Thursday, July 12, 2018

595. The Story Of My Marriage - 75 - Diana The Ex-Lawyer From Finland And Meeting The Guruji…..



පොන්ඩිචෙරීහි ඖරෝබින්දෝ ආශ්‍රමයේ
දර්ශනයක් - Google Images

ජීවිතේ බොහෝ වෙලාවට අපි ක්ෂණිකව ගන්න තීරණ අපෙ ජීවිතේට දැඩිව බලපෑම් කරනව. මම උදේ එද්දි හිතාගෙන හිටියෙ අනන්‍යා එයාගෙ රැස්වීමට සහභාගි වෙන අතරෙ මම මට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පොන්ඩිචෙරී වල සුප්‍රසිද්ධ ප්‍රංශ අවන්හලකින් දිවා ආහාරයට ප්‍රංශ කෑම කන්නම්ය කියල. 

ඒත් අරමුණකින් තොරව ඉස්සරහට යද්දි එක පාරටම මම දැක්ක පාර අයිනෙ පොඩි දැන්වීම් පුවරුවක් ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි කියල. ඒ ලඟම වැවිල තිබ්බ මහ විසාල ගහක කොළ අතුවලින් වැහිල ඒ දැන්වීම් පුවරුව පාරෙ යන කෙනෙකුට මඟ ඇරෙන්න තියන ඉඩකඩ බොහෝම වැඩියි. ඒත් මගෙ දෛවය අනුවද මන්ද මම ඒ දැන්වීම් පුවරුව දැක්ක. දැක්ක විතරක් නෙවෙයි ක්ෂණිකව මට හිතුන ප්‍රංස කෑම කන එක යකාට ගියාවෙ කියල ආශ්‍රමයට ගියානම් හොඳයි නේද කියල.....

මම දෙපාරක් හිතන්නෙ නැතුව බයික් එක ආශ්‍රමයට යන පාරට හරව ගත්ත.

ආශ්‍රමය ඉස්සරහ හොඳ ඉඩ කඩ තියන මිදුලක් තිබ්බ. මම ඒ මිදුලෙ අයිනකට වෙන්ට තිබ්බ අඹ ගහක් යට හෙවණෙ බයිසිකලේ නවත්තල අතපය දිග ඇරල හිරි කඩන ගමන් වටපිට බැලුව. 

ඒ වෙලාවෙත් මිදුලෙ හිටිය මයෙ හිතේ මිනිස්සු එක විස්සකට තිහකට එහා පැත්තෙ. ඒත් ඒ හැමෝම කිසිම සද්දයක් බද්දයක් නැතුව එහෙ මෙහෙ තම තමන්ගෙ කටයුතු උදෙසා ඇවිද යමින් හිටියෙ බිම බලාගෙන. බාහිර පෙනුමෙ විදිහට ඉන්දියානුවන්ට වඩා බහුතරයක් හිටියෙ මගෙ කල්පනාවෙ හැටියට විදේශිකයො.

ආශ්‍රමය ඇතුලට යන්ට ඉස්සර වෙලා තිබ්බ හොඳට වාතාශ්‍රය ලැබෙන ඒ වගේම ඉඩකඩ තියෙන ප්‍රවේශ ශාලාවක්. ඉංග්‍රීසියෙන් ඔය "Lobby" කියල කියන්නෙ අන්න ඒකක්. ලොබි එකේ හරි මැදටමත් නෙවෙයි ටිකක් වගෙ පස්සට වෙන්ට තිබ්බ අර්ධ කවාකාර "Reception Desk " එකක්. ඒක පිටිපස්සෙ වාඩිවෙලා හිටිය යුරෝපියානු පෙනුමක් තියන කාන්තාවක්. වයස මයෙ හිතේ හතළිහකට වැඩි මිසක අඩු එහෙම නෑ. ඈ ලා නිල් පාට සාරියක් ඇඳල හිටියෙ. ආභරණයක් විදිහට මම දැක්කෙ ගෙලවටා එල්ලෙමින් තිබුණු තරමක ලොකු රවුම් ඇට වර්ගයකින් හදපු මාලයක් විතරයි.

"ඔබ මොනවද හොයන්නෙ?" ටික වෙලාවක් මගේ මූණ දිහාවෙ බලා ඉඳල ඇය හෙමිහිට ඇහුව.

අංක එක මම මේ ඉන්නෙ ආශ්‍රමයක හින්ද සහ අංක දෙක ඇය ඒ ප්‍රශ්නෙ අහපු විදිය හින්ද ඒ ප්‍රශ්නෙ තවත් සැඟවුනු අරුතක් ඇතිය කියල මට හිතුන.එහෙම හිතල මම ඇගේ නිල්පාට ඇස් දිහාම ටික වෙලාවක් බලා හිටිය.ඇගෙ ඇස් වටේට යම්තමට රැළි වැටිල වගෙ තිබ්බෙ එක්කො වයස හින්ද නැත්නම් යුරෝපීයයන්ට නුපුරුදු ඉන්දියාවෙ කර්කශ දේශගුණය හින්ද වෙන්න ඕන.

"මම මේ ඉස් ඉස්සෙල්ලාමයි මෙහෙට ආවෙ…." මම කිව්ව.

ඇය ඩෙස්ක් එකේ කුඩා ලාච්චුවක් ඇරල ආශ්‍රමයෙන් කෙරෙන කටයුතු පිළිබඳ විස්තර අඩංගු විස්තර පත්‍රිකාවක් මට දුන්න. 

"ඔය පත්‍රිකාවෙ ඔබට දැනගන්නට ඕන සියළු විස්තර තියනව….."

තවත් කවුද උස මහත පකිස්තාන පෙනුමක් තියන මැදිවියේ මනුස්සයෙක් පිළිගැනීම් කවුන්ටරේ ළඟට ආව. 

"සමාවෙන්න…." ඔහු මා දිහා බලල ආචාරශීලි විදිහට හිස පහත් කරල සුදු ගැහැණිය දිහාට හැරුන. "සමාවෙන්න මට දවල් කෑම ටෝකන් දෙකක් දෙනවද?"

දවල් කෑම ටෝකන් දෙකක් මිළදීගෙන ඔහු ඇතුළුවන දොරටුව ලඟ ඉඳගෙන හිටපු බොහෝවිට ඔහුගේ භාර්යාව විය හැකි ගැහැණියක වෙත ගියා.

"මටත් දෙනවද දවල් කෑම ටෝකන් එකක්.." මම සුදු ගැහැනියගෙන් විමසුව…

"ඔව් ඇත්තෙන්ම මෙතනින් ටෝකන් එකක් අරගත්තම ඔබට ආශ්‍රමයෙ භෝජන ශාලාවෙන් දවල් කෑම ගන්න පුලුවන්…."

ආයෙමත් වරක් ඇය ටෝකන් පොත එළියට ගත්ත. මමත්  ටෝකන් එකක් මිළදී ගත්ත.

"ඔබ දැන්මම දවල් ආහාරය ගන්නව නම් මාත් එක්ක යමු. මමත් මේ යන්න කියල සූදානම් වුනේ භෝජන ශාලාවට…" ඇය පිළිගැනීමේ කවුන්ටරය පසුපස ඉඳල ඇවිල්ල මා අසලින් හිටගත්ත. "එහෙනම් යමුද?"

"යමු….." මම හිනාවෙලා කිව්ව. ඇය ඉස්සර වුනා.

ආශ්‍රමයෙ ප්‍රධාන ගොඩනැඟිල්ල අද්දරින්ම වගෙ ඊට සමාන්තරව දිවෙන කපා ඔපමට්ටම් කල කළුගල් ඇතිරූ අඩි තුනක් වගෙ පළල පෙත්මඟක් දිගේ අපි ගමන් කලා. භෝජනාගාරය තිබුනෙ ප්‍රධාන ගොනැඟිල්ලෙ ඉඳල කිලෝමීටර බාගයක් වගෙ එහාට වෙන්ට.

පෙත්මඟ දිගේ සෙමෙන් ඇවිදගෙන යද්දි ඈ මට ඇගෙ විස්තර කිව්ව. මම අනුමාන කලා හරි. ඇය ෆින්ලන්තෙ. නම ඩයනා. ඇය වෘත්තියෙන් නීතීඥවරියක්. ෆින්ලන්තෙ සුප්‍රසිද්ධ නොකියා ජංගම දුරකථන සමාගමේ ඇය සේවය කරල තියෙන්නෙ. ඇයට පැවරිලා තිබුනු රාජකාරිය ඇවිල්ල නොකියා සමාගමේ නව නිපැයුම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කරන එක.

හිතවතියකගෙ මාර්ගයෙන් මේ ආශ්‍රමයට අහම්බෙන් වගෙ පැමිණි ඇය දැන් වසර තුනක් වගෙ කාලයක ඉඳල මෙතන ස්වේච්ඡා සේවිකාවක් විදිහට වැඩ කරනව කියලත් ඈ මා සමඟ කිව්ව.

"මට මෙතන මෙහෙම වැඩ කරගෙන ඉන්න එක හිතටයි ගතටයි දෙකටම හොඳයි. මෙතන ජීවිතේ හරිම නිස්කලංකයි.." ඩයනා මා එක්ක එහෙමත් කිව්ව.

කතාවෙන් කතාවෙන් අපි භෝජන ශාලාව ඉස්සරහටම ඇවිත් තිබුන. 

"එතකොට ඔබ? ඔබ මෙහෙ ආවෙ යමක් හොයාගෙනද? එහෙමත් නැත්නම් සංචාරකයෙක් විදිහට මෙතන නරඹන්නද? මම එහෙම අහන්නෙ මේ දෙවර්ගයෙම අය මෙතනට එන හින්ද

ඈ මගේ දිවා ආහාර ටෝකන් එක මට දුන්න.

"යමක් හොයාගෙනද කියල ඇහුවෙ?... මට තේරුණේ නෑ" මම නළල රැලි කරගෙන ඇහුව.

"We call them Seekers......සීකර්ස්ල වර්ග දෙකක් ඉන්නව. පොදුවේ තමන්ගෙ මුලු ජීවිතේම අලුත් මාර්ගයක ගෙනියන්න ඕනය කියල හිතල ඒ මාර්ගය හොයාගෙන මෙතනට එන අය සහ යම් එක් විශේෂිත ප්‍රශ්ණයකට පමණක් විසඳුමක් සොයාගෙන මෙතනට එන අය…"

"මම ඇත්තම කියන්නද ඩයනා?...මම ඔය දෙකටම අයිති නෑ කියල කියන්න පුලුවන්...I am actually neither a seeker nor a tourist.......මම චෙන්නයි වල ඉඳල ආවෙ මගෙ යාලුවෙකුත් එක්ක. යාලුවට පොන්ඩිචෙරීවල අද වැඩක් තියනව. මේ... මේ...රැස්වීමක්. ඉතිං මට හිතුන චෙන්නයිවල දවසම ඔෆිස් එකේ හිරවෙලා ඉන්නවට වැඩිය වෙනසකටත් එක්ක මමත් එයත් එක්ක ආවනම් හොඳයි කියල. ඉතිං යාලුව එයාගෙ වැඩේට ගියා. මම ඒ අතර මෙහෙට ආව...."

ඩයනා මදක් හඬනඟා සිනාසුනාය. ඇය සිනාසෙන විට ඇගේ නිල් පැහැ නෙත් බබලන අයුරු මට දැකගත හැකිවිය.

"හරි අපි ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් කමු….." එහෙම කියල ඩයනා භෝජන ශාලාවට ඇතුළු වුනා. මමත් ඇය පසුපස ගියා.

භෝජන ශාලාවෙ දොර ගාවම දිග සුදු පාටින් දිලිසෙන මේසයක් උස වානේ පිඟන් සහ තැටි මහ ගොඩක් එක පිට එක ගොඩ ගහල තිබ්බ. මට එක පාරටම මතක් වුනේ රත්නා ස්ටෝර්ස් එක. නිරායාසයෙන්ම මුවඟට නැඟුනු හිනාව වහ ගන්ට මම අහක බලාගත්ත.

ආශ්‍රමයකටම ගැලපෙන විදිහට කෑම වේල බොහොම සරළයි. කාබනිකව වගා කෙරුනු දුඹුරු සහලින් පිසූ බත්, කිරි යම්තමට යෙදූ කහ පරිප්පු සමඟ කැරට් සහ කඩල සබ්සි.

ආහාර ගන්ට වෙන් කරල තිබුනෙ එතනම පොඩි ස්ක්‍රීන් එකකින් වෙන් කරල තිබ්බ ශාලාවක්. ඒකෙ පුටු මේස තියා අඩුම ගණනෙ බංකුවක් වත් නෑ. පොළව මත එළපු කළාල උඩ ඉඳගෙනයි ආහාර ගන්න තිබ්බෙ. ඩයනයි මායි ටික වෙලාවක් හිස් පහත් කරගෙන නිහඬව ආහාර ගත්ත. පස්සෙ මම ඔලුව උස්සල ඈ දිහා බැලුව. 

"හරි අපි මෙහෙම කියමුකො. මට මොකක් හරි ප්‍රශ්නෙකට පිළිතුරු අවශ්‍යයි කියමුකො. මම මෙහාට ආවෙ ඒ ප්‍රශ්ණෙට පිළිතුරු හොයාගෙනය කියලත් කියමුකො. දැන් මට කියන්න කොහොමද මම ඒ පිළිතුරු ලබාගන්නෙ? කවුද මට ඒ වැඩේට උදව් කරන්නෙ?"

"මෙහෙමයි….." ඩයනා ආහාර ගැනීම නවත්තල හිස ඔසවල බැලුව.

"එහෙම ප්‍රශ්නවලට උත්තර හොයාගෙන එන උදවියට අපි කියන්නෙ ප්‍රශ්ණවලට උත්තර තියෙන්නෙ තමන් ඇතුලෙමයි. අපි මෙතන කරන්නෙ තමන්ගෙ අභ්‍යන්තරයෙන්ම අන්න ඒ උත්තර හොයාගන්න උදව් කරන එක විතරයි. සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්ණයකට හෝ ප්‍රශ්ණවලට පිළිතුරු හොයන අය කරන්නෙ අපේ ආශ්‍රමයෙ සති දෙක තුනක් වගෙ නැවතිල ඉන්න එක. ඒ අතරෙ තමන්ගෙම අභ්‍යන්තරයෙන් තමන්ගෙ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න අපි එයාලට මඟ පෙන්වනව. අපේ තියනව සත්සාන්ග් කියල එකක්. ඔබ ඒ ගැන අහල තියනවද?"

"නෑ……."

"හරි...සත්සාන්ග් කියන වචනෙ තේරුම සත්‍යය සමඟ එකතුවීම නැත්නම් සත්‍යය හමුවීම...සත්සාන්ග් එකක් කියන්නෙ ඇත්තටම හෘදයාංගම රැස්වීමක්...අපේ ඉන්නව මිනිස් සිත පිළිබඳව බොහොම අධ්‍යයනය කරපු ඥානවෘද්ධයන්. එයාලට කියන්නෙ ගුරූ කියල. තමන්ගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන අයට ඒ ගුරූ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුලුවන් තමන් මොකද කරන්න ඕන, මොන මාර්ගයෙද යන්න ඕන කියල...හැබැයි ඉතිං ඔය ඔක්කොම හදිස්සියෙ කරන්න නම් කොහෙත්ම බැහැ. ඒකට කාලය යනව....මට කියන්න ඔබට කොපමණ කාලයක් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න මිඩංගු කරන්න පුළුවන්ද?"

"මම තව පැය දෙකකදි මගෙ ප්‍රේමවන්තිය හම්බ වෙන්න ඕන. අපි දෙන්න කතා කරගත්ත ල'ඔරියන්ට් හෝටලේදි හම්බ වෙලා කෝපි කෝප්ප දෙකක් බොන්න. ඊට පස්සෙ අපි දෙන්න අද හවසම ආපහු චෙන්නයි යනව"

ඩයනා යලිත් සිනාසුණාය. ඉන්පසු ඇය කතා කලේ හිස සෙමෙන් දෙපසට සොලවමිනි. 

"ම්හු....මම කොහොමටවත් හිතන්නෙ නෑ පැය දෙකක් නම් ඇතිවෙයි කියල. ජීවිතේ මෙතෙක් නොවිසඳුනු ගැටළුවලට පිළිතුරු හොයන්න ඔහොම ඩෙඩ්ලයින්ස් දාගෙන නම් බෑ"

"එහෙමනම් මට තියෙන්නෙ නොවිසඳුනු ගැටළු ඔය තියන විදිහටම තිබ්බාවෙ කියල වැඩේ අල්ලල දාන්ට…."

"නෑ.....පොඩ්ඩක් ඉන්නකො..මම හිතන්නෙ ඔබ වාසනාවන්තයි..අර අතන මුල්ලෙ ඉඳගෙන කෑම ගන්නෙ…. මම අර කලින් කිව්වෙ... එතුමා අපේ බොහොම පලපුරුදු ගුරූ කෙනෙක්"

ඇය මට පෙන්නුවෙ සුදු රැවුලක් සහිත වයසින් අවුරුදු හැත්තෑවක් හෝ අසූවක් පමණ වේ යැයි සිතිය හැකි ඉතාම ශාන්ත පෙනුමකින් යුතු පුද්ගලයෙක්. තනි සුදු ලෝගුවක් වැන්නක් හැඳසිටි ඔහු තනිවම ආහාර ගනිමින් සිටියා. 

"ඉන්න මම එතුමට ඔබ ගැන කියන්නම්. එතුමට සමහරවිට ඔබ ගැන මොනව හරි කරන්න පුලුවන් වෙයි...."

"එපා එපා..මේ හදිස්සියෙ එතුමට බාධා කරන එක හරිනැහැනෙ..කරදර කරන්න එපා…"

"නෑ කිසිම කරදරයක් නෑ. ඔබ වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් එතුමාට මේ වෙලාවෙ නැත්නම් එතුමා කෙලින්ම ඒ බව කියාවි. එච්චරයි…"

"ප්‍රණාම් ගුරුජී "

ඩයනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දෑත් එක් කරල එහෙම කියල ඊට පස්සෙ පහත්වෙලා ගුරුජීගෙ දෙපා ස්පර්ශ කලා. මමත් ඇය අනුගමනය කලා. ගුරුජී තම දකුණත උස්සල අපිට ආශිර්වාද කලා

"ගුරුජී මේ මගේ හිතවතෙක්. එයාගෙ නම….."

ඩයනා එහෙම කියල මගෙ මූණ බැලුව. ඩයනා කොහොමත් මගෙ නම දන්නෙ නෑ. මම ඇයට කිව්වෙ නෑනෙ.

"මගෙ නම ක්‍රිෂ්" මම කිව්ව. 

"ඔව්..මෙයාගෙ නම ක්‍රිෂ්."

ඩයනා එහෙම කියල ආපහු ගුරුජී දිහාට හැරුන.

"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව. 

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

21 comments:

  1. Thanks for the enjoyable translation. Actually now it again confirms me how enjoyable it is to read a book than watching a movie.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thanks so much for your appreciation.

      I too love to read the book rather than watching the film..

      1. When reading a book you can utilize your imagination and conjure up what the characters look like. Of course the author would describe the characters but that's just cursorily.In a film there's no place for your imagination; the characters are there in front of you.

      2. When reading a book you can stop for a while and walk back down memory lane remembering something that happened to you long ago similar to whats written. Watching a film you never do that. Of course you can pause the film for sometime but you never do that. At least I don't.

      3. Physical presence of the book. You can touch it, smell it or just simply lower it down on your chest and go to sleep...Heh,heh...

      4. I grew up with books and not films; so old habits die hard...:)

      Delete
  2. රවී, ඔබ තරම් සිංහල බ්ලොග් අවකාශය තුල ඇසු පිරු දැනුම් ඇති, අත්දැකීම් ඇති අය නැති තරම්. මා සිතන්නේ එසේ සිටිනවා නම් ඒ හැලපයා පමණයි කියායි. අත්දැකීම් වගේම ඒවා ලස්සනට අකුරු කරන්නටත් පුළුවන් ඔබ දෙදෙනාට විතරයි.

    ඉතිං ඇයි රවී ඔබ ඔබගේ ජිවිත අත්දැකීම් ගැන ලියන්නේ නැතිව මේ වැදගැම්මකට නැති කතාවක් පරිවර්තනය කර කර ඉන්නේ? ඔබට බ්ලොග් ලියන්න හම්බෙන වෙලේ ඔබගේ වටිනා ජිවිත අත්දැකිම් ගැන ලියන්න. ඔබ සති පතා දාන මේ කතාව ඕනි කෙනෙක්ට කියවන්න පුළුවන් මෙහි මුල් කතා පොත හොයාගෙන. ඉංගී‍්‍රසි දන්නා කෙනෙක්ට එම පොත කියවන්න පුළුවන්. එහෙම දන්නේ නැත්තං භාෂාව දන්නා වෙන ඕනි කෙනෙක්ට කියලා පරිවර්තනය කරගෙන කියවන්න පුල්වුං.

    නමුත් ඔබගේ ජිවිත අත්දැකීම් එසේ නොවේ. ඒවා ඔබ ලියා තැබුවොත් විතරයි වෙන කාට උනත් කියවන්න පුළුවන්.

    රවී ඔබව මේ කතාවට හිර කරතබන පාඨකයන් කරන්නෙත් ලොකු අසාධාරණයක් ඔබට වගේම සිංහල බ්ලොග් වලට.

    කරුණාකර ඒ ගැන සිතා බලන්න. ඔබ කැමති නම් ඔබ මේ පරිවර්තනය කරන පොත මට එවන්න. මම මුළු කතාවම සිංහලට පරිවර්තනය කරලා දෙන්නම්. ඔබ එය මෙහි පබ්ලිෂ් කරන්න. ඔබ ඔබගේ වටිනා කියන ජිවිත අත්දැකීම් ගැන ලියන්න රවී.

    මම කිහිප වරක්ම මේ ගැන කියලා මේකේ කොමෙන්ට් දැම්මා. හරිම කණගාටුයි ඔබ මේ කතාවට හිර වෙලා ඉන්න එක ගැන නම්.

    ReplyDelete
    Replies
    1. රවී,මෙන්න මුව කුඩු පැකට් එකක් දාල, හිටං ලව්වා කොළ නැති ගහේ නග්ගවමුද? එම්බල ඉරිසියාකරය තෝ හිතුවේ අපි භගට් කාරයාගේ පොත කියෝලා නෑ කියලද? ඔනීනම් දන්වපන් ලින්ක් එක එවන්නම්, එතකොට වත් මේ කන්දොස් කිරියාව නවතීවි නේ. උඹේ පොත ලියපු දවසක මෙහෙ හිගන්නෝ ලගපු අම්බලමක් තියනව අරන් වරෙන් උන් ටික පන්නල දන්න එතනින්.

      Delete
    2. ස්තූතියි ඇනෝ,

      පරිවර්තනය කරන්න නම් අවශ්‍ය නෑ. මේ පොතේ සිංහල පරිවර්තනයක් දැනටම පොත් සාප්පුවල තියනව.

      මෙතන උනේ මේකයි සහෝදරයා..අවුරුදු තුනකට වගෙ ඉස්සර මම මේ පොත කියවල ඒකෙ මුල් පිටු තුන හතර පරිවර්තනය කරල දැම්ම බ්ලොග් එකේ. මේ වැඩේ දිග දුරට කරගෙන යන්න මගෙ තුන්හිතකවත් තිබ්බෙ නෑ. ඒ පෝස්ට් එකෙත් මම එහෙම කිව්ව.

      ඒත් උනේ ඒ පෝස්ට් එක නොහිතූ විදිහට මගෙ සහෘදයන්ට අල්ලල ගියා. ඊට පස්සෙ ඉතින් මම වැඩේ දිගටම ගෙනිච්ච. අන්න එහෙමයි උනාය කියන්නෙ.

      එක අතකට කොටි වලිගයක් අල්ල ගත්ත වගෙ උනාට අනික් අතට මමත් බොහොම කැමැත්තෙන් මේ වැඩේ කරන්නෙ. අනික තව බොහොම පොඩ්ඩයි තියෙන්නෙ කතාව ඉවර කරන්න.

      ඒ හින්ද ඉන්නකො මේ වැඩේ ඉවර කරලම ඔබ කියන ජීවිත අත්දැකීම් ලියන එක පටන් ගන්නම්.

      බොහොමත්ම ස්තූතියි ඔබේ අගය කිරීමට. විවේකය බොහොම අඩු උනත් දිගටම ලියන්නට හිතට ධෛර්යය එන්නෙ ඔබ වගෙ පාඨකයින් නිසා.

      ආයෙමත් ස්තූතියි...

      Delete
    3. ඇණයා,

      හෙහ්..හෙහ්...:)

      Delete
    4. ඇනො ඔයා කෙලෝ ගන්න එපා හරිය..දවස ගානී ඇවිත් අපි බලල යනව මේ මනුස්ස්යා මේ කතාවක් දාලද කියල..ඔහේ ට ඕනෙම නම් ඔය අනිත් ලේබල් වල ජිවිත අත්දැකීම් තියෙනවා

      Delete
  3. /// ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි කියල ///
    ඔය ආශ්‍රමේට ඉස්සර කාලෙක හොරු වගයක් කඩා පැනල ඒක කඩල බිඳලා හොරකං කරලා ඒකෙ පුස් කකා තිබ්බ තිබ්බ පුස්කොළ පොත් ගොඩ ගහල ගිනි තියල ආශ්‍රමේ මංකොල්ල කාල තියෙනවා, ඒ පුස්කොළ පොත් ගොඩ මාස ගානක් එක දිගට පත්තු උනාලු...
    ඒ මංකොල්ලේ සිද්ධ වෙද්දී ඒතැන හිටපු ලංකාවෙන් ගිහින් හිටපු හිපාටුවෝ ටිකක් හිස් ලු ලු අත දිව්වලු ආශ්‍රමේ "හොරු බින්දෝ, හොරු බින්දෝ" කියල කෑ ගගහ...
    එතනින් පස්සේ තමයි ඔය ආශ්‍රමේ නම "හොරු බින්දෝ ආශ්‍රමය" කියන නමින් හැඳින්විලා තියෙන්නේ...
    පස්සෙන් පහු කාලෙක ඕක දකුණු ඉන්දියාවේ ගස් ගොබිලන්ට කියවන්න පහසුවට තමයි "ඖරෝබින්දෝ" කියල වෙනස් වෙලා තියෙන්නේ...
    ඕක චෞතුර්ය සේනුරතන කියන පැරකුම් රජ සමයේ කුරුඳු වෙළඳාමේ යෙදුනු පුරාණ ඉරිසියාවරයෙක් ලියපු පුස්කාපු නැති කොළපතක තිබිල දැකපු කෙනෙක් තමයි මටත් කිව්වේ...

    ReplyDelete
    Replies
    1. හිපටුවෝ නෙවෙයි, හිපියෝ - උන් තමයි ඕකේ ඔරිජිනල් පුරවැසියෝ.

      Delete
    2. ලොකු පුතා,

      අපි පොඩි කාලෙ කාවඩි නැටුවෙ "හරෝ හරා ගෝවින්දා..ගෝවින්දගෙ ගේ බින්දා" කිය කිය.

      Delete
  4. ‍මේ ඩබල සෙට් වෙලා ගුරුජීගෙ සීලෙත් කඩන්න වගේ හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      එහෙම වෙන එකක් නෑ බං...;)

      Delete
  5. ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.. ඒක පට්ට.. :) ප්‍රංශ කෑම කන්න ගිය එකා ෆින්ලන්ත කෑමක් කයි වත්ද මංදා.. ;)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එහෙම තමයි මල්ලි අපි කාටත් ජීවිතේ එක් අවස්ථාවක හෝ පෙම්වතිය ප්‍රශ්ණයක් වෙනව..හා..නැද්ද?...:)

      Delete
  6. අද කතාව හරිම නිස්කලංකයි. බොහොම ස්තුතියි රවී තුමා.

    ReplyDelete
    Replies
    1. Maanavi,

      You are welcome Madam...:)

      Delete
  7. Replies
    1. You are welcome too My dear Ian...:)

      Delete
  8. "ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.."


    මම නම් අහන්නෙ ඇයි ගුරුජි රවි උන්නැහෙට මේ කතාව එක දිගට ඉක්මනට ලියන්න බැරි කියල..

    ReplyDelete
  9. නිකන් අහක යන නයෙක් ඇඟේ දාගන්න වගේ ක්රිසා හදන්නේ . ගැන්ඩල්ෆ් වද දන්නේ නැහැ හම්බ වුනේ

    ReplyDelete
  10. මේ කතාව ඉවර වෙනකං ඉතිං මේ බ්ලොග් එක බලන්න වෙන්නේ නෑ. මොකද මේ කතාව මම කියෙව්වා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...