කතන්දර කියන එක සහ කතන්දර අහන එක මම හිතන්නෙ මිනිස් වර්ගයාගෙ මූලාරම්භයෙ අර්ධ වානර මිනිසා භාෂාවක් කියල එකක් යම්තමට හදාගත්තු කාලෙ ඉඳලම අඛණ්ඩව පැවත එන දෙයක්. උගුරෙන් මතුවෙන යම් යම් අව්‍යාක්ත ශබ්ද මාර්ගයෙන් සිදුවූ දළ අදහස් හුවමාරුවෙන් පස්සෙ මිනිස් ස්වරාලය අනුක්‍රමිකව දියුණු වෙලා ස්වර තන්ත්‍ර හැඩ ගැහිල භාෂාවක් කියල මෙවලමක් නිපදවාගත්තට පස්සෙ අපේ ආදී මුතුන් මිත්තො මම හිතන්නෙ මුලින්ම කරන්න ඇත්තෙ කතන්දර කියන එක.
සාර්ථක දඩයමක් ලැබුණු දවසක බඩ කටපුරා සන්තර්පණය වෙලා තමන් යන්තමට ස්වභාව ධර්මයෙන් වන හදි හතුරුකම් වලින් බේරිලා වාසය කරන ගල් රුකුල ඉස්සරහ රත්පැහැයෙන් පුළිඟු නඟමින් දැල්වෙන ගිණි මැලය වටේ ඉඳගෙන කණ්ඩායමේ නායකයෙක් නැත්නම් වැඩිහිටියෙක් කියන කතන්දර අහගෙන ඉන්න ගෑණු පිරිමි ළමා ළපටි පිරිසක් හිතේ මවා ගන්න. හිටපු ගමං ගල්ලෙන පිහිටලා තියෙන පොඩි කඳු ගැටය පාමුල මහ වනාන්තරයෙන් මතුවෙලා රූස්ස ගස් වෙව්ලුවා ලමින් දසත පැතිරෙන රුදුරු වන සතෙකුගෙ ගෙරවිල්ලකට එක විඩේම කතන්දෙරේ නවතිනව.
ගෑණු සහ දරුවො එක පොදියට තුරුල්වෙලා ලොකු කර ගත්තු ඇස් වනාන්තරේ දිහාට යොමු කරගෙන බය බිරාන්ත වෙලා ඉන්නව. ඒත් ටික වෙලාවකින් සියල්ල සන්සුන් වෙනවා. ඔහොම තවත් ටික වෙලාවක් හැලහොල්මනක් නැතුව ගෙවුනට පස්සෙ " කෝ ඉතිං අර කතන්දරේ? ඒක කියල ඉවර කලේ නෑනෙ. අනේ ඒක කියනවද? " එකට ගුලි ගැහිල ඉන්න පොඩි එවුං තලේ අතරිං හීං කටහඬක් මතුවෙනව. ඉතිං ආයෙම කතන්දරේ පටන් ගන්නව.
කතන්දර ගැන අපේ නොනිමෙන ඇල්ම එහෙමයි. ඉතිං කතන්දර කීමේ කලාව ගැන මේ පොඩි පූර්විකාවක් කිව්වෙ අද සටහනට ප්‍රවිෂ්ඨ වීමක් විදිහටයි. හරි..ඉස්සෙල්ලම පල්ලෙහායිං තියෙන කතාව කියවල ඉමුකො. මේ කාලෙකට ඉස්සර ගරු කටයුතු පොඩ්ඩි මැතිණියගෙ වියුණුවට මම කමෙන්ට් එකක් හැටියට ලියපු කතාවක්. මම ලියපු කතාවට මගේ හිතවත් සිත්තමී තරුණ නෝනා මහත්මිය තව කොටසක් එකතු කලා. ඊට පස්සෙ එතුමී ලියපු කොටසත් එකතුකරල මම තව දුරටත් කතාව ලිව්ව. හරි මෙන්න ඒ කතාව. ඉටැලික්ස් වලින් තියෙන්නෙ සිත්තමී ලියපු කොටස.
පොඩ්ඩි සහ සිත්තමී.... ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි.
*************************************************
" ලොකු පුතා හෙට නිවාඩු දාන්න හොඳද?" අම්ම කිව්වේ කුසල් ගෙයින් එලියට බහිද්දි.
'' ඇයි අම්මෙ?.....'' ආපහු හැරිල කුසල් ඇහුව.
'' හෙට මල්ලිට මනමාලියක් බලන්ට යනව ඔයත් එන්නම ඕනෙ,''
'' මම එන්නම ඕනද?....හෙට වැඩ ගොඩක් තියනව කරන්ට''
'' අනේ ලොක්ක.....එහෙම කියන්ට එපා.....ඔයත් එන්න.''
'' හරි අම්මෙ යමුකො එහෙනං....'' කුසල් අම්ම දිහා බලල හිනාඋනා.
ඉස්සෙල්ල තමන්ට, ඊට පස්සෙ මල්ලිට…. මනමාලියො බලන්ට යන එක කුසල්ට එපාම වෙලා තිබුනෙ......වෙසක් කූඩු වගෙ සරසල,රටේම තියන ක්‍රීම් පවුඩර් මූණෙ උලල ප්‍රදර්ශණ භාණ්ඩ වගෙ ඉස්සරහට එක්කරගෙන එන කෙල්ලො ගැන කුසල්ගෙ හිතේ තිබුනෙ අනුකම්පාවක්.
*************************************************
අම්මයි තාත්තයි මල්ලියි එකට ඉඳගනිද්දි, කුසල් පැත්තක තිබ්බ පුටුවක ඉඳගත්තෙ නිවිහැනහිල්ලෙ හෙට ලියන්ට හිතාගෙන ඉන්න ලිපිය ගැන කල්පනා කරන්ට හිතාගෙනයි.
වැඩිහිටියො එයාලගෙ කතාබහේ යෙදෙද්දි කුසල් බර කල්පනාවක හිටියෙ ලිපිය ගැන. එක පාරටම ඇති වෙච්ච නිශ්ශබ්දතාවය නිසා කුසල් ඔලුව උස්සල බැලුව. සාලෙ දොරටුවෙන් ඇතුලුවෙලා හෙමිහිට ඉදිරියට එන යුවතිය දැක්කම කුසල් එතනම ගල් ගැහුණ. පොත්වල ' එකෙනෙහිම ඔහු පාෂාණිභූත වූයේය' කියන්නෙ මෙන්න මේ වගෙ අවස්තාවන්ට වෙන්න ඇතිය කියල කුසල්ට හිතුන..ඒත් ඒ වෙලාවෙ නම් නෙවෙයි....පස්සෙ ගෙදර ඇවිත් ඒ ගැන ආයෙම කල්පනා කරනකොට...ඒ වෙලාවෙ නම් පොත් වල තියන දේවල් තියා කවුරු හරි නම ඇහුවත් කුසල්ට හරි උත්තරයක් දෙන්ට වෙන එකක් නෑ. ඒ තරමට නුහුරු නුපුරුදු හැඟීම් රාශියක් හිත අතුලෙ නලියනව කියල විතරයි කුසල්ට තේරුනෙ.
ඇගේ මුහුණ...ගමන.....ඇඳ සිටි බෝරිච්චි අත් යෙදූ හැට්ටය....චාම් ඔසරිය...දිගු වරලස....එක බැල්මෙන්ම කුසල් මේ සියල්ල හිතේ ඇඳගත්ත.......ඒ වැඩේ වැඩි අමාරුවක් උනේ නැත්තෙ ඒ රූපය සෑහෙන කාලෙක ඉඳල කුසල්ගෙ හිතේ ඇඳිල තිබුණු නිසයි.කුස රජ්ජුරුවො වගෙ රන් රූපයක් හැදුවෙ නැති උනාට කවදාහරි තමන්ගෙ සහකාරිය විය යුත්තෙ මෙන්න මේ වගේ යුවතියක්ය කියල කුසල්ගෙ හිතෙත් ඇඳිල තිබුන රූපයක්...... ඒ රූපයට පණ ආව වගේ වැඩක් මේ උනේ.
ඇය ඔලුව උස්සනකල් කුසල් හිටියෙ නොඉවසිල්ලෙන්....කුසල්ගෙ හිතේ තිබුනු රූපෙ...ඇස්... දිගටියි...නිල් පාටයි......
