාගමක සේවය කරද්දි මට යන්ට උනා යාල අභයභූමිය ඇතුලෙ අපෙ සමාගම කරපු වැඩ වගයක් සම්බන්ධව කටයුතු කරන්ට. ඒ කිට්ටුවමයි යාල සෆාරි හොටේල් එක තිබ්බෙ. ඒ වෙනකොට යන්තමට ෆවුන්ඩේෂන් එක විතරයි ඉතුරුවෙලා තිබ්බෙ සුනාමියෙන් පස්සෙ. 

දසවසරකට පෙර නොසිතූ වීරූ ලෙස අප අතරින් වියෝ වූ සහසක් සහෝදරයිනි / සහෝදරියනි ඔබ සැමට සුගතියක්ම වේවා!!!! 

අවුරුදු හතරකට ඉස්සෙල්ල මම සුනාමිය ගැන ලියපු කෙටිකතාවක් මේ......... 

එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave... 

මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙ රැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි. 

මෙලෙස අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි. 

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි. 

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය. 

කොටු පවුර අසල වූ කොන්ක්‍රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය. 

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙස අරමුණකින් තොරව බලා සිටිමිනි. 

'' කණිෂ්ක.....'' 

'' ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි. 

'' අපි මොකද දැන් කරන්නෙ? '' 

'' මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි. 

'' එහෙම කියල බැහැනෙ අනේ... මේකට අපි මොනව හරි කරන්න එපාය....'' 

'' කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා ?.....'' 

'' සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි'' 

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි. 

" තාත්ති අද උදේ මගෙන් ඇහුව අලුත් අවුරුද්ද පටන්ගන්ටත් ඉස්සරවෙලා මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....'' 

'' .................................'' 

'' මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,'' 

'' .................................'' 

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....'' 

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි. 

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. .....පෙ.ව.9.25 

**************************************** 

'' ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන මහත් ප්‍රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි. 

'' ජනවාරි හයට දාගත්ත....බ්‍රහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ... වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.'' 

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි.හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය.වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්‍යාපාරයක් ඇරඹීමටය. 

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්‍යයක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් අනතුරුවය. තමන්ට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්‍රීතියකි. 

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යාබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය. 

'' ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? '' 

'' පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි. 

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය..... 

'' ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි ප්‍රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි. 

'' ප්‍රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්‍රශ්න තිබ්බෙ නැතුවය?'' 

'' අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය. 

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කියද පුෂ්පා වෙලාව.....'' 

'' ම්ම්ම්....9.25 යි ...''තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...'' 

*************************************** 

කළු පැහැති ප්‍රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ක්‍රියාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය. 

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. '' මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ?. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.'' 

ඇල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය. 

'' හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ? '' 

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි. 

'' මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන,බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්‍රමයක් නෑ....'' 

'' මෙතන බාගයක් තියනව ..ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ ඝන කඩදාසියකින් හොඳින් එතූ පාර්සලයක් ඉන් පිටතට ගෙන ඇල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25 

**************************************** 

ක්‍රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් කාලය අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි.දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිත් ද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එකද කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්‍රමණ ලක්ෂණයන්ගෙනි. ( withdrawal symptoms ) 

ගාලු පුරවරයෙහි ප්‍රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය. 

'' අඩෝ, ****** පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......'' 

ඒ තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි. 

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි." සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි ඉස්සුවොත්......... " මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටු බැම්ම දිගේ ගමන් කල යුතුය. 

කිට්ටා සෙමින් සෙමින් කොටු බැම්ම දිගේ පියවර තැබීමට පටන් ගත්තේය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකල ද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ වී නම් මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි. 

**************************************** 

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.එහෙත් කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව වාසය කල ප්‍රීතිමත්ම මිනිසා විය. 

