Friday, March 9, 2018

571. The Story Of My Marriage - 62 - A One Litre Un-Opened Chivas Regal Whisky Bottle….

මට සුට්ටක් කලින් ඔෆිස් එකෙන් මිසිං වෙන්න හොඳටම ඕනකම තිබ්බ මොකද අද කොයිමක් කරල හරි අන්ක් ස්වාමීස්ගෙ ප්‍රසන්ටේෂන් එක ඉවරයක් කරල දාන්ට ඕනය කියල දැඩි අදිස්ටානෙකින් හිටපු හින්ද….ඒත් අපේ අතිගරු මිස්ටර් බාලාස්ගෙ ඇස් දෙක සීසීටීවී කැමරාවලට හපං..කොයිවෙලෙත් ඉන්නෙ PTZ කැමරා මෝඩ් එකේ.

(PTZ කියන්නෙ දුරසිට පාලනය කල හැකි (Remote Controlled) සිකියුරිටි කැමරා වර්ගයක්. PTZ= Pan, Tilt & Zoom...Pan කියන්නෙ ලෙන්ස් එක තිරස් අතට මූව් වෙනව. Tilt කියන්නෙ ලෙන්ස් එක සිරස් අතට මූව් වෙනව. Zoom කියන්නෙ ෆෝකස් වෙන දුර වෙනස් වෙනව. )

කොහොම හරි බාලගෙ ඇහැට වැලි ගහල මම පැයක් වගෙ කලින් ඔෆිස් එකෙන් එළියට පැනගත්තයි කියමුකො එහෙනං. මයිලපෝර් හරියෙ ඇවිදගෙන යද්දි මම දැක්ක සංගීත සහ චිත්‍රපට සී.ඩී. විකුණන කඩයක් තියනව. ප්‍රසන්ටේෂන් එකේ තව කරන්න ඉතුරු වෙලා තිබ්බෙ ෆයිනල් ෆෝර්මැටිං විතරයි. ඒ හින්ද මගෙ හිතත් ටිකක් රිලැක්ස් මෝඩ් එකට වැටිල තිබ්බෙ. 

සී.ඩී. කඩේ දැක්කහම මට හිතුන අඩේ අද වැඩ කරද්දි කොහොමද පසුබිමින් මනමෝහනීය, කර්ණරසායන, සිත පහන් කරවන සිහින් සංගීත රාවයක් සවනට එන්ටර් උනානම් ආතල් කෝටියයි නෙවදෙයි කියල. හැබැයි ඉතිං එකම ප්‍රශ්ණයක් තිබ්බෙ මම මෙතෙක් කාලෙකට අහල තියන දෙමළ සංගීත වාදන නම් සිත පහන් කරවන නෙවෙයි බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරවන එව්ව. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියන අයට නම් මල් හතයි. ආය බෙහෙත් එහෙම ඕනම නෑ ලොවෙත්.

කෝකටත් කියල මම සී.ඩී. කඩේට ගොඩවුනා.

"මොනවද ඕන සර්?" කවුන්ටරේ එහා පැත්තෙ හිටපු හීන්දෑරි කොලු ගැටය මගෙන් ඇහුව.

සාප්පුවෙ බිත්ති දෙකක් වැහිල තිබ්බෙ දැක්කම ඔලුව නරක්වෙන තාලෙ බයංකාර පිටකවර වලින් යුක්ත දෙමළ චිත්‍රපට සී.ඩී වලින්.

"මට ඕන සංගීත සී.ඩී. දෙක තුනක්...හැබැයි දෙමළ නෙවෙයි…"

කොලුව යටිතොල පෙරලල ඔලුව දෙපැත්තට හෙල්ලුව. 

"මෙහෙ තියෙන්නෙ ඔක්කොම දෙමළ විතරයි. සර්ට වෙන එව්ව ගන්න ඕනනම් නුංගම්බක්කම්වලට යන්ට වෙයි"

"එහෙමද?" මම ආපහු හැරුන..

