Thursday, August 20, 2015

341. ගාල්ලේ ආශ්චර්‍යය නොහොත් සංගාට ලැබුණු හොඳම සමුගැනීමේ ත්‍යාගය. The Miracle of Galle & Most Probably The Finest Farewell Gift Ever to Sanga.


Google Images

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන උදෙසා පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය කියන්නෙ ක්‍රිකට් ගැන යම්තමට හෝ උනන්දුවක් තියෙන ලෝකෙ කොහේ හෝ වාසය කරන ඕනම රසිකයකුගේ සිත ඇද බැඳ තබාගන්නක් නිසැකවම. මාරුවෙන් මාරුවට දකුණු ගිම්හාන සෘතුව බලපැවැත්වෙන සමයේ ( නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ) ඕස්ට්‍රේලියාවෙත් උතුරු ගිම්හාන සෘතුව බලපැවැත්වන සමයේ ( මැයි මස සිට අගෝස්තු මස දක්වා ) එංගලන්තයෙත් පැවැත්වෙන මේ ටෙස්ට් තරඟාවලියේ ඉතිහාසය වසර 1882-83 දක්වා දිවෙන්නක්.

ඉස් ඉස්සෙල්ලාම මම අළු බඳුන තරඟාවලියක් ගැන උනන්දුවුනේ 1974-75 සීසන් එකේදි. ඒ පාර ඕස්ට්‍රේලියාවෙ පැවතුනු තරඟාවලියෙන් ඔවුන් ජයගත්තා තරඟ 4 - 1 වශයෙන්. එක තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන් යන ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් දෙදෙනාගෙ අධිවේගී බවුන්සර් පන්දු ඉදිරියේ එංගලන්ත පිතිකරුවන්ට සිදුවූයේ බොහෝවිට ලකුණු ලබාගන්නට නොව තව ජීවිතය බේරාගන්නට සටන් කරන්නට.

එදා ඉඳල පැවැත්වුනු හැම අළු බඳුන තරඟාවලියක් ගැනම මම බොහොම උනන්දුවෙන් හොයා බැලුව. අළු බඳුන තරඟාවලියක් පැවැත්වෙන්නෙ වසර හතරකට වරක්. 

අවසාන වරට 2013 වසරෙ එංගලන්තෙ පැවැත්වුනු තරඟාවලිය එංගලන්තය 3 - 0 ලෙසින් ජයගත්තා. තරඟ පහකින් සමන්විත වුවුනු තරඟාවලියෙ තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.ඒ එක්කම 2013-14 වසරේ ඕස්ට්‍රේලියාවෙ ඊලඟ අළුබඳුන තරඟාවලිය පැවැත්වුනා. 3 - 0 ලෙස එංගලන්තයේදී පරාජයවී යන්තමට මාස හතරකට පසුව පවැත්වුනු මේ තරඟාවලියෙන් ඕස්ට්‍රේලියාව 5 - 0 ලෙස ජයගත්තා.

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියා - එංගලන්ත තරඟාවලියකදි මගේ සහයෝගය හිමිවන්නේ තරඟාවලිය ජයගනීවියැයි සිතිය නොහැකි කණ්ඩායමට. ඉංගිරිසියෙං කිව්වොත් Underdogs ලට. කොහොමත් ඕස්ට්‍රේලියා - එංගලන්ත විතරක්ම නෙවෙයි ඕනම තරඟාවලියකදි ලංකාව සහභාගී නොවන්නේනම් සහ ඒ තරඟ කරන කණ්ඩායම් දෙකම එක්ක මගේ විශේෂ අමනාපයක් හෝ මනාපයක් නැත්නම් මගේ සහයෝගය අනිවාර්‍යයෙන්ම පරදියි කියල හිතන කණ්ඩායමට තමයි.මම හිතන්නෙ අපිත් මතක ඇති කාලෙක ඉඳල අන්ඩර්ඩෝග්ස්ල හින්ද වෙන්න ඇති සමහරවිට.

ඕස්ට්‍රේලියාව එක්ක 1995 ඉඳල පැවත එන පරණ කෝන්තරයකුත් තියනව වුනත් ( මුරලිගෙ කේස් එක මතකයි නේද? ඩැරල් හෙයාර් සහ ඊට පස්සෙ රොස් එමර්සන් ) ඔය Supporting The Underdogs Syndrome එක හින්දම 2013 එංගලන්තෙ තරඟාවලියෙදි මම ජයග්‍රහණය ප්‍රාර්ථනා කලේ ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ. ඒත් මොකද කරන්නෙ ඉතින්? ඕස්ට්‍රේලියාව පැරදුනා. හැබැයි ඒ එක්කම ඕස්ට්‍රේලියාවෙ ගහපු තරඟාවලියෙන් ඕස්ට්‍රේලියාව විශිෂ්ඨ ජයක් ලබල මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කලා.

ඊට පස්සෙ 2015 ලෝක කුසලාන එහෙම දිනල ඕස්ට්‍රේලියාව ආයම අංක එකට ආව. එංගලන්තෙ ලෝක ශූරතාවයෙන් මුල් වටයෙන්ම පැරදිල ගෙදර ගියා. ඔන්න ආයෙම මගෙ ප්‍රෙෆරන්ස් එක වෙනස් වුනා. එංගලන්තෙ දැන් අන්ඩර්ඩෝග්ස්ල. එනිසාවෙන් සුපුරුදු ලෙස මගේ සහයෝගය එංගලන්තෙට ඒ කියන්නෙ අන්ඩර්ඩෝග්ස්ලට.

තරඟාවලිය පටන් ගත්තෙ ජූලි අටවෙනිද. කාඩීෆ්වල තිබ්බ පළවෙනි ටෙස්ට් එකෙන් එංගලන්තෙ ලකුණු 169 කින් දිනුව. ලෝඩ්ස් පිටියෙ තිබ්බ දෙවෙනි තරඟෙ සම්පූර්ණයෙන්ම ප්‍රථිපලේ කණපිට ගහල ඕස්ට්‍රේලියාව ළකුණු 405 කින් දිනුවෙ. හෙහ්...සෙල්ලං ගානකින් එහෙම නෙවෙයි හොඳද? ඊ ළඟට තිබ්බ තුන්වෙනි තරඟෙන් එංගලන්තෙ විකට් අටකින් දිනුව. දැන් තරඟ තුනයි තත්වය එංගලන්තෙ 2 සහ ඕස්ට්‍රේලියාව 1 යි. තරඟාවලිය අඩුම ගානෙ ජය පරාජයකින් තොරව හෝ අවසානයක් කරගන්න නම් ඕස්ට්‍රේලියාව ඊලඟ තරඟය ජය ගන්න වෙනව. නැත්තං අඩුමගානෙ ජයපරාජයෙන් තොරව ඉවර කරගන්න හෝ ඕනෙ. 

අම්මට සිරි.......අහෝ මේ ලොව කොතරම් කූරද? පළවෙනි දවසෙ දවල් කෑමට තරඟය නවත්වන්ට ඉස්සෙල්ල ඕස්ට්‍රේලියාව ඕල් අවුට්. ලකුණු?..හෙහ්...හෙහ්..ලකුණු 60 යි. ඔක්කොම ඕවර් 18.3 යි ෆේස් කලේ. කොහොමද ආතල් එක? අන්න ක්‍රිකට්..කිරිකැට් කිරීඩාවේ ආවේණික අනපේක්ෂිතතාව…The Sheer Unpredictability of Cricket.

