දයා රාජපක්ෂ - Google Images |
කෑගල්ලේ ඒ කාලෙ අපි හිටිය කච්චේරි නිලනිවාසෙ තිබ්බෙ තරමක ලොකු වත්තක මැද්දෑවෙ. සුද්දන්ගෙ කාලෙ හදපු ඒ නිලනිවාසෙ අර බංග්ලෝ ටයිප් කියන්නෙ අන්න ඒ ජාතියෙ එකක්. ගෙදර ඉස්සරහ දෙපැත්තට විහිදුනු සුදුපාට උස කුළුණු පෙල, ගෙදර වටේ දෙපැත්තක් පැතිරුණු ඉඩ පහසු ඇති බරාඳය, ගෙදර හරහා ඉතාම පහසුවෙන් ග්‍රීෂ්ම කාලෙදි සිසිල් වාතය ගමන් කරන්නට හැකිවෙන විදිහට හදපු පොළවෙ ඉඳල සිවිලිමටම විහිදෙන විසාල දොරවල් හින්ද අපි අවුරුදු හයක් වගෙ ජීවත් වෙච්චි මේ ගෙදර හරිම ගාම්භීර පෙනුමක් තිබ්බෙ.
පස්සෙ කාලෙක මම බොහොම ආසාවෙන් කියවපු ජිම් කෝබට් නම් බ්‍රිතාන්‍ය - ඉන්දියානු හමුදා නිලධාරියා ලියාපු ඔහු ඉන්දියාවෙ ගතකල කාලය පිළිබඳ මතක සටහන් කියවනකොට මට එක පාරටම මතකයට ආවෙ කෑගල්ලෙ අපි ජීවත්වුනු මේ නිලනිවස. ජිම් කෝබට් විස්තර කරන ඔහුගේ නිවස හරියටම ඒ වගේමයි. ජිම් කෝබට් පරම්පරා කීපයක් ඉන්දියාවෙම ඉපදුනු සුද්දෙක්. ඒ වගේම ඉන්දියාවෙම ඉපදිලා වන සතුන් විශේෂයෙන් කොටින් දඩයම් කිරීම ගැන අපූරු කතා පෙළක් ලියාපු තවත් කෙනෙක් තමයි කෙනත් ඇන්ඩර්සන්.
අද මම ලියන්නට යන මේ සටහනට කෑගල්ලෙ ඒ කොලෝනියල් බංග්ලෝ වර්ගයේ නිල නිවස මෙන්ම ජිම් කෝබට් දඩයක්කාර මහත්තයත් සම්බන්ධයි.
මම කලින් කිව්වනෙ කෑගල්ලෙ අපෙ ගෙදර තිබ්බෙ සෑහෙන තරමෙ විසාල වත්තක් මැද කියල. ගෙදර ඉඳල හේට්ටුවට තිබ්බ මයෙ හිතේ අඩු ගණනෙ යාර පණහක හැටක වගෙ තරමෙ දුරක්. විසාල මිදුල මැද තිබ්බ තණකොළ වවල හදපු ලංකාවක්. ඒ කිව්වෙ ඒ තණකොළ බිස්ස වවල තිබ්බෙ ලංකාවෙ හැඩේට. ඒක අපි කවුරුවත් කරපු දෙයක් නම් නෙවෙයි අපිට කලින් පදිංචි වෙලා හිටපු කාගෙ හරි වැඩක්.
තණකොළ කපන මැසිමක් ඇහැටවත් දැකල නොතිබිච්ච ඒ කාලෙ වත්තෙ පිටියෙ නොයෙක් වැඩ වගේම ඔය තණකොළ බිස්ස නඩත්තු කිරිල්ලත් බාර වෙලා තිබ්බෙ අපෙ මාමට.අම්මගෙ ඒ අවිවාහක වැඩිමල් සහෝදරයා ජීවත් වුනේ අපිත් එක්ක. ඒ අත්තම්මට අමතරව.
පරණ දුනු කොළ කෑල්ලක් කම්මලකට දීල තලල මුවත් තියල ඒකට ලී මිටක් ගහල හදාගත්තු වීසි කැත්තෙන් මාම තණකොළ බිස්සෙ තණකොළ වීසි ගහනව මට තාමත් මතකයි. පස්සෙ කාලෙක ඔය වීසි ගැහිල්ල දකිනකොට මට මතක් වෙන්නෙම ගොල්ෆ් ගහනව..හෙහ්...
හරි.... ඉතින් අපි ඒ කාලෙ දිනපතා පත්තර දෙකක් ගත්ත.ඩේලි නිව්ස් සහ දිනමිණ. කෑගල්ලෙ ලේක් හවුස් පත්තර ඒජන්සිය කලේ වි.කේ.බී. සහ පුත්‍රයෝ සමාගම. සිගරට් ඒජන්සියත් කලේ එයාලම තමයි. කෑගල්ල නගරය අවට ගෙවල් වලට පත්තර බෙදාහරින්නට එයාල යොදවල තිබ්බ බයිසිකල් කාරයො. බයිසිකලේ පිටිපස්සෙ ලගේජ් එකට තියල බැඳපු පකිස් පෙට්ටියක පත්තර වෙන වෙනම දෙකට නවල, කෙලින් හිටවල, එහෙ මෙහෙ යනවට කළු රබර් පටියකුත් දාල, වැස්ස දවසක නම් ගණකම් ඉටි කොලේකින් වහලයි පත්තරකාරයා පත්තර අරගෙන ආවෙ.
පත්තර කාරය එන්නෙ උදේ පහයි හතළිස් පහ සහ හය අතර වගෙ.ඉතින් ඇත්තටම ඔය වෙලාවට අපෙ ගෙදර යුද්දයක් වගෙ. අම්මයි අප්පච්චියි වැඩට යන්ට ලෑස්තිවෙනව. මමයි නංගිල දෙන්නයි ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙනව. ඒ අස්සෙ අත්තම්ම අම්මගෙ දවල් බත් එක බඳිනව. එකම කැම්බැල්ලයයි. ඒ කාලෙ දැන් වගෙ හෙදියන්ගෙ සේවාමුරය පැය 6 නෙවෙයි. දැන් නම් මොකද එයාලට? .....එක්කො උදේ 7 - දවල් 1.... නැත්නම් දවල් 1 - රෑ 7..... මොන ෂෝක්ද... නැද්ද? අපෙ අම්මලගෙ සේවා මුරය ඒ කාලෙ ,දවසක් ඇර දවසක් එක්කො උදේ 7 - හවස 3 නැත්නම් උදේ 7 - රෑ 7
ඉතින් ඔය දස මර යුද්දෙ අස්සෙ පත්තරකාරය ඇවිල්ල ගේට්ටුව ගාව බෙල් එක ගැහුවම ඉතින් යුද්දෙ දෙගුණ වෙනව. සත හැටපහක මාරු සල්ලි හොයන්ඩ එපාය. බොහොම වෙලාවට පත්තරකාරය ගාව ආපහු ඉතුරු දෙන්ට මාරු සල්ලි නෑ. ඉතිං ගාණටම සල්ලි දෙන්ට ඕන. දිනමිණ සත තිස්පහයි, ඩේලිනිව්ස් එක සත තිහයි.ඊට අමතරව අඟහරුවාදට තව සත විසි පහක් වැඩිපුර යනව... ඒ සතුට පත්තරේට. ලංකාවෙ පළවෙනි චිත්‍රකතා පත්තරේ. ආහ්හ්හ්..තව පත්තරයක් අමතකම වුනා...නවයුගය....මාසෙ 12 වෙනිදයි 26 වෙනිදයි නවයුගය පිටවෙනව. ඒක ඒ කාලෙ සත සත විස්සයි. ඒ කාලෙ අපේ ගෙදරට ඔච්චර තමයි පත්තර ගත්තෙ. ඉරිදට සිළුමිණ සහ සන්ඩේ ඔබ්සර්වර් එක.
ඉතිං මම මේ කියන්ට ආවෙ පත්තරකාරය උදේ ඇවිල්ල ගේට්ටුව ගාව බෙල් එක ගහනකොට සල්ලි හොය හොය එහෙ මෙහෙ දුවන එක මහ වදයක්..
" අම්මේ..අම්මේ...." බයිසිකල් බෙල් එක ඇහෙනකොට මම කෑගහනව.
" මොකද ළමයො? මම මේ කුස්සියෙ .."
" අර පත්තරකාරය ඇවිල්ල බෙල් එක ගහනව..කෝ මාරු සල්ලි සත හැටපහක්? "
" හරි හරි මට දැන් එන්ට බෑ ඔතනට මාරු සල්ලි හොයන්ට...හොඳටම පරක්කු වෙලයි තියෙන්නෙ..ඔයා බලන්ටකො අර අලි පාත්තරේ ලඟ මම දැක්ක ඊයෙ මාරු සල්ලි වගයක් තියනව."
ඒ අලි පාත්තරේ කිව්වෙ දණ ගහගෙන ඉන්න අලි තුන්දෙනෙක්ගෙ පිට උඩ අර පාත්තරයක් තියල තියන කෞතුක භාණ්ඩයක් තියෙන්නෙ. අන්න ඒකක්. අපෙ ගෙදර ඔයින් දෙකක් තියනව. පාත්තරේ අඩියක් වගෙ විෂ්කම්භය තියෙන පිත්තල එකකුයි අඟල් හයක වගෙ සයිස් කළුවර ලීයෙන් හදපු සුට්ටි එකකුයි.
" කෝ අම්මෙ පාත්තරේ ගාව සල්ලි නෑනෙ.."