සාලෙ මැදට ආපු ඈ ඔලුව උස්සල බැලුව.....කුසල්ගෙ ඇසිපිය නොහෙලා ඒ ඇස් දෙක දිහා බලා හිටියෙ ගිණිකන වැටුන වාගෙ.....හරියටම හරි.....නිල් පාටයි....දිගටියි.......එයත් එක පාරටම කුසල් දිහාවෙ බැලුව..ඒ ඇස් දෙකෙත් මොනවදෝ වෙනසක් උනා. ඈ කුසල් දිහාට පියවරක් තිබ්බ...." "දෝණි මේ පැත්තට "....අම්මගෙ විධානයට අනුව ඈ ජයනාත්ට බුලත් හෙප්පුව පිළිගැන්නුව.
ඊට පස්සෙ සාලෙ කෙරිච්ච කතාබහ මොකවත් කුසල්ට ඇහුනෙ නෑ. ජීවිත කාලයක් හිතේ ඇඳී තිබුනු ඒ රුව ජීවමානව තමන් ඉදිරියේ...ඒත් ඈ තම එකම සොහොයුරාට යෝජිත මනාලිය........බොහොම අමාරුවෙන් ඈ දෙස නොබලා තව ටික වෙලාවක් ඉඳල කුසල් හෙමිහිට එළියට බැස්ස.
මිදුලෙ කෙළවරක වෙල්යායට මූණලා තිබුන බංකුවක්.....කුසල් ඒකෙ ඉඳගත්ත...වෙල්යාය පිසගෙන එන හීතල හුළඟ කුසල්ගෙ හිත නිවන්ට නම් කොහෙත්ම සමත් උනේ නෑ...ඒත්.....ජීවිතේ සමහර දේවල් තියනව අපිට උරුම නෑ.....ඈතින් ඉඳල දැකීමෙන් පමණක් සැනහෙනව මිසක් අයිති කරගන්ට වාසනාව නැති බොහොම දේවල් මේ ජීවිතේ තියනව කියන එක කුසල්ට අමුතුවෙන් කියල දෙන්ට ඕන කමක් තිබුනෙ නෑ...
හිතට අවුලක් ආවම හැමදාම කුසල් කලේ කවියක් ලියාපු එක....මේ වෙලාවෙත් එහෙම කරන්ට කියල කුසල් සාක්කුව අතගාල බැලුව....උදේ එද්දි අම්ම දුන්නු කොලේ තිබුන උඩ සාක්කුවෙ "පුතේ මේ එහාට යන විදිහ ඇඳල කපු මහත්තෙය දුන්නු කොලේ...පුතා ළඟ තියාගන්ට "
ඒ කොලේ අනික් පැත්තෙ කුසල් කුරුටු ගාන්ට පටන් ගත්ත.
හදේ ඇඳි රුවක් විය,
කිසිදින දකින්නට සිතා නොසිටිය,
නෙතු ඉදිරියේ දිලුනු ඒ රුව,
සදා මා හට අහිමිය,
දුරින් ඉඳ බලා සැනසෙමි,
හිමි කර ගැනීමට නොවෙහෙසෙමි,
ජීවිතේ මට හිමි,
එපමණකි මම දනිමි,
බෝ දුරක ඇවිද ගිය,
මහද අවසන නතර විය,
අබියස ඔබේ දෙනයන,
කියූ රහස ද ගොළු විය,
නෙත කඳුලු වියැකී,
සුසුම් හද නොමැකී,
මට අහිමි ළඳුනී,
සදා ඔබ මට මිණි පහනකී,
එක පාරටම කාගෙදෝ කටහඬක් ඇහිල කුසල් ඔලුව උස්සල බැලුව.
දෙයියෝ සාක්කි.......ඒ යුවතිය සමඟ සොයුරා තමා සිටින දෙසට එනු දුටු කුසල් වහා කවි ලියූ කොලය නවා සාක්කුවේ දමා ගත්තේය.
" මොකෝ අයියේ? ඔතන ඉඳගෙනත් කවි ලියනවද? '' ජයනාත් දුරසිටම හඬනඟා ඇසීය. කලබලයෙන් හිඳසිටි අසුනින් නැඟිටින අතරේ කුසල්ගේ දෑස යලිත් ඒ යුවතියගේ දෑස හා ගැටිණි. තම මුහුණට ලේපුරා එන බව දැනුනු කුසල් වහා ආපසු හැරී වෙල්යාය ඈත කෙළවර දෙස බලාසිටියේය.
'' ආ, මල්ලි.. මං ලඟටම එනකල් දැක්කෙ නෑනේ... මං මේ මිදුලට පොඩ්ඩක් ආවා ඇතුලේ කම්මැලියි... ''
'' ලස්සන විව් එක නේද... අයියා ආසම විදිහෙ පැත්තක්... '' වෙල්යාය දෙස බලා ජයනාත් කීවේය.
'' හ්ම්.........''
'' පබෝධා දන්නවද, මේ අපේ අයියා මාර ලස්සන කවි ලියනවා..., චිත්‍රත් අඳිනවා......'' ජයනාත් පබෝධා දෙසට හැරී කීවේය.
ඇගේ නම.....පබෝධා.......
'' ඇත්තද? අයියගෙ නම මොකද්ද?''
'' මම කුසල්. '' වෙල් යාය දෙස බලාගෙනම කී කුසල් වහා නැඟී සිටියේය.. "එහෙනං ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ, මං ඇතුලට යනවා."
'' නෑ නෑ, අයියා ඉන්න... '' ජයනාත් වහා කුසල්ගේ කර වටා අතක් දමාගත්තේය. "බලන්නකෝ, පබෝධා කැමතිත් නෑනේ මං අහන ජාතියේ සින්දු වලට..." ඔහු බංකුව මත හිඳගත්තේ කුසල් ද සමගිනි. "එන්න පබෝධා," ඔහු ඇයටද බංකුව පෑවේය. අර්ධ කවාකාර විසල් බංකුව මත තිදෙනාටම පහසුවෙන් හිඳගැනීමට ඉඩකඩ තිබුණි. "මෙයා කැමතිත් අයියා කැමති ජාතියේ ඒවටමලු."
'' එහෙමද?'' සොයුරන් දෙදෙනාට මඳක් ඈතින් ඈ අසුන් ගන්නා අතරේ කුසල් ඈ දෙස බැලුවේය. පබෝධාට වහා බිම බලා ගත්තීය.
එවිටම ජයනාත්ගේ ජංගම දුරකථනය නාද වන්නට විය. "එක්ස්කියුස් මී." ඔහු දුරකථනයද රැගෙන නැගිට මිදුලේ කෙළවරට ඇවිද ගියේය. පබෝධා නැවතත් සිය ඔසරි පොට අඹරන්නට පටන්ගෙන තිබුණි.
'' නංගිත් කවි වලට කැමතියි නේද?''
පබෝධා දෑස් විසල් කරගෙන කුසල් දෙස බැලුවාය. "කොහොමද දන්නේ?"
'' ඉස්කෝලේ සාහිත්‍යයනෙ උගන්නනවා කිව්වේ..''
ඇය රතු වී බිම බලාගත්තාය. "මං චිත්‍ර වලටත් ආසයි. අඳින්නනම් බෑ, ඇඳපුවා බලන්න ආසයි... මං මේ ලඟදි පත්තරේ කියෙව්වා ලිපියක් චිත්‍ර කලාවයි සාහිත්‍යයයි ගැන හරි ලස්සන විදිහකට එකට ගලපලා ලියලා තියෙනවා"
කුසල් වහා ඈ දෙස හැරී බැලුවේය. "ජනදින පත්තරේද?"
'' ඔව්. අයියත් ඒ ලිපි කියවනවද?''
කුසල් පුළුල් සිනහවක් පෑවේය. "ඒ ලිපි කියවන මට හම්බුණ මුල්ම කෙනා ඔයා තමයි.."
'' ඒවා ලියන්නෙ අයියද?''
උරහිස් හැකිලූ කුසල් මඳ සිනහවකින් ඒ එසේයයි ඇඟවීය. දුරකථන සංවාදය නිමා කළ ජයනාත් එතැනට ආවේය. "ඉතිං පබෝධා," ඔහු ඔවුන් දෙදෙනා අතරින් ඉඳගත්තේය. "ඔයාගෙ නැද්ද හොඳ යාළුවො එහෙම බැඳපු නැති?"
'' ම්.. ඉන්නවා, ඇයි?''
'' නෑ මේ අපෙ අයියට...''
'' ජයනාත්! '' කුසල් අවධාරාණාත්මක හඬකින් කීවේය.
