Tuesday, November 8, 2016

455. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 7 - අඩවන් දෑසින් පැවසූ රහස සහ කතාකළ අප දෙනෙත් යුග…


ඡායාරූපයෙහි දැක්වෙනුයේ
දුම්රියපොළක නවතා ඇති දුම්රියකි.

තම මවගේ ආචාරශීලී නොවන නොහික්මුණු ක්‍රියා පිළිවෙල යුවතියගේ සිත රිදවූසේය. ඇය මා දෙස හැරී සිනාසුණාය. "අනේ තෑන්ක්ස් මිස්ටර්...තෑන්ක් යූ සෝ මච්..." ඊට පිළිතුරු ලෙස ඇගේ මව ඇය වෙත නැවී යමක් කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසුවාය. පහත් ස්වරයෙන් කල ඒ තරවටුවෙන් මට ඇසුනේ අවසන් වදන් කිහිපය පමණි. "මම කියන්නෙ නෑ ඔන්න ආයෙ එහෙම....."

"අම්ම මේ මොනව කියනවද මන්ද?..." එසේ තොලමැතුරූ ඇය නොපහන් බැල්මක් මව දෙසට යොමුකොට ඉක්බිති අසුනෙහි හේත්තුවී දෑස් පියාගත්තීය.

මමත් ඔන්න ඔහෙ සීට් එකට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත. කියවන්ට ගත්ත පොත තාම ඔඩොක්කෙ. පිටු දෙක තුනකට වඩා කියෙව්වෙත් නෑ ඒකෙ. මම ඉතිං අර ඇස් පියාගත්තය කිව්වට පියාගෙනම හිටියෙත් නෑ. විඩෙං විඩේ ඇස් බාගෙට ඇරල බැලුව එහෙම බලන එක වෙලාවක මම දැක්ක ඇයත් ඇසි පිය අතරින් යම්තමට මා දිහා බල ඒ එක්කම ඇස් පියාගන්නව. "අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යයි විගසින්" මට ඉබේටම වික්ටර්ගෙ ඒ මන මෝහනීය ගීතය මිමිණුනා.

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: මහගමසේකර
සංගීතය: සෝමදාස ඇල්විටිගල



ටිකකින් ඔන්න කෝච්චියෙ වේගය අඩාල වෙනව දැනුන. මම ඇස් ඇරිය. ඇයත් ඒ එක්කම ඇස් ඇරල මා දිහා බැලුව. මම ඇගේ මව දිහා බැලුව. මව දුම්රිය කවුලුවෙන් ඉවතට නෙත් යොමාගෙන ඉන්නෙ. "මීරිගම" මම හඬ නොනැගෙන විදිහට යුවතියට කිව්ව. 

ඇය හිනාවෙලා "ඔබට ස්තූතියි" කියන්නා වගේ හිස යන්තමට පහත්කරල ඒ එක්කම මවගෙ කණට කරල මොනවද කිව්ව. ඒ කිව්වෙ "ඊලඟට අම්මෙ මීරිගම .... අපි බැහැල ටොයිලට් එකකට ගිහිල්ල එමුද?" කියල වෙන්න ඕන මම දන්නව අනිවාර්යයෙන්ම. ඒ එක්කම මම දැක්ක වික්ටෝරියා මහේසිකාවුන්නාන්සෙ මා දිහා කන්ඩ වගෙ බලනව. මම කෝකටත් සූදානම් පිට හිටියෙ දකුණු ඇහැ සම්පූර්ණයෙන්ම පියාගෙන සහ ඒ එක්කම වම් ඇහැ බාගෙට පියාගෙන. විට්ටෝරියා ඔලුව උස්සනකොටම මම ව.ක්‍රී.ප. වම් ඇහේ ඇරගෙන හිටපු බාගෙත් සුටුස් ගාල වහගත්ත.

ඒ එක්කම කෝච්චිය හිටෙව්ව. අපි හිටපු මැදිරියට ටිකක් වගෙ ඈතට වෙන්ට වැසිකිළිය තිබුනෙ. 

යුවතිය තොමෝ තම මවද සමඟ වහා දුම්රිය මැදිරියෙන් පිටව වේදිකාවට බැස වැසිකිළිය වෙත ලහි ලහියේ ළඟා වූවාය. රයිට් ඔන්න පුතෝ වෙලාව. දැං විට්ටෝරියා වැසිකිළිය ඇතුලට යනවනෙ. සොඳුරු ඕ තොමෝ දොර ලඟ තනියම ඉඳියි. පොඩි ටෝක් එකක් දාල විස්තර අහගන්ට ඔන්න වෙලාව. වෙන මොකවත් ඕන නෑ නම ගම ආගම ඉපදුනු දාතම එතකොට මොකද මේ දවස්වල  කරන්නෙ එහෙම ඔය දරුවා? කියල අහගත්තනං ඇති. ඊට පස්සෙ ඉතිං මුණගැහෙන විදිහක්. පොඩි පහේ කට්ටක් නම් කන්ට වෙනව. මක් කරන්ටද? මේ අද කාලෙ නම් ඔව්ව මොනවද? "රම්බරි කියපං උඹෙ නොම්මරේ, තන්දුරි කමුද නොදා බර බරේ" එහෙම කිව්ව. නොම්මරේ අහගත්ත. සාතිශය සිම්පල්.