" ඉතිං ඔතන ඉඳල කෑගැහුවම සල්ලි මැවෙනවද? අප්පච්චිගෙං ඉල්ලගන්ටකො ළමයො."
පත්තර කාරයා ඇවිදිල්ල හිට බෙල් එක ගහනකොට මාරු හොයල හතීකරේ දුවන පොයියංගම හැමදාම කරන්ට බැරි හින්දම අප්පච්චි කලේ මූඩියකුත් තියන පරණ ප්ලාස්ටික් කෝප්පයක් හොයාගෙන ඇණයක් රත්කරල ඒකෙ තව් දෙකක් විදල බකට් කම්බි පොටක් ඒ තව් අස්සෙං දාල ගේට්ටුවෙ උඩම හරහට තිබ්බ යකඩ පයිප්පෙ ගැට ගැහුව.
දැන් වැඩේ කිසි අවුලක් නෑ. මතක ඇතුව කලින්දා රෑ මාරු සල්ලි අර කෝප්පෙට දාල තියන්ටයි තියෙන්නෙ. පත්තර කාරයා උදේ ඇවිල්ල කෝප්පෙ ඇරල සල්ලි අරගෙන පත්තර නවල ගේට්ටුවෙ හරස් කූරු අස්සෙ ගහල බෙල් එක දෙපාරක් ගහල යන්ට යනව. අපි කවුරුහරි ගිහිල්ල පත්තර අරං එන එකයි තියෙන්නෙ. කලින්දා රෑ මතක ඇතුව පහුවදාට ඕන මාරු සල්ලි අම්මගෙන් ඉල්ලගෙන කෝප්පෙට දාල තියන රාජකාරියයි, පහුවදා උදේ ගිහිල්ල පත්තර අරං එන රාජකාරියයි මම බාරගත්ත ස්වේච්ඡාවෙන්ම...හෙහ්,හෙහ්,
උදේ පත්තර ගේන්ට ගේට්ටුව ගාවට ගිහාම මට ආපහු ඒ යාර පණහ හැට එන්ට යනව විනාඩි අඩුම තරමෙ දහයක් පහළවක් වගෙ තරම.
මම ඉස්සෙල්ලම ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ ක්‍රිකට් මැච්වල විස්තර බලනව.ඊලඟට දිනමිණ පත්තරේ අන්තිම පිටුවෙ දිනපතා පලවෙන චිත්‍රකතා දෙක බලනව. ඔව්ව බල බල හෙමිහිට හෙමිහිට ගාට ගාට ගෙදරට එනව.
" මොකද ළමයො කරන්නෙ? ඔය පත්තරේ ගෙනත් දෙනවකො විගහට. පස්සෙ බලාගන්ට බැරිය ඕක..කවුරුවත් අරං යනවය ආය? " අප්පච්චි බරාඳෙ කුළුණ ගාවට වෙලා නොයිවසිල්ලෙං කෑගහනව.
" හරි හරි මේ එනව මේ එනව " මම අඩිය ඉක්මන් කරනව...:)
දිනමිණේ අන්තිම පිටුවෙ චිත්‍රකතා දෙක ඇන්දෙ බන්ධුල හරිශ්චන්ද්‍රයි දයා රාජපක්ෂයි.මුලින්ම තිබ්බෙ බන්ධුලගෙ චිත්‍රකථාව.රූපරාමු තුනක් වගෙ තමයි එක දවසට පළවෙන්නෙ. බන්දුල බොහෝවිට ඇන්දෙ ග්‍රීක හෝ රෝම කථා නැත්නම් ඉන්දියානු කථා එහෙමත් නැත්නම් බෞද්ධ සාහිත්‍යයෙ එන කථාවක්. බෙලරෝපන්, පෙරික්ලීස්, සින්බෑඩ්, හෙලන්, දේවස්මිතා,සිංහබාහු,..ඒ බන්ධුලගෙ කතා. දයාගෙ කතා ඊට වෙනස්. ඔහු ඇන්දෙ බොහෝවිට ස්වතන්ත්‍ර නිර්මාණ.
මම මේ සටහනේ කලින් කිව්ව මතකයි නේද ජිම් කෝබට් මගෙ මේ කතාවට සම්බන්ධයි කියල. ඒ මෙහෙමයි.දයා රාජපක්ෂගෙ මට මතක මුල්ම කතාවෙ තිබ්බ ඔය කොටියෙකුට වෙඩි තියන දඩයක්කාරයෙකුගෙ චරිතයක්. ඉන්දියාවෙ වෙන්න ඇති බොහෝවිට. මොකද ඒ කතාවෙ සඳහන් වුනු පරිසරය එහෙම ඉන්දියාවෙ වෙන්න ඕන කියල මට හිතෙනව. අත්හැරල දාපු පරණ සංගිලි පාළමක්. ඒ පාළම එගොඩ තියෙන පැරණි දේවාලයක්. පාළමේ දෙපැත්තෙ තියන සුවිසාල කුළුණු දෙකෙන් එකක් උඩ ඉන්න දරුණු කොටියෙක්. ධාරානිපාත මහ වැස්සක් කඩා වැටෙන රෑක ගඟෙන් එගොඩ තියන දේවාලෙට බාරයක් වෙන්ට යන තරුණ යුවලක්.ඒ අතර අර කණුව උඩ ඉන්න කොටියට වෙඩි තියන්ට උත්සාහ කරන දඩයක්කාරයෙක්.
මට ඒ කතාවෙ මතක ඔය වගෙ අසම්පූර්ණ සිද්ධීන් මාලාවක් විතරයි. ගණඳුරු රැයක අහස ඒකාලෝක කරන විදුලි ආලෝකයෙන් යන්තමට පෙනී ආයෙම නොපෙනීයන අඳුරු හෙවණැලි වගෙ දශක හතරක් තිස්සෙ ඒ කතාව මගෙ හිතේ හොල්මන් කරනව. මම හිතන්නෙ ඒ කතාවෙ තිබ්බ සිත් ඇදගන්නා සුළු ගතිය නිසා වෙන්න ඕන ඒ.අඩු ගණනෙ කතාවෙ නමවත් මට මතක නෑ කිව්වම...පස්සෙ කාලෙක ජිම් කෝබට්ගෙ The Man-Eating Leopard of Rudraprayag කතාව කියවද්දි මට එකපාරටම මතක් වුනේ දයා රාජපක්ෂගෙ ඔය චිත්‍රකතාව,
හැබැයි දයාගෙ ඊළඟ කතාවනම් මට සෑහෙන දුරකට මතකයි. ආදර කොමා...ඩොක්ටර් අයිවන්, රොබෝ මිනිසකු නිර්මාණය උදෙසා තම දිවියම කැපකල දක්ෂ විද්‍යාඥයෙක්.. එල්සි ඔහුගේ කෙළිලොල් තරුණ බිරිඳ. කොමා අයිවන් නිර්මාණය කල රොබෝ මිනිසා. කොමා හා එල්සි අතර ඇතිවන සෙනෙහස. ආදර කොමා කතාවත් අවසාන වෙන්නෙ කොහොමද කියලනම් මට මතක නෑ....:)
ඊට පස්සෙ දයා දිනමිණටම ඇන්දා ආචාර්ය සයිකෝ කියල කතාවක්. ඒක මේ අපූර්ව බලයක් තියෙන ඉන්ද්‍රජාලිකයෙක් ගැන කතාවක්. පින්තු කියල තරුණයෙක් ඒ කතාවෙ හිටිය මට මතකයි.
ඒ අතර ඉරිදා සිළුමිණට ඔහු ඇන්දා අනුපමා…….අසිත, සංජය, අනුපමා සහ මාර්තාගේ කතාව. ඊට කලින් මයෙ හිතේ හුලවාලි…….සුබා, ධාරා සහ බිබිලෙ ඇත්තෝ...
රක්තා, පොඩි මාමා,වෙද හාමුදුරුවෝ, සිව්මංසල,…...
මැදිවියෙහිදී උපැවිදි වන යතිවරයෙකුට මුහුණ දෙන්නට සිදුවන සිත්තැවුල් දුක් කම්කටොලු දෙස සානුකම්පිත බැල්මක්..සමුගත් වසන්තය.
මනුෂ්‍යත්වය පිරි ටැක්සිකාරයාගේ කතාව…. බකට් හැරී….සක්විති සුවය.
දයා දීර්ඝ කාලයක් සේවය කලේ විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගමට. ඒ හින්ද ඔහුගෙ චිත්‍රකතා පලවුනේ ලංකාදීප සහ ඉරිදා ලංකාදීප පත්‍රවල පමණයි.දීර්ඝ කාලයක් ඇණහිට තිබූ දයා හා මා අතර ඇසුර යලි ඇරඹුනේ වසර දෙදාහේදී පමණ. ඒ පියහසර සහ සකිසඳ එලියස් සමඟ. එළුවන් මිලදීගන්නට පැමිණෙන කාසිචෙට්ටි මුදලාලිගේ චරිතය ඔහු නිර්මාණය කලේ ඔහුටම ආවේණික නිසඟ හැකියාවෙන් යුක්තව.
