Wednesday, November 26, 2014

290. විමලෙගෙ වාංපතුල් කතා 23 - දෙපා කොටි, ඔළු කන අලි, කිතුල් හකුරු සමඟ අලි ගැට පේර, තරුණ ගොවි සමාජ සහ රජයේ චිත්‍රපට අංශය, …The Memoirs Of the Seventies


සෝගම් නොහොත් ඉදල් ඉරිඟු

කඳු ලියල තිබ්බ කොටි ගැන කතාවක්. ඒක කියවල මටත් ඔන්න මතක් උනා කොටි හා සම්බන්ද මගේ අතීතය. ( මේ කියන්නෙ අර කාලෙකට කලින් හිටිය දෙපා කොටි ගැන. සත්තෝද්දියානෙ ඉන්න කොටි එහෙම නෙවෙයි ) සත්තෝද්දියානෙ ගැන කියනකොට ඔන්න සුට්ටි කතා දෙකක් මතක් උනා. එකක් ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි එකක්. 

අපේ පන්තියෙ මට පස්සෙ පේළියෙ කෙළවරේම හිටියෙ සිසිල්. .....හැත්තෑගණං වල තිබ්බෙ අයිස් පෙට්ටි වර්ග දෙකයි. එකක් සිසිල් අනික ඌෂා...පස්සෙ සිසිල් කොම්පැණියත් ගත්ත මයෙ හිතේ ඌෂා සමාගම. ඒත් සිසිල් නමින් ශීතකරණ හදන එක නැවැත්තුවෙ නෑ සිසිල් කියන නමට තිබ්බ ජනප්‍රියත්වය නිසාම. ඌෂා කොම්පැණිය මගෙ හිතේ ඉන්දියන් එකක් වෙන්ට ඕන. ෆැක්ටරි එක තිබ්බෙ නම් රත්මලානෙද කොහෙද... 

හැත්තෑ දෙකේ අවුරුද්දෙ ඉස්සෙල්ලම අපෙ ගෙදරට අයිස් පෙට්ටියක් ගෙනාවෙ.ඒ කාලෙ අයිස් පෙට්ටියක් කියන එක ඇවිල්ල සුඛෝපභෝගී භාණ්ඩයක්. මයෙ යාලුවො එනව සෙනසුරාද ඉරිද දවස්වලට අයිස් කැට කන්ට. කෝප්පෙකට වතුර පුරවල ඒකට අයිස් දාල කූල් කරල බොන එකත් අපිට මහා ලොකු දෙයක්. 

ඉතින් ආයම කියාගෙන ආපු කතාවට ගියොත් සිසිල් ( මතකනෙ අර මට පිටිපස්ස පේළියෙ හිටපු යාලුව ) ..මිනිහගෙ තාත්ත වැඩ කලේ දෙහිවල සූ එකේ. මොකක් හරි ලොකු තනතුරක් කලේ..මම හිතන්නෙ ඔය සහකාර අධ්‍යක්ෂ කෙනෙක්ද කොහෙද...දවසක් එක සති අන්තයක අපි තුන් හතර දෙනෙකුට එහෙ එන්ට කිව්ව දවල් කෑමට. අපිටත් ඉතින් කියන පරක්කුව විතරයි. උදේ හත වෙනකොට සූ එක ඉස්සරහ. අලි කොටි එහෙම තාම නිදිද කොහෙද...හෙහ්,හෙහ්, සිසිල කෑගහනව " මොකද යකුනේ, මෙච්චර පාන්දර ආවෙ? " කියල.. කොහොම හරි උදේටත් උන්ගෙ ගෙදරින්ම කාල ඇවිද්ද සූ එක පුරහම. සිසිල් වැඩ කරන අය අඳුනන නිසා අපි ඔය හැම තැනකම ඇවිද්ද කිසිම බාධාවකින් තොරව. 

දවල් එකට එකහමාරට වගෙ දාඩිය පෙරාගෙන ආව සිසිල්ලහෙ ගෙදර දවල්ට කන්ට කියල. සිසිලා හිටියෙ සත්තෝද්දියානෙ ඇතුලෙම ඔෆිස් එක එහාපැත්තෙ තිබිච්ච කෝටස් එහෙක. කෝටස් දන්නවනෙ නේද? ඔය නිල නිවාස කියන්නෙ ..ආන්න එව්ව.. 

දවල්ට හුරුල්ලො බැදල තිබ්බ පළංගානකින් එකක්. යමරෙට බඩගිනිවෙලත් නෙව අපි හිටියෙ. අනික දැන් වාගෙ නෙවෙයි හැදෙන වයසත් වෙච්චි. 

" තැනකට ගියාම බඩගින්නෙ මැරෙන්ට වගෙ හිටියත් වැඩිපුර කන්ට එපා. එහෙම කාගෙන කාගෙන යන එක හොඳ ගතිගුණයක් එහෙම නෙවෙයි ඔන්න " . අම්මා අපි සුට්ටං කාලෙදිම කියල දුන්නා ..එව්ව ඇවිල්ල ජීවිතේට හොඳ ආදර්සමත් පාඩං....ඒත් මේ බඩගින්නෙ මැරෙන්ට එන වෙලාවක් මේක..ආදර්ශමත් විදිහට ජීවත් වෙන්ට උනත් ඉස්සෙල්ල පණ කෙන්ද රැකගෙන ඉන්ට එපාය...අන්න ඒ සත්ගුණවත් සිතිවිල්ල පෙර දැරි කරගෙන බැදපු හුරුල්ලොත් එක්ක ඇදල ඇරිය ආමාසෙ පිම්බිලා ගිහිල්ල පිත්තාසෙ හැප්පෙන්ට...හෙහ්,හෙහ්, 

කාල ඉවරවෙලා අපි කට්ටිය ආපහු ආව තමන්ගෙ ගෙවල් වලට.176 හෙට්ටියවත්ත-කරගම්පිටිය බස් එක යන්නෙ දෙහිවල සත්තෝද්දියානෙ ඉස්සරහින්..176 තමයි මගෙ නිලරථය ඒ කාලෙ. නාවල ඉඳල ඉස්කෝලෙ යන්නෙ ඕකෙ.තාම උනත් 176 දකිනකොට පරණ යාලුවෙක් හම්බ වුනා වගේ තමයි. කරගම්පිටිය විහාරයෙ තමයි අර සුවිශේෂී මාර පරාජය බිතු සිතුවමක් තියනවය කියන්නෙ. ඒකෙ මාර සේනාවෙ එක යස්සයෙක්ගෙ කරේ තුවක්කුවකුත් තියනවලු. අපේ ජානුස් ගොයිය තමයි ඔය කතාව දවසක් කිව්වෙ. බොරුවක් වෙන්ට බෑ එවුන්දැ දෑහැටම දැක්කයි කියලත් කිව්වෙ ඔය. 

ඉතිං ඔයිට සතියකට වගෙ පස්සෙ පත්තරේ මුල පිටුවෙම මෙහෙම දාල තිබ්බ. මට පත්තරේ නම මතකයක් නෑ. දිවයින වෙන්ට නම් බෑ කොහොමවත්ම. දිවයින පටන්ගත්තෙ ඔයිට පස්සෙ 1981 අවුරුද්දෙ. සම්ටයිම්ස් " දවස " වෙන්න ඇති.නිව්ස් එක මෙහෙමයි " දෙහිවල සත්වෝද්‍යානයේ මුහුදු සිංහයින්ට ලබා දෙන හුරුල්ලන් පිල්ලි ගසති " 

ඕක දැකපු එකෙක් පත්තරේ උස්සං ආවෙ නැද්ද පංතියට..නිකම්ම නෙවෙයි කෑගහගෙන " ඒයි මේං බලපල්ල...සිසිලගෙ තාත්ත ගැන පත්තරේ තියනව " ඔන්න ඔහොම. 

ආය මොනවද ඉතිං...දන්නවනෙ ඔය වගෙ එකක් අහු වුනහම අපිට ...සිසිලය අන්තිමට කිව්ව " යකෝ තොපි වාගෙ ගුණමකුවො ටිකක් එක්කං ගිහිල්ල සූ එකේ නොමිලේ ඇවිද්දවල දවල්ට කන්ටත් දුන්නට මට මෙව්ව හොඳ පාඩං...ආය නං ජීවිතේට...." 

දැං සූ එක ගැන දෙවෙනි කතන්දරේ..මේක කිව්වෙ අජිතය..අජිතය මතකයිනෙ නේද? අර පිළිස්සූ කුකුළකු නිසා ......කතාවෙ ඉන්නෙ..මගෙ අතිජාත මිත්තරය..අන්න ඒකා..ඒ දවස්වල මාසෙකට නැත්තං දෙහෙකට සැරයක් අපේ එකෙක් ගමේ ගියහම ආය එන්නෙ කතා පොකුරක් කද බැඳගෙන. ඊට අමතරව අපි ඔය නුවර දිහා ඉන්න උදවිය අරං එනව නුවර කාගිල්ස් එකෙන් ඕල්ඩ් දෙක තුනකුත්. ඔය වගෙ කුරුණෑගල තිබ්බ බඩු හොඳයි කියල ඒ දවස්වල අපි හැමෝම අතරෙ පිළිගැනීමක් තිබ්බ බාර් එකක්..ඒකෙ නම ගොන්සාල් එක. 

නොහැඟවූ ආදරය කියල මම කතාවක් ලිව්ව අවුරුදු තුනකට ඉස්සරවෙලා. ඒකෙ මම ඔය ගොන්සාල් එකේ බඩු හොඳයි කියල කිව්වම අපේ ඔබා නොහොත් ඔබ්සර්වර් තුමා කියාපි ගොන්සාල් එකේ අරක්කු කළවං කරන්ට ඉස්සෙල්ල මූඩි ගලවන්ට ගැජට් එක හදල දුන්නෙ උන්දැගෙ යාලුවෙක්ය කියල. ඉතිං මොකේද දං වළඳන්නෙ?...හෙහ්,හෙහ්, හරි එව්ව ඇරිච්චාවෙකො... 

මේ අජිත් ඔය ගෙදර ගිහිල්ල ආයෙම ආපු දවසක හැන්දෑකරේ අපි කට්ටිය මිදුලෙ කොට්ටම්බ ගහ යට රවුමට පුටු තියාගෙන පොඩි සන්තර්පණයක නියැලෙමින් ඉන්දද්දි කියාපු කතාවක්..අජිතයගෙ වචන වලින්මමෙහෙමයි.. 