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.එළෙසම හාමතින්  වේලක් හෝ දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් ද නොවීය. 

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය. 

'' ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය. 

'' කවුද? '' 

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,'' 

'' එහෙමද?....සැන්ඩ්‍රා,,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....'' 

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්‍රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි. 

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්‍රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය.ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සෑම අතින්ම සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ඔහු පෙරදින රාත්‍රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සුරතට ගත් ලොව ප්‍රීතිමත්ම  මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය. 

වේලාව යන්න පිළිබඳව හැඟීම් මාත්‍රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි. 

**************************************** 

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්‍රාව අසල කල්ප අසංඛ්‍යය සංඛ්‍යාවක් දැඩි නිද්‍රාවක ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්‍රාවෙන් ඇඟ මැලි කඩා අවදි වූයේ,  සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිතය සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය. 

**************************************** 

නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය. 

'' කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය. 

'' ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? '' 

**************************************** 

'' ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. 

**************************************** 

'' මුදලාලි අර මූද ගොඩට එනව නේද?......'' 

'' මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, ඇල්බට්...යමං හනිකට මෙතනිං'' 

**************************************** 

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය. 

**************************************** 

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්‍රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්‍රීතියෙන් සිනා සුණේය. 

**************************************** 

සුමාත්‍රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. කලකින් නොදුටු තම ඥාතී හිතවතුන් බැහැදැක සතුටු සාමීචියෙහි යෙදෙනුවස් දෝත පුරා තෑගි බෝග දුර බැහැරක සිට පැමිණෙනා ඥාතියකු / හිතවතකු පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්‍යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය.

මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. 

කිට්ටා ප්‍රාඩෝවෙහි පසුපස අසුන මතවූ ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්‍රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය. 

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්‍රහාරය උදෙසා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය.ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට කඩා වැදුනේය. 

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26, 

***************************************** 

ඉනික්බිති දෙවන රළ පැමිණියේය. 

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding on it, * 


* The Four Horsemen of the Apocalypse are described in the last book of the New Testament of the Bible, called the Book of Revelation of Jesus Christ to Saint John the Evangelist at 6:1-8. The chapter tells of a book or scroll in God's right hand that is sealed with seven seals. The Lamb of God, or Lion of Judah (Jesus Christ), opens the first four of the seven seals, which summons four beings that ride out on white, red, black, and pale horses. Although some interpretations differ, in most accounts, the four riders are seen as symbolizing Conquest,War, Famine, and Death, respectively. The Christian apocalyptic vision is that the four horsemen are to set a divine apocalypse upon the world as harbingers of the Last Judgment. 

20 comments:

  1. //.
    " මොකක්? මුහුද ගොඩ ගලනව? පලයං බං පච ගහන්නෙ නැතුව..මුහුද ගොඩ ගලන්නෙ කොහොමද? රජකාලෙනං එහෙන උනා කියල මම අහල තියනව..ඒත් එව්ව නිකං කතා විතරයි.."

    විහාරමහාදේවිගෙ කතාව එකපාරටම මතක් වෙලා වෙලා මම එහෙම කිව්ව. //

    මේ වචන ටික එහෙම්ම මගේ කටිනුත් පිටවුනා එදා මූද ගොඩගලනවා කියල පිටිපස්සේ ගෙදර කට්ටිය ඇවිත් අපිට කියන කොට.

    ----------
    අපි කවදාවත් දකින්න අකමැති එත් අවාසනාවට දකින අහන්න සිද්ද වෙච්ච භයානක හීනයක්.

    -------------

    එදා හදිසියේම අපෙන් වෙන්වෙච්ච හැමෝටම නිවන්සුව පතමු.

    මන්ද..මම දන්නේ එච්චරයි ..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි විභීෂණ,

      ඒකනෙව, මුහුද ගොඩ ගලනව කිව්වම කවුද අප්පා විශ්වාස කරන්නෙ?

