Friday, June 19, 2015

326. අසාමාන්‍ය රංගධරයෝ කිසිදා මියනොයති. ඔවුහු සැඳෑ අඳුරට මුසුව සැඟව යනු පමණි. They never die, just fade away into twilight.


Image - Sunday Observer

ඡායා සහ ටාසන්...කෑගල්ල නගරයෙ ඒ කාලෙ තිබ්බෙ චිත්‍රපට ශාලා දෙකයි. ඒ කාලෙ කියන්නෙ 1976 අවුරුද්දෙ. නගරය මැද ලංගම බස් නැවතුම්පළ ලඟම එකිනෙකට යාර 400 වගෙ දුරින් තිබුනු ඒ ෆිල්ම් හෝල් දෙකේ ගාල තිබ්බ පාටත් මට තාම මතකයි. ඡායා හෝල් එකේ ගාල තිබ්බෙ රෝස පාට..ටාසන් එකේ අළුපාට. 

පෞද්ගලික බස් රථවලට ඒ කාලෙ අවසර තිබ්බෙ වන්දනාගමන්, අධ්‍යාපන චාරිකා, මළගෙවල් ට්‍රිප් වගෙ එව්ව යන්ට විතරයි. පෞද්ගලික බස් වලට පොදු මගී ප්‍රවාහණයට අවසර ලබාදුන්නු ජේ.ආර්. ගෙ යූ.ඇන්.පී. ආණ්ඩුව බලයට පත්වෙන්නෙ තව අවුරුද්දකට වගෙ පස්සෙ. ටාසන් පෞද්ගලික බස් රථ සමාගම ඒ කාලෙ කෑගල්ලෙ විතරක් නෙවෙයි මධ්‍යම පළාතෙත් කුරුණෑගල පැත්තෙත් ප්‍රසිද්ධයි. ටාසන් හෝල් එකයි බස් කොම්පැණියයි දෙකම එකම සමාගමේ. ඒ නිසා බොහොමයක් දවස්වල අපි 9.30 චිත්‍රපට දර්ශණය බලල එළියට එනකොට හෝල් එක ඉස්සරහ මිදුලෙ ටාසන් බස් දෙක තුනක් ගාල් කරල තිබ්බ. 

අද වෙනකොට නම් ටාසන් හෝල් එක ඉස්සරහ එහෙම ඉඩ පහසුවක් නෑ. අවුරුදු හත අටකට උඩදි දවසක් බස් එකේ කොළඹ යද්දි මම දැක්ක ටාසන් හෝල් එක ඉස්සරහ තිබ්බ ඒ බිම් කොටසෙ කඩ සාප්පු සංකීර්ණයක් ඉදිකරල තියනව.ආ...තව එකක්...ඡායා හෝල් එක පැත්තකිනුත් මිලානෝ කියල තවත් ෆිල්ම් හෝල් එකක් පස්සෙ කාලෙක හදල තියනව.

අප්පච්චිට උසස්වීමකුත් එක්ක ස්ථාන මාරුවක් ලැබුන හින්ද අපේ පවුලෙ අනික් අය මාව කෑගල්ලෙ නවත්තල 1975 අවුරුද්දෙ අන්තිමේ ගියා අනුරාධපුරේට. ඊලඟ අවුරුද්දෙ අන්තිමට ජා.පො.අ.ස. විභාගෙ ලියන්ට නියමිතව තිබුන නිසා මට කෑගල්ලෙම නවතින්ට වුනා.එහෙම වෙන්ට හේතුව ප්‍රාග් වෘත්තිය 2 විෂයට මම කරපු මෝටර් යාන්ත්‍රික විද්‍යාව විෂයය උගන්වන ඉස්කෝලයක් අනුරාධපුරේ තිබුනෙ නෑ.

අවුරුදු හතරක් උගන්වන විෂයයක් අන්තිම අවුරුද්දෙදි වෙනස්කරල වෙනම විෂයක් විභාගෙකට කරන්ට බැරිනිසාම මම එකේ පන්තියෙ ඉඳලම මගෙ හොඳම යාලුවගෙ ගෙදර අවුරුද්දකට නැවතුනා.කෑගල්ලෙ පොලීසිය පහුකරල නුවර පාර අයිනෙම බොහොම සේසයක් දුර එයාලගෙ ගෙවල් තිබ්බෙ. ඒ හරියට කියන්නෙ මීපිටිය.ඒ කිට්ටුවම තිබ්බ පොලිස් නිල නිවාසවල ඒ දවස්වල හිටිය නැඟීඑන තරුණ වාදකයෙක්. රූකාන්ත ගුණතිලක.

මගෙ යාලුවට තිබ්බ පෙර-යොවුන් වියේ ආකර්ෂණයක් (A Pre-teenage Crush ) එක්තරා රූමත් යොවුන් නිළියක් කෙරෙහි. ඈ නීටා ප්‍රනාන්දු.

76 අවුරුද්දෙ මැද භාගයෙ විතර නීටා රඟපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුනා. විජය ධර්මශ්‍රී ගේ පළමු අධ්‍යක්ෂණය..චිත්‍රපටය දුහුළු මලක්...

දුහුළු මලක් චිත්‍රපට ටෝනි කලේ ප්‍රධාන චරිතය නෙවෙයි.අනියම් පෙමක පටලැවෙන තරුණ කාන්තාවකගේ සැමියාගේ භූමිකාව....ඒ භූමිකාව ඔහු කොපමණ අපූරුවට ඉදිරිපත් කලාද කියතොත් ප්‍රධාන චරිත රඟපෑ නීටා සහ රවීන්ද්‍රගේ නම් මට අද මතකයට නඟාගත නොහැකි වුවත් ටෝනි රඟපෑ චරිතයේ නම මට අදත් මතකයි..සුරවීර...නීටා ඔහුට කතා කරන්නෙ සුරේ කියල." අනේ ඇයි සුරේ මේ? ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නෙ? " නීටා ටෝනිගෙන් එහෙම අහන්නෙ නීටාගේ අනියම් පෙම පිළිබඳව ටෝනිට යම් සැකයක් මතුවුනු දා රාත්‍රියෙහිදී........

දුහුළු මලක් චිත්‍රපටය ගැන කිවයුතු අනෙක් වැදගත්ම කාරණය එහි අඩංගුවුනු අපූරු ගීත. 

රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි, 
පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟකල ආදරයයි, 

බොඳ මීදුම් කඳුරැල්ලේ, සුරංගනා රජ දහනේ, 
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්….

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගිහිල්ලත් තවමත් ඉඳහිටලා ඉබේටම වගෙ මගෙ මුවින් මිමිණෙන ගීත දෙකක්. ඒ සුප්‍රසිද්ධ ගීත දෙකට අමතරව දුහුළු මලක් එකේ තිබ්බ තවත් එතරම් ප්‍රසිද්ධ නොවුනු අපූරු ගීතයක්. මිල්ටන් මල්ලවාරච්චි නම්වූ ගායකයා කිව්වෙ..

රෝමය ලෙසේ...අතීතයේ...
ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ..
වෙණවයා සැනසෙමූ..නීරෝ...වගෙඅපී..
වෙණ වයා සැනසෙමූ..නීරෝ...වගෙ අපී..

ඒ අවුරුද්දෙම දුහුළු මලක් එකට පස්සෙ තිරගතවුනා මංගලා චිත්‍රපටය.. ඒ කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු රජයෙ වෙළඳ ඇමති පදවිය දරපු ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ නවකතාවක් ඇසුරින් කරපු නිර්මාණයක්. ඒ කාලෙ ඉලංහරත්න මහත්මයගෙ පොත්වලින් චිත්‍රපට ගහන රැල්ලක් තිබ්බා. මංගලා, තිලක හා තිලකා, නෑදෑයෝ,සසර, ළසඳා, ඉලංගරත්න මහත්මයගෙ ඔය ඔක්කොම පොත්වලින් චිත්‍රපට ගැහැව්ව. දැන් අර රූපවාහිනියෙ ලොක්කා වෙලා ඉන්න මනුස්සයා මිනිහගෙ අර දෙකයි පණහෙ චිත්‍රපට ඔක්කොම රූපවාහිනියෙ පෙන්නනව වගේ....හෙහ්,හෙහ්, 

මංගලා ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය රඟපෑවෙ නීටා....මම අර කලින් කිව්වෙ මගෙ යාලුවා.....මිනිහගෙ ක්‍රෂ් එක මේ වනකොට අසාධ්‍යය තත්ත්වයට ඇවිල්ලයි තිබ්බෙ. මිනිහ කොහොමහරි අපේ පංතියෙ හිටපු යාලුවෙක්ගෙ මාර්ගයෙන් ( ඒ යාලුවගෙ අයිය කෙනෙක් වැඩකලා ඡායා හෝල් එකේ කැන්ටිමේ ) මංගලා ෆිල්ම් එකේ අඩි 3 x අඩි 2 වගෙ පෝස්ටර් එකක් හොයාගෙන මිනිහගෙ ඇඳ ඉහත්තාවෙ බිත්තියෙ අලව ගත්ත. 

හැමදාම රෑට නිදාගන්ට ගිහිල්ල මනුස්සය ඇඳේ දහරමණ්ඩිය ගොතාගෙන නීටගෙ පෝස්ටරේ දිහා බලා ඉන්නව එක විනාඩි දහයක් පාළහක් තරම. මට නේද? විකාරද අමරදේව....

අනික ඔය චිත්‍රකතා සහ චිත්‍රකතා පොත් නැඟල යන කාලෙ. ලන්දේසි හටන ( 1-8 දක්වා කොටස් අටක් තිබ්බා ) පහන් තරුව, සඳ කුමරිය, බිලි පූජාව, ඒ කාලෙ ප්‍රසිද්ධ වෙච්චි චිත්‍රකතා පොත්, ලන්දේසි හටන සහ පහන් තරුව ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න.

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා... 
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා... 
කම් පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා... 
මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා..." 

ගුත්තිල කාව්‍යයෙ සඳහන් වෙන සුරඟන රැඟුම් ගැන කියවෙන ඒ ගීතය ගැයුවෙ සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල.රූපවාහිනියෙ ඒ කාලෙ මාසෙකට වතාවක් ප්‍රචාරය වෙච්චි වෙච්චි නන්දන වින්දන වැඩ සටහනේ සුසිල් ප්‍රේමරත්න චිත්‍ර ඵලකයක් ඉස්සරහ ඉඳගෙන රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරන දර්ශනය මට කිසිදාක අන්මතක වෙන එකක් නෑ. ගීතය ගයන අතරේ ඔහු තම පින්සල් තුඩඟින් ඵලකය මත නර්තනයේ යෙදෙන දෙවඟනන්ගේ රූ සිරි මැවූ අයුරු විස්මය ජනකයි. ඔහු ගීතය ගායනය කරලා අවසාන වන විට චිත්‍ර ඵලකය මත ගුත්තිලයන්ගේ වෙණ නද අනුව පා තබමින් නර්තනයේ යෙදෙන දෙවඟනන් නිරූපණය වී අවසන්. කලාවේ නෛසර්ගික හැකියාව කියන්නෙ අන්න ඒක.

දයා රාජපක්ෂ..ඒ තවත් එදවස අපේ හද බැඳගත් චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ හුලවාලි චිත්‍රකතාව පදනම් කරගෙන නිපදවුනු හුලවාලි චිත්‍රපටයේ ටෝනි නිරූපණය කලේ දුහුළු මලක් චිත්‍රපටයේ ඔහු නිරූපණය කල චරිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ චරිතයයි. දුහුළු මලක් හි ඔහු තම බිරිඳගේ අනියම් සබඳකම හේතුකොටගෙන වේදනා විඳිනා ස්වාමියා වන විට හුලවාලිහි ඔහු රොඩී රැහේ නායක ධාරාගේ අඹුව වූ සුබා හා පෙමින් වෙලී ඈ හා පළායන බිබිලේ ඇත්තෝ නම් වෙළෙන්දාගේ භූමිකාව නිරූපණය කලා.

පෙම්බර මධූ...ඒ ටෝනි රඟපෑ තවත් චිත්‍රපටයක්. පෙම්බර මධූ එක් අතකින් සුවිශේෂී චිත්‍රපටයක්. ඒ වනාහී අවසානයක් දෙකක් සහිත ප්‍රථම සිංහල චිත්‍රපටයයි. දවසක් හැර දවසක් සේ පෙම්බර මධූ ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලාවල ඒ අවසානයන් දෙක නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබුනා.

1979 වසරේ විතර වගෙ මට මතක ...සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් " එදා මෙදාතුර සිංහල සිනමාවේ මංසලකුණු සනිටුහන් කල සිතුවම් පට " යන මැයෙන් 
චිත්‍ර
පට උළෙලක් කොළඹ රීගල් සිනමාහලේ පැවත්වුනා. ඒ චිත්‍රපට උළෙලේදී ගම් පෙරළියේ බලදාස සහ පරසතුමල් හි බොනී මහත්තයාගේ වතුපිටි පාලනය කරන සුපවයිසර් වරයා මට හමුවුනා. ඒ චරිත දෙකම විශිෂ්ට අයුරින් නිරූපණය කලේ ටෝනි.


බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ 
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ 
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ 
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ 

පරසතුමල් 
චිත්‍ර
පටය අවසාන වෙන්නෙ ගාමිණී ෆොන්සේකාගේ හඬින්ම ගැයෙන ඒ ශෝකීරාවය සවන් විනිවිද යද්දි.

හන්තානේ කතාව චිත්‍රපටය මම නැරඹුවෙ බොහොම පස්සෙ කාලෙක රූපවාහිනියෙ ප්‍රදර්ශනය කරද්දි. ටෝනි, විජය සහ ස්වර්ණා සමඟ හන්තානේ කතාවෙත් ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ටෝනිගේ කුසලතා පරාසය රඟපෑමට විතරක් සීමා වුනේ නෑ. 

චිත්‍රපට තිරනාටක රචනය - කොටි වලිගය, අවරගිර, තරණය, දුවට මවක මිස, කෙළිමඬල හා පවුරු වළලු

වේදිකා රංගනය - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, රන්තෝඩු, වැනිසියේ වෙළෙන්දා, හරිම බඩු හයක්, අවි, ගිම්හානේ රැයක දුටු සිහිනයක්

වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය - දොළොස්වැනි රාත්‍රිය, ජුලියස් සීසර් 

එතරම් ප්‍රසිද්ධ නොවූවද ඔහු නවකථා රචකයකුද විය -ආදරණීය අයිරා, ජෝගි හමාරයි, මට කවුරුවත් ආදරේ නෑ හා හැමදාම ඔබ මගේ 

අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාවකට උරුමකම් කීවද තම සහජ හැකියාවෙන් උපයාගත් මහජන ප්‍රසාදය, සිවිල් බලය ඔහු කිසිදා ගණිකා වෘත්තියෙහි නොයෙදීය. ඔහු කිසිදිනෙක කිසිවකුගේ සට්ටඹියකු නොවීය. බොහෝ කළාකරුවන් දේශපාලන වේදිකාවට ගොඩනැඟි 2005 වසරේදී පවා ඔහු කිසිදු පුද්ගලයෙකුට මනාපය ප්‍රකාශ කරන ලෙස අපගෙන් ඉල්ලා නොසිටියේය. ඒ ටෝනිගේ අධීනත්වයයි. ඒ ඔහුගේ පෞරුෂත්වයයි. 

ඔබට සුබ ගමන් අනුපමේය රංගධරයාණනි!!!

Image - Sunday Observer

64 comments:

  1. අයිසෙ, මමත් සම කාලීනයෙක් නොවැ. බොහෝවිට දන්නවත් ඇති
    ඔය කන්ද උඩ තියෙනෙ ඒ කාලෙනම් කිව්වෙ නාහෙට අහන්නෙ නැති උන් උන්න ඉස්කෝලෙ. මමත් අනන්තවත් ඔය හෝල්වල මකුණො මරල තියෙනව 10.30 ට ඉස්කූල් කට් කොරල ඇවිත්.
    ඇයි රංවල හංදියෙ තිබුන පරාක්‍රම හෝල් එක , දැන්නම් තියේද මන්ද.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      / ඔය කන්ද උඩ තියෙනෙ ඒ කාලෙනම් කිව්වෙ නාහෙට අහන්නෙ නැති උන් උන්න ඉස්කෝලෙ /

      කොළඹ නුවර පාර අයිනෙ තියන කන්ද උඩ ඉස්කෝලෙ ගැන වෙන්ටැ මේ කියන්නෙ...මමත් එහෙනං ඒ නාහෙට අහන්නෙ නැති එකෙක් තමයි. මාත් ගියේ ඒකට...:)

      / අයිසෙ, මමත් සම කාලීනයෙක් නොවැ. බොහෝවිට දන්නවත් ඇති /

      දන්නව ඇති...දන්නව ඇති...හෙහ්,හෙහ්

      / ඇයි රංවල හංදියෙ තිබුන පරාක්‍රම හෝල් එක , දැන්නම් තියේද මන්ද. /

      පරාක්‍රමේට අපි වැඩිය ගියේ නෑ. කෑගල්ලෙ හිටපු කාලෙටම ඕකෙ බැලුවෙ ෆිල්ම්ස් දෙකයි. එකක් කව්බෝයි ෆිල්ම් එකක්. අනික ඒ කාලෙ ආව Crazy boysකියල සීරීස් එකක්. ඒකෙ මුල්ම එක, Crazy Boys Of The Games...ප්‍රංශ කොමඩි එකක්. ඉංග්‍රීසි දෙබස් කවපු එක තමයි අපි බැලුවෙ.

      Delete
    2. නෑ නෑ අයිසෙ අනිත් එක (අර බිග් මැච්වලදි ගුටිකන්නෙ) අන්න ඒකෙ.
      අපිනම් වැඩිපුරම කලේ තපවනේ දිගේ බාලිකාව අයිනට ගිහින් කෙල්ලො දිහා බලන් ඉන්න එක

      Delete
    3. ඇනෝ,

      ආ..එහනං ඔබතුමා ඒ ඉස්කෝලෙ නේද? මම ඔය A1 පාර අයිනෙ ඉස්කෝලෙට ගිය අවුරුදු 9 ටම බිග්මැච් එක ගැහුවෙ නෑ. හැටගණංවල අන්තිම කාලෙ මොකක් හරි බොහොම දරුණු ගුටිකෙළියක් ගිහිල්ල ඊට පස්සෙ ප්‍රින්සිපල්ල දෙන්න කතාවෙලා මැච් එක නවත්තල දාල. අපි ඉන්නකොට ඔන්න මේ අවුරුද්දෙනම් බිග්මැච් එක ගහනවමයි..ලබන අවුරුද්දෙ නම් බඩු ෂුවර් කියල ආරංචි පැතිරුනාට එහෙම දෙයක් වුනේ නෑ. ඒත් අපි ඉස්කොලෙං අයින් වෙලා අවුරුදු හත අටකට පස්සෙ මම හිතන්නෙ බිග්මැච් එක ආයම පටන්ගත්තද කොහෙද..

      Delete
    4. මාත් සමකාලීනයෙක් නෙව.. හෙහ්!
      මෙන්න ඔය කියන ක්‍රේසි බෝයිස් ෆිල්ම් එක
      https://youtu.be/Kn4yTZ_e1VU

      Delete
    5. Kandyan,

      හෙහ්..උඩරැටියාත් එහෙමද? වෙල්කම්...වෙල්කම්!

      ක්‍රේසි බෝයිස් ලින්ක් එක මමත් උඩින් දැම්මා....

      Delete
    6. අයිසෙ මහත්‍තයා විද්‍යාලෙද​? අපිනං මේරියන්ස්ලා.

      Delete
  2. පරාක්‍රම හෝල් එකට හරි ටාසන් එකට හරි තිබ්බ ෆිල්ම් කටවුට් ගහගෙන යන මරු වන්ඩියක්. අදත් සමහර වෙලාවට යනව මගෙ හිතේ. ඒ කාලෙ ඉඳල xx ෆිල්ම් වලට තමයි කොල්ලො පරාක්‍රම එකට රිංගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      / පරාක්‍රම හෝල් එකට හරි ටාසන් එකට හරි තිබ්බ ෆිල්ම් කටවුට් ගහගෙන යන මරු වන්ඩියක්. /

      ටාසන් හෝල් එකට නේද ඒ වෑන් එක තිබ්බෙ? මට මතක විදිහට සුදුපාට කොමර් වෑන් තඩියක්. පිටිපස්සෙ නම්බර් ප්ලේට් එක ගහල තිබ්බෙ යට නෙවෙයි උඩ වහලෙට කිට්ටුව. ඕක දෙපැත්තෙ විසාල ලීරාමුවක ගහපු බිල් බෝඩ්ස් දෙකකුත් බැඳගෙන කෑගල්ල ටවුමෙයි අවට ගම්වලයි යනව දවස පුරාම. ලවුස්කීපර් එකකින් කෑගහනව හංදියක් හංදියක් ගානෙ නවත්තල. ඕකෙ සද්දෙ ඇහෙනකොට අපි මෙලෝ සිහියක් නැතුව දුවනව මහපාරට. හෙහ්..ස්තූතියි ඇනෝ...අපූරු මතක සටහනක් ආයම සිහි කැඳෙව්වට...:)

      Delete
  3. අද වගේ මතකයි. ඉස්කෝලෙන් හොරෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගිය දවසෙ මිලානො එක ඉස්සරහ මාව බල්ලෙක් කෑව​.

    ReplyDelete
    Replies
    1. හි හි ඊට පස්සේ ? අපේ මාමටත් ඔය වගේ සීන් එකක් වෙලා තිබ්බා ෆිල්ම් බලන්න ගිහින් එද්දී ඔයා අපේ ඇතුල මාමද :D

      Delete
    2. ඔව් දරුවො නැන්දට කියන්නෙ එහෙම නෑ හොඳේ.

      Delete
    3. හු හු හු ඔයා එයා නෙමේ.. එයා මට පුතා කියන්නේ දරුවෝ කියන්නේ නෑ :D

      Delete
    4. අම්මට සිරිගජ නැන්දට කජුමද ..ජරමර අස්සෙ බරකරත්ත... අලි මදිවට හරක්...හරක් මදිවට තව කිණිතුල්ලොත් කිව්ව වගෙ ඒ අව් අස්සෙ මෙන්න මෙතන මාමෙකුයි ලේලියෙකුයි සෙට් වෙලා...හා..හා...හොඳා...හොඳා...:)

      Delete
    5. ඔමාගේ හීන- ApurviJune 19, 2015 at 10:36 AM

      "හි හි ඊට පස්සේ ? අපේ මාමටත් ඔය වගේ සීන් එකක් වෙලා තිබ්බා ෆිල්ම් බලන්න ගිහින් එද්දී ඔයා අපේ ඇතුල මාමද :D"

      අපොයි ඔයාගෙ මාමනම් නෙවෙයි. බල්ල කෑවෙ හෝල් එකට රිංගන්න හොරගල් අහුලනකොට​.

      Delete
  4. අඩේ කැගල්ලෙ උන් රංචුවයි, සෙට් වෙමුද හැන්දෑවට

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ කාලෙ අපිනං සෙට් වෙන්නෙ බෙතනි කූල් ස්පොට් එකට නැත්තං විජය ක්‍රීම් හවුස් එකට..එහෙමත් නැත්තං සල්ගාදු එකට..ඒ සෙට් වෙන්නෙත් අයිස්ක්‍රිම් එකක් කන්ට නැත්තං පස්තෑලයක් කාල ටී එකක් බොන්ට..අපි හිච්චි එවුන් නෙව ඒ කාලෙ..උගුරු ඇටේ කැඩිලත් නෑ...ඒ සෙට් වෙන්නෙත් හාව හඳ දැක්ක වගෙ බොහොම කලාතුරකින්..අතට සල්ලි කීයල හරි එන්නෙත් බොහොම අහම්බෙන් ඒ කාලෙ, ඒකයි හේතුව....

      Delete
    2. දැන් ඔයපොට් වල කොල්ලො නැහැ. සේරම වෙනස් වෙලා.

      Delete
  5. කෝ, මේකෙ රවිගෙ අනන්‍ය ශෛලිය නෑනෙ. දිගටම එකම මාතෘකාවට ලියලනෙ.

    ටෝනි මගෙත් හොඳම නළුවෙක්. ටෝනිගෙ මං දකින හොඳම දේ තමයි ඕවර් ඇක්ටිං නැති කම. දෙබස් කියන්නෙ හරියටම සජීවීව.

    අර, චිත්‍රපටියෙ අවසාන දෙක තිබුණෙ කොහොමද? එකක් ශෝකාන්ත, අනික සුඛාන්තද?

    ReplyDelete
    Replies
    1. //අර, චිත්‍රපටියෙ අවසාන දෙක තිබුණෙ කොහොමද? එකක් ශෝකාන්ත, අනික සුඛාන්තද?//
      ඔය රවි අයිය බලපු හෝල් එකේ ප්‍රොජෙක්ටර් ඔපරේට් කරන කොල්ලට එකපාරක් අන්තිම රීල් එක වැරදිලා වෙන එකක් වැටිල. මිනිහ ඉන් පස්සෙ දිගටම ඒ වැඩේ කොරගෙන ගිහිල්ල. :D

      Delete
    2. ඩ්‍රැකී,

      / කෝ, මේකෙ රවිගෙ අනන්‍ය ශෛලිය නෑනෙ. දිගටම එකම මාතෘකාවට ලියලනෙ. /

      එහෙම ලවක් දෙවක් නැතුව පඳුරු තලන්ටත් බෑනෙ බං මෙතන..මේක ඇවිල්ල ගුණානුස්මරණයක්.....:)

      / අර, චිත්‍රපටියෙ අවසාන දෙක තිබුණෙ කොහොමද? එකක් ශෝකාන්ත, අනික සුඛාන්තද? /

      පෙම්බර මධූ චිත්‍රපටය හැදුනෙ නවකථාවකින්. ලිව්වෙ එච්චරම ප්‍රසිද්ධ නැති ලේඛකයෙක්. ඇන්තනි පීටර් හෙට්ටිආරච්චි...මුලින්ම කතාවෙ නම වෙන මොකක්ද එකක්...චිත්‍රපටය ජනප්‍රිය වුනාට පස්සෙ නවල් එකේ අලුත් මුද්‍රණවල අර පරණ නම අයින් කරලපෙම්බර මධූ කියල යෙදුවා.

      කතාව සරලව මෙහෙමයි. තරුණයෙක් සහ තරුණියක් ඉන්නව ප්‍රේමවන්තයො. මොකක් හරි හේතුවකට දෙන්න අමනාප වෙනව. පස්සෙ අර තරුණයා තරුණිය පස්සෙන්ම එනව ආයම සම්බන්ධය පටන් ගමුය කියල කරදර කරමින්. තරුණිය හිතන්නෙ මේ එන්නෙ ලිංගික ආශාවකින් මිසක් ආදරේකට නෙවෙයි කියල. බැරිම තැන ඉඳා උඹට ඕන මේකනෙ...ඉතිං ආසාව සංසිඳවගනිං ආය මා පස්සෙ එන්න එපා කියල ඇය ඇඳං හිටපු ගවුම ගලවන්ට ලෑස්ති වෙනව. තරුණයාට තරහ ගිය පාර ගහනව කම්මුලට එකක්.ඒ කරල පිටවෙලා යනව. ඒ එක අවසානයක්..අනික් අවසානයෙ තරුණියට තේරෙනව තරුණයා ඇයට ඇත්තටම ආදරෙයි කියල. තරුණයා එලියට බැහැල යනකොට ඈ දුවගෙන ඇවිල්ල ඔහුව වැළඳ ගන්නව..

      සුඛාන්තය මොකක්ද දුඛාන්තය මොකක්ද කියන එක ඉතිං තමන්ට රුචි පරිදි තීරණය කරන්ට පුලුවනි....හෙහ්,හෙහ්,

      Delete
    3. Prasanna,

      චිත්‍රපටය - පෙම්බර මධූ.

      තිරගත වූ දිනය – 1977 පෙබරවාරි 22
      ඉදිරිපත් කිරීම - සිනෙරු චිත්‍රපට
      නිෂ්පාදනය - සීතා රෝහිනී රත්වත්ත
      අධ්‍යක්ෂණය - සුගතපාල සෙනරත් යාපා
      කතාව - ඇන්ටනි පීටර් හෙට්ටිආරච්චි
      නළු නිළියන් -
      විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති ලේඛා, දෙනවක හාමිනේ, සෝමසිරි දෙහිපිටිය, වී. ටී. ජී. කරුණාරත්න,
      ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්, මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි
      පිටපත් ප්‍රමාණය - 17
      විශේෂතා - අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
      දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.

      Delete
  6. සිරාවටම ඩ්‍රැකා අහපු එක මටත් හිතුණ මොකද එහෙම පිච්චර් ගැන ඇත්තටම දැනන් උන්නෙ නෑනෙ...
    නම් වෙනස් වුණාට කෑගල්ලෙ හෝල් වල ඔක්කම තාව එකයි මේ ලෝකෙ රහක් නෑ මකුණෝ හැතිකරෙත් එක්ක මොන ෆිල්ම්ද රවි අය්ය..
    අලව්වෙ ජීවනී එකේ නං රිංග රිංග මකුණො කකා xx බලල තියේ ඒත් කෑගල්ලෙ ටවුම මැද්දෑවෙ ඕවට යන්නෙ කවුද

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / නම් වෙනස් වුණාට කෑගල්ලෙ හෝල් වල ඔක්කම තාව එකයි මේ ලෝකෙ රහක් නෑ මකුණෝ හැතිකරෙත් එක්ක මොන ෆිල්ම්ද රවි අය්ය../

      ඒ කාලෙනම් එහෙමට මකුණු කරදරයක් තිබ්බෙ නෑ ඡායා ටාසන් දෙකේම. බොහොම හොඳට තිබ්බ පහසුකම්.මම ඉස්සෙල්ලම යුරිනල් එකක් දැක්කෙ ටාසන් එකේ.යුරිනල් එකක මුත්‍රා කරන්ට ඒ කාලෙ මට පුදුම ආසාවක් තිබ්බෙ. ඉතිං ෆිල්ම් එකක් බලන්ට ගිහාම මට ෆිල්ම් එක පටන් ගන්ට ඉස්සෙල්ල දෙපාරක්, ඉන්ටර්වල් එකේ ආයම පාරක් සහ ඉවරවෙලා තව පාරක් වශයෙන් මුත්‍රා කරන්ට ඕන වෙනවමයි. " මොකද ළමයො මේ ෆිල්ම් එකක් බලන්ට ආපුවහම මොකද ඔයාට මේ දියවැඩියාව හැදෙනවද? " අම්ම එහෙම අහනව.

      Delete
  7. ඇත්තටම ටෝනි කියන්නෙ දක්ෂ නලුවෙක්. ටෝනි රඟපාන ශෛලියෙන් එයාව කාට උනත් මතක හිටිනව.

    //වෙණ වයා සැනසෙමූ..නීරෝ...වගෙ අපී..// මේක අප්‍රකට සින්දුවක් නෙමේ නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      //වෙණ වයා සැනසෙමූ..නීරෝ...වගෙ අපී..// මේක අප්‍රකට සින්දුවක් නෙමේ නෙ. /

      මම කිව්වෙ මල්ලි දුහුළු මලක් එකේ අනික් සිංදු දෙක එක්ක සාපේක්ෂව,

      Delete
  8. රවිට ශ්‍රී වික්‍රම චිත්‍රකතාව මතක නැද්ද?
    ඔය ගුත්තිලයේ රූ රැසේ කවිය ඒකෙත් තියනව, රජු ඉදිරියේ ඉදිරියේ රංගනයකදී.
    ඒ චිත්‍රකතාවනම් ඇන්දෙ ප්‍රේමරත්න නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      දැන් ප්‍රා කිව්වට පස්සෙ මතකයි වගෙ හිතෙනවා...:)

      Delete
  9. මම පරණ චිත්‍රපටි පිස්සියක් ( ඒ ගැන මම ලියල ඇති) ඒ අතරින් මාරම ඇක්ටින් එක්ක මාරම පෙනුමක් ටෝනි ට තිබ්බේ. ගාමිණීගේ අහලකින්වත් තියන්න බැහැ. ඒ කාලේ ටෝනි ගැන හිත හිතම පනකෙන්ද ගියාද කියල හිතෙනවා. හික්... හික්.. එතරම් එයාට කැරිස්මා එකක් තිබ්බ කියල මම විස්වාස කරනවා.

    ඔහුගේ වියෝව අපරාදයක් කියන්න බැහැ. අමුත්තක් නෙවෙයි. ( නරුම කතාවක් උනත් ඇත්ත කියන්න එපැයි ) නමුත් මතකයේ හිටින ජාතියේ නළුවෙක්. මතකට එක ටෙලිනාට්‍යක හිටියා ලෝයර් කෙනෙක් විදියට.
    "හලෝ මම එල් ඒ ඩබ්ලිව් 'ලෝ' මිසක් ඩබ්ලිව් ඒ එල් 'වල්' නෙවෙයි" කියල දෙබසක් කියනවා මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / ඒ අතරින් මාරම ඇක්ටින් එක්ක මාරම පෙනුමක් ටෝනි ට තිබ්බේ. ගාමිණීගේ අහලකින්වත් තියන්න බැහැ. /

      යකෝ..උඹ මෙතන ටෝනිට අපහාසයක්නෙ කරල තියෙන්නෙ. උඹ කියල තියෙන්නෙ ටෝනිව ගාමිණීගෙ අහලකින් තියන්න බෑ කියල නේද? …:)

      / ඔහුගේ වියෝව අපරාදයක් කියන්න බැහැ. අමුත්තක් නෙවෙයි./

      ඔබ හරි...උපන්නොත් මැරෙන්නත් එපාය...නැද්ද? " ආවොත් යන්න වෙනවා " එහෙම කිව්වෙ කවුද බං?.... සරච්චන්ද්‍ර මහත්තය නේද?

      Delete
    2. අපහාසයක් නෙවෙයි අය්යෝ... සිනමාවේ සක්විති කිය කියා බෙර ගැහුවට, මට නම් ගාමිණී සිනමා වීරයෙක් නෙවෙයි. සිනමාවේ 'තරුවක්' වෙන්න නම් කැරිස්මා එකක් තියෙන්න ඕනේ. මාලනීට ඒක තිබ්බ. මාලනී සිනමාවෙන් සමුඅරගෙන ආච්චියෙන් උනහම මම ඉපදුනත්, ටෝනි ඒ කාලේ මාරම හැන්ඩ්සම් බව කවුද පිළිගන්නේ නැත්තේ? ගාමිණි එක්ක ටෝනි ළඟින්වත් තියන්න බැහැ. උඩින් මිසක්!

      ඔව් ඔව්... එයා තමයි....

      Delete
  10. ටෝනි එක පාරට ගස්සලා බලන ගැම්ම කොහොමද.. දැන් ඉන්න නළුවෝ මොනුන්ද කියලවත් අපි දන්නේ නැහනේ අප්පා.. ඔයා ගේ ස්ටොරිය ටිකක් කියවන් එද්දී මට නිකන් හිතුණේ මේ අරූ අයියගේ අවුල් වන්නට පෙර කතාවද කියලා .. අර සඳුන් සෙවන ලියන මාමත් චිත්‍රපටි ලෝලියෙක් තමයි ඔයාලගේ සමකාලිනයොනේ.. අපි නම් ඉතින් බඩෙත් නෑ ඔය කාලේ .

    ReplyDelete
    Replies
    1. ඔමා..

      / ඔයා ගේ ස්ටොරිය ටිකක් කියවන් එද්දී මට නිකන් හිතුණේ මේ අරූ අයියගේ අවුල් වන්නට පෙර කතාවද කියලා ./

      අරූ ගොයිය හිරේ දාල බං...චාර්ලිස් කුමාරය ඇවිල්ල අරූස්ගෙ හොඳ ගජයා. දවසක් දෙන්න එක්ක සැට් වෙච්චි දවසක චාලියා අඬ අඬ අරූ එක්ක කියල උගේ දුක. අම්මි රජකමේ එල්ලිල ඉන්නවය. ඌට දැං හැටහතක් වෙනවය වයස. රජ වෙන්ට කලිං මැරිල යයිය මෙහෙම ගියොත් ..අරකද මේකද..හෙන ඇඬියාවක්..

      අපේ අරූ ඇවිල්ල හිත හොඳ කොලුව. යාලුවන්ට පන උනත් දෙයි ලෝස් නැතුව. ඕකා ඒ පාර කරල තියෙන වැඩේ දන්නවද? ඩෝප් මරගාතෙම බකිංහැම් පැලස් එකේ අර ඉස්සරහ යකඩ වැට තියෙන්නෙ..අන්න ඒක උඩට නැඟල අහල ගං හතටම ඇහෙන්ට කෑගහල.." අඩෝ එලිසබෙත්.... මම මේ උඹට හොඳිං කියන්නෙ...උඹ චාලියාට රජකම බාර දෙනවද නැද්ද?" පස්සෙ රැජිනට ඇහැරිල මේ කලබැගෑනියට. වහාම බැල්කනියට ඇවිල්ල බලල 911 එකට කෝල් කරල. පස්සෙ පොලීසියෙං ඇවිල්ල අරූව වැටෙං බස්සගෙන අරං ගිහිල්ල නඩු අහල අවුරුදු පහකට හිරේ දාල. රැජිනගේ නින්දට බාධා කිරීම තමයි ප්‍රධාන චෝදනාව..

      හැබැයි එකක් තියෙන්නෙ චාලියා මූව බලන්ට ඇවිල්ල පොරොන්දු උනාලු ඌ රජවුනු ගමං අරූව එලියට දානව කියල. නයිට් පදවියකුත් දෙනවයි කිව්වලු. අතකොට ඕකා සර් අරුණ...සිංහලෙන් ශ්‍රීමත් අරුණ...අරූගෙ අඩවියෙ නමත් වෙනස් කරන්ට වෙයි මයෙ හිතේ. සර් අරූගේ අඩවිය කියල..

      Delete
    2. හි හි හි හි ඔයත් ෂෝයි කතා කියන්නේ හිටන්

      Delete
  11. අනේ බං රවියෝ. අද ලංකාදීපෙට කොහේද සනත් ගොයියා ලියපු එකත් එක්ක බැලුවම උඹේ එක ගව් ගානක් උඩින්.. ජය.. ටෝනිට සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. දේශක්ස්,

      ස්තූතියි බොහෝමත්ම ....:)

      Delete
  12. අද සමුගෙන යතත් සමුදෙනු නොහැකි ටෝනි, ඔබට නිවන් සුව ලැබේවා. පෙම්බර මධූ චිත්‍රපටයෙහි අප දුටු ඔබේ රංගන පෞරුෂය ජෝතිමත් රන්ස්වරය හා මුසු වූ අයුරු නැවතත් සිහිගන්වමින් ...
    https://www.facebook.com/jothipala.everliving.legend/posts/1003347233077827

    ReplyDelete
    Replies
    1. වික්ටර් රත්නායකයන් ගායන

      "පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
      සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ..."කියන සින්දුව ඔය "පෙම්බර මධු"චිත්‍රපටිය හා සම්බන්ධ එකක් නෙමේද?

      Delete
    2. මනෝජ් ඔබ හරි. ඒ සින්දුවත් මේ චිත්‍රපටියෙම තමයි. මෙන්න ගීත ලැයිස්තුව

      මුහුද ගලා ඒනම් - ජෝතිපාල/ ඇන්ජලින් (පී. එල්. ඒ. සෝමපාල
      පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
      හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
      ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි (තනුව - ප්‍රේමසිරි කේමදාස)
      දෙනුවන් බිඟුන් - ජෝතිපාල / ඇන්ජලින් (පී. එල්. ඒ.සෝමපාල)
      සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)

      Delete
    3. ඇනෝ සහ මනෝජ්,

      ස්තූතියි...:)

      Delete
  13. ඔය වගේම ටකරන් හෝල් දෙකක් තිබ්බ බදුල්ලෙත් ලඟ ලඟ ම.. රෙක්ස් එකයි කිංග්ස් එකයි.. කිංග්ස් තිබ්බ තැන අද තියෙන්නේ සුපර් මාකට් එකක්.. අනේ අපරාදේ කියන්න බෑ රෙක්ස් එකනම් තාම ඒ වගේම තියෙනව. හොඳටම තිබ්බ මොඩර්න් හෝල් එක අසූ තුනේ ගිනි තිබ්බනේ.. දැන් එතන මොඩර්න් කම්ප්ලෙක්ස් කියල කඩ පේළියක් තියෙනවා.. රවීයිය කියපු ඔය ඔක්කොම ෆිල්ම් වගේ මම නම් බලල තියෙන්නේ ටීවී එකේ. දෙලොවක් අතර ගැනත් වචනයක් හරි කිය වුනානම් හොඳයි කියල හිතුණ..
    නන්දන වින්දනේ මුලින් ගිය ඊට පස්සේ ජාතික රූපවාහිනියේ නිතර ගිය රූ රැසේ ගීතය හා රූප රචනයට ඔය සමාන හේතු නිසාම මං අදටත් ආසයි.
    ටෝනි මැරිච්ච දවසේ උදේ කන තැනදි එකෙක් කියුවා 'ටෝනි රණසිංහ මැරිල'යි කියල.. ඒතකොට එතන හිටපු තරුණ (කිව්වට මං හොයල බැලුව 89 වගේ ඉපදෙච්චි එකෙක්) අහපි 'අර විකට නළුව නේද?' කියල.. මට හිතා ගන්න බැරි උනා අඬන්නද හිනාවෙන්නද කියල.. පස්සේ අපි මූණෙන් මූණ බලාගන්නකොට ඌටම තේරිල මොකක් හරි අප්සෙට් එකක් කියල 'නෑ මේ ලඟදි බැලුව ෆිල්ම් දෙහෙකම හිටියේ ටිකක් විකට වගේ චරිත වලට' කියල ෂේප් උනා.. රවී අයියා ඒකට කියන්නේ නෛසර්ගික රසවින්දනය හරි මොකක් හරි කියලද?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / ඔය වගේම ටකරන් හෝල් දෙකක් තිබ්බ බදුල්ලෙත් ලඟ ලඟ ම.. /

      අඩේ මේ... ඔය වගේම කියන්නෙ කෑගල්ලෙ තිබ්බ හෝල් දෙක ටකරන් නෙවෙයි හරිද? නියම විදිහට ගඩොල් බිත්ති බැඳල හදපු අංග සම්පූර්ණ හෝල්....

      ඔය ටකරන් හෝල් දෙකක් තිබ්බ අනුරාධපුරේ..විජේන්ද්‍ර සහ නිව් විජේන්ද්‍ර...ඒ දෙකෙනුත් පොළ ගාව තිබ්බ විජේන්ද්‍ර එක තමයි මරු.විජේන්ද්‍ර එකට හැමෝම කිව්වෙ කැළෑ විජේන්ද්‍ර කියල. ඒකෙ ටකරං යටිං ඇතුලට එනව පොළොංගු හිට. අනික තද වැස්සක් පටංගත්තොත් එහෙම වැස්ස පායනකල් ෆිල්ම් එක නවත්තනව. මොකද මේලෝකෙ දෙයක් ඇහෙන්නෙ නෑ ටකරං වහලට වතුර වැටෙන සද්දෙ මිස...

      එක පාරක් මම අපෙ මාමත් එක්ක ගියා සරදියෙල්ගේ පුතා බලන්ට.ඉන්ටවල් එක ඉවරවෙලා ආයම ෆිල්ම් එක පටංගෙන විනාඩි පහක් ගියේ නෑ. මිනිස්සු ඔක්කොම මරහඬ තිඅයගෙන දුවන්ට පටංගත්ත පුටුත් පෙරලගෙන. බලනකොට ඕ.ඩී.සී. එකේ පුටුවක් යට පොළොංගු දෙන්නෙක් ඉඳල. මිනිස්සු ඔලුව හැරුන අතේ දිව්ව නිසා පොලොංගු මරල බැලින්නං නරඹන්නො නෑ.පස්සෙ එදා ටිකට් වලට පහුවදා නොමිලේ සරදියෙල්ගේ පුතා පෙන්නුව.

      / හොඳටම තිබ්බ මොඩර්න් හෝල් එක අසූ තුනේ ගිනි තිබ්බනේ.. /

      මමත් බදුල්ලෙ ෆිල්ම් එකක් බැලුව 1979 විතර අපෙ පොඩි අම්මලගෙ ගෙදර ආපු වෙලාවක. ටකරං හෝල් එහෙක නම් නෙවෙයි...ඒ කියන්නෙ ඔය මොඩර්න් එකේ වෙන්නැති. අංකූර් කියල හින්දි ෆිල්ම් එකක්.

      / දෙලොවක් අතර ගැනත් වචනයක් හරි කිය වුනානම් හොඳයි කියල හිතුණ.. /

      දෙළොවක් අතරෙත් ටෝනිගෙ රඟපෑම් විශිෂ්ඨයි කියල කියනව. ඒත් මල්ලි මට දෙලොවක් අතර බලන්ට හම්බවුනේ නෑ. ඒ නිසයි ලිව්වෙ නැත්තෙ.

      අපි ඒ කාලෙ දෙලොවක් අතර බාලිකාව කියල කිව්වෙ දේවි බාලිකාවට. එක පැත්තකිං කාසල් එක, අනික් පැත්තෙං කනත්ත...:)

      / රවී අයියා ඒකට කියන්නේ නෛසර්ගික රසවින්දනය හරි මොකක් හරි කියලද? /

      ඒකට කිව්වැහැකි " ආවේණික රසවින්දනය " නැත්නම් " තම තම නැණ පමණ " කියල......:)

      Delete
  14. //දැන් අර රූපවාහිනියෙ ලොක්කා වෙලා ඉන්න මනුස්සයා මිනිහගෙ අර දෙකයි පණහෙ චිත්‍රපට ඔක්කොම රූපවාහිනියෙ පෙන්නනව වගේ....හෙහ්,හෙහ්,//
    කට ඇරපන් මචං කාලක් වක්කරන්න.ඔය කාලකන්නිය ඔතෙන්ට දාල තියෙන්නෙ උගෙ තුට්ටු දෙකේ කබල් ෆිල්ම් ටී වී එකේ පෙන්නගන්න වෙන්න ඇති.මට පේන්න බෑ බං හැන්ද තියෙනකොට බෙදාගැනිල්ල.දැන් උගෙ ෆිල්ම් තුනක්ද කොහෙද පෙන්නුවා අදත් එකක් පෙන්නනවා.තව මාස දෙකක් යද්දි ඌ හදපු ඔක්කොම පෙන්නල ඉවර කරයි.අනේ අම්මප ඕකාට විරුද්ධව කතා කරන්න කෙනෙක් නැති හැටි.මට මල පැනපු පාර ටෝනිවත් අමතක උනා බං.

    ReplyDelete
    Replies
    1. Helapa,

      / දැන් උගෙ ෆිල්ම් තුනක්ද කොහෙද පෙන්නුවා අදත් එකක් පෙන්නනවා.තව මාස දෙකක් යද්දි ඌ හදපු ඔක්කොම පෙන්නල ඉවර කරයි. /

      කාළකන්නි යක්කු බං...අම්මාපල්ල මුංට විලි ලැජ්ජාව කියල එකක් නැද්ද මන්ද තමංගෙ පුරප්පට්ටුව තමන්ම ගහ ගන්ට...ඊට හපං ඔයිට ඉහලිං ඉන්න එකෙකුට කොන්ද පන නැද්ද මන්ද මොකද්ද ඕයි මේ කරන අලුගුත්තේරු වැඩේ... කියල අහල ඔය නාඩගම නවත්තල දාන්ට...අපේම කරුමෙ තමයි..වෙන මොකක්ද ඉතිං?

      Delete
  15. ටෝනි රණසිංහ.. තම ගෞරවය එක එකා ඉදිරියේ පාච්චල් කර නොගත්තා කියන වචනෙන්ම තේරෙනවා ඔහුගෙ අගේ.. ජයලත් මනෝරත්නට වැරදුනු තැන ඔතන.. දැං එයා ගැන මෙහෙම කියන්න බෑ නෙ..අපරාදෙ.
    අනේ ඉතින් අපේ කාලෙ කියලා පෙන්නන්න නළුවෙක් නැති හැටියක්..
    ඔහුට සුභ ගමන්..!!
    ඔබට ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඒ ඉතිං බං එක එක්කෙනාගෙ අදහස්, කශේරුකාවේ ශක්තිය සහ කොතරම් දුරට තම ප්‍රතිපත්ති රැකගැනීමට ඔහු/ඇය සූදානම්ද? යන කාරණා මත රැඳී පවතින්නක්.

      ස්තූතියි ගස්....:)

      Delete
  16. දැන් කාලේ ඉන්න නළුවෝ එක්ක බලද්දී මෙන්න නියම නළුවෝ.. ලංකාවේ ඉද්දීනම් ටීවී එකේ යද්දී පරණ ෆිල්ම් ගොඩක් වෙලාවට බලනවා.. නම් වලින් කියන්න ලොකු මතකයක් නැතත් ටෝනි රණසිංහයන්ගෙත් ගොඩක් ෆිල්ම්ස් මම බලලා ඇති..

    ඔහුට සුබ ගමන්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඇත්තටම ටෝනි විශිෂ්ඨ ගණයේ ලා සැලකියහැකි නළුවෙක්......

      Delete
  17. මුලදිම හැදුව හින්දි/දෙමල කොපි වලට වඩා අපේ අනන්‍යතාවය තියෙන චිත්‍රපටි හැදුනු කාලයක් ගැන රවී අයියා මතක් කරලා තියෙන්නෙ. දුහුළු මලක් එකේ ඔය කියන සින්දු දෙක අදටත් කිසි අඩුවක් නැතිව රස වින්දැකි යූ ටියුබ් එකේ.
    ටෝනි කියන්නෙ බොහොම ගාම්භීර වගේම අහිංසක චරිත වලටත් මුලදී තරුණ වගේම පසුව හොඳ මුහුකුරා ගිය චරිත වලටත් අඩු නැතිව සාධාරණය ඉටුකල චරිතාංග නළුවෙක්. නිවන් සුව පතමු!

    මේ විස්තරය පණ පිහිටුවලා ලියලා තියෙනවා. බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මාධවී,

      / ටෝනි කියන්නෙ බොහොම ගාම්භීර වගේම අහිංසක චරිත වලටත් මුලදී තරුණ වගේම පසුව හොඳ මුහුකුරා ගිය චරිත වලටත් අඩු නැතිව සාධාරණය ඉටුකල චරිතාංග නළුවෙක්. /

      ඔව් බං ටෝනි ප්‍රතිභාපූර්ණ නළුවෙක්..සටහන සාර්ථකව ලියවිලා තියනවයි කියල හිතෙනවනම් ඒකෙත් ස්තූතිය හිමිවිය යුත්තෙ ටෝනිටම තමයි. ඔහු කෙරෙහි මගේ හිතේ පවතින ආදරය සහ ගෞරවය නිසාමයි එහෙම සජීවී සටහනක් ලියවෙන්නට ඇත්තෙ. ස්තූතියි මාධවී.....:)

      Delete
    2. Watch....
      https://www.youtube.com/watch?v=-RJo99_nefY
      https://www.youtube.com/watch?v=GArMzRpGgsM

      Delete
  18. ඔව් අසාමාන්‍ය රංගධරයෝ කවදාවත් මිය යන්නෑ ඔවුන් අලුත් නිර්මාණ වලට දායක නොවෙනවා විතරයි.
    ටෝනි රණසිංහ තමන් පණ පොවපු හැම චරිතයකටම සාධාරණයක් ඉටුකල නළුවෙක්. ඒ වගේ මම දැකපු බොහොම දක්ෂ ලේඛකයෙක් ගැනත් මෙතනම ලියන්න ඕනි කියලා හිතුනා. ඔහු හරියට ඇවිදින පුස්තකාලයක් වගේ. බොහෝ දේවල් ගැන වගේම අපේ භාෂාව ගැනත් හොද දැනුමක් අවබෝධයක් තියෙන තමන්ගෙ පෑනෙන් ලියවෙන හැම චරිතයකටම සාධාරණයක් කරන දක්ෂ ලියන්නෙක්.
    "කුකුළේ ගඟ සේෆ්ටි", "විසි වසරක ශේෂ පත්‍රය" "විශ්වයම නතර වු මොහොතක" "විසිපස්විය සපිරි හබල්" "පළමුව මව්බිම....." විමලෙගෙ වාම් පතුල් කතා" සහ "අසාමාන්‍ය රංගධරයෝ..." පහුගිය කාලෙ මගේ ඇහැ ගැටුන වෙනස් වෙනස් ශ්‍යෛලයෙන් ලියවුන සටහන්. බොහොමයක් ලියන්නො අවස්ථාව මොකක් උනත් ලියන රටාවෙ කිසිස් වෙනසක් නෑ....හරියට හැම චරිතෙම එකම විදිහට රඟපාන දැන් කාලෙ නළුවො වගේ.
    ඒ අතින් ඔබ බොහෝ දේවල් ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙන දක්ෂ ලේඛකයෙක්. මම ගොඩක් දේවල් ගැන දැනුමක් විශේෂයෙන්ම සිංහල වචන සහ අක්ෂර "නිදහස් සිතුවිලි" වලින් ඉගෙන ගන්නවා...විශේෂයෙන්ම කමෙන්ට් වල හොද පැහැදිලි කිරිම් තියෙනව.
    කොටින්ම කිව්වොත් ජීවිත කාලෙටම විෂයානුබද්ධ පොත පතක් ඇරුනම වෙන පොතක් කියලා එකම එක නවකතාවක් විතරක් කියවලා තියෙන අපේ ගෙදර ඉන්න තව කෙනෙක් නිදහස් සිතුවිලි කියවන්න ඇබ්බැහි වෙලා.ඒකට ස්තූති කරන්න වචන නෑ.
    බ්ලොග් ලෝකෙට සීමා නොවී ඔබේ හැකියාවට නිසි තැනක් ලබාදෙන්නට උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      හප්පච්චියේ...ස්තූතියි..ස්තූතියි...ස්තූතියි...බොහෝමත්ම ස්තූතියි!!!!

      දශක පහකට අධික කාලයක් මේ මහ පොළව මත ජීවත් වුනහම " උපන්නාට මේ ලොව වැනෙනවා විනා " මොඩල් එකේ කෙනෙක් නොවෙයි නම් ඕනම මනුස්සයෙකුට මිලකල නොහැකි අපූර්ව අත්දැකීම් සමූහයක් විඳින්නට ලැබෙනවා. ඒක ඉර හඳ වගෙ විශ්වාසයි.හැබැයි සීයට අනූනමයයි දශම නවයයි නවයකට වෙන්නෙ ඒ තමන් ලබපු අත්දැකීම් මොනතරම් වටිනාකමකින් යුතුදැයි කියල හරිහැටි වැටහීමක් නැති කම. ඒ ගැන ලිවිය යුතුයැයි හැඟීමක් හා / හෝ කාල වේලාවක් නැතිකම. එහෙම නැත්නම් අපි හැමෝගෙම ඇතුලෙ මම හිතන විදිහට කවියෙක්, රචකයෙක් ඉන්නව. පොඩි උත්තේජනයක් දීල කළ එළි බස්සලා ගන්ට විතරයි තියෙන්නෙ.

      බොහොම අහම්බෙන් ලිවීමට යොමුවූ මම කලේ මගේ ඒ ජීවිත අත්දැකීම් සහ ඒ අසුරින් පරිකල්පනය මෙහෙයවා ගෙතූ නිර්මාණ අකුරු කිරීම පමණයි. යන්තමට අකුරක් ගැටගහගෙන කියවීමට හැකිවූ දා පටන් අතට අහුවෙන ඕනෑම පොතක්, පත්තරයක්, සඟරාවක්. කැළෑ පත්තරයක්, කවි කොළයක් රෑ නිදි වරාගෙන හෝ කියවීමේ ඇබ්බැහියත් මේ ජීවිතය අකුරු කිරීමෙහිදී බොහෝ සේ පිටිවහල් වූ බව්ද නොකියාම නොහැකියි.

      මගේ ලියවිල්ල ඇගයීම පිළිබඳව ආයෙම ඔබට අනේක වාරයක් ස්තූතියි සඳ වියමන්....

      Delete
    2. / කොටින්ම කිව්වොත් ජීවිත කාලෙටම විෂයානුබද්ධ පොත පතක් ඇරුනම වෙන පොතක් කියලා එකම එක නවකතාවක් විතරක් කියවලා තියෙන අපේ ගෙදර ඉන්න තව කෙනෙක් නිදහස් සිතුවිලි කියවන්න ඇබ්බැහි වෙලා. /

      මගෙ ලිවිල්ලට ලැබුනු ඉහලම අගැයීමක් සහ ප්‍රශංසාවක්..බොහොම ස්තූතියි සඳ වියමන්....:)

      Delete
  19. දයා රාජපක්ෂයන් තවමත් අඳිනවා නේ ලංකාදීපේට.

    //බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
    දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
    මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ//

    මේක මහගමසේකරයන්ගේ අපුරු පද රචනයක්නේ.කාලයක් මුණු පොතේ මගේ කවර් ෆොටෝ එකට තිබ්බෙත් එක.දැන් තියෙන්නේත් සේකරයන්ගේම තවත් අපුරු කවියක් වන

    "අඳුරු අහසේ තාරකා සේ
    සිඳුරු කර මා හද සිනාසේ
    දුරක සිටියත් ලඟක සිටියත්
    ඔබේ ඇස මට නිබඳ සිහි වේ"

    කියන කවිය. සේකරයන් ද රවීයියා කියන ආකාරයේ
    නෛසර්ගික හැකියාවන්ගෙන් යුක්ත කලාකරුවෙක් විය යුතුයි නිසැකවම.

    ටෝනි රණසිංහයන්,ජෝ අබේවික්‍රමයන් තරමට නොවුනත් මට මා ප්‍රිය කරන රංගධරයෙක්.
    නමුත් ඔවුන්ගේ අඩුව පුරවන්න තබා ඒ අසලටවත් (ධර්මප්‍රිය ඩයස්,කුමාර තිරිමාදුර,මහේන්ද්‍ර පෙරේරා ඇතුළු කිහිප දෙනෙක් හැර) එන්න තරම් නළුවන් දැන් අල්ප වීම එක්තරා අභාග්‍යක්.

    ටෝනි ඔබට සුබ ගමන් !

    ReplyDelete
    Replies
    1. Manoj,

      බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ 
      දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ 
      මා ආදරය දුටුබව නොම හැඟුණාවේ 
      මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ


      පරසතුමල් චිත්‍රපටය අවසන් වෙන්නෙ බොනී මහත්තයා ලෙස එහි ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණීගේ හඬින්ම ගැයෙන ඉහත ශෝකී කවි රාවයෙනි. එහි වීඩියෝවක් සොයාගැන්මට ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

      / සේකරයන් ද රවීයියා කියන ආකාරයේ නෛසර්ගික හැකියාවන්ගෙන් යුක්ත කලාකරුවෙක් විය යුතුයි නිසැකවම. /

      සේකර කියන්නෙත් මල්ලි පුදුම හැකියාවක් තිබුනු කලාකරුවෙක්.

      සේකරගේ ගීතයේ මීවිත පණ්ඩිත් අමරදේව  "මහගමසේකර - අමරදේව ඇසුර හරිම රසාත්මකයි. කවුරුත් දන්නේ අපේ ඇසුර ගී පොතයි මීවිතයි කියන පද දෙකෙන්": පණ්ඩිත් අමරදේවයන් මිහිරි අතීතාවර්ජනයක..

      Delete
  20. ටෝනි රණසිංහ ගේ ෆිල්ම් අපිනම් වැඩිපුර බැලුවේ රූපවාහිනියෙන්. එත් පොඩි කාලේ දැන් ඒකෙ පෙන්නන්නේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ගේ ඒවා විතරනේ .

    ටෝනි රණසිංහ " ලෝක ක්‍රිකට් කුසලාන පුරාණය " කියලා ක්‍රිකට් සම්බන්ධ පොතකුත් ලියලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      / ටෝනි රණසිංහ " ලෝක ක්‍රිකට් කුසලාන පුරාණය " කියලා ක්‍රිකට් සම්බන්ධ පොතකුත් ලියලා තියෙනවා නේද? /

      බොහොම ස්තූතියි ඉවාන්. ටෝනි කියන්නෙ දැඩි ක්‍රිකට් ලෝලියෙක්ය කියල දැනගෙන හිටියට වර්ල්ඩ් කප් එක ගැන ටෝනි පොතක් ලියපු බව මම හාංකවීසියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ. නැත්තං අනිවාර්යයෙන් මගෙ සටහනේ ඒ ගැන කියනව. ස්තූතියි ආයෙමත් දැනුවත් කිරීම ගැන....:)

      Delete
    2. මාත් දැන් දැනගත්තේ තැන්ක්ස් ඉවාන් අයියේ

      Delete
  21. ටෝනි එද්දී මං ඉපදිලත් නෑ...උන්දැ මයේ සීය කෙනෙක්, මාම කෙනෙක් තරම් වයස ඇති. ඒ උනාට රවී අයියට කියන්ට...තරුණ ටෝනි ට මාත් ඉස්සර සිරා ක්‍රෂ්.ටයිම් මැෂින් එකක් තිබ්බ නම් ගිහිං හොයාන ගිහිං කසාද බැඳගන්ට තරම් තදබල මෙව්වා එකක් තිබ්බ ඉස්කෝලේ කාලේදී. දන්නවනේ තින් ඔය අවුරුදු 14-15 කාලේ එන මොලේ අමාරු! ටෝනි ගේ ගමනට හෙම මම මාර ආසයි. කතා කරන විදිහත් සිරා....RIP ටෝනි!

    ReplyDelete
  22. මම හිතන්නේ අපේ පරම්පරාව ටෝනි රණසිංහගේ හොඳම රඟපෑම් දැකලා නෑ. අපි ටෝනිව වැඩිපුර දැක්කේ උප චරිත වල රඟපානවා තමයි. ටෝනිගේ මුල් කාලේ ඡායාරූප බැලුවහම නිකං විජයගේ සහෝදරයෙක් වගේ පෙනුම.

    කොහොම හරි අපි දැකපු චරිත සුළු ප්‍රමාණෙන් පවා බොහොම හොඳ මතකයක් ඉතිරි කරපු නළුවෙක්. සම්මුඛ සාකච්ඡා වලින් පවා හොඳින් පේනවා ඔහු හොඳට පොත පත කියවන බුද්ධිමතෙක් බව.

    ReplyDelete
  23. අපිටත් වීරයෝ උනේ විජය, ජීවන් මිසක් ටෝනි නෙවෙයි. ටෝනි ගැන මතකය තියෙන්නේ ටෙලිනාට්‍ය වලින් තමයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...