Monday, July 28, 2014

272. ඇගේ නම...යසවතී.

Painting - Margarita Georgiadis


ට්‍රැක් හතරෙ ඉස්කෝලෙ, 
අටේ පන්තියෙ විතර, 
සුදු කෙට්ටු කොණ්ඩෙ දිග, 
කවුද ටීචර්ගෙ නම? 
විමලාය. 

පංතියෙ පස්සේම, 
පේළියේ හිඳ උන්නු, 
ඇගේ නම මම ඇහුවෙ, 
ඒ මූණ දිහාවත්, 
නොබලාය. 

" යසවතී.…" 
යන්තමට හිනා වෙල, 
හීනිවට ඇස් හදල, 
ඈ කිව්වෙ නම අහල, 
දවස් තුන හතරකට, 
පස්සේය. 

වෙනදාට ඉස්කෝලෙ, 
ඇරුණු විට තකහනියෙ, 
ගෙදර දුවනා සිරිත, 
මගෙන් ගිලිහිලා ගියෙ, 
ඉබේමය. 

අඹ ගහේ හෙවණ යට, 
කොයි වෙලෙත් වතුර නැති, 
පයිප්පේ ළඟ ඉඳන්, 
ඈ මගේ ඇස් දෙකට, 
යන්තමට හිනාඋනෙ, 
රතු වෙච්ච මූණ කට, 
තරු වගේ නටන ඇස්, 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය. 

ඕ ලෙවල් වෙනකල්ම, 
ඉස්කෝලෙ මම ගියේ, 
විමල ටීචර්ගෙ කණ, 
පුපුරන්ඩ ගහන ගුටි, 
පාරෙ සැර සක්සුදක්, 
වගේ හොඳහැටි දන්න,
නිසාමය. 

ඕ ලෙවල් විබාගේ, 
පලවෙනිද සිංහලය, 
දෙවෙනිදා බුදු දහම, 
ඉවරවෙල අපි දෙන්න, 
අතින් අත අල්ලගෙන, 
ආයෙ කවදාකවත්, 
ඒ පැත්තෙ නොයන්නෙමු, 
කියා දඬු වැට පැන්නෙ, 
හිත ඇතුලෙ පොදි ගැහුණු, 
හිනා මල් දෝතින්ම, 
අරගෙනය. 

දොරගමුවෙ ඇළ ඉහළ, 
පළාතම වහගත්තු, 
නුගගහේ හෙවණ යට, 
කෙටූ නවදැලි හේනෙ, 
පැල්කොටේ හෙවිල්ලුවෙ, 
ඇගේ දෑතින් කැපුව, 
මාන කොල මිටි එකට, 
බැඳලාය. 

වවුල්පොල කඳු මුදුන, 
වටකරන් වහින වැහි, 
කෝඩෙ අඩුවුන යලේ, 
දාල පිච්චිලා ගිය, 
බටු මිරිස් ගොල්ල ගිණි, 
තියල අපි ඒ දිහා, 
බලාගෙන හිනාවුනෙ, 
අඬන්නට බැරි හින්ද,
වගෙ නේද? 

පෙරහැරක් හෝ දෙකක්, 
ඔය අතරෙ ගෙවිල ගියෙ, 
අපේ හිත්වල විඳපු, 
දුක් කැළැල් කිසිවක්ම, 
නොතියාය. 

පැමිණි දුක් පැණි රහයි, 
ඉස්කෝලෙ බාල්කේ, 
සුදු තින්ත අකුරු මට, 
දවසක්ද මතක් උනෙ, 
නිකං ඔහෙ ඉබේටම, 
වාගේය.

ඊට කාලෙකට පසු, 
දවසක්ද හඳපානෙ, 
අපෙ පුංචි පැල්කොටේ, 
ඉස්සරහ ගල්පොත්තෙ, 
ඈ මගේ උකුලෙ හිස, 
තියාගෙන ඉන්දැද්දි, 
මගෙ දකුණු අත අරන්, 
ඇගේ කුස උඩ තියල, 
තදකලේ හෙමින් සැරෙ, 
කන්ද උඩ ගස් අස්සෙ, 
එල්ලිලා තුබුනු හඳ, 
දිහා ඇහිපිය නොලා, 
බලමින්ය. 

