Google Images |
විමලෙගෙ වාංපතුල් කතා...16 මම ඉවර කලේ මෙහෙමනෙ..
/ ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට.රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්, /
රයිට් අද එතැන් සිට......
අද එතැන් සිට කියනකොට ඔන්න මතක් උනේ..ඒ කාලෙ ..ඒ කාලෙ කිව්වෙ කොයි කාලෙද ඇහුව? ඒකාලෙ කිව්වෙ හැත්තෑවෙ දශකයෙ....වෙන ආයෙ කොයි කාලෙද? මගෙ ඔය හිතේසිවන්ත ලලනාවක් ඉන්නව ..මට කියන්නෙ..ඔහෙල ඉතිං හැත්තෑව දශකයෙ යෞවනයො නෙව කියල..බොරුමත් නෙවෙයි හැබෑටම ඒ කතාව...හෙහ්,හෙහ්,
හැත්තෑව දශකයේ ලේක් හවුස් නොහොත් බේරේ ගෙදරින් නිකුත් කරපු නවයුගය පත්තරේ වැඩිහිටියන් වගේම අපි වගෙ පොඩි එවුන් අතරත් බොහොම ජනප්‍රියයි.මුල පිටුවෙ ගෞතමදාස කියල චිත්‍රශිල්පියෙක් ඇඳපු චිත්‍රයක් තිබ්බ හැමදාම.හරියට පණ පිහිටුවල වගෙ.
නවයුගයෙ ඒ දවස්වල පළවුනා පොඩි තීරු ලිපියක්. " අද එතැන් සිට " ඒකෙ නම.ලිව්වෙ එල්.සී. ජයසිංහ....මම නවයුගය ගත්තම ඉස්සොරෝම බලන්නෙ ඔය අද එතැන් සිට…
ඒ කාලෙ අපි හිටියෙ කච්චේරි නිල නිවාසයක. ලොකු ගෙවත්තක පිටිපස්සට වෙන්ට ගේ හදල තිබ්බ නිසා යකඩ දැල් ගහපු පලු දෙකේ ගේට්ටුවෙ ඉඳල යාර තිහක් හතලිහක් වගෙ තියනව ගෙදරට. කෑගල්ලෙ එතකොට ලේක් හවුස් පත්තර ඒජන්සිය කලේ වි.කේ. බී. සහ පුත්‍රයෝ. සිගරට් ඒජන්සියත් එයාලම තමයි. තැපැල් කන්තෝරුව පහුකරල යාර තිහ හතලිහක් ඔර්ලෝසු කණුව පැත්තට යනකොට කොළඹ -නුවර පාර අයිනෙම දකුණු පැත්තෙ තිබ්බෙ වි.කේ.බී. සාප්පුව.ඒත් එක්කම ඊට කලින් තිබ්බෙ සමූපකාර විශිෂ්ඨ සේවා වෙළඳ සැල. ඒ ඔය ලංකාවෙ මුලින්ම ඇතිකරපු සුපර් මාර්කට්. නිල්පාට බෝඩ් එකේ සුදුපාට එලියට නෙරල තිබ්බ අකුරින් ලියල තිබ්බ සමූපකාර විශිෂ්ඨ සේවාව කියල.අකුරු ටිකක් ඇදයි. ඉටැලික්ස් වගෙ.
සුපර් මාකට් සංකල්පය ආරම්භ උනේ ඔය විශිෂ්ඨ සේවාවෙන් උනාට ඒ හැටි බඩු තිබ්බෙ නෑ ඇතුලෙ. දිගට රාක්ක එහෙමනම් ගහල තිබ්බ. ඒ කාලෙ කොහොමත් බඩු හිඟ කාලෙනෙ. සිකුරාද හෝටල්වල බත් දීම සපුරා තහනම්!!..අල බතල විතරයි.දවල්ට දෙල් කොස් එහෙම තම්බල..හෙහ්,හෙහ්,
රයිට් ඒ සමගි පෙරමුණු යුගය ගැන බොහොම රසකතා තියනව..එව්ව දෙවනුව...ඉතිං අර වී.කේ.බී. සමාගමෙන් බයිසිකල් කාරයො දාල ඉන්නව නගර සීමාව තුල පත්තර බෙදා හරින්ට. ආ..ඒ කාලෙ සිංහයා සිසිල් බීම බෙදා හැරියෙත් ඔය වගෙ බයිසිකල් කාරයො මාර්ගයෙන්. අර තියෙන්නෙ ඉස්සරහ සුට්ටං රෝදයක් සහ පිටිපස්සෙ නෝමල් රෝදයක් තියන බයිසිකල්. අන්න ඒකක තමයි බීම ගේන්නෙ. ඉස්සරහ සුට්ටං රෝදෙ උඩ මහ විසාල පෙට්ටියකුයි පිටිපස්සෙ පොඩි පෙට්ටියකුයි හයි කරල තියනව. පෙට්ටි දෙකම ලී. කහපාට ගාල. සිංහය ළකුණත් ඇඳල තියනව.
ඉතිං වී.කේ.බී. එකේ පත්තර කාරය උදෙන්ම එනව කුකුළත් අතින් අරගෙන. ඇවිල්ල බෙල් එක ගහනකොට සල්ලිත් අරගෙන යන්ට පරක්කු වෙන හින්ද අප්පච්චි කලේ අපි පොඩි කාලෙ කිරිබීපු ප්ලාස්ටික් කෝප්පයක් ( අර කට තියල උරවන්ට උඩට නෙරපු පොඩි කොටසක් සහිත පියනක් එහෙම තියෙන්නෙ, අන්න එහෙම එකක් ) අරගෙන ඇණයක් රත් කරල ඕකෙ සිදුරු දෙකක් විදල බයින්ඩිං කම්බියක් ගැටගහල ගේට්ටුවෙ එල්ලනව. පහුවදා පත්තරේට ඕන ගාන අම්මගෙන් ඉල්ලගෙන ගිහිල්ල රෑවෙලා ඕකට දාල තියන එක මගේ වගකීම.හැබැයි කාසිවලින් දාන්න ඕන. සල්ලි කොළ දාල රෑට වැස්සොත් කෙළියා! පියන වහල තිබ්බ උනත් ඇතුලට වතුර යනව.
දිනපතාම අපි ගත්ත දිනමිණ සහ ඩේලි නිව්ස්. ඊට අමතරව අඟහරුවාදට සතුට. සති දෙකකට සැරයක් මට මතක විදිහට 12 වෙනිද සහ 26 වෙනිද නවයුගය. දිනමිණ සත 30 යි. ඩේලි නිව්ස් 35 යි. සතුට 25 ක්ද කොහෙද. නවයුගයත් ඒ ගානම තමයි.
රෑට සල්ලි කෝප්පෙට දානව වගේම උදේට පත්තර කාරය බෙල් එක ගහල කෝප්පෙ ඇරල සල්ලි අරගෙන එදාට නියමිත පත්තර රෝල් කරල ගේට්ටුවෙ යකඩ යකඩ දැළ අස්සෙ ගහල ගිහාම දුවල ගිහිල්ල පත්තර අරගෙන එකත් මමම පවරගත්තු මගේ රාජකාරියක්. බෙල් එක ඇහුන ගමන් අර කොහාටද මොනවද ගහපු බල්ල වගෙ ගේට්ටුව ගාවට දුවගෙන ගියාට පත්තර අරගෙන මගෙ ආපසු ගමන බොහෝම්ම්ම හෙමින්. විශේෂයෙන්ම සතුට හෝ නවයුගය තිබ්බ දාට. අනික් පත්තර දෙක කිහිල්ලෙ ගහගෙන මම ආපහු එන්නෙ නවයුගේ කියව කියව. ඉස්සෙල්ලම බලන්නෙ ඔය අද එතැන් සිට. අර යාර තිහ නැත්තං හතලිහ එන්ට මට යනව විනාඩි පහ හයක්.
" මොනවද ළමයො මේ කරන්නෙ? කවුරුවත් ආය ඕක අරගෙන යන්නෙ නෑ. ඔය අනික් පත්තර දෙක මෙහාට ගෙනත් දීල ඉන්නවකො "
අප්පච්චි ඉස්තෝප්පුවට ඇවිල්ල කෑගැහුවම තමයි මම නින්දෙං ඇහැරුන වගෙ අඩිය ටිකක් ඉක්මන් කරන්නෙ.
අද එතැන් සිට කියල ලියවුනේ අපේ ඔය ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ජනකථා, ජාතක කථා වල සම්මත අවසානයෙන් පස්සෙ ඊලඟට වෙච්චි දේ මෙහෙමයි කියල විස්තරයක්. උදාහරණයක් කිව්වොත් අර කාලගෝල කතාවෙ මහෞෂධ පණ්ඩිතයො කාලගෝලට දික්තලා ආපහු ලබාදෙනවනෙ. අද එතැන් සිට කාලගෝල කතාවෙ තිබ්බෙ ඔන්න දෙන්න ආපහු ගමට යන්ට යද්දි අර ගඟ ගාවටම එනව. මතකනෙ අර දික්පිටිය දණ ගහගෙන කලින් තරණය කරපු ගඟ.