'' මං හිතුවෙ අයියා මෙලහකට බැඳලා ඇති, නැත්තං බඳින්න කෙනෙක්වත් ඇති කියලා... '' පබෝධා පුදුමයෙන් කීවාය.
'' අපොයි මෙයාට කවුරුවත් හොයන එක ලේසි නෑ.. '' එවර ජයනාත් කීවේ සොයුරාගේ පිටටද පහරක් ගසමිනි.
'' යමංකෝ ගෙදර.. '' කුසල් මිමිණුවේය.
පබෝධාට සිනහ පහළ විය. පෙනුමෙන්, ගතිගුණ වලින් හා රුචි අරුචිකම් වලින් කෙතරම් වෙනස් වුවද මෙම සොහොයුරන් දෙදෙනා එකිනෙකාට ඉතාමත් සමීප බව ඇයට අවබෝධ විය. "ඉතිං අයියාට කළිං මල්ලි බඳින්න හදන්නේ?" ඇය ඇසුවාය.
'' මෙයාට හරියන අය හොයාගන්න කොට මටත් නාකිවෙන්ඩ වෙයි. අම්මලා මෙයාට බල කරලා කරලා බැරිම තැන තමයි ඔය මට හොයන්ඩ ගත්තේ.''
'' ඉතිං අයියා මොන වගේ කෙනෙක්වද හොයන්නේ?'' පබෝධා ඇසුවාය.
'' හරියන කෙනා හම්බ වෙන කාලෙට හම්බ වෙන්නෙ නැතැයි,'' එසේ කියමින් කුසල් නැගිට්ටේය. "මං ගෙට යනවා එහෙනං..." ඔහු ආපසු හැරී නොබලාම ඉස්තෝප්පුව කෙළවරින් නිවෙසට ඇතුල් විය.
කවුළුවෙන් ඉවත බලා සිටිනා අතරේ එම බංකුව නැවතත් ඇගේ දෑසට ලක් විය. එදින ඔවුන් පිටව ගිය වහාම එකතු කර තිබූ පැරණි පත්තර ලිපි එකතුවම ඇදගෙන එකින් එක නැවතත් කියැවූ අයුරු ඇය සිහිපත් කළාය. අන්වර්ථ නාමයකින් එම අපූරු ලිපි ලියන්නා කෙදිනක හෝ හමු වීම ඇගේ එක් සිහිනයක්ව තිබූ අතර ඔහු මෙතරම් තරුණ වියේ පසුවන්නෙකැයි ඇයට කිසිදා සිතී තිබුණේ නැත.
"දෝණි..." අම්මාත්, අප්පච්චිත්, මාමාත් තිදෙනම එක්වරම ඇගේ කාමරයට ඇතුල් වූහ. "දැංවත් මේකට උත්තරයක් දෙන්න ළමයෝ..." අම්මා ඈ අසළින් ඇඳ මත හිඳගත්තාය.
"දැං සුමානයක් වෙන්ඩත් ආවා, ඒ පැත්තෙනුත් උත්තරයක් නෑ. මාමා හෙට යනවා එහෙ, ඉතිං මේ පැත්තෙං උත්තරේ අරං යන්ඩ එපැයි..." අප්පච්චිද කීවේය.
"කැමැත්ත හරි අකමැත්ත හරි ඕන එකක් කමක් නෑ දුවේ, කියන්න... හැබැයි අකමැති වෙන්න හේතුවක්නං නෑ ඒ කටයුත්තේ..." මාමාද එක් කළේය.
"එදා හැන්දෑවේ ඉඳං මං මේ ළමයගෙන් වචනයක් ගන්න බලනවා, කෝ ඒ ගැන කටක් හොල්ලන් නෑනේ..." අම්මා නැවතත් කීවාය.
පබෝධා පත්ව සිටියේ මහත් අසීරු තත්ත්වයකටය. දැන් එහි උපරිම අවස්ථාවට එලැඹ ඇත. ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා තමා වූ බැවින් සිය විවාහය ඔවුන් සොයා දෙන්නෙකු සමගින් සිදු කෙරෙනු ඇති බව ඇය ඔවුනට පොරොන්දු වී සිටියේ කිසිදු පසුතැවිල්ලකින් තොරවය. මෙම යෝජනාව පැමිණියේද එලෙසිනි. එහෙත් දැන් එම යෝජනාව නිසාම ඇගේ සිත වෙනෙකෙකු සොරාගෙන ඇත. මනාලයාගේම සොයුරා විසින් සොරාගෙන ඇත.
"මං ජයනාත්ට කැමති නෑ..." ඇය අවසානයේදී සෙමින් මිමිණුවාය.
"ඉතිං ඕක කළින්ම කිව්වනං ඉවරනේ. අපි කිව්වනේ, දූගෙ අකමැත්තෙන් මේ කිසිදෙයක් අපි කරන්නෙ නෑ කියලා..." පියා ඇගේ හිසද අතගාමින් කීවාය.
"මං එහෙනං හෙට ගිහිං මේ ගැන කියන්නං නේද, කෙළිංම අකමැති බව නොකියා මං වෙන මොකක් හරි කියන්නංකෝ..." මාමාද හිඳ සිටි පුටුවෙන් නැගී සිටියේය.
"ඒ උනාට..." පබෝධා ඇසෙන නෑසෙන හඬින් යළිත් එක් කළාය. "... මං එයාට අකමැති මං එයාගෙ අයියට කැමති නිසා..."
"ඈ???" මාමා නැවතත් ඉඳගත්තේය. අම්මා කම්මුලේ අතක් තබාගත්තේය. පියාගේ නළල රැළි විය.
"ඒ ළමයනං ඔය දෙවෙනි පුතා තරං ලොකු තානාන්තරේක නෙවෙයි, පත්තර කන්තෝරුවකද කොහෙදනේ රස්සාව කරනවා කිව්වේ..."
"අනික පබා බලන්න, එයා අර මල්ලිගෙ අයියා කියලවත් කියන්න පුළුවන්ද පෙනුමෙං?ඔයාට ගැලපෙන්නෙ නෑ දරුවෝ එහෙම කෙනෙක්..."
"ඒ උනාට මං කැමති එයාගෙ විදිහට..." පබෝධා නැවතත් මිමිණුවාය.
"බෑ, බෑ මේක කරන්න බෑ. ඔයාව බලන්න ආවේ ජයනාත්. ඔයා එයාට කැමතිද නැද්ද කියලා විතරක් කියන්න. මාමා කොහොමද ඕවා ගිහිං කියන්නේ ඒ මිනිස්සුන්ට?"පබෝධා නිහඬය.
"මල්ලි, ඉස්සෙල්ලා කතාකරගත්තු විදිහට ගිහිං කියන්න හෙට... මේ මොන කෝලමක්ද!" අප්පච්චී එසේ පවසා බර අඩි තබමින් කාමරයෙන් පිට විය.
මාමා ඈ වෙත ආවාය. "අකමැති බව කියන්නද දුවේ?" පබෝධා යාන්තමින් හිස සෙලවූයේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. මාමාද, ඔහු පසුපසින් අම්මාද කාමරයෙන් පිටව ගියෙන් පබෝධා නැවත වරක් සිය සිතුවිලි අතර හුදෙකලාව අතරමං විය. ඇගේ තනියටදෝ කඳුළු බිඳු එකින් එක උනා එන්නට විය.
පසුදින රාත්‍රියේ මාමා හදිසියේම නැවතත් එහි ආවේය.
"මල්ලි හදිසියෙම? දීපංගොඩ ගියාද?"
කතාබහට මුලපුරමින් අප්පච්චි ඇසුවේය. අම්මාද ඔවුන් සමග එකතු වී සිටියෙන් මැද සාලයේ හිඳගෙන ලූනු සුද්ධ කරන අතරේ පබෝධා ඔවුනගේ කතාවට කන් දී සිටියාය.
"ගියා ගියා අයියේ, එහෙ ඉඳං තමයි මේ කෙළිංම ආවේ.. තාම ගෙදරවත් ගියෙ නෑ..."
"ඒ මොකෝ ඒ හැටි හදිසියෙන්? ඒ උදවිය මොකද කිව්වේ? දොස් කිව්වද?"