කොහොම හරි අන්තිමට එංගලන්තෙ ඉනිමක් සහ ලකුණු 78 ක පරතරයක් ඇතුව දිනුව. දැන් මේ මොහොත වෙනකොට එංගලන්තෙ කොහොමත් අළු බඳුන දිනල 3 - 1. පස්වෙනි සහ අවසාන තරඟය මේ සතියෙ බෘහස්පතින්දා ( 20 වෙනිදා ) ඕවල් පිටියේ ආරම්භ වෙනව. ඒ තරඟය මොන විදිහට හරි ඕස්ට්‍රේලියානුවන් දිනුවත් වැඩක් නෑ. එංගලන්තෙ අළු බඳුන දිනල ඉවරයි.

මම මේ තරමට අළු බඳුන තරඟාවලිය ගැන විස්තර කිව්වෙ මේ දවස්වල ඉන්දීය කණ්ඩායම ලංකාවට ඇවිල්ල හිටියට මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්බෙ නැති හින්ද. ගිය මාසෙ ආපු පකිස්තානෙ එක්ක ගහපු ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස තරඟාවලි තුනම අපි පැරදුනා. ඒකෙනුත් අන්තිම ටෙස්ට් එකේ පකිසො විකට් 3 ක් විතරක් වැටිල තුන්සිය අසූපහක්ද කොහෙද ගහලයි දිනුවෙ. ඒ විලි ලැජ්ජා නැති පරාජයෙන් පස්සෙ මට ලංකාවෙ ක්‍රිකට් එපාම වුනා. මට ඔහොම කාලෙන් කාලෙට ක්‍රිකට් එපාම වෙනව. පස්සෙ ආයෙමත් හරියනව ඉතිං.....හෙහ්,හෙහ්,

ඉන්දියන් කණ්ඩායමත් එක්ක පළවෙනි ටෙස්ට් එක පටන් ගත්තෙ පහුගිය බදාදා..12 වෙනිද. ඇන්ජලෝ ගොයිය ටොස් එක දිනල ඉස්සෙල්ලාම බැට් කලා. එදා උදේ ඔෆිස් ගිහිල්ල යන්තමට මුල ඕවර් දෙකක් විතර බලල මම ගියා අපේ එම්බසි එකට. අපි වැඩ කරන කම්පනි එකෙන් අයින් වෙලා අලුත් එකකට යනවනම් ඒ මාරුවීම ලියාපදිංචි කරන්න ඕන මෙහෙ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙ. ඒකට තමන්ගෙ රටේ තානාපති කාර්‍යාලයෙන් චරිත සහතිකයක් වගෙ එකක් ගන්ට ඕන. ඒකට කියන්නෙ Clearance certificate කියල. 

ඉතිං ඕකක් ගන්න ඕන හින්ද මම ගියා එම්බසි එකට. ඒකට අදාල අයදුම් පත්‍රයකුත් අරගෙන සහ ඒ අදාල විස්තර අහගෙන ආපහු ඔෆිස් එකට ඇවිල්ල ඒ ගමන හදිසි වැඩ වගේකට හිරවුනා. ඒකත් කරල දාල හවස ඕෆ් වෙලා යන්ට කිට්ටුවයි ඔන්න ආයෙම මැච් එක මතක් වුනේ. දනිපණි ගාල ක්‍රික්ඉන්ෆෝ ගිහිල්ල බැලුවා..ඈහ්..මෙන්න යකෝ ඉන්දියාව 128 / 2 කියල තියනව. මොකක්? එතකොට අපි? දෙයියෝ සාක්කි..ඔය තියෙන්නෙ කෙළවගෙන . අපි ඕල් අවුට් 183 යි. මදැයි!!!

පහුවදා උදේ වැඩ කරන ගමං ඇහැ දාල විඩෙං විඩේ බැලුව. මොන? කෝලියි ධවාන් ගොයියයි දෙන්නම පටන් ගත්තෙ නැතෑ දිගට හරහට දෙන්ට . එවුං දෙන්නම සෙන්චරීස් ගැහුව. ඉන්දියාව 375 ක් ගැහැව්ව. ඒ කරල අපිට දවස ඉවර වෙන්ට මුහුණ දෙන්ට තිබ්බෙ ඕවර් 4 ක් විතරයි. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ ඒ බෝල 24 දාල ඉවර වෙනකොට අපි ලකුණු 5 යි විකට් දෙකයි. සංදුක්කාරේ!!

පහුවදා සිකුරාදා මෙහෙ නිවාඩුනෙ. බෘහස්පතින්ද රෑ සුට්ටං ආතල් එකකුත් අරගෙන නිදාගන්න කොට රෑ එකත් පහුවෙලා. සිකුරාද නැඟිටිනකොට නමයයි. නාල කියල කාරිය ගේ දොර අතුපතුගාල දාල රෙදි පෙරෙදි එහෙම හෝදල කියල උදේටත් පාං කෑල්ලක් එහෙම කාල කරල උයන්ට පටන් ගත්ත.සිකුරාද මම උයනව දවස් දෙහෙකට වගෙ ඇතිවෙන්ට මාළු පිණි. ඒ කරල ප්ලාස්ටික් පෙට්ටි වල දාල දානව ෆ්‍රිජ් රාජයා ඇතුලෙ. දිනපතා රයිස් කුකර් එකේ හාල් හුණ්ඩුවක් තියාගත්තම අර කලින් උයාගත්තු එව්ව එක්ක කන්ටයි තියෙන්නෙ. ක්ෂුද්‍ර තරංග වලිං රත් කරගත්තම ආය නෑ මේ දැං ඉව්ව වගෙ තමයි. මේ දවස්වල මගෙ යාලුව නිවාඩුවට ගිහිල්ල. මම විතරයි අපාට්මන්ට් එකේ ඉන්නෙ. තනියම ඉන්නකොට දිනපතා උයනව කියන එක මරන්නා වගෙ.

රයිට් ඉතිං මම ඔන්න ඉවුම් පිහුම් පටන්ගත්තයි කියමුකො. ඒ අතර ලාවට වගෙ පොඩි ආතල් එකකුත් ගන්නව. පොඩි සිංදුවකුත් කාරිය කියනව. මම ඒ කාලෙ ඉඳල බොහොම කැමති ගීතයක්. ගායකයා ඇවිල්ල ඩබ්ලිව්.ඩී. ආරියසිංහ.

" මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා..."

ඉතිං ඔන්න ඕකත් හෙමිහිට මුමුණමින් ඉවුම් පිහුම් කරගෙන යනවයි කියමුකො. ඔන්න එක පාරටම මතක් වුනා..ජලාහුටා..මැච් එකකුත් තියනව නේද? පට ගාල ලැපා ඔන් කරල බැලුව. අම්මටසිරි ඔය තියෙන්නෙ මලක් වගෙ...ලන්ච් එකට මැච් එක නවත්තල ලංකාව 108 විකට් 5 යි.සංගා මැතිව්ස් දෙන්නම අවුට්. චන්දිමාල් සහ තිරිමාන්න ඉන්නෙ විකට් එකේ. අපි තවමත් ඉන්නෙ ඉන්දියාවට වඩා ලකුණු 84 ක් පිටිපස්සෙ. නෝ හෝප්ස්. කිසිම බලාපොරොත්තුවක් තියාගන්නට කොහෙත්ම නොහැක. චන්දිමාල් කාලෙක ඉඳලම ෆෝම් එකේ නෙවෙයි ඉන්නෙ. අනික තිරිමාන්නත් එහෙමයි. මේ ටිකේ මනුස්සය ගැහුවෙම නෑ..හ්ම්ම්ම්ම්...ඉතිං මොකද කරන්නෙ? මොනව කරන්ටද? මැරෙන්ටයි ආය? දුක තමයි..රයිට් අපි දුක තුනී කරගමු. තව පොඩ්ඩක් ගත්ත. ආයම අර සිංදුවත් කිව්ව.