මම මේ කියන්නෙ නයින්ටීන් එයිටි එයිට් යුගය ගැන. තේන්නාය? මොබයිල් ආපුම අලුත. බ්‍රේක් අල්ලන්නෙ නැතුව හුන්නස්ගිරිය කන්දෙ පල්ලෙහට රිවස් එකේ කඩාගෙන එන බෙන්ස් නයිලෝන් ලොරි තඩියක් නවත්තන්ට අඩේකට තිබ්බැහැකි කිසි අවුලක් නැතුව ඒ කාලෙ තිබ්බ මොබයිල් ෆෝන් එකක්. මොබයිල් කියල කියන්ට පුලුවන්දත් නම් මන්ද. (බෙන්ස් නයිලෝන් ලොරි කියල පොදු මහජනයා කිව්වෙ Mercedes-Benz 911 මොඩල් එකට)

මම හෙමීට ජනේලෙං එබිල බැලුව. හරිනෙ වැඩේ. මහේසිකාවෝ පෙනෙන්නට නැත. සිරුරු කිස පිණිස වැසිකිළිය තුලට වැඩම කලා විය යුතුය. ඒ සොඳුරු වූ වුවනින් යුතු යුවතිය තොමෝ හුදකලාවම වැසිකිළි දොරටුව අසළ සිටින්නාහ.

"Now or never my dear" I said to myself and jumped onto the platform like that guy Hanuman jumped from India to Sri Lanka long ago in that ancient classic Ramayana.

එහෙම ප්ලැට්ෆෝම් එකට පැනල කෙලින්ම යන්ට පිටත් වුනා ඒ යුවතිය තොමෝ ඉන්න තැනට. පිටත් වුනා තමයි. අඩි දහයක් යන්ට වුනේ නෑ. මෙන්න වික්ටෝරියා එලියට වැඩම කරපි ටොයිලට් එකෙං. එළියට ආවෙම මේ පැත්ත බලාගෙන. බඩු මාට්ටු කියන්නෙ ආයෙ නෑ ඔය කතාවට කියන්නෙ අතේ කෝට් කියන්නෙ අන්න එහෙම. Caught red handed. ඉන්ගිරිස් ඔලිං කිව්වොත් අන්න එහෙමයි.

ඔවැනි දරුණු අවදානම් අවස්ථාවන්හිදී සම්මා සතියෙන් එනම් යහපත් සිහියෙන් කටයුතු කල යුතුය. "මහණෙනි සෑම කල්හිමැ එලඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කල මැන" අපේ බුදු හාමුදුරුවොත් කිව්වෙ අන්න එහෙමයි. මම ඉතිං මහණෙක්ම නොවුනට එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන්ට ආය මොකෝ තහනමක්ය කියලය? 

එසේ වූ හෙයින් මම එක එල්ලේ ඉද්ද ගැසුවාසේ ඒ යුවතිය වෙතට යොමුවූ මගේ ගමන් මාර්ගය ගමනේ යෙදෙන අතරම ක්‍රමයෙන් දක්ෂිණාවෘතව අපගමනය කරන්නට වීමි.

(සම්මත අපගමනය එහෙම මතකයි නේද? ඔව්ව ඉගෙන ගත්තටම වැඩක් නෑ. එදිනෙදා ජීවිතේදි ප්‍රයෝගිකව යොදාගන්ට ඕන. විශේෂයෙන්ම මම මේ විස්තර කරන සිනාරියෝ එක වගෙ ජීවිතයත් මරණයත් අතර අර්බුදවලින් ගැලවෙන්ට. (Utilizing what you learned at school in Life and death situations) ඔහොම සිංහලෙං වාක්‍යයක් ලියල ඒකම ආයෙ වරහන් ඇතුලෙ නොහොත් විදින් බ්‍රැකට්ස් තුල ඉංගිරිසියෙන් ආපහු ලියන කප් ගහපු ආරක්සක වාර්තාකාර ඔස්තාර් කෙනෙක් හිටිය අපෙ මහරජාගෙ පාලන කාලය තුල. තාමත් මනුස්සය ආරක්සක වාර්තා කියල පට්ටන්දර හෑලි ටිකක් නං ඔන්න ඔහෙ ලියනවද කොහෙද. හැබැයි දැං අර විදින් බ්‍රැකට්ස් තුල ලියන ඉංගිරිස් කෑලි හැලිල. මම හිතන්නෙ දැං සුද්දෝ මිනිහගෙ සිටුවේසං රිපෝට් එක කියවන්නෙ නැතුං ඇති. හරි ඒ පිස්සු හුටං ගැන ඒ ඇති. ආයම වෙලාවක මිනිහ ගැන පෝස්ට් එකක්ම ලියන්නංකො හාද? හාද කිව්වම අපූරු සිංදුවක් මතක් වුනා. හාද වෙලා යමං පණේ සිරි සැප දෙඤ්ඤයි නුඹට රේන්ද රෙදියි පට කම්බයි අදිඤ්ඤ දෙඤ්ඤයි ) 

Ok, now back to Mirigama railway station , near the public toilet to be exact….

ඒ සමඟම ඇය වෙත එක එල්ලේ යොමුව තිබූ මගේ දෙනෙත රාත්‍රි යාමයෙහි මහනුවර- මහියංගණය දහඅට වංගු මාර්ගයේ ධාවනය වන බස් රථයක ප්‍රධාන විදුලි පහන් වංගුවක් ගනිද්දී ක්‍රමයෙන් ඉවතට හැරෙන්නාක් මෙන් ඉවතට හැරෙන්නට විය.

දහඅට වංගු පාර කියන්නෙ A 26 මාර්ගය. දහඅට වංගු මාර්ගය කියල පුරුද්දට කිව්වට දැං ඇත්තටම ඒකෙ තියනවයි කියන්නෙ වංගු දාහතයි. අන්තිම වංගුවට එනකොට පාර හදන්ට වෙන් කරපු සල්ලි ඉවර වුනාලු. අධීක්ෂණ නිලදාරීනුයි කොන්තරත් කාරයොයි එකතුවෙලා වංගු ගැහුවද දන්නෙත් නෑ. කොහොම හරි සල්ලි ඉවරයි. ඒ ගමන කරල තියෙන්නෙ අන්තිම වංගුව කෙලින් කරල හැදුවලු. එහෙම උනාම වියදම අඩුයිනෙ. ඒ හින්ද යාන්තමට ජාම් බේරගත්තයි කියලයි කියන්නෙ.