මේ වෙලාවෙ නම් ඇත්තටම ගඟ ගලල.ඒ නිසා දික්තලයි දික්පිටියයි දෙන්න ගඟෙන් එගොඩවෙලා යන්ට යනව කාලගෝල මෙගොඩ ඉන්දැද්දි. කාලගෝලත් කරන්නෙ තෑන්ක්යූ මචං..ඔය ගෝත කරුමෙන් මාව නිදහස් කෙරුවට කියල විසිල් එහෙකුත් ගහගෙන මිනිහගෙ ගමට යන්ට යනව. ඒ කතාවෙ හිටියෙ දික්පිටිය වෙනුවට ඩික් පීටර්. කාලගෝලට කාල්...
ඔය කතා ඔක්කොම මම කපල පොතක අලවල තියාගෙන හිටිය. අපේ මහගෙදර පරණ පෙට්ටගමක් ඇතුලෙ තාමත් ඇති....ඔය එල්.සී. ජයසිංහ කියන්නෙ කවුද කියල මම හරියටම දැනගත්තෙ ඊට අවුරුදු දෙක තුනකට අනතුරුව හෙන්රි තෙන්නකෝන් මහත්මය මියගියාට පස්සෙ.
හෙන්රි තෙන්නකෝන් මහත්මය දන්නවනෙ නේද? අර සුප්‍රසිද්ධ චිත්‍රශිල්පියා. ලංකාදීපෙට තෙන්නකෝන්ගේ සමාජ සමයං කාටූන් එක ඇන්දෙ.නවයුගයට එල්.සී.ජයසිංහ නමින් අද එතැන් සිට කතා මාලාව ලියල තියෙන්නෙත් හෙන්රි තෙන්නකෝන්ම තමයි.ලංකාදීපෙත් වැඩ කරන නිසා තවත් ආයතනයක පත්තරේකට තමන්ගෙම නමින් ලියන එක හරි නැති නිසා ඔහු එල්.සී. ජයසිංහ කියන නම පාවිච්චි කරල. එල්.සී.ජයසිංහ කියන්නෙ ඔහුගේ බිරින්දෑ. ඒ කාලෙ ලේක් හවුස් එකයි ලංකාදීපෙ ගහපු ටයිම්ස් ආයතනයයි දෙකම රජයේ පාලනය යටතෙ තිබුන නිසා වැඩි අවුලක් වෙලා නෑ.
නවයුගයට අද එතැන් සිට කතාවට අමතරව කතා පිංච කියල තීරුවකුත් එල්.සී.ජයසිංහ ලිව්ව. ඒකෙ තිබ්බෙ ඔය පරණ ඓතිහාසික කතා ඒ වගේම ජනකතා වර්තමාන භාෂාවෙන් ලියල. මේ එක කතා පිංචක පලවුනු රෝමියෝ-ජුලියට් කතාව.
ඉස්සර රොමියෙල් කියල මෑන් කෙනෙක් හිටියා.. රොමියෙල් කාරයට“රොමියෙලෝ....” කියල ආමන්ත්‍රණය කරන එක නිකං මහ මොකක්ද වගේ හින්දා හැමෝම මිනිහට කතා කලේ “රොමියෝ...” කියල...
ඔය නගරෙම හිටිය රොසලින් නෝනා කියල බොහොම ගණන් උස්සපු සක බඹරයක්. රොමියෝ කාරයා ඈත් එක්ක ලව් දාන්න ගිහිං ඇගෙන් බූට් එක වැදුනා.. ඒ පල් එක දරාගන්න බැරුව රොමියෝ කාරයා අප්සෙට් පිට සයිඩ් ගහල ඉන්නව දැකපු නෑදෑයෙක් රොමියෝට කෙලි පොඩ්ඩක් සෙට්කරල දෙන්න හිතා ගත්ත.
දවසක් ඒ මෑන් රොමියෝත් එක්ක කිට්ටුව පාත තියෙන මඟුල් ගෙදරකට ගියා.. එහෙදි රොමියෝට ජුලියට් නෝනව දකින්න ලැබිල පපුවට නිකං කරන්ට් එක වැදුන වගේ වෙලා ජුලියට්ට ඇහැට ඇහැ දුන්න.. රොමියෝ දැක්ක හැටියෙ ජුලියට්ගෙ පපුවත් නිකං කීරි ගැහිල ගියා වගේ දැනුනා..
ඊට පස්සෙ ජුලියට්ගෙ වංහුං හොයල බැලින්නං ඒ රොමියෝලගෙ පවුලෙ ජන්මාන්තර වෛරක්කාරයින්ගෙ දූ.. මේ පවුල් දෙක මොන තරම් ඇරගත්තු ගමන් හිටියද කියතොත් පවුල් දෙකේ බල්ලො දෙන්නෙක් මගදි face to face හම්බ වුනත් ඇරගන්න එක තමා සිරිත.. ලව් කරන්න ගියාම ඔය පවුල් වල වාද බේද තුට්ටුවකට ගණන් ගන්නෙ නැති හින්දා රොමියෝ දන්න සෙල්ලං දාලා ජුලියට්ව මාට්ටු කරගෙන ගෙවල් වලට කොලේ වහගෙන තදේට ලව් එක ගෙනිච්චා...
ඒත් ඔය ලව් සෙල්ලම විතරක් හැංගි හොරා කරන්න බැරි හින්දා, ජුලියට් ගැන පොඩි අයිඩියා පාරක් හිතේ තියාගෙන හිටිය ටයිබෝල්ට් කියන ඇගේ මචං පොඩ්ඩට මේක ඉව වැටුනා.. දවසක් ඒ මෑන් රොමියෝට ජාතියක් දාන්න ගිහිං, රොමියෝත් එක කඩු පාරෙන්ම ඒ මෑන්ව නොකවුට් කලා..
මේ ගෝරියෙන් පස්සෙ රොමියෝ ඒ රටෙන් පිටුවහල් කළා. ඒත් සයිඩ් සපෝටර්ලගෙ හෙල්ප් වලින් ජුලියට් එක්ක ලව් ලෙටර්ස් හුවමාරු කරන්න රොමියෝට චාන්ස් එකක් තිබුනා..
ජුලියට්ට ඉවසන්න බැරිම තැන දවසක් පූජකවරයෙකුට සිද්ධිය කිව්වම උන් වහන්සෙ දෙන්නව එක් කරන්න පොඩි ප්ලෑන් එකක් දැම්ම.. උන්නාන්සෙ ජුලියට්ට පොඩි බේතක් දීල කිව්ව “මේක බිව්වම පැය විසිහතරක් මැරිලා වගේ ඉන්න පුලුවන්. එතකොට දෙමව්පියො ජුලියට් මළා කියල අමු සොහොනට ගෙනිහිං දැම්මම, රොමියෝට පණිවිඩයක් ඇරල, ආයි පණ ආවම එයා එක්ක යන්න පුලුවන්” කියලා.
ජුලියට් ගෙදර ආ ගමන් අර බේත බීපු හැටියෙ තාවකාලිකව මළා.. ගෙදර අය ඈව අමු සොහොනට ගෙනිහිං දැම්මා. පූජකවරයා මෑන් කෙනෙක් අතේ රොමියෝට ඔක්කොම විස්තර දන්වල ලියුමක් ඇරියා. ඔය අස්සෙ රොමියෝගෙ හෙල්ප් කාරයෙක් ජුලියට් ඇත්තටම මළයි කියල හිතල ඒ නිව්ස් එක රොමියෝට ගිහින් කිව්වා. අර පූජකවරය ඇරපු පණිවිඩකාරයා ගියේ බස් එකේ හින්ද ඒ මෑන්ට ටයිම් එකට රොමියෝ හම්බ වෙන්න යාගන්න බැරි උනා..
අර හෙල්ප් කාරයගෙ නිව්ස් එක ලැබුන හැටියෙ රොමියෝ පිස්සා වගේ ජුලියට් බලන්න අමු සොහොනට ඇරදාල ආවා.. ඇවිත් ජුලියට්ගෙ මළකඳ බදාගෙන අඬල සයිඩ් එකට වෙලා ඉන්න කොට, අර බේත බීල පැය විසිහතර ගතවෙලා ජුලියට්ට ආයි පණ ආව..
පණ ඇවිත් නැඟිට්ට විතරයි රොමියෝ බයවෙච්ච පාර “මෙන්න මළ මිනිය නැඟිට්ටෝ ” කියල යටි ගිරියෙන් මර ලතෝනි තිය තියා ආගිය අතවත් හොයාගන්න බැරි විදිහට ඔලුව හැරුනු අතේ දුවල මාරු වුනා....
ආදර්ශය-මැරීගෙන ලව් කිරීමෙන් වැඩක් නැත.....