      Delete
  2. මව පියා සැමියා හා දරු දෙදෙනා අහිමි වූ සොනාලි දැරණියගල ලියපු පොත රවි කියෙව්වද? මං කියවල නම් නෑ, ඒත් ඇයගේ පියාව දැනගෙන හිටිය

    http://www.goodreads.com/author/show/6450261.Sonali_Deraniyagala

    ReplyDelete
    Replies
    1. Pra,

      " Wave " මම බොහොම ආසාවෙන් ඉන්නෙ කියවන්න..තවම පොත ගන්න නම් බැරිවුනා.

      Sonali's book was variously described as cathartic, tragic and heart rendering. As I said I haven't read the whole book but from the excerpts I would describe her effort as a brutal, honest and soul searching endeavor to come to terms with an unthinkable tragedy.

      Delete
  3. යම් යම් සුනාමි දේවල් වලදි direct involve උන හින්දා මේ කොමන්ට් එකකට වඩා හිත බොහොම බරයි රවී.
    එච්චර දෙයක් වෙලාත් අදටත් මිනිස්සු එක එකා එක එක වර්ග කරගන්නකොට දැනෙන්නේ අප්‍රමාණ දුකක්. මම වගේ පිස්සෙක් ලංකාව මගේ රට කියලා හිතන්නත් යොමු වුනේ සුනාමි හින්දා කීවොත් නිවැරදියි. ඊට කලින් මම ලංකාව දැක්කේ holiday destination එකක් විදියට විතරමයි.

    ReplyDelete
    Replies
    1. රංගි,

      පශ්චාත් සුනාමි වැඩ කටයුතුවලට මමත් දායක වුනා බොහොම සුළුවශයෙන්. මම සහ මගේ යාලුවො කීප දෙනෙක් සුනාමියෙන් විනාශවුනු ගෙවල් සහ පාසල් හදල දුන්නු රාජ්‍ය නොවන සංවිධානයකට ඒ අවශ්‍ය ඇස්තමේන්තු නොමිලේ සකස් කරල දුන්න.

      Delete
  4. අවුරුදු දහයක් ගෙවිලා ගිහින්. හ්ම්ම්... ඒත් ඒ ගැන මතක් වෙද්දි දැනෙන දුක තාමත් ඒ වගේමයි. මගේ බ්ලොග් එකේ අද දාන්න කියලා මමත් පෝස්ට් එකක් ලිව්වා. සම්පූර්ණයෙන්ම ලිව්වා. ඒත් ඒක ලියලා ඉවර වෙලා ආපහු කියවද්දි මටම ඇඬුනා. මගේ ඥාති පවුලක අත්දැකීමක් ලිව්වේ. හුඟක් දුක හිතෙන කතාවක්. අන්තිමට ඒක මකලා දාලා කවියක් ලියන්න ගත්තා. පස්සෙ ඒකත් අත ඇරලා දැම්මා. ඒක අකුරු කරන්න මට බෑ.

    එදා මුළින්ම ඔය ගැන මටත් ඇහුනේ ගුවන් විදුලියෙන්. මම ගෙදර ලියන මේසේ වාඩි වෙලා මොනවාහරි ලිය ලිය හිටියේ. අළුත්ගමට මූද ගොඩගලපු බව තමයි එවෙලෙ ඇහුනෙ. ඒක ඇහුන ගමන් මටත් මතක් වුනේ කැලණිතිස්ස රජ්ජුරුවන්ගෙ කාලෙ තමයි. ඇත්තටම මට ඒ වෙලාවෙ හිනාවකුත් ගියා. පැයක් විතර ගෙවෙද්දි තමයි වෙලා තියෙන්නෙ කොච්චර බරපතල දෙයක්ද කියලා තේරුණේ. :(

