Saturday, April 12, 2025

709 - දිඹුලාගල මතක සටහන් - 4


පේර ගහට ආපු රිලවා....

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

ඊලඟ දවස් දෙක තුනේ මට සෑහෙන ෆීල්ඩ් එකේ වැඩ වැටිච්චි හින්ද ඔෆිස් එක පැත්ත පළාතෙවත් යන්ට උනේ නෑ..ඒ හින්ද බීඑම් මහත්තයාගෙ "වලාකුල් බැම්ම සහිත ටයිල් ඇතුරූ මහා ජලපුෂ්ප ව්‍යාපෘතියේ " (එහෙම තමයි අපි වාරිමාර්ග අංශෙ උදවිය බීඑම් මහත්තයගෙ වැඩේ බෞතීස්ම කරල තිබ්බෙ) ප්‍රගතිය ගැන කිසිම යාවත් කාලීන වීමක් උනේ නෑ...

රෑ ගෙදර ඇවිල්ල ඕනනම් බීඑම් මහත්තයාගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ල විපරම් කරල එන්ට තිබ්බ උනත් දඩ පෑවිල්ලෙ දවස් තිස්සෙ ඇලවල් කුඹුරු ගානෙ ගියාම හවස් වෙනකොට ඇඟට පුදුම තෙහෙට්ටුයි..වයිෆ් ගෙදර ඉන්න හින්ද හැමදාම පොඩි එකක් දාගන්ටත් නෑ..ඒ හින්ද මමත් කාල නිදාගත්තා මිසක බීඑම් මහත්තයලගෙ ගෙවල් පැත්තෙ හෝදිසි කරන්ට ගියේ නෑ..

ඔන්න තුන්වෙනි නැත්තං හතරවෙනි දවසෙ රෑ අටට වගෙ  මම පාන් ගෙඩි දෙකක් ගේන්ට ගියා අපේ කෑම්ප් එක ලඟම තිබ්බ සිල්ලර කඩේට..පාං අරං බයික් එකට නැග්ග විතරයි මෙන්න කලුවෙරේම මතු වෙච්චි හතරෙ ඇලේ ගොවි සංවිධානෙ සභාපතියා..නම හේරත් බණ්ඩා..කෑගල්ල පැත්තෙ මුල් ගම්බිම්....

මනුස්සය දිඹුලාගල හාමුදුරුවන්ගෙ දකුණු අතයි වං කකුලයි දෙකම ඔන්න කොටිම්ම..පන්සලේ දායක සබාවෙත් කාරක සබිකයෙක්ද කොහෙද..ගොවි සංවිධාන කටයුතු හින්ද මිනිහ මගෙ හොඳ හිතවතා..

"ආ..මහත්තය හම්බ උන එක නම් කීයත් වටිනව..මම හවස මහත්තයලගෙ ගෙවල් පැත්තෙ එන්ටත් හිතල ආයම ඉතිං කරදර කරන එක හරි නෑනෙ කියල නිකං උන්නා..දවල් මම ඔෆිස් පැත්තෙත් ගියා..මහත්තය මේ ටිකේම වැඩිය ඔෆිස් පැත්තෙ ආවෙ නෑ කියල කිව්ව.."

"ඔව් බං මේ ටිකේ ටිකක් ප්‍රශ්න වැඩියි..ඒ හින්ද වැඩිපුර ෆීල්ඩ් එකේමයි හිටියෙ..ඇයි හේරත් මාව හෙව්වෙ? අර විසි එකේ ඇලේ ප්‍රශ්නෙටද? "

"අනේ නෑ මහත්තය..ඒක මේ මේ කපේදි විසඳන්ට පුලුවං ප්‍රශ්නයක් නෙවෙයිනෙ..ඒකෙ ඉන්න ගොවියො සමඟි වෙලා එක කතාවකට එනකල් ඒකෙ වතුර ප්‍රශ්නෙ එහෙමම තමයි..මම මහත්තයව හෙව්වෙත් නම් වතුර ප්‍රශ්නෙකටම තමයි හැබැයි හරියටම කිව්වොත් වතුර මල් ප්‍රශ්නෙකට.." 

හේරත් එහෙම කියල හක හක ගාල හිනාඋනා..මටත් හිනාගියා මිනිහා ඒක කියපු විදිහට..

"ඔව්..බං මම දන්නව උඹ ඔය කියන්ට එන්නෙ මොකක්ද කියල.."