"ඉන්නකො පොඩ්ඩක්, මට මතකයි ඔය කියන එව්ව වගේ දෙක තුනක් තිබ්බද මන්ද.." කොලුව එහෙම කියල කවුන්ටරේ ගාව පාත් වෙලා මොනවද හෙව්ව.

"හරි හරි මෙන්න තියනව සර්ට ඕන එව්ව. මේව දෙමළ නෙවෙයි…"

මනුස්සය මට සී.ඩී. තුනක් දික්කලා. උඩින්ම තිබ්බෙ හින්දි නන්-ස්ටොප් රී-මික්ස් එකක්. පපුවෙන් බාගයක් එලියෙ දාගත්තු කෙල්ලො තුන්දෙනෙක් ඒකෙ කවරෙ හිටිය. මේක හරියන්නෙ නෑ කොහොමටවත්. හදවතක හැඩේ කවරයක් තිබ්බ දෙවෙනි සී.ඩී. එකේ තිබ්බෙ තනිකරම පරණ ආදර ගීත. තුන්වෙනි එක ඉංග්‍රීසි නර්සරි රයිම්ස්.

"හරි මට දෙන්න දෙවෙනි එක. අර ආදර ගීත තියන එක" මම කොලුවට කිව්ව

කොලුවා මහතා තෙමේ බිල ලියන අතරෙ මම කර්ණාටක සංගීත තැටි තිබ්බ රාක්කෙන් එකක් දෙකක් අරගෙන එහාට මෙහාට පෙරලල බැලුව.

"මල්ලි නැද්ද හොඳ කර්ණාටක සංගීත සී.ඩී. එහෙම?"

"හොඳ කියල කියන්නෙ?" කොලුව මම අරගත්තු සී.ඩී. එක බ්‍රවුන් පේපර් බෑග් එකකට දාන ගමන් ඇහුව

මම මගේ අතේ තිබ්බ කර්ණාටක සංගීත තැටි තුන හතර දිහා බැලුව. එව්වයෙ ඔක්කොගෙම කවරෙ තිබ්බෙ මැදිවියේ අවසාන භාගෙ ගෑණු නැත්නම් පිරිමින්ගෙ රූප

"ම්ම් හොඳ කියල කිව්වෙ නේද? හරි අපි මෙහෙම කියමුකො. කර්ණාටක සංගීතයේ ඉතාම ජනප්‍රිය සංගීත ඛණ්ඩ...The greatest hits collection in carnatic music... අන්න ඒ වගෙ සී.ඩී.එකක් නැද්ද මං අහන්නෙ තමුං ගාව?"

කොලුව මාදිහාවෙ නළලත් රැලිකරගෙන බලා හිටියෙ මොකෙක්ද බොලේ හැබෑටම මේ පිස්සා? කියල හිතාගන්ට බැරුව වගේ කියලයි මට හිතුනෙ.

"හරි හරි ඒක අමතක කරන්න. අපි මෙහෙම හිතමුකො. මට ඕන කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න...එච්චරයි…"

"සර් උතුරු ඉන්දියානු නේද?" කොල්ල ඇස් පුංචි කරල ඇහුව. 

ඔව් කියල අඟවන්ට මම ඔලුව ඉහලට පහල වැනුව. 

"ඉතිං එහෙමනම් අහවල් දේකටද සර් මේ කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න හදන්නෙ?" කොල්ලගෙ නළලෙ රැළි තවමත් තියනව.

මම මොනවයි කියල කියන්නද? කියනවනම් මෙහෙම නෙ කියන්න වෙන්නෙ. "මල්ලි කඩේ වහපන්කො..අපි යමු උඹලගෙ ගෙදර..උඹ රෑට උයනකල් මම කුස්සියෙ පොඩි පුටුවක වාඩිවෙලා උඹට සවිස්තරව කියන්නං ඇයි මට කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕන වෙලා තියෙන්නෙ කියල" කිසිසේත්ම එළෙස පැවසිය නොහැකි නියාවෙන් මම මුවින් නොබැණ මුනිවත රැකීමි.

