Monday, September 24, 2012

136. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....19

.

අවසන ඔහු නොඉවසිල්ලෙන් බලා සිටි ඒ මොහොත උදාවිය. හීංඇළ ඉහත්තාවේ දඩයක්කාරයා හිඳසිටි ගල්තලාවට බොහෝ නොදුරින් වූයේ වක්කලමකි. නියඟ කාලයෙහිදී නිල්වන් දිය පිරී හිරු එලියේ දිලෙන මේ වක්කලම මෙදින දිස් වූයේ පෙනෙන තෙක් මානයේ පැතිර ගිය සුවිසල් ජලාශයක් මෙනි.

එහෙත් වක්කලමෙහිදී හීං ඇලේ ගැඹුර ක්ෂණිකව වැඩිවීම හේතු කොටගෙන වියරුව කරකැවෙන දියසුළි නංවමින් සතර දෙස විනාශ කරමින් ගලා ආ සැඩ පහර මෙහිදී නිරායාසයෙන් මඳක් තම ප්‍රචන්ඩත්වය අඩාල කර ගනියි. වක්කලම පසුවනතෙක් මෙලෙස මඳක් සෙමෙන් ගලායන බොර පැහැ ජල දහර ඉන්පසු සුපුරුදු ලෙස යලි ප්‍රචණ්ඩකාරී වෙයි.

එක් වනම ජල පහරේ කරකැවෙමින් ගසාගෙන පැමිණි සිඳී ගිය අතු ඉති සහ මුලිනිදුරුනු කඳන් අතර පා වෙමින් පැමිණ වක්කලමට ඇද වැටුනේ මිනිස් සිරුරකි. පුමිතිරි බව නිවැරැදිව තීරණය සඳහා දුර ප්‍රමාණය මෙන්ම සැඩ පහරේ ප්‍රචණ්ඩතාව සහ වේගය දැඩි බාධාවක් වුවද මේ ඊයේ රාත්‍රියේ ඔහු දුටු ස්වප්නයේ හුන් යුවතියම බවට දඩයක්කාරයා කිසිදු සැකයෙකින් තොරව එකෙණෙහිම දත්තේය.

එහෙත් කිසිදු හැල හොල්මනකින් තොරව අවම වශයෙන් අත් පා සැලීමකිනිදු තොරව පාවී එන යුවතිය සප්‍රාණික ද යන්න ඔහුට ගැටළුවකි. වහා ගල් තලාව මත නැඟී සිටි දඩයක්කාරයා ඇඟිලි දිගහැරගත් සුරත නළලෙහි තබා දෑස් ආවරණය කොට ගත්තේ පාව එන දේහයෙහි ප්‍රාණය තවමත් රැඳී ඇත්දැයි සැකහැර දැන ගැනීමට දැඩි උත්සාහයක නිරත විය.

ඒ යුවතියක බවට කිසිදු සැකයක් නැත. සිරුර පසුපසින් ඇදීඑන දිගු කෙස් කළඹ සියලු සැක දුරුකරලීය. ඒ හා සමඟම ඇස ගැටුණු දසුනෙන් දඩයක්කාරයාගේ සිතෙහි පැවති අනෙක් සැකයද දුරුව ගියේය. වක්කලමෙහිදී සැඩ පහරෙහි වේගය මඳක් අඩාල වන බව මම මීට පෙර පැවසුවා ඔබට මතක ඇති බවට මට සැකයක් නැත.මේ වේගය අඩාල වීම ඇයට නිරායාසයෙන්ම දැනුනා විය හැක නැතහොත් වෙනත් යම් හේතුවක් නිසා විය හැක, නැතහොත් හුදු අහම්බයක් නිසා විය හැක..එසේත් නොවේනම් ඇගේ ඉරණම හෝ දෛවය නිසාම විය හැක, දඩයක්කාරයා ඇසිපිය නොහෙලා ඈ දෙස බලා සිටිද්දී ඇය තම යුගත් සලා පිහිනීමට තැත් කලාය.

එහෙත් එසැනින්ම ඒ වෑයම අත්හැරදැමිමට ඇයට සිදුවූයේ වක්කලම පසුකොට නැවත අධික වේගයෙන් ගලායන සැඩපහරට ඇය යලි ඇතුලු වු හෙයිනි.දැඩි සැඩපහරට එරෙහිව පිහිනීමට තමන් නොසමත් බව උදක්ම දත් හෙයින්දෝ ඇය පිහිනීමට කල දුර්වල උත්සාහය අත හැර දමා දෙනෙත් යලි පියා ගත්තේ තම ඉරණමට ඉඩදීමට ඉටාගත් සෙයකිනි.

යළිදු මොහොතකුදු පමා නොවූ දඩයක්කාරයා වහා සැඩ පහරට පැන්නේ ඈ දෙසට පිහිනීමට පටන් ගත්තේය.

නව යොවුන් වියේ පසුවූ දඩයක්කාරයා ශක්තිමත් ආරෝහ පරිණාහ දේහයකට උරුම කම් කීවද එසේම තාරුණ්‍යයට සහජයෙන් හිමි ජවයෙන් ඔද වැඩුනේ වුවද පුරා දිනක් මුලුල්ලේ කිසිදු ආහාරයකින් තොරව නිරාහාරව පසුවූ හෙයින් මේ ඔහු දෙවරක් නොසිතාම එළඹි කාර්යය කිසිසේත් සුකර කර්තව්‍යයක් නම් නොවීය.

එසේම වර්ෂාව තුරල් කොට තිබුණද සැඩපහරෙහි ප්‍රචණ්ඩත්වයෙහි කැපීපෙනෙන අඩුවීමක් ද නොවීය. යුවතිය වෙත ලඟා වීමට පෙරම තම ශක්තිය හීනව යන්නාක් මෙන් දැනුනද දඩයක්කාරයා පසුබට නොවීය. අවසන කෙසේ හෝ ඔහු ඈ වෙත ලඟාවූ ඔහු ඇගේ කෙස් වැටියෙන් තම සුරතින් තරව ග්‍රහණය කොට ගත්තේය.

දියෙහි ගිලීයාමට ආසන්න පුද්ගලයෙකු තමා බේරාගැන්මට පැමිණෙන තැනැත්තාගේ සිරුරෙහි තමනට ස්පර්ශ වන ඕනෑම තැනක් තරව ග්‍රහණය කර ගැන්ම නිරායාසයෙන් සිදු වන්නකි. ස්වයංක්‍රීයව සිදුවන්නා වූ මෙම ක්‍රියාව බොහෝවිට දියෙහි ගිලෙන්නාගේ පමණක් නොව ඔහු / ඇය දිවි බේරාගැන්මට පැමිනෙන්නාගේද ජීවිත අනතුරේ හෙලයි.

දඩයක්කාරයා කිසි දිනෙක ජීවිතාරක්ෂක පාඨමාලාවක් හදාරා සහතික ලබා නොමැති බව ඔබට වෙසෙසින් කිවයුතු නොවන බව මම දනිමි.ප්‍රිය සහෘදය/ සහෘදිනිය...එසේම එවන් සහතික පත්‍රයක් රාමු කොට ඔහුගේ ගෙපැලෙහි පෞරාණික පෙට්ටගමට ඉහලින් එල්ලා ඇති බවක් ද මම ඔබට නොපැවසුවෙමි. එසේ හෙයින් දියෙහි ගිලෙන්නට යන තැනැත්තියක බේරා ගැන්මේ නිවැරැදි ක්‍රම වේදය ඔහු දන්නේ කෙසේදැයි ඔබට කුකුසක් හටගත්තේ නම් මේ ඊට පිළිතුරයි.

දියෙහි ගිලෙන්නෙකු බේරාගැන්මේ නිවැරදි ක්‍රමවේදය පිළිබඳ දැනුම ඔහුට සහජයෙන් ලැබුණකි. එමතුදු නොව ජීවිතයේ බොහෝ අවස්ථාවන්ට මුහුණ දියයුතු අයුරු දඩයක්කාරයා නිසර්ගයෙන්ම දැන සිටුයේ ඔහු ද බොහෝ විට විශ්මයට පත් කරවමිනි. දඩයක්කාරයා යනු සුවිශේෂී පුද්ගලයකු බව සටහන් කිරීම හැර ඊට වෙනත් තර්කානුකූල හේතු දැක්වීමක් ඔබට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව මම ඔබෙන් සමාව අයදිමි.