" සඳගිරි පව්වේ පෙරදා සංසාරේ..සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..මහළු වෙලා අද සඳ වාගේ..යෞවන රෑතරු බලාන උන්නාවේ...." 

අම්මට උඩු නයා කිව්වලු.....බෝංචි එක තාම ළිපේ නේද? යකෝ ගින්දර අඩුකලෙත් නෑ නේද? අඩියට දෙකට දුවල බලනකොට හොඳටම හිඳිල යන්තමට අඩියත් අල්ලගෙන ඇවිල්ල. පට ගාල තව කිරි ටිකක් දාල ආයම හැඳිගාන්ට ගත්ත. සික් මට මතක් වෙන්නෙම ගාල්ලෙ මැච් එක.සංගා ගාල්ලෙ ගහන අන්තිම මැච් එක. සංගා දැනට ඩබල් සෙන්චරීස් 11 ක් ගහල තියනව. ඩොන් බ්‍රැඩ්මන්ගෙ තමයි ලෝක වාර්තාව. ඩබල් සෙන්චරීස් 12ක්. 

සංගගෙ අන්තිම මැච් දෙකේදි ( මේකයි, ඊට පස්සෙ 20 වෙනිද සරවනමුත්තු එකේ ගහන ඉන්දියාව එක්ක දෙවෙනි ටෙස්ට් එක සංගගෙ අන්තිම මැච් එක ) තව එක ඩබල් සෙන්චරියක් තලා ගත්තනං බ්‍රැඩ්මන්ගෙ රෙකෝඩ් එක සමකරන්ට තිබ්බ. ෂෙහ්, ඒ රෙකෝඩ් සමකෙරිලි තියා දැං අපි මැච් එකත් ඉනිංස් වලින් පරදින්නයි යන්නෙ. ඒකත් ලෝක විලි ලැජ්ජාවෙයි කියන්නෙ තුන්වෙනි දවස ඉවර වෙන්ටත් ඉස්සරවෙලයි පරදින්ට යන්නෙ..සිකේ.....අම්මපල්ල..මේ වෙලාවට තමයි.

ඔන්න ඔව්ව වැඩක් නෑ. තව එකක් ගමු . සිංදුවත් කියමු. 

" කල්ප කාල යුග අප අතරින් ගෙවිලා..අපි යමු මේ රෑ අනාගතය සොයලා..නලමුදු සුවඳේ නිදන මලේ..මට මල්…"

සික් මැච් එකම තමයි මතක් වෙන්නෙ..හ්ම්ම්ම්. දැන්නං මයෙ හිතේ වැඩේ ඉවරම ඇති...ඉනිංස් වලින් පැරදිලා ඇති ආය ඒකෙ දෙකක් නෑ. කෝකටත් දාලම බලමු..ඈ????..මෙන්න යකෝ වැඩේ...150 ක් ගහල විකට් පහට...චන්දිමාල් සහ තිරිමාන්න ගහනව හිටු කියල. හෙහ්...සිංදු ඔක්කොම එතනිං ඉවරයි. ෂොට් එකකුත් වක්කරගෙන මම ඉඳගත්ත ලැප් එක ඉස්සරහ. 

ආය මොනවද? චන්දිමාලයා ගැහුව කියන්නෙ ගැහිල්ලක්. ඇඬෙන කොලිටි එකට. තිරිමාන්න අවුට් වුනාට පස්සෙ ආව මුබාරක්. මිනිහත් ගැහුව 49 ක්. අන්තිමට චන්දිමාල් නොදැවී 162. ඉන්දියාවට ඉලක්කය 176ක්. එදා දවසෙ තරඟය ඉවර වෙන්ට ඉස්සරවෙලා රංගන හේරත් ඉන්දියාවෙ විකට් එකකුත් ගත්ත. අන්න එහෙමනෙ ළමයි වැඩ කටයුතු කරන්ට ඕන. දාන්ට බලන්ට පහක්!

ඊළඟට තරඟයේ හතරවෙනි දවස නොහොත් සෙනසුරාදා. සෙනසුරාද කියන්නෙ අපි වැඩ. ඒත් ඔය හෙමිහිට විනාඩි තුනෙන් හතරෙන් වගෙ මැච් එක දාගෙන බැලුව. හෙහ්..ආය මොනවද? ඉන්දියාවට කට උත්තර නෑ. ෂර්මා, ධවාන්, කෝලි රහේන් ඔය ඔක්කොමලට කරකියාගන්ට දෙයක් නැතිවුනා රංගන හේරත් සහ තරිඳු කෞෂාල් ගෙ බෝලිං වලට. ලංකාව ලකුණු 63 කින් දිනුවා. මේක ඇත්තටම අපේ කන්ඩායමෙන් සංගාට දෙන්ට පුලුවන් ඉහළම සමුගැනීමේ ත්‍යාගය කියල මට හිතෙනව. මුල ඉඳලම හතර අතේ ගහල කිසිම ගේමක් නැතුව දිනනවට වඩා ඇඟට පුදුම හයියක් ගටක් එන්නෙ මේ වගෙ නෝ හෙප්ස් මැච් එකක් අන්තිම මොහොතෙ නොහිතූ විදිහට දිනාගත්තම.

තුන්වෙනි දවසෙ ලන්ච් එක වෙනකල් ගේම ගෙනිච්චෙ ඉන්දියාව. ඊළඟට එදා ඉතුරු පැය හතරයි පහුවදා හතරවෙනි දවසෙ ලන්ච් එකෙන් පස්සෙ පැයක්වත් ගියේ නෑ. අපි දිනුවා..අන්න එව්ව තමයි ළමයි ගේම් කියන්නෙ. 

සංගා අද ( අගෝස්තු 20 වෙනිද ) තමන්ගෙ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයෙ අන්තිම තරඟයට සහභාගි වෙනව. අද තරඟයත් දිනාගන්ට ලැබුණොත් ඒක අපේ කණ්ඩායමෙන් සංගට දෙන්ට පුළුවන් හොඳම තෑග්ග වේවි. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ හින්ද අද ඇරඹෙන තරඟය මොනව වෙයිද කියන්ට බෑ. අන්න ඒ හින්දයි මම මේ සටහන අද තරඟය පටන් ගන්ට ඉස්සෙල්ලා ලියල දාන්ට ඕමනාය කියල හිට කල්පනා කලේ. ඒ කොහොම උනත්, අද තරඟය මොනව උනත්, ආදරණීය සංගා ඔබට බොහොමත්ම ස්තූතියි!!!

For more than fifteen years you have given us thousands of moments of sheer joy. For a very very long time you would be in our minds even though you won't be wearing the golden lion of Sri Lanka ever again. Thank you Sanga the perfect cricketer and the perfect gentleman!!!

**************************

රයිට් මම අර කලින් කිව්වෙ....අර උයන ගමං ඒ වගේම පොඩි ආතල් එකකුත් ගන්න ගමං කිව්ව සිංදුව. කැමතිනං ඒක අහල බලන්ටකො ආයම සැරයක්. කවදවත් අහල එපා වෙන්නෙ නැති ගීතයක්.