ඉන් අනතුරුව විදේශගතවූ පසු විය යුතු ලෙසම දයාගෙ චිත්‍රකතා රසවිඳීමේ භාග්‍යය මට අහිමිවුනා. වසර තුනකට පමණ පෙර අප කොස් පොළොස්, කොහිළ ආදිය මිලදීගන්නා, ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන වෙළඳ සැලට ඉරිදා පත්තර ගෙන්වන්නටවූ විට යලි දයාගේ චිත්‍රකතා කියවීමේ අවස්ථාව හිමිවුනත් හරියටම මාස හයකට පමණ පසු ඔවුන් එසේ පත්තර ගෙන්වීම නවත්වා දැම්මා. පත්තර මෙරටට ගුවන් මඟින් ගෙන්වීමේදී දැරීමට සිදුවන අධික ප්‍රවාහන ගාස්තු නිසා නියමවන වැඩි මිල ගෙවීමට සූදානම් පාඨකයින් සංඛ්‍යාවක් සොයා ගැනීමට අපහසුවීම ඔවුන් ඊට දැක්වූ හේතුවයි. ඒ මාස හයක් වන් කෙටිකාලය තුල පස් නම් දයාගේ කතාව කියවූවා මට මතකයි.
slcomics.wordpress.com |
වසර හතළිහකට පෙර බොහෝසේ චමත්කාරජනක විශ්මිත ලොවකට මා රැගෙන ගිය ඒ දයාබර මිනිසා... දයා ….ඊයේ උදෑසන අප අතරින් සදහටම සමුගත්තා. මේ මතක සටහන ඔහු වෙනුවෙන් පිදෙන මගේ උපහාරයයි..ස්තූතියි දයා!!!!
මා දයා රාජපක්ෂගේ කියවපු හොඳම කතාව "ආචාර්ය සයිකෝ". ඒක ෆැන්ටසි එකක්. අපි පොඩි කාලේ දිනමිණේ අග පිටුවේ ගියේ. එහි අනික් කතාව ඇන්දේ තලංගම ජයසිංහ. අපේ අයිය කෙනෙක් ඕක පොතක අලවල එකතු කෙරුවා. පස්සේ ඥාතියෙක් ඒක අරන් ගෙනත් දුන්නේ නැහැ.
ReplyDeleteඒ කතාව කන්තෝරු කාරයන්ගේ ජීවිතය හා සමාජය ගැන පොඩි විවරණයක්. දක්ෂ කතා කරුවෙක්. හැබැයි එක්තරා පාඨක පිරිසක් අතර හිරවීම නිසා, මේ කතා ගොඩක් "එහාට" ගියේ නැතිය කියලත් මා විශ්වාස කරනවා.
මේක කියන්න අමතක වුණා. ආචාර්ය සයිකෝත් අප දෙන්න "දැකල" තියෙන්නේ වෙනස් ආකාරයකට නේද?
Deleteරයිගම්,
Delete/ දක්ෂ කතා කරුවෙක්. හැබැයි එක්තරා පාඨක පිරිසක් අතර හිරවීම නිසා, මේ කතා ගොඩක් "එහාට" ගියේ නැතිය කියලත් මා විශ්වාස කරනවා. /
එකඟයි.දයා රාජපක්ෂගෙ කතා වලට ඇලුම්කලේ එක්තරා පාඨක පිරිසක් විතරයි.ඒ බහුතරයක් මම හිතන්නෙ හැත්තෑව දශකයේ ආදර කොමා, අනූපමා කාලෙ ඉඳල ඔහු එක්ක රැඳුනු අය.
/ මේක කියන්න අමතක වුණා. ආචාර්ය සයිකෝත් අප දෙන්න "දැකල" තියෙන්නේ වෙනස් ආකාරයකට නේද? /
ආචාර්ය සයිකෝ කතාව රයිගම් මට යන්තමටයි මතක. මට ඒ කාලෙ වයස එකොළහක් දොළහක් වගෙ වෙන්න ඇති. පින්තු කන්තෝරු කාරයෙක් කියලවත් මට මතක නෑ. ඇම්. බරුවා කියල පින්තුගෙ යාලුවෙක් හිටිය මතකයි. ආය සයිකෝට රූමත් තරුණ දුවක් හිටියත් මතකයි...( හෙහ්..එව්ව මතක හිටින්ට වයස ප්‍රශ්නයක් නෑනෙ නැද්ද? )ඒ ඇර මගෙ හිතේ රැඳිල හිටියෙ සයිකෝගෙ අස්බැන්දුම්... අසුර ගහල ගින්දර මවන එක,පින්තුව අඟුටුමිට්ටෙක් කරන එක වගෙ එව්ව...:)
පින්තුගෙ ලිපිනය ඇවරිවත්ත පාර, වත්තල.......:)
උදේ තේ බොන ගමන් ලියුවේ රවී. ආචර්ය සයිකෝ එකේ කෑල්ලක් තියනවා මෙන්න මෙහෙම "මොකද මෙයාට තද වෙලා, මෙයාද මේ පිංතූ" කියල. ඕක පොතක අලවල එකතු කරපු හින්ද අප ඒ කාලේ නිතර කියෙව්වා.
Deleteඅපේ ගෙදරට පත්තර ගොඩක් ගත්තා. හැබැයි සේරම සිංහල. තාත්ත ලේක් හවුස් පත්තර වැලට ලියුව එකත් එක හේතුවක්. මට අපොස උපෙන් පසුව චිත්‍රකතා එපා වුණා.
ඔබේ මතකය තමා, මතකය!
රයිගම්,
Delete/ ඔබේ මතකය තමා, මතකය! /
හෙහ්..ඒත් මතක තියාගන්න ඕන එව්ව නෙවෙයි මතක හිටියෙ...:)
දයා රාජපක්‍ෂ මුල් කාලයේ ඇඳපු චිත්‍රකතා මා කියවා තියෙනවා, පරණ පත්තර මිටිවලින් හෝ කපා අලවපු පොත්වලින්. වානරයා ඒ එක කතාවක්. නම මතක නැති තව එකක් පසුව චිත්‍රපටයක් ලෙසට නිපදවුණා, විජය කුමාරණතුංග, තලතා ගුනසේකර වගේ අය එක්. විජය දුෂ්ටයෙක් ඒ කේ.
ReplyDeleteදයා රාජපක්ෂ ගේ මුළ් කාලයේ චිත්‍රකතා මුළුමනින්ම නොවුණත්, සෑහෙන්න විදෙස් නවකතාවල ආභාෂය ලබපු ඒවා. අනුපමා වුනත් ද්‍රෝහියා ගේ මව කියන කතාව වගේ අවසානය.
නමුත් ඔහු ඉන් පසු කළ දේශීය කතා විශිෂ්ඨ ස්වයං නිර්මාණ. සක්විති සුවය හැර අවාසනාවට හුඟක් ඒවායේ නම් අමතකයි. හිරගෙදරක කතාව උපනන්ද හිටපු, ඉස්පිරිතාලෙක කතාව දෙමල දොස්තර කෙනෙකු හිටපු, මිසිස් කව්මද හිටි කතාව,......
තෙන්නකෝන් ගේ සමාජ සමයං ඉස්සරහට අරහෙන ගිය හැටිත් අපූරුයි!
රසික,
Delete/ නම මතක නැති තව එකක් පසුව චිත්‍රපටයක් ලෙසට නිපදවුණා, විජය කුමාරණතුංග, තලතා ගුනසේකර වගේ අය එක්. විජය දුෂ්ටයෙක් ඒ කේ. /
අනුපමා නෙවෙයිද?
/ තෙන්නකෝන් ගේ සමාජ සමයං ඉස්සරහට අරහෙන ගිය හැටිත් අපූරුයි! /
ඒ ගැන නම් රසික මගේ අදහස වෙනස්. හෙන්රි තෙන්නකෝන්ගෙ සමාජ සමයං කාටූනයෙ තිබ්බ තියුණු දේශපාලන / උපහාස රසය දයාගෙන් මම නම් දැක්කෙ නෑ. නිකම් මේ ඇල්මැරුණු ගතියක් වගෙ කියල කිව්වොත් හරි මම හිතන විදිහට.
හෙන්රි තෙන්නකෝන් ගෙ කවි වගයක් තිබ්බා මැයි මාසෙ ලංකාදීපෙක... හෙට ගේන්නං.
Deleteමෙන්න උඩින් කිව්ව කවි:
Deleteහෙන්රි තෙන්නකෝන් එක්ක යාළු වෙලා හිටිය ගෑල්ලමේක්, පස්සෙ ස්ථාන මාරු වෙලා ගමට ගියාලු. පස්සෙ ඒ හාද කම නැතිවෙලා. එයා ගැන හෙන්රි ගෙ යාළුවෙක් හෙන්රිට කවි දෙකකින් ලියල එව්වලු මෙහෙම:
උඹේ හිතගත් අන්න ඒකිව වෙනත් එකෙකුට සින්න වෙනවා
දැනටමත් ගම පුරා කලබල ගෙවල් දොරවල් එළිය වෙනවා
මඟුල් ලියමන මටත් ආවා එදා මඟුලට මාත් යනවා
ලබන මාසේ හතරවෙනිදට වැඩේ ඉහළින් පැවැත්වෙනවා
සාරි පමණක් ඈට තියෙනව උඹේ මුලු සේසතට වැඩියෙන්
කුඹූරු වතුපිටි ගෙවල් දොරවල් තිබේ හැම අඩියකට අඩියෙන්
හතරවරිගේ නෑයො පිරිවර ඕනදේකට දුවති එඩියෙන්
ඈට කන්නට දෙන්න ඇහැකිද හිතාපන් උඹේ හිඟන පඩියෙන්
ඒකට හෙන්රි එවපු උත්තරේ -
උඹේ ලියමන මගේ මේසෙට ඇවිත් ඉඳ දත් කූරු කනවා
මගේ අම්මා එදා මැරුණත් මඟුල් කෑමට මාත් එනවා
ඇගේ අතගත් ඌත් කනවා ඌට අතදුන් ඈත් කනවා
මේක මට කිව් තෝත් කාලා කෘමීනාෂක බෙහෙත් බොනවා
ඩ්‍රැකී,
Deleteහෙන්රිගෙ උත්තරේ අන්තිම පද දෙක විතරක් අහල තියනව ඩ්‍රැකී...බොහොම තෑන්ක්ස් මුලු කවිපෙලම ලිව්වට..ඒත් අන්තිම පදේ රිද්මයට කියවෙන්නෙ මෙහෙම...
