Friday, January 25, 2019

624. ඉතිං ඊට පස්සෙ.....සහ බලංගොඩ සරත්මධු - Reminiscences Of Unforgettable Seventies…..


බලංගොඩ සරත් මධු සහ ඉතිං ඊට පස්සෙ...

බලංගොඩ සරත්මධු අභාවප්‍රාප්ත වෙලා. ඒ කියන්නෙ මැරිල...මැරිල කියල කෙලින්ම කියන එක නිකම් මේ හරි නෑ හරි නෑ වගෙ කියල මට හිතෙන හින්ද ඔන්න අභාවප්‍රාප්ත වෙලා කියල ලිව්ව. එහෙම හිතෙන්නෙ අපි ඇවිල්ල අර "Old school type" උදවිය හින්දය කියලයි මයෙ කම්පනාව. ඒ කියන්නෙ පරණ සැම්පලේ කට්ටිය..හෙහ්...හෙහ්...

ඔය මැරුණය කියන එකට colloquial නොහොත් කටවහරේ යෙදෙන වචන කීපයක් තියනව. වල කජ්ජ ගැහැව්ව, වැලිගම්පිටි ගියා, උඩු කුරුඤ්ඤං උනා...ඔන්න ඔය වගෙ. ඒ වගේම සම්භාව්‍ය වචන කීපයකුත් තියනව. දිවංගත වුනා, කළුරිය කලා.... හාමුදුරුවරු නම් ඉතිං වළකජ්ජ ගහන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ, කළුරිය කරන්නෙත් නෑ...එතුමන්ලා කරන්නෙ අපවත් වෙන එක...

දැං අර බෙල්ලංවිල හාමුදුරුවො අලිය ගහල මළ එක එක පත්තරේක තිබ්බෙ මෙහෙමලු. 

"විහාරාද්ධිගෘහිත හස්ති රාජයාණන්ගේ අනපේක්ෂිත ප්‍රහාරය කරණ කොටගෙන අප ස්වාමීන් වහන්සේ අපවත්වී වදාළ සේක...." 

ඒ හෙඩිම දාපු එකා හිතන්න ඇති හාමුදුරුකෙනෙක් ගැනනෙ ලියන්නෙ ඒ හින්ද හාමුදුරුවො මරාපු ඇතා ගැන උනත් ගෞරව සම්ප්‍රයුක්තව ලියන්ට ඕනය කියල. මරු පුවක්පක් කාලාවේඩියො නේ?

තව අපි පොඩි කාලෙ ලොකු ලොකු උදවිය මලාම ගෞරවාන්විතව කියන වචනයක් තිබ්බ. කීර්තිභාව ශේෂෝපගත විය. ඒ කියන්නෙ කීර්තිය ඉතුරු කරල මනුස්සය මැරිල ගියා කියල…

දිවංගත කියලත් ඒ කාලෙ මැරුණට කියල තියනව. දැන් නම් මම හිතන්නෙ ඒ වචනෙ භාවිතා වෙන්නෙම නැති තරම්. චන්ද්‍රිකාගෙ ඩැඩා නොහොත් ඇස්.ඩබ්ලියු. ආර්. ඩී. උන්නැහෙ ගැන කියනකොට තමයි ඔය දිවංගත කියල බොහෝවිට කියන්නෙ. දිවංගත බණ්ඩාරනායක මහතා..අන්න එහෙම..

ඒ ගැන අපූරු කතාවක් මම බ්ලොග් එකේ ලිව්ව කාලෙකට ඉස්සර වෙලා. ඒ කතන්දරේ නොකියවපු බොහෝ අලුත් පාටකයින් සහ පාටිකාවියන් වෙනුවෙන් ආයම පාරක් ඒක මම දමන්නම්කො. කතන්දරේ කලින් කියවල තියන සුධීමත්හු තෙමේ කමා කර වදාරන සේක්වා! සිද්ධි රස්තු! 

මෙන්න ඒ කතාව...........

ඔන්න ආයම දවසක් එයාලගෙ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවය. වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්ද...ඔව්..මට මතක විදිහට දැං ඉස්කෝලවල ස්පෝට්ස් මීට් තියන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ ඒ අතරට වැටෙන අවුරුද්දෙ කරන්නෙ අධ්‍යාපන චාරිකාවක් යන එක. ඔන්න ඔහොම මොකක්ද තමයි දැං ක්‍රියා පටිපාටිය. 

ඉතිං අර මම කිව්ව ස්පෝට්ස් මීට් එක දවසෙ දහයට වගෙ එයාලගෙ ඉස්කෝලෙට ගියා. කට්ටිය ඉතිං මාව සාදරයෙන් පිළිඅරගෙන සංග්‍රහ කරල මමත් වේදිකාවෙ පිටිපස්සට වෙන්ට ඉඳගෙන හිටිය. ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ. හැමදේම හොයල බලන්ට එපාය...එහාට දුවනව මෙහාට දුවනව ඔලුවෙ කැප් එකකුත් දාගෙන පයිල් මිටියකුත් කිහිල්ලෙ ගහගෙන...හෙහ්,හෙහ්, 

ටිකකිං ඈ ඇවිල්ල මම ලඟම අසුනෙ ඉඳගත්ත. "හප්පේ පණ යනව අප්ප..මේ කට්ට අවුවෙ එහෙ මෙහෙ දුවන්ට ගියාම…."

"ඒක නම් ඇත්ත..මමත් මොනවහරි කරන්න තියනවනම් කියන්න.."

"නෑ..දැන් ආය එහෙමට වැඩක් නෑ..ආ..මේ ඉන්ඩකො මරු වැඩක් කියන්ට.. අර අතන ළමයි උස පනින තැන ඉන්නව නේද සුදු උස පිරිමි ළමයෙක්.."

"කෝ කවුද? කොයි එක්කෙනාද?"

"අර අත්දෙක පස්සට බැඳගෙන ඉන්නෙ..අන්න..අන්න..දැං මේ පැත්තට හැරුන.."

"හරි හරි මම දැක්ක.. ඉතිං මොකක්ද ඒ ළමයගෙ විශේෂෙ? "

"හිහ්..මොකක්ද දන්නවද විශේෂෙ? විශේෂෙ ඇවිල්ල ඒ ළමයගෙ නම…"

"මොකක්ද නම?"

"දිවංගත බණ්ඩාරනායක…"

"මොකක්?" මගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා…"දිවංගත බණ්ඩාරනායක? බොරු කියන්ට එපා අනේ..එහෙමත් නං තියනවද ආය?"

"ආය බොරු කියන්නෙ මොකටද මං? ඔය ළමය මගෙ පංතියෙ ඉන්නෙ. සම්පූර්ණ නම එච්. එම්. ඩී. බණ්ඩාරනායක. හේරත් මුදියන්සේලාගේ දිවංගත බණ්ඩාරනායක…."

මම පස්සෙ විදුහල්පතිතුමාගෙන් විස්තරේ ඇහුව. එතුමාගෙ නම හේරත් අයිය. කේ.බී. හේරත්. එතුමා ඒ ගමේම කෙනෙක්. එහෙම මගෙ කුතුහලය සංසිඳව ගන්ට ඇහුව උනත් එතකොටත් මම හිතාගෙන ඉවරයි වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. හේරත් අයිය මගෙ අනුමානය තහවුරු කලා. 

"ඔව්..මල්ලි...කතාව සම්පූර්ණ ඇත්ත.... ඔය ළමයගෙ අම්ම නෑකමට මගෙ දුවෙක් වෙන්නෙ. තාත්ත නම් මෙහෙ මනුස්සයෙක් නෙවෙයි ඔන්න ඔය කළුන්දෑව පැත්තෙ…."

(කළුන්දෑව ගැනත් වචනයක් කියන්න ඕන. කළුන්දෑව තියෙන්නෙ දඹුල්ල -බකමූණ පාරෙ... ලංකාවෙ දැනට ස්ථිර සාක්ෂි සහිතව පිළිගතහැකි අඛණ්ඩව මිනිසුන් පදිංචිව සිටින පැරණිම ගම්මානයක් කියලයි කළුන්දෑව සැලකෙන්නෙ. මම කොහෙදි හරි ඔය ගැන කියෙව්ව මතකයි මොකක් හරි පර්යේෂණයක් ගැන ලියවුනු පොතක. මුළු ලෝකෙම වැඩිම කාලයක් එක දිගටම මිනිස්සු පදිංචි වෙලා හිටිය නගරය මොකක්ද කියල දන්නවද? ඒ සිරියාවෙ අගනුවර....ඩැමස්කස් නගරය. අවුරුදු 11,000 කට කලින් ඉඳල ඩැමස්කස් නගරයෙ මිනිස්සු ඉන්නවය කියල තමයි විද්වතුන්ගෙ පිළිගැනීම) 

"ඉතිං මේ මනුස්සයගෙ පරම්පරාවම ඇටුවම් බැහැපු ශ්‍රී ලංකා කාරයො. බණ්ඩාරනායක මහත්තයට තාම දෙයියන්ට වගෙ සලකන්නෙ. හැබැයි මහ මෝඩය. ඔය පත්තරවල එහෙම ලිපි පලවෙනවනෙ දිවංගත බණ්ඩාරනායක මහතා කියල. එව්ව දැකල මේ යස්සය කල්පනා කරල තියෙන්නෙ දිවංගත කියන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ මුල් නම කියල. ඉතිං කෙල්ලො තුන්දෙනෙකුට පස්සෙ කොල්ලෙක් ඉපදුනහම දැම්ම නම දිවංගත බණ්ඩාරනායක කියල ..." හේරත් අයිය සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලා.

"හෙහ්,හෙහ්, හොඳ වෙලාවට මිනිහ දැකල තියෙන්නෙ පත්තරේ ඔච්චරයි, ඒ කියන්නෙ ඔය දිවංගත කෑල්ල විතරයි. කොහොමද හේරත් අයියෙ මෙහෙම නම දැම්මනං? හේරත් මුදියන්සේලාගේ පොදුජන යුගයේ නිර්මාතෘ ජනතා නායක දිවංගත බණ්ඩාරනායක කියල හෙහ්,හෙහ්," හේරත් අයියයි මායි දෙන්නම හක හක ගාල හිනාවුනා.