ඒ මාස හත අටක්, 
උඩදීය. 

ඊයෙ රෑ වැහැපු මහ, 
අනෝරා වරුසාවෙ, 
උගුර ඇතුලෙන් ආපු, 
ඇගේ කෙඳිරිලි සද්දෙ, 
අහං ඉන්නට බැරුව, 
පිස්සුවෙන් වගේ මම, 
ගඟ ලඟට දුවගියත්, 
ඈව දෑතට රැගෙන,
ඒ වෙද්දි ගඟ පිරිල , 
දෙගොඩමත් තලාගෙන, 
යනවාය. 

අන්තිමට හිමිදිරියෙ, 
යන්තමට එළි වෙද්දි, 
මගෙ දකුණු අත අරං, 
මිරිකගෙන ඇති වැරෙන්, 
යන්තමට හිනාවෙල, 
වෙහෙසකර වූ මුවෙන්, 
ඇස් පියාගත්තෙ ඈ, 
සදහටය. 

කවම කවදාකවත්, 
කඳුලු බිඳුවක් නොහෙලු, 
මගෙ දෑස් අගින් නැඟි, 
උණු කඳුලු බිඳු යුගල, 
වැහි කෝඩෙකට වඩා, 
සීතලය. 

නුගගහේ හෙවණ යට, 
සදාකල් සැතපෙන්ට, 
නික්මිලා ගියේ ඈ, 
ඇගෙ සිනහ පිරි වුවන 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය.

55 comments:

  1. "ට්‍රැක් හතරෙ" ඉස්කෝලෙ ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඩී.එස්. කාලෙ ගොවි ජනපදවල ගම්මාන හැඳින්නුවෙ ඒ විදිහට. එක බෙදුම් ඇලකින් වතුර දෙන ප්‍රමාණය එක ට්‍රැක් එකක්. එතකොට ඒ ගොවියො පදිංචි කරපු ගම්මානෙත් හැඳින්වුනෙ ඒ නමින්මයි , ට්‍රැක් 1, ට්‍රැක් 2..අන්න ඒ විදිහට.ගමේ ඉස්කෝලෙත් එහෙමයි. ට්‍රැක් 1 ඉස්කෝලෙ.....ට්‍රැක් කියන එකට පස්සෙ කාලෙ සිංහලෙන් කිව " යාය " කියල. එක යායට මල් පීදුනු බිම් තීරේ...කියල අර කියන්නෙ. ඒ ඔය එක ට්‍රැක් එකක් එහෙම පිටින්ම මල් පිපුනම. :)

      තව බී.ඕ.පී. කියල නම් දෙන සිරිතකුත් තිබ්බ. පොළොන්නරුව පැත්තෙ එහෙමයි. ඔතන බී.ඕ.පී. කියන්නෙ අර තේ ජාතිය නෙවෙයි. Blocking Out Plan කියන එක. කට්ටි කැඩීමේ සිතියම.එතකොට බී.ඕ.පී. 317 කියන්නෙ Blocking Out Plan No. 317 එකෙන් කට්ටි කඩල ඉඩම් බෙදා දුන්නු ගම්මානය.

      පස්සෙ කාලෙදි පිහිටවපු ජනපදවලට අපූරු නම් දුන්න. සඳුන්පිටිය, නාමල්තැන්න, මල්විල, රිදීතැන්න, මහින්දාගම, මොණර තැන්න, සුසිරිගම, බෝ අත්ත, රන්සලතැන්න...