58 comments:

  1. අළු බඳුන කුසලානය වාර්ෂිකව පැවැත්වේ.

    ReplyDelete
    Replies
    1. Kathakaru,

      නැහැ අළුබඳුන තරඟාවලිය සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන්නෙ සිව් වසරක චක්‍රයක් තුල ( Four year cycle ) එන්ගලන්තෙ සහ ඕස්ට්‍රේලියාවෙ තරඟාවලි දෙකක් පැවැත්වෙන පරිදියි. ඒත් ලෝක ශූරතාවය සමඟ එකම කාලයක අළුබඳුන තරඟාවලියක් පැවැත්වීමට සිදුවීමේ ගැටුම්කාරී තත්ත්වය මඟ හැරවීමට පසුගිය ඕස්ට්‍රේලියාවෙ පැවති තරඟාවලිය එක් වසරකිනුත් මෙවර එන්ගලන්තයෙ පැවති තරඟාවලිය වසර දෙකකිනුත් ඉදිරියට ගෙනාවා.

      / Starting with this 2015 series, the four-year cycle of Ashes series in England is being brought forward by two years. Similarly, series in Australia were brought forward one year beginning with the 2013–14 series. This rescheduling was to avoid a clash with the 2015 World Cup, which was hosted by Australia and New Zealand, and future World Cup preparations. England last hosted the Ashes in 2013 /

      ඉදිරියට සුපුරුදු ලෙස අළුබඳුන තරඟාවලි වසර හතරක කාල චක්‍රයක් යටතේ පැවැත්වේවි. ඒ අනුව මීලඟ තරඟාවලිය ඕස්ට්‍රේලියාවේදී 2017-18 වසරවලදී සහ නැවත 2019 වසරේ එන්ගලන්තයේදි පැවැත්වෙනු ඇති.

      වසර 2000 සිට අළුබඳුන තරඟාවලි පැවැත්වුනේ / පැවැත්වෙන්නෙ මේ ආකාරයට.

      2001 - England
      2002–03 - Australia
      2005 - England
      2006–07 - Australia
      2009 - England
      2010–11 - Australia
      2013 - England
      2013–14 - Australia
      2015 - England
      2017–18 - Australia
      2019 - England

      Delete
  2. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මේකට කමෙන්ටු දැමිල්ල. නමුත් කෙටියෙන් කියන්නං...

    ඔය ටෙස්ට් තරග තියනවානෙ, මටත් කවදාවත් එපා වෙන්නෙ නෑ. එක්දින තරගයක තියන ආතල් එක නොවුනත් අමුතුම කික් එකක් තියනව ටෙස්ට් එකක. විශේෂයෙන්ම පන්දු යවන්නන්ගෙ දක්ෂකම් බලන්න නං ටෙස්ට් තරගයක් තමයි වඩා හොඳ. කෙනෙකුගෙ වැටීම නැඟිටීම උත්සාහය ධෛර්ය වගේ දේවල් ගැන ඉගනගන්න හොඳම විදිය තමයි ටෙස්ට් තරග බැලීම.
    ටෙස්ට් නැතිවුනා නං අංශක තිහක් විතර දඟ කැවෙන මුරලිදරන් කෙනෙක් කවදාවත් දකින්න වෙන එකක් නෑ. ලංකාවෙ (විශේෂයෙන් ගාල්ලෙ) අන්තිම දවසෙ දඟ පන්දු යවන්නන්‍ට ගහන්න බැරිව ඇඹරෙන සුපිරි පිතිකරුවන් වෙන කොහේ දකින්නද?

    ඊලඟට අලු බඳුන.
    අළු බඳුන තරගාවලියත් (හැම විටම බලන්න හැකියාව නැතත්) අවධානයෙන් ඉන්න තරගාවලියක්. ටෙස්ට් වල තියන ආක්‍රමණකාරී ගතිය බලන්න පුළුවන් හොඳ තරගාවලියක් තමයි අලුබඳුන. ඒ වගේම ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තරගාවලි වගේ තැන්.

    මතකයේ තියන පළමු අළු බඳුන තරගාවලිය තමයි මයික් ඇතර්ටන් යටතේ කාලෙකට පස්සෙ එංගලන්තෙ දිනපු තරගාවලිය. ඇතර්ටන්, ඩැරන් ගෆ්, ඇන්ඩෘ කැඩික් වගේ එවුන් හිටියෙ ඒ ටීම් එකේ.
    මෙතෙක් මම දැකපු හොඳම අළු බඳුන තරගාවලිය තමයි ඔය ඔසියො 5-0ට දිනපු තරගාවලිය. ඒකෙ තරගාවලියේ වීරයා වුනේ මිචෙල් ජොන්සන්. රවීට මතකද කාලෙකට පස්සෙ ටීම් එකට ඇවිල්ල ජොන්සන් කරපු දේ? එයා කෙලින්ම බොඩිලයින් පන්දු යැව්ව ඉංග්‍රිසිකාරයන්ට. ඕස්ට්‍රේලියාවෙ බවුන්ස් වන විකට් වල ජොන්සන්ගෙ යැවිල්ල බලන්න ලස්සනයි.
    මෙදා ඒකෙ අනිත් පැත්ත. බවුන්ස් එක අඩු දෝලනය වැඩි එංගලන්තෙදි වාසිය තියෙන්නෙ ඇන්ඩර්සන් බ්‍රෝඩ් වගේ අයට.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මේකට කමෙන්ටු දැමිල්ල. /

      මොකෝ මලේ ...ඡන්දෙට ගෙනාපුව ඔක්කොම ඉවරෙයි?

      / ඔය ටෙස්ට් තරග තියනවානෙ, මටත් කවදාවත් එපා වෙන්නෙ නෑ. එක්දින තරගයක තියන ආතල් එක නොවුනත් අමුතුම කික් එකක් තියනව ටෙස්ට් එකක. විශේෂයෙන්ම පන්දු යවන්නන්ගෙ දක්ෂකම් බලන්න නං ටෙස්ට් තරගයක් තමයි වඩා හොඳ. කෙනෙකුගෙ වැටීම නැඟිටීම උත්සාහය ධෛර්ය වගේ දේවල් ගැන ඉගනගන්න හොඳම විදිය තමයි ටෙස්ට් තරග බැලීම. /

      සම්පූර්ණ ඇත්ත. ඕවර් පණහ තව හොඳයි ටී ටුවෙන්ටි නම් ගන්ඩම දෙයක් නෑ...හෙහ්,හෙහ්. වැඩ ඇරිල කෝච්චියට දුවන ගමන් ඩබල් එකේ ෂොට් එකක් උගුරට හලාගන්න වගේ...:)

      ටෙස්ට් වල තමයි බැටින් සහ බෝලින් දෙකේම නියම ගැම්ම එන්නෙ. රෙස්ට්‍රික්ෂන්ස් මොකුත්ම නෑනෙ.

      / මතකයේ තියන පළමු අළු බඳුන තරගාවලිය තමයි මයික් ඇතර්ටන් යටතේ කාලෙකට පස්සෙ එංගලන්තෙ දිනපු තරගාවලිය. ඇතර්ටන්, ඩැරන් ගෆ්, ඇන්ඩෘ කැඩික් වගේ එවුන් හිටියෙ ඒ ටීම් එකේ. /

      ඇතර්ටන්ගෙ කැප්ටන්සි එක යටතෙ එන්ගලන්තෙ අළු බඳුන දිනුවෙ නෑ නේද? ඔය් උඹ කියන්නෙ ෂුවර් එකටම 2005 අවුරුද්දෙ එන්ගලන්තෙ ගහපු සීරීස් එක වෙන්න ඕන එන්ගලන්තෙ 2-1 විදිහට දිනුව. ඉන්ග්ලන්ඩ් කැප්ටන් හිටියෙ මයිකල් වෝන්. තරඟාවලියේ වීරයා ඇන්ඩෲ ෆ්ලින්ටෝෆ්.