" මේක මට කිව් තෝත් කාලා කුරුමිනාසක බේත් බොනවා……"
බෝ ලියනකම්ම සකිසඳ එලියස් දයාගේ කතාවක් බව නෝට් වුනේ නෑ.බලපු එලම කතාවක්.සියලු රස ඇතුලත් බලන එකාට යහපත් ආදුරුසයකුත් දෙන කතාවක්.
ReplyDeleteමෙපින් බලෙන් ලෝ සත නිති නිවන් දැක බුදුන් දැක්කේ!
එලියස් අයියව දකිනකොට මට බෝව මතක්වෙනවා :-)
අඩ සියවසක් රසිකයන් තෙලිතුඩෙන් මන්මත් කල දයා ඔබට සුබ රාත්‍රියක්!
සිරා,
Delete/ එලියස් අයියව දකිනකොට මට බෝව මතක්වෙනවා :-) /
හෙහ්, උඹට බෙල්ලට දෙකක් දෙන්ටද නැත්නම් බෙල්ල බදාගෙන ඉඹගන්ටද කියලයි මම මේ කල්පනා කරන්නෙ...:)
මුල්ම චිත්‍රකතාවල නොර්ටන්බ්‍රිජ්හි දයා රාජපක්ෂ කියලයි ඔහු තමන්ව හඳුන්වාගත්තෙ. චිත්‍රකලාවට වගේම කොලම් ලිවිල්ලටත් දක්ෂයෙක්.ඔක්කෝටම වඩා හොඳ මානව හිතවාදියෙක්. ඔහු පටන්ගත් කාලේ ඒ විදිහට හිතූ එකම චිත්‍රකතා කරුවා ඔහුයි..
ReplyDeleteසරත්,
Delete/ මුල්ම චිත්‍රකතාවල නොර්ටන්බ්‍රිජ්හි දයා රාජපක්ෂ කියලයි ඔහු තමන්ව හඳුන්වාගත්තෙ. /
කුඩාකාලෙ දයා ඉඳල තියෙන්නෙ නෝටන්බ්‍රිජ්වල. ඔහුගේ පියා විදුලිබල මණ්ඩලයෙ රැකියාව කරල තියෙන්නෙ.
/ ඔක්කෝටම වඩා හොඳ මානව හිතවාදියෙක්. ඔහු පටන්ගත් කාලේ ඒ විදිහට හිතූ එකම චිත්‍රකතා කරුවා ඔහුයි../
එක හෙලාම එකඟයි....:)
දයා රාජපක්ෂගෙ කෙටි කතා අනන්තවත් කියවලඇති... අනිවාර්යෙන් මං හිතන්නෙ පොඩි උං කවුරුත් ලෙදරට පත්තරේ ගෙනාවම කියවන්නෙ චිත්‍ර කතාව... එක්කහු කරපු චිත්‍ර කතා නං නෑ ළග මොකද හැමදාම පත්තරේ ගන්ට වෙන්නෙ නෑනෙ...
ReplyDeleteදැං නං කොමික් කියල දේ නැති තරං නේ.. ඉස්සර සිත්තර සත්සිරි වගේ පත්තර තිබ්බ දැං ඒව නෑනෙව...
මහේෂ්,
Delete/ දයා රාජපක්ෂගෙ කෙටි කතා අනන්තවත් කියවලඇති. /
කෙටිකතා????...චිත්‍රකතා කියලයි මම හිතන්නෙ ඔබ අදහස් කලේ...නේද?
http://nelumyaya.com/?p=3797
ReplyDeleteකළ්‍යාණ,
Deleteස්තූතියි මල්ලි...:)
"මරු කතරේ පිපුණු මලක් වන්න අනුපමා....."
ReplyDelete"ඉරණම ඉරාගෙන ඉදිරියට ගිය රක්තා..."
"හුරී කඳු පෙතේ දඩමං දිගේ ගියා.."
දයාගෙ පරිකල්පනය මාධ්‍ය කිහිපයක්ම ජයගත්තා නේද?
"පස්" හොඳ ටෙලි නාට්‍යයක් වුණා.. වසන්ති චතුරානි රඟපාපු..
මේව කපල අලවල පොත් හදන එක විනෝදාංශයක් වුණා ඒ කාලේ...
තිස්ස,
Deleteපොඩි මාමා මම කැමති තවත් කතාවක්.. ගෝත්‍ර කීපයක් අතර පවතින ගැටුමක් ගැනයි ඒ කතාව…
" කර්ණයෝ අවිත්තියන්ගෙ මහ කුප්පායමත් ගිණි ලෑවලු රන්ගා...මට බය උන් ලබ්බට තියාපු අතම පුහුලටත් තියන්ට බැරි නෑ."
" හුහ්...එව්වනම් කොහෙද?... මේ ඇත්තගෙ ඉස්කෙළිය දැක්කම උන් ගෝකිල රැහැට කිට්ටුවෙන එකක්නෑ."
***************************
." කාලි අම්මා????.... හුහ් උන්දැ දනී අපේ දන් බත් ගිලින්ට නම්...."
" හිහ්...හිහ්....මොකෝ මේ කාලි අම්මට දෙස් තියන්නෙ?
" උන්දැට තවම බැරිවුනා ගෝකිල රැහේ නායක කම මයෙන් පස්සෙ බාරදෙන්ට මට පුතෙක් දෙන්ට…."
හෙහ්,හෙහ්, දෙයියෝ නඩු,..ඒකෙත් වැරැද්ද කාලි මාතගෙද?
පොඩි රාළ කට වහගනින්…"
***************************
" උඹේ මිනිහා කාලිමාතාට අපහාස කලා. ඒ හින්ද උඹට උපදින්නෙ මන්ද බුද්ධික කෙළිත්තියක් ඒත් ඇගේ ග්‍රහයෝ බල සම්පන්නයි. "
දයා ගෙ මං ඉස්සෙල්ලම කියෙව්ව චිත්‍ර කතාව නං, විජය පත්තරේ ගිය "නංගි බබා" - ඒකෙ ලොකු නුවන්, ඉමිටේෂන්, උපාසකම්මා ආදී උදවිය හිටියෙ. ඉමිටේෂන් මාමා සිංගප්පූරුවෙ ඉඳං එද්දි, "ෆ්ලයිට් එක ටූ අවර්ස් ඩිලේ වුණා" කිව්වහම, කඩේ මුදලාලි කිව්වා, "බලන්ඩකෝ එව්වටත් වෙන දේවල්..." කියලා.
ReplyDeleteඊට පස්සෙ "සිහින කුමාරි", ඊට පස්සෙ "ඉඳි කළයේ විත්තිය", ඊටත් පස්සෙ "රේඛා" - තුනම විජය පත්තරේ ගියෙ.
ඒ කාලෙ ලංකාදීපෙ තිබ්බා මඩිස්සලේ කියලා කවි පංතියකුත් දයා රාජපක්ෂ ලියපු.
ඩ්‍රැකී,
Delete/ දයා ගෙ මං ඉස්සෙල්ලම කියෙව්ව චිත්‍ර කතාව නං, විජය පත්තරේ ගිය "නංගි බබා" - /
හෙහ්..මම එව්ව කියෙව්වෙ නෑ මලේ...උඹල මේ හිච්චි එවුන් නෙව...:)
/ ඒ කාලෙ ලංකාදීපෙ තිබ්බා මඩිස්සලේ කියලා කවි පංතියකුත් දයා රාජපක්ෂ ලියපු. /
ඒකාලෙ විතරක් නෙවෙයි නේද මලේ? මේ ඊයෙ පෙරෙයිද වනකල් ඉරිදා ලන්කාදීපෙ මඩිස්සලේ පලවුනා නේද?
විජය පත්තරේට දයා රාජපක්ෂ ගේ තිබ්බ සම්බන්ධය මතක් කර ගන්න බැරුව හිටියේ.
Deleteඉඳි කාලයේ විත්ති මම බැලුවේ ටිකක් පරණ පත්තර වලින්.
ඒ කතා නම් කියල වැඩක් නැහැ.
මල් මාමා කතාව ලිව්වේ උන්නැහේ නෙමෙයිද. මම ලෝකේ පෙරලා පෙරලා හෙව්වත් හම්බ උනේ නැහැ ඒක ලිව්වේ කවුද කියලා.
මතකේ අනුවනං මල්මාමා ලීවේ පියල් උදය සමරවීර
Deleteලොක්කා,
Delete/ මල් මාමා කතාව ලිව්වේ උන්නැහේ නෙමෙයිද. මම ලෝකේ පෙරලා පෙරලා හෙව්වත් හම්බ උනේ නැහැ ඒක ලිව්වේ කවුද කියලා. /
මල් මාමා ඇන්දෙ පියල් උදය සමරවීර නේද?
හරි හරි... දැන් මතකයි සිද්ධිය.
Deleteමල් මාමා තාම යනවා මම හිතන්නේ. ඒත් ඉස්සර වගේ චිත්‍ර ලස්සන නැහැ.
මල් මාම අඳින්නෙ පියල් උදය තමයි. තාමත් විජය පත්තරේ ඒක යනව. අපි මොන්ටිසෝරි යන කාලෙ විජය පත්තරේ ඇතුලෙ පිටුවක රාමු දෙකක් වගේ තමයි මල් මාම තිබුණෙ.
