Tuesday, November 11, 2014

289. තීරණාත්මක මංසන්ධියක් අභියස - Sri Lanka At A Cross Roads...

මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වරටත් ජනාධිපති තනතුරට තරඟ කොට කුමන අයුරකින් හෝ ජයගැනීමේ අවදානමක් රට හමුවේ ඇත. විශේෂයෙන්ම දෙවන ධුරකාලයෙහිදී ඔහු ප්‍රදර්ශනය කල අන්මත නොඉවසීමේ සාහසික පිළිවෙත, ඥාතීබන්ධූන්ට රාජ්‍ය දේපල රිසිසේ භුක්තිවිඳීමට ඉඩ සළසාදීමේ අත්තනෝමතික හැසිරීම, ජාති සහ ආගම්වාදීන් දිරිමත්කොට ඔවුන් ලවා පෘථග්ජන සිංහලජන විඥාණයට ආමන්ත්‍රණය කොට, ඔවුන්ගේ සිත් සතන් තුල නිදන්ගතව ඇති ජාතිවාදී හැඟීම් අවුලුවා ඉන් දැල්වෙන ගින්නට මුවා වී ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති යන විෂයයන්හි තම නෛසර්ගික නොහැකියාව සාර්ථක ලෙස සඟවාගැනීම යන කරුණු ඇසුරින් යම් අනාගත පුරෝකථනයකට එළඹෙන්නේ නම් එක හෙලා කිව හැක්කේ ඔහුගේ තෙවන ධුර කාලය දෙවන වරටද වඩා අතිශය දුර්දාන්ත වන බවය. 

අද ශ්‍රී ලාංකිකයින් වහා තම අවධානය යොමු කල යුත්තේ මාලක සිල්වා නාසය බිඳගැනීම පිළිබඳව හෝ දොස්තර නෝනිස්ට පහරදීම පිළිබඳව නොවේ. එවන් සාපේක්ෂව කිසිදු වැදගත්කමක් නොමැති සිල්ලර කාරණා සම්බන්ධයෙන් දක්වන උනන්දුවෙන් දහයෙන් එක් පංගුවක හෝ අවධානයක් අපි ඊට වඩා බොහෝසෙයින් වැදගත් එමෙන්ම අපට අතහල නොහෙන කාරණා උදෙසා නොදක්වන්නෙමු. 

නිදහසේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට මාරාන්තික ප්‍රහාර එල්ලවනු බේරේ වැවෙහි දියකඳ පසුබිම් කොට යෝධ කුළුණක් අහසට නැඟෙනු විස්මයපත් දෙනෙතින් බලාසිටින්නාවූ අප නොදකින්නෙමු. 

තමන් රුචි පුද්ගලයෙකුහට තම මනාපය ප්‍රකාශකොට සැනහුනු සිතින් යුතුව නිවෙස් බලා යාමට ඇති අනුල්ලංඝනීය වූ අයිතිය දෑස් ඉදිරිපිට පැහැරගනු ලබනු සෙංකඩගල නගර මධ්‍යයේ පිහිටි වාපිය වටා රාත්‍රියෙහි ලැම්බෝගිනී ධාවනය වන අසිරිය නරඹන දෙනෙතට නොපෙනෙන්නේය. 

මේ සියලු නොපනත්කම් මධ්‍යයේ විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂාකොටගනු මතු නොව මේ ජනාධිපතිවරයාම ඒ සඳහා යළිත් පත්කොටගත යුතුබවට මතයක්ද රටපුරා පැතිර යනු දැකිය හැක. 

හිස ගිණිගත්තකු එගිණි නිවනසේ අද දවසේ වහ වහා කළයුත්ත නම් මේ පාලනය හැකි විගස පරාජය කිරීම පමණක් නොව සියළු බලය ඒක කේන්ද්‍රීය කොට අත්තනෝමතික ඒකාධිපතියකු බිහිකරන ජේ.ආර්. ජයවර්ධන නම් මකියාවෙලීගේ පුනරාගමනය විසින් නිර්මාණය කල විධායක ජනාධිපති ක්‍රමය මුලිනුපුටාදැමීම හෝ අවම වශයෙන් එතුල ගැබ්වූ ඒකාධිපති බලතල කප්පාදු කරලීමය. 

ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පවා අවේක්ෂණය සහ සමතුලිතකරණය (Checks & Balances ) මගින් පාලනය කිරීමට ආසන්න වශයෙන් ශත වර්ෂ දෙකකුත් දශක හතරකට කාලයකට පෙර අමරිකානු ව්‍යවස්ථා සම්පාදකයින් පියවර ගත්තේ ස්වාභාවිකවම මානවයා බලකාමී වනු සමඟම අසීමීත වූ බලය අසීමීත වූ දූෂණයට මග පාදන බව ඔවුන්ගේ තුන්කල් දක්නා ඥාණයට නිසැකවම සහ නිවැරදිව පෙනීගිය බැවිනි. 

ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් මහතා අමරිකානු ජනාධිපති ධුරයට සිව් වරක් තේරී පත්වූ පසු එක් පුද්ගලයකුට එසේ අසීමීතව එවන් බලගතු පදවියක් දැරීමට අවස්ථාව ලැබීම මගින් යහ පාලනයට අනර්ථයක් මිස කිසිදු ලෙසකින් සෙතක් නොවන බව තීරණය කල අමරිකානු කොන්ග්‍රස් සභිකයෝ එක අයෙකුට ජනාධිපති පදවිය දැරියහැකි උපරිම වාරගණන දෙවරකට සීමා කරමින් නීති සම්පාදනය කොට සම්මත කොට ගත්තෝය. 

1977 ලැබූ 5/6 ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන නම්වූ සටකපට දේශපාලුවා අමරිකානු, ප්‍රංශ සහ වෙනත් නොයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යයනය කොට ඒ සියල්ලේ ඒකාධිපති ආඥාදායකත්වයට ඉවහල්වන වගන්ති උපුටා එකට අනා කලතා මෙදියත කිසිදු දේශයක දක්නට නොලැබෙන පරිදි අසීමිත බලතල ජනාධිපතිවරයාහට හිමිවන ව්‍යාවස්ථාවක් නිර්මාණය කළේය. එහිදී ආදර්ශයට ගත් ව්‍යවස්ථාවන්හි අඩංගුව ඇති අවේක්ෂණය සහ සමතුලිතකරණයට අදාල වගන්ති නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීමට ඔහු වගබලා ගත්තේය. එහෙත් ඒ වනවිටත් සැත්තෑවිය පසුකොට සිටි නිසාදෝ නැතහොත් මෙවන් අසීමිත බලතල සහිත පදවියක් කාල සීමාවකින් තොරව දැරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම යනු හිට්ලර්, ස්ටාලින් සහ ඉඩි අමින් යන තිදෙනාම එකට කැටිකලාක් බඳු ආඥාදායකයකු බිහිකිරීමට නිසැකවන හේතුවන්නක් බව ඔහුටම වැටහී ගිය හෙයින්දෝ එක අයෙකුට ජනාධිපති පදවිය දැරීමට හැකි වාර ගණන උපරිම වශයෙන් දෙකකට සීමා කිරීමට ඔහු පියවර ගත්තේය. 

ඉනික්බිති දශක තුනකට මඳක් වැඩි කාලයක් ගෙවී ගියේය. සියළු පර සතුරු උවදුරු මැඩ දේශය එක්සේසත් කොට වදාල මහා නායකයානෝ දැයට කිරුළ පැළඳවීමට සහ මේ දිවයින ආසියාවේ ආශ්චර්‍යය බවට පත්කිරීමට පිට පොට ගසන්නෝ ජනාධිපති ධුරය දැරීමට හැකි වාර ගණන සීමාකොට තිබීම ඊට එකම බාධාව ලෙස තම විචක්ෂණ ඥාණයෙන් පිරිසිඳ දුටුවෝය. 

එහිදී ඒ උත්තරීතර නායකයානෝ වහා ක්‍රියාත්මක වූවාහු ඒ උදෙසා අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව ඔවුන් ස්ව කැමැත්තෙන්ම ආණ්ඩු පක්ෂයට එක්වීමෙන් සපුරා ගත්තාහු ජනාධිපති ධුරකාලය සීමාකෙරෙන ව්‍යාවස්ථාවෙහි අදාල වගන්ති සංශෝධනය කොට දිවයිනෙහි යාවජීව මහ රජු ලෙස කිරුල පැළඳගත්තාහුය. 

ඒ තමයි නිධාන කතාව...දැන් හෙට අනිද්ද තියන්ට යනවයි කියන ජනාධිපතිවරණය ගැන මොකක්ද අපිට ගන්ට පුලුවන් ක්‍රියාමාර්ගය? මේ පහුගියදා ඇත්ත පත්තරේ සීල් කරල වහල දැම්ම. එහෙම කලේ පොලීසිය වත් හමුදාව වත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින්මයි. ඇත්ත ප්‍රකාශයට පත් කරන්නෙත් ඔවුන්මයි. ඇත්තේ කර්තෘ විදිහට වැඩකලේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු. 

ඇත්තට සීල් තැබීමට හේතුව මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් ජනාධිපති පදවියට ඉදිරිපත්වීමට සහයෝගය දැක්වීමට ල.ස.ස.පයේ මහාචාර්ය තිස්ස විතාරණ ගත් තීරණයට විරුද්ධව එහි මධ්‍යම කාරක සභිකයෙක් ලියූ ලිපියක් ඇත්තෙහි පළ කිරීම..කොහොමද වැඩේ? ඇත්තටම පීටර් කේනමන්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා වගෙ මිනිස්සු නායකත්වය දරපු පක්ෂවල ඉහල පුටු රත්කරන මේ වගෙ දෙකයි පණහෙ මිනිස්සු ගැන අහනකොටත් අර මොකක්ද ෆිල්ම් එහෙක ලිලියන් එදිරිසිංහ කිව්ව වගෙ අනේ..අප්පේ හරීම සිරිකිතයි.... 

මේ කතිකා සංවාද මණ්ඩපයෙ පළවුනු ආචාර්ය මයිකල් ප්‍රනාන්දුගෙ ලිපියක්..........

Dr. Michael Fernando
රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? 

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු 

මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ. 

විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භවීමත් සමග සාධාරණ සමාජයක් කරා යන ගමනට බාධාකාරී ලෙස රට තුළ වර්ධනය වෙමින් පැවති සමාජ හා දේශපාලන ප‍්‍රවණතාවයන් එක්තරා උච්ඡුස්ථානයකට පැමිණි බව සියලූ ප‍්‍රගතිශීලි දේශපාලකයන්, දේශපාලන පක්ෂ හා දේශපාලන විද්‍යාඥයන් විසින් ද අවිවාදයෙන් පිළි ගනු ලැබ ඇති බැවින් ඒ පිළිබඳ දිගින් දිගට විස්තර කිරීම අනවශ්‍යයය. 

අද අප ඉදරියේ ඇති ප‍්‍රධානතකම රැකගත යුතු අභියෝගය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිමයි. ඒ පිළිබඳ කරුණු කීපයක් මෙසේ දක්වනු කැමැත්තෙමි. 

ප‍්‍රථමයෙන්ම අද රටේ සමස්ත සමාජ දේහය වසා ව්‍යාප්තව ඇති දූෂණයේ, නීතියේ පාලනයේ බිඳ වැටීමේ ප‍්‍රධාන සාධකය වන්නේ එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් අතළොස්සක් වෙත බලය පවරන විධායක ජනාධිපති ක‍්‍රමය බව මම ද සිතමි. එය අද ජාතිවාදය හා ආගම්වාදය හා අත්වැල් බැඳ ගත් ෆැසිස්ට් ස්වරූපයේ අධිකාරීවාදී, මිලිටරිවාදී පාලනයක් කරා රට ගෙන යමින් පවතී. එබැවින් එබඳු අනර්ථකාරී ගමනක් අත්හිටුවා රට නව මගකට යොමු කිරීම ඇරඹීමේ පූර්ව අවශ්‍යතාවය වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. කිසිදු වාමාංශිකයෙකුට, ප‍්‍රගතිශීලියෙකුට හෝ නිදහස් මතධාරියෙකුට විධායක ජනාධිපති ක‍්‍රමයේ පැවැත්මට අනුබල දෙන පියවරක් ගැනීමේ සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැකිය. 

දෙවනුව, විධායක ජනාධිපති ධුරයට විරුද්ධ වන කිසිවකුටත් වර්තමාන විධායක ජනාධිපතිවරයා තෙවන වරටත් විධායක ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව සැකයක් හෝ අවිනිශ්චිතභාවයක් තිබිය නොහැකිය. 

තුන් වෙනුව, එක් අතකින් අද පවතින ගජමිතුරු ධනවාදය විසින් මෙහෙයවනු ලබන අර්ථ ක‍්‍රමය තුළින් කිසිසේත් අධිරාජ්‍ය විරෝධයක් අපේක්ෂා කළ නොහැකිය. එය නව ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයටත් වඩා විකෘත වූ පාදඩ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයකි. අධිරාජ්‍යවාදයේ සහාය නොමැතිව එයට පැවතිය නොහැකිය. එබැවින් මෙම විධායක ජනාධිපති ක‍්‍රමයට සහාය දීමෙන් අධිරාජ්‍යවාදයෙන් රට මුදාගත හැකියයි සිතීම ආත්ම වංචාවකි. එමෙන්ම ව්‍යාජ අවස්ථාවාදී තර්කයකි. 

සිව් වෙනුව, විධායක බලතල සහිත ජනාධිපති ධුරයේ බලය යුද්ධය ජය ගැනීමට උපකාරීවීයයි හෝ රටේ ස්ථාවරත්වය රැක ගැනීමට එම බලතල අවශ්‍යයය යන තර්කය ද එසේම පදනම් විරහිතය. සත්‍යය නම් මේ පවතින ආකාරයේ විධායක බලතල අවශ්‍ය වන්නේ නීතියේ පාලනයක් නොමැති මැර පාලනයක් පවත්වා ගැනීමට බවය. ලෝකයේ සමාජ සාධාරණයක් කි‍්‍රයාත්මක වන හැම රටකම එබඳු පරිසරයක් ඇති වීමට ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් බිහිකරනු ලැබ ඇති යහ පාලනයයි යනු මගේ ද විශ්වාසයයි. 

අවසාන වශයෙන් ලෝකයේ අනාගතය රඳා පවතින්නේ සමාජ සාධාරණය මෙන්ම පරිසරයේ සුරක්ෂිතභාවය මතය යන්න වර්තමාන විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජ ක‍්‍රියාකාරීගේ පිළිගැනීම බවට පත් වෙමින් ඇති ආකාරය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරිමට කැමැත්තෙමි. එබඳු පරිසරයක් ජනිත කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් තුළ පමණය යන්න පිළිබඳ සැකයක් නැති අතර මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීමේ ප‍්‍රධාන සාධකය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. 