ඉතිං ඔය සරත්මධු මහත්මය අභාවප්‍රාප්ත වුනු සිද්ධිය මම දැනගත්තෙ මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ල උනාට වැඩේ වෙලා තියෙන්නෙ මාස හතර පහකට වගෙ ඉස්සර. මට ඔහොම සීන් කෝන්ස් අනන්ත වෙලා තියනව. 

රජීව් ගාන්ධි මරපු එක නෑ..නෑ.. එහෙම කියන එක වැරදියිනෙ...අභාවප්‍රාප්ත කරවපු එක මතකයිනෙ නේද? 1991 අවුරුද්දෙ මැයි මාසෙ වගෙ වෙන්න ඕන. මම ඒ දවස්වල වැඩ කලේ මහවැලි ව්‍යාපාරෙ. වැලිකන්දෙ. ඒ සීන්ස් එක වෙනකොට මම සතියක් වගෙ නිවාඩු දාල ගෙදර ගිහිල්ල. කොහොම හරි ආපහු නිවාඩු ඉවරවෙලා වැඩට එනනුත් මම දන්නෙ නෑ රජීව් අභාවප්‍රාප්ත කරවලය කියල. 


රජීව්ගෙ දුව ප්‍රියංකා ගාන්ධි වඩ්රා මේ මැයි මාසෙ තියන ඉන්දියානු මහ මැතිවරණයට ඉදිරිපත් වෙනව කියලයි කියන්නෙ. ප්‍රියංකාගෙ අයිය රහුල් දැන් සෑහෙන කාලෙක ඉඳල ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයෙ නායකත්වය දැරුවට මනුස්සයගෙ නායකත්වයෙ අර නායකයෙකුට අවශ්‍ය Charisma එක නැත්නම් ජනකාන්ත භාවය (ජනයා ආකර්ෂණය කරගැනීමේ හැකියාව) නැහැ කියල තමයි කියන්නෙ.

ආයම ඒ පාර ට්‍රැක් පැන්න..යකෝ සාක්කි උඹල අද මට මේ සරත්මධු ලොක්ක ගැන ලියල අහවරයක් කරන්ඩ දෙන්නෙ නැද්ද හැබෑටම ආ? ඔන්න නොකිව්වයි කියන්න එහෙම එපල්ල.....ආය එහෙම බාදා කොරන්න ඔට්ටු නෑ හොඳේ...කෙලින්ම මෙතැන් සිට අදාල කතාව...

හැත්තෑව දශකයෙ මැද භාගයෙ විතර බළංගොඩ සරත්මධු යොවුන් වියේ උන්නු කොල්ලො කෙල්ලො අතර විතරක් නෙවෙයි වැඩිහිටියො අතරත් ඉතාම ජනප්‍රිය වුනේ සිත්තර පත්තරේට ඇඳපු ඉතිං ඊට පස්සෙ..කතාව හින්ද..ඒ කතාව ගැන වික්ටර් රත්නායක ගොයිය පස්සෙ දවසක සිංදුවකුත් කිව්ව…

ඉතිං ඊට පස්සේ..ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා 
මහද මැණික් පහනක් වූවා...
ඉතිං ඊට පස්සේ…



දේදුනු කියන්නෙ ඉතිං ඊට පස්සෙ කතාවෙ කතා නායිකාව...කතා නායකය කැලුම්...දේදුනුට හිටිය මරුමුස් අයියෙක්..නම සේනක...දේදුනුගෙ අම්මයි තාත්තයි නෑ..ආයම්ම කියල වයසක ගෑණු කෙනෙක් ගෙදර හිටිය. උන්දැ තමයි ගෙදර ඉවුම් පිහුම් කටයුතු එහෙම ඔක්කොම කරන්නෙ...

දේදුනුගෙ හොඳම යාලුව ශිවන්ති...තව දිස්නා කියල කෙල්ලෙකුත් හිටිය වගෙ මතකයි. ඔය කෙල්ලො සෙට් එක ඉස්කෝලෙ යන වයසෙ. කැලුම් නම් මොකක්ද රස්සාවක් කරනව. මොකක් හරි මේ ලිපිකරු වැඩක් වගෙ මට මතක..කැලුම්ගෙ යාලුව බෙනී...බෙනීට බයික් එකක් තියනව..දෙන්නම එකම බෝඩිමේ නැවතිල ඉන්නෙ...

ඉතිං බස් හෝල්ට් එකේදි දැකල තමයි කැලුම් දේදුනුට ලයින් පාර දාන්නෙ. දේදුනුගෙ කොණ්ඩෙ තියනව ඉණ ගාවට. තනිකරම අක් බඹරු. ඒ කිව්වෙ කර්ලි හෙයාර්...ඔය කොණ්ඩෙ හින්ද තමයි ඒ කාලෙ කොල්ලො කෙල්ලො අතරෙ දේදුනු බොහොම ජනප්‍රිය වුනේ.. දේදුණුගෙ වගෙ කොණ්ඩයක් තියනවයි කියන්නෙ අප්පට සෝරු ආය නෑ රූප රාජිනියක් කියල තමයි ඒ කාලෙ පිළිගැනුනෙ...

දේදුනු කැලුම් දෙන්න සිරීපාදෙ යන සීන් එකක්..එතකොට ප්‍රංශෙ යන සීන් එකක් එහෙමත් ඔය කතාවෙ තිබ්බ මට මතකයි. පැරීසියෙ අයිෆල් කුළුණ උඩදි තමයි අහම්බෙන් කැලුම්ට දේදුණුව හම්බ වෙන්නෙ..අම්මට වූඩු කොහොමද ඒක? අපි ඉතිං ඇච්චො බැච්චො කාලෙනෙ...ඌර්ණ රෝම ධාතුව රෝමෝදගමනය වෙනව ඔය වගෙ ආතල් ද බ්‍රේව් සීන්ස් කියවන කොට..කියවනකොට නෙවෙයි ඇත්තම කිව්වොත් බලන කොට.

ආ...බස් එකේදි දේදුණු කැලුම්ට කම්මුලට ගහන සීන් එකකුත් තිබ්බ...ඒ පොඩි මිස් අන්ඩර්ස්කර්ට් එකක් නොහොත් මුද්‍රණ දෝෂයක් කරණ කොටගෙන. පස්සෙ දේදුණුට වැඩේ තේරිල කැලුම්ගෙන් සමාව ගන්නව. 

ඒ කම්මුලට ගහපු දවසෙ ඉඳල ඊළඟ සතියෙ සිත්තර පත්තරේ ඇවිල්ල මොකද උනේ කියල දැනගන්නකල් මට ඒ සතියෙම හරියකට නින්ද ගියෙත් නෑ ඔන්න. ඉස්කෝලෙ ඉන්ටිබල් එකේදිත් කතා කරන්නෙ ඕක. ටක් ෂොප් එකට ගිහිල්ල ලෑලි දොරේ එල්ලීගෙන "අයියෙ අයියෙ පාන් කාලයි වඩේ එකයි පෙලේන්ටියයි..." කියල කෑගහන අතරෙත් ලඟ ඉන්න එකා එක්කලා කතා කරන්නෙ ඔය ගැන. 

"අනේ බං මොකක් වෙයිද දන්නෙ නෑ නේද? මෙහෙම්මම වැඩේ නැති වෙලා යයිද?" අන්න එහෙම..

ඒ කාලෙ අපිට ඔන්නම් දහතුනක් දාහතරක් වගේ ඇති වයස..අර කතාවට කියන්නෙ යන්තම් පස්පොළ කළුවීගෙන එන කාලෙ කියල..අර කොහාටද කිරි උනාගෙන එනවයි කියලත් කියන්නෙ ..හෙහ්..හෙහ්..අන්න ඒ කාලෙ..ආදරේ ලව් සීන්ස් ගැන එහෙමකත අවබෝධයක් එහෙම නෑ..ඒත් ඒ වගෙ මොන මොනවදෝ දැනීගෙන දැනීගෙන එන කාලෙ...

කුච් කුච් හෝතා හේ කියල ඔය කියන්නෙ..අන්න ඒක…

තුම් පාස ආයේ….
යූ මුස්කුරායේ…..
තුම් නේන ජානෙ ක්‍යා – සපනේ දිකායේ .... …



ඔය කාලෙ අපි හිටියෙ කෑගල්ලෙ..කච්චේරි නිල නිවාසවල...ඒ නිල නිවාසෙ වත්තම තියනව අක්කරයක් විතර..සුද්දගෙ කාලෙ හදපුවනෙ..දන්නවනෙ සුද්දගෙ වැඩ..අනික ඒ කාලෙ ඉඩ කඩම් හිඟයක් කියලය ආය. අර බංග්ලෝ ටයිප් බංගසාල ගෙයක්. ඔය බංග්ලෝ කියන වචනෙ ඉංග්‍රීසි බාසාවට අවයි කියන්නෙ හින්දි බාසාවෙන්. බංග්ලෝ කියල හැඳින්වෙන්නෙ ඉස්සරහ පැත්තෙ වැරැන්ඩාවක් තියන තනි තට්ටුවෙ විසාල නිවාසයක්...

පිටකෝට්ටෙ බංගලා හන්දියෙත් ඒ කාලෙ මට හිතෙන්නෙ ඒ විදිහෙ බංගලාවක් තියෙන්න ඇති... අපි පොඩි කාලෙ සෙල්ලම් කරනකොට අම්මලට එහෙම හොරෙං කියපු කවියක් වගෙ එකක් මතකයි..