      / මෙතෙක් මම දැකපු හොඳම අළු බඳුන තරගාවලිය තමයි ඔය ඔසියො 5-0ට දිනපු තරගාවලිය. ඒකෙ තරගාවලියේ වීරයා වුනේ මිචෙල් ජොන්සන්. රවීට මතකද කාලෙකට පස්සෙ ටීම් එකට ඇවිල්ල ජොන්සන් කරපු දේ? එයා කෙලින්ම බොඩිලයින් පන්දු යැව්ව ඉංග්‍රිසිකාරයන්ට. ඕස්ට්‍රේලියාවෙ බවුන්ස් වන විකට් වල ජොන්සන්ගෙ යැවිල්ල බලන්න ලස්සනයි. /

      හෙහ්..මොනව කියනවද? ඒ පාර මිචල් ජොන්සන්ගෙ බෝලින් නම් කියල වැඩක් නෑ.යකා වගෙ...හෙහ්,හෙහ්, මට පොරගෙ බෝලින් දැක්කම ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්සන් දෙන්න මතක් වුනා.

      Delete
  3. එදා ගාලු ජය නියම සුදුස්සකුට දුන් අපූරුම තැග්ගක් වුණාට කිසිම සැකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. නලීන්,

      ඇත්තෙන්ම, ඇත්තෙන්ම,එදා ජයග්‍රහණය සංගාට පුද කල උපහාරයක්.

      Delete
  4. මටනං දේශපාලනය වගේම ක්‍රිකටුත් දිරවන දෙයක් නෙමෙයි.

    //පට ගාල තව කිරි ටිකක් දාල ආයම හැඳිගාන්ට ගත්ත. සික් මට මතක් වෙන්නෙම ගාල්ලෙ මැච් එක.//
    ශුවර්ද දෙවෙනි පාර බෝංචි එක ලිපෙන් බෑව කියල.

    ReplyDelete
    Replies
    1. මං වගේ තවත් එකෙක් හරි ඉන්නවා කියලා දැනගත්තා. දාපන් අත්දෙකෙන්ම දහයක් Praසන්ன මල්ලියෙ.

      Delete
    2. Prasanna,

      / මටනං දේශපාලනය වගේම ක්‍රිකටුත් දිරවන දෙයක් නෙමෙයි. /

      අම්මාපල්ල පෙනේද මේ වලවෙට්ටුවා ඒක කිව්ව ලස්සන කිසි බයක් හැකක් නැතුව. අත ගාල බලහන් බෝගෙ කිරිපල්ල උඹැහෙ සී ලාන්කිකයෙක්ද කියල?

      ඇයි බොල හෝතඹුවො මේ පහුගිය දවස්වල දේසප්පේමී සියලු සී ලාන්කිකයින්ගෙ විනෝදාන්සෙ මොකක්ද? එක්කො ගාල කඩා ගත්තු අම්බරුවො රැලක් වගෙ මැදමුලනෙ යනව පුදුම සතා ( සොරි සොරි පුදුම සතා නෙවෙයි අපෙ අප්පොච්චි ) බලන්ට. එහෙම නැත්තන් කිරිකැට් බලන්ට ගිහිල්ල සන්ගට හුරේ දානව.බොට ඒ දෙකම අරහන් කියන්නෙ අම්මපල්ල මට තේරෙන්නෙ නෑ උඹ මොන ජාතියෙ එකෙද්ද කියල...

      Delete
    3. ඔය අප්ප බලන්න ගිය කට්ටියයි, සංග බලන්න ගිය කට්ටියයි මේකෙ දාන පෝස්ට් වලට මේ වගේ කොමෙන්ට් එකක් හරි දාන එක තමයි අපේ සී ලාංකික කම.
      අඩුම ගානෙ මේ අහල පහල තියෙන සූරියවැව ග්‍රවුන්ඩ් එකේ ගහන මැච් එකක් බලන්නවත් තාම ගිහිල්ල නෑ.

      ඒක නෙමෙයි අර බෝංචි එකට මොකද උනේ.

      Delete
    4. //මටනං දේශපාලනය වගේම ක්‍රිකටුත් දිරවන දෙයක් නෙමෙයි.//
      මමත් ඔය ගොඩේ ඉන්න එල කොල්ලෙක් හෙහ් හෙහ්

      Delete
    5. Praසන්ன,

      / ඒක නෙමෙයි අර බෝංචි එකට මොකද උනේ. /

      හෙහ්, චන්දිමාලය අන්තිමමොහොතෙ මැච් එක බේරගත්තවගෙ මාත් කොහොමහරි බෝංචි මාලුව බේරගත්ත. දවස් තුනක් කෑව ඒක...:)

      Delete
    6. පැතුමා,

      මේ මල්ලි තරහ වෙන්ට එපා. ආයෙ ඔය දේශපාලනයයි ක්‍රිකටුයි අරහං කියල දාන කමෙන්ට්ස් අයිං කරල දානව ඔන්න. නොකිව්වයි කියන්ට එපා.

      Delete
    7. රවී අයියෙ බොලාට හියුමන් රයිට්ස් කොමිෂන් යන්න ඕන වෙලා ද.

      Delete
    8. පැතුමා, රවියා ඇත්ත තමයි කියන්නේ. උඹලට මගෙ කමෙන්ට් එකක් මෙතන පේන්න නෑ නේද මේ කමෙන්ට් එක ඇර?

      Delete
    9. හෙන්රි,

      පලයං බං යන්න.මම අයිං කරපු කමෙන්ට් එකක් නෑ. අර උඩ තියෙන්නෙ උඹේ කමෙන්ට් එක. ප්‍රසන්නයට අත් දෙකෙන්ම දාපං දහයක් කියල ඇනෝ කමෙන්ට් කරල තියෙන්නෙ ඒ උඹනෙ...හෙහ්, මම දන්නව උඹ මට බය හින්ද ඇනෝ කමෙන්ට් කලාය කියල. ඔන්න නෑ කියන්නනං එපා ගොයියෝ...හෙහ්,හෙහ්,

      Delete
    10. උඹ කියන්නේ අර ප්‍රසන්නයට යටින් තියෙන කමෙන්ට් එකනම් ඒක මම දාපු එකක් කියලා උඹ හිතුවේ ඇයි කියලා මම විශ්ලේෂණය කරලා බැලුවා. උඹ එහෙම හිතපු එක සාධාරණයි කියලා මට තේරුණා. (විහිලු)

      >>පලයං බං යන්න. මම අයිං කරපු කමෙන්ට් එකක් නෑ.<<
      උඹ මෙතනදි කියන්නේ ඇත්ත. (කවදාවත් නැතුව) (විහිලු)
      ඒ මොකද මම දාපු කමෙන්ට් එකකුත් නැති නිසා උඹට ඩිලීට් කරන්න. (ඇත්ත)