මෙහි දී ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් 1949 දී ලියන ලද සමාජවාදය කුමට ද යන රචනය, 1990 දී ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ලියූ ඉතිහාසයේ අවසානය ග‍්‍රන්ථය, 2010 දී ඔහු විසින්ම ලියූ සමාජවාදයේ පුනරාගමනයක් සිදු වේ ද? යන රචනය හා පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්වරයා අධිරාජ්‍යවාදය ගැන කරන ප‍්‍රකාශන, ඉන්දියාවේ අමර්ත්යා සෙන්, අමෙරිකා එක්සත් ජනපදයේ ජෝසෆ් ස්ටිග්ලිට්ස් මෙන්ම ප‍්‍රංශයේ තොමස් පිකෙටි වැනි වර්තමාන ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් මෙන්ම වර්තමාන ලෝකයේ විද්‍යාඥයන් පිරිසක් විසින් ප‍්‍රචලිත කරනු ලැබ ඇති එකම සෞඛ්‍යයක් හෙවත් One Health සංකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණයෙන් තොරව සමස්ත පෘථිවි තලයේම අනාගත පැවැත්මක් තිබිය හැකි ද යන ප‍්‍රශ්නය නගා ඇති ආකාරය ද අපගේ කුඩා රට මුහුණ දෙන ප‍්‍රශ්නය පුළුල් පසුතලයක් මත තබා නිරීක්ෂණය කිරීම සඳහා නව ආලෝකයක් සපයන්නේයයි සිතමි. 

පසුගිය 31 වන සිකුරාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හෙවත් United Nations Human Rights Panal නමැති ආයතනය ලංකා රජය වෙත නිකුත් කොට ඇති පණිවිඩය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත ප‍්‍රකාශනයකි. එය ලංකා රජයට දන්වා ඇත්තේ රටේ ජනාධිපතිවරයාට අසීමිත බලතල පවරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි. අප රට සමහරුන්ගේ විවේචනයට ලක්ව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එළැඹෙන මාර්තු මාසයේ ගෙන ඒමට නියමිත යොජනාවට වඩා මෙය ප‍්‍රබල බවත් තීරණාත්මක බවත් අප අමතක කළ යුතු නැත. (”ඉදිරි ජනාධිපතිවරණයේදී මහජන න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගන්නේ කෙසේද?” මැයෙන් ඉකුත් අගහරුවාදා මරදාන සාමයික සහ සමාජීය කේන්ද්‍රයේදී පැවැති මහජන සංවාදය සභාව අමතා ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා කළ කතාව) 

ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබූ ‘ඇත්ත‘ පුවත් පතේ 2014 නොවැම්බර් 09 වැනිදා කලාපයෙනි. 


33 comments:

  1. හ්ම්ම්ම්..... රවී තුමාට බොහොම ස්තුතියි මේ ලිපිය බෙදා ගත්තට..

    ReplyDelete
  2. මකියාවෙලීගේ කියන්නේ මොකක් ද ? (ජේ.ආර්. ජයවර්ධන නම් මකියාවෙලීගේ)..

    මම පොඩි කාලේ ඉඳන් අහන්න ලැබිල තියෙන ලංකාව සම්බන්ධයෙන් කතා කරන ප්‍රධාන කරනු දෙකෙන් එකක් තමයි මේක .. එකක් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් .. අනිත් එක විධායක ජනාධිපතික්‍රමය අහෝසි කල යුතුයි .. හෙහ් හෙහ්

    මම හිතන්නේ මම නාකි වෙලා රවී අයියලාගේ වයසට එද්දිත් ඕක ඔහොමම අහන්න ලැබෙයි ....

    නොදන්නා දේශපාලනය ගැන කතා කරන්න බෑ .. හැබැයි ඉතින් මිට කලින් හිටපු විධායක ජනාධිපතිවරුන්ට වැඩිය නම් මේ මනුස්සය වැඩක් කළා කියල මට හිතෙනවා ... එකම ප්‍රතිපත්තියකට වැඩ කරන්න දන්නේ නැති මිනිස්සු ඉන්න රටක යමක් කෙරෙන්න මේ වගේ බලතල නැතුව බෑ කියලයි මට නම් තේරෙන්නේ ... පවුල් වලට සැලකීම මම හිතන්නේ අපේ සංස්කෘතියේම ලක්ෂණයක් නේ .. හෙහ් හෙහ් ජනාධිපති තුමා අවවාදයට වඩා ආදර්ශයෙන් ම ඒක පෙන්නනවා ....

    කොහොම හරි කරලා අර (Checks & Balances ) වගේ ක්‍රමයක් මේක ඇතුලටම දාගන්න හදනවා මිසක් කවදාවත් නැති කරලා දාන්න නම් බැරි වෙයි .. කවුද අප්පා කාර් එකක් ගෙදර තියන් පයින් යන්න කැමති වෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / මකියාවෙලීගේ කියන්නේ මොකක් ද ? (ජේ.ආර්. ජයවර්ධන නම් මකියාවෙලීගේ)../

      නිකලෝ මකියාවෙලි කියන්නෙ මල්ලි 13 වන ශත වර්ෂයෙ ඉතාලියෙ ෆ්ලොරන්ස් නගරයේ ජීවත්වූ දේශපානඥයෙක්. ඔහු ලියූ The Prince ( කුමාරයා ) නම් වූ කෘතියේ පාලන බලය ලබාගැනීම සහ ලබාගත්බලය රැකගැනීම උදෙසා කලයුතු නොයෙක් ක්‍රියාමාර්ග විස්තර කෙරෙනව. එයින් බොහෝ ක්‍රම සදාචාරයට සහ යුක්තියට එකඟ නොවෙන ගණයේ ඒවා. Machiavellian කියන උපසර්ගය යෙදෙනව ඒ වගෙ අත්තනෝමතික දේශපාලනික ක්‍රියාවන් හැඳින්වීමට