"ම්ම්ම්..ඉන්නකො ඔය කියන විදිහට මේ දෙක හරියයි" කොලුව මට සී.ඩී. දෙකක් දුන්න

පළවෙනි එකේ කවරෙ තිබ්බෙ කාන්තාවක් තම්පූරාවක් වාදනය කරනව. 

තම්පුරාවක් වාදනය කරන යුවතියක්...
Google Images

දෙවෙනි එකේ කවරෙ තිබ්බෙ වයසක මනුස්සයෙක්ගෙ රුපයක්. කවරෙ ලියල තිබ්බෙ ඔක්කොම දෙමළ අකුරෙන්. මම සී.ඩී. කවරෙ අනික් පැත්ත හරවල බැලුව. 

"ඔය ඉන්නෙ ටී.ආර්. සුබ්‍රමනියම්" සාප්පුවට ආව මැදිවියේ කාන්තාවක් මගෙ අතේ තියන සී.ඩී. එක දැකල කිව්ව. "ඔයා එයාගෙ මියුසික් වලට කැමතිද?"

"එහෙනං එහෙනං මොනවද මේ කතා?...සුබ්‍රා තමයි පොඩි එකා කාලෙ ඉඳලම මගේ ප්‍රියතම කර්ණාටක සංගීත විශාරදය…" මම එහෙම කියල සී.ඩි. දෙකටම සල්ලි ගෙවල සාප්පුවෙන් එළියට බැස්ස

හවස හයහමාර වගෙ වෙනකොට මම අනන්‍යාලගෙ ගෙදරට ගියා. ඒ වෙනකොටත් අංකල් කන්ණාඩි කුට්ටම එහෙම දාගෙන මෙසේ වාඩිවෙලා ප්‍රසන්ටේෂන් එකේ ප්‍රින්ට් අවුට් එහෙක වැරදි තැන් එතකොට අලුතෙන් එකතුවෙන්න ඕන කරුණු එහෙම ළකුණු කරනව.

එතනම එහා පැත්තෙ පොඩි මේසයක් උඩ ලොකු පළඟානක තිබ්බෙ උණු උණු පරිප්පු වඩේ. පළඟාන වටේට පොඩි භාජන වල දාපු රතු කොල සහ සුදු පාට චට්නි.

"අර වඩයක් කන්න ක්‍රිෂ්...අපේ ඔෆිස් එක පහුකරල පොඩ්ඩක් දුර ගියාම තියනව ඔය වඩ වලට මේ හතර දිබ්බාගෙම ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක්. මම තකහනියක් එතනට ගිහිල්ල ඔය වඩේ ගත්තෙ ඔයාටමයි" අන්කල් ඔලුව හරවල බල  එහෙම කිව්ව.

වඩයක් අතට ගන්න ගමන් මම අංකල්ගෙ ඇස් දෙක දිහාවෙ කෙලින්ම බැලුව. මම හිතන්නෙ මේ අංකලුයි මමයි එකිනෙකා දිහා කෙලින්ම බලපු පළමුවෙනි වතාව. We made eye contact for the first time ever since I had known him.

මට ඒ වෙලාවෙයි එක පාරටම හිතුනෙ "අඩේ..රැළි වැටිච්ච මූණයි කන්ණාඩි කුට්ටමයි අමතක කරල දැම්මොත් මේ මනුස්සයට තියෙන්නෙ අනන්‍යාගෙ ඇස් දෙකම නෙවද?" කියල.

"අද කීය වුනත් කමක් නෑ අංකල් අපි මේ වැඩේ ඉවරයක් කරනව....." මම එහෙම කියල පුටුවක් ඇදගෙන අංකල් ගාවින්ම ඉඳගෙන මගෙ ලැප් එක ඕපන් කලා.

අංකල් ඔලුව හොල්ලල ඒ කතාවට එකඟත්වය පලකලා. ඊට පස්සෙ පුටුව මගෙ ලඟට කිට්ටු කරගෙන ස්ක්‍රීන් එකට එබුන.