      Delete
  2. මෙන්න කවි මචං.කියවල ඉවරවෙද්දි පපුවට කූඤඤයක් ගැහුවා හේ වේදනාවක්, ඇහැට නිසොල්මනේ කඳුලක් නැගෙන්නෙ ඉබේටමයි.
    මුලාශ්‍රය මොකක්ද?රවිමද ලිවේ කියල ඇහුවට තරහ වෙන්න එපා මචං.අති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ලිව්වෙ නම් මම තමයි බං...:)

      මූලාශ්‍රය සත්‍ය සිද්ධියක්. මම ඔය ගොවි ජනපදයක රාජකාරි කරන කාලෙ හිටපු එක බොහොම ඇසූ පිරූ තැන් ඇති වයෝවෘද්ධ ගොවි මහත්මයෙක්ගෙ කතාව මේ. එතකොටත් මනුස්සයට හැටක් හැටපහක් තරම ඇති. තනිකඩය. මුර වතුර බෙදිල්ලට ගිහිල්ල මිනිහ මා එක්ක බොහොම හිතවත් උනා. ඔය ඩී.එස්. කාලෙ වෙච්චි පරණ විස්තර එහෙම මිනිහ මා එක්ක කිව්ව බොහොම කැමැත්තෙන්.

      " ඔබ තුමා මොකෝ මේ කසාදයක් එහෙම කරගත්තෙ නැත්තෙ? "

      දවසක් අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ අඹ ගහයට ඉඳගෙන පොඩි කර්මාන්තයක් කරමින් ඉන්න අතරෙ මම හෙමිහිට ඇහුව.

      " නෑ, මහත්තය..මම කසාදයක් කර ගත්තෙ ඇටෙන් පොත්තෙන් එන්ටත් ඉස්සරවෙලා.."

      මිනිහ කිව්වෙ ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉඳල එහෙම..

      " එතකොට?.."

      " ඉන්නකො මම කතාව ඔක්කොම කියන්නම් මහත්තයට.."

      මේ එදා ඒ අඹගහයට ඉඳගෙන මට කිව්ව කතාව…………..

      Delete
    2. හැලපයෝ..................... තුන් හිතින් ම අපිත් එකගයි ඒ කතාවට...................

      Delete
    3. රවි අයියේ මටත් නිධාන කතාව තමයි දැනගන්න ඕනේ වුණේ.. හැලප කියනව වගේම අති විශිෂ්ටයි.... මේ කෑල්ලට මං වැඩිපුර ආසයි...

      //ඕ ලෙවල් විබාගේ,
      පලවෙනිද සිංහලය,
      දෙවෙනිදා බුදු දහම,
      ඉවරවෙල අපි දෙන්න,
      අතින් අත අල්ලගෙන,
      ආයෙ කවදාකවත්,
      ඒ පැත්තෙ නොයන්නෙමු//

      Delete
    4. Thisara,

      A thousand thanks , Malli ...:)

      Delete
  3. මෙන්න මට තේරෙන ජාතියෙ කවියක් ( වගේ එකක්) ...

    කවි, සින්දු, කතා, චිත්‍ර, මූර්ති.... තව කොච්චරක් ඇද්ද මේ ගැන කියවෙන....

    ReplyDelete
    Replies
    1. හිරු,

      ඒකනෙ බොල ...නැද්ද?.....:)

      Delete
  4. අහවල් එකක් කියන්නද කියල හිතාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. සීතුවම්,

      කතාව අහපු දවසෙ මටත් ඔහොම්මම උනා බං....ඒ මනුස්සය මා එක්ක ඔය කතාව කිව්ව විදිහට බිව්ව ටික හිඳිල ගියා හෝස් ගාල...

      Delete
  5. කවි නොකියවන මමද කියවා හිතින් හැඬුවෙමි..

    ReplyDelete
    Replies
    1. @senna,
      කවි නොකියවන නොතේරෙන අය අතර මා වැනි සොක්කන් පමනක් නොව බ්ලොග්කාරයෙක්ද සිටින බව දැනගැනීමෙන් ආත්මාර්ථකාමී සතුටක් දැනුනා.

      Delete
    2. බ්ලොග් එකක් තිබූ පමණින්, එහි පෝස්ට් කිහිපයක් තිබූ පමණින්, මම මහා ලොකු බ්ලොග් කාරයෙක් නොවෙමි ප්‍රා ජේ මහතාණනී. මමද ඔබ මෙන්ම සොක්කෙක්ම පමණි..