Deleteරවි,
Delete/උඹල මේ හිච්චි එවුන් නෙව...:)/
අපි හිච්චි එවුන් නෙවෙයි රවි, බොලං සිරිසේන...
පොකු පුතා සහ ප්‍රසා,
විජය එකේ අර කොටු තුනේ කාටුන් එකක විදිහට ගියා, "මල් මාමා." ඊට පස්සෙ කොටු අටක විතර කාටුන් එකක් විදිහට ගියා "මල් මාමා පෙනී සිටින මකාගේ යලක්". දැන් යන්නෙ මයෙ හිතේ "ටකටකස්"
පියල්ගෙ තව සුපිරි වැඩක් තමා "කැලේ කතාව"
රවි,
Deleteවැරදීමක් වුනේ. උඩ කමෙන්ට් එකේ "සිරිසේන" වෙනුවට "සෝමපාල" ලෙස සංශෝධනය විය යුතුයි.
සමාජ සමයං තමයි නියමම ඇඳිල්ල. බල්ලගෙ ඉඳං සීය වෙනකං එක්කොම ජන සමාජය ඒකෙ ඉන්නව.
ReplyDeleteපිය හසර මට මතකයි. මං තුන හතර පංතිවල ඉඳිද්දි ඒක තිබුනෙ. හැබැයි ඒකෙ හිටි චරිත මතක නෑ. ඒකෙ තිවිච්ච ගෙවල් හරියට අපේ ගම් පැත්තෙ වතුවල ලැයිං කාමර වගේ.
අනේ එව්ව ඇඳපු මනුස්සය මලාද? අපරාදෙ. තවත් පුරාවෘත්තයක් අපෙං ගිලිහුණා.
Suranga,
Delete/ ඒකෙ තිවිච්ච ගෙවල් හරියට අපේ ගම් පැත්තෙ වතුවල ලැයිං කාමර වගේ. /
"
දයා රාජපක්ෂගෙ ඇඳිලි එහෙම තමයි..යන්තමට ඉරි දෙක තුනක් ගහනව..පෙට්ටියක් වගෙ එකක් උඩ ඇලේට වහල කෑල්ලක් අඳිනව..මනුස්සයගෙ ගෙවල් ඇඳිල්ල එච්චරම තමයි...:)"
තවත් වටිනා මිනිහෙක්
ReplyDeleteකුරුටු,
Deleteමොනව කියනවද? රටක ඉන්න ඕන මිනිස්සු...:(
මඩිස්සලේ ගැන කවුරුත් කියලා නෑ නේද? මං මෑතක් වනතුරුම ලංකාදීපේ මුලින්ම කියවන්නේ මඩිස්සලේ.. ඊට පස්සේ අන්තිම පිටුවේ දයා රාජපක්ශ ගේ කාටූන් එක.. නික්ම යන්න කල් වැඩියි.. නැවත හමුවෙමු හිතවත් දයා අයියා!
ReplyDeleteකළ්‍යාණ,
Delete/ මඩිස්සලේ ගැන කවුරුත් කියලා නෑ නේද? /
උඩහ ඩ්‍රැකී කියල තියනව මල්ලි මඩිස්සලේ ගැන...:)
දයා ගෙ කතා නං අපූරුයි. නමුත් ඒවගෙ චිත්‍ර නං මහ මොකදෝ වගෙ..
ReplyDeleteහර්ෂ
හර්ෂ,
Deleteහුඟ දෙනෙකුට දයාගෙ චිත්‍ර අල්ලන්නෙ නෑ...:) හැබැයි ඒ තමයි ඔහුගේ අන්න සෝත්‍රය...
/ඒ තමයි ඔහුගේ අන්න ස්‍රෝතය/
Deleteඈ...?
ඩ්‍රැකී,
Deleteඔහුගේ අනන්‍යතාවය මලේ අනන්‍යතාවය...:)
ඒ කිව්වහම මතක් උනේ. අපේ පංසලේ දායක සභාවෙන් ඉස්සර ලොකු පෝස්ටරයක් ගහනවා, පංසලේ වස් පිංකම් ගැන. ඒකෙ උඩිම්ම ගහනවා: “ශ්වාසනාලයෙන් දැනුම් දීමයි“ කියලා.
Deleteඩ්‍රැකී,
Delete/ “ශ්වාසනාලයෙන් දැනුම් දීමයි“ /
හෙහ්, ඒක නම් නියම කතාව...“ශ්වාසනාලයෙන් දැනුම් දීමයි“ …..ශ්වාසනාලයෙන් දැනුම් දෙන්නෙ කොහොමද බොල? නයෙක් වගේ පිඹලද?
පලි - මේ බුරාස්පොතින්ද රැ ආතල් එක වෙලාවෙ ඕක කියන්ට ඕන.." මේ බොලා දන්නවද මරු කතාවක් ?.....අන්න අර ඩ්‍රැකිය කියල තිබ්බ....ඔන්න මෙහෙමයි......." හෙහ්,හෙහ්, අනිවා ඔවුන්ගෙ ශ්වාසනාලය දිගේ යනව බඩු.....:)
මගේ ප්‍රියතම චිත්‍රකතා ශිල්පියා නොවුනත් මගේ ප්‍රියතම ලැයිස්තුවේ වැදගත් තැනක හිටි කෙනෙක් දයා රාජපක්ෂ. කාලයක් මම දයාගේ අත් අකුරු ශෛලිය අනුගමනය කලා. ඒ වගේම මට දයාගේ අත්සන ඒ වගේම ගහන්න හැකියාව තිබුනා. (ඒ වගේම ජනක රත්නායකගේ සහ බන්ධුල හරිශ්චන්ද්‍රගේ අත්සනුත්)
ReplyDeleteඔහුගේ කතාවල තිබුනේ contemporary ගතියක්. ප්‍රාදේශීය ව්‍යවහාර ගැන ඔහුට මනා අවබෝධයක් තිබුනා.
ඔහුගේ චිත්‍ර ශෛලිය ඔහුටම ආවේනික එකක්. ඒ වගේම..මම ඒක කොහොමද කියන්නේ..ඒක නිර්භීත, I don't give a shit වර්ගයේ එකක්. පෑන් පහරවල් හරිම 'සාහසික'යි. සමහර දවස්වලට ඔහු ඉන්න මූඩ් එක චිත්‍ර දැක්කාම කියන්න පුලුවන්. සමහර දවස් වල හරිම කලබලයි. සමහර දවස්වල හරිම නොසැලකිලියි. සමහරවිට ෂොට් එකක් දාගෙන ඇඳපුවා කියල මට හිතිලා තියෙනවා. ඒවයෙ තිබුනේ cosmetic ගතියක් නෙවෙයි. practical ගතියක්. ඒ වගේමයි ඔහුගෙ චිත්‍ර වල එදිනෙදා වෙන සමාජ විපර්යාස, ඇඳුම් විලාසිතා කොණ්ඩ විලාසිතා පිළිබිඹු කරන්න ඔහු උත්සාහ කලා.
මට මේ ටික ඔහු ඉන්දැද්දී ඔහුට කියන්න බැරි වීම ගැන ඔන්න මට පසුතැවිල්ලක් ඇති වුනා.
ඔබට ආයුබෝවන් රසවතානනි.
"ඒ වගේම මට දයාගේ අත්සන ඒ වගේම ගහන්න හැකියාව තිබුනා. (ඒ වගේම ජනක රත්නායකගේ සහ බන්ධුල හරිශ්චන්ද්‍රගේ අත්සනුත්).."
Deleteබොරැල්ලේ, මරදානේ හා අලුත් කඩේ කාර්‍යාල තුනක් ව්වෘත කරදෙන්නම්...
එන්න ලංකාවට...
ඔය දැන් 'මහන්සි' වී ගන්නා මාසික වැටුප එක් දිනකදී උදේ දහයත් දවල් දෙකක් අතර ලබාගත හැක..
කාමර කුළියට අමතරව ලාභයෙන් 33% බලාපොරොත්තු වෙමි..!
;-)
තිස්ස තිස්ස... දොඩංගොඩ මිසත් අත්තනායක නෙවෙයි නේද?
Delete+++++++++++++++++++++
DeleteDracks... Super response !!!
DeleteDude,
Delete/ ඔහුගේ චිත්‍ර ශෛලිය ඔහුටම ආවේනික එකක්. ඒ වගේම..මම ඒක කොහොමද කියන්නේ..ඒක නිර්භීත, I don't give a shit වර්ගයේ එකක්. පෑන් පහරවල් හරිම 'සාහසික'යි. /
දයාගේ ශෛලිය සහ භාවිතාව පිලිබඳ ඔබේ විශ්ලේෂණය අනර්ඝයි ...ඔහු මට හිතෙන්නෙ චිත්‍ර ගැන ඒ හැටි උනන්දුවුන කෙනෙක් නෙවෙයි. ඔහුට අවශ්‍ය වුනේ ප්‍රබල සහ පපුවට වදින කතාවක් කියන්න. ඔහුගේ චිත්‍රකතාවල දෙබස් බොහොම වැඩියි.සමහරවිට එක රූප රාමුවක දෙබස් හතර පහක් වගෙ ඔහු යෙදුවා.චිත්‍ර ඔහු යොදාගත්තෙ මට හිතෙන්නෙ බොහෝවිට Caricatures විදිහට මිසක ස්වාභාවික රූප විදිහට නෙවෙයි.
අඩේ අද රවියා මට ඔබ කියලා ආමන්ත්‍රණය කරලා. මේ ලිපිය නිසාද?
Deleteනැතිනම් උඹට අසනීපයක්ද?