"මොන දොස්ද අක්කේ, මාව දැක්ක හැටියේ ඉඳගන්න කියලා මහ පුදුම කතාවක් තමයි කිව්වේ... පොඩි පුතා කිව්වලු එයාට පබා දෝණි ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා කියලා, ඒක ඇහිච්ච ලොකු පුතාගෙ මූණේ ලොකු හිනාවක් ඇඳුනලු... ඒ ලොකු එකාට මගුල් හොයන්න ඒ මහ දෙන්නා විඳපු දුකක්! කවුරු කැමති උනත් ඒකගෙ කැමැත්ත ගන්න බෑලු... දැං ඔන්න මල්ලි මෙහෙම කිව්වහම අයියා කිව්වලු 'මං ඒ ළමයට කැමතියි'කියලා... මේක අපිට කියාගන්නෙ කොහොමද කියලා හිත හිත ඒ උදවිය ඉඳලා තියෙන්නේ... කෝකටත් කියලා දෝණිගෙ කේන්දර කොපිය ලොකු පුතාගෙ එකටත් බැලෙව්වලු. ෂුහ්! පොඩි පුතාගෙ එකටත් වඩා හොඳට ගැලපෙනවලු..."
පබෝධාගේ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත් හ.
"ඉතිං මල්ලි කිව්වද අපේ දෝණි කියපු කාරණේ?"
"නෑ නෑ, මං ඒවා කියන්න ගියෙ නෑ, මෙහෙ උත්තරේ අරං එන්නං කියලා ආවා..."
"හ්ම්... එහෙම කරපු එක හොඳයි... කෝ මේ කෙල්ල... දෝණී..."
අප්පච්චිගේ හඬගෑම ඇසුණු පරක්කුවෙන් මතු වූ ඇගේ මුහුණේ වූ සිනහවෙන් සියල්ල අවබෝධ කරගත් වැඩිහිටියෝ තිදෙන සිනාසෙන්නට පටන් ගත්හ.
සති දෙකකට පසු.........................
කුසල් ඒ බංකුවේම හිඳ සිටියේය. පබෝධා ඔහු ලඟින්ම හිඳ සිටියේ ඔහුගේ සුරත දෑතින්ම පිරි මදිමිනි.
'' අයියා....මතක ද සති දෙකකට ඉස්සර මේ බංකුවෙම අපි දෙන්න ඉඳගෙන හිටිය...''
'' හෙහ්, හෙහ්...මොකද අප්ප අමතක?....මේ මදෑ ඔය අයිය කෑල්ල...මට කුසල් කියන්න...''
'' හා...එහෙනම් කුසල්....එදා අපි මෙතනට එනකොට කුසල් මොනවද කර කර හිටියෙ?''
'' මම කවියක් ලිය ලියා හිටියෙ...''
'' කවියක්?..." පබෝධා ඔහුගේ දෑසට එබුණාය...." කා ගැනද?''
'' ඔයා ගැන '' කුසල් පැවසූයේ ඇගේ දෑස දෙස එක එල්ලේ බලමිනි....'' පබා ගැන''
'' මම ගැන ලියන්න...ඔයා මාව දැක්කෙත් එදානෙ....''
'' මට ඔයා දැක්කෙ එදා උනාට.....ඔයා ගැන කවියක් ලියන්න ඒක ප්‍රශ්නයක් උනේ නෑ.....මට හිතුනෙ මම ඔයාව ආත්ම ගානක ඉඳල දන්නව කියලයි....'' කුසල් පැවසූයේ සෙමින් ඇගේ කොපුල් තලය සිප ගනිමිනි.
ලැජ්ජාවෙන් ඇඹරී ගිය ඇගේ වතට ලේ පුරා ගියේ අනායාසයෙනි." කෝ ඒ කවිය.... තියනවද?"
උඩ සාක්කුවේ තිබූ හතරට නැවූ කොලය ඔහු ඇයට දුන්නේ මඳ සිනහවක් නගමිනි.
කවිය කියවූ ඇගේ නෙත් තෙත් වූයේ ඇයට ද නොදැනීමය.
" කුසල්......කවදාවත් එහෙම වෙන්නෙ නෑ...'' මිමිණූ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තාය.
'' මම දන්නව පබා....'' කුසල් පහත් වී ඇගේ පියවුනු දෑස සිප ගත්තේය.
" හරි දැන් ලියන්නකො ඉතිං මේ කවිපෙලටම ඈඳලා නිකං ඉනික්බිති එකක් වගෙ එකක්....'' මද වේලාවකින් පසු ඇය පැවසුවේ සිනාසෙමිනි.
" හරි...මේක ඔයාගෙ පළවෙනිම ඉල්ලීම..ඉතිං බෑ කියල කොහොමද? ඉන්නකො ''
ඒ කවි පෙලටම පහලින් කුසල් නැවත කවියක් ලියන්නට වූ අතර පබා ඔහුගේ උරහිස රැඳවූ හිසින්, දෙතොලග නලියන මද සිනහවෙන් යුතුව අපමණ සෙනෙහස පිරි හදින් ඔහුගේ දෙනෙත දෙස බලා සිටියාය.
ජීවිතය පුරා මම,
සෙවූ ඒ රුව ඔබය,
නිල් දෙනෙත,
දිගු වරල,
සඳක් වූ වත මඬල,
සසර සරනා තුරා,
අත නොහැර ඔබෙ සුරත,
කැටුව යමි අනන්තෙට,
ඔබ සමඟ පියෙන් පිය,
සෙනෙහසේ නවාතැන,
සොඳුර ඒ ඔබේ හද,
මගෙ ගමන නතර විය,
ඔබේ දෙනුවන් අසල,
මෙලෙස අප හමුවුයේ,
පෙරත් අප පැතූ ලෙස,
සසර ඉම තෙක්ම එමි,
ඔබෙ සුරත අත නොහැර,
අවසානයේදී කවි පෙල මුමුණමින් කියැවූ පබා දෙනෙතින් කඳුලු ගලා හැලෙද්දී කුසල් ගේ ගෙල වැලඳ ඔහුගේ පපුවෙහි මුහුණ හොවා ගත්තීය.
*************************************************
හරි දැන් තමයි කතන්දරේට එන්නෙ...ෂරී?....සිත්තමී මේ දවස්වල ලියාගෙන යනව තවත් අපූරු කතන්දරයක්. අපරාදෙ කියන්ට බෑ අර මම ලියන කතන්දර වගේ එහෙම නම් නෙවෙයි. හෙහ්...මයෙ කතන්දරවල කොස් කපන්ට ඉඳගන්න ගෑණු ළමයි අඩුමගානෙ මාස හයක්වත් එක දිගට කොස් කපනව. එතනිං ගිහාම නිල් කට්රොල් මල් වලට වතුර දාන ළමයිත් එහෙම්මම තමයි.
අන්න ඒකට සිත්තමී...දවසට එක ගානෙ කතාව දානව. හරි එහෙනං ආය ආරලු බූරළු ඔනැන්නෙ නෑ. කියවලාම බලන්ටකො. වැනේසා සහ එඩ්වඩ්ගේ කතන්දරේ....එකෝමත් එක කාලෙක කතාවක්...
සමාවෙන්න. චිත්‍රය - Claude Monet
ReplyDeleteපට්ට පිංතූර ටික රවි. කතාවටත් වඩා ලිංක් එකට ස්තූතියි...
Deleteමං කැමතියි දෙවෙනි කවියට
ReplyDeleteසඳ වියමන්,
Deleteඑහෙමද?...ස්තූතියි...:)
හැපී එන්ඩින්ස්! :)
ReplyDeleteMalithi,
DeleteYep, all's well that ends well නොහොත් සියළු සුඛාන්තයෝ ෆුල්මැ ආතල් වන්නාහ. :)
aw appa mewwane puthe katha :::)))
ReplyDeleteAno,
Deleteඒකනෙ ..මෙව්ව තමයි කතා...:)
කතා නම් මේ විදියට තමයි ඉවර වෙන්න ඕනේ.. ..
ReplyDeleteපැතුම්,
Deleteහෙහ්...ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ or else they lived happily ever after.
කිසිම හැල හැප්පීමක් නෑ සියල්ල සතුටින් අහවර උනා.හරියට බාධක නැතිව ගලන ගඟ වගේ.
ReplyDeleteහැලප,
Deleteබාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ සියල්ල සතුටින් හමාර වෙනවා..ප්‍රේම කතාවක චරිත දෙකක් අපි......:)
එහෙම කතන්දරත් තියනව බන්. ඇඬූ කඳුලෙන් දෙන්න දෙපැත්තෙ හූල්ලන පුල් සෝක බරිත ඉට්ටෝරීස් වගේම ආතල් බේරෙන පේම කතාත් තියනව.. .:)
වැඩක් නෑ වැඩක් නෑ. අපිට ඕන වාං පතුල් ගෙවිල, කොස් කපන ළමයි කොහොල්ලැ වලින් වැහිල, කට්රොල් වලට වතුර දාන ළමයින්ගෙ අත් වතුර වලටම දියවෙලා යන ටයිප් කතා. :D
ReplyDeleteප්‍රසන්න,
Deleteඋඹලට ඕන එව්වම දීල හරියන්නෙ නෑ. බොලාව ආනන්දයෙන් ගෙනියන්ට ඕන පඤ්ඤා කොණ්ඩඤ්ඤයට...තේරුණැයි?