    මේ ලිපිය මට හම්බුණේ මීට මාස කීපෙකට උඩදී. පටාචාරාවට දහම් දෙසලා හිත සනසලා සැනසුම උදා කරලා දෙන්න ඒ කාලේ බුදු හාමුදුරුවෝ හිටියා. ඒත් මේ ලිපියේ ඉන්න තැනැත්තියට දහම් දෙසන්න කොහින්ද බුදු හාමුදුරුවන්. හිතාගන්නත් අමාරු විදිහේ කතාවක් ඇයට තියෙන්නේ. මේ වගේ සිදුවීම් තව ඕනෑ තරම් ඇති. ඒත් ඇගේ කතාව බෙදාගන්න එක වටිනවා කියලා මට හිතුණා. ඇය තමන්ගේ කතාව අකුරු කරලා. 'WAVE' ඇගේ පොතේ නම. ඒ තුළින් ඇගේ හිතට සැනසීමක් ලඟා කරගන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ලිපිය කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      පොත ගැන මම දැනගත්තෙ ඒක පිටවුනු අලුතම වගෙ. මට මතක විදිහට ගිය අවුරුද්දෙපෙබරවාරි නැත්නම් මාර්තු වගෙ. කියවන්ට බොහොම ආසාවෙන් ඉන්න පොතක්..ඒ වගෙ දෛවෝපගත ඛෙදවාචකයකට මුහුණ දුන්නෙ කෙනෙකුගෙ හැඟීම් තේරුම් ගන්ට උත්සාහ කිරීම පවා මම දන්නෙ නෑ ඛොහෙන් පටන් ගන්ටද කියල. මේ පහළින් තියෙන්නෙ ඒ පොතේ මුල් ඡේද කිහිපය.

      Tsunami: the terrible toll

      In 2004, Sonali Deraniyagala was enjoying a holiday with her husband, Steve, and their two young sons in Sri Lanka. Then the tsunami hit, and she lost everything. Now, she tells her story


      I thought nothing of it at first. The ocean looked a little closer to our hotel than usual. That was all. A white, foamy wave had climbed all the way up to the rim of sand where the beach fell abruptly down to the sea. You never saw water on that stretch of sand. It was our friend Orlantha who alerted me. A short while before, she'd knocked on our door to ask if we were ready to leave. We almost were.

      Steve was in the shower, or reading on the toilet more likely. Our two boys were on the back veranda, buzzing around their Christmas presents.

      This was Yala, a national park on the south-eastern coast of Sri Lanka. White-bellied sea eagles abound here, and for Vikram they were the most splendid of birds. For a nearly eight-year-old, Vikram knew heaps about birds. A pair of sea eagles nested near the lagoon that edged this hotel in Yala, and he'd sit on a rock on the shore and wait hours, hungry for a glimpse of them.

      We had spent four days here, with my parents. In less than a week Steve, the boys and I would be flying home to London. We had driven down to Yala from Colombo on the morning after Malli's violin concert. Not that Malli had any commitment to the violin, it was being on stage he loved. He stood there and mimicked the little girl next to him, flourishing his bow with convincing exactness. "He's faking it, Mum, he's faking it," Vik whispered to me that night at the concert, impressed by his five-year-old brother's brazen nerve.

      Our friend Orlantha gave Malli violin lessons on our trips to Sri Lanka. Now she and I chatted in the doorway of this hotel room. She watched the antics of my boys and told me that she would love to start a familysoon. "What you guys have is a dream," she said.

      Delete
    2. It was then she saw the wave. "Oh my God, the sea's coming in." That's what she said. I looked behind me. It didn't seem that remarkable. Or alarming. It was only the white curl of a big wave. But you couldn't usually see breaking waves from our room. You hardly noticed the ocean at all. It was just a glint of blue above that wide spread of sand that sloped sharply down to the water. Now the froth of a wave had scaled up this slope and was nearing the tall conifers that were halfway between our room and the water's edge, incongruous those trees in this landscape of brittle thorny scrub. This was peculiar. I called out to Steve in the bathroom.

      "Come out, Steve, I want to show you something odd." I didn't want him to miss this. I wanted him to come out quick before all this foam dissolved.