මේ කතා පිංච මම උපුටා ගත්තෙ කතාපිංච බ්ලොග් එකෙන්. ස්තූතියි ඔබට පිටසක්වලයා…
රයිට් අද එතැන් සිට පිළිබඳව එතෙකින් නිමියේය.
රාජකපුරු බලන්ට ඔන්න අපි ඔක්කොමලට යන්ට ඕන උනානෙ. අපි ගියා රාජපක්ස බොස් හම්බවෙන්ට. ඔය රාජපක්ස බොස් ගැන තියනව තව මරු කතාවක්. ඒකත් කියන්නංකො එහෙනං.මේක හැබැයි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පඳුරු තැලිල්ලක් වෙන්නෙත් නෑ. ටෙක්නිකලි පොරොන්දු ඉටුකිරීමක් කියල ගන්ටත් පුලුවනි. ඇයි මං එහෙම කියන්නෙ?
කවිකාරියකගේ ප්‍රේමය කතාව කියන වෙලාවෙදි මම මෙහෙම කිව්ව ...
රායිට් දැන් මේ කියන්ට යන්නෙ අන්න ඒ කියාපු ලැම්බටා පිළිබඳ කතාවක්...තේරුණා නේද?...රාජපක්ස බොසුත් ඉන්නව මේකෙ ප්‍රධාන චරිතයකට.
කොන්ක්‍රීට් දන්නව නේද? කොන්ක්‍රීට් කියන්නෙ ගොඩනැඟිලි සහ වෙනත් අධෝව්‍යුහාත්මක ඉදිකිරීම් වලදි නැතිවම බැරි සංඝටකයක්. Infra-structure කියන ඉංගිරිසි වචනෙටයි මම අධෝව්‍යුහාත්මක කියල කිව්වෙ. යටිතල පහසුකම් කියල කියන්නෙත් ඒකටම තමයි. මාර්ග, ජල සැපයුම් පද්ධති, කසළ අපහරණ පද්ධති, දුම්රිය මාර්ග, වරාය ඔය ඔක්කොම අයිති වෙන්නෙ යටිතල පහසුකම් වලට.
රයිට් ඉතින් කොන්ක්‍රීට් කියන්නෙ අඟල් 3/4 - අඟල් 1 1/2 වගෙ කුඩා ගල්, වැලි සහ සිමෙන්ති යම් නියමිත අනුපාතයකින් එකට එකතු කරල වතුර යොදා අනාගත් මිශ්‍රණයට.ඔය කොන්ක්‍රීට් වල නියමිත ශක්තිය ලැබෙන්ට නම් මිශ්‍ර කරන්ට ගන්න වතුරෙ පිරිසිදුකම බොහොම බලපානව.මඩ වතුර කිවුල් වතුර එහෙම හරියන්නෙ නෑ. කොටින්ම කොන්ක්‍රීට් අනන්ට යොදාගන්ට කියන්නෙ පොටබල් වෝටර්. ඒ කියන්නෙ පානීය ජලය.ඕකෙ ඉතිං වැඩේ මේකයි. ඔහොම කිව්වට බොහොම දුෂ්කරතා මධ්‍යයේ අලි කොටි ගහන කැළෑවල කඩිනම් ඉදිකිරීම් කටයුතු කෙරෙද්දි ඔය විදිහටම වැඩ කරන්ට බෑ. පොඩි පොඩි නොසළකා හැරීම් කරන්ට වෙනව. නැත්තං ඉතිං වැඩේ කවරදාකවත් ඉවර වෙන එකක් නෑ. අපේ රාජපක්ස බොස් ඔය පත්වීම අරං ආපු අලුත. රූලට වැඩ.
ඒ දවස්වල ලැම්බට් අයියල කලේ පාරක්.ලැම්බට් කිව්වම මට මතක් වෙනව ලැම්බට් පෙම්මාවඩු මාමා. අපි හිච්චි එවුං කාලෙ ස්වදේශීය සේවයෙ ගිය හඳමාමා ළමා වැඩසටහන කලේ ලැම්බට් පෙම්මාවඩු මාමා සහ සුමනා ජයතිලක නැන්දා. සුමනා ජයතිලක මහත්මිය කියන්නෙ ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලක මහත්මයගෙ ප්‍රියාදර බිරින්දෑ.
රයිට් ආයම ලැම්බට් අයිය ගැන කතාවට. දවසක් උදේම ඔන්න අපි වැඩබිමට යනකොට ( අපි කිව්වෙ රාජපක්ස බොසුයි මායි ) ලැම්බගෙ ගෝලයො ඔන්න කොන්ක්‍රීට් අනන්ට ලෑස්තිය. එදා තිබ්බෙ බෝක්කුවක් කොන්ක්‍රීට් කරන්ට. අපිට ඈතදිම පේනව ඔන්න මේ යක්කු බැරල් එහෙකින් අරගෙන වතුර දානව කොන්ක්‍රීට් එකට. වතුර මඩ පාටයි.
ඒ දවස්වල ඒ පැත්තෙ පැලෙන්ට පායනව. වැව් වල පතුලෙ ඉතුරු වෙල තියන වතුර ඔක්කොම සත්තු දඟලල බොරවෙලයි තියෙන්නෙ. අපි ඔවුන්ට කියල තියෙන්නෙ ඒ වතුර බැරල් එහෙකට වගෙ පුරවල උඩිං සිමෙන්ති කුඩු අහුරක් දෙකක් ඉහින්ට කියල. එහෙම කලාම විනාඩි පහක් දහයක් යනකොට මඩ ටික බහිනව පතුලට. එතකොට උඩ හරියෙන් වතුර ගත්තෑකි කොන්ක්‍රීට් එකට. වැඩේ ඔවුං හැමෝම ඕක දන්නව. ඒත් කම්මැලි කමනෙ.කවුරුවත් නැත්තං කෙළල අරිනව මඩ වතුර.
මඩ වතුර දානව දැක්ක ගමං ලොක්කගෙ මයිල් කෙලිං හිටිය.
" ඔහොම නවත්තන්ට ජීප් එක සුමනසිරි " කිව්ව කඟවේන වගෙ බැහැල ගියා අරුං වැඩ කරන තැනට. මාත් ගියා ඒ පස්සෙන්ම.
මඟදිම අහල ගම් හතටම ඇහෙන්ට කෑගහගෙන ඔන්න ගියෙ.
" ඔහොමද ඕයි කොන්ක්‍රීට් අනන්නෙ? බලනව මේ තනිකර මඩ වතුරනෙ. දන්නවද මෙහෙම කොන්ක්‍රීට් ඇනුවම වෙන දේ? ඒ ඕන කරන හයිය එන්නෙ නෑ. දන්නවද? කොන්ක්‍රීට් අනන්ට ගන්ට කියල තියෙන්නෙ පානීය ජලය. පානීය ජලය. ඒ කියන්නෙ බොන වතුර.තමුසෙල මෙතන මේ හෙන මඩ වතුරක් දාල කොන්ක්‍රීට් අනන්ටයි ලෑස්තිය "
ලොක්ක එක දිගට කියවගෙන ගිහිල්ල හුස්මක් ගන්ට නැවතුනා.
ඒ වෙලාවෙ ඔන්න ලැම්බට් අයිය ආව කොහෙදෝ ඉඳල. ලොක්ක ගාවටම ගිහිල්ල ඔලුවෙ ගැටගහල තිබ්බෙ සුම්බරේ ගලවල අතට ගත්ත.
" ඔය වතුර තමයි සර් අපි බොන්නෙත් "
බොහොම යටහත් පහත්ව ඇහෙන නෑහෙන ගාණට එහෙම කිව්ව.ලොක්කගෙ කටත් එක්ක ඇරුණ එක පාරටම. මොනවදෝ කියන්ට දෙතුන් පාරක්ම හැදුව. ඒත් කියාගන්ට බැරිඋනා. අන්තිමට මිනිහ හැරිල මගෙ මූණ දිහා බැලුව. මට එක පාරටම බකස් ගාල හිනා ගියා. ලොක්කටත් ඔන්න හිනා ගියා ඒ පාර.
" හා. හා….. බොන්නෙත් ඕවනං ඕන එකක් කරගන්නව. " කියල ජීප් එකට ගිහිල්ල නැග්ග.
ජීප් එක හරවන්ට ඉස්සර එලියට ඔලුව දාල මට කතා කලා.
" වීරෙ , ඔය මඩ වතුරට සිමෙන්ති කුඩු ටිකක් ඉහල ගන්ට. "
" හරි බොස් " මම කිව්ව.
" කවුද අර මනුස්සය?..." ලැම්බට් පෙන්නල ඇහුව. එතකනුත් ලොක්කට හිනා.
" ඔය තමයි බොස් මෙතන සයිට් ඉන් චාජ්. මිස්ටර් ලැම්බට් " මම කිව්ව.
රයිට් ලැම්බට් අයිය ගැන එක කතාවක් ඒ. බෑක් ටු රාජ කපුරු,
" රයිට් දැං කීදෙනෙක් ඉන්නවද ඕක බලන්ට යන්ට." රාජපක්ස බොස් ඇහුව.