      Delete
    3. @සෙන්නා : ඕන් කිව්වා කතාවක්

      Delete
  6. හයියෝ අපරාදේ. ඇයි ඉතින් ගෙදරම තියාගෙන හිටියේ බාලවයස්කාරයෝ හන්දාද? එතකොට අර හිරු කියන්නේ මොකක්ද "තව කොච්චරක් ඇද්ද මේ ගැන කියවෙන" කියලා කතාවක්? අපි නොදන්න අනිත් හැම එකාම දන්න මොකක්හරි ප්‍රසිද්ධ සිදුවීමක්ද මේ?

    ReplyDelete
    Replies
    1. Henry,

      / හයියෝ අපරාදේ. ඇයි ඉතින් ගෙදරම තියාගෙන හිටියේ බාලවයස්කාරයෝ හන්දාද? /

      ඒක වෙලා තියෙන්නෙ හෙන්රි, හදිස්සියෙමනෙ යසවතීට අමාරු වෙලා තියෙන්නෙ. ඒ දවස්වල ඉස්පිරිතාල නැතිලු. වින්නඹු අම්ම කෙනෙක් ඉන්නවලු ගම්මාන දෙක තුනකට එක්කෙනා වගෙ. ආණ්ඩුවෙන් නිල නිවාසයක් එහෙම දීල. ගොඩක් වෙලාවට ගෙවල් වලම තමයි දරු උපත් වෙල තියෙන්නෙ. අමාරු උපතක් උනොත් වින්නඹු අම්ම එනව.මුං දෙන්නම පොඩි එවුන් නිසා වින්නඹු අම්ම කිව්වලු දවස් කීපෙකට කලින් ඇවිල්ල එහෙ නවතින්න කියල. එහෙමයි මෙයාල හිතාගෙන ඉඳල තියෙන්නෙ. ඒත් කරුමෙට නොහිතූ විදිහට අමාරු උන දවසෙම වැහැල ගඟත් ගලල.

      " වෙන්ඩ තියන දෙයක් වලක්වන්ට බුදුන්ටත් බෑ කියන්නෙ ඒකනෙ මහත්තයො "

      කථා නායක මා එක්ක එහෙම කියල තව වීදුරුවක් වක්කරගත්ත.

      / එතකොට අර හිරු කියන්නේ මොකක්ද "තව කොච්චරක් ඇද්ද මේ ගැන කියවෙන" කියලා කතාවක්? අපි නොදන්න අනිත් හැම එකාම දන්න මොකක්හරි ප්‍රසිද්ධ සිදුවීමක්ද මේ? /

      නෑ..නෑ..මොන ප්‍රසිද්ධ සිදුවීමක්ද? හිරු කියන්නෙ මම හිතන්නෙ පොදුවෙ..,ඒ වගෙ සිද්ධි... ඒ කියන්නෙ විප්‍රයෝග ගැන කොච්චර ලියවිලා ඇද්ද කියල වෙන්න ඕන..

      Delete
  7. හප්පේ රවී...හිතට බර වැඩියි බන්..ඇයි මෙහෙම සිතුවිල්ලක් හිතට ආවේ..

    ReplyDelete
    Replies
    1. අරූ,

      හැළපට දාපු කමෙන්ට් එකේ මම නිධාන කතාව ලිව්ව. මේක තුන්කාලක් වගෙ ලියල තිබ්බෙ දැන් අවුරුද්දකට වැඩිය. අද මේ ඊද් නිවාඩු දවසෙ පරණ ෆයිල් අදිනකොට මේක දැක්ක. ඒ පාර ඉතුරුටික ලියල පබිලිස් කොලා. එච්චරයි..

      Delete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මොකෝ බං බකුසු වත රකිනවය?..:)

      Delete
  9. ඇතුලේ කියවුන කතාව හරිම නිරහංකාර සමාජයක් ගැන කියලා තිබුනා කවිය පුරාවට රොමැන්ටික් ගතියක් තිබුනා අන්තිමට හැර. :) මාර රසවත් ! 

    ReplyDelete
    Replies
    1. සිහින මදාරා,

      ස්තූතියි!!! :)

      Delete
  10. අගය කරන්න ඕනේ ඒ කවීත්වයයි රවී.....................

