Wednesday, April 18, 2018

576. The Story Of My Marriage - 64 - Pink Floyd, These Bloody North Indians & Never Fight If You Can Avoid it...


Pink Floyd Music Group

"හරි අංකල් ඔන්න වැඩේ නම් ඉවරයි.."

"සෙස් සෙස් සේව් කලාද?" අංකල් ඇහුව 

"ඔව් ඔව්.."

"තව්වත් පාරක් සේව් ක….ර්... රන්නකො කෝකටත්…"

මම ආයෙමත් ෆයිල් එක සේව් කලා.

වමත උස්සල වෙලාව බැලින්නං හුටා එකට දහයයි. අර යස්ස පැටිය මංජුව හරියට හතරට ඇහැරිනව පාඩං කරන්ට. එතකොට මම පාඩං කියල දෙන්ටත් එපාය. දෙයියම්පල්ල මේ ගෑණු ජාතිය හින්ද පිරිමි විඳින දුකක්…

"මම යන්නං අංකල් එහෙනං…" මම පුටුවෙ අත් දෙකට වාරු වෙලා නැඟිට්ට.

"හරි ක්‍රිෂ් එහනං ආයම සැරයක් ස්තූතියි" අංකලුත් නැඟිට්ට. 

"අංකලුත් එහෙනං දැන්මම නිදාගන්ට. තව වැඩි වෙලාවක් නෑනෙ එලිවෙන්ටත්. අනික ප්‍රසන්ටේෂන් එක හරියට හදාගත්ත වගේම ටාගට් ඕඩියන්ස් එකට හිතට කාවදින විදිහට ඉදිරිපත් කලේ නැත්තං මේ මෙච්චර මහන්සි වෙලා කරපු කිසිදේක වැඩක් නැතුව යනව" මම සාලෙ හරහා ප්‍රධාන දොරටුව දිහාට යමින් කිව්ව.

මගෙ පස්සෙන් එන ගමං අංකල් හයියෙං හිනාවුනා…"හිහ්..හිහ්...ඒ ගැනනම් කිසිම විදිහකින් බයවෙන්ට දෙයක් නෑ ක්‍රිෂ්….."

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මම නෙවෙයි ප්‍රසන්ටේෂන් එක කරන්නෙ…"

"එහෙනං?"

"මිස්ටර් වර්මා..ඒ කියන්නෙ මගෙ බොස්...මිනිහ තමයි ප්‍රසන්ටේෂන් එක කරන්නෙ....මට තියෙන්නෙ හෙට උදෙම්ම ප්‍රසන්ටේෂන් එක තියන සී.ඩී. එක වර්මට ගිහින් දෙන්ට විතරයි. මිනිහ කරයි ප්‍රසන්ටේෂන් එක.." අංකල් යම්තමට දත් පෙන්නල හිනාවුනේ දුකකින්ද නැත්තං මගේ වැඩේ ඉවරයි කියල සන්තෝසෙකින්ද මන්ද...මේ දකුණෙ මිනිස්සුන්ගෙ හිතේ තියන හැඟීම් මූණෙන් තේරුම් ගන්න එක හරිම හරි අමාරු වැඩක්...

"මොකක්? යකෝ ඒක මාර කෙලියක්නෙ. මම ඔහොම එකක් මේ ඇහුවමයි.." 

මම ආපහු සාලෙ සෝපාවක ඉඳ ගත්ත. 

"අංකල් මේ... මම කියන එක පොඩ්ඩක් අහනවද? ඔයා මේ සතියක් විතර නැහිල වැඩේ ලස්සනට කරල ඔයාගෙ ලොක්කට ගිහිල්ල දෙනව. මිනිහ නිකම්ම අත්දෙක පෙරවගෙන බුදියගෙන ඉඳල ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරල ළකුණු දාගන්නව. මේක රිම අසාධාරණයක්නෙ"

"මොනව කරන්නද ක්‍රිෂ්? එහෙම තමයි එව්වගෙ හැටි.." අංකල් ඒ පාර එහෙම කිව්වෙ නම් දුක්මුසු ස්වරකින් කියල මට එකපාරටම තේරුන.