දඩයක්කාරයා තම කෙස්වැටිය ග්‍රහණය කරගන්නවාත් සමඟම අඩසිහියෙන් වුවද දෙනෙත් විවර කල ඒ යුවතිය ඔහුගේ දසරුවෙහි එල්ලීමට උත්සාහ කළාය. එහෙත් ඒ වැළැක්වූ දඩයක්කාරයා කෙස් වැටියේ ග්‍රහණය ලිහිල් නොකොටම ඇයද රැගෙන ඉවුර වෙත පිහිනන්නට වූයේය.

පුරා දිනක් නිරාහාරව පසුවීමද එසේම සැඩපහර එරෙහිව පිහිනීමෙහි අසීරුවද, ඒ සැමටම වඩා යුවතියද රැගෙන පිහිනීමෙහි අතිරේක ආයාසයද තම චිත්ත ධෛර්යයෙන්ම මැඩපවත්වා ගනිමින් අවසන දඩයක්කාරයා ඉවුර වෙත ළඟාවුවද ඒ ඉතා වෙහෙසකරවය. වෙලෙවි ගමනින් දෑතින් ඔසවාගත් යුවතියද රැගෙන ගල්තලාවට ආයාසයෙන් ගොඩ නැඟුනු දඩයක්කාරයා යුවතියගේ දේහය ගල් තලාව මත සීරුවෙන් තබා ඇගේ හදවත ගැහෙන රාවය පිරික්සා බැලීය.

සුරතට ඇගේ හෘද ස්ඵන්දනය නොදැනුනු කල්හි හිස පහත්කල දඩයක්කාරයා ඇගේ උඩුකයෙහි වම් පසට සිය කණ තබා ඇගේ හද ගැස්ම පිළිබඳව යම් නිගමනයකට එළඹීමට තැත් කලේය.ඉතාම දුර්වල ඇගේ හද ගැස්ම එවිට ඔහුට ඇසුණේ ඔහු හුස්ම ඉහල පහල හෙලීම පවා මොහොතකට නතර කොට සියළු ඉන්ද්‍රියයන් ඇගේ හදවත කෙරෙහි නාභිගත කොට උදක්ම ඒ වෙනුවෙන්ම සිත යොමා හුන් බැවිනි.

තවමත් ඇගේ හද ගැහෙනා නමුදු එහි ඉතාම දුර්වල මෙන්ම අක්‍රමවත්බව අනතුරු හඟවනුයේ දැඩි අවදානමක් බැව්ද එසේම ඇගේ ජීවිතය බලවත් අනතුරකට ලක්ව ඇති බවද හොඳින් තේරුම් ගත් දඩයක්කාරයා වහා නැවී යුවතියගේ අප්‍රාණික දේහය ඔසවා ගත්තේය.

යුවතිය ද රැගෙන ගෙපැලට ඇතුලු වූ දඩයක්කාරයා පසුපස බිත්තිය අසල අතුරා තිබූ මුව සම මතුයෙහි ඈ සීරුවෙන් තබා නැඟී සිටියේය. මහ දඩයක්කාරයා ප්‍රගුණ කල වෙනත් නොයෙක් ශිල්ප ශාස්ත්‍ර අතර වෙද කම ද විය.එහෙයින්ම වියයුතු සේම ඔහු පැටි වියේ වූ දඩයක්කාරයාට වෙදකම ද ඉගැන්වීය. තම දැනුම පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් පසුවුවද යුවතියගේ ජිවිතය රැඳී පවත්නා අසීරු තත්වය ඔහු සිතෙහි ව්‍යාකූල බවක් ඇතිකරලීය.

අනාගතයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පූර්ව දැනුම දඩයක්කාරයාගේ සුවිශේෂී හැකියාවන් අතර වූ හෙයින් මෙවන් අවිනිශ්චිත, එමෙන්ම ව්‍යාකූල තත්වයක් ඔහු සිතෙහි හට ගැනෙනුයේ කෙසේද යන ඉතාම සාධාරණ එමෙන්ම ත.ර්කානුකූල පැණය ඔබ සිත්හි ඉපිද ඇති බැව් මම පැහැදිලිවම දන්නෙමි ප්‍රිය සොයුර, සොයුරිය...දඩයක්කාරයාගේ කතාව තවදුරටත් කීමට පලමු ඔබේ ඒ කුකුස දුරුකල යුතුයයි හඟිමි.

අනාගතය පිළිබඳව ඉතාම පැහැදිලි හෝ විස්තරාත්මක දැක්මක් ඒ සුවිශේෂී ශිල්පය මනාව ප්‍රගුණ කොට සිටි දඩයක්කාර පරපුරේ ආදිතම මුතුමිත්තන් අතර පවා නොවුණු බව පැවසීමට මට අවසර. හෙට දින, ලබන සතියේ, ලබන මාසයේ ලබන වසරේ සිදුවන්න කිසිදු සැකයකින් තොරව විස්තරාත්මකව දැන ගැන්මෙන් කිසිවකුට සිදුවන යහපතක් නොමැත. එවන් දැනුමකින් සන්නද්ධ වීමෙන් බොහෝවිට සිදුවිය හැක්කේ යහපතකට වඩා අයහපතකි.

එබැවින් කාලයේ මිහිදුම් සළුවෙන් වැසීගිය ඒ අතීතයෙහි පවා ඒ මුතුන්මිත්තන් අනාගතය පිළිබඳව දැන සිටියේ ඡායාමාත්‍ර වශයෙනි.යම් සිදුවීමක් සිදුවන්නට පෙර ඒ පිළිබඳව යම් අවබෝධයක් වූවද සිදුවීම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් හෝ නිශ්චිත කාල වකවානුවක් ඔවුහු දැන නොසිටියෝය.

අතීතයේ දඩයක්කාර පරපරපුරේ මුතුන්මිත්තන් අතර භාවිතාවූ බොහෝ ශිල්ප ක්‍රම සතතාභ්‍යාසයෙහි ( නිතොර පුරුදු පුහුණු කිරීමෙහි )නොයෙදීම හේතුකොටගෙන වර්තමානය වන විට ගිලිහීගිය බැව් මේ කථාවෙහි මීට ඉහත මවිසින් සඳහන් කරන්නට යෙදුනා ඔබගේ මතකයෙහි ඇතැයි සිතමි. එහෙයින් මහ දඩයක්කාරයාගේ යුගය වන විට අනාගතය දැක්මේ ඥාණය ඔවුන් අතර පැවතියේ ඉතාම අල්ප වශයෙනි.

යුවතියගේ ජීවිතය රැකගැන්මට හැකිවේදැයි ස්ථිරව නොදත් නමුදු පෙර දින රැයෙහි දුටු පියා සහ මව පිළිබඳ සිහිනය එක්වනම සිහියට නැඟුනු දඩයක්කාරයා උපේක්ෂා සහගත විය. ඒ සිහිනයේ අරුත යුවතිය තම ජීවිතයට දැඩි බලපෑමක් කරන්නියක බව ඔහුගේ සිතෙහි සැකයක් නොවීය. මෙලෙස නොයෙකුත් කල්පනාවෙන් බරවූ හිස මොහොතකට ඉන් මුදාගත් දඩයක්කාරයා දෙදණ නවා පහත්ව යුවතිය අසල හිඳ ගත්තේය. ඇය පූර්ණ නිරුවතින් පසුවන බව මුල්වරට ඔහුගේ සිතෙහි සනිටුහන් වූයේ මෙවිටය.

දඩයම් කල සත්වයකුගේ ගාතයක් හෝ දෙකක් රැගෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ හුවමාරුව උදෙසා නුදුරු ගම්මානයකට ගිය කීප වරකම එගම්වාසී යොවුන් දැරියන් කිහිප දෙනෙකුම ඔහු හා ඉඟිබිඟි පෑවා මෙන්ම ඒ හේතුකොටගෙන ඔහුගේ යොවුන් සිතෙහි ඉපිද උතුරාගිය නුපුරුදුවූත් එසේ වුවද ආශ්වාද ජනක වූත් හැඟුම් සමුදායකින් ඔදවැඩීගිය දඩයක්කාරයා ඒ කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර ද දැක්වූටේය.