ඒ කෙසේ වෙතත් උඹලා කාටත් අමතක වෙච්ච දෙයක් මට දයා ගැන මතක් වුනා. ඒ තමයි දයා එක පාරක් කතාවක් ඇන්දා "සුද්දා" කියලා. ඒකෙ හිටියේ සුදු කොල්ලෙකුයි තවත් ලාංකික ළමයි කීප දෙනෙකුයි. නපුරෙකුත් හිටියා. ඒක ළමා කතාවක්. මේ කතාව දයා සිංහල ළමා පත්තරේකට වගේම ඉංග්‍රීසි ළමා පත්තරේකටත් එකට ඇන්දාද කොහෙද. කාටවත් මතකද ඒක? මට පත්තරේ මතක් නෑ බං.
මම මේ හරියටම කියන්නේ කොහොමද කියලා හිත හිත හිටිය එකක් තමා ඩූඩ් ඔය එළට කියලා තියෙන්නේ... ඉස්සර අපි ගන්න කාලේ විජය පත්තරේ මල් මාමා වගේ ඒවා හැරුණු කොට අපිට චිත්‍රකතා බලන්න ලැබුණේ ඉඳහිට ලැබෙන චිත්‍රකතා පත්තරේකින් විතරයි. දයා රාජපක්ෂවත් මට මතක හිටියේ ඒ චිත්‍ර වල ශෛලිය නිසා.. ඩූඩ් කිව්ව වගේ හරිම සහාසිකයි.. කිසිම මෘදු ගතියක් නෑ... ඕකට ප්‍රතිවිරුද්ධව හිටියේ අර "ඉතිං ඊට පස්සේ" වගේ කතා. ඒවයෙ චිත්‍ර හරිම මෘදු ගතියක් තිබ්බා... හැබැයි මට වැඩිය චිත්‍ර අඳින්න බැරි වුණාට ඉඳලා හිටලා හරි මූණක් අඳිනවා නම් ඇඳෙන්නේ දයා ස්ටයිල් එකට... මම ඉස්සර චිත්‍ර කතා වල රූප බලාගෙන ඇඳලා තියනවා... දයා රාජපක්ෂගෙ එවා අඳින්න ලේසියි... ටිකක් ඉරි එහෙ මෙහෙ උණාට ගානක් නෑ... අනික දයා ගෙ චිත්‍ර වල කර්වි ගතිය අඩුයි... ඉරි වලින් තමයි ඔහු අඳින්නේ..
DeleteDude,
Delete/ අඩේ අද රවියා මට ඔබ කියලා ආමන්ත්‍රණය කරලා. මේ ලිපිය නිසාද? නැතිනම් උඹට අසනීපයක්ද? /
ඔන්න ඉතින් වැඩේ හැටි...තොට ඔබ කියල අන්තිමට වෙච්චි දේ...හෙහ්,හෙහ්,
මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටිය ඕකා හැමදාම බීල ගෙදර යන්නෙ. " මාර වැඩේ මචන් මට වෙලා තියෙන්නෙ. ණයට හරි බීලයි හවස ගෙදර යන්න වෙලා තියෙන්නෙ. බැරිවෙලාවත් නොබී ගියදාට අම්මගෙන් මල වදේ බෙහෙත් ගන්ට යමු කියල. අම්ම හිතාගෙන ඉන්නෙ මම නොබී ගෙදර එන්නෙ අසනීපයක් හින්ද කියල. "ඕකා දවසක් මගෙ යාලුව එක්ක කිව්ව කියල යාලුව මා එක්ක කිව්ව.
Thisara,
Delete/ දයා රාජපක්ෂවත් මට මතක හිටියේ ඒ චිත්‍ර වල ශෛලිය නිසා.. ඩූඩ් කිව්ව වගේ හරිම සහාසිකයි.. කිසිම මෘදු ගතියක් නෑ... ඕකට ප්‍රතිවිරුද්ධව හිටියේ අර "ඉතිං ඊට පස්සේ" වගේ කතා. ඒවයෙ චිත්‍ර හරිම මෘදු ගතියක් තිබ්බා…/
පී. වික්‍රමනායක නොහොත් වික්‍රමගෙ චිත්‍ර මට හිතෙන්නෙ ඔය ශෛලීන් දෙකේම සන්කලනයක්.
ඩූඩ්,
Deleteඔය කියන කතාව ‘රේඛා‘. ඒකෙ හිටියා සුදු ළමයා, නපුරුසිංහ, මිස් තුමුලා සද්දන්ත, සැන්ඩෝ, බන්ටි, බටු කුරුල්ලා වගේ චරිත. තව අප්‍රිකානු ගෝත්‍රික සෙට් එකකුත් හිටියා ඒකෙ.
එකපාරක් අර බටු කුරුල්ලා ගැට ගහල තිබ්බ දම්වැලෙන් නපුරා අදිනවා. බන්ටි කියනවා බටු කුරුල්ලට, “නිකරුණේ දම්වැල ඇදල තිබ්බොත් රුපියල් විස්සක් දඩගහන්න“ කියලා.
අම්මට වූඩූ ඩ්‍රැකී! උඹට කොහොමද ඔච්චර විස්තර මතක? අසාධාරණ ප්‍රශ්ණයක් මම ඇහුවේ. මොන පත්තෙරේද බං ඕක ගියේ? මිහිර පත්තරේද?
Deleteඒක ගියෙ විජය පත්තරේ, ඩූඩ්. මා ගාව තිබුනා පත්තර සෙට් එක, මෑතක් වෙනකල්. වේයො කාල විනාශ කරනකල්ම. ඒකයි මතක...
Deleteදයා රාජපක්ෂගෙ චිත්‍රකතා අපි ඒ කාලෙ කියවන්න ඇබ්බැහි වෙලා උන්නෙ. දයා කියනෙ චිත්‍රකතා ලෝකයෙ එක යුගයක්.
ReplyDeleteනොකී කතා,
Deleteඔව්, දයා ඇත්තටම චිත්‍රකතාවෙ එක යුගයක් නිරූපනය කරනවා..
මාත් ඔය මිනී කන දිවියාගේ චිත්‍රකතාව සම්පූර්ණයෙන් කියවල නෑ. ඇත්තෙන්ම කොටස් දෙක තුනක් දකින්න ඇති පොඩි කාලෙ. ඒත් තාම පැනල් දෙකක් වගේ යාන්තමට මතකයි. ඒකෙ තිබුන අද්භූතගතිය චිත්‍රවලින් මතුවූ නිසා වෙන්න ඇති.
ReplyDeleteමං හිතන්නෙ රුද්‍රප්‍රයාග් කතාව ආශ්‍රයෙන් කරපු එකක්
Pra,
Deleteදෙවියන්ට තුති පුදමි! . මා මෙතෙක්කල් අනේක වෙහෙස විඳ සෙවූ ඔහු මට අවසානයේ හමුවිය.
ප්‍රා කිව්වට විස්වාස කරනවද දයා ඇඳපු ඒ කොටියගෙ කතාව කියවල තියනව කියල කිව්ව පළමුවන පුද්ගලයා ඔබ.මම සිය ගණනකගෙන් අහන්ට ඇති " අඩේ බොලා මෙහෙම කතාවක් පොඩි කාලෙ කියවල තියනවද දයා රාජපක්ස ඇඳපු? " කියල. " අනේ නෑ බන් මම දන්නෙ නෑ එහෙම කතාවක් "ඔන්න ඔහොමයි මෙතෙක් කාලෙකට උත්තර ලබුනෙ.
පස්සෙ මට ආයම හිතුන මේ වෙන මොකක් හරි පොතකවත් තිබ්බ කතාවක් මට කොන්පියුසියස් වෙලාවත්දෝහෝයි කියල.හෙහ්..අන්තිමට මම හරි කියල ඔප්පු වුනා. ස්තූතියි ප්‍රා,
මට වුනත් හරියටම මතක නෑ.පාලමයි, දේවාලෙයි, දිවියයි, වන්දනාකාරයොයි වයසක මිනිහෙකුයි වගේ චිත්‍ර ටිකක් මතකයි. සමහරවිට කපල් එක ඉන්න ඇති. දඩයක්කාරයා රවි කිව්වහම මතකයි වගේ.
Deleteහිතේ මතක තිබුනෙ ඒ චිත්‍රවල තිබුන අද්භූත ත්‍රාසජනක හොරර් වගේ ගතිය. It was about to explode in to violence tinged with a supernatural quality . I have seen it matched only by some Marvel and DC comics (rarely).
Maybe it had such an impact on me because I was a small kid....creepy scary !
අපි පොඩිම කාලේ හිටි ගෙදර අයිති කට්ටිය පත්තර හුඟක් ගත්තා. ඒ හින්දා අපි ඒ කාලේ සල්ලි දීලා පත්තර ගත්තෙම නැහැ . ඒ මදිවට අපි ඉපදෙන්නත් කලින් කාලේ පත්තර වල තිබ්බ චිත්‍ර කතා එකතු කරලා පොත් හදල තිබුණ. අපිට තිබුනේ හොඳට මැදිලා තිබ්බ සීතල සිමෙන්ති පොළොවේ වැතිරිලා එව්වා කියවන්න . සුදු ආච්චි එකතු කරලා තිබ්බ නමිනං වෙරළු හප හපා. මට මතකයි සුබෝධා කියල කතාවක්.
ReplyDeleteදයා රාජපක්ෂ ගේ චිත්‍ර වලට මම බොහොම කැමතියි. හුඟක් ශිල්පින් ඇන්දෙ සුකුමාර ගති ඇති මිනිස් රූප. දයාගේ චිත්‍ර වල තියුණු ගතියක් තිබුන . (sharp features )
මෑත කාලයේ නම් ඔහුගේ නිර්මාණ මග හැරුන. මට ඔන්ලයින් පත්තර කියවිල්ල අල්ලන්නේ නැති නිසා වෙන්න ඇති .