"හරි අපි මෙහෙම කරමු. මුල ඉඳලම ස්ලයිඩ්ස් එකින් එක අරගෙන බලමු. එව්වයෙ ෆයිනල් රිවිෂන්ස් මොනවහරි කරන්න තියේනම් අංකල් ඒ වෙලාවෙම මට කියන්න. මම එව්ව කරන්නම්. ඒ එක්කම ෆයිනල් ෆෝමැටිං එකත් කරල ඉවරයක් කරල අපි ඊලඟ ස්ලයිඩ් එකට යමු. එහෙම දිගටම කරගෙන යමු"

අංකල් ආයම පාරක් ඔලුව හෙල්ලුව. 

පැයක් වගෙ ඇතුලත අපි පළවෙනි ස්ලයිඩ්ස් පහ ඉවර කලා.

"අංකල් මේ...මම මියුසික් මොනවහරි දාන්නද? හෙමීට සංගීතයක් ඇහෙන කොට දිගටම ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නකොට එන ඔලුවෙ කැක්කුම නැතුව යනව" එහෙම කියල මම මගෙ ලැප් ටොප් එකේ සීඩී ප්ලේයර් එක ඕපන් කලා.

"අතන ස්ටීරියෝ සෙට් එකක් නම් තියන ක්‍රිෂ්, මම හිතන්නෙ ඒකෙ ඔය සී.ඩී. එක ප්ලේ කලොත් වඩා හොඳ වෙයි"

අංකල් එහෙම කියල සාලෙ ඩිස්ප්ලේ කැබිනට් එක දිහාට ඇඟිල්ල දික්කලා. මම ඔෆිස් බෑග් එකෙන් සීඩී එළියට අරගෙන සාලෙ කැබිනට් එක ගාවට ගියා. අංකල් ඇවිල්ල ස්ටීරියෝ සෙට් එකේ ප්ලග් එක ගහල ඔන් කලා.

ඊට පස්සෙ අංකල් සෙට් එක ටියුන් කරද්දි මම දැක්ක ඊට යට තට්ටුවෙ තියනව විස්කි බෝතලයක්! 

ඈ...විස්කි බෝතලයක්?...

නිකම් විස්කි නෙවෙයි ෂිවස් රීගල් විස්කි බෝතලයක්!

නිකම් ෂිවස් රීගල් බෝතලයකුත් එහෙම නෙවෙයි...ලීටරේ එකක්!!

නිකම්ම ලීටරේ ෂිවස් රීගල් විස්කි බෝතලේතු නෙවෙයි. කඩපුවත් නැති එකක්!!!

ඒ කියන්නෙ කොටිම්ම කිව්වොත් මෙතන මේ දිලිසි දිලිසි තියෙන්නෙ කඩපුවත් නැති වන් ලීටර් ෂිවස් රීගල් විස්කි බෝතලයක්!!!

හෙහ්..කොහොමද ඒක? 

ඔන්න ඔය ජාතියෙ එකක් තමයි අංකල්ගෙ
කැබිනට් එකේ තිබ්බෙ...Google Images

21 comments:

  1. //Pan කියන්නෙ ලෙන්ස් එක තිරස් අතට මූව් වෙනව. Tilt කියන්නෙ ලෙන්ස් එක තිරස් අතට මූව් වෙනව// ඔහෙට ෂිවස් රීගල් එක දැක්කගමං මෙහෙමනං ඕකෙන් ෂොට් දෙක තුනක් දාල ප්‍රසන්ටේෂන් එක ෆයිනල් ෆෝමැට් කළොත් අංකල් කාරයට බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න,

      ව.ක්‍රි.ප.නි.ක...:)

      Delete
  2. විෂ්කිය කුමක් සදහාද?

    ReplyDelete
    Replies
    1. මද්දා,

      අන්න ප්‍රශ්නෙ.....