      ජේ.ආර්. ගැන ඒ දවස්වල කියාපු එකක් තමයි " He could have added two or three chapters to Machiavelli's The Prince"කියල..හෙහ්,හෙහ්

      Delete
    2. පැතුම්,

      / කවුද අප්පා කාර් එකක් ගෙදර තියන් පයින් යන්න කැමති වෙන්නේ ../

      එහෙම අය දැං කොහොම වෙතත් ඒ කාලෙ ඉඳලනම් තියනව පැතුම්...අහල ඇතිනෙ අර ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහත්තය ගැන සුප්‍රසිද්ධ කතාව. කාර් එක ඇතුලෙ මී පැටව් වගයක් ඉඳල එවුං ලොකුවෙලා යනකල් කාර් එක ගරාජ් එකේම තියෙන්න ඇරල පයින් ඉස්කෝලෙට ගිය කතාව. ඒ එතුමා කෝට්ටෙ ආනන්ද බාලිකාවෙද කොහෙද විදුහල්පති වෙලා ඉන්න කාලෙ මට මතක විදිහට.

      Delete
    3. මම අදිකාරම් මහත්තයාගේ ඔය කතාව දන්නවා .. ඕක කරන්න පුළුවන් වුනේ එතුමා අවිවාහකව හිටපු නිසා වෙන්න ඇති .. හෙහ් හෙහ් .. අපි කාර් එක තියල අද පයින් යමු කිව්වොත් කොහොමට තියෙය් ද ?

      මමත් නිතර පයින් යන්න පුරුදු වෙච්ච චරිතයක් ... මෙහෙත් දවසක් මම ෂොපින් මෝල් එකක ඉඳන් ඉන්න එපාර්ට්මන්ට් එකට පයින් ආව 5-6km විතර .. හරි ජොලි වැඩක් ඒක ..

      Delete
    4. පැතුම්,

      මම ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳල අපෙ ඔෆිස් එකට මම හිතන්නෙ තියෙන්නෙ කිලෝ මීටර් 3 1/2 විතර. වටපිට සිරි නරඹමින් නිවී සැනසිල්ලෙ ලැසි ගමනින් ආවත් මල්ලි ඔය දුර යන්න ගතවෙන්නෙ ඔන්ලි 35-40 මිනිට්ස්. සමර් එකේ නම් පයින් යනව තියා ඒ ගැන හිතන්නවත් බෑ, ඒත් ශිශිරයෙදි මම 90% විතරම පාද යාත්‍රාවෙන් තමයි ඔෆිස් යෑම සහ ආපසු ඒම දෙකම.මේ දවස්වල ශිශිරයෙ ආරම්භය. පහුගිය සුමානෙ මම පටන් ගත්ත මගේ පාගමන...හෙහ්,හෙහ්,

      හරි ඔන්න අතුරු කතාවක් - උඹ දන්නවද භාර්යාවට පාදපරිචාරිකා කියල කියන්නෙ මොකද කියල?..තම ස්වාමියා යන යන තැන ඔහු පා සටහන් මත පියවර තබමින් ඔහු පසුපස යන්නාවූ හෙයින් භාර්යා තොමෝ පාදපරිචාරිකා යනුවෙන් හැඳින්වූ බව දත මනායැ.

      Delete
  3. ස්තූතියි රවී මචං...................................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ඔබටත්..කුරුටූස්.....:)

      Delete
  4. සාරගර්භ තිත්ත ඇත්ත . ස්තුතියි බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. තිලකෙ,

      ඔබටත් ස්තූතියි....අවාසනාවට ඇත්ත කතාවක්.....:(

      Delete
  5. මෙව්ව කියන කට ගලක උලාගත්ත නං මීට වඩා හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      එව්වනං එහෙම තමයි බොලේ...හෙහ්,හෙහ්,

      අපෙ ගෙදර වෙනම මිරිස් ගලක් මම ගෙනල්ල තියාගෙන ඉන්නව ඔය වැඩේටම.... :)

      Delete
  6. රවි ට හිතෙන්නේ නැද්ද කොමියුනිස්ට් පක්ෂය, නියම කොමියුනිස්ට් පක්ෂයක් ලෙස ඇත්ත පත්තරේ ගැන වැඩකරල තියනවා කියල. නායකයන් වන්දනාව හා නායකයන්ගේ වචනය දේව වචනය ලෙස සැලකීම, නායකයන් විවේචනය කරන්නන් හා ඔවුන්ගේ තීරණවලට විරුද්ධව වචනයක් හෝ කියන්නන් සයිබීරියාවේ කඳවුරකට යැවීම (වෙඩි තිබ්බෙ නැත්නම්)අනර්ඝ කොමියුනිස්ට් සම්ප්‍රදායන්වේ.