"ඔව් මහත්තය..හාමුදුරුවො මාත් එක්ක හුඟක් කිට්ටුයිනෙ..දැං දෙතුං පාරක් මහවැලි ඔෆිස් එකට එන්ටයි ලෑස්ති උනේ බීඑම් මහත්තය හම්බවෙලා මේකෙ දෙකිං එකක් විසඳ ගන්ටෙයි කියල..දන්නවනෙ හාමුදුරුවංගෙ කට..හේරත් මම ඔය මිනිහා මනම්පිටිය හන්දියට යනකල් ගගහ එලවලා දාලයි පස්ස බලන්නෙ..ඔන්න ඔහොමයි කෑගැහැව්වෙ..."

"හප්පච්චියේ එහෙමද?"

"මම ඉතිං කියල කියල ටිකක් සේප් කරල දැම්ම..අන්තිමට කිව්ව හරි තමුසෙ එහෙනං ගිහිල්ල ඒ යකා එක්ක කතා කරල මේ වැඩේ එකලාසයක් කරල දානවා..හැබැයි ගොයියෝ මතක තියාගන්න්ව උගෙ රෙXX වලාකුලු බැම්ම යකාට ගියාවෙ....වෙසක් පෝයට ඉස්සෙල්ල තිබ්බ විදිහටවත් වතුර මල හදල නොදුන්නොත්  මම ඔය බීඑම් කියන එකා බෙල්ලෙං ඇදගෙන ඇවිල්ල මේ වතුර වලේම ඔබනව..ඔබන එකත් ඔබනව..හේරත් දන්නවනෙ මගෙ හැටි....."

"හරි හරි හේරත් මම හෙට අනිවාර්යයෙංම බීඑම් මහත්තය මුණ ගැහිල අහන්නං මොකද අපි දැං මේකට කරන්නෙ කියල..මම එහෙම කියල එතනිං ආව.."

කිව්වත් වාගෙ මම පහුවදා ඔෆිස් ගිහිල්ල බීඑම් මහත්තය මුණ ගැහුන..මම යනකොට එතුමා ඔන්න මොකක්ද ෆයිල් එකක් දිග ඇරගෙන බරටම වැඩ..

"ආ..එන්ඩ සුමනෙ..ඔයා ආපු එකත් හොඳයි..මම මේ පණිවිඩයක් යවන්ඩත් හිටියෙ..මොකෝ මේ ටිකේ පේන්ට නොහිටියෙ? "

"ටිකක් වැඩ වැඩිවුනා බීඑම් මහත්තය..ඒක නෙවෙයි ඊයෙ රෑ මම පාං ගේන්ටය කියලා අර අතන හන්දියෙ කඩේට ගිය වෙලාවෙ මෙහෙ ගොවි සමිතියෙ සභාපති හම්බ උනා..බීඑම් මහත්තය මිනිහව දන්නෙ නෑ මං හිතන්නෙ.."

"ඉතිං? "

"මිනිහා දිඹුලාගල හාමුදුරුවංගෙත් හොඳ හිතවතා..මිනිහා මා එක්ක කිව්වෙ අර වතුර මලේ ප්‍රස්නෙ ගැන තමයි බීඑම් මහත්තය..හාමුදුරුවන්ට හොඳටම යකා නැඟලලු ඉන්නෙ.."

( මගේ සටහන -  ඔය ඇවිල්ල හිට මල පනින්ට ඉස්සර යුගය..ඒ කාලෙ මල පනිනව වෙනුවට යකා නඟිනව....)

"ඒක තමයි සුමනෙ මමත් මේ ඔලුව නරක් වෙලා ඉන්නෙ මොකද මේකට කරන්නෙ කියල.."

"බීඑම් මහත්තය එදා කිව්වනේද යන වියදම හෙඩ් ඔෆිස් එකට කියල විශේෂ ප්‍රතිපාදන යටතෙ වෙන් කරගන්න බලනවය කියල? මොකෝ ඒකට උනේ? "

"සුමනෙ කිව්වා හරියටම හරි..නිල වශයෙන් ඉල්ලන්න ඉස්සෙල්ල මම ෂේප් එකේ මගෙ හොඳ හිතවතෙක් ඉන්නව ඩීජී ගාව මිනිහගෙං අහල බැලුව..පිස්සුද යකෝ කතා කරන්නවත් එපා එහෙම සල්ලි වෙන් කිරිල්ලක් ගැන..දිඹුලාගලට කියපු ගමං කුණු හරප තමයි අහන්න වෙන්නෙ..ඔන්න ඔහොමයි මගෙ යාලුවා කිව්වෙ.."