      සම්ප්‍රදායික දමිළ බ්‍රාහ්මණ නිවසක විවෘත නොකල විස්කි බෝතලයක් ඇත්තේ කුමක් සඳහාද? පිළිතුරු බලාපොරිත්තු වන්න මීලඟ කථාංගයෙන්...එතෙක් අප සමඟ රැඳී සිටිනු මැන...:)

      Delete
  3. /// ඒ කියන්නෙ කොටිම්ම කිව්වොත් මෙතන මේ දිලිසි දිලිසි තියෙන්නෙ කඩපුවත් නැති වන් ලීටර් ෂිවස් රීගල් විස්කි බෝතලයක්!!! ///

    ඔන්න දැන්නම් කතාව එක පොටකට එන ලයින් එකක් තියෙන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ආ ඒමද හිතෙන්නෙ?

      Delete
  4. ලොක්කා. ඔය කතාව වෙනිං කාටහරි පවරල දානවකො. දැං බලනව මේ රටට වෙලා තියෙන නස්පැත්තිය. ආං ඔහෙලෑ ගම් පලාතෙ කෝලාහල එමටම. තමුන්නැහැල වගේ විද්වත්තු මේ වෙලේ කරන්ට ඕනැ ඔය එක එක බවලතියන්ගෙ හැඳි මිටට යට වෙලා මේව ලියන එකද එහෙමත් නොමැතිනම් රටේ මහ ජනයගෙ කට ඇරෙන, දිව දිගාවෙන, කණ කඩාහැලෙන, මන මෝහනීය වෙන, නාහෙ හොට වගේ වෙන, දෑත ඉලත්තට්ටුව වගේ වෙන, මුහුණ පිඟාන වගේ වෙන, ආකාරයට සහජීවනය ගැන යමක් ලියන එකද කියල කියමු බලන්ට. මෙරටේ හදී හුදී ජනයා පමණක් නොවැ ඔටු දේසේ අල්ජසීරාවත් ලෙසටම බොරු පතුරන කාලයක් මේක. මෙහෙ බුකිය වහලා. විස්සෙ විසි පහේ ඩේටා කාඩ් විකිණෙන්නෙ නැතුං කොමියුනිකේෂන් වැහිලා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඇත්ත ඇත්ත..මොනවහරි කොරන්ටම වෙනව ඒ ගැනත්...:)

      Delete
  5. බලන් ඉදල බැරි තැනදිම නලියයි මගෙ කට
    ලියන් නෙනම් නෑ හිතුවත් කවියක් කොට කොට
    අනන්‍යාගෙ අප්ප සමග ක්‍රිෂ් මේ විලසට
    කරන් න යන දේ තියෙයිද ඊළඟ කොටසට.....

    ආවා....ආවා...කරදරකාරී දුමියා ආවා.....:):):)

    ජයවේවා!!!

    ReplyDelete
  6. ටිකයි ටිකයි..... මදි හොදටම

    ReplyDelete
  7. රවී තුමා වගේම මාමෙකුයි බෑනෙකුයි. :)

    බොහොම ස්තුතියි ලිවුවට.

    ReplyDelete
  8. දැන් එතකොට එක පාරම කතාව නතර කරලා දෙන්න එක්ක ගසනවද බෝතලය? :)))

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවාද උඹ වගේ කියාලා අනිත් උනුත්.

      Delete
  9. කර්ණාටක සංගීතය හා විස්කි
    විචාරක දියණිය

    ReplyDelete
  10. රවී ලියන විධිහට කර්ණාටක සංගීතය යි කර්ණ කටුක සංගීතයයි එකක් වගේ . කාලයක් මම ශිවස් රීගල් එකට කැමති වෙලා හිටියත් දැන් එපමණ කැමැත්තක් නැහැ.

    ReplyDelete
  11. සංගීතය මගෙ ජීවිතේ
    සටහන පොඩි උනත් හොදට ලියවිල්ලක්

    ReplyDelete
  12. අන්තිමේ රවිගෙ ලෑන්ඩ්මාර්ක එක වෙන බෝතලේ අසළට පැමිණියා... හැක්!

    ReplyDelete
  13. මේ රවියො.. මේ උරචක්කරමාලෙ ගලෝලා අහකට වීසික්කා කරලා දාලා ආන්න අර මැරිච්ච ස්ටීවන් හෝකින්ස් උන්නැහැ ගැන හොඳ ලිපියක් ලියහංකො...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...