" ඒයි අඩේ..මේක අහපල්ලකො මරු කතාවක් බං..අපෙ මාමගෙ හොඳම යාලුවෙක් වැඩ කරනව සූ එකේ.....මිනිහ තමයි මාම දැක්කිං මේ කතාව කියල තියෙන්නෙ. බොලාට මතකද දැනට මාස හතර පහකට ඉස්සෙල්ල සූ එකේ අර අලි සෙල්ලං වලදි ඇත් ගොව්වෙක් අලියගෙ කට ඇතුලට ඔලුව දාගෙන ඉන්දැද්දි එක පාරට අලිය ඔලුව හපල මිනිහ මලා..." 

ඇත්තටම එහෙම සීන් එකක් ඒ දවස්වල වුනානම් තමයි. අලිය ඔලුව හපල ඇත්ගොව්වෙක් මලා. ඒ දවස්වල මම අර කැළේ මැද ඉන්දැද්දිත් ඒ අපි හිටපු හරිය ඊමම වගෙ හිටිය මරුමුස් වල් අලියෙක්.ඌට කිව්වෙ ඔළු කන්නා කියල. එහෙම කිව්වෙ ඒ වසවර්තියා මිනිස්සු පස්ස පාරෙ පන්නං ඇවිල්ල පාගල මරල ඊට ප ස්සෙ ඔලුව හපන හින්ද. මම මේ කතාව මේ ඊයෙ පෙරෙයිද දවසක ලොකු පුතාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට ලිව්ව. ඔය ඔළු කන්නා ඔය වැඩේට පුරුදු වෙලා තියෙන්නෙ මෙහෙමයිලු. 

හේං වල හිටවනවනෙ පඹයි.එවුංගෙ ඔළුවලට තියන්නෙ පරණ හිල්වෙච්චි මුට්ටියක්. ඕකෙ හුණු වලින් අඳිනව ඇස් නහය එතකොට දත් වහල්ල විරිත්තගෙන ඉන්න කටක් එහෙම. අපි පොඩි කාලෙ ගේ කුරුල්ලන්ටත් ඔය වගෙ පරණ මුට්ටි එල්ලුව හුණු වලින් තිත් තියල. බොහෝවිට කුස්සියෙ බිතක්කනේ අයිනක බිත්තියෙ. ඉස්සෙල්ල පරාල ඇණයක් ගහල මුට්ටියෙ පතුලෙ පරිස්සමට හිලක් හදල අර ඇණේ එල්ලනව. ගේ කුරුළු ජෝඩුව ඉතිං පුළුං, පිදුරු, පරණ රෙදි කෑලි ඔව්ව මෙව්ව ගෙනල්ල අර මුට්ටිය ඇතුලෙ කූඩුවක් හදල ඒකෙ බිත්තර දානව. ලොකු මහත්වෙලා පියාඹලා යනකල් ගේ කුරුලු පැටවුන්ගෙ නිවහන ඔය මුට්ටිය තමයි. 

කෑගල්ලෙ අපෙ ගෙදර ඔය වගෙ ගේ කුරුළු පවුලක් පැටව් ලොකු වෙලා මුට්ටිය අතඇරල ගියාට පස්සෙ ඒකෙ පදිංචියට ආව කොණ්ඩ කුරුළු ජෝඩුවක්. අප්පටසිරි ආය මොනවද? තුංවෙනි ලෝක මහා සංග්‍රාමෙ පටං ගත්තෙ මුට්ටි ගෙදර පරණ අයිතිකාරයො ඒ කිව්වෙ අර ගේ කුරුලු ජෝඩුව ආයම බිත්තර දාන්ට සෙට් වෙලා කොයි දීපංකරේකද ඉඳල ආහම තමයි. හයියෝ..අපිට නිවනක් නෑ ඒ දවස්වල. රෑ දවල් කියල වෙනසක් නෑ. අරුං දෙගොල්ල ඒකාට එකා මරා ගන්නව. කොටා ගන්ට ගිහාම ආය නෑ උන්න මලා පේන්නෙ නෑ. ගේ කුරුළු , කොණ්ඩ කුරුලු පිහාටු ගේ මුළුක්කාදීයෙ හුළඟට එහෙ මෙහෙ පාවෙන්ට ගත්ත. 

අපෙ අප්පච්චි ඔය සද්ද බද්ද කෑ කෝ ගැහිලි වලට කොහොමත් කැමති මනුස්සයෙක් නෙවෙයි. හවස ඔෆිස් ඇරිල ඇවිල්ල ඇඟපත සෝදගෙන කාරිය තේ එකකුත් බීල හිට, අපෙ මිදුලෙ කෑම කාමරේ ජනේලෙ අයිනෙම තිබ්බ විසාල අලිපේර නොහොත් අලිගැටපේර ගහක්, ඔය ගහයට හාන්සි පුටුවක් තියල වාඩිවෙලා පොතක් පතක් කියවන එක එතුමාගෙ දින චරියාවෙ එක බොහොම වැදගත් අංගයක්. 

ආ..තව එකක්..ඔය අලිගැටපේර වලට ඒ නම ආවෙ කොහොමද කියල දන්නවද? අලිවත් ගැටවත් පේරවත් කිසිම සම්බන්දයක් නෑ ඒ නමේ මූලාශ්‍රයට. අලිගැටපේර ඇවිදිල්ල හිට අපේ රටට ආවේණික පළතුරක් නෙවෙයි. මම දන්න විදිහට මූලාරම්බෙ මෙක්සිකෝව. ඔය පරංගියො, ඕලන්දක්කාරයො වගෙ කවුරුහරි තමයි ලංකාවට ගෙනල්ල තියෙන්නෙ. ඕලන්දක්කාරයො ඔව්වට කිව්වයි කියන්නෙ Advocaate peer කියල. ඒ වචනෙං බිඳිච්ච එකක් වෙන්න ඕන අලිගැටපේර. අනික ඉංග්‍රීසියෙන් කියන්නෙ Alligator Pear. ඒකෙත් සම්බන්දයක් ඇති සම්ටයිම්ස් මේ බී.හූ ද හෙල් නෝස්? 

ඉංග්ලිෂ් වලින් Butter Fruit කියලත් කියනව. බටර් පේර... 

අපෙ ලොකු අම්මලගෙ ගෙවල් තිබ්බෙ ජම්බුගහපිටියෙ. කටුගස්තොට පහුකරල ටික දුරක් මාතලේ පාරෙ ගිහිල්ල දකුණට හැරිල තව යන්ට ඕන කිලෝ මීටර් පහක් වගෙ. ඒ පාරෙ තව එකාට ගිහාම වත්තේගමට යැවෙනව.පොඩි කාලෙ ලොකු අම්මලගෙ ගෙදර ගියහම තමයි මම අලිගැට පේර කන්නෙ. හප්පච්චියේ එක ගෙඩියක් ඇති පොඩි පොලයක් විතර. හොඳට ඉදිච්චම ගෙඩිය දෙකට මැදිං පලනව. ඊට පස්සෙ මැද තියෙන ඇටේ අයිං කරල දාල අලිගැටපේර පොත්තම භාජනයක් විදිහට අරගෙන  හැන්දකිං මදේ පොඩි කරනව. 

ඊගාවට ඒකටම දානව ඔරිජිනල් කිතුල් හකුරු දුනු පිහියෙන් ගාපු රැල් වගෙ කෑලි. ලුණු ස්වල්පයකුත් පොළොත්තෙම්ම අරං ඉහිනව. හැන්දෙං යන්තමට වගෙ මදේ පොඩිකරල හකුරු සහ ලුණු කවලම් කරගන්නව. ලොකු අම්මලගෙ කුස්සිය එහා පැත්තෙ ඒ කාලෙ තිබ්බ මැටි පිල්කඩක්.ඕකෙ ඉඳගන්නව පට්ටල වෙලා කකුල් දෙකත් දිග ඇරගෙන..ආය මොනවද ඉතිං..හීතල හුළං වැදි වැදී කන්ටයි තියෙන්නෙ කුඩා බඩවැල් මහ බඩවැල් එකට පැටලෙනකල්...හෙහ්,හෙහ්, මං ඔය කොයි වෙලාවෙත් කියන්නෙ දොරගමු කන්දක් ගැන . ඒ දොරගමු කන්ද පේනව ලොකු අම්මලගෙ කුස්සියෙං එලියට බැහැපුවාම මේ අත දික්කලා වගෙ. 

රයිට් දැන් වරහං වහගෙන වහගෙන යෑමේ අවස්තාව. ඒ කියන්නෙ කතාවක් කියද්දි අර අරාබි නිසොල්ලාසය වගෙ ඒ කතාව මැදින් තව කතාවක් මතු උනහම අර කලින් කතාව මතක ඇතුව ඉවර කරන්ට ඕන. ඔය වැඩේට වරහන් වහනව කියල නම දැම්මෙ අපේ සිත්තමී මැඩම්.....හෙහ්,හෙහ්, " අද හොඳයි වරහන් ඔක්කොම වහල තියනව. වෙරි ගුඩ්.." එතුමී අන්න එහෙමයි මට ප්‍රසංසා කරන්නෙ...:) 

ඉතිං මම අපෙ අප්පච්චිගෙ අර අලිගැටපේර ගහ යට පොත් බැලිල්ල ගැන කියන්ට ගිහිල්ලනෙ මේ කැළේ පැන්නෙ..රයිට් යළි මඟ වෙත... ගුණදාස අමරසේකර මහත්මයගෙ අර ගමනක මුල කතාවෙන් පටන් ගත්තු කොටස් බර ගානකින් සමන්විත ස්වයං ලිඛිත චරිතාපදානයක්ය කියල සමහරු කියන කතා මාලාවෙ එක පොතකුත් තියනව යළි මඟ වෙත කියල. 

අප්පච්චිට ඔන්න පොත බලන්ට නෑ කුරුල්ලංගෙ කැම්බැල්ලෙ. දෙතුන්පාරක් ඔලුව උස්සල කුරුල්ලො දිහාවෙ රවල එහෙම බලනව. ගේ කුරුල්ලන්ට කොණ්ඩ කුරුල්ලන්ට ඒ රවා බැලිලිවල ගානක් තියෙයිද ආය? උං පාඩුවෙ උංගෙ යුද්දෙ...එක පොදියට වලිය...කුලල් කාගන්නව. 