      "In a minute," Steve muttered, with no intention of rushing out.

      Then there was more white froth. And more. Vik was sitting by the back door reading the first page of The Hobbit. I told him to shut that door. It was a glass door with four panels, and he closed each one, then came across the room and stood by me. He didn't say anything, he didn't ask me what was going on.

      The foam turned into waves. Waves leaping over the ridge where the beach ended. This was not normal. The sea never came this far in. Waves not receding or dissolving. Closer now. Brown and grey. Brown or grey. Waves rushing past the conifers and coming closer to our room. All these waves now, charging, churning. Suddenly furious. Suddenly menacing.

      "Steve, you've got to come out. Now."

      Delete
    3. Steve ran out of the bathroom, tying his sarong. He looked outside. We didn't speak.

      I grabbed Vik and Malli, and we all ran out the front door. I was ahead of Steve. I held the boys each by the hand.

      "Give me one of them. Give me one of them," Steve shouted, reaching out. But I didn't. That would have slowed us down. We had no time. We had to be fast. I knew that. But I didn't know what I was fleeing from.

      I didn't stop for my parents. I didn't stop to knock on the door of my parents' room, which was next to ours, on the right as we ran out. I didn't shout to warn them. I didn't bang on their door and call them out. As I ran past, for a split second, I wondered if I should. But I couldn't stop. It will stall us. We must keep running. I held the boys tight by their hands. We have to get out.

      We fled towards the driveway at the front of the hotel. The boys ran as fast as I did. They didn't stumble or fall. They were barefoot, but they didn't slow down because stones or thorns were hurting them. They didn't say a word. Our feet were loud, though. I could hear them, slamming the ground.

      Ahead of us a Jeep was moving, fast. Now it stopped. A safari Jeep with open back and sides and a brown canvas hood. This Jeep was waiting for us. We ran up to it. I flung Vikram into the back, and he landed facedown on the green, corrugated-metal floor. Steve jumped in and picked him up. We were all inside now. Steve had Vik on his lap, I sat across from them with Malli on mine. A man was driving the Jeep. I didn't know who he was.

      Now I looked around me and nothing was unusual. No frothing waters here, only the hotel. It was all as it should be. The waves must have receded, I thought.

      We were leaving my parents behind. I panicked now. If I had screamed at their door as we ran out, they could have run with us. "We didn't get Aachchi and Seeya," I yelled to Steve. This made Vikram cry. Steve held on to him, clasping him to his chest. "Aachchi and Seeya will be OK, they will come later, they will come," Steve said. Vik stopped crying and snuggled into Steve.

      Delete
    4. I was thankful for Steve's words, I was reassured. Steve is right. There are no waves now. Ma and Da, they will walk out of their room. We will get out of here first, and they'll join us. I had an image of my father walking out of the hotel, there were puddles everywhere, he had his trousers rolled up. I'll ring Ma on her mobile as soon as I get to a phone, I thought.

      We were nearing the end of the hotel driveway. We were about to turn left on to the dirt track that runs by the lagoon. Steve stared at the road ahead of us. He kept banging his heel on the floor of the Jeep. Hurry up, get a move on.

      The Jeep was in water then. Suddenly, all this water inside the Jeep. Water sloshing over our knees. Where did this water come from? I didn't see those waves get to us. This water must have burst out from beneath the ground. What is happening? The Jeep moved forward slowly. I could hear its engine straining, snarling. We can drive through this water, I thought.

      We were tilting from side to side. The water was rising now, filling the Jeep. It came up to our chests. Steve and I lifted the boys as high as we could. Steve held Vik, I had Mal. Their faces above the water, the tops of their heads pressing against the Jeep's canvas hood, our hands tight under their armpits. The Jeep rocked. It was floating, the wheels no longer gripping the ground. We kept steadying ourselves on the seats. No one spoke. No one uttered a sound.