      ඒ වගේම, මචෝ, උඹ දන්නවද මම මගෙ ජීවිතේට ඇනෝ කමෙන්ට් එකක් කොහේවත් දාලා නැති බව. ලොග් වෙන්න බැරුව දවසක් එහෙම දාලා එතනත් මේ මමයි කියලා කියලා තියෙනවා. ඒ උඹේ බ්ලොගේ නෙවෙයි. අවුරුදු ගානකට කලින් මම හිතන්නේ වෙනියගෙ බ්ලොගේ වෙන්න ඕනෙ. (මේ ඇත්ත. සිරාවටම)

      Delete
    11. හෙන්රි,

      අනේ නෑ බං මමත් විහිලුවටයි කිව්වෙ...:)

      මම දන්නව උඹ කියන්ට තියන දෙයක් නමින්ම ඇවිල්ල කියන මිනිහෙක් බව. අනික මගෙ පෝස්ට් වලටම උඹ මීට කලින් තුන් හතර පාරක්ම කියල ඇති ක්‍රිකට් සහ දේශපාලනය ගැනනම් උඹෙ කිසිම උනන්දුවක් නෑ කියල...එව්ව එහෙම තමයි. මේ ලෝකෙ හැමෝම අපි කැමති දේවල් වලටම කැමතිවෙන්න ඕන කියල නියමයක් නෑනෙ. අනික එහෙම හිතන එකම තමයි මම හිතන විදිහට මේ ප්‍රශ්න ඔක්කෝටම මුල.

      “It is time for parents to teach young people early on that in diversity there is beauty and there is strength.” ― Maya Angelou

      Delete
  5. //එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන උදෙසා පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය කියන්නෙ ක්‍රිකට් ගැන යම්තමට හෝ උනන්දුවක් තියෙන ලෝකෙ කොහේ හෝ වාසය කරන ඕනම රසිකයකුගේ සිත ඇද බැඳ තබාගන්නක් නිසැකවම.//
    මං නම් ආසම ෆෑන්ස්ලගෙ වලි - බ්ලොග් හා නිවුස් පෝස්ට්වලට දාන කමෙන්ට්ස්. ලයිමීස්/පොමීස් සහ කොන්වික්ට්ස් අතර. සමහර ඒවා හුඟක් witty හාස්‍යජනකයි. විරුද්ධ පැත්ත ගැන මෙන්ම තමන්ගෙ රටේ ටීම් එකේ එවුන් ගැනත්. කේ පී සහ පොන්ටින් ඉන්න කලෙ විශේෂයින්ම

    රවි , ඊට පස්සෙ තව මිරකල් එකක් (ඉන්ටලෙක්චුවල් එකක් ) වුනා ගාල්ලෙ මේ සුමාන මුල

    ReplyDelete
    Replies
    1. Pra,

      / ලයිමීස්/පොමීස් සහ කොන්වික්ට්ස් අතර. /

      ඔය වචන හැදුන හැටි හොයන එක ප්‍රා හරිම සිත් ඇදගන්නාසුළුයි.

      Limey - The term is thought to have originated in the 1850s as "lime-juicer", and was later shortened to "limey". It was originally used as a derogatory word for sailors in the Royal Navy, because of the Royal Navy's practice since the beginning of the 19th century of adding lemon juice or lime juice to the sailors' daily ration of watered-down rum (known as grog), in order to prevent scurvy. ( From Wikipedia )

      Pommy - There are several folk etymologies for "Pommy" or "Pom". The best-documented of these is that "Pommy" originated as a contraction of "pomegranate". According to this explanation, "pomegranate" was Australian rhyming slang for "immigrant" . Usage of "pomegranate" for English people may have been strengthened by a belief in Australia that sunburn occurred more frequently among English immigrants, turning those with fair skin the colour of pomegranates. ( From Wikipedia )

      අනූගණං වල එංගලන්ත ටීම් එක එක්කම ඕස්ට්‍රේලියන් ටුවර් එක යන එංගලන්ත ක්‍රිකට් ලෝලින්ගෙ සංගමයක් වගෙ එකක් තිබ්බ. එයාල තමන්ව හඳුන්ව ගත්තෙ Dad's Army කියල. ඒ නමින් BBC එකේ බොහොම ප්‍රසිද්ධ වැඩ සටහනක් ගියා හැත්තෑ ගණං වල දෙවන ලෝක යුද්ධ කාලෙ යුද සේවයට බැඳෙන්ට වයස වැඩි නිසා වශයෙන් ස්වේච්ඡාවෙන සේවය කරපු වයස්ගත අය ගැන.

      / රවි , ඊට පස්සෙ තව මිරකල් එකක් (ඉන්ටලෙක්චුවල් එකක් ) වුනා ගාල්ලෙ මේ සුමාන මුල /

      යස්, ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය, ගාල්ල ඡන්ද බල ප්‍රදේශය........ :)

      Delete
    2. ඇයි තේරී පත්වූ අය?

      Delete
    3. "කොන්වික්ට්ස්" ගේ ප්‍රභවය කිව්වෙ නැත්තෙ රවිට ඔසී යාලුවො ගොඩක් ඉන්නවද? :-)

      Delete
    4. ප්‍රා,

      අර පිල්ලයාන් ඇරුනු කොට ලංකාවෙ දෑතින්ම වෙඩි තියන්ට පුලුවන් එකම දේසපාලුවා මම විතරයි කියල කයිය ගැහැව්ව එකා අරුනු කොට අනික අය ගැන නම් මට අවුලක් නෑ ගාල්ලෙ. දෙපැත්තෙම.

      Delete
    5. ප්‍රා,

      කන්වික්ට්ස් කතාව හැමෝම දන්නව කියලයි මම හිතුවෙ.මුරලිගෙ කේස් එක වෙලාවෙ අර්ජුනත් ඕක කිව්වනෙ. හෙහ්,හෙහ්,

      තව කාරණයක්. ඕස්ට්‍රේලියාව Penal Colony එකක් විදිහට යොදාගන්ට එංගලන්තෙට සිද්ධවුනේ 1776 අවුරුද්දෙ අමරිකාව එංගලන්තෙ පාලනයෙන් නිදහස්වුනාට පස්සෙ. ඊට කලින් හිරකාරයො යැව්වෙ අමරිකාවට. ඒත් අමරිකානුවන්ට ඒ හංවඩුව වැදිල නෑ. කවුරුත් Descendants of Convicts කියල අමරිකානුවන්ට සමච්චල් කරන්නෙ නෑ.මම හිතන්නෙ එහෙම වෙන්න ඇත්තෙ ඒ මුල් කාලෙ බොහෝවිට අමරිකාවට යැව්වෙ Political Prisoners ල හින්ද වෙන්න ඕන. සාමාන්‍ය අපරාධකාරයො නෙවෙයි. ඒත් ඕස්ටේලියාවට එහෙම නෙවෙයි. හොරු මංකොල්ල කාරයො එහෙම යැව්ව. ඒත් එහෙට උනත් ස්ත්‍රී දූෂකයො, මිනීමරුවො යැව්වෙ නෑ කියල තමයි සඳහන් වෙන්නෙ.

      Delete
    6. https://en.wikipedia.org/wiki/Pilgrim_Fathers

      Delete
  6. අද උදේ මං දැක්කා අපේ ජනාධිපති අයියා සංගට තානාපති තනතුරක් දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      සන්නාම තානපතිකමක් නේද? මමත් ඔය කොහෙද දැක්ක වගෙ මතකයි. හරියට විස්තර මතක නෑ. මත් ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ මොකක්ද එකක් නේද?

      Delete
    2. රවි හරි. ඒ වුනාට කියල කට ගන්ට හම්බුන්නෑ, මේං මෛත්‍රී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කම දෙන්ට අහනවනෙ...