බීඑම් මහත්තය එහෙම කියල ඇඬුං මූණෙන් මා දිහා බලා හිටියා බොහොමත්ම අසරණ ලීලාවෙන්..ඒ මූන දැකල බං මටත් ඇඬෙන්ඩ ආව බං දෙයියම්පල්ල..

මේ වෙනකොට බෝතලෙං තුං කාලක් විතර ඉවරයි..පොඩි වැස්සක් වගෙත් එන්ට එනව..ඒ අස්සෙ සුමනෙගෙ ගේ ඉස්සරහ තිබ්බ ඇඹුල් පේර ගහට රිළවෙකුත් ඇවිදිල්ලා කියහල්ලකො..

"ෂෙහ් මේ යකා එන්ට තිබ්බෙ පහුගිය 15 වෙනිද අපේ ගෙවල් පැත්තටනෙන..මම රිලව්, මොනරු පෝරම කොලේ නිකම්ම ආපහු ඇරියා අපේ ග්‍රාම නිලධාරිනීට  මම බලාගෙනම හිටිය මේ ලෝකෙ සතෙක් ආවෙ නෑ මිස් මේ පැත්ත පළාතෙ කියල යටිං ලියල..."මම නැඟිටල රිලාස් තුමාගෙ පෝටොස් එකකුත් ගත්තා..

"හරි හරි බං රිළා වඳුරු කතා පස්සෙ පුලුවං..සුමනෙ කතාව ඉවරයක් කරහංකො ..ගෙවල් වලට යන්ටත් එපාය.."ඒ අපේ සේපාලයා..

"ඉතිං බීඑම් මහත්තය අඬන්න ඔන්න මෙන්න කියල මූණ හදාගෙන මාදිහා බලා ඉන්නව..මමත් මෙන්න මෙහෙම මූණ හදාගෙන බීඑම් මහත්තය දිහා බලා ඉන්නව.."

සුමණයා මූණ ඒ විදිහට හදල පෙන්නුවා අපිට මැරෙන්ට හිනා..

"ඒ මූණ දැක්කම නම් තව එකක්  දාගන්ට ඕන.." සේපාලයා එකක් වක් කරගත්තා..

"ඒයි මටත් එකක් දීපං ..." මම කිව්වා...

ඒ ගමන තුං දෙනාම ෂොට් එකක් එක දාගත්තා කියහංකො..දැං ආයම සුමණෙගෙ කතාව..

"ඉතිං බං සරළවම කියනවනං වතුර මලේ වැඩේ කෙරුනෙ නෑ..කොහේ තියන සල්ලිද ඔහොම දඩ වතුර මලක් හදන්ට?..ඒ හින්ද දිඹුලාගල හාමුදුරුවො පණිවිඩ පිට පණිවිඩ එව්වට බීඑම් මහත්තය ඒ වෙලාවට මඟ අරිනව නැත්තං ඔය කටට ආපු එකක් කියනව.."

"පුදුමයි හාමුදුරුවො සිවුරත් කරේ තියාගෙන ඔෆිස් එකට ආපු නැති එක.." මම කිව්වා..

"අර ගොවි සංවිධාන සභාපති හේරත්ගෙං මම ඔය ප්‍රශ්නෙම ඇහුවා බං..උඹලා දන්නවද පොර මොකක්ද කිව්වෙ කියල?..හේරත් මම ඔය ඔෆිස් එකට ගියොත් එහෙම අර යකාගෙ බෙල්ල මිරිකනව..මේ වෙලාවෙ ආණ්ඩුවෙ ලොක්කො මා එක්ක හොඳ නෑ..ඉතිං එහෙම දෙයක් උනොත් කෙලිම්ම මාව ඇතුලට දානව..ඒ හින්ද මම ඔය පැත්ත පලාතෙ යන්නෙ නෑ..ඔන්න ඔය හින්දයි හාමුදුරුවො අපේ ඔෆිස් එකට ඇවිල්ලා නැත්තෙ.."

"බීඑම් මහත්තයගෙ හොඳ වෙලාව.." සේපාල කිව්වා..