මහියංගණය-මහනුවර 18 වංගු මාර්ගය
ඡායාරූපය දහ අට වංගුව බ්ලොග් අඩවියෙන්

දහ අට වංගුව ගැන අපූරු ගීතයක් මතක් කරල තිබ්බ නිර්නාමික සහෘදයෙක් හෝ සහෘදිනියක් (හරි නේද වචනෙ?) 

ඒ ගීතය කලින් අහල තිබ්බට මට මතක් වුනේ එතුමා හෝ එතුමිය කිව්වට පස්සෙ. එහෙනම් ඔබට බොහෝම ස්තූතියි....:)

කඳු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ

ගීත රචනය - අශෝක කෝවිලගේ
සංගීතය සහ ගායනය - කුමා අත්තනායක



එසේ ක්‍රමයෙන් ඉවතට හැරුනු මගේ දෙනෙතට ලක්වූයේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනා කවුළුව අසල බිත්තියටම අල්ලා ඉදිකොට තිබූ පුවත්පත් සඟරා ආදිය විකුණන කුඩා කුටියකි. බොහෝ දුම්රිය ස්ථානයන් ඇතුලත වේදිකාවන්හි මෙවන් පුවත්පත් සඟරා විකුණන වෙළඳ කුටි ඔබ නිත්‍ය දුම්රිය මගියකු නම් ඔබට සුපුරුදු දසුනක් බව මට නිසැකය.

පුවත්පත් අලෙවි කුටිය වෙතට පියවර දෙකකින් ලඟාවූ මම එහි විකිණීම උදෙසා එල්ලා තිබූ පුවත්පතක් ගෙන කියවන්නට වීමි. එම පුවත්පත කුමක්ද යන්න පිළිබඳව කිසිදු මතකයක් නොමැති වුවද ප්‍රධාන පුවත වූයේ ජවිපෙ විසින් පනවන ලද නිල නොවන ඇඳිරි නීතිය කරණ කොටගෙන ජන ජීවිතය අඩාල වීමක් පිළිබඳව බව වසර තිහකට ආසන්න කාලයක් ගතවීද මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මට කෙසේවත් සිතාගත නොහැක.

බොහෝවිට ඒ පුරා දෙවසරකට ආසන්න කාලයක් මුලු මහත් දිවයිනම අරාජිකත්වයට පත්කල හිරිමල් යොවුන් තරුණ/තරුණියන් මහමඟ අයින් ඔස්සේ බල්ලන් බළලුන් මෙන් මරාදැමුණු ශෝචනීය අඳුරු කාල පරිච්ඡේදයක ආරම්භය පිළිබඳව නිකුත්වුනු සංඥාවක් වැන්නක් වීම නිසාම ඒ පිළිබඳ මතකය මගේ සිතෙහි නොමැකෙන ලෙස සටහන්ව තිබෙනු විය හැක.

"මහත්තය කරුණා කරල පත්තරේ බලනවනම් ඉස්සෙල්ල සල්ලි දීල ඉන්න" උඩුකය මේස් බැනියමකින් පමණක් වසාගෙන හුන් මැදිවියට ආසන්න පත්තර වෙළෙඳා තරමක් උස් හඬින් පැවසීය.

"හරි හලෝ දෙන්නං දෙන්නං ඉන්නව පොඩ්ඩක්" මම කලිසමේ පසුපස සාක්කුවෙන් මුදල් පසුම්බිය පිටතට ගන්නා අතර වැසිකිළියේ දොරටුව දෙසට යම්තමට හිස හරවා නෙත් යොමු කළෙමි.

ඒ වනවිටත් වික්ටෝරියා මහේසිකා තොමෝ තම දියණියද සමඟ ආපසු වැසිකිළියට ඇතුලු වෙමින් සිටියාය. තම මෑණියන් නොපහන් වතින් යුතුව පහත් හඬින් දියණිය අමතා කුමක් දෝ පවසනු හා ඒ සමඟම යුවතිය ද ඊට පිළිතුරු වශයෙන් යමක් පවසනු පත්තර වෙළෙඳා ඉතිරි මුදල් දෙන තෙක් පොරොත්තුව සිටින අතර එදෙසට යම්තමින් නෙත් යොමුකල මම දුටුවෙමි.

සියළු බලාපොරොත්තු කඩව යලි දුම් රියට ගොඩවුනු මම අවම වශයෙන් ඇගේ නම හෝ දැනගැන්මට නොහැකිවුවහොත් කුමක් කරන්නේද යන්න පිළිබඳව කල්පනා කරන්නට වූයෙමි. ඇගේ මවගේ සැඩපරුෂ හැසිරීම් රටාව සහ ගතිගුණ අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මට බැණ වැදීමට පවා නොපසුබටවන බව නිසැකවම දත් හෙයින් එවන් කිසිදු අවස්ථාවක් ඇයට ලබා නොදීමට මම ඉටාගත්තෙමි.

"කෙල්ල නම් ලස්සනයි තමයි. ඒ වගේමයි බොරු සබකෝළ, ලැජ්ජාව එහෙම මොකවත් නෑ. මම කැමතිත් එහෙම කෙනෙකුට. ඒත් එහෙමෙයි කියල නිස්කාරණේ පස් පඩංගුවෙ බැණුං අහන්ට උනොත් එහෙම. ෂෙක්. ඉඳල ඕන නෑ. එක්කොත් ඔන්න ඔහෙ අම්මටයි දුවටයි කුද ගහගන්ටෙයි කියල නිකං ඉන්නව. වික්ටෝරියා මහේසිකාව හිතාගෙන ඉන්නෙ උන්දැගෙ දූ සිඟිත්ත ඩයනා කුමාරි කියල වෙන්ට ඇති හුහ්...ආපුදෙන්කො..ඒ පැත්තවත් නොබල ජනේලෙං එළිය බලාගෙන ඉන්නව. දෙය්යම්පල්ල. අම්මල දූල ඩබල දන්නෙ නෑ මගෙ හැටි..." මම එලෙස සිහින් හඬින් මටම සපථ කොට ගතිමි.