ගෑණු ලමයි ලියන කියන කතාවලට හොට දැමීම සංසාර පුරුද්දක්ද?
ReplyDeleteප්‍රා,
Deleteහෙහ්, හොට දාල මොකටද බොලේ?...මම කැමති ගෑණු ළමයි ලියන කතන්දරවල චරිතයක් වෙන්ට...එදා ඉඳලම එහෙමයි...හෙහ්..එදා ඉඳලම....එදා ඉඳලම …:)
ඇත්තම කියනවනං ප්‍රා, රවි අයියා පොඩි කුමාරිහාම්ගේ වළව්වේ ලිය ලිය හිටපු කතා වලට මමයි ගිහිල්ලා හොට දැම්මේ. :D
Deleteඇත්තට මටනං හිතෙන්නේ අද මොකවත් ලියන්න වෙලාව මදිවෙලා කොපියක් අරං හිස්තැන් පුරවලා වගේ
ReplyDeleteසුරන්ගයා,
Deleteනෑ බන්..( මේ ඔෆිස් කම්පියුටරේ මට බින්දුව හොයාගන්ට බෑ. ඒකයි හල් නයන්න ලියන්නෙ බින්දුව වෙනුවට ) කතා දෙක තුනක් බාගෙට ලියල තියෙන්නෙ. ඒත් මේ සිත්තමීස් අර කතන්දරේ ලියාගෙන ලියාගෙන යන තාලෙට ඉක්මනටම මේ පෝස්ට් එක ලිව්වෙ නැත්තන් තේරුමක් නැතිවෙයි කියල මට හිතුන.
ඒ පාර ඉතින් නිකම්ම මෙන්න මෙහෙම සිත්තමී සෝක් කතාවක් ලියනවය ගිහිල්ල බලපල්ලය කියල අත පිහදාගන්ට බෑ නෙව. එහෙම වුනොත් ඒක අර අර " ඕන්න බුදුනි මල්,මේන්න අපි ගොයින් " මාදිලියෙ එකක් වෙනවනෙ. ඒ හින්ද කොහොමද පොඩි පඳුරු තැලිල්ලක් හා / හෝ ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්නෙ කියල අමුඩෙකුත් අහගෙන කල්පනා සාගරේ බැහැල නාන කල්හි මතක් වෙච්චි ඒ යෝදියි මායි ලියාපු කතන්දරේ. ඒ පාර ඒක හොයල අරගෙන ලිව්ව. අන්න එහෙමයි පූර්වාපර සන්ධි ගැලපිල්ල. තේරුණේ බොට?
මගේ ඇඟේ ලේ නැතුව හිටියේ පපුව පිච්චෙන කතාවක් වෙයි කියල. යන්තම් ඒක එහෙම උනා.... මම ලිව්වා නම් ලියන්නේ ජනනාත්ට හිතෙන දේ... මොන තරම් දුකක්ද තමන්ට හිතට වැදුන කෙල්ල තමන්ගේම සහෝදරයාගේ අතේ එල්ලිලා මදිවට ගෙදරටත් කැන්දාගෙන ආවම???
ReplyDeleteඋපේක්ෂා,
Deleteඇයි බන් ජයනාත් පබාට කැමති නෑ කියල එයාම කිව්වනෙ. ඉතින් මොකද්ද මේ හිතට වැදිච්චි කතාව?
/ "මොන දොස්ද අක්කේ, මාව දැක්ක හැටියේ ඉඳගන්න කියලා මහ පුදුම කතාවක් තමයි කිව්වේ... පොඩි පුතා කිව්වලු එයාට පබා දෝණි ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා කියලා, /
සොරි වෙන්ට ඕනේ...
Delete[මල්ලි මෙහෙම කිව්වහම අයියා කිව්වලු 'මං ඒ ළමයට කැමතියි'කියලා... ]
මේ කොටස මට කියා උනේ ජයනාත් කිව්වා වගේ. ඇති යන්තම්. ඒත් අවුල් වගේ.... චෙක්.. ඔන්නොහෙ! නැද්ද?
උපේක්ෂා
Deleteඅවුල් වෙන්න එපා අනේ. මේක ඇවිල්ලා 'ඇන්ඩ් දෙ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්' කතාවක්නේ. :)
හැමෝගෙම ආදර කතාව මේ වගේ සුඛාන්තයක් වේවා!
ReplyDeleteකතාවේ කොටස්, රචකයෝ දෙදෙනෙක් ලියපු නිසා, ඒ එක එක රචකයාගේ ලිවීමේ ආකාරයේ ලස්සන වෙනසක් දැක්ක මම. ලස්සන වෙනස ලියන්න ගිහින් ගුටි කන්න වෙයි.. ඒ නිසා ඔන්න ඔහේ කට වහගෙන ඉන්නම්...
ගුටි කන්න වෙයි? හපොයි කාගෙන්ද?
Deleteමානවික්ස්,
Delete/ හැමෝගෙම ආදර කතාව මේ වගේ සුඛාන්තයක් වේවා! /
එහෙනම්..එහෙනම්..එසේම වේවා! එසේම වේවා! May all love stories end in sheer bliss, happiness & fulfilment! Amen !
/ ඒ එක එක රචකයාගේ ලිවීමේ ආකාරයේ ලස්සන වෙනසක් දැක්ක මම. ලස්සන වෙනස ලියන්න ගිහින් ගුටි කන්න වෙයි.. /
අනේ අප්පේ..කාගෙන් ගුටි කන්නද ? අපි ඇවිල්ල ඉතාම සාමකාමී,අහින්සක බෝදිසත්ව ගුනෝපේත කස්ටිය.අපි කියල කිව්වෙ සිත්තමියි මායි දෙන්නම හොඳද? කොටින්ම අපේ ගෙදර මකුණො විමානෙ. මකුණෙක්වත් මරන්ට මම කැමති නෑ ඔන්න..එහෙමයි අපි.
එහෙම හිත කරදර කරගන්න දෙයක් නෑ අනේ.. මේ පොඩි වෙනසක් දැක්ක..
Deleteසිත්තමී ලියපු ටික, බොහොම යහපත් විදියට තියනව.. හරියට සිරිමත් ගැන ලියපු කතාවක් වගේ..
රවී තුමා ලියපු ටික ඊට වඩා සරාගී ගතියක් තියනව..
හැබැයි ඔය දෙකම එකතු වෙලා, අදාළ කොටස් එක්කහු උනාම තමයි කතාවේ ලස්සන ඇවිත් තියෙන්නෙ.. හරියටම කිරි මුහුදට සඳ පෑවුවා වගේ..
කාලයේ තාලයට ලතාවට ගලාන ගිය පැතුම් ඉටුවන කතාවක්.
ReplyDeleteනලින්,
Deleteස්තූතියි!...:)
මේ යකා සති දෙකකට කලින් ඇඳ ශර්ට් එක හෝදන්නෙත් නතුං ඇඳං ඇවිල්ලද නිකං ටුස් ගාල කවිය ඇදල ගත්තෙ...හෙහ්....හෙහ්.... මට පරන සිත්තර පටි මතක් උනා. ඒවයෙත් පුතාගෙ හරි අම්මගෙ හරි කාගෙ හරි පිංතූරෙ ජීවිත කාලෙම සාක්කුවෙ ගහං ඉඳල අන්තිමේදි ඇදල අරං ඔන්න අඳුන ගන්නව... හෙහ්...හෙහ්.....