Bindi,
Delete/ මෑත කාලයේ නම් ඔහුගේ නිර්මාණ මග හැරුන. මට ඔන්ලයින් පත්තර කියවිල්ල අල්ලන්නේ නැති නිසා වෙන්න ඇති . /
මටත් ඒ වැඩේ නම් අල්ලන්නෙම නෑ.අපි ඉතින් පරණ මිනිස්සුනෙ..හෙහ්...පොතක් පත්තරයක් කියවනකොට බරට තියෙන්න ඕන..පිටු පෙරෙලනකොට කඩදාසි එකට එක තැවරෙන සරසර සද්දෙ ඇහෙන්න ඕන. ඒ ඔක්කෝටම වැඩිය කියවන අතරෙ එහෙම්මම නින්ද ගියාම පොත හෝ පත්තරේ බඩ හෝ පපුව උඩ නිරායාසයෙන් වැටෙන්ට තියෙන්ට ඕන. කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියෙව්වට ඔය හැඟීම් එකක්වත් විඳින්ට ලැබෙනවය?
අපේ පරම්පරාවට යාන්තං මතකයක් තියෙන්නේ චිත්‍ර කතා පත්තර ගැන, මං පොඩි කාලේ කියෙවුවා අපේ අම්මා එකතුකරලා තිබ්බ පත්තර. ඒවා ඒ කාලේ කියවද්දී දැනුනේ මන් ලොකූ වැඩක් කරනවා වගේ.. මේ පින්තුරේ තියෙන ගල් පල්ලිය කියන එක දැකලා තියෙනවා මන් හිතන්නේ පත්තරේක,,, ගොඩක් කතාවල සිගරට් බොන ඒවා ඇඳලා තියෙනවා මතකයි. එතුමාට නිවන් සුව....
ReplyDeleteඅපේ සඳුන් සෙවන බ්ලොග් එක ලියන අයියත් හරි උනන්දුයි මේ වගේ දේවල් වලට.
Omaya,
Delete/ මේ පින්තුරේ තියෙන ගල් පල්ලිය කියන එක දැකලා තියෙනවා මන් හිතන්නේ පත්තරේක,,, /
ඔතන ගල්පල්ලිය කියල කියන්නෙ හිරගෙදරට. ඒත් ගල්පල්ලිය කියල හඳුන්වන දේවස්ථාන කීපයක් තියනව. එකක් කොල්ලුපිටියෙ ශාන්ත මයිකල් දේවස්ථානය. තව ගල්පල්ලියක් තියනව කෑගල්ලෙ.
/ අපේ සඳුන් සෙවන බ්ලොග් එක ලියන අයියත් හරි උනන්දුයි මේ වගේ දේවල් වලට. /
එහෙනම්, එහෙනම්..අපේ චන්දන ගොයිය ඇවිදිල්ල හිට පරණ චිත්‍රපට, ගීත එතනින් ගියාම චිත්‍රකතා ගැන හොඳ දැනුමක් තියෙන ගොබිලෙක්...:)
මේ කොහොමද අනේ බෝල්ට් අකුරු වලින් කමෙන්ට් දාන්නේ, මටත් කියාදෙන්න.
Deleteමං කිවුවේ ඔය ගල් පල්ලිය කියන චිත්‍ර කතාව දැකලා කියෝලා තියෙනවා කියලා කිවුවේ,,, ඒ රූප වල හිට්යේ වස පාට දරුණු මිනිස්සු
Omaya,
Delete/ මේ කොහොමද අනේ බෝල්ට් අකුරු වලින් කමෙන්ට් දාන්නේ, /
[b] බෝල්ඩ් කරන්න ඕන කොටස මෙතන ලියන්න [/b]
හැබැයි මතක ඇතුව < සහ > වරහන් පාවිච්චි කරන්න.
රවි මහතා,
ReplyDeleteඔබ සටහනේ, දයා රාජපක්ෂ මහතාගේ "ආදර කොමා" පිළිබඳ කොටස කියවන විට මාගේ මතකය ආයාසයකින් තොරවම දිවගියේ 1976 වර්ෂය අග භාගය වෙතයි. මොකද ආදර කොමා (යකඩ / රොබෝ මිනිසා) නිසා එල්සී නෝනට යකඩ දරුවෙක් ලැබෙනවා. ඒ 1976 වසරේ, අගෝස්තු හෝ දෙසැම්බර් හෝ පාසැල් නිවාඩු සමයේ දිනක. එකල මා ඉගෙන ගත්තේ පහ ශ‍්‍රේනියේ.
ඒ දිනවල අපේ ගෙදරටත් දිනමිණ දිනපතාම මිලදී ගත්තා. මා එකල එතරම් උනන්දුවකින් දිනමිණේ දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කාථාව නොකිය වුවත්, නිකන් උඩින් - ඇහැ යවනවා. මට මතක විදිහට 76 පාසැල් නිවාඩු සමයේ බෝඩිමේ සිට ගෙදර ඇවිත් සිටි දිනක තමා එල්සි මහත්මියට යකඩ දරුවා ලැබුනේ. ඉතින් කුඩා මට පුදුම කුතුහලයක් ඇතිවුණේ. කොහොමද කාන්තාවකට යකඩ බබෙක් ඇති වන්නේ......කියලා.
මට අද වගේ මතකයි.... මම අම්මාගෙන් ඇහුවා "කොහොමද අම්මේ මිනිස් ගැහැණියකට යකඩ බබෙක් ලැබෙන්නේ.." කියලා. මට අවංකවම ඇතිවූණ සිතුවිල්ල තමා ඒක (ඇග ඇතුලේ යකඩ තියෙන කොට ඇති වන මලකඩ වලින් පිට ගැස්ම හැදෙන්න පුඵවන් වගේ) කොහොමටවත් වෙන්න බැහැයි කියන එක. (අනික ඉතින් ඒ දවස් වල චිත්‍ර කථා වල තියෙන කියන දේවල් ඒ විලසින්ම ඇත්ත කියා විශ්වාස කලානේ)
අම්මා එවලේ කුමක් අදහස් කලාද මන්දා..... ඇගේ ක්ෂණික පිළිතුර වූවේ "පුතා පරීක්ෂණාගාරයේ නිතරම එල්සී යකඩ මිනිසා දෙස බලා හිටපු නිසා තමා ඒ විදිහේ යකඩ ලමයෙකු ලැබුනේ" කියලා.
"ආචාර්ය සයිකෝ" මතකයත් යාන්තමින් අවදිවුනා.....
රවි මහත්තයට මතකද සාමාන්‍ය මිනිසුන් පොඩි මිනිසුන් කරන ආචාර්ය සයිකෝගේ මැජික් බලය තියෙන ගිනිකූරක් තිබුණා. පින්තු ඔය ගිනිකූර අරගෙන, ටිකට් නැතිව බස් එකේ යනවා. එතකොට ඔන්න ටික්කෝ එනවා. ටිකට් චෙක් කරන්න. තමන් "පොඩි මිනිසෙක් වේවා" කියලා ගිනිකූර දික් කරන කොට, ඒක කලබලේට වැරදි පැත්තට දික් වෙලා පින්තුට එහා පැත්තෙන් වාඩිවෙලා ගොරවා - ගොරවා නිදා ගෙන හිටපු තඩි මුදලාලි කුඩා මිනිසෙක් වෙනවා...
එතකොට ටිකට් පරීක්ෂකයෝ "ඈ ! දැන් මෙතන හිටපු මුදලාලිට මොකක් වුණාද.... මිනිහා ටිකට් නැතිව ඉදලා පැන්නා නේද ජනේලෙන් එලියට......" කියලා හෙන ගිනි විජ්ජුම්බරයක් යනවා.
අන්තිමේ ටිකට් නැති කට්ටිය ජීප් එකේ පටවන් පොලිසියට යද්දිත් පින්තුවා ඒ අයත් ටික්කොත් පොඩි මිනිසුන් කරමින් හෙන පිස්සුවක් නැටුවා......
මෙම සටහන ලියු ඔබට බෙහෙවින්ම ස්තුතියි කියන අතර හිතාදර දයා රාජපක්ෂ මහතාට නිවන් සුව ප්‍රාරාතනා කරමි.
ඇනෝ,
Delete/ මොකද ආදර කොමා (යකඩ / රොබෝ මිනිසා) නිසා එල්සී නෝනට යකඩ දරුවෙක් ලැබෙනවා. ඒ 1976 වසරේ, අගෝස්තු හෝ දෙසැම්බර් හෝ පාසැල් නිවාඩු සමයේ දිනක. එකල මා ඉගෙන ගත්තේ පහ ශ‍්‍රේනියේ. /
ඔබට හොඳටම විශ්වාසද ඔය දින වකවානු ගැන? මොකද මට මතකනම් දිනමිණ පත්‍රයේ ආදර කොමා කතාව පලවුනේ 74/75 වගෙ කාලෙ කියලයි.