දුම්රිය පිටත්වීමට මොහොතකට පෙර මව සහ දියණිය යලි දුම්රියට ගොඩවූවෝය. ඔවුන් දුම්රියට ගොඩවීමට පෙර වේදිකාවෙහි මෙදෙසට පැමිණෙනු දුටු වහාම මම කවුළුවෙන් පිටතට දෑස් යොමු කොට ගතිමි.

ඈ දෙස නොබැලීමට මසිතේ වූ අධිෂ්ඨානය එළෙසම පවත්වා ගැනීමට උපකාරීවන්නට මගේ ඉෂ්ඨ දේවතාවුන් කටයුතු කල සෙයකි. ඇය හිඳ සිටියේ මගේ අසුනට එක එල්ලේ ඉදිරි අසුනේ බව මා පැවසූ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙවර දුම්රියට ගොඩවූ වහාම ඇය පසුකොට වහා පැමිණි ඇගේ මෑණියෝ ඒ අසුනෙහි හිඳ ගත්තීය. මේ හදිසි ස්ථාන මාරුව පිළිබඳව ඇගේ මෑණියන් ඇයට දැනුම් දී ඇති බව කිසිදු විරෝධයක් හෝ අවම වශයෙන් නොමනාපය හඟවන බැල්මකින් හෝ තොරව ඇය යාබද අසුනේ හිඳගත් අයුරින් පැහැදිලි විය.

ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කව්ළුවෙන් ඉවත බලා සිටිනා මම ඇගේ ඉරියව් පවා මෙතරම් සවිස්තරව දැන සිටිනුයේ කෙළෙසකද යන්න මගෙන් නොවිමසන්න. එවන් පැණයන්ට පිළිතුරු නොදෙන්නෙමි.

දුම්රිය මහනුවර බලා වේගයෙන් දිවෙයි. තව ස්වල්ප වේලාවකින් එය අඹේපුස්ස සහ අලව්ව ද පසුකොට පොල්ගහවෙලට ලඟාවනු ඇත. ඉන්පසු රඹුක්කන, කඩුගන්නාව ඉන්පසු පිළිමතලාව. මම පිළිමතලාවේදී දුම්රියෙන් බැසිය යුතුය.

එසේ හෙයින් කොතෙකුත් දුම්රිය කවුලුවෙන් ඉවත බලා සිටිය නොහැක. කිසිදා නොදුටු අපූර්ව වස්තූන් දෙස තුෂ්ණිම්භූතව බලා සිටින්නකු මෙන් දුම්රිය පසුකොට පසුපසට වේගයෙන් දිවයන බෝක්කු, පාළම්, ලියදි, කමත්, ළිං සහ පොකුණු දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය හැක්කේ කාටද? මම සෙමෙන් මීරිගම දුම්රියපොල වේදිකාවෙන් මිලදීගත් පුවත්පත දිගහැර ගතිමි. එදෙස ස්වල්ප වේලාවක් බලා සිට සෙමෙන් දෑස ඔසවා ඇගේ මව දෙස නෙත් යොමු කලෙමි. ඕ තොමෝ අසුනෙහි හොඳින් දිග ඇදී දෙනෙත් තරව පියාගත්වනම සිටින්නීය.

ඇය සත්‍ය වශයෙන්ම නිදන්නේද නැතහොත් ඒ නින්ද හුදු රඟපෑමක්ද යන්න මම නොදන්නෙමි. එසේ දැනගත හැකි ආකාරයක්ද නැත. හෙහ්..හේ..එසේ දැනගත හැකි එක් ආකාරයක් ඇත. එහෙත් ඒ පියවර අනුගමනය කිරීම කෙසේවත් මගේ ශරීර සෞඛ්‍යයට ගුණදායක නොවිය හැක. එබැවින් මම එම පියවර අත්හදාබැලීම පිළිබඳ අදහස මසිතින් එකහෙලාම බැහැර කොට ඇගේ මෑණියන් නිදන අයුරින් රඟපෑමක යෙදෙන්නේද යන අවදානම ගනිමින් පුවත්පත දිගහැරගත්වනම ඊට ඉහළින් ඒ සොඳුරු යුවතිය දෙස සෙමෙන් නෙත් යොමුකලෙමි.

"මාප්‍රිය සබඳිනි මාගේ මේ ව්‍යායාමය කිසිසේත් උදර පෝෂණය උදෙසා නොවන්නේය. ඒ හුදෙක් රට දැය සමයෙහි අභිවෘද්ධිය උදෙසාම වන්නේය" 

එසේ සපථ කොට ගනිමින් මම ඇය දෙස හිස හරවා බැලීමි. හරියටම ඒ මොහොතේම මා ඈ දෙස නෙත් යොමු කරනු සයවනේන්ද්‍රියකින් දැනුනක් මෙන් ඇයද කියවමින් හුන් පොතින් දෙනෙත් ඔසොවා මා දෙස බැලුවාය. අප එකිනෙකාගේ දෙනෙත් දෙස කාලාන්තරයක් බලා සිටින්නට ඇත. දෙනෙතින් කතා කල හැකිබව මම එතෙක් විශ්වාස නොකළෙමි. එහෙත් ඒ මොහොතේ සිට මා ප්‍රිය මිතුර / මිතුරිය නෙත්වලින් කතා කල හැකිබව පමණක් නොව ජීවිත කාලයක් මතකයේ රැඳී පවතින අයුරු කවි ලියන්නටද සොඳුරු වූ නෙත් සඟලකට හැකිබැව් මම එකහෙලා විශ්වාස කරන්නෙමි.

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා..කලා...

කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
නොම විමසා පෙම ඉඟිමැරුවා..
සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
වෙන්වූවා අප සුසුම් දරා...

පිපුණු මලක හැඩ...

මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා...

පිපුණු මලක හැඩ...

පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර
සංගීතය සහ ගායනය : ශාලිත අබේවික්‍රම


66 comments:

  1. අද සින්දු දෙකනෙ අෆ්ෆා.... වයසට යනකොට පෝස්ට් එක කොටවෙලා සින්දුත් අඩු වෙනවද ?

    දැන් ඔය "ව.ක්‍රී.ප." කියලා තියෙන්නේ "වහාම ක්‍රියාත්මකවන පරිදි" කියන එකද ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      සිංදු දෙකක් මදිද බොල එක පෝස්ට් එහෙකට?...:)

      යස් ව.ක්‍රී.ප. යනු වහාම ක්‍රියාත්මක වන පරිදි යන්නයි. W.I.E (With Immediate Effect) රා.සේ.පි ත් එහෙම එකක්. රාජ්‍ය සේවය පිණිසයි. ඒ නමින් ෆිල්ම් එකකුත් ආවා.සනත් ගුණතිලක හිටිය වගෙ මතකයි ඒකෙ.

      ස.සු.කො.බ.කො. දන්නවද? සහකාර සුරාබදු කොමසාරිස් - බටහිර කොට්ඨාශය...:)

      Delete
    2. වි.සේ.ස.ස.M.P.C.S. මතකද.

      Delete
    3. අරුණ,

      අපොයි මොකද මතක නැත්තෙ? ඔය වි.සේ.ස.ස. වලට තිබ්බෙ මචං මතකද නිල් පාට ඉසුසු ලොරි. මම හිතන්නෙ අර කණේ මයිල් මොඩල් එක කිව්වෙ අන්න ඒ ජාතියෙ එව්ව.පොලිෂ් කරපු තේක්ක ලී බොඩිය. බඳේ භාෂා තුනෙන්ම වි.සේස.ස. සමිතිය කියල ඇඳල. අර හතර පස් දෙනෙක් කොඩි උස්සං යන සමූපකාර ලෝගෝ එක අන්තිමටම.

      සමූපකාරෙං තමයි ලංකාවෙ ඉස්සෙල්ලම සුපර් මාර්කට් දැම්මෙ. ඒ 1974 විතර මට මතක විදිහට. එව්වට කිව්වෙ සමූපකාර විශිෂ්ඨ සේවාව කියල.

      Delete
    4. Thanks Aruna,

      සාමය සමඟිය පතුරාලා,
      කුලභේදය XXXX දුරලාලා,
      සමූපකාරය නංවාලා,
      අපි හැදෙමු වැඩෙමු එක්සත්වීලා

      අන්න එහෙම ගීතයක් නම් මට යන්තමට වගෙ මතකයි...:)

      PS - අර XXXX තියෙන්නෙ කුණුහබ්බයක් එහෙම නෙවෙයි හොඳද? එතන වචනෙ මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ

      Delete
    5. අ.ග්‍ර.ප්‍ර.උ.ම.ලේ. දන්නවද?

      අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම්.

      Delete
    6. විචා,

      අ.ක.ස.ඉ.ක. - අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

      Delete
    7. //රාජ්‍ය සේවය පිණිසයි. ඒ නමින් ෆිල්ම් එකකුත් ආවා.සනත් ගුණතිලක හිටිය වගෙ මතකයි ඒකෙ.//

      සනත් ගුණතිලක,ගීතා කුමාරසිංහ,කාංචනා මෙන්ඩිස් එහෙම හිටියා.නිරෝෂා විරාජිනී ගයනා කරන "සඳ තනියම රෑ තුන්යම" සින්දුවත් ඒ චිත්‍රපටියේ.ගීතයේ පද රචනාව බණ්ඩාර ඇහිලියගොඩ.

      Delete
  2. නුවරට යනකොට භීෂණය ඉවර වෙලා, ප්‍රේමෙ බ්ලාස්ට් වෙලා සැටලයිට්ගෙ ආන්ඩුව විතර වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්... මං හිතන්නෙ ඒ වෙනකොට අප්පච්චිත් රජ වෙලා ඉඳියි.

      Delete
    2. එච්චර ඉක්මනට වෙන්ඩ බෑ, අර 2020 දි හදනවයි කියන JVP ආණ්ඩුවෙන් අපේ ඉල්ලීම් කියල , මේ යෝධයගෙ "ඉලාස්ටික් පෝස්ට් වහාම නවතා දියවු" කියල පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනිහින් නවත්තගමු

      Delete
    3. ඇනෝ,

      /නුවරට යනකොට භීෂණය ඉවර වෙලා.../

      නුවරට නොයමි. පිළිමතලාවෙන් බසිමි....:)

      Delete
    4. Prasanna,

      /හැක්.. හැක්... මං හිතන්නෙ ඒ වෙනකොට අප්පච්චිත් රජ වෙලා ඉඳියි./

      අප්පච්චී අප්පච්චී ඔබයි අපේ අප්පච්චී යකෝ එහෙම කියල සිංදුවක් තියනව කියල මම අදයි දන්නෙ. අර 18 සන්නිය බ්ලොග් එකේ ට්‍රම්පච්චී පෝස්ට් එක කියෙව්වමයි මම එහෙම එකක් දැන ගත්තෙ.

      අප්පච්චි හුප්පච්චි කියල මරාට කිව්වට මම හිතුවෙ අර සට්ටඹියා ( ජැක්සන් ) එක පාරක් අප්පච්චි කියපු හින්දයි එහෙම කියන්නෙ කියල...හෙහ්,හෙහ්,...මට හිතෙනව ඒ තනුවට වෙන සිංදුවක් ලියන්ට...හෙහ්,හෙහ්,

      Delete
    5. කම්මල,

      2020 දි ජේ.වී.පී. ආණ්ඩුවක් හදනවයි කියල උං කියනවද බං?