" අපි ඔක්කොම දොළහක් වගෙ ඉන්නව බොස් " මම කිව්ව.
" හරි එහෙනං ජීප් දෙකක් කතාකරගෙන යන්ට. ඩීසල් නැත්තං එස්.කේ.ට කියල ගහගෙන යන්ට. "
" රයිට් බොස් තෑන්ක්ස්."
ඔය රාජ කපුරු පෙන්නුවෙ කිලෝ මීටර් විස්සක් වගෙ එහා තියන ඉස්කෝලෙක ශාලාවෙ. ඒ ඉස්කෝලෙම ඉගැන්නුව අජිතයගෙ ගමේ ඌත් එක්ක පොඩි කාලෙ ඉඳලම එකටම ඉස්කෝලෙ ගිය එකෙක්. ජයන්ත කියල. උංගෙ සුබසාධක සංගමෙන් තමයි රාජ කපුරු ගෙන්නල තියෙන්නෙ.ජයන්තය හරිම හොඳ එකා. ඉතාම අහිංසකයි.අජිතය හම්බ වෙන්ට ඇවිල්ල දවස් දෙක තුනේ ඉන්නව වීක් එන්ඩ් එකට අපේ චමරියෙ. ඒ හින්දම අපි ඔක්කොම එක්ක බුදු ෆිට් ඌ.මත්පැන් කට හරියෙ තියන්නෙ නෑ. ඒත් අපි බීල ඉවර වෙනකල් කීයට හරි ඇහැරගෙන ඉන්නව ඌත්.
ඔය ඉස්කෝලෙට කිලෝ මීටර් තුන හතරක් මෙහා තියනව රෙස්ටෝරන්ට් එකක්. ඒකෙම පැත්තක බාර් එකක්. බාර් එකෙන් බඩු අරගෙන රෙස්ටෝරන්ට් එකේ බයිට් එහෙම හදවගෙන බිව්වැකි අවුලක් නැතුව.
" මොකද බං කරන්නෙ? කැකුළෙම්ම නාට්ටිය බලනවද?.... නැත්තං? " රෙස්ටෝරන්ට් එක කිට්ටු වෙනකොට මම අජිතයගෙන් ඇහුව.
අජිතය වෙලාව බැලුව. " පහයි විස්සයි....අඩේ පැයකටත් වඩා තියනවනෙ. මෙච්චර කලින් ගිහිල්ල මොකක් කරන්ටද? යමල්ල පොඩි එකක් නවාගමු…"
" මචං ඒත් බීල ගිහිල්ල කේස් එකක් වෙයිද? " මම පොඩ්ඩක් පස්ස ගැහැව්ව.
" පිස්සුද? ආය එහෙම කේස් වෙන්ට බොන්නෙ කවුද?ලාවට දෙකක් දාගමු." අජිතය කිව්ව.
" ඒත් බං අපි තාම ටිකට් අරගෙනත් නෑ" මම ආයෙම මතක් කලා.
" මේ වීරෙ. උඹට බොන්ට ඕනද නැද්ද? ඒක කියාපං මට "
" චුට්ටක් ගන්ට නම් ඕන තමයි. අනික අර සුවඳ සබං ඇඟ ගාලා එකට මට නටන්ට ඕන. දෙකක් දාගන්නෙ නැතුව කොහොමද ඒක කරන්නෙ.? "
" අන්න ඒකනෙ වරෙං එහෙනං කෙඳිරිගාන්නෙ නැතුව. ටිකට් ගැන බයවෙන්ට එපා. ජයන්තය ඇවිල්ල මගෙ අතීසාර මිත්‍රය. ඌ එතන ප්‍රධාන සංවිධායක. "
" ඕකේ දෙන් " …..අපි ඔක්කොම කට්ටිය ගිහිල්ල රෙස්ටෝරන්ට් එකේ ඉඳගත්ත.
ඈහ්?
ReplyDeleteකරකවලා අතෑරලා වගේ....
Deleteමොකක්ද අප්පා මේ වුනේ... ? අද පඳුරු නෙමෙයි වෙන මොනවද ගස් වගයක් හිටවලා වගේ
රංගි,
Deleteපඳුරුමත් නෙවෙයි වගේද බං?......හෙහ්,හෙහ්,
බොහොම සුන්දර අතීත මතකයක් අවදි කලාට ස්තුතියි. කෑගල්ල මගේ උපන් ගම නිසා ආසාවෙන් කියෙව්වා. මමත් ඒ කාලේ වී.කේ.බී. එකට යනවා අපේ තාත්තට 'අයිලන්ඩ් ප්‍රයිඩ්' වර්ගයේ පයිප්ප දුම්කොළ ටින් එකක් හෝ පැකට් එකක් ගන්න. ඔබ ඉන්න ඇත්තේ රතඹලා වත්තේ හෝ කුරුඳුහින්න පාරේ වෙන්න ඇති කියලා හිතනවා. වී.කේ.බී. එකට මෙහා තිබුණු රාජකරුණා හෝටලේ ටී බනිස් කාලා නැද්ද?
ReplyDeleteනවයුගය පත්තරය නිසා අපිට ලැබුණු දැණුම වචනයෙන් විස්තර කරන්න බැහැ. මා ළඟ සත 25 ට ගත් නවයුගය පත්තර 100 ක් විතර තිබුනා 1990 දශකය පමණ වනතුරු. කලකට ඉහතදී මා ලියන ලද කොන්ටිකි කතාව කතාව සහ බිස්මාර්ක් කතාව මා මුලින්ම කියවුවේ නවයුගය පත්තරෙන්.
Wicharaka,
Delete/ මමත් ඒ කාලේ වී.කේ.බී. එකට යනවා අපේ තාත්තට 'අයිලන්ඩ් ප්‍රයිඩ්' වර්ගයේ පයිප්ප දුම්කොළ ටින් එකක් හෝ පැකට් එකක් ගන්න. /
වී.කේ.බී. එකේ ඉස්සරහ ඩිස්ප්ලේ එකේ තිබ්බ මහ විසාල ෆෝ ඒසස් පැකට් එක මතකද විචාරක? පියන ඇරල සිගරට් දෙක තුනක් බාගෙට එළියට ඇවිල්ල. ඉස්කෝලෙ ඇරිල පයින් ගෙදර එද්දි මම අනිවාර්යයෙන් ඔතන නැවතිල ඕක දිහා බලාගෙන ඉන්නව ටික වෙලාවක්....:)
/ ඔබ ඉන්න ඇත්තේ රතඹලා වත්තේ හෝ කුරුඳුහින්න පාරේ වෙන්න ඇති කියලා හිතනවා. /
රතඹලාවත්ත කිව්වෙ ටෙක් එක පාරද?...මම කුරුඳුහින්නෙ හිටිය අවුරුද්දක් විතර. ඊට පස් සෙ දීර්ඝ කාලයක් හිටියෙ නාගොල්ලෙ. තානායම ගාවින් දකුණු පැත්තෙ පාරෙ යන්ට ඕන තව කිලෝ මීටරයක් විතර. ඒ පාර ආයෙම වැටෙනව කොළඹ -නුවර පාරට මාදෙයියාව බෝක්කුව ගාවින්.
/ වී.කේ.බී. එකට මෙහා තිබුණු රාජකරුණා හෝටලේ ටී බනිස් කාලා නැද්ද? /
ඔය කිට්ටුව හෝටලෙකින් තේ බොනව මතකයි අම්ම එක්ක. ඒත් රාජකරුණා කියන නම මතක නෑ.
ජී.ඩබ්ලිව්. රනෝරිස් ලී බඩු සාප්පුව, සරවනාස්, ශ්‍රී ලංකා පොත්හල, බෙතනි කූල් ස්පොට්, ජාතික කිරි මණ්ඩලයෙ ශාඛාව, ඩොලර් ලයිට් පේන්ට් හවුස්,සීවලී පොත් හල, සල්ගාදු හෝටලය...එව්ව මතකයි…
රංජිත් ස්ටෝර්ස් ඔර්ලෝසු සාප්පුව, රණතුංග මෝටර්ස් මගෙ පන්තියෙ යාලුවො දෙන්නෙක්ගෙ කඩ.
BTW විචාරක, අර පෝස්ට් ඔෆිස් එකත් එක්කම පහලින් තිබ්බ ආයුර්වේදෙ නම මොකක්ද? ගල්කොටුව වගෙ මට මතක් වෙන්නෙ.
කොන්ටිකි යාත්‍රාවෙ කතාව අපේ සිංහල පොතකත් තිබ්බ. සිංහල 7 ද කොහෙද...වීරකෝච කියන නම මට හොඳට මතකයි. කොන්ටිකි යාත්‍රාවෙ බල්සා කඳක ගුලක් හාරගෙන ඒකෙ පදිංචි වෙල චාරිකාවට එක්වුනු ජොහැන්නස් නම් කකුළුවා මතකද?.....:)
ආ.............. ඔය ගමේ කටිටිය සෙට් වෙලා තියෙන්නේ............... දැන් ඉතින් බලාගත්ත හැකි....