ඉන් ඉදිරියට එවන් ක්‍රියාවලියක ඔහුගේ අත්දැකීම එක් වැසි පමාවූ වියළි සමයක සැඳෑ අඳුරින් වන පෙත වැසී යද්දී හීංඇලේ මහ නැම්ම අසල වූ සුවිසල් කුඹුක් වනස්පතිය සෙවණේ වූ කරඹ පඳුරු ගොන්නේ ගතවූ රසබර නිමේශයන් කිහිපයකට සීමා විය.

ප්‍රස්තුත දිනයෙහි ඉර හැරුනු සමයෙහි ගස් දෙබලකට වී සුව පහසු ලෙස හිඳ ගොම්මනට පෙරාතුවම එලි බැසගත් මුවන් රැලක් කෙලි දෙලෙන් පසුවන අයුරු නරඹමින් ගත කල දඩයක්කාරයා ඉර කඳු ඉහත්තාවෙහි සැඟවයන්නා හා සමඟම හීං ඇළ ඉවුර දිගේ ගෙපැල බලා පා නඟමින් සිටියේය.

මහ නැම්මේ පිහිටි සුවිසල් කුඹුක් ගස සෙවණ්ට එළඹෙන්නා හා සමඟම හේ විශ්මයෙන් ඇලලී එක් වනම හිටිපිය නතර වූයේ ඔහු ඉදිරියේ දිස්වූ දර්ශනය අදහා ගත නොහැකිවූ හෙයිනි.

බැස යන රත්වන් හිරරැස් යන්තමට පතිතව කුඹුක් සෙවනෙහි අඳුර යම් පමනකට මකාලීය.ඒ රත්වන් ආලෝකයෙන් දඩයක්කාරයා දුටුවේ ඔහු භාණ්ඩ හුවමාරුවට නිතර යනෙන ගම් නායකයාගේ තරුණ දියණිය ඔහු දෙස දිළිසෙන දෑසින් බලාසිටිනා අන්දමයි.

මතු සම්බන්ධයි........

24 comments:

  1. ඔට්ටු නෑනෙ ඉතිං, අදත් මතු සම්බන්ධයි.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපල්ලා සිත්තමී උඹලා වාගෙ එක වචනයක් නැති ජාතියක්...මඩේ හිටවාපු ඉණි තව හොඳයි නෙව,....අහවල් නැකතකිං උපං එවුං කැලතක්ද මංද මයෙ මේ කතාව කියවන්නෙ...මයෙම පාරුවේ පුවක් තමා ආයෙ වෙන අහවල් දෙයක්ද?....:) :)

      අර ගඟේ ගහගෙන ආපු ගැටිස්සි කොයිද?...උඹ කවද්ද ඒකි ගැන ලියන්නෙ? කියල මගෙ ඔළුව තෝන්තු වෙනකල් කණිපිංදම් කියැව්වෙත් ඔය කටිම්ම නෙවෙයිද බොල?....අය මේ වෙන රටේ නැති විකාර ලියන වෙලාවෙ ඒ පේම කතාව ලියැව්ව නං තෝ කොටියා කයිද? ලියාපිය විජහට ඒක කියල මාව කන්ට හැදුවෙත් තොපිම නෙවෙයිද බොල....

      දැං බලාපං මේ කියන හතර බීරි කතාව...මතු සම්බන්ධයිලු ඔට්ටු නෑලු,...එහෙම නැතුව කොහොමද බොල පේම කතාවක් ලියන්නෙ? කතාවක තියනව ගලායන රිද්මයක්...ලතාවක්...අර කතරගම කිරිවෙහෙර වඳින විදිහට බෑ බොල කතා ලියන්ට..'' ඔන්න බුදුනි මල්... මේන්න අපි ගොයිං '' කියල මල්ටික මල්ලාසනේ උඩට විසික්ක කරල දොහොත් මුදුනේ තියාගෙන තකහනියෙ කතරගම දේවාලෙට දුවන බවුද්දයො තමයි අද වැඩි හරියක් ඉන්නෙ...ඒත් මම එහෙම නෑ හොඳද?

      අම්මප උඹල එක්ක ඉන්න පුරුසයින්ට උදේ හවා මල් තියල වඳින්ට ඕන..මොනවද?...මල්, මල්....බැයිද මට එවන්ට සිත්තරාගෙ පොටෝ කෑල්ලක්...වෙන මොහොකටවත් නෙවෙයි...මොකක් හරි ලොකු කරදරයක් වෙලා හිත අකම්පාල වෙච්චි වෙලාවට උගෙ පොටෝ එක දිහාවෙ බලාල හිත සනස ගන්ට '' අනේ මට වෙච්චි මේ කරදරේ මොකක්ද?...මේ අහිංසකය මේ වගෙ දහස් ගුණයක කරදරයක් එක්ක නෙව තුංසිය හැටපස් දවසෙම ඉන්නෙ...උන්දැ විඳින දුක බැලුවම මේක මොකක්ද?...මම ඒ අතිං වාසනාවන්තයි" ඔන්න ඔහොම තුං පාරක් හෙමීට මටම කියාගත්තම දුක පහව යන්නෙ නිකං ලිප්ටං වට රවුමෙ උද්ගෝසනෙකට කඳුලු ගෑස් ගැහුවම මිනිස්සු ආත බූත කඩාගෙන එහෙ මෙහෙ දුවල අන්තර්දාන වෙනව වගෙ...හෙහ්, හෙහ්,

      තව අර එක අම්මණ්ඩියෙක් ඉන්නව..බැඳපු දා ඉඳල වැඩි හරියක් අර අහිංසකය ඉන්නෙ මූද යට...මූද යට විතරයි කනක් ඇහිල හිත තංතෝසෙං ඉන්ට පුලුවං කියල උන්දැ තේරුං ගත්ත කසාදෙට යාන්තමට මාස අටක් වෙනකොට...

      බුදු බණේවත් නැති ඇත්තක් කියන්ටද නඟේ...උඹ තරහ වෙන්නෙ නැත්තං...හෙහ්, හෙහ්,

      මේ බොලොග් කෙරුවාවට අහම්බෙං ආවයිං මට වෙච්චි පල පොරෝජන බොහොමයි..ඒත් උඹ දන්නවද නොම්බර එක මොකක්ද කියල...

      අපෙ ඔය ලොක්කි ඉන්නව නේද?...ඔවුන්දැගෙං තියන කංදොස්කිරියාව නිසා මට සංසාරෙම එපා වෙලයි තිබ්බෙ...අම්මප මහණ වෙන්ට ගියා තුන් පාරක්ම...ඒත් අපෙ ගමේ පංසලේ ලොකු හාංදුරුවො බෑම කිව්ව මාව මහණ කරන්ට...

      '' අනේ රවි මහත්තයො...මම හරිම කැමතියි මහත්තය සෑසනේට ඇතුල් කොරගන්ට...මහත්තය වගෙ උගත්, බුද්දිමත්..බහුවරණ,'' ( හරි නේද වචනෙ?...)...තව මහ හුඟක් විසේසන කිව්ව..ඒ ටික ඕන නෑ..ආය නයි අරිනව කියල තව කතාවක් අහගන්නෙ මොකටද? උගත් බුද්දිමත් බහුසුරූත ( ආහ්, අන්න වචනෙ...දැන් නෙව මතක් උනේ..අර උඩහටත් බහුවරන කපල බහුසුරූත කියල දාගන්ට ...හොඳද? )මහා පුරුසයෙක් මහන කරගන්න එක බුද්ද සෑසනේටම ලොකු හයියක්...ඒත් මහත්තය ඒ වැඩේ හරියන්නෙ නෑ...මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා...මම මේ කියන්නෙ ඇත්ත..මහත්තය මෙතන මහණ උනොත් නෝන මහත්තය උදේ හවස මෙතෙන්ට එන්ට පටන් ගන්නව කිකිළි වී පැදුරට එන්නැහෙ.....මම දන්න ඒක සහ සුද්දෙම්ම...එහෙම උනොත් අන්තිමට මහත්තයටයි නෝනටයි මේ පංසල බාරදීල මට සිවුරු ඇරල යන්ටයි වෙන්නෙ...අන්න ඒ නිසා මහත්තයගෙ ඉල්ලීම නම් ඉස්ට කරන්ට බෑ...බොහොම කණගාටුයි "

      ඔන්න දැක්කද අපේ උන්දැගෙ තරම...පංසලේ හාංදුරුවො පවා දන්නව...හෙහ්, හෙහ්,

      ඉතිං මම මොකද කොරන්නෙ?...බැඳගත්තු බෙරේ ගහන්ටම එපාය කියල හිත හදාගෙන හිටිය..