      Then I saw Steve's face. I'd never seen him like that before. A sudden look of terror, eyes wide open, mouth agape. He saw something behind me that I couldn't see. I didn't have time to turn around and look. Because it turned over. The Jeep turned over.

      Pain. That was all I could feel. Where am I? Something was crushing my chest. I am trapped under the Jeep, I thought, I am being flattened by it. I tried to push it away, I wanted to wriggle out. But it was too heavy, whatever was on me, the pain unrelenting in my chest. I wasn't stuck under anything. I was moving, I could tell now. My body was curled up, I was spinning fast.

      Am I underwater? It didn't feel like water, but it has to be, I thought. I was being dragged along, and my body was whipping backwards and forwards. I couldn't stop myself. When at times my eyes opened, I couldn't see water. Smoky and grey. That was all I could make out. And my chest. It hurt like it was being pummelled by a great stone.

      This is a dream. It's one of those dreams where you keep falling and falling, and then you wake up. I was sure of this now. I pinched myself. Again and again. I could feel the nip on my thigh, through my trousers. But I wasn't waking up. The water was pulling me along with a speed I did not recognise, propelling me forward with a power I could not resist. I was shoved through branches of trees and bushes, and here and there my elbows and knees smashed into something hard

      Source ; The Guardian.

      Delete
  5. අවුරුදු දහයක් කියන්නේ සැහෙන කාලයක්. මේක වෙනකොට මම හිටියේ ජර්මනියේ මගේ බිරිඳගේ නිවසේ. ජර්මන් නෑදෑයෝ කීප දෙනෙක් කෝල් කරන කොට තම දැනගත්තේ. ඊට පස්සේ අපි කට්ටියක් එකතුවෙලා ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියල චරිට්ය් එකක් හදල උදව් කලා සුනාමියට අහුවෙච්ච ළමයින්ට. හරිම දුක්බරයි. අර තංගල්ලේ පලා බබෙක් හොටලෙකට අරන ගිහින් සමුහ දුෂණය කරලා පස්සේ දිවි නසාගත්ත ගැහැණු ළමයත් සුනාමියෙන් අසරණ වෙච්ච් දරුවෙක්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      සොබාදහම එහෙම තමයි. මිනිස්සු කොච්චර උදම් ඇනුවත් We are Huamns and we are the very first in this world to have ability to control the nature, කියල අන්තිමට සොබාදහම පොඩ්ඩක් අතපය හෙලෙව්වම ජීවිත හානි වෙන්නෙ ලක්ෂ ගනනින්, හානිය ගිණිය නොහැකියි. මට හිතෙන්නෙ විටින් විට සොබා දහම අපිට මතක් කරල දෙනව උඹල ඔය කොච්චර කයිය ගැහැව්වත් මට උඹලව කොස් ඇට මීයෝ ගානට තලල දාන්ට පුලුවන්ය කියල.

      Delete
  6. //අවුරුදු දහයකට ඉස්සෙල්ල...2004 දෙසැම්බර් 26 වෙනිදා//
    //පහුවදා 26 වෙනිද.// 26 දෙකක් තිබුණද?

    ඔය මුහුද ගොඩගලන කතාව රේඩියෝ එකේ කිවුවට කවුරුවත් මුලින් ගණං ගත්තෙ නෑ. අර වාරකං කාලෙට මුහුද ගොඩට ගහනව වගේ එකක් කියල තමයි හිතුවෙ. හවස එක දෙක වෙනකොට තමයි වැඩේ බරපතල කම කට්ටියට දැනෙන්න පටං ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / 26 දෙකක් තිබුණද? /

      කොහෙද බොල එහෙම 26 ඒවා දෙකක්?.....මම 26 වෙනිදා කතාව පටන් ගත්තට මැදදි ආපහු කලින් දවසට ( ඒ කියන්නෙ 25, නැත්තං නත්තල් දවස ) ගියා. ඊට පස්සෙයි ආයම පහුවදා 26 වෙනිද කියල කිව්වෙ.අන්ඩර්ස්කර්ට්?