Deleteරතඹලා වත්ත කිව්වේ නගර සභා නිවාස තිබුණ දිහාව. එතනට යන්නේ ඔය වී.කේ.බී එක තිබුණ කඩ පේලිය මැද්දේ තිබුණ අතුරු පාරකින්. නාගොල්ල පාරේ අපේ ලොකු අයියලා යනවා හොරෙන් සිගරට් බොන්න. ඒ කාලේ පාලුයි නේ. අර වෙද මහත්තයා ගල්කඩුව. අපේ පවුලේ වෙද මහත්තයෙක් වගේ හිතවත්. ජුබිලි අම්බලම කියලා ආයුර්වේදයක් තිබුනා අපේ ඉස්කෝලෙට (කෑගලු විද්‍යාලෙට) යන පාර පටන්ගන්න තැන. ඔබ කියා ඇති කඩ වලින් ඉතා මෑත කාලයට අයත් වන්නේ බෙතනි එක පමණයි. ඔය ඔර්ලොසු කනුව ළඟ බස් ස්ටෑන්ඩ් එකේ මැද තිබුණ ගොඩනැගිල්ලේ බිලියඩ් මේසයක් තිබුනා මතකද? එහි සෙල්ලම් කලේ සී.ටී.බී. ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා. ගොලහැල හන්දියේ දැන් තිබෙන මාර්කට් එක හදන්න කලින් එතන තිබුණ පුරන්වූ වෙල් යායේ සරුංගල් ඇරිය හැටි තවම මතකයි.
DeleteWicharaka,
Delete/ එතනට යන්නේ ඔය වී.කේ.බී එක තිබුණ කඩ පේලිය මැද්දේ තිබුණ අතුරු පාරකින්. /
ඔය කියන්නෙ විචාරක,….. ගල් පල්ලිය පාරද?
/ ඔබ කියා ඇති කඩ වලින් ඉතා මෑත කාලයට අයත් වන්නේ බෙතනි එක පමණයි /
බෙතනි එක 1976 වගෙත් තිබ්බ. අමර රේඩියෝ, ප්‍රනාන්දු දොස්තර මහත්තයගෙ ඩිස්පෙන්සරි එක, අඩිඩාස්. ඩී.ඩී. අතුකෝරළ සහ පුත්‍රයෝ,...මිරන්ඩාස් මතකද?
/ ඔය ඔර්ලොසු කනුව ළඟ බස් ස්ටෑන්ඩ් එකේ මැද තිබුණ ගොඩනැගිල්ලේ බිලියඩ් මේසයක් තිබුනා මතකද? /
ඒකනම් මතක නෑ බොලේ...:)
දැන් අලුත් බස් ස්ටෑන්ඩ් එක තියන තැන වික්‍රමසිංහ වලව්වට යන පාර අයිනෙ තිබ්බ මහ විසාල පොදු ළිඳක්...කීප දවසක් මම අපෙ මාමත් එක්ක ඇවිල්ල ඕකෙන් නාල යනව නිකං ජොලියට...:)
නෑ නෑ ගල් පල්ලිය පාරට කියන්නේ මිරිහැල්ල පාර. අදනම් වාහන යන විදිහට හදලා. එදා අඩි පාරක් (මම හිටියේ මිරිහැල්ලේ) වී.කේ.බී.එක පහු කරලා නුවර පැත්තට එනකොට තමයි නගර සභා නිවාස වලට යන පාර තියෙන්නේ. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන්නේ ඒ පාරේ.
Deleteඅමර රේඩියෝ සාප්පුවේ ලවුඩ්ස්පීකර් හයිකරා මිනිසා සඳ තරණය කිරීමේ සජීවී ගුවන්විදුලි ප්‍රචාරය අහන්න. ඒ කෙලින් පාරේ අනික් පැත්තේ පෙට්‍රල් ෂෙඩ් එකේ පුළුන් පුරවපු කොටියෙක් හිටියා මතකද? ඒ කාලේ පෙට්‍රල් ගැලුමක් 2.50 යි 'කැල්ටෙක්ස්' සමාගමේ ඒවා.
ඔය අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න නෙවෙයි ඔය ඉඩම ගත්තෙ. විද්‍යා මහා විද්‍යාලය කියලා එකක් හදනවා කියලා, යූ එන් පී වික්‍රමසිංහ මහත්තයගෙන්, ශ්‍රී ලංකා කලුගල්ල මහත්තයා, ඉඩම උදුරාගත්තා. ඒ ලිඳේ මමත් නාලා තියනවා D 8 බුල්ඩෝසර් 8 ක් දාලා ඔය ඉඩම සමතලා කරන ගමන්, අර අපූරු මහා ලිඳ වහලා දැම්මා.
Wicharaka,
Delete/ ඔය අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න නෙවෙයි ඔය ඉඩම ගත්තෙ. විද්‍යා මහා විද්‍යාලය කියලා එකක් හදනවා කියලා, යූ එන් පී වික්‍රමසිංහ මහත්තයගෙන්, ශ්‍රී ලංකා කලුගල්ල මහත්තයා, ඉඩම උදුරාගත්තා. ඒ ලිඳේ මමත් නාලා තියනවා D 8 බුල්ඩෝසර් 8 ක් දාලා ඔය ඉඩම සමතලා කරන ගමන්, අර අපූරු මහා ලිඳ වහලා දැම්මා. /
ඒ කාලෙ හැම තැනම තිබ්බ පොදු නාන ළිං...නාගොල්ල පාරෙ දිස්ත්‍රික් නඩුකාරයගෙ නිල නිවාසෙ ගාවින් පටන් ගත්තම අපෙ ගෙවල් වලට යනකල් පොදු ළිං තිබ්බ හතරක්. කමතෙ ළිඳ, ටැංකිය, ගල් වල සහ පතහ එව්වට කිව්වෙ.ටැංකිය කිව්වෙ කළු ගලෙන් බැඳල වටේට තාප්පයක් බැඳල ආවරණය කරපු විසාල ලිඳක්. ගෑණු සහ පිරිමින්ට නාන්ට වෙනව කොටස් දෙකක් තිබ්බ. නාවික සහ සංචාරක ඇමති, කෑගල්ල මන්ත්‍රී කළුගල්ල මහත්තයගෙ ගෙදර තිබ්බෙ ඔය ටැංකියත් එක්කම උඩහට වෙන්න. කළුගල්ල මහත්තයගෙ තිබ්බෙ මහ විසාල කාර් එකක්. හම්බර් එකක් නැත්නම් ඕපල් රෙකාඩ් එකක් වෙන්න ඕන. නාගොල්ල පාර ඒ කාලෙ හරිම පටුයි. කළුගල්ල මහත්තයගෙ කාර් එක එනකොට අපි ඉතින් කාණුවට බහිනව. ගොලහැල අලුත් ඉස්පිරිතලෙ හැදුවෙත් ඒ දවස්වලම තමයි.ඒ උත්සවේට ආව සිරිමාවෝ මැතිනියත්.පරණ ඉස්පිරිතාලෙ ඊට පස් සෙ ගත්ත උසාවියට නේද?...වෑවලදෙණියෙ පන්සලේ පෙරහැර මතකයි නේද? ලොකු හාමුදුරුවො තාඹුගල ශ්‍රී සෝරත....අප්පච්චිගෙ හොඳ හිතවතා.
අලුත් ඉස්පිරිතාලේ විවෘත කිරීමේ උත්සවයේදී කෑගලු විද්‍යාලයේ මාච් පාස්ට් එක කමාන්ඩ් කලේ මම.
Deleteකලුගල්ල මහත්තයට සුදුපාට ලොකු බෙන්ස් එකකුත් තිබුණා. (නෝනා ගැන දන්නවා ඇති නේ)
වෑවලදෙනිය තමයි අපිගිය පන්සල.
මේගොල්ලෝ රාජකපුරු පෙන්නී වගේ ...................බලන 1 කොහොම වෙතත් .........මට අයියා සුවද සබන් සින්දුවට නටන හැටි මැවිලා පෙනුන..................
ReplyDeleteSacheera,
Delete/ මේගොල්ලෝ රාජකපුරු පෙන්නී වගේ ...................බලන 1 කොහොම වෙතත් ........ /
බැලුව බං ඩෝප් මරගාතෙම රාජ කපුරු බැලුව..අම්මාපල්ල මතක් වෙනකොටත් ලැජ්ජයි වගෙ....කරපු දෙයක් එතන ගිහිල්ල...
/ මට අයියා සුවද සබන් සින්දුවට නටන හැටි මැවිලා පෙනුන................../
අඩේ මේ සවුත්තුව දාන්ට එපා හරිද? මට නැටුම් වලට තියනව B එකක්. ඒ කියන්නෙ දැන් විදිහට Credit එකක්. ගජගා වන්නම තමයි මගෙ ෆේවරිට්.