      මෙන්න බොලොග් ලියන්ට පටන් ගත්තම නෙව මම දැනගත්තෙ අපෙ ලොක්කි රත්තරං කඳක්ය කියල...උන්දැගෙං තියන කරදරේ මොකක්ද...මේ බොලොග් ලෝකෙ ඉන්න අංගනාවියො එක්ක බැලුවම..හෙහ්, හෙහ්, ඔන්න මම කොච්චර වාසනාවන්තද කියල මට තේරුනෙ සිත්තමියෙ අන්න එතකොටයි...

      උඹලට අනේක වාරයක් ඉස්තූතියි නංගියෙ මයෙ ඇහැ පාදල ඇත්ත ඇති සැටියේ පෙන්නල දුන්නට....හෙහ්, හෙහ්,

      Delete
    2. ඕං බලහංකො ඉතිං! අනික් සේරෝම ඔය දඩයක්කාරයගෙ කතාව ඇතිය, දැං ඕක නවත්තහංය කියද්දි කවුදෑ අයියෙ උඹෙ සපෝට් එකට හිටියෙ? කතාවක් කියන්ට අරගෙන ඒක ඉවර කරගන්ට බැරිව නතර කරන්ට උනහම හරියට නිකං බාගෙට වමනෙ දාලා නතර කළා වගේ අමාරුවක් දැනෙන හන්දම නේද මං ඕක කෝමහරි ඉවර කරන්ටම කියලා කීවෙ. එහෙව් මෝටිවේශොං එකක් දීපු මට නේද මේ බැණ අඬගාන්නෙ? :(

      අනික බලහං දැං මේ කියලා තියෙන කතා. ඔය පාරුවෙ පුවක් පටෝගෙන පැද පැද ඉන්න වෙලාවෙ ඩිංගක් කල්පොනා කොරළා බලාන්ට ඒ කියැව්ව කතා හරිද කියලා.

      /*.එහෙම නැතුව කොහොමද බොල පේම කතාවක් ලියන්නෙ? කතාවක තියනව ගලායන රිද්මයක්...ලතාවක්...*/
      ඉතිං කවුද නෑයි කිව්වෙ? පේම කතා ලියනවනං එහෙම තමා. ඕං අපි නෙවේ අයියේ අයියම තමා ඔය කටිංම කියලා තියෙන්නේ මේ දඩයක්කාරයගෙ කතාව පේම කතාවක් නෙවේය කියලා. මොකෝ නෑ කියනවද? :P

      /*බැයිද මට එවන්ට සිත්තරාගෙ පොටෝ කෑල්ලක්*/
      ආය කෑල්ලක් මොකෝ, එවන්නං එහෙම්පිටිංම පොටෝ එකක්. :D

      /*මේ අහිංසකය මේ වගෙ දහස් ගුණයක කරදරයක් එක්ක නෙව තුංසිය හැටපස් දවසෙම ඉන්නෙ...උන්දැ විඳින දුක බැලුවම මේක මොකක්ද?*/
      මුලිච්චි වෙච්චි දොහක අහන්ටකො එයැයිගෙම්ම ඔව්වයෙ හැබෑ බොරුව. අහගන්ට පුළුවනි මං කොයි තරං හොඳ, අහිංසක, ගුණගරුක, කීකරු ළමයෙක්ද කියලා. (රහසෙං: හැබැයි ඒ මුලිච්චි වෙන්ට කළියෙං මට කියන්ට හොඳද?) ;)

      /*තව අර එක අම්මණ්ඩියෙක් ඉන්නව..බැඳපු දා ඉඳල වැඩි හරියක් අර අහිංසකය ඉන්නෙ මූද යට...මූද යට විතරයි කනක් ඇහිල හිත තංතෝසෙං ඉන්ට පුලුවං කියල උන්දැ තේරුං ගත්ත කසාදෙට යාන්තමට මාස අටක් වෙනකොට...*/
      ඔය ඉතිං අයියා දන්න තරම තමයි. මේකට මං උත්තර බඳින්ට යන්නෙ නෑ, ජනූ අක්කම ඇවිදිං කියන්නෙ නැතෑ මටත් වඩා හොඳට. :)

      ඊලඟට ඔය මහණ වෙන්ට හදපු කතාව. අයියලගෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවො අනේ අපරාදෙ කියන්ට බෑ අනුන්ගෙ හිත් ගැන බොහෝම හොඳට දන්න කෙනෙක් පාටයි. ඒකයි ඔය හැබෑ හේතුව නොකියා අයියගෙ හිත හැදෙන්ට වෙන හේතුවක් කියලා තියෙන්නේ. නැත්තං අයියා ගොහිං මහණ වෙන්ට ඕනෙ කියැව්ව හැටියේ හාමුදුරුවන්ට හිතෙන්ට ඇත්තෙ මුළින්ම 'හපොයි, සාසනෙත් විනාසයි' කියලා. බොරුනං, ඒ හාමුදුරුවංගෙංම අහලා බලන්ට. ඒ වෙලාවෙ අයියගෙ හිත රිදෙන හන්දා මුසාවක් දෙඩුවට දැං ඔහොම ගිහිං කෙළින්ම ඇහැව්වහම ඇත්තම කියාවි 'අනේ හැබෑව මහත්තයෝ. මං ඉතිං එදා ඔය මහත්තයගෙ හිත රිදේය කියලා එහෙම කීවෙ. ආයෙ මංම කියනකං නොයිඳ මහත්තයම ඔය ටික තේරුං ගත්තු එක හොඳා' කිය්ලා. ඉතිං එතකොට කියන්ට ඕන නෑ 'අනේ අපේ හාමුදුරුවනේ මට ඔය විත්තියක් හාංකවිසියක් තේරුණේ නෑ නෙව මේ අපේ සිත්තමී නගා කියනකල්' කියලා. ඒක අයියගෙ අර උගත්, බුද්ධිමත්, බහුසූකර මොළෙන්ම තේරුං ගත්තු විදිහටම ඉන්ට හොඳද? :P

      /*උඹලට අනේක වාරයක් ඉස්තූතියි නංගියෙ මයෙ ඇහැ පාදල ඇත්ත ඇති සැටියේ පෙන්නල දුන්නට*/
      යූ ආර් වෙල්කම් අයියේ වෙල්කම්! :D

      ප/ක (පසු කමෙන්ට්): මගේ වචන දෙකේ තුනේ කොමෙන්ටුවට අයියා දී තිබූ මහා දිග පිළිතුර දැක මට වතුරද ඉස්මොල්ලේ ගියේය. නිවාඩුවක් දමා කොමෙන්ටුව හෙමින්සීරුවේ කියවා පිළිතුරු දීමට සිතාගත්තද අද වැඩය හෙටට කල් දැමීම නරක පුරුද්දක් බැවින් මම මෙසේ අද අදම පිළිතුරු බැන්දෙමි. :D

      Delete
    3. / එහෙව් මෝටිවේශොං එකක් දීපු මට නේද මේ බැණ අඬගාන්නෙ? :( /

      කවුද බං බැන්නෙ?...ඈ...කවුද බොට බැන්නෙ?...අඩෝ කවුද ඩෝ අපේ සිත්තමීට බැන්නෙ?....හැංගිල ඉඳල බනින එවුන් බැහැපිය ඩෝ එලියට ඇහේ ඉඳං පට්ට ගහලයි පස්ස බලන්නෙ ......අර විසාකාවගෙ හීං අප්පච්චිගෙ බාල මස්සිනාගෙ දෙවෙනි දුව වගෙ ඉන්න අපෙ සිත්තමීට බනින්ට......හුහ්, බනින්ට,.... උඹල දන්නෙ නෑ මේ රවීගෙ හැටි....හරි නඟේ ඔක්කොම හරි.... ඉතිං නාඩ ඉඳිං ආයෙ එකෙක්වත් එන්නෙ නෑ උඹට වචනයක් කියන්ට..හෙහ්, හෙහ්,

      ඈ...එක එකාට බැන අඬගහන්ට කාරියක් නැතය..වෙන කවුරුවත් නෙවේ උඹයි මට බැන්නෙ කියල කිව්ව?.....හප්පච්චියේ...වස වැරැද්දයි නෙව වෙලා ඇත්තෙ..තනිකරම මුද්‍රන දෝසයක්...