/ අම්මා එවලේ කුමක් අදහස් කලාද මන්දා..... ඇගේ ක්ෂණික පිළිතුර වූවේ "පුතා පරීක්ෂණාගාරයේ නිතරම එල්සී යකඩ මිනිසා දෙස බලා හිටපු නිසා තමා ඒ විදිහේ යකඩ ලමයෙකු ලැබුනේ" කියලා. /
යකඩ ළමයෙක් නෙවෙයි මම හිතන්නෙ එල්සිට ලැබුනෙ සාමාන්‍ය දරුවෙක්. ඒත් මුහුණේ හැඩරුව කොමාට ( එනම් රොබෝට ) සමානයි.එහෙම විශ්වාසයක් මිනිස්සු අතර තියනව. ඒ කියන්නෙ ගර්භනී අවස්තාවෙ නිතර දෙවේලෙ දකින කෙනෙකුගෙ හෝ රූපයක හැඩරුව ලැබෙන දරුවට පිහිටන්න පුලුවන්ය කියල.ගර්භනී මව්වරුන්ගෙ කාමරවල බිත්තියෙ ලස්සන කුඩා දරුවන්ගෙ ඡායාරූප එල්ලන්නෙත් ඒ විශ්වාසය හින්ද. මම දන්නෙ නම් නෑ ඒ මතය කොච්චර දුරකට ඇත්තද කියල.
/ අන්තිමේ ටිකට් නැති කට්ටිය ජීප් එකේ පටවන් පොලිසියට යද්දිත් පින්තුවා ඒ අයත් ටික්කොත් පොඩි මිනිසුන් කරමින් හෙන පිස්සුවක් නැටුවා...... /
හෙහ්..ඔබ කියනකොට යන්තමට මතකයි මතකයි වගෙ....
බොහොමත්ම ස්තූතියි ඇනෝ ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට...:)
ඒ කාලේ තලංගම ජයසිංහගෙ යකාගේ බෝතලේ & දයාගේ ආදර කොමා ජනප්‍රිය වූ කතා
ReplyDeleteTrans Sylvania,
Delete/ ඒ කාලේ තලංගම ජයසිංහගෙ යකාගේ බෝතලේ & දයාගේ ආදර කොමා ජනප්‍රිය වූ කතා /
ඔන්න තව කතාවක් මතක්වුනා..යකාගෙ බෝතලේ…..:)
තලංගම ජයසිංහ තව අපූරු කතාවක් ඇන්දා දිනමිණට. ඉන්දියාවෙ ඉඩම්හිමි ෂමින්දාර් පවුලක කතාවක්. ඒ පවුලෙ බාල පුත්‍රයාගෙ උපතින්ම ඉණෙන් පහල පණ නැහැ.ඔහුට ආවතේව කරන්නට නියම වෙන්නෙ කුලහීන දැරියකට. ඔවුන් දෙදෙනා අතර ඇතිවන සෙනෙහස ගැනයි කතාව දිගහැරෙන්නෙ....
මෙය මා අස ඇති කතාවක්,
ReplyDeleteදයා රාජපක්ෂ මහතා තරුණ අවදියේ ඔහුව මින් පෙර නොදුටු ඔහුගේ රසිකයෙක් මෙසේ කීවාලු 'මා සිතා සිටියේ ඔබ මීට වඩා වයසක කෙනෙක් කියල !'
ඉන් දශක කීපයකට පසු ඔහුගේ රසිකයෙක් , 'මා සිතුවේ ඔබ තරුණයෙක් කියා' කීවාලු.
Ano,
Deleteස්තූතියි....:)
පොඩි දවස්වල චිත්‍රකතා පත්තර කියන්නෙ මගෙත් ජනප්‍රිය දෙයක් තමයි. පත්තර ගත්තෙ නැති උනත් ගත්ත උං කිලෝ ගානට බඩු ඔතන්න කඩේට ගෙනත් දෙන ඒව අහුවෙන හැම එකක්ම කියෝනව. ඒ අතරින් මතක හිටින්න නමත් තිබ්බ කෙනෙක් තමයි දයා රාජපක්ෂ.
ReplyDeleteප්‍රසන්න,
Delete/ පත්තර ගත්තෙ නැති උනත් ගත්ත උං කිලෝ ගානට බඩු ඔතන්න කඩේට ගෙනත් දෙන ඒව අහුවෙන හැම එකක්ම කියෝනව. /
ඉතින් බොල කඩේට ගත්ත පරණ පත්තර වලින් චිත්‍රකතා එහෙම පිලිවෙලට හොයාගෙන කියවන එක මහ පණයන වැඩක්නෙ. උඹට තිබ්බෙ පත්තර ගේන එව්වන්ට රෙගුලාසියක් දාන්ට චිත්‍රකතා තියෙන පිටුව විතරක් වෙනම දින අනුපිළිවෙලට හදල ගෙනාවෙ නැත්තම් පත්තර ගන්නෙ නෑ කියල …:)
" මෙහෙම කෑලි කෑලි කැපුවම කඩවල් වලට පත්තර ගන්නෙ නෑනෙ. මේ පත්තර ඔක්කෝගෙම අන්තිම පිටු අයින් කරන්ට වෙනව. "
පරණ පත්තර පිළිවෙලට අඩුක්කරල කොහුලණු දෙපොටක් දාල බැඳල කඩේට අරගෙන ගිහිල්ල විකුණන රාජකාරිය බාරවෙලා තිබ්බෙ අපෙ මාමට. හැමදාම විකුනන්ට ගෙනියන්ට පත්තර හදද්දි මාම අරම කියල මට බණිනව. කොහොමහරි කවදාවත් මට මතක විදිහට දිනමිණ අන්තිම පිටුව විකුණන්ට හම්බ වුනේ නෑ. එකක් ඇර එකක් මම අන්තිම පිටුවෙ පලවෙච්චි කතා ඔක්කොම කපල පොත්වල අලවල එකතුකලා. හෙලන්, සින්බෑඩ්, පෙනිලෝපා, ආදර කොමා,...... එව්වට වෙච්චි දෙයක් නැති එකයි මගෙ හිතට දුක...:(
මට දයා රාජපක්ශගෙ බොක්කටම වැදුන කතාව "මුත්තයියා පාර". ලක්සෙ අයියා, නන්දෝරිස් තාමත් මගේ ඔළුවෙ ඒ විදිහටම ඉන්නවා. නන්දෝරිස් පිහි ඇනුම් කාලා මරුනම ලක්සේ අයියා බස් එකේ ෆුඩ් බෝඩ් එකේ පොල්ල ගලවලා මිනි මරුවට (තෝමස් වගේ මතක ) නෙලපු නෙලිල්ල තාමත් මට මතකයි. ඒකෙ ප්‍රයිවට බස්, ලංගම අතර මුල්කාලයේ තිබුන තරගය අපූරුවට පෙන්නලා තිබුනා.
ReplyDeleteමමනම් දයාගේ චිත්‍ර වලට මනාපයි.
චිත්‍රකතා වංශ කතාවේ, තවත් එක් පරිච්ඡේදයක් අවසන් ! ඔබට සුබ ගමන් !
සෙන්නා,
Delete/ මට දයා රාජපක්ශගෙ බොක්කටම වැදුන කතාව "මුත්තයියා පාර". /
අන්න මල්ලි තව මරු කතාවක්...ලන්කාදීප පත්තර එක දිගට ගැනුනෙ නැති හින්ද පසුකාලීනම දයාගෙ කතා කියවන්ට ලැබුනෙ අතරින් පතර.....
//ඒ කාලෙ දැන් වගෙ හෙදියන්ගෙ සේවාමුරය පැය 6 නෙවෙයි. දැන් නම් මොකද එයාලට? .....එක්කො උදේ 7 - දවල් 1.... නැත්නම් දවල් 1 - රෑ 7..... මොන ෂෝක්ද//
ReplyDeleteනර්ස් නෝනලා එක්ක තියන අර මෙව්වා එක තමයි මේකෙන් පෙනී යන්නේ. හෙමිහිට නොදැනෙන්න පොඩි පාරක් ගහල තියෙන්නේ සරෝටයි අසෝටයි...නැද්ද?
සයුරි,
Delete/ නර්ස් නෝනලා එක්ක තියන අර මෙව්වා එක තමයි මේකෙන් පෙනී යන්නේ. හෙමිහිට නොදැනෙන්න පොඩි පාරක් ගහල තියෙන්නේ සරෝටයි අසෝටයි...නැද්ද? /
හෙහ්..එහෙමමත් නෑ බොලේ...;)
සරෝ එක්කනම් පොඩි තරහක් වගෙ තිබ්බ.මට ඇත්ත නොකිව්ව එකට..අසෝ ගැන නම් කිසිම අමනාපයක් නෑ. එතන තනිකරම මයි පෝල්ට්...හෙහ්,හෙහ්,
දයා රාජපක්ෂගේ දෙබස් වල ඒකාකාරී බවක් තියෙනවා මට පෙනුනෙ. බොහෝවිට එයාගෙ පසුබිම මුඩුක්කු හෝ රස්තියාදුකාර හෝ මැර සංස්කෘතිය සහිත පළාත්. චිත්‍ර නම් ඔහුටම ආවේනිකයි. ඒවා කෝමල රේඛාවලින් තොර ආසන්න සරල රේඛා. සුසිල් ප්‍රේමරත්නත් මේ හා යම් සමානකමක් ඇති චිත්‍ර කතා ඇන්දා. මගේත් යම් කිසි ආකර්ෂණයක් නොතිබුණා නොවෙයි දයාගේ මේ රටාවට. මඩිස්සලේටනම් දෙකක් නෑ කැමතියි එකෙන්ම.
ReplyDeleteඒ මොනවා වුණත්, මම ඔහුට කැමති වෙනස් වූත්, තමන්ටම ආවේණික වූත් චිත්‍රකලාවක්, කාව්‍යකරණයක් හඳුන්වාදීම ගැන අපි ජාතියක් වශයෙන් ඔහුට කෘතඥ විය යුතුයි.
ස්තූතියි රවී අයියේ! ඔබේ විග්‍රහයන් ගැනනං ... ආයි නෝ වර්ඩ්ස්!