ඔහොම දවස් දෙකක් තුනක් ගියාය කියමුකො. ඔන්න දවසක් වැඩේ පත්තු උනා. හේ කුරුල්ලයි කොණ්ඩ කුරුල්ලයි අලිගැට පේර ගහේ කොල අතු අස්සෙ ඉඳගෙන කා කොටා ගන්නව. ඔය අස්සට කිරිල්ලියෝ දෙන්නත් ආපි. මෙවුං හතර දෙනාම පොල් පොදියට කොටා ගන්ට ලෑස්ති උනේ නැද්ද? එක පාරටම ගේ කුරුළු පිහාටු, කොණ්ඩ කුරුළු පිහාටු දසත විසිරුවාගෙන මුං හතර දෙනා එක පොදියට කඩා වැටිච්චි අප්පච්චිගෙ උකුල උඩට...උන්දැ කලබොල වෙච්චි පාර දනිපනි ගාල නැඟිටිච්චි. ඒ නැඟිටිල්ලට ඉඳගෙන උන්නු පුටුව විසික්ක වෙලා ගියා එතනම පිටිපස්සෙ තිබ්බ කෝප්ප කොල පඳුර ගාවට. 

කෝප්ප කොළ මැල්ලුං කාල තියද? මැල්ලුං කෑම කොහොම වෙතා කෝප්ප කොල කියන ජාතිය දන්නව නේද? රයිට් දන්නව..ඔය හැත්තෑව දශකයෙ ආහාර හිඟේ හින්ද එක වාසියක් උනා හැබැයි අපිට..ඒ කිව්වෙ අර නුහුගුණාපිතාරූඪ එක්තරා ළලනාවක් විසින් විරුදාවලියක් ප්‍රදානය කල පරිදි හැත්තෑව දශකයේ යෞවනයින්ට...මොකක්ද ඒ? ඒ තමයි නොයෙක් නොයෙක් අපූරු ආහාර වර්ග අනුභව කිරීමේ මහාර්ඝ අවස්ථාව...කරකොල මැල්ලුං, ජපන්බටු කොල, මයියොකු කොල මැල්ලුං, එතනිං ගිහාම අවර,කිරි දඹල, එතකොට ආණ්ඩුවෙන් වගා සංග්‍රාමය කියල එකක් පටං ගත්තනෙ, ආහාර අතිං රට ස්වයංපෝෂිත කරන්ට. ඒකට නොමිලේ බෙදා දුන්න සෝගම් ඇට හිටවන්ට.. 

අපේ ගෙදර මිදුලෙත් හදල තිබ්බ සෝගම් පාත්තියක්..එව්වට සිංහලෙන් කිව්වෙ ඉදල් ඉරිඟු..සෝගම් ඇට තම්බල පොල් එක්ක මරු..වරුවක් නිවාඩු දාල කෑහැකි අප්පල්ලෙකිං එකක් තම්බ ගත්තම.....සෝයා බෝංචි සහ දඹලත් ඒ දවස්වල බොහොම ජනප්‍රියයි. ආ..තව තිබ්බ බුෂිටාවෝ කියල බොහොම දිග මෑ කරල් වර්ගයක්. 

තව තම්බල කන්ට වගේම වෑංජනේට උයන්ටත් ගත්ත කව්පී...77 අවුරුද්දෙ අර පප්පා ආපු ගමං ඔය වැඩ පිළිවෙලවල් ඔක්කොම කැලේ..හෙහ්,හෙහ්, 

ඔය වගා සංග්‍රාම වැඩේ බොහොම තදට කරගෙන ගියා ආණ්ඩුව. තරුණ ගොවි සමාජ එහෙම පිහිටුවල ගමකට එක ගානෙ ඵලදා වර්ධන කමිටු හදල ..හපොයි එක පොයියංගමයි...තරුණ ගොවි සමාජ පැන විසඳුම් තරඟාවලිය කියල එකක් යනව හැම අඟහරුවාදම රෑ හතට වගෙ පැය බාගයක් සිංහල පළමුවන සේවයෙ." යෞවන ගොවි ජනයිනි එක්වව්!!! අපරාජිත ගොවි හඬ නංවව්!!! යෞවන යෞවන යෞවනයේ..නව යෞවන ලෝකය අපගෙයි!!! " ඒක තමයි තේමා ගීතය.. 

තරුණ ගොවි සමාජ වලට බැඳෙන්ට අවුරුදු දාසයක්වත් වෙන්ට ඕන. මම ඉතිං දත කට මැදගෙන හිටියෙ දාසය වෙන්නෙ කවදද කියල තරුණ ගොවි සමාජෙකට බැඳෙන්ට. 

" ඔන්න අම්මෙ එපයි කියන්ට නම් එපා..මම දාසය උන ගමම්ම බැඳෙනව තරුණ ගොවි සමාජෙකට.. "

මම දවසක් අඟහරුවාදාවක ගොවි සමාජ පැණ විසඳුම් තරඟයක් අහල ඉවර වෙල අපෙ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක ඕෆ් කරල අම්ම දිහාට හැරිල කිව්ව. අම්ම එතනම තිබ්බ ඩිවාන් එකේ ඉඳගෙන චූටි නංගිව නිදි කරනව. 

" ආ..ඒක බැරිය එතකොට..තව කොච්චර කල් තියනවද? "

අම්ම කියනව යන්තමට හිනාවෙන ගමං..ඔය වෙනකොට මට යන්තමට දහයක් එකොළහක් වගෙ ඇති. 

" දැං ඔයා ඔය ගොවි සමාජෙටද මොකක්ද එකට ගිහිල්ල මොකද කරන්නෙ? "

ආයම අම්ම අහනව........... 

" ඔන්න උදේම සිංහ කොඩිය උස්සනව ඔක්කොමල එකතු වෙලා. "

" ඊට පස්සෙ? "

" ඊට පස්සෙ දකුණු අත උස්සල අර සිංදුව කියනව ඔක්කොමල එකට.... යෞවන ගොවි ජනයිනි එක්වව්!!! "

" කොහොමද ඔයා දන්නෙ? "

අම්මා නංගිව ඇඳට අරං යන්ට උස්සල ගන්න ගමං අහනව. 

" ඇයි මම අර ගිය සුමානෙ ගියේ ටවුන් හෝල් එක ගාව පෙන්නාපු පිච්චර් බලන්ට . ඒකෙ පෙන්නුවනෙ ඔය ඔක්කොම. "

කෑගල්ලෙ ටවුන් හෝල් එක නොහොත් නගර ශාලාව තියෙන්නෙ පොලීසියත් එක්කම පහළින් කොළඹ නුවර පාර අද්දරම. 

පොලීසියෙ ජීප් එහෙම නවත්තන ( ඒ දවස්වල තිබ්බෙ වැඩි හරියක්ම අර පරණ මොඩල් එකේ ලෑන්ඩ් රෝවර් ) ගරාජ් එකේ පිටිපස්ස බිත්තියෙ ලොකු අකුරින් ලියල තිබ්බ මෙහෙම " ඔබේ වේගය මරුවා කැඳවයි " කොළඹ - නුවර පාරෙ යන එන රියදුරන්ට බොහොම අගේට මේ අවවාදාත්මක වාක්‍යය පේනව. 

ටවුන් හෝල් එක පිටිපස්සට වෙන්ට තිබ්බ නගර සභා පුස්තකාලෙ. පුස්තකාලෙන් පොඩ්ඩක් එහාට වෙන්ට තිබ්බ යකඩ බට හිටවල හදපු අඩි 20 x 10 වගෙ දිග සහ පළල තියෙන රාමුවක්. 

මාසෙකට සැරයක් වගෙ රෑ හත වගෙ වෙලා හතර අතිං කලුවර වැටීගෙන එනකොට වෝක්ස්වාගන් වෑන් එහෙකින් එන හතර පස් දෙනෙක් ඔය රාමුවෙ සුදු තිරයක් එල්ලනව. කහ පාට වගෙ වෝක්ස්වාගන් එකේ පිටිපස්සෙ නොම්මර තහඩුව ගහල තියෙන්නෙ පල්ලෙහා නෙවෙයි උඩ. වහලෙ මට්ටමට පොඩ්ඩක් පහලින්. හොඳට කලුවර වැටුනම වෑන් එකේ පැති දොර ඇරල ඒකෙ ඇතුලෙම තියන ප්‍රොජෙක්ටර් එක ස්ටාට් කරල එළිය අල්ලනව අර සුදු තිරේට. ඉස්සෙල්ලම ඔන්න සිංහ කොඩිය හුලඟේ ලෙලදෙනව පේන්ට ගන්නව. අපි ඔක්කොම නැඟිටල සීරුවෙන් ඉන්නව. එහෙම තමයි අපිට ඉස්කෝලෙ කියල දීල තියෙන්නෙ. " ලමයි තමන්ගෙ ජාතික කොඩියට ජාතික ගීයට ගෞරව කරන්ට ඕන. එහෙම වෙලාවට නැඟිටල සීරුවෙන් ඉන්න ඕන." 

" ශ්‍රී ලංකා මාතා..අප ශ්‍රී ලංකා..නමෝ..නමෝ..නමෝ..නමෝ..මාතා.." අපෙ පොඩි අම්මගෙ දුව කිව්වෙම ශ්‍රී ලංකා මහතා කියල... 

ඉතිං ජාතික කොඩිය තිරෙං මැකිල යනවත් එක්කම ජාතික ගීයත් හඬ අඩුවෙලා අන්තිමට නෑසී යනව. අපි ඔක්කොමල ආයම ඉඳගන්නව.මැද හරියෙ ඉන්න අය කොහොමත් ඉඳගෙනම තමයි ඉන්න ඕන. නැත්තං අර ප්‍රොජෙක්ටරෙන් එන එලිය මුවා වෙලා තිරේ පේන්නෙ තඩි ඔලු ගෙඩියක් විතරයි. ඔන්න ඉස්සෙල්ලම බොහොම පොඩියට වැටෙන අකුරු ටික ටික ලොකු වෙලා මහ යෝද සයිස් වෙනව. 

" රජයේ චිත්‍රපට අංශය ඉදිරිපත් කරයි…" 

ඒක ආයම පුංචි වෙලා මැකිල ගිහිල්ල ඉංග්‍රීසි අකුරු මැවෙනව තිරේ.... 