      ඔන්න ඕකනෙව මොකවත් කොරන්ට බැරි...මම බැන්නලු...බැන්නද ඒ?.......උඹ කියාපු කතාවට ඒ කිව්වෙ ඔට්ටු නෑ ඔන්න අදත් මතු සම්බන්ධයි කියාපු කතාවට මගේ සුහද ප්‍රතිචාර දැක්කුව විතරයි ඒ...ඒක බැනිල්ලක්ද මයෙ නඟේ?...අනේ නැතෝ...බැන්නෙ නැතෝ....

      ඔය මම බණිනව කියල නාහෙං අඬන එක අපෙ ලොක්කිගෙත් අතෑරගන්ට බැරිම පුරුද්දක්...කිසිම දෙයක් ...පැහැදිලි කිරීමක්...විග්‍රහ කිරීමක්...විශ්ලේෂණයක්...කරුණු ඉදිරිපත් කිරීමක් කොරන්ට බෑ...ඔන්න අරිනව ටැප් එක...කඳුලු කියන එව්ව අතේ අරං ඉන්නෙ....අනේ ඔන්න ඔයා මට බනිනව...ඕං ඉතිං මොකදෑ කොරන්නෙ...මම ඉතිං විදග්ද බුද්දිමය කරුනු සාරාංසකරනය පැත්තක තියල මයෙ රතු තෝත මල් තියෙන ලොකු බූල් තුවාය හොයනව...ඒ මොකටද?...මොකටවත් නෙවෙයි එයැයිගෙ කඳුලු පිහින්ට...

      හරි ඒ බැණිල්ල ගැන තවත් කතාවක් හෙට දිහාට ලියන්නම්කො...:)

      / ඔය ඉතිං අයියා දන්න තරම තමයි. මේකට මං උත්තර බඳින්ට යන්නෙ නෑ, ජනූ අක්කම ඇවිදිං කියන්නෙ නැතෑ මටත් වඩා හොඳට. :) /

      දෙයියෝම සාක්කි...අනේ මයෙ තුං හිතකවත් ජනූ ගැන හිතුවිල්ලක් තිබුනෙ නෑ නඟේ මම අර වදෙං බේරෙන්ට මූදෙ යට ගිහිල්ල ඉන්න කතාව කියද්දි...

      මම මේ කිව්වෙ මෙහෙ මගෙ යාළුවෙක් ගැන...ඔන්න බලාපං අඩේ අපේ මිස්ටර් පෙම්බර තෙමේත් එහෙමද?.....ජනුවගෙ බෙලි කටු කොක්කනේ හෙල්ලිල්ල ඉවසන්ට බැරුව කොයි වෙලාවෙත් මූද යට ද ඉන්නෙ?...ඔන්න බලාපං සිත්තමී උඹ ඔය කියනකල් මම දැනං උන්නෙ නෑ නෙව...

      අද පේන්ට නෑ ජනූ මහගෙ...එකත් එකටම මේ වීක් එන්ඩ් එකෙත් අර ගොබිල යන්ට ඇති එහෙනං ටිකක් නිවිහැනහිල්ලෙ ඉන්ට හිතාන මූද යටට. අපෙ ජනූ ඉන්නව ඇති වෙරලෙ ගලක් උඩට වෙලා සිංදුවකුත් කිය කිය...හෙහ්, හෙහ්,

      ඕකිට ටීටර් සිංදු එහෙම යස අගේට කිව්වැකි...හෙහ්, හෙහ්,

      ටී.. ඒ. බී. කිංකිණි වෙමි මං...
      හා...හා...හහා..හා,
      පෙම්බර එනතෙක් ඉන්නෙමි මෙගල මතා...
      හා...හා...හහා..හා,
      ඔබ ආපසු ගොඩට මේ මහ මුහුදිනා,
      හා...හා...හහා..හා,
      හොලවන්නෙමි මා බෙලි කටු කොක්කනා,
      හා...හා...හහා..හා,

      හෙහ්, හෙහ්, හාමුදුරුවන්ගෙ කතාව නම් ඇත්තම වෙන්ටත් ඇති....ආයෙම ගිය වෙලාවක අහල බලන්ට ඕන

      මම කොහොමත් ගෙදර ගියොත් බැරැන්ඩි බෝතලේකුත් අරගෙන යනව පන්සල පැත්තෙ...අනේ නෑ බං හාමුදුරුවන්ට නෙවෙයි බ්‍රැන්ඩි ...පංසලේ කාරෙක එලවන කොලුවට...ඌ හරිම හිත හොඳ එකා...ඕකයි මායි ඕක ගහනව ලාදලු බෝපත් සෙමින් සැලෙන සේ සිංදුවත් හෙමීට කියන ගමන්...හෙහ්, හෙහ්

      / මගේ වචන දෙකේ තුනේ කොමෙන්ටුවට අයියා දී තිබූ මහා දිග පිළිතුර................./

      ආන්න බලාපං නඟේ ඒකෙම්ම තේරෙනවනෙ මම උඹට කොහොමද සලකන්නෙ කියල...ඉතිං එහූ මම එහූ උඹට බැන අඬගැහැව්වයි කියන්නෙ මොන හිතකිංද හැබෑටම?...සික් මයෙ හිතට හරිම වේදනයි....:( :(

      Delete
  2. කතාව නම් හොඳයි ටිකක් දිග වැඩියි.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්...

      දිග වැඩියි කිව්වෙ සමස්තයක් විදිහට මුළු කතාවම ගත්තම දිග වැඩියි කියලද?....නැත්නම් අද ලියාපු කොටස දිග වැඩියි කියලද?...ඒත් නැත්නම් ඒ දෙකමද?..:) :)

      Delete



    2. නලින් අදම වෙන්ට ඇති මේ පැත්තේ ආවේ . අපොයි කලින් කෑලි ටික කියවන්න . මේක මොන කජ්ජක්ද කියල හිතෙයි

      Delete
  3. +++ කථාවක්.. මුල ඉදන් අයෙත් කියවගෙන එන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මී ගොඩයා....:) :)

      Delete
  4. මේ දඩයක්කාරයා මාර කැසනොවා කෙනෙක් වගේනේ බලාගෙන යද්දී! හොඳ හැන්ඩියෙක් වෙන්නැති. අපරාදේ බොලිවුඩ් යවන්ට තිබ්බ!!

    රවී අයියේ ..ඔයාගේ පෝස්ට් වලටයි පොඩ්ඩි ගේ පෝස්ට් වලට යි කට්ටිය දාන සෙමි-පෝස්ට් හෙවත් දිග කමෙන්ට් මාගල් දැක්කම මට පොඩි අයිඩියා එකක් ආවා.
    අපි පටන් ගනිමුද අලුත් බ්ලොග් එකක්? එක්කෙනෙක් පටන් ගන්නවා කතාවක්. ඒකෙ ඊළඟ කොටස ලියන්නේ තව එක්කෙනෙක්...එහෙම එහෙම...හැබැයි කොටස් 4/5 කින් ඉවර කරන්ටත් ඕනේ. තව පොඩි ගයිඩ් ලයින්ස් ටිකකුත් ඕනේ..අවම-උපරිම වචන, කතාවේ තේමාව වගේ..මොකද කියන්නේ කරමුද?

    ReplyDelete
    Replies
    1. මට බ්ලොගේට නමක් ඔලුවට ආවා. 'රවිගේ දූතියෝ'...:D:D:D

      Delete
    2. @ අමා....

      / මේ දඩයක්කාරයා මාර කැසනොවා කෙනෙක් වගේනේ බලාගෙන යද්දී! හොඳ හැන්ඩියෙක් වෙන්නැති. අපරාදේ බොලිවුඩ් යවන්ට තිබ්බ!! /

      පිස්සුද අමෝ..ඌ එහෙමට හැන්ඩියෙක් නෙවෙයි...මම මේ කියන්නෙ බොලාගෙ මිනුං දඬු වලින්...ඔය සාරුක්කාං, අමීර්කාං...සලමංකාං වගෙ පියරු බබානිස් කෙනෙක් නෙවෙයි මයෙ දඩයක්කාරය..