ReplyDeleteඑක්ස්පෝටර්,
Delete/ මේ යකා සති දෙකකට කලින් ඇඳ ශර්ට් එක හෝදන්නෙත් නතුං ඇඳං ඇවිල්ලද නිකං ටුස් ගාල කවිය ඇදල ගත්තෙ...හෙහ්....හෙහ්.... /
නෑ බන් පොර ඔය වැඩේ සැටමෝල් උනාට පස්සෙ ඉස් ඉස්සෙල්ලම හාහා පුරා පුරා කියල කෙල්ල බලන්ට ආවමනෙ. ඉතින් ඔය කවිය පෙන්නන්ටම හිතාගෙන අරගෙන ආව. අන්න එහෙමයි සිද්ද වුනේ..:)
/ මට පරන සිත්තර පටි මතක් උනා. ඒවයෙත් පුතාගෙ හරි අම්මගෙ හරි කාගෙ හරි පිංතූරෙ ජීවිත කාලෙම සාක්කුවෙ ගහං ඉඳල අන්තිමේදි ඇදල අරං ඔන්න අඳුන ගන්නව... හෙහ්...හෙහ්...../
හෙහ්. ඔය වගෙ පණස් ගණන් වල ෆිල්ම් වල දොස්තරල කෙල්ල එක්ක මල් පඳුරු වටේ ඩාන්ස් කොරන්නෙත් බෙල්ල වටේ ටෙලස්කෝප් එක එල්ලගෙන. අනික දැනටත් ටීවී එකේ යස්න ටූස්පේස් ඇඩ්වල දත් දොස්තරගෙ බෙල්ලෙ ඕක අනිවා තියනව.
මැවූ දෙනෙත නෙතු අද්දර ඇඳුනු නියා
ReplyDeleteසෙවූ වරල මදනල පිස ලෙලෙනු නියා
පුන් සඳ වන් වත කමලේ බැඳෙන නියා
අයියණ්ඩිය පෙම් සයුරේ ගිලෙන නියා
පුන් සඳ අද රෑ අඹරේ නැගෙනු එපා
මයියොක්කා දීසිය හිස් වෙන්න එපා
තෙලිජ්ජ කැටයේ අඩියට මණ්ඩි එපා
අයියණ්ඩිය මා ගැන කවි ලියනු එපා
තෙලිදිය වාඩිය,
Deleteතෙලිදිය අමයුරෙන් අඩවන් වූ දෙනෙතයි,
පිණිදිය පතිතවන හඬ සවනත පිරවෙයි,
සඳදිය අතුල ගෙමිදුල කිරියෙන් ඉතිරෙයි,
අමදිය පිරුණු ලවනත මත්කල දැහැනයි.
රෑවට පින්න හිමිදිරියේ මැකුණාවේ,
සූසැටබරණ නැතුවම සිත් බැඳුණාවේ,
පාවඩ කුමට රළුමඟ පිය නැඟුනාවේ,
පෑමට ආලසිත නුඹ සිත ඇදුනාවේ,
බුදු අම්මේ රොමාන්තික කවිය....! නියමයි රවී
DeleteUpeksha,
Deleteඔය රොමාන්තික කියන වචනෙ ඇහෙනකොට මට මතක් වෙන්නෙම ඊ.ආර්. එරත්න මහත්මයගෙ " රොමාගේ වාසනාව " පොත. ඒක චාල්ස් ඩිකන්ස්ගෙ " Great Expectations " පොතේ පරිවර්තනය.
මම දන්නෙ නෑ ගොයියො උඹ රොමාගේ වාසනාව පෙර යොවුන් වියේ පෙළපොතක් විදිහට කියවපු පරම්පරාවෙ කෙනෙක්ද කියල. බොහෝවිට ඊට යම් තරමක් පස්සෙ යුගයක අන්ගනාවියක් වෙන්න ඇති...හෙහ්,හෙහ්,
මිදුලේ අතුල සඳ එලියත් පරදාවී
Deleteතෙලිදිය මී ලවනත මිහිරක් දේවී
දැහැනෙන් මිදුනු නෙතු අග කඳුලක් ඒවී
ලැමදේ හොවා නුඹ සතපන මනමාලී
රෑ වට පින්න මා හද ගිනි දැවුවාවේ
සූ සැටබරණ ඈ බඳ වට එතුනාවේ
පාවඩ ඔබේ දිවිමග දිග එලුනාවේ
පෑමට ආල මා මිහිපිට නැතුවාවේ
තෙලිදිය,
Deleteකඳුලෙන් මැකුනු හසරැල් මතකය කිමදෝ,
කොවුලන් මැදියමෙත් ගී ගයනුයෙ කිමදෝ,
සැවුලන් හඬලන්ට තව කල් ගත වෙයිදෝ,
නිකැලැල් සෙනෙහසට හෙට හිරු පායයිදෝ,
කාලේ ගෙවුනි හද සෝගිනි නැත නිවුනේ,
තාලේ නුඹේ සිනහව රැඳි සිහි ගැනුනේ,
සීලේ සමවැදුනු හද එසැණින් බිඳුනේ,
බාලේ බැඳුනු සෙනෙහස යලි හද පිපුණේ,
ආයිස් අප්පා ගුණ්ඩූ...!!
Deleteනිල්පාට ඇස් තියෙන ශ්‍රීලාංකිකයෝ ඉන්නවද? මම දැකලම නෑනෙ..!!
ReplyDeleteශ්‍රී ලංකාකාරයො වෙන්ටැති. උංගෙ ඔක්කොම නිල්නෙ.
DeleteAno,
Deleteඔබ ඉතාම නිවැරදියි. සාමාන්‍යයෙන් දකුණු ආසියානු කලාපයෙ නිල් ඇස් ඇති අය ඉතාම දුර්ලභයි.උතුරු ඉන්දියාවෙ, පකිස්තාන් කාෂ්මීරයෙ සහ ඇෆ්ගනිස්ථානයෙ බොහොම සුළු පිරිසක් ඉන්නව. ඒත් ඉන්දීය උප මහාද්වීපයෙ දකුණට යන්නට යන්නට එහෙම අය නෑ. ලන්කාවට එනකොට ඇත්තෙම නෑ.
එතකොට ලන්කාවෙ එහෙම අය ඉන්නවනම් ඉන්නෙ නිල් ඇස් සහිත යුරෝපීයයන් හා ඇතිවූ සම්බන්ධයකින් බිහිවූ අය. උදා - රොබට් නොක්ස් දන්නව නේද? රොබට් නොක්ස් සහ ඔහුගේ සගයින් සිරගත කරල සිටි මහනුවර අවට ගම්මානවල තවමත් යන්තමට වගෙ නිල් පැහැඇස් ඇති ගැහැණු සහ පිරිමි ඉන්නවා....හෙහ්..පබාගෙ තාත්තගෙ තාත්තගෙ මුල්ගම ඇවිල්ල උඩුනුවර දවුලගල කිට්ටුව තියෙන එළදැත්ත කියල මම කිව්වද? නෑ නේද? හරි ඒක නොකිව්වෙ මේ කතාවට ඒ අතීතයෙන් වැඩක් නැති හින්ද..ඒත් දැන් ඒක කියන්ටම වෙනව... ඔය එළදැත්ත කියන්නෙ දෙවෙනි රාජසින්හ රජ්ජුරුවො නොක්ස් ඇතුලු පිරිස රඳවාගෙන සිටි ස්ථානයක්. මම හිතනව ඇනෝ මහතා හෝ මහත්මියගේ ගැටළුවට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නට ඇතිය කියල.
සුරන්ග,
Delete/ ශ්‍රී ලංකාකාරයො වෙන්ටැති. උංගෙ ඔක්කොම නිල්නෙ. /
සන්ධානෙ මේ පාර මනාප ප්‍රතිඵල දිහා බැලුවම උන්ගෙ මොලේ නම් Nil කියල පැහැදිලිවම පේනව...:)
කියන්න බැරි තරම් ස්තූතියි අයියේ. මගේ කතන්දර ගැන අයියා ලියපු පළවෙනි වතාව නෙවෙයි මේ. මේ දිරිගැන්වීමටත්, අනෙක් යාළුවන්ට මගේ බ්ලොග් එක පැත්තට එන්න පාර පෙන්නුවාටත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම, බ්ලොග් ලෝකේ මගේ කතන්දර ලිවීමේ ආරම්භය වෙච්ච පොඩ්ඩි අක්කාගේ වළව්වටත් මම ණයගැතියි. :)
ReplyDeleteකුසල්, ජයම්පති, පබෝධා - මේ තුන් දෙනාගේ කතාව. වළව්වේ ලියපු මේ කතාව මම කාලෙකට උඩදී මගේ බ්ලොග් එකෙත් දැම්මා. මේ තියෙන්නේ ඒකට පාර. ඒක ලියලා තියෙන්නේ පබෝධාගේ කතාව විදිහට.