" Government Film Unit Presents. " 

මම හෙමිහිට ඒ වචන ටික තොල මතුරනව.ඒ සුට්ටි කාලෙ උනත් ඒ වචන ටික හරියට කියව ගන්ට මට පුලුවන් වීම ගැන පොඩි ආඩම්බරේකුත් හිතේ කොනක මෝදු වෙනව. 

69 comments:

  1. හම්මේ.... මේ තියෙන්නේ...
    අයිස් පෙට්ටිය - හෙහ්... අපේ අත්තම්මට පුරුදු කරන්න බැරි වෙච්චම වචන වලින් එකක්. හෙහ්... අත්තම්ම නැතිවුනාට පස්සේ ඔය ඇහුවමයි..
    ගෙදරකට ගියහම බඩගින්න තිබ්බත් කන්ට එපා කියන නීතිය මට දැම්මේ අපේ අක්කා. එක දවසක් අපේ අම්මගේ අතිජාත මිත්‍රියක්ගේ ගෙදර ගිහින්, මට ජෙලි කන්න දුන්නේ නැහැනේ අප්පා... ෂෙක් විතරක්.... ඒකට දැන්... හෙහ්.. දන්නා අඳුරන ගෙවල්වල නම් ඉතින් කෑම පිඟාන විතරයි නොකන්නේ..

    පොඩිකාලේ දෙහිවල සත්තු වත්ත බලන්න ගියපු මිහිරි මතකයක් තියෙනවා. හි.. හි.... අපේ අප්පච්චි තමයි පිස්සු වැඩ කලේ ඔන්න...

    මේ... අලියා 'ඔළු කන්නා' වෙච්ච එක නම් පැහැදිලි මදි... ( හරියට ශාරුක් ඛන්නා වගේ පොෂ් නමක් නේ .. පොඩ්ඩක්වත් බයක් හිතෙන්නේ නැහැ. හෙන රොමැන්ටික් ගතියක් දැනෙන්නේ.. හෙහ්.. හෙහ්..)

    මිරිස් පැලයක්වත් නොහිටවා ගොවියෙක් වෙන්ට තමයි තදියම.. හෙහ්...

    ReplyDelete
    Replies
    1. කෝ අප්පේ දෙපා කොටි කතාව?
      එතකොට ගේ කුරුළු වරහන්?? අනේ මන්ද..
      මේ පෝස්ටුවේ අරමුණම වරහන් ඇරිල්ල විතරයිද කොහෙද...

      Delete
    2. සත්තුන්ට කන්න තියන මස්වල හොඳ කෑලි තාප්පෙන් එලියට දාන කතාවත් තිබුන/ තියනව

      Delete
    3. උපේක්ෂා,

      / අයිස් පෙට්ටිය - හෙහ්... අපේ අත්තම්මට පුරුදු කරන්න බැරි වෙච්චම වචන වලින් එකක්. හෙහ්... අත්තම්ම නැතිවුනාට පස්සේ ඔය ඇහුවමයි..  /

      අපෙත් අත්තම්මගෙන් තමයි අයිස් පෙට්ටිය කියන්ට අපි පුරුදු උනේ. ෆ්‍රිජ් එක එහෙමත් නැත්තං ශීතකරණෙ කියනවට වඩා පුදුම සමීප ගතියක් තියෙනව නේ අයිස් පෙට්ටිය කිව්වම? ....වඩියු සේ මැඩම්..එහ්?

      / මේ... අලියා 'ඔළු කන්නා' වෙච්ච එක නම් පැහැදිලි මදි.. /

      ඒ වරහන වහන්ට බැරිවුනානෙව..ලියාගෙන ලියාගෙන ගිහිල්ල බැලින්නං වචන දෙදාහත් පැනල..ඒ පාර වරහං වැහිල්ල යකාට ගියාවෙ කියල පබිලිස් කලා..හැකි විගස ඒ කතාව කියල වරහන නිසිපරිදි වසා දමන බවට ශථප කොට සිටිමි!!!. හෞරව බහුමානයෙන් යුතුව දිවුරා පොරොන්දු වන්නෙමි!!!

      / මිරිස් පැලයක්වත් නොහිටවා ගොවියෙක් වෙන්ට තමයි තදියම.. හෙහ්... /

      ඔය තරුණ ගොවි සමාජ වල කෙල්ලො කොල්ලො දෙකොට්ටාසෙම ඉන්නවනෙ. ( දෙකොට්ටාසෙ - අන්න අපෙ අත්තම්මගෙ තව වචනයක් ) ඒකයි මට දාසය වෙනකල් ඉවසිල්ලක් නැතිඋනේ.

      පස්පොල කළු වෙන කාලෙ නෙව ඔය...:)

      අපේ ගණං සර් ඔහොම තමයි අපට බණින්නෙ.. " පස් පොල කලුවෙන කාලෙනෙ..ඉතිං ඉන්ට බෑ..ඉතිං ඉන්ට බෑ...කැසිල්ල..කැසිල්ල. "

      Delete
    4. Pra,

      / සත්තුන්ට කන්න තියන මස්වල හොඳ කෑලි තාප්පෙන් එලියට දාන කතාවත් තිබුන/ තියනව /

      යස්, සර්..යස්..සර්..ත්‍රී බෑග්ස් ෆුල්...ඒ කතාව ඇත්ත...හෙහ්,හෙහ්,

      අන්න අපේ අරූස් ගෙන් අහල බලන්න බොරුද කියල....අරූස් ගොයිය ඔය දෙහිවල සත්තුවත්ත ලඟම ගෙදරක නැවතිල හිටියලුනෙ ඉස්කෝලෙ යද්දි. අර මොකෙක්ද හම්බාවෙක්ද හෝතඹුවෙක්ද කොහෙද ලිඳක වැටිල ඉඳල අල්ලල සූ එකට බාර දුන්නයි කියලත් ඕකගෙ අර පවුල් අවුල් වන්නට පෙර කතාවෙ එක පාරක් ලියල තිබ්බෙ. අරූට ඒ හෝතඹුවට බර ගාණක් හම්බ උනාලු සත්තු වත්තෙන්.ඊට අමතරව යාවජීව අවසර පත්‍රයක් ප්‍රදානය කලාලු නොමිලේ සත්තු වත්ත බලන්ට අරූ සහ සුතනඹුවන්ට. දැං උනත් අරූ අහවල් දවසට එනව කියල කලින් දැන්නුවාම සත්තු වත්තෙ මස් අදින ලොරිය එවනව කටුනායකට අරූ ඇතුලු පවුලේ උදවියගෙ ගමන් පහසුව උදෙසා...අනික ඒ සතා මැරෙනකල් ඌ දාල හිටපු කූඩුවෙ අරූගෙ පෝටොස් එකක් එල්ලල තිබ්බලු නමත් එක්ක.

      ඒ බෝඩ් එකනං පස්සෙ අයිං කලාලු ඔය කොහෙද ඉස්කෝලෙකිං ආපු ළමයි වගයක් අර හෝතඹුවගෙ විස්තර ලියාගෙන පෝටොස් එහෙම ගහගෙන උගෙ විද්‍යාත්මක නාමයට Aruna Perera කියල ලියාගෙන ගිහිල්ල වෙච්චි අලකලංචියට පස්සෙ...හෙහ්,හෙහ්,

      ඉතිං මම මේ කියන්ට ආවෙ අරූ අර සත්තුවත්ත ගාව බෝඩ් වෙලා ඉන්දැද්දි අනිවාර්යයෙන් අඟහරුවාදටයි, සිකුරාදටයි ගවයා වරදින්නෙ නැතිලු. ඒ මොකද කිව්වොත් ඒ දවස් දෙකේ තමයි සිංහයො කොටින්ට මස් දෙන්නෙ...

      අපි ඒ කාලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට එහෙම හවස ඉන්න දවසට ගෙදරින් ඔතාගෙන ආපු බත් ලිහාගෙන කනවනෙ.

      " ඒයි අද අඟහරුවාද නේද? වරෙල්ල සිසිලයගෙ බත් එකට සෙට් වෙමු අද.."මම කියනව..

      "ඒ මොකද ? "ඔන්න එකෙක් අහනව..

      " ඇයි බං ඕකගෙ බත් එකේ අද මස් තියෙනව අනිවාර්යයෙන්.."

      "ඒ කොහොමද? ."

      "අද සත්තුවත්තෙ සිංහයින්ට මස් දෙන දවස..."

      "තෝ මගෙං මොකවත් අහගන්ට එපා...******* **** "...ඒ සිසිල්

      Delete
    5. අරූ ඇල්ලුවෙ මහ හම්බාවෙක්නෙ ප්‍රා...එතකොට වෙන්නෙ Hambavensis hambavensis pereraii

      Delete
    6. මචංස්ලා......ඔය මස් පන්නන කතාව ඇත්ත. මම දැකලත් තියෙනවා. පිටිපස්සේ තාප්පෙන් එහාට තමයි විසිකරන්නේ. ඒ පැත්තෙන් කලෙක්ට් කර ගන්නවා. මම හිටියේ ඇලන් ඇවනිව් එකේ සූ එක ඉස්සරහටම වගේ තිබුනු අපේ ආච්චි කෙනෙක්ගේ ගෙදර. අපේ මාමා කෙනෙක් සූ එකේ ලැබ් එකේ වැඩකරා. ඒ අය හිටියෙත් ඔය ක්වාටර්ස් එකක.

      යකෝ මූ මාව හෝතම්බුවෙක් කරලා. මම අල්ලලා දුන්නේ මීමින්නෙක්. සූ එකෙන් කටුනායකට ට්‍රාන්ස්පෝට් දෙනවා...නියම කතාව බං. ඉස්සර මම හැන්දෑවට හැමදාම සූ එකේ. තව කාලයක් හිටියා නම් කූඩුවක දාලා Herpestes pereraii කියන බෝඩ් එකත් එල්ලනවා එලියෙන්.