    //ඇත්තටම පීටර් කේනමන්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා වගෙ මිනිස්සු නායකත්වය දරපු පක්ෂවල ඉහල පුටු රත්කරන මේ වගෙ දෙකයි පණහෙ මිනිස්සු ගැන අහනකොටත් //

    හෙහ් හෙහ් හිනාත් යනවා. ඔය කියන අයට බලය තිබුනේ සභාග රජයක.
    හරි කොමියුනිස්ට් (සමසමාජ නොව කොමියුනිස්ට්) රජයක් තිබුනනම් ඒකාලෙ ලංකාවෙ තියෙන එකම පත්තරේ වෙන්නේ නායකයින්ගේ "ඇත්ත" විතරයි.
    ලෝක ඉතිහාසයේ කොමියුනිස්ට් කාරයින්ට ප්‍රජාතන්ත්‍රවාදේ, ලිබරල් චින්තන, ප්‍රගතිශීලී අදහස් ඔක්කොම තිබුනෙ බලයට එනකම් විතරයි.
    ඔවුන් කල එකම 100 % ප්‍රගතිශීලී දේ ආගම දේශපාලනයට යොදානොගැනීම පමණයි


    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔබ කියන දේට එකඟයි. ඒත් කේනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වගෙ අය ගැන මට අර ලෙනින්ල ස්ටාලින්ල මට්ටමට දාල හිතන්න හිත දෙන්නෙ නෑ. මම වැරදි ඇති බොහෝවිට. මොකද නායකයෙක්ගෙ මානව හිතවාදය, යුක්තිය සාධාරණත්වය කෙරෙහි ඇති කැපවීම මනින්ට පුලුවන් ඔහු හෝ ඇය බලය අතැතිව ඉඳිද්දි හැසිරෙන්නෙ කොහොමද කියන කාරණය මත පමණයි. ඒ නිසා කිසිදිනක ආණ්ඩු බලයක් නොලැබුණු උදවිය ගැන නිගමන වලට බහිනකොට ටිකක් පරිස්සම් වෙන්ට වෙනව. ඒ කාරණයට සපුරා එකඟයි.

      Delete
    2. දුෂ්ටයන්වීමට හරියට ඉඩක් නොලැබූ වීරයන්ගේ වීරත්වය ගැන තීන්දුවක් ගැනීමට අපහසුයිනේ :-DDDDDD
      ඔබ කිවූ අය බොහෝ අගය කලයුතු සමහර දේ ( අනික් අයට සාපේක්ශව ) කර ඇති බව මා පිලිගන්නවා.

      ලෝකෙ හුඟක් රටවල කොමියුනිස්ට්කාරයන් හොඳ මිනිස්සු - බලය ලැබෙනකම් !!

      Delete
    3. Pra,

      "සැබෑ වීරයා යනු දුෂ්ඨයකු වීමට අවස්ථාව ලද එහෙත් වීරයාගේ භූමිකාව ස්වේච්ඡාවෙන්ම තෝරාගත් තැනැත්තාය. - ප්‍රා. ජේ."

      " The real hero is he who had selected the role of a hero instead, when he could have easily become a villain - Pra. Jay."

      Delete
    4. ???????????
      Why is this Pra Jay joker appending his name to Ravi's creations?

      Delete
  7. ඔය වාමාංශිකයෝ ගැනනම් කතා කරලා වැඩක් නැහැ රවීයියා.මේ තරම් පොදු ජනතාව තලන.පෙලන ආණ්ඩුවක් ඇතුලේ කොහොමද ඉන්නේ නියම වාමාංශිකයෙක් නම්.

    මහින්ද රට පෙරට ගෙනියන්නේ නැහැ රට වලට ගෙනියනවා මිසක්.විධයකය අහෝසි කිරීම කල යුතුමයි.අපිට ඒකාධිපතියෙක් ඕනේ නැහැ.මහින්ද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මුහුණක් දාගත්තු ඒකාධිපතියෙක්.අවසනාවට රටේ බහුතරයක් දෙනා එක තේරුම් අරන් නැහැ.ඔවුන් හිතන්නේ තමන්ගේ ප්‍රශ්න මහින්ද ලවා ඉටු කරගන්න පුළුවන් කියලායි.එකනේ ළමයි ස්කෝලෙට දාන එකයි ,වගාවට අලි පනින එකයි,පාර හදන එකයි ඔය ආදී හැම මගුලක්ම ලොක්කටම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අනාගතය බොහොම අඳුරුයි මල්ලි..බොහොම අඳුරුයි...අඳුරු බිම්ගෙය ඈත කෙළවර ඉතා කුඩාවට හෝ කිසිම ආලෝකයක් නොපෙනේ. අහෝ දුකකි! බේදයකි!! ඉරකි!!! තිතකි!!!!

      Delete
  8. මචං......මේ ලිපිය කියවන්න ලැබුනා. මම මේ පළවෙනි වතාවටද කොහෙද ඇහුවේ, තම පුවත්පතට තමන්ම සීල් තියපු කතාවක්. අපි යන්නේ කොයි පාරේ...මාක්ස් ලෙනින් ගිය පාරේ, මේවා කාට කියන්නද. ඩිව් ගුණසේකර මොන බයිලා කිව්වත්, රාජා උස්වැටකෙයියාව ඇතුළු කංඩායමක් ඊයේ පොදු මාධ්‍ය සාකච්ඡාවට ඇවිත් හිටියා. ඇත්තේ සිරිවර්ධන මහත්තයලා හිටියා නම් වහ කනවා.