      බොලිවුඩ් නළුවංගෙන් මම කැමති රූපෙ තියෙන්නෙ නසීරුද්දින් ෂා සහ එතනින් ගිහාම නනා පටේකාර් ට. ඔය කාංල සැට් එක වගෙ දෙකයි පනහෙ බබාල නෙවෙයි එයාල.....

      දඩ් ඇවිල්ල ඔය ඉස්තිරියාවො වගෙ සියුමැලි පෙනුමක් තියන එකෙක් නෙවෙයි . නියම පිරිමි පෞරුෂයක් තියෙන එකෙක්..තේරුණාද?....ඉඳහං මට තාම හම්බ උනේ නෑ දඩයක්කාරය මේං මේ වගේය කියල බොලාට පෙන්නන්ට මගෙ හිතේ තියන රූපෙට ලඟින් යන ඉමේජ් එකක්...

      / අපි පටන් ගනිමුද අලුත් බ්ලොග් එකක්? එක්කෙනෙක් පටන් ගන්නවා කතාවක්. ඒකෙ ඊළඟ කොටස ලියන්නේ තව එක්කෙනෙක්...එහෙම එහෙම....../

      අන්න මරු...උඹටත් එන්නෙ මාරස් අයිඩියාස් නෙව...දාපං බලන්ට පහක්කාරිය...

      අර සොක්කරටීස්ගෙ ඔලුවට මායිය වතුර කොරහ හැලුවම කියනවනෙ උන්දැට පහල උනේ ගැටළු විසඳාගැනීමේ දයලෙක්තික වාදය ගැන අදහස...අන්න ඒ වගේ කොහොමදෑ උඹේ ඔළු ගෙඩියට මේ මසුරං අදහස ආවෙ?...හෙහ්,හෙහ්, ඔලුව වැදුන වත්ද ඉස්සරහ දොර උලුවස්සෙවත්?...එහෙම නැත්තං නින්දෙම්ම උඹ හේවායගෙ පිටි උරේට හේත්තු වෙන්ට ගිහිල්ල දබොක් ගාල ඇඳ පල්ලෙ පත බෑවිල ඉස් මුදුන ඇනුනය පොලවෙ?

      හරි ඒ කෝලිත්තං ඇති...අදහස නම් පංකාදු පහයි අමා..ඇත්තමයි..හැබැයි අර උඹ කිව්වහෙ ගයිඩ් ලයින්ස්නම් ඕනමයි..නැත්නම් දෙවිදිහක අදහස් තියන දෙන්නෙක් කතාව ඇදගෙන යයි දෙපැත්තකට..

      කාලෙකට ඉස්සර මම කියෙව්ව නෙට් එකේ ඔය වගෙ මරු කතාවක්...මම මේ හොයන්ට බැලුව ...හරි ගියේ නෑ..ඒකෙ තියෙන්නෙ Crative Writing පංතියක අන්තිම එසයින්මන්ට් එක දෙනව ඔය වගෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකතු වෙලා කතාවක් ලියන්න ඕන කොටසින් කොටස මාරුවෙන් මාරුවට..

      කෙල්ල හෙන රොමෑන්ටික් ඔන්න කොටිම්ම කිව්වොත් උඹ වාගෙ...දවල්ට සමහර දවස් වලට කිඹුලෙක් කාල පෙලේන්ටියක් බීල ඉන්නෙ..ඒත් කාමරේ දොර ජනෙල් ඔක්කොම වහදාල ඇටපල් කලුවරේ ඉටි පන්දං දෙකක් පත්තුකරගෙනයි අර කිඹුල බනිසෙ කන්නෙත්...උඹත් එහෙමය කියල මට පොඩි ආරංචියක් එහෙමත් ආව...හෙහ්,හෙහ්,

      කොල්ල ඒකෙ සම්පූර්න විරුද්ද පැත්ත..උගෙ හිතේ කොයි වෙලාවෙත් තියෙන්නෙ වලි වලි වලි....කෙල්ලො පේන්ට බෑ ඌට...

      ඔන්න මාතෘකාව ක්‍රි. ව. 2300 දි විතර කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඈත ග්‍රහ ලෝකෙම අතරමං වෙලා...එතනිං තමයි කතාව පටං ගන්නෙ..

      කොල්ල මුලිම්ම....ඌ ලියන කෑල්ලෙ කෙල්ල ගැන යාන්තමට වාක්කියක් දෙකකින් ඉවර කරනව...කෙල්ල උදේම දැක්ක මිදුලෙ ඉන්නව ..ඔන්න ඔය වගෙ...ඊට පස්සෙ අපි හිතමු එක කොටසක් වචන 1000 කියල...ඒ ඔක්කොම ඌ ලියන්නෙ ඒ ග්‍රහලෝකෙ ඉන්න අමුතු සත්තු එක්ක හටං කරන විදිහ...වෙඩි තියනව...බෝම්බ ගහනව...පොර බදනව.... එක වැඩයි..පොර ඒ කොටස ඉවර කරන්නෙ මෙහෙමයි..ඔන්න අඬු තුනක් තියන මහ බයානක සතෙක් බිම වැටිල ඉන්න කොල්ලට අනින්ඩයි ලෑස්තිය උගෙ හොටෙං...

      ඔන්න කෙල්ලගෙ වාරෙ...කෙල්ල ලියන්නෙ මෙහෙම...අර කෙල්ල මේ සතා දැකල...බොහොම ආදරෙං කතාකරල ඌව ෂේප් කරල යවනව...ඌ ගිහිල්ල අනික් එවුන්ටත් කියනව මේ කෙල්ලගෙ හොඳ, ඉතිං උං ඔක්කොම තීරණය කරනව කෙල්ලටයි කොල්ලටයි කිසිම කරදරයක් නොකර තමංගෙ පාඩුවෙ ඉන්ට දෙන්ට..ඊට පස්සෙ කෙල්ලයි කොල්ලයි ඔන්න මල් පිපුනු දෙවටවල් දිගේ ඇවිදිනවයි, ගං ඉවුරු වල වැතිරිල නිල් අහස දිහාවෙ බලා ඉන්නවයි...තණ කොල බිහි වල පිණි පාග පාග සිංදු කියනවයි වැඩ කෝටියකුත් තව ටිකයි..ඔහොම ලියල කෙල්ල කතාව ඉවර කරන්නෙ මෙහෙමයි..දෙන්න කැන්ඩ්ල්ලයිට් ඩිනර් එහෙකට ලෑස්තිවෙල මේසෙට ඉඳගන්නව..කොල්ල කෙල්ල දිහා ආදරෙං බලල මොනවද කියන්න හදනව...

      දැං එතැන් සිට කොල්ලගෙ වාරෙ...කෙල්ල ලියපු කතාව කියවල ඌට මල පයිනව...මගෙ කතාව කාල මේකි...ඉඳපං උඹට දෙන්නං කැන්ඩ්ල්ලයිට් ඩිනර් මම කියල.....ඌ ලියනව මෙහෙම...කොල්ලට අර කියන්ට හදපු ටික කියන්ට වෙන්නෙ නෑ...එතකොටම කඩා පනිනව අර ඒ ලෝකෙ ඉන්න අමුතු සත්තු...වෙලා තියෙන්නෙ උන්ගෙ නායකය විදිහට වෙන එකෙක් පත් වෙලා..ඌ මරු මුස් බුවෙක්...ඌ වහාම නියෝග කරනව පිට ලෝකෙක එවුන්ට මෙහෙ ඉන්ට බෑ...මරල දාපල්ල කියල..ඉතිං ඔන්න එනව අරුං මාරයො වගේ...කෙල්ල බයවෙලා හූ තියද්දි කොල්ල හංගල තිබ්බ බෝම්බ කඩු කිණිසි, නන්චක්කු,කලාකිරිඤ්ඤ, මේකී නොකී ඔක්කොම ආයුද වලින් සන්නද්ද වෙලා බහිනව වලියට රම්බෝ වගේ...

      ඔන්න ඔහොම දිගටම යනව කෙල්ලගෙයි කොල්ලගෙයි වලිය...අන්තිමට ක්‍රියේටිව් රයිටිං ගුරා කියනව මුං දෙන්නගෙ කතාව තමයි මම මෙතෙක් දැක්ක හොඳම ක්‍රියේටිව් රයිටිං එක කියල...හෙහ්, හෙහ්, මරු කතාව අමෝ...හිනා උනා මම කඳුලු පනිනකල්...අර උමා හිනා උනා වගේ..