"ඉතිං හාමුදුරුවංගෙ ඩෙඩ් ලයින් එක වෙසක් පෝයනෙ..වෙසක් පෝයට දවස් හතර දෙහෙකට වගෙ කලිං බීඑම් මහත්තය නිවාඩු දාලා ගෙදර ගියා..සුමනෙ මම ගෙදර යනව..වෙසක් පහුවෙලයි ආපහු එන්නෙ..යන්ට කලිං මට කිව්වා..ඔව් ඉතිං කමක් නෑ..වෙන අහවල් දෙයක් කරන්නද? බීඑම් මහත්තයා මමත් කිව්වා.."

"එතකොට එච්චරයිද කතාව?" සේපාල නැඟිට්ටා..

"නෑ..නෑ..ඉඳහංකො දැං තමයි හොඳම හරිය.." මම සේපාලයගෙ අතින් අල්ලල ආපහු පුටුවෙ ඉන්දුවා..මම අර කලිං කිව්වෙ සුමනෙයි මායි එක ක්වාටර්ස් එකේ ඉන්න කාලෙ මම ඔය කතාව අහල තියනව හත් අට පාරක්ම සුමනෙගෙ කටින්ම..

ඉතිං මෙන්න යකෝ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑ කියල ගෙදර ගිය මනුස්සය පහුවදාම ආපහු ආව කියහල්ලකො..එදා උදේ මම ෆීල්ඩ් ගිහිල්ල දවල්ට කන්ඩ එනකොට අපේ ගේට්ටුවෙ වොචර් මාව නවත්තල කිව්ව...

 "සර් අපේ  බීඑම් සර් ආපහු ආවනෙ.."කියල..මගෙ කටත් ඇරුන අප්පල්ලෙ වගේ..

"මොකක්? උඹට හොඳටම ෂුවර්ද? "

"අය ෂුවර්ද කියල අහනව..මම දන්නෙ නැද්ද බීඑම් සර්ව? ..තව කවුද නෝනා කෙනෙකුත් හිටිය ඉස්සරහ සීට් එකේ..ආ..සර්ට කියන්න කිව්ව ආපු ගමං ඇවිල්ල බීඑම් සර්ව මුණ ගැහෙන්නයි කියල.."

මතු සම්බන්ධයි ඈ...

12 comments:

  1. සත් ගූණවත් වලව්වෙ උපාසිකාව ලව්ව මල ගහන්න වගේ ප්ලෑන් එක එහෙනං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමත් වෙන්න පුලුවං ඉතිං.

      Delete
  2. Replies
    1. ඉයන්,

      ස්තූතියි ඉයන් :)

      Delete
  3. බී.එම් තුමාගේ දුක හින්දාම තමයි
    සක්කරයගේ අසුනත් රත් වෙලා වගෙයි
    පිහිට වෙන්න නෝනෙක් එව්වද නොදැනෙයි
    නෝනත් No කියාවිද කියලාත් හිතෙයි!

    ReplyDelete
    Replies
    1. නිදි,

      ස්තූතියි නිමල් සුපුරුදු පරිදි ඔබේ කවියට.. :)

      Delete
  4. ( මගේ සටහන - ඔය ඇවිල්ල හිට මල පනින්ට ඉස්සර යුගය..ඒ කාලෙ මල පනිනව වෙනුවට යකා නඟිනව....) මල පනින්ට පටන් ගත්තේ 90 ගණන් වල ද ? අපිට ඔය වචනේ ආවේ 2000න් පස්සේ වගේ මතක .

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔව් මල්ලි..මේ කියන්නෙ 1985/86 කාලෙ වගේ..

      ඔය මල පනින කතාව ආවෙ අර්ශස් ලෙඩේ හින්දනෙ..අර්ශස් හැදුනම පස්ස පැත්තෙං බඩවැල පාත්වෙනවනෙ..ඒක නිකං මලක් වගේ කියල හිතල අර්ශස් හැදුනම මල පැන්න කියල කියන්ට ගත්තා..

      අර්ශස් හැදුනම ඉක්මනට කේන්ති යන හින්ද එහෙම කේන්ති යන එවුංගෙං අහන්ට ගත්ත "මොකද බං උඹට ඔච්චර කේන්ති යන්නෙ? මලවත් පැනලද තියෙන්නෙ? " කියල...

      මට මතක විදිහට ඔය මල පනින කතාවෙ මූලාරම්භය "ඉරිදා දිවයින" පත්තරේ ගිය විහිලු කොළමක්..

      Delete
  5. Replies
    1. ස්තූතියි ප්‍රා.. :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...