    උඹේ ලිපිය ගැන නම් කියන්න දෙයක් නැහැ. සම්පූර්ණයි. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි. මේ අන්තිම තත්පරයයි. මෙතනින් එහාට වෙනසක් නොවුනොත්, රටේ කතාව අමිහිරි ඛේදවාචකයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. Aru,

      / අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි. මේ අන්තිම තත්පරයයි. මෙතනින් එහාට වෙනසක් නොවුනොත්, රටේ කතාව අමිහිරි ඛේදවාචකයක් වෙයි. /

      ගිනිඅවි සහ ගිනිකෙලි කතාවෙ ඇල්බා නිතරම අර කරේ තියෙන ලේන්සුව අතට අරගෙන කියනව වගෙ " බොහොම නරක කාලයක් මේ ලබාගෙන එන්නෙ "

      ඩිව් ගැන නං කතාකරල වැඩක් නෑ බං.ඔවුං ඔක්කොම එකයි.

      මෙතන තියෙන්නෙ ආචාරශීලිත්වය, සාධාරණය වෙනුවෙන් කැපවීම, යහ පාලනය සහ තමන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට වගවීම ( Accountability ) යන කරුණු සහ බල ලෝභිත්වය, අසීමිත තණ්හාව, උද්ධච්ඡ භාවය සහ පැහැදිලි නිරවුල් ඉදිරි දැක්මක් නැතිකම කියන කරුණු අතර ගැටුමක්....

      අර ප්‍රා කියනව වගෙ මෙහෙම වෙලාවට වීරයගෙ භූමිකාවට ප්‍රවිෂ්ඨ වෙන එක ලේසි නෑ. ඒකට හික්මීමක්, කැපවීමක්, පරිණත බුද්ධියක් සහ ඉදිරි දර්ශනයක් ( Vision for Future ) අත්‍යාවශ්‍යයයි. එව්ව කොහෙද අපෙ පාලකයො ලඟ.

      Thanks Machang :)

      Delete
  9. මම මේ කොහේදී හරි දැක්කා දෙපාරකට වඩා බෙදාගෙන කන්නේ පෙරේතයෝ කියලා ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සයුරි...තුන්වෙනි පාරටත් කන්නේ මල පෙරේතයෝ. නැත්නම් කෑමක් ජීවිතේට දැක්ක නැති එවුන් :D

      Delete
    2. සයුරි සහ අරූ,

      තමන් තුන් හතර පාරක් නෙවෙයි හත් අට පාරක් හරි බෙදාගෙන කාල ඊට පස්සෙ වල කජ්ජ ගහන්ට කලිං ලොකු කොලුවට මේසෙට වාඩිවෙන්ට සියලු කටයුතු සලස්වන පිංවතුංට මොකක්ද කියන්නෙ?

      Delete
    3. ගෙවල පෙරේතයෝ.

      Delete
  10. මේ ලිපිය කියවන අයට අදහසක් නැද්ද මේ වෙනුවෙන් මීට වඩා මැදිහත් වීමක් කරන්න හැකි විදියක් ගැන.. එවැනි දේකට පෙළඹවීමක් කරන්න තල්ලුවක් දෙන්න බැරි වෙයිද? අපි ඔක්කොම මෙහෙම හිටියොත් මේකෙ වෙනසක් දකින්න බැරි වෙයි නේද රවි අයියා.. මේක අවධානම් අවස්ථාවක්.. හැමෝම එකතු වෙන්න ඕනි..

    පොදු අපේක්ශකයෙක් කියන එක හොඳ (දැනට පේන විදියට සුදුසුම ) විකල්පයක්.. හැබැයි මේ කරළියේ ඉන්න කවුරුත් එතනට සුදුසු නෑ.. සියලු විපක්ශ කණ්ඩායම් වලට එකඟ විය හැකි හා සහයෝගය දිය හැකි, විශෙෂයෙන්ම UNP එක හා JVP එක, දේශපාලනයෙන් අනාගෙන නැති ජෙෂ්ඨ ලෝක පූජිත ශ්‍රී ලාංකිකයෙක් හොයා ගන්න බැරි වෙයිද අපට පොදු අපේක්ශකය විදියට.. ජනාධිපතිවරණයෙන් පස්සෙ පාර්ලිමේන්තුව විසිරුවල හැරල මැතිවරණයකින් පත්වෙන අගමැති වරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය පවරන පූර්ණ එකඟතාවයක් මත.. හාමුදුරුවරුන්ට පුළුවන් මේකට නායකත්වය දෙන්න..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      / මේ ලිපිය කියවන අයට අදහසක් නැද්ද මේ වෙනුවෙන් මීට වඩා මැදිහත් වීමක් කරන්න හැකි විදියක් ගැන.. එවැනි දේකට පෙළඹවීමක් කරන්න තල්ලුවක් දෙන්න බැරි වෙයිද? අපි ඔක්කොම මෙහෙම හිටියොත් මේකෙ වෙනසක් දකින්න බැරි වෙයි නේද රවි අයියා.. මේක අවධානම් අවස්ථාවක්.. හැමෝම එකතු වෙන්න ඕනි../

      කතාව ඇත්ත බං..මොනවහරි කරන්න වෙනව. මේ ලැබෙන ලාස්ට් චාන්ස් එක වෙන්නත් පුලුවන් බොහෝවිට...