      ප්‍රා.....මගේ යාළුවෙක් හිටියා මොල්ලිගොඩ ගොඩ කියලා සර්ප ස්පැසොලිස්ට් කෙනෙක්. උන්ට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ. මොල්ලිගෙ නමින් නම් කරපු සත්තුත් ඉන්නවා. පස්සේ ඔමානයේ රජ්ජුරුවන්ගේ සූ එකෙත් තනතුරක් දැරුවා. ඒ සූ එකේ ලංකාවේ පොරවල් ගොඩාක් හිටියා. මට දවසක් ඔතනින් පැස්බරා බිත්තරයක් හම්බවුනා. මාර විදිහට පැස්බරු හිටියා ඕකේ. මචං ඒ බිත්තරේ පොල් ගෙඩියක් සයිස්. මම ඒක වෙන කට්ටියකට දුන්නා. උන් ඒකෙන් ඔම්ලට් එකක් දැම්මා. මම නම් කෑවේ නැහැ පිළි ගඳ නිසා. ඔම්ලට් එක මචං කිලෝ දෙකක් විතර බරයි.

      මේ මචං පංචාංග ලිත්ට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද. දන්න කෙනෙක් කියපන්. මගෙන් මේ කෙනෙක් අහනවා.

      Delete
    7. Moschiola meminna pereraii

      මොල්ලිගොඩ මියගියා නේද? ආනන්ද නානායක්කාර දන්නවද?

      Delete
    8. පංචාංග ලිත් = Almanac, astrological almanac, zodiac calendar?

      Delete
    9. බොහොම ස්තූතියි ප්‍රා සර්ප ස්පැසලිස්ට් වචනෙට. ලිත් නෙමෙයි ලිත කියලා තමයි ලියන්න ඕන වුනේ.

      ඔව්, මොල්ලිගොඩ මැරුණානේ. මිනිහා කලකට ඉස්සෙල්ලා ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක තුවාලයකින් හරියට දුක් වින්දා. ඒ මදිවට හරියට කොත්තමල්ලි වතුර බිව්වා. ආනන්ද නානායක්කාර දන්නේ නැහැ. අජන්ත පලිහවඩන නම් මගේ යාළුවෙකුගේ අයියා කෙනෙක්. මිනිහත් සර්ප ජොනියෙක්.

      පංචාංග ලිත් = Almanac, astrological almanac, zodiac calendar?
      Thanks!!!!!

      Delete
    10. Pra,

      Herpetologistsලා මම නම් දන්නෙ දෙන්නයි...එක්කෙනෙක් ඇන්ස්ලම් ද සිල්වා..අනික් එක්කෙනා නයි නළඟන..ඔය නළඟනට නයා හම්බ උනාය කියන්නෙ අපේ මහ ගෙදර කිට්ටුව තියෙන ප්‍රසිද්ධ දේවාලෙකින්ය කියනවනෙ. එතුමියගෙ ගෙවලුත් ඒ කිට්ටුවම තමයි..

      Delete
    11. මට පලවෙනියට ඇන්ස්ලම් හමුවුනේ මාසෙකට ඉස්සර, මගෙ යාලුවෙක් මාත් එක්ක ඇන්ස්ලම්ගේ ගම්පොල ගෙදර ගියා සතුන් කිහිපදෙනෙක්ගේ ඇටසැකිලි ගන්න. ඇන්ස්ලම්ට හමුවුන සත්ව මලකුනු වලලලා තිබ්බා මගෙ යාලුවට ඇටසැකිලි දෙන්න. එකෙක් හම්බාවෙක් !!! (අරූට වඩා පොඩ්ඩක් පෙනුම වෙනස්වගේ :-D )

      Delete
    12. චෙප් විතරක්....

      එකෙක් පටන් ගත්තම ඔක්කොම එක සැරේට පටන් ගන්නවා. මිමින්නෝ අල්ලපු එකා ඒ මදිවට පැස්බර බිත්තරත් කාල.... ඈක්කා !!! ඇරපු වරහන් වැහිල්ල කෙසේ වෙතත්, අනිත් හැමෝම එක එක වරහන් ඇරලා වගේ... හි... හි...

      Delete
  2. අනේ මන්දා මේ වරහන් ටික වහන්න නම් තව පෝස්ට් හත අටක් ලියන්න වෙයි වගේ! :p

    කුරුල්ලෝ මනුස්ස වාස වල ගෙවල් හදන්නේ ඒ තැන් හොඳටම සුරක්ෂිතයි කියලා ඒත්තු ගියහම ලු. ඉතින් ඔය පරණ රෙසිඩන්ට්ස් ලා වලියක් දාන්න ඇත්තේ එහෙම තැනක් අහිමි වුන එකට වෙන්න ඕන. :)

    ReplyDelete
    Replies
    1. Malithi,

      / අනේ මන්දා මේ වරහන් ටික වහන්න නම් තව පෝස්ට් හත අටක් ලියන්න වෙයි වගේ! :p /

      එහෙම කරල හරි වරහන් ඔක්කොම වහ දාන්න ඕන මලිති..නැත්තං බැණුං අහලම ඉවරයක් නැති වෙයි..:)

      / කුරුල්ලෝ මනුස්ස වාස වල ගෙවල් හදන්නේ ඒ තැන් හොඳටම සුරක්ෂිතයි කියලා ඒත්තු ගියහම ලු. ඉතින් ඔය පරණ රෙසිඩන්ට්ස් ලා වලියක් දාන්න ඇත්තේ එහෙම තැනක් අහිමි වුන එකට වෙන්න ඕන. :) /

      යස්..ඒ කතාව ඇත්ත. අනික ඔය මුට්ටිය එල්ලන්නෙ බිත්තියෙ උඩක නිසා සර්පයින්ට, බළලුන්ට සහ අනික් සත්තුන්ට කිට්ටු වෙන්ටත් අමාරුයි. වැඩේ ඔය ගේ කුරුල්ලො පැටව් ලොකුවෙලා ඉගිලිල ගිහාම මුට්ටි ගෙදර අතඇරල යනව. ආය එන්නෙ ආයම බිත්තර දාන්ට ලෑස්ති වෙලා. ඒත් හැබැයි ඒ එකම ජෝඩුවමද නම් මන්ද? මොකෝ වෙන් කරල අඳුන ගන්න ඇහැක්ය? හැබැයි කොණ්ඩයො දෙන්න නම් ස්ථිර කාලීනව පදිංචි වෙලාම හිටිය මුට්ටි ඇනෙක්සියෙ..හෙහ්,හෙහ්,

      Delete
  3. අනේ මං දන්නෑ මට දැන් පිස්සු වගේ.... කෝ එතකොට කොටි ? එතකොට අර ගේ කුරුල්ලො? ඊටත් වඩා මම අහන්නමයි හිටියේ... අර කොස් කපකප හිටපු ළමයට මොකක්ද හැබෑටම උනේ????

    ReplyDelete
    Replies
    1. මින් ( දද හී සර ),

      ඉන්නව ඉන්නව. Gay කුරුල්ලොත් ඉන්නව, කොටිත් ඉන්නව..ඒ අතර කොස් කපන යුවතියත් ඉන්නව..එව්ව ඔක්කොම ගැන ලියඤ්ඤා...ලියඤ්ඤා...:)

      Delete
  4. වැටක තියෙන කෝප්ප කොල අතු දෙකක් අරන් හිගින් මාත් හිටෙව්වා.. දැං මාත් සතියට දවසක් කෝප්ප කොල කනවා. හැක්.. මරු.. පස්සේ එන්නං..

    ReplyDelete
    Replies
    1. දේශක,

      බඩ විරේක වෙන්ට මරු කෝප්ප කොළ මැල්ලුම...කාහං...කාහං...හෙහ්,හෙහ්,

      Delete
  5. colonial period writer කෙනෙක් ලංකාව ගැන ලියපු පොතක තිබුන alligator pear කියල.
    Advocaate peer ට වැඩිය අපේ නම ආවෙ alligator pear වලින් වෙන්න ඕනෙ. අලිගැටපේර හා ඇලිගේටර්පෙයාර් ඉතා සමානව ශබ්දවෙනව.

    හැබැයි ඉන්ග්‍රීසියෙන් ආවයි කියල අපි හිතන සමහර වචන ඉන්ග්‍රීසි එන්න ඉස්සෙල්ල ලන්දේසින්ගෙන් ලැබුන ඒව. අද්වකාත් ලැබුනෙ ඉන්ග්‍රීසි advocate ගෙන් නොව ලන්දේසි advocaate ගෙන්

    Btw. වෝක්ස්වාගන් නෙමෙයි ෆෝක්ස්වාගන්. People's car. Volkswagen. English- Folk's wagon. In German ( and Dutch) "v" is pronounced "f" ( at least, in 'volk', 'velt' and some other words). තරහවෙන්න එපා වැරදි හෙව්ව නෙමෙයි වචන ගැන කතාකරන නිසා කිව්වෙ

    ReplyDelete
    Replies
    1. Pra,

      / තරහවෙන්න එපා වැරදි හෙව්ව නෙමෙයි වචන ගැන කතාකරන නිසා කිව්වෙ /

      මොනවද ලතා මේ කතා..Pra...බණ ටෝකිංද? මොකටෙයි තරහ වෙන්නෙ? මගෙ වැරැද්දක් පෙන්නල දෙනවනම් අලුතෙන් යමක් ඉගෙන ගන්ට තියේනම් මට ඊට වඩා සතුටක් නැත්තේමය.