ප්‍රාග් ඓතිහාසික යුගයේ කතන්දර කීමෙන් ඇරඹී, කුස-පබා නූතන කතාන්දරය හරහා විත් එකෝමත් එක කාලෙක එඩ්වඩ් හා වැනේසා ආදරයෙන් බැඳුනු කතාන්දරයෙන් නිමා කෙරුණු මේ ලිපියට මාගේ ප්‍රණාමය! :D
සිත්තමී,
Deleteයූ ආර් මෝස්ට් වෙල්කම්යැ! මෝඕවර්යැ ඉට් වෝස් ඒ රියල් ප්ලෙෂරයකැ! වට් වුඩ් බී ද ඩෙස්ටිනි ඔෆ් වැනේසා ඇන්ඩ් එඩ්වර්ඩ් දැනගැන්ම උදෙසා වෙයිටින් ඔන් ටෙන්ටර් හුක්ස්යැ!
මට නම් විරහවේ මිහිර හරිගිය කථාවල මිහිර දැනෙනවට වඩා සාපේක්ශව අඩුයි. පෞද්ගලික අත්දැකීම් නිසා වෙන්න ඇති.
ReplyDeleteනෙත කඳුලු වියැකී,
සුසුම් හද නොමැකී,
මට අහිමි ළඳුනී,
සදා ඔබ මට මිණි පහනකී,
Ian,
Deleteහද දවන සෙනෙහස,
මතකය එසඳ ඒ සොඳුරුතම,
හද තුලම කැටිකොට,
හිඳිමි මා සිත්සතන් ගොළු කොට,
'සංතෝසයි දිනාපු පැත්ත..' කියලා නිහාල් නෙල්සනුත් කිව්වලු නෙ..
ReplyDeleteහැබැයි අයියා මේක අපේ ආත්මීය නවකතාකරුට අහු උනා නං එහෙම පොත් ගානක් ගහනවා......
අයියා මල්ලිට හොරෙන් මූඩ් ගහන හැටි...
පබා අර බංකුව දිහා බලාගෙන හූල්ලන හැටි..
අයියයි මල්ලියි මූණු බලන්න අපහසුවකින් පෙලෙන හැටි...
ගෙවල් වලින් ප්‍රෙශර් එන හැටි...
අයියට ඔෆිස් එකේ ලිපි හිරවෙන හැටි හැටි...
හැම කෙල්ලම පබා වගේ මැවි මැවි පේන හැටි..
මල්ලි කැමති නෑ කියලා අයියට සෙට් වෙලා දෙන්නා සන්තොසෙන් බංකුවේ ඉන්න දිහා බලල මල්ලි හොරෙන් සුසුමක් හෙලලා කඳුළු බිංදුවක් පිහින හැටි...
චැහ්...
හොටු ගුලියක් කරන්න තිබ්බ ප්ලොට් එක..
හෙහ් හෙහ් හේ..
මේ විදිහ හොඳයි.
ජයවේවා..!!!
ඇයි බං සිකරට්ටෙක ගහන එක.
Deleteහැම වාක්‍යයක් ගානෙම
Delete"මම දැවීගියෙමි" කියලා ලිවීම
ගස්,
Deleteඕකගෙ කතා එච්චරම අවුලක් නෑ බං..වැරැද්ද එකම වචන සෙට් එක ආයම ආයම ලියන එක.මුල් කාලෙම පොත් දෙක තුනක් මම කියවල තියනව. ඊට පස්සෙ ආයම කියෙව්වෙ නෑ කියන්නෙ අනේ මම ඒ වගෙ එව්ව කියවන්නෙ නෑ කියල එහෙම නෙවෙයි. මට කියවන්ට හම්බවුනේ නෑ. ඒකයි...:)
මම ඔය වයස 14-17 කාලෙ බොහොම ආසාවෙන් කියෙව්ව කුමාර කරුණාරත්න, ජයකොඩි සෙනෙවිරත්න, එඩ්වඩ් මල්ලවාරච්චිලගෙ කතා එහෙමත් එක අතකට සරල ප්‍රේමකතා තමයි. ඒත් මම ඒ කතාවලට තවමත් ආසයි.
අනික දැන් තියෙන පොත් වලට දාල තියෙන නම්..මේ මගෙ යාලුවෙකුගෙ පුතෙකුට වෙච්චි වැඩක්. මිනිහ ගියාලු පොත් කඩේකට
" මේ වස්සාන සමය පොත තියනවද?"
" නෑ……"
" එතකොට හදවතක හිම පතනය? "
" ඒ වගෙ එව්ව අපි ගාව නෑ මහත්තය"
." එහෙනං මහද යමහලක් විය. ඒ පොත? "
" මේ හලෝ දැං එක පාරක් සිංහලෙං කිව්වනෙ නේද? ඔය ජාතියෙ පොත් අපි ගාව නෑ. ගිහිල්ල බලනවා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ. "
Suranga,
Delete/ ඇයි බං සිකරට්ටෙක ගහන එක. /
සුරංග, අඩේ, සිගරට් ගහන එව්ව දැං පොත්වල ලියන්ට දෙනවද? මම හිතුවෙ අපෙ මහාචාර්ය කාලෝ ගොයිය එව්ව ඔක්කොම තහනම් කලාය කියල.
/ හැම වාක්‍යයක් ගානෙම "මම දැවීගියෙමි" කියලා ලිවීම /
ඒ මයෙ හිතේ කිරිකැට් ගහන එකෙක් වෙන්ට ඇති.
මම ලඟ 'බොඳ මීදුම්' සෙට් එකම තියේ.. තවත් ඒවා තියේ.. 'වර්ෂා' පොත් සැට් එකෙන් හෝද හෝදා මඩේ දැමීමෙන් ඌ විහි පච උනේ... (කියවන්න සීමා මායිම් නැති ගස් ලබ්බෙක් වෙමි මම.)
Deleteහරි ලස්සනට ගලාගෙන ගිය ආදර කතාවක්නේ.. සංතෝසේ බෑ.. දෙවනි කවියට මම වැඩියෙන් ලයික්..
ReplyDeleteදිනේෂ්,
Deleteහෙහ් මම දන්නව උඹ මේ වගෙ කතන්දර වලට කැමතියි කියල..ස්තූතියි දිනේෂ්!
ලස්සනයි..ඒත් සුලභ මාදිලියේ කතාවක් ඔයාට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මීට කලින් පෝස්ටු වල දැක්ක
ReplyDeleteඩබ්.කේ.,
Deleteඑක දිගට හැලහැප්පිමක් නැතුව ගලාගෙන යනව නම් සරල සුලභ ආදර කතාවක උනත් තියනව අමුතු සුන්දරත්වයක්...හා නැද්ද?
මමත් දැක්කා සිත්ත්මී ලියලා තියන කතාව... බලමු නිවාඩු පාඩු වෙලාවක කියවන්න... දන්නවනේ අපි ඉතින් අබයාරාමෙ දායකයොනෙ.....
ReplyDeleteපෙනේද හොර පාරෙන් ගිහිල්ලා තව කියන ලස්සන! හුහ්! :P
Deleteතිසර,
Deleteහෙහ්..අබයාරාමෙ පැත්තෙ ගිහිල්ල එන්ටත් ඕන බං....:)
පූර්විකාව කියෙව්වහම මතක් උනේ, Croods ෆිල්ම් එක.
ReplyDeleteලස්සන කතාව රවි. කවුරු විරහවට කැමති උනත්, මටත් ආසයි මේ වගේ සතුටින් ඉවර වෙන ප්‍රේම කතාවලට. එහෙම තියෙන සිංදු පවා හරි අඩුයිනෙ...
ඩ්‍රැකී,
DeleteCroods ගැන දැනගත්තෙ ඔන්න අද උඹෙන්..අපූරු ෆිල්ම් එකක් වගෙයි පේන්නෙ. බලන්ටම වෙනවා.
ඇත්තටම ඇයි විරහව ගැන මේ තරම් කලා නිර්මාණ කෙරෙන්නෙ සහ ඒවා බොහොම ජනප්‍රිය වෙන්නෙ? වෙලාවක ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්ට වටිනවා...:)
The Croods මරු. හොයං බලන්ට. අපේ ආදර බර නිකොලස් කේජ් අයියා ඒකෙ හඬකවනවා තාත්තට.
Delete/වෙලාවක ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්ට වටිනවා...:)/
හොයලා හම්බුනොත් කියන්ඩ... :-)
ඒ උනාට අර සුන්දර අවසානය සහිත සිංදු මාර ලස්සනයි අප්පා... එඩ්ඩගෙ තියෙනව නේද කීපයක්...?