සීයා මනමාලයා..
නාකි ඉළන්දාරියා..
බංගලාවෙ බත්ම කාල එන්න එන්න ලස්සනයි…

ඉතිං අපේ බංගලාවෙ ගේට්ටුව ගාව ඉඳල ගෙදරට එන්ට තියනව මිදුල මැදින් රවුමට විහිදුනු ගල් අල්ලපු පාරක්. කොහොමත් යාර හැට හැත්තෑවක් වගෙ තියනව ඒ පාර ගේට්ටුව ගාව ඉඳල ගෙට ගොඩවෙනකල්.

ඒ දවස්වල පත්තර කාරය උදේම එනව බයිසිකලේ පත්තර මිටිත් බැඳගෙන වැහැපිනං එහෙම  කියල සුදු පාට ඉටි කොලේකිනුත් වහගෙනයි ඒ මනුස්සය එන්නෙ. මට මතක නෑ කෑගල්ලෙ පත්තර ඒජන්සිය කලේ කවුද කියල..හැබැයි අපි අනුරාධපුරේ ඉන්නකොටනම් පත්තර ඒජන්සිය කලේ කඩ පණහෙ ස්වර්ණා ස්ටෝර්ස් කට්ටිය.

ඉතිං අපි කෑගල්ලෙ ඉන්නකොට පත්තර කාරය උදේම එනව හය වෙනකොට. ඒ මනුස්සය ආවට පස්සෙ සල්ලි හොයාගෙන යනකොට පරක්කු වෙන හින්ද අපි කරන්නෙ කලින් දවසෙ රෑ හරියටම ගන්න පත්තරවලට ඕන සල්ලි ගාන ගේට්ටුවෙ බකට් කම්බියකින් ගැට ගහල තියන භාජනේට දාල තියන එක. ඒ භාජනේ රෝස පාට ප්ලාස්ටික් කෝප්පයක්. නංගිලා එහෙම පොඩි කාලෙ කිරි බිව්ව එක. අර මූඩියෙම තියෙන්නෙ පැත්තක කිරි උරල බොන්ට උඩට නෙරාපු කෑල්ලක්. අන්න ඒ ජාතියෙ එකක්. එව්වට කියන්නෙ "Feeding cup" කියල.

ඒ දවස්වල තිබ්බෙ ලේක් හවුස් සහ ටයිම්ස් එකේ පත්තර විතරයි. අපේ ගෙදරට ගත්තෙ Daily News සහ දිනමිණ...දිනමිණ සත පහළවයි ඩේලි නිව්ස් සත විස්සයි වගෙයි මතක..සිත්තර මුලින්ම ආවෙ සත විසි පහකටද කොහෙද..

ආ ඒ කාලෙ ලේක් හවුස් එකෙන් ගහපු සතුට කියල චිත්‍ර කතා පත්තරේකුත් තිබුන. සතුට ආවෙ මුලින්ම 1972 අවුරුද්දෙ. ලංකාවෙ මුල්ම චිත්‍රකතා පත්තරේ...ලේක් හවුස් එක රජයට පවරා ගත්තම මට මතක විදිහට සතුට පත්තරේ නම මධුර කියල වෙනස් වුනා. එහෙම උනේ ලේක් හවුස් ලොක්කා රංජිත් විජේවර්ධනගෙ නමට තමයි සතුට කියන නම තිබිල තියෙන්නෙ. අන්න ඒ හින්දයි..පස්සෙ රංජිත් විජේවර්ධන සතුට කියල ආයම පත්තරයක් පටන් ගත්ත.ඒ උනාට ඒක අර කලින් සතුට වගෙ නැඟල ගියේ නෑ.

ඉතිං කලින්දා හවස පහුවදා පත්තරවලට ඕන ගාණ අම්මගෙන් ඉල්ලගෙන ගේට්ටුවෙ ගැට ගහල තියෙන කෝප්පෙට දාන එකයි පහුවදා උදේට පත්තරේ අරං එන එකයි පවුලෙ වැඩිමලා හැටියට නිල බලයෙන්ම මට පැවරිලයි තිබුනෙ. පැවරිලා තිබ්බ කිව්වට වඩා මම හිතන්නෙ නිල බලයෙන් මම පවරගෙනයි තිබ්බෙ කියල කිව්වනම් තමයි වඩා හරි....හෙහ්...හෙහ්...

පත්තර කාරය ඇවිල්ල පත්තර ගේට්ටුවෙ කම්බි දැලේ ගහල බෙල් එකත් දෙතුන් පාරක් ගහල යන්ට යනව. බෙල් එකේ සද්දෙ ඇහෙනකොටම මම පනිනව මිදුලට..ආය නෑ...තප්පර දෙකෙන් මම ගේට්ටුව ගාව. තප්පර දෙකෙන් ගේට්ටුව ගාවට ගියාට මට ආපහු ගෙදරට එන්ට යනව අඩු ගානෙ විනාඩි දහයක්වත්. විශේෂයෙන්ම සිත්තර තියන දවසට. මට මතක විදිහට සිත්තර ආවෙ සිකුරාදද කොහෙද...මම ඉතිං කරන්නෙ එක කතාවක් කියවනව. අඩියක් ඉස්සරහට තියනව. එහෙම්මම හිටි පියවර නැවතිල තව කතාවක් කියවනව..තව අඩියක් තියනව..

බලා ඉඳල බලා ඉඳල මේ ජෝගිය ඉවසන්ටම බැරි තැන අප්පච්චි බහිනව මිදුලට...කෑම කාමරේ ජනේලෙ අයිනෙ තියන අලිගැටපේර ගහ ගාවට ඇවිල්ල උන්දැ කෑගහනව.

"මොනවද ළමයො ඔය කරන්නෙ? ඔය පත්තරේ ආය කවුරුවත් අරගෙන යන්නෙ නෑ..හවස ගෙදර ඇවිල්ල කියවනවකො.."

"හරි හරි මේ එනව මේ එනව.." මම අඩි දෙකක් පය ඉක්මන් කරල ඇවිල්ල ආයම නවතිනව..

"දැං මම දන්නව ඉස්කෝලෙ යන්ටත් පරක්කු වෙනව..හරි ඔය අනික් පත්තර දෙක ගෙනල්ල දීල ඕන එකක් කරගන්නව.." අප්පච්චි ආයම කෑගහනව. 

අපෙ අප්පච්චි උදේට සිරුරු කිස උදෙසා බාත් රූම් එකට යන්නෙ අනිවාර්යයෙන්ම ඩේලි නිව්ස් එකත් අරගෙනම තමයි. ඒ කරල කොමෝඩ් එක උඩ ඉඳගෙන පත්තරෙන් බාගයක් බලලයි එලිය එන්නෙ..

"ලේක් හවුස් එක හදිස්සියෙ වැහුවොත් එහෙම මෙයා ඔය වැඩේ කොහොම කරගනියිද මන්ද.." අම්ම එහෙම කියනව මට ඇහිල තියනව කීප විඩයක්..

සරත්මධු හැබැයි වැඩි කාලයක් සිත්තරේ හිටියෙ නෑ. එයාගෙම චිත්‍රකතා පත්තරයක් පටන්ගෙන ගියා. මට මතක විදිහට ඒ පත්තරේ නම  සිනෙත්‍ර වගෙ. හැබැයි ඒක සිත්තර තරම් ජනප්‍රිය වුනේ නෑ. සරත්මධු ගියාට පස්සෙ සිත්තරට "ඉතිං ඊට පස්සෙ..." ඇන්දෙ ගුණපාල ජයලත්. ඒත් ඒ මනුස්සයට වැඩේ අල්ලගෙන යන්ට බැරි වුනා. බෲස්ලී වගේ ජිම් කෙලී වගේ කරාටි කාරයො ඇඳල කතාවට බලෙන් ඔබ්බවන්ට ගිහිල්ල එයා වැඩේ වණ කරගත්ත. 

සරත් මධු සිත්තරේට ඇන්ද ඉතිං ඊට පස්සෙට අමතරව යුනිකෝ කියල වීර කථාවක්...අර වීර පුරුෂයො ඉන්නෙ බැලුම් බෝල වගෙ මස් පිඩු තියෙන..කොයි වෙලෙත් මුව මස් ගාත් පිටින් පුච්චල කන්නෙ ..අන්න ඒ ජාතියෙ කට්ටිය.. යුනිකෝගෙ යාලුවො දෙන්න ඇවිල්ල ඔමේගා සහ තන්ඩර්. යුනිකෝ ගෙ අස්සයටත් හරිම අපූරු නමක් තිබ්බ. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ. ඔය අතපය බැලුම් බෝල වගේ ඉන්න වීර පුරුෂයො කොච්චර අපේ හිත් ඇදගත්තද කිව්වොත් ඒ කාලෙ බුදුවීම චිත්‍රයට නඟන්න කියල චිත්‍ර මැඩම් කිව්වම අපි බුදු හාමුදුරුවො අඳින්නෙත් අත පය බෝල බෝල වගෙ මස් පිඬු එක්ක...හෙහ්...හෙහ්...

සිත්තරට කලින් සතුට පත්තරේට සරත්මධු ඇන්ද ඒත් ඔය ඇස් වගගත්තු වීර පුරුෂයෙක්ගෙ කතාවක් ඒකෙ නම නිව්රෝ..නිව්රෝ හිටියෙ කොටි හමකින් හදපු ඇඳුමක් ඇඳගෙන…

සල්ෆා, ලිට්මස්, කොපර් එහෙම හිටපු ෆීලික්ස් බී. පෙරේරා ඇඳපු සල්ෆා කතාව..එතකොට ජිනප්‍රේම බෝදාහන්දි ඇඳපු කතාව...ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන ඇඳපු සුවඳි කතාව...සරත් කවිරත්නගෙ හිතට වහල් වීමි...සුසිල් ප්‍රේමරත්නගෙ ජූඩි..(ජූඩි කියන්නෙ ජේම්ස් හැඩ්ලි චේස්ගෙ කතාවක් කොපි කරල ලියපු එකක්...No Orchids For Miss Blandish...) රෆික් ඩීන් ගෙ ස්පාටකස්...ඒ එක්කම ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ චිත්‍රපට ආශ්‍රයෙන් ඇඳපු කතා...