දෙව්පූර ඈතේකී…
කුඹු දාහාසායකී…
දිග දාළ ආටකී,
සත් ගෑබකී..
තන තත්ත තන තත්ත තන තත්ත තානා
බඩ පැත්ත සුදු වෙන්ට කිරි මැට්ට ගෑවා…
කැරකිල දෙකට නැමිල…
හාහා…... කැරකිල දෙකට නැමිල.
මගේ ෆේවරිට් හනුමා වන්නම.
Deleteගිරෙන් ගිරට පැන
ලැගුම් සොයා පුබුදමින්
අරුණ කලමා..
සුළු තිත,මැදින් තිත.තීත් දෙක ඩී.
මනෝජ්,
Deleteමැදින් තිත නෙවෙයි බං මැදුම් තිත..සුළු තිත, මැදුම් තිත සහ මහ තිත. මැණ්ඩියට ඉන්නව උඹට මතකෙයි?
මනෝජ්,
Deleteගිරෙන් ගිරට පනින්ට ජීවිතේ නම් ටිකක් අමාරුයි කියලත් කියනව හැබැයි….:)
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා,
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා,
නටනවා නොවෙයි වැහැරුනු දෙපා වෙව්ලනා,
තන තන තාන තම් දෙනා, තන තන තාන තම් දෙනා,
රඟ බිමින් බසින විට ගෙයි සන්තකව ඇතී,
නළල් පට මාල හත්පට සින්නවී ඇති,
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී,
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී,
අඩේ එක මැදින් නෙවේ මැදුම්ද ?මතක නැහැ දැන් රවියියා.
Deleteමටත් Credit එකක් තියේ නැටුම් වලට හැබැයි නටන්නනම් බැරුවා..:D
මැන්ඩියට ඉන්න බැහැ කියලා අපේ සොමිපාල හෙට්ටිආරච්චි සර්ගෙන් පොලුපාර කනවා. ඒ පොල්ලෙන් තමයි සර් බෙර තද කරන්නේ. මොනවා වුනත් සොමිපාල සර් හරි සොමි.
Deleteඅරූ,
Deleteමැණ්ඩියට ඉන්න එක සොමි ඉරියව්ව නේද බං?...
පා සරඹ වලට නැටුම් පංතියෙ මිදුලෙ පුවක් කොටයක් පොලවට සමාන්තරව අඩි 2 1/2 - 3 වගෙ උසින් හිටවල ඒක දෙපැත්තෙ කොල්ලො මාරුවන් මාරුවට අත් දෙකෙන් ඒක අල්ලගෙන පා සරඹ කරන්න ඕන.
" කුන්ද ගජිජි ගත කුඳ කුඳ තාග් ගජිත් තක් කුන්දත් කුන්ද කුඳත් ගත කුන්දත් තා...ජිං ජිංත ගත දොංත, ජිං ජිංත ගත දොංත, "
Belive it or not, your friend the PC & myself were the best dancers in our class. :) :0
පලි - ඉස්සොරෝම මම ජොක්කු අන්දින්ට පටන් ගත්තෙ ඔය මැණ්ඩියට ඉඳිල්ල හින්ද, මැණ්ඩියට හිටියම නැත්තං අනාගතය ප්‍රදර්ශනය වෙනව...හෙහ්,හෙහ්,
ඌට නටන්නත් පුළුවන්ද බං? අපි දැණගෙන හිටියේ නැහැනේ.
Deleteඅරූ,
Deleteපුලුවන් , පුලුවන්, ඒ කාලෙත් ඕකා ටිකක් මහතයි. ඒත් අර ඩාන්සිං වලට ඕන රිදම් එක ඇඟේ තිබ්බ.
හිකිස්...
ReplyDeleteපට්ට ඈ...
තවත් පදුරු ටිකක් තැලුව නං හොදයි...
හිහැක්
ස්තූතියි මහේෂ්,.....:)
Deleteමේ කතා මාලාවේ ඊළඟ කොටස පටන් ගන්නේ කොතැන සිටද ? නිවැරදි පිළිතුර ලබාදී වටිනා කතන්දර පොතක් දිනා ගන්න.. :D
ReplyDeleteහෙහ්,හෙහ්.....:)
Deleteඅර මොකක්ද ප්‍රදර්ශනේකින් කිලෝ ගානට ගෙනාපුවයි එකක් වෙන්නැති නේද ? :D
Deleteහරියට කියන්න පුලුවන් නම් ඒ පොත් සෙට් එකම දෙන්නම්.. හෙහ් හෙහ් ..මම හිතන්නේ රවී අයියවත් දන්නේ නෑ ඊළඟ එක පටන් ගන්නේ කොහෙන්ද කියල නේද රවී අයියේ.. :D
Deleteපැතුම්,
Deleteදන්නෙ නෑ බං..ඇත්තටම දන්නෙ නෑ...:)
ගෞතමදාසගෙ චිත්‍ර ගැන නම් කියල වැඩක් නෑ.දැන් මේ කම්පියුටර් වලින් අඳින ග්‍රැපික් වගෙ නෙමෙයි.එක පාරක් නවයුගය මුල්පිටේ තිබුනා පැනි කුරුල්ලෙක් වැල් දොඩම් (ෆැශන් ෆෘට්) මලකින් පැනි ගන්නව ඇඳල, ඔය කියනව වගෙ පන පිහිටවල.
ReplyDeleteඇනෝ. ඔය පත්තරේ මං ගාවා තියෙනවා. ලංකාවේ. ඔයා කිව්වාම ඒක මැවිලා පෙනුනා.
Deleteඇනෝ සහ හෙන්රි,
Deleteඒ හිටියෙ හමිං බර්ඩ් කෙනෙක්. එයාල ගැන අපූරු ලිපියක් තිබ්බ පත්තරේ ඇතුලෙ. තත්පරේකට 120 වරක් වගෙ හමිංබර්ඩ්ස්ල අත්තටු ගසනවය, අහසෙ එක තැන නැවතිල ඉන්ටත් පුලුවන්ය. පිටිපස්සට වගේම Upside down පියාඹන්ටත් පුලුවන්ය ..ඔන්න ඔය වගෙ කරුණු මහා රාශියක්.
තව මට අමතක නොවෙන කවරයක් තමයි ස්කයි ලැබ් එක අභ්‍යාවකාශගත කිරීම වෙනුවෙන් ගෞතමදාසයන් ඇන්ද චිත්‍රය. ඒ වගේම වොයේජර් - 1 වෙනුවෙන් නිකුත් කරපු කවරයේ කතාව.
කාවය්යො මඩකරියෝ එහෙමත් සිමෙන්තියේ ඇනිලා යන්නැති. :-)
ReplyDeleteKandyan,
Deleteහෙහ්, එහෙමත් වෙන්න ඇති..එහෙමත් වෙන්න ඇති...
ගිහිල්ලා රෙස්ටෝරන්ට් එකේ ඉඳගත්තා නම් ඉතින් රාජ කපුරුම බලන්න ඇති උඹලා.
ReplyDeleteඔය නවයුගය පත්තරේ ගැන කිව්වේ මාව අවුස්සාගන්නමදෝ කියලා මට හිතුනා. ඔව් දොළොස් වෙනිදයි විසි හය වෙනිදයි තමයි නවයුගය ආවේ. මතකද අන්තිම පිටුවේ තිබුනා පින්තූර වලින් ලෝකේ වටේ තොරතුරු? එතක්ට අන්තිම පිටුවට කලින් පිටුවේ චිත්‍රකතා? හේලෝ, සද්දන්ත හෙම? ඊට උඩින් සිනාසෙමු (The rip off of Laughter the Best Medicine of Reader's Digest) . උඹට මතකද ඒකේ තිබුනු හිනා මූණු හතර බන්ධුල හරිශ්චන්ද්‍ර ඇඳපු? මම ඉස්සෙල්ලම කියවන්නේ ඕනෙ.
ඒකේ නිතර ගිය එක විහිළුවක් ආසන්න වශයෙන් මෙහෙමයි.
"තමුසේ දන්නවද අර නවයුගය පත්තරේ සිනාසෙමු තීරුව ලියන්නේ මම"
"අම්මපා? යකෝ දන්නවා නම් හිනා වෙනවා."
එතකොට කෙටි කතා දෙකක් තිබුනා. විදේශීය එක ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙටි කතා. ඒකේ ගී ද මෝපසාං, ඕ හෙන්රි, ඇන්ටන් චෙකොව් වගේ අයගේ කතා ගියා.
දේශීය එක නව මගක් ගත් කතාවක්. ඒකේ ගිය එක කතාවක් "අපිස් ජීවිත". මට කතාව මතක නෑ. නමුත් අපිස් කියන වචනේ තේරුම මම අදත් දන්නේ නෑ.
තව සතය කතා (Drama in Real Life - RD rip off) ජීවිතේ මීවිතෙන් (Personal Glimpses -RD rip off) වදන් බලය (It Pays to Increase Your Word Power - RD rip off)
ඕකේ ගිය මම ආසාම පිටු තමයි. හොල්මන් කතා, ඉස්කෝලේ කාලේ, හපන්කම්-මෝඩකම්-පුරසාරම්.
