Monday, July 28, 2014

272. ඇගේ නම...යසවතී.

Painting - Margarita Georgiadis


ට්‍රැක් හතරෙ ඉස්කෝලෙ, 
අටේ පන්තියෙ විතර, 
සුදු කෙට්ටු කොණ්ඩෙ දිග, 
කවුද ටීචර්ගෙ නම? 
විමලාය. 

පංතියෙ පස්සේම, 
පේළියේ හිඳ උන්නු, 
ඇගේ නම මම ඇහුවෙ, 
ඒ මූණ දිහාවත්, 
නොබලාය. 

" යසවතී.…" 
යන්තමට හිනා වෙල, 
හීනිවට ඇස් හදල, 
ඈ කිව්වෙ නම අහල, 
දවස් තුන හතරකට, 
පස්සේය. 

වෙනදාට ඉස්කෝලෙ, 
ඇරුණු විට තකහනියෙ, 
ගෙදර දුවනා සිරිත, 
මගෙන් ගිලිහිලා ගියෙ, 
ඉබේමය. 

අඹ ගහේ හෙවණ යට, 
කොයි වෙලෙත් වතුර නැති, 
පයිප්පේ ළඟ ඉඳන්, 
ඈ මගේ ඇස් දෙකට, 
යන්තමට හිනාඋනෙ, 
රතු වෙච්ච මූණ කට, 
තරු වගේ නටන ඇස්, 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය. 

ඕ ලෙවල් වෙනකල්ම, 
ඉස්කෝලෙ මම ගියේ, 
විමල ටීචර්ගෙ කණ, 
පුපුරන්ඩ ගහන ගුටි, 
පාරෙ සැර සක්සුදක්, 
වගේ හොඳහැටි දන්න,
නිසාමය. 

ඕ ලෙවල් විබාගේ, 
පලවෙනිද සිංහලය, 
දෙවෙනිදා බුදු දහම, 
ඉවරවෙල අපි දෙන්න, 
අතින් අත අල්ලගෙන, 
ආයෙ කවදාකවත්, 
ඒ පැත්තෙ නොයන්නෙමු, 
කියා දඬු වැට පැන්නෙ, 
හිත ඇතුලෙ පොදි ගැහුණු, 
හිනා මල් දෝතින්ම, 
අරගෙනය. 

දොරගමුවෙ ඇළ ඉහළ, 
පළාතම වහගත්තු, 
නුගගහේ හෙවණ යට, 
කෙටූ නවදැලි හේනෙ, 
පැල්කොටේ හෙවිල්ලුවෙ, 
ඇගේ දෑතින් කැපුව, 
මාන කොල මිටි එකට, 
බැඳලාය. 

වවුල්පොල කඳු මුදුන, 
වටකරන් වහින වැහි, 
කෝඩෙ අඩුවුන යලේ, 
දාල පිච්චිලා ගිය, 
බටු මිරිස් ගොල්ල ගිණි, 
තියල අපි ඒ දිහා, 
බලාගෙන හිනාවුනෙ, 
අඬන්නට බැරි හින්ද,
වගෙ නේද? 

පෙරහැරක් හෝ දෙකක්, 
ඔය අතරෙ ගෙවිල ගියෙ, 
අපේ හිත්වල විඳපු, 
දුක් කැළැල් කිසිවක්ම, 
නොතියාය. 

පැමිණි දුක් පැණි රහයි, 
ඉස්කෝලෙ බාල්කේ, 
සුදු තින්ත අකුරු මට, 
දවසක්ද මතක් උනෙ, 
නිකං ඔහෙ ඉබේටම, 
වාගේය.

ඊට කාලෙකට පසු, 
දවසක්ද හඳපානෙ, 
අපෙ පුංචි පැල්කොටේ, 
ඉස්සරහ ගල්පොත්තෙ, 
ඈ මගේ උකුලෙ හිස, 
තියාගෙන ඉන්දැද්දි, 
මගෙ දකුණු අත අරන්, 
ඇගේ කුස උඩ තියල, 
තදකලේ හෙමින් සැරෙ, 
කන්ද උඩ ගස් අස්සෙ, 
එල්ලිලා තුබුනු හඳ, 
දිහා ඇහිපිය නොලා, 
බලමින්ය. 

ඒ මාස හත අටක්, 
උඩදීය. 

ඊයෙ රෑ වැහැපු මහ, 
අනෝරා වරුසාවෙ, 
උගුර ඇතුලෙන් ආපු, 
ඇගේ කෙඳිරිලි සද්දෙ, 
අහං ඉන්නට බැරුව, 
පිස්සුවෙන් වගේ මම, 
ගඟ ලඟට දුවගියත්, 
ඈව දෑතට රැගෙන,
ඒ වෙද්දි ගඟ පිරිල , 
දෙගොඩමත් තලාගෙන, 
යනවාය. 

අන්තිමට හිමිදිරියෙ, 
යන්තමට එළි වෙද්දි, 
මගෙ දකුණු අත අරං, 
මිරිකගෙන ඇති වැරෙන්, 
යන්තමට හිනාවෙල, 
වෙහෙසකර වූ මුවෙන්, 
ඇස් පියාගත්තෙ ඈ, 
සදහටය. 

කවම කවදාකවත්, 
කඳුලු බිඳුවක් නොහෙලු, 
මගෙ දෑස් අගින් නැඟි, 
උණු කඳුලු බිඳු යුගල, 
වැහි කෝඩෙකට වඩා, 
සීතලය. 

නුගගහේ හෙවණ යට, 
සදාකල් සැතපෙන්ට, 
නික්මිලා ගියේ ඈ, 
ඇගෙ සිනහ පිරි වුවන 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය.

Thursday, July 24, 2014

271. හෝපළු වනපෙත කම්පිත කරවන....

Painting - Richard S. Johnson

පහුගිය වාං පතුල් කතාවෙ බූරා මලේ එක්ක වාල්මීකි රාමායණය ගැන අදහස් හුවමාරුවක නිරත උනා නෙව. ඇත්තටම එහෙම උනේ මට වෙච්ච වැරදීමක් නිසා. අර තමන් ලියපු මහා කාව්‍යයක් ගිණිබත් කරන තාපසයගෙ කතාව මට මතක තිබ්බෙ ඒ කාව්‍යය ඇවිල්ල රාමා‍යණයය, එතකොට ඒ තාපසය වාල්මීකීය කියල.ඒත් බූරා කිව්ව ඒ කාව්‍යය කථා සරිත් සාගරයය එතකොට ඒක ගිණිබත් කරන්නෙ ගුණාධ්‍යය කියන තාපසයය කියල. බලනකොට කතාව ඇත්ත. මට තමයි පොඩි වාලධිය පාගාගැනීමක් වෙල තියෙන්නෙ. ඔය රාමායණය ගැන කතන්දර ඔක්කොම ඇදිල ආවෙ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මය වාල්මීකී රාමායණය පරිවර්තනය කරපු එක ගැන කතා කරන්ට ගිහිල්ල. 

රාවණ සීතාවන් පැහැරගෙන ආවය කියලනෙ රාමායණයෙ තියෙන්නෙ. ඉන්දියාවෙ රාමව උත්කර්ෂයට නංවන්න ලියවුනු කාව්‍යයක් උනත් රාමායණයෙ රාවණ සීතට කරදරයක් හිරිහැරයක් කලාය කියල සඳහන් වෙන්නෙ නෑ මට මතක විදිහට. ඒ කියන්නෙ රාමායණයෙ ආදිකර්තෘවරු උනත් රාවණට ලබාදියයුතු ගෞරවය ලබාදෙන්ට මැලිවෙලා නැහැ. 

රාම-සීතා- කතාව ගැන පොඩ්ඩි ලියපු සටහනකට මම ලියාපු අතුරු කථාවක් මේ...මීට අවුරුදු දෙකකට වගෙ ඉස්සර... 


********************************************** 


දණ්ඩකාරණ්‍යයයෙහි ඔවුන්ගේ අසපුව පිහිටි පෙදෙසට හිරු පායනුයේ මඳක් පමා වීය. එම පෙදෙස සම්පූර්ණයෙන්ම උස් කඳු වළල්ලකින් වටව තිබීම ඊට හේතුවයි.එසේම ශරත් සෘතුවෙහි අවසන් භාගයෙහි ගෙවෙන මේ දිනවල දිවාකාලය කෙටි බැවින් හිරු පෑයූයේ තවත් ප්‍රමාදවීය. 

තවමත් පහව නොගිය මිහිදුම් අතරින් අසපුවෙ දොරටුව අබියස සිට ඈ බලා සිටියාය. සුපුරුදු පරිදි සිය සැමියා සහ ඔහුගේ සොයුරාණන් දණ්ඩකාරණ්‍යයෙහි රැකවල් කටයුතු උදෙසා පිටත්ව යන දෙස ඈ බලා සිටියාය. 

අයෝධ්‍යාවෙන් පිටමංව දණ්ඩකාරණ්‍යයෙහි වාසයට පැමිණ ගත වූ වසරක පමණ වූ කාලය තුල සෑම දිනකම හිමිදිරි උදෑසන පිටව යන ඔවුන් දෙදෙන පෙරළා පැමිණෙනුයේ අඳුර ද කැඳවාගෙනය.මුළු දිවාකාලයම හුදකලාව ගත කලද ඒ පිළිබඳව ස්වාමියාණන් හට පැමිණිලි කිරීමට ඈ සිහිනෙනුදු නොසිතුවාය. 

එසේ නැතහොත් සිතෙහි නැඟි ලතැවිල්ල පිළිබඳව ඔහුහා දොඩමළුවීමට හටගත් සිතුවිල්ල උපන්දාසිට පුරුදු පුහුණු කල ක්ෂත්‍රිය රාජධර්මයන් මඟින් යටපත් වූවා විය හැක. 

අවසන තවද ඉවසාගෙන සිටිය නොහුනු තන්හි අද උදෑසන ඔවුන් පිටව යාමට පෙර ඈ බිමට හරවාගත් දෙනෙතින් යුතුව ඔහු ඉදිරියට ගියාය. ඉක්බිති තම නිල්වන් දෑස් ඔසවා ඔහුගේ වත එක එල්ලේ බලා හුන්නාය.කිසිදිනෙක තමා ඇය ඇමතුවහොත් මිස ඇය තමා අමතා යමක් පවසන සිරිතක් නොවූ නිසාම විශ්මයට පත්වූ ඔහු විමසුම් බැල්මක් රැඳි දෙනෙත ඈ දෙසට යොමු කලේ මුවින් නොබැණවමය. 

'' ස්වාමීනී.....'' 

ඇය සිතට දිරිගෙන හඬ අවදිකලේ යලිදු පහතට හරවාගත් දෙනෙතිනි. 

'' ඔව්, කියන්න මා සොඳුර කුමක්ද ඔබට පැවසීමට ඇත්තේ?....'' ඔහු එසේ පැවසුවේ නැත. එසේ ඔහු පවසතැයි නොඉවසිල්ලෙන් අපේක්ෂා කරමින් ගත වුනු නිමේශයකට පසු ඇය යළිදු දෙනෙත් ඔසවා ඔහු වත ඉඳුරාම බැලුවේ ඔහුගෙන් එවන් ආදරණීය වදනක් බලාපොරොත්තු වීම සිහිනයක් බව හොඳින්ම වැටහුණු හෙයිනි. 

ඔහුගේ දෙනෙතෙහි දැවටි නොපහන් බැල්ම නෙත ගැටුණු ඈ සිත මඳක් පසුබා ගිය නමුදු ඈ වෑයමෙන් සිතට දිරිගත්තීය. 

'' ස්වාමීනී දිවාකල හුදකලාවේ මේ අසපුවේම කාලය ගත කිරීම මට මහත් අපහසුය....'' 

කතාව නතර කල ඇය නැවත දෙනෙත් ඔසවා ඔහු දෙනෙත් දෙස ඉඳුරාම බැලූයේ ඔහුගෙන් සහයක් හෝ අවම වශයෙන් අනුකම්පාවක් හෝ අපේක්ෂාවෙනි. 

එහෙත් ඔහු දෙනෙත ඇය දුටුවේ එවැන්නක් නොව සෝපහාසයක් සහ එමෙන්ම නොමේරූ ළදැරියකගේ අප්‍රායෝගික ඉල්ලීමක් අභියස වැඩිහිටියෙකුගේ දෙනෙත්හි දැකිය හැකි අන්දමේ කෝපය ද මුසුවූ බැල්මකි. 