දුෂ්ඨ(යා)යො ගැන ටිකක් වැඩිපුර ලියපු නිසා වෙන්ටැති දුෂ්ටයො නැතිව කතාව ලියන්න ඇත්තෙ. :-)
ReplyDeleteඉස්සෙල්ල කවි සැට් එක වඩා හොඳයි මට නං....
රාජ්,
Deleteඒකනෙ බං දුෂ්ඨයා ගැන ලියලම ඇතිවෙලා තිබ්බෙ....:)
රවී අයියේ ඔය 'කතන්දර කීම' කියන එකේ මූලාරම්භය කොහොම වෙන්න ඇද්ද?
ReplyDeleteමම හිතන විදියට නං ආදි කාලෙ මිනිස්සුන්ට ඇත්තටම සිදුවූ දේවල් හැන්දෑකරේ දෙසාබාන අතරෙ ඔය 'රසවත්' සිදුවීම් වලට වැඩිපුර හිත ඇදෙන්න ඇති. ඒ ඇත්ත කතා වලට බොරු ටිකකුත් එකතුවුනාම වඩා රසවත් නිසා කතන්දර බිහිවෙන්න ඇත්තෙ එහෙමයි.
මොකද හිතන්නෙ?
රාජ්,
Deleteහරි මමත් හිතන්නෙ එහෙම තමයි. දවල් දවසෙ දඩයමේ ගිය පිරිමි ඔන්න දඩයම් කරගත්තු සත්තු පුච්චල ගෑණු සහ ලමා ලපටි එක්ක බඩ පුරා කාල ගල්ලෙන ඉස්සරහ ගිණි මැලේ වටේ ඉඳගෙන දඩයම් කරපු විදිහ ගැන අතිනුත් දාල රහ කරල විස්තර කියන්ට ඇති. කතන්දර කලාව පටන් ගන්ට ඇත්තෙ බොහෝවිට අන්න එහෙම.
එතකොට සමහරවිට භාෂාව නොදියුණු නිසා වචන මදිවෙන්ටත් ඇති තමන්ගෙ අදහස්, හැඟීම් ප්‍රකාශ කරන්ට. එහෙම උනහම කතන්දර කියන්නා නැඟිටල ගිණි මැලය වටේට දඩයමේ ඒ අවස්ථාව අභිරූපණයයෙන් පෙන්නන්ටත් ඇති.වටේ ඉඳගෙන ඉන්න එවුං කටවල ඇරගෙන බලා ඉන්ටත් ඇති. අන්න මල්ලි නාට්‍ය කලාවේ උපත...:)
I found an interesting explanation: History of Story Telling
Delete"it is believed that origin of storytelling may have come across as an excuse for failure." :D :D :D
ඉස්සර විතරක් නෙමෙයි අයියෙ... දැනුත් චීන්නු කතා කරන්නෙ එහෙම තමයි.. උන්ට වචන මදි... රඟපාන්නැතිව අදහස් හුවමාරු කරගන්න අමාරු කස්ටිය.
Delete:) ලස්සන අවසානයක් තියෙන ආදර කතාවක්... මාත් කැමති දෙවෙනි කවි ටිකට .
ReplyDeleteතුශානි,
Deleteස්තූතියි!!!...:)
රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අපිට (මට) මේ සිත්තමි ස්ටයිල් එකට ඒ කියුවේ ඒ වගේ කන්සිස්ටන්සි එකකට සෙට් වී ගන්න බැරුව ඉන්නේ.. අද බලනකොට 19 කොටසත් දාල.. මං තම කොටස් දහයයි කියෙව්වේ.. ක්‍රිටිකල් කමෙන්ටෙකක් දානවා කියල චැලේන්ජ් කරලත් ඉන්නේ.. සක්.. මං ලොස් වෙනවා.. රවී අයිය තමයි මේවට වග කියන්න ඕනි. හැක හැක හැක..
ReplyDeleteඅහ.. මාත් අර සුඛාන්තයට ලයික් ආ.. මං කියුවේ දෙවෙනි කවියට..
කළ්‍යාණ,
Delete/ රවී අයියගේ සිස්ටම් එකට හුරු වෙච්චි අපිට (මට) මේ සිත්තමි ස්ටයිල් එකට ඒ කියුවේ ඒ වගේ කන්සිස්ටන්සි එකකට සෙට් වී ගන්න බැරුව ඉන්නේ..අද බලනකොට 19 කොටසත් දාල.. මං තම කොටස් දහයයි කියෙව්වේ.. /
ඒකනෙ බං බොලා අපි වගෙ නෙවෙයි මේ සිත්තමීල. ලියන්ට ගිහාම වලිගෙ උඩ නැඟගෙන ලියන්නෙ...:) අපිට ඒ ස්පීඩ් එකට ලියන්ට තියා උන්දල ලියන එව්ව කියවන්ටවත් බෑ.
/ ක්‍රිටිකල් කමෙන්ටෙකක් දානවා කියල චැලේන්ජ් කරලත් ඉන්නේ.. සක්.. මං ලොස් වෙනවා.. /
Its rather more like critical silence now …:)
/ රවී අයිය තමයි මේවට වග කියන්න ඕනි. හැක හැක හැක.. /
කරපු තරමක් හොර මැර ඔක්කොම මරාගෙ එකවුන්ට් එකට කිව්ව වගෙ දැන් ඒකටත් මමද බොල පලි?
ඇයි බොලේ මං කී සැරයක් කියන්ඩද මේක මේ ලියලා ඉවර වෙච්ච එකක් ඔටෝ පබ්ලිෂ් වෙන්ඩ දාලා තියෙන්නේ කියලා. මේකනං ලබන සතියේ ඉවර වෙනවා. ඉන්ඩකො, මං ඊලඟට ආයෙ දිග කතාවක් ලියපු දාක මාස තුන හතරකට එක කොටස ගානේ තමයි දාන්නේ.
Deleteඅර ක්‍රිටිකල් කමෙන්ට් එක එනකල් මං තාම මග බලන් ඉන්නවා. :D
සුඛාන්තයකින් කෙලවර නොවී දුඛන්තයකින් අවසන් වන ආදර සම්බන්ද කම් ඕනේ තරම්.සමහර සම්බන්ධතා තියෙනවා රවීයියා දුඛන්තයකින් අවසන් වෙච්චි/කරපු ප්‍රේම සම්බන්දතා ආයෙමත් කොහින් හරි කැරකිලා තමන්ගේ ජිවිතේට සම්බන්ධ වෙන.මටත් එහෙම දෙයක් මේ ලගදි සිදුවුනා.විරහාව රස වුනාට තිත්ත නිසා මේ කතාවේ අවසනයට මම කැමතියි.
ReplyDeleteයකඩෝ...සිත්තමීට බ්ලොගයක් තියනවයි කියලත් මම දැනගත්තේ අදනේ. දවසක් අර පොඩ්ඩි ලියපු කතාවක කමෙන්ට් එකක් හැටියටද කොහෙද තව කතාවක් ලියල තියනවා දැකලා මම ඇහුවා එයාට බ්ලොග් එකක් නැද්ද කියලා. එතකොට කියපි නේද කලින් බ්ලොග් එකක් තිබුනය දැන්නම් නැහැය...ඔන්න ඔය වගේ මොකද්ද වැල් වටාරමක්. මේකි තියන්න වටින්නේ නෑ නේ මේ කොරාපු වැඩේට...ෆීලින් බිට්‍රේයිඩ් :-|
ReplyDeleteඕ නෝ, ප්ලීස් ඩෝන්ට් ෆීල් බිට්‍රේයිඩ්. දැට් ෂුඩ් හැව් බීන් අ වෙරි ඕල්ඩ් රිප්ලයි ෆ්‍රොම් මී. අයි ස්ටාර්ටඩ් මයි දිස් සෙකන්ඩ් බ්ලොග් ඉන් නොවෙම්බර් 2012. දෙයාර් වොස් අ ටයිම් බිට්වීන් අයි ඩිසයිඩඩ් ටු ස්ටොප් මයි ෆස්ට් බ්ලොග් (විච් වොස් ඉන් ද සේම් නේම්) ඇන්ඩ් ස්ටාර්ටඩ් ද සෙකන්ඩ්. දැට් වොස් නොට් අ ලයි. :D
Deleteතැන්ක් යූ සයුරි, ෆො බීං සප්‍රයිස්ඩ් ඇන්ඩ් හැපි ටු ක්නෝ දැට් අයි ඇම් ව්‍රයිටිං අ බ්ලොග්. :)