ඔය නවයුගයෙ ගිය 'විහිළුකතා', 'තෙන්නකෝන් ගේ සමාජ සමයං', 'අබරං සීයා ගේ දවසේ කියමන' එහෙම එකතුකරලා පරණ ඇක්සයිස් පොතක අලෝලා හදලා තිබ්බ පොතක් තිබුනා අපේ තාත්තලෑ මහගෙදර. ආයෙ වංගියක් ගියහම කොහෙද කියලා හොයලා බලාන්ට ඕන.
Deleteඔය කෙටි කතාවලට චිත්‍ර ඇන්දේ ඒ ඩී රංජිත් කුමාර!
DeleteHenry,
Delete/ නමුත් අපිස් කියන වචනේ තේරුම මම අදත් දන්නේ නෑ./
අපිස් කියන්නෙ මචං Contented කියන එක. සෑහීමට පත්වූ...
රවි...අර පොඩි එකාගේ ලියුම ලිව්වේත් ඒ. සී. ජයසිංහම නේද?
ReplyDeleteChef,
Deleteමට හරියට මතකයක් නෑ චෙෆ්..එල්.සී. ජයසිංහ කියලද නම තිබ්බෙ?...එහෙනං අනිවාර්යයෙන් හෙන්රි තෙන්නකෝන් මහත්මය වෙන්න ඕන.
පොඩි එකාගේ ලියුම තෙන්නකෝන් මහත්තයා තමයි ලිව්වේ. මේ සින්දුව ලියලා තියෙන්නෙත් හෙන් රි තෙන්නකෝන්. වැසිකිලියට ගිය එකෙක්ගෙන් තව එකෙක් අහනවා...සද්දේ මොකෝ අවුරුද්ද ඇවිල්ලද... කියලා. ඕක ඇහුනේ පන්සලේදි. එදා ඉඳන් මේ සින්දුව මට අමතක වෙන්නේ නැහැ.
Deleteබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද //
නැද්ද කනෙයියෙනි රොන් හැදිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද ...//
පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැනි පිරිලා
බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද ...//
රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා
බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද ...//
ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය: හෙන්රි තෙන්නකෝන්
තනුව: පියසිරි විජේරත්න
මුල් ගායනය: පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල
අර විශිෂ්ට සේවා කියන නමිං ඇත්තටම කඩ තිබුණයි කියන එක අදයි දැනගත්තෙ. මොකද මෙහත් මෑතක් වෙනකල්ම එහෙම කියන සමුපකාරෙ කඩයක් තිබුන. දැංනං ඒක කෝප් සිටිවෙලා වෙන්න තියෙන ඔක්කොම වෙලා.
ReplyDeleteමම හිතන්නෙ කට්ටිය රාජකපුරු බලන්න යන්න ඇත්තෙ රවීන්ද්‍ර යසස් සුවඳ සබන් ගාල නාල ගෙදරත් ගියාට පස්සෙ වෙන්න ඇති.
Praසන්ன,
Deleteඒ බෝඩ් එකේ ඉංගිරිසියෙන් තිබ්බෙ මොකක්ද කියල මම තවමත් කල්පනා කරනව...
සුපර් ග්‍රේඩ් කියල කෝප් ෂොප් එකක් රත්මලානෙ සිරිමල් උයනෙ තිබ්බ. ඒකෙ අනික්වගෙ නැති චීස් වගේ කෑම තිබ්බ.
Deleteප්‍රසන්න ගොඩකවෙල තිබ්බේ අටකලන්පන්න විවිධ සේවා නෙමෙයිද? මට මතක නෑ නේ විශිෂ්ට සේවා එකක්...
Delete@ Il mondo, අටකලන් විවිධ සේවා කියන්නෙ සමුපකාර සමිතියට කියන නම. අර ජන්ෂන් හෝටලේට මෙහා පැත්තෙ තිබුණ එක තමයි විශිෂ්ට සේවා එක ඒ කාලෙ. දැංනං ඇට කලං තමයි. ඉස්සර කොච්චර හොඳට තිබ්බ ආයතනයක් ද. අපේ කඩේට අල්ලපු කඩේ ඉස්සර තිබුණෙ ඒකෙම හාඩ්වෙයාර් එක. ඒකෙ නැති දෙයක් තිබ්බෙ නෑ.
Deleteප්‍රසන්න,
Deleteකාලයක් ඔය අටකලන්පන්න මහා විද්‍යාලෙ චිත්‍ර ශිල්පයට බොහොම ප්‍රසිද්ධ උනා නේද? සමස්ත ලංකා චිත්‍ර තරඟ බොහොමයක සම්මාන ලබා ගත්ත වගෙ මතකයි.
ඔය කියන්නෙ පනාවල හෝ මාදම්පෙ ඉස්කෝලෙ වෙන්න ඕන. ඒ කාලෙ එහෙම තිබුණ කියල මටත් මතකයි. නමුත් ඒව ගොඩකවෙලින් ඈත තියෙන ඒව.
DeleteIt was when Mr.Lionel Ranaweera at Atakalanpanna school.
DeleteHarsha
හර්ෂ,
Deleteස්තූතියි මට ඒ නම අමතක වෙල හිටියෙ..එතුමා කලින් සේවය කලේ ආනන්දෙ. ඒ කාලෙ ආනන්දෙ තමයි චිත්‍ර ශිල්පයට නොම්මර එක..:)
ලයනල් රනවීරයි....ලයනල් රන්වලයි. ආනන්දෙ නරක නෑ නේද?
Deleteඇත්ත වශයෙන්ම එදා අපට නවයුගය විශ්වකෝෂයක් වගේ. ජූල්ස් වර්න් ,එච්.ජී. වේල්ස් ගේ කෘති රසවිඳින්න එදා පුංචි උන් වූ අපි හුරු උනේ නවයුගයෙන්. ස්තුතියි මතකය අවදි කලාට.
ReplyDeleteYou are most welcome...sisira...:)
Deleteලස්සනයි............. නියමයි.................
ReplyDeleteඅතීතය හරිම සුන්දරයි.. ඔබ ඒවා එකක් නෑර ලස්සනට ගේනවා රවී...
ස්තූතියි කුරුටු...:)
Deleteනවයුගය ගැන මගෙත් අතීත මතක අවදිවුනා රවී.මගෙ ලඟත් නවයුගය පත්තර ලොකු එකතුවක් තිබ්බා.හේලෝ මගෙ ප්‍රියතම කතාව ඇන්දේ බන්දුල හරිශ්චන්ද්‍ර.ඒ කාලෙ නවයුගය සංස්කරණය කලේ පර්සි ජයමාන්න නේද.ඊට අවුරුදු විස්සකට විතර පස්සෙ පර්සි ජයමාන්නයන්ගේ ප්‍රිය බිරිඳ අපිත් එක්ක එකට වැඩකළ නිසා පර්සි ජයමාන්නව මුණගැහෙන්නත් ලැබුණා.
ReplyDeleteපර්සි ජයමාන්න තමයි නස්රුදන් ගේ කතා පරිවර්තනය කරලා දැම්මේ!
Deleteමේ බ්ලොග් එක කරන්නේ ඔය කියන පර්සි ජයමාන්න මහත්මය නේද?
Deletehttp://www.malkakulu.com/
හැලප,
Deleteනවයුගය කාලයක් සංස්කරණය කලේ පර්සි ජයමාන්න තමයි. හේලෝ කතාව මට තාම මතකයි. හෙලෝ අන්තිමට යගුලිය වීසි කරනව හරියටම අර යකඩ මංජුසාවෙ අගුල උඩට. ඒකෙන් ඒ අගුල කැඩිල මංජුසාව ඇතුලෙ තියන රහස් ලියවිල්ලක් එළියට එනව.
ඔව් කකා පසුව ඔහු නස්රුදීන්ගේ කතා පොතක් හැටියට පලකලා.ඒ පොත මගෙ ළඟ තාම තියෙනවා.
DeleteNawayugaya First Editor - Edwin Ariyadasa
DeleteHarsha
/* " අද එතැන් සිට " ඒකෙ නම.ලිව්වෙ එල්.සී. ජයසිංහ */
ReplyDeleteමං හිතන්නේ එල් සී ජයසිංහ කියන්නේ තෙන්නකෝන් ගේ සමාජ සමයං ඇන්ද තෙන්නකොන් බිරිඳ ගේ නම යොදාගත් අවස්ථාවක්.
අද එතැන් සිට වගේම තවත් තීරු ලිපියක් තමයි "අනේ ඌ නොහිටියා නං" කියන එක. ඒ කතාවල තිබුණේත්, උදාහරණයකට කියනවා නම් කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටා කේජු කෑල්ල කටෙන් වැට්ටුවේ නැත්නං නරියාට වෙන දේ ගැන කතාව.