      Delete
    3. ඩ්‍රැකී,

      අම්මප..උඹ මල්ලි දවස් ගාණකට කලින් කිව්ව බලා උන්න වගෙ නේද?......:)

      Delete
    4. ඒකනෙ කියන්නෙ... ඒ කිව්වම සංග බැලුවලු අහල පහල සජින් ද වාස් ඉන්නවද කියලා...

      Delete
  7. ක්‍රිකට් ගැන නම් මගේ උනන්දුව බිංදුවයි.. අර සින්දුව නම් මාත් කැමතිම සින්දුවක්...

    කැම්පස් එකේදි බෝංචි ඇතිලියක් නිසා වුණු හදියක කැළලක් තාම දකුනු අතේ තියෙනවා.. ඒ ගැන ලියන්න ඕන වෙලාවක...

    ReplyDelete
    Replies
    1. තරූ,

      බෝංචි මට පේන්නෙ කාටත් අගුණයි වගේ..හෙහ්...බෝංචි කන එක නෙවෙයි මම කිව්වෙ බෝංචි උයන පිහන එක...:)

      Delete
  8. උඹගෙ අර ගෝරිල්ල වගේ හිටපු මාමද කවුදත් බ්ලාස් වෙලා ගිය නිසා දැන් හිත හොඳයිනෙ.පරණ අමතක වෙච්චා අමතක කරපුවා බැරි වෙච්ච ඒවා එහෙම දැන් දිගට හරහට ලියන්න බැරුවයැ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඒ ගෝරිල්ල මාමා යන පාටක් නෑ බං..ඒකනෙ කේස් එක....:(

      Delete
  9. //අම්මට උඩු නයා කිව්වලු.....//මේ කෑල්ල දැක්ක ගමන් මම හිතුවේ රවී චන්දෙ ගැනත් ලියන්න යනවා කියල .
    සංගා වෙනුවෙන් ලියූ හොඳ සටහනක් !

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් උඩ ප්aනගෙන ආව නෙව පෝස්ට් ඉලෙක්සන් කතා කියවන්න...
      රවියාට දෝශාභියෝගයක් ගෙනෙමු!

      Delete
    2. තිලක්,

      නයා කිව්වම භොධු භළේ ගැන ලියන්න යනවයි කියල හිතුවද? අපරාදෙ කියන්ට බෑ ගණින්නාන්සෙල රොත්ත හරියටම ගැලපෙන ඡන්ද ළකුණ තෝරගෙන තියනව. නයා විස දුම් පිටකරනව වගෙ තිබ්බනං ආන්න තවත් ටක්කෙටම ගැලපෙනව.

      ස්තූතියි තිලක්...:)

      Delete
  10. සංගාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග මේ තරගාවලියේ ජයයි.සංගා කාණ්ඩයමෙන් බලාපොරොත්තු වෙන එකම දෙයත් එක කියලා මැතිව්ස් කිව්වා.

    සංගාට ඩබල් සෙන්චරිස් දෙකක් මිස් වුනා.එකක් ඕස්ටේ‍්‍රලියාවේදී විනිසුරු දීපු වැරදි තීන්දුවක් නිසා.අනික පකිස්ථනයට ගහපු මැච් එකක 199 අරන් ඉන්න කොට එහා අන්තයේ හිටපු ක්‍රීඩකයා දැවී යාමෙන්.සංගා කියන්නේ ක්‍රිකට් මහත්තයෙක්.මහත්තයෙක්ට දෙන්ට පුළුවන් හොඳම තෑග්ග "ජයග්‍රහණයයි"

    ReplyDelete
  11. මම ඊයේ රෑත් ඇවිත් බැලුවා බොගේ ඡන්ද විශ්ලේෂණයක් එහෙම තියෙනවද කියලා.
    කෝ මොකුත් නෑනේ. හරිනම් බෝ ලියන්න තිබ්බේ ඒ වගේ අපිට පෝස්ට් ඉලෙක්සන් රිසල්ට් කතාවක් නෙව?
    වෙනදාට බොට පොලිටික් ලියන්න එපා කීවට ඔන්න අපේ හැබෑ ගතිගුණේ.)

    ක්‍රිකට් ගැන මෙලෝ මලදානයක් නොදනිමි. දැනගන්නටද අදහ්සක් නැත්තේ පැය ගාණක් ඔය පොඩි බෝලයක් පස්සේ දුවන එක දිරවන්නේම නැති නිසාය. ;)

    ReplyDelete
    Replies
    1. රංගි,

      පශ්චාත් මැතිවරණ පෝස්ට් එකක් කියල ලියන්ට දෙයක් නෑනෙ බං. මගෙ මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය සීයට අනූවක් වගෙ හරි. පොඩි ගණන් දෙක තුනක් එහා මෙහා වීමක් විතරයි වුනේ. ඔන්න මරා ගොයිය කොහොමින් කොහොමින් හරි දිනුවනම් ලියන්ට තිබ්බ එහෙම වුනේ ඇයි කියල.ඒත් මම හිතපු විදිහටම වැඩේ වෙච්ච හින්ද ඇත්තටම ලියන්ට දෙයක් නැතිවුනා.

      හෙට අනිද්දට ලියන්නං මම හිතන විදිහට ජවිපෙට මොකද වුනේ කියල. බොහොම දෙනෙක් හිතාගෙන හිටියෙ ජවිපෙ ආසන 15-20 අතර ගනියි කියල. මගෙ මෙහෙ යාලුවොත් බහුතරයක් ඒ මතයෙ හිටියෙ.සාමාන්‍යයෙන් හොඳ දේශපාලන ඉවක් වගෙ තියන අයත් එහෙමයි හිතාගෙන හිටියෙ. ඉතින් ඒ සම්බන්ධව මට හිතෙන දේ ලියන්ට අදහසක් තියනව.

      ඒ ඇර අබයාරාමයේ විත්ති තව එක කොටසක් වගෙ ලියල දාන්ට ඕන....හෙහ්,හෙහ්, පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරල තිසරත් කියල තිබ්බ අබයාරාමෙ ගැන තව එකක් ලියන්ටෙයි කියල..:)

      Delete
  12. මටත් දේශපාලනේ වගේම ක්‍රිකටුත් දිරවන්නෑ...ඉතින් මට ඔය දෙකම ගැන තියන පෝස්ට් වලට මට කමෙන්ට් කරන්ඩ දෙයක් නැතෝ

    සොලි වේවා!