      උඹේ අර ඩබල් කමෙන්ට්ස් ලෙඩේ දැං හොඳයි වගේ නේද? අනේ වාසනාවන්..රතනත්තරේ පිහිටයි!සියළු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාවයි!!

      Delete
  3. රවී ! රවී ! රවී !. ඔබතුමාටම ආවේණික chasing girls ක්‍රමය ඔබතුමාටම ආවේණික ලිවීමේ ශෛලියෙන්. උපරිමයෙන් රස වින්ඳා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. Delivery to the following recipient failed permanently:

      randilXXX@gmail.com

      Technical details of permanent failure:
      Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain gmail.com by gmail-smtp-in.l.google.com. [2607:f8b0:400c:c01::1a].

      The error that the other server returned was:
      452- The email account that you tried to reach is over quota. Please direct
      452- the recipient to
      452 https://support.google.com/mail/?p=OverQuotaTemp j23si731371uaa.103 - gsmtp

      Delete
    2. රන්දිකා නෝන ඉන්නෙ බුකියෙ. එතෙන්ට ගිහිල්ල මේක දැම්මනං හරි.

      Delete
    3. Ian,

      /උපරිමයෙන් රස වින්ඳා. බොහොම ස්තූතියි./

      Thanks so much Ian..:)

      A skirt chaser eh? that's how you think of me?...Heh, heh

      Delete
    4. Ian,

      /Delivery to the following recipient failed permanently:/

      මමත් ලොකු මැඩම්ට ඉයන්ගෙ පණිවිඩේ කියන්ට ට්‍රයි කලා. මේ ටිකේම ඔන් ලයින් ඉන්නව දැක්කෙ නෑ.

      උන්දැගෙ වෙලා තියෙන්නෙ ඔය එකවුන්ට් එක ඕවලෝඩ් වෙලා.

      ඔය එහෙම වෙච්චි පස්වෙනි නැත්තං හයවෙනි එකවුන්ට් එක.ඔය එකවුන්ට් එකේ තියනවලු ඊ මේල් විසිතුන් බිලියන එකසිය දහ අටදහස් හාරසිය හැත්තෑ පහක්.සිංහල ගණිත ක්‍රමයෙන් කිව්වොත් කුත නහුත හතරයි දශම පහක්.

      ගූගල් එකෙන් මුන්දැව හොයනවලු ගිනිකසයො වගෙ. තෑග්ගක් දෙන්ටද නැත්තං කුදලගෙන ගිහිල්ල හිරේ දාන්ටද කියල හරියටම දන්නෙ නැති හින්ද මේ දවස්වල ඩවුන් ගිහිල්ලයි ඉන්නව කියන්නෙ. ඒකයි ඔන් ලයින් වුනත් නැත්තෙ මයෙ හිතේ...:)

      Delete
  4. JOHN DOE දිවයින නේද.....

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඔව් ඔව් දිවයිනේ පොර තමයි( Yes, yes the island man ) ඒ කාලෙ ගොට්ටා වුනත් ආරක්සක උපදෙස් ගත්තෙ මිනිහගෙන්ය කියනවනෙ ( That time gottath security service that man)

      මනුස්සය ඒ කාලෙ දිවයිනේ වැඩට ආවයි කියන්නෙත් බෆල් එකක.( Island coming work inside buffel) කැමා කිට් එක ගහල ටී 56 ක් එහෙමත් කරේ එල්ලගෙනලු ඩෙස්ක් එකේ වාඩි වෙලා ලියනවයි කියන්නෙ ( Writing desk camouflage kit and T 56 hanging ) එක චැප්ටර් එකක් ලියල එක පාරට ටී 56 අතර අරගෙන හතර වටේටම තියනවලු බර්ස්ට් එකක්. (One chapter wrote T 56 hand four sides burst) ඊට පස්සෙ ආයම වාඩි වෙලා ලියනවලු.( Then sit down write) ...ඉඳපං..පෝස්ට් එකක්ම ලියන්නං මිනිහා ගැන (You sit down post writing about man )

      Delete
    2. අරූ,

      ඕකා මැට්ටා කියල ආය වෙන සාක්කි මොකටද? අර ෂර්ලොක් හෝම්ස්ගෙ පොත් පරිවර්තනය කරල හෙණ වැඩකාරයෙක් වෙල ඉන්න පරිවර්තකය ඊට එහා. මම මිනිහගෙ එකම පොතයි කියෙව්වෙ. The Bohemian කියන වචනෙ මිනිහ පරිවර්තනය කරල තිබ්බෙ බොහීමියානු ජාතිකයා කියල. ඒ වචනෙට තේරුම් දෙකක් තියනවයි කියල මනුස්සය දන්නෙ නෑ. එතනිම්ම මට එයයිගෙ පරිවර්තන එපා වුනා...:)

      පලි - බොහීමියානුවා කතාව උඹ බලනව නේද? මටනම් මාස දෙකකින් විතර බලන්ට බැරිවුනා.ඔක්කොම කොටස් එක පාර බලන්ට ඕන වීක් එන්ඩ් එකක් අල්ලලා

      Delete
    3. ඔය හාදය ගැන ලියලා කාලේ නාස්ති කරගන්න එපා බං.

      බොහිමියානුවා ඉවරවුනා. මගේ හිත්ගත් ටෙලියක්. සජිත් අනුත්තර, උමායා තිලකරත්න, ප්‍රියන්ත සිරිකුමාර, අනුර බන්ඩාර රාජගුරු, ලූශන්, මල්කාන්ති,උදයන්ති, ජෙහාන් අප්පුහාමි ඇතුලු නඩයම හොඳ සපෝට් එකක් දෙනවා නාට්‍යයට. සිවගුරුනාදන්ගේ වැඩක් කියලා මට හිතාගන්න බැරිවුනා. උදයන්ති කුලතුංග දක්ෂ නිලියක්.