      හරි හෑල්ල ඇති...ඕකේ අපි කරමු වැඩේ...දන්නවනෙ රවී ඇවිල්ල හිට ඔය වගෙ දේවල් වලට තනි පයින් කියල...

      Delete
    3. මාත් මේ යෝජනාවට හරිම කැමතියි. වෙලා ලැබෙන හැටියට කතාවක් ගොතන්ට එකතු වෙන්න තියේනම් හරි ෂෝක්. හොඳ යෝජනාවක් අමා අක්කේ. :)

      Delete
    4. එල කිරි. පුළුවනි නම් රවී අයියගේ, සිත්තමි ගේ මේල් තියේ නම් එවන්ට මෙන්න මේකට. එතකොට වැඩේ ගැන කතා කරගන්ට ලේසි. නැතිනම් පොඩ්ඩි ට රවී අයියට, සිත්තමි ට(තව කැමති අනික් අයට) වෙන වෙනම බ්ලොග් වල කොටන්ට එපාය.


      ama DOT apurva AT gmail.com

      Delete
    5. @ පොඩ්ඩි,

      / මට බ්ලොගේට නමක් ඔලුවට ආවා. 'රවිගේ දූතියෝ'...:D:D:D /

      රවීගෙ දූතියෝ...හුහ්,

      නිකම්ම දූතියො නෙවෙයි අම්මප ඇස් වහක් කටවහක් නෑ රවීගෙ මර දූතියො...:) :)

      Delete
    6. නියමායි!! මට මතක් වුනේ හර්ද සූත්‍රය!! ආන්න කරනව නං මැක්ස වැඩක් රවී අයියෙ.... ලියන්ඩ ලියන්ඩ!!

      Delete
    7. @ hansakinkini,

      / නියමායි!! මට මතක් වුනේ හර්ද සූත්‍රය!! ආන්න කරනව නං මැක්ස වැඩක් රවී අයියෙ.... ලියන්ඩ ලියන්ඩ!! /

      ලියන්ඩ ලියන්ඩ කියල කාටද බං උඹ මේ කියන්නෙ?...ලියන්ට උඹත් ඉන්නව..හෙහ්, හෙහ්, ඊයෙ මඟ ඇරල වහං වෙලා හිටියෙ බේරෙන්ටද..හෙහ්, එව්ව කොහෙද අපෙත් එක්ක...

      දැං ඔන්න අහගං මේ වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි....ඔය සාමූහික වියුණුව පටං ඝන්ට ඉස්සරවෙලා මම තියනව පොඩි පරීක්සනයක්...දැනට ලියන්නියො ඉන්නෙ කවුද දන්නවද?...සිත්තමී, උඹ, අමා, පොඩ්ඩි සහ රන්දිල්...නරකම නෑ නේද? සම්බාව්ය ලේකිකාවො තමයි ඔක්කොම...

      පංච කල්‍යාණියො කිව්වත් වැඩි වැරැද්දක් නෑ..හෙහ්, හෙහ්,

      රයිට් මම තියනව කිව්වනෙ මුලිම්ම පරීස්සනයක්...උඹල ඔක්කොම පොරි, එතනින් ගිහාම ඇට්ටි ...ඔය කොව්වත් හැලෙන්ට ලියන එවුන් තමයි..ඒත් මේක ටිකක් වෙනස් ....දන්නවනෙ...කතාවක් ගලායාමේ රිද්මය නොකැඩි තුන් හතර දෙනෙක් ලියනවයි කියන එක එච්චර ලේසි නෑ...ඒකට තියෙන්ට ඕන පොඩි පුහුණුවක්..රයිට් මෙහෙමයි දැන් වැඩේ කෙරෙන්නෙ..

      මයෙ දඩයක්කාරය ඉන්නව නේද?...ඔන්න ඒකෙ ඊලඟ කොටස් ලියන එක තමයි පරීස්සනේ..හරි?...බොලා පස් දෙනා මාරුවෙං මාරුවට ලියහල්ල කතාව....එතකොට උඹ පැත්තකට වෙලා කැවුම් බදින්ටද හදන්නෙ ඇහුවා?...සික් අන්න බලාපං ...ජනූ...එහෙම අහන්ට හොඳද?....මම දැං ලිව්ව නෙව කොටස් 19 ඒ කතාවෙ ..ඒ මඳෑ හොඳටම...උඹල ලියනකල් මම පැත්තකට වෙලා ඉඤ්ඤං පොඩි සොට් එහෙකුත් දාගෙන..හෙහ්, හෙහ්, කොහොමද මගෙ අයිඩියා එක..මසුරං නෙවද?.....

      රයිට් ජනූ එහෙනං පටං ගනිං ඔන්න දෙයියනේ කියල....

      හෙහ්, උඹට නියම පොයින්ට් එකක් තියෙන්නෙ කතාව පටන් ගන්ට...අර කුඹුක් ගහ යට දඩයක්කාර තෙමේ සහ ගම්බාර දියණිය තොමෝ අතර ඇතිවෙන රෝමෝද්ගමනය වන, සිරුර කිලිපොලා යන අනුවේදනීය ප්‍රේම ජවනිකා රාජයා...හෙහ්, හෙහ්,

      ඕක එයාට ලියන්ට ඕන කියල අපෙ පොඩ්ඩි තොමෝත් උඩ පනිනව...හරි, ඒත් කමක් නෑ..දෙන්නම ලියාපල්ලකො බලන්ට..අපි බලමු කාගෙ එකද ඉතාම සුරුංගාරාත්මක කියල...අඩේ මේ ජනූ..කෝකටත් දරුණු නීල වර්ණ සීන් එහෙම ලියන්ට එපා හොඳේ...හෙහ්, හෙහ්,

      Delete
    8. මේ තියෙන්නෙ ඔහොම ලියවුනු කතාවක්

      අවාසනාවකට ඒක දිගටම ලිය උනේ නෑ:)
      http://amuthukathawak.blogspot.com/

      Delete
  5. //ඒ යුවතියක බවට කිසිදු සැකයක් නැත. සිරුර පසුපසින් ඇදීඑන දිගු කෙස් කළඹ සියලු සැක දුරුකරලීය.//

    ඒ කාලේ පිරිමිත් කොන්ඩා වැව්වා නේද? :D

    //එසේම තාරුණ්‍යයට සහජයෙන් හිමි ජවයෙන් ඔද වැඩුනේ වුවද පුරා දිනක් මුලුල්ලේ කිසිදු ආහාරයකින් තොරව නිරාහාරව පසුවූ හෙයින් මේ ඔහු දෙවරක් නොසිතාම එළඹි කාර්යය කිසිසේත් සුකර කර්තව්‍යයක් නම් නොවීය. //

    හපොයි...සූකර කාර්යයක්?
    හද ගැහෙනවද කියලා බලලා තියෙන හැටි නම් හරි අපූරුයි.

    //ඒ රත්වන් ආලෝකයෙන් දඩයක්කාරයා දුටුවේ ඔහු භාණ්ඩ හුවමාරුවට නිතර යනෙන ගම් නායකයාගේ තරුණ දියණිය ඔහු දෙස දිළිසෙන දෑසින් බලාසිටිනා අන්දමයි. //

    මේ කවුද මේ? මෙයා කඩා පාත් උනේ කොහෙන්ද? :))

    ReplyDelete
    Replies
    1. / ඒ කාලේ පිරිමිත් කොන්ඩා වැව්වා නේද? :D /

      ආයෙම ඒ කාලයක් ගැන කියනව...අඩේ මේක මේ වර්තමානෙ කතාවක් බොල...වෙල්ලස්සෙ කෙලවර නැගෙනහිර වෙරලට කිට්ටුව පානම දිහාවෙ වෙච්ච දෙයක්.....