    ReplyDelete
    Replies
    1. ඩබ්.කේ.,

      හරි හරි නෝ ප්‍රොබ්ලම් ඇටෝල්...:)

      Delete
  13. ක්‍රිකට් මගේ ආසම වෙලාවකට රවී අයියා වගේම කලකිරිලා පැත්තවත් නොබලා ඉන්න හිතෙන මාතෘකාවක්.. ඒ වගේම මේ මැච් එක.. දවස් දෙක හමාරක් යනකම් තිත්ත වෙලා තිබ්බේ.. ඒත් පොඩි වෙනසක් කියන්නේ.. මං ඉස්සර ඉඳලම චන්දිමාල් ගැන විස්වාශයෙන් හිටියා.. මං හිතන්නේ චන්දිමාල් ට කස්ටිය පලු යන්න බනිනකොට මුණු පොතේ එහෙම ඌ වෙනුවෙන් කතාකරපු දෙතුන් දෙනාගෙන් එකෙක් මම.. අද ලංකාවේ ඉන්න බැටා ලාගෙන් මෝස්ට් නැචුරලි ගිෆ්ටඩ් බැට්ස්මන් ෆෝ ෂුවර්.. ඒ මැච් එකේ අන්තිම හරියේ ගහපු විදිය ඔයා බැලුවද? පිස්සු හැදෙනවා.. ඉෂාන්ත් ශර්මා ව එහෙම සත පහකට කෙයාර් කරන්නේ නෑ.. තිරි ගේ සහ මුබාරක් ගේ සපෝට් එකත් වැදගත් උනා.. බට් චන්දිමාල් තමයි 'දි ප්ලේයර්'.. මැච් එක කණපිට ගැහුවේ කෙලින්ම ඒ කවුන්ටෙර් ඇටෑක් එකෙන්.. නෝ කතා.. මං කැමතියි චන්දි ඒ වෙලාවේ මං කියුවේ ප්‍රසන්ටේෂන් එක වෙලාවේ ඒ සෙන්චරිය 'සංගාට ඩේඩිකේට් කරනවා' කියල කියුවනම්.. අන්න ඒවාට තමයි ක්‍රිකට් වල උනත් පොඩි මොලයක් තියෙන්න ඕනි.. දිලිසෙන්න..
    එතකොට.. අළු බඳුන.. හම්මේ.. ඔයත් මාර සබ්ජෙක්ට් තමයි ගේන්නේ.. ටෙස්ට් ක්‍රිකට් තමයි මෝස්ට් ඇබ්සෝබින්.. ඔයාට මතකද 2009 ඉංග්ලන්ඩ් ටීම් එක draw එකට ප්ලේ කරා විකට් 9ක් ගිහින් ඕවර්ස් 15ක් විතර Anderson එක්ක පනේසර්.. එව්රි ඩොට් බෝල් වෝස් චියර්ඩ් ලයික් අ සික්සර් ඔර් ඊවන් බෙටර්.. කියලා වැඩක් නැත..

    සංගාට ස්තුතියි.. චන්දිමාල් ට සුබ පැතුම්. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ්..මට මතකයි මට මතකයි ඔය මැච් එක.පනේසර් සහ ඇන්ඩර්සන් ජෝඩුව මට මතක විදිහට බෝල 120 වගෙ ගාණකට ෆේස් කලා අවුට් වෙන්නෙ නැතුව.අන්තිමට ඉංග්ලන්ඩ් ෆිසියෝ පොරයි ටුවෙල්ත් මෑනුයි නිකම් බොරුවට ග්‍රවුන්ඩ් එකට ඇවිල්ල කාලෙ කනව කියල පොන්ටිය වලියකුත් දැම්ම. ( පොන්ටිය ඒ කාලෙ ඔසී කැප්ටන් )

      Delete
  14. කලකට පස්සේ වෙලකට බැස්සේ
    නිදහසෙ සැරුවෙමි සිතුවිලි අස්සේ
    සංගට පුද කල තුති මල් වැස්සේ
    ආයෙත් එන්නම් සිතුවිලි ඔස්සේ

    ReplyDelete
    Replies
    1. තෙළිදිය වාඩිය,

      ගොජ ගොජ ගා උතුරයි මගෙ සිතුවිලි,
      දැක්කම රා මුට්ටිය වැජඹෙන හැටි,
      ඉඳගමු ඉඳගමු පිල් කණ්ඩිය උඩ,
      ආයිබොවන් පිළිගන්නෙමි සතුටෙනි,

      Delete
  15. මොකක්ද අයියේ අර හීනියට ආතල් දාන හරුපේ.. අනේ මන්දා මට ඒක විතරක් තේරෙන්නෑ.. තමුන්නාන්සේ චන්දිමාල් ගහන තැනට යනකං අැගේ මයිල් කෙලින් වෙන්ට ලිව්වට ඉතිරි ටික නිකං හුකස් වගේ ඇරල දැම්ම නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. //මොකක්ද අයියේ අර හීනියට ආතල් දාන හරුපේ..//
      බොලා වගේ කෝක් බීල ඩෝප් වෙන උංට ඒක වැඩක් නෑ. :P

      Delete
    2. දේශකයා,

      / මොකක්ද අයියේ අර හීනියට ආතල් දාන හරුපේ.. අනේ මන්දා මට ඒක විතරක් තේරෙන්නෑ.. /

      එහෙනං එහෙනං උඹලට ඔව්ව තේරෙන්නෙම නෑ...:)

      / තමුන්නාන්සේ චන්දිමාල් ගහන තැනට යනකං අැගේ මයිල් කෙලින් වෙන්ට ලිව්වට ඉතිරි ටික නිකං හුකස් වගේ ඇරල දැම්ම නේ.. හැක්../

      හෙහ්...හැමදාම වෙන වැඩේ උනා බං..වටපිට විස්තර කියාගෙන ඇවිදිල්ල ඔන්න ඇත්තටම කතාව කියන්ට පටං ගන්නකොට මේක පතරංග ජාතකේ වගෙ වෙලා. ඒ පාර අර උඹ කිව්ව වගෙ ඩබල් එකේ ඇරල දැම්ම...:)

      Delete
  16. මේ ඕකට අළු බඳුන කියන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හප්පා ඒක බොහෝම දිග කතාවක් මලේ...:)

      හරි අළු බඳුනේ කතාව මෙහෙමයි...

      The Ashes is a Test cricket series played between England and Australia. The Ashes are regarded as being held by the team that most recently won the Test series.

      The term originated in a satirical obituary published in a British newspaper, The Sporting Times, immediately after Australia's 1882 victory at The Oval, their first Test win on English soil. The obituary stated that English cricket had died, and "the body will be cremated and the ashes taken to Australia". The mythical ashes immediately became associated with the 1882–83 series played in Australia, before which the English captain Ivo Bligh had vowed to "regain those ashes". The English media therefore dubbed the tour the quest to regain the Ashes.

      After England had won two of the three Tests on the tour, a small urn was presented to Bligh by a group of Melbourne women including Florence Morphy, whom Bligh married within a year. The contents of the urn are reputed to be the ashes of a wooden bail, and were humorously described as "the ashes of Australian cricket". It is not clear whether that "tiny silver urn" is the same as the small terracotta urn given to the MCC by Bligh's widow after his death in 1927.

      තවත් වැඩි දුරටත් විස්තර ඕනනම් මෙතන තියනවා...:)

      Delete
  17. ලංකාව සෙල්ලම් නොකරන තරග වලදිත් මම සහය දෙන්නේ පරදියි කියලා හිතන අයට... ඒක මැදදි සමහර විට වෙනස් වෙනවා.... දිනාගෙන අාවොත් අායෙම පැත්ත වෙනස් කරනවා.....

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      හෙහ්..ඒකත් නරකම නෑ ඒ කෙරේමෙත්...:)

      Delete
  18. ගාල්ලේ මැච් එක ගැනනම් කියන්න වචන නෑ.. චන්දිමාල් ගැහුවා උනත් 176ක් උන්ට කජ්ජක්ද කියලා ඇත්තටම හිතුවා.. ඒත් රංගන මගේ ඒ අදහස වෙනස් කලා.. අන්න මැච්.. ටෙස්ට් මැච් බෝරින්ග් කියන අයට ඔන්න බලනවන් මැච්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒක මල්ලි මෙහෙමයි. ටෙස්ට් බෝරිං නොවෙන්න නම් ක්‍රිකට් ඇඟේම තියෙන්න ඕන. නැත්තං එපාම වෙනව...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...