      අහගන්ටකො පොඩි කතාවක්...මෙහෙ මම ඉන්නෙ මගෙ යාලුවෙක් එක්ක අපාර්ට්මන්ට් එහෙක හවුලෙනෙ. එයා ඉන්නෙ ෆැමිලි එකත් එක්ක. මිනිහගෙ පුතාට මේ සුමාන දෙහෙකට වගෙ කලින් ඉස්කෝලෙන් දුන්නු ගෙදර වැඩ වල එක ප්‍රශ්ණයක් තමයි What do you call a male Duck ?... ඉතින් මිනිහ මගෙන් ඇහුව. මම කිව්ව පිස්සුද එහෙම එකක් මම අහලවත් නෑ කියල ඩක්ට කියන්නෙ ඩක්ම තමයි No separate words for female and male ducks කියල. එහෙම කිව්වට කෝකටත් තෛලය කියලා මම සර්ච් පාරක් දාල බැලුව. අම්මාපල්ල ඇත්ත නේන්නං මේ තියෙන්නෙ දිලිසි දිලිසි...මේල් ඩක් ට කියන්නෙ Drake කියල...ඔන්න දැං සත වරුස බාගෙකට වඩා ජීවත් උනා..මේ ඊයෙ පෙරෙයිද තමයි මම ඒක දන්නෙ.. :(

      පලි - යාලුවයි මායි තාරාවෙක් බේක් කරලත් කෑව ගිය අවුරුද්දෙ වගෙ..අඩේ ඒ කෑවෙ ඩක්ද ඩ්‍රේක්ද මන්ද...හෙහ්,හෙහ්,

      Delete
    2. Pra,

      Yeah, Sauce for Goose is Sauce for Gander,

      "හොරගොල්ල බිඳවැටීම" කියල අපූරු පොතක් තියනව, ලිව්වෙ මුනිදාස සෙනරත් යාපා මහත්මය. ඒකෙ එක තැනම තිබ්බ මෙහෙම " පාත්තයාට උපස්කරයක් වන්න පාත්තියටද උපස්කරයක් විය යුතුයි " ඔය කියන්නෙ Sauce for Goose........ගැන කියල මට තේරුනෙ පස්සෙ.මුනිදාස සෙනරත් යාපා මහත්මය තමයි ඇනා කැරනිනා, යුද්ධය සහ සාමය සහ නිවටයා ( Fyodor Dostovsky's The Idiot ) පරිවර්තනය කලේ. ඒත් ඒ ඔක්කොමත් හරි එතුමා මගේ වීරයෙක් උනේ වාත්ස්‍යායනගෙ කාම සූත්‍රය පරිවර්තනය කරපු හින්ද...හෙහ්,හෙහ්,

      On the subject of interesting usage of english words here are some bizarre collective nouns.

      1. A Murder of Crows
      2. A Parliament of Owls
      3. A Mischief Of Mice

      Delete
    3. A drunkenship/drunkship of cobblers

      Delete
  6. දෙපා කොටි ගැන ලියන්න පටං ගත්ත එක අදට ඉවර උනේ රජයේ චිත්‍රපට අංශයෙන් එහෙනං.
    ඔය GFU එක තාමත් තියෙනව නේද?
    ඔළු කන්නා වරහන වසා නැත.
    ගේ කුරැළු වරහන වැසීමට ඇත.
    දැන්නං ගමක උනත් ගේ කුරුල්ලෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්

    ReplyDelete
    Replies
    1. //ඔය GFU එක තාමත් තියෙනව නේද?//
      තියෙනව නේන්නං.බලපංකො අපි ඕකෙ වැඩ කරලත් තාම තියෙනවනෙ.විශ්වාස කරන්න පුලුවන්ද.
      අප්පා එහෙම සුන්දර කාලයක්.ආයෙනං කවදාවත් එහෙම කාලයක් ලැබෙන්නෙ නෑ බං.

      Delete
    2. ඇහ්.. අයියත් ඒකෙ වැඩ කලාද? හප්පේ එහෙනං හොයල බලන්නම ඕන ඒ කාලේ තිබ්බ එකමද කියල දැං තියෙන්නෙත්. :D

      Delete
    3. Praසන්ன,

      / දැන්නං ගමක උනත් ගේ කුරුල්ලෙක් ඉන්නෙ බොහොම කලාතුරකින් /

      ගේ කුරුල්ලො බං කලාතුරකිං හරි ඉන්නව ජෝඩුවක් දෙකක්..උඹ වී කුරුල්ලො දන්නවද? වී කුරුල්ලොනං නැත්තටම නැති වෙල ගිහිංද කොහෙද...මම මේ පහුගිය දවසක කියෙව්ව ඔය කුඹුරුවලට ගහන කෘමි නාශක ඒ වගෙ පොඩි සත්තුන්ටත් බොහොම හානිකරයි කියල. ඒ කාලෙ ඔය වී කුරුල්ලො එක සීය හමාර එන්නෙ එක රංචුවට ඉගිල්ලීගෙන ..ඇවිල්ල පැහිච්ච ගොයම් කරලෙ වැහුවම උගෙ බරට කරළ එහෙම්මම බිමටම වගෙ පාත් වෙනව.ඒ වගේම තමයි ගිරව්. එවුං ඇවිල්ල වැහැව්වම නං ගොඩක් ගොයං ගස් කැඩිලම වැටෙනව උංගෙ බරටම.

      ආ..ගේ කුරුල්ලො ගැන තව කතාවක් තියනව. ගොඩ ඉන්න සත්තුංගෙං ගේ කුරුල්ලටයි දියේ ඉන්න සත්තුංගෙං ආඳටයි විතරයි කියනව ඔය අර්සස් ලෙඩේ නැත්තෙ. ඉතිං අර්සය් වලට බොහොම ගුණයි කියනව ගේ කුරුළු මස් සහ ආඳ මාළු...

      වරහන් නොවැසීම පිළිබඳවයි - ඉඳහං බාං..හරි, හරි ඔය වරහං ඔක්කොම වහනව..ඔක්කොම වහනව...:)

      Delete
    4. හැලප,

      දැං මොකද බං GFU එකෙන් කරන්නෙ? නෙළුං පොකුණයි, මත්තලයි, අධිවේගෙයි පෙන්න පෙන්න ඉන්නවද?

      Delete
  7. වරහන් කීපයක් වහන්නත් තියෙනවා.ඒක නෙවෙයි රවී යකෝ දැන් අර ළමය කොස් කපල ඉවරත් ඇති නොවැ.උඹ මෙහෙ පට්ටන්දර කියෝ කියෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හරි හරි බං එව්ව වහමු. එව්ව වහමු. කොස් කපන ළමය ගැනත් හොයල බලන්ට තියනව තමයි..ඔය කොව්වත් කරමු හෙමිහිට...හෙහ්,හෙහ්,

      Delete
  8. සිසිල් ෆැක්ටරියක් තිබුණා නේද නාවින්නේත් හයිලෙවල් පාර අද්දර අර තුන්මුල්ල ඉස්සරහ?

    ReplyDelete
    Replies
    1. පන්සල ගාව රෝලන්ඩ්ස් එක තමයි රසික කියන්නේ.

      Delete
    2. Rasikologist ,

      නාවින්නෙ තිබ්බද එහෙම එකක්?

      Aru,

      ඔය රෝලන්ඩ්ස් එකේ හෙඩ් ඔෆිස් එක තිබ්බෙ ධර්මපාල මාවතේ දැං මහජන පුස්තකාලෙට හැරෙන හන්දිය පහුවුනත් එක්කම වම් අත පැත්තෙ නේද? නැත්තං ඒ වෙන රෝලන්ඩ්ස් එකක්ද?

      Delete
    3. ඒකම තමයි මචං. ඔතන රෝලන්ඩ්ස්ලාට අයිති පෙට්‍රල් ෂෙඩ් එකකුත් තිබුනා මතකයි.

      Delete
  9. නැවතත් පරණ මතක ගබඩාවක් අවුස්සලා තියනවා. බොහොම හොඳයි.

    70 ගණන් වලත් බටහිර රටවලින් ගෙන්වපු හොඳ ශීතකරණ තිබුනා. නමුත් ඒවා තිබුණේ කාර්ගිල්ස් වැනි මහා පරිමාණ සාප්පු වල පමණයි. ඒ ශීතකරණ වර්ග තමයි GEC, Frigidaire, Kelvinator, වගේ ඒවා. ඒ කාලේ අපේ රටේ හැදුවා භූමිතෙල් බලයෙන් වැඩකරන ශීතකරණයක්. නම Glacio ප්‍රදර්ශනාගාරය තිබුණේ දැන් ධර්මපාල මාවතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියන හරියේ. විදුලිය නැති ගෙවල් වලට ඒක බොහොම ප්‍රයෝජනවත් වුණා.

    කෑගල්ලේ දැන් පොලීසිය තියන තැන ඒ කාලේ උසාවිය තිබුනා මතකයි නේද? ඒ කාලේ රෝහල තිබුණේ දැන් උසාවිය තියන තැන. අපි අර උසාවියේ කොට බිත්තියට උඩින් එබිලා නඩු අහන හැටි බලා ඉන්නවා ඉස්කෝලේ ඇරිලා එනගමන්. පොලිස් රාළහාමිලා අපිව එලවනවා එහෙම කරනවා දැක්කම. එහෙම එල්ලිලා 'නඩු බලපු' (බලවපු නෙවෙයි) මගේ යාලුවෙක් පස්සේ නඩුකාරයෙක් වුණා.

    දේශීය පලාකොල මැල්ලුමක් ඉඳහිටලාවත් නොකනවානම් ඒ මිනිහාගේ පෝෂණය බල්ලට යනවා.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      / කෑගල්ලේ දැන් පොලීසිය තියන තැන ඒ කාලේ උසාවිය තිබුනා මතකයි නේද? /

      මම දන්න කාලෙ විචා උසාවිය තිබ්බෙ සල්ගාදු එකට පල්ලෙහායින් දකුණු පැත්තට තියෙන පාරෙ පොඩි දුරක් ගිහාම. කලින් එතන තිබ්බෙ මහ ඉස්පිරිතාලෙ. මට එක පාරක් සහලවල උණ හැදිල දවසක් ඔය පරණ ඉස්පිරිතාලෙ නවත්තල හිටිය. ඔළුවට අයිස් තොප්පියක් දාල තිබ්බ මට හොඳටම මතකයි. අම්මත් මා ලඟම හිටිය එදා රෑ.1972 විතර කළුගල්ල මහත්තය ගොලහැල හන්දියෙ දැන් තියන ඉස්පිරිතාලෙ හැදුවෙ.

      71 කැරැල්ල වෙලාවෙ ටවුන් හෝල් එකයි ඔය පොලීසිය ඉස්සරහ උසාවිය තිබ්බ ගොඩනැගිලි කීපයයි හමුදාවට ගත්ත. ඒවගෙ නැවතිල හිටිය හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් තුන් හාර සීයක්. කෑගල්ල නගරයට ආපදාවක් නොවුනට ඒ අවට ජ,වි.පෙ. සටන්කාමීන්ගෙ බලය බොහොම ව්‍යාප්ත වෙලා තිබුන.හෙට්ටිමුල්ල, මොරොන්තොට, ගොඩිගමුව, උඳුගොඩ, බුලත්කොහුපිටිය, අරණායක, මහ පල්ලේගම, බල්ලාපාන, ගැටියමුල්ල, බුළු රුප්ප,ඕවිටිගමුව වගෙ පළාත් ගැන මම කියන්නෙ.