සිතෙහි නැඟ ආ හැඟුම් සමූහය එකවරම ගිනිදැල්ලකට ලක්වූ රඹ පතක් මෙන් හේබා ගිය හෙයින් ඇය මුවින් නොබැන පියවරක් පසුපසට ගත්තේ නොදැනුවත්වමය. 

'' ඔව්, පවසන්න ඔබට පැවසීමට ඇති දේ නොවලහා පවසන්න...'' 

ස්වරය හැකි පමණ මෘදු කොට කථාකිරීමට ඔහු දැඩි වෑයමක්දැරූවද ඒ හඬෙහි ගැබ්වූ සැඟවුනු කෝපය හොඳින් හඳුනාගත් ඈ දෑත ළයමත් බැඳගත් වනම බිමට යොමුකොට ගත් දෙනෙත තදින් පියා ගත්තේ දෙනෙතට උණනා කඳුලු වළකා ගනුවස් යටිතොල තදින් සපාගනිමිනි. 

අසපුව අංගනයේ හාත්පස වසාගත්වනම පැතිර මලින් ගැවස ගත් හෝපලු රුකෙහි අතුපතර කෙලි දෙලෙන් හිඳ එක්වරම කොහෙහෝ දුර බැහැරකට පියාඹා ගිය කොවුලන් යුවලකගෙන් නැඟුනු නාදය කෙමෙන් මැකී ගියකල්හි අසපුව තුල යලිදු දැඩි නිහඬතාවක් රජයන්නට වූයේය. 

එතෙකුදු ඕ තොමෝ පහතට යොමුකොටගත් දෙනෙතින් යුතුව නිහඬවම හුන්නාය, 

'' ඔබ කථා නොකරන්නේ නම් මම්ම පවසන්නෙම්....ඔබගේ ඉල්ලිමට පිළිතුරු නම් මේය. මට කිසිදාක දිවාකාළයෙහි අසපුවෙහි රැඳී සිටිය නොහැක.මේ දණ්ඩකාරණ්‍යයේහි ආරක්ෂාව පැවරී ඇත්තේ මා උර මතය. ක්ෂත්‍රිය රජ කුමරෙකු ලෙස මවෙත පැවරී ඇති වගකීම කිසිලෙසකින් මට පැහැර හැරිය නොහැක.ස්ත්‍රියක රැකබලාගෙන දිවාකාලය ගෙවීම හෝ ස්ත්‍රියකගේ හුදකලාව දුරුකරනු වස් අසපුවෙහි රැඳී හිඳීම ක්ෂත්‍රිය කුමරෙකුගේ වගකීමක් බව මම කිසිම දිනෙක අසා නැත්තෙමි.එසේම ඔබට අප සමඟ වනයේ සැරිසැරීමට ද නොහැක.ක්ෂත්‍රිය රජ කුමරියකගේ කාර්‍ය භාරය මවිසින් ඔබට වෙසෙසින් කියාදිය යුතුයැයි මම නොසිතමි. '' 

'' රජ කුමරුන්ගේ කුමරියන්ගේ කාර්‍ය භාරයන් පිළිබඳ පංගු පේරු වලංගු වන්නේ රජමාළිගාවලටය. එහෙත් මේ වනාහී රාජ මාළිගයක් නොව මහ වන මැද අසපුවකි.'' ඇය එසේ තෙපලූයේ නැත. එහෙත් ඒ සිතුවිල්ල ඈ සිතෙහි නැඟ ආවේ ළය කලඹවාගෙන ආ ඉකියකුදු සමඟය. දෙතොල විකාගත් ඈ ඉකිය මැඩපවත්ගත්තේ ඉතා අසීරුවෙනි. 

'' එසේම හොඳින් සිහි තබාගන්න කුමරියනි. වන වාසය පිණිස ඔබ පැමිණියේ ඔබගේම රුචිය අනුවය. මම කිසි දෙනක මෙහි මා කැටුව පැමිණෙන මෙන් ඔබගෙන් නො ඉල්ලුවෙමි. එසේම මම ඔබ ඉල්ලීම බොහෝ වරක් ප්‍රතික්ෂේප කල බවද මතක තබා ගනු යෙහෙකි. එබැවින් ඔබ මෙහි මා හා පැමිණියේ විඳිය යුතු සියළුම දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බවද අමතක නොකරනු මැන. '' 

ඇය බිම බලාගෙනම සිටියේ හිස ඔසවා ඔහු දෙස බැළුවහොත් ඉකි බිඳ හඬා වැලපීම කෙසේවත් වලක්වා ගත නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිවම දත් හෙයිනි. 

'' ස්වාමිනී දහසක් කුමරුන් පරදවා ස්වයංවරයෙන් ඔබ මා දිනාගත්තේ මෙසේ පැවසීමටද?...මම ඔබේ බිරිඳය. ඔබ මගේ ස්වාමියාය.ක්ෂත්‍රිය රාජ ධර්ම වල කෙසේ සඳහන් වුවද බිරිඳකගේ නියමිත ස්ථානය තම සැමියා අබියසය. ඔහු අසලය. සැමියකුගේ නියමිත ස්ථානය තම බිරිඳ අසලය. ඇගේ ආරක්ෂාව සියලු රාජ නීති වලට වඩා ඔහුට වැදගත් විය යුතුය. '' 

ඇගේ හදවතේ නැඟි මේ සියලු හැඟුම් සිතිවිළි වලටම සීමා වූ බව යලි යලිත් පැවසිය යුත්තක් නොවේමය. 

ඔහු දුනු හී ද අතට ගෙන සිය මළණුවන් ද කැටුව පසු නොබලා මිහිදුම අතරින් නොපෙනී යනු ඇසිපිය නොහෙලා දොරටුව අබියස සිට බලා සිටි ඇගේ නෙතට කඳුළක් මෙන්ම මුවට සුසුමක් ද නැඟුනේ එක් වරමය. 

අසපුව තුල වූ ලී දඬු මත මුව සමක් අතුරා සැදි සයනයේ හිඳ ඈ බොහෝ වේලා හිස් බැල්මෙන් බලා සිටියාය. 

ක්‍රමයෙන් මධ්‍යාහ්නය එලඹියේ හරිත වන් තුරු පත් අතරින් පෙරී ආ හිරු කිරණින් පොළව අබියස කැරලි ගැසුනු මිහිදුම පළවා හරිමිනි. 

සිත බරකල සංවේගය වෑයමෙන් මුදාහල ඕ තොමෝ හිස ඔසොවා බැලූයේ විවර කල දොරටුවෙන් ඇදී ආ හිරු කිරණ කදම්බයක් ඇගේ වත මත පතිතවූ බැවිනි. 

සංකේතාත්මකව හිස වැරෙන් දෙපසට සොලවා සිතෙහි සෝ බර හැඟුම් පලවා හල ඕ තොමෝ, අසපුවෙහි පසෙක ඒ සඳහාම තැනුනු ලී දඬු මැස්සක් මත බොහෝ ප්‍රවේශමෙන් ආවරණය කොට තිබූ ඇගේ මාගධී වීණාව අතට ගත්තීය. 

ඇගේ පියාණන් වෙනත් බොහෝ සාම්ප්‍රදායික රජවරුනට හාත්පසින්ම වෙනස් වූ බැවින් ඇය බොහෝ සේ ප්‍රිය කල සංගීත නාට්‍ය එහෙන්ම චිත්‍රකලාව ආදිය හැදෑරීමට මෙන්ම එහි නිරත වීමටද ඔහුගෙන් කිසිදු බාධාවක් නොවීය. 

එබැවින් ක්ෂත්‍රිය රජ කුමරියකට සුදුසු අනෙක් ශිල්ප ශාස්ත්‍ර අතරේ ඇය සංගීතය ද කුඩා කල සිටම උගත්තාය. 

ඇගේ සංගීත ආචාර්ය වරයා වූ මහළු බ්‍රාහ්මණයා ඔහු දන්නා සියලු ශාස්ත්‍රය නොමසුරුව ඇයට ඉඉගැන්වූ අතර ඇය ද ඒ ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තී සංගීතයෙහි ඉතා සමත් වූවාය. 

මාගධී වීණාව ද රැගෙන අසපුවෙන් පිටතට පැමිණි ඈ අසපුව අබියස මලින් පිරී බරවීගිය හෝපළු වෘක්ෂය යට අසුන් ගත්තී මාගධී වීණාව වයන්නට වූවාය. 

ඇය වැයූයේ සිතෙහි සෝබර හැඟුම් උපන් කල්හි ඒ පහව යන්නට ප්‍රත්‍යාක්ෂ ඔසුවක් බැව් ඈ හොඳින්ම දන්නා ගෞරී රාගයයි.ඒ රාගය නිර්මාණය වූයේ භාරතයට දක්ෂිණ දෙසින් වූ ලංකා දිවයිනෙහි පාලකයා විසින් බව සංගීතාචාර්‍ය වරයා පැවසුවද පලමුව ඕ ඒ බැව් විශ්වාස කිරීමට මැළි වූවාය. රාෂ්ඨ්‍ර පාලකයකු එවන් මුදු හැඟුම් සහිත කලා කාමියකු විය හැක්කේ කෙසේදැයි ඇයට කිසි ලෙසකිනිදු සිතා ගත නොහැකි විය.එමතුදු නොව ඔහු චිත්‍ර කලාව, නාට්‍ය, ගායනයෙහිද එකසේ සමතෙකු බව ඇසූ ඈ තුල හට ගත්තේ පලමුව විශ්මයෙකි. දෙවනුව ගෞරවයකි. තෙවනුව සොළොසැවිරිදි වියේ පසුවූ ඇයට කිසිසේත්ම වටහාගත් නොහුනු හැඟීමකි. 

ගෞරී රාගය වැයුමේදී මාත්‍රා සප්තකයේදී මාඝධී වීණා රාවයට වස් දඬුවක් ද එකතු විය යුතුය.එහෙත් මේ දණ්ඩකාරණ්‍යය මධ්‍යයේ අසපුවක් අබියස ඇගේ වීණා රාවය හා ඒකාත්මිකම වස් දඬුවක් වයන්නේ කවුරුන්ද? සුසුමක් හෙලූ ඇය සප්තක මාත්‍රාවෙන් පසු විණා වැයුම අත් හිටුවා මඳ ඉසුඹුවක් ගත්තේ වස්දඬුව වැයෙන කාල පරාසය ඉකුත්වීයන පරිදිය. 

එහෙත් එක වරම ඇගේ සියොළඟ රෝමෝද්ගමනය වූයේ සමහර දිනවල සවස ගුගුරා වැසි වසින කල්හි සිදුවන ලෙසින්ය. ඒහා සමඟම මුව වියලී ගිය හෙයින් ඈ ආයාසයෙන් දිවෙන් දෙතොල් තෙමා ගත්තීය.පසුපස පන්නා එන දරුණු මෘගයෙකුගෙන් ගැලවී ගනු වස් සිව් යොදුනක් දිවගිය කලෙක මෙන් ඈ වේගයෙන් හුස්ම ගත්තාය. හදවත ගැහෙන හඬ ඇයට ඇසුණේ මාළිගයෙහි බොහෝ දිනවල රාත්‍රියෙහි පැවති නැටුම් සංදර්ශනයන්හි වාදනය කරනා ගැඹුරු හඬින් යුත් මද්දලක හඬ මෙනි. 

මේ සියල්ලටම හේතු වූයේ ඇගේ වීණා රාවය නිමවන තෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටියාක් මෙන් නැඟී ආ වස් දඬු රාවයකි. පලමුව ඒ නැඟ එන දිශාව තීරණය කල නොහැකිව විපිළිසර වුවද ඉන් අනතුරුව සුළඟේ දිශාව වෙනස් වූ බැවින් ඒ වස්දඬුව වැයෙන්නේ අසපුව අසලින් ගලාබස්නා නිල්වන් දොල පහර අබියස නැඟී සිටි සුවිසල් නුගරුක දෙසින් බැව් ඈ වටහා ගත්තීය. 