"එහෙම තමයි එව්වගෙ හැටි කියල හරියන්නෙ නෑ අංකල්..ඔයා ප්‍රසන්ටේෂන් එක කරන්න…"

"වැඩේ වෙලා තියෙන්නෙ ක්‍රිෂ් මම ඔය වගෙ එව්ව ගැන වැඩිය දන්නෙ නැති එකනෙ..කොටින්ම අර ප්‍රොජෙක්ටර් එක ඔපරේට් කරන්න වත් මම දන්නෙ නෑ....." අංකල් එහෙම කිව්වෙ මූණත් එක්ක විරවගෙන. 

"අයියෝ ඒකෙ ඇති කෙහෙම්මලක් නෑ අංකල්. ඔෆිස් එකේ අයි.ටී. සෙක්ෂන් එකක් තියනව නේද?"

"සෙක්ෂන් එකක් කිව්වට ඒකෙ ඉන්නෙ එක මනුස්සයයි. එයත් මේ පොඩි කොල්ලෙක්.."

"ආ..කොල්ලෙක් උනාට අවුලක් නෑ. මිනිහ තමන්ගෙ වැඩේ දන්නව ඇතිනෙ. ඒ ඇති හොඳටම. එයාට කියල ප්‍රොජෙක්ටර් එක සෙට් කරගන්න හරියට ස්ක්‍රීන් එකට ෆෝකස් කරල. ඊට පස්සෙ අංකල්ට කරන්න තියෙන්නෙ එක ස්ලයිඩ් එකක විස්තරේ පැහැදිලි කරල ඉවර උනහම ප්‍රොජෙක්ටර් එකේ ෆෝවඩ් බට්න් එක ඔබන එක. ඔටෝමැටිකලි ඊලඟ ස්ලයිඩ් එක ස්ක්‍රීන් එකට එයි. ඊලඟටත් එහෙමයි. ඕකෙ ඔය හැටි අමාරුවක් නෑ. ඔච්චරයි තියෙන්නෙ..."

"අනේ මන්ද …"

"අංකල් මේක හරිම අසාධාරණයක් කියල හිතෙන්නෙ නැද්ද? ඔය ප්‍රසන්ටේෂන් එකට මම හිතන්නෙ අංකල්ලගෙ බැංකුවෙ ලොක්කො සෑහෙන්න එනව ඇති"

"ඔව් අපේ ඩෙල්හි වල ඉන්න කන්ට්‍රි මැනේජර් ඉන්නෙ..එයත් එනව.."

"අන්න ඒකනෙ මම කියන්නෙ. ඉතිං අංකල් බොහොම මහන්සිවෙලා හදපු ප්‍රසන්ටේෂන් එකේ ක්‍රෙඩිට් එක ගන්නෙ කොහෙවත් හිටපු වර්මා. ඒක සාධාරණද මම අහන්නෙ…"

"හැම තැනම බොස්ල කියන ජාතිය එහෙම තමයි ක්‍රිෂ්. මම මගෙ රාජකාරි ජීවිතේදි ඉහේ කෙස් ගානට එහෙම බොස්ල දැකල තියනව. ඒ වගෙ මිනිස්සු එක්ක අනන්ත වැඩ කරල තියනව. ඒ හින්ද මට ඕකෙ ඒ හැටි අරුමයක් නෑ"

"හ්ම්ම්…. ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ" මම සෝපාවෙන් නැඟිට්ට. 

"ඔය වර්ම ඇවිල්ල උතුරු ඉන්දියානුවෙක්නෙ. උතුරෙ මිනිස්සු ඔක්කොම ඔහොමයි. කිසිම අංගපුලාවකට නැති මිනිස්සු.."

හ්ම්ම්ම්..මදැයි නරකම නෑ මෙච්චර හරියක් කරල දීල අන්තිමට අහගත්තු එක..මම මටම කියාගත්ත….හැබැයි අංකල් එහෙම කිව්වෙ වර්ම එක්ක තියන තරහ හින්දම මිසක් මට ඇනෙන්ට එහෙම නෙවෙයි කියලත් මට හිතුන.

"ක්‍රිෂ්..නිදිමතද?" අංකල් ඇහුව..

"එච්චරම නෑ. මට හිතෙන්නෙ මට වැඩිය අංකල්ට නිදිමත ඇති. ඔයගොල්ලො සාමාන්‍යයෙන් දහය වගෙ වෙනකොට නිදියනව නේද?"

"ඔව් සාමාන්‍යයෙන් නම් එහෙම තමයි. ඒත් මේක හින්ද මට අද නිදිමතක් දැනුනෙම නෑ." අංකල් එහෙම කියල කනප්පුව උඩ තිබ්බ විස්කි බෝතලේට ඇඟිල්ලක් දික්කලා…"මොකද කියන්නෙ? තව එකක් ගන්නවද?"

"අංකල් මම යන්නත් ඕන.  ත්‍රී වීලර් එකක් හොයාගන්නකල් පයින් තමයි යන්නත් වෙන්නෙ. අනික දැන් සෑහෙන්න රෑවෙලා…"

"මම කියන්නද?...අපි මෙහෙම කරමු..ඔයා අද මෙහෙ නිදියන්න…"

"මොකක්ද කිව්වෙ?" මම සාලෙන් එලියට බහින දොර අරින්න කියල හිතල ඒකෙ හැන්ඩ්ල් එකට තිබ්බ අත එහෙම්මම තියාගෙනම ආපහු හැරිල ඇහුව.

"නෑ මම මේ ඇහුවෙ මේ මහ රෑ දෙගොඩ හරියෙ ත්‍රීවීලර් එකක් හොයාගන්න කල් පයින් ගිහිල්ල චමරියට යනවට වඩා හොඳ නැද්ද මෙහෙ නිදාගෙන හෙට උදේම යන එක කියල.."

"ඒත් ඒත් මේ….."

"හරි හරි ඔයාට තියන ප්‍රශ්නෙ රෑට අඳින්ට එව්ව නැති එක නම් ඒ ගැන වද වෙන්ට එපා. මම දෙන්නම් මගෙ එකක්. ප්‍රශ්නයක් වෙන එකක් නෑ"

කොහොම හරි මගෙන් උත්තරයක් ලැබෙන්නත් ඉස්සරම අංකල් වීදුරු දෙකට විස්කි දාලත් ඉවරයි.

"අර ලාච්චුවෙ ඇති අනන්‍යගෙ මියුසික් සී.ඩී. වගයක්. බලන්න ඔයා කැමති මොනවහරි තියනවද කියල.."

අංකල් කැබිනට් එකේ පැත්තක තිබ්බ පොඩි ලාච්චුවක් පෙන්නල කිව්ව.

ඒකෙ තිබ්බ "Pink Floyd"  මියුසික් ඇල්බම් එකක්. දෙකක් දාගත්තු වෙලාවට ෂෙහ් පින්ක් ෆ්ලොයිඩ් කියල වැඩක් නෑ...නම්බර් වන් තමයි...

(සටහන-පින්ක් ෆ්ලොයිඩ් යනු හැටේ දශකයේ මැද භාගයේ සිට වසර තිහක පමණ කාලයක් විවිධ ගීත නිර්මාණය කොට එළි දැක්වූ බ්‍රිතාන්‍ය පොප් සංගීත කණ්ඩයමකි.)

පින්ක් ෆ්ලොයිඩ් ගායක කණ්ඩායමේ "Shine on you crazy diamond" ගීතයේ මුලින්ම ඇසෙන මනෝභ්‍රමික (Psychedelic) වාදන කණ්ඩය අනන්‍යාලගෙ ගෙදර සාලය පුරා පැතිරගියා. ඉතාම මන්දගාමීව ඇසෙන සංගීත රාවය අනුව තම දකුණු පාදය පොළවට තට්ටු කරමින් තාලය ඇල්ලීමට ස්වාමිනාදන් මහතා උත්සාහ ගත්තා. මේ වන විටත් ඔහුගේ ඇස් තුන්කාලක් පමණ පියවිලයි තිබුනේ...


You can listen to Pink Floyd singing "Shine on you crazy diamond" here.

මේ මනුස්සයට පුරුදු නැතුව මේ හැටි බීල මහ ජංජාලයක්වත් වෙයිද මන්ද....අර අම්මණ්ඩි මගෙ මූණවත් බලන එකක් නෑ එහෙම විනාසයක් උනොත් එහෙම...ෂිහ්..මමත් දාගන්න තොප්පි...මම එහෙම හිත හිත වීදුරුවට දාගත්තු විස්කි වඩිය හෙමිහිට තොල ගෑව. මේ වෙලාවෙ ගාණට කොන්ට්‍රෝල් එකේ ඉන්න එක කෝකටත් හොඳයි.. කියන්න බෑනෙ මේ මනුස්සය....

දැං මේ වෙනකොට මට දුම්වැටියක උවමනාව තදටම දැනිල තිබ්බෙ. මොකද කරන්නේ? මම අඩවන් දෑසින් පින්ක් ෆ්ලොයිඩ්ල එක්ක තාලෙ අල්ලන්ට ට්‍රයි කරන ස්වාමිනාදන් මහත්තය දිහා බලගෙනම කල්පනා කරන්ට ගත්ත.නෑ එපා..සිගරට් ගැන හිතන්නවත් එපා...මගෙ යටිහිත මට අවවාද කලා...අනන්‍යා ගැනත් හිතන්නවත් එපා මේ වෙලාවෙ...

මේ වෙලාවෙ තමුංට හිතන්න තියෙන්නෙ අංකල්ට අන්තිම දරුණු තත්වයක් ඇතිඋනොත් මොකද කරන්නෙ කියල...දරුණු තත්වයක් කිව්වෙ මොන විදිහෙ දරුණු තත්වයක් ගැනද තමා මේ කියන්නෙ? මම මගේම යටි හිතෙං ඇහැව්ව. 

මෙහෙම තමං එක්කම නැත්තං තමංගෙ යටිහිත එක්ක පොඩි ඩිස්කසන් එකක් දාන එක ෆුල් ආතල් වැඩක්. ඔහෙල එහෙම කරල එහෙම නැද්ද? සතියකට සැරයක්වත් එහෙම කරල බලන්ට...

බීල වැඩිකමට මේ මනුස්සයගෙ මෙතනම පණවත් යාවිද? Something like a heart attack may be... මම දහ අතේ මතක් කලා එහෙම බීල වැඩි වෙලා පණගිය මිනිස්සු ගැන මම අහල හරි කොහෙ හරි කියවල හරි තියනවද කියල..... ම්හු එහෙම එකක් ගැනනම් මතක් වෙන්නෙ නෑ....ඒත් මම අහල නැතුවට එහෙම වෙලා ඇති ඕන තරම්.....කවුරු දන්නවද? අනික මීට ඉස්සර එහෙම දෙයක් වෙලා නෑමය කියමුකො. ඒත් ඕනම දෙයක් ලෝකෙ පළවෙනි පාරට වෙන්ට පුලුවන්නෙ නේ? "There is a first time for every thing" කියලත් කතාවක් තියනවනෙ...

හරි හරි අංකල්ගෙ පණ යන එක පැත්තක තියමුකො. කොහොම උනත් මම කොච්චර කරුමක්කාරයෙක් උනත් මම හිතන්නෙ නෑ එහෙම සන්තෑසියක් වේවිය කියල..නේ? මම ඇහුව...ඔව්..ඔව්..එහෙම වෙන එකක් නෑ මගෙ යටිහිත උත්තර දුන්න..අපි කෝකටත් එහෙම දෙයක් නොවේවාය කියල ප්‍රාර්තනා කරමු. යටි හිත ආයෙම කිව්ව..

හරි හරි එහෙම සිරා සීන් එකක් නොවුනා උනත් මේ මනුස්සයට කලන්තයක් වත් ආවොත්...මම කොහොමද මේ යස්සය ඉස්පිරිතාලෙකටවත් අරගෙන යන්නෙ..මට මෙහෙ බාසාව බෑ.. ටැක්සියකට ත්‍රී වීලර් එහෙමට කතාකරන්ට නොම්මරයක් දන්නෙ නෑ. ඉස්පිරිතාලයක් කොතනද තියෙන්නෙ කියල අඳෝ සංසාරයක් දන්නෙ නෑ...අනික ඒ ඔක්කොමත් කරල අංකල්ව හොස්පිට්ල් එකකට ඇතුල් කලාය කියමු. වැඩි අමාරුවකුත් නැහැය කියලත් කියමුකො..මම කොහොමද මේ විස්තරේ අනන්‍යාගෙ අම්මට කියන්නෙ? අනන්‍යාට කියන්නෙ? 

මම ඉතිං තව විස්කි වඩියකුත් දාගෙන හෙමීට තොලගාන අතරෙ ඔහොම දිගටම මගෙ යටිහිත එක්ක සංවාදයෙ යෙදුන. ඒකත් බලාගෙන යනකොට තනිකරම වෙනම ආතල් එකක්...හෙහ්..පටන් ගත්තම නවත්තන්ඩ හිතෙන්නෙම නෑ..ඔය උඩු හිත සහ යටි හිත දෙපැත්තෙ ඉඳං කරන ඩයලොග් එකෙ නැඟල යන්ට නම් පොඩ්ඩක් වදින්ටම ඕන...ඒ වැඩේ අමුවෙන් නම් හරියන්නෙම නෑ...

ඉතිං ඔන්න ළමයි මගේ ඉන්ටර්නල් ඩයලොග් වැඩේ නැඟල ගියා. මම ඇසුත් පියාගෙන මාත් එක්කම සංවාදයෙ දිගටම යෙදුන. ඔන්න එකපාරටම මට මතක් වුනා දෙයියංටම ඔප්පු වෙච්චාවෙ මම මෙහෙ මාත් එක්කම සංවාදයෙ යෙදිල ආතල් ගන්නව. අරෙහෙ අර මනුස්සය වල කජ්ජ ගහලද දන්නෙත් නෑ නේද කියල. 

ඉතිං විජහට ඇස් ඇරල සෝපාවෙ කෙලින් වෙලා ඇස් පිල්ලං දෙතුං පාරක් ගහල බැලුව අංකල් දිහාවෙ....මෙන්න යකෝ වැඩේ...මොන හාට් ඇටෑක්ද? අංකලය ඉන්නව පුල් ආතල් එකේ...මිනිහට මාරම හැපී...ඇස් දෙක පියාගෙන තාම පින්ක් ෆ්ලොයිඩ්ලට තාලෙ අල්ලනව. දැං කකුලෙන් නෙවෙයි අත්දෙකෙන්ම අසුර ගගහ. කකුලෙන් පොළවට තට්ටු කර කර තාලෙ අල්ලන්ට කොහොමත් බෑ දැන් ඉන්න විදිහට ඒ කිව්වෙ මේ වෙනකොට අංකල් ඉන්නෙ ඉස්සරහ තියන කනප්පුව උඩ කකුල් දෙක තියාගෙන. මම හිතන්නෙ ජීවිතේට ඔහොම ඉන්නවම වෙන්න ඇති මේ මනුස්සය...

මම අංකල් දිහාවෙ කටත් බාගෙට ඇරගෙන බලා ඉන්දැද්දි මෙන්න මේ මනුස්සය එක පාරට තාලෙ ඇල්ලිල්ල නවත්තල සෝපාවෙ කෙලින් වෙලා වාඩිවෙලා මගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. අප්පටසිරි....මේ මොකද වෙන්ට යන්නෙ? මෙච්චර විස්කි එක පාරට බීල පුරුදු නැතුව අංකල්ට මොකක් හරි වෙන්ටවත් යනවද? නෑ මම මේ කිව්වෙ මාරාවේස වෙලා වගෙ මගෙ බෙල්ලවත් මිරිකන්ට යනවවත්ද? 

මම කෝකටත් කියල සෝපාවෙ ඉස්සරහටම වෙලා විළුඹට ඇඟේ බර දීල ඉස්සරහට නැමිල සූදානම් වුනා. සෙනිකව ආත බූත කඩාගෙන දුවන්ට ඕන නම් එහෙම තමයි හොඳම ඉරියව්ව. මට ඔය ගැන කියල දුන්නෙ හතරෙ පන්තියෙ විතර ඉන්දැද්දි ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට කරාටෙ උගන්නපු සර්. 

ඔය මම කියන ඒ සර් ඇත්තටම ඇවිල්ල අපේ ඉංග්‍රීසි ගුරුතුමා. ඉංග්‍රීසි වගේම මනුස්සය කරාටෙත් දන්නව. ඉස්කොලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට ඔය කරාටෙ ඉගැන්නුවෙ නොමිලේ. සර්ගෙ වචන මට අද වගෙ මතකයි.

"මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට ගහන්නෙ බැරිම උනොත් වෙන කිසිම විකල්පයක් නැත්තං විතරයි. ඒ කියන්නෙ වෙන වචන වලින් කිව්වොත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන සටනකට එළඹෙන්නෙ නැතුව මඟ ඇරල යන්ට. ඒක ලැජ්ජාවක් නෙවෙයි. සටනකින් තොරව ප්‍රශ්ණයක් විසඳගන්නව කියන්නෙ ඒක තමයි හොඳම ක්‍රමය... "


19 comments:

  1. Kinda boring episode. Thanks anyways Ravi.

    ReplyDelete
  2. ‍හැක්.. මාමයි බෑනයි දෙන්න විස්කිය ඉවර කරලම වගේ නවත්තන්න යන්නෙ.
    බොලා දෙන්න බැලුවෙ නැද්ද ඒ අස්සෙ අර කොල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලවත්.

    ReplyDelete
    Replies
    1. තවේකක්, මේ ‍කොමෙන්ට් එක දැම්මෙ ප්‍රියන්ත නෙමෙයි හිටං.

      Delete
    2. Prasanna,

      /බොලා දෙන්න බැලුවෙ නැද්ද ඒ අස්සෙ අර කොල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලවත්./

      ඌට මක් වෙන්නද? ඌ කාල බුදි...

      /තවේකක්, මේ ‍කොමෙන්ට් එක දැම්මෙ ප්‍රියන්ත නෙමෙයි හිටං./

      මොකක්ද බං මේ ප්‍රියන්ත සීන් එක? මම එෆ්බී එකේද කොහෙදත් දැක්කද කොහෙද...

      Delete
    3. http://ranrandil.blogspot.com/2018/04/575.html?showComment=1523295469361#c3418647625111149657

      Delete
  3. “It is easier to fight for one's principles than to live up to them.”
    ― Alfred Adler

    ReplyDelete
    Replies
    1. Pra,

      I detest the day everything I am fighting for are granted......

      Delete
  4. තාම මේක ඉවර නැති එක කොයිතරම් හොඳද? මට හෙමින් සීරුවේ කියවන්න පුළුවන් . ස්තුතියි රවී.

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      අන්න ඒකනෙව කියන්නෙ..ඔයාල ගැන හිතල හෙමීට හෙමීට ලිව්වම මාව කන්න හදනවනෙ...

      Delete
  5. මේ මාමගෙයි බෑනගෙයි ස්ටෝරිය හෙන කම්මැලී අප්පා

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      හරි ..හරි....මාමගෙයි බෑණගෙයි පොයියංගම අදින් අහවරයි...( පොයියංගම කියන්නෙ අපෙ අත්තම්මගෙ වචනයක්...)

      Delete
  6. මොන හේතුවක් නිසාද මන්ද මට මේ සින්දුව අහද්දි මේ කතාව මතක් උනා. ඔන්න බෙදාගන්නව සින්දුව.

    https://www.facebook.com/teenagersofassamm/videos/1925610111100165/

    ReplyDelete
  7. නිකමට මසියට ෙෙෂාට් එකක් දුන්නෑ සික්

    ReplyDelete
  8. මම නම් වලියට මයි යන්නේ හැබැයි බිල නම් ඉන්නේ දුවනවා

    ReplyDelete
  9. ප්‍රසන්ටේෂන් එක කොහොම හරි මාමණ්ඩි ලවාම කරවමු.. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...