      ඒ දවස්වල පාරවල් වල දැක්ක ආමි ජීප්, සොල්දාදුවො, තුවක්කු, කාලතුවක්කු, හෙලිකොප්ටර්, ආමඩ් කාර් මම ඇන්ද සුදු හාෆ් ෂීට් තිහ හතළිහක් එකට බැඳල අම්ම හදල දුන්නු පොතක. මේ ලඟක් වෙනකල් අපෙ මහ ගෙදර අල්මාරියක ඒක තියනව මම දැක්ක කොල එහෙම කහ ගැහිල. ගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන. 71 කැරැල්ල පිලිබඳව මගේ මතක සටහන් කියල සටහනක් ලියන්ට හිතාගෙන ඉන්නව..ඒ සටහනත් එක්ක අර චිත්‍රත් දැම්මනම් කියල වැඩක් නෑ.

      අපෙ අප්පච්චි කච්චේරියෙ රාජකාරි කරපු නිසා ඔය හමුදා නිලධාරින් එක්ක කිට්ටුවෙන් වැඩ කලා. අප්පච්චි එක්ක පස්සෙං එල්ලිල ගිය වෙලාවක ජෙනරල් සිරිල් රණතුංගව අප්පච්චි පෙන්නුව මතකයි. එයා තමයි එතකොට සබරගමුව අණදෙන නිලධාරී විදිහට හිටියෙ. එතකොට මගෙ හිතේ කර්නල් .

      Delete
    2. ඒ කාලේ මමත් කෑගල්ලේ ජේ වී පී කාරයෙක්. මගේ ජීවිතය බේරුනේ අනූනවයෙන්.

      71 ගැන ලිපියක් ලියන්න. අර චිත්‍ර ටිකත් දාලා. බොහොම අගෙයි.

      Delete
  10. රවි
    ඔය සිසිල් අයිස් පෙට්ටියක් ගන්න ඒ කාලෙ වේටින් ලිස්ට් එකෙත් ඉන්න වුනා. සිසිල් හැදුවෙ ඇසෝසියේටඩ් සමාගම.ඔව් ඔව් දැන් ඔය මරුති ගේන්නෙ ඒ අයම තමයි ඒ වුනාට ඒ කාලෙ නිසාන් ඒජන්ට්.ඊ ලඟට ඌෂා හැදුවෙ රත්මලානෙ මට මතක හැටියට රේමූ කියන සමාගම.ඔය රසික කියල තියන තැන නාවින්නෙ තිබුනෙ රෝලන්ඩ් සමාගම.ඒ අයත් අයිස් පෙට්ටි හැදුවා ග්ලැසියෝ නමින්. ඔය කොලඹ 500 වගෙ හිටපු අයටත් පාවිච්චි කරන්න හැදුවා භූමිතෙල් වලින් දුවන අයිස් පෙට්ටිත්.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      හරි රේමූ ඇන්ඩ් සන්ස් මට මතකයි. ග්ලැසියෝ ශීතකරණයත් ඔන්න මතක් උනා..ස්තූතියි. ඔය ඌෂා එහෙම බොහොම කල්පවතින ශීතකරණ. මම කිව්වෙ අපේ ඌෂා එක ගත්තෙ 72 අවුරුද්දෙ කියල. ඕක අපි 84 වනකල් පාවිච්චි කලා. ඊට පස්සෙ අපි පිළිමතලාවට ආවට පස්සෙ ගෙදරට ලයිට් තිබුනෙ නෑ. ෆ්‍රිජ් එක පැත්තක දාල තිබ්බ පරණ ඇඳුං එහෙම දාල..:)

      94 තමයි අපි ආපහු ලයිට් ගත්තෙ.ඇතුලෙ තිබ්බ ඇඳුං එහෙම අයිං කරල සුද්ද බුද්ද කරල ප්ලග් එක ගහල ඔන් කලා විතරයි මෙන්න බොලේ දඩ දඩ ගාල උඩ පැනල වැඩ. පස්සෙ හැබැයි අවුරුදු හතර පහකිං ලෙඩ දෙන්ඩ ගත්ත කම්ප්‍රෙසර් එක.

      Delete
    2. අපේ ඌශා ශීතකරණය තියනවා රවී තුමා, කවද ගත්ත එකක්ද මන්ද, මම ඉපදුනු දවස් වල ගනිපු චායාරූප වලත් පැත්තක තියනව පේනවා ෆ්‍රිජ් එක.. කොහොමත් අපේ අක්ක ඉපදෙන්නත් කලින් ගන්න ඇත්තේ, 1982 විතර.. තාම වැඩ.

      Delete
    3. මානවික්ස්,

      අන්න ඒකනෙ බොලේ කියන්නෙ..ඌෂා ඇවිල්ල නියම බඩු...හෙහ්,හෙහ්,

      තාමත් තියනවද නම් මන්ද....

      Delete
  11. හෙහ් මං ඔය මාර පරාජෙ චිත්‍රෙ දැක්ක විතරක් නෙවෙයි. ඒක උඹෙ කතාවක් ගැන කියන්ඩ උපහැරණෙටත්ග ගත්ත. ( ඇයි මතක නැද්ද අර දඩයක්කාරයගෙ කතාවෙදි උඹ කොටන වෙඩි බෙහෙත්වලට දාන අඩුම තුඩුම දන්නෙ නැති හන්ද ඒ දඩයක්කාරයට පතුරං තුවක්කුවක් දීල තිබුණනෙ. මං ඒකට මගෙ බලවත් විරෝධය පෑව නෙ ඔය චිත්‍රෙ උදාහර........ ඈ... මොකක් කිව්ව.. ? මෙතන ඉන්න උන් දන්නෙ නෑ ඒ කතාව...?? ආ... කවුද බං දන්නෙ... කලිං කියන්න එපැයි එහෙනං මං කියන්නෙ නෑ නෙ එච්චර හරියක්. හරි හරි...එහෙනං එ් ඇති ඒ ගැන) ඒ විතරකුත් නෙවෙයි. පරීක්සා කරල බලපං හොඳට අයියෙ.. උඹෙ ඉන්බොක්ස් එක. මං සාක්ෂිත් එවල ඇති මාරසේනාවෙ තුවක්කු කාරයෙක්ගෙ පින්තුරයක්..

    ReplyDelete
    Replies
    1. ඔය පන්සල කීට්ටුවට වෙන්න තමයි මමත් හිටියේ. ඔය සීන් එක මටත් යන්තම් මතකයි. පන්සලට එහා පැත්තේ තේ කඩයක් තිබුනා. අපි ඔතනට එනවා. ඉස්සරහ වතුර ටැංකිය.

      Delete
    2. ඔය කිව්වේ... ඔය කිව්වේ... ඕන්න කිව්වේ....! එච්චරයි අඩුවට තියෙන්නේ.... ආයෙමත් වරහනක් පටන් ගන්න සේය්යාවක් මේක නම්...

      හැබෑටම රවියෝ මේ පෝස්ටු වලට මාතෘකා නොදමා හිටිමු.... එකක් කියල කොහොම දාන්නද..

      Delete
    3. ජානුස්,

      හරි හරි බං..කෑනුගහ ඉඳු ඕං ඔහොම..මට මතකයි උඹ මට ඔය තුවක්කුවකින් සන්නද්ධ යක්ෂයගෙ චිත්‍රෙ පෝටොස් එහෙකුත් එවල තිබ්බ. ඉම්බොස් එකේ කට කපල තිබ්බ හැටහුටාමාරක් පයිල්ස් ඔක්කොම ඇදල ඔන්න මං ඒක යන්තං හොයා ගත්ත. ඉඳහං ඊළඟ පෝස්ට් එකේ ඒක දාඤ්ඤං..ඔන්න බලාපං ඒකෙත් හැටි කියන්නෙ ඊලඟට ලියන්නෙ මාර පරාජය ගැන..හෙහ්,හෙහ්,

      පලි - මම අරම දෙපැත්තට ඇදල කිව්වෙ උඹ නිකං මේ දවස්වල කුසීත කොමට දෑත පොරවං ඉන්න හිංද උඹේ ලේ ටිකක් රත් කරල කුල්මත් කරල එහෙම ගන්ට ...හෙහ්,හෙහ්,

      Delete
  12. සුසිලට සුසිල් මුලින්ම ගෙනවෙ සිසිල්

    ReplyDelete
    Replies
    1. Kasun,

      හෙහ්..ඔහොම ඇඩ් එහෙකුත් තිබ්බ නේද? ඒකෙ හයසින්ත් විජේරත්න හිටිය වගෙත් පොඩි මතකයක් වගෙ මොකක්ද එකක් තියනව...:)

      සිරසෙ අපි නොදන්න ලයිව් එකේ ගියා " අග්නි " ශීතකරණ ගැන ඇඩ් එකක්...:)

      ඒ ප්‍රොග්‍රම් එකේම තව තිබ්බ කළු කපුටා රක්ෂණය ගැනත් පොඩි ඇඩ් එකක්. ඔන්න අම්මයි තාත්තයි වෙරළෙ ඉඳගෙන ඉන්නව. එයාලගෙ පොඩි එකා ( ඌට ඇති අවුරුදු පහක් හයක වගෙ ) රැල්ල පාගනව. ටික ටික මේකා යනව මූදටම. අම්මා කෑගහනව " ඒයි අනේ ..අර බලන්නකො පුතා ටික ටික මූදටම යනව නේද? " තාත්ත කිසිගාණක් නැතුව රටකජු ඇටයක් කටට දාගන්න ගමං කියනව.." ආ, බය වෙන්න එපා..මතක නැද්ද? අපි පුතාට කළු කපුටා රක්ෂණයක් ගත්තනෙ ගිය සුමානෙ "

      Delete
    2. සිසිල් ඇඩ් එකක හයිසින්ත් හිටියා කියලා මටත් මතකයි.

      Delete
  13. කතා ඇතුලේ කතා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සංජීව,

      අර රුසියන් ලී බෝනික්කො ඉන්නෙ..එකෙක් ඇතුලෙ ඒ වගේම ඊට පොඩි තව එකෙක්. ඔහොම දහයක්ද කොහෙද තියනවලු.. Matryoshka dolls එයාලට කියන්නෙ

      Delete
    2. කාටද ඩෝ ලී බෝනික්කා ලී බෝනික්කා ගාන්නෙ.?? බස්සනවා අඟල් හත-අටක් දැනගනින් ඩෝ.. :-O

      Delete
    3. බූරා,

      අඩේ බොලේ..වරදක් වූවා නම් සමාවුව මැනව! වරදක් කලත් සිතකින් නොවේ.....