සතුට සහ සිත්තර ගැන තවත් කියන්න තියෙන විස්තර නම් බොහෝමයි. ඒත් මට හිතෙනව දැනට මේ ඇති කියල..Tomorrow is another day…isn't it now?

ඉතිං සරත්මධු මහත්මයා..ඔබට බොහෝම ස්තූතියි ...අපේ යොවුන් විය බොහොම ආනන්ද ජනක සමයක් බවට පත් කලාට ඔබට ඇත්තටම පිං...සුබ ගමන් මිත්‍රයා!

61 comments:

  1. සරත් මධු නැතිවෙලා සෑහෙන කල් නේද කියල කොමෙන්ටෙකක් දාන්නත් හදල හොඳ වෙලාවට මේ රවියා නේ කියල කතාව කියවලාම හිටිය.. සරත් මධු ගේ පුතෙක්ද මන්දා දැන් ඇහෙනවා සමීර මධු කිඳෙල්පිටිය කියල නමක්.. අපිටත් කාලයක් තිබ්බ අර වගේ මස් පිඩු බෝල දාල මිනිස්සු ඇඳපු.. පස්සේ දැනගත්ත එහෙම එවුන් ඉන්නේ චිත්‍ර කතාවල විතරයි කියල.. ඔය කතා ගොඩ හරියක් අසූ ගණන් වෙනකං ඇදුන මගේ හිතේ.. සමහර ඒවා අනූ ගණන් වෙනකනුත් ඇදුන.. නිත්‍ය පාටකයෙක් නොවුනට මාත් බොහොමයක් කියෝලා තියෙනවා.. :) :D

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      නෑ බං අර සරත්මධුගෙ වයිෆ් එක්ක තිබ්බ ඉන්ටවීව් එකේදි එයා කියල තිබ්බ එක පුතයි ඉන්නෙ එයා ඔය කොළඹ පෞද්ගලික සමාගමක සහකාර ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනව කියල. ඒ හින්ද ඔයකිඳෙල්පිටිය බුවා සරත්මධුගෙ පුතෙක් වෙන්න බෑ...සමීර මධු කිඳෙල්පිටිය කියන්නෙ වේශ නිරූපණ ශිල්පියෙක්..

      සුසිල් කිඳෙල්පිටිය කියල පොරක් උඹට මතකද සිරසෙ වැඩ කරල පස්සෙ බස්නාහිර පළාත් සභාවටද කොහෙද පත්වුනා යූ.එන්.පී. එකෙන් ඉල්ලල?

      Delete
  2. අම්මට උඩු උඹල තාමත් බ්ලොග් ලියනවද බං?

    - කෑගලු ඇනෝ

    ReplyDelete
    Replies
    1. කෑගලු ඇනෝ,

      මේ මොනව කියනවද බං?...තවම ලියනව...තවම ලියනව...හෙහ්..හෙහ්..

      Delete
    2. හි හි
      නෝටිය ඔයා රවි
      - කෑගලු ඇනෝ

      Delete
    3. එයා නම් ලියනවා.. අපි කියවනවා... බලං ඉන්නවා... ඉතිං ඉතිං කෑගළු ඇනෝ.. කෑගල්ලෙ විස්තර එහෙම කෝමෙයි? හෙහ් හෙහ් හෙහ් හෙහ් හේ.....
      ජයවේවා..!!

      Delete
    4. කම්මල ඇන්ඩ් ගස් ලබ්ස්,

      කාලෙකින් දැක්කෙ බොලා දෙන්න සන්තෝසයි..සන්තෝසයි.....:)

      Delete
  3. 'දැං අර බෙල්ලංවිල හාමුදුරුවො අලිය ගහල මළ එක එක පත්තරේක තිබ්බෙ මෙහෙමලු. '

    ඔය සීන් එකෙන් පස්සේ මරු උපහැරණයක් ආවනි 'හුකන්න ඕනි වේලා ඉන්න එකාට සියඹලා කවන්න ගියා වගේ' කියලා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්..හෙහ්..ඒක මරු කතාව බං...

      අපේ සාදුලටත් ඔලුවක් කියල එකක් නෑනෙ...මහාචාර්ය උනාට වැඩක් ඇත මද කිපිල ඉන්න අලියට සියඹලා කවන්න යන එක එච්චර ඇඟට ගුන නැහැයි කියල තේරුම් ගන්ට බැරිනම්...

      ඒ ඇතාට ඊට පස්සෙ හෙණ ඩිමාන්ඩ් එකක් ආවලු..රට පුරහම පන්සල් විසි ගණනක දායක සභාවලින් ආවලු කියන ගාණක් ගෙවල සතා ගන්නම්ය කියල ඒ ගොල්ලන්ගෙ පන්සලට පූජා කරන්ට...

      Delete
  4. මම නං සරත් මධු කියන ආර්ටිස්ට් ගැන දන්නේ 'ඉතිං ඊට පස්සේ' කියලා ටෙලිනාට්‍යයක් ආවේ. අන්න එකෙන්. එකේදී තමයි දැක්කේ ඒ නාට්‍යය හදලා තියෙන්නේ මේ ශිලිපියාගේ චිත්‍ර කතාවක් ඇසුරින් කියලා. අපේ පරම්පරාව මේ අයව දන්නේ අඩුවෙන්.

    දැන් හැම බදාදාම ලංකාදීප පත්තරේ එක්ක චිත්‍ර කතා පත්තරයක් ලබා දෙනවා 'සතුට' නමින්. මම ඒක කියෙව්වා තුන් හතර සැරයක්. මොන කෙහෙම්මල්ද මන්ද රවී මට අර 'වෙල්ලම්මාගේ වැල චිත්‍ර කතාව' ඇරෙන්න අනික් චිත්‍ර කතා එකක් වත් දිරවන්නේ නෑනි.

    බොකක් දාන්න ගියාම මොකක් හරි කියවන්න ඕනි වෙන පුරුද්දක් මටත් තියෙනවා. ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් මොනාහරි ලිපියක් බලනවා. ෆෝන් එක ලග නැත්තං ඉතිං ෂැම්පු බෝතලයක ලේබලේ හරි කියවන්න ඕනි. ඒක නම මේ වෙනකන් අත්අරගන්න බැරි පුරුද්දක්.

    ආයේ තියෙන පුරුද්දක් තමයි බත් ඩිංග බස්ස ගන්න නං පොඩි ෂොට් එකක් දාන්න ඕනි එක. ගොඩක් වෙලාවට දවල්ට නං දෙසීයක වත් දැම්මේ නැත්තං කාලා වැඩක් නැහැ. උබට එහෙම පුරුද්දක් නැද්ද? හීනියට අඩියක් ගැහැව්වම සුපිරියට බත් කන්න පුළුවන් වෙන පුරුද්දක් එහෙම?

    ReplyDelete
    Replies
    1. Ano,

      /මම නං සරත් මධු කියන ආර්ටිස්ට් ගැන දන්නේ 'ඉතිං ඊට පස්සේ' කියලා ටෙලිනාට්‍යයක් ආවේ. අන්න එකෙන්. /

      ඔව්..ඔව්..මමත් යූ ටියුබ් එකෙන් ඔය ටෙලි චිත්‍රපටයෙ කොටස් දෙක තුනක් බැලුව...ඒකෙ දේදුණුට ඉන්නෙ උමයංගනා වික්‍රමසිංහ..මම හිතන්නෙ ඒ අම්මණ්ඩිගෙ අක් බඹරු කේශ කලාපය හින්දම තමයි ඒ චරිතෙට ගන්ට ඇත්තෙ.

      /දැන් හැම බදාදාම ලංකාදීප පත්තරේ එක්ක චිත්‍ර කතා පත්තරයක් ලබා දෙනවා 'සතුට' නමින්. /

      අප්පට උඩු එහෙමද? එහෙනම් මම හිතන්නෙ දැන් චිත්‍ර කතා පත්තරවලට මාකට් එකක් නැති හින්ද එහෙම නොමිලේම දෙනව ඇති..:(

      /ගොඩක් වෙලාවට දවල්ට නං දෙසීයක වත් දැම්මේ නැත්තං කාලා වැඩක් නැහැ. උබට එහෙම පුරුද්දක් නැද්ද? හීනියට අඩියක් ගැහැව්වම සුපිරියට බත් කන්න පුළුවන් වෙන පුරුද්දක් එහෙම?/

      වීක් එන්ඩ් එකේනම් එහෙම කරනව...පොඩි එකක් දෙකක් තුනක් අරගෙන තමයි දිවා භෝජනය වළඳන්නෙ...:)

      Delete
  5. //බලංගොඩ සරත්මධු අභාවප්‍රාප්ත වෙලා.//
    කොහෙද මනුස්සයෝ මාස ගාණක් හිටියේ?

    //පිට කෝට්ටෙ බංගලා හන්දියෙත් ඒ කාලෙ මට හිතෙන්නෙ ඒ විදිහෙ බංගලාවක් තියෙන්න ඇති...//
    ඔය බංගලාව දැන් පුරාවිද්‍යා කෞතුකාගාරයක් කර තිබෙන ඊ ඩබ්ලිව් පෙරේරාගේ (කෝට්ටේ සිංහයා) ඉහළ වලව්ව ලෙස හැඳින්වෙන නිවස කියා මම අහල තියෙනවා. හරිද කියා හරියටම දන්නේ නැහැ.