      Delete
    4. අරුණ,

      ඇයි බං මැල්කම් මචාඩෝ?...මචාඩෝ කෑගල්ලෙ. මම නැවතිල හිටියනෙ අර උඹෙ ක්ලාස්මේට් P.C. ලගෙ ගෙදර. එතකොට එතන එහා ගෙදර මැල්කම් මචාඩෝල හිටියෙ. අපිට වැඩිය අවුරුදු දෙකක් වගෙ වැඩිමල් මම හිතන්නෙ.

      අර කෙල්ලගෙ නම උමායා නෙවෙයි උමාලි..උමාලි තිලකරත්න...:)

      Delete
    5. ඔව් උමායා තමයි. ලින්ටන් මාටින්, මැල්කම් මචාඩො (මෑතක ටෙලි නාට්ටි දෙකක රඟපෑවා).ශෝන් මැකල්වි මතකද. ඒකාධිපති නාට්‍යයේ පොඩි කොලුවා..(චරිතය මතක නැහැ.).

      Delete
    6. ෂේන් මැකෙල්වී මට මතක විදිහට දක්ෂ කවියෙක්. හමුදාවෙ ලෙෆ්ටිනන්ට් කෙනෙක්. යුද බිමේදී ඔහු මියගියා.

      Delete
    7. මචං මම ආපහු උමායා කියලා ලියලා නේ. උමායා කෙනෙක්ම ඔලුවට එනවා.

      Delete
  5. [මඟතොට රැදි නෙත් දහක් වසා
    මතකද අපනෙත් කතා..කලා...

    කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
    නොම විමසා පෙම ඉඟිමැරුවා..]

    හෙහ් හෙහ් හෙහ්
    මරු නේද මෙහෙම සීන්.. ජිවිත කාලයක් කතා කරපු දේවල් වලට වඩා මතක හිටින්නේ මෙන්න මේ වගේ ක්ෂණයක් පවතින සිද්දි..

    ReplyDelete
    Replies
    1. Pathum,

      සඳ බිඳකුදු නොමැති ගනඳුරු රැයක
      පෑළදිග අහසේ සිතිජ ඉම අබියස
      මොහොතකට දැල්වී හාත්පස එළියකොට
      දැවී නිවීගිය උල්කාවක සැණෙළිය මෙන්
      ඔබ මා හමුවූ ඒ එක් මොහොත
      සදාකල් මහද රැඳී තිබෙනු නිසැකය.

      Delete
  6. චහ් අඹේපුස්සට යනකම් සින්දු දෙකයි. වැඩේ පාඩුයි.

    ReplyDelete
    Replies
    1. මල්,

      උඹ හිතුවද මම මේ කෝච්චියෙ සිංදු කියල සල්ලි ඉල්ලනව හරි මොකක් හරි කියල?

      Delete
    2. යකෝ මම හිතුවෙම එහෙමයි කියලා. හැක් හැක්

      Delete
  7. ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කව්ළුවෙන් ඉවත බලා සිටිනා මම ඇගේ ඉරියව් පවා මෙතරම් සවිස්තරව දැන සිටිනුයේ කෙළෙසකද?

    ඇස්දෙක විතරයිනෙ ඉවත තියෙන්නෙ. අනික් සබ්බ සකලමනා සැට් එකම තියෙන්නෙ ඉස්සරහ සීට් එකට ෆෝකස් කරලනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ සබ්බ සකල මනාවම ෆෝකස් කරල තිබ්බට වැඩක් තියද බොල එව්වයිං ආය පේන එකක්ය?

      Delete
  8. අර හනුම ලංකාවට පනිනව වගේ කෝච්චියෙන් පැන්නෙ නැට්ටට ගිනි තියාගෙනද. එහෙම උනනාං අර අම්මණ්ඩිගෙන් ලැට් එකේ වතුර පාරක් කන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කොහොමත් වතුර පාරක් කන්ට වෙනව මම උපක්‍රමශීලීව පහු බැස්සෙ නැත්තං...:)

      Delete
  9. මේ ලිපියනම් රහයි. ප්‍රින්ට් අවුට් එකකුත් අරන් කෑව.

    ReplyDelete
    Replies
    1. චුයිංගං වගේ තියෙන්න ඇති. හැක්..

      Delete
    2. ඇනෝ,

      අවුලක් නෑ කඩදාසි දිරවනව. හැබැයි පිටවෙද්දි ටිකක් කේස්. සෙලියුලෝස් වැඩි හින්ද මල බද්ධය හැදෙන්ට ඉඩ තියනව.

      කෝකටත් හොඳ දිග බාර් සබං කෑල්ලක් (එහෙම එව්ව දැං තියනවද කියල නම් නොදනිමි) උල් කරල රෙඩි පිට තියාගං.

      මම කියවපු රහස් ඔත්තුකරුවෙකුගෙ ස්වයං ලිඛිත චරිතාපදානයක තිබ්බ මිනිහ චෙක් පොයින්ට් එකකදි හොරාගත්තු රහස් ලේඛන වගයක් එක්ක අහුවෙන්ට යද්දි ඒ ඔක්කොම කාල අහුවෙන්නෙ නැතුව බේරෙනව.ඒත් මිනිහට දවස් තුනක් බොග වැඩ කරන්නෙ නෑ.

      Delete
  10. ඔබ... දුටු ඒ මුල් දිනේ
    සිදුවූ සැම දේ...
    තවමත් මගෙ මතකයේහි රැඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, මතකයේ රැඳෙන්නෙ නිකං නෙමෙයි. අපිට නොකිව්වට අර වික්ටෝරියා මහේසිකාවුන්නාන්සෙගෙන් හොඳ පාරක් මෙයාට ලැබිල තියෙනව වගෙයි.

      Delete
    2. ඒ වගේ ඒ වගේ... පුදුම තරහක් නෙව ඒ කාන්තාව කෙරේ පතුරුවන්නෙ.