      Delete
  14. මචං මාත් ඉස්සෙල්ලාම අයිස් පෙට්ටියක් දැක්කේ නෑ ගෙදරක. ඒකත් සිසිල්. ඌශා එක තිබුනේ රත්මලානේ ගොළුමඩම හංදිය පැත්තේ මට මතක විදිහට. ඕකේ අපේ මාමා කෙනෙකුත් වැඩ කරා. ඌශා ෆෑන්ස් තිබුනා. හැබැයි සිසිල් තමයි මාකට් ලීඩර් වෙලා තිබුනේ. ඔය නෑදෑ ගෙදර ඔරෙන්ජ් බාර්ලි, නෙක්ටො එහෙම අර අයිස් ට්‍රේ එකට දාලා පොප්සිකල් වගේ හදලා අපට දෙනවා.

    ////ගොන්සාල් අරක්කු///
    ඔය මූඩි ගලවන ගැජට් එකක් මම දැකලා තියෙනවා. එස්ලෝන් බටෙන් හදලා තිබුනේ. අපි දන්න කෙනෙක් ගේ බාර් එකක් තිබුනා. එතන ඕක පාවිච්චි කරා. මූඩිය ගලවල, ආපහු පුරවලා, ඒ විදිහටම ගහනවා ඉස්සර. පස්සේ පස්සේ ඉස්කාගරේ මූඩි වෙනස් කලා.

    //ඇලිගැට පේර//// ඉංග්‍රීසියෙන් Avocado කියලත් කියනවනේ. ඒ නමත් ඇඩ්වොකේට් පෙයාර්, ඇලිගේටර් පෙයාර් කියන මේ නම් අතරත් සම්බන්ධයක් තියෙනවා. මම කොහෙද කියෙව්වා. මොකක් හරි භාශාවකින් ඇඩ්වොකේට්ට කියන්නේ ඇවකාඩෝ වගේ වචනයක්. මේ ගොන් සුද්දෝ මේක කන්නේ සැලඩ් එකක් හැටියට. මමත් එහෙම කන්න ආසයි බත් එක්ක වුනත්. මේක ඉදිලා කන්න මුන් දන්නේ නැහැ. දවසක් දන්න කියන සුද්දෙකුට කැවෙව්වා. උන් ආසවුනා. අපි දවසක් අයිස්ක්‍රීම් හැදුවා මේකෙන් හෝටලයක. මම දියතලාවේ මාමා කෙනෙක්ගේ ගෙදර ගහකින් කාපු තරම් රස ගෙඩි කාලා නැහැ වෙන කොහෙවත්. ඒක ඇත්තටම බටර් වගේ කටෙ මෙල්ට් වෙනවා. බටර් ෆෘට් කියන්නේ අපේ රටවල්වල විතරයි මගේ හිතේ.

    කෝප්ප කොළ මැල්ලුම මගෙත් ෆේවරිට් මැල්ලුමක්. එක කාලෙක කෑවේ නැත්තෙ තණකොළ විතරයිනේ. ඔය වගා සංග්‍රාමයට ගුවන් විදුලියේ බොහෝ වැඩ කටයුතු කරලා තියෙන්නේ රිජ්වේලා, අමරබන්දුලා තමයි. ගොවි සමාජ පැන විසඳුම් වැඩ සටහන අපිත් ඉස්සර අහනවා. ඒ ප්‍රශ්න විචාරකගේ නම මතක නැහැනේ. ඔය ගොවි සමාජ ගීතය ගැන තිස්ස දොඩංගොඩ මගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා ඔය ගීතය අහන්න.

    “යෞවන ගොවි ජනයිනි එක්වවු

    අපේ දෙල්කඳ පොළේ ඉස්සර ඔය රජයේ චිත්‍රපට අංශයේ ඒවා පෙන්නනවා. ගමම එනවා"අන්න අද පොළේ පිච්චර් පෙන්නනවා" කියලා.

    තව ලියන්න දේවල් ගොඩයි. උඹේ මාගලට වඩා මගේ මාගල දික්වෙන නිසා නවත්තනවා.
    අපරාජිත ගොවි හඬ නංවවු…”

    ReplyDelete
    Replies
    1. අරූ,

      තරුණ ගොවි සමාජ ගීතයට ස්තූතියි මචං..ඒක අහනකොට ආයම අවුරුදු හතළිහක් ආපස්සට ගියා වගෙ දැනෙනව...හෙහ්,හෙහ්,

      ඔය රජයේ චිත්‍රපට අංශයෙ සංදර්ශන වලදි රජයේ සංවර්ධන වැඩ වලට අමතරව ලෝකයේ වැදගත් සිදුවීම් එහෙමත් පෙන්නුවා. මට මතකයි නීල් ආම්ස්ට්‍රෝංලගෙ සඳ ගමන එතකොට ඔලිම්පික් උළෙලකුත් පෙන්නුව. 1976 වෙන්න බෑ. ඒ කියන්නෙ 1972 මියුනික් උළෙල වෙන්න ඕන. ලංකාවට ආපු විදේශීය ක්‍රිකට් කණ්ඩායම් එක්ක ගහපු තරඟ...එව්වත් පෙන්නුව.

      Delete
  15. කොස් කපන ගෑනු ළමයා ගැන නොඅසමි.ඒකී තාමත් කොහොල්ලා නාගන කපනවා ඇති'කොස්.
    රවී අයිය වැඩිය බැනුම් අහන්නේ නැති නිසා 'ක්මෙන්ට් වලින් බැනුම් අහන්න කැමති ඇති.ඒකනේ වරහන් වහන්නේනැතුව හැමදාම පඩත්තර කතා අහගන්නේ.....

    ReplyDelete
    Replies
    1. බොහොඬ හද,

      හරි බං කොස් කපන ළමය අමතක උනේ නෑ..පපුවෙ මැදම ඉන්නව..පපුවෙ මැදම ඉන්නව...:)

      Delete
  16. //දෙතුන්පාරක් ඔලුව උස්සල කුරුල්ලො දිහාවෙ රවල එහෙම බලනව.//
    කොහෙන් හිතට එන ඒවද මන්ද අම්මප මේව !
    කොහොම වෙතත් එකක් නම් ඉන්තේරුවටම කිවහැකි. මේ පොස්ට් එක බලන උදවියත් දැන් අහස දිහා බල බල රව රව ඇති ඉතුරු කොටස දානකම්, ඇයි වදේ වරහන් නම් කීයක් ඇරල දාලද?

    මේකෙ බැනල කොමෙන්ටු දාන එකත් හරියට කුරුල්ලන්ට රවනව වගේ තමයි, කම්මලේ බල්ලට සද්ද බද්ද නැත්නම් නින්ද යන්නෙ නෑ කිවුවලු.

    කෝප්ප කොළ මැල්ලුම් කාල නෑ අප්පා, ඒ නිසා ඒ ගැන මුකුත් නොකියමි.
    ගොවි සමාජ පැන විසඳුම් තරඟය ගැන ගිය ආත්මේ මතක අමතක වී ඇත, ඒ නිසා ඒ ගැනත් මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. මානවිකාවනි ඔබට කියන වගනම්,

      උඹල අම්මප ඒ කාලෙ ගිය ආත්ම භාවයෙ ඉපදිල ඉන්ට ඇති නේද? අඩේ මානවී..උඹ ගිය ආත්මෙ මගෙ අත්තම්මද දන්නෙත් නෑ හැබෑට....හෙහ්,හෙහ්, එව්ව කියන්ට බෑ නැද්ද හා?

      Delete
  17. ඔය රවියියා කියලා තියෙන ජාතියේ සිසිල් අයිස් පෙට්ටියක් ඉස්සර අපේ මහාගෙදරත් තිබ්බා.තනි දොර කොළ පාට අයිස්පෙට්ටිය.හෑන්ඩ්ල් එක "Y"අකුරේ හැඩේට තිබ්බේ.හැබැයි මට මතක ඇති කාලෙක ඉඳලා එකේ දාලා තිබ්බේ ආච්චිගේ පරණ රෙදි වගේ ලට්ට ලොට්ට තමයි.

    අද උදෙත් සත්තු වත්ත පිටිපස්සේ පාරේ ගියා.සත්තු වත්ත කිට්ටුවෙන් ගෙයක් ගත්තානම් අඟහරුවාද,සිකුරාදා දිහාට අපිටත් හරක් මස් කෑල්ලක් කන්න තිබ්බා බං රවීයියේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකනෙ බං කීය දීල හරි කමක් නෑ සත්තුවත්තෙ තාප්පෙටම අල්ලල ගෙයක් ගත්තනං එල ද බ්‍රා.....:)

      Delete
  18. මම මේ පෝස්ට් එක බලලා කමෙන්ට් එකක් දැම්මා වගේ තමයි මතක තිබ්බේ...
    බලනකොට මම හුරුල්ලෝ සීන් එකෙන් එහාට බලල තිබිල නැහැ.
    මොනවා උනත් උඹල ඔය හුරුල්ලෝ කතාව පත්තරේට දාපු එකනම් වැරදියි... හැක්..හැක්...

    හැත්තෑ දෙකේ අයිස් පෙට්ටියක් ගෙනාව කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ මම හිතන්නේ.
    අපිට විදුලිය ලැබුනෙත් අනුහයත් පහුවෙලා... එතකල් අපිට කුප්පි ලාම්පු විතරයි...
    ඊට පස්සේ කරන්ට් එක ලැබුනත් රෑට ලයිට් කපලනේ.
    කොහොමින් කොහොමහරි උසස් පෙළ කලෙත් ලාම්පු එළියෙන්ම තමයි...
    ඒ ගැනනම් වගකිවයුතු කාට කාටත් පිංසිද්ධ වෙන්න ඕනේ... පොඩි කාලෙහරි එහෙම ඉන්න ලැබිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      අපිට අනූහතරෙ විදුලිය ලැබුනෙ. ලැබුනෙ කිව්වට කණු තුනකටද කොහෙද ගෙවල අපි කරන්ට් ගත්තෙ...ඒත් අපේ ගෙදර තිබ්බෙ කොළඹ-නුවර පාරෙ ඉඳල මීටර් 400 වගෙ දුරින්....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...