Tuesday, April 30, 2019

631. A Stopgap Post…....


උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ,
එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව
එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

මාසෙකින් විතර බ්ලොග් එකේ කිසිම දෙයක් ලියාගන්ට බැරිවුනානෙ. වට් අ ෂේම්...ලැජ්ජයි ඕයි හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක...

කොහොම හරි උනේ මේකයි. ඉස්සෙල්ලම අවුරුදු ආවනෙ. ඊට පස්සෙ අවුරුදු ඉවර වෙනවත් එක්කම පහුගිය පාස්කු ඉරිද ලංකාවෙ වෙච්චි ඒ අහස පොළව නුහූලන අපරාදෙ. ඒ ඛේදවාචකේ හින්ද නිකං ඔලුවට පොල්ලකින් ගහල වගෙ හිටියෙ මේ පහුගිය සතියෙම. එහෙම උනහම මොකවත් ලියාගන්ට තියා..දන්නවනෙ ඉතිං..

ඇත්තම කිව්වොත් එයිට කලින් නම් කීප සැරයක්ම එක එක කතන්දර ලියන්ට පටන් ගත්තට එව්ව අහවරයක් කොරගන්ට බැරිවුනානෙ. 

ඉස්සෙල්ලම අර මම කොටස් දෙකකිද තුනකිද කොහෙද ලියල මඟකි නවත්තල දාල තියන රබරෝසි කතාව...

(ඔය දෙකකිද තුනකිද කියල කියන්නෙ මගෙ කලින් හිටිය බොස් කෙනෙක්. ඔන්න ඔය දකුණෙත් කොහෙද දුර බැහැර පළාතක මනුස්සයෙක්. මෙන්න මේ ගොන්නොරුව දිහාද කොහෙද..."හෙට උදේ දානෙට කැකුළු බතකි සම්බලකි කිරි හොද්දකි තිබුණාම ඇති නෙවෙද?" ඔන්න ඔහොමයි උන්නැහැ කතා කරන්නෙ...අපි ඔය එහෙදි හැම ජනවාරි පළවෙනිදාවකම දානයක් දෙනව. අන්න ඒ දානෙ වැඩ ගැන සාකච්ඡා කරද්දි තමයි උන්නැහැ එහෙම කිව්වෙ...

ඊට පස්සෙං පහු අර අනන්‍යා කෙලීගෙ කතාවත් ලියන්ට ගත්ත. ඒත් කොහොමින් කොහොමින් හරි වාක්‍ය හත අටක් ලියනකොට ඒකත් අතපහු වෙච්චි. අන්තිමට අපේ සජිත් බේබි සලෝපූකුසංගම කියල උදා ගමක් අටවල අර සංගක්කාර ගොයිය අවුරුදු විස්සක් විසිදෙකක් තිස්සෙ  ගොඩනඟා ගත්තු කීර්ති නාමෙ එක වරුවෙං නැති බංගස්තාන කරල දාපු එක ගැන මොකවත් ලියන්ට ඕමනාය කියල ඉඳ ගත්ත. ඒකත් ඡේද තුන හතරක් විතරයි ලියන්ට වුනේ..

හරි ඔන්න මම බොරුවක් කියනවයි කියල කියනවනම් මෙන්න මම සජිත් බබාගෙ නාඩගම ගැන බාගෙට ලියාපු කතාව...

උසනම් සිකුරුටි මිටිනම් කම්කරු ශ්‍රී රෝහණ ජනරංජන සජිත් ප්‍රේමදාසගමේ විත්ති...

අපිට ඉන්න දේසපාලුවො මොනව නැති උනත් හත්පොලේ ටිංකිරි ගාගන්ට නම් උපං හපන්නුය. වැඩේ කියන්නෙ එහෙම ඉහිං කනිං ටිංකිරි ගෑවුනාට උංට වගේ වගක්ද නැත. 

හැබැයි එකක් තියෙන්නෙ කිව්වට ඇස්වහක් කටවහක් එහෙම නැතිය හත්පොලේ ගාගැනිල්ල අතින් අපේ බම්මන්නලාට ගේමක් දියහැකි සුපිරි බඩුවක් දැං ඇමරිකාවෙං බිහිවෙලා ඉන්නවාය. ඒ වෙනිං කවුරුවත් නෙවෙයි අමරිකන් ජනාදිපති දුරන්දර සත් ගුණවත් අම්ම මුත්ත කාලෙවත් කොණ්ඩෙ නොපීරූ ඩොනල්ඩ් ට්‍රම්පච්චීය. 

කාලෙන් කාලෙට රට රටවල්වල මිනිස්සුන්ට සමූහ නුහුගුණතාවය කියල ලෙඩක් හැදෙනවාය. මේ ලෙඩේ තාවකාලික වෙන්ටත් පුලුවනිය. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව බල පවත්වන්ටත් ඇහැකිය. මේ ලෙඩේට ඉංග්‍රීසියෙන් කියන්නේ "Collective Madness" කියාය.

වර්ෂ 2016 නොවැම්බර් 8 වෙනිදා බොහෝ අමරිකානුවන් මේ සමූහ නුහුගුණතාවයෙන් පෙළුනු බැවින් ට්‍රම්පච්චී අමරිකන් ජනාදිපති පදවියට පත්විය. එදා සිට මේ ගෙවීගිය අවුරුදු දෙක තුල ඒ මනුස්සයා ලෝකයට සැපයූ විහිලු සහ කරපු මල විකාර අනන්ත අප්‍රමානය. 

මෑතකම කරපු විකාරය නම් පැරිසියේ නෝත්‍රෙදාම් දේවස්ථානය ගිණි ගනිද්දී හෙලිකොප්ටර් වලින් ගොස් වතුර දැමිය යුතු යැයි ට්විටර් ජාලය ඔස්සේ උපදෙස් දීමය. එහෙම දෙයක් කලහොත් එය හානිය තවත් බරපතල වීමට හේතුවනු ඇති බව පැවසූ ගිණි නිවීම් විශේෂඥයෝ ට්‍රම්පච්චීගේ මහාර්ඝ අයිඩියා රත්නය එකහෙලා ප්‍රතික්සේප කලෝය. තමන් නොදන්නා දෙයක් නැතිබව හිතාගෙන ඉන්නා පුඟුලන් එහෙම කොළේ ඉරාගන්නා එක කොහොමවත් වළක්වන්නට නම් බැරිය. අමරිකාවෙ ජනාදිපති උනත් ඒක එහෙමමය.

සජිත් ප්‍රේමදාස කියන්නේ මොන ජාතියෙ මනුස්සයෙක්ද කියලා රටේ ඉන්න දැනුම් තේරුම් ඇති බහුතරයක් උදවිය දැනගෙන හිටියේ බොහොම කාලෙක ඉඳලාය. රෝයල් එකට යද්දි මොකක් හරි නෙයියාඩගමක් නටල අහුවෙලා තාත්තා එක්ක එන්ට කියල ඉස්කෝලෙන් කිව්වාලුය. ප්‍රේමදාස ගොයියට අගමැතිකමේ රස්නේ ඔලුවට ගහල තිබුනු හින්ද කොලුවගෙ තාත්තා හැටියට ඉස්කෝලෙට නොගිහින් ජේ.ආර්. පප්පාට කියල වැඩේ ගොඩින් බේරගන්ට බැලුවාලුය. පප්පා එක හෙලාම ඒ ඉල්ලීම ප්‍රතික්සේප කලාහුය. 

ජේ.ආර්. පප්පා මොන තරම් අසික්කිත විදිහට අදිකරණෙට පාර්ලිමේන්තුවට ඇඟිලි ගැහුවා උනත් තමංගෙ ඉස්කෝලෙ වැඩකට අත දාන්ට තරම් එඩිතර උනේ නැත. එක්කෝ එඩිතර උනේ නැත. නැත්නම් මොනව උනත් තමංගෙ ඉස්කෝලෙට තිබ්බ ගෞරවය වෙන්ටත් පුලුවනිය. ඒ මොක උනත් පප්පා බෑ කිව්වම ප්‍රේමදාස ගොයියා කලේ තමං ඉස්කෝලෙට යනවා වෙනුවට කොලුවා ඉස්කෝලෙං අස් කරගෙන එංගලන්තේ ඉස්කෝලෙකට දාපු එකය.

ඔය සීන්ස් එක උනේ 80 නැත්නම් 81 අවුරුද්දෙ වගෙ වෙන්ට ඕනෑය. ඉතිං සජිත් කොලුවා එංගලන්තෙ ගියාට පාස් කරපු විබාගයක් ගැන එහෙම දැනගන්ට නම් නැත. එව්වා එහෙම තමාය. බහුතරයක් ඔය ලොක්කන්ගෙ පුත්තු දුවල පිටරට යවල ඉගැන්නුවට අන්තිමට නටාපු තොයිලෙකුත් නැත. කට්ටඩියගෙ අමුඩෙත් නැතය. ආතුරයගෙ අඹුවගෙ බොඩියත් නැත. උදාහරණ- චන්ද්‍රිකා සෝබෝන් යෑම, අනුර (අනුර කිව්වෙ not AKD but AB) ඔක්ස්ෆර්ඩ් යෑම.

ප්‍රේමදාස උන්නැහැ ආමර් වීදියෙ බෝම්බ පිපිරීමෙන් අභාවප්‍රාප්ත වූ ඉක්බිති සජිත් පුතා තාත්තාගෙ උරුමය කරට ගනිමින් දේසපාලනයට පිවිසුනේය. ඒ කවුරුත් බලාපොරොත්තුවුන විදිහට තාත්තාගේ බලකොටුව වුනු මැද කොළඹින් නොව හම්බන්තොටින්ය. බොහෝවිට ඒ සජිත් කරන්නට බලාපොරොත්තුවන දේසපාලනයට හරියටම හරියන්නේ මැද කොළඹ වගේ බහුතරයක් මධ්‍යම පාන්තිකයින් වෙසෙන බහු වාර්ගික බහු ආගමික ප්‍රදේශයක් නොවන බව ඔහුට වැටහුනු නිසා වෙන්නට ඇත.

ඒ මොකද කියනවනම් තාත්තා වගේම සජිත්ගෙත් බලාපොරොත්තුව වුනේ මුලු රටේ සියලුම ජනතාවට යහපතක් වෙන පොදු වැඩ පිලිවෙලක් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මාලාවක් සකස් කරල ඒ අනුව වැඩ කරන්න නෙවෙයි. තාත්තගෙම පුතානෙ. මනුස්සයට ඕන උනෙත් දුප්පත්කම විකුණගෙන කන්න.

හරි දැන් ඔබ තමුන්නාන්සේලාට විස්වාසයිනෙ මම කිව්වෙ බොරුවක් මුසාවක් නෙවෙන වග..එහෙනම් එච්චරයි..

ඉතිං අද ඇවිල්ල අප්‍රේල් 30 වෙනිද..අප්‍රේල් මාසෙ අන්තිම දවස..මම අන්තිමට පෝස්ට් එකක් දාල තියෙන්නෙ මාර්තු 28 වෙනිද. ඒ කියන්නෙ අප්‍රේල් මාසෙට මොකවත්ම ලියල නෑ.

මේ බ්ලොග් ලිවිල්ල පටං ගත්තු දවසෙ ඉඳල එක මාසයක්ම මොකවත්ම පෝස්ට් එකක් නොදා ගතවෙන්ට යන පළවෙනිම මාසෙ. මයෙ හිතට නිකං මොකක්ද මොකක්ද වගේ..

ඒ හින්දා මගේ දයාබර සහෘදයිනි, සහෘදියනි, මම කල්පනා කලා......

(ඊයෙ පෙරේද මම දැක්ක මුහුණු පොතේ මරු දැන්වීමක් දාල තිබ්බ. ඔන්න ඔය  වැලිගම පැත්තෙද කොහෙද තරුණ සමිතියක දැන්වීමක් සිංහල අවුරුදු උත්සවයක් ගැන............" තරුණ සමිති ක්‍රීඩා පිටියේදී 2019.04. 17 දවස පුරා අවුරුදු උත්සවය පැවැත්වේ. තරඟ වලට සහභාගිවීම සාමාජික ජිකාවන්ට පමණි. ජයග්‍රාහක හිකාවන්ට වටිනා තෑගි...." හෙහ්..හෙහ් කොහොමද ඒක? බොරුවක්ම වෙන්ටත් බෑ. අපේ දැන් ඉන්න තරුණ තරුණියන්ගෙ සිංහල දැනුම ඒ තරම් ඉස්තරම්. ආය කිව්වට ඇස්වහක් කටවහක් එහෙම නෑ ඔන්න... )

මම කල්පනා කලා අවුරුදු අටකට වගෙ ඉස්සර ලියපු පෝස්ට් එකක් ආයම රී-පබ්ලිෂ් කරන්ට. මේ පහුගිය සතියෙ සිද්ද වෙච්චි අවාසනාවන්ත සිදුවීම් වලටත් බොහොම සම්බන්ධ කතාවක් මේක.

***************************************************

"විශ්වයම එක් වරම නිහඬ විය.."

රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට හැඟිණි.

මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා නොවැදගත් ප්‍රශ්ණයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිනහවක් ගෙන ආවේය.

එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත. ජීවිතයේ බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව සිතීමට පෙලඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.

එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.

කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්‍රදේශය දක්වා පමණක් වුවද, ඔහුගේ කාර්යයට  ඒ හොඳටම ප්‍රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව, ප්‍රතිබිම්බය ඉතා ප්‍රවේශමෙන් නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කර ගැනීමටය.

දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට දමා පහත් වී අබලන් වූ කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් හෙතෙම මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්ගයට පිළිපන්නේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන සුවඳ මුලින් ඔහුගේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.

අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්‍රතිඵලයක් ලෙස නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.

බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්‍ර කොටගත් සම්බල සමඟ බොහෝ කල්පනාකාරීව තෝස අනුභව කලේය.

තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ පරිප්පු වඩ දෙකක් විය.

මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ සිරුර තෙත් වේදෝ යන බියෙන්ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන්ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසාමද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණේ ද යන්න පවා සැක සහිතය.

පටු මඟ අවසානයේ වූයේ නගර මධ්‍යයේවූ උද්‍යානයේ පසුපස දොරටුවයි. අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්‍යානයට පිවිසි ඔහු, උද්‍යාන හරහා පසුපස දොරටුවේ සිට ප්‍රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, වේගය ක්‍රමයෙන් බාල වූයේ ඔහු ද නොදැනුවත්වය.

උද්‍යාන මධ්‍යයේවූ ගිනි දහවල පවා අඳුර පූර්ණව පහව නොයන  රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්‍යානයේ ප්‍රධාන දොරටුව දක්වා දිව යයි.

තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බේ පිහිටි, ප්‍රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. 

ප්‍රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස්, ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.

හිස සෙමෙන් හරවා ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.

සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්‍යානයේ ප්‍රධාන දොරටුව වෙත යොමු කරමිනි.

ඇයද නැවතත් දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.

තව නොබෝ වේලාවකින් මේ ප්‍රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.

වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්‍යානය පුරා විහිදී ගියේය. එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.

ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.

"දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්ම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති"

ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.

යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.

වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර හිරු එළියද මදින් මද අඳුර දුරු කලේය.

" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." 

ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.

එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.

"දැනුනද?" ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි

ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය...."ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"

නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය. අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.

මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය. ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.

මහා භද්‍ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.

එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.

ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.

එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.

ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී "හරි" යනුවෙන් පැවසූ ඔහු දුරකථනය ක්‍රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.

ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ. හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

"මම ඔයාට ආදරෙයි" ඔහු ඇගේ දෑසට පැවසීය.......

"එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස හඬ පාලනය කොට ගත්තේය....."නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

"මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්‍යානය වටා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ පොලිස් අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත ද ඇය දෙස මොහොතක් බලා සිට හැරී, ඇයට පිටුපා ප්‍රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්‍රියකර අමිහිරි නාදය මධ්‍යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය. ඇසිපිය නොහෙලා බලා සිටියාය.

උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල වූ සිව්මංසල අසලදී සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. ප්‍රභූ ආරක්ෂක රියපෙළ සිව්මංසළ වෙත වේගය අඩුකරගනිමින් ළඟා වෙමින් තිබිණ. ප්‍රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

අසුරු සැණකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........ ඒ දැඩි නිහඬතාවය මධ්‍යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්‍යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.

34 comments:

  1. බොරු කියන්න එපා ඕයි ජේ ආර් පප්පා රෝයල් ගියේ නැහැග මිනිලා ගියේ සේනටි තෝමස්. හතර විලි ලැජ්ජයි ඕයි තමුසේම කියන විදිහට

    ReplyDelete
    Replies
    1. උදාර,

      ඈ?.... පප්පා ගියේ රෝයල් නෙවෙයිද එතකොට? අඩේ ඔන්න බලමුකො ඒකෙත් හැටි..මම මේ අද වෙනකල් හිතාගෙන හිටියෙ යැංකි ඩිකී ඕල්ඩ් රෝයලිස්ට් කියලනෙ...:(

      Delete
    2. නෑ නෑ ඩිකී පප්පා ඕල්ඩ් රෝයලිස්ට් තමයි. උන්නැගේ රගර් ටීම් එකේ කැප්ටන් විදියට ඉඳලත් තියෙනවා

      Delete
    3. පප්පා රගර් නෙමෙ බොක්සිංනම් ගහලා තියෙනවා.

      Delete
  2. පරණ කතාවක් හරි දාල ආපහු ලියපු එක හොදයි.

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      කැමැත්තෙන් කරපු දෙයක් නම් නෙවෙයි බං...

      බට් වට් ටු ඩූ ටු වට් ටු ඩූ? අන්ඩර් ද සර්කම්සයිස්ඩ් නතින් ඇල්ස් ටු ඩූ නෙවද?

      Delete
  3. මටත් ලිවිල්ල අතපහු වෙලා මාස හතරකට වැඩියි. ලිවිල්ලට හෙනහුරු දෝසෙ.

    ReplyDelete
    Replies
    1. ඇති දැන්වත් මතක් උනා. ඒ පැත්තෙ ගිහිල්ල හැරිල එනවා.මොනවත් අළුතින් නෑ....

      Delete
    2. බ්ලොගප්පු වල්ලියා ලවුව ගුරුකමක් කරගමු

      Delete
    3. තව ටික දොහක් බලල විකුණල දානව ගුණවොද්දන මාමට. නොකිව්ව කියන්ඩ එපා.

      Delete
    4. මලිර,

      ඔව් බං මොන මංගල්ලයක්ද වෙලාද මන්ද ..අකුරක් කොටන එක මරන්නා වගේ...

      Delete
    5. ලිලන්ත,

      හරි හරි බොලේ..සමාවෙන සේක්වා..

      මේ ලැබුවාවූ වෛශාඛ්‍ය මාසයේ පටන් සතියකට වරක් හෝ වියුණු සටහනක් පළ කරන්නමෝ වේදැයි සත්‍ය ක්‍රියා කොට අධිෂ්ඨාන පූර්වකව ශථප කොටගත් බැව් චිත්ත ප්‍රීතියෙන් යුතුව මෙසේ දන්වා සිටුම්හ..සිද්ධි රස්තු...සයින් ද පීස් සකබෝනා...සමුගනිමු ගුල්සාරි...චේතනා භික්ඛවේ කම්මං වදාමී පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී අසාධාරණ හැඟුම් කැටුවුනු කුරිරු මිනිසුන් වෙසෙන ලෝ අම්බලමේ ඉඳලා යනවා නිති පාර සොයා ආගන්තුක කුරුල්ලා කොහෙදෝ ඇවිල්ලා අපේ කුඩා කූඩුව ලඟ අඟර දඟර වෙයි බලාගෙනයි..දෙතොලේ කටු ඇනෙයි...

      Delete
    6. ප්‍රසන්න,

      කවුද බං වල්ලියා? කොකස එකේ නිල කට්ටඩියද?

      Delete
  4. විශ්වයම එකවර නිහඬ විය...අම්මෝ කතාව කියවල ඉවර වුනාට තාම මොකක්ද වගේ.

    ReplyDelete
    Replies
    1. විනීත,

      හෙහ්..හෙහ්..මොකක් වගේද හැබෑටම?

      Delete
  5. පරණ පෝස්ට් වානා... අලුත් පෝස්ට් ඕනා...

    සභාපති
    කො.ක.ස.

    ReplyDelete
    Replies
    1. හරි හරි සබාපතිතුමා..අදට විතරක් පොඩි චාන්ස් එකක් දෙන්ටකො...

      Delete
    2. කම්මැලි කමනේ....

      Delete
  6. මහත්මයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේද සේවය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙනං එහෙනං මේ මොනවා අහනවද?

      Delete
  7. බෝ අහ ඇති නොවැ රවී J වලියකට තර්ස්ටන් එකට පැනලා මාට්ටු වෙලා පොලිසියේ බුවෙක් කතාකලාම පප්පා කී දේ
    රවී තාප්පෙන් එහා පැත්තට පැන්නන් මේ පැත්තට පනින්නත් දැනගන්න ඕනේ කියල පෝන් එක තියලා.
    ඕන් පියතුමන්ලා

    ReplyDelete
    Replies
    1. සිරා,

      කියල වැඩක් නෑ බං ඒ අතින් ජේ.ආර්. ශ්‍රේෂ්ඨයි...

      මේ මීම්මුන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද මන්දා ඔය වගෙ වෙලාවක තමංගෙ එකා බේරගන්නට ගොං පාට් දාන්නෙ නැතුව නිහතමානී සාධාරණ විදිහට කටයුතු කලානම් (මම මේ කියන්නෙ බොරුවට හරි..) ඒක තමන්ගෙ ජනප්‍රියත්වය නංවා ගන්ට කොච්චර උදව්වක් වෙයිද කියල ..

      දන්නවනෙ අර නිශ්ශංක විජේරත්න මහත්තය අධ්‍යාපන ඇමති කාලෙ පුතාට මොකක්ද වැරැද්දකට වේවැලෙන් ගහපු කිංස්වුඩ් එකේ ගුරුවරයෙකුට කතා කරල ස්තූතිය පලකරපු හැටි...දැන් අවුරුදු හතළිහක් වගෙ ගිහිල්ලත් අපි තවම ඒ ගැන කතා කරනවනෙ...

      කොහොමද එදා ප්‍රේමදාස ගොයියත් අනික් තාත්තල වගෙ ගිහිල්ල ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහ බංකුවෙ ඉඳගෙන ඉඳල තමන්ගෙ වාරෙ ආවම ප්‍රින්සිපල් කියන දෙයක් අහගෙන ඉඳලා ආපිට ආවනම්.......එහෙම උනානම් තවත් ඒ ගැන මිනිස්සු කතා කරනවනෙ..

      අනික ඔහොම කරන එකෙන් තමන්ගෙ දරුවට උනත් දෙන්නෙ බොහොම නරක ආදර්ශයක්...මම මොනව කලත් මගෙ මහ එකා ඉන්නව මාව බේරගන්ට කියල ඔය වයසෙ කොල්ලෙක්ට ඉස්තිර උනාම ඒක බොහොම නරකයි..මහ එකාට වගේම කොල්ලටත්..

      සමහරවිට සජිත් බබා තාමත් හම්බන්තොටට වෙලා සලෝපූකුසංගමවල් හද හද සියඹලා ගස්යට උස සිකුරිටි මිටි කම්කරු ඉන්ටවීව් තිය තිය ඉන්නෙත් එදා තාත්ත දුන්නු වැරදි ආදර්සෙ නිසා වෙන්න පුලුවන්..

      Delete
    2. //නිශ්ශංක විජේරත්න මහත්තය
      අන්න බුවාලා.එතුමා නේද තමාගේ ළමයිව උස්සනවා කියල තගරිය දාපු කලත්තෑවේ සොයිසා ලඟට ළමයි දෙන්නව යැව්වේ.

      Delete
  8. ඔබගේ ඉහලම මට්ටමේ නිර්මාණ වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඉයන්...:)

      Delete
  9. Replies
    1. ඔබටත් බොහොමත්ම ස්තූතියි සඳා...:)

      Delete
  10. කතාව ලස්සනයි

    ReplyDelete
  11. Replies
    1. ගීතිකා,

      ආය මොනවද ලිව්ව ලිව්ව...:)

      Delete
  12. One of the key problems today is that politics is such a disgrace, good people don't go into government.
    - Donald Trump

    ReplyDelete
  13. මේක අපි කියවපු කතාවක්නෙ. අලුත් එකක් ඉක්මනට ලියපං.

    ReplyDelete
  14. //"හෙට උදේ දානෙට කැකුළු බතකි සම්බලකි කිරි හොද්දකි තිබුණාම ඇති නෙවෙද?"//
    සිකේ මොන නව නිංගිරාවක්ද අඩුම තරමේ කරෝල කෑල්ලක් වත් නැතුව දානේ දෙන එක? මෙයා නම් දකුණේ වෙන්න බෑ. :D

    අනිත් එක, මේ, අර ජික ජිකාවන් කතාව වැලිගම කියල සුවර් ද? ගිය අවුරුද්දෙත් දැක්ක වගේ මතකයි, මට හිතෙන්නේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ අල්ලලා ශෙයා වෙනවා ෆේස්බුක් එකේ. වැලිගම නම් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ හැබැයි. නැත්නම් මේ ඔබතුමා මගේ කට අවුස්සගන්න ඒ කෑල්ල අතින් දැම්මද හැබෑට?

    අලුත් පරම්පරාවේ අයට නම් ඉතින් වැඩිය ලියන්න බෑ තමයි. ගොඩක් අය කියවන්නත් හොරයි, ෆිල්ම්, TV සීරීස් තමයි බලන්නේ. ඒ නිසා ලිවීමේ හුරුව ලැබෙනවා අඩු ඇති.

    2000 මුල වගේ අපේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා මැතිණියට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය මතකද? (කාටද ඒක අමතක) ඒ බෝම්බය රැගෙන ඇවිත් තිබුණේ ත්‍රස්තවාදී කාන්තාවක්. ඇගේ හිස ඒ අවට තිබිලා හොයාගෙන, රෑ ප්‍රවෘත්ති වලට පෙන්නුවා මේ කෙනා ගැන දන්නා/දැකපු කෙනෙක් ඉන්නවා නම් දැනුම් දෙන්න කියල. (ඒ දවස් වල දැන් වගේ CCTV දර්ශන තිබුණෙත් නැහැනේ.) එතකොට මම 6 වසරෙ පොඩි ළමයෙක්. ඒ ලේ වැකි හිස දැකීම, මගේ හිතට මහා පුදුම කම්පනයක් ඇති කළා. දවස් ගණනක්ම ගත වුණේ මහා භීතියකින්, ඒක හිතින් අමතක කරන්න බොහොම අමාරු වුණා. ඔබතුමාගේ මේ ලිවීම ඇත්තෙන්ම ඉතා විශිෂ්ටයි, අර ඒ දවස් වල හිතට දැනුණු මූසල භය, යලිත් දැනෙන ලෙස ඔබ මේක ලියා තිබෙනවා. ඒක දුෂ්කර කාර්යයක්, සහ අපූරු හැකියාවක්. පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා, සඟරාවකට වගේ යවලා බලන්නකෝ (කැමතිනම්).

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...