      පොදු අපේක්ෂයෙක් පිළිබඳව මලයගෙ අදහස් වලට මම එකඟයි..ඒත් ඔය වැඩේ සාර්ථකව කරගන්න පුලුවන්ද කියන එක නම් ප්‍රශ්නාර්ථ ළකුණක්..දන්නවනෙ අපෙ කට්ටිය? හැමෝටම තියනවනෙ සැඟවුනු න්‍යාය පත්‍ර..:)

      Delete
  11. ගොඩක් තැන් වල කතිකාව මහින්ද එපා කියන එක උනාට ඡන්දේ අවසාන ප්‍රතිඵලේ ඒක නොවෙන්නත් පුළුවන්.. එහම කට්ටියක් තමයි අපේ රටේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,
      ගොඩක් තැන් කියල ගොඩ දෙනෙක් දකින්නේ ගොඩක්ම නෙමෙයි බං... අපි උඹල ගොඩ දෙනෙක් දකින්නේ මේ අන්තර්ජාල අවකාශේ ඉන්න බොහොම පොඩ්ඩක්...
      එතන ඉන්නේ සමාජයේ බහුතර නියෝජනයක් නෙමෙයි.
      අනිත් කාරණය තමයි මොන හේතුවකට හරි මරා. ට කැමති පිරිසක් ජාලයෙත් ඉන්නවා. උන් බහුතරයක් තමයි කැමති බව එළිපිට කියන්න යන්නේ නැහැ.
      ඒකට හේතුව ජාලයේ ඉන්න මරා ට අකමැති අයගේ ප්‍රහාරයට ගොදුරු වෙන්න අවශ්‍ය නැති නිසා...

      ඒ වගේම කතිරේ ගහල තමන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් නිසාත්...

      එතැනදී ලොකු වැරද්දක් කරගන්නේ මරා ට අකමැති උදවිය. ඒ තමන්ගේ විරුද්ධ මතය එළියට එන්න නොදෙන වටපිටාවක් නිර්මාණය කරගැනීම.

      ඒ නිසා "මෙතැනදී එකක් කියල", "ඡන්දෙදි තව දෙයක් කරනවා" කියන අදහසට වඩා මෙතන තියෙන්නේ වෙනම දෙයක්...

      Delete
    2. දිනේෂ් සහ ලොකු පුතා,

      මේ අවදානම් තත්වය ගැන අවබෝධයක් නැති හෝ ඒ ගැන හැඟීමක් තිබුනා වුනත් ඒ හැටි ගාණකට නොගන්න අය ( අනේ ඔය ඕන කෙහෙල්මලක්ය කියලා වගෙ ) දැනුවත් කරන්නට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒකට මුල් වෙන්න ඕන විපක්ෂය. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වන එ.ජා.ප.ය ....ඒත් තවමත් එහෙම සංවිධානත්මක වැඩ පිලිවෙලක් ආරම්භ කරන්ට සූදානමක්වත් තියෙන බවක් පෙනෙන්නට නම් නැහැ.

      පොදු අපේෂකය ගැන මගේ මතය නම් කවුරු උනත් ඔහු හෝ ඇයට ඡන්දය ප්‍රකාශ කරල මේ පාලනය අවසන් කල යුතුයි. මේ අවස්ථාවෙ ඉදිරිපත්වෙන අපේක්ෂකයින්ගෙ පැටිකිරිය බල බල ඉන්ට ගියොත් හරි යන්නෙ නෑ. මොකද මේ ඉන්න මනුස්සයගෙ පැටිකිරිය කොහොමත් අපි දන්නවනෙ. ඒ නිසා කවුරුහෝ කමක් නෑ විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට කටයුතු කල යුතුමයි.

      අතිවිශේෂ අවස්ථාවන්හි අතිවිශේෂ තීරණයන්ට එළඹිය යුතුයි කියලත් කියනවනෙ. " Extraordinery situations call for extraordinary decisions "

      Delete
  12. මේ පාර දිනුවොත් ආපහු පාර්ලිමේන්තු මැතිවරනයක් නැත. ජනමත විචාරනයක් තියයි ඔය පාර්ලිමේන්තුව දිග් කරගන්න. බලපන් බොරුද කියලා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මම හිතන්නෙ නෑ බං..මේ මනුස්සය ජේ.ආර්. වගෙ ලාම්පු කලගෙඩි සෙල්ලම වත් කරයි කියල. හීන් නූලෙං තව මොකක් හරි දහං ගැටයක් ගහල මේ පාර්ලිමේන්තුවම දික්කරගනියි තව අවුරුදු දහයකට. කාගෙන් තහනමක්ද?අගවිනිසොරාත් මිනිහගෙම හෙංචයියෙක් උනු කොට.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...