      / හපොයි...සූකර කාර්යයක්? /

      ඔය කිව්වෙ..ඔන්න කිව්ව..අඩේ පොඩ්ඩියෙ ලියල තියෙන්නෙ මොකක්ද කියල බලාපිය ඔක්කොටම ඉස්සෙල්ල...මම ලියල තියෙන්නෙ සුකර කර්තව්‍යයක් කියල...ඒ කියන්නෙ පහසු වැඩක් කියන එක ( Easy Task )

      දැං බලාපං උඹ ලියල තියෙන්නෙ සූකර කාර්යය කියලනෙ...ඒකෙ තේරුම නම් පොඩ්ඩි මට හිතෙන්නෙ මේ..ඌරෙක් මරනව වගෙ මොකක් හරි වෙන්ට ඕන ....:)

      / හද ගැහෙනවද කියලා බලලා තියෙන හැටි නම් හරි අපූරුයි /

      ඔය ටික ඔහොම නෙවෙයි මම මුලින්ම ලිව්වෙ...ඇත්තම කියනව නං පොඩ්ඩි මටම ලැජ්ජ හිතුන...ඒ පාර ඔය විදිහට වෙනස් කලා....හෙහ්, හෙහ්,

      / මේ කවුද මේ? මෙයා කඩා පාත් උනේ කොහෙන්ද? :)) /

      එයත් එක දූතියක් තමයි :) :)..

      ඉන්ටකො ඉවසල කෝපි ටිකක් එහෙම යහමිං හදාගෙන කතාව කියනකල්....

      '' Good good games when the dawn breaks ''

      Delete
  6. කතාව වගේම කමෙන්ට් ටිකත් රස වින්ද . ටිකක් කලබලෙන් ලිව්වා වගෙයි නේද . අර සම්භාව්‍ය මෙව්වා එක පොඩ්ඩක් එහා මෙහා වෙලා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත බින්දි ඇත්ත...ඒ කලින්ම පටන් ගත්තු ගැම්මට එහෙම්මම ලිව්ව නං හරි......දැං ඇත්තම කියනව නං ඒ මූඩ් එක ගිහිල්ල තියෙන්නෙ...ආයෙ ඒක ආරූඪ කරගන්ට ට්‍රයි කලාට වැඩේ එතරම් සාර්ථක වෙන පාටක් නෑ වගෙ පේන්නෙ...:(

      Delete
  7. අර කිව්වත් වගෙ කතාවයි කමෙන්ට් ටිකයි ඔක්කොම රස වින්දා. අර සිත්තමීගෙ කතාව කොහොමද. නිකං බාගෙට වමනෙ දාලා නැවැත්තුවා වගෙ. හික්ස්. ඒ උපමාව නම් මරු.
    මට කමෙන්ට් එකක් දාලා උමලත් එක්ක පැටලෙන්න ඕනෙ කම තිබ්බත් මේ දවස් වල මාර කේස් එකක් වෙලා බං ඉන්නෙ.
    අපි වැඩ කරන්නෙ උදේ සෙෂන් එකේනෙ. අපි ඒකත් කරලා හවස සෙෂන් එකේ එකෙක් එමර්ජන්සි ලීව් අරං ගිය හන්දා උගෙ ඒවත් වැඩ කරලා, ඊට පස්සෙ මේ හෙට අනිද්දට තියෙන Open Day මගුලටත් එක එක භාණ්ඩ හදලා ගෙදර එනකොට පාං කියාගන්න බෑ බං. ඒත් උඹලා ලියන ඒවට මොකුත් නොකියත් බෑ.
    ඒ මදිවට වෙනද වැඩිය නොලියන එවුනුත් හෙන තොගයක් පොස්ට් දාලා.
    හයියෝ...
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / අර සිත්තමීගෙ කතාව කොහොමද. නිකං බාගෙට වමනෙ දාලා නැවැත්තුවා වගෙ. හික්ස්. ඒ උපමාව නම් මරු. /

      හප්පා...උන්දැගෙ උපමා නං ආයෙ කියල වැඩක් නෑ...උඹ දන්නවද ඔය මහරගම එන්. අයි. ඊ.එකෙන් එහෙමත් නිතරෝම එනව ඔවුන්දැ ගාවට ඔය උපහැරණ, ආත්තෝපදේස, පිරුලු යනාදිය ගැන අහගෙන යන්ට...නිකම්ම නෙවෙයි...ගෙවනව මහිතේ බර ගානක්...බොරුනං බලාපං ඔය පෙලපොත් වල තියෙනව විසේස ඉස්තූතිය පිරුලු, ආත්තොපදේස සහ උපමා පිළිබඳ ප්‍රාමානික විද්වත් ශිට්ටමී මහත්මියට කියල...හෙහ්, හෙහ්, ඔහොම ඔය දෙකට ගනින්ට බෑ වගෙ හිටියට විදග්ද බුවී ඔවුන්දැ..සුලු පටු උදවිය එහෙම නෙවෙයි උඹල අපිත් ආස්සරේ කරන්නෙ හෙහ්, හෙහ්,

      අනික හෙන්රියො මෙහෙම දේකුත් තියනව නෙව..දැං ඔය උපමාවල් ටක්කෙටම හරි යන්නෙ තමංගෙම පවුද්ගලික අද්දැකීමක් උනාම නෙව...දැං ඔන්න මම ගත්තොත් '' හප්පා, සැන්ඩි මොකවත් නැතුව ගල් කාලක් ගහන්න වගේ'' කිව්වම මම දන්නව ඒ කියන්නෙ මොකක්ද කියල හරියටම...ඒ වගෙ ඔය බාගෙට වමනෙ දාල නවත්තන සීන් එකත් ශිට්ටමීගෙම පවුද්ගලික අද්දැකීමක් වෙන්ට ඕන හොර නැතුව...දැං ඔන්න මයෙ උපකම්පනේ අනුව මෙහෙමයි වෙන්ට ඇත්තෙ...

      රෑට කද්දි ශිත්තමී නඟාට ආව මොකක් හරි අප්පිරියාවක්...අපි කියමු ජනුවගෙ මූන මතක් උනාය කියල හිටපු ගමං......හෙහ්, හෙහ් ...ඉතිං වමනෙ පලච්චි...බාගෙට වමනෙ යනකොට ඕං මතක් උනා අඩේ මේ මයෙ ශිත්තරා දවසම මාංසි වෙලා ( මාන්සි වෙනව කියන්නෙ ඉතිං කොල්ලන්ට කෙල්ලන්ට තඩි බාන එක තමයි.....ආය අපි නොදන්න ඉගැන්නිල්ල...මාත් ඔය ජාතියෙ එක්කෙනෙක් එක්ක නෙව දැම්මේ සෑහෙන කාලයක් වසන්නෙ..හෙහ්, හෙහ්, ඉතිං මට කියන්ට එන්ට එපා ඔය ඉගැන්නිල්ල ගැන ...උඹටත් එක්කලමයි හෙන්රි මේ කියන්නෙ ...ඇහුණද?) හම්බ කොරන සල්ලි වලින් ගෙනාපු කොත්තුව නහත්ති කරන එක හොඳ නෑ...ශිත්තරාගෙ උනත් හිත නාක් වෙන්ට ඇහැකි.ඔන්න ඔහොම හිතල වමනෙ යන එක එහෙම්මම නවත්ත ගන්නව. ඒත් අර අපාසුතාවය එහෙම්මම තියනව...ඒක මතක වෙලා තමයි උන්දි ඔය උපමාව කියැව්වෙ...තේරුනයි බොට?

      / මට කමෙන්ට් එකක් දාලා උමලත් එක්ක පැටලෙන්න ඕනෙ කම තිබ්බත් මේ දවස් වල මාර කේස් එකක් වෙලා බං ඉන්නෙ.../

      හෙහ්,හෙහ්, අවුලක් නෑ හෙන්රි ඔව්ව ඔහොම තමයි...මේ හතර වරං රටේ නැති නාඩගං ඔක්කොම කොරන්නෙ දෙකයි පණහක් හොයාගන්න රස්සාවට පිං සිද්ද වෙන්ට නෙව...ඒක හරියට කොරල ඉන්ට ඕන මොක නැතත්...

      චේතනා බික්කවේ කම්මං වදාමී ඒ කියන්නෙ මචෝ...චේතනා පරිසුද්ද වේ නං පෙං හටං පරදී ඔය දෙකේම කියන්නෙ එකමයි...චේතනාව එලනම් නෝ ප්‍රොබ්ස් කියන එකයි. ඒ නිසා මලේ බූරු ගැහුවත් එකයි, බූරු ගහනව බලා හිටියත් එකයි කිව්වැහෙ..මා එක්ක පැටලුනත් එකයි පැටලෙන්ට හිතුවත් එකයි...හෙහ්, හෙහ්, පැටලුනා වගේ තමයි...

      Many thanks Henry for your nice and thoughtful sentiments...Heh, heh,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...