මෙන්න සම්පත් බණ්ඩාර කියන පාඨකායෙක් ලියා එවූ මේ වගේ කතාවක්. මේකේ විවිධ වර්ෂන්ස් තියෙනවා. මේ ජැකලයින් ෆර්නැඩස් වර්ෂන් එක.
http://kathandara.blogspot.com.au/2010/07/blog-post_31.html
කතන්දර,
Delete/ මං හිතන්නේ එල් සී ජයසිංහ කියන්නේ තෙන්නකෝන් ගේ සමාජ සමයං ඇන්ද තෙන්නකොන් බිරිඳ ගේ නම යොදාගත් අවස්ථාවක්. /
ඔව්…...මම මේ සටහනෙත් ඒ ගැන කිව්ව. එල්.සී. ජයසිංහ කියන්නෙ හෙන්රි තෙන්නකෝන්ගෙ බිරිඳ..
/ අද එතැන් සිට වගේම තවත් තීරු ලිපියක් තමයි "අනේ ඌ නොහිටියා නං" කියන එක. ඒ කතාවල තිබුණේත්, උදාහරණයකට කියනවා නම් කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටා කේජු කෑල්ල කටෙන් වැට්ටුවේ නැත්නං නරියාට වෙන දේ ගැන කතාව. /
එහෙම නෙවෙයි නේද?...අනේ ඌ නොහිටියානං තීරු ලිපියෙ තිබ්බෙ එක එක සත්තු ගැන. උදාහරණෙකට ගමු බල්ල...බල්ල ගැන තියන උපහැරණ, ජනකතා, කවි වගෙ එව්ව ලියල අන්තිමට දානව අනේ ඌ නොහිටියානං කියල.
" බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැති අතර කච්චිය පිච්චියට ගියත් ඌ හෙලුවෙනි. වෙල්ලාවෙ තිබ්බ බල්ලා හිටියේද හෙලුවෙන් වෙන්නට ඕනෑය. පිදුරු නොකනමුත් ඌ ගොනාට කන්නට දෙන්නේද නැත.ඌනැත්නම් සිංහල ජාතියක්ද නැත. විජයට කුවේනිය හමුවීමට උදව් කලේද බැල්ලකි. අනේ ඌ නොහිටියානං!!! "
අනේ ඌ නොහිටියානං ලිව්වෙ මට මතක විදිහට රාජා ටී.බස්නායක වෙන්න ඕන…
රාජා ටී.බස්නායක නවයුගයෙත් හිටියා උප කතෘවෙලා.
Deleteඅරූ,
Deleteඔය " අනේ ඌ නොහිටියානං " ලිපි පෙල පලවුනේ නවයුගයෙ තමයි.
සහතිකෙන් ම බොලාට වෙන්නෙ එලියෙ ඉදගෙන,නැ හිටගෙන හිල් වලින් එබිල රාජ කපුරු බලන්න.මට බුදු ශුවර්
ReplyDeleteදමිත්,
Deleteඑහෙමයි හිතන්නෙ එතකොට.... නේද මලේ?....:)
රවි,
ReplyDeleteමඩ වතුර පිරිසුදු කරන්න වැද්දන් සහ කැලෑ ගම් වල පාවිච්චි කරන ගෙඩි ජාතියෙ නම මතකද?
Pra,
Deleteවැද්දො එහෙම කරනව කියල අහපු බවක් නම් මතක නෑ..ඒත් උඩරට ගැමියො කුඹුරු ඇට පාවිච්චි කලා ඔය වැඩේට. මගෙ අත්තම්ම එහෙම කිව්ව විතරක් නෙවෙයි කරලත් පෙන්නුව මම පොඩි කාලෙ.
මං හිතන්නෙ ඒ ඇට තමයි. වැද්දොත් කරනව කියල කොහෙද තිබුන. සෙලිග්මාන් හරි ස්පිට්ල් හරි වෙන්න ඇති.
Deleteඒක වෙන්නෙ කොහොමද? සිමෙන්තිවලින් කරන්නෙ මොකක්ද?
Pra,
Delete/ ඒක වෙන්නෙ කොහොමද? සිමෙන්තිවලින් කරන්නෙ මොකක්ද? /
එතන සිද්ද වෙන ක්‍රියාදාමය ගැන නම් මට පැහැදිලි අවබෝධයක් නෑ. ඒත් මම හිතනව වෙන්නෙ මෙහෙම දෙයක් කියල. මඩ වතුර කියන්නෙ වතුර අණු අතර පස් අංශු අවලම්බනය වෙල තියෙන්නෙ. එතකොට කුඹුරු ගෙඩි වලින් නිකුත් වෙන යම් රසායනිකයක් ඒ පස් අංශු ඉවත් කරල ජල අණු අතර අවකාශය පුරවනව වෙන්න ඕන. එතකොට පස් අංශු භාජනයෙ පතුලට බහිනව. සිමෙන්ති වලිනුත් වෙනව ඇත්තෙ ඒ කාර්යය.
රවියියේ ලැම්බට් අයියා රාජපක්ෂ බොස්ට නොකියා කිවේ අපිත් සත්තු තමයි කියලාද?
ReplyDeleteඉතින් සුවඳ සබන් එකට ඔහෙලා නැටුවායි...;D?
මනෝජ්,
DeleteManoj,
/ රවියියේ ලැම්බට් අයියා රාජපක්ෂ බොස්ට නොකියා කිවේ අපිත් සත්තු තමයි කියලාද?/
ලැම්බා එහෙම සීරියස් හිතල කිව්ව කතාවක් නෙවෙයි මම හිතන්නෙ. පානීය ජලය ගැන කියල ලොක්ක උඩ පැන්නම පොරට එක පාරට හිතෙන්ට ඇත්තෙ ඕක. යකෝ බොන වතුර දාන්ට කියලනෙ මේ යකා කෑගහන්නෙ...ඉතිං මොකද්දෑ අවුල? මේ වතුරමනෙ අපිත් බොන්නෙ....හෙහ්,හෙහ්,
/ ඉතින් සුවඳ සබන් එකට ඔහෙලා නැටුවායි...;D? /
ආයෙත් අහල...රවීන්ද්‍ර යසස් ඇඬුව අපෙ ඩාන්ස් එක දැකල්..ඔන්න කොටිම්ම...
දෙකක් දා ගත්තේ නැත්නම් නටවෙන්නෙම නැද්ද හැබෑට? අර ගජගා නැටුම එහෙම නටනකොටත් කණ්ඩායම දෙකක් නවාගෙනද දන්නේ නෑ හිටියෙ. නිකන් නාලාගිරි ඇත්තු ටික වගේ ඉන්න ඇති :)
ReplyDeleteසයුරි,
Deleteඅතපය සන්ධිවල සුනම්‍යතාවය වර්ධනය වී නර්තනයෙහි සුලලිත මන:කාන්තභාවය සක්සුදක් සේ සුපැහැදිළි වනුයේ දෙකක් නවාගත් විටදීය. :)
ගජගා වන්නම නැටුවෙනං අමුවෙං..ඒ ඉස්කෝලෙ යනකොටනෙ...
//ලංකාදීපෙ ගහපු ටයිම්ස් ආයතනයයි දෙකම රජයේ පාලනය යටතෙ
ReplyDeleteඅඩේ ලංකාදීපයත් රජය යටතට ගත්තාද මැතිණිය?
නිකං,
Deleteඑහෙනං..එහෙනං..ඒ කාලෙ ජනමාධය ඔක්කොම තිබ්බෙ ආණ්ඩුව යටතේ..රූපවාහිනියක් තිබ්බෙ නෑනෙ. රේඩියෝ තිබ්බෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරයි. ඒක ආණ්ඩුවෙ. පත්තර වලින් දවස සීල් තිබ්බ. ලේක් හවුස් සහ ටයිම්ස් ආණ්ඩුවට ගත්ත. ටයිම්ස් එක පාලනය කලේ අනුර බණ්ඩාරනායක.
ලැම්බට් පෙම්මාවඩුට උපහාරයක් කරා දැන් මාස කීපයකට පෙර ලේ බැංකුව වෙනුවෙන් කල මාධ්‍ය මෙහෙවරට. උඹට මතකද ලේ බැංකුව ගැන ගුවන්විදුලියේ ඉස්සර වැඩ සටහනක් යනවා. මට යාන්තමට මතකයි.
ReplyDeleteරාජකපුරු මම දෙතුන් සැරයක් බැලුවා. සරත් කුලාංග, රවීන්ද්‍ර යසස්, ජනක් ප්‍රේමලාල් බොහොමයක් හොරණ උදවිය. රජගහේ නාඩගම කියලාත් ජනක් නාට්ටියක් කරා. බලන්න බැරිවුනා. රාජකපුරු ආපහු හැදුවා මෑතකදි. මම පත්තරවල දැක්කා.
Aru,
Delete/ උඹට මතකද ලේ බැංකුව ගැන ගුවන්විදුලියේ ඉස්සර වැඩ සටහනක් යනවා. /
ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්....