    අන්තිම සරළ වචන වලින් පිරුණු අන්තිම යථාර්තවාදී කතාවක්... හැබැයි අවසානය අන්තිම දරුණුයි. ඒක හදවත කීරි ගැහැන තරම් එකපාර රුදුරු වෙනවා අන්තිමට.... නොතේරෙන ගතියකින් ඇරඹුණු කියවන්නාගේ මානසිකත්වය ක්‍රමයෙන් හිනාගස්සලා අන්තිමට අඩවන ඔබ නම් මහා හැකියාවක් ඇති කවියෙක් වගනම් නොකිවමනායැයි විශ්වාස කරන්නෙමු..................

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි කුරුටු...........ඔබේ අගය කිරීම මට මහත් ධෛර්යයක්..ආයෙමත් ස්තූතියි!!!

      Delete
  11. ප්‍රබුද්ධ මතක් උනා :)
    මාර විදියට හිතට වැදුන මේ අදහස . මිනිස්සු කොච්චරනම් දේවල් හිතේ හිරකරගෙන ඉන්නවද කියල හිතෙනවා ඒ සීයාගේ කතාව ඇහුවම :)

    ReplyDelete
    Replies
    1. වයලීනෝ,

      අපොයි ඇත්තම ඇත්ත..මේ කථා නායකය බොහොම සැහැල්ලුවෙන් හිනාවෙල ඉන්න මනුස්සයෙක්. මේ ලෝකෙ දෙයක් ගණං ගන්න මිනිහෙක් නෙවෙයි. ඒත් මිනිහගෙ හිත ඇතුලෙ පිරිල තිබ්බ දුක් කන්දරාව ඇහුවම මගෙ හිතත් එක්ක මොකදෝ වෙලා ගියා...

      Delete
  12. මේ පෝස්ට් එක වැටුන ගමන්ම කියෙව්වා. ඒත් එක්කම මේකේ පසු කතාවක් තියෙනවා කියලා හිතුනා. මම හිතුවෙම කවුරු හරි ලියපු එකක් රවී ගෙනත් දාලා කියලා. එවෙලේ හිතත් මොකක්දෝ වෙලා ගියා මේක කියෙව්වම.
    ඒ කාලේ ආදරයක් වෙනුවෙන් සිංගල් හිටියයි කීවම හරි පුදුමයි නේද? ඒ විතරක් නෙමෙයි ඒක අපූරු ප්‍රේමයක් වෙන්නත් ඇති.
    අර යාය කතාවත් මරු....

    ReplyDelete
    Replies
    1. රංගි,

      / ඒ කාලේ ආදරයක් වෙනුවෙන් සිංගල් හිටියයි කීවම හරි පුදුමයි නේද? /

      ඔව්..කතාව ඇත්ත..ඒ කාලෙ සාමාන්‍ය සිරිත නෙවෙයි ඒක. ඒත් සම්මතයට විරුද්ධව උඩුගං බලා පීනන අසාමාන්‍ය මිනිස්සු කොයිකාලෙත් හිටියනෙ බං...:)

      Delete
  13. මචන් රවි, මේ කවිය කියෙව්වම මීට ලඟින් යන එකක් කවද හරි කියවපු බවක් මතක් වුනා... ඒක අවුරුදු කීපෙකට කලින් බූන්දියෙ තිබුන අජිත් සී හේරත්ගෙ කවියක්..
    ඔබ ගිලී මළ තැන - [අජිත් සී හේරත්]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ,

      අජිත් මේ ලියල තියෙන්නෙ ඇත්තටම වෙච්චි දෙයක් නෙවෙයි නම් අජිත් ඔය මම කියන පැත්ත ගැන හොඳට දන්නව වෙන්න ඕන. එහෙමත් නැත්නම් අපූර්ව අහඹුවක්...මම එහෙම කිව්වෙ ට්‍රැක් 16 ලොකු සියඹලා ගහක් තිබ්බයි කියල මට මතකයි වගේ..අන්න ඒ නිසා...