ගැහෙන හදින් යුතුව, ඉහලට ගත් හුස්ම පහලට හෙලනු නොහැකිව ඇය බලාසිටියේ වස්දඬුවෙහි රාවය මැකීයන තුරුය. ඉන් පසු එළඹෙනුයේ නැවත මාගධී වීණාවෙහි වාරයයි. එහෙත් නැවත වීණාව වයන්නේද යන්න පිළිබඳ ව තීරණයක් ගත නොහුණු ඇය විපිළිසරව බලා සිටියාය. ගැහෙන හදින් යුතුව බලා සිටියාය. 

එසඳ ඇය වස් දඬු රාවය නිහඬ වනතුරු ගැහෙන හදින් යුතුව බලා සිටියාය.

Wednesday, July 16, 2014

270. විමලෙගෙ වාංපතුල් කතා 16 - කැළෑහඳ, ශ්‍රද්ධාව ඉතිරෙන බණ කතාවක් සහ පිස්සං කොටුවට බෝම්බ දැමීම.


කැළෑ හඳ - රුක්මණී දේවි සහ ස්ටැන්ලි පෙරේරා. 

බුදු හාමුදුරුවො ජාතක කතාවක් කියනකොට අන්තිමේදි පූර්වාපර සන්ධි ගැලපීම කියල එකක් කලා කියල ඔය බෞද්ධ සාහිත්‍යයෙ තියනව. බෞද්ධ සාහිත්‍යයයි බෞද්ධ ධර්මයයි කියන්නෙ දෙකක්. ඔය දෙක පටලවාගෙන ඉන්නෙ අද මේ ඉන්න බෞද්ධයො සීයට අනූනමයයි දශම නමයයි නමයක්ම. සක්කරය චිත්‍ර ඵලකය විදිහට හඳ පාවිච්චි කරල හාවගෙ රූපෙ ඇන්ද එක, එතකොට වෙස්සන්තර තමන්ට ඕන විදිහට වහල්ලු විකුණල දානව වගෙ භාර්යාවයි දරුවොයි දන් දුන්නු එක, මහවුසද අමරගෙ ඇඟ පුරා බත් මාලු අනල ගාල අව්වෙ තියපු එක එව්ව ඇවිල්ල බෞද්ධ සාහිත්‍යය. කොටින්ම කතන්දර.එව්ව මේ කණින් අහල ඒ කණින් පිටකරල දාන්ට ඕන එව්ව. 

ඔය මහවුසද සහ අමරගෙ සීන් එක මම ඔය අපි බැඳපු අලුත් අපෙ උන්දැ එක්ක කිව්ව. වෙන මොකටවත් නෙවෙයි ආය බාර්යාවො මෙන්න මෙහෙමයි ඒ කාලෙ තමංගෙ සුවාමි පුරුසයින්ට කීකරුව හිටියෙ කියල මේ නිකමට වගෙ පහදල දෙන්ට..දන්නවද මුන්දැ ගත් කටටම කිව්ව එක." හුහ්, මං එහෙම අමරාදේවි උනානං දෙන්නෙ වළං ගැට්ට මහව්සදයගෙ කරේ හිටින්ට.." ඕං... ඉතිං මොකේද දංවළදන්නෙ? කියල ඇහුවලු ලොකු හාමුදුරුවො...

වෙස්සන්තර කතාව පෙන්නද්දි ඔය බබලත්තු ඉකිගගහ අඬනවනෙ.ඕක බලාඉඳල තම්බි මුදලාලි කෙනෙක් කිව්ව කතාව අහල ඇතිනෙ නේද?

" යේක ෂරි, මත්‍රි තේවිගෙ ළමයි දෙන්නා දුන්න. ඒකට යෙයාට තුකයි, යෙයා අඬනව. යේක ෂරි, ඒත් මේ බලාඉන්න ගෑණු එකීල මොක්කට අඬනවා? "

ඔතන මුදලාලි කියල තියෙන්නෙ ගෑණු එකීල කියල නම් නෙවෙයි...වෙන වචනයක්. දන්න අය අදාල තැනට දාගන්න...හෙහ්,හෙහ්, නොදන්න අය දන්න අයගෙන් අහල දාගන්න....හෙහ්,හෙහ්,

බණකතා කියනකොට ඔන්න තව එකක් මතක් උනානෙ. අර මොකක්ද බණ පොතක තියනවනෙ කතාවක් හාමුදුරුවරුන්ට දානය දීමේ ආනිසංස ගැන පැහැදිලි කරන්ට. ඒ වගේම ශ්‍රද්ධාව කියන එක මොනතරම්ද කියල කියල දෙන්ට.එක බොහොම දරුණු දුර්භික්ෂ කාලයක් ආවලු ඔන්න. අර බැමිණිටියා සාය කියල කියන්නෙ වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ ඇතිවෙච්ච මහා සාගතයක්. ඒ වගෙ එකක්ය කියල හිතමුකො.

ඔන්න එක පිටිසර ගමේ ගෙදරක දෙන්න දෙමාල්ලො විතරයි ඉන්නෙ. මේ දෙන්නත් දවස් ගාණකින් හරියට කෑමක් නැතුව බොහොම අහේමෙන් ඉන්නෙ. මේ දෙන්නට ඉන්නෙ එකම දරුවෙක් විතරයි. අවුරුදු තුනක වගෙ පොඩි එකෙක්. හරි හමං යමක් කෑමට හොයාගන්නෙ කොහොමද කියල දෙන්න දහ අතේ කල්පනා කර කර ඉන්දැද්දි ඔන්න හාමුදුරුනමක් එනව පිණ්ඩපාතෙ.

දැන් ඔන්න මේ දෙන්න කතාවෙනව." අනේ අර හාමුදුරුනමක් නේද අපේ කඩුල්ල ලඟ ඇවිල්ල ඉන්නෙ. පූජාකරන්ට කිසිම අහාරයක් ගේ හරියෙවත් නෑනෙ මොකද කරන්නෙ? "

එහෙම දහ අතේ කල්පනා කරල මේ දෙන්න තීරණය කරනව මෙහෙම . වෙන කරන්න දෙයක් නෑ. අපේ දරුව
ත් මරල ඒ මස උයල හාමුදුරුවන්ට පූජා කරමු. ඉතිං හාමුදුරුවරු ඔය වගෙ කතන්දර බණට කියනකොට ආය නෑ උපාසක අම්මල දෑහෙ කඳුලු පුරවාන සාදුකාර දෙන්නෙ. බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිල. ඔය කතා ඉතින් අවුරුදු සීයකට හමාරකට එහානම් ඔන්න අවුලක් නෑ. ඒත් වැඩේ කියන්නෙ සමහර හාමුදුරුවරු තාමත් බණට කියන්නෙ ඔව්වනෙ.

රයිට් මම කියන්ඩ ආවෙ ඔය බණ කතාවටම සම්බන්ධ තවත් කතාවක්. මේකෙ කථානායකය ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මය. වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා. එතුමා තමන්ගෙ නම ලිව්වෙ ඩබ්ල්යු. ඒ. සිල්වා කියල. අවුරුදු අසූවකට, අනූවකට වගෙ එහා පැත්තෙ ලංකාවෙ අග්‍රගණ්‍ය නවකථාකරුවා.සිරියලතා නොහොත් අනාථ තරුණී, ලක්ෂ්මී නොහොත් නොනැසෙන රැජිණ, විජයබා කොල්ලය,සුනේත්‍රා නොහොත් අවිචාර සමය, දෛව යෝගය,කැළෑ හඳ, හඳපාන,රදළ පිළිරුව, රිදී හවඩිය, ජූලි හත..එතුමාගෙ පොත් වලින් කීපයක්.

පොත්පත් කියවලා මම ජීවිතේට යමක් එකතුකරගත්තනම් ඒකෙ ගෞරවේ වැඩි ප්‍රතිශතයක් හිමිවෙන්ට ඕන ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයට. මම මුලින්ම කියවපු සිංහල නවකථාව කැළෑ හඳ. අපෙ අම්මල ඉස්කෝලෙ යන කාලෙ එස්.එස්.සී.( ඒ 
කාලෙ උසස් පෙළ වෙනුවට තිබ්බෙ එස්. එස්.සී නැත්නම් Senior School Certificate, ජේෂ්ඨ පාඨශාලා සහතිකය ) විභාගෙට සිංහල සාහිත්‍යය විෂයට මොකක් හරි නවකථාවක් අධ්‍යයනය කරන්ට ඕන.අම්මලට නියම වෙලා තිබ්බය කියන්නෙ ඩබ්ල්යු. ඒ සිල්වා මහත්මයගෙ කැළෑ හඳ.

දවසක්, මට එතකොට අවුරුදු දහයක් වගෙ ඇති මහිතේ,අපෙ ගෙදර තිබ්බ පරණ ට්‍රංක පෙට්ටි දෙක තුනක්. ට්‍රංක පෙට්ටි ගැන අහල තියද? යකඩ තහඩු වලින් හදාපු සූට්කේස් වගේ හැබැයි ඊට වඩා බොහොම ලොකුයි. අඩි 4 x 3 x 2 වගෙ සයිස්, ඇඳුං එහෙම දාන්ට හදාපු පෙට්ටි ජාතියක්.

අපෙ අම්මලගෙ මහ ගෙදර පරණ ලට්ට ලොට්ට දාන පොඩි කාමරයක් තිබ්බ කුස්සියත් එක්කම. ඒකෙ තිබ්බ මට මතකයි ඔය ට්‍රංක පෙට්ටි හත අටක්ම. නැව්වල යනකොට එහෙම ඇඳුං දාගෙන ගිහිල්ල තියෙන්නෙ ඒ කාලෙ ඔව්වයෙ. ඊට අමතරව යුද හමුදාවෙ සෙබළු එහෙමත් ඔව්ව බොහොම පාවිච්චි කරල තියනව. අම්මගෙ ලොකුම අයිය දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙ බ්‍රිටිෂ් ආමි සොල්දාදුවෙක්. මම හිතන්නෙ අර අම්මලගෙ මහ ගෙදර තිබ්බ ට්‍රංක පෙට්ටි බොගෝවිට එයාගෙ එව්ව වෙන්ට ඕන.

ඔය කාමරේ හිටිය පුළුං පුරවපු දිවියෙක්. ඒ ඔය අපෙ ලොකු මාමා ඇළහැර පැත්තෙ ආමි කෑම්ප් එහෙක වැඩ කරද්දි වෙඩි තියල මරපු එකෙක්. මටත් යන්තමට වගෙ මතකයි ඒකා. ඒත් මට දැනුම් තේරුම් තියන වයසට එනකොට ඒකා දිරලම විනාස වෙලා ගිහිල්ල. උගෙ හමේ කෑල්ලක් ඊට පස්සෙත් තිබ්බ එහෙ.

ඉතිං අපෙ ගෙදර තිබ්බ ට්‍රංක පෙට්ටියක් මම දවසක් ඇරල ඒකෙ තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම එලියට අරගෙන බැලුව. ඔය දාරානිපාත වරුසා දවසකද කොහෙද.... පරණ පත්තර, මීයො කාපු රෙදි කෑළි,කුඩ රෙදි, ලියුං කියුං අස්සෙ තිබිල මට හම්බ උනේ නැද්ද කැළෑ හඳ පොත. මුල පිටුව නෑ. දෙවෙනි පිටුවෙ ඒ කිව්වෙ ටයිටල් පේජ් එකේ ලියල තිබ්බ තීන්ත පෑනකින් අම්මගෙ මුල්නම ඒ කිව්වෙ බඳින්ට ඉස්සරවෙලා නම . Maiden name එක.පොතේ කොළ කහ ගැහිල අතටම දියවෙලා වගෙ තිබ්බෙ. ඒ වෙනකල් මම නවකතාවක් කියවලම තිබ්බෙ නෑ. ඔය පොඩි පොඩි ළමා කතා ඇරෙන්න.පියාඹන අස්සයා, ඇලඩින් සහ පුදුම පහණ, දැත්තගෙයි යාලුවන්ගෙයි හපංකම්..ඔන්න ඔය වගෙ එව්ව. මම ඉතිං බොහොම ආසාවෙන් කියෙව්ව කැළෑ හඳ පොත.ජෝන් ජයපාල, ජයපාල මැතිණිය, ජෙරී හැරිස්, අන්දො සීයා, මාලිනී නොහොත් පස්සෙ විශ්නබායි,ඩේසි අත්තනායක මගේ ජීවිතයට බොහොම සමීප  චරිත බවට පත් උනේ එදා ඉඳලමයි. ඒ දාරානිපාත වැස්ස දවසෙ...දශක හතරකට වගෙ ඉස්සෙල්ල...

ආ..තව එකක් කියන්ට ඕන...කැළෑහඳේ මුල පිටුව වගේම අග පිටු දෙක තුනකුත් තිබ්බෙ නෑ. මාලිනීට අන්තිමට මොකද උනේ කියල දැනගන්නකල් මට ඉතිං ඔන්න සිහියක් පතක් නෑ.

" අම්මෙ..මේ මේ පොතේ අන්තිම පිටු දෙකක් තුනක් නෑනෙ..මොකද මාලිනීට උනේ? " මම අම්මගෙන් ඇහැව්ව.

" මාලිනී අර එයාලගෙ ගමේ ඔයට පැනල මැරෙනවනෙ.." අම්ම කිව්ව.

මාලිනී එහෙම දිවිනහ ගන්නෙ අරණායක පාළමෙන් මහඔයට පැනල.අරණායක මගෙ පංතියෙ යාලුවෙක් හිටිය. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙ කෑගල්ලෙ. ඊට අවුරුදු දෙක තුනකට වගෙ පස්සෙ මමයි තව යාලුවො දෙතුන් දෙනෙකුයි නිවාඩු කාලෙක අර යාලුවගෙ ගෙදර ගියා. එයාලගෙ ගෙවල් ගාව වෙලේ ක්‍රිකට් අතක් එහෙම ගහල, මා ඔයේ නාල, දවල්ටත් කාල ආපහු ගෙදර ආව. එහෙ යද්දි අපි ගියෙ අරණායක පාළම උඩිං. පාලම උඩ ටිකක් වෙලා නතර වෙලා මම පල්ලෙහායින් ගලන මා ඔය දිහාවෙ බලා හිටිය. මාලිනී ගඟට පනින්ට ඇත්තෙ මෙතනින් වෙන්ට ඇති..මට එහෙම හිතුන.

" ඒයි මොකද කරන්නෙ?... යමු යමු.." මාත් එක්ක ආපු යාළුවො එගොඩහ ඉඳගෙන කෑගැහුව,

ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ තවත් අපූරු පොතක් තමයි වාල්මීකී රාමායණය.රාම-රාවණ යුද්දෙ විස්තර කරල තියනව පණ පිහිටුවල. ඒකෙදි පාවිච්චි කලාය කියන අවි ආයුධ වල විස්තර කියෙව්වම පුදුම හිතෙනව.හරියටම අද න්‍යාෂ්ඨික අවියක් පාවිච්චි කලාම සිද්ද වෙන ක්‍රියාදාමය එහෙම්මමම සවිස්තරව කියල තියෙනව රාමායණයෙ. රාම -රාවණ යුද්දෙ වගේම කුරු-පංචාල යුද්දෙත් න්‍යාෂ්ඨික යුද්ද වෙන්ට පුලුවන්ය කියලකියන මතය එක පාරටම අහක දාන්ටත් බෑ අපට.

රයිට් ඒ ඇති දැනට බීටිං අරවුන්ඩ් ද බුෂ්...නොහොත් ගොමු තලනය. දැන් වරහන් වැහීමේ කාළයයි. කාලෝ අයංතේ.....ඔය වරහන් වැහිල්ලෙ කතාව කියන්නෙ අපෙ සිත්තමී නඟා.. මම ඔය කතා අස්සෙ කතා කියනවනෙ. ඒ ඔක්කොම කතා කියල ඉවර කලානම් ඔවුන්දැ කියන්නෙ " ආ..අද හොඳයි අයිය.ඇරපු වරහන් ඔක්කොම වහල තියෙන්නෙ."  ඔන්න ඔහොම. රයිට් එහෙනම් පටන්ගමු බලන්ට ඇරපු වරහන් වහන්ට...හෙහ්,හෙහ්,

දැන් අර බණ කතාවට සම්බන්ද අනික් කතාව. ඩබ්ල්යු. ඒ සිල්ව මහත්තයගෙ නිවස ආසන්නයෙම තිබිල තියෙනව ප්‍රසිද්ධ විහාරස්ථානයක්. ඩබ්. ඒ. සිල්ව කියන්නෙ බොහොම විනෝදයට බර නිතර දෙවේලෙ මධුපානෝත්සව පවත්වන ඒ වගේම ඒවට සහභාගිවෙන පුද්ගලයෙක්. කොටින්ම ජොලි බුවෙක්. ඒ නිසා නැචුරලි මනුස්සය වැඩිය ඔය පන්සල පැත්තෙ එහෙම ගිහිල්ල නෑ. විහාරාධිපති හාමුදුරුවන්ට මේක නිකම් මදිකමක් වගෙ උනා. මේ වගෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක් අහල පහලම හිටියත් කිසිම දවසක පන්සලට එන්නෙවත් නෑනෙ. එතුමා මේ ගැන කල්පනා කරල පණිවිඩයක් ඇරල ගෙන්නුව ඩබ්. ඒ. සිල්වා මහත්මයව පන්සලට.

දැන් මෙහෙමයි දෙබස යන්නෙ ....

හාමුදුරුවෝ ( හා ) - " මොකද සිල්ව මහත්තය. අපේ පන්සලේ අසල් වාසියෙක් වෙලත් මේ පැත්තෙ එන්නෙම නෑනෙ..මොකද ඒ? "

සිල්වා මහතා ( සි. ම. ) - " එහෙම ප්‍රශ්ණයක් නෑ අපෙ හාමුදුරුවනේ..මේක මේ වෙලා තියෙන්නෙ වැඩ රාජකාරි බහුලයිනෙ ඒකයි "

හා - " එහෙම කියල කොහොමද? ඔබ තුමා බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙච්චි. එහෙම එකේ පන්සලේ කටයුතු වලට මීට වඩා සහයෝගයක් දෙන්ට එපාද? "
සි. ම. -" අවසර මොකක්ද මගෙන් වෙන්ට ඕන? ඔබ වහන්සෙම කියන්ටකො එහෙනං "

හා - " වෙන මොකවත් නෙවෙයි අපේ පන්සලේ කටයුතු වලට මීට වඩා නිතර සහභාගි වෙන්ට. හරි... මේ ඉරිද තියනව ධර්ම දේශනයක්. බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සෙ නමක් වැඩම කරන්නෙ.. . ඔබ තුමා එන්ටම ඕන...."

සි. ම. - " එහෙමයි හාමුදුරුවනේ මම එන්නම්. "

ඔන්න කොහොම හරි ඉරිද ඩබ්. ඒ. සිල්ව මහත්මය ගියාලු පන්සලට බණ අහන්ට. එදා අර වැඩපු හාමුදුරුවො බණට කිව්වෙ මම අර කලින් කියාපු කතාව. දානෙට පූජා කරන්ට දෙයක් නැතුව තමන්ගෙ දරුව මරල.......ආන්න ඒ කතාව.

සිල්ව මහත්තය කතාව ඉවර වෙනකල් අහගෙන හිටියලු.ඒ කරල ඔන්න නැඟිට්ටලු .

" අවසර හාමුදුරුවනේ..ඔය කතාව මම අහල තියෙන්නෙ නම් ඔයිට වඩා ටිකක් වෙනස් විදිහකට. " හාමුදුරුවන්ට වැඳල කරල එහෙම කිව්වලු.

" හරි හරි අපේ සිල්ව මහත්තය කියන්නෙ රටේම ප්‍රසිද්ද උගතෙක් නෙව. ඔබ තුමා අහල තියෙන විදිහ සමහරවිට හරි වෙන්නත් පුලුවන්. ඉතිං කියන්නකො බලන්න අපට දැනගන්ටත් එක්කම. " හාමුදුරුවොත් සිනාමුසු මුහුණින් අවසර දුන්නලු.

" අර හාමුදුරුවො වැඩියනෙ පිණ්ඩපාතෙ. ඊට පස්සෙ මම අහපු කතාවෙ හැටියටනං අපෙ අපෙ හාමුදුරුවනේ අර දෙන්න දෙමාල්ලො තමන්ගෙ දරුවව මැරුවෙ නෑ."

" එහෙනං මහත්තය? " ..හාමුදුරුවො ඇහුව නළලත් රැළි කරගෙන.

" දෙන්න එකතුවෙලා හාමුදුරුවන්ට ආරාදනා කලා ගේ ඇතුලට. ඒ කරල පොල්ලක් අරගෙන දුන්න ඔලුවට හාමුදුරුවනේ..ඊට පස්සෙ මන්නයක් අරගෙන…"

එච්චරයි සිල්ව මහත්තයට කියන්ට ලැබුණෙ..හාමුදුරුවො නැඟිට්ට ධර්මාසනෙං..ගින්දර විසිවෙන දෑසින් බලාහිටිය සිල්ව මහත්මයගෙ මුණ දිහා…

" දේවදත්තයා..මිත්‍යාදෘෂ්ඨිකයා.." කියල යටිගිරියෙන් බෙරිහන් දුන්න. බස බස ගෑවිල්ලෙ යන්ට ගියාලු පන්සල ඇතුලට.

ආයම පන්සලේ කටයුතු වලට සහභාගි වෙන්ට කියල ඩබ්. ඒ. සිල්ව මහත්තයට ආරාධනාවක් නම් ආවෙ නැහැල්ලු ඔන්න.එතුමාට මිය පරලොව යනකල්ම හිතාගන්ට බැරිඋනාලු එහෙම ආයම ආරාධනාවක් ආවෙ නැත්තෙ මොකද කියල.

රයිට් ඔන්න සිත්තමී කියන විදිහට එක වරහනක් හරි. හරි බණ කතා ගැන ඇදිල ආවෙ පූර්වාපර සන්ධි ගැලපීමක් ගැන කියන්ට ගිහිල්ලනෙ. ඒ පූර්වාපර සන්ධි ගැලපීම මෙහෙමයි. මේ කියන්ට යන්නෙ පිළිස්සූ කුකුළගෙ කතාවනෙ. හරියටම කිව්වොත් " පිළිස්සූ කුකුළකු කරණකොටගෙන අහිමිවූ මගේ ආදරය. "

එතකොට ඔය කතාවට සම්බන්ධයි මගෙ අතිජාත මිත්තරය අජිතය. අජිත් එක්ක වෙච්චි ආතල් සීන් එකක් ගැන තමයි මේ කියන්ට ආවෙ මම. හරි රාජ කපුරු ගැන මම කිව්වනෙ. අපෙ ඔෆිස් එක කිට්ටුව තිබ්බ මහා විද්‍යාලයක්. ඒ පැත්තෙම තිබ්බ ප්‍රසිද්ධම ඉස්කොලෙ. ඕකෙ හෝල් එකේ රාජ කපුරු පෙන්නනව කියල කියල අපිට ආව ආරංචියක්.ආය මොනවද පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ තමයි. අපේ කෑම්ප් එකේ ඔක්කෝටම යන්ට ඕන උනා රාජ කපුරු බලන්ට.

ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ කොහොමද දන්නවද? ජපන්නු කොළඹට බෝම්බ දැම්මනෙ දෙවන ලෝක යුද්ධෙ කාලෙ 1942 දි. ඒ වෙලාවෙ වැරදීමකින් පිස්සං කොටුවටත් බෝම්බ වැටිල. ඒකෙන් තමයි ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ.

ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට.රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්,

Friday, July 11, 2014

269. විමලෙගෙ වාංපතුල් කතා 15 - වගා සංග්‍රාමය, පේසාලේ තෙල්,සැවුල් එනෝ සහ ආසියාවේ ආශ්චර්යය.

Google Images

රායිට් කේබිය ගැන ඔය ඇති දැනට.... එහෙනං දැන් ඔන්න සැවුළගෙ කතාව...සැවුල් එනෝ කියල අපෙ උන්දෙගෙ අක්කගෙ පොඩි එකී ඒ දවස්වල ගේ පුරා දුවනව හැංගෙන්ට. ඒ මෙහෙමයි. ඔය අපෙ උන්දැගෙ ගෙවල් ගාවම ..ගාවම කියන්නෙ යාර පණහක් හැටක් මානෙ තිබ්බ සැලූන් එකක්. අර පරණ තාලෙ සැලූන් තිබ්බෙ මතකද ඔහෙලට? පස්වන ජෝර්ජි මහ රජානන්ගෙ වික්ටොරියා මහේසිකාවුන්නාන්සෙගෙ, එතකොට එළිසබෙත් රැජින කුමාරිකාව කාලෙ, ආය ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, දහනායකගෙ ෆොටෝස් එල්ලල බිත්ති පුරා. 

ඔව්වයෙ තිබ්බෙ උළුවස්සෙ මැදක් හරියට වෙන්ට හයි කරපු බාගෙ දොර පලු දෙකක්. වවුල් තටු වගේ හින්ද වවුල් දොරවල් කියලත් කිව්ව. අපි පොඩි කාලෙ කච්චේරිවල එහෙම හයි කරල තිබ්බෙත් එව්ව.

ඒ කාලෙ හිටියෙ දැන් වාගෙ ප්‍රාදේශීය ලේකම්වරු නෙවෙයි නෙව. දිසාපති සහ උප දිසාපතිල.ඔය උප දිසාපති තනතුරු නාමය ආවෙ මට මතක විදිහට 1972 ජනරජ ව්‍යවස්ථාවත් එක්ක. ඊට ඉස්සෙල්ල තිබ්බෙ ප්‍රා. ආ. නි නොහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුර. Divisional Revenue Officer...කෙටියෙන් D.R.O. ආදායම් ගැන විතරක් කියන එක හරි නැහැ කියල හිතල වෙන්ට ඕන උප දිසාපති කියල නම දාන්ට ඇත්තෙ.

එතකල් පෙබරවාරි 4 සමරපු නිදහස් දිනේ එදයිං පස්සෙ වැටුන මැයි 22 ට. පෙබරවාරි 4 ජාතික වීර දිනය උනා. පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව උනා. ජා.රා. සභාව කෙටියෙන්. ඉංග්‍රීසියෙන් National State Assembly කෙටියෙන් N.S.A.

නිකම්ම ලංකාව විදිහට තිබ්බ රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය උනා. ඔය නම ගැන කියද්දි මට මතක් වෙන්නෙ අර අලුත් මාලු කතාව. අලුත් මාලු විකිණීමට තිබේ කියල පත අකුරෙං බෝඩ් එල්ලගෙන ඉන්නෙ කුණු වෙච්චි දහ ජරාව විකුණන කාපාළුවො.රටේ නමත් එහෙමම තමා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල බෝඩ් එල්ලගන්ට වෙලා තියෙන්නෙ මෙහෙ ප්‍රජාතන්ත්‍රයක්වත් සමාජවාදයක්වත් බෙහෙතකටවත් නැති හින්දනෙ. ඒ තියා ජනරජයකුත් නෑ. ජනරජය කියන්නෙ ජනතාව රජ කරන කියන එකනෙ. එහෙම එකක් කොහෙද තියෙන්නෙ? එතකොට මුලටම තියෙන ශ්‍රී කෑල්ල නැතිවෙලා ගිහිල්ල නං සෑහෙන කාලයක් වෙනව. එතකොට අර මාලු වෙළෙන්දගෙ බෝඩ් එකේ සුප්‍රසිද්ධ කතාව අනුව රටේ නමෙං ඉතුරු වෙන්නෙ ලංකාව කියන කෑල්ල විතරයි. ඇත්තම කිව්වොත් සුද්දගෙ කාලෙ ඉඳල තිබ්බ ඒ නම විතරයි අපිට ගැලපෙන්නෙ. අන්න ඒක තමයි කියන්නෙ ඔය සුද්ද කියන මනුස්සය එහෙම ආවට ගියාට වැඩක් කරන්නෙ නෑ. හොඳට හිතල මතල තමයි මොන දේ කලත් කරන්නෙ...හෙහ්,හෙහ්,

දැං ඔය කඩුගන්නාවෙ ගල විදපු එක බලමු.

" යකෝ තොපි උඩරට උඩරට කියල මැරෙන්ඩ හැදුවට සුද්ද කඩුගන්නාවෙ ගල විදල පාර හදල තොපෙ වල්ගෙ කපල ගත්තෙ නැත්තං තොපි තාමත් කොළ අතු ඇඳගෙන මීමින්නො පාරෙ එළවනව. "

උඩරට මාන්නක්කාරකම ඔලුවට ගහල හිටපු එවුං අපි අතරත් හිටිය. එවුං Cut down to size කරන්ඩ අනික් එවුන් කියන්නෙ ඔහොම.අනික් අතට පාතරට එවුන්ට කියන්නෙ මෙහෙම.

" අනේ බං උඹලට මොකද්ද තියෙන ජාති ජම්මෙ? සුද්දො ගොඩ බැහැපු ගමං ගියා උන්ගෙ *** ලෙව කන්ට. උඩරට අපි තමයි අන්තිම වෙනකල් හරි සිංහල ජාතිය කියන එක යන්තමට හරි රැකගත්තෙ. "

ඔය උඩරට / පාතරට වාද විවාද වලදි මම එක පැත්තකට වත් නෑ. මොකද මගෙ අම්ම උඩරට... අප්පච්චි පාතරට. එතකොට නිල වශයෙන් මම ඇවිල්ල පාත්තයෙක්. ඒත් මම කරන්නෙ ඔය උඩරට-පාතරට වාදබේද වලදි දෙපැත්තටම සපෝට් එක දීගෙන ඉන්න එක. එහෙම උනාම අවුලක් නෑ. කවුරුවත් තරහ වෙන්නෙත් නෑ..

70-77 කාලෙ ආණ්ඩුවෙන් පටන් ගත්ත වගා සංග්‍රාමය කියල එකක්.අපේ ආහාර අපිම වවමු කියල තමයි ඒකෙ තේමාව. දැනුත් ඔය තියෙන්නෙ අපි වවමු, රට නඟමු කියල අන්න ඒ වගෙ.උදේ පාන්දර 5 ට රේඩියෝ එකේ ඒ දවස්වල යනව සෙත් පිරිත්. අර එෆ්. එම්. ,මේ එෆ් එම්..සිරස බිරස , නෙත් එෆ්.එම්. බෙත් එෆ්.එම්. ඒ වගෙ ගෝණි කනක්කුවෙ තිබ්බෙ නෑ රේඩියෝ..ආණ්ඩුවෙ එව්ව විතරයි.ඒත් තිබ්බෙ වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය සිංහලෙන්.ඉංග්‍රීසියෙනුත් චැනල්  දෙකක්ද කොහෙද තිබ්බ. චැනල් ටූ එකේ හැමදාම රෑ හතහමාරට මම අනිවාර්යයෙන් අහපු වැඩ සටහනක් තමයි ටොමී පෙරේරා කරපු බ්‍රිස්ටල් ස්පොර්ට්ස් නිව්ස් රීල්. ඕකෙ තේමාව යන්නෙ මෙහෙමයි.

" Bristol is the ummatched that gives you satisfaction, better taste and fresher flavour ….That's why bristol belongs to the world of today. Once again this is bristol sports newsreel , your daily round up from the world of sports ..I am Tommy Perera…The board of control for cricket today announced the Sri Lankan team for the first world cup to be played during june in England. Anura Tennekoon would lead the team with Michael Tissera as the deputy. Other members would be Ranjith Fernando, David Heyn, Sunil Wettimuny, Mevan Pieris, Tony Opatha, .............."

වෙළඳ සේවයෙ රෑ අටහමාරට ගුවන් විදුලි නාට්‍යයක් යනව. ඉරිදට මොණර තැන්න, සඳුද මුවන් පැළැස්ස, බෘහස්පතින්දට ගුවන් විදුලි රඟ මඬල, ගුවන් විදුලි රඟ මඬලට බොහෝ විට නාට්‍ය ලිවෙ සුගතපාල ද සිල්වා. සිකුරාද හන්දියේ ගෙදර, වජිරා, ඇස් දෙක, තව ලස්සන කතාවක් ගියා මට ඒකෙ නම මතක් වෙන්නෙ නෑ.වලව්වක වංශවත් තරුණයෙක් සහ කුලහීන තරුණියක් අතර ඇතිවන සෙනෙහසක් පිළිබඳව. කෙල්ල දක්ෂ නැට්ටුක්කාරියක්. කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක නම් මතකයි. මුතූ සහ මොරපාතොට අප්පො.චරිත දෙකට කටහඬ දුන්නෙ කරුණාරත්න අමරසිංහ සහ නිරංජලා සරෝජිනී.ගිම්හාන ගීතයත් තව ලස්සන කතාවක්.

හරි, 70-77 කාලෙ ගැන ඔය මදැයි. පඳුරු තලනවයි කියල ආය මෙහෙමත් ඉතිං ...නැද්ද?...ඒ කාලෙ ගැන ආයම ලියන්නම් වෙනම. වගා සංග්‍රාමය. උදේම රේඩියෝ එකේ යන දේශාභිමානී ගීත. අම්මාපල්ල ඒ ගීත ඇහෙනකොට උදැල්ලක් අරගෙන ගිහිල්ල හිස හැරුනු අතේ කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව. ඇඟේ මස් නලියනව. " උදළු අරං වරෝ, නගුල් අරං වරෝ, රට නඟන්න වරෝ.." ඔය එකක්.

" සොඳුර මට සමු දෙන්න..සමු දෙන්න...සොඳුර මට සමු දෙන්න සමු දෙන්න, ඈත ගමේ සරු පස පෙරලන්නට මා යනවා හෙට උදෑසනේ. සොඳුර මට සමුදෙන්න සමු දෙන්න,සොඳුර මට සමු දෙන්න,සමු දෙන්න, "


ඔය සොඳුර මට සමුදෙන්න කිව්වෙ ඩී.ඩී. ගුණසේනද කොහෙද...

අබේවර්ධන බාලසූරිය කිව්වෙ මෙහෙම " ගංගා එන්නකෝ ගංගා..මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා. "

ඒ ගංගා කිව්වෙ කෙල්ලෙක් ගැන එහෙම නෙවෙයි..මහවැලිය ගැන. පේසාලෙ ඛනිජතෙල් හම්බ උනාය කියල මහ විසාල නාඩගමක් නැටුව ආණ්ඩුවෙන් මයෙ හිතේ 75 වගෙ වෙන්න ඕන. රෝහණ බැද්දගේ කිව්ව ඒ ගැන මෙහෙම

" හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. මහන්සියට කවි සීපද සින්දු කියනවා හෙමින් හෙමින් හපුතලේ කන්දනඟිනවා. "

ඕකෙ මෙහෙම කෑල්ලකුත් තිබ්බ. …..

" පේසාලෙන් තෙල් උනලා අපේ රටේ වාහන වැඩ පලක් තැනෙනවා. පේසාලේ තෙල් ගහලා අපේ කොල්ලො රූංගාලා එහෙ මෙහෙ යනවා. හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. "

ඔය තෙල් හම්බ උනාය කියල අහස පොළව නුහූලන බොරුවක් කරල තියෙන්නෙ. ආණ්ඩුව පෙරලුනාම එළිවෙච්චි විදිහට ඒ දවස්වල හිටියෙ කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති විදිහට ටී.බී. සුබසිංහ මහත්මය. එයා සමසමාජ. ඛනිජ තෙල් සංස්ථාවෙ සමසමාජ වෘත්තීය සමිතියෙ නායකයෙක්ලු ඔය පේසාලෙන් තෙල් ඉනුවයි කියන ගජ බින්නෙ මූලාරම්භකය. අර මැස්ස එලවන්ට රජ්ජුරුවන්ට කඩුවෙන් කොටපු වඳුරගෙ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඕන එකත් එකටම ඔය මනුස්සය.

ජේ. ආර්. ගෙ ඇට අට, චන්ද්‍රිකාගෙ 3.50හේ පාන්, උන්දැගෙම අවුරුද්දක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගෙ වංචනික ඡන්ද පොරොන්දුවක් නොවුනට පේසාලෙ තෙල් කේස් එකත් මිනිස්සු ගොනාට අන්දවන්නට දේශපාලකයන් එදා ඉඳලම දරන උත්සාහයෙ තවත් එක් කඩ ඉමක්.

හරි දැනට ඇති ඒ පඳුරු තැලිල්ල. ආපහු යමු බලන්ට උඩහට...හරි කොතනදිද අපි කැලේ පැන්නෙ..ම්ම්ම්ම්ම්...හරි මේ තියෙන්නෙ..සැවුල් එනවෝ කියල අපෙ හාමිනේගෙ අක්කගෙ පොඩි එකී ගේ පුරා දුවනව හැංගෙන්ට තැනක් හොය හොය. ඒක වෙන්නෙ මෙහෙමයි. අපෙ උන්දැගෙ අප්පච්චි ගිහිල්ල බාබර්ව එක්කල එනව ගෙදර. පොඩි එකීගෙ කොණ්ඩෙ කප්පවන්ඩම. මිදුලෙ උස පුටුවක් තියල රෙද්දක් එහෙම බෙල්ල ගාවට ගැට ගහල බාබර් උන්නැහැ පොඩි එකීගෙ කොණ්ඩෙ කපනව. ඕකිට පොඩි කාලෙ හෙන කුචි. එහාට ඇඹරෙනව මෙහාට ඇඹරෙනව. ඒකයි අර අප්පච්චි ගිහිල්ල බාබර් එක්ක එනකොට " සැවුල් එනවෝ බුදු බුදු අම්මෝ " කියල ගේ මුලුක්කාදියෙ දුවන්නෙ. බාබර්ට අප්පච්චි කියන්නෙ සැලූන් කියල හින්ද පොඩි එකී කියන්නෙ සැවුල් කියල.

ඔය කොණ්ඩෙ කපනකොට කුචි වැඩේ පොඩි කාලෙ මටත් තිබ්බ. ඒ කාලෙ ඔය ඉලෙක්ට්‍රික් හෙයාර් ක්ලිපර්ස් තිබ්බ එකක් නෑ. ලෑන්ඩ් මාස්ටර් එකක් වගෙ අඬු දෙකක් තියන කොණ්ඩෙ කපන මැෂිමක් විතරයි තිබ්බෙ. ඉතිරි හරිය ඉතිං කතුරෙන්ම තමයි.

සැලූන් එක්ක පොඩි කාලෙ ඉඳලම මගෙ තිබ්බෙ බොහොම කිට්ටු ආශ්‍රයක්. ඒ මොකද කියනවනම්……... ඒ මොකද කියනවනම්..ඔය වචන සෙට් එක නිතරම පාවිච්චි කරපු අපේ රටේ නායකයෙක් හිටිය. කවුද දන්නවද? ඩී. එස්. සේනානායක මහත්මය. ලංකාවෙ පළවෙනි අහමැති තුමා.

ඒ කාලෙ චිත්‍රපටි බලද්දි ෆිල්ම් එක පටන් ගන්ට ඉස්සරවෙලා ජාතික කොඩිය දානව ස්ක්‍රීන් එකේ. ඒ වෙලාවෙ නැඟිටල පුටුව උඩ නැඟල සීරුවෙන් ඉන්න ඕන. ඊට පස්සෙ දානව රජයේ චිත්‍රපට අංශයෙ ( Government Film Unit නොහොත් G.F.U. ) එක එක වාර්තා වැඩසටහන්. එව්වයෙ තමයි ඔය පරණ සීන් කෝන් තියෙන්නෙ. ඩී.එස්. ගල් ඔය ව්‍යාපාරෙ විවෘත කරද්දි කරපු කතාව. පළවෙනි පාර්ලිමේන්තුව අමතල කරපු කතාව. ඔය වගෙ නොයෙක් එව්ව.එස්.ඩබ්.ආර්.ඩී. ගෙ අවමඟුලත් පෙන්නුව මට මතකයි. ඇපලෝ 11 හඳට ගිය එකත් පෙන්නුව. ඒ නම් අමරිකානු තානාපති කාර්යාලෙ අනුග්‍රහයෙන්. නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් පාවෙවී වගෙ හඳේ ඇවිදින විදිහ බලල අපිට හරිම තන්තෝසයයි ඉතින්. ගෙදර ඇවිල්ලත් මිදුල පුරා මම ඒ වගෙ ඇවිද්ද...හෙහ්,හෙහ්,

හරි ආපහු සැලූන් ගැන. මෙතෙක් කාලෙකට මම ගෙදරදි රැවුල කපල නෑ කියල කිව්වොත් ඔහෙල පිළිගන්නවද? ඔය එහෙන් මෙහෙන් තැන් තැන් වල එන රැවුල්ගස් කපනව නම් තමයි. ඒත් සම්පූර්ණ රැවුල බෑමකට මම අනිවාර්යයෙන් යන්නෙ බාබර් සාප්පුවකට. ඒකයි මම කිව්වෙ බාබර් සාප්පු සමඟ මගේ ඇසුර බොහොම දුරදිග ගිය එකක්ය කියල.ඔය සම්බන්දවම පොඩි පලහිලව්වකුත් තියනව මගෙ.. ආය ඔහෙලට ඉතිං කිව්වම මොකද? හරි ඒ කතා ඔක්කොම වෙනම ලියන්නං මගේ කරණවෑමි කතා කියල.

රයිට් ආයම බලමු මේ පැටලුම ලෙහාගන්ට. දැං කියන්ට ඕන මොකක්ද? පිළිස්සූ කුකුළකු නිසා අහිමි වු මගේ ආදරය...එතකොට ඒ කේස් එකට සම්බන්දයි මගෙ යාලුව අජිත්.අජිත් සම්බන්ද වෙන්නෙ මෙහෙමයි. කොහොමද? අජිත්ගෙ නෑනා ..මාමගෙ දුව තමයි ඔය කතාවෙ ප්‍රධාන චරිතය. අපි දාමු නමක් ..මොකක්ද හොඳ?..ම්ම්ම් අසෝකා කියමුකො.

පිළිස්සූ කුකුළගෙ කතාව කියන්ට ඉස්සෙල්ල පසුබිම විදිහට අජිත් ගැන කියන්ට ගිහිල්ල තමයි කේබියයි, ගර්ත් මැනිල්ලයි,ස්පිල් කුම් කෝස්වේ එකයි රටේ නැති ඔක්කොම ඇදිල ආවෙ. රයිට් එහෙනම් ඉන්ටලාකො අජිත් ගැන එක කතාවක් කියන්නං වෙන මොකටවත් නෙවෙයි මිනිහ කොහොම කෙනෙක්ද කියල අඳුන්වල දෙන්න. විනෝදස්වාද කටයුතු නොහොත් එන්ටර්ටේන්මන්ට් අපිට ඒ දවස්වල බොහොම හිඟයි. ඉතිං හදිස්සියෙන් වත් නාට්‍යයක් එහෙම අහල පහල පෙන්නනව කියල ආරංචි උනොත් අපි ඉතිං පිස්සු බල්ලො වතුර හොයං යනව වගෙ තමයි හොයාගෙන යන්නෙ.

ඔන්න ඉතිං අපි හිටපු හරියට කිලෝ මීටර් විස්සක් වගෙ එහා රාජ කපුරු පෙන්නනව කියල ආරංචියක් ආව. දන්නවනෙ නේද රාජ කපුරු නාට්‍යය. ඒ කාලෙ මාර විදිහට ජනප්‍රිය උනා. විශේෂයෙන්ම ඒකෙ සිංදු.." සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි, කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා...හැඩ වැඩ වෙන්න ඔයා..ලස්සන සළු පළඳා එනවා ඔබව සොයා..." රවීන්ද්‍ර යසස් කුමානායක ඒ ගීතය ගායනා කරන්නෙ. ජගත් චම්පික බෙනරගම කියන්නෙ රවීන්ද්‍ර යසස්ගෙ මස්සිනා. මේ පහුගිය බස්නාහිර පළාත් සභා ඡන්දෙදි ඔය දෙන්නම ඡන්දෙ ඉල්ලුව ජෙනරල් ෆොන්සේකගෙ පක්ෂෙන්.

ඔය නාම යෝජනා දෙන කාලෙ ජගත් චම්පික ප්‍රධාන චරිතයක් රඟපෑව ස්වාධීන රූපවාහිනියෙ ගිය පබසරා ටෙලි නාට්‍යයෙ. හරියටම නාම යෝජනා බාර දීල දවස් ඕනනම් දෙකක් යන්ට ඇති. මෙන්න පබසරා නාට්‍යයෙ ජගත් චම්පික රඟපාපු චරිතය ( ඒ චරිතයෙ නම නලින්ද ) අතුරුදන් උනා. ඒ නාට්‍යයෙ මිනිහ කලේ කුකුල් ව්‍යාපාරයක්. බිත්තර විකුණන්ට කියල බයිසිකලේ පෙට්ටියත් බැඳගෙන ගිය මනුස්සය මෙන්න එක පාරට අන්තර්ධාන උනා. පබසරා අපි මෙහෙ හැමදාම බැලුව. මම මෙහෙ ඉන්නෙ යාලුවෙක් එක්ක එපාර්ට්මන්ට් එකක් ෂෙයාර් කරගෙන කියල මම කලින් කිව්වනෙ. ඒ යාලුව එක්ක මම කිව්ව " මොකද බං අර නලින්දට උනේ? හරිම අස්වාභාවිකයිනෙ ඒ යකා අතුරුදන් වෙච්චි විදිහ.." යාලුවටත් දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. සතියකට වගෙ පස්සෙ පත්තරෙන් මේ මනුස්සය චන්දෙ ඉල්ලනවයි කියල දැක්කම තමයි ඔන්න වෙලා තියෙන්නෙ මොකක්ද කියල මීටර් උනේ...හෙහ්, හෙහ්,

ආසියාවේ ආස්චර්යයනෙ..ඔව්ව බලාපොරොත්තු වෙන්ට වෙනව..ඔව්ව සුලු දේවල්...

ඒත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්ට තරම් කොන්ද පණ තිබ්බ කලා කාරයො හැටියට රවීන්ද්‍ර යසස්, ජගත් චම්පික සහ තව එක්කෙනෙක් ඉන්නව නලීන් ප්‍රදීප් උඩවෙලට අපේ ගෞරවය මේ වෙලාවෙ පිරිනමන්නම ඕනෙ.

ප. ලි. - අපෙ උන්දැගෙ අප්පච්චි, මගෙ මාමණ්ඩි පහුගිය ජූනි පළවෙනිද අභාව ප්‍රාප්ත උනා. මට අවසාන කටයුතු වලට සහභාගි වෙන්ට උනේ නෑ. උන්දැ මියෑදුනෙ පිළිකාවක් කරන කොටගෙන නිසා දවස් දෙකක් ඇතුලත අවසාන කටයුතු කලා. මෙහෙ වැඩ රාජකාරිත් එක්ක ඒ හදිස්සියෙ මට නිවාඩු ගන්ට පුලුවන් උනේ නෑ. මගෙ නැන්දම්මගෙ මළ ගෙදරට සහභාගි වෙන්ටත් මට බැරිඋනා. එතකොට මම මෙහෙ ඇවිල්ල මාස හතරයි. ඒ නිසා ඒකත් මඟ ඇරුන. මොනව කරන්නද? ජීවිතේ හැටි එහෙම තමයි.

Monday, July 7, 2014

268. ඇසළ සඳ මතක සුවඳ..…The Fragrance of lingering memories.


Image  - Wath
එසඳ එක් සොඳුරු යුගයක, 
කල්ප කාලාන්තරයකට පෙර,
ඇගේ සියොලඟින් හමා ආ,,
වතුසුදු මල් සුවඳ !!!!!


Once in that misty past long ago,
When the fragrance was filling my soul,
The melodious notes of resonance,
Reverberating through time itself.


එසඳ එසුවඳ ළයපුරා පිරීගිය සඳ,
පියන්පත් හැරදැමූ කවුළුවෙන් ගලාවිත්,
සයනයෙහි මල් ඇතිරිල්ල මත,
තුරුපත් කැටයම් මැවූ සිහිල් සඳ රැස !!!! 


The fluidity of brilliant moon light,
Shadows failing to mask the happiness on her face,
She was there in all her glory,
Smiling her enigmatic smile,


එසඳ සෙනෙහසින් මත්වූ දෙනයන,
සුරත රැඳි මුවවිට පිරුණු මදුවිත,
සත්කුළු පව් පවා සසල වන කල,
ඉරණම කවරක්වේද සෙමෙන් ගැහෙනා හද මඬලක !!!! 


Leaving that perplexing half smile behind,
Aroma of that lingering fragrance to boot,
She has gone vanishing into that swirling mist,
Just like the waning moon behind a craggy peak,


රිදුමකින සිත පත්ල පිරිමදින එසඳ සඳ,
සුසුමකින සහස් වර ඔද්දල්ව රිදුම් දෙත,
නෙතුඅගට ඉනු කඳුළු බිඳු සිසිල එක පැහැර,
මතකයක සොඳුරුතම සුවඳක්ය හද පිරෙන !!!! 


Grief unspoken to the depth of my heart,
Nothing but darkness to share my solitude,
Coldness of tears hanging beneath eye lashes,
What else but sweet memories until death and beyond,

Friday, July 4, 2014

267. විමලෙගෙ වාංපතුල් කතා 14 - ස්පිල් කුම් කෝස්වේ, තන්තෝසෙ සහ කාන්තිගේ කතාව.

අනුරාධපුර නුවර වැව පිටවාන - Google Images

කේබියගෙ ගර්ත් මැනිල්ලෙ කතාව ඔන්න එතනිං ඉවරයි. පිළිස්සූ කුකුළගෙ විස්තරේ කියන්ට ඉස්සරවෙලා ඉන්ටකො එහෙනං කේබී ගැන තව එක කතාවක් විතරක් කියල ඉන්නං. මේක ඇවිල්ල මේ වැව් සම්බන්ද කතාවක්. 

ඔය වැව්වල තියෙනව නොයෙක් උපාංග. රජකාලෙ බිසෝකොටුව කියල කියපු එකට දැන් කියන්නෙ හොරොව්ව. වැවෙන් පෝෂණය වෙන කුඹුරු වලට වතුර නිකුත් කරන්නෙ ඔය හොරොව්වෙන්. ඉංග්‍රීසියෙන් කියන්නෙ Sluice. තව තියනව වැව්වල පිටවාන කියල එකක්. මහ වරුසාව කාලෙට වැවේ කට මට්ටං වතුර පිරිල වැව් බැම්මට උඩිං උතුරල යන්ට ගියොත් බැම්ම හේදිල වැව කඩාගෙන ගිහිල්ල මහ විනාසයක් වෙන්ට පුලුවන්.

ඔය එක පාරක් කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගියේ. ඒ නම් මට මතක දාරානිපාත විදිහට වැස්සක් හින්ද නෙවෙයි.ඒ ඛේදවාචකයට හරියටම හේතුවක් කවුරුවත් කිව්වෙ නෑ. වැවෙන් වතුර ගන්න ඉන්ටේක් එකක් වැව් බැම්ම උඩ හදන්ට පොළව විදපු පාර වැව් බැම්මෙ ශක්තිය අඩුවෙලා ගිහිල්ල හරියටම එතනිං කඩාගෙන ගියා කියල තමයි කටකතා පැතිරුනෙ. ඒ වැඩේ වෙලා පහුවදාම මම ගියා කන්තලේ. මොකද මගෙ අතිජාත මිත්‍රයෙක්ගෙ ගෙවල් කන්තලේ. උංට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්ට ඕන නිසයි මම තකහනියක් ගියේ. දෙයියංගෙ පිහිටෙං කරදරයක් මොකවත් වෙලා තිබ්බෙ නෑ.

රයිට් ආපහු එමු කේබිය සහ වැව් සම්බන්ද කතාවට. ඒ දවස්වල අපි වැඩ කරපු හරිය කිට්ටුවම මහ දඩ සයිස් වැවක් හදන්ට සැලසුම් කරල තිබ්බ, ඒකෙ වැඩ කටයුතු බාර උනේ අපිට. ඉතිං ඔය මහ බංගසාල වැවේ ඩ්‍රෝයිංග්ස් ඔක්කොම ඔන්න ගෙනාව අපෙ ඔෆිස් එකට. මේ වැඩේ බාර උනේ අපේ කේබියට.

ලොක්ක දවසක හවස කේබියට කතා කරල කිව්වලු මෙහෙම. ……

" කිරිබණ්ඩා, මෙතන තියනව රන්දියවර වැවේ ඩ්‍රෝයිංග්ස් ඔක්කොම. මේ ටික අරගෙන ගිහිල්ල හොඳට ස්ටඩි කරන්න ඕන. මේක ටිකක් සීරියස් වැඩක්. මොකද රන්දියවර වැව තමයි මේ ප්‍රොජෙක්ට් එකේ හැදෙන ලොකුම වැව. ඒ නිසා ගිහිල්ල ඩ්‍රෝයිංග්ස් හොඳට ස්ටඩි කරල මොකවත් ප්‍රශ්නයක් තියේනම් මට කියන්න..තේරුණාද? "

" ඕ. කේ බොස් "


කේබී එහෙම කියල ඩ්‍රෝයිංස් මිටියත් කිහිල්ලෙ ගහගෙන ආව අපෙ ක්වාටර්ස් එකට. හවස තේ බීපු වෙලාවෙ ඉඳල සාලෙ කෑම මේසෙ අර ඩ්‍රෝයිංග්ස් දිග ඇරගෙන එව්වට එබීගෙන ඉන්නව. මේසෙං එකයි, A1 සයිස් එව්වනෙ…....A1 කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 2 x අඩි 3 සයිස්.

" මොනවද බං ඔය? …." විමලෙය හවස වොෂ් එකක් දාල උගෙ ෆ්‍රෙන්ඩ්ෂිප් තුවායෙන් ඇඟ පිහ පිහ සාලෙට එන ගමන් ඇහුව.

" මේ රන්දියවර වැවේ ඩ්‍රෝයිංග්ස්...ලොක්ක මට කිව්ව මෙව්ව ස්ටඩි කරන්නෙයි කියල. "

" ආ.එහෙමද? මල්ලි නොදන්න දෙයක් තියේනම් අහපං…"
විමලෙය එහෙම කියල උගෙ කාමරේට ගියා.

කෑම මේසෙ උඩ දිග ඇරපු ඩ්‍රෝයිංග්ස් වාට ඔලුව නමාගෙන හිටපු කේබිය ඔලුව උස්සල විමලෙය කාමරේට යන දිහාවෙ රවාගෙන හිටිය. ඒ කරල මොනවද හෙමිහිට තොල මතුරනවත් මට ඇහුන. මම කලිනුත් කිව්වෙ ඕක ඔය එක ජාතියක මනුස්සයෙක් කියල. තමන් නොදන්නව කියල පිළිඅරගෙන දන්න කෙනෙක් ගෙන් මොකවත් අහගන්ට එහෙම කැමතිම නෑ.හිතාගෙන ඉන්නෙ සියල්ල දත් කියලයි.

වෙනද කේබියත් අපි එක්ක පොඩිවට එකක් ගන්නව.

" අද බෑ. මේ ඩ්‍රෝයිංස් ටික ස්ටඩි කරන්ට තියනව. "

මචං පොඩි එකක් ගන්නවද? විමලෙ ඇහුවම ඔලුවවත් උස්සන්නෙ නැතුව කේබිය කිව්ව. විමලෙ ඌ දිහා බලල ඉඟි මරල එකක් වක්කර ගත්ත.

පහුවදා උදේ ඩ්‍රෝයිං මිටියත් කිහිල්ලෙ ගහගෙන කේබිය ගියා ඔෆිස් එකට. හවස හතට වගෙ ඔන්න මම ටීටී පාරකුත් එහෙම ගහල ඉහිං කනිං දාඩිය දාගෙන එනව ක්වාටර්ස් එකට.

" ෂ්ෂ්ෂ් මේ...."

වසන්තිලගෙ ක්වාටර්ස් එක පහුකරද්දි එහෙම ඇහුනම මම නැවතිල හැරිල බැලුව. වසන්ති ඉන්නව එයාලගෙ මිදුලෙ මයිල ගහ යට. වසන්ති මතකනෙ නේද? ඔබ එදානම් සඳ වගේමැයි!!!!!

" මොකද බං? ෂූ ෂූ ගාන්නෙ...උඹේ කොහෙං හරි හුලං යනවද? " මම වසන්ති දිහාට යනිං ගමන ඇහුව.

" මගෙ කොහෙවත් හුළං යන එකක් නෑ. ආ..උඹට එපානං නිකං ඉඳහං…"

" මොකද්ද බං? "

" අද උදේ ඔෆීස් එකේ වෙච්චි එකක්…"


ඔෆිස් එකේ වෙන ආතල් කේස් ද සීන් ද ඔක්කොම ඕකි මා දැක්ක කියනව. කට අඹරවල ඇස් දෙකත් ලොකු කරගෙන එව්ව කියන විදිහ තමයි බලා ඉන්ට අපූරුව. හෙහ්, හෙහ්,

" හරි හරි බං ඉතිං ....කියහංකො…"

" කේබී අයිය......"


හෙහ්,හෙහ් කේබිය ගැන කියනකොටත් මට හිනා....

" මම දන්නව ඕක මොකද කරන්ට ඇත්තෙ කියල ...අර මාගල් වගෙ ඩ්‍රෝයිං කැටියත් අරගෙන ඇවිල්ල උඹේ මේසෙ උඩ දිගඇරගෙන එව්ව ඉස්ටඩි කොලාද? හෙහ්,හෙහ්, "

" හිහ්, එහෙම කලානම් තව බැරිය...."


එහෙම කියල වසන්ති තොල් හපාගෙන මා දිහා බලා හිටිය. ඕකි හොඳටම දන්නව මාව අවුස්සන්ට..

" ඉතිං කියාපංකො අගේ කරන්නෙ නැතුව…" මම බැරිම තැන කිව්ව.

ආ..ඊට කලින් තව එකක් කියන්න තියනව. මම කලින් කිව්වනෙ ඔය වැව්වල වැඩිපුර වතුර අයින් කරන්ට පිටවාන කියල එකක් හදනවය කියල. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Spill කියල.

සමහර වෙලාවට ඔය ස්පිල් එක උඩින් වාහන එහෙම යන්ට පුලුවන් විදිහට පළල්වට හදනව. එහෙම වාහන යන්ට කළුගලෙන් බැඳල හරි කොන්ක්‍රීට් දාල හරි හදන නිර්මිතයට කියන්නෙ Causeway කියල. සිංහලෙන් සපත්තු පාලම ..සමහර ඔය ඌව පළාතෙ වගෙ ඒකට ගිණිපෙට්ටි පාළම කියලත් කියනව.ඔය සපත්තු පාළං බහුලව හම්බවෙනව නැගෙනහිර පළාතෙ සහ ඌව පළාතෙ.පාර හරහා යන පොඩි ඇළක් වගෙ දියපාරකට, සාමාන්‍ය ක්‍රමේට පාළමක් ඉදිනොකර ඇළ මට්ටමට පාර පහත් කරල සපත්තු පාලමක් හදනව. වැහි කාලෙට පාර උඩින් වතුර යන්නෙ. වාහන වතුර පාර හරහ ගිහිල්ල එගොඩ වෙන්ට ඕන. පයින් යන මිනිස්සුන්ට සපත්තු ගලවල කලිසම් සාරි නවාගෙන අනික් පැත්තට යන්ට වෙනව. ඔව්වට සපත්තු පාළංය කියල කියන්නෙ ඔය හින්දවත්ද අනේ මන්ද...

වැවක ඔය පිටවානෙ සහ සපත්තු පාළමෙන් කෙරෙන කර්තව්‍යයන් දෙකම එකපාරම කෙරෙන නිර්මිතයට කියන්නෙ Spill cum causeway කියල.Business cum pleasure, Kitchen cum dinning area …..එහෙම කියනව. යම් කාර්යයන් දෙකක් එකට සම්බන්ධ කරන්ට Cum කියන වචනෙ යෙදෙනව.

" මිස්ට රාජපක්ෂ ඔෆිස් එකට එනකොටම දැක්ක කේබී අයිය ඩ්‍රෝයිං ගොඩත් කිහිල්ලෙ ගහගෙන ඉන්නව. "

ආ..කිරි බණ්ඩ..එන්ඩකො මෙහාට කියාගෙන කාමරේට ගියා. කේබී අයියත් ඒ පස්සෙන්ම ගියා.

මට ඇහුණ ඊට පස්සෙ අහනව ආ කිරිබණ්ඩ දැන් කොහොමද? මම ඊයෙ කියපු විදිහට ඩ්‍රෝයිංස් ස්ටඩි කලාද? කියල.

ඉතිං?

ඉතිං කේබී අයිය කිව්ව. ඔව් බොස් කියල.

ඊට පස්සෙ ලොක්ක අහපි මොකවත් ප්‍රශ්ණ එහෙම නැහැනෙ….

බොස් වෙනනම් අවුලක් නෑ ඒත්…

ඔව් කිරිබණ්ඩ මොකද ඒත්? ප්‍රශ්ණයක් නම් බය නැතුව කියන්න...

නෑ බොස් මේ…

මම කිව්වනෙ කිරිබණ්ඩ..ප්‍රශ්නයක් නම් කියන්න.

බොස් මේ ස්පිල් එකත් අවුලක් නෑ..කෝස්වේඑකත් හරි. ඒත් මේ කුම් එක තමයි අවුල...කොටින්ම මට කුම් එක තියෙන්නෙ කොහෙද කියලවත් හොයාගන්ට බැරිඋනා.

කේබී අයිය වටපිට බලලල මිස්ට රාජපක්ස දිහාට නැමුණ. හැබෑටම කොතනද බොස් ඔය කුම් එක තියෙන්නෙ? ඔහොම ඇහුවනෙ ඔය මනුස්සය.

වසන්ති හක හක ගල හිනාඋනා. මටත් නේද? කඳුළු පනිනකල් හිනා!!!....ස්පිල් එකත් හරි කෝස්වේ එකත් හරි ඒත් මේ කුම් එක තමයි අවුල...හෙහ්,හෙහ්,

අර කට කන්ට තනන කතාව කිව්වම තව ඔය වගෙම සීන් එකක් තියනව..එක්කො ඒකත් කියලම ඉමුකො. අපෙ විමලෙ අයියගෙ අම්මයෙ මල්ලිගෙ දුව ගැනයි මේ කතාව. නම කාන්ති....මහ මරුමුස් කෙල්ලෙක්ලු ඒකි.ගස් නගිනවලු..මදු ගහල හාවො මීමින්නො අල්ලනවලු. අය දෙයියන්නාන්සෙට උනත් කියන්ට තියනදේ මූණටම කියනවලු.හැම වාක්කියකම අගට ලු ලු කියල කිව්වෙ අපි ඔය විමලෙගෙ නෑනන්ඩි ඇහැටවත් දැකල එහෙම නෑ. ඔය විස්තර ඔක්කොම විමලෙ කියපුව.

අනේ බං මයෙ මාමයි නැන්දම්මයි හරිම හිතේ අමාරුවකිං ඉන්නෙ..මේ කෙල්ලට මොන කලක් යයිද කියල. ඒ දෙන්නට ඉන්නෙත් එකා යකා කියල ඔච්චරමයි. කාන්ති හොඳ රුව ඇති කෙල්ල. ඒත් ඒකිගෙ මරුමුස් ගති හින්ද කොල්ලො ඕකිගෙ අහලකටවත් කිට්ටු වෙන්නෙ නෑ.

විමලෙය දවසක් රෑට කාල එහෙම අපි මිදුලෙ මයිල ගහ යට රවුමට පුටු තියාන ඉඳගෙන ගමරට විස්තර , එක එකාගෙ පවුල්වල විස්තර කතා කරමින් ඉන්දැද්දි කිව්ව. උගෙ මූණෙ මහ බැරෑරුම් පෙනුමක් එවෙලෙ තිබ්බෙ. අපි කියල ඉතිං මක් කොරන්ටද? උගෙ කතාව අහගෙන උන්න තරු එක දෙක සුදුපාට වලාකුලු වලට මුවා වෙනව බලා ඉන්න ගමන්.

ඊට මාස තුන හතරක් ඔන්න පහුවෙන්ට ඇති. විමලය ගෙදර ගිහිල්ල ආවෙ ලොකු තන්තෝසෙකින්. සන්තෝසෙ කියන එකට තන්තෝසෙ කියලත් පෙලක් උදවිය කියනව. තන්තෝසෙ කිව්වම පොඩි කතාවක් මතක් උනා. ඒකත් කියලම ඉමුකො නැද්ද?

ඔන්න කෙල්ලෙක් සාලෙ සැටියෙ දිගාවෙලා පොතක් බලබල ඉන්නවලු.පොතේ තියන මොහොකට හරි කෙල්ලට හිනහයිලු. කෙල්ලගෙ අයියගෙ යාලුවෙක් ඔන්න ඔය වෙලාවෙ ගෙට ආවලු. කෙල්ල හිනාවෙනව දැකල ඇහුවලු ආ නංගී මොකෝ නිකං තන්තෝසෙ වගේ කියල.

කරුම වෙලාවට කෙල්ලගෙ අම්ම කොහෙද ඉඳල මෙතනට කඩාපාත් උනාලු. එහෙම තමයි යකෝ ඇලවෙලා ඉන්නකොට.නැතුව ආයෙ?.... මේ උඹ ආපු වැඩක් කරගෙන පලයං හරිද? ආව මෙතන තන්තෝසෙ ගැන කතා කරන්ට. අම්ම බෙරිහං දුන්නලු. අර ආපු කොල්ලට උතුර දකුණ මාරු උනාලු. මේ මොකක්ද යකෝ මේ කඩා පාත් උනේ කියල.වැඩේ කියන්නෙ ඒ කෙල්ල මැස්සො බීපු ගොයං ගහක් වගේ. හරිම කෙට්ටුයි. කතා කරන කතා කරන මඟුල හරියන්නෙ නෑ ඔය සීන් එක නිසා. කෙල්ලගෙ අම්ම ඔය හින්ද හෙන හිතේ අමාරුවෙන් ඉඳල තියෙන්නෙ.

ඉතිං විමලෙය ලොකු තන්තෝසේකින් ආවය කියල මම කිව්වනෙ.

මචං කාන්තිට මඟුලක් හරිගියා බං. වැඩි දුරකුත් නෑ. ඔන්නම් කිලෝ මීටර් හත අටක් ඇති අපෙ ගෙවල් වල ඉඳල. මනමාලය ඉස්පිරිතාලෙ වැඩ. ඇටන්ඩන් කෙනෙක්. ටිකක් සැරපරුස මනුස්සයෙක් වගෙයි පේන්නෙ. කාන්තිගෙ විස්තර අහල කිව්වලු ආ. මට ඔව්ව ගාණක් නෑ. මම එයාව හදා ගන්නං කියල. එක අතකට එහෙම වෙන එකත් හොඳයි බං . නැත්තං ලේසි වෙන එකක් නෑ ඕකිව ආංබාං කරන්ට.

ඊටත් මාසෙකට වගෙ පස්සෙ ඔන්න මඟුල තිබ්බ. විමලෙය දවස් තුනක්ද කොහෙද නිවාඩු දාල ගියා. ඊළඟ සඳුද හවස්වෙලා ඔන්න මූ ආපහු ආපි. මූණ එච්චර හොඳ නෑ. ඇවිල්ල ඇඟපත හෝදල කහට උගුරක් ගහනකල් මම මොකවත්ම ඇහුවෙ නෑ.

මොකෝ විමලෙ සීන් එක? උඹෙ මූණ හරි නෑ එච්චර. තේ බොනගමන් මම ඇහුව.

මාර කේස් එකනෙ බං...අර මාමටයි නැන්දම්මටයි ගිනි පත්තුවෙලා මිසක නැත්තං හිනාකාල පණයනව බං වෙච්ච වැඩේට?..හෙහ්,හෙහ්,

නෑ???..ඉතිං? මොකද උනේ?

කාන්ති නංගි කසාද බන්දල අපි කට්ටියම ගිහිල්ල මනමාලයගෙ ගෙදෙට්ට ඇරලුවනෙ. ආපහු ඇවිල්ල ඔන්න නෑදෑයො එයාලගෙ ගෙවල් වලට ගියා.මාමයි නැන්දම්මයි තනියම හින්ද මම රෑ එකොලහ දොලහ වෙනකල් එහෙට වෙලා කතා කර කර හිටිය. දෙන්න දෙමාල්ලො පුදුම සන්තෝසෙකින් ඔන්න හිටියෙ.අනේ බුදු පුතේ මගෙ පපුවෙ ඇවිලිච්චි ගින්දරේ තරම දන්නෙ මම විතරයි. නැන්දම්ම කීප පාරක්ම එහෙම කිව්ව.

හොඳටම රෑ උනා..මාමෙ මම එහෙනම් යන්ටයි කියල ...මම නැඟිට්ට.

පුතාට කහට උගුරක්වත් තනන්ටද? නැන්දම්ම එහෙම අහල නැඟිට්ට. හා..එහෙනං ඒකත් බීලම යමුකො..එහෙම කියල මචං මම ආයම වාඩිඋනා. ඒ එක්කම මිදුල පැත්තෙං ඔන්න බයිසිකල් බෙල් එකක් ඇහෙන්ට ගත්ත.

කවුද පුතේ මේ දෙගොඩ හරියෙ? මාම එහෙම කියල නැඟිට්ට. කවුද ඔය? නැන්දම්ම ඉස්සරහ දොර ගාවට ගිහිල්ල ඇහුව. අම්මණ්ඩි දොර අරින්ට..දෙයියෝ සාක්කි කෙල්ල නේද? නැන්දම්ම එහෙම කියල පොල්ල අහක් කරල දොර ඇරිය. මිදුලෙ හිටගෙන හිටියෙ කාන්ති නංගි..බයිසිකලේකුත් හේත්තු කරල තිබ්බ මිදුලෙ අරලිය ගහට. දෙයියෝ සාක්කි මොකද දුවේ මේ? නැන්දම්ම කම්මුලේ අත තියාගත්ත.

මට ඒ මිනිහ එක්ක ඉන්ට බෑ අම්මණ්ඩි එහෙම කියාගෙන කාන්ති ගෙට ආව. ආ..විමලෙ අයියත් ඉන්නවද? මට බෑ අයියෙ ඒ මිනිහ එක්ක ඉන්ට.මාම ගල් ගිල්ල වගෙ බලා හිටිය මිසක වචනයක් කතා කලේ නෑ.

ඒ මිනිහ හිතාගෙන ඉන්නෙ එයා කියන විදිහට මම ආණ්ඩු මට්ටුවෙයි කියල. එව්ව කොහෙද මාත් එක්ක. අම්මණ්ඩිල පිටත් උන වෙලාවෙ ඉඳල එයා මට එයාගෙ රැස් පෙන්නන්ට ගත්ත. මාව බයකරගන්ට හිතාගෙනද කොහෙද?

ඔක්කොමත් හරි උදේ ඉඳල තෙහෙට්ටුවට මට ඇඳට වැටුන ගමන් නින්ද ගියා.

එතකොට මනමාලය? මම ඇහුවෙ කටෙන් නෙවෙයි ඇස් දෙකෙන්..

ඒ මිනිහ යාලුවොත් එක්ක බිව්වද කොහෙද? මම එව්ව හොයන්ට ගියේ නෑ.මට යන්තමට නින්ද යාගෙන ආව විතරයි ගැස්සිල ඇහැරුනා. මෙන්න මේ මිනිහ පාත් වෙලා මගෙ කට කන්ට තනනව. මම මිනිහව තල්ලු කරල දාපු පාර විසිවෙල ගිහිල්ල බිත්තියෙ හැප්පිල වැටුන. ඒ පාර මිනිහ නැඟිටල මගෙ කම්මුලට ගැහුව. මගෙ අම්ම අප්පවත් මට මෙතෙක් කාලෙකට නිය පිටිං පාරක් ගහල නැති එකේ මේ කොහෙද යන එකෙක්ගෙං මම ගුටි කන්ට. කලුවරේම අතගානකොට අහු උනේ මයෙ හිතේ දොර පොල්ලද කොහෙද..ඒකෙං දෑත බදල දෙකයි දුන්නෙ උන්දැගෙ පිට මැද්දට..බුදු අම්මෝ කියාගෙන ඇදගෙන වැටුන බිත්තිය අයිනෙ තිබ්බ මේස කබලත් පෙරලාන. මම එහෙම්මම එළියට බැස්ස. කාගෙද සයිකලයක් හෙත්තු කරල තිබ්බ බිතක්කනේ. ඒකත් අරගෙන ආව එන්ට.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...