      Delete
    3. ගස් සහ ප්‍රසන්න,

      නෑ බං ඇත්තම කිව්වොත් ගැහුවෙ කරේ නම් නෑ. ඒත් උන්දැ වික්ටෝරියා නෙවෙයි කාලි යස්සනී වගෙ. මාර බඩුවක්. මට ඇත්තටම අර කෙල්ල ගැන ලොකු දුකක් හිතුන.

      Delete
  11. රවී...අඩවන් දෑසින් ෆිල්ම් සෝන්ග් එකක් නේද..වෙස්ගත්තෝ ෆිල්ම් එක. මම බැලුවා මතකයි. වසන්ත ඔබේසේකරගේ පලමු චිත්‍රපටිය. සෝමසිරි දෙහිපිටිය හිටියා මතකයි. සෝමදාස ඇල්විටිගලයන් චිත්‍රපටවලට හැදු හොඳ ගීත තියෙනවා.

    ශාලිත අබේවික්‍රමත් මම කැමති ගායකයෙක්. මේ ගීතය ලියූ විපුල ධර්මප්‍රියත් වියෝ වුනා. ලස්සන ගීත ලියා තිබෙනවා.ශාලිතත් එක්කම ෆීල්ඩ් එකට ආවා හොඳ ගායකයෙක් ලින්ටන් මාටිස්/මාටින් කියලා. මේ දෙන්නා එකට ආවේ. අමරදේවගේ ගීත ගායනයටත් හරි දක්ෂයි. පස්සේ එයා ගැන අහන්න ලැබුනේ නැහැ. කාටවත් මතකද...

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඔව් අඩවන් දෑසින් ගීතය වෙස් ගත්තෝ ෆිල්ම් එකේ තමයි වෙස් ගත්තෝ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ කොපියක්ය කියලත් මට මතකයි ඒ දවස්වල චෝදනාවක් තිබ්බ.

      Delete
  12. //ඒ එක්කම කෝච්චිය හිටෙව්ව. //

    පැල වෙලා ඇති එහෙනම් මේ වෙනකොට... :D

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පැලවෙන්න නම් ඉන්දන්න ඕන....:)

      Delete
  13. දහ අට ව0ගුවටත් දාන්න තිබුන... මරු සින්දුවක් තියෙන්නෙ කුමා අත්තනායක ගෙ ..
    https://www.youtube.com/watch?v=orgCJXA7sFE

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොහොම ස්තූතියි. කලින් අහල තිබ්බට මට ඔබ කියනකල් ඒගීතය මතකයට ආවෙම නෑ.ඔන්න වීඩියෝ එක පෝස්ට් එකටම ඇතුලත් කලා...Thanks again....:)

      Delete
  14. "...දේහිතෙහි හිරවී ඇතිතුරු පමනයි
    අපදෙදෙනාගේ කතාව ලස්සන.."

    ලොව නිසසලවී නවතින මොහොතේ
    යටිසිත් මතුකොට සිනහ සලා...

    https://www.youtube.com/watch?v=aZE0CMTS6b4

    තවත් හොර ලවු එකක් හිටං

    ReplyDelete
    Replies
    1. X-Porter,

      යස් එහෙම කියන්නත් පුලුවන් තමයි....:)

      Delete
  15. බෙන්ස් නයිලෝන් කිව්වම මතක් වුනේ Porsche වලත් නයිලෝන් එකක් තියෙනවට අමතරව, අර ට්වින් ටවර් එකට ගැහුවෙත් නයිලෝන් නේද කියලා

    ReplyDelete
    Replies
    1. මරු ඩූඩ්. ලෝක ඉතිහාසෙ තුච්ඡතම ප්‍රහාරය මොකක්ද කියලා මගෙන් ඇහුවොත් කියන්නේ නයිලෝන් කියලා.

      Delete
    2. හෙන්රි,

      ඇත්තටම ට්වින් ටවර් ප්‍රහාරය වුනෙත් නයිලෝන් කියල මට ඔය කියනකල් මීටර් නොවුනු හැටි

      Delete
    3. Porsche 911 එකේ ගිහිල්ලා හැප්පුනාම 911 call කරන්න මතක් වෙනවලු ලේසියෙන්ම.

      Delete
  16. චික් විතරක්. ඔයාට ලැජ්ජා නැද්ද කක්කා කතා ලියන්න. අර ළමයාගේ සැන් සුවඳ, ඇඳගෙන හිටිය ඇඳුම, දාලා හිටිය සෙරෙප්පු දෙක, අතේ තිබුන ඔරලෝසුව, ඔන්න ඔව්වනේ ලියන්න ඕනේ.

    'කණේ තිබුණු රන් පුස්කොල තෝඩුව' ටනන නනා නන, නනන නනා.....(නාන්න වෙයි වගේ)

    ReplyDelete
    Replies
    1. විචා,

      හරි හරි සැන් සබං ගැනත් ලියන්නං..ඒ ළමයා ගාල හිටියෙ පැමෝරා සබන්, දාල හිටියෙ කියුටිකුරා පුයර...:)

      Delete
    2. අපිට කලිං කාලෙනං අතේ සිත්තර පත්තරයකුත් තිබ්බ

      Delete
  17. හැපනින්ග් නේ.... එල එල

    ReplyDelete
  18. බොහොම රසවත් ආදරණිය ගීත තුනක්.
    "අඩවන් දෑසින්" ගීතය මහගමසේකර ගේ පද රචනයක් බව කලින් දැනන් හිටියේ නැහැනේ.

    ReplyDelete
  19. රවී, මේ දවස් වල මෙහෙ බග් එකක් පොඩි අයගේ බන්ඩිය සම්බන්ධ.. මේ අම්මටයි දුවටයි එහෙමද.. නැත්නම් රවී මේ දෙන්නව තව කී දවසක් මේ වගේ එකම තැන තියනවද.. පව් අනේ...

    ReplyDelete
  20. දෙවෙනි සින්දුව අහලම නැහැ. ඒත් නියමෙට ගැලපෙනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...