      Delete
  14. harima lassana aadarayak. aththa kathawak kiyala dana gaththamanam hithata maha barak danuna

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි,

      එතුමාගෙ කතාව මහ පුදුම කතාවක්..වෙලාවක ලියන්නම් ඒ ගැන ආයෙම...:)

      Delete
  15. true love and tragedy
    sorry I 'll drop my ideas over abortion rights here
    visit my blog http://safeabortionondemand.blogspot.com/

    ReplyDelete
  16. රවීයියේ ඉතින් ඒ හම්බ වෙන්න ගිය දරුවාට මොකද වෙන්න ඇත්තේ.?
    හිත හයිය මිනිහෙක්ගේ අනුවේදනීය කතාවක්.:(

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      දරුවත් නැතිඋනාලු මල්ලි...ඉපදෙනකොටම මැරිලලු හිටියෙ...:(

      Delete
  17. මේ වාගෙ ආදරය කරන අය තව කොච්චර ඉන්නවාද? රවි . එහෙම ආදරය කරන අය අනෙකා මිය ගියත් ඒ මත්තෙම ආදරෙන් ඉන්නවා. තදින්ම හිතට දනුන කවි පෙලක්. ස්තූතියි ! ආදරයට ආදරය කරන්න මතක් කරල දුන්නාට.

    ReplyDelete
    Replies
    1. Chandi,

      " When someone you love dies, you never quite get over it. You slowly learn how to go on without them but always keeping them tucked safely in your heart."

      Thanks !!!

      Delete
  18. ඇටෙන් පොත්තෙන්
    එන්නත් කලියෙන්
    දරුවකුත් සමගින්
    වී අතරමන්
    (අවිධිමත් අධ්‍යාපනයේ ප්‍රතිපලයක්)

    ReplyDelete
    Replies
    1. ජීවන,

      / දරුවකුත් සමගින් වී අතරමන් /

      කාටවත් එහෙම දෙයක්නම් වෙලා නෑ...

      / (අවිධිමත් අධ්‍යාපනයේ ප්‍රතිපලයක්) /

      විධිමත් අධ්‍යාපනයක් නොලැබීමේ ප්‍රතිඵලයක් කිව්වොත් වඩා නිවැරදියි මම හිතන්නෙ.

      Delete
  19. කියවලා ඉවර වෙලා තිරේ දිහා බලන් හිටියා මොකද උනේ කියලා හිතා ගන්න බැරුව ,විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...සහෝ...දර.....:)

      Delete
  20. කවි කතාවක්, ආසාවෙන් රස වින්දා.. හැබැයි අන්තිමේ දුකක්.. කෝම වුනත් හිතට පුදුම විදිහට දැනෙන්න ලියලා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      බොහොම ස්තූතියි මල්ලි.....:)

      Delete
  21. අට වසරේ.. ඇඩුණා.. ලස්සනයි නියමෙට ලියලා තියෙනවා.. ල....ස්....ස...න..යි ආ....

    ReplyDelete
    Replies
    1. Gossip Lanka,

      ස්තූතියි......:)

      Delete
  22. Lassanai aiye....... Eth Duka hitenawa.....................

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ස්තූතියි සචිනි...:)

      Delete
  23. කියෝල කවි පේලිය
    නැවතුණා හිත මොහොතකට
    දුක සතුට ආදරේ
    සමසිතින් බෙදාගත්
    ඔහු තනිකරන්
    ඈ ගියේ දුක තියා
    මොන හිතකින්ද

    කවුරු හරි ඇවිත් පපුව හාරලා දැම්ම වගේ.. බොක්කටම වැදුන රවි අය්යෙ..
    හරිම අපුරයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      බොහොම ස්තූතියි මල්ලි......:)

      Delete
  24. අනේ මංද රවී.
    කටුක ජීවිතවල යථාර්ථය ඕක තමයි කොච්චර ආශ්චර්යමත් රටක උනත්.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ගනං ගන්න එපා මල්ලි..ජීවිතේ ඔහොම තමයි :)

      Delete
  25. සංවේදී අදහස් පෙලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...