      / හරියටම අදට අවුරුදු දහයකට ඉස්සෙල්ල...2004 දෙසැම්බර් 26 වෙනිදා...දවස ඉරිදාවක්..මම ඒ වෙනකොට වැඩකලේ ගම්පොළ-නුවර එළිය මාර්ගය ඉදිකිරීම් කටයුතු කල චින සමාගමේ. තවලම්තැන්න ප්‍රදේශයේ මාර්ග නිර්මිත ඉදිකිරීම් අධීක්ෂණය මගෙ රාජකාරිය. කලින් දවසෙ නත්තල් දවසෙ හදිසි කටයුතු කිහිපයක් යෙදිල තිබුනු හින්ද ................................ /

      Delete
  7. වතු කම්කරුවන්ගෙ දාඩියෙන් කඳුලින් කාලා තෙල වැඩිවෙලා නටන අර කාලකන්නිය ගැන නම් මතක් කරන්න එපා.
    රම්බොඩ උමග තියෙනවා නේද අලුත් රු.1000 කොලේ?
    දිග කතාව කියවන්න පස්සෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      අන්න හරි 1000 නෝට්ටුවෙ තියෙන්නෙ ඒ රම්බොඩ උමඟ තමයි.

      ඔය උමඟ හදන්ට කලින් ගම්පොළ-නුවර එළිය පාර වැටිල තිබ්බෙ ඔය කන්ද වටේට. ඒ හරිය තද කළු ගලක්. ඒ කළුගල බොහොම අමාරුවෙන් බෝර දාල කඩල තමයි පාර හදල තිබ්බෙ. ඇත්තටම අර්ධ උමඟක් වගෙ. මට මතකයි උඩිං වහලෙ වගෙ තිබ්බ ගල. රම්බොඩ පාස් එතනට කිව්වෙ.

      Delete
    2. කතාව හරි ලස්සනට (ඛේදාන්තයක් සමග වුවත්) ගලායනවා සමාන්තර සිද්ධි කීපයක් එක්ක. මෙහෙම එකක් දැක්කමයි.

      Delete

  8. ඉස්කෝලෙ මගින් නවතල අවුරුදු 17 විතර ලංකාවට ඇවිත් භාවිතාවෙන්ම ඉගෙනගත්තු කොල්ලෙක්ගෙ සැළසුම සහ මෙහෙයුම මත ඔය පාර අවුරුදු එකසිය පණහකට විතර උඩදි රම්බොඩ ගල අයිනෙන් විදල හැදුව කියන එක අද සමහරුන්ට විහිළුවක් වෙයි.

    මට මතකයි ඉස්සර නුවර නුවර එළි බස් යනකොට ඔතන නවත්තල දෙපැත්තට පාසෙ වෙන විදිහ. ඔය පාරෙ මම ආසම තැන් දෙකෙන් එකක් තමයි රම්බොඩ සිංහ කට.

    සුනාමිය ගැන මගේ අත්දැකීම මම එක පාරක් ලිව්ව. බටපොල ඉස්පිරිතාලෙ මිනී ගඳ, පැරෑළියෙ විසිලිඅ තිබ්බ දත් විලිස්සගෙන අත්පා මිටිකරගත්තු ඒ දුක්විඳපු නිරුවත් සරීර කවදාවත් අමතක වෙන එකක් නෑ!

    ReplyDelete
  9. ඔය දවස අමතක වෙන්නේ නෑ තමයි . මොකද අපේ ගේ පදිංචි වෙච්ච දවස . එදා දානයක් දුන්නා අපි . අපේ නෑදෑයෝ ගොඩක්ම අපේ ගෙදර ආවා . එයාලගේ ගෙවල් වල තිබ්බ දේවල් පවා මුහුදට ගහගෙන ගිහින් තිබුණා එයාලා රත්නපුරේ ඉන්න අතරේම . මතකය අවධි කරාට ස්තූති :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...