    //සල්ෆා, ලිට්මස්, කොපර් එහෙම හිටපු ෆීලික්ස් බී. පෙරේරා ඇඳපු සල්ෆා කතාව..එතකොට ජිනප්‍රේම බෝදාහන්දි ඇඳපු කතාව...ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන ඇඳපු සුවඳි කතාව...සරත් කවිරත්නගෙ හිතට වහල් වීමි...සුසිල් ප්‍රේමරත්නගෙ ජූඩි..(ජූඩි කියන්නෙ ජේම්ස් හැඩ්ලි චේස්ගෙ කතාවක් කොපි කරල ලියපු එකක්...No orchids for miss Blandish...) රෆික් ඩීන් ගෙ ස්පාටකස්...ඒ එක්කම ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ ෆිල්මස් වලින් ඇඳපු කතා...//

    එතකොට කැමිලස්ගේ ගජමෑන්, "සිංහ"ගේ ටෝගා, ඇන්ටන් බී පෙරේරාගේ ටෝරස්. ඔය සිත්තර පටන් අරන් ටික කාලෙකින් "සුහද" කියලා හරස් අතට ගහපු චිත්‍රකතා පත්තරේකුත් ආවනේ.

    ReplyDelete
    Replies
    1. Econ,

      /කොහෙද මනුස්සයෝ මාස ගාණක් හිටියේ?/

      මේ පහුගිය මාස හයක වගෙ ඉඳල රාජකාරි බහුලයි ඉකෝන්..ඒ හින්ද හවස ගෙදර ඇවිල්ල කලින් වගෙ රටේ ලෝකෙ තොරතුරු හොයා බලන්ට වෙලාවක් නෑ..කෑව නිදාගත්ත..මොබයිල් එකෙන් බලන හරියක් තමයි.ඒකෙත් ලංකාවෙ තොරතුරු එහෙමකට බැලෙන්නෙ නෑ..ඒකයි මේතොරතුරු මඟ ඇරුනෙ...

      /ඔය බංගලාව දැන් පුරාවිද්‍යා කෞතුකාගාරයක් කර තිබෙන ඊ ඩබ්ලිව් පෙරේරාගේ (කෝට්ටේ සිංහයා) ඉහළ වලව්ව ලෙස හැඳින්වෙන නිවස කියා මම අහල තියෙනවා. හරිද කියා හරියටම දන්නේ නැහැ./

      හරි හරි මට මතකයි ...බංගලා හන්දිය පහුකරල නුගේගොඩ පැත්තට යනකොට වම් පැත්තෙ පාරෙන් ටිකක් උඩට වෙන්න නේද ඔය කියන කෞතුකාගාරය තියෙන්නෙ?

      ඊ. ඩබ්. පෙරේරා උන්නැහෙ නේද 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය වෙලාවෙ සුද්දො කරපු අසාධාරණකම් ගැන ලියපු ලිපිය සපත්තු අඩියෙ හංගගෙන එංගලන්තෙට ගිහිල්ල එහෙ අගමැතිට බාරදුන්නයි කියන්නෙ...

      /ඔය සිත්තර පටන් අරන් ටික කාලෙකින් "සුහද" කියලා හරස් අතට ගහපු චිත්‍රකතා පත්තරේකුත් ආවනේ./

      ඔව් සුහද ආවෙ 1977 විතර..ඔබ හරි ඒක ඇවිල්ලා ලෑන්ඩ්ස්කේප් ෆෝමැට් එකට ආවෙ...ඊට පස්සෙ උපාලි විජේවර්ධන පටන්ගත්ත චිත්‍රමිත්‍ර කියල එකක්...උපාලියි ඒ කාලෙ මුදල් ඇමති රොනී ද මෙල් ලොක්කයි නයයි මුගටියයි වගේනෙ. ඒ හින්ද චිත්‍රමිත්‍ර එකේ කාටුන් චරිතයක් තිබ්බ රොනියා කියල බල්ලෙක්. රොනියා කියන අකුරුතුන ටිකක් ලොකුවට කැපිල පෙනෙන්ට බෝල්ඩ් කරල තිබ්බෙ...:)

      ඒ කවුරු හිටියත් මම කැමතිම බන්ධුල හරිශ්චන්ද්‍රට...හේලෝ, බෙලරෝපන්, පෙනිලෝපා, හෙලන්...සින්බෑඩ්, ග්‍රීක් කථා අඳින්ට මනුස්සයට ගහන්ට කෙනෙක් නෑ ආය...

      Delete
    2. බංගලාහන්දිය පහු කරලා නුගේගොඩ පැත්තට එද්දි නෙවෙයි, අනිත් පැත්තට, ඒ කියන්නේ ඇතුල් කෝට්ටේ පැත්තට යනකොටයි දකුණු අත පැත්තේ ඔය ඉහළ වළව්වයි, පහළ වළව්වයි හම්බවෙන්නේ. ඒ ඉහළ වළව්ව දැන් කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය. ඒ ඉහළ වළව්ව ඊ. ඩබ්. පෙරේරා මැතිතුමාගේ වළව්ව. පහළ වළව්ව එතුමාගේ සහෝදරයාගේ. ඒ පහළ වළව්වේ මං හිතන්නේ මෑතකදී ළදරු පාසලක් විවෘත කළා.

      ඒත් බංගලාහන්දියට ඒ නම ලැබිලා තියෙන්නේ ඔය වළව්ව නිසා නෙවෙයි, මම අහලා තියෙන විදිහට ඒ අසළම මිෂන් පාරේ ක්‍රිස්තියානි මිෂනාරි පල්ලිය හා පාසලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් ඉදි කරලා තිබුණ බංගලාව නිසාලු. හරියටම තව විස්තර හොයාගන්න පුළුවන් වුණොත් මම කියන්නම්කෝ. :)

      Delete
    3. සිත්තමී,

      මම කිව්වෙ මෙහෙමනෙ...

      /හරි හරි මට මතකයි ...බංගලා හන්දිය පහුකරල නුගේගොඩ පැත්තට යනකොට වම් පැත්තෙ පාරෙන් ටිකක් උඩට වෙන්න නේද ඔය කියන කෞතුකාගාරය තියෙන්නෙ?/

      ඉතිං උඹ මොකක්ද දැං කියන්නෙ...

      /බංගලාහන්දිය පහු කරලා නුගේගොඩ පැත්තට එද්දි නෙවෙයි, අනිත් පැත්තට, ඒ කියන්නේ ඇතුල් කෝට්ටේ පැත්තට යනකොටයි දකුණු අත පැත්තේ ඔය ඉහළ වළව්වයි, පහළ වළව්වයි හම්බවෙන්නේ. /

      ඇයි බොල අංගනාවියෙ ..ඒ දෙකම එකයිනෙ...හෙහ්,හෙහ්..උඹයි මම යි දෙන්නම කියල තියනව හරි....:)

      Delete
    4. වැරදියි අනේ. බංගලාහන්දිය පහු කරලා නුගේගොඩ පැත්තට යනකොට දකුණු පැත්තෙවත්, වම් පැත්තෙවත් වළව්වක් නෑ. මේ වළව් තියෙන්නේ බංගලාහන්දියේ ඉඳං අනිත් පැත්තට, ඇතුල් කෝට්ටේ පැත්තට යනකොට. බංගලාහන්දියයි, කොටුබැම්ම පාරයි අතර. :P

      Delete
    5. සිත්තමී,

      හරි හරි බොලේ...මයි බිස්ටේක්..බයි මිස්ටේක්..

      මම මේ දැන් උදේ නාන ගමනුත් කල්පනා කලා අර යෝදිට එහෙම වරදින්ටත් නම් බෑ...හොඳ කල්පනාකාරි නෙවද කියල..

      ඔන්න එතකොටයි මට තේරුණෙ යකෝ සාලෙ මමනෙ මේ පොට පටලවගෙන තියෙන්නෙ කියල.. ඒ පාර දනි පනි ගාල වැඩට යන්ට ලෑස්ති වෙන අස්සෙම ලැප් එක ඔන් කරල මේ ලොග් වුනේ ව.ක්‍රී.ප. ඒ කමෙන්ට් එක මකල දාන්නෙයි කියල.. කොහෙද? ඒ වෙනකොටත් මෙන්න මෙයා ඒකට රිප්ලයි එකක් දාලනෙ...:)

      Delete
  6. Aththata oya nam, gam, paththara,hema ekakma ravi ayyata thama mathakada?

    ReplyDelete
    Replies
    1. geethika,

      ඔය ඕන නැති එව්ව තමයි බං මතක තියෙන්නෙ....:)

      Delete
  7. මට ඔය දිවංගත කියලා නමට දාලා තිබ්බ කියනකොට මතක් උනේ අපේ ගුණදාස ලියනගේ මහත්තයගෙ පුතාගෙ නම. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් කියන එක. මං පොඩි කාලෙ හිතුවෙ ඔය වගේ දෙයක් දැකලා වැරදිලා තමයි ඒ නම තියන්නත් ඇත්තෙ කියලා. පස්සෙ ගුලි මහත්තයා ගැන දැන ගත්තට පස්සෙ හිතුනා එයාට එහෙම වැරදීමක් උනා වෙන්න බැහැනෙ කියලා.
    ඉතිං ඊට පස්සේ කතාව තවමත් යනවද? ඒක සෑහෙන කාලයක් ඇන්දනෙ කාලෙන් කාලෙට එක එක්කෙනා.
    ඉස්සර අපේ ගෙදරට චිත්‍ර කතා පත්තර ගන්නෙ නෑ. අහළ පහල ගෙවල්වලට ගේන ඒවා තමයි ගෙදරට හොරෙන් උස්සන් ඇවිත් බලන්නෙ. ඒක ඉල්ලගෙන ඇවිත් වත්තෙ පහළ වෙරළු ගහේ අත්තක් උඩ නැගලා කියවලා ඉවර කරලා ආපහු ගෙනිහින් දීලා තමයි ගෙදර එන්නෙ. යාළුවොත් එක්ක පිටු ටික බෙදාගෙන කියවන්න වෙන්නෙ ඕක බිමක බැහැලා කියවන්න ගියොත් එහෙම. මට පේන්න බැරි වැඩේ එක. අනිත් උන් මං කියවන තරම් වේගෙන් කියවන්නෙ නෑනෙ. ඉතින් බලන් ඉන්න ඕන කටත් ඇරන් නොකියවපු පිටුවක් දෙනකම්.
    අපේ මාමා කෙනෙකුගේ පුතෙක් ඒ කාලෙ බිත්තියේ ඇඳපු ඔය චිත්‍ර කතා වීරයන්ගෙන් පින්තූර වගයක් තවමත් ඒගොල්ලො මකන්නෙ නැතුව තියාගෙන ඉන්නවා. යුනිකෝ, ස්පාටකස්, ටෝගා හොඳට මතකයි. යකෝ බුදු හාමුදුරුවන්ටත් බෝල අත පය දාලා ඇන්දා කිව්වම...

    ReplyDelete
    Replies
    1. වතාවක් මං ඉස්පිරිතාලේ ඉද්දි මගේ අල්ලපු ඇඳේ හිටිය කොල්ලගේ නම 'ශ්‍රීමත් අලංකාර'.. :0 මගේ බැච් ඉන්නවා උගේ නම 'ලස්සන කුමාර' :)

      Delete
    2. Miyuru,

      /ඉතිං ඊට පස්සේ කතාව තවමත් යනවද? /

      අයි ඩෝන්ට් තින්ක් සෝ..මැඩම්....දැං කොහොමත් මම හිතන්නෙ චිත්‍ර කතා වලට අලවියක් ඇත්තෙම නෑ..

      අර උඩ ඇනෝ කෙනෙක් කියල තියෙන්නෙ බදාදා ලංකාදීප පත්තරේ එක්ක සතුට පත්තරේ නිකං දෙනවය කියල..හෙහ්..කොහොමද ඒක? එක අතකට එහෙම තමයි ලෝකෙ හැටි...හැම දෙයක්ම වෙනස් වන සුළුයිනෙ...

      අපි පොඩි කාලෙ හිතට අල්ලල ගිය චිත්‍ර කතා කපල පොත්වල අලවල එකතු කලේ..තාමත් ඇති සම් ටයිම්ස් අපේ මහ ගෙදර..ගිය වෙලාවක පරණ පෙට්ටගම් ඇදල බලන්ට ඕන...:)

      Delete
    3. Kalyana,

      යෝනිකා සුරතාන්තිනී කියල FB එකේ ප්‍රොෆයිල් එකක් තියනව කියල මගෙ යාලුවෙක් කිව්ව..මම හිතන්නෙ නම් බොරු එකක් වෙන්න ඕන..එහෙමත් නම් දායිද බං කෙල්ලන්ට නැද්ද මං අහන්නෙ...:)

      Delete
    4. අපේ කැම්පස් එකේ කෙල්ලක් හිටියා අයෝනි කියලා එයා ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ට කොල්ලො නමක් දාලා තිබ්බා අශීෂ්ණ කියලා. අයෝනි අශිෂ්ණ ව බැන්දා, දැන් කොහේ හෝ රටක ඇති.

      Delete
    5. අයෝනි කියලා යාළුවෙක් මටත් ඉන්නවා පොඩි කාලෙ ඉඳන් එක පන්තියේ හිටපු. විදුහල්පතිවරු වෙච්ච අම්මයි තාත්තයි මොකක් හිතාගෙන ඔය නම තිබ්බද දන්නෙ නෑ. එයා කවදාවත් ඒ නම පාවිච්චි කළේ නැති නිසා කවුරුවත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. එයාට වැඩිය ඒක දන්න අපියි බය වෙලා හිටියෙ කවුරු හරි ඕක කියාවි කියලා. එයාට හොඳට සිංදු කියන්න පුළුවන්. එයා කැම්පස් තේරුනේ නැතුවට පස්සෙ ඔය මියුසික් වැඩවලට සම්බන්ධ වෙලා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්තුවා ගමේ. අනේ අච්චර කල් නොකිව්ව නම දැම්මෙ නැද්ද ගම පුරා ගහපු පෝස්ටර් එකට. මගෙ අම්මේ ඒවයෙ ලියලා තිබ්බ දේවල්...

      ක.මි.: ලස්සන නම් දෙක… :D

      Delete
    6. මියුරු,

      අපොයි!

      Delete
  8. සරත්මධු කියන්නේ සිත්තර, සිත්තර කියන්නේ සරත්මධු කාලය මටත් හොඳට මතකයි. මිහිර පත්තරේ සඳුදා (ඩඩ්ලිගේ කාලේ පසු පෝ දා ), සතුට අඟහරුවාදා, තරුණි බ්‍රහස්පතින්දා, බුදුසරණ හතර පෝයට, නවයුගය 12/26 දිනවල බව මතකයි. සතුට' ට ගහන්න සිත්තර පටන් ගත්තාට පත්තරය නිකුත් කල සතියේ දිනය මොකක්ද කියලා මතක් කරගන්න බැහැ. එය සඳුදා (හවස) වගේ මතකයක් තියනවා සරත්මධු නිව්රෝ අඳින කාලේ සතුටේ හිටපු අනුර විජේවර්ධන වත්, මිහිරේ හිටපු ඇස් ඒ දිසානායකවත් මට අමතක නැහැ. සරත්මධු අඳින චරිත බොහොමයක "විවිධත්වය" අරගෙන තිබුනේ එකම ටෙම්ප්ලේට් එකේ මුහුණකට කුමක් හෝ කැපී පෙනෙන අංගයක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් බවත් කියන්නේ එතුමාට අගෞරව කරන්න නොවෙයි. සිංහල චිත්‍ර කතා පත්තර වලට පෙර තිබුන ලන්දේසි හටන, පරංගි හටන, විජයබා කොල්ලය වැනි චිත්‍ර කතා පොත් වාගේම ඩීමන් ආනන්දගේ රහස් පරීක්ෂක කථාත් අපිට කියවීමේ රුචිකත්වය ඇති කළා. ඒ වාගේම දිවංගත (හෝ වෙනත් කැමති වචනයක් යොදා ගත හැකි) දයා රාජපක්ෂ මේ සියල්ලන්ටම ඉහලින් වැජඹුන චිත්‍රකතා රජු ලෙස මම අදටත් සලකනවා.
    අපේ ළමා කාලය රසවත් කල බලන්ගොඩ සරත්මධු ට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. sam,

      /සිත්තර පටන් ගත්තාට පත්තරය නිකුත් කල සතියේ දිනය මොකක්ද කියලා මතක් කරගන්න බැහැ. එය සඳුදා (හවස) වගේ මතකයක් තියනවා ../

      /සතුටේ හිටපු අනුර විජේවර්ධන ./

      අන්න අනික් මනුස්සය...අනුර විජේවර්ධන සතුටට ඇන්ද මිස්ටර් ෂොක් 909 මතකද? ආය එකක් ඇන්ද වීරෝ කියල...අනික කැලේ අතරමං වෙන පොඩි එකෙක් ගැන කියවෙන මේඝ

      සිත්තර පළවෙලා තියෙන්නෙ සඳුද..මටත් හරියටම මතක තිබ්බෙ නෑ පෝස්ට් එක ලියනකොට..ඒත් පස්සෙ මට හම්බවුනා මුල්ම සිත්තර පත්තරේක කවරයක් අන්තර්ජාලයෙන්..දවස සඳුද..මිල සත හැත්තෑපහයි...

      /ලන්දේසි හටන, පරංගි හටන, විජයබා කොල්ලය වැනි චිත්‍ර කතා පොත් වාගේම ../

      ලන්දේසි හටන බිලිපූජාව එහෙම ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න..ලන්දේසි හටනෙ මට මතක විදිහට කොටස් අටක් තිබ්බ..දැනට අවුරුදු හතර පහකට ඉස්සෙල්ල ලන්දේසි හටන චිත්‍රකතා පොත් පෙල ආයම මුද්‍රණය කරල පලකලා කියල මට ආරංචියක් ආව. ඒත් කොහොම හරි මට ගන්ට බැරිවුනා..

      /දයා රාජපක්ෂ මේ සියල්ලන්ටම ඉහලින් වැජඹුන චිත්‍රකතා රජු ලෙස මම අදටත් සලකනවා. /

      දයා රාජපක්ෂ නොම්මර එක...රක්තා..අනුපමා...පොඩි මාමා, වානරයෝ..ආචාර්ය සයිකෝ...ආදර කොමා...අන්න කතා....

      Delete
  9. අම්මපා මේකව දීයම කන්න එපැයි . නැතිනම් මේ කොයි වෙලේ බැලුවත් ජාලගත වෙලා ඉන්න මිනිහා කියන්නේ සරත් මධු මැරුණු බව දැනගන්නට ලැබුනේ දවස් දෙක තුනකට කලින් කියලා.රවි ඔයිට වඩා හොඳ බොරු අපි අහලා තියෙනවා.
    සෑම් පෙරේරා කියන එකට මමත් එකගයි.දයා රාජපක්ෂ තරම් දක්ෂයෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. kumara,

      /අම්මපා මේකව දීයම කන්න එපැයි ./

      අපෙ අත්තම්මගෙ නෑදැයොද කොහෙදබං උඹ..උන්දැ කියන්නෙම ඔහොම තමයි..දීයා කාපිය...මේකව දීයම කන්ට එපාය...හෙහ්..හෙහ්..

      /රවි ඔයිට වඩා හොඳ බොරු අපි අහලා තියෙනවා./

      නෑ බං ඇත්තටම බොරුවක් නෙවෙයි...:)

      Delete
  10. චිත්‍ර කතා බලාගෙන චිත්‍ර අඳින එක නම් ඒ කාලේ මගෙත් ආසම වැඩක්... හොඳට ඇඟ තියෙන කොටි හමක් ඇඳගත්තු පොරවල් ඇඳලා ඇති කෙස් ගානට... හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒ කොටි හමක් ඇඳගෙන ඉන්නෙ නිව්රෝ..

      හැබැයි උඹ එහෙම නිව්රෝ කියල දැනගෙන ඇන්ද වෙන්ට බෑ.. මොකද නිව්රෝල රජ්ජුරුවන්ගෙ මැර හමුදාවෙ සෙබලු නිකං මේ කාඩ් බෝඩ් පඹයි වගෙ උස්සල එහාට මෙහාට වීසි කරන කාලෙ කොල්ලො උඹ ඉපදෙන්ට හිතලවත් නැතුව ඇති මම හිතන්නෙ...:)

      Delete
    2. සෙන්රෝ ද කවුද ද කියල පොරක් ගැන ලියවෙච්ච කතාවක් මගේ යාලුවෙක් පොතක් විදියට එකතු කරලා හදලත් තිබ්බ.. මම සිත්තර සහ සත්සිරි දෙකම කියෙව්වේ අසුවේ අග සහ අනුවේ මුල එතකොට අවුරුදු 10-12 වගේ ඇති.. වීරයින්ට ලව් කරන කාලේ නේ.. සරත් මදුගේ ලව් ස්ටෝරි කියවන්න පොඩි වැඩියි.... ඒ දවස් මගේ හොබී දෙකෙන් එකක් චිත්‍ර අඳින එක... ඒකයි මම ඕවා ඇන්දේ...

      Delete
    3. පැතුම්,

      සෙන්රෝ ඇන්දෙ බලංගොඩ සරත්මදුගෙ මල්ලි වෙන්න ඕන..සිනෙත් බැද්දගේ...

      Delete
  11. සුමතිපාල ජෝතිපාල ඇඳපු කතා වගයකුත් තිබ්බ නේද? සත්සිරි කියලා පත්තරයකුත් තිබ්බා. අනේ එහෙම සුන්දර කාලයක්.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      සුමතිපාල ජෝතිපාල කියන්නෙ නිවුන් සහෝදරයො මම දන්න විදිහට..පස්සෙ ඒ එක්කෙනෙක් බැන්ද... ඒ බිරිඳගෙ නම පස්සෙ දැම්ම මම හිතන්නෙ කතා වලට කතාව - රාණි හේමලතා...චිත්‍ර - සුමතිපාල-ජෝතිපාල කියල..

      Delete
  12. මතකය අලුත් කරගනිමු.
    https://slcomics.wordpress.com/

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ස්තූතියි කසුන්.,...මගෙ බ්ලොග් රෝලෙ තියනව slcomics...:)

      Delete
  13. චිත්තර කතා කියවලා නෑනේ අහලානම් තියෙනවා සරත් මධූ ගැන ඉතින් ඊට පස්සේ ගැන.ටෙලියකුත් ගියා මතකයි ඔය කතාවෙන්.බොහොම කාලෙකින් මේ පැත්තට එවුනේ අප්පා.මේ සින්දුවනම් මම ආසම.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      අප්පේ බොහොම කාලෙකින්...ඔයාලා මම හිතන්නෙ චිත්‍රකතා යුගයට පස්සෙ ආපු කට්ටිය..ඒකට ඉතිං මක් කොරන්නෙයි නැද්ද?

      සිංදුව කිව්වෙ කොයිකද? ඉතිං ඊට පස්සේ..ද? තුම් පාස ආයේ..ද?

      Delete
  14. //යන්තම් පස්පොළ කළුවීගෙන එන කාලෙ කියල//

    මාමා....... කොහෙද ඔය පස්පොළ ?


    ලියලා තියෙන ගොඩක් දේවල් කලින් කියවලා පුරුදුයි වගේ.....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      ඇටෙං පොත්තෙං එනකොට උඹෙ කොහෙ කොහෙද බොල කළුවීගන ආවෙ? ගණං කරාපං බලන්ට..එතකොට ඒ වගෙ ඉස්තාන පහක් එයි....:)

      Delete
  15. බොලාලැයි කාලෙ වගේ ඉන්න ගොඩ දෙනෙක් කැන්ටිමට ඔය ටක් ෂොප් කියන වචනෙ පාවිච්චි කරනව. මොකක්ද ඒකෙ තේරුම.

    ඒ කාලේ අපිත් ඔය චිත්‍රකතා පත්තර වල යන්නෙ මොනවද කියල දන්නෙ නැති උනත් පෙරලගෙන කියෝපු අය තමයි. දැන්නං බදාද ලංකාදීපෙත් එක්ක නොමිලේ දෙනව පත්තර කෑල්ලක්.

    ReplyDelete
    Replies
    1. The term "tuck", meaning food, is slang and probably originates from such phrases as "to tuck into a meal". It is closely related to the Australian English word "tucker", meaning food

      https://en.wikipedia.org/wiki/Tuck_shop#Etymology

      Delete
    2. ප්‍රසන්න,

      ඔව් ඔව් අර උඩ ඇනෝ කෙනෙකුත් කියල තිබ්බ බදාදා ලංකාදීපෙ එක්ක "සතුට" නොමිලේ දෙනව කියල..

      Delete
    3. ස්තූතියි ප්‍රා,

      කාලාන්තරයක් තිස්සෙ ටක් ෂොප් ටක් ෂොප් කියල කිව්වට මම දැනගෙන හිටියෙ නෑ ඒ වචනෙ මූලාරම්භය...

      Delete
    4. ඕකට නිකම්ම 'ටක් එක' කියලත් අපි ඉස්කෝලෙදි කිව්වා. අපේ ගුරුවරයෙක් කියා දුන්නා මතකයි හරි වචනේ Canteen කියලා. ඒ කියන්නේ සිංහලෙන් කැන්ටිම. පසු කාලයකදී දැනගන්නට ලැබුණා ගාල්ල පැත්තේ සමහර උදවිය රා තැබෑරුමටත් කැන්ටිම කියනවා.

      Delete
  16. ඔය කියන චිත්‍ර කතා මම කියවල නෑ අනේ. :( මම කියවල තියන චිත්‍ර කතා තමයි මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් (විජය පත්තරේ ගිහිපු එකක්) ඒකත් මගේ ජෙනරේෂන් එකේ අය කියවපු පත්තර වලින් නෙවෙයි, අපේ අක්කට ගෙනාපු පත්තර ඔක්කොම පෙට්ටගමක දාල එකතු කරලා තිබුණ එයා. ඉතින් මම ඉපදිලා ටිකක් කියවන්න පුළුවන් වෙනකොට කලේ පෙට්ටගමට බැහැගෙන ඕවා කියවපු එක.

    මට මේ පෝස්ට් එක දැක්කම ටිකක් දුක හිතුණ. රවී තුමාල පොඩි කාලේ, කෝප්පෙට රෑට සල්ලි දැම්මම උදේ වෙනකම් ඒක තිබුණා කියල කියල තියනවා නේ. ඒකට දැන්, ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා වෙනවා "ජපානේ මෙහෙමයි, ස්විට්සර්ලන්තේ මෙහෙමයි, මුදලාලි නෑ කඩෙන් ඕන කරන බඩු අරන් සල්ලි කෝප්පෙට දාල යන්න තියෙන්නෙ" කියල. අපට කොතන හරි වැරදිලා තියනවා නේද...

    චිත්‍රකතා ගැන මෙලෝ හසරක් දන්නේ නැති උනත්, මේ ලිපිය ඇතුලේ තව ගොඩක් දේවල් තිබුණා, හිතන්න පොළඹවන. ඒ ටිකෙන් පුළුවන් පෝස්ට් හත අටක් ලියන්න, උත්සහ කළොත්. බොහොම ස්තුතියි ඒ වගේ ලොකු 'අභ්‍යන්තරයක්' තියන ලිපියක් ලිවුවට. :)

    ReplyDelete
    Replies
    1. රවී ගෙ කථා ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියෙනව තමයි. හෙහ් හෙහ්

      Delete
    2. ඒක නම් ඇත්තම ඇත්ත. විශේෂයෙන්ම ඒ කාලේ ජන ජීවිතය, මිනිස්සු හිතපු පතපු විදිය ගැන. මහා ඈත ඉතිහාසයේ නොවේ, මේ අපට කලින් පරම්පරාවේ දේවල්, හරිම රසවත්, දැනන් ඉන්න එක ගොඩක් වටිනවා. මම හරි ආසයි මේවා කියවන්න, මොකද කියනවා නම්, ඉස්සර අපේ තාත්තයි මමයි චැට් එක දාන් ඉන්නකොට, තාත්ත මට ඔය වගේ ටිකක් ඉස්සර තොරතුරු කියනවා. තාත්ත නැති වුනාට පස්සෙ ඒ තොරතුරු දැනගන්න ලැබෙන්නේ අඩුවෙන්, මොකද ඒ පරපුරේ යුවතියන් වෙච්චි අපේ අම්මගේ සමකාලීන අය, රැකියාවක් නොකරපු නිසා, ගේ ඇතුලේ හැදුන වැඩුන මිසක්, තාත්තා තරම් එලියට ගිහින් නෑ.

      මම රවී තුමාට කිවුව කීප වරක්ම, පුවක් කතා නොලියා මේවා ලියන්ට කියල. ඒ උනාට පස්සේ මම හිතා ගත්ත, ඕන එකක් ලියන්න ඇරලා නිකම් ඉන්නවා කියල. :D මම කැමති දේට හැමෝම කැමති නැතුවැති නේ.

      හැමදාම මම එනකොට පරක්කු වැඩි නිසා බස් එක ගිහින්, කමෙන්ට් එකට රවී තුමාගේ පිළිතුරු නෑ. ඒ හැම වෙලාවේම, හිත හැදෙන්න මොකක් හරි දාන ඔබතුමාට, බොහොම පින්. :)

      Delete
    3. Maanaviks,

      /මම කියවල තියන චිත්‍ර කතා තමයි මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් /

      මටත් ඔය කතාව මතකයි. ගෙවල්වල පොඩි එවුන් කියවනවනෙ විජය..ඇන්දෙ පියල් උදය සමරවීර...

      /ඈත ඉතිහාසයේ නොවේ, මේ අපට කලින් පරම්පරාවේ දේවල්, හරිම රසවත්, දැනන් ඉන්න එක ගොඩක් වටිනවා.../

      මම හිතන්නෙ ඇත්තටම අපේ පරම්පරාව එහෙම බැලුවම සුවිශේෂයි. අපේ කිව්වට මම හිතන්නෙ පණහ හැට සහ හැත්තෑව දශකවල උපන් උදවිය..

      දැන් මෙහෙම හිතන්නකො. පණහට කලින් වගෙ උපන් අයට ඇත්තටම පොත් පත්තර එතරම් සුලභ නෑ. ගුවන් විදුලිය උනත් එතරම් ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ. එතකොට ගමනා ගමන පහසුකම් එතරම් නෑ.

      ඒ සියළු පහසුකම් තිබුන ඊට පස්සෙ ආපු පරම්පරාවල අයට. ඒ හින්දම රටේ ලෝකෙ ගැන සමාජය ගැන මිනිසුන් ගැන අවශ්‍ය නම් ඒ වගේම කුතුහලය තියනව නම් හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්න ඒ අයට අවස්ථාව තිබුන.

      ඒ ඔක්කෝටම වැඩිය ඕනම දෙයක් ගැන හදාරන්න දැනගන්න අවශ්‍යනම් ඕන තරම් කාල වේලාව තිබ්බ. ටියුෂන් නෑ..ටී. වී. නෑ..ටැබ් නෑ..අයි පෑඩ් නෑ..මොබයිල් ෆෝන්ස් නෑ...:)

      අපෙන් පස්සෙ පරම්පරාවට තොරතුරු හොයාගන්න ඒ ගැන අධ්‍යයනය කරන්න ඕනවටත් වැඩිය අවස්ථාව තිබ්බට ඒකට වෙලාවක් නෑ...

      /මම රවී තුමාට කිවුව කීප වරක්ම, පුවක් කතා නොලියා මේවා ලියන්ට කියල./

      හරි හරි බාං ලියමු ලියමු ලියමු...

      /හැමදාම මම එනකොට පරක්කු වැඩි නිසා බස් එක ගිහින්, කමෙන්ට් එකට රවී තුමාගේ පිළිතුරු නෑ../

      හරි හරි...දුක් නොවනු මැන..මේ දවස්වල පට්ට හීතල ඕයි...ඔෆිස් එකේ දවස තිස්සෙ තුංකුදු ගැහිල කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන ඉඳල ගෙදර ආවම ආයම ඕක ඉස්සරහ ඉඳගන්න එක මරන්නා වාගෙ.. මේ මාසෙටම ලියවුනෙත් පෝස්ට් තුනයි...

      Delete
    4. Ian,

      මානවික්ස්ගෙ හිත හැදුවට බොහොම ස්තූතියි!!!

      Delete
    5. //මම හිතන්නෙ ඇත්තටම අපේ පරම්පරාව එහෙම බැලුවම සුවිශේෂයි. අපේ කිව්වට මම හිතන්නෙ පණහ හැට සහ හැත්තෑව දශකවල උපන් උදවිය..

      දැන් මෙහෙම හිතන්නකො. පණහට කලින් වගෙ උපන් අයට ඇත්තටම පොත් පත්තර එතරම් සුලභ නෑ. ගුවන් විදුලිය උනත් එතරම් ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ. එතකොට ගමනා ගමන පහසුකම් එතරම් නෑ.

      ඒ සියළු පහසුකම් තිබුන ඊට පස්සෙ ආපු පරම්පරාවල අයට. ඒ හින්දම රටේ ලෝකෙ ගැන සමාජය ගැන මිනිසුන් ගැන අවශ්‍ය නම් ඒ වගේම කුතුහලය තියනව නම් හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්න ඒ අයට අවස්ථාව තිබුන.

      ඒ ඔක්කෝටම වැඩිය ඕනම දෙයක් ගැන හදාරන්න දැනගන්න අවශ්‍යනම් ඕන තරම් කාල වේලාව තිබ්බ. ටියුෂන් නෑ..ටී. වී. නෑ..ටැබ් නෑ..අයි පෑඩ් නෑ..මොබයිල් ෆෝන්ස් නෑ...:)//

      ඔය ඔක්කොටම අමතරව ගත්තම, අපේ තාත්තත් ඉදිකිරීම් අංශයට සම්බන්ධව, ඈත පළාත් වල වැඩ කරලා තියේ. චමරි ගැන, බෝඩිම් ගැන, දුෂ්කර පළාත් ගැන, මිනිස්සු ගැන, ගොඩක් රස කතා තිබුණ ඒ අතරෙ. නමුත් මට ඒ දේවල් ගැන ගොඩක් විස්තර අහගන්න ලැබුණේ නැහැනෙ, කෙළිලොල් වයස පහු කරලා, ජීවිතේ යමක් තේරෙන, දේවල් සංසන්දනය කරන්න, ගවේෂණය කරන්න පුළුවන් වයසට ඇවිත් බොහොම ටික කාලෙකින් තාත්ත යන්න ගියානෙ. මේ කතා ගොඩක් ඒව ඉතින් අපේ තාත්ත කියපු ඒවගේ ම දිගුවක් වගේ තමයි.

      එකම දේ, තාත්ත බොන්නැහැ නේ, ඉතින් අර පිලිස්සු කුකුළා වගේ කතා අහල තිබුණේ නැහැ කලින්. :D හැබැයි ඒවා කියවන්නත් කැමතියි බැන බැන හරි, ඇයි ඉතින් කසාද බඳින එකා බිවුවොත්, ඕවා ටිකක් කියවල රෙඩි වෙලා ඉන්න එක වටිනවා නේ. :)

      අප්පා මෙහෙත් සීතයි. දවල්ටත් සීතලයි ද? නැත්නම් දවල් රස්නේ වෙලා රෑට හීතල වෙනවද? ඔය දෙවෙනියට කියපු එක තමයි වැඩියෙන්ම අමාරු, මටනම්.

      Delete
    6. හැම පරම්පරාවක්ම තමන්ට ඇති හෝ නැති දේවල් ඊට කලින් පරම්පරා එක්ක සංසන්දනය කරල සතුටු වෙන එක හෝ දුක් වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම සංසන්දනය කරන කොට මේකත් මතක තියාගන්න වටිනවා එමා.

      ඒ කාලෙට වඩා අද සංනිවේදනය ඉතාමත් ඉක්මන්. මේ සංනිවේදනය (ෆේස්බුක්, ටෙලිවිශන් ආදිය ) නිසා 'ප්‍රවෘත්ති' ඉක්මනින් සහ විශාල වශයෙන් එනවා. ප්‍රවෘත්ති වෙන්නේ බොහෝ විට නරක දේවල්. ඒ කාලෙත් අද වගේම නරක දේවල් සිදුවුණත් ඒවා අද තරම සංනිවේදනය වුණේ නැහැ. එම කාලයට වඩා අද 'ප්‍රවෘත්ති' ලැබෙන නිසා අපි හිතනවා අද කාලය ඒ කාලයට වඩා නරකයි කියලා.

      අපි අද හොඳයි කියන අතීතයේ තමයි කීප දෙනෙකුගේ බල තන්හාවෙන් දෙවන ලෝක යුද්ධයෙන් මිලියන ගණනක් මැරුනේ. ඒ කාලෙ තමයි වර්ණභේද වාදය නිසා ඇමෙරිකාව වැනි දියුණු රටවල පවා වෙනස්කම් අපරාධ සිදුවුණේ.

      අදත් ඒකාලේ වගේ හොඳදේවල් වෙනවා. අහන්න ලැබෙන්නේ බොහෝ විට නරක දේවල්. හේතුව හොඳ දේවල් 'ප්‍රවෘත්ති' ලෙස මාකට් නොවීම.

      Delete
    7. ඉයන් තුමා එක්ක එකඟයි. ලෝක යුද්ධ, වර්ණභේද වාදය වගේම, පරිසරයටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි.

      ඒ උනාට මේ දේවල් කියවල දැනගෙන තිබුණම, ටිකක් වැඩිහිටි කෙනෙක් එක්ක උනත් වැදගත් පිළිසඳරක යෙදෙන්න කරුණු එකතු වෙනවනෙ. නැත්නම් ඉතින් ලංකාවේ වැඩිහිටි කෙනෙක් එක්ක පන්සලකදී, යාලුවෙක් ගේ ගෙදරදී, වගේ වත් කතා කරන්න ගියොත් අහගන්න වෙන්නේ "අපෝ ඔය ළමයගෙ කෙට්ටු, කසාද බඳින්නෙ නැද්ද, දැන් වයස කීයද, පොතටම නාකි වෙනවා" වගේ කතා. :)

      Delete
  17. මම හයවන ශ්‍රේණියට ගියේ 1950 දී. ඒ කාලේ අද වගේ මාධ්‍ය නැහැ. Radio එකක් තිබුනෙත් කලාතුරකින්. Daily News සහ දිනමිණ පත්‍ර තිබුණා. Radio එකක් තිබෙන ගෙදරවල ඉරිදාට බණ ඇසීමට අහල පහළ ගෙවල්වල අයත් එකතු වෙනවා.පැදුරු දමා බිම වාඩිවී පන්සලේදී වගේ Radio බණ අහනවා අපි දැක තිබෙනවා. 1948 නිදහස් දවසේ විස්තර ඇසීම සඳහා විශාල සෙනගක් Radio තිබෙන ගෙවල් වලට එකතු උනා. 1952 මැතිවරණයේ එක පක්ෂයකට තිබුණු චන්ද ලකුණ පුටුව. චන්ද ව්‍යාපාරයේදී ලකුණ ප්‍රචාරය කිරීම සඳහා, එක තැනක මහා පාරට උඩින් කඹයක් දමා යෝධ පුටුවක් එල්ලා තිබුණා. ඔන්න ඔහොමයි ඒ කාලයේ චන්ද ප්‍රචාර කළෙත්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...