Friday, November 18, 2016

457. බද්රියා මාර්ග සංඥා අසලදී මුණ ගැසුනු ඒ අපූර්ව මිනිසා…….

දැං අවුරුද්දක තරම ඉඳල සතියෙ දවස් දෙකක් මම වැඩ කරන්නෙ කිලෝමීටර් හතළිහක් වගෙ ඈත තියන වැඩබිමක. යුද හමුදා කඳවුරක ගොඩනැගිලි ඉදිකිරීමක්. ඒ දක්වා තියන පාර එක පැත්තකට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් නිසා ගමනට ගතවෙන කාලය නම් බොහොම ටිකයි. වාහන තදබදය උපරිම තිබ්බත් විනාඩි තිස්පහක් නැත්නම් හතළිහක්.

අපෙ ඔෆිස් එක තියෙන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල කිලෝ මීටර් පහක් වගෙ එහා. එතෙන්ට උදේ ගිහාම  එතනිං හයි ඒස් වෑන් එකක් පිටත් වෙනව හරියට හතට අර මම කලින් කියපු ප්‍රොජෙක්ට් සයිට් එකට. මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල ඔෆිස් එක ගාවට යන්ට මම ටැක්සියක් කතාකරගෙන තිබ්බ. ලංකාවෙ මුස්ලිම් මනුස්සයෙක්. ගෙවල් මේ ගල්නෑව පැත්තෙ.

ඉතිං මම කිව්වනෙ ඔය ආමි කෑම්ප් එකේ මම වැඩ කරන්නෙ සතියට දවස් දෙකයි කියල. ඒ ඇවිදිල්ල හිට සඳුදා සහ බදාදා.

මේ දවස්වල පුදුම විදිහට පාරෙ ට්‍රැෆික්. මේ ඔෆිස් එකට තියන  කිලෝ මීටර් පහක් හයක් යන්ට අඩුම ගානෙ විනාඩි හතළිස් පහක් වගෙවත් යන එක යනවමයි. ඔය කේස් එක හින්ද මම කොහොමත් ආමි කෑම්ප් යන දවසට උදේ හයයි දහය වගෙ වෙනකොට එන්ට කියල අර මගෙ සුපුරුදු රියදුරු තෙමේට කියල තියෙන්නෙ.

මේ පහුගිය සඳුදා තිස් එක්වෙනිද ඔන්න උදේ හයයි දහය වෙනකනුත් ටැක්සිය නෑ. මළ කෙළියයි. හොඳටම පරක්කුයි. අනික හත වෙනකොට ඔෆිස් එක ළඟට ගිහිල්ල ඉන්න වෙනව. මම එනකල් වෑන් එකනම් ඉඳී. ඒත් මම හින්ද අනික් කට්ටිය ඔක්කොමල බලං ඉන්ට වෙන එකට මම කැමති නෑ.

මම ගත්ත කෝල් එකක්.."මේ මුසම්මිල් කොහෙද බං ඉන්නෙ? අද එන්නෙ නැද්ද?" 

"හරි වැඩේනෙ සර් මෙතන මේ රමඩා සිග්නල් එකේ දැන් විනාඩි පහළවකට වැඩියි"

"ඒ කියන්නෙ තව විනාඩි පහළවක්වත් යයිද මෙතනට එන්ට එහෙමද?" 

"ඔව් ඒ වගේ වෙයි"

"මේ මම කියන්ටද? මම කොහොම හරි යන්නං ....උඹ එන්න ඕන නෑ එහෙනං අද...හරි? "

"හරි සර්, අනේ සොරි.."

"හරි හරි ඒක ප්‍රශ්ණයක් නෑ...එහෙනං මම තිබ්බ"

එතනට රමාඩා සිග්නල්ස් කියන්නෙ ඒ සිව්මංසල නොහොත් හතරමං හන්දිය නොහොත් ජන්ක්ෂන් එක නොහොත් ජන්ක් එක අසල කලින් රමාඩා හොටේල් එක තිබ්බ නිසා. තිබ්බයි කිව්වට තාමත් හොටේල් එක නම් තියනව. ඒත් දැන් ඒකෙ නම රැඩිෂන් බ්ලූ. හෝටලේක අයිතිය වෙනස් වුනාම නමත් ඒ එක්කම වෙනස් වෙනව. ලංකාවෙත් කොම්පඤ්ඤ වීදියෙ රමාඩා රෙනේසන්ස් හොටේල් එක පස්සෙ ට්‍රාන්ස් ඒෂියා වුනේ ඒ විදිහට.

"ෂික්, මේ යකා කරපු වැඩේ..දැං පලයංකො ටැක්සියක් හොයාගෙන ….." දවල් කෑම පෙට්ටියයි, වෑන් එකේ යන ගමන් කියවන්ට පොතකුයි දාගත්තු පොඩි කැන්වස් මල්ලත් කරේ එල්ලගෙන මම ගෙදරින් එළියට බස්සෙ මුසම්මිලාට සුටු පුටු ගෑවිල්ලෙ එහෙම දෙස් දෙවොල් තියාගෙන.

මම ඉන්න එපාට්මන්ට් එක කිට්ටුවම තියනව බොහොම ජනාකීර්ණ හතරමං හන්දියක්. එතනට කියන්නෙ බද්රියා සිග්නල්ස්. ඒ කිට්ටුව බොහෝ වෙලාවට ටැක්සි එහෙම තියනව. කිව්වත් වාගෙ බද්රියා සිග්නල්ස් ලඟම තියෙන ඉන්දියන් තෝස කඩේ (ඒකෙ නම ඇවිල්ල හිට ටොප් ස්ටාර් රෙස්ටුරන්ට්. තෝස, ඉඩ්ලි, පූරි,පරාටා, නාන්,පොංගල් ඕන එකක් තියනව. මාර රසයි. රෙස්ටුරන්ට් සහ හෝටල් ගැන වෙනම ලියන්නං වෙලාවක. හොඳද? ) ලඟට යන්ට වුනේ නෑ බැලූ බැල්මටම අවුරුදු අඩුම ගානෙ පහළවක්වත් පරණ ටොයෝටා කරීනා එකක් දුර ඉඳලම හෙඩ් ලයිට්ස් දෙපාරක් වගෙ ෆ්ලෑෂ් කරමින් එනව දැක්ක. 

Masala Dosai with Curd Vadai
 @ Top Star Restaurant -
ටොප් ස්ටාර් අවන්හලෙහි ඉතා රසවත්
මසාල තෝස සහ වඩේ

ඒ තමයි හොර ටැක්සි රියදුරන්ගෙ පිළිගත් සහ සාම්ප්‍රදායික සංඥාව නොහොත් සිගනෑල් එක. මෙහෙ නිල වශයෙන් රජයේ ලියාපදිංචි ටැක්සි සහ ලිමුසීන් වලට විතරයි මගීන් ප්‍රවාහනය කරන්ට අවසර තියෙන්නෙ. ඒත් දස දහස් ගණනක් විදේශික සංක්‍රමණිකයො නීති විරෝධී ලෙස මගී ප්‍රවාහනයෙ යෙදිල කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්නව. ස්වකීය සුතනඹුවන් ජීවත් කරවනව. පොලිසිය වුනත් එළිපිටම එහෙම දෙයක් කෙරෙන අවස්ථාවක, බැරිම තැනක මිසක්කා ඒ ගැන ඒ හැටි තැකීමක් කරන්නෙ නෑ. 

ඈතදිම මම දැක්ක රියදුරා සුදුවන් තරමක් දිගු රැවුලක් වැවූ දණිහෙන් පල්ලෙහාට වැටෙන ලෝගුවක් වගෙ ඇඳුමක් ඇඳගත්තු වයස්ගත පුද්ගලයෙක් බව. ඔය විදිහට අඳින්නෙ පකිස්තානුවන්. විශේෂයෙන්ම පෂ්ටූන්ස් නමින් හැඳින්වෙන වයඹ දිග පකිස්තානෙ ඇෆ්ඝනිස්ථාන දේශ සීමාව අසල වෙසෙන කට්ටිය.

මම පාරට අඩියක් තියල අත දැම්ම. කාර් එක මා ගාවම නැවැත්තුව. මම ඉස්සරහ දොර ඇරල නැඟල ඉඳ ගත්ත. රියදුරා මා දිහා බලල ඇහිබැම ඉහළට උස්සල යම්තමට හිනාවුනා. 

"කොහාටද ඔහෙට යන්ට ඕන?" ගොලු බාසාවෙන් ඒ ඇහුවෙ එහෙමයි. 

"අයි නීඩ් ටු ගෝ ටු මිඩ්මැක්"

"ඔකේ…"

"බට් ඩෝන්ට් ගෝ ටු රමාඩා සිග්නල්ස්, ටූ මච් ට්‍රැෆික් දෙයා. ගෝ ටු අල් සාද් ඇන්ඩ් ටර්න් ලෙෆ්ට්"

"ඔකේ" රියදුරා රථය පාරට ගත්ත. "නෝ ප්‍රොබ්ලම්…. යූ නෝ ද වේ?"

"යස් අයි විල් ෂෝ යූ."

"ලෙෆ්ට්…. රයිට්…. ස්ට්‍රේට්…" මම මාර්ගෝපදේශක වැඩේ කලා.

ඊලඟ සිග්නල් එක ගාව දිග පෝලිමක්. මම රියදුරා දිහාට හැරුන. ටැක්සියක යද්දි කසාය බීපු ගොලුවො වගෙ නහයට කෙලින් ඉස්සරහ බලාගෙන යන එක මට මරන්න වගෙ වැඩක්. රියදුරා කතා කරන්න කැමතිනම් භාෂාව තේරෙන්නෙ නැත්නම් ගොළු භාෂාවෙන් හරි කතා කරන එක මගෙ සිරිත.

සමහර වෙලාවට අපූරු වැඩත් වෙනව. රියදුරා කලින්ම හිතනව මමත් ඒ මනුස්සයගෙ භාෂාව දන්නවය කියල. එහෙම පූර්ව නිගමනයකට එළඹිලා මම වාහනේට නැග්ග වෙලාවෙ ඉඳල බහින වෙලාව වෙනකල් එක දිගටම මොන මොනව හරි කියවනව වක්කඩේ කැඩුව වගෙ.

මටත් ඉතින් වෙන්නෙ "මේ මට උඹගෙ භාෂාව කෙහෙම්මල භාෂාව තේරෙන්නෙ නෑ බොලේ" කියල කෙලින්ම මූණටම කියන්ට නිකම් මොකක්ද මේ දුකක් සංතාපයක් වගෙ මොකක්ද එකක් හිතෙනව. ඒ හින්ද මම කරන්නෙ මුනිවත රකිමින් ඒ ඒ අදාල තැන්වලට සුදුසු පරිදි සාත්වික අභිනයන් ඉදිරිපත් කරනව.

සාත්වික අභිනය දන්නවනෙ නේද? නාට්‍ය සහ රංග කලාවෙදි උගන්වන සතර අභිනයන්ගෙන් එකක්. සතර අභිනයන් කියන්නෙ මහල්ලෙක්, ලෙඩෙක්, මලසිරුරක් සහ හාමුදුරු නමක්...හෙහ්,හෙහ්,...වාචික අභිනය, සාත්වික අභිනය, ආංගික අභිනය සහ ආහාර්ය අභිනය.

වාචික අභිනය - කථා ස්වරයෙන් හැඟීම් පළකිරීම 

සාත්වික අභිනය - මුහුණේ ඉරියව් මඟින් හැඟීම් පළකිරීම

ආංගික අභිනය - ශාරීරික අවයව චලනයෙන් හැඟීම් ප්‍රකාශ කිරීම

ආහාර්ය අභිනය - ඇඳුම් පැළදුම් මඟින් හැඟීම් ප්‍රකාශ කිරීම

කතා කරන ස්වරය අනුව මේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල උපකල්පනය කරල ඒ අනුසාරයෙන් මූණ හදාගන්න එක හැමෝටම කරන්ට පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට නිතර පැට්ටිස් වෙන්ට ඕමනයි. සතතාභ්‍යාසය කියල අර විදග්ධයො කියන්නෙ ඔය ඕකටනෙ. කන්ටිනුවස්ලි ප්‍රැක්ටිසිං. කතාව දුක්බර වෙනකොට ඔන්න අඬන්ට මෙන්න අඬන්ට වගෙ මූණ හදාගන්ට ඕමනයි. විහිලුවක් වගෙ කලාම බක බක යන අනුකරණයෙන් හිනාවෙන්ටත් ඕමනයි.

ඔතන මූණ හදාගන්න එක එච්චර අමාරුවක් නෙවෙයි. වැදගත් කාරණේ අදාල අවස්ථාවට අදාල  මූණ හරියට තීරණය කරගන්න එක. එහෙම නැතිවුනොත් වැඩේ ජෝන් බාස්ට යනව. ඒ ජෝන් බාස්ගෙ කතාව ගැන මම කලින් දවසක කිව්ව වගෙ මතකයි.

"Dear God, grant me the courage to change the things I can, the serenity to accept the things I cannot change, and the wisdom to know the difference" - Reinhold Niebuhr

"යු ෆ්‍රොම් පකිස්තාන්?" මම ඇහුව දිගු ලෝගු ධාරී රියදුරු තෙමේගෙන්. 

"යස්, හව් යූ නෝ?" ලෝගු ධාරියා මා දිහා බලල හිනාවෙල ඇහුව. 

"බයි වට් යූ ආ වෙයාරිං. ජෙනරලි මෝස්ට් ඔෆ් ද පකිස්ටානිස් වෙයාර් ලයික් දිස්."

"යස් මෝස්ට්ලි"

මේ පකිස්තානුවගෙ ඉංග්‍රීසි හොඳටම හොඳයි. බහුතරයකට ඉංග්‍රීසි යම්තමට වචනයක් දෙකකට වගෙ ඇරෙන්න කතාකරන්න බෑ. අනික ඉතිං කුලීරථ රියදුරු රස්සාවකට ඉංග්‍රීසි මහ ලොකු දැනුමක් ඕනත් නැහැනෙ. ලෙෆ්ට්, රයිට්, ස්ට්‍රේට්, නෙක්ස්ට් සිග්නල්, නෙක්ස්ට් රවුන්ඩ් අබවුට්, ස්ටොප් හව් මච්?, ටෙන්, ෆිෆ්ටීන්, නෝ නෝ ටූ මච්, ඔන්න ඔය ටික තේරුම් ගන්ට පුලුවන්නම් ඉතිං ඉහටත් උඩිං.

පොඩ්ඩක් අපහසුතාවයකට පත්වෙන්නෙ ඔය මම වගෙ ඉබ්බ තිබ්බ වගෙ ඉස්සරහ බලාගෙන පාඩුවෙ යන්ට බැරි හෝතඹුවෙක් නැග්ගහම තමයි. එහෙම උනත් ඔය අහන එව්ව නෑහුනු ගානට ගල් බිල්ල වගෙ පාර දිහා බලාගෙන  වාහනේ එලවන්ට ගත්තම ප්‍රස්න අහන මනුස්සයටම එපා වෙලා කට වහගෙන ඉස්සරහ බලා ගන්නව. මටම එහෙම වෙලා තියනව ඕන හැටිය.

මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය දැල්විනි. නවතා තිබූ රථපෙල සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. රියදුරා අපේ රථයද සෙමෙන් ඉදිරියට ගෙන රථපෙලට එකතුවිය. 

මම යලි රියදුරු දෙසට හැරුණෙමි. මෙතැන් සිට අපගේ සංවාදය මම සිංහලෙන් ලියන්නෙමි. 

"කවද්ද ඔබ දෝහා වලට ආවෙ?"

"හැට හත……….."

මා ඇසූ පැණය වරදවා වටහාගෙන ඔහු තම වයස පැවසුවේ යැයි මම සිතුවෙමි. "නෑ.නෑ..මම ඇහුවෙ ඔබ දෝහා වලට ආවෙ කවද්ද කියල." 

"ඒක තමයි මම කිව්වෙ හැට හතේ "

"මොකක්? ඒ කියන්නෙ ඔබ දැනට අවුරුදු හතළිස් නමයක් දෝහාවල?" මම විශ්මයට පත්ව විමසූයෙමි.

ඔව්..දෙදාස් දාසයෙං එක්දස් නමසිය හැටහතක් අඩු කලාම හතළිස් නමයයි තමයි" පකිස්තානුවා මහ හඬින් සිනාසුණේය.

ඔහුගේ අව්‍යාජ සිනහවට මටද එකතුනොවී සිටිනු නොහැකිවිය. මාර්ග තදබදය අද වෙනදාටද වඩා උග්‍රවූ අන්දමකි. අල් සාද් මංසන්ධිය වෙත ඉබිගමනෙන් ඇදෙන කුලීරථයේ සිට පකිස්තානුවා මට ඔහුගේ කථාව පැවසීය. විචිත්‍ර අන්දමට සිද්ධීන් විස්තර කිරීමට ඔහුගේ වූ හැකියාව විශ්මයජනකය. වයඹ දිග පකිස්ථානයේ ඇෆ්ඝනිස්ථානු දේශ සීමාව අසලවූ පෙෂාවර් නගරයෙන් කිලෝ මීටර් පණහක් පමණ වූ දුරකින් පිහිටි කඳුකර දුෂකර ගම්මානයක ඔහු උපත ලබා ඇත.

බොහෝසේ නිසරු පසකින් යුතුවූ බැවින් ගොවිතැනෙහි යෙදීමෙන් ජීවිකාව කර ගැනීම අසීරු වූ හෙයින් එගම් වැස්සෝ තම ප්‍රධාන ජීවනෝපාය ලෙස එළුවන් ඇති කිරීමෙහි යෙදුණාහ. කිසිදිනක පාසලක පය නොතැබූ අප කථා නායකයා යම්තමට බහ තෝරන වියේ සිටම අජ පාලක තනතුරෙහි රාජකාරි භාර ගත්තේය.

"අපේ පවුලෙ ඔක්කොම අට දෙනයි. කොල්ලො හයයි. මම තුන්වෙනියා. අපි ඔක්කොමල කලේ එලුවන් බලන එක. ඒ අපි බලාගත්ත එලුවො අපේ නෙවෙයි. ගමේ වංසක්කාරයන්ගෙ. අපිට කෑම දීල බොහොම පොඩි ගානක් අතට දුන්න. දෙන කෑම එකත් බඩගින්න නිවෙන්ටවත් මදි. ඒ හින්ද වැඩිහරියක් අපි හිටියෙ බඩ ගින්නෙ. දවසක් බඩගින්න ඉවසන්ටම බැරිතැන මමයි මගෙ මල්ලියි එකතුවෙලා එලුවෙක් මරාගෙන පුච්චල කෑව"

"නෑහ්?" මම ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අල් සාද් මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය යලි රක්ත වර්ණයට හැරුණි.

තම කථාව පැවසීමට ලැබුණු මේ අනගි අවස්ථාව මොහොතක් හෝ පැහැර නොහැරියයුතුය යනුවෙන් බොහෝවිට ඔහු අදහස් කලා විය හැක. වහා අත් රෝධකය ක්‍රියාත්මක කල හෙතෙම මා දෙසට හැරුනේය. මම යම්තමට හිස හරවා වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙසට නෙත් යොමුකලෙමි. "හ්ම්ම්ම්. හයයි තිස්පහයි...වෙලාව ඇතිවෙයි...දෙයියන්ගෙ පිහිටෙන්..."

"එලුවො අයිති කාරයට මේක ආරංචි වෙලා දුවගෙන ඇවිල්ල මාව ගහක බැඳල හොඳටම ගැහුව. ඊට පස්සෙ උඹ ඔහොම ඉඳපන් මම එළුවො ටික කොටුවට දාල එන්නංකො උඹට මොනවද කරන්න ඕන කියල තීරණය කරන්න. ඒ කොහොම උනත් මම අද උඹව නොමරා මරණව. එහෙම මට තර්ජනය කරල ඒ මනුස්සය එළුවොත් දක්කගෙන යන්ට ගියා. මම පරාණ බයේම ටිකක් එහෙ මෙහෙ දඟලනකොට බැමි බුරුල් වුනා. මම ඒ බැමි ඔක්කොම ලිහාගෙන හතර වටින් අඳුර වැටීගෙන එද්දි ගමෙන් පිටවෙන්ට කඳු බෑවුම් අතරින් තිබ්බ එකම පාර දිගේ එන්ට ආව. ඇස්වල කඳුලු පිරිල තිබ්බ හින්ද පාර දෙපැත්තෙ මොකවත්ම මට පෙනුනෙ නෑ."

සුක්කානම තදින් ග්‍රහණය කොටගෙන ඉතා සෙමෙන් රිය පදවන ඔහුගේ දෑසෙහි මේ අවස්ථාවේදීද කඳුළු පිරී තිබුණු බවට මම සපථ කරන්නෙමි මා දයාබර හිතවත/හිතවතිය.

"ඊට පස්සෙ මම පෙෂාවර් වලට ඇවිල්ල එහෙ මාකට් එකේ එලවලු ගෝනි ඉස්සුව මාස ගාණක්. කුකුල් පට්ටියක වැඩ කලා තව කාලයක්. අන්තිමට අවුරුද්දක් විතර ඔහොම ඇවිදල කරච්චියට ආව. කරච්චිය දන්නව නේද? "

"ඔව් පකිස්තානෙ ලොකුම නගරෙනෙ. මූද අයිනෙ තියෙන්නෙ." 

"අන්න හරි, පස්සෙ කරච්චියෙ හම්බවෙච්චි මගෙ වයසෙම යාලුවො හතර දෙනෙක් එක්ක බෝට්ටුවක නැඟල මෙහෙ ආව." 

මේ වනවිට වේලාව හතේ කණිසමට ආසන්නව තිබිණි. වෑන් රථයේ රියදුරාට මම දුරකථන ඇමතුමක් ගෙන මා එනතුරු මද වේලාවක් පොරොත්තු වන ලෙස දැන්වීමි.

මේ අතර අප මිඩ් මැක් මංසන්ධිය වෙතට ආසන්න වෙමින් සිටියෙමු. එතැන සිට මම යායුතු ස්ථානයට වූයේ කිලෝ මීටරයකටත් අඩු දුරප්‍රමාණයකි. 

"ඉතිං මම බහින්ටත් ලඟයි. ඉක්මනට කතාව කියන්ටකො."

"අපි කරච්චියෙං පිටත් වුනේ මෙහෙට එන්ට කියල හිතාගෙන නං නෙවෙයි."

"එහෙනං? "

"ඩුබායි යන්ට. ඒ කාලෙ දෝහා කියල කිව්වහම වැඩි දෙනෙක් දන්නෙත් නෑ. ඩුබායි තමයි ප්‍රසිද්ද"

"එතකොට මෙහෙ ආවෙ? "

"අපි ආපු බෝට්ටුවෙ එන්ජිම මූද මැදදි නැවතුනා. හදාගන්ට බැලුව බැලුව හරිගියෙ නෑ ඊට පස්සෙ රුවලක් දා ගත්ත. හුළං හමන විදිහට අපි පාවෙලා ආවෙ මෙහාට"

"ඊට පස්සෙ?..." මම නොඉවසිල්ලෙන් ඇසීමි. මගේ ගමනාන්තය පෙනෙන මානයට අප පැමිණ ඇත. 

"මා එක්ක ආපු අනික් ඔක්කොම සතියක් දෙකක් වගෙ ඇතුලත ආපහු ඩුබායි ගියා. ඒත් මොන දෙයක්ද මන්ද මට මෙහෙ අල්ලල ගියා. ඒ පාර උඹල පලයල්ල කියල මම මෙහෙ නතර වුනා. ඒ කාලෙ දෝහා ටවුම බොහොම කුඩයි. මේ හරිය ඔක්කොම තනිකරම කාන්තාරෙ"

එදවස ඒ පැරණි දෝහා නගරය පිහිටි ප්‍රදේශය වර්තමානයෙහිද හැඳින් වෙනුයේ දෝහා යන නමිනි. මෙහි පැමිණි මුල්කාලයෙහි ඒ මට මහත් පුදුමයක් විය. "මචං මම දෝහා ගිහිල්ල එන්ට යනව" පවසමින් මගේ සගයෝ සවස් කාලයෙහි නේවාසිකාගාරයෙන් පිටත් වෙති. 

දෝහාවලම වාසය කරමින් යලි දෝහා යනවා යයි පැවසීම එකල මට වටහා ගත නොහැකිවිය. "ඉතිං අපි මේ දෝහා වල නෙවෙයිද ඉන්නෙ?" මම කීප වරක් ඔවුන්ගෙන් විමසූවා මතකයෙහි ඇත.

"ඉතිං ආයෙ කවද්ද ගෙදර ගියේ?"

"ඒ ආපු ගමන මම ආපහු ගෙදර ගියේ අවුරුදු දොළහකට පස්සෙ"

"එතකොට කසාදයක් එහෙම කරගත්තෙ? "

"ඒ ගමට ගිහිල්ල අපේම අම්මගෙ නෑදෑ පවුලකින් තමයි. ඒ කරල ඒ ගෑණු ළමය මෙහෙ එක්ක ආව"

"එතකොට තාමත් පවුලෙ ඔක්කොමල මෙහෙද ඉන්නෙ?"

"නෑ දැං අවුරුදු දහයකට කලින් වගෙ වෙනකල් ඔක්කොම කට්ටිය මෙහෙ තමයි හිටියෙ. මට ඉන්නව පුතාල තුන්දෙනයි දුවල දෙන්නයි. ඔක්කොමල මෙහෙ තමයි ඉපදුනෙ ඉගෙන ගත්තෙ. ඒත් දැන් මෙහෙ ඉන්නෙ මායි මගෙ බාලම පුතයි විතරයි"

"ආ..ඒ මොකද? "

"මම පෙෂාවර් කිට්ටුව ඉඩමක් අරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගත්ත. ඔය එලවලු හාල් වගෙ එව්ව. වැඩිමල් පුත්තු දෙන්න තමයි ඒක කරන්නෙ. දුවල දෙන්නත් ඒ කිට්ටුවෙන්ම කසාද බැන්ද. මගෙ බිරිඳත් ඒ එක දුවෙක් එක්ක ඉන්නෙ"

මේ වනවිට අප වෑන් රථය අසලට ළඟාවී සිටියෙමු. මෙම දුරට නියමිත මුදල රියාල් දහයක් වුවද මම ඔහුට රියාල් විස්සක්ම දුන්නෙමි.

"මේක තියාගන්ට. මේ..මම මෙතනට ආපහු එනව හවස හතරහමාරට. ඔහෙට එන්ට බැරිද ඒ වෙලාවට මාව ගෙදරට ගිහිල්ල බස්සන්ට? මට ඔහෙගෙ කතන්දරේ තව සවිස්තරව අහගන්ටත් උවමනාව තියනව"

"ම්හු ඒක නම් කරන්ට බෑ"

"ඇයි ඒ?"

"මම වැඩ කරන්නෙ එකොළහ වෙනකල් විතරයි."

"ඒ මොකෝ ඒ?"

"නෑ ඉතිං ඔච්චර මැරීගෙන හම්බ කරන්නෙ අහවල් දේකටද? මම මගෙ යුතුකම් මට පුලුවන් විදිහට කරල තියනව. මා එක්ක ඉන්න බාල පුතත් වරායෙ රස්සාවක් කරනව. ඉතිං උදේ පහට පටන් ගත්තම දවල් එකොලහ වෙනකල් විතරයි මම හයර් යන්නෙ. සිකුරාද සෙනසුරාද වැඩ කරන්නෙම නෑ"

"එහෙම හිතන එක බොහොම හොඳයි" මම සිනාසුනෙමි.

"මට දැන් වයස හැටහයයි. ඉතිං දැන් ඇති මහන්සි වුනා. මේ දවසට පැය හයේ රස්සාව වුනත් මම කරන්නෙ කම්මැලි කමට. පුතා කොයිවෙලෙත් මගෙං අහනව තාත්තට ගෙදරට වෙලා ඉන්ට බැරි මොකද කියල ..හෙහ්,හෙහ්" ඔහු තම සුදුවන් රැවුළ සොළවමින් සිනාසුනේය.

"ඒකත් එහෙමද? නරකම නෑ ඒකත්. එහනං අපි ආය හම්බවෙමු. බොහොම සන්තෝසයි හම්බ වෙච්චි එක" මම ඔහුට සමුදෙමින් රථයෙන් බැස්සෙමි.

වෑන් රථයෙහි ව්‍යාපෘති වැඩබිම වෙත ගමන් කරනා අතරතුරද මම කල්පනා කරන්නට වූයේ ඒ අපූර්ව පකිස්තානුවා පිළිබඳය. "ෂෙහ්. මනුස්සයගෙ ජීවිත විස්තර තව ටිකක් අහගන්ට තිබ්බ නම් කියල වැඩක් නෑ. කමක් නෑ ආය හම්බ වෙයිනෙ" මම එසේ සිතා සිත සනසා ගතිමි. එහෙත් ඔහුගේ දුරකථන අංකය හෝ අවම වශයෙන් නම හෝ නොදන්නා බව මට සිහිවූයේ එදින දිවා ආහාරය ගන්නා අතරදීය.

ඒ සඳු දින සිට මම හමුවන සියළු ටොයෝටා කරීනා රථ දෙස දැඩි පරීක්ෂාවෙන් බලන්නෙමි.

පලි - "මේ මම ඔහේගෙ ෆොටෝ එකක් ගන්නද?" රථයෙන් බැසීමට පෙර එදින මම ඔහුගෙන් විමසුවෙමි.

"මොකක් වෙනවද? ගන්න ගන්න"

"මම ඔහේ ගැන ලිපියක් ලියනව. ඒකට මේ ෆොටෝ එකත් දානව" 

ඒ ජීවිතය ගැන ඉතාමත් තෘප්තිමත් දිරිය මිනිසා මාදෙස බලා හිස සොළවමින් පියකරු ලෙස සිනාසුනේය.

මම නම නොදත් ඒ ප්‍රසන්න දිරිය මිනිසා

64 comments:

  1. මටත් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට්වලදී මුණ ගැසුනා, අවුරුදු හතලික් විතර එහේ ඉන්න ඉන්දියන් කාරයෙක්. නගරයේ සිට හෝටලය හරහා ගුවන්තොටුපොලට යන ගමනේ දී මං මේ ටැක්සිකාර ඉන්දියන්කාරයා එක්ක කතාවට වැටුණා.

    පොර කොල්ලා කාලේ ජර්මනියට ඇවිත් මෙහි වාසය කරන කෙනෙක්. වාසගම රායි. ඔව් අර නිලියගේ නම තමයි. ඉන්දියාවේ පන්ජාබ්වලින් තමයි හැත්තෑවේ දශකයේ දී ජර්මනියට පැනලා තියෙන්නේ.

    ඒ ආවේ ඉගෙන ගන්න කියලයි පොර මා එක්ක කිව්වේ. අවුරුදු හතලිහක් ජර්මනියේ ඉඳලත් ඇයි මේ ටැක්සියක් එළවන්නේ කියලා නම් මං පොර ගෙන් ඇහැව්වේ නෑ.

    මං නිකමට මෙහෙම ප්‍රකාශයක් කළා.

    "දැන් යුරෝපයේ මෙච්චර කල් හිටි ඔබ භාෂා කීපයක්ම දන්නවා ඇති නේද? පංජාබි, හින්දි, ඉංගිරිසි, ජර්මන්..."

    එතකොට පොර කිව්ව කතාව ඉතා වැදගත් එකක්.

    "මං මෙහෙට එනකොට මට ඉංගිරිසි පුළුවන් හින්දි, පංජාබිවලටත් වඩා හොඳට. ඒ මං ඉගෙන ගත්තේ ඉංගිරිසියෙන් නිසායි. නමුත් දැන් අවුරුදු හතලිහට පස්සේ මට ඉංගිරිසි වැඩිය මතක නෑ. ඉංග්‍රීසි කතා කරන්නේ කළතුරකින්. දැන් ඉංගිරිසි මගේ තුන්වෙනි, හතරවෙනි භාෂාව බවට පත්වෙලා."

    අනිවාර්යෙන් ම දශක හතරක් ජර්මනියේ ගෙවපු මේ මනුස්සයා ගේ ජර්මනියේ ඉපදී, හැදී වැඩුණු ළමයින් ගේ මුලික භාෂාව ජර්මානු වෙන්න ඕනෑ. ඉංගිරිසි ඉගෙන ගන්නවා ඇත්තේ දෙවෙනි භාෂාවක් විදියටයි.

    ReplyDelete
    Replies
    1. පොරකොල්ලාගෙන් තමයි ඔහේ මංපොර ජාතක ලියන්න ඉගෙනගත්තේ නේද

      Delete
    2. මේ ඇනෝල සෙට් එකක් ඉන්නව (එකෙක්ද මන්ද කකා යන යන තැන පස්සෙන් ඇවිත් ගහනවා). ආත්ම ගානක ඉඳල එන වයිරයක්ප වගේ.
      හනිච්චේ දුක්කේ කකාට කවදා සැනසීමක් ලැබෙයිද මංදා.

      Delete
    3. රසික,

      ස්තූතියි ඔබේ අත්දැකීම අප හා බෙදාගැනීම පිළිබඳව.

      ගොඩක් ඔහොම අවුරුදු තිහ හතළිහ පිටරටක ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ආයෙ තමන්ගෙ රටට ගිහිල්ල ඒ ජීවිතේට හැඩ ගැහෙන්ට බැරිකම.

      මම මේ කියපු පකිස්තානුවත් එහෙමයි මට හිතෙන විදිහට. ආය හම්බවුනාම මම ඒ ගැන මිනිහගෙන් අහන්න ඕන කියල හිතාගෙන ඉන්නෙ.

      ඒත් මම දන්නව මිනිහගෙ උත්තරේ.."මට දැන් එහෙ ගිහිල්ල ඉන්ට බෑ. මට ඇත්තටම මෙහෙ ඉන්ට ඕනකමක් නෑ. එහෙ ගිහිල්ල හිටියෑකි. ඒත් දැන් මගෙ ගෙදර වෙලා තියෙන්නෙ මෙහෙ"

      Delete
  2. මේ ප්‍රසන්න දිරිය මිනිසා සාත්වික අභිනයෙන් කියන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      "ෂෙහ්, මේ යකා තව රියාල් විස්සක් තිහක් වැඩිපුර දුන්නං අද දවසට ඕෆ් වෙලා මේ ගමම්ම ගෙදර ගිහිල්ල බුදියගන්ට තිබ්බනෙ"

      Something like that may be? what do you think?...:)

      Delete
    2. "What in Satan's name would this bugger write about me? "
      His look suggests utmost regret about talking to you.

      Delete
    3. Pra,

      May be, maybe...:)

      "මේ XXX වැඩිපුර රියාල් දහයකුත් දුන්නෙ නං හොඳකට නෙවෙයි. මේ යකා මා ගැන මොනව ලියයිද මන්ද..ෂෙහ්, අර පුතා කියනව වගෙ කාමරේට වෙලා බුදියගන්නෙ නැතුව කම්මැලි කමට කියල පාරට බැහැල අම්මප මාත් දාගන්න කුණ්ඩවාලි.."

      Delete
  3. ටැක්සි රියදුරන් එක්ක ගමන් බිමන් යද්දී මම වැඩිය කතා බහක් නැතිව යන්න කැමති වුනත් සමහර මිනිස්සු එක්ක කතාවට වැටෙනවා. මෙහෙ ඉන්න ටැක්සි රියදුරන් ගොඩක් වෙලාවට මෙහෙ ආණ්ඩුවේ ඔෆිස් වල වැඩ කරලා පැන්ෂන් ගිය අය. එහෙම නැත්නම් තව බිස්නස් කරන අතරේ ටැක්සි එලවන අය. මුස්ලිම් ගෑනු අයත් ටැක්සි එලවනවා මෙහෙ නම්.

    එක සැරයක් මට සෙට් වුණා නැවක වැඩ කරපු මනුස්සයෙක්. මිනිහාගේ ඉංග්‍රීසිත් හොඳයි. ලෝකේ පුරා නැවේ රවුන් ගහපු කතා කිව්වා. ඒත් දැන් අවුරුදු 2කින් විතර ටැක්සි වල යන්න බැරි වුණා. ටැක්සි ගමන් වෙලාවකට හොඳයි වෙලාවකට එපා වෙනවා. එක සැරයක් ටැක්සි කාරයෙකුට තද වෙලා අපි දෙන්නව මගින් බැස්සුවා. පොරට තද වෙන්න හේතුව ටැක්සි එකේ අපිත් එක්ක ආපු අපේ යාලුවෝ දෙන්නෙක්ව මගින් බස්සන්න කියපු එක. එයාල හයර් යන්නේ එක තැනක ඉඳල තව තැනකට විතරයි. අතරමග නතර කිරිලි ඔට්ටු නෑ.. හෙහ් හෙහ්

    මිනිහ අපිට කිව්වේ එක්කෝ ඔයාල දෙන්න මෙතනින් බහින්න. නැත්නම් මම ආයේ නවත්තන්නේ ගමන පටන් ගත්තු තැනට ගිහින් කියල.. හොඳටම තද වෙලා.. අපි දෙන්න හරි හරි කියල මහ පාරක් අයිනෙන් බැහැල තව ටැක්සි එකක් හොයාගෙන ගෙදර ගියේ එදා නම්..

    සමහර චයිනීස් ඩ්‍රයිවර් ලා අපිව වැඩිය ගණන් ගන්නේ නෑ.. අපි නිකන් අඩු කුලේ ගානට දාල උන් අපිට සලකන්නේ.. හෙහ් හෙහ් මම මෙහෙ මුදල් අමාත්‍යන්සේ වැඩ කළා අවුරුදු 2ක් විතර අපේ ප්‍රොජෙක්ට් එකක. පුත්‍රජයා කියල ආණ්ඩුවේ ඔෆිස් තියෙන ඒරියා එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්දියාවේ වගේ අය පුත්‍රජයා යන්නේ ඔය ඉමිග්රේෂන් වැඩ වලට. අපි ටැක්සි වලට නැගල පුත්‍රජයා කිව්වම.. ඔහ් ඉමිග්රේෂන් ඔෆිස් රයිට්? කියල උන් කෙලින්ම අහන්නේ.. අපි නෑ නෑ මිනිස්ට්‍රි ඕෆ් ෆයිනෑන්ස් කිව්වම "ඔහ් වයි ඩු යු වෝන්ට් ටූ ගෝ ටූ MOF (Ministry of Finance කෙටියෙන් ) කියල නිකන් පල් එකට වගේ අහනවා. ඊට පස්සේ අපි එහෙ වැඩ කරනවා කිව්වම අර අඩු කුලේ සැලකිලි අඩු වෙලා වැදගත් විදියට කතා බහ කරනවා...හෙහ් හෙහ්

    මැලේ මිනිස්සුන්ගේ නම් ඒ ගතිය නෑ.. චයිනීස් සහ සමහර ලෝකල් ඉන්දියන් අයගෙත් ඒ ගති තියෙනවා..



    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔය ටැක්සි කල්චර් එක නොහොත් කුලීරථ සංස්කෘතිය ගොඩක් රටවල උප සංස්කෘතියක් වෙලා තියෙන්නෙ.රටින් රටට ඒක වෙනස්...:)

      Delete
  4. මමත් ටැක්සි එකක යද්දී ඩ්‍රයිබර් මහත්තය එක්ක කතාවට වැටෙනවා ගොඩ වෙලාවට...
    ඒක ලංකාවේදී කියල වෙනසක් නැහැ, ගොඩක් අය කතාවක් බහක් නැතුව ඔහේ යන මගියෝ නිසා කතා කරන්න කැමති කෙනෙක් හම්බ වෙච්ච ගමන් ඒ මිනිස්සු හිර කරගෙන ඉන්න ඔක්කොම එළියට දානවා...

    අපිත් ඉස්සර සෞදි ඉන්න කාලේ හයර් යන්න ඉන්දියානුවෙක් සෙට් කරගෙන හිටියා, මිනිහත් එහෙ අවුරුදු තිහට වැඩි කාලයක් ටැක්සි දුවල තියෙනවා...
    හැම තිස්සෙම බිසී, සර්විස් එක හොඳ නිසා ගොඩ දෙනෙක් එයා එක්ක යන්න කැමතියි...
    දැන් බලහං ඔන්න ඒ මනුස්සයගේ නම මතක නැහැ කියහන්කෝ හිටං...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      /ගොඩක් අය කතාවක් බහක් නැතුව ඔහේ යන මගියෝ නිසා කතා කරන්න කැමති කෙනෙක් හම්බ වෙච්ච ගමන් ඒ මිනිස්සු හිර කරගෙන ඉන්න ඔක්කොම එළියට දානවා.../

      Totally agreed....:)

      Delete
  5. ලංකාවෙ හැමතිස්සෙම වගේ දැන්වීම්වල "දෝහා කටාර්" කියන්නෙ ඇයි?
    ඒක "කලම්බු ශ්‍රීලංකා" වගේ නේද? කටාර්වල තියන එකම නගරය හෝ රස්සා තියන එකම නගරය දෝහා විතරද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඒකට හේතුව මම හිතන්නෙ මේ මෑතක් වෙනකල් කටාර් කියල රටක් තියනව කියල බොහොම දෙනෙක් දැනගෙන හිටියෙ නෑ. දැන් වුනත් මම හිතන්නෙ තමන්ගෙ ඥාතියෙක්, හිතවතෙක් නැත්නම් අසල් වාසියෙක් කටාර්වල රස්සාවක් කරනව නම් ඇරෙන්න බහුතරයක් කටාර් ගැන දන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ දෝහා කියන නම කාලෙක ඉඳල මිනිස්සු දන්නව.ඒ හින්දයි පත්තරේ එහෙම දෝහා-කටාර් කියල දාන්නෙ.

      මමත් කටාර් කියල රටක් තියනවයි කියල දැනගත්තෙ 1986 ඒෂියන් ගේම්ස් වලදි තලාල් මන්සූර් කියන කටාර් ජාතිකයා මීටර් 100 ගෝල්ඩ් මෙඩල් එක දිනපු වෙලාවෙ. මන්සූර් ඊට පස්සෙ 90 සහ 94 ත් ඒෂියන් ගේම්ස් මීටර් 100 දිනුව. ඒත් එයාගෙ නීග්‍රෝ පෙනුම හින්ද මම කාලයක් යනකල් හිතාගෙන හිටියෙ කටාර්වල ඉන්නෙ නීග්‍රෝ මිනිස්සු කියල.

      Delete
  6. //ඈතදිම මම දැක්ක රියදුරා සුදුවන් තරමක් දිගු රැවුලක් වැවූ දණිහෙන් පල්ලෙහාට වැටෙන ලෝගුවක් වගෙ ඇඳුමක් ඇඳගත්තු// යකෝ වාහනේ වාඩි වෙලා ඉන්න මනුස්සයගෙ දණිහ දැක්කෙ කරීනා එක හදල තිබ්බෙ වීදුර වලින් ද?

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා.
      මූ පත බොරු කියනවා ඉඳගෙන.
      - කෑගල්ලෙ ඇනෝ

      Delete
    2. ප්‍රසන්න සහ කෑගලු ඇනෝ,

      ඒ චෝදනාවට විත්ති වාචකය මෙහෙමයි.

      ඇත්තටම නම් ඈතට පෙනුනෙ ඒ මනුස්සයගෙ රැවුලයි ටකියා එකයි (ඉස්ලාම් ආගමිකයින්ගෙ ඒ හිස් වැස්මට කියන්නෙ ටකියා කියල) විතරයි.

      ඒත් ඒ දෙකෙන් මට හිතුනා අනිවාර්යයෙන්ම මේ එන්නෙ පකිස්තානුවෙක් තමයි. මිනිහ ඇඳගෙන ඉන්නෙ අර ලෝගුවක් වගෙ ඇඳුමක් වෙන්නත් ඕන කියල. ඒකයි එතන සිද්ධ වුනේ....:)

      Delete
    3. Kegalu ano seems to be a bosom buddy who has known you in and out from childhood.
      Brings to mind my past queries about poetic and novelist's license.

      Delete
    4. ප්‍රා,

      /Kegalu ano seems to be a bosom buddy who has known you in and out from childhood./

      කිව්වත් වගෙ මේ කෑගලු ඇනෝ මගෙ පරණ යාලුවෙක් වත්ද මන්ද...:)

      /Brings to mind my past queries about poetic and novelist's license./

      "Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

      - From Sonduru Sitha

      Delete
  7. ‍මොනව උනත් උත්සාහවන්ත මනුස්සයෙක් වගෙයි.

    කවුද රවී අයියෙ ඒ ප්‍රසන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඹත් අවුරුදු 66 උනහම ඔහොම ඉඳී...:)

      Delete
  8. ලංකාවේ නම් ඉතින් ටැක්සි කියන වචනෙත් ටිකක් අඩුවෙන්නේ පාවිච්චි වෙනනේ. යන්තම් ටැක්සි කියලා තියෙන්නේ නැනෝ කැබ් ටිකයි,කැන්ගරූ වගේ යමක් කමක් ඇති අයට යන්න පුලුවන් ටැක්සි සර්විස් කීපයකුයි විතරයි. වැඩිහරිය ත්‍රීවීල්. ඒවායේ සර්විස් එකගැනනම් කථාකරලා වැඩක් නෑ. මීටර් ටැක්සි කියලා උඩින් බෝඩ් එක තියෙනවා. කිසි දවසක මීටරේ වැඩකරන්නේ නෑ. කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා තියෙන ත්‍රීවිල් මිනිහෙක් නැග්ගාම මරාගෙක කනවා. මේවයේ මීටර් තියෙනවද කියලා බලන්න පොලිසියටවත් බලය දෙන්න තියෙන්නේ. මීටර් නැත්නම් දඩ ගහන්න.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලී,

      එහෙම නීතියක් නියාමනයක් නැති එක නම් ලොකු අඩුපාඩුවක් තමයි...:(

      Delete
  9. මගෙ යාලුවක් ටැක්සියක ගිහින් මලා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      යාලුව ගමන ගිහිල්ල අන්තිමට සල්ලි නෑ කිව්වම ටැක්සි ඩ්‍රයිවර් වීල් බ්‍රෂ් එකෙන් කෙලල ඇරියලු ඉස්මුදුනට නේද?

      Delete
    2. It should be wheel brace my dear. wheel brace

      http://www.ebay.com.au/bhp/wheel-brace

      Delete
    3. ස්තූතියි ඇනෝ නිවැරදිකිරීමට,

      ඕකට හැමෝම කියන්නෙ වීල් බ්‍රෂ් කියල හින්ද මමත් එහෙමම ලිව්ව....:)

      Delete
  10. පිස්සු බම්ප් වෙන ජීවිත ඩෑල් වෙනවා නේ අපේ අජියට (???).. මෙන්න මේව්වා මං ආසම ජාතිය.. චියර්ස් රවි

    ReplyDelete
    Replies
    1. මේක රා කට්ට නෙමෙයි බොල. හැක්..

      Delete
    2. ස්තූතියි දේශා...:)

      Delete
  11. මටත් උඹට වගේ ලෙඩක් තියෙනවා. ටැක්සියකට නැග්ගාම ඩ්‍රයිවර් එක්ක චැට් එකකට යනවාමයි. හැබැයි මම ආසම නැහැ බාබර් එක්ක චැට් දාන්න. ඒ ඉන්න ආතල් එක චැට් එකෙන් කැඩෙනවා. ටැක්සි රියදුරන් සහ බාබර්ලා තරම් චැට් එකට කැමති මිනිස්සු මම වෙන තැන්වල දැකලා නැහැ. උඹේ මේ ටැක්සි බුවා නම් මසුරං බං. මමයි මගේ යාළුවෙකුයි ටැක්සි බුවෙකුගෙන් ගුටි කෑවා ඔමාන් වලදි මගේ මේ චැට් නිසා. ඌ මුල්ලෙක්. මගේ අරක්කු ගඳ දැනිලා මූ පාලු තැනක වාහනේ නවත්තලා අපි දෙන්නවා බස්සලා වේවැලක් අරගෙන ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ මහ රෑ එතනින් බස්සලා මූ යන්න ගියා. මාර පරිප්පුවක් කෑවා (හැලපේ...ඔය කතාව මංජුගෙන් අහපන්...ඌ රසට කියනවා )

    රමාඩා රෙනෙයිසොන්ස් එකේ ආරම්භක මැම්බර් කෙනෙක් මම. මාර සිදුවීම් තියෙනවා මචං. වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අරූ,

      /ඌ මුල්ලෙක්. මගේ අරක්කු ගඳ දැනිලා මූ පාලු තැනක වාහනේ නවත්තලා අපි දෙන්නවා බස්සලා වේවැලක් අරගෙන ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ මහ රෑ එතනින් බස්සලා මූ යන්න ගියා. මාර පරිප්පුවක් කෑවා/

      අම්මාපල්ල උඹට මොනව කලාම හිත්වදීද මං අහන්නෙ..තෝ මගෙ ආතල් එක කෑවා. දවල් තිලකය ලන්ච් එකට ඉන්වයිට් කරල එහෙ ගිහිල්ල නකතං වෙන්ට දාල ආපහු ගෙදර ඇවිල්ල මේ සුට්ටක් නිදාගන්ට ඉස්සර බ්ලොග් එකෙ පැත්තෙ ගිහිල්ල එන්නංය කියල හිතල ආවෙ.

      ආව තමයි..තොගෙ මේ මඟුල් කමෙන්ට් එක කියවල හිනාවෙල බොල උරුලෑවො මගෙ ඩෝප් ඔක්කොම බැස්ස. දැන් නිදියන එක පැත්තක තියල ආය බොන්ට එපාය....තොපි නං යාලුවො නෙවෙයි මයෙ ජම්මාන්තර හතුරො...

      PS - දෙයියම්ප අර මුල්ලා රැවුල් පතෙත් හොල්ල හොල්ල වේ වැලෙං උඹෙ පුකට ගගහ පන්නනව. උඹ දෑතිම්ම පුක අල්ලගෙන විලාප තිය තිය දුවනව. මට මේ දැනුත් මැවිල පේනව බං...හෙහ්,හෙහ්.

      Delete
    2. මුල්ලා කියන්නේ කාටද?

      Delete
    3. මුස්ලිම් පල්ලියෙ පූජකයාටනෙ.

      Delete
    4. රංගි,

      සරලව කිව්වොත් මුල්ලා කියන්නෙ ඉස්ලාම් ධර්මය මනාව උගත් ආගමානුකූල දිවියක් ගතකරන්නෙක්

      The term mullah is primarily understood in the Muslim world as a term of respect for an educated religious man

      Delete
    5. සුරංග,

      මම දන්න විදිහට කතෝලික ආගමේ සහ බුද්ධාගමේ නිල වශයෙන්ම ඉන්න පූජක පිරිස වගෙ කට්ටියක් ඉස්ලාම් ආගමේ නෑ.

      ඉමාම්, මුල්ලා, මව්ලාවි යන නම් වලින් හැඳින්වෙන්නෙ ඉස්ලාම් ධර්මයේ මනා දැනුමක් ඇති සාමාන්‍ය මිනිස්සු. අපේ වගේ නිල වශයෙන් පූජකයො නෙවෙයි.

      Delete
  12. ඊගාවට මම හිතන්නේ මේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුටවත් පාඩුවේ ඉන්න නොදෙන රවියාට මොනවා කරලා හරිද?
    මම නම් ටැක්සි එකට නැග්ගම බහින තැන කිව්වා ආයේ ට්‍රැෆික් වගේ නම් වචනයක් දෙකක් කිව්වා. එච්චරයි. ඒත් සමහර ටැක්සි ඩ්‍රයිවර්ලා ඉන්නවා අපිව කියවන්න දන්න. කොන්ඩේ කපන මනුස්සයොයි ටැක්සි ඩ්‍රයිවර්ලයි තරම් විවිධ මිනිසුන්ගේ විස්තර දන්නේ නෑ මම හිතන්නේ වෙන කිසි කෙනෙක්

    ReplyDelete
    Replies
    1. රංගි,

      /කොන්ඩේ කපන මනුස්සයොයි ටැක්සි ඩ්‍රයිවර්ලයි තරම් විවිධ මිනිසුන්ගේ විස්තර දන්නේ නෑ මම හිතන්නේ වෙන කිසි කෙනෙක්/

      අන්න හරි..මගේ කරණවෑමි කතා කියල වෙනම සීරිස් එකක් මම ලියන්නයි හිතාගෙන ඉන්නෙ...:)

      Delete
  13. මුස්ලිම් වරුන්ට අරාබිකරයේ රටින් රටට යන්න බාධාවක් නැද්ද? මම කියන්නේ පාස්පෝට් නැතුව වුනත් මුල්සිම් නිසා ලැබෙන සහන තියනවද?

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම:- මුල්සිම් නෙවෙයි මුස්ලිම්

      Delete
    2. මම දන්න විදිහට හැඳුනුම්පත ඇති, ඒත් බොහෝ දුරට බලන්නේ පිරිමියගේ විතරයි...

      Delete
    3. ඒ ගොඩ බිමින් යද්දී, උඩින් යනවනම් පාස්පෝට් අවශ්‍යයි...

      Delete
    4. විචා,

      පාස්පෝට් එක අත්‍යාවශ්‍යයි. ඒත් GCC රටවල් ඇතුලෙ වීසා අවශ්‍ය නෑ නැත්නම් On Arrival වීසා දෙනව මම හිතන්නෙ ඒ රටවල්වල වැසියන්ට (GCC = Gulf Cooperation Council includes Saudi Arabia, Kuwait, the United Arab Emirates, Qatar, Bahrain, and Oman. )

      Delete
    5. ලොක්කා,

      ගොඩබිමින් ගියාවුනත් පාස්පෝට් නම් ඕනෙ.

      Delete
  14. උපංදිනේට සුභ පතන්ට ඔබේ ටෙලපනුවේ නොම්බරේ නොමැත. ඒ ගැන කමන්න. ළඟ තියෙන බෝතලෙං දෙකක් වීදුරුවට නමන්න.

    මේ පොටෝ එකේ ඉන්න ලොක්කා බසාර් වීදියෙ ලකී හාඩ්වෙයාර් එකේ ඉන්න බුවානෙ. මේ මනුස්සය කොහෙද මැදපෙරදිග. මෙවැනි බේගල් ඇදබා අප මුලාකළ නොහැක. කොකා සංගමයේ ලොක්කා මේ ගැන බලා මේකේ දෙකෙං එකක් අහවර කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. හිටහං හිටහං.. අර කෑගලු ඇනෝ කියන පොර එක්ක සාකච්ඡාවක් කරල මේ මනුස්සයගෙ බේගල් ටික හොයාගන්න මේ දවස්වල ක්‍රියාමාර්ග ගනිමින් පවතිනව.

      - සභාපති -
      කො.කා.ස.

      Delete
    2. සුරංග,

      /මේ පොටෝ එකේ ඉන්න ලොක්කා බසාර් වීදියෙ ලකී හාඩ්වෙයාර් එකේ ඉන්න බුවානෙ. මේ මනුස්සය කොහෙද මැදපෙරදිග/

      ෂුවර් ඇන්ඩ් ෂොට් උඹ ඔය කියන ලකී බුවා මගෙ ටැක්සි ඩ්‍රයිවර්ගෙ දුර නෑයො.ඊලඟ පාර ටිකිරි සඳමාලිගෙ බූල් කෝට් එක පීරන්ඩ වයර් බ්‍රෂ් එකක් ගේන්ඩ හාඩ්වෙයාර් එකට ගියාම පොරට මෙහෙම ටෝක් කරපං "ලොක්කා මම දන්නව ඔහෙලගෙ මුතුං මිත්තො ලංකාවට ආවෙ කොහේ ඉඳලද කියල...හෙහ්,හෙහ්, නෑ කියන්න නං එපා පෙෂාවර් කිට්ටුව ඉඳල නේද?"

      Delete
  15. ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. කොහොම උනත් මේක කියෙව්වම අවුරුදු දෙකකට කලින් අතහැරලා ආපු කටාර් වල ජීවිතය ආයෙත් මතක් උනා. කොහොම උනත් එහෙ ටැක්සි වල අත්දැකීම් නම් මට නෑ.

    ReplyDelete
    Replies
    1. වීරේ,

      ඉතිං අප්පේ ඇත්තම කිව්වොත් මට මාවම ආයම මුණගැහුන වගෙ..ඒ මොකද කිව්වොත් මගෙ පරණ යාලුවො ඔක්කොම තාම කියන්නෙ මට වීරේ කියල....

      ඉතිං ඉතිං කොහොමද? මට උඹෙ බ්ලොග් එක කොහොමින් කොහොමින් හරි මඟ ඇරිලනෙ තිබිල තියෙන්නෙ. මතක් කරල මේ පාර ඔන්න බ්ලොග් රෝලට දාගත්ත.

      ඉතිං ජීවිතේ ලොකු වෙනසක් වෙලා කියලත් දැක්ක. මගේ සුබ පැතුම්!

      මතකෙයි ඉස්සෙල්ලම මම ඔහෙගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් දැම්මෙ අර මනම්පිටිය හන්දියෙ කවුද මානවිකාවක් මුණගැහෙන්ට ගිය පෝස්ට් එකටනෙ...හෙහ්,හෙහ්,

      Delete
  16. ඒ ප්‍රසන්න දිරිය මිනිසා/// +++++++++

    ReplyDelete
  17. රවිට තියෙන අත්දැකීමේ අනිත් පැත්ත මේ. මම මෙල්බර්න් වලට 1990 එනකොට මෙහෙ තිබුන ආර්තික අවපාතය නිසා රස්සාවක් සොයා ගැනීම කලුනික හොයනවටත් වඩා අමාරු යි.ඉතින් අවුරුද්දක් විතර බලා ඉඳලා ගත්තා ටැක්සි එලවන්න ලයිශන් එක.මේක ගන්න විභාගයක් කරලා,මෙඩිකල් ,පොලිස් රිපෝට් සමග ටැක්සි ඩිරෙක්ටරියේ ලියාපදිචි වෙන්න ඕනෑ.ගෙවීමත් නරක නෑ. ආදායමෙන් බාගයක් ඩ්‍රයිවර්ට.තෙල්,ගෑස් අයිතිකාරයා සපයනවා.ඉතින් ඉරිදා දවසක රේඩියෝ හයර් එකක් ලැබුනා පල්ලියකින් ජෝඩුවක් පිකප් කරන්න.එතනට ගියහම වයසක ජෝඩුවක් ඉන්නවා .ආච්චි සීයව අතින් අල්ලගෙන ඇවිත් පස්සෙ සීට් එකන් වාඩි කරවලා එයා නැග්ගා ඉස්සරහ සීට් එකට. යන ගමන් එයාම කතාව පටන් ගත්තා. කතාව ඉතින් එදිනෙදා දෙවල්. ඔය අතරේ මගෙන් ඇහුවා මොන රටේද කියලා.මම ලංකාවේ කිව්වහම ආ සිලෝන් නේද ඔය අපි දෙන්නා ගිහින් තියනවා කිව්වා.මම ඉතින් ඇහුවා කොහොමද රට කියලා.අපි වැඩි දවසක් හිටියේ නෑ ලන්ඩන් යන අතරේ නැව කොලඹ නැවැත්තුවා සතියක් විතර හැබැයි අපි නුවර ,ගාල්ලේ එහෙමගියා කිව්වා.නිකමට මම ඇහුවා කොයි කාලේද කියලා.1932 කියලා කිව්වා.මම හිතුවේ වැරදීමක් වෙන්න ඇති කියල.ගෙදරට ගියහම එයා ගාස්තුව ගෙව්ව එයාගේ කැබ් චාජ් කාඩ් එකෙන්.වැඩිහිටි අයට ගාස්තුවෙන් බාගයක් රජයෙන් ගෙවන පහසුකම තියන කාඩ් එක. ඒකේ එයාගේ උපන් දිනය තියනවා.ඉපදිලා තිබුනේ 1895. ඉතින් 1932 ලංකාවට ගියා කියල තියෙන්නේ බොරුවට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. Ano,

      /ලන්ඩන් යන අතරේ නැව කොලඹ නැවැත්තුවා සතියක් විතර/

      ඔව්, අහස්යාත්‍රා යුගයට ඉස්සර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මගීන් ප්‍රවාහනය කරන නැව් කොළඹ වරායෙ නවත්තල තියනව ආහාර, ජලය එහෙම ගන්ට එතකොට සුළු අළුත්වැඩියාකටයුතු වලට එහෙම. ඒ අතරෙ නැවේ මගීන්ට අවස්ථාව තිබිල තියනව රටේ ලංකාවෙ කෙටි සංචාරයක නිරතවෙන්ට.

      අළුබඳුන තරඟාවලියට මාරුවෙන් මාරුවට එංගලන්තයට යන ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කණ්ඩායමත් ඕස්ට්‍රේලියාවට යන එම්.සී.සී. ක්‍රිකට් කණ්ඩායමත් ( එංගලන්ත කණ්ඩායම රටින් පිට යනකොට ඒ කාලෙ හැඳින්නුවෙ එම්.සී.සී. කණ්ඩායම කියල- Marylebone Cricket Club ) කොළඹ ඔය ස්ටොප් ඕවර් එකේදි පුරුද්දක් වශයෙන් සිලෝන් ටීම් එක ( ඒ කාලෙ ශ්‍රී ලංකා ටීම් එක නෙවෙයි සිලෝන් ටීම් එක ) එක්ක තුන් දින හෝ දෙදින තරඟයකට සහභාගි වෙලා තියනව.

      ඩොන් බ්‍රැඩ්මන්, කීත් මිලර්, ලින්ඩ්සේ හැසට්, නීල් හාවි,රේ ලින්ඩ්වෝල්,ආතර් මොරිස්,බිල් වුඩ්ෆුල්, ලෙනාඩ් හට්න්, පීටර් මේ,ඇලෙක් බෙඩ්සර් වගෙ සුප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගෙ දස්කම් දැකබලාගන්ට ලාංකිල ක්‍රිකට් ලෝලින්ට අවස්ථාව ලැබිල තියනව මේ කොළබ හරියටම එංගලන්තෙ සහ ඕස්ට්‍රේලියාව අතර නැව් ගමන් මාර්ගයේ මධ්‍ය ලක්ෂ්‍යයෙ වගෙ පිහිටල තිබුනු හින්ද. ඒ තරඟ හඳුන්වල තියෙන්නෙ Whistle stop tours කියල

      අපෙ අප්පච්චි ඔය තරඟ බලල තියනව...:)

      Delete
  18. හරිම රසවත්! රවීට බැරිද මේ විදියට 'Humans of Doha' කතා මාලාවක් ලියන්න?

    ReplyDelete
    Replies
    1. පිස්සුනං කතාකරන්න එපා. හැක්..

      Delete
    2. නිරෝෂිනී,

      බොහොම ස්තූතියි. නරකම නෑ අයිඩියා එක...හෙහ්,හෙහ්

      Life in Doha - From a human interest viewpoint ...:)

      Delete
    3. ප්‍රසන්න,

      මේං මේක අහගං වලවෙට්ටුවා..

      කමෙන්ට් කරුවන්ගේ සංගමය පිහිටුවීමේ ප්‍රඥප්තිය නොහොත් Charter එකේ බොහොම පැහැදිලිව කියල තියනව සංගමේ පංච මහා කාර්ය භාරය.

      1.නිතර කමෙන්ට් දැමීමෙන් බ්ලොග් කරුවන් ධෛර්යමත් කිරීම

      2.ලිවීමට කුසීතවබවක් දක්වන බ්ලොග් කරුවන් ලිවීමට පෙළඹවීම

      3.නවක බ්ලොග් කරුවන් ධෛර්යමත් කිරීම

      4.බ්ලොග් අවකාශයට විරුද්ධ කුමන්ත්‍රණ හඳුනාගෙන ඒවා මැඩ පැවැත්වීම

      5.මීට අමතරව බ්ලොග් අවකාශයේ නිසි බලධාරීන් විසින් කලින් කල පණවන වෙනත් කාර්ය භාරයන්

      එබැවින් කරුණාකර ඒ ප්‍රඥප්තිය අනුව කටයුතු කරන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි.

      Delete
    4. 'පාඨකයන් මුලාවට පත්වන පරිදි, පළ කරමින් එන කතාවක් අතරමග නවතා දමා අලුත් කතාවක් ආරම්භ කිරීමෙන් කොමෙන්ට් කරුවන් පත්වන අපහසුතා වැලැක්වීමට දැඩි සේ ක්‍රියා කල යුතුය' කියන වගන්තිය දැක්කෙ නැද්ද?

      Delete
    5. එසේ නොවේ නම් "කො.ක.ස"වෙත එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු යොදනු ලැබේ...:D

      Delete
    6. එහෙම උනොත් අපි ඒකා මළබද්ධයෙන් සහයෝගය අරගෙන ඒක පරාජය කරනව.

      Delete
  19. මේ ලංකා-අරාබි උප සංස්කෘතියේ කතාවලින් එකක් නේද? කොමෙන්ට් ටිකත් කතා ගොඩක් නේ බන්. මට ඇෆ්ගන් කාරයෙක් හමුවෙලා තියනවා ලන්ඩන්වලදී. පොර ඔය පෙෂ්වර් කියන තැන ඉඳල තියනවා. පශ්තුන් ජාතිකයෙක්. උගේ අත්දැකීම් ටිකක් ඔයවගේ. ගුටිකාලා තියනවා හරියට වැඩ කරන තැන්වල. උගේ කථාව දවසක ලියන්න හිතුන මේක දැක්කම.

    ReplyDelete
  20. ගල්ෆ් කලාපයේ ඉන්න මට ඔබේ කතාව බොහොම ප්‍රායෝගිකව විඳින්න පුලුවන්

    ReplyDelete
  21. බැංකොක් වලදි ටැක්සි එකක යන්න ගිහින් අපිව සෑහෙන වටයක් එක්කන් ගියා.. එයාලට ඉන්ධන වලට ලැබෙන වවුචර දෙන තැන් වලට අපිව බලෙන් වගේ එක්කන් ගියා..එහේ ගිය මුල් කාලේ නිසා අපිට බයත් හිතුනා එදා පාලු පාරවල් වල යනකොට...

    ReplyDelete
  22. Ravi